11/19/2020

ආශ්චර්යය නොව චර්යාව පතන සංක්‍රාන්ති සමයයි මේ

කතෘ:යුතුකම     11/19/2020   No comments

සංක්‍රාන්ති සමයක් යනු එක් යුගයක් මිය ගොස් අලුත් යුගයක් බිහි වන්නට පෙර, ඒ යුග දෙක අතර කාලයයි. නක්ෂත්‍රකරුවන්ට අනුව සංක්‍රාන්ති සමය තුළ කිසිවකුත් නිසි අවබෝධයෙන් කටයුතු නොකරති. කෙසේ නමුත් සංක්‍රාන්ති සමය අලුත් යුගයක් බිහි කරවන්නට විලිරුදා විඳින කාලයකි. ශ්‍රී ලංකාවේ අප අද පසු කරමින් සිටින්නේ එවැනි සංක්‍රාන්ති සමයෙකි.

අලුතින් බිහිවන්නට යන, නොඑසේ නම් අලුතින් බිහිකරන්නට යත්න දරන යුගයේ හැඩය පිළිබඳ සාකච්ඡා කිරීමට පෙර, අර මිය ගිය යුගයේ හැඩය පිළිබඳ යම්කිසි අවබෝධයක් අප සතු විය යුතුය.

ඒ මිය ගිය යුගය ඇරඹෙන්නේ 1977 දී ආරම්භ කරන ලද විවෘත ආර්ථිකයත්, 1978 දී සම්මත කරන ලද දෙවන ජනරජ ව්‍යවස්ථාවත් සමගින් යැයි පැවසීම සාධාරණ යැයි සිතමි. ”ධර්මිෂ්ඨ සමාජය” නමැති සංකල්පයෙන් ලාංකීය ජනයාගේ උරුමයට ආමන්ත්‍රණය කර ඔවුන් සිය වසඟයට ගෙනයි ජේ. ආර්. ජයවර්ධන මහතා බලයට පත් වූයේ. නමුත් ඔහුගේ කාලය තුළ ඒ උරුමයම තර්ජනයට ලක් කෙරෙමින් මෙරට විශාල සංස්කෘතික සෝදාපාළුවකට ලක් වූ බව පොදුවේ පිළිගැනෙන කාරණයකි. තමා අතට සියලුම බලය කේන්ද්‍ර කරන්නට උත්සාහ කළ ඔහුගේ කාලය තුළ උතුරේ ත්‍රස්තවාදය දලු ලා වැඩුණි. දැඩි ඇමරිකන් ගැති ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජයවර්ධන පාලන කාලය තුළ ඉන්දියාව විසින් බලහත්කාරයෙන් අපගේ ව්‍යවස්ථාවට 13 වන ව්‍යවස්ථා සංශෝධනය එක්කරවා මෙරට පළාත් සභා පිහිටුවීය. 1989 දී ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා විට දකුණේ ජවිපෙ සන්නද්ධ අරගලය සහ උතුරේ එල් ටී ටී ත්‍රස්තවාදය නිසා රට එකම ගිනි ජාලාවක් බවට පත් වී තිබුණි.

අනෙක් අතට, ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ රණසිංහ ප්‍රේමදාස මහතාට ”දුප්පතාගෙ හිතවතා” ලෙස දේශපාලන ලෝකයේ ස්ථානගත වන්නට සිදු වීමෙන්ම පැහැදිලි වන කාරණය නම් 77දී ආරම්භ කළ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය, දුප්පතුන් වැඩි කරන්නට හේතු වී ඇති බව නොවේද? අනුප්‍රාප්තිකයා ආමන්ත්‍රණය කරන්නේ රට තුළ පවතින ප්‍රධානම ගැටලුවට බව අපගේ ඉතිහාසය සියුම්ව පිරික්සීමෙන් අවබෝධ කර ගැනීම එතරම් අපහසු නොවේ. ජවිපෙ දෙවන කැරැල්ල ඉතා අමානුෂික ලෙස මර්දනය කළ රණසිංහ ප්‍රේමදාස මහතා මෙරට දුප්පත් ජනතාවට නිවාස ඉදිකරමින්, නොමිලේ පාසල් නිල ඇඳුම් ලබාදෙමින්, පාසල් ළමුන්ට නොමිලේ දිවා ආහාර ලබාදෙමින් රජයේ මැදිහත්වීමෙන් සිදුකරන සුබසාධනය ඉහළ නංවන්නට කටයුතු කළ ද එතෙක් අප අනුගමනය කෙරෙමින් ආ විවෘත ආර්ථික වැඩපිළිවෙළ එලෙසම ඉදිරියට ගෙන යාමට ඔහුට සිදු විය.

1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය බලයට පැමිණෙන්නේ ඒ වන විට පැවති අමානුෂික විවෘත ආර්ථිකයට මානුෂීය මුහුණුවරක් ලබා දෙන බවට ප්‍රතිඥා දෙමිනි. නමුත් ඒ ප්‍රතිඥා බොල් කරමින් ඇයගේ පාලන කාලය තුළ රජය සතු සමාගම් බොහෝමයක් පෞද්ගලික අංශයට ඉවක් බවක් නැතිව විකුණා දැමුනේ ඒ බොහෝමයක් ගනුදෙනුවල දූෂිතභාවය පිළිබඳව ඇඟිල්ල ඇය වෙතට දිගුවන ලෙසිනි. උතුරේ ත්‍රස්තවාදය පිළිබඳව ඇය විසින් කටයුතු කළේ යුද්ධයෙන් මේ ප්‍රශ්නය විසඳිය නොහැකි බවත් ඒ සඳහා ස්ථිර විසඳුමක් ඇත්තේ සාම ක්‍රියාදාමයක් තුළ පමණක්ය යන බටහිරයන් විසින් තනා දෙන ලද ආකෘතියකට අනුකූලවය. ඒ කාලය තුළ සිදු වූ වැදගත්ම දේශපාලන පෙරළිය නම් ඇය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඇති කරන ලද මතවාදී වෙනසයි. චන්ද්‍රිකා මහත්මිය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මතවාදීව තවත් එක්සත් ජාතික පක්ෂයක් ම බවට පත් කෙරුණි. එනිසා, එකල රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් ජාතික පක්ෂය සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර නිල්-කොළ පාට පාට හැරුණු විට කිසිදු පැහැදිලි මතවාදි වෙනසක් සොයා ගැනීම උගහට විය. ඒ අඩුව පිරවීම සඳහා ජනතා විමුක්ති පෙරමුණට සහ ජාතික හෙළ උරුමයට ඉඩ ප්‍රස්ථාවක් විවර විය. චන්ද්‍රිකා පාලනයේ අවසන් කාලයේදී මෙරට තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇය අතර නොබෙල් සාම ත්‍යාගය දිනාගෙන බටහිරයන්ගේ ”හොඳ ළමයා” වීමේ තරගයකි. ඒ සඳහා රට දෙකඩවන ආකාරයේ පියවරයන් වෙත යාමට මේ දෙදෙනාම උත්සාහ කළෝය.

ඒ සාම ක්‍රියාදාමය තුළ මෙරට ජනයාගේ ආත්මාභිමානය පිරිහී තිබුණි. මහින්ද රාජපක්ෂ මහතා 2005 දී සිය ජනාධිපතිවරණ සටන මෙහයවූයේ ”ගෞරවාන්විත සාමයක්” රටට උදා කරන බවට ප්‍රතිඥා දෙමිනි. එය ඉතා විශිෂ්ට අන්දමින් ඉෂ්ට කර දශක තුනක් පුරා පැවති කුරිරු ත්‍රස්තවාදය මුලිනුපුටා දමා ලාංකීය ජනතාවට යළි අභිමානයක් ලබා දීමට එතුමා සමත් වූ බව අප කවුරුත් දන්නා කාරණයකි. ඔහු සිය දෙවන වාරය තුළ රට කළේ ”ආසියාවේ ආශ්චර්යය” යන තේමාව ඔස්සේය. අප විසින් පෙර අත්විඳ නොතිබූ අධිවේගී මාර්ග, නව වරායවල්, ගුවන්තොටුපොළවල් රජයේ මැදිහත් වීමෙන් ඉදි වූ අතර පෞද්ගලික අංශයේ මැදිහත් වීමෙන් කොළඹ නගරය පුරා අහස උසට ගොඩනැගිලි ඉදි විය. ඒක පුද්ගල ආදායම දෙගුණයකින් ඉහළ යන ලදී. මේ යෝධ සංවර්ධන ව්‍යාපෘති රටේ බහුතරයක් දුටුවේ ආලින්දයේ ඇති රූපවාහිනී තිරය මතිනි. මේ සංවර්ධන මොඩලය තුළ ජනතා සහභාගීත්වය අවම විය. ඔවුන් සහභාගී නොවී තමන්ගේ රට තුළ සිදුවන මේ සංවර්ධනය ඔවුනට ආශ්චර්යයක් වනවාට වඩා ඔවුන් තුළ ඒ පිළිබඳව සැක සංකා ඇති කිරීමට විපක්ෂයේ බලවේග සමත් විය. ඒ සඳහා ලබා ගන්නා ණය සහ ඒ මගින් සිදුවන දූෂිත ගනුදෙනු පිළිබඳ කතාන්දර ජනතාව විශ්වාස කළේය. ආශ්චර්යකට වඩා ජනතාව දේශපාලන නායකයන්ගෙන් බලාපොරොත්තු වූයේ යහපත් චර්යාවකි.

ඒ අඩුව පුරවන්නට ”යහපාලනය” අප රටට උදාකරන බවට ප්‍රතිඥා දෙමින් එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක්, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය, දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකාවේ සියලුම මුස්ලිම් පක්ෂ එකට එක්ව මෛත්‍රිපාල සිරිසේන මහතා මෙරට ජනාධිපතිවරයා බවට පත් කළේය. නමුත් මේ එකිනෙකට නොගැලපෙන එකතුව සකස් කෙරුණේ බලය ලබා ගැනීමට පමණක් බවත් ඒ සියලු දෙනා රාජ්‍යය දියකර හැරීමේ විජාතික මෙහෙයුමක කොටස්කරුවන්, සිරකරුවන් පමණක් බවත් මෙරට ජනතාවට තේරුම් යන්නට වැඩි කලක් ගත නොවීය. සුළු ජාතික පක්ෂ හැරුණු කොට ඒ නොගැලපෙන දීගයට එක්වූ සියලු පක්ෂවල අනන්‍යතාවන් අදහා ගත නොහැකි තරම් කෙටි කලක් තුළ එම කැඳ හැළිය තුළ දියවී ගියේය. එම අනන්‍යතා අර්බුදය තුළ ජාතික හෙළ උරුමය, ජනතා විමුක්ති පෙරමුණ වැනි කුඩා පක්ෂ පමණක් නොව, අර මියගිය යුගයේ ශ්‍රී ලංකාවේ ප්‍රධානම පක්ෂ දෙක වූ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකම කැඳ හැළියේ දියවී වාෂ්ප වී ගියේය.

මෙවර ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පවත්වන විටත් අර යුගය මිය ගොස් අවසන් වී තිබුණි. ඒ යුගයේ සියලු පක්ෂවලට ඒ යුගයේ දේශපාලනයේ නොසිටි චරිත ජනතාව ඉදිරියට ගෙන ඒමට බල කර තිබුණි. මේ රටට මීළඟට අවශ්‍ය කුමක්දැයි අන්දභූත සංක්‍රාන්ති සමයේ සිටින ජනතාව නොදැන සිටියත්, මීට පෙර යුගය නිමා කළ යුතු බව ඔවුන් විසින් තීරණය කර හමාර වී තිබුණි. මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ට ජයක් ලබා දෙමින් මෙරට ජනයා විසින් සිදු කළේ අර මිය යුගයට අයත් දේශපාලන ශානරයන් සියල්ල වළ දමා අලුත් ලෝකයක් උදා කිරීමට ප්‍රයත්න දැරීමයි. ඒ සඳහා පක්ෂ භේදයක් ඔවුනට නොවුණි. ජාතිභේදය වුව ඒ කාර්යය සඳහා සෑහෙන දුරට තුනී වී තිබුණි. දැන් මෙරට ජනතාව විසින් එක් යුගයක් සහමුලින්ම වළ දමා අවසන් කර ඇති බව නිවැරදිව තේරුම් ගැනීම රටේ නායකයන් ඇතුළු සියලු දෙනාගේ පරම වගකීම වන්නේය. එසේ නොකර ජනතාව විසින් වළ දමා අවසන් කළ පරණ මළ කුණ යළි ගොඩගැනීමට තැත් කළහොත් මේ විපරීත සංක්‍රාන්ති සමයේ මහත් විනාශයක් සිදුවීම වළකනු නොහැකිය. ජනතාව පතන ඒ අලුත් යුගය බිහි කිරීම සඳහා මීටත් වඩා හොඳ වටපිටාවක් ඇත්ද? අද වන විට ශ්‍රී ලංකාවේ පැවති සියලුම දේශපාලන පක්ෂ සුන්නද්ධූලි වී තිබේ. රජය රටට අලුත් ව්‍යවස්ථාවක් සකස් කරන බවට පොරොන්දුවක් ජනතාවට ලබා දී ඇති අතර විසි වන ව්‍යවස්ථා සංශෝධනය සිදු කරන විට යළිත් වරක් ජනාධිපතිවරයා විසින් ඒ ප්‍රතිඥාව ජනතාවට ලබා දුන්නේය. ජනතාව විසින් ඒ කටයුත්ත කිරීම සඳහා තුනෙන් දෙකක බලයක් රජයට ලබා දී තිබේ. පවතින ව්‍යවස්ථාවේ පවතින ගැටලු නිරාකරණය කරන්නට යාම තවත් ගැටලු රාශියකට මුලපුරණ බව විසිවන සංශෝධනය මගින් යළිත් වරක් අපට පසක් කර දී ඇත.

එසේම අර මිය ගිය යුගයේ අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තියට අනුව කටයුතු කිරීමෙන් දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් අසීරු ගමනක් ආ රුපියල බේරා ගැනීමට වත්මන් රජයට විශේෂ ක්‍රියා මාර්ග අනුගමනය කරන්නට සිදු වුණි. ඊට පසුව ආ කොරෝනා වසංගත තත්ත්වය යටතේ ලෝකය එකම ගම්මානයකැයි කී ගෝලීයකරණය මඳකට හෝ නවතා දමා ඒ ”එකම ගම්මානයේ” රටවල්, නගර සහ ගම්මාන ලොක්ඩවුන් කර තිබේ.

අද රෙදිවලට මැටිවලට ඇමැතිවරු පත්කිරීමෙන් නිෂ්පාදන ආර්ථිකයක් සඳහා ගම යොමු කිරීමට රජයේ ඇති උනන්දුව පෙන්වා තිබේ. ඒ නිසා 1977 න් ඇරඹි විවෘත ආර්ථිකයත් 1978 න් ඇරඹි වත්මන් ව්‍යවස්ථාවත් අයත් වන්නේ අර මිය යුගයට බව අද සැකයක් නැත. අලුත් යුගයක් බිහි කිරීමට විළිරුදා විඳින සංක්‍රාන්ති සමයෙකි මේ. මේ විපරීත සංක්‍රාන්ති සමයේ ජනතාව ආශ්චර්යයන් පතන්නේ නැත. නමුත් ජනතාව ඉතා දැඩි විමසිල්ලෙන් චර්යාව දෙස බලා සිටියි. යහපත් චර්යාවෙන් රාජ්‍ය විචාලමින් අලුත් යුගය බිහිකරන විපරීත සංක්‍රාන්ති සමය පසු කර ගැනීම සඳහා සියලු දෙනා යථාභූත ඥානයෙන් කටයුතු කළ යුතු තීරණාත්මක සමයෙකි මේ.

ලසන්ත වික්‍රමසිංහ

Aruna.lk [2020-11-17]

 

යුතුකම සංවාද කවය
www.yuthukama.com

Like us on facebook : https://www.facebook.com/yuthukama

8/18/2019

යුතුකම නැති කිරීමට ගොබ්බයකු යොදා ගැනීම

කතෘ:යුතුකම     8/18/2019   No comments

යුතුකම සංවිධානය මේ පරගැති ආණ්ඩුවට එරෙහි මතයක් සමාජගත කරන්නේ ආණ්ඩුව බිහිවීමටත් පෙරය. දින 100 ඇතුලත 'වෙනස සැපද?' සම්මන්ත්‍රණය කළේ යුතුකමය. කවුරුත් වහරන 'වෙනස සැපද?' පාඨය බිහි වන්නේ එලෙසිනි. එතැන් සිට ව්‍යවස්ථාව හරහා රට බෙදීම, රණ විරුවන් පාවාදීම, බැදුම්කර වංචාව වැනි තීරණාත්මක ගැටළු ඉතා වේලාසනින් සමාජගත කරමින් යුතුකම ඉටුකළ කාර්ය ගැන මනා අවබෝධයක් රනිල්ට ඇත. යුතුකම සංවාද කවය විසින් සිදුකළ 'ෆෙඩරල් සංහිඳියාව' සම්මන්ත්‍රණය  ආණ්ඩුවේ නාඩියටම වැදී තිබුණි. 'මහමැතිවරණයකින් මූලික අයිතිවාසිකම් කඩවන්නේ කාගේද?' කියා යුතුකම ඇලවු පෝස්ටරය මහින්ද අගමැතිතුමාගේ ඇස ගැටී, ඔහු එය පාර්ලිමේන්තුවේදී පෙන්වා, ඒ පැනයම රනිල්ගෙන් ඇසීය. මෑතකදී රනිල් ප්‍රජාතන්ත්‍රවාදය ලබා දෙන්න නව සන්ධානයක් ගොඩනගන්න සැරසෙන විට, "උදුරාගත් ප්‍රජාතන්ත්‍රවාදය ලබාදෙනු! වහා මැතිවරණ පවත්වනු!" යන පෝස්ටරය රනිල්ට කඩේ යන පිරිසට, රනිල් සමඟ සිට ගන්න වෙන්නේ හෙළුවෙන් බව මතක් කරදීම යුතුමක් සේ සළකා 'යුතුකම' විසින් කොළඹ නගරය පුරා අලවා දැම්මේය. එපමණක් නොව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත ලා නව පක්ෂයක් බිහි කළ යුතු බවට මතවාදය සකස් කරන්නට මූලිකත්වය ගත්තේද යුතුකමය. 

රනිල් කල්පනා කළේ යුතුකම නැති කිරීමටය. ඒ සඳහා කළ යුතු දේ ලෙස ඔහු සිතුවේ 'යුතුකම' ටත් 'යහපාලනය' ට කළ දේම කළ යුතු බවයි. ඒ සඳහා කදිම උපායක් ඔහු යෙදෙව්වේය. ආණ්ඩුවේ සල්ලි වලින්, එනම් මහජනතාවට අයත් මුදලින් 'යුතුකම' බැනර්, කටවුට්, වෙළඳ දැන්වීම් දමන්නට කෝටි ගණනක් වියදම් කළේය. යුතුකම නම එලෙස ප්‍රවර්ධනය කළ පසු ඔහු සිද්ධ කළේ යුතුකම බැනරයක් ඉදිරිපිට, ඔහු විසින්ම යුතුකම වෙනුවෙන් පෙනී සිටීමයි. ගොබ්බයකු 'යුතුකම' වෙනුවෙන් පෙනී සිටි පසු යුතුකම හෑල්ලූ වී යන බව ඔහු දනී. එය සැබවින්ම සත්‍යයකි. නමුත් රනිල් 'යහපාලය' ට කළ දේ 'යුතුකම'ට කරන්නට ඉඩ නොතබන බව මතක් කළ යුතුය.

ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

8/08/2019

ශ්‍රී ලංකාව ආසියාවේ කුණු කූඩය වන්නට පෙර..

කතෘ:යුතුකම     8/08/2019   No comments
අනුන්ගේ කුණු සහ අපේ වැඩ

-ලසන්ත වික්‍රමසිංහ-
සමස්ත ලෝක ගෝලයෙන් 20% ක ඉඩක් ඉන්දියන් සාගරය විසින් වසාගෙන සිටියි. සිය ඛනිජ තෙල් ආනයනයෙන් ජපානය 90% ක්, චීනය 75% ක්, ඉන්දියාව 85% ක් සිදු කරන්නේ ඉන්දියානු සාගරය හරහායි. අන්තර්ජාතික වෙළඳාමෙන් 30%කට පමණ පහසුකම් සපයන්නේ ඉන්දියානු සාගර කලාපයේ පිහිටි වරායවල් මඟිනි. ලෝකය පුරා ප්‍රවාහනය වන සමස්ත බහාලුම් ප්‍රමාණයෙන් අඩක් පමණ ඉන්දියානු සාගරය හරහා ගමන් කරයි. එවන් වාණිජමය වැදගත් කමක් ඇති ඉන්දියානු සාගරයේ උපායමාර්ගික වශයෙන් ඉතාම වැදගත් ස්ථානයකය අපේ රට අක්ෂාංශ-දේශාංශගත වී ඇත්තේ. ලෝක තෙල් ප්‍රවාහනයෙන් 25% ක්, එනම් වාර්ෂිකව ටොන් මිලියන 550ක් පමණ ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සාගර කලාපය හරහා ප්‍රවාහනය වේ.

එසේම, මේ සුවිශේෂී පිහිටීම නිසා ලෝක බලවතුන් අතර සිදුවන බල තරඟයේ පා පන්දුවක් බවට පත්වන්නට අපගේ මාතෘභූමියට සිදු වී ඇත. එම අතෝරයට අමතරව, පිහිටීම නිසා ම ශ්‍රී ලංකාවට නිරන්තරයෙන් මුහුණ දෙන්නට සිදුවන අභියෝගයන් කිහිපයක් ද පවතියි. ලෝක මත්ද්‍රව්‍ය වෙළඳාම සඳහා සංක්‍රමණික ස්ථානයක් ලෙස ලංකාව යොදාගැනීම, මිනිස් ජාවාරම සඳහා සංක්‍රමණික ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව යොදාගැනීම, නීති විරෝධී ලෙස මත්ස්‍ය සම්පත කොල්ලකෑමට ලක්වීම සහ මුහුදු කොල්ලකරුවන්ගේ බලපෑම වැනි අප නිතර අසා පුරුදු අභියෝගයන් ඒ අතර වේ. ඊට අමතරව "ජාත්‍යන්තර කුණු" අපගේ අලුත්ම අභියෝගයද යන ගැටලුව දැන් අප ඉදිරියේ මතුව තිබේ. 2018 වසරේ සිට චීනය අපද්‍රව්‍යය ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමත් සමඟ බොහෝ රටවල කුණු වලට යන එනමං නැති වී තිබේ. සේද මාවත දිගේ මත්ද්‍රව්‍ය පැමිණි ලෙස අනුන්ගේ කුණුත් අපේ රටට පැමිණීමේ අවදානම දැන් ඉහළය.

කොළඹ වරායේ අංගනවලින් කුණූ බහාලුම් මතුවූ පුවත වෙත කාගෙත් අවධානය යොමු වී තිබේ. එක්සත් රාජධානියේ ලියාපදිංචි වෙන්ගාඩ්ස් (Vengaads Ltd) නම් ආයතනය මගින් මෙම බහාලුම් මෙරටට ගෙන්වා ඇත්තේ සිලෝන් මෙටල් ප්‍රොසෙසිං පෞද්ගලික සමාගම නම් සමාගමක් මඟිනි. 2017 සැප්තැම්බර් සිට 2018 මාර්තු දක්වා කාලය අතර මෙවැනි බහාලුම් 241 ක් කොළඹ වරායට සේන්දු වී ඇත. ඒවා ආනයනය කර ඇත්තේ භාවිතා කළ මෙට්ට ලෙස සඳහන් කරමිනි. නමුත් මධ්‍යම පරිසර අධිකාරිය පවසා සිටියේ එම ඇතැම් මෙට්ට කවර තුළ සායනික සහ වෙනත් අපද්‍රව්‍ය පවතින බවයි. මෙලෙස ගෙන ආ බහාලුම් 241න් 130 ක් කොළඹ වරායෙන් හේලීස් ෆ්‍රී සෝන් නම් ආයතනය භාණ්ඩ ලබන්නා (consignee) ලෙස ආයෝජන මණ්ඩල නිෂ්කාෂණ යටතේ රැගෙන ගොස් ඇත. ඉතිරි බහාලුම් 111, කොළඹ වරායේ අංගන තුනක තවමත් රැදී ඇත.

කුණු ආනයනය පිළිබඳව කතිකාවක් මීට පෙර කරළියට එන්නේ සිංගප්පුරු ගිවිසුමට න්‍යෂ්ටික අපද්‍රව්‍යය, සායනික අපද්‍රව්‍යය, මළ අපද්‍රව්‍යය සහ නාගරික අපද්‍රව්‍යය වැනි විෂ අපද්‍රව්‍යය ශ්‍රී ලංකාවට බදු රහිතව ආනයනය කිරීම සඳහා වන ලයිස්තුවට ඇතුළත් කිරීම නිසායි. සිංගප්පූරු ගිවිසුමේ කුණු පිළිබඳව ප්‍රශ්න කරන විට රජයේ ප්‍රධාන උත්සාහය වූයේ ඒවා බොරු බව කීමය. පිටු දාහකට වැඩි ඉංග්‍රීසියෙන් පමණක් ඇති මේ ගිවිසුම සොයාගෙන කියවන්නට රටේ බහුතරයක් උනන්දු නොවන බව දන්නා ඔවුහූ එහි අන්තර්ගතයේ ඇති දේම, "නොමැති" බව කීමට නොපැකිළුනෝය. එසේම තවත් අවස්ථාවල සිංගප්පූරු ගිවිසුමේ කුණු අඩංගුව බව පිළිගෙන, ඊට පුදුමාකාර පිළිතුරු ලබා දුන්නෝය. ඔවුන් ලබා දුන් එක් පිළිතුරක් වූයේ අපද්‍රව්‍යය මෙම ගිවිසුමට ඇතුළත් වුවද ශ්‍රී ලංකාව අන්තර්ජාතික බාසල් සම්මුතියට අත්සන් කර ඇති නිසා එලෙස කුණු ලංකාවට ගෙන ආ නොහැකි බවය. තවත් වරෙක ඔවුන් පැවසුවේ සිංගප්පූරු ගිවිසුමේ කුණු තිබුණද, කුණු ගෙන ඒම වැළැක්වීම සඳහා රටේ අභ්‍යන්තර නීති ඇති නිසා, විශේෂයෙන්ම ඒ සඳහා මධ්‍යම පරිසරයේ අවසරය ලබාගත යුතු නිසා එවැන්නක් සිදු නොවනු ඇති බවකි.

දැන් සිංගප්පූරු ගිවිසුමේ සම්බන්ධයක් නැතිව හෝ එංගලතයේ කුණු මෙරටට ආනයනය කර තිබේ. එපමණක් නොවේ, ඒ කුණු ගෙන ඒම 2013 දී ප්‍රතිඅපනයනය සඳහා නිකුත්කළ ගැසට් පත්‍රිකාවකට අනුව බලය ලැබී ඇති බව රජයේ සහ රජයට සහය දෙන පක්ෂවල මන්ත්‍රීවරුන් පවසයි. රේගු නිලධාරීන්ද පැවසුවේ 2013 දී නිකුත් කළ එම ගැසට් පත්‍රය නිසා, රේගු ආඥා පනත ප්‍රතිඅපනයට බලනොපාන නිසා තමනට ඒවා පරීක්ෂා කළ නොහැකි බවයි. නමුත් පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ප්‍රතිඅපනයනය සඳහා නිකුත් කළ එම ගැසට් පත්‍රය උපුටා දක්වමින්, රේගු දෙපාර්තුමේන්තුවට මෙම බහාලුම් පරීක්ෂා කළ හැකි බව පෙන්වා දුන් අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද එම ගැසට් පත්‍රයේ අඩුපාඩුවක් නොමැති බව ප්‍රකාශ කළේය. අවසානයේ සිදු වී ඇත්තේ කිසිවෙකුගේත් වරදක් නොමැතිවම, සායනික අපද්‍රව්‍යය ඇතුළත් කුණු කන්ටේනර් 241ක් අපේ රටට ඇතුළු වීම පමණකි.

මේ සිද්ධියත් සමඟ අපට තවත් වැදගත් කරුණක් පෙනී යා යුතුය. එනම්, සිංගප්පුරු ගිවිසුමට ඇතුළත් කළ අපද්‍රව්‍ය මෙරටට නොපැමිණෙන බව ප්‍රකාශ කරන්නට රජය උපයෝගී කර ගත් රටේ අභ්‍යන්තර නීති පද්ධතිය සහ අන්තර්ජාතික බාසල් සම්මුතිය පිළිබඳව තර්කය එහෙම්පිටින්ම පුස්සක් වී ඇති බවයි. රට තුළ ඒ සඳහා පවතින නීති පද්ධතියේ මෙන්ම, පවතින නීති රෙගුලාසි හරියාකරව ක්‍රියාත්මක කිරීමේ සහ ඒවා නිලධාරීන් විසින් නිසි ආකාරව වටහා ගැනීමේ පවා ගැටළු ඇති බව දැන් පෙනී යයි. ඊටත් ඉහළින්, ඒ සියල්ල එලෙස පවත්වාගෙන යන දූෂිත අධම ක්‍රමයකුත් මේ රට තුළ ක්‍රියාත්මක නොවේද?

මේ කුණු ප්‍රශ්නය ගැන, මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැන අවබෝධයක් අපට මීට පෙර ලබාගත හැකිව තිබුණි. සත්‍ය වශයෙන්ම, ඒ සඳහා ගත යුතු ඇතැම් පියවර ගැන නිර්දේශයන් අප සතුය. ඒ සිංගප්පුරු ගිවිසුම පිළිබඳව සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් මහාචාර්ය ඩබ්ලිව්. ඩී ලක්ෂමන් මහතාගේ සභාපතිත්වයෙන් පත්කළ විශේෂඥ කමිටුවේ වාර්තාව තුළයි. සිංගප්පූරු ගිවිසුම අළලා කුණු සඳහා ඉදිරිපත් කළ ඒ නිර්දේශ කිහිපය අනුව ලංකාවට බලපාන මේ අනුන්ගේ කුණුවල නෛතික සහ ප්‍රායෝගික තත්වය ගැන යම් අවබෝධයක් ලබා ගත හැකිය. නමුත් මේ වාර්තා කිසිවෙකු හෝ කියවා බලනවාද නැතිනම් කෙළින්ම කුණු කූඩයට දමනවාදැයි අපි නොදනිමු.

ඉන්දියානු සාගරයේ සේද මාවතේ මැද ශ්‍රී ලංකාව ප්‍රතිඅපනයයන සඳහා ඉතාම උචිත ස්ථානයක පිහිටා ඇති බැවින්, එය පදනම් කරගෙන ශ්‍රී ලංකාව තුළට කාර්මික අපද්‍රව්‍යය, සායනනික අපද්‍රව්‍යය, න්‍යෂ්ටික අපද්‍රව්‍යය විශාල වශයෙන් රට තුළට ඇතුළත් වීමේ අවදානමක් ඇති බවට රට තුළ ප්‍රබල මතයක් පවතින බව එම වාර්තාව පෙන්වා දෙයි. සිංගප්පූරු ගිවිසුම මඟින් බදු රහිතව මෙරටට ආනයනය සඳහා සුදුසුකම් ලබන භාණ්ඩ ලයිස්තුවට මෙකී අපද්‍රව්‍යය ඇතුළත් කර ඇති බව පවසන එම විශේෂඥ කමිටු වාර්තාව, ඉන් කුමන ඒවා රට තුළට ගෙන ආ නොහැකිද යන්න පිළිබඳව ගිවිසුමේ කිසිදු සඳහනක් නොමැති බව පෙන්වා දෙයි.

1969, අංක 1 දරන ආනයන අපනයන පාලන පනත සහ 1985 සහ 1987 සංශෝධිත පනත් අනුව, බලයලත් අමාත්‍යවරයාට කිසියම් භාණ්ඩ වර්ගයක් ආනයනය හෝ අපනයනය හෝ තහනම් කිරීම සඳහා හෝ හඳුනාගත් භාණ්ඩ සඳහා ආනයනික බලපත්‍රයක් ලබා ගැනීමේ අවශ්‍යතාවය පැනවීම සඳහා හෝ රෙගිලාසි පැනවිය හැකිය. එවැනි ගැසට් පත්‍රයක් අවසාන වරට නිකුත් කර ඇත්තේ 2017 නොවැම්බර් 9 වනදායි. එම ගැසට් පත්‍රය අනුව, සිංගප්පුරු ගිවිසුමට ඇතුළත් කර ඇති අපද්‍රව්‍යය බහුතරයක් ආනයන බලපත්‍රයක් ලබා ගැනීමෙන් පසුව මෙරටට ගෙන්විය හැකිය. සිංගප්පූරු ගිවිසුමේ ඇතුළත් ඉතිරි අපද්‍රව්‍ය වර්ගවලින් සුළු ප්‍රමාණයක් මෙරටට ගෙන්වීම තහනම් කර ඇති අතර, අනෙක් අපද්‍රව්‍යය වර්ග ආනයන බලපත්‍රයක්වත් නොමැතිවම මෙරටට ගෙන්විය හැකිය. විශේෂඥ කමිටුව පෙන්වා දෙන්නේ සිංගප්පුරු ගිවිසුමට ඇතුළත් කර ඇති මළ අපද්‍රව්‍යය සහ සායනික අපද්‍රව්‍යය මෙරටට ආනයනය කිරීම තහනම්කොට තබා, ආනයනික බපත්‍රයක් ලබාගැනීමේ කොන්දේසියටවත් යටත් කොට නොමැති බවයි. එලෙස මෙරටට කුණු ආනයනයේ ඇති නෛතික තත්වය පෙන්වා දෙන විශේෂඥ කමිටුව සිංගප්පුරු ගිවිසුම මඟින් ඇති විය හැකි කුණු අවදානම අවම කිරීමට ගත හැකි පියවරයන්ද නිර්දේශ කර ඇත..

දැන් මේ එංගලන්තයෙන් කුණු ගෙන ආ සිද්ධිය සඳහාද කමිටු පත් කර පරීක්ෂණ පවත්වනු ඇත. ඊට පෙර, රජය විසින් කුණු ගොඩට දමා තිබෙන සිංගප්පූරු ගිවිසුමේ විශේෂඥ කමිටු වාර්තාවේ කුණු සම්බන්ධ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සළකා බැලීම වටින්නේ, ඒ මඟින් පොදුවේ අපද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමේ අවදානම අවම කර ගැනීමට නිර්දේශ යෝජනා කර ඇති බැවිනි. අවසාන වශයෙන් කිව යුත්තේ සිංගප්පූරු ගිවිසුමේ සාකච්ඡා සඳහා සහභාගී වු කණ්ඩායමට ද මේ කුණු ප්‍රශ්නය ගැන කිසිදු අවබෝධයක් නොවීය. නමුත් කිසියම් ජාවාරම් කාරයින් පිරිසක් මේ පිළිබඳව දැනුවත්ව සිටියාදැයි අපි නොදනිමු. රජයේ නාලිකාවක අදහස් දැක්වූ සිංගප්පුරු ගිවිසුම වෙනුවෙන් පෙනී සිටි රජයේ නිලධාරියෙකු වූ මංගල යාපා මහතා ප්‍රකාශ කළේ තමා සිංගප්පුරුවේ කුණු තියෙනවා දැකලවත් නැති බවත් ඒ නිසා එවැනි අනියත බියක් ඇති කිරීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත්ය. ඒ ආකාරයට සිංගප්පුරු ගිවිසුම සම්බන්ධ කටයුතු සිදු වූයේ ඉතාමත්ම වගකීම් විරහිතවය. විශේෂඥ කම්ටු වාර්තාවෙන්ද ඒ බව පැහැඳිලි වේ. එම වාර්තාවට අනුව එම ගිවිසුම මඟින්ට අත්වන වාසියක් ද නැත. එසේම, කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පවා නිසි පරිදි ලබාගෙන නොවේ සිංගප්පූරු ගිවිසුම අත්සන් කර ඇත්තේ.

සිංගප්පූරු වෙළඳ ගිවිසුම ඕනෑම මොහොතක අහෝසි කළ හැකි බව, එදවස එය සාධාරනීකරණය කරන්නට ආ සිංගප්පූරු ගිවිසුමේ සාකච්ඡා කණ්ඩායමේ නිලධාරීහූ පැවසුවෝය. එසේනම්, තවත් ගැටළු ඇතිවන තෙක් බලා නොඉඳ වාසි නැති, පාඩු වැඩි සිංගප්පූරු-ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම අහෝසි කිරීමට වහා පියවර ගැනීම බලධාරීන්ගේ වගකීමකි.

ලසන්ත වික්‍රමසිංහ
ලේකම්
තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය

[දිනපතා 'අරුණ' මංගල කලාපයේ පළකළ ලිපිය]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

5/04/2019

අධිවේගී මාර්ගය - කෙටි කතාව

කතෘ:යුතුකම     5/04/2019   No comments

1

කුස්සියෙන් එළියක් පෙනෙන නිසා අම්මා පාන්දරම අවදි වී ඉඳි ආප්ප තම්බන බව නුවන්ට වැටහුණි. නිදිගැට කඩාදමමින් කුස්සියට ගිය නුවන් කළයෙන් වතුර ස්වල්පයක් ගෙන කට සෝදා පිළිකන්නේ මිදුලට විසි කළේය. අම්මා ඉඳි ආප්ප  වංගෙඩිය තෙරපවමින් ඉදි ආප්ප වට්ටි මතට කවාකාර රැළි එකතු කරමින් උන්නාය. 

"කෝ දෙන්න ඕක. අම්මා සම්බෝල ටික හදන්නකො" 

"තව ටිකක් නිදා ගන්න පුතේ. මට පුලුවන් මේක කරලා දාන්න. ඉදි ආප්ප 700ක් එපා, 300ක් ඇති කියලා මුදලාලි කිව්වා. තව ටිකයි වක්කරන්න තියෙන්නේ" 

“දැන් මේ පාරෙ වැඩ කරන මිනිස්සු එන්නෙ නැති නිසා උදේට ඉදි ආප්ප යනවා අඩු ඇති" කියූ නුවන් පොල් ගෙඩියක් බිද පොල් ගෑමට පටන් ගත්තේය. 

ඉදි ආප්ප ඇසිරූ කූඩය අතට ගත් අම්මා කඩය දෙසට ලහි ලහියේ පිය මැන්නාය. ඈත ගස් අතරේ සිය මවගේ රුව සැඟව යන තෙක් නුවන් බලා සිටියේ ගෙදර උලු අස්සට තම සිරුරේ බර දෙමිනි. නුවන්ගෙ පියා පිළිකාවක් වැළදී මිය ගොස් දැනට වසර දහයක් ගත වී ඇත. මීට හමසකට පමණ පෙර උසස් පෙළ විභාගයට දෙවනවර පෙනී සිටීමෙන් ලත් ප්‍රතිඵල සමඟ වෛද්‍යයවරයෙකු වීම සඳහා වූ නුවන්ගේ පැතුම බිඳ වැටුණි. ඔහුට තිබුනේ සම්මාන සාමාර්ථ 3කි. දැන් ඔහු කරන්නෙ ඉරිදාට ‘සන්ඩේ ඔබ්සවර්’ පුවත් පත මිලට ගෙන එහි ඇති රැකියා අවස්ථාවන් සදහා ඉල්ලුම් පත් යැවීමයි. තෙවන වරට විභාගයට පෙනී සිටීම සදහා සිත නම්මවා ගැනීමට ඔහුට නොහැකිය. කාලයක් තිස්සේ එකතු කළ තම කැටය බිද ලබා ගත් මුදලින් සති පතා පත්තරයටත්, තැපැල් ගාස්තුත් සදහා වියදම් කිරීමෙන් තව ඉතිරිව ඇත්තේ රුපියල් සියයක පමණ මුදලකි. 

නුවන් ගෙදර උලුඅස්සට බර දෙමින්, ඊයේ විවෘත්ත කළ අධිවේගී මාර්ගය දෙස බලා සිටියේය. කොළඹ දෙසට වාහන කිහිපයක්ම වේගයෙන් ගමන් කළේය. වෛද්‍යවරයෙකු වී, අලුත් වාහනයකින්, මේ අලුතින් ඉදිකළ අධිවේගී මාර්ගය ඔස්සේ සිය නිවස බලා  ඒමට ආශාවක් නුවන්ගේ සිතේත් නොතිබුණා නොවේ. නමුත් දැන්  නුවන්ගේ අනාගතය අවිනිශ්චිතය.  වේගයෙන් ගමන් කරන වාහන දකින නුවන්ට තමා ගැන ඇතිවන්නේ කනස්සල්ලකි. 

නුවන් තම උදෑසන ආහාර වේලේ පිගානේ ඉතිරි කළ බත් ටිකටම තව බත් ටිකක් දමා හොදින් අනා ගෙන වයිටාට දමනු පිණිස පිළිකන්න දොරෙන් එළියට එත්ම නගුට වනමින් දිව ආ වයිටා නුවන්ගෙ කකුල් ලෙව කෑවේය. වයිටා බත් කන දෙස බලා සිටීම නුවන්ගේ පුරුද්දකි. බත් ටික ගිල දැමූ වයිටාගේ හිස අත ගෑ නුවන්, ඌ වත්ත පහළ වූ දිය කඩිත්ත වෙත ඇද ගෙන ගොස් නහවා දම්මේය. 

නමුත් එදා දහවල, නුවන් වයිටාගෙ පිගානට බත් දමා උගේ නම කියා අඩගෑ විට ඌ ආවේ නැත. කොහේ හෝ දඩාවතක ඇවිද හවස් වී ගෙදරට ගාටණු ඇතැයි නුවන්ට සිතුණි. කරන්නට දෙයක් නැති නිසා කම්මැළි කමේ උන් නුවන් ඇඳේ හාන්සි වූයේ තරමක බුදිමතක් ද දැනුණු නිසාවෙනි. 

2

අධි වේගී මාර්ගය දිගේ නුවන් පා පැදියක් පැදගෙන එයි. ඔහුගේ බෙල්ලේ වෙද නලාවක් ද තිබේ. ඔහුගේ ඉදිරියට ලස්සන කාරයක් පැමිණ නැවැත්විය. කාරයේ රියදුරු අසුනේ දොර හැරුණි. ඉන් බිමට බැස්සේ වෙන කෙනෙකු නොව මනීෂායි. 

මනීෂා නුවන්ගෙ පන්තියෙම ඉගෙන ගන්නා ලස්සන ගැහැණු ළමයෙකි. නුවන් ඈට ඇලුම් කළේය. නිහතමානි ගති පැවතුම් ඇති මනීෂාද නුවන්ට ඇලුම් කළා විය හැකිය. ඉතා පොහොසත් පවුලක එකියක් වන ඈට තමා ඇලුම් කළද ආලය කරන බව හෝ නොකරන බව හෝ නුවන් දැන සිටියේ නැත. 

වාහනයෙන් බැස ගත් මනීෂා සබකෝල, ප්‍රේමනීය සිනහවක් පාමින් නුවන් දෙසට ඇවිද ආවාය. නුවන් ඇයව පා පැදියට නන්වා ගෙන එය පදින්නන්ට විය. හමා එන සිසිල් සුළඟේ පා වෙන මනීෂාගෙ කෙස්, නුවන් ගෙ මුහුණේ වැදී සුවදායි හැඟුමක් ඔහු සිත තුළ පහළ කළේය. වේගයෙන් ඉදිරියට පැමිණි වාහනයක් පාර හරස් කර නතර කළේය. වාහනයෙන් බැස්සේ ටයි කෝට් ඇඳ සිටි මනීෂාගෙ පියාය. උත්තුංග දේහදාරී ඔහු නුවන් දෙස කෝපයෙන් රවා බලමින් සිටිද්දී ඔහු ගේ දෑස් ගිනි පුළිඟු මෙන් කෝපයෙන් රත් විය. නුවන්ට තමා කළේ බරපතල වරදක්ය යන හැඟීම ඇති වූයේ මහත් බියක්ද සමඟිනි. එක් වරම මනීෂාගෙ පියාගේ දෑසින් පිට වුණු ගිනි පුළිඟු කිහිපයක් නුවන්ගෙ දෙපා මතට වැටුණි. ඒ සමඟම සිය දෙපා දිය වී යන බව නුවන් දුටුවේය. අසරණ වූ නුවන් දෙපා අඩපණව බිම ඇද වැටුණි. 

ඔහුට කරකියා ගත යුතු කිසිවක් හිතා ගත නොහැකි විය. ඉෂ්ට දේවතාවකු පහළ වූ සේ තම අයියා එතැනට පැමිණියේය. නිළ ඇඳුමෙන් සැරසී සිටි අයියා දුටු වනම මහත් බියට පත් මනීෂාගෙ පියා බිය වී පළා ගියේය. බිම වැටී සිටින නුවන් දෙස අයියා කරුණාවෙන් බලා සිටියේය. නුවන්ද හිස ඔසවා අයියා දෙස බැලුවේය. අයියා පහත් වී නුවන් දෑතට ඔසවා ගත්තේය. දැන් ඔහු තම මල්ලීද දෑතින් ගෙන ගමන් කරන දසුන සිහියට නගන්නේ නන්දිකඩාල් කලපුවේ දෙමළ ආච්චි කෙනෙකු ඔසවා ගෙන ගමන් කළ රණ විරුවාගෙ ප්‍රකට පින්තූරයයි. අයියා නුවන්ව ඔසවාගෙන ගෙදරට ගියේය. අම්මා දිව ආවාය. අයියා අම්මාට නුවන් භාර දී නොපෙනී ගියේය.

 අම්මාගේ අතට යනවාත් සමඟම නුවන් කුඩා දරුවෙකු වී ඇත. අම්මා නුවන් තුරුලු කර ගෙන කිරි පොවන්නට විය. නුවන් අම්මාගෙ කිරි උරා බීවේ තම හිතේ පවතින දුකත් අසරණ කමත් තුරන් කර ගැනුමටය. ඇගේ උණුසුම තුළ නුවන්ට දැනෙන්නේ ආරක්ෂිත බවකි. තම සිතේ පවතින දුක නිසා නුවන් තව තවත් අම්මාට තුරුල් වෙමින් කිරි බොන්නට විය. නුවන් කිරි උරා බොත්ම අම්මා ටිකෙන් ටික වැහැරෙන බව නුවන්ට දැනුණි. දැන් නුවන් කිරි බීම නතර කළ යුතුය. නැතිනම් අම්මා දුර්වල වේ. නුවන් අම්මාගෙ තනය අත් හැරීමට උත්සාහ දැරූවද ඔහුට එය අත් හැර ගත නොහැක. ඔහුගෙ සිත තුළ පවතින දුකට ඇති එකම පිහිට අම්මාට තුරුලු වී කිරි උරා බීම පමණි. නුවන් දැඩි වෙරක් යොදා අම්මාගේ තනයෙන් ඉවත් වන්නට උත්සාහ දැරීය. නමුත් ඔහුට ඉන් මිදීමට නොහැකි විය. අම්මාගෙ හකු දැන් ඇතුළට එබෙමින් යයි. අම්මා වැහැරෙනු දකින නුවන් තව තවත් දුකටත් පීඩාවටත් පත් වේ. හිතේ තියෙන දුක නිසා ඔහුට අම්මාගෙන් ඉවත් විය නොහැකිය. ඔහු බොහෝ වේලාවක් මෙම පීඩාකාරී වෙහෙසකර උත්සාහයේ නිරත වී සිටියේය. 

නින්දෙන් ඇහැරුණු නුවන් සරමෙන් කොට කලිසමකට මාරුවිය. ඔහු ගුරු පාර දිගේ ඇවිද ගියේ අයියලාගේ නිවස දෙසට යන අටියෙනි. අයියලාගේ නිවසේ දැන් වෙසෙන්නේ අයියාගෙ බිරිද රුවිනි අක්කාත් ඇගෙ මවත් බිළිදු දරුවාත් පමණි. තමා දැන් මාස හතර පහකින් අයියලාගේ ගෙදරට ගොඩ වී නැති බව නුවන්ට පසක් විය. එය එසේ සිදු වූයේ ඇයි? තමාට නිකමටවත් එහි ගොස් ඒමට යුතුකමක් තිබුණා නොවේද? තමා අතින් එය මග හැරුනේ කුමක් නිසාදැයි නුවන් සිතන්නට විය. අධිවේගී මාර්ගය සඳහා එලන ලද විශාල පස් බැම්මට කළින් නම් විනාඩි පහක ගමනකින් එහි යා හැකිව තිබුණි. දැන් අධිවේගී පාරට සමාන්තරව ටික දුරක් ඇවිද ඒ හරහා ඉඳි කෙරුනු පාලමකින් පාරෙන් එහා පැත්තට ගොස් නැවත අධිවේගී මාර්ගයට සමාන්තරව වැටුණු පාරක් දිගේ මේ පැත්තට පැමිණිය යුතුය. ඒ සදහා පැය බාගයක් පමණ ගත වේ. නමුත්, ඒ නිසා තමා අතින් එය මගහැරුනා යයි සිතිය හැකිද? පැය බාගයක් නොව දින කීපයක ගමනක් වුවත්, අර අහිංසක කිරිසප්පයාගේ මූණ බලන්නට යෑම තම යුතුකම නොවේද? ඒ පොඩි එකාගේ මූණ බැලීමට ඇති ආත්ම ශක්තිය තමා අතින් දැන් ගිලිහී ගොස්ද? 

නිවසේ සාලයේ  තබා තිබුණු අයියාගේ මිනී පෙට්ටියේ රුව නුවන්ගේ සිතේ මැවී පෙනුණි. මිනී පෙට්ටිය වසා ගෙන සිටි සිංහ ධජයේ, සිංහයා අසිපත දරා සිටියේ මොන තරම් අභිමානයකින්ද? මඟුල් ගෙදරක දමන ලද සිංහ කොඩියක හෝ නිදහස් දින උත්සවයකදී දේශපාලකයකු අතින් එසවුණු සිංහ කොඩියක හෝ ඉන්නා සිංහයාට වඩා එදා තම අයියාගේ සීල් තබා තිබුණු මිනී පෙට්ටිය වසා ගෙන සිටි සිංහ කොඩියේ උන් සිංහයා කෙතරම් ගාම්භීරද? ඒ සිංහයා අයියාගෙ ඇතුළු හද තුළත් ජීවමානව සිටියා නේද? 

සාමාන්‍ය පෙළ සමත් වූ නුවන්ගෙ අයියා උසස් පෙළ පන්තියට ගියේ අවුරුද්දක් පමණි. ඉන් පසු ඔහු ඉස්ටෝරු කාමරයක වැඩට ගියේ සිය මලණුවන් තමාට වඩා ඉගෙනුමට දක්ෂ නිසා ඊට සහය දිය යුතු නිසායි ඇරත් තමා උසස් පෙළ සමත් වේ යයි විශ්වාසයක් නුවන්ගේ අයියා තුළ නොවීය. නුවන්ගේ අයියාගේ කුඩා වැටුප, ගෙදර බර තනියම ඉසිලූ අම්මාට අස්වැසිල්ලක් විය.

වෘත්තී‍ය සමිති ක්‍රියාකාරිකයෙකු වූ සරත් අයියා හත් දොහේ දානේ දවසේ නුවන් සමඟ පැවසූ දේ නුවන්ට සිහි විය.

"මල්ලි දුප්පත්කම නිසයි අපට මෙහෙම වෙන්නේ. අපි නි‍යෝජනය කරන්නේ පීඩිත පන්තිය. හැම කරදරයක්ම වෙන්නේ අපට. රට වෙනුවෙන් කියලා උන් යුද්දෙට අපේ උන්ව යවනවා මිසක් උන් යවනවද උන්ගේ දරුවන්ව යුද්දෙට?"

"උන් හිතන් ඉන්නේ අපේ අයියා හමුදාවට ගියේ දුප්පත්කම හින්දා කියලා. ඒක තනිකර බොරුවක්. එහෙනම් ඉතින් දුප්පත් හැම එකාම යුද්දෙට යන්න එපායැ." නුවන්ට සිතුණි.

සටන් විරාමය පැවති කාලයෙ තමාට ලැබුන සොච්චම් වැටුපත් රැගෙන ගෙදර ආ තම අයියා කී දෙයක් ද නුවන්ට සිහි විය. 

"මට හිතෙනවා හමුදාවට යන්න. ඒත් ඉතින් දැන් හමුදාවට ගියොත් වෙන්නේ කොටි ඇවිල්ලා පුක පෙන්නලා යනවා බලාගෙන ඉන්නයි. තුවක්කු බටේ පුකේ ගහගෙන ඉන්නවට වඩා දෙයක් කොරන්න වෙන්නෙ නෑ." 

එසේ කිවු අයියා හමුදාවට බැඳුණේ ඊළඟ මහ මැතිවරණයෙන් බුලත් කොළය ජය ගැනීමෙන් මාස කීපයකට පසුවය. අයියා හමුදවට බැඳුණේ යුද්ධ කරලා පඩි ගන්න මිසක් කොටි පුක පෙන්නලා යනවා බලන් ඉඳලා පඩි ගන්න නෙමෙයි. යුද්දෙ පටන් ගත්ත කාලෙ, අපේ ලොකු මාමා අඳුරන ලොක්කෙකුට කියලා අයියව ප්‍රභූ ආරක්ෂක එකට දාලා දෙන්න හැදුවහම අයියා කියූ කතාව නුවන්ට අද වගේ මතකය. 

"කොළඹට ඔය වෙලා එක එකාට සැලුට් ගහනවාට වඩා හොඳයි යුද්දෙදි කොටින්ගෙන් වැඩිකාලා මැරෙණ එක." 

එක අතකට අයියගෙ පණ්ඩිතකම. එහෙම දෙයකට කැමති උනා නම් අද අර අසරණ ගෑනියි දරුවයි මේ ලෝකේ තනි වෙන්නෙ නෑනෙ. බාග වෙලාව්ට මේ යෝජනාව ලොකු මාමා ලව්වා, රුවිනි අක්කගෙ බඩට දරුවා ආවට පස්සේ ආයෙමත් කළා නම්...එහෙම උනා නම් මිනිහා කැමති වෙයිද? දෙයියෝ තමා දන්නේ. මට හොඳට මතකයි අක්කට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා අයියා දැනගත්ත වෙලාව. වෙන මිනිහෙක් නම් කොච්චර සතුටු වෙනවද? මෙයා එක පාරටම පිළිකන්නට ගිහින් බිම බලා ගෙන බුම්මගෙන හිටියා වචනයක්වත් නොදොඩා. අයියා ඒ දවස් වල කිව්වෙ "ආණ්ඩුව සුද්දෝ ඉස්සරහ දෙකට නැවෙන්නෙ නැතිව දිගටම යුද්දෙ කෙරෙව්වොත් දැන් කොල්ලන්ගෙ තියෙන මොරාල් එකේ හැටියට තව අවුරුද්දක් ඇතුළත මේකේ ඉවරයක් දකීවි" කියලා. සමහර විට බිම බලා ගෙන හිතන්න ඇත්තේ ඇයි මේ දරුවට තව අවුරුද්දක් ඉවසන්න බැරි උනේ කියල වෙන්න ඕනා. යුද්දෙ ඉවර වෙනකොට එයා ඉඳියිද නොඉඳියිද කියලා අවිශ්වාසයක් අයියාට තියෙන්න ඇති. දරුවෙක් අක්කගේ බඩට ආවයි කිව්වහම අයියා බය වෙන්න ඇති. දෙයියනේ ඒක මොන වගෙ බයක් වෙන්න ඇතිද? 

අපේ කරුමෙට අපිට මතක් උනෙ නෑනෙ ඔය වෙලාවේ ලොකු මාමා ලව්වා අර යෝජනාව ආයිමත් සැරයක් කරවලා බලන්න.

දැන් අයියගේ පොඩි එකාට වයස අවුරුදු දෙකකට වැඩියි. අයියා නැති වෙනකොට ඒ කිරි සප්පයාට යාන්තම් මාසයක් වුනා විතරයි. දෙයියනේ, පොඩි එකා අඬන කොට පොඩි එකාව තුරුලු කර ගෙන මළ ගෙදරදි රුවිනි අක්කා අඬපු හැටි මතක් වන කොට මගේ පපුව වාවන්නේ නෑ. ඒක දැකපු හැමෝගෙම ඇස් වල කඳුළු පිරුණා. රුවිනි අක්කාත් පුදුම දෛවයක් තමා ලබලා තියෙන්නේ. අර කාමරයට වෙලා අඬ අඬ පොඩි එකාට කිරි දීපු හැටි! 

අයියා නැති උනාම මම අධිෂ්ඨාන කර ගත්තේ කොහොම හරි දොස්තර කෙනෙක් වෙලා පොඩි එකාගෙ අනාගතය ගැන සම්පූර්ණ වගකීම ගන්න ඕනා කියලා නේද? දැන් මම කොහොමද ඕවා කරන්නේ. මට තාම පොඩි රස්සාවක්වත් හොයාගන්න බැරි උනා. මොන කරුමයකටද මන්දා විභාගයට මාස දෙකකට කළින් ඉඳන් අර කෙහෙල් මල් ඔලුවෙ කැක්කුමක් හැදෙන්න ගත්තේ. කොච්චර බෙහෙත් බිව්වත් හොඳ වුන එකක්යැ. විභාගෙ ඉවර වෙනවත් එක්කම ඒ කෙහෙල් මලත් හොඳ වෙලා ගියා. ඊට වඩා හොඳයි ඔළුගෙඩිය පුපුරලා මාත් මළා නම්. 

රුවිනි අක්කාට තියෙන්නෙ දැන් ඉතින් හොඳ මිනිහෙක්ව බඳින්න. ඒත් ඉතින් දරුවට ආදරය කරන එහෙම මිනිහෙක් කොහෙන් හොයන්නද? රුවිනි අක්කාගෙත් එහෙම අදහසක් තියෙන පාටක් නෑ. එයාගෙ ජීවිතය එකම සති පූජාවක් වගේ. මට මේ අහිංසකයො වෙනුවෙන් මොනවත් කරන්න බැරි හැටි. 


මේ සිතුවිලි වල අතරමන්ව ඇවිද ගිය නුවන් මේ වන විට අධිවේගී මාර්ගය හරහා වැටී තිබුණ පාලමද පසු කරමින් සිටියේය. 

උදේ නෑවුවට පස්සෙ වයිටව දැක්කෙත් නෑ. ඌ මේ කාලෙට සාමාන්‍යයෙන් පැය ගණන් අන්තරස්දාන වෙන්නෙ නෑ. කොහේ ගියත් කෑම කන්න ගෙදර එනවා වෙලාවට. මේ අධිවේගී පාරටවත් රිංගලා එළියට යා ගන්න බැරුව වත් ඉන්නවාද යැයි සිතූ නුවන් අධිවේගී මාර්ගය දිගේ හොඳින් බැලුවේය. ආසළ වූ කුඩා කඳු ගැටයට නැග තවත් හොඳින් පාර දිගේ විපරම් කළ යුතු යැයි නුවන් සිතීය. 

වැටියේ සම බිමක වැතිරුණු නුවන් අලුත් පාරේ යන වාහන දෙස බලා සිටියේය. පාර දිගේ තලගොයකු බඩ ගා යන්නේය. වේගයෙන් පැමිණි මෝටර් රථයක් ඌ යට කර ගෙන ගියේය. තලගොයා නගුට වේගයෙන් වනා අහස දෙසට හරවා ගත් මුහුණින් යුතුව අවසන් හුස්ම හෙළීය. "ආශ්චර්ය!" නුවන්ගේ තොල් අතරින් මිමුනුනේ ඔහුටත් නොදැනීමය. මියගිය තලගොයාගේ දේහය දෙස නුවන් සානුකම්පිතව බලා සිටියේය. ඉන් පසු පැමිණි වාහන කීපයකටම තලගොයාගේ සිරුර යට විය. උගේ සිරුරෙන් රතු පැහැ කැබලි එළියට පැන ඇත. නුවන්ගේ සිතුවිලි පෙළ ගැසුනි. 

තොපි ඔය ටිකම තමයි අපේ වයිටාටත් කරන්න ඇත්තේ. ආයෙ දෙකක් නෑ. තොපි මගේ බල්ලවත් මරාගෙන යන්න ඇති ආශ්චර්යයේ මාවත දිගේ. මේක දිගේ යන්න ඇත්නම් තලගොයි, බල්ලෝ මරණ එක තොපිට කජ්ජක්ද? මේ අහිංසකයො මරාගෙන කොහෙද බොල තොපි ඔය අධිවේගයෙන් ඉගිලෙන්නේ?. තොපේ යස ඉසුරු තව වැඩිවෙන්න කියලා කතරගම දෙවියන්ට බාර වෙන්නද? තොපේ දෑස් දැන් ආශ්චර්යෙන් නිලන්කාර වෙලා, ගහ කොළ සතා සීපාවා ගැන කොහෙද වගක්. මොකක්ද යකෝ ඔය වේගය? තොපිට දැන් යන්න ඕනාවෙලා තියෙන වේගේ හැටියට පාර මැද්දට එන ඕන එකෙක් යට කරන් යාවි. අම්මා අප්පා උනත් ආයෙ බලන එකක් නෑ. 



දැන් නුවන්ගේ සිතිවිලි වචනයට පෙරලා, කටින් පිට වේ. 

අපේ අයියා යුද්දෙට ගියේ ඇයි කියලා තොපිට වගක් තියෙනවද? ඒ තියා තොපි දන්නවද ඇයි ගැමුණු කුමාරයා යුද්ද කළේ කියලා. තොපිට කොහෙද ඒවයේ වගක්. කෝ උඹලගෙ මනුස්සකම? කෝ උඹලගේ වසර දෙදහස් පන්සීයක් පැරණි ශ්‍රේෂ්ඨ සංස්කෘතිය? අපේ අයියා මළේ අන්න ඒක රැකගන්න ඕන නිසා මිසක් උඹලට ආතල් ගන්න ඉඩ හදලා දෙන්න නෙමෙයි කියන එක මතක තියා ගනිල්ලා. තොපිට ආතල් දෙන්න නම් අර පොඩි එකාට තාත්තා කෙනෙක් නැති කරන්න ඕනද යකෝ? තොපි දැන් හිතන් ඉන්නේ කාලා තෙල වැඩි වෙච්ච උන්ගෙ තෙල බස්සන්න ‘ජොගින්’ කරන්න තැන් හදල දෙන එක තමයි කියලා මේ රටේ විසදන්න තියෙන ලොකුම ප්‍රශ්නේ. තව පුලුවන්නම් ඇරගනිල්ලා පෞද්ගලික විශ්ව විද්‍යාලත්. එතකොට අපි ගාව තියෙනවනේ ඒවට දෙන්න සල්ලි. අපේ අයියට තිබ්බා මට උගන්න ගන්න උවමනාවක්. 

මේ විකාර කියවන අතර නුවන්ගෙ දෑසින් කඳුලුද කඩා හැලුනි. 

තොපි දන්නේ එයාර් පෝර්ට් එකට වෙලා හැංගිලා ඉදලා ලංකාවට එන සුද්දෝ ගැනලා, ලක්ෂයායි දෙකායි කියලා උන්ට මල් මාලා දාන්න විතරයි. ඕක තමා උඹලගෙ ක්‍රමය. දාපල්ලා පිටරැටියන්ට මල් මාලා. අපිට දාලා දීපල්ලා පෞද්ගලික විශ්ව විද්‍යාල ගෙවලා යන්න. උඹලා ආතල් ගනිල්ලා. ජොගින් කරලා තෙල් බස්සා ගනිල්ලා. පිටරැටියන්ම ඇවිල්ල මෙහේ ආශ්චර්යක් හදලා දෙනකල් උන්ටම ආවඩපල්ලා. උඹලා මුහුදට දත නියවපල්ලා. අපි පනින්නම් මුහුදට. ඕකටද යකෝ අපේ අයියා මළේ. අර පොඩි එකා මේ ලෝකේ තනි වුනේ. හිටපියව් මම දෙන්නම් තොපිට වැඩක්!

නුවන් මෙවැනි බහුබූත හෑළි කියවමින් මරු විකල්ලෙන් මෙන් පාරේ එන එන වාහනවලට ගල් කැට වලින් ගසන්නට විය. කුමක්දෝ අහේතුවකට එවේලේ බොහෝ වාහනද පැමිණියහ. ඇතැම් වාහන වලට ගල් වැදුනි. ඇතැම්වාට නොවැදිණි. 

දර කඩමින් සිටි අම්මා නුවන් කඳු ගැටය දිගේ උඩට නගිනවා ඇස ගැටී තිබිණ. පසු ගිය දින කිහිපය පුරාම වැඩි කතා බහක් නැතිව සිටි නුවන්ගේ හැසිරීම ගැන ඈ තුළ යම් කුකුසක් ද වැඩෙමින් පැවතිණ. නුවන් මේ කඳු ගැටය දිගේ බඩ ගාන්නේ කිනම් කාරණයකටදැයි සිතා ගැත නොහැකි වූ අම්මාද කෝකටත් කියා නුවන් ගිය දෙසට ගමන් කළාය. ඇය නුවන් සිටි කඳු වැටිය මත වූ සම බිම වෙත ළඟා වෙද්දී, ඔහු වියරුවෙන් මෙන් පාරේ වාහන වලට ගල් ගසමින් සිටියේය. ඒ දුටු අම්මා මොහොතකට ගල් ගැසුනි. නිමේෂයකින් ඉන් මිදුනු ඈ "උඹට මොන යකෙක් වැහිලද මයෙ පුතේ?" කියමින් මුලු වැර යොදා ඔහු බදා ගත්තාය. 

"උඹේ මොළේ නරක් වෙලාද? පොලීසියෙන් වෙඩි කන්නද හදන්නේ?" 

"මම හිටියා කියලා ඇති වැඩේ මොකක්ද? උන්ට ඕනනම් වෙඩි තියපුවාවේ" 

"ලොකු එකා මට නැති උනා. උඹ දැන් විහින් වැනසිලා මට උඹවත් නැති කරලා දාන්නද පුතේ උඹට ඕන වෙලා තියෙන්නේ." 

"ඇයි අම්මේ අපිට මෙහෙම වෙන්නේ?" කියමින් ඉකි ගසා හඬමින් නුවන් අම්මාගෙ පපුවට තුරුළු විය. කුඩා කළ අම්මාගෙ උණුසුම තුළ දැනුණ හා සමාන හැඟීමකින් අසරණ නුවන්ගෙ සිත පිරී ගියේය. දහවල දුටු සිහිනය තුළදීද අම්මාගෙන් කිරි උරා බොන විට ඔහුට දැනුණේ එබඳුම රැකවරණයකි. 

“බීමතින් සිටි කඩාකප්පල්කාරි පිරිසක් විසින් අධිවේගී මාර්ගයේ ධාවනය වූ වාහන වලට ගල් ගසා, වාහන එකොළහකට අලාභහානි සිදු කර ඇත. සැකකරුවන් සොයා පොලීසිය විසින් පුළුල් පරීක්ෂණ අරඹා ඇත. මිනීමරු කොටි ත්‍රස්ත්වාදය පැරදවීමෙන් පසු රජය ගෙන යන ‍යෝධ සංවර්ධනයේ ප්‍රතිලාභ සාමාන්‍ය මහජනයා අතට පත්වනවා බලා සිට අවංකව සතුටු විය නොහැකි බලලෝභී දේශපාලන කුහකයන් මේ පිටුපස සිටින්නේද යන සාධාරණ සැකයක් මතුවන බව මාර්ග සංවර්ධන අමාත්‍ය රෝහණ රන්දෙණිය මහතා පැවසීය. මෙවැනි පහත් ක්‍රියා තුළින් පැහැදිළි වන්නේ විපක්ෂයේ දේශපාලන බංකොළොත්භාවය බව එතුමා වැඩිදුරටත් පැවසීය. 

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහනවල ආරක්ෂාව සහතික කිරීම සඳහා පුළුල් වැඩ පිළිවෙලක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බව පොලිස්පති තුමා පැවසීය. නොදුරු අනාගතයේදී මෙවැනි කඩාකප්පලකාරීන් පහසුවෙන් හඳුනාගත හැකි වන ලෙස ආරක්ෂක කැමරා පද්ධතියක් ස්ථාපිත කිරීමට දැනටමත් අවධානය යොමු වී ඇති බවත් ඒ මහතා පැවසීය." යනුවෙන් පසුවදා පුවත් පත් වල පළ වී තිබුණී.

- ලසන්ත වික්‍රමසිංහ



12/13/2018

රනිල්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන්නන්ගේ මොළය පරීක්‍ෂා කළ යුතුයි

කතෘ:යුතුකම     12/13/2018   No comments

 

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට නම් රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති සහමුලින්ම පරාජය කළ යුතු අතර ඔහුගේ ප්‍රතිපත්ති මේ මහපොළොවේ යළි ස්ථාපිත වීමට අවස්ථාව ලබා නොදිය යුතු බව යුතුකම සංවාද කවයේ ලේකම් සහ තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ අවධාරණය කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා යළි මේ රටේ අගමැති ධුරයට පත් කිරීමෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට හැකි යැයි කවුරුන් හෝ බලාපොරොත්තු වන්නේ නම් ඔවුන්ගේමොළය පරීක්ෂා කළ යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රජාතන්ත්‍රවාදය බලාපොරොත්තු වීම ඉබ්බන්ගෙන් පිහාටු ගන්නවා වැනි වැඩක් බවත් ඔහු සඳහන් කළේය.

යුතුකම සංවාද කවය ඊයේ (12දා) තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසුවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලසන්ත වික්‍රමසිංහ,

රනිල් වික්‍රමසිංහ කැබිනට් අනුමැතියකින් පවා තොරව තමයි සිංගප්පූරු ගිවිසුම අස්සන් කළේ. ඒ වගේම කවුරු විරුද්ධවුණත් එට්කා ගිවිසුම අස්සන් කරනවා කියලා ඔහු කිව්වා. ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඉන් හොඳින් පැහැදිලි වුණා.

කථානායකතුමා හිතුමතේ එජාපය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය එකතු කරගෙන ඡන්ද තියනවා. මේ කරන්නේ ඒ පක්ෂවල දේශපාලන ව්‍යාපෘතිවලට කථානායකතුමා පෙට්රල් දාන එක. ඔහු කථානායක තනතුර පැහැදිලිව අවභාවිත කරමින් ඉන්නවා. ඔහුට කිසිම හැකියාවක් නැහැ ඡන්ද තිය තියා පාර්ලිමේන්තුව ඇතුළෙ අගමැතිලාව තෝරන්න.

රනිල් වික්‍රමසිංහ ලිබරල්වාදියෙක්ද කියලා හිතලා බලන්න කියලා අපි ජනතාවට කියනවා. ඔහු වෙළෙඳ ගිවිසුම් ගැහුවේ අපේ රට පාවා දෙන්න. ඔහු ලිබරල්වාදියෙක් නෙවෙයි. අනෙක් මිනිස්සුන්ට අවශ්‍ය විදියට මේ රටේ භූමිය සකස් කරලා දෙන ආර්ථික ඝාතකයෙක්. ඔහු කළේ මේ රටේ දේශීය සම්පත් විකුණන එක. මොහු මේ දේවල් කරනකොට අද මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන මහත්වරු කොහේද හිටියේ කියලා අපි අහනවා.

ඔහු ලැජ්ජා නැති වැඩක් කරන්නේ. වෙන මනුස්සයකුට අයිති ගෙදරක නිදා ගන්න එක. ඔහු අගමැති නම් අගමැති පුටුවේ හරි වාඩිවෙන්න ඕනි. නමුත් රනිල් වික්‍රමසිංහ කොහේ හිටියත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඔහු මැරෙනකම්ම අරලියගහ මන්දිරයේ හිටියත් කමක් නැහැ. හැබැයි ඔහුගේ ප්‍රතිපත්තිකිසිම ලෙසකින් මේ මහ පොළොවේ යළි ස්ථාපිත වීමට අවස්ථාව දිය යුතු නැහැ.

අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නවලට හොඳම විසඳුම වෙන්නේ අධිකරණ තීන්දුව මොකක් වුණත් පාර්ලිමේන්තුව විසුරුවාහැරලා මහ මැතිවරණයකට යන එක.

යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග

ජනතා විමුක්ති පෙරමුණ නොයෙක් ප්‍රකාශ කරනවා රනිල් වික්‍රමසිංහ රැකගැනීම සඳහා. ඔවුන් නිරන්තරයෙන් කියනවා ඔක්තෝබර් 26දා සිද්ධ වුණේ කුමන්ත්‍රණයක් කියලා. ඒ නිසා බහුතරය තිබෙන අයට ආණ්ඩුව දෙන්න කියලා. ජනතා විමුක්ති පෙරමුණ මේ විදියට මහින්ද රාජපක්ෂ මහතාට බහුතරය නැහැ කියමින් කොහොමද අගමැතිකම රනිල් වික්‍රමසිංහට දෙන්න කියන්නේ කියලා අපි අහනවා. මහින්දට රාජපක්ෂට අගමැතිකම දුන්නාම අනුර කුමාර ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ සටන්කාමියෝ වෙනවා. රනිල් වික්‍රමසිංහට අගමැතිකම දෙන්න කියමින් ඔවුන් අහිංසකකම පෙන්වමින් පැත්තකට වෙනවා. මේකද ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය කියලා අපි අහනවා.

මහ මැතිවරණයක් උදෙසා වූ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු අනූෂ පැස්කුවල්,

ජාතික හෙළ උරුමය සුමන්තිරන්ගේ කකුල් දෙක අස්සේ හැංගිලා කියනවා ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි කියලා.

අපි ජනතා විමුක්ති පෙරමුණට, ජාතික හෙළ උරුමයට කියනවා රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමේ ක්‍රියාවලියෙන් ඉවත් වෙන්න කියලා. එහෙම නොවුණොත් මේ අපරාධයට මොවුන්ට පසුතැවිලි වෙන්න සිදුවෙනවා.

උදයන්ති මුණසිංහ [mawbima]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

9/03/2018

ලංකාවට එරෙහි යුද්ධයේ අලූත්ම අවිය 'සිංගප්පූරු ගිවිසුම'

කතෘ:යුතුකම     9/03/2018   No comments
-ලසන්ත වික‍්‍රමසිංහ.
‘ඇමරිකා එක්සත් ජනපද පාලනාධිකාරිය, ගෝලීය ව්‍යාපාරික ආධිපත්‍යය සහ යහපාලන රජය එකට එක්වූ ‘‘ශුද්ධ වූ’’ සන්ධානයක් විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව අප‍්‍රකාශිත යුද්ධයක් ක‍්‍රියාත්මක කර ඇත. පැහැදිලිව නොපෙනෙන මේ ආර්ථික යුද්ධයේ ප‍්‍රතිඵලය, තිස්වසරක් පුරා පැවති ත‍්‍රස්තවාදයට හා බෙදුම්වාදයට එරෙහි යුද්ධයට වඩා මාරාන්තික වනු ඇත. ඊට එරෙහිව සටන් කිරීමට සහ ප‍්‍රතිවිරෝධය දැක්වීමට අප අසමත් වුවහොත්, ශ‍්‍රී ලංකාවේ භූමිය, ධනය, ස්වාභාවික සම්පත් සහ ආර්ථික ක‍්‍රියාකාරකම් යන සියල්ලෙහි පාලනය ස්වදේශිකයන්ගෙන් සම්පූර්ණයෙන්ම ගිලිහෙනු ඇත. අපේ ජාතික අනන්‍යතාව සහ සංස්කෘතිය අපට අහිමි වනු ඇත. දේශීය ප‍්‍රතිපත්ති මෙන්ම විදේශ පිළිවෙත තීරණය කිරීමට අපට ඇති හැකියාව අහිමි වන අතර, ඒ සමගම අපේ ස්වාධීනත්වය සහ ස්වෛරීභාවය අහිමි වනු ඇත.’’

ශ‍්‍රී ලංකාවේ කීර්තිමත් රාජතාන්ත‍්‍රිකාවක් වන ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ හිටපු ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත, තමාරා කුනනායගම් මහත්මිය විසින් මෑතකදී කොළඹ විශ්වවිද්‍යාලයේ දී පැවැත්වූ දේශනයක කොටසකි ඉහත දැක්වුයේ. ශ‍්‍රී ලංකාව තුළ නව ලිබරල්වාදී ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමට රජයට උපදෙස් සපයමින්, ශ‍්‍රී ලංකාවේ සිට ක‍්‍රියාත්මක වන ප‍්‍රතිපත්ති අධ්‍යයන ආයතනය IPS සහ 
(‘ඇඞ්වොකාටා’ Advocata ) යන ආයතන ශ‍්‍රී ලංකාවට එරෙහි ආර්ථික යුද්ධයේදී ඉටුකරමින් තිබෙන භූමිකාව පිළිබඳව ඇය සෘජුවම චෝදනා එල්ල කළාය. ‘‘ස්වාධීන’’ ආයතන ලෙස හඳුන්වා ගන්නා මේ ආයතන, ස්වාධීන වන්නේ ශ‍්‍රී ලංකා රජයේ ආයතනවලින් පමණක් බවත්, බටහිර රාජ්‍යයන් සහ සහ විජාතික ප‍්‍රාග්ධනය මත මෙම ‘‘ස්වාධීන’’ ආයතන යැපෙන බවත් ඇය සඳහන් කළාය.

මේ ආයතන දෙක පසුගිය වසර කිහිපය තුළ සිදු කළ ප‍්‍රධාන කටයුත්තක් වන්නේ ශ‍්‍රී ලංකාව, එට්කා ඇතුළු ද්විපාර්ශවික වෙළෙඳ ගිවිසුම් සඳහා පෙළඹවීම සඳහා අවශ්‍ය මතවාදය සකස් කිරීමයි. එම ආයතනවලින් උපදෙස් ලබා ගන්නා රජයද පසුගිය තෙවසර තුළ ක‍්‍රියා කළේ නිදහස් වෙළෙඳ ගිවිසුම් සියලූ රෝග නිවාරකයකැයි යන මතයේ පිහිටායි. එසේ නම් මේ නිදහස් වෙළෙද ගිවිසුම් සඳහා වන ප‍්‍රයත්නය, කුනනායගම් මහත්මිය පෙන්වා දෙන ශ‍්‍රී ලංකාවට එරෙහිව ක‍්‍රියාත්මකවන ආර්ථික යුද්දයෙන් ස්වායත්ත විය නොහැක.

ඉන්දියාව සමඟ අත්සන් කිරීමට යෝණිත එට්කා

ගිවිසුම පිළිබඳව විරෝධය බුරා බුරා ශ‍්‍රී ලාංකික සමාජයෙන් නැගෙන විට, රජය විසින් එට්කා ගිවිසුම අත්සන් තබන්නට පෙර, සිංගප්පූරුව සමග වෙළෙඳ ගිවිසුමක් 2018 ජනවාරි 23 වැනි දින උත්සවශ‍්‍රීයෙන් කොළඹදී අත්සන් තැබීය. මෙම පුළුල් ගිවිසුමේ අන්තර්ගතය තබා, කුමක් හෝ ගිවිසුමක් අත්සන් කරන බවවත් එම ගිවිසුමේ පාර්ශවකරුවන් වන ව්‍යාපාරික ප‍්‍රජාව, වෘත්තිකයන් පමණක් නොව, මහජන නියෝජිතයන් පවා දැනගත්තේ එදින උදෑසන පත්තර බලන විටය. පසුගිය මැයි 23 සිට 28 දක්වා ඉන්දියානු නිලධාරී කණ්ඩායමක් සමග එට්කා ගිවිසුම පිළිබඳව ද රහස් සාකච්ඡුා වටයක් කොළඹදී පවත්වා ඇත. ඒ පිළිබඳව පුවත්පත්වල පළ නොවූ හෙයින් වගකිව යුතු බොහෝ දෙනකු ඒ ගැන නොදන්නවා විය යුතුය.

සිංගප්පුරු ගිවිසුම අත්සන් තබන දිනයේම නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මඟින් එම ගිවිසුමෙන් සිංගප්පූරුවට ලැබෙන ප‍්‍රතිලාභ ඉතා පැහැදිලිව ගෙනහැර දැක්වීමට සිංගප්පූරුවේ වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු කළේය. එහෙත්, එම ගිවිසුමෙන් ශ‍්‍රී ලංකාවට ඇති එකම වාසියක් හෝ පෙන්වා දීමට මෙරට සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳාම අමාත්‍යාංශයට හැකියාවක් ලැබුණේ නැත. මේ සඳහා කටයුතු කළ නිලධාරීන්ගෙන් මෙය විමසූ විට, රජයේ ලිබරල්කරණ ප‍්‍රතිපත්තිය නිසා ඔවුන් මේ ගිවිසුම සඳහා අදාළ කටයුතු සිදු කළ බව පවසා වගකීමෙන් නිදහස් වේ. මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයාගෙන් ලබා ගත හැකි එකම පිළිතුර නම්, රජය පත්වූ දා පටන් අපට නිතර නිතර අසා ඇති මුත් දැක ගන්නට නොලැබුණු ‘විදේශ ආයෝජකයන්‘ පැමිණේවි යන අනාගත වාක්‍යය පමණි.

මේ ගිවිසුමෙන් ශ‍්‍රී ලංකාවට ලැබෙන වාසියක් සොයා ගැනීමට මෙතෙක් කිසිවකුත් සමත් වී නැතත්,

ගිවිසුමෙන් ශ‍්‍රී ලංකාවට සිදුවන හානිය නම් පෙන්වාදීම එය මදක් විමසිලිමත්ව අධ්‍යනය කරන සිහි බුද්ධිය ඇති අයකුට එතරම් අපහසු කාරණාවක් නොවේ.

ඉන් පළමු කාරණය නම්, මේ ගිවිසුම මඟින් බදු සහන ලැබෙන්නේ සිංගප්පූරු භාණ්ඩවලට පමණි. සිංගප්පූරුව ඒකපාර්ශවිකවම සිය භාණ්ඩවලින් 99% කටම බදු සහන ඉවත් කළ රටකි. එනිසා මේ ගිවිසුම මඟින් ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන එකදු භාණ්ඩයකටවත් වාසියක් ලැබී නැත. නමුත් සිංගප්පුරුවෙන් මෙරටට ගෙන්වන භාණ්ඩවලින් 80% ක් සඳහාම බදු ඉවත් කිරීමට අප බැදී ඇත.

සිංගප්පූරුව යනු බදු නොමැතිව ඕනෑම රටකින් භාණ්ඩ ගෙන්විය හැකි රටකි. මේ ගිවිසුම තුළ origin of rule නමැති රීතිය ඉතා දුර්වල ලෙස යෙදීම නිසා ලොව පුරා බදු රහිතව සිංගප්පූරුවට ඇතුළු වන භාණ්ඩවලට ඉතා සුළු අගය එකතු කිරීමකින් පසුව, බදු රහිතව ශ‍්‍රී ලංකාවට ඇතුළු වීමට වරම් ලබා දී ඇත. ‘‘මෙම ගිවිසුම origin of rule රීතිය වඩාත්ම ලිබරල් ලෙස සකස් කළ ගිවිසුම්වලින් එකක් වන නිසා සිංගප්පූරුවේ අපනයන බොහොමයක් බදු රහිතව ශ‍්‍රී ලංකාවට ඇතුළු වීමට සුදුසුකම් ලබනු ඇත.’’ යනුවෙන් සිංගප්පූරුවේ වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශය ජනවාරි 23 වැනි දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, සඳහන් වීමෙන් ඒ බව තහවුරු වේ.

එහෙත් මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයා පවසන්නේ බදු රහිතව ශ‍්‍රී ලංකාවට ඇතුළු වීමට නම් එම භාණ්ඩවලට සිංප්පූරුවේදී 35% ක අගය එකතු කිරීමක් සිදු කළ යුතු බවකි. එය ශ‍්‍රී ලාංකික ව්‍යාපාරික ප‍්‍රජාව රැුවටීමට ලක්කිරීමකි. 35% ක අගය එකතු කිරීම එසේ සුදුසුකම් ලබනා එක ආකාරයක් පමණි. නමුත් ඊට වඩා ඉතා සුළු අගය එකතු කිරීමක් මඟින් බදු රහිතව ලංකාවට ඇතුළු විය හැකි ආකාර ඉතා පැහැදිළිව මෙම ගිවිසුම තුළ දක්වා තිබේ. උදාහරණයක් ලෙස වෙනත් රටකින් ගෙන එන බල්බයක් සහ ලාම්පු කවරයක් එකට අසුරා එය සිංගප්පූරුවේ නිෂ්පාදිත භාණ්ඩයක් ලෙස ශ‍්‍රී ලංකාවට අපනයනය කිරීමට සිංගප්පූරුවට හැකියාව ඇත.

මේ අනුව, සිංගප්පූරු ආනයන ඉහළ යන අතර එම ආනයන මඟින් ලැබෙන බදු ආදායමද රජයට අහිමි වේ. එසේ ආනයනික භාණ්ඩවලින් රජයට අහිමිවන බදු ආදායම, නව දේශීය ආදායම් පනත මඟින් දේශීය ව්‍යවසායකයාගෙන් ලබා ගන්නට රජය කටයුතු කර ඇත්තේ දේශීය නිෂ්පාදකයාගේ අපනයන සඳහා අබමල් රොනක වාසියක් මෙම ගිවිසුම හරහා ලැබී නැති පසුබිමකය. එනිසා මේ ගිවිසුම නිසා ආනයන ඉහළ යන නමුත් අපනයන වර්ධනය නොවන බව පැහැදිලිය. මේ නිසා 2017 වසරේදී සිංගප්පූරුව සමග වෙළෙඳාමේදී ශ‍්‍රී ලංකාවට පැවති ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න වෙළෙඳ හිඟය (අපනයන-ආනයන පරතරය) තවදුරටත් අපට අවාසිදායක ලෙස වර්ධනය වනු ඇත. මේ තත්ත්වය ඉන්දියාව සමග යෝණිත එට්කා ගිවිසුම සහ චීනය සමග යෝජිත වෙළෙඳ ගිවිසුම් තුළ තවත් කිහිප ගුණයකින් භයානක ලෙස වර්ධනය වනු ඇත.

සිංගප්පූරු ගිවිසුම මඟින් නිදහස් පුද්ගල සංචරණය (මෝඞ් 4), එනම් විදේශිකයන්ට තාවකාලික පදනම යටතේ රැුකියා සඳහා මෙරටට පැමිණීමට ඇති අයිතිය ලබා දී නැතැයි මලික් සමරවික‍්‍රම සහ හර්ෂ ද සිල්වා වැනි ඇමැතිවරු කරන ප‍්‍රකාශ සාවද්‍ය බව ගිවිසුම මඟින් පෙන්වා දිය හැකිය. මේ ආකාරයේම ඉඩක් දැන් හොර රහසේ සාකච්ඡුා පවත්වන එට්කා ගිවිසුමේ ද ඇතුළත්ය.

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම මඟින් මිනිස් බල සැපයුම් (man power) ආයතන, එනම් වෙනත් සමාගම්වල රැුකියා පුරප්පාඩු සඳහා පුද්ගලයන් සොයා දී කොමිස් මුදලක් ලබා ගන්නා විදේශීය ආයතන මෙරට පිහිටුවීමට අයිතිවාසිකමක් සිංගප්පූරු ආයතනවලට ලබා දී තිබේ. එසේ පිහිටුවන සිංගප්පූරු ආයතන ඉන්දියාව, චීනය, බංගලාදේශය ඇතුළු වෙනත් ඕනෑම රටකින් විධායක නිලධාරීන්, කාර්යාල සහායකයන්, ලිපිකරුවන්, කම්කරුවන් ආදී විවිධ වෘත්තිකයන් මේ රටට ගෙන්වා ගැනීමට කටයුතු කරනු ඇත. ඊට සීමා පැනවීමට හෝ එය පාලනය සඳහා නව නීති හඳුන්වා දීමට හෝ මතු රජයකට පවා ඇති අයිතිය මෙම ගිවිසුම නිසා අභියෝගයට ලක්ව ඇත.

මෙලෙස මෙරටට පැමිණෙන විදෙස් ශ‍්‍රමිකයන් විසින් ශ‍්‍රී ලංකාවෙන් සැළකිය යුතු විදේශීය විනිමය ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකාවෙන් පිටකරනු ඇත. එසේම සේවා ක්‍ෂේත‍්‍රය විදේශීයකරණයට ලක්වීම තුළ සේවා ක්‍ෂේත‍්‍රයෙන් දැනට ශ‍්‍රී ලංකාව ලෝකයේ අන් රටවලින් උපයා ගන්නා මුදලෙන් යම් ප‍්‍රමාණයක් මේ විදේශීය සමාගම් විසින් ලාභාංශ ලෙස ද නිතිපතා රටින් පිට කරනු ඇත. එනිසා කිසිදු ශක්‍යතා අධ්‍යනයකින් තොරව සිදුකරන මේ වෙළඳ ගිවිසුම් හරහා වාර්ෂිකව රටින් පිටවන විදේශ විනිමය ප‍්‍රමාණය ඉහළ යන බව ඉතා පැහැදිළිය.

රටක වගකිවයුතු දේශ පාලන නායකයන් සහ නිලධාරීන් විසින් අදහාගත නොහැකි ලෙස අමතක කරන බැ?රුම් කාරණය වන්නේ රටින් මුදල් පිටවීම වැඩි වීමේ ප‍්‍රතිඑලය කුමක්ද යන්නයි. තමාරා කුනනායගම් මහත්මිය පැවසූ ශ‍්‍රී ලංකාවට එරෙහි ආර්ථික යුද්ධයේ ප‍්‍රතිඑල සහ රජය විසින් ඉවක් බවක් නැතිව සියලූ යහපාලන මූලධර්ම කුණු කූඩයට දමා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, අත්තනෝමතික ඒකාධිපති හැසිරීමකින් අත්සන් කරන වෙළෙඳ ගිවිසුම්වල ප‍්‍රතිඑල සමපාත වන්නේ මෙතනදීය.

ඕනෑම වසරක් තුළ රට තුළින් පිටවන ඩොලර් ප‍්‍රමාණයට සමාන මුදලක් රට තුළට අප විසින් කෙසේ හෝ ගෙන්වා ගත යුතුය. නැතහොත් අපගේ විදේශ සංචිත අවම වී රුපියල අවප‍්‍රමාණය වන අතර ගෙවුම් තුලන අර්බුදයකට මුහුණ පා රටේ සමස්ත ආර්ථිකය කඩාවැටීමට ඉඩ ඇත. එම තත්ත්වය වළක්වා ගන්නට නම් ශ‍්‍රී ලංකාවේ විදේශ අංශයේ ප‍්‍රධාන ‘‘සංවර්ධන උපායමාර්ගය’’ වන ගෘහ සේවිකාවන් මැදපෙරදිග යැවීම තීව‍්‍ර කරන්නට සිදුවනු ඇත. විදේශීය ණය ලබා ගැනීම ඉහළ දමන්නට සිදුවනු ඇත. ජාතික සම්පත් සහ රජය විසින් පෞද්ගලීකරණය කරන ආයතන විදේශිකයන් හට විකුණා දමන්නට සිදුවනු ඇත. මේ ගිවිසුම් නිසා එනවා යැයි කියන විදේශීය ආයෝජකයන් යනු ඒ ආර්ථික මර්මස්ථාන කුණු කොල්ලයට මිලදී ගන්නට එන විදේශීය ආයතන වෙයි.

මේ සියල්ල මෙලෙස සිදුවන විට කුනනායගම් මහත්මිය පැවසූ පරිදි, ශ‍්‍රී ලංකාවේ භූමිය, ධනය, ස්වාභාවික සම්පත් සහ ආර්ථික ක‍්‍රියාකාරකම් යන සියල්ලෙහි පාලනය ස්වදේශිකයන්ගෙන් සම්පූර්ණයෙන්ම ගිලිහෙනු ඇත. අපේ ජාතික අනන්‍යතාව සහ සංස්කෘතිය අපට අහිමි වනු ඇත, දේශීය ප‍්‍රතිපත්ති හා විදේශ පිළිවෙත තීරණය කිරීමට අපට ඇති හැකියාව අහිමි වන අතර, ඒ සමග අපේ ස්වාධීනත්වය සහ ස්වෛරීභාවය අහිමි වනු ඇත. මේ අත්තනෝමතික ක‍්‍රියාවලියට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව තුළ සටන් වැදීම රටවැසියන්ගේ ප‍්‍රමුඛතම වගකීමයි.

ලසන්ත වික‍්‍රමසිංහ.
ලේකම්, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය

යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook : https://www.facebook.com/yuthukama

5/16/2018

සල්ලිවලට ගිවිසුම් හරහා රට පාවාදෙන ජාතිභ්‍රෂ්ටයෝ

කතෘ:යුතුකම     5/16/2018   No comments

දූෂණයේ ඇති ප්‍රධානම ගැටලුව දූෂණය නොවේ. දූෂණයේ ඇති ප්‍රධාන ගැටලුව රට පාවා දීමට දූෂණය යොදා ගැනීමයි.

ශ්‍රී ලංකාව සිංගප්පුරුව සමඟ භාණ්ඩ, සේවා, ආයෝජන සහ ආගමන විගමන යන සියලුම ක්ෂේත්‍රයන් ඇතුලත් ඉතා පුලුල් නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කර ඇත. එසේම නොබෝ දිනකින් ඉන්දියාව සමඟ එට්කා ගිවිසුම අත්සන් කිරීමට ද නියමිතය. චීනය සහ තායිලන්තය සමඟද මෙවැනි පුලුල් ආර්ථික ගිවිසුම්වලට එලැබීමට රජය මානබලමින් සිටියි. මේ ගිවිසුම් සඳහා රජය එළඹෙන්නේ ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් නොමැතිවය. විදේශීය වෘත්තිකයන්ට රට තුළට එන්නට ඉඩ සැලසුවද ශ්‍රී ලංකාව තුළ වෘත්තිකයන් ලියාපදිංචියට සහ නියාමනය සඳහා අවශ්‍ය කිසිදු ක්‍රියාමාර්ගයක් ස්ථාපිත නොකරය. එපමණක් නොව මෙම ගිවිසුම් මඟින් රටට වාසිද අවාසිද යන්න සොයා බැලීම සඳහා ශක්‍යතා අධ්‍යනයක්වත් සිදු නොකරය. කොටින්ම මලික් සමරවික්‍රම අමාත්‍යවරයා, අමාත්‍යංශ ලේකම් චාන්දනී විජේවර්ධන, කේ. ජේ. වීරසිංහ ඇතුලු වෙළඳ ගිවිසුම් සඳහා ශ්‍රී ලංකා සාකච්ඡා කණ්ඩායම නිදහස් වෙළඳ ගිවිසුම්වලට එළැඹීම සඳහා කටයුතු කරන්නේ වළං කඩයකට පැනගත් ගොනුන් රැළක් මෙනි.

රජය මෙලෙස කටයුතු කරන්නේ විදේශීය බලපෑම් මත බව පැහැඳිලිය. මෙලෙස රටට අගතියක් අත්වන පරිදි ක්‍රියා කිරීම සඳහා වුව රජයට කිසියම් පිරිසක් මෙම කාර්යයෙහි යොදවා ගැනීමට අවශ්‍ය වේ. ඒ සඳහා රජය අනුගමනය කර ඇත්තේ අපූරු ක්‍රියාමාර්ගයකි. මෙම නිදහස් වෙළඳ ගිවිසුම් සඳහා කටයුතු කිරීමට ඒ සඳහා සුදුසුකම් නැති පුද්ගලයන් එක්කර ගන්නා අතරම ඔවුනට මෙම ගිවිසුම් මඟින් වෙනත් පෞද්ගලික වාසි හිමි වීම අමතර සුදුසුකමක් බවට පත්ව තිබේ. එක වර්ගයේ කුරුල්ලන් එක අත්තේ වසන්නාක් මෙන් මේ ක්‍රියාදාමය සඳහා දූෂිතයන් හට දූෂිතයන් එක් වී තිබේ. රුපියල් සත ඉදිරියේ වර්තමාන සහ අනාගත පරපුර පාවා දීමක මේ දූෂිතයන් නියැළෙන්නේ කිසිදු හිරිකිතයකින් තොරවය. මෙම ගිවිසුම් මඟින් ශ්‍රී ලංකා සාකච්ඡා කණ්ඩායෙමේ පුද්ගලයන් වාසි ලබන ආකාරය පැහැදිලි කර ගැනීම මඟින් මෙම අත්තනොමතික ක්‍රියාදාමය ඉදිරියට ඇදගෙන යනා ආකාරය ගැන අදහසක් ලබා ගත හැකිය.

සිය හදිසි අභාවය සිදුවන තෙක්ම එට්කා ගිවිසුමේ සහ චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කර ඇත්තේ ආචාර්ය සමන් කැලේගමයි. ඔහු එසේ කටයුතු කර ඇත්තේ බහුජාතික සමාගමක ශ්‍රී ලංකා ශාඛාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන අතරය. එම බහුජාතික සමාගම විසින් ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ ඉන්දියාවේ සහ චීනයේ නිපදවන භාණ්ඩ මෙරටට ආනයනය කර අලෙවි කිරීමය. එවැනි සමාගමක සභාපතිවරයෙක් ආනයනික බදු සහන ලබා දෙන භාණ්ඩ ලැයිස්තුව තීරණය කෙරෙන ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන කණ්ඩායමක ප්‍රධානියා ලෙස පත් කිරීම ඉතා පැහැදිලිවම බැදියාවන් අතර ගැටුමක් නිර්මාණය කිරීමකි.

 කැලේගමගේ අභාවයෙන් පසුව එම තනතුර සඳහා පත් කළ කේ. ජේ. වීරසිංහ සම්බන්ධ කාරණය වඩාත් ජුගුප්සාජනකය. කේ. ජේ වීරසිංහ මෙම ආර්ථික ගිවිසුම් සඳහා සාකච්ඡා කණ්ඩායමේ සාමාජිකයකු වශයෙන් කටයුතු කරන අතර ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසඳයේ (Apparel Association Forum - JAAF) උපදේශකයෙකු වශයෙන් "වැටුපක්" ලබාගත්තේය. ඇඟලුම් නිෂ්පාදනය හෝ ඇඟලුම් වෙළඳාම සම්බන්ධයෙන් හෝ ප්‍රවීණයකු නොවූ වීරසිංහ ඊනියා උපදේශකයෙකු ලෙස ඉහළ වැටුපක් එම ආයතනයෙන් ලබාගත්තේ කෙසේද යන්න අනෙකුත් දේශීය නිෂ්පාදකයන්ගේ ඉරණම සමඟ බැදී පවතින්නකි.

Lead Negotiator for Sri Lanka on FTAs
ලංකාවේ ඇගලුම් ඉන්දියාවට අපනයනය කරන විට බදු සහන යටතේ ඉන්දියාව වෙත ලබා දිය හැකි ඇඟලුම් සඳහා කෝටාවක් (සීමාවක්) පවතියි. එට්කා ගිවිසුම තුළ කේ. ජේ. වීරසිංහ එම සීමාව වැඩි කර ගැනීමට විශාල ප්‍රයත්නයක් දරමින් සිටියි. පෙබරවාරි 21 වනදා ඉන්දියාවේ ආරම්භවූ අටවන එට්කා සාකච්ඡා වටය සඳහා ලංකාවේ පුද්ගලික ව්‍යාපාරික ක්ෂේත්‍රය නියෝජනය කරමින් යයි පවසමින් ඇඟලුම් ක්ෂේත්‍රයට සම්බන්ධ ටියුලි කුරේ නම් පුද්ගලයෙකු පුද්ගලික ව්‍යාපාරික ක්ෂේත්‍රයට හොරෙන්ම සහභාගී කරවීය. 

වීරසිංහ කොතෙක් උත්සාහ දැරුවත් මෙම ඇඟලුම් කෝටාව ඉවත් කිරීමට ඉන්දියාව තවම එකඟ වී නොමැති වීම මඟින් සිය කේවල් කිරීමේ බලය උපරිම මට්ටමකට පවත්වා ගැනීමට ඉන්දියාව සමත් වී තිබේ. වීරසි‍ංහට එය ඉටු කරගැනීමට නම් ඉන්දියවට අවශ්‍ය ඉන්දියානු භාණ්ඩ වැඩි ප්‍රමාණයක් සඳහා ශ්‍රී ලංකාවේදී බදු සහන ලබාදීමට සිදුවේ.  ඒ මඟින් සිදු වන්නේ ජනාධිපතිතුමා රැක ගත යුතු යයි පවසන දේශීය නිෂ්පාදකයා විනාශ වීමයි. කේ. ජේ. වීරසිංහ  ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසඳයෙන් ලැබුවේ වැටුපක්ද අල්ලසක්ද යන්න තීරණය කිරීම එතරම් අපහසු නොවේ.

රවී රත්නායක - Bridging the Gap NGO
මෙම සාකච්ඡා කණ්ඩායමේ තවත් සාමාජිකයකු වන නවසීලන්ත පුරවැසිභාවය හිමි ආචාර්ය රවී රත්නායක Bridging the Gap නමැති එන් ජී ඕ ආයතනයේ සාමාජිකයෙකි. එම ආයතනය හරහා මේ පුද්ගලයා ASEAN සංගමයේ සාමාජික රටවලට ශ්‍රී ලංකාවට භාණ්ඩ අපනයනය සඳහා පෞද්ගලික උපදේශකයෙකු ලෙසද කටයුතු කරයි. සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවට ආනයනය කරන භාණ්ඩවලින් බදු සහන ලබාදෙන භාණ්ඩ ලයිස්තුව සකස් කිරීමේ වගකීම මොහුට ලබාදීම ඉබ්බා දියේ දැමීමකි. මේ පුද්ගලයා අනෙක් රටවලට ශ්‍රී ලංකාවට භාණ්ඩ අලෙවි කිරීම සඳහා උපදෙස් ලබා දෙන අතරම ලංකාවේ වෙළඳ ගිවිසුම් සකස් කිරීම සඳහා ප්‍රධාන භූමිකාවක් ඉටුකරන්නේ කෙසේද? 

 පිටරටවල වුවමනාවලට සේවය කරමින් වැටුප් ලබන අතරම ඒ රටවලව අවශ්‍ය පරිදි මෙරට තුළ වැඩ කරනවාට දෙනවාට අපේ බදු මුදලින්ද මේ දූෂිතයෝ වැටුපක් ලබති. ඔහු වෙනත් රටවලින් උපදේශනය සඳහා යයි කියමින් ලබාගන්නේ ශ්‍රී ලංකාව, අනෙක් රටවල භාණ්ඩ සඳහා වෙළදපලක් බවට පත් කර දීම සඳහා වන අල්ලසක් නොවේද?

අරිත වික්‍රමනායක - නිත්‍යා පාට්නර්ස්
ආචාර්ය අරිත වික්‍රමනායකට මෙම ආර්ථික ගිවිසුම්වල නීතිමය සැකැස්ම සහ ආයෝජන පිළිබඳව වගකීම පවරා ඇත. ඔහුට අයත් නිත්‍යා පාට්නර්ස් නම් සමාගමක් වෙයි. එහි කාර්යය වන්නේ ජාත්‍යන්තර වෙළඳාම සහ ආයෝජන පිළිබඳ නීති උපදෙස් සැපයීමයි. නීතිපති දෙපාර්තුමේන්තුව තුළ සේවය කරන තම පුත්‍රයාගේ සහ තවත් ඥාතියකුගේ දායකත්වය මෙම ආර්ථික ගිවිසුම් වල නීතිමය සැකැස්ම සකස්කිරීම සඳහා ඔහු විසින් ලබා ගෙන ඇත. මෙම ආර්ථික ගිවිසුම් නිසා ඇතිවන නීතිමය ගැටලු නිසා නිත්‍යා පාට්නර්ස් හි සේවා දායකයන් ප්‍රමාණය සහ එම සමාගමේ ආදායම අනිවාර්යයෙන් ඉහළ යනු ඇත. මෙම ගිවිසුම් මඟින් ගැටලු වැඩිපුර උද්ගතවන තරමට අරිත වික්‍රමනායකට වාසිය.

මේ මඟින් පැහැදිලි වන්නේ රුපියල් සත ඉදිරියේ මවුබිම පාවාදෙන අමනයන් කිහිප දෙනෙකු නිසා ශ්‍රී ලංකාවේ පරම්පරා ගණනාවකට වන්දි ගෙවන්නට සිදුවන බව නොවේද? රජය මේ දූෂිතයන් මේ කාර්යය සඳහා යොදා ගන්නේ මේ දුර්ධාන්ත කර්තව්‍යය සිදු කරවා ගැනීමට ඇති හොඳම දේ මේ සඳහා මෙවැනි දූෂිතයන් පිරිසක් යොදවා ගැනීම බව යහපාලන රජය ඉතා නැවැරදිව අවබෝධ කරගෙන ඇති නිසා බවට සැකයක් නැත. 

-ලසන්ත වික්‍රමසිංහ

4/21/2018

විධායක ජනපති ධූරය ඉවත් කළ යුතුයි ?

කතෘ:යුතුකම     4/21/2018   No comments

විධායකය අහෝසි කළ යුතු යැයි ජවිපෙ පවසන්නේ එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙකු ඇල්ලීම සඳහායි. සිරිසේන මහතාව පාලනය කර රනිල්ගේ දෑත් ශක්තිමත් කරදීම පළමු අරමුණයි. දෙවන අරමුණ වන්නේ විජාතික බලවේගවල න්‍යායපත්‍රය අනුව රටේ ඒකීයභාවය විනාශ කර දැමීමයි. පළාත් සභාවලට එරෙහිව මාරාන්තික සටනක් දියත් කළ ජවිපෙට පළාත් සභා පිළිබඳව එකදු වචනයක් හෝ කතා නොකර ජනපති ක්‍රමය පිළිබඳව පමණක් කතා කරන්න ඇති අයිතිය කුමක්දැයි මෙරට ජනමාධ්‍යවේදීන් විසින් ඔවුන් හඹාගෙන ගොස් ප්‍රශ්න කළ යුතුය.

රට බෙදීම සිරිසේන ජනපති නිසා බේරුණේ යැයි ඇතැමුන් පවසන්නේ සදොස් නිගමනයක් හේතුවෙනි. සිරිසේන මහතා, ජනපති ලෙස පත් කරන්නේම රට බෙදීම සදහායි. නමුත් රනිල්ගේ දුර්වල හැසිරීම නිසා සිරිසේන සහ රනිල් අතර ගැටුමක් ඇතිවිය. 2002 දී ද සිදු වූයේ එයම බව 'සාමයේ ඉත්තෝ' නම් නොර්වේ වාර්තාවේ සඳහන් වේ. එම වාර්තාවට අනුව, රනිල් චන්ද්‍රිකාට නොදන්වා සාම ගිවිසුම අත්සන් කළ අතර පසුව එහි පිටපතක්  චන්ද්‍රිකාගේ මේසය මතට විසි කර තිබේ. රනිල්ගේ මේ හැසිරීම නිසා බෙදුම්වාදයට කැමති චන්ද්‍රිකා, රනිල් විරෝධියෙක් බවට පත්විය. මෙවරද සිදු වූයේ එවැන්නකි.සිරිසේන වෙත ලබා දිය යුතුව තිබූ ගෞරවය ලබා දෙන්නට රනිල් අසමත් විය. රනිල්ගේ බැදුම්කර වංචාව ආයුධයක් කරගත් සිරිසේන ඒ ඔස්සේ රනිල් දුර්වල  කර සිය බලය වැඩි කරගන්නට සිතුවේය. රට මෙතෙක් බේරෙන්නට ප්‍රධාන වශයෙන් බලපෑවේ මේ ගැටුමයි.

පසු ගිය ජනාධිපතිවරණයෙදී සිදු වූයේ මෙතක් ලාංකීය ඉතිහාසය තුළ සිදු නොවූ ආකාරයේ දෙයකි. රට බෙදන්න කැස කවන දෙමළ ජාතික සන්ධානය සහ රටේ ඒකීයභාවය වෙනුවෙන් පොළොවේ පස් කෑ ජාතික හෙළ උරුමය පවා එක් පොදු අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනී සිටියේය. මෙය මෙතනින් අවසන් නොවන්නකි. එජාපය, ජවිපෙ, හෙළ උරුමය, මුස්ලිම් පක්ෂ, එන් ජී ඕ නඩය මෙන්ම ඉන්දියාවේ බලපෑමෙන් තොණ්ඩමන්ද එකම පොදු අපේක්ෂකයෙක් වටා රොක් කිරීමේ සූත්‍රය විජාතික බලවේග විසින් සොයා ගෙන අවසන්ය. ඒ සඳහා අවශ්‍ය වන්නේ මේ සියලු දෙනාට එකඟ විය හැකි පතෝලයකු තෝරා ගැනීම පමණි. ඇතැම් විට මේ පතෝලයා, පතෝලයෙක් ලෙස පෙනීම වැලැක්වීම සඳහා ඒ ඒ කාලයට එක එක ආකාරයේ පරස්පර ජනප්‍රියවාදී ප්‍රකාශ සිදු කරන්නෙක්ද විය හැකිය (විජේදාස රාජපක්ෂ මහතා මෙන්). 

13 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් බෙදුම්වාදී අංග ජනාධිපතිවරයාගේ බලතල මගින් පාලනය කළ හැකිය. නමුත් එවැනි පාලනයක් විජාතික බලවේග වල රූකඩයෙකු ලෙස පත්වන පතෝලයකුගෙන් බලාපොරොත්තු විය නොහැක. කිසිදු ජනපදනමක් නැතිව බිහිවන මේ පතෝල නායකයා හුදෙක්ම විජාතික බලවේගවල සිරකරුවෙක් පමණක් වනු ඇත. සිරිසේන මහතාට රට ගැන හැඟීමක් තිබීම කෙසේ වෙතත් මේ සිරකාර හැඟීම ඔහුට නොරුස්සන්නක් විය. ඔහු රනිල්ට පහර දී හිරෙන් පැන යාමට තැත් කිරීම තුළ අද රට අරාජික වී තිබේ. චන්ද්‍රිකා - රනිල් සමයේද සිදුවුයේ මෙයයි. අවම වශයෙන් චන්ද්‍රිකාට එවන් අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් විය. මෙවර විජාතික බලවේග බලවත් වූ වහාම 19 වන සංශෝධනය හරහා සිරිසේනගේ  ඒ බලය කපා දැමීය.  විජාතික බලය සිය ගමන යන්නේ උගත් පාඩම් හරහා සිය වැරදි නිවැරදි කර ගනිමිනි.

ඉදිරියේදී පත්වන ඊනියා පොදු අපේක්ෂකයෙකු සහිත පාලනයක් තුළ මේ පෙර වැරදි නිවැරදි කර ගන්නට විජාතික බලවේග උනන්දු වන බව පැහැදිළිය. එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් රනිල්ට වඩා එකඟ විය හැකි පුද්ගලයකු නායකත්වයට පත්වනු දැකීමට කැමති බවත්,  බලය අත් හැරීමට රනිල්ගේ ඇති අකමැත්ත තමන්ගේ සාම ව්‍යාපෘතිය අසාර්ථක වීමට බලපෑ බවත් නෝර්වේ වාර්තාවෙන් පැහැදිළි වේ. වැරදි නිවැරදි කර ගන්නා මේ රූකඩ පොදු අපේක්ෂකයා ප්‍රමුඛ එජාප-ජවිපෙ- ටීඑන්ඒ-හෙළ උරුම- එන් ජී ඕ රජයක් මඟින් ඉදිරියේදී රට  ඊළම කරා රැගෙන යන බව සක්සුදක් සේ පැහැදිලිය. බෙදුම්වාදීනට සහ එන් ජී ඕ කාරයන් විධායකය අහෝසි කළ යුතුය යන මතයේ දිගටම සිටින්නේ ඒ රූකඩ පොදු අපේක්ෂකයා මඟින් තමනට අවශ්‍ය ආකාරයට ජනපති ක්‍රමය අහෝසි කර ගැනීම සඳහාය. 

ප්‍රථමයෙන්, විජාතික බලවේග විසින් මේ ජනපති ක්‍රමය භාවිතා කරන්නේ  රටට හතුරු සියලු බලවේග එකට එකතු කිරීම සඳහාය. එපමණක් නොව, ඕනෑම මරණාසන්න මොහොතකදී ඔවුන්ට ජීවය ලබා දෙන්නේද මෙම ජනපති ක්‍රමයයි. ඒ බව පසුගිය පළාත් පාලන මැතිවරණය හරහා මෙම බලවේග ලැබූ අන්ත පරාජයෙන් පසුවද, සමස්ත ප්‍රතිශත එකතු කර පෙන්වීම මගින් පැහැදිලිය.

ඔවුන්ගේ උපායවන්නේ ජනාධිපති ක්‍රමයම "පාවිච්චි කර" බිහි කර ගන්නා රූකඩ පාලකයෙකු අතින් විජාතික බලවේගවලට අවැසි පරිදි ජනාධිපති ක්‍රමය අහෝසි කර රට දෙකඩ කිරීමට පාර කැපීමයි. පවතින දේශපාලන ගතිකයන් තුළ මේ රූකඩ ජනපති බිහිකර ගැනීම සඳහා කළ යුතු වන්නේ බෙදුම්වාදීන් සහ බඩජාරීන් හට එක විට එකඟ විය හැකි පතෝලයකු පොදු අපේක්ෂක තනතුර සඳහා සොයා ගැනීම පමණකි. එවැනි පතෝලයන් ඕනෑ තරම් මෙරට දේශපාලනයේ ඇති අතර, මේ වන විටත් මේ පතෝළයා තමා බවට පත්වීමේ ව්‍යාපෘති ඒ ඒ අය විසින් දැනටමත් දියත් කර ඇත.

එක් අතකින් විධායක ජනාධිපති ධූරය රට බෙදීම සඳහා බාධාවකි. එනිසා එය නැති කර දැමීම විජාතික බලවේගවල අවශ්‍යතාවය වේ. ඒ සඳහා ඔවුන්ට බලය ලබා ගත හැකි එකම මාර්ගයද ජනාධිපති ධූරයයි. එනිසා මීළඟට පත්වන රූකඩ පාලකයකු අතින් ජාතියේ ගෙල සිඳලමින් විධායක ජනාධිපති ධූරය අහෝසි වීමට නියමිත බව සක්සුදක් සේ පැහැදිළිය. අපැහැදිළි වන්නේ ඒ රූකඩ පාලකයා පත් කරගත හැකි වන්නේ 2020දිද, 2025 දීද, 2030 දීද යන්න පමණකි. 

එක් අතකින් රටේ රණ විරුවන් දිවි හිමියෙන් රැකදුන් රටේ ඒකීයභාවය අප රැක ගත යුතුය. තවත් අතකින් අර විජාතික බලවේගවල රට බෙදන මඟ අසුරා දැමිය යුතුය. ඒ සඳහා කළ යුත්තේ රටට හිතකර ආකාරයට රටේ ඒකීයභාවය සුරැකෙන ආකාරයකට නව ව්‍යවස්ථාවක් මඟින් හෝ විශාල සංශෝධනයක් මඟින් හෝ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර දැමීමයි. මෙහිදී ඉස්සර වන පිළ දිනන බව අප තේරුම් ගත යුතුය. අප විසින් එය අහෝසි නොකළ හොත් උන් විසින් එය අහෝසි කරන බව අපට පෙනී යා යුතුය.

ඒනිසා ප්‍රායෝගික භාවිතාව තුළ වඩාත් සුදුසුම ක්‍රියා මාර්ගය වන්නේ විධායක ජනපති ක්‍රමය අහෝසි කළ යුතුය යන මතය සමාජගත කර, එය විජාතික බලවේගවල බලය දුර්වල වූ අවස්ථාවක සිදු කර රටේ ඒකීයභාවය සුරැකෙන බව තහවුරු කර ගැනීමයි. නැතිනම් අනාගතයේදී  පත්වන පතෝලයකු ප්‍රමුඛ හවුල් ආණ්ඩුවක් මඟින් විධායක ජනපති ක්‍රමය අහෝසි කර රට දෙකඩ කරන බව යළිත් අවධාරණය කරමින් නවතිමි. ජාතික බලවේග ඒ සඳහා පෙරමුණ නොගතහොත් විජාතික බලවේග එය සිදු කර රට දෙකඩ කරනු නියතය. කෘතහස්ත දේශපාලකයකු වන මහින්ද රාජපක්ෂ මහතා මේ තත්වය ඉතා නිවැරදිව අවබෝධ කර ගෙන තිබෙන සැටියක් පෙනෙන්නට ඇත. පොහොට්ටුව පිපී ඇත. එය නෙලුමක් බවට පත්කළ හැක්කේ කෙසේදැයි යන උත්තර සංවාදයක් අද මේ රටට අවශ්‍යය.

-ලසන්ත වික්‍රමසිංහ.
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

4/06/2018

මලික් ඉවත් කරනු ! මෙන්න චෝදනා

කතෘ:යුතුකම     4/06/2018   No comments

බැදුම්කර වංචාවට පෙර දිනයේ මලික් සමරවික්‍රම මහතා මහ බැංකුවට ගොස් අර්ජුන් මහේන්ද්‍රන් මහතා සමඟ සාකච්ඡා පැවැත්වීය. නමුත් ඔහු පවසා සිටියේ ඔහු බැදුම්කර ගැන කතා නොකළ බවත්, ඔහු ගියේ පාරවල් හදන්න සල්ලි සොයා ගැනීමට බවත්ය.
ඔහු එවිට මහාමාර්ග ඇමතිවරයා නොවීය, වෙනත් ඇමති වරයෙකුද නොවීය, අවම වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුවත් නොවීය. මහා මාර්ග සහ මලික් සමරවික්‍රම මහතා අතර තිබූ එකම සම්බන්ධය ඔහු ද අප මෙන් මහාමාර්ග භාවිතා කරන්නෙකු වීම පමණකි. කිතුලට නැග්ගේ තණ කොළ කපන්නට යැයි පැවසූ මලික් සමරවික්‍රම අමාත්‍යවරයාට නිදැල්ලේ සිටිය හැකි විය.

එට්කා ගිවිසුම හරහා රට ඉන්දියානු කොළණියක් කිරීමේ වගකීම රනිල් වික්‍රමසිංහ මහතා විසින් භාරදුන්නේද පාසල් කාලයේ පටන් ඔහුගේ "සහකරු" වූ මලික් සමරවික්‍රම මහතාටය. එයද ඔහු සිදු කරන්නේ ඉතාම දූෂිත ආකාරයකට බව පැහැදිලි කරමින් ඔහු සහ අමාත්‍යාංශ ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මිය එම තනතුරුවලින් පහ කර දූෂිත එට්කා සාකච්ඡා කණ්ඩායම විසුරුවා හරින ලෙස ඉල්ලා තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය විසින් ජනාධිපතිවරයා වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත. ජනාධිපතිතුමා පිළිබඳ විශ්වාසයක් තැබීම අපහසු වුවත් මෙම අමාත්‍යවරයා රට පාවා දෙන්නට කටයුතු කරන නින්දිත ආකාරය සියලු දෙනාම දැනගත යුතුය.


2018.04.02

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

අතිගරු ජනාධිපතිතුමනි,


සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම අමාත්‍යංශය විසින් ජාතික අභිලාෂයන්ට පටහැණිව ක්‍රියාකිරීම වළක්වා එය නිවැරදි කරන්නට මැදිහත්වන ලෙස ඉල්ලා සිටීම

සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශය පසුගිය කාලය තුළ ක්‍රියාත්මක වූ ආකාරය ශ්‍රී ලංකාවේ ආර්ථිකය පසුබෑමකට ලක් වීමට බෙහෙවින්ම බලපා ඇත. එම අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ඔබතුමා විසින් පොදුවේ දරන මතයට පටහැණිව දේශීය නිෂ්පාදන අධෛර්යමත් කරමින් ආනයන පමණක් දිරිගන්වන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. එසේම ඒ සඳහා ක්‍රියාත්මක වීමේදි යහපාලනයේ මූලිකාංග නොතකා හරිමින් අත්තනෝමතික ලෙස ක්‍රියා කර ඇත. 


සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශය විසින් සිදු කළ රටට අහිතකර ක්‍රියාවන් කිහිපයක් ඔබතුමාගේ අවධානය පිණිස පහත දක්වන්නෙමු.

  1. සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම අමාත්‍යාංශයේ ප්‍රධාන කටයුතු හැසිරවීමේ වගකීම ඇමරිකානු ජාතිකයන් තුන්දෙනෙකුට (වැටුප් ගෙවා) පැවරීම හරහා ජාතික අභිලාෂයන්ට පටහැනිව ක්‍රියාකරමින් ශ්‍රී ලංකාවේ සංවර්ධන උපායමාර්ග මෙන්ම ජාත්‍යන්තර වෙළඳාමද විදේශීය බලපෑම්වලට සෘජුවම යටත් කරවීමට කටයුතු කිරීම.
  2. ඉන්දියාවෙන් සහ චීනයෙන් විශාල වශයෙන් භාණ්ඩ ආනයනය කරන බහුජාතික සමාගමක ශ්‍රී ලංකා ශාඛාවේ සභාපතිවරයෙකු වශයෙන් කටයුතු කළ ආචාර්ය සමන් කැලේගම මහතාව එට්කා ඇතුලු ද්විපාර්ශවික ගිවිසුම්වල සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ ප්‍රධානියා වශයෙන් පත් කරමින් බැඳියාවන් අතර ගැටුමක් නිර්මාණය කිරීම සහ අයතා වාසි ලබා ගැනීමට ඉඩ සැළසීම.
  3.  ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (Joint Apparel Association Forum ) වෙත ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් මඟින් වාසි ලබා ගන්නා ආකාරය පිළිබඳව උපදේශකයෙකු ලෙස සේවය සපයා මුදල් ලබා ගන්නා පුද්ගලයෙකු වන කේ. ජේ වීරසිංහ මහතා   එට්කා ඇතුලු ද්විපාර්ශවික ගිවිසුම්වල සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිතයෙකු ලෙස පත් කිරීම මඟින් අල්ලස් ලබා ගැනීම හා සමාන ක්‍රියාවකට අනුබල දීම සහ ඒ හරහා අනෙකුත් දේශීය කර්මාන්තවලට පාඩු සිදු වන ආකාරයේ තීන්දු සඳහා දායක වීම.
  4. නවසීලන්ත පුරවැසිභාවය හිමි ආචාර්ය රවී රත්නායක Bridging the Gap නමැති එන් ජී ඕ ආයතනයේ සාමාජිකයෙකි. එම ආයතනය හරහා මේ පුද්ගලයා ASEAN සංගමයේ සාමාජික රටවලට ශ්‍රී ලංකාවට භාණ්ඩ අපනයනය සඳහා පෞද්ගලික උපදේශකයෙකු ලෙසද කටයුතු කරයි. මෙම පුද්ගලයා එට්කා ඇතුලු ද්විපාර්ශවික ගිවිසුම්වල සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිතයෙකු ලෙස පත් කර ඇත. ඊට අමතරව ශ්‍රී ලංකාවට ආනයනය කරන භාණ්ඩවලින් බදු සහන ලබාදෙන භාණ්ඩ ලයිස්තුව සකස් කිරීමේ වගකීමද මොහුට පවරා ඇත. ඒ මඟින් ශ්‍රී ලංකාවට අවාසි සහගත තත්වයක් නිර්මාණය කරමින් ඔහු සේවය කරන වෙනත් රටවලට අවශ්‍ය ආකාරයට ශ්‍රී ලංකාවේ ආනයනය වර්ධනය කිරීමට අවස්ථාවක් ඔහුට නිර්මාණය කරදී ඇත.
  5. ඉහත කී ආචාර්ය රවී රත්නායක නමැති නවසීලන්ත පුරවැසියාට ශ්‍රී ලංකාවේ ජාතික වෙළඳ ප්‍රතිපත්තිය සකස් කිරීමද භාරදීමට ක්‍රියා කිරීම සහ දේශීය ව්‍යාපාර වසා දමා ආනයන දිරිගන්වන ප්‍රතිපත්තියක් සකස් කරමින් ඔහු උපදේශකයෙකු ලෙස මුදල් ලබා ගන්නා ආයතනයන්ට අවශ්‍ය පරිදි ශ්‍රී ලංකාවේ වෙළඳ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට අනුබල දීම සහ එම ව්‍යාජ වෙළඳ ප්‍රතිපත්තියට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා ගරු ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලය නොමඟ යැවීම.
  6. සිංගප්පුරු වෙළඳ ගිවිසුම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා සාකච්ඡා කණ්ඩායමේ පුද්ගලයන් කිහිපදෙනෙකු සිංගප්පුරු සාකච්ඡා කණ්ඩායමේ පුද්ගලයෙන් වෙතින් පුහුණුවක් ලබා ගැනීම සඳහා සිංගප්පුරුව වෙත යැවීම මගින් ශ්‍රී ලංකා සාකච්ඡා කණ්ඩායමේ නොහැකියාව සහ අඩුපාඩු සිංගප්පුරු සාකච්ඡා කණ්ඩායම වෙත නිරාවෘත්ත කිරීම සහ ඒ මඟින් ශ්‍රී ලංකාවට ඉතාම අවාසිදායක ගිවිසුමක් සිංගප්පුරුව සමඟ ඇති කරගැනීමට කටයුතු සිදු කිරීම. 
  7. සිංගප්පුරු වෙළඳ ගිවිසුම මඟින් ආනයන බදු මඟින් පමණක් ශ්‍රී ලංකාවට වාර්ෂිකව අහිමි වන මුදල රැපියල් මිලියන 1500ක් පමණ වේ. මෙම ගිවිසුම තුළ ශ්‍රී ලංකාව සඳහා සිංගප්පූරුව විසින් බදු සහන ලබා දුන් භාණ්ඩවලින් 99% ක්ම මෙම ගිවිසුම නොපැවතියද, ශ්‍රී ලංකාව ඇතුලු ලොව ඕනෑම රටක් සඳහා සිංගප්පූරුවේදී ආනයන බදුවලින් නිදහස් කර තිබූ භාණ්ඩ වීම. 
  8. සිංගප්පූරු ගිවිසුම මඟින් වෙනත් රටවල නිපදවෙන භාණ්ඩද සිංගප්පූරුව හරහා ලංකාවට ඇතුලු වීමට විශාල ඉඩකඩක් නිර්මාණය කරදීම. එසේම, වෘත්තිකයන් ලෙස සිංගප්පූරු පුරවැසියන්ට පමණක් නොව සිංගප්පූරුවේ ස්ථිර පදිංචි කරුවන්ටද සිංගප්පුරු වෙළඳ ගිවිසුම හරහා ශ්‍රී ලංකාවට ඇතුළු වීමට ඉඩ සලසා ඇත.
  9. ලොව පිළිගත් නිර්දේශයන් නොතකා හරිමින් දැනට සාකච්ඡා පවත්වන කිසිදු වෙළඳ ගිවිසුමක් පිළිබඳව ශක්‍යතා අධ්‍යනයක් සිදු කර නොමැති වීම, පාර්ශව කරුවන්ගෙන් අදහස් විමසීමට අසමත් වීම, ඒ සඳහා කිසිදු විනිවිදභාවයක් පවත්වා ගැනීමට අපොහොසත්වීම යනාදි දුර්වලතාවයන් ඇතිව ශ්‍රී ලංකාවේ ආර්ථිකයට තීරණාත්මක ලෙස බලපාන අතිශය සංවේදී ආර්ථික ගිවිසුම් සම්බන්ධයෙන්  දුර්ධාන්ත ලෙස කටයුතු කිරීම සහ ඒ අනුව මෙම ආර්ථික ගිවිසුම් රට හිතකරද යන්න සොයා බැලීමට හිතාමතාම කටයුතු නොකිරීම මඟින්ව ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ ජනජීවිතය දැඩි අවදානමක හෙළීම.
ඉහත දැක්වූ කරුණු අනුව මෙම අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට හානිදායක අයුරින් ක්‍රියාකර ඇත. එසේම වර්තාමානයේ සිදු කරගෙන යන කාර්යයන්ද ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඉතා නරක ආකාරයෙන් බලපානු ඇත. ජාතික අහිලාෂයන්ට පටහැණිව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම අමාත්‍යංශය විසින් සිදු කරගෙන යන ක්‍රියාදාමයන් නතර කරලීම සඳහා ඔබතුමා සෘජුවම මැදිහත් විය අවස්ථාව එළඹ ඇති බව අපි විශ්වාස කරමු.
ඒ සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කරන මෙන් ඉතා ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.
  1. සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම අමාත්‍යාංශය ගරු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගෙන් ඉවත් කර වෙනත් ඇමතිවරයෙකු වෙත පවරා දී  ඉදිරි කටයුතු ජාතික අභිලාෂයන්ට අනුව සිදුවන බව තවුරු කර ගැනිම.
  2. ඉහත සඳහන් සියලු ක්‍රියාදාමයන් සඳහා වගකිවයුතු අමාත්‍යංශ ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මිය එම තනතුරින් පහකිරීම
  3. දූෂිත පුද්ගලයන්ගෙන් සැදුම්ලත් ඉන්දු- ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම සඳහා වන ශ්‍රී ලංකා සාකච්ඡා කණ්ඩායම විසුරුවා හැරීම.

කපිල පෙරේරාලසන්ත වික්‍රමසිංහ
සභාපති
තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය
ලේකම්
තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය

3/22/2018

ETCA සාකච්ඡා නතර කළ යුත්තේ ඇයි?

කතෘ:යුතුකම     3/22/2018   No comments
-ලසන්ත වික්‍රමසිංහ
වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ (PNF)

ජනාධිපතිතුමා විසින් මෑතකදී පවසා සිටියේ රටේ ආර්ථිකයට අහිතකර, දේශීය නිෂ්පාදකයන්ට තර්ජනයක්‌ වන වෙළෙඳ ගිවිසුම් සඳහා තමන් නොඑළැඹෙන බවයි. නමුත් ගැටලුව වන්නේ දැනට සාකච්ඡා වන ගිවිසුම් රටට හිතකරද අහිතකරද යන්න පිළිබඳව නිරවුල් අදහසක්‌ රටේ නායකත්වයට තවමත් නොමැති වීමයි. රටේ සේවා ක්‌ෂේත්‍රය විවර කරමින් එළැඹි පළමු ද්විපාර්ශවික වෙළෙඳ ගිවිසුම අත්සන් තබන විට වේදිකාවේ ඉහළින්ම සිටියේ ජනාධිපතිතුමායි. එසේ නම් ජනාධිපතිතුමාට අනුව සිංගප්පූරු ගිවිසුම රටට හිතකර ගිවිසුමක්‌ විය යුතුය.

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම "මෝඩ" ගිවිසුමකි.

සිංගප්පුරු ගිවිසුමෙන් ලංකාවට ලැබුණු වාසිය ලෙස රජය පවසන එකම දෙය නම් වත්මන් රජය ජාත්‍යන්තර වෙළඳාම කෙරෙහි දක්‌වන විවෘතභාවය පිළිබඳව පණිවුඩයක්‌ ලෝකයට ලබා දීමට හැකි වීමයි. නමුත් ඒ සමඟම රජයේ ආර්ථික ප්‍රතිපත්තිය රටේ බහුතර ජනතාව විසින් ප්‍රතික්‌ෂේප කළ බවට පණිවුඩයක්‌ පසුගිය පළාත් පාලන මැතිවරණය මඟින් ලෝකයාට ලැබුණු නිසා, එම ඊනියා එකම වාසියේද ගත යුත්තක්‌ නැත. මෙම ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට හිමි වූයේ අවාසි පමණි.

මෙම ගිවිසුම නිසා සිංගප්පූරුවට වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 10 ක බදු මුදලක්‌ ඉතිරි වන බව සිංගප්පූරු වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රකාශයක සඳහන් විය. එහි අර්ථය වන්නේ, සිංගප්පූරු භාණ්‌ඩ සඳහා ආනයනික බදු වශයෙන් ලංකාවට ලැබෙන මුදලින් අවම වශයෙන් රුපියල් මිලියන 1500 ක බදු ආදායමක්‌ වාර්ෂිකව මෙම ගිවිසුම නිසා රජයට අහිමි වූ බවයි. ඒ වෙනුවට ලංකාවෙන් සිංගප්පූරුවට අපනයනය සඳහා ලැබුණේ මොනවාද යන්න සලකා බලන විට මෙම නිලධාරීන් කෙතරම් බරපතළ පාවා දීමක නිරත වූයේ දැයි පැහැදිලි වේ. සිංගප්පූරුව ආනයනික බදු ඒකපාර්ශවිකවම ඉතා අවම මට්‌ටමක පවත්වා ගන්නා රටකි. නව ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට බදු සහන ලැබුණු භාණ්‌ඩ වලින් 99%ක්‌ම සියලුම රටවල් සඳහා සිංගප්පූරුව විසින් මින් පෙරත් ආනයනික බද්දෙන් නිදහස්‌ කර තිබූ භාණ්‌ඩමය. එසේම මෙම ගිවිසුම තුළ, යම් භාණ්‌ඩයක අගයට සිංගප්පූරුව තුළදී එකතු කළ අගය මැන බැලීම (Rule of Origin) සඳහා වන කොන්දේසිය ඉතාම දුර්වල ලෙස අන්තර්ගත කර ඇති බව අපට දැනගන්නට ලැබී ඇත. ඒ අනුව සිදුවන්නේ වෙනත් රටවල නිපදවන භාණ්‌ඩද සිංගප්පූරුව හරහා ශ්‍රී ලංකාවට බදු රහිතව ඇතුළු වීමයි. මෙය දේශීය කර්මාන්තකරුවාට එල්ලවන මරු පහරක්‌ වනු ඇත.

වෙළෙඳ හිඟයේ අර්බුදය උත්සන්න කරන එට්‌කා

මීළඟට අපට වැදගත් වන්නේ එට්‌කා ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා දරන ස්‌ථාවරයයි. දේශීය නිෂ්පාදකයා ආරක්‌ෂා කර ගත යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරන අතරතුර එට්‌කා සාකච්ඡා කණ්‌ඩායම සිය අටවන සාකච්ඡා වටයද සම්පූර්ණ කරමින් එට්‌කා ගිවිසුම වෙත තවත් පියවරකින් ළඟා විය. එනිසා රටේ නායකත්වය මෙම ගිවිසුම මඟින් ඇති වන බලපෑම පිළිබඳව නිවැරදිව දැනුවත් කිරීම ඉතාම කාලෝචිත කර්තව්‍යයකි.

සාමාන්‍යයෙන් භාණ්‌ඩ වෙළෙඳාම මඟින්, ඇමරිකානු ඩොලර් බිලියන 9 ක පමණ වැඩිපුර මුදලක්‌ වාර්ෂිකව ශ්‍රී ලංකාව තුළින් පිටවේ. එනම් ශ්‍රී ලංකාවේ වාර්ෂික වෙළෙඳ හිඟය (අපනයන ආනයන පරතරය) ඇමරිකානු ඩොලර් බිලියන 9 ක්‌ පමණ වේ. එයින් ඇමරිකානු ඩොලර් බිලියන 4 ක පමණ ද්විපාර්ශවික වෙළෙඳ පරතරයක්‌ සකස්‌ වන්නේ ඉන්දියාව සමඟ වෙළෙඳාමෙනි. එනම් හම්බන්තොට වරාය වසර 99 කට විකුණා ලබා ගත් මුදල මෙන් සිවු ගුණයක්‌ ඉන්දියාව සමඟ භාණ්‌ඩ වෙළෙඳාම නිසා එක වසරක්‌ තුළදී රටින් පිටවේ.

ශ්‍රී ලංකා රජය විසින් සිදු කළ යුත්තේ වාර්ෂිකව වර්ධනය වෙමින් පවතින ඉන්දියාව සමඟ පවතින මෙම දැවැන්ත වෙළෙඳ හිඟය අඩු කර ගන්නට පියවර සෙවීමයි. ඉන්දියාව තමන්ට චීනය සමඟ පවතින වෙළෙඳ හිඟය අවම කර ගැනීමට උත්සාහ කරන ආකාරය ශ්‍රී ලංකාව විසින් ආදර්ශයට ගත යුතුය. නමුත් ඒ වෙනුවට එට්‌කා ගිවිසුම තුළ යෝජනා කෙරෙන්නේ ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන භාණ්‌ඩවලින් 90%ක්‌ම ආනයනික බද්දෙන් සම්පූර්ණයෙන්ම නිදහස්‌ කරන්නය. අඩු නිෂ්පාදන පිරිවැයක්‌ සහ ඉහළ නිෂ්පාදන ධාරිතාවයක්‌ ඇති ඉන්දියාවේ සිට ගෙන්වනු ලබන භාණ්‌ඩ ආනයනික බද්දෙන් නිදහස්‌ කළ විට ශ්‍රී ලංකා වෙළෙඳපොළ ඉන්දියානු භාණ්‌ඩ සඳහා තෝතැන්නක්‌ බවට පත්වී, ඉන්දියානු ආනයන අධික ලෙස ඉහළ යනු ඇත.

ඉන්දියාවට ආනයනික බදු සහන ලබාදෙන විට එවැනිම සහනයක්‌ චීනය වෙත ද ලබා දෙන්නට සිදුවන බව අප අමතක නොකළ යුතුය. චීනය සමඟ ද මෙවැනිම වෙළෙඳ ගිවිසුමක්‌ සඳහා සාකච්ඡා පැවැත්වේ. එනිසා ඉදිරියේදී ශ්‍රී ලංකා වෙළෙඳපොළ තුළ ඉන්දියානු සහ චීන භාණ්‌ඩ තරඟ වදින විට දේශීය කර්මාන්ත ආරක්‌ෂා කර ගැනීමේ ජනාධිපතිතුමාගේ අහිංසක ප්‍රාර්ථනාව, දේශීය කර්මාන්ත සමඟම වැළලී යනු ඇත. එවිට අපනයනයන්ද පහත වැටෙනු ඇත. ආනයන අපනයන පරතරය වැඩි වී වෙළෙඳ හිගයේ අර්බුදය උත්සන්න වනු ඇත.

ඉන්දියානු සේවා සහ අපේ සල්ලි

එට්‌කා අත්සන් කරන්නට පෙරම ශ්‍රී ලංකාවෙන් ඵල නෙලා ගැනීමට ඉන්දියාව ක්‍රියා කරමින් සිටියි. මෑතකදී බස්‌නාහිර පළාතේ රෝහල්වල රෙදි සේදීම ඉන්දියානු සමාගමකට පවරාදුනි. මේ එට්‌කා සාකච්ඡාවල වක්‍ර ප්‍රතිඵලය. රෙදි සේදීම මඟින් පවා අපේ රටේ ධනය ඉන්දියාව වෙත ඇදී යයි. ඉදිරියේදී ඉන්දියානු ගිලන් රථයක නැගී, ඉන්දියානු රෝහල වෙත ගොස්‌, ඉන්දියානු වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගෙන, ඉන්දියානු කේටරිං සේවාවකින් සපයන ආහාර අනුභව කොට, ඉන්දියානු සමාගමකින් සෝදා දෙන ඇඳ ඇතිරිලි මත සැතපී, ඉන්දියානු හෙදියකගෙන් එන්නත් විදගන්නා රෝහලක්‌ අපට උරුමවනු ඇත. අපේ කියා දෙයකට ඉතිරිවන්නේ රෝගය සහ රෝගියා පමණි. රෝගියාගේ රෝගය සුවවන විට ඒ සඳහා වැයකළ සම්පූර්ණ මුදල ඉන්දියාවේය.

මේ බලපෑම අධ්‍යාපනය, ප්‍රවාහනය, මුල්‍ය සේවා, සනීපාරක්‌ෂක සේවා, බලශක්‌තිය, දුරකථන සේවා, විනෝදාස්‌වාද, තොරතුරු තාක්‌ෂණ, සංචාරක ආදී සියලුම ක්‌ෂේත්‍රයන්හි ව්‍යාප්ත වූ විට රටින් පිටවන විදේශ විනිමය ප්‍රමාණය අති විශාල වනු ඇත. එසේම ශ්‍රී ලාංකිකයන්ට අයත් විය යුතු රැකියා අවස්‌ථා කීයක්‌ නම් ඉන්දියානුවන් අතට පත්වනු ඇතිද?

ඉන්දියානු සමාගම් ශ්‍රී ලංකාව තුළ සේවා ව්‍යාප්ත කිරීමට සූදානමින් පසු වුවද ලාංකීය සේවා සපයන සමාගම්වලට ඉන්දියාව තුළ තරගකාරී වීම ඉතාම අපහසුය. ශ්‍රී ලංකාව වර්තමානයේදී සංචාරක, තොරතුරු තාක්‌ෂණ, ගුවන්, නාවුක ආදී සේවා සපයමින් වසරකට ඇමරිකානු ඩොලර් බිලියන තුනකට ආසන්න ශුද්ධ ඉපයීමක්‌ සේවා අංශය තුළින් සිදු කරයි. නමුත් එට්‌කා ගිවිසුමෙන් පසුව සේවා අංශයෙන් අධික මුදලක්‌ ඉන්දියාව වෙත ඇදී යැම නිසා සේවා අංශය ද ගෙවුම් තුලනය තුළ හිඟයක්‌ වාර්තා කිරීමට ඉඩ ඇත.

සේවා නියුක්‌තිකයන්ගේ ප්‍රේෂණ

වර්තමාන තත්ත්වය අනුව, වාර්ෂිකව භාණ්‌ඩ වෙළෙඳාමෙන් ඇමරිකානු ඩොලර් බිලියන නවයක පමණ මුදලක්‌ වැඩිපුර අපේ රටින් පිටවන විට, විදේශ සේවා නියුක්‌තිකයන්ගේ ප්‍රේෂණ ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 6.5 ක පමණ මුදලක්‌ රට තුළට වැඩිපුර ඇතුළු වේ. එය සැකසෙන්නේ ලාංකිකයන් විසින් වෙනත් රටවල සේවය කර වාර්ෂිකව මෙරටට එවන ඇමරිකානු ඩොලර් බිලියන හතකට මදක්‌ වැඩි මුදලකින්, විදේශිකයන් ලංකාවේ සේවය කර පිට කරන ඇමරිකානු ඩොලර් මිලියන 800 ක පමණ මුදලක්‌ අඩු කිරීම මගිනි.

එට්‌කා ගිවිසුමෙන් පසුව විශාල ඉන්දියානුවන් පිරිසක්‌ ශ්‍රී ලංකාව තුළ සේවය කරනු ඇත. ඒ නිසා ශ්‍රී ලංකාවෙන් සේවා නියුක්‌තිකයන්ගේ ප්‍රේෂණ ලෙස පිට වන මුදල ඉහළ යනු ඇත. එවිට ඉහත කී භාණ්‌ඩ වෙළෙඳාමෙන් රට තුළින් වැඩිපුර පිටවන මුදලට දැනට පිළියමක්‌ ලෙස පවතින විදේශ සේවා නියුක්‌තිකයන්ගේ ප්‍රේෂණවල ශුද්ධ අගය ද පහත යනු ඇත.

කබලෙන් ළිපට තල්ලු කිරීම

මේ අනුව එට්‌කා ගිවිසුම නිසා භාණ්‌ඩ, සේවා, මෙන්ම සේවා නියුක්‌තිකයන්ගේ ප්‍රේෂණ ලෙස ශ්‍රී ලංකාවෙන් වාර්ෂිකව මුදල් පිටවන ප්‍රමාණය උත්සන්න වේ. එහි ප්‍රතිඵලය වන්නේ ගෙවුම් තුලනයෙහි ජංගම ගිණුමේ හිඟය ඉහළ යැමයි. ඉතා කුඩා ප්‍රාග්ධන ගිණුමක්‌ හිමි ශ්‍රී ලංකාවේ ජංගම ගිණුම තුළ පවතින හිඟය, මුල්‍ය ගිණුම තුළින් තුලනය කර ගැනීමට සිදුවේ. එනම් අපගේ ණය බර වැඩි වීම සහ විදෙස්‌ සංචිත පහළ යැම ජංගම ගිණුමේ සෘන අගයක්‌ වාර්තාවීමේ සෘජු ප්‍රතිඵල වේ.

ඵලදායී විදෙස්‌ ආයෝජන ගෙන්වාගත හැකි නම් විදෙස්‌ සංචිත පහළ යැම සහ ණය බර වැඩි වීම යම්තාක්‌ දුරට පාලනය කළ හැකිය. නමුත් මුදල් රැගෙන ආ පමණින් සියලුම විදේශ ආයෝජනයන් රටට හිතකර වන්නේ නැත. දේශීය ආයෝජකයාට ඇති අවස්‌ථාව අහිමි කරමින් මෙරට පාරිභෝගික ජනතාවගේ මුදල් හෝ රජයේ ගෙවීම් හෝ ලාභාංශ ලෙස යළි මෙරටින් පිටකරන, අපනයන වර්ධනයට ඉවහල් නොවන, රෝහල්වල රෙදි සේදීම වැනි ඉතා අඩු ප්‍රාග්ධනයක්‌ රට තුළට ගෙනෙන විදේශ ආයෝජන මගින් සිදු වන්නේ අනර්ථයකි. ජංගම ගිණුමේ හිඟය අවම කර ගැනීමට අප අපොහොසත් වුවහොත් රටින් වැඩිපුර පිටවන මුදල සොයා ගැනීමට අප සතුව ඇති වටිනා සම්පත් කුණු කොල්ලයට විදේශිකයන්ට විකුණා දමන්නට රජය පෙළඹෙණු ඇත.

එට්‌කා ගිවිසුම ශ්‍රී ලංකාවේ ආර්ථිකය කබලෙන් ළිපට ඇද දමා මේ කුණු කොල්ලයට පාර කපනු ඇත. 2001-2004 රනිල් වික්‍රමසිංහ අගමැති වූ සමයේ එවක ආයෝජන මණ්‌ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අර්ජුන් මහේන්ද්‍රන් මුල්වී එදා සීපා නමින් ආරම්භ කළ මෙම ක්‍රියාදාමය අද ඉතා වේගවත් කිරීමට මලික්‌ සමරවික්‍රම අමාත්‍යවරයාගේ සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳාම අමාත්‍යාංශය ක්‍රියා කරමින් සිටියි. අවංක පුද්ගලයකුට නම් එට්‌කා ගිවිසුම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි ලෙස අහිතකර බව තේරුම් ගැනීමට මාස ගණන් ගත කිරීමට අවශ්‍ය වන්නේ නැත. එනිසා නවවැනි එට්‌කා සාකච්ඡා වටය පැවැත්වීමට පෙර ජනාධිපතිතුමා විසින් එට්‌කා සාකච්ඡා අත්හිටුවා, එට්‌කා සාකච්ඡා කණ්‌ඩායම විසුරුවා හැරිය යුතුය. නැතහොත් අපකීර්තිමත් එට්‌කා ගිවිසුම අත්සන් කරන දිනයේද වේදිකාවේ ඉහළින්ම අසුන් ගෙන සිටීමට සිදු වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook: https://www.facebook.com/yuthukama

3/01/2018

'එට්‌කා' සහ ආර්ථික ඝාතකයෝ

කතෘ:යුතුකම     3/01/2018   No comments


අපි අතරෙම අපිත් එක්‌ක සුහදව ඉන්න මේ ඝාතකයා, ඝාතකයෙක්‌ කියලා හඳුනාගන්න අපි අසමත් වුණොත් මේ ඝාතකයන් අතින් අපව ඝාතනය වන බව අපි තේරුම්ගන්න ඕනා.
වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් පසුගියදා කොළඹ මහජන පුස්‌තකාල ශ්‍රවනාගාරයේදී 'රට විකිණීමට එරෙහිව් පැවැත්වූ සම්මන්ත්‍රණයේදී තොරතුරු තාක්‌ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ මහතා විසින් එට්‌කා ගිවිසුම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ඝාතකයෝ යන තේමාව යටතේ පැවැත්වූ දේශනය:



 එට්‌කා ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රධාන වගකීම දරන අමාත්‍ය මලික්‌ සමරවික්‍රම මහත්තයාට මේ රටේ සංවර්ධනය සම්බන්ධයෙන් තිබෙන්නේ පුදුම උනන්දුවක්‌. කොච්චර උනන්දුවක් තිබෙනවාද කියනවා නම් එතුමා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවර්යෙක්වත් වෙන්න කළින් අර බැදුම්කර හොරකමට කළින් දවසේ යනවා මහ බැංකුවට. ගිහින් සාකච්ඡුා කරනවා පාරවල් හදන්න සල්ලි හොයන විදිහ. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක්වත් නෙමේ එතකොට. පුදුම උනන්දුවක්!

හැබැයි එතුමා අමාත්‍යාංශයක්‌ ගත්ත දවසෙ ඉඳලා මේ වෙනකල් එට්‌කා ගිවිසුම සම්බන්ධයෙන් ක්‍රියා කළත් එතුමා තවම අසමත් වෙලා තියෙනවා එට්‌කා ගිවිසුම සම්බධන්ධයෙන් ශක්‍යතා අධ්‍යනයක්‌වත් කරන්න. ඒ නිසා අපි ශක්‍යතා අධ්‍යනයක්‌ කරලා ඒක පොතක්‌ විදියට ප්‍රකාශයට පත් කරලා කථානායකවරයාගේ අනුමැතිය අරගෙන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දීලා තියෙනවා. කථානායකතුමාත් අපට ලිපියක්‌ යොමු කළා වගකිවයුත්තන්ගේ අවධානයට ලක්‌විය යුතු මෙවැනි කෘතියක්‌ රචනා කිරීම සමබන්ධයෙන් ස්‌තුතිය ප්‍රකාශ කරලා. ඉතින් මේකේ ප්‍රධානම වගකිවයුත්තෙක්‌ තමා මලික්‌ සමරවික්‍රම ඇමැතිතුමා. අපි හිතනවා එතුමා මේ පොත කියවයි කියලා. ඒ වගේම තමා එතුමාගේ රාජ්‍ය ඇමැතිතුමා, සුජීව සේනසිංහ. අපි කවුරුත් දන්නවා එතුමා පොත් ලියන කෙනෙක්‌. ළඟදී පොතක්‌ ලිව්වා බැඳුම්කර වංචාව ගැන. එනිසා එතුමා කොහොමත් මේ පොත බලන්න ඇති. 

 මේ අවුරුද්දේ ඔක්‌තෝම්බර් මාසයේ එට්‌කා ගිවිසුම සම්බන්ධයෙන් ලංකා එට්‌කා කණ්‌ඩායමේ 12 දෙනා ඉන්දියාවේ එට්‌කා කණ්‌ඩායමත් එක්‌ක නවදිල්ලි නුවරදී 6 වැනි සාකච්ඡා වටය පැවැත්වූවා. එහිදී තීරණය වුණා 7 වැනි සාකච්ඡා වටය කොළඹදී දෙසැම්බර් මාසයෙදී පවත්වන්න. නමුත් මේවා කාටවත් දැනගන්න ලැබෙන්නේ නෑ. අපි මේ කතාකරන මොහොත වන විට ජාතියේ ගෙල සිරකරන මේ කුමන්ත්‍රණය ලංකා කණ්‌ඩායමේ 12 දෙනාත් ඉන්දියානු කණ්‌ඩායමේ කිහිප දෙනාත් අතර කොළඹ කොහේ හෝ තැනක සිදුවෙනවා වෙන්න පුළුවන්. එය බොහෝ විට මේ එට්‌කා ගිවිසුම සම්බන්ධයෙන් සිදුවන අවසන් සාකච්ඡා වටය වෙන්න පුළුවන්. එසේ වුවහොත් 2018 වසරේ මුල් කාර්තුව තුළ එට්‌කා ගිවිසුම අත්සන් කරන්නට සියලු කටයුතු සූදානම්.
(නවතම තත්වයට අනුව 2018, පෙබරවාරි 21 සිට 23 දක්වා එට්කා සඳහා අටවන සාකච්ඡා වාරයද ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වීය.)

 එට්‌කා සාකච්ඡා කණ්‌ඩායමේ ඉන්න නිලධාරීන් පිරිස මේ දේශෙද්‍රaහී කටයුත්ත ජනතාවට හොරෙන් කරගෙන යද්දී, තවත් පිරිසක්‌ ඉන්නවා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන. ඒ තමයි මේ රටේ ඉන්න ආර්ථික ඝාතකයෝ. මේ ආර්ථික ඝාතකයෝ කියන පිරිස තමන්ව හඳුනාගන්නේ 'ආර්ථික විශේෂඥයෝ' කියලා. මොවුන් ඉංග්‍රීසි කතාකරන ටයි කෝට්‌ පළඳින ජාතියක්‌. හැංගිලා ඉන්න ඝාතකයෝ නෙමේ මේ අය. අපි මේ අයව රූපවාහිනියේ දකිනවා. පත්තරවල ඔවුන්ගේ ලිපි පළ වෙනවා. හැබැයි මේ පිරිස කරන්නේ මේ ජාතිය ඝාතනය කරන එක.

 අපි එකක්‌ මතක තියාගත යුතුයි. අපි අතරෙම අපිත් එක්‌ක සුහදව ඉන්න මේ ඝාතකයා, ඝාතකයෙක්‌ කියලා හඳුනාගන්න අපි අසමත් වුණොත් මේ ඝාතකයන් අතින් අපව ඝාතනය වන බව අපි තේරුම්ගන්න ඕනා.

 මේ ළඟදී, රසීන් සැලී කියන පුද්ගලයා, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ ප්‍රධානියා පවසනවා, වෙළෙඳ හිඟය කියන එක ප්‍රශ්නයක්‌ නෑ. ඒ ගැන කලබල වෙන්න ඕනැ නෑ කියලා. ඇයි මේ පුද්ගලයන්ට මෙහෙම කියන්න සිද්ධ වෙන්නේ?

 මේක ඉතාම වැදගත් කාරණයක්‌. අපි මේක හරියට තේරුම් ගත්තොත් අපිට පුළුවන් මේ ආර්ථික ඝාතකයන් කවුද කියලා හඳුනාගන්න. මේ ආර්ථික ඝාතකයන් මෙහෙම කියන්නේ සුවිශේෂී හේතුවක්‌ ඇතුව. ඇයි වෙළෙඳ හිඟය, එහෙමත් නැත්නම් ආනයන අපනයන් පරතරය වැඩිවීම ප්‍රශ්නයක්‌ නෙමෙයි කියලා මේ අයට කියන්න සිද්ධවෙලා තියෙන්නේ?

 ලංකාවේ වාර්ෂික වෙළෙද හිඟය ඇමෙරිකානු ඩොලර් බිලියන 9 ක්‌. ඒ කියන්නේ එක අවුරුද්දකට හම්බන්තොට වරායවල් 9 ක්‌ වටින මුදලක්‌ අපේ රටින් පිටවෙනවා භාණ්‌ඩ වෙළෙ¹මෙන්. ඔබට මතක ඇති අපේ අගමැතිතුමා අර චෙක්‌පතක්‌ උස්‌සන් හිටියා හරියට තරගයක 'මෑන් ඔෆ් ද මෑච්' හම්බෙලා වගේ. ඒකේ තිබ්බේ කීයක්‌ ද ඇමෙරිකානු ඩොලර් බිලියන බින්දුවයි දශම දෙකයි නවයයි (0.29). වාර්ෂික වෙළෙද හිඟය වන ඇමෙරිකානු ඩොලර් බිලියන 9 න් හතරක්‌ පමණ එන්නේ ඉන්දියාවත් එක්‌ක වෙළෙඳාමෙන්. ඒ හා සමාන වෙළෙඳ හිඟයක්‌ චීනයත් සමඟ තියෙන වෙළෙඳාමෙනුත් එනවා. ඒ කියන්න ඉන්දියාව සහ චීනය සමඟ එක වසරකට වෙළෙඳ හිඟය හම්බන්තොට වරායවල් 8 ක්‌.

 මේක අපේ ආර්ථිකයේ තියෙන එක්‌තරා රෝගයක්‌. ඇයි මේක ප්‍රශ්නයක්‌ වෙන්නේ? අපට ඩොලර් අච්චු ගහන්න බෑ. අපි භාණ්‌ඩ වෙළෙඳාම් කරලා වැඩිපුර රටෙන් පිටවන ඩොලර් ප්‍රමාණය කොහෙන් හරි හොයන්න ඕනා. කොහෙන්ද අපි ඒ වැඩිපුර පිටවන ඩොලර් ප්‍රමාණය හොයන්නේ? මේ ආර්ථික විශේෂඥයන්ට අපි අවධාරණය කරලා කියනවා, වෙළෙඳ හිඟය ප්‍රශ්නයක්‌ ද නැද්ද කියන එක තේරුම්ගන්න වෙන්නේ ඒ වෙළෙඳ හිඟය කිසියම් රටක්‌ පියවන්නේ කෙසේද කියන කාරණය උඩ. ඇමෙරිකාව වගේ රටක්‌ වෙන රටවල ආයෝජනය කරලා ඉන් ලැබෙන ලාභාංශ වලින් ඒ වෙළෙඳ හිඟය පියවනකොට ඒක ලොකු ප්‍රශ්නයක්‌ නොවෙන්න පුළුවන්. හැබැයි අපි කොහොමද මේ වෙළෙඳ හිඟය පියවන්නේ? අපේ රටට එක අවුරුද්දකට ඇමෙරිකානු බිලියන හතක්‌ එවන්නේ විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයෝ. ඒකෙන් හරි අඩක්‌ මේ රටට එවන්නේ මැදපෙරදිග වැඩකරන අම්මලා. වෙළෙඳාම් කරලා එළියට යන ඒ ඩොලර් ටික පියවන්නේ මේ අහිංසක මිනිස්‌සුන්ගේ සල්ලි. ඒ මිනිස්‌සුන්ගේ දහදිය සහ ඒ මිනුස්‌සුන්ගේ ජීවිත. මේ ආර්ථික ඝාතකයෝ අපිට කියනවා වෙළෙඳ හිඟය ප්‍රශ්නයක්‌ නෑ කියලා. එතකොට ඇයි මේ අය මෙහෙම කියන්නේ කියලා පැහැදිලියි. එට්‌කා ගිවිසුමෙන් යෝජනා කරනවා ඉන්දියා එට්‌කා ගිවිසුමෙන් යෝජනා කරනවා ඉන්දියාවෙන් ගෙන්වන භාණ්‌ඩවලින් 90% කටම ආනයනික බද්ධ සම්පූරණයෙන්ම ඉවත් කරන්න. අපි දන්නවා ඉන්දියාවත් එක්‌ක කිසියම් ගිවිසුමකට එළැඹුනොත් අපිට චීනයත් එක්‌කත් එවැනිම ගිවිසුමකට එළැඹෙන්න සිද්ධ වෙනවා. චීනය එක්‌කත් සාකච්ඡා කරන් යනවා එවැනිම ගිවිසුමක්‌ සඳහා. චීනයෙන් ආනයනික භාණ්‌ඩවලින් 90% කුත් සම්පූර්ණ ආනයනික බද්දෙන් නිදහස්‌ කරන්න යනවා.

 එතකොට ලංකාවට කෙරන ඉන්දියානු සහ චීන ආනයන ඉහළ යනවා. එතකොට ඔවුන් දන්නවා මේ වෙළෙඳ හිඟය ඉතා වේගයෙන් ඉහළ යන බව. රටෙන් පිටවන ඩොලර් ප්‍රමාණය වැඩිවෙනවා. මේ පීඩනය දරාගන්න වෙන්නේ මේ රටේ ජනතාවට. ඒ නිසා මේ රෝගයට මේක රෝගයක්‌ නෙමෙයි කියලා තමයි මේ ආර්ථික ඝාතකයෝ කියන්නේ. මොකද ඔවුන් යෝජනා කරන බෙහෙතෙන් මේ රෝගය ඔඩුදුවන බව ඔවුන් දන්නවා. ඉතින් ඒගොල්ලෝ අපිට කියනවා මේකේ ප්‍රශ්නයක්‌ නෑ. මේකේ ලෙඩක්‌ නෑ කියලා. වෙළෙඳ හිඟය ගැටලුවක්‌ නෙමෙයි කියන බොරුව සමාජගත කරලා විතරයි මේ අයට එට්‌කා ගිවිසුම ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ.

 මෙච්චර කල් මේ ලෙඩේට අපිට තිබුණ පිළියම තමයි අර මම කියපු විදේශ ශ්‍රමිකයෝ මෙහෙට එවන මුදල. දැන් මේ ගිවිසුමෙන් පස්‌සේ මොකද වෙන්නේ ඒ පිළියමට? ඒ පිළියමටත් විශාල තර්ජනයක්‌ ඇති වෙනවා.

 එට්‌කා ගිවිසුමෙන් යෝජනා කරනවා සෞඛ්‍ය, අධ්‍යාපනය, මහමාර්ග සහ ප්‍රවාහන සේවා, සංචාරක, තොරතුරු තාක්‌ෂණ, බලශක්‌තිය, බැංකු සහ මූල්‍ය සේවා, රක්‌ෂණ, විනෝදාශ්වාදය ආදී සෑම ක්‌ෂේත්‍රයක්‌ම ඉන්දියානුවන්ට විවර කරන්න. විනෝදාශ්වාදය කිව්වහම සියලු දේවල් අයත් වෙනවා සින්දු කියන එක, චිත්‍රපටි කරන එක විතරක්‌ නෙමේ මඟුල් ගෙවල්වල ඡායාරූප ගන්න එකත් ඒකට ඇතුළත් වෙනවා.

 මේ සියල්ල සඳහා ඉන්දියානු කර්මාන්ත සහ ඉන්දියානු ශ්‍රමිකයන්ට මෙහෙට එන්න පුළුවන් වෙනවා. එතකොට අර මැදපෙරදිග රටවල ලාංකික මවුවරුන් දහදුක්‌ විඳලා මෙහෙට එවන මුදල්, ඉන්දියානු ශ්‍රමිකයෝ මෙහෙට ඇවිල්ලා රුපියල්වලින් පඩි අරගෙන ඩොලර්වලට මාරු කරලා ඉන්දියාවට පිටකරන කොට අර පිළියමත් දුර්වල වෙනවා මේ එට්‌කා ගිවිසුමෙන්. එතකොට එක පැත්තකින් වෙළෙඳ හිඟය වැඩිවෙන කොට ඒකට මෙච්චර කල් පිළියම විදියට තිබිච්ච විදේශ සේවා නියුක්‌තිකයන්ගේ ප්‍රේෂණවල ශුද්ධ අගය අඩුවෙනවා. අපේ රටේ විදේශ සංචිත අඩු වෙනවා. ඒ කියන්නේ අපි ගාව තියෙන ඩොලර් අඩු වෙනවා. රුපියල අවප්‍රමාණය වෙනවා. එතකොට අපිට විදේශීය ණය ලබාගන්න වෙනවා. අපිට තව තව තීව්‍ර ලෙස අපේ ජාතික සම්පත් විකුණන්න වෙයි. එහෙම විකුණගෙන විකුණගෙන ගියාට පස්‌සේ අපිට තැනක්‌ එනවා අපි ළඟ තියෙන ජාතික සම්පත් ඔක්‌කොම විකුණලා ඉවර වෙන. සීගිරිය විකුණයි. සිංහරාජය විකුණන්න වෙයි. ඊට පස්‌සේ අපි මොනවද විකුණන්නේ? අන්න එදාට එනවා ගෙවුම් තුලන අර්බුදය. එතකොට මේ ආර්ථික විශේෂඥයෝ කියන අය කිසි කෙනෙක්‌ මේකේ වගකීම ගන්නවද? නැහැ. ඒක තමයි මනුෂ්‍ය ඝාතකයන්ගේ සහ ආර්ථික ඝාතකයන්ගේ තියෙන වෙනස. මනුෂ්‍ය ඝාතන කරපු අයව අල්ලලා උසාවියේ දඬුවම් දෙන්න පුළුවන්. මේ ආර්ථික ඝාතකයෝ සිය දහස්‌ ගණන් මිනිස්‌ ඝාතන සිදුකරලා, වැරදි ආර්ථික ක්‍රම රටවලට හඳුන්වලා දීලා එන්. ජී. ඕ. බත්බැලයෝ වෙලා එන්. ජී. ඕ. ඩොලර් අරගෙන බොහෝම සුව සේ තමන්ගේ ජීවිතය ගත කරනවා.

 මෙහෙම ආනයනික බදු අඩු කළහම රජයට ලැබෙන බදු ආදායමට මොකක්‌ද වෙන්නේ. රජය ඒ අහිමිවන බදු ආදායම වෙන කොහෙන් හෝ ලබාගත යුතුයි. කොහෙන්ද ගන්නේ? මේ රටේ දුප්පත් මිනිස්‌සුන්ගේ බොටුව මිරිකලා ඒ මිනිස්‌සුන්ගෙන් තමයි ගන්න වෙන්නේ. මේ රටේ ඉන්නවා නම් ආර්ථික විශේෂඥයෝ එට්‌කා හොඳයි කියන අපි ආරාධනා කරනවා විවාදයකට එන්න කියලා.

 දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් වෙළෙඳ ගිවිසුම් මෙච්චර නරකද කියලා. තව රටවල් තියෙනෙවා වෙළෙඳ ගිවිසුම් ගහලා තියෙන. ඒක සාධාරණ පැනයක්‌. සමහර වෙළෙඳ ගිවිසුම් තියෙනවා ප්‍රවේශමෙන් අධ්‍යනය කරලා, ශක්‍යතා අධ්‍යනයක්‌ නිවැරදිව තේරුම් අරගෙන ගිවිසුම්ගත වෙලා යම්කිසි වාසීන් ලැබිය හැකියි. මම එක උදාහරණයක්‌ කියන්නම්. ඇමෙරිකාව සහ මෙක්‌සිකෝව අතර තියෙන වෙළෙඳ ගිවිසුමක්‌ සැලකුවොත් ඇමෙරිකාවට තියෙනවා අතිරික්‌ත ප්‍රාග්ධනය. මෙක්‌සිකෝවට තියෙනවා අඩු මිල ශ්‍රමය සහ අඩු නිෂ්පාදන පිරිවැය. එතකොට ඒ අඩු මිල ශ්‍රමය යොදා නිපදවන භාණ්‌ඩ ඇමෙරිකාවට අපනයනය කරලා වගේම මෙක්‌සිකානු වෘත්තිකයෝ ඇමෙරිකාව තුළ රැකියා කිරීම මඟිනුත් මෙක්‌සිකෝවට කිසියම් විදේශ විනිමය ප්‍රමාණයක්‌ ගෙන එනවා. ඒ වගේම මෙක්‌සිකෝව තුළ ඇමෙරිකාව සතු ප්‍රාග්ධනය ආයෝජනය කරලා ලාභාංශ විදියට ඇමෙරිකාවට මුදල් ගෙන එනවා. නමුත් මේ රටවල් දෙකටම මේ ගිවිසුමෙන් ගැටලු උදාවෙලා තියෙනවා. හැබැයි රටවල් දෙකකට කිසියම් හෝ වාසිත් තියෙනවා. 

 හැබැයි ලංකාවයි ඉන්දියාවයි සලකලා බැලුවහම තත්ත්වය කුමක්‌ද? කාටද වැඩිපුර ප්‍රාග්ධනය හිමිවීමේ වාසිය තිබෙන්නේ? ඉන්දියාවට. කාටද අඩු මිල ශ්‍රමය තියෙන්නේ? ඉන්දියාවට. අපිට ඉන්දියාවත් එක්‌ක ගිවිසුමක කිසිදු වාසියක්‌ නෑ.

 දැන් මේ ගිවිසුම් ගහන්න කතා කරන අය අපට ඉන්දියාව තුළ තියෙන අවස්‌ථා ගැන කතා කරනවා අහලා තියෙනවා. එහෙම කතා කරන්නේ නෑ. ඒ අයත් කතා කරන්නේ අපි කොහොමද බේරෙන්නේ කියලා. මම කාට හරි ගහගන්න කතා කරලා මම කල්පනා කරනවා මම කොහොමද බේරෙන්නේ කියලා. මොකක්‌ද මේ, ධනවාදය ද මේක. නෑ මේක ධනවාදය නෙවෙයි. මේක බියගුළුකම. පාලකයන්ට කොන්ද පණ නැති කම. මේක ඉන්දියානු ආක්‍රමණිකයාට බයේ කරන කටයුත්තක්‌. මොළේ තියෙනවා කියලා ගෙනාවට අද වෙනකොට ඔප්පු වෙලා තියෙනවා මේ පාලකයන්ට උකුණු හිසක තරම්වත් මොළයක්‌ නෑ කියලා. අපේ රණවිරුවෝ දස දහස්‌ ගණන් ජීවිත පූජා කරලා බේරගත්ත මවුබිම මේ වගේ පාලකයන්ට පාවාලා දෙන්න ඉඩදෙන්න බෑ. ඒ සඳහා අපි සියලු දෙනා රොද බැඳගත යුතු වෙනවා. මේ පණිවුඩය ගමින් ගම අරන් යන්න වෙනවා. පාළාත් පාලන මැතිවරණයේ ඡන්දය ඉල්ලන් කුමන පක්‌ෂයකින් ආවත් අපි හැමෝම අහමු මේ සම්බන්ධයෙන් ඔයගොල්ලන්ගේ මතය කුමක්‌ද කියලා. මේ කාරණා ටික සභාව හමුවේ අවධාරණය කරමින් මම සමුගන්නවා. බොහෝම ස්‌තුතියි.


යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions