අප මතු කරන දේශපාලන අදහස් තුළ, එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර බලවතුන්ගේ ආධිපත්‍යයට එරෙහි ස්ථාවරයක් නිබඳවම ප්‍රකාශ වෙයි. ඇතැමුන් මෙය දකින්නේ අප තුළ පවතින වාමාංශික නැඹුරුවක ප්‍රතිඵලයක් ලෙසයි. තවත් පිරිසක් සිතන්නේ මෙය අපගේ ජාතික ව්‍යාපාරයේ පූර්වගාමීන් තුළ පැවති යටත් විජිත විරෝධයේම දිගුවක් ලෙස අප වෙත පැමිණි එකක් කියායි.
එහෙත්
සැබෑ තත්ත්වය එය නොවේ. අප එක්සත් ජනපදය ඇතුළු බටහිර බලයට එරෙහිව මතවාදීමය
අභියෝගයක් ගොඩනැඟීමට උත්සාහ කරන්නේ, ඉන් ඔබ්බට ගිය පුළුල් ආර්ථික සහ
දේශපාලනික කරුණක් හේතුවෙනි. එනම්, එම බලවතුන් තමන්ගේ ස්වාර්ථය පමණක්
කේන්ද්‍ර කරගත් ආත්මාර්ථකාමී වැඩපිළිවෙළක් ඔස්සේ අදටත් මුළු ලෝකයම සූරාකමින් සිටින
බැවිනි. මේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන තාක් කල්, අප වැනි
රටවල ජාතික නිදහස සහ සමෘද්ධිය හුදු සිහිනයක්ම පමණක් වනු ඇත.
මෙහිදී
අප පැහැදිලිවම තේරුම් ගත යුතු තවත් කරුණක් තිබේ. අප මේ ගොඩනඟන මතවාදීමය අභියෝගය
එක්සත් ජනපදයේ සාමාන්‍ය ජනතාවට හෝ එම රාජ්‍යයට එරෙහි වන්නක් නොවේ. එය, එක්සත්
ජනපදය නමැති රාජ්‍යය තමන්ගේ "බළල් අතක්" බවට පත් කරගනිමින් ක්‍රියාත්මක
වන මහා පරිමාණ කුමන්ත්‍රණකාරී ආර්ථික වැඩපිළිවෙළකට එරෙහි වන්නක් පමණි.
මෙය ඉතා
දීර්ඝ කතාවකි. එබැවින් මම මෙය කොටස් කිහිපයකින් ලියා තබන්නට අදහස් කරමි. ඉන් පළමු
කොටසින් මා ඔබට පැහැදිලි කරන්නේ, ලෝකයේ සෙසු ජාතීන්ගේ නිදහස සහ සෞභාග්‍යය
කිසිසේත් මායිම් නොකරන තැනකට එක්සත් ජනපදයේ ආර්ථික සහ මිලිටරි යාන්ත්‍රණය ඇද
වැටීමට හේතු වන අයුරින් එහි නෛතික සහ දේශපාලන පදනම සකස් වූ ආකාරයයි.
“බහුජාතික සමාගම් සහ මුදල් බලය ඇමරිකානු
දේශපාලනය ගිලගත් හැටි”
එක්සත්
ජනපදයේ මහා පරිමාණ ධනවතුන්ට සහ සමාගම්වලට එරට දේශපාලනයට මෙන්ම ප්‍රතිපත්ති සැකසීමට
මැදිහත් වීමට ඇති හැකියාව, අනෙක් බොහෝ බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවලට වඩා ඉතාමත්
ඉහළය.
මෙය
අහම්බයෙන් සිදු වූවක් නොවේ. මෙය ඇමරිකානු දේශපාලන, නීතිමය සහ ආර්ථික පද්ධතිය ඇතුළතින්ම ක්‍රමිකව
නිර්මාණය කර ඇති තත්ත්වයකි.
1776 නිදහස් ප්‍රකාශනයේ සිටම විවිධ සංක්‍රමණ
රැලි ඔස්සේ යුරෝපයේ සිටි ධනවතුන් සහ උන්නතිකාමීන් නිදහස සොයා ඇමරිකානු භූමිය වෙත
ඇදී ආහ. යුරෝපයේ පැවති රාජාණ්ඩු කේන්ද්‍ර කරගත් සමාජ ක්‍රමය තුළ වරප්‍රසාද අහිමි
වූ, නමුත් ධනය ඉපයීමේ හැකියාව සහ දැඩි ආශාව තිබූ පිරිස් මේ අතර වූහ. එක්සත් ජනපද
භූමිය ඔවුන්ට කදිම කෙම්බිමක් විය.
අනෙක්
රටවල ධනවතුන් දේශපාලනයට බලපෑම් කරන්නේ නීති විරෝධී ලෙස "අල්ලස්" දීම
හරහා වුවත්, එක්සත් ජනපදය තුළ ව්‍යවස්ථාව සහ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවලින් මුදල් බලය
භාවිතා කර දේශපාලනය මෙහෙයවීම "ප්‍රකාශන නිදහසේ" කොටසක් ලෙස නීතිගත කර
තිබේ.
වර්තමානයේ
පවතින මෙම තත්ත්වය නිකම්ම අහසින් කඩා වැටුණු එකක් නොවේ. එහි මූලයන් සකස් වූයේ 1776 සිට 1914 දක්වා
වූ කාලය තුළ, ඇමරිකානු කාර්මික විප්ලවය සහ එරට අධිකරණ පද්ධතියේ හැසිරීම නිසයි. ඒ පිළිබඳ ප්‍රධාන
සන්ධිස්ථාන කිහිපයක් පහත විවරණය කොට ඇත.
•
ඇමරිකානු ව්‍යවස්ථාව සකස් කළ පියවරුන් වශයෙන් හැඳින්විය හැකි
ජේම්ස් මැඩිසන් ආදීන් ඔවුන්ගේ ප්‍රකාශනවල සඳහන් කළේ, බහුතර සාමාන්‍ය ජනතාව එකතු වී
ධනවතුන්ගේ "දේපළ අයිතිය" උදුරා ගැනීම වැළැක්වීම රජයේ වගකීමක් බවයි.
ඔවුන් ව්‍යවස්ථාවේ පළමු සංශෝධනයෙන් ඕනෑම කෙරෙකුට රජයට එරෙහිව පෙත්සම් ඉදිරිපත්
කිරීමේ අයිතිය තහවුරු කළ අතර, ව්‍යාපාරිකයන්ට රජයේ නීතිවලට බලපෑම්
කිරීමට ඇති මූලික නීතිමය අයිතිය විවෘත වූයේ මේ හරහායි.
•
1819 දී ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් Dartmouth College තීන්දුවෙන් ප්‍රකාශ වූයේ, සමාගමකට හෝ ආයතනයකට රජයෙන් ලැබෙන ව්‍යාපාරික
අවසරයක් යනු නීත්‍යානුකූල ගිවිසුමක් බවයි. එම ගිවිසුම් ඒකපාර්ශවීයව වෙනස් කිරීමට
රජයට නොහැකි බව මෙයින් තීන්දු විය. මෙය ව්‍යාපාරික සමාගම්වලට ආණ්ඩු වෙනස්වීම් මධ්‍යයේත්
ස්වාධීනව සහ බලවත්ව නැඟී සිටීමට ලැබුණු මුල්ම නීතිමය ආවරණය විය.
•
1830 – 1850 අතර කාලයේ ඇමරිකාවේ මහා පරිමාණයෙන් දුම්රිය මාර්ග සහ ඇළ
මාර්ග ඉදිවන විට, එම සමාගම්වලට රජයෙන් නොමිලේ ඉඩම් සහ සහන ලබා ගැනීමට අවශ්‍ය විය. ඔවුන්
වොෂින්ටන් නුවර දේශපාලනඥයන් හමුවීමට විශේෂ නියෝජිතයන් පත් කළහ. දේශපාලනඥයන්
නවාතැන් ගෙන සිටි හෝටල්වල සාලයේ (Lobby) රැඳී සිටිමින් ඔවුන්ට මත්පැන්, මුදල් සහ
තෑගි දෙමින් තමන්ට වාසිදායක ලෙස නීති සකස් කරවා ගැනීම ඇරඹිණි. "Lobbying" යන වචනය සහ ක්‍රියාවලිය ඇමරිකානු දේශපාලනයේ සාමාන්‍ය දෙයක් බවට පත් වූයේ මේ
කාලයේදීය.
•
1886 Santa Clara County නඩුව ඇමරිකානු ඉතිහාසයේ සිදු වූ
විශාලතම හැරවුම් ලක්ෂ්‍යයක් සේ සැළකේ. සිවිල් යුද්ධයෙන් පසු නිදහස් වූ අප්‍රිකානු-ඇමරිකානුවන්ට
සමාන අයිතිවාසිකම් දීම සඳහා ව්‍යවස්ථාවට 14 වන සංශෝධනය එකතු කර තිබුණි. එහි සඳහන්
වූයේ කිසිදු "පුද්ගලයෙකුගේ" අයිතිවාසිකම් රජයට උදුරා ගත නොහැකි බවයි. 1886 දී ශ්‍රේෂ්ඨාධිකරණය
විසින් Santa Clara
County නම් දුම්රිය සමාගමකට අදාළ නඩුවකදී, මෙම ව්‍යවස්ථාවේ
එන "පුද්ගලයා" කියන වචනයට ව්‍යාපාරික සමාගම් (Corporations) ද ඇතුළත් වන බවට අර්ථකථනයක් දුන්නේය. මෙයට "Corporate Personhood" (සමාගම්වල පුද්ගලභාවය) කියා කියනු ලබයි. මෙයින් සමාගම්වලට මිනිසෙකුට ඇති
සියලුම නීතිමය අයිතිවාසිකම් හිමි විය.
• 1896 එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී විලියම් මැකින්ලි වෙනුවෙන් ඡන්ද ව්‍යාපාරය මෙහෙයවූ මාක් හැනා නම් ධනවත් ව්‍යාපාරිකයා, ඇමරිකානු දේශපාලනය තුළ මුදල් බලය ක්‍රමවත් ජාවාරමක් බවට පත් කළ ප්‍රමුඛතමයෙකු ලෙස හැඳින්වේ. ඔහු වෝල් ස්ට්‍රීට් බැංකු සහ දැවැන්ත සමාගම් වෙත ගොස්, ඔවුන්ගේ ලාභයේ ප්‍රතිශතයක් ලෙස ඡන්ද ව්‍යාපාරයට මුදල් දෙන ලෙස දැන්වීය.
ඒ වෙනුවට ඔහු මැකින්ලි ලවා සමාගම්වලට හිතකර නීති පොරොන්දු විය. ඔහු පැවසූ ප්‍රසිද්ධ ප්‍රකාශයක් ඇත: "දේශපාලනයේදී වැදගත් වන කරුණු දෙකක් තිබේ. පළමුවැන්න මුදල් ය, දෙවැන්න කුමක්ද කියා මට මතක නැත."
•
කල් යත්ම දේශපාලනය තුළ සමාගම්වල මුදල් බලය අධික වීම ගැන එක්සත්
ජනපදයේ සාමාන්‍ය ජනතාව තුළ විරෝධයක් මතු වූ අතර, ජනාධිපති තියඩෝර් රූස්වෙල්ට් යටතේ 1907 දී
"ටිල්මන් පනත" සම්මත කරමින් සමාගම්වලට සෘජුවම මැතිවරණවලට මුදල් දීම
තහනම් කෙරුණි. නමුත් එහි විශාල හිඩැසක් තිබුණි.
සමාගමේ
අරමුදල්වලින් මුදල් දීම තහනම් වුවද, සමාගම් හිමිකාර ධනවතුන්ට තමන්ගේ
පුද්ගලික මුදල් ඕනෑ තරම් මැතිවරණවලට වියදම් කිරීමට ඉඩ ඉතිරි විය. මේ නිසා මුදල්
ගලා යාම නැවතුණේ නැත;
සිදු වූයේ ක්‍රමවේදය වෙනස් වීම පමණි.
1776 සිට 1914 පළමු ලෝක යුද්ධය ආරම්භ වන තෙක් කාලය තුළ, ඉහත මා විසින් පැහැදිලි කොට ඇති සමාජ සහ නෛතික තත්ත්වය යටතේ එක්සත් ජනපදයේ මහා පරිමාණ ආර්ථික බලවතුන්, එරට රාජ්‍ය තන්ත්‍රය සහ මිලිටරි බලය සිය ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් භාවිතා කළ අන්දම මීළඟ ලිපියෙන් විමසා බලම
පැතුම් ඒ. රණසිංහ
[යුතුකම සඟරාවේ 2026 මැයි කලාපයේ ලිපියකි]
යුතුකම ජාතික සංවිධානයwww.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama


0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .