1/05/2015

මව්බිමේ ජය පතා නිවැරදි තීන්දුව ගනිමු!

කතෘ:යුතුකම     1/05/2015   9 comments
2010 ජනාධිපතිවරණයෙන් පසු මේ රජයේ ගමන් මඟ පිළිබඳ මා තුළ කිසිදු පැහැදීමක් නැත. එහෙයින් පසු ගිය කාලයේ දිගින් දිගට ම ආණ්ඩුවේ අකටයුතු විවේචනය කළ මම ජනාධිපතිවරණයේ දී ජාතිකවාදී පක්ෂ සහ සංවිධාන මහින්ද රාජපක්ෂට සහාය පළ කරන්නේ නම් එය කොන්දේසී සහිතව කළ යුතුය යන මතය දැරුවෙමි. එසේ නොමැතිව මහින්ද රාජපක්ෂ ඇතුළු මේ ආණ්ඩුවට කොන්දේසී විරහිතව සහාය දීම නිසා සිදුවනුයේ මේ ආණ්ඩුව සමඟ ජාතිකවාදීන් ද පරාජයට පත්වීම සහ ආණ්ඩුවේ සියලු පව්වලට ජාතිකවාදීන්ට කර ගැසීමට සිදුවීම බව ද කීවෙමි. එහෙත් අපේ ජාතිකවාදී පක්ෂ මෙන් ම නායකයින් ද කැමති අනෙකා කපා තමා මුදුනා විමටය. විමල්, පාඨලි, දිනේෂ්, නලින්, අමරසේකර ආදී පිරිස එකතු වී කිසියම් ප්‍රභල බලයක් නිර්මාණය කොට, අනතුරුව මහින්ද රාජපක්ෂට කොන්දේසී ඉදිරිපත් කර, ඔහුගේ ජයග්‍රහණය ඔස්සේ ඒ අරමුණුවලට යෑමේ මඟ මේ කුළල් කා ගැනීම නිසා අහිමි විය.


අනෙක් අතට හෙළ උරුමය කිසියම් කොන්දේසී මාලාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සහ ඊට එකඟ වන්නේ නම් සහාය දිය හැකි බව ප්‍රකාශ කිරීම ඉදිරි පියවරක් විය. මේ සඳහා ධනාත්මක ප්‍රතිචාර දක්වා හෙළ උරුමය ආණ්ඩුවේ රඳවා ගැනීමට, මේ ආණ්ඩුවේ ප්‍රභලයින්ගේ උද්දච්චකම සහ තමන් පිළිබඳ ඇති අධිමානය ද අනෙකා පිළිබඳ ඇති අවමානී හැඟීම ද හරස් විය. මෙහි දි හෙළ උරුමය ජාතිකත්වය වෙනුවෙන් තම පක්ෂය තුළින් වෙන ම අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතුය යන ස්ථාවරයේ මම සිටියෙමි. ඒ අපේක්ෂකයා පාඨලි චම්පික රණවක විය යුතු බව ද තම කොන්දේසීවලට මහින්ද රාජපක්ෂ එකඟ වන්නේ නම් පාඨලීට ගිවිසුමකට අනුව තරඟයෙන් ඉවත්ව මහින්ද රාජපක්ෂට සහාය දිය යුතු යැයි ද අපේක්ෂා කළෙමි. එහෙත් සිදුවූයේ හෙළ උරුමය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට තීරණය කිරීම ය. 

පොදු සන්ධානය සමඟ හෙළ උරුමය එක්වීම සමඟ පොදු අපේක්ෂකගේ පාර්ශවයට ද ජාතිකත්ව ස්වරූපයක් ලැබිණි. විශේෂයෙන් චන්ද්‍රිකා, රාජිත, මංගල ආදී ආදී ෆෙඩරල්වාදී, ජාතික විරෝධි, රටේ ඒකීයත්වය පිළිනොගන්නා පිරිස්වල බලය හෙළ උරුමයේ ජාතිකත්ව ඒකීයත්ව බලය හමුවේ දියාරු වී යනු ඇතැයි අපේක්ෂා කළ අප හෙළ උරුමය කෙරෙහි විශ්වාසය තබා මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය වීමට තීරණය කළෙමි. එහෙත් නොබෝ දිනකින් ම හෙළ උරුමයේ ගම්මන්පිල ප්‍රමුඛ පළාත් සහ ප්‍රාදේශීය සභා නියෝජිතයින් 29 දෙනාගෙන් 22ක් නැවත ආණ්ඩුව සමඟ එක් විය. හෙළ උරුමය මෙවර ගත් දේශපාලන තීන්දුව සම්බන්ධයෙන් හෙළ උරුමය තුළ පවා මතවාදීමය එකඟතාවක් හෝ විශ්වාසයක් නොතිබුණු බව ඉන් පැහැදිලි වේ.

අනෙක් අතට ආණ්ඩුවේ සිටි බොහෝ දූෂිත අන්තවාදී කල්ලී සියල්ල පොදු අපේක්ෂක වටා රොක්විය. තමන් අධිකරණ ඇමතිව සිටිය දී නීති විද්‍යාල ප්‍රවේශ විභාගය හලාල්කරණය කළ හකීම් මෛත්‍රීට එක් විය. ඒ දිගු කලක් තිස්සේ ආණ්ඩු සමඟ කේවල් කළ මුස්ලිම් පරිපාලන ඒකකයක් සඳහා මහින්දගේ අනුමැතිය නො ලැබුණු නිසා ය. අනෙක් අතට මේ වසලයා 2005 මෙන් ම 2010 ද මහින්ද රාජපක්ෂට විරුද්ධව අපේක්ෂකයාට සහාය වූ බව ද යුද්ධය තීව්‍ර අවස්ථාවේ එනම් 2007 වසරේ තම ද්‍රෝහීත්වය මොනවාට ප්‍රදර්ශනය කරමින් නැවත විපක්ෂයට ගිය බව ද සිහිතබා ගත යුතු ය. ඒ පසුපස බැසිල් රාජපක්ෂගේ හුරතලා රිෂාඩ් බදූර්දීන් ද විපක්ෂයට ගියේ ය. තහීඩ් ජමාද් නමැත් අන්තවාදී මුස්ලිම් කල්ලිය නිර්මාණය කර මේ රටේ බෞද්ධ - මුස්ලිම් සමගිය විනාශ කළේ ද අධිකරණයට ගල් ගැසූ, රක්ෂිත වනය කපා මුස්ලිම් කොලනි නිර්මාණය කළ මේ බදූර්දීන් ය. දැන් මේ සන්ධානය තුළ අසාද් සාලි ද තහීඩ් ජමාද් ඇතුළු සියලු මුස්ලිම් අන්තවාදී කල්ලි ද කොටි සංවිධානයේ ප්‍රජාතන්ත්‍රවාදී කල්ලිය වන ද්‍රවිඩ සන්ධානය ද එකමුතු වී සිටී.

මර්වින් සිල්වා සිය සන්ධානයට නොගන්නා ලෙස ද තිස්ස අත්තනායක නැවත පැමිණියහොත් තමන් ඉවත් බව ද කීමට තරම් එඩිතර වූ අතුරලියේ රතන හිමි මේ මුස්ලිම් කල්ලිවලට විරුද්ධව කිසිවෙක් නො කීවේ ය. කොටි සංවිධානය විනාශ කිරීමෙන් පසු මේ රටේ සිදුවුණු සියලු අන්තවාදී ක්‍රියා පිටුපස සිටි මුස්ලිම් අන්තවාදී කල්ලි ය. ඒ අකටයුතුකම් ජඩකම් සමාජයට අනාවරණය කරමින් සමාජය තුළ විරෝධතාවක් ගොඩනැඟූ හෙළ උරුමය මේ අන්තවාදී කල්ලි කණ්ඩායම් ඉවසුවේ ඇයි දැයි මට අවබෝධ කරගත නො හැකි ය. අනෙක් අතට මොවුන් සමඟ යහ-පාලනයක්, මෛත්‍රී පාලනයක් ගොඩනඟන්නේ කෙසේ දැයි අවබෝධ කරගත නො හැකිය. දැන් සිදුවිය හැක්කේ මෛත්‍රී දිනුවහොත් එම ආණ්ඩුවේ ද ප්‍රභල ඇමති ධූර හිමි කරගෙන, දඬුවම් ලැබිය යුතු කල්ලි යෙහෙන් වැජඹීමය. ඒ අනුව අප අපේක්ෂා කළ කිසිවක් මේ හවුල ඔස්සේ ලබා ගත නොහැකි බව සක්සුදක් සේ පැහැදිලි ය. පාර්ලිමේන්තු ආසන දෙකක් සහිත පාඨලි ප්‍රමුඛ හෙළ උරුමයේ කේවල් කිරීමේ බලය බෙදුම්වාදී රාජිත සහ මංගලගේ බලයට කැපී ගිය විට ද්‍රවිඩ සන්ධානය සතු ආසන 14න් ද හකීම් සතු ආසන 8න් ද බදුර්දීන් සතු ආසන 2න් ද නැවත රට බෙදුම්වාදී දිශානතිය වෙත යොමු කළ හැකි ය. එසේ නම් විය හැක්කේ 2005 සිට අප ජාතිය දුක් විඳ ලබා ගත් ජයග්‍රහණ ද අහිමි වීම ය.

මෑත ලංකා ඉතිහාසයේ පහළ වූ අසාර්ථක ම නායිකාව වන චන්ද්‍රිකා කුමාරතුංග මැතිවරණයට පෙර උතුරට ගොස්, රාජපක්ෂ පාලනයට වඩා මෘදු මෛත්‍රී පාලනයක් තුළ සිය බෙදුම්වාදී අරමුණු කරා වේගයෙන් යෑමට හැකි පරිසරය නිර්මාණය කෙරෙන බවට ඉඟියක් ලබා දෙමින් මිස්ටර් ප්‍රභාකරන් යැයි කියා අළු යට ඇති බෙදුම්වාදී ගිනි පුපුරුවලට පිඹ අත්පොළසන් නාදයක් ද ලබා ගත්තා ය. බින් ලාඩන් ජීවත්ව සිටින කාලයේ ම ලොව භයානක ම ත්‍රස්තවාදියා බවට ඇමරිකාව ද නම් කළ ප්‍රභාකරන්ට, මේ රට තිස් වසරක් සිංහල දෙමළ ලෙයින් තෙත් කළ ප්‍රභාකරන්ට, ඔහුගේ මළ ගමින් පසුව ද මිස්ටර් යැයි අමතන චන්ද්‍රිකා කුමාරතුංග, තමන්ගේ ද ඇසක් උදුරා ගත් ප්‍රභාකරන් විනාශ කර රට එක්සේසත් කළ ජනාධිපතිවරයාට අමතන්නේ මහින්ද රාජපක්ෂ නමිනි. බෞද්ධ විරෝධී මංගල සමරවීර බෞද්ධකමක් ගෑවි නැති චන්ද්‍රිකාගේ මේ ක්‍රියාව ඈ සතු බෞද්ධ හැදියාවේ ලක්ෂණයක් ලෙස දකින අතර තමන් එසේ කීවේ සමච්චලයට යැයි චන්ද්‍රිකා විසින් පැහැදිලි කිරීම එම හැදියාවේ නිරුවත අප හමුවේ තබා තිබේ. අදටත් තමිල්නාඩුවේ සහ බටහිර රටවල මහින්දගේ අනුරුව තනා ඒවාට සෙරෙප්පුවලින් පහර දී, ගිනි තැබීම කරන බෙදුම්වාදීන් පිනවීමට ඈ දැන් සිට ම ක්‍රියාත්මක වන ආකාරයෙන් මෛත්‍රී පාලනය තුළ ඇගේ හැසිරීම අනුමාන කළ හැකි ය.

මේ නිසා මෛත්‍රීපාල සිරිසේන යහපත් මිනිසෙකු වුව ද පාඨලි චම්පික රණවක ජාතිකත්වය නියෝජනය කළ ද අපට දරාගත නොහැකි මහා මෙරක් තරම් බරක් අවධානමක් ඔවුන් බරට සිටින චන්ද්‍රිකා, රනිල්, මංගල, රාජිත, හකීම්, බදූර්දීන්, තහීද් ජමාද්, අසාද් සාලී, සම්බන්ධන් කල්ලියට හිමිය. මේ සියලු දෙනා සිංහල බෞද්ධ විරෝධීය. ජාතිකවාදයේ හතුරෝය. රටේ ඒකීයත්වය පිළි නොගන්නෝය. දේශපාලන විසඳුම් ගැන අදත් නන්දොඩවන්නෝ ය. මේ රෝග ලක්ෂණවලට එක්වූ හුදු මහින්ද රාජපක්ෂ විරෝධයෙන් ඔබ්බට ගිය දැක්මක් මොවුන්ට නොමැත. එහෙයින් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලනය තුළ අප අපේක්ෂා මුදුන් පත්වේ යැයි සිතීම ඉබ්බන්ගෙන් පිහාටු පැතීමට නො දෙවෙනි අමනකමකි.

එහෙයින් මේ සියලු කරුණු කාරණා පිළිබඳ සලකා බැලීමේ දී මහින්ද රාජපක්ෂ පාලනයේ සීමා පිළිබඳ විවේචන තිබුණ ද, ඒ සීමා අතික්‍රමණය කළ හැකි නායකයෙකු නිර්මාණය කර ගත යුතුව තිබුණ ද මේ මොහොත වන විට ඒ සඳහා පැවති සියලු කවුළු වැසී ඇති බව පැහැදිලි වෙයි. රටට අවශ්‍ය නායකත්වය බිහි කර ගන්නා තුරු දන්න යකා ආරක්ෂා කිරීමට සිදුවෙයි. එසේ නොවුණහොත් රට නැවත අගාධයට ඇද දැමිය හැකි දුර්වල පාලනයක්, ජාතිකත්වය වෙනුවට විජාතිකත්වය රජ විය හැකි පාලනයක්, සිංහලකම, සිංහල බෞද්ධකම අනාගමිකත්වයේ සළු පොටට මුවා වී යටපත් කළ හැකි පාලනයක්, මුස්ලිම් අන්තවාදය අදටත් වඩා නිදහසේ වැඩීමට ඉඩ සලසන පාලනයක්, මුළු මහත් ජාතිය සප්ත මහා සාගරය පරයන ලේ කඳක් හෙළා දිනා ගත් නිවහල් ඒකීය රට නැවත බෙදුම්වාදය කරා ඇද ගෙන පාලනයක් රට එක්සේසත් කර වසර 5ක් තුළ නැවත බිහිවීමේ මහා අවධානමක් අද රට හමුවේ පවති. මේ අවධානම පරාජය කළ හැක්කේ රටේ ඒකීයත්වය ගරු කරන අප දිනාගත් නිදහස අගයන අන්තවාදී නොවන සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ ආදී සියලු ජන කොටස්වල එකතුවෙනි.

මහින්ද රාජපක්ෂ සිය දෙවැනි ධූර කාලය තුළ 2/3 බලයක් සහිත පාර්ලිමේන්තුවක් තනාගත හැකි වුව ද ඔහු ඒ බලය භාවිත කළේ රටේ යහපතට නොවේ. ඒ සඳහා ජාතිකවාදී පක්ෂ එකමුතුව මීට වඩා බලපෑමක් කළ යුතුව තිබිණි. එහෙත් සිදුවූයේ සිය වාසිය සඳහා ව්‍යවස්ථාව වෙනස් කිරීම පමණි. කෙසේ වුව ද විවිධ වරදාන වරප්‍රසාද ලබා දී තබා ගත් සියලු අවස්ථාවාදීන්, අන්තවාදීන්, ඊළාම්වාදීන් මේ වන විට ආණ්ඩුවෙන් පිටතට ගොස් ඇත. ඒ පිරිස් නැවත සිය ආණ්ඩුවට නො ගන්නා බවට මහින්ද රාජපක්ෂ පවසා තිබේ. එය යහපත් ප්‍රවණතාවකි. අනෙක් අතට රටේ ඒකීයත්වය ආරක්ෂා කරන බවට මහින්ද රාජපක්ෂ සිය මැතිවරණ ප්‍රකාශනයේ පවසා තිබේ. එහෙයින් ආණ්ඩුවේ අට අනූවක් ව්‍යාදීන් අමතක කර මහින්ද රාජපක්ෂ තව දුරටත් ජනාධිපති ධූරයේ තබා ගැනීමට අප කටයුතු කළ යුතුව ඇත. ඒ ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් නොව මව්බිමේ ජයග්‍රහණය වෙනුවෙනි. දිනු නිදහසේ සුරක්ෂිතතාව වෙනුවෙනි. මාතෘ භූමියේ අනාගත ඒකීයත්වය වෙනුවෙනි.

මාගේ ආදරණීය මාතෘ භූමිය සදාකල් දිනේවා!!!

-නාමල් උඩලමත්ත
 

12/07/2014

ජනාධිපතිවරණ තීන්දුව හා ජාතික බලවේගයන්ගේ අනාගතය

කතෘ:යුතුකම     12/07/2014   3 comments
ඉදිරියේදී එළඹෙන ජනාධිපතිවරණය සමග අද වනවිට රට අතිශයින් සංකීර්ණ දේශපාලන අවස්ථාවකට මුහුණ දී තිබේ. පසුගිය කාලය පුරාම දේශපාලන කරළිය උනුසුම් වූයේ මේ ජනාධිපතිවරණය හමුවේ විවිධ පාර්ශවයන් විසින් ගනු ලබන තීන්දු තීරණ පිළිබඳ පුදුම සහගත පුවත් හා වහ වහා වෙනස් වන සුළු සිද්ධි මාලාවන් ඔස්සේය. විපක්ෂය තම අපූරු පොදු අපේක්ෂකයා තෝරාගත් ආකාරයම මේ අතරින් වඩා බලවත් නාට්‍යෝචිත අවස්තාවක් වෙයි. ඇත්තෙන්ම මෙවර ජනාධිපතිවරණය මීට පෙර පැවති ජනාධිපතිවරණවලට වඩා සංකීර්ණ එකක් වීමට බලපෑ හේතු රාශියක් තිබේ. මේ සටහනේ අරමුණ වනුයේ මෙවන් පසුබිමක් හමුවේ මෙරට ජාතික බලවේග මුහුණ පා ඇති අභියෝග කවරාකාර වේදැයි විමසා බැලීමය. එය සැලකිය හැක්කේ ජාතික බලවේග මේ මොහොතේ ගත යුතු තීරණය ගැන නිගමන දීමකට වඩා ඔවුන්ට පසුකර යාමට සිදුවී ඇති සංකීර්ණ දේශපාලන මොහොත හා එය ජාතික ව්‍යාපාරයේ අනාගතය කෙරේ බලපෑ හැකි ආකාරය පිළිබඳ කරුණු සලකා බැලීමක් ලෙසය.

2005 සහ 2015

2005 ජනාධිපතිවරණයේදී ජවිපෙද ඇතුළත් ජාතික බලවේගයන්ගේ සහයෝගය මහින්ද රාජපක්ෂ මහතාට හිමිවිය. ඒ සහයෝගය රටට ඉතා වැඩදායක එකක් බවට පත්වූයේ 2009 වනවිට කොටි ත‍්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කිරීමට රාජපක්ෂ ආණ්ඩුව සමත්වීම නිසාය. මීළඟට 2010 වනවිට හදිසියේ දේශපේ‍්‍රමී රෙදි පොරවා ගත්තවුන්ද ඇතුළුව සියලූ ජාතික බලවේග ජනාධිපතිවරයා සමග එක පෙලට සිට ගනු ලැබුවේ 2005ටත් වඩා වැඩි සුබවාදී බලාපොරොත්තු රාශියක්ද සහිතවය.ත‍්‍රස්තවාදය පිළිබඳ අතිශය තීරණාත්මක ප‍්‍රශ්නයෙන් පසු රටේ ඉදිරි ගමන යහපත් අතට වෙනස් කිරීමට රාජපක්ෂ ආණ්ඩුව සමත්වනු ඇතැයි එදා රටේ බලවත් විශ්වාසයක් පැවති අතර 2005 ටත් වඩා අතිශයින් ශක්තිමත් හා ආස්වාදනීය ජනවරමක් 2010දී මහින්ද රාජපක්ෂට හිමිවනුයේද ඒ අනුවය. මේ රටේ තීරණාත්මක වෙනසක් සඳහා නිදහසින් පසු මෙරට ජනනායකයකුට හිමිවූ හොඳම සහ වටිනාම අවස්තාව 2010 මෙකී ජනවරම බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. එසේ වුවද ඒ ජනවරමින් වසර හතරහමාරකට පසු අද අපට දක්නට ලැබෙන්නේ ඒ මහා අපේක්ෂා අතිශය ඛේදජනක ලෙස සුන්වී යමින් තිබෙන තත්ත්වයකි.

    මේ ආණ්ඩුව ජාතික බලවේගවල ආණ්ඩුවක් බව එහි සතුරු මිතුරු දෙපාර්ශවය විසින්ම හැඳින්වුවද උතුරේ යුද්ධය හැර අන් කිසිදු වැදගත් ප‍්‍රශ්නයක් සම්බන්ධව ආණ්ඩුව පුළුල් ජාතික දැක්මකින් තියා අවම මිනිස් සිහිබුද්ධියකින් හෝ කටයුතු කර නැත. උතුරේ ප‍්‍රශ්නයේදී පවා යුද්ධය අවසන් කළා විනා ඒ පසුපස තවමත් නොනිමී ඇවිලෙන ජාත්‍යන්තර දේශපාලන යුද්ධය හමුවේ ආණ්ඩුව පෙන්වන හැසිරීමද අතිශයින් ලාමකය. අද වනවිට නැගී එමින් පවතින මුස්ලිම් අන්තවාදයේ බියකරු තර්ජනය හමුවේද ඒ හැසිරීම එසේමය. උතුරා හැලෙන සංවර්ධන මෙහෙයුම් ගැන පුරසාරම් නිතර අසන්නට ලැබුණද රටේ ඉදිරි ගමන පිළිබඳ නිසි උපායමාර්ගික දැක්මක් ආණ්ඩුව සතුව නොමැති බවට ඒ සංවර්ධන මෙහෙයුම් තුළින්ම කදිම උදාහරණ සපයා ගත හැකිය. ආර්ථික අතින් පමණක් නොව අධ්‍යාත්මික අතින්ද අද රටේ ජනතාව ඇද වැටී ඇති දරිද්‍රතාවයේ තරම මනාව පැහැදිලි වන්නේ වේගයෙන් ඉහල යමින් තිබෙන අපරාධ, ප‍්‍රචණ්ඩත්වය, මත් උවදුර, ස්තී‍්‍ර  දූෂණ, ලමා අපචාර ආදිය ඔස්සේය. අද මේ සියල්ල සිදුවන්නේ දේශපේ‍්‍රමය පිළිබඳ විශාල ඝෝෂාවක් යටතේද වීම අතිශයින් ඛේදජනක තත්ත්වයකි. විජාතික සතුරන්ට එරෙහිව නඟන සෝබනකාරී ඝෝෂාවන් යටතේ ජාතික සතුරන් තොග ගනනේ බහුඛණ්ඩනය කෙරෙන රටක ජීවත් වීමට අද අපට සිදුවී තිබේ. අද මේ රටේ කෙරුම්කාරයන් වී ඇත්තේ බාල විජාතික විරෝධය තවරා ගත් ජාතික පාදඩයන් රංචුවකි. ඉතිහාසයේ කවරදාකවත් නැති අන්දමින් බලය අතිශය නිර්ලජ්ජිත ලෙස අවභාවිතයේ යොදවන, සෙල්ලම් පිස්තෝල ඔසවා ගත් මැරයන් අතින් මහ දවාලේ නීතිය  දූෂණයට ලක්වන, සංවේදී කලාකරුවන්ගේ සිට පහලම දේශපාලන හෙංචයියා දක්වා වූ සියලූ චෞරයන් මහජන දේපල වනසමින් අසීමිත ලෙස මුදල් හම්බකරන, ස්තී‍්‍ර  දූෂකයන්, කුඩු කාරයන්, මිනීමරුවන්, කැසිනෝ කාරයන්, රාජ්‍ය බලතල හොබවන, බාල සිල්ලර දේවලින් කෙලවරක් නැතිව සමාජ මනස හා රටේ අධ්‍යාත්මික හරය  දූෂණය කරන, මුළු රටම පාදඩයන්ගේ විගඩම්කාරයන්ගේ අවල කෙලි බිමක් බවට පත් කර ඇති මේ දහදුරා දේශපාලනය හමුවේ අද වඩාත්ම අනාතභාවයට පත්ව ඇත්තේ මේ ආණ්ඩුවට දේශපේ‍්‍රමීත්වය තැවරූ ජාතික බලවේග බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. අද ආණ්ඩුවෙන් ඉවත් වී සිටින හෙළ උරුමයේ ප‍්‍රවේශය අවංක එකක් වන්නේ නම් එම පක්ෂයට ඇති සාධාරණ ගැටලූවද මෙයම විය හැකිය. සාධාරණ විවේචනයක් සහිතව අසාධාරණ කඳවුරකට එක් වේ නම් එය හෙළ උරුමයේ දේශපාලන සිය දිවි නසා ගැනීම විය හැකිවුවද ඒ කාරණය මත ඔවුන් මතුකරන විවේචනය කිසිසේත්ම නිශේධනීය එකක් බවට පත් නොවේ.

ආණ්ඩු විරෝධී ව්‍යාපාරය

වත්මන් ආණ්ඩුවේ කෙතරම් වැරදි පැවතියද ආණ්ඩුව පෙරලා දමා බලයට ගෙන ආ හැකි අවම හෝ සාධනීය ව්‍යාපාරයක් තවමත් මේ රට තුළ නිර්මාණය වී නැත. ජාත්‍යන්තර බලවතුන්ගේද සහය ලබන ඝෝෂාකාරී ආණ්ඩු විරෝධී ව්‍යාපාරයක් කලක සිට මෙරට ක‍්‍රියාත්මකව තිබුණද ඒ ව්‍යාපාරය ප‍්‍රායෝගික ශක්තිය අතින් බංකොලොත් ව්‍යාපාරයක් වනවා පමණක් නොව රටට අහිතකර අභිලාෂයන් හා අරමුණු පෙරදැරි කරගත් ව්‍යාපාරයක්ද වන්නේය. ඔවුන් තම සටන සඳහා තෝරාගත් පොදු ඊනියා පොදු අපේක්ෂකයාගේ ස්වභාවයම මේ ව්‍යාපාරයේ බංකොලොත් ස්වභාවය ගැන ඉතා තාර්කික ප‍්‍රශ්න මතු කරන්නකි. මෛතී‍්‍රපාල යනු ශි‍්‍රලනිපයේ මහ ලේකම්වරයා ලෙස වත්මන් ආණ්ඩුවේ වැරදි පිළිබඳ වගකීමෙන් කෙසේවත් නිදහස් කළ නොහැකි පුද්ගලයෙකි. ආණ්ඩුවට එරෙහි විපක්ෂයේ සියලූ චෝදනාවලට මෛත‍්‍රීපාල මහතාද සෘජුව හා වක‍්‍රව වගඋත්තර කාරයෙකි. අද විපක්ෂයට තම යහපාලනයේ සටන සඳහා දූෂිත යැයි කියන රෙජීමයේම ඉහල පුටුවක් බිලී බා ගැනීමට සිදුවීම සරදම්කාරී දේශපාලන විහිළුවක් වන්නේ ඒ නිසාය. අඩුම තරමේ මෛතී‍්‍ර ආණ්ඩුවේ වැරදිවලට එරෙහිව බාහිර හෝ අභ්‍යන්තර අරගලයක නිරත වූ අයකු හෝ වේ නම් මේ ප‍්‍රවේශය යම් පමණකින්වත් සාධාරණ විය හැකි වුවද මෛත‍්‍රී යනු අවසාන මොහොත දක්වා ආණ්ඩුව සමග කටයුතු කොට හිටි අඩියේ කඳුලූ සලමින් යහපාලන සටනකට අවතීර්ණ වූ දේශපාලන කවටයෙකි. අව්‍යාජව පැන නැගිය යුතු සටනක් වෙනුවට යටි කූට්ටු දේශපාලන කුමන්ත‍්‍රණයක ස්වභාවය රැස් විදා ප‍්‍රකට කරන මෛතී‍්‍රගේ මෝඩ ප‍්‍රවේශයම ඔහුගේ නිසැක පරාජය තහවුරු කරවන එක් හේතුවකි.  අද රටට විශාල වෙනසක් අවශ්‍ය බව පැහැදිලි වුවද ඒ වෙනස කළ යුතු වන්නේ බලය උසුලන පිරිසට වඩා දශමයකින් හෝ සාධණීය ව්‍යාපාරයක් ඔස්සේ මෝඩ දේශපාලන සූදුකාරයන්ගෙන් සමන්විත වත්මන් ආණ්ඩු විරෝධී බලවේගය ඔස්සේ නොවේ.  රට ලබාගත් ඓතිහාසික ජයග‍්‍රහණ සමග පවා වෛරයකින් පසුවන ඒ ජයග‍්‍රහණ ආපසු හැරවීම සඳහා කි‍්‍රයාකළ හා කි‍්‍රයාත්මක වෙමින් සිටින මේ විෂම බලවේගය නැවත ඔසවා තැබීමෙන් රට මුහුණ පා සිටින අර්බුදය කිසිදු ආකාරයකින් නැවත පිළිසකර කළ හැකි නොවේ. යම් හෙයකින් මේ බලවේගය ජයග‍්‍රහණය කළහොත් රට මේ දක්වා ලැබූ ජයග‍්‍රහණ පවා නැවත පාවා දෙමින්, රටේ අද පවතින ස්ථාවරබව පවා බිදී විසිරෙමින් රට නැවත ඇද වැටෙනු ඇත්තේ බෙහෙවින් අරාජික හා අස්ථාවර අඩියකටය. අද චම්පික රණවක වැනි අය පවා මේ පිරිස සමග එක්වී ජාතික බලවේග සහිත යහපාලනයක් ගොඩනැගීම ගැන නන් දොඩවමින් සිටීම කනගාටුව දනවන විහිළුවකි. මහින්දගේ ආණ්ඩුව තුළවත් කළ නොහැකි වූ විප්ලවයක් කිරීමට රනිල්ගේ බලවේගය තුළින් හැකිවෙතැයි චම්පික විස්වාස කරන්නේ නම් හෙළ උරුමය තම ඉතිහාසයේ ගනු ලබන මෝඩම දේශපාලන තීරණය එය වන බව කිව මනා නොවේ.අද පොදු අපේක්ෂක ව්‍යාපාරයේ මාධ්‍ය ප‍්‍රකාශක ඇදුරන් ප‍්‍රසිද්ධියේම දෙසන නරිවාදම් වලට අනුව ඔවුන්ගේ ප‍්‍රධාන අභිලාෂය වන්නේ සිංහල බෞද්ධ ජාතිකත්වයෙන් තොරවූ ආණ්ඩුවක් තැනීමය. එවැනි දවල් සිහින දකින්නන් පරාජය කිරීම මර්වින් වර්ගයේ ඇමතිවරුන් පරාජය කිරීමටත් වඩා වැදගත් දේශපාලන අවශ්‍යතාවයකි.

අර්බුදයේ පසුබිම

මෙවර ජනාධිපතිවරණයේදී ජාතික බලවේග මහත් අසීරුතාවකට ඇද දමන මූලික පසුබිම සකස් වන්නේ ඉහත මතුවන කාරණා අනුව බව ඉතා පැහැදිලිය. දූෂිත ආණ්ඩුවක අත්තනෝමතිකකම් සහ දූෂිත ආණ්ඩු විරෝධී ව්‍යාපාරයක දුෂ්ඨ බලවේග අතර පැත්තක් නොගෙන බැරි තත්ත්වයක් මේ වනවිට උද්ගතව තිබේ. මේ ජනාධිපතිවරණය යනු කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් එක පැත්තක් තෝරාගැනීමට සිදුවන තරඟයකි. මේ දෙකෙන් එකක් තෝරාගනු විනා ඒ දෙකටම අයත් නොවන හා තමන්ගේ අභිමානයට කැලැලක් නොවන තරමේ වෙනත් විකල්ප තීරණයකට යාමේ හැකියාවක් මේ නිශ්චිත මොහොතේ ජාතික බලවේග සතුව නැත. තම මතවාදී පෞර්ෂය භාවිතා කරමින් රජුන් තැනීම විනා තමන්ගේම වූ ස්වාධීන ජනතා බලයක් ගොඩනංවා ගැනීමට එම ව්‍යාපාර අසමත් වී තිබීමද මේ තත්ත්වයට හේතුවකි. අද ජාතික බලවේගවලට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මහින්ද දිනවීමේ තීරණය ගැනීමට සිදුවන දේශපාලන සන්දර්භය මෙවැන්නක් බව පැහැදිලිය.අපට කී‍්‍රඩා කිරීමට සිදුවන්නේ පිටියේ පවත්නා තත්ත්වයන්ට අනුව මිස හිතින් මවා ගත් ලෝකයක පය තබාගනිමින් නොවේ.අද හෙළ උරුමය හැර අනෙක් සියලූ ජාතික හා බෞද්ධ සංවිධාන ඒ සන්දර්භය තුළ සාපේක්ෂව අඩු නපුර සහිත තීරණය වෙත එළැඹී ඇත්තේ ඒ අනුවය.

ජාතික බලවේග අද මුහුණ දී සිටින මේ උහතෝකෝටිකය දිගු දේශපාලන පසුබිමක්ද සහිත එකක් වෙයි. මෑත අතීතයේදී මෙරට ජාතික මතවාදයේ ලොකුම ද්‍රව්‍යමය බලවේගය වූ ජනතා විමුක්ති පෙරමුණ තම නිසි මාවතින් හා ආණ්ඩුවෙන්  බැහැරව නන්නත්තාර වූයේ ජනපතිගේ පළමු පදවි ප‍්‍රාප්තිය අවධියේදීමය. ඔවුන් විසින් මහපොළවේ තරයේ පිහිටවූ මතවාදයේ ශක්තියද සහිතව ඒ වෙනුවෙන් පෙනී සිටි ජාතිමාමක බුද්ධිමතුන්, ජානිපෙ, හෙළ උරුමය, වැනි පක්ෂ කණ්ඩායම් ආදිය ආණ්ඩුව හා අඛණ්ඩව රැු`දී සිටියද ආණ්ඩුවට තල්ලූවක් දීමට විනා, එහි සුක්කානම නිසි පරිදි හැසිරවීමට අවශ්‍ය පාර්ලිමේන්තු බලයක් හෝ  තීරණාත්මක බහුජන ශක්තියක් එම පාර්ශවයන් සතු නොවීය. එම ශක්තිය පැවතියේ ජාතික චින්තනයක් තියා අබැටක තරමේ සිහිබුද්ධියක් හෝ නොමැති මජර ශි‍්‍රලනිප දේශපාලඥයන් අතය. එහි ප‍්‍රතිපලය වූයේ දේශපේ‍්‍රමී සායමින් හැඩවූ  දූෂිතයන්ගේ දින දින තරවන අත්තනෝමතික බලය හමුවේ සියලූ ජාතික බලවේග නොසිතූ විරූ තරමේ අනාත නන්නත්තාර භාවයකට ඇද වැටීමය. මෙහිදී ජාතික බලවේගවලට ආණ්ඩුව වෙනස් කිරීමට නොහැකි වූවා පමණක් නොව ඒ සඳහා තීරණාත්මක බලපෑමක් ඔවුන්ගෙන් සිදුවූ බවක්ද පෙනෙන්නට නැත. ඔවුන්ගේ අවම බලපෑම් හෝ සැලකීමේ වුවමනාවක් ආණ්ඩුවටද නොතිබූ අතර පහුගිය කාලය පුරාම දක්නට ලැබුණේ විවේචනාත්මකව බලපෑම් කිරීමට වඩා ආණ්ඩුව ආරක්ෂා කිරීම සඳහා පමණක් කැපවූ ජාතික ව්‍යාපාරයක් බව ඉතා කනගාටුවෙන් වුවද සඳහන් කිරීමට සිදුව ඇත. අද පවා රටේ සියලූ ප‍්‍රශ්න අමතක කොට වත්මන් ආණ්ඩුවේ ඇතැයි කියන කෙහෙල්මල් ජාතිකත්වයක් ගැන නන් දොඩවමින්, තම බුද්ධිමය පෞර්ෂය විහින් නැති නාස්ති කරගන්නා මහඇදුරන් දකිනවිට ඇතිවන්නේ ජුගුප්සාජනක කලකිරීමකි. මෙය සියලූ ජාතිකවාදී චින්තකයන්, බුද්ධිමතුන්, දේශපාලන නායකයන් හා භික්ෂු සංවිධාන ආදී සියලූ දෙනා තමන් කෙරේම වූ බලවත් විවේචනයක් සහිතව ආපසු හැරී බැලිය යුතු තත්ත්වයක් බව කිවමනා නොවේ.

අද වනවිට අමරසේකර ලංකාවේ දෘෂ්ටිවාදී ජනාධිපති බවට ෆුල්බ‍්‍රයිට් පඬියන් අතින් සරදම් සහගත ප‍්‍රවාද ගොඩනැගෙන දේශපාලන සන්දර්භය මෙය බව අප විසින් අමතක කළ යුතු නැත. රටේ සැබෑ ජයග‍්‍රහණ සඳහා අතිශය තීරණාත්මක මැදිහත් වීම් සිදුකළ විමල් වීරවංශ වැනි අද්විතීය දේශපාලන පෞර්ෂයන් රජවාසල කවටයන් ලෙස නාමකරණය කෙරෙන හා ඔවුන්ගේ අනාගත භූමිකාවද විනාශ කරදමන  දේශපාලන සන්දර්භය මෙය බව අප විසින් අමතක කළ යුතු නැත. එහිදී විවේචකයන්ගේ අභිලාෂය කුමක් වුවත් තර්කානුකූල හා සාධාරණ ලෙස එම විවේචන මතු කළ හැකි තත්ත්වයක් මේ දේශපාලනය විසින්  ඕනෑවටත් වඩා හොඳින් නිර්මාණය කර තිබේ. ඉදිරි කාලය සඳහා මේ අර්බුදය පෙරටත් වඩා වලංගු විය හැකි බව ජාතික බලවේග තරයේ සිහි තබාගත යුතුය.

කාලීන අභියෝගයෙන් ඔබ්බට

ජාතික බලවේග සතු සැබෑ විකල්පය වනුයේ රජුන් තැනීම නොව රටට ගැලපෙන තමන්ගේම වූ දැක්මක් සහිත ජාතිකත්වය යනු කුමක්දැයි ගැඹූරින් වටහා ගත් දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කිරීමය. අතීතයේදී ජනතා විමුක්ති පෙරමුණ අඩමානයට හෝ මේ කාර්යය සඳහා මැදිහත් වුවද යළි කිසිදා ඔවුන්ගෙන් එවැනි මැදිහත් වීමක් අපේක්ෂා කළහැකි වන්නේ නැත. ඒ නිසාම කා අතින් හෝ එවන් ව්‍යාපාරයක් නිර්මාණය විය යුතු වන අතර එවැන්නකින් තොරව මේ රටට හෝ ජාතික බලවේගවලට යහපතක් සිදුවන්නේ නැත. රජුන් තැනීම පිළිබඳ කාලීන අභියෝග අමතක කළ නොහැකි වුවත් ජාතික බලවේග එවන් කාලීන අරමුණු තුළ පටුවෙමින් තමන්ගේ අනාගතය විනාස කරගත යුතු නැත.

පසුගිය වතාවේ මහින්ද දිනවීමෙන් ජාතික බලවේගවලට අත්වූ අපකීර්තියේ තරම ඔවුන් මනාව තක්සේරු කරගත යුතුය. ඉදිරියටත් අත්විය හැකි අපකීර්තියේ තරම හා නැවත වරක් වත්මන් ආණ්ඩුවට දේශපේ‍්‍රමය තැවරීමෙන් රටට සිදුවීමට නියමිත අන්තරායන් පිළිබඳවද ඔවුන් මීට වඩා බරපතල වගකීමකින් සිතා බලන තැනකට ආ යුතුය. රටේ අනාගතය වෙනුවෙන් තීරණාත්මක මැදිහත් වීම් කළ හැකි විමල් වැනි දේශපාලන නායකයින් හුදු රජුන් තැනීමේ සරල තැනකින් තම ඓතිහාසික භූමිකාව අවසාන කරගත යුතු නැත. ජාතික බලවේග වෙතින් ආණ්ඩුව කෙරේ බලවත් විවේචන එල්ල විය යුතුවා පමණක් නොව ඒ විවේචන ප‍්‍රායෝගිකව බලපෑම් සහගත ආවුද බවට පත්කර ගැනීමේ උපක‍්‍රම වෙතද ඔවුන්ගේ අවධානය යොමුවිය යුතුය. ජාතික බලවේග මේ මොහොතේ තමන් අභිමුව ඇති අභියෝගය මෙන්ම ඔවුන් මුහුණ පා සිටින අසීරුතාවය පිළිබඳවද පුළුල් සංවාදයක් ඇති කළ යුතුය. එවැනි ප‍්‍රවේශයකින් තොරව කොන්දේසි විරහිත සහයක් මහින්දට ලබාදේ නම් එය ජාතික බලවේග විසින් සියතින්ම තම පෞර්ෂය හා දේශපාලන අනාගතය විනාස කරගන්නා තීරණයක් බව අකමැත්තෙන් හෝ අවධාරණය කළ යුතුව ඇත.ජනාධිපතිවරණය පිළිබඳ කාලීන ප‍්‍රශ්නයේ සන්දර්භමය සීමාවෙන් ඔබ්බට ගොස් මේ ප‍්‍රශ්නය දෙස බලන අයකුට මේ ලිපියේ අවධාරණය වටහා ගැනීම අසීරු නොවේ යැයි සිතමි.

-ඉසුරු ප‍්‍රසංග  :මුරගල 
යුතුකම සංවාද කවය
www.yuthukama.com

HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions