11/27/2023

අපේ රටේ තාක්ෂණ අධ්‍යාපනය පිළිබඳ ධර්මපාලතුමාගේ දැක්ම

කතෘ:යුතුකම     11/27/2023   No comments

අනගාරික ධර්මපාලතුමා දියත් කළ ජාතික විමුක්ති ව්‍යාපාරයේ අධ්‍යාපන – ආර්ථික දර්ශනය, වර්තමානයේ අපේ රට මුහුණ දෙන අභියෝග සහ අප ගත යුතු මග පිළිබඳ රුහුණු විශ්වවිද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති, මහාචාර්ය වසන්ත දේවසිරි මහතා සමග සිදුකළ සාකච්ඡාවකි.

අනගාරික ධර්මපාලතුමා යටත්විජිත යුගයේ දියත් කළ අරගලය බුදු දහම නගා සිටුවීමේ ව්‍යාපාරයකට ලඝු කිරීම වැරදියි. ධර්මපාලතුමා බුදු දහම, අධ්‍යාපනය, ආර්ථිය, සංස්කෘතිය ඇතුළු සියලු ක්ෂේත්‍ර සුවිශාල මතවාදී අරගලයක් දියත් කළා. ඒ සියල්ල ධර්මපාලතුමා දියත් කළ යටත්විජිත විරෝධී නිදහස් අරගලයේ එකිනෙකට බැඳුණු විවිධ මුහුණවර විදිහට හඳුනා ගැනීම වැදගත්.

ධර්මපාලතුමා නිදහස් අරගලය ක්‍රියාත්මක කරන සමය වන විට ඒ කියන්නේ 1908 පමණ වන විට ලංකාවේ ජනගහනය මිලියන 40යි. ඒ අවුරුද්දේ රජයේ සමස්ත ආදායම රු. 35,572,849 වුණත් අධ්‍යාපනය සඳහා වෙන් කළේ රු. 761 000ක් හෙවත් 2.1%ක් විතරයි.  එහෙත් එංගලන්ත ආණ්ඩුවට ලොව පුරා යුද්ධ කරන්න එම වසරේ දී අපේ රටෙන් රු. ලක්ෂ 19ක් අපේ මුදල් ලබා දී තිබෙනවා. රජයේ සේවකයින්ට විශ්‍රාම වැටුප් සඳහා ලක්ෂ 19ක් වැය කර තිබෙනවා. එදා අපේ රටේ අධ්‍යාපනය ලැබිය යුතු පිරිස මිලියන 16ක් වුණත් ඒ අතරින් ස්වදේශික (14%) සහ ඉංගිරිසි පාඨශාලා (16.25%)  අධ්‍යාපනය ලැබුවේ සියයට තිහක් වගේ සුළු පිරිසක් විතරයි. සුදු ආණ්ඩුව අපට අධ්‍යාපනය ලබා දීමට ඔවුන් දැක්වූයේ කුඩම්මාගේ සැලකිල්ලක් බව මෙමගින් හොඳට පේනවා. එයත් අපේ රටට ගැළපෙන අධ්‍යාපනයක් නොවන බව ධර්මපාලතුමා අවබෝධ කරගෙන හිටියා.

රටේ සියලු පන්සල් ආශ්‍රිතව එදා පැවැති අධ්‍යාපන ක්‍රමය යටත්විජිතවාදීන් 1870 දී තහනම් කරනවා. අපේ අධ්‍යාපන ක්‍රමය තහනම් කරලා ඒ වෙනුවට අපේ සංස්කෘති උරුමයෙන් සංස්කෘතික විඥානයෙන් සම්පූර්ණයෙන් වියුක්ත වූ බටහිර ගැති අධ්‍යාපනයක් තමයි, ඉංගිරිසි ආණ්ඩුව එකල ලබා දුන්නේ. අපේ ඉතිහාසය වෙනුවට අපට ඉගැන්නුවේ ඉංගිරිසි ඉතිහාසය.

යටත්විජිතවාදීන් මේ රටට හඳුන්වා දුන් අධ්‍යාපන ක්‍රමය ධර්මපාලතුමා හැඳින්නුවේ ස්ථීර පදනමක් නැති අවජාතක නැත්නම් තුප්පහි අධ්‍යාපන ක්‍රමයක් කියලා. තුප්පහි කීවේ hybrid එහෙම නැත්නම් දෙමුහුන් කියන අර්ථයෙන්. දෙමුහුන් කොටලුවෙකුට පරපුරක් ඉදිරියට අරන් යන්න බෑ. ඒ වගේ ම දෙමුහුන් අධ්‍යාපන ක්‍රමයකට සංස්කෘතියක් පෝෂණය කරමින් ඉදිරියට අරන් යන්න බෑ කියලා ධර්මපාලතුමා අවබෝධ කරගත්තා.

එකල අපේ රටේ ප්‍රභූ පවුල්වල දරුවන් ඉගෙන ගත්තේ වෛද්‍යවරුන් සහ නීතීඥයින් වීමේ අභිලාෂයෙන්. ධර්මපාලතුමා කියනවා, රටේ සෙසු සමාජ කණ්ඩායම් විසින් අනුකරණය කරන ප්‍රභූ පවුල්වල දරුවන් ඉගෙන ගන්නේ වෛද්‍යවරුන් නීතීඥයින් වෙන්න නම් ඒ රට කවදාවත් දියුණු වෙන්නේ නෑ කියලා. කලහකාරයින්ගේ සල්ලි නීතීඥයින්ගේ සාක්කුවටත් ලෙඩ්ඩුන්ගේ සල්ලි දොස්තලගේ සාක්කුවලටත් යනවා. ඒ සල්ලි නැවත ආයෝජන විදිහට රටේ ආර්ථිකයට එකතු වෙන්නේ නෑ. මේ බව එදා ධර්මපාලතුමා දැක්කා.

අපට රටක් විදිහට දියුණු වෙන්න නම් අප තුළ ජාතික විඥානයක් දේශප්‍රේමීත්වයක් ගොඩනැගිය යුතු වුවත් එදා පැවැති අධ්‍යාපන ක්‍රමය තුළ ඒ කිසිවක් නොවන බවට ධර්මපාලතුමා තර්ක කළා. එතුමා කෝට්ටේ මිෂනාරි පාසලේ ඉගෙනීම කරද්දි ධර්මපාලතුමා ගුරුවරු අරක්කු පානය කළ හැටි, කුරුල්ලන් දඩයම් කළ හැටි දකිනවා. එතුමාට තෙරුවන් නමදින්න ඉඩ නොදී බලහත්කාරයෙන් පල්ලියට අරන් යනවා. එතුමා මේ සියල්ල  දකින්නේ ළමා මනස දූෂණය කිරීමක් විදිහට. නිවසේ අභාසයත් සමග එතුමාට ඒ බලපෑමෙන් මිදීමේ භාග්‍යය ලැබුණත් අති බහුතරයකට එම හැකියාව නැති බව එතුමා දුටුවා.

සුද්දාගේ ආණ්ඩුව මෙතෙක් කල් තිබුණා නම් එහෙම කියන අයට වගේ ම ඔවුන්ගේ මාපියන්ටත් කිසිදා පාසලක් නොදුටු නූගත් වහලුන් විදිහට තමයි, මේ රටේ ජීවත් වෙන්න ලැබෙන්නේ. අපි දැක්කා ගාලු මුවදොර තරුණ පිරිසක් අරගලය වෙලාවේ බණ්ඩාරනායක මහත්තයාගේ ඇස් වහනවා. ඔවුන් කීවේ ස්වභාෂා අධ්‍යාපනය හඳුන්වා දීමෙන් බණ්ඩාරනායක මහත්තයා වරදක් කළා කියලා. නමුත් ඔවුන් දන්නේ නෑ, 1956 වෙද්දී මේ රටේ ඉංගිරිසි දැනගෙන හිටියේ 11%යි කියලා. මේ අතරින් 4%ක් සිංහල, 7%ක් දෙමළ. එවැනි පසුබිමක සිංහල භාෂා පනත සහ දෙමළ භාෂා විශේෂ විධිවිධාන පනත ගෙන ආවේ නැත්නම් මේ රටේ බහුතරයකට අධ්‍යාපන අවස්ථා ලැබෙන්නේ නෑ.

ඒ සමග තමයි, නිදහස් අධ්‍යාපනය ගම් දනව් පුරා පැතිර ගියේ. අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද සහ ගනඳුරු මැදියම දකිනෙමි අරුනළු කියන කෘතිවල ගුණදාස අමරසේකර මහත්තයා පෙන්වා දෙනවා, ධර්මපාලතුමා දියත් කළ ජාතික ව්‍යාපාරය 1925 පමණ වන විට එතුමාගෙන් ගිලිහී ගොස් වෙනත් පිරිසක් අතට පත්වන ආකාරය.  ඒ පිරිස තමයි, අනතුරුව මේ රටේ ආණ්ඩුව භාර ගත්තේ. ධර්මාපලතුමා දැල්වූ ජාතික විඥානය 56 මැතිවරණයෙන් ප්‍රකාශයට පත්වුණා කීවොත් නිවැරදියි.

බෞද්ධ අරමුදලට ආධාර එකතු කරන්න ලංකාවට පැමිණි ඕල්කට්තුමාගේ භාෂා පරිවර්තක ලෙස ධර්මපාලතුමාට රට පුරා චාරිකාවේ යෙදෙන්න අවස්ථාව ලැබෙනවා. සිංහලයා අසීමිත ලෙස දුප්පත්භාවයේ ගිලි ඇති ආකාරයත් බෞද්ධ සංස්කෘතිය පරිහානියට පත්ව ඇති ආකාරයත් ධර්මපාලතුමාට සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව එහි දී ලැබෙනවා.

සියවස් ගණනක් ස්වයංපෝෂිතව පැවැති රටක් මේ විදිහට පරිහානියට පත්වීම එතුමාගේ කම්පාවට හේතු වෙනවා. මේ දුප්පත්කමින් මිදීමේ මාර්ගය විදිහට එතුමා දැක්කේ බුදු දහම අනුව ජීවත් වීම සහ කර්මාන්ත දියුණු කිරීම. ඒ නිසා තමයි, සෑම ගමක ම තිබෙන පන්සලේ පුස්තකාලයක් සහ කර්මාන්තශාලා පිහිටුවන්න ඕන කියලා එතුමා යෝජනා කළේ.

එතුමා ලෝකය පුරා බුදු දහම ප්‍රචාරය කිරීම ඔස්සේ වගේ ම ඉන්දියාවේ බුදු දහම නගා සිටුවීම ඔස්සේ උත්සාහ කළේ අපේ රටේ බෞද්ධ ප්‍රබෝධය සඳහා එය ශක්තියක් කරගන්න. අපේ රටේ අධ්‍යාපනයට බෞද්ධ ප්‍රතිපත්ති හඳුන්වා දීම සඳහා උවමනා ශක්තිය එමගින් ලබා ගන්න පුළුවන්. එය සාර්ථක කරගන්නත් අපට බැරි වුණා. අප පාසලෙන් ලද අධ්‍යාපනය අපේ සංස්කෘතියට බුදු දහම පදනම් කරගත් හර පද්ධතියට ආගන්තුකයි. අලුත් පරම්පරාවේ හැසිරීමෙන් එය තහවුරු වෙනවා. 

ඒ බටහිර රටවල කාර්මික විප්ලවය ඇති වෙමින් පැවැති යුගය. එකල බටහිර නොයෙක් කාර්මික නිෂ්පාදන බිහි වෙනවා. නමුත් අපේ රටට කාර්මික අධ්‍යාපනය හඳුන්වා දෙන්න හෝ නව කර්මාන්ත හඳුන්වා දෙන්න සුදු පාලකයින් කිසිම අවස්ථාවක කටයුතු කළේ නෑ. ඔවුන් ලබා දුන්නේ අපේ රට දියුණුවට පදනමක් දමාගත හැකි ආර්ථික ශක්තියක් ගොඩනග ගත හැකි අධ්‍යාපන ක්‍රමයක් නෙමෙයි. ඔවුන්ට අවශ්‍ය වුණේ අඩු වියදමින් තමන්ගේ පාලන කටයුතු කරගෙන යන්න ස්වදේශික ලිපිකරු පිරිසක් බිහි කරගන්න විතරයි.

මේ අර්බුදය ධර්මපාලතුමා දකිනවා. ඒ නිසා තමයි, එතුමා මහාබෝධි අරමුදලින් යම් යම් කර්මාන්ත ඉගෙන ගන්න තරුණයින් ජපානය ඇතුළු විදෙස් රටවල පුහුණුවට යවන්නේ. අලියා ගිනි පෙට්ටි කර්මාන්තශාලාව පටන් ගන්නේ ධර්මපාලතුමා ඒ විදිහට පුහුණුව දුන් තරුණයෙක්. ලංකාවේ පළමු පේෂ කර්මාන්ත ආයතනය පටන් ගන්නේ ධර්මපාලතුමාගේ මැදිහත්වීමෙන් එතුමා උපන් ගෙදරමයි. ඒ වගේ ම රටේ ප්‍රභූන්ට ආරාධනා කරනවා තරුණයින්ට විදෙස් රටවලට ගිහින් කර්මාන්ත ඉගෙන ගන්න ආධාර කරන්න කියලා. එතුමා දැනගෙන හිටියා අපේ රට ආර්ථික වශයෙන් දියුණු කරන්න නම් යා යුතු මාර්ගය එයයි කියලා.

ඒ වගේ ම එතුමාට ලෝකය ගැන පුළුල් අවබෝධයක් දැනුමක් තිබුණා. චීන දරුවන් තාක්ෂණය සහ කර්මාන්ත ඉගෙන ගන්න ඇමරිකාවට යවන හැටි එතුමා දැක්කා. ඉන්දියාවේ ජපානයේ දරුවන්ට කර්මාන්ත උගන්වන අයුරු එතුමා දුටුවා. ඒ නිසායි, අපේ දරුවන් ඒ රටවලට යොමු කරලා කර්මාන්ත උගන්වන්න දිරිමත් කළේ. මහා චීනය යනුවෙන් ලිපියක් ලියමින් ධර්මපාලතුමා ප්‍රකාශ කළා, අබිං කන්න පුරුදු කළ චීන ජාතිය දැන් ඉන් මිදිලා දියුණුවේ මාවතට පිවිසිලා අවසන්, ඔවුන් නුදුරේ දීම දියුණු රාජ්‍යයක් වෙයි කියලා. අද චීනය එදා තමන් ගුරුහරුකම් ගත් ඇමරිකාව අභිබවා ලෝක ආර්ථික බලවතා බවට පත්වෙලා. මහා දුරදක්නා නුවණකින් කටයුතු කළ ධර්මපාලතුමා උත්සාහ කළේ අපේ රටත් ඒ මාර්ගයේ යවන්න.

ධර්මපාලතුමා කාර්මික අධ්‍යාපනය සඳහා ප්‍රමුඛතාව දීමේ අවශ්‍යතාව අවධාරණය කළත් අපේ පාසල් අධ්‍යාපනයට තාක්ෂණික විෂය මාලා එකතු කළේ 2012 අවුරුද්දේ. ඒ ධර්මපාලතුමා ඒ පිළිබඳ කතා කරලා අවුරුදු 100කට විතර පස්සේ. අපේ විශ්වවිද්‍යාලවලට මේ විෂය හඳුන්වා දෙන්නේ 2014. මේක ඉතා ම කනගාටුදායක තත්ත්වයක්. නමුත් අවුරුදු 100කට පස්සේ කළත් එය ඉතා ම ප්‍රගතිශීලි පියවරක්.

අපේ රට දියුණුව කරා මෙහෙය වන්න නම් මේ රටේ අධ්‍යාපනය තුළට නව චින්තනයක් ගෙන එන්න ඕන. ඒ සඳහා ධර්මපාලතුමා පෙන්වා දුන් අපේ සභ්‍යත්වය පදනම් කරගත් බෞද්ධ චින්තනය මිස වෙන විකල්ප නෑ. හැබැයි බොහෝ දෙනා මේ වචනෙට පවා කැමති නැති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි, මෙතෙක් එය කිසිවෙකුට කරගන්න බැරි වුණේ. ආගම කතෝලික හින්දු ක්‍රිස්තියානි, ඉස්ලාම් කුමක් වුවත් මේ රටේ සභ්‍යත්වය පදනම් කරගත් අධ්‍යාපනයක් සියලු දරුවන්ට ලබා දිය යුතුයි.

ධර්මපාලතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ජාතික වීරයෙක්. එතුමා සිංහල ජාතියට දියුණු වෙන මාර්ගය පැහැදිලි කරන්න කතා නොකළ දෙයක් නෑ. කන බොන විදිහ අඳින පළඳින විදිහ විතරක් නෙමෙයි, වැසිකිළියට ගිහින් හෝද ගන්න හැටි පවා කියලා දුන්නා. නමුත් එතුමා ජාතික ව්‍යාපාරයෙන් නෙරපා හරින්න පිරිසක් නොයෙක් දේ කළා. ඒක අසාර්ථ වුණා ම එතුමා බෝධිසත්වයෙක් බවට පත් කරලා බුදු දහම ගලවා ගන්න පැමිණි ආගමික නායකයෙක් ලෙස සමාජගත කළා.

ගුණදාස අමරසේකර මහත්තයා අනගාරික ධර්මපාල මාස්ක්වාදී ද කියන කෘතිය ඔස්සේ මේ පිළිබඳ කතා කරන්න කලින් අපි වුණත් ධර්මපාලතුමා හඳුනා ගත්තේ ආගමික නායකයෙක් විදිහට. බහුතර සමාජයට අදත් එතුමාගේ සමාජ දේශපාලන සංස්කෘතික කාර්යභාරය පිළිබඳ අවබෝධයක් නෑ. ඒක අවාසනාවන්ත තත්ත්වයක්.

බුද්ධිගලනය කියන්නේ අපේ උගත්තු මේ රටේ තත්ත්වයට අනුගත වෙලා ඒ දුෂ්කරතා විඳිමින් කටයුතු කරමින් වටු රැලක් වගේ රට ඉහළට ඔසවන්න සූදානම් නැති නිසා ඇති වෙන ප්‍රශ්නයක් නෙ. නියම බෞද්ධ හර පද්ධතිය තුළ හැදුණා නම් මේ විදිහට රට අතහැර ගොස් සැප හෝ නිදහස සෙවීමට අලුත් පරපුර පෙළඹෙන්නේ නෑ. මහාවංශයේ ගැමුණු කුමාරයාගේ කතාවේ පේළියක් පේළියක් ගාණේ අපට ඉගෙන ගන්න පාඩමක් තියෙනවා. රට දුෂ්කර කාලයක් පසු කරද්දි අපි අපේ හර පද්ධතිය තුළ ඉඳගෙන කටයුතු කළ යුතු ආකාරය ගැමුණු කුමාරයාගේ චරිතයෙන් අපට ඉගෙන ගන්න පුළුවන්. අපේ සම්ප්‍රදාය තුළ පරපුරෙන් පරපුරට ඒ කුසලතා ගෙන ආවේ වංශකතා ජාතක කතා ඇතුළු කතාන්දර සම්ප්‍රදාය ඔස්සේ. අද දරුවන් විතරක් නෙමෙයි, ඒ දරුවන්ගේ දෙමාපියන් පවා මේ සම්ප්‍රදායෙන් ඈත් කරලා.

එකල මේ රටේ ඉහළ මධ්‍යම පන්තියේ මිනිස්සු කෙතරම් අවිචාරවත් විදිහට පිටරට සංකර භාණ්ඩ සඳහා වියපැහැදම් කළ හැටි ධර්මපාලතුමා දකිනවා. සිංහල මිනිහාට සුද්දන්ගෙන් උගතයුතු බොහෝ දේවල් තිබුණත් සිංහලයා සුද්දාගෙන් ඉගෙන ගත්තේ සුද්දා වගේ අඳින්නයි, ඉංගිරිසි කතා කරන්නයි, අරක්කු බොන්නයි විතරයි කියලා එතුමා කර්කශ විදිහට කියනවා. ඉංගිරිසිකාරයෝ කර්මාන්ත කළාට සිංහලයෝ ඒවා ඉගෙන ගත්තේ නෑ.

ඉහළ මධ්‍යම පන්තිය අදත් ඒ විදිහට ම අපේ රටට ඔරොත්තු නොදෙන ආකාරයේ නාස්තිකාර වියදම් කරනවා. සෙසු පිරිස පුළුවන් විදිහට ඔවුන් අනුකරණය කරමින් ඔවුන් පසුපස යනවා. අපි ධර්මපාලතුමා පෙන්වා දුන් මග ගියේ නෑ. එහි ප්‍රතිඵලය තමයි අද අපි භුක්ති විඳින්නේ. ඉහළ මධ්‍යම පන්තිය සංකර වියදම් නතර කළොත් අපට මේ අර්බුදයෙන් මිදෙන්න පුළුවන්. මොකද ඔවුන් අනුකරණය කරන පිරිසත් එතකොට ඒ මාවතේ යනවා. දේශපාලකයින්ට විතරක් බැනලා මේ අර්බුදයෙන් මිදෙන්න අපට බෑ. මේ සියල්ලට ම හේතුව අප ලද අධ්‍යාපනය පදනමක් නැති අවජාතක අධ්‍යාපනයක් වීමයි.

ධර්මපාලතුමා වරක් කියනවා, අපි සියලු දෙනා මහායාන බෞද්ධයින් වගේ හැසිරිය යුතු කාලයක් ඇවිත් තියෙන්නේ කියලා. ශ්‍රාවකවාදය අනුව අපට ශ්‍රාවකයෙක් විදිහටත් නිවන් අවබෝධ කරගන්න පුළුවන්. නමුත් මහායානය අනුව සියලු දෙනා බෝධි සත්වයෝ. බෝධිසත්වයින් සියලු දෙනා බුදු වෙනවා. ඒ බෝධිසත්වයින්ට අනෙක් අයට උදව් කරමින් බුද්ධත්වයට පත්වීම කල් දමමින් සසරේ ඇවිදින්න පුළුවන්. ධර්මපාලතුමා කියන්නේ මහායාන බෝධිසත්වයින් වගේ අපි සියලු දෙනා අනික් අයට උදව් කරමින් ජනතාව දුප්පත්කමින් මුදාගත යුතුයි කියලා. මේ වෙලාවේ ධර්මාපාලතුමාගේ අධ්‍යාපන සහ ආර්ථික දැක්ම යාවත්කාලීන කරලා ඉදිරියට ගත්තොත් අද අපේ රට අද මුහුණ දෙන ආර්ථික අභියෝගය වෙස් වලා ගත් ආශීර්වාදයක් කරගන්න පුළුවන්.

සංවාද සටහන – නාමල් උඩලමත්ත

යුතුකම සංවාද කවය
www.yuthukama.com

Like us on facebook
https://www.facebook.com/yuthukama

7/31/2020

කළුතර සෞභාග්‍යයේ දැක්ම වෙන්න මම ඉහළින්ම සුදුසුකම් සපුරා තිබෙනවා

කතෘ:යුතුකම     7/31/2020   No comments
මේ දේශපාලන ක්‍රමය මෙන්ම දේශපාලනයේ මුහුණුද වෙනස් විය යුතු බවට ජනතා මතයක් ගොඩනැගෙමින් තිබේ. මේ එම මතය හා මනාව ගැලපෙන සේ සිය අතීත සහ වර්තමාන ක්‍රියාකාරිත්වය ද අනාගත දැක්මද පෙළගස්වාගත් යුතුකම සංවිධානයේ ජාතික සංවිධායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කළුතර දිස්ත්‍රික් අපේක්ෂක අනුප පස්කුවල් මහතා සමග සිදුකළ සංවාදයකි.

ඔබේ දේශපාලන පසුබිම පිළිබඳ පැහැදිලි කිරීමක් කරමින්ම මේ සංවාදය ආරම්භ කරමුද?

ඔව්, 1980 දශකයේ අග කොළඹ සරසවියේ ශිෂ්‍ය සටන් ව්‍යාපාරය සමග තමයි මගේ දේශපාලන ජීවිතය ආරම්භ වෙන්නේ. අපට එදා ශිෂ්‍යයෝ විදිහට එක සටන් පෙරමුණක නෙමෙයි එකවර සටන් පෙරමුණු ගණනාවක සතුරු බලවේග ගණනාවක් සමග සටන් කරන්න සිද්ධ වුණා.

ශිෂ්‍ය අයිතිවාසිකම් රැකගැනීම සහ දිනාගැනීම සඳහා එකල පැවති එජාප ආණ්ඩුව සමග අපට සටනක් තිබුණා. අනිත් පැත්තට දයා පතිරණලගේ ස්වාධීන ශිෂ්‍ය සංගමයට එරෙහිව ත්‍රස්ත විරෝධී ඊළාම් විරෝධී සටනක් අපට තිබුණා. අපි එදා මේ දෙපාර්ශවයේම තර්ජන ගර්ජන මැද මරණ වරෙන්තුව නළලේ කොටා ගෙන නොසැලී දේශපාලනය කළා කීවොත් හරි.

එදා විශ්වවිද්‍යාලයේ බලය ඉසිලූ ස්වාධීන ශිෂ්‍ය සංගමයට එරෙහිව ඔබ ඇතුළු ශිෂ්‍ය පිරිසක් නැඟී සිටින්නේ ඇයි?

කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමය කියන්නේ ම්ලේච්ඡ කොටි සංවිධානය විමුක්ති සංවිධානයක් කියලා පිළිගත් ඒ වගේම ඊළම පිළිගත් ශිෂ්‍ය සංගමයක්. ඒ විතරක් නෙමෙයි දෙමළ සන්නද්ධ කණ්ඩායම්වලින් ආයුධ පුහුණුව ලබලා විශ්වවිද්‍යාලයෙත් කඩු කිනිසි අරගෙන හැසිරුණු මැර කල්ලියක්. ඔවුන් තමන්ගේ මැර බලය යොදාගෙන විශ්වවිද්‍යාලයේ පීඨ පහේම බලය අල්ලගෙන හිටියා. මේ කණ්ඩායමේ න්‍යායාචාර්ය විදිහට කටයුතු කළේ ආචර්ය දයාන් ජයතිලක. ඔහු වර්ධරාජා පෙරුමාල් යටතේ උතුරු නැඟෙනහිර පළාත් සභාවේ ඇමති ධුරයක් පවා දැරූ අයෙක්.

එදා බෙදුම්වාදී කොටි සංවිධානය අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධිය අබියස සිල්මෑණිවරුන් කපා කොටා වෙඩි තබා ඝාතනය කිරීම නිසා මුළු රටම කම්පාවට පත්වුණා. ඒ අවස්ථාවේ ස්වාධීන ශිෂ්‍ය සංගමය ශිෂ්‍යයෝ කැඳවලා ප්‍රකාශයට පත්කළා, මේ සංහාරය විප්ලවයෙදි සිද්ධ වුණු සුළු සිද්ධියක් විතරයි කියලා. ඒ වෙලාවේ මම ඩෙස් එකක් උඩට නැඟලා ප්‍රශ්න කළා 'සහෝදරවරුනි, උඹලගේ විප්ලවය සිල්මෑණිවරුන් මරණ එකද?' කියලා.

එතැනින් තමයි අපේ සටන ආරම්භ වුණේ. එදා මැර බලයෙන් විශ්වවිද්‍යාල දේශපාලන බලය අල්ලගෙන හිටි ස්වාධීන ශිෂ්‍ය සංගමයට එරෙහිව අපි දැවැන්ත බලයක් ගොඩනැඟුවා. අවසානයේ ස්වාධීන ශිෂ්‍ය සංගමය පරාජය කළා. අප ගොඩනැඟු ශිෂ්‍ය ව්‍යාපාරයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා වුණේ මම. ඒ වගේම ශිෂ්‍ය ක්‍රියාකාරකම් සභාවේ සභාපති ධුරයට පත්වුණෙත් මම. ඒ විතරක් නෙමෙයි, එදා එජාප ආණ්ඩුව ඉන්දු ලංකා ගිවිසුම මගින් මේ රට බෙදුම්වාදය දෙසට තල්ලු කරන්න උත්සාහ කරද්දී අපි ඊට එරෙහි වුණා. එදා ආණ්ඩු විරෝධී මහ ජනතාවට නායකත්වය දේවී කියන බයට එජාප ආණ්ඩුව මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ එක්ක අත්අඩංගුවට ගත් 40 අතරේ මමත් හිටියා.

විශ්වවිද්‍යාල ශිෂ්‍ය අවධියෙන් පසු ඔබ ක්‍රියාකාරී දේශපාලනයේ දකින්න ලැබුණේ නෑ?

ඔව්, මම කැමරා ඉදිරියේ දේශපාලන කළේ නෑ. නමුත් මම හැමදාම ජාතික සටනේ හිටියා. රට වෙනුවෙන් සටන් කළා. 2015 යහපාලන ආණ්ඩුව බලයට ඇවිත් විපක්ෂය හයිජැක් කරලා, මහ බැංකුව කොල්ල කාලා, රණවිරුවන් ජිනීවා දක්කලා, භික්ෂූන් වහන්සේලා හිරේ විලංගුවේ දානකොට යුතුකම ජාතික සංවිධානය හදලා මුලින්ම යහපාලන ආණ්ඩුවට එරෙහි අරගලයට නායකත්වය දුන්නේ අපි. ඒ වගේම රටේ මැතිවරණ සිතියම හකුළලා යහපාලන ආණ්ඩුව ඒකාධිපති ගමනක් යද්දි මැතිවරණයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය හදලා එහි කැඳවුම්කරු විදිහට මැතිවරණයක් දිනාගන්න සටනට සක්‍රීය ලෙස දායක වුණා.

‘වෙනස සැපද?’ ‘බිල්ලෝ ඇවිත්’ ‘ෆෙඩරල් සංහිඳියාව’ වගේ සම්මන්ත්‍රණ කරමින් ජනතාව පෙළ ගස්වා අවසානයේ දේශද්‍රෝහී ආණ්ඩුව පරාජය කරලා රුවන්මැලි සෑය ඉදිරියේ දිවුරුම් දෙන ජනාධිපතිවරයෙක් බිහිකරගන්න තැනට ජනමතය ගොඩනඟන්න අපි අපේ යුතුකම ඉටු කළා.

අද පවතින දේශපාලන ක්‍රමය තුළ ඔබ වැනි අයකුට පැවැත්ම තහවුරු කරගත හැකිද?

මම දේශපාලනයට එන්නේ මේ මජර දේශපාලනය තුළ පැවැත්ම තහවුරු කරගන්න නෙමෙයි, 77 ජේ.ආර්. හඳුන්වා දුන් මේ මජර දේශපාලන ක්‍රමය අවසන් කරන්න. ඒ වෙනුවට 56 පෙරළිය ඔස්සේ අප හඳුනාගත් ජාතිකත්වයේ දේශපාලනයට අල්පේච්ඡ දේශපාලනයට නූතනත්වය කැටි කළ අලුත් දේශපාලනයක් ආරම්භ කරන්න.

77 විවෘත ආර්ථිකය සමග හඳුන්වා දුන් දේශපාලනයේ ඔබ දකින අඩුපාඩු මොනවාද?

ජේ.ආර්. ජයවර්ධන 1978 ව්‍යවස්ථාව මගින් මැතිවරණ ක්‍රමය වෙනස් කළා. එතෙක් පැවති සරල බහුතර ක්‍රමය වෙනුවට සමානුපාතික නියෝජන ක්‍රමය සමග මනාප ක්‍රමය හඳුන්වා දුන්නා. මේ සමග මෙතෙක් ආසනයකට තරග කළ මහජන නියෝජිතයන්ට මුළු දිස්ත්‍රික්කය පුරාම මනාප හිඟමනේ යන්න වුණා. මේ වැඩේට සල්ලි නෑ කිව්වාම, ජේ.ආර්. ගෝලයන්ට අරක්කු බාර් ලයිසන් බෙදන්න පටන් ගත්තා. මහජන නියෝජිතයොත් බල්ලෝ මරලා හරි සල්ලි හොයාගෙන ඊළඟ ඡන්දෙට සූදානම් වන තැනට ඇදගෙන වැටුණා. එකම පක්ෂයේ අපේක්ෂකයෝ මනාප වෙනුවෙන් මරාගන්න පටන් ගත්තා.

56 ආදර්ශය තුළ තමන්ගේ පෞද්ගලික දේපළ විතරක් තමන්ගේ විශ්‍රාම වැටුපත් ජනතා සේවයට කැප කළ දයා ටී. පස්කුවල් වගේ දේශපාලන චරිත වෙනුවට හොරු මංකොල්ලකාරයෝ බාර්කාරයෝ කළුකඩ මුදලාලිලා දේශපාලකයන් බවට පත්වුණා. ඒ නිසා මේ මනාප ක්‍රමය වෙනස් කරලා කොට්ඨාශයට වගකියන මන්ත්‍රීවරයෙක් ලබාදෙන ව්‍යවස්ථා සංශෝධනයක් යා යුතුයි. ඒ විතරක් නෙමෙයි මේ ව්‍යවස්ථාව පැත්තකට විසි කරලා රටට ඔබින දේශප්‍රේමි අලුත් ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුයි.

ඔබ පාර්ලිමේන්තුවට පත්කළ යුත්තේ උගතෙක් නිසාද? මේ රට දිගටම පරිහානියට පත්වුණේ උගතුන් පාර්ලිමේන්තුවේ නොසිටි නිසාද?

නැහැ. රටට ජාතියට ආදරේ නැත්නම් උගත්තු පාර්ලිමේන්තු ගියා කියලා වැඩක් නෑ. මහ බැංකුව කොල්ලකෑවේ, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනැල්ලා රට අරාජික කළේ, ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව ගේන්න උත්සාහ කළේ පාර්ලිමේන්තුව නියෝජනය කළ රනිල් වික්‍රමසිංහ, රවී කරුණානායක, එම්.ඒ. සුමන්දිරන්, ජයම්පති වික්‍රමරත්න වගේ උගත්තු තමයි. යහපාලන ආණ්ඩුව ආරක්ෂා කරමින් මේ සියලු අපරාධවලට අනුබල දුන් ජනතා විමුක්ති පෙරමුණෙත් උගත්තු ඉන්නවා. ඒ නිසා පාර්ලිමේන්තුවට යවන්න ඕන රටට ආදරේ කරන උගත් දේශප්‍රේමි බුද්ධිමත් පිරිසක්.

19 වන සංශෝධනය වෙනස් විය යුතු බවට ආණ්ඩුවේ ඇතැම් පිරිස් කියද්දී අලුත් ව්‍යවස්ථාවක් ඕන කියලා ඔබලා කියන්නේ ඇයි?

රට අරාජික කළ 19 වෙනි සංශෝධනයේ රටට අහිතකර අංග වහාම සංශෝධනය කළ යුතු බවට තර්කයක් නෑ. නමුත් 2009 බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කරලා රණවිරුවන් ලබාගත් ජයග්‍රහණයට තවම යුක්තිය ඉටු වෙලා නෑ. ත්‍රස්තවාදය පෙන්වා බිය කරමින් ව්‍යවස්ථාවට එකතු කළ 13, 16 සංශෝධනවල බෙදුම්වාදී නීති රීති වෙනස් කළ යුතුය. හැබැයි 19 පාරක් සංශෝධනය වුණු මේ ව්‍යවස්ථාව ආයේ සංශෝධනය කරන එකට වඩා මේ රටට ගැළපෙන දේශප්‍රේමි ව්‍යවස්ථාවක් නිර්මාණය කරගන්න මේ ස්වර්ණමය අවස්ථාව යොදා ගැනීම වටිනවා. මැතිවරණ අපේක්ෂකයෙක් විදිහට මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් වෙනුවට යුතුකම ජාතික සංවිධානය විදිහට නව ව්‍යවස්ථා යෝජනාවලියක් රට හමුවේ තැබුවේ ඒ නිසායි.

කළුතර ජනතාවගේ වරමින් පාර්ලිමේන්තුවට යන්න විශාල පිරිසක් මෙවර මැතිවරණයට තරග කරනවා. කළුතර ජනතාව ඔබට මනාපයක් දිය යුතු ඇයි?

මම මැතිවරණයට එන්නේ අලුත් දේශපාලනයක් වෙනුවෙන්. ඒක රැල්ලට එරෙහිව උඩුගං බලා පිහිනීමක්. 56 විප්ලවය වෙලාවේ බණ්ඩානායක මහත්තයලා ඩී.ඒ. රාජපක්ෂ මහත්තයලා එක්ක අත්වැල් බැඳගත් මතුගම මන්ත්‍රී දයා ටී. පස්කුවල් මගේ මහප්පා. ඔහු මතුගම වාමාංශික දේශපාලනය නියෝජනය කළ පතාක යෝධයෙක්. 56 විප්ලවේ පරමාදර්ශී සංකේතයක්. මතුගම ආනන්ද ශාස්ත්‍රාලය ඇතුළු පාසල් කිහිපයක නිර්මාතෘවරයා මගේ මහප්පා.

ඔහු දේශපාලනයෙන් හම්බ කළ කෙනෙක් නෙමෙයි. තමන්ගේ පෞද්ගලික දේපළත් සමාජයේ පොදු යහපත වෙනුවෙන් වියපැහැදම් කළ දේශපාලනඥයෙක්. තමන්ගේ විශ්‍රාම වැටුපත් ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනයට කැප කළ පරමාදර්ශී චරිතයක්. ඉතින් අලුත් දේශපාලනයක් සොයා යන්න උවමනා ආලෝකය මට මගේ පවුල් පසුබිමෙනුත් ලැබෙනවා.

ඒ වගේම මම කළුතර ජනතාව වෙනුවෙන් සංවර්ධන යෝජනාවලියක් ජනතාව ඉදිරියේ තියලා තියෙනවා. කළුතරට විශ්වවිද්‍යාලයක් සහ මතුගමට තාක්ෂණික පීඨයක් ලබාදෙන්න මං කළ යෝජනාව නුදුරු අනාගතයේම යථාර්ථයක් වෙනවා. ඒ වගේම කිතුල් කර්මාන්තයට තිබුණු ගැටළු ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කරලා එය නිරාකරණය කරලා දෙන්න මට හැකියාව ලැබුණා. ඒ වගේම මම පරිසරවේදියෙක් විදිහට ලවණ බාධකයක් සහ කුඩා වැව් පද්ධතියක් මගින් එකවර කළු ගඟේ ජලයට ලවණ මුසු වීමත් ගං වතුර පාලනයටත් විසඳුම් ලබා දෙන විසඳුමක් යෝජනා කළා. පුරන් කුඹුරු අස්වැද්දීම, රබර් කර්මාන්තය නගා සිටුවීම, බොල්ගොඩ ගඟ පිරිසිදු ජල මූලාශ්‍රයක් බවට පත්කිරීම, පානදුර නගරය පුනර්ජීවන නගරය ලෙස දියුණු කිරීම, බණ්ඩාරගම රෝහල මූලික රෝහලක් බවට පත්කිරීම, අගලවත්ත මහජන ක්‍රීඩාංගණය දියුණු කිරීම සහ ගල්මත්තට ආර්ථික මධ්‍යස්ථානයක් ගොඩනැඟීම ඇතුළු කළුතර දිස්ත්‍රික්කය නඟා සිටුවන වැඩපිළිවෙළක් එහි ඇතුළත් වෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රට නඟන වැඩපිළිවෙළ සමග කළුතර දිස්ත්‍රික්කය නඟා සිටුවන්න සූදානම් උගත් බුද්ධිමත් ගමට රටට රටේ අනාගත පරපුරට ආදරය ජනතාව මා සමග එකතු වන බව මට විශ්වාසයි.

රටේ ජාතික ව්‍යාපාරය නියෝජනය කළ ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පත්වුනොත් කළුතර දිස්ත්‍රික්කයට කොටු වෙනවා නේද?

කළුතර දිස්ත්‍රික්කය කියන්නේ මේ රටේම කොටසක් වගේම මම හැදුණු වැඩුණු මගේ ගම. ඒ ජනතා ප්‍රශ්න විසඳීම මේ රටේ ප්‍රශ්න විසඳීමේ කොටසක්. ඒ ජනතාවගේ නියෝජිතයා විදිහට මම පාර්ලිමේන්තුවට ගිහින් ඔවුන්ගේ ගැටළු විසඳීම මගේ වගකීමක්. හැබැයි ඒක මගේ ජාතික තලයේ දේශපාලන භූමිකාවට බාධාවක් නෙමෙයි.

කළුතර ජනතාවට මගේ යුතුකම උපරිමයෙන් ඉටු කරන අතර මගේ මන්ත්‍රී ධුරය අපේ ජාතික දේශපාලන භූමිකාව ඉදිරියට ගෙන යන්න පවුරක් විදිහට යොදා ගන්නවා. අපි පහුගිය 25 වෙනිදා පානදුර නගරයේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි පිළිරුව ඉදිරියේදී ඒකීය රාජ්‍යයට සහ බුදු දහමේ ප්‍රමුඛස්ථානයට හානි වන ආකාරයේ ඕනෑම යෝජනාවකට කොන්දේසි විරහිතව එරෙහි වන බවට දිවුරුම් දීලා ඒක ඔප්පු කළා. මම විශ්වවිද්‍යාලයේදී ශිෂ්‍ය අයිතීන් උදෙසා වගේම රට ජාතිය රකින සටනටත් නායකත්වය දුන්නා. මම මගේ දේශපාලන ගමන පුරාම එය භාවිතාවෙන්ම ඔප්පු කරලා තියෙනවා. එය අනාගතයටත් ඒ විදිහටම අදාළයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත්කර මේ රට දියුණු සංවර්ධිත සුරක්ෂිත දේශයක් බවට පත්කරන අරගලය වෙනුවෙන් මගේ උපරිම දායකත්වය ලබා දෙන්න මම සූදානම්.

•සාකච්ඡාව නාමල් උඩලමත්ත
Aruna.lk [2020-07-31]


යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

8/31/2018

සාධාරණ සමාජයක් පුරවැසි බලය වැනි කුලී සංවිධාන මාධ්‍යයෙන් පුම්බන්නේ ඇයි?

කතෘ:යුතුකම     8/31/2018   No comments
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ළමා ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය

-නාමල් උඩලමත්ත

ප්‍රශ්නය- අපේ රටේ බොහෝ වෘත්තිකයන්ට සාපේක්ෂව වෛද්‍යවරුන්ට ඉහළ වරප්‍රසාද ලැඛෙනවා. එවැනි තත්ත්වයක් තුළ තව තවත් වරප්‍රසාද ඉල්ලා සිටීම සාධාරණද?

පිළිතුර- කිසියම් රටකට බුද්ධිමතුන් සහ වෘත්තිකයන් සිය රටේ රඳවාගන්න බැරි නම් ඒ රටට පැවැත්මක් නෑ. අද පවතින තාක්ෂණික දියුණුව නිසා බොහෝ දෙනා රට හැර යනවා. බහුජාතික සමාගම්වල සේවය කරනවා. එවැනි පසුබිමක වෘත්තිකයන් වැඩිම ප්‍රමාණයක් රටේ රඳවාගත් ක්ෂේත්‍රයක් තමයි වෛද්‍ය වෘත්තිය.
ජාත්‍යන්තර මට්ටමේ සුදුසුකම් සපිරූ වෛද්‍ය වෘත්තිකයන් රටේ රඳවා ගැනීම, රටේ රඳවාගත් පිරිස රාජ්‍ය අංශයේ රඳවා ගැනීම වගේම ඒ පිරිස අවශ්‍ය ආකාරයට රට පුරා ස්ථානගත කිරීමත් අභියෝගයක්. අද අම්පාර, තිරිකුණාමලය, මුලතිව් ඇතුළු සියලු දුෂ්කර ඉසව්වල අපි වෛද්‍යවරු ස්ථානගත කරලා තියෙනවා. මේ තත්ත්වය පවත්වා ගෙන යාමට නම් ඒ වෛද්‍යවරුන්ගේ මූලික අවශ්‍යතා ටික සපුරා දිය යුතුයි.
විශේෂඥ වෛද්‍යවරයෙක් රටේ රඳවා ගන්න බැරි වුණොත් රෝගීන්ට ප්‍රතිකාර ගන්න පිට රට යන්න වෙනවා. රාජ්‍ය අංශයේ රඳවාගන්න බැරි වුණොත් පෞද්ගලික රෝහලකට විශාල මුදලක් ගෙවලා ඒ පහසුකම ලබා ගන්න වෙනවා. අපි අම්පාරට විශේෂඥ වෛද්‍යවරු යවලා නොතිබුණා නම් ඒ ප්‍රදේශවල රෝගීන්ට නුවරට හෝ කොළඹට එන්න සිද්ධ වෙනවා. රටේ නායකයන්ට දුරදක්නා නුවණක් සහ ජනතාව ගැන කැක්කුමක් තිඛෙනවා නම් වෛද්‍යවරුන්ගේ මූලික අවශ්‍යතා ලබා දී එම සේවය පවත්වා ගෙන යාමට කටයුතු කළ යුතුයි.
ඒවා වරප්‍රසාද නෙමේ මූලික පහසුකම්. අපට වරප්‍රසාද ලැඛෙන්නේ නෑ. මම එංගලන්තයෙත් ලියාපදිංචිය තියෙන විශේෂඥ වෛද්‍යවරයෙක්. නමුත් මට මේ රටේ සේවය කළාට මාසකට රු. ලක්ෂයක වැටුපක්වත් ලැඛෙන්නේ නෑ. එංගලන්තයේ සති අන්තයක වැඩ කළත් මට ලක්ෂයක් ලැඛෙනවා. එහෙම හැකියාවක් තියෙද්දි තමා අපි මේ රටට සේවය කරන්නේ. ඒ වගේම එංගලන්තේ පැය හයක් වැඩ කළා නම් අපි ගෙදර යනවා. නමුත් අපි ලංකාවේ පැය හයක් වැඩ කරලා ඉතිරි පැය 18 හදිසි කැඳවීමකට යන්න බලාගෙන ඔන් කෝල් ඉන්නවා. ඒ කියන්නේ අපි ඒ පැය 18ත් දුරබැහැර නොයා යම් සීමාවක සිටිය යුතුයි. ඕස්ට්‍රේලියාව වගේ රටවල දුරබැහැර සේවය කරන වෛද්‍යවරුන්ට දෙගුණයක වැටුපක් ගෙවනවා. ඒ සඳහා රජය දරන වියදමට වඩා වාසියක් අත්කර ගත හැකි බව ඔවුන් දන්නවා. නමුත් අපේ රටේ එම පහසුකම් සැපයීම වරප්‍රසාද කියලා හංවඩු ගැසීම නිසා වෛද්‍යවරු වරප්‍රසාදලාභීන් කියලා මතයක් හදන්න ඒවා වරප්‍රසාද ලෙස භුක්ති විඳින කිසිම සුදුසුකමක් නැති රටට බරක් වෙච්චි දේශපාලකයන් උත්සාහ කරනවා.

ප්‍රශ්නය- වෛද්‍යවරුන්ගේ දරුවන්ට විතරක් ජනප්‍රිය පාසල් ඉල්ලා සිටීම හරිද?

පිළිතුර- අපි එසේ ඉල්ලා සිටින්නේ අපි වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතියක් නිසා. සෙසු වෘත්තිකයන් ඔවුන්ගේ අයිතිවාසිකම් ලබාගත යුතුයි. ජනප්‍රිය පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේදී සමානව සලකන්නේ නෑ. අසල පදිංචිය, දෙමාපියන් ආදි ශිෂ්‍යයන් වීම, තව ළමයෙක් පාසලේ ඉගනීම ආදියට ලකුණු ලැඛෙනවා. වෛද්‍යවරයකුට සිය සේවා කොන්දේසී සමග මෙවැනි පාසලකට ළමුන් ඇතුළත් කර ගැනීම හරිම අමාරුයි. වෛද්‍යවරු රට පුරා සේවයට යා යුතුයි. එක ස්ථානයක රැෙ`දන්න ලැඛෙන්නේ නෑ. ඒ නිසයි අපි කෝටා එකක් ඉල්ලන්නේ.

ප්‍රශ්නය- වෛද්‍යවරුන්ගේ දරුවන්ට ජනප්‍රිය පාසල් දීම ජනතාවට සේවයක් වෙන්නේ කොහොමද?

පිළිතුර- වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමති කාලේ අපේ තත්ත්වය පැහැදිලි කළාම එතුමා එය තේරුම් ගත්තා. අවුරුද්දකට එක වසරට 330,000ක් ළමුන් ඇතුළත් වන රටේ වෛද්‍යවරුන්ගේ ළමුන් හිටියේ 100-130ක් විතර. ඉතින් එතුමා එදා අපට යම් පහසුකමක් දුන්නා. එහි ප්‍රතිඵලය විදිහට එදා ලංකාවටම තුන් දෙනෙකුට සීමා වුණු හෘද ශල්‍ය විශේෂඥ වෛද්‍යවරු ගණන ඉහළ ගියා. එදා හෘද රෝගයක් සමග ඉපදුණු ළමයෙක් සැත්කම සඳහා අවුරුදු 8ක් පෝලීමේ සිටිය යුතු වුවත් අද මාස කිහිපයක් ඇතුළත එය කරගත හැකියි. සෙසු ක්ෂේත්‍රත් එහෙමයි.
මේ තත්ත්වය අපට ඇති කරගන්න පුළුවන් වුණේ එදා ඒ පාසල් පහසුකම ලබා දුන් නිසායි. එවක පැවති රාජපක්ෂ ආණ්ඩුවේ ආකල්පයත් ඊට හේතු වුණා. මේ නිසා මෛත්‍රීපාල සිරිසේන මහතාට සිය කාලය තුළ විශේෂඥ වෛද්‍යවරු ප්‍රමාණය 2000 දක්වා ඉහළ නංවාලීමට හැකි වුණා. ඒ නිසා අපට ලබා දුන් පහසුකම රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල සේවයක් වුණා.
නමුත් එම පහසුකම අත්හිටුවීම සමග රටේ විශේෂඥ වෛද්‍යවරු ගණන වර්ධනය ඇන හිටලා. සමහර විශේෂඥ වෛද්‍යවරුන්ගේ ළමයි අද යන්නේ ජාත්‍යන්තර පාසල්වලට. ඒ ළමුන් ඉගෙනගන්නේ ලන්ඩන් A\L වගේ විභාග නිසා ටික කාලෙකින් එම වෛද්‍යවරු දරුවන් සමග රට අතෑරලා යනවා.

ප්‍රශ්නය- ඔබේ ඉල්ලීම් සාධාරණ වෙන්න පුළුවන්. එහෙත් ඒ නිසා ජනතාව අපහසුතාවට පත්වෙනවා. ඒ සඳහා කවුද වගකියන්නේ?

පිළිතුර- මේ රටේ ජනතාව කොහොමත් අපහසුතාවට පත්වෙලා ඉන්නේ. අපි තමයි ඒ ජනතාව යම් තරමකින් හෝ පහසුතාවට පත්කරන්නේ. අපි නැත්නම් ඒ පහසුවත් නෑ. ඒ නිසා තමා අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගත්තාම ජනතාව අපහසුතාවට පත්වෙන්නේ. අපි වෘත්තීය ක්‍රියාමාර්ග අරගෙන හෝ මේ තත්ත්වය ආරක්ෂා කළේ නැත්නම් ජනතාවට සදාකාලිකව අපහසුතාවේ තමා ඉන්න වෙන්නේ.

ප්‍රශ්නය- දුම්රිය වර්ජකයන්ට ලැබුණු ජනතා ප්‍රතිචාරය අනාගතයේ දී වෛද්‍යවරුන් දෙසටත් යොමු විය හැකියි?
පිළිතුර- සියලු වරප්‍රසාද භූක්ති විඳිමින් කලදුටු කල වළ ඉහගන්න දේශපාලකයන්ට රාජ්‍ය සේවක ප්‍රශ්න ජනතා ප්‍රශ්න කීම අද බීරි අලින්ට වීණා වයනවා වගේ වෙලා. ඔවුන් තමා මේ සඳහා වගකිව යුත්තේ.
මේ රට නායකයන් නැති රටක් නෙමේ නායකත්වයක් නැති රටක් වෙලා. රජවරු 179 දෙනෙක් අපේම දැනුම අනුව වැව් 36000ක් හදලා ස්වයංපෝෂිත කළ සමෘද්ධිමත් කළ රට අගාධයට වැටිලා තියෙන්නේ නායකයන් ලෙස හැඳින්විය නොහැකි පිරිසක් රටේ නායකත්වයට පත්වීම නිසායි. විදේශ මුදලින් නඩත්තු වෙන සිවිල් සමාජය සහ ජනතා වෙස් ගත් කුලී මැරයෝ දාලා ජනතාව ප්‍රකෝප කරවලා ඇතැම් විට අපටත් ගහයි. සම අයිතිය දෙන්න නම් ගෙදර බුදුන් අම්මා තැබෑරුමට යවන්න ඕන කියලා හිතන අය තමා අද එතන ඉන්නේ.

ප්‍රශ්නය- රජයේ වෛද්‍ය නිලධාරී සංගමය වෘත්තීය සමිතියක්. රටක ආණ්ඩුවක් අත්සන් කරන ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුමකට අතපොවන්න ඔබට ඇති අයිතිය කුමක්ද?

පිළිතුර- අද වෙළෙඳාම සහ වෙළෙඳ ගිවිසුම් කියන්නේ අවි ආයුධ නොමැතිව රටේ ස්වාධීනත්වය අහිමි කොට රට පාවා දෙන්න යොදා ගන්නා මෙවලමක්. මෙමගින් රටක් සම්පූර්ණයෙන් ගිලගන්න පුළුවන්. ඒ පිළිබඳ රටේ ජනතාව දැනුම්වත් විය යුතුයි. සමජයේ දැන උගත් පිරිසක් විදියට ඒ අනතුර දැකලා අපි කතා කරන කොට ධ\ඛ වත් සමත් නැති ඇමතිවරු අපෙන් අහනවා මේක කොහොමද වෛද්‍යවරුන්ට අදාළ වෙන්නේ කියලා. මේ අයට ඒ ගිවිසුම් ලියවුණු භාෂාව තේරෙන්නෙත් නෑ. එහි ඇති තාක්ෂණික කරුණු තේරුම් ගන්නත් බෑ. ඒවා අධ්‍යයනය කරන්නෙත් නැතිව අපි කියන දේ තේරුම් ගන්නෙත් නැතිව බොරුවට කෑ ගහනවා. මොවුන් තමා මාධ්‍ය ඉදිරියට ඇවිත් මෙගාපොලිස් කියන්නේ ලොකු පොලිසියක් කියලා කියන්නේ.
ඔවුන්ට හොරකම වංචාව දූෂණය ඇරුණාම කළ හැකි දෙයක් නෑ. පන්සිල් නොරකින රටේ නීතියට ගරු නොකරන එවැනි අයගේ ප්‍රකාශ මාධ්‍ය ඔස්සේ උලුප්පා දැක්වීමත් අවාසනාවක්. අපේ ඉල්ලීම ජාත්‍යන්තර ගිවිසුම්වලට යාමට පෙර ඒ සඳහා ජාතික ප්‍රතිපත්තියක් හදන්න කියන එකයි.

ප්‍රශ්නය- ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් සමස්ත රටටම බලපානවා. එහි යම් වරදක් ඇත්නම් සෙසු ක්ෂේත්‍රවල වෘත්තීය සමිති ඔබ සමග පෙරට නො එන්නේ ඇයි?

පිළිතුර- වෘත්තීය සමිති සංකල්පය බිඳ වැටිලා එය දැන් දේශපාලන ඉත්තන්ගේ තිප්පොළක් වෙලා. කුලී ව්‍යාජ සිවිල් සමාජයක් රජවෙලා. සැබෑ සිවිල් සමාජය ශක්තිමත් නෑ. ඒ අතර ව්‍යතිරේඛයක් තමයි වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය. අපි නිල සිවිල් සමාජයක වගේම සැබෑ වෘත්තීය සමිතියක භූමිකාව ඉටු කරමින් ඉන්නවා.

ප්‍රශ්නය- ඔබ පිරිසකට කුලී ව්‍යාජ සිවිල් සමාජය කියලා චෝදනා කරන්නේ ඇයි?
පිළිතුර- රටේ මහජන මතය හැසිරවීමට උත්සාහ කරන සාධාරණ සමාජයක්, පුරවැසි බලය වගේ සංවිධාන ලියාපදිංචි ද? සාමාජිකයෝ කවුද? ව්‍යවස්ථා කුමක්ද? තීරණය ගැනීමේ ක්‍රමවේදය කුමක්ද? මුදල් ලැඛෙන්නේ කොහෙන්ද? කියලා අපි ප්‍රශ්න කළා. මේවාට උත්තර නෑ. සාමාජිකයෝ, ව්‍යවස්ථාවක්, මුදල් එන විදියක් නෑ. මේවායේ ඉන්න සමහරු තානාපති කාර්යාලවල හිටපු රියදුරෝ. අපට රැකියාව කරලා පෞද්ගලික වෛද්‍ය සේවයෙත් යෙදිලා කරන්න බැරි තරම් දේවල් මේ අය තමන්ගේ වියදමින් කරනවා කියලා පිළිගන්න පුළුවන්ද? සිවිල් සමාජය, වෘත්තීය සමිති, ආණ්ඩුව, සම්මාන දීම, සම්මාන ගැනීම, මාධ්‍ය ආයතන සියල්ල මෙහෙයවන්නේ එකම කල්ලියක්. කනගාටුදායක තත්ත්වය තමයි ප්‍රශ්න නොකර මේ අයට මාධ්‍ය විසින් සැබෑ සිවිල් සමාජයට ලබා දෙන සම වටිනාකම ලබා දීම. ඒ වගේම මේ කරුණු ජනතාව හමුවට රැගෙන නොයන විපක්ෂය ගැනත් අපි කනගාටු වෙනවා. මේ කූඨ අරමුණු වෙනුවෙන් අටවා ගත් කුලී සිවිල් සමාජය අපි රටට හෙළි කරනවා. ඒ විදියට විතරයි මේ ප්‍රශ්නය විසඳගන්න පුළුවන්.

ප්‍රශ්නය- ඔබ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතට කියනවා ද්‍රෝහි මාධ්‍යවේදී ලැයිස්තුවක් හදනවා කියලා?

පිළිතුර- දියුණු රටවල් තමන්ගේ රට පාවාදිය හැකි පුද්ගලයන් කලින්ම හඳුනා ගන්නවා. එවැනි පුද්ගලයන්ගේ චරිත ලක්ෂණ ගැන මනෝ වෛද්‍යවිද්‍යාව උගත් අය දන්නවා. මම කීවේ අර දියුණු රටවල් භාවිත කරන විද්‍යාත්මක ක්‍රමවේදය අනුව රටට ද්‍රෝහිකම් කරන අයගේ චරිත ලක්ෂණ අපි එළිදක්වන බවයි. එතකොට රටට ද්‍රෝහී වන අය ජනතාවට හඳුනා ගන්න පුළුවන්. ඒ පුද්ගලයා දේශපාලකයෙක්, ව්‍යාපාරිකයෙක් හෝ මාධ්‍යවේදියෙක් වෙන්න පුළුවන්. එය සැමට අදාළ බවයි මම කීවේ.

ප්‍රශ්නය- ඔබ රාජපක්ෂලා නැවත බලයට ගෙන ඒම සඳහා ආණ්ඩුව අපහසුතාවට පත් කරන බවට චෝදනා නැගෙනවා?

පිළිතුර- අපි කරන්නේ රටට ඔබින ප්‍රතිපත්ති සහ ක්‍රමවේද එළිදැක්වීම පමණයි. ඊට පවතින ආණ්ඩුව හෝ විපක්ෂය අපට අදාළ නෑ. අපි කිසිවකුට චරිත සහතික නිකුත් කරන්නේ නෑ. අපි හරි දේ හරි යැයි කියන්නත් වැරදි දේ වැරදි යයි කියන්නත් එදා වගේම අදත් බය නෑ. අපි අවුරුදු 18-20ක් තිස්සේ මේ මතවාද වෙනුවෙන් පෙනී සිටිනවා. අපි වසවිස නැති ආහාර වෙනුවෙන් පෙනී සිටියේ පසුගිය ආණ්ඩුව වසවිස සහිත ආහාරවලට වැට නොබඳින යුගයක. පසුව ඔවුන් වෙනස් වුණා.
මේ ආණ්ඩුව දැන් නැවත එය කරනවා. අපි පාන් පිටි වෙනුවට හාල් පිටි කෑමට ජනතාව යොමු කළේ සෞඛ්‍ය ගැන හිතලා. නමුත් මේ ආණ්ඩුව පැමිණි පසු නැවත බදු අයින් කරලා පාන්පිටි කෑම දිරිමත් කළා. දැන් මිනිස්සු වැඩි වැඩියෙන් ලෙඩවෙනවා. වකුගඩු රෝගයට බලපාන ග්ලයිපෝසේට් තහනම් කරන්න ආ ජනාධිපතිවරයා නැවත එය භාවිතයට අවසර දීලා. ඒවා රටට අහිතකරයි. මේවා ගැන කතා කිරීම කිසිවකුට එරෙහිවීමක් හෝ පක්ෂ වීමක් නෙමේ අපේ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටීමක්.

ප්‍රශ්නය- පසුගිය ආණ්ඩුව සමයේ මෙවැනි ඝට්ටනයක් අපි දැක්කේ නෑ?

පිළිතුර- සමහරු එහෙම මතයක් සමාජගත කරන්න හදනවා. ඒ ආණ්ඩුවේ මුල් සමයේ මම රට හිටියේ. ආවාට පස්සේ මොන තරම් ගැටුම් ඇති වුණාද? මට මොන තරම් චෝදනා තිබුණාද? මට එරෙහිව උසාවියට අපහාස කිරීමේ නඩු කීයක් දැම්මාද? මගේ ෆයිල් දූෂණ විමර්ශන ඒකකයට අරන් ගිහින් අපට කෙතරම් කරදර කළාද? එ සියල්ලට හේතුව අපි රට වෙනුවෙන් යහපත් මතවාද දැරීම.
නමුත් පහුගිය ආණ්ඩුව සමයේ අප ගත් වෘත්තීය ක්‍රියාමාර්ග අඩුයි. ඒකට හේතුව එවකට සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා අපේ ගැටලු ගැන සංවේදී වෙලා ඒවා විසඳාලීමට හැකි පමණින් කටයුතු කිරීමයි. ප්‍රශ්නයක් විසඳාගැනීමට ගතහැකි සියලුම ක්‍රියාමාර්ග අරගෙන බැරිම තැන තමා අප වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යන්නේ. වෛද්‍යවරුන් පමණක් නොවෙයි, අද බොහෝ වෘත්තිකයන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යන තැනට පත් කරලා තියෙන්නේ මේ ආණ්ඩුව විසින්මයි.
දැන් ක්‍රියාත්මක වන්නේ රටේ ස්ථාවරත්වය විනාශ කොට අරාජික කොට රට ග්‍රහණයට ගැනීමේ ක්‍රමවේදය. පිටරට උසාවි, පිටරට වෛද්‍යවරු, පිටරට ගුරුවරු විතරක් නෙමේ ඇම්බියුලන්ස් ඩ්‍රයිවර්ලාවත් ඉන්දියාවෙන් ගේන්න ඕන කියන තැනට පාලකයන් පත්වෙලා. ඔවුන් මේ රට ගැන ජනතාව ගැන විශ්වාසයක් නැති පිටරට ගැන විශ්වාස කරන පිරිසක්. මේ රටට ආදරේ මිනිස්සු විදියට අපි මේ අසුර මතවාද පරාජය කිරීමට ජනතාව දැනුම්වත් කරනවා

[http://sebe.lk]
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

6/21/2018

කේෂාප් ගෝඨා සහ අපේ නිවටකම්

කතෘ:යුතුකම     6/21/2018   1 comment
-නාමල් උඩලමත්ත-
ප්‍රජාතන්ත්‍රවාදය කුමක්ද යන්න පිළිබඳ විවිධ යුගවල විවිධ අර්ථකතන ඉදිරිපත් වී තිබේ. 1861-1865 සමයේ ඇමරිකාවේ ජනාධිපති ධුරය දැරූ ඒබ්‍රහම් ලින්කන් පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාවට අයත්, ජනතාව විසින්, ජනතාව වෙනුවෙන් ක්‍රියාවට නංවන ආණ්ඩුක්‍රමයක් බවය. මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතා පරමාධිපත්‍ය පදනම් කරගත් පාලන ක්‍රමයකි. අපේ රටේ ද ක්‍රියාත්මක වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකි.

77 ව්‍යවස්ථාවේ 3 වෙනි වගන්තිය අනුව ජනරජයේ පරමාධිපත්‍ය බලය ජනතාව කෙරෙහි පිහිටා ඇති අතර එය අත්හළ නොහැක්කේය. ඊට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ඇතුළත් වේ. එහි 4 වෙනි වගන්තිය අනුව එම පරමාධිපත්‍ය බලයට අයත් ජනතාවගේ විධායක බලතල ජනතාව විසින් ඡන්දයෙන් පත් කරගන්නා විධායක ජනාධිපති විසින් ද ව්‍යවස්ථාදායක බලතල ජනතාව ඡන්දයෙන් පත් කරගන්නා මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින් ද ක්‍රියාත්මක කෙරේ. ජනතාවගේ අධිකරණ බලතල ව්‍යවස්ථානුකූලව පිළිගත් අධිකරණ සහ පාර්ලිමේන්තුව මගින් ද ක්‍රියාත්මක කෙරේ.

මේ අනුව අපේ රටේ ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ බලතල සියල්ල මේ රටේ පුරවැසියන්ට අයත්ය. එය ඔවුන්ගේ පරමාධිපත්‍ය යටතේ ක්‍රියාත්මක විය යුතුය. එය මේ රටේ මිලියන 200ක් පමණ වන ජනතාවට අයිති අත්හළ නොහැකි අයිතියකි. මේ රටේ පුරවැසියාගේ පරම අයිතියකි. ඒ අයිතියට කිසියම් පරයකු ඇඟිලි ගැසීමට සූදානම් වන්නේ නම්, ඒ අයිතිය කිසියම් පරයකු අපෙන් උදුරා ගැනීමට සූදානම් වන්නේ නම් මිලියන 20ක් වන ජනතාව එක හඬින් ඊට එරෙහි විය යුතුය. මන්ද එවැනි බාහිර බලපෑම් අපේ පරමාධිපත්‍ය බලයට අභියෝග කරන හෙයිනි.

එහෙත් 2015 ජනාධිපතිවරණයට පසු බටහිර රටවල සුද්දෝ we are part of this victory කියා උදම් ඇනූහ. අනතුරුව මේ සුද්දන්ම ඇමරිකානු ජනාධිපතිවරණය අවස්ථාවේ රුසියානු නායකයා ට්‍රම්ප්ට උදව් කළේ යැයි කනිපින්දම් කී බව අපට අමතක නැත. අනුන්ගේ පරමාධිපත්‍ය බලය තුට්ටුවකට මායිම් නොකරන සුද්දන් පවා තමන්ගේ පරමාධිපත්‍ය බලය වෙනුවෙන් පෙනී සිටින බව මින් තහවුරු වෙයි.

ට්‍රම්ප්ගේ ජයග්‍රහණය පූටින්ගේ බලපෑම් කළ ද නොකළ ද එවැන්නක් වුණේ යැයි සුද්දන් චෝදනා කිරීම මගින් සනාථ වන්නේ තමන්ගේ වැඩවලට අනෙකා ඇඟිලි ගැසීම ඔවුන් නුරුස්සන බවය. සිය පරමාධිපත්‍ය බලය වෙනුවෙන් පෙනී සිටින බවය. කිසිම ඇමරිකන්කාරයකු පූටින් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට උදව් කළේ යැයි උදම් වූයේ නැත. ට්‍රම්ප් හෝ ජයග්‍රාහි පිරිස හෝ එය පිළිගත්තේ ද නැත. එවැනි අදහසක් පිළිගැනීම පවා නින්දාවක් ලෙස සැලකීමට තරම් ඇමරිකන්කාරයාට විළිබිය සහ ආත්ම ගරුත්වයක් ඇත.

එහෙත් අපේ රටේ තත්ත්වය කුමක් ද? 2015 ජනාධිපතිවරණයට තමන් ද දායක වූයේ යැයි සුද්දන් කියන විට එසේ නොවුණේ යැයි බොරුවට හෝ කියා ආත්ම ගරුත්වය බේරා ගැනීමට තරම් විළිබියක් ලැජ්ජාවක් අපේ පාලකයන්ට තිබුණේ නැත. ඊටත් එහා ගිය නිවට සිදුවීම් පෙළක් පසුගිය දා සිදුවිය.

මෑතක විශ්‍රාම ගිය කේෂාප් සිය රට බලා යාමට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණු අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොකරන්න යැයි දන්වා සිටියේ යැයි කතාවක් මාධ්‍යවල පළ විය. අතුල් කේෂාප් ඔබාමා පරිපාලනය විසින් මෙරටට එවන ලද තානාපතිය. මේ පුවත දැක අපේ රටේ ජනතා පරමාධිපත්‍ය බලය හිමි ජනතාවගෙන් පිරිසක් මහත් අමන්දානන්දයට පත් වී තිබිණි. ඔවුන් මේ පුවත සිය ෆේස්බුක් පිටුවළ පළ කළේ මහත් උජාරුවෙනි. ඇමරිකානු ජනතාව පූටින්ගේ බලපෑමට එරෙහිව යුද ප්‍රකාශ කරන පසුබිමක අප බටහිරයන්ගේ බලපෑම දෝත පා වැළඳ ගැනීම මොන තරම් නිවට පරාධීන වහල්කමක්ද? මිනිසකුට මීට වඩා ද්‍රෝහීකමක් සිය මාතෘභූමියට සහ අනාගත පරපුරට කළ හැකිද?

ඇසුණු වහා අප එකවර ලැජ්ජාවට ද කෝපයට ද කනගාටුවට ද පත්විය යුතු මේ පුවත අපට අමන්දානන්දයට හේතුවක් වන්නේ කෙසේද? අපේ ජාතිය හෘද සාක්ෂියක් නැති අක්මුල් නැති දවස් හතළිහේ බෝයිලස් කුකුළන්ගේ තත්ත්වයට පත් වෙලාද?

කේෂාප් අභියෝග කර ඇත්තේ අපේ රටේ පුරවැසියන් මිලියන 200ට හිමි පරමාධිපත්‍ය බලයටයි, අත්හළ නොහැකි පරමාධිපත්‍ය බලයටයි. මේ රටේ බෝඩිංකාරයන් නොවන ඕනෑම පුරවැසියකු සිය අපේ පරමාධිපත්‍ය බලයට අභියෝග කිරීමට උඹ කවුද යැයි පෙරළා ප්‍රශ්න කළ යුතු නොවෙද? එහෙත් ඉන් අමන්දාන්නදයට පත්වන්නේ නම් අප ඒ ඇමරිකන්කාරයාගේ වහල් රෑනක් මිස නිදහස් නිවහල් රට වැසියන් යැයි පිළිගත හැකිද? මේ ප්‍රශ්නය වරක් නොව සිය වරක් හෝ අප අපේ හෘද සාක්ෂියෙන් විමසිය යුතු නැද්ද?

මේ රටේ අනාගත පාලකයා තෝරන්නේ අපය. අපේ රටේ මිලියන 200ක් ජනතාවය. ඒ ජනතාවගේ බහුතර කැමැත්තය. ඒ බලයට අපගේ පරම අයිතියකි. ඒ බලය වෙනුවෙන් අප පාට පක්ෂ ආගම් භේද පසෙක ලා එකම ජාතියක් ලෙස නැඟී සිටිය යුතුය. ඒ බලය අපේ අනාගත පරපුරට ආරක්ෂා කොට දිය යුතුය. හුදු පෞද්ගලික පටු කෙටි දේශපාලන අරමුණු සහ තෘප්තිය වෙනුවෙන් අපේ බලය පරයන්ට පාවා දීම මොන කරුමයක්ද? අපේ රටෙන් කොටසක් පරයකු පාලනය කිරීම ඉවසා ගත නොහැකිව ඇඳේ වකුටු වී නිදන ළමුන් බිහි කළ ජාතියක අලුත් පරපුර මෙතරම් පරාධීන ජාති භ්‍රෂ්ටයන් වූයේ කෙසේද?

මේ රටේ ජනතාව රටේ පාලකයා බහුතර ජනතාව තම පාලකයා තෝරා ගන්නේ රටේ යහපත සලකාය. ජනතාව තෝරා පත් කර ගත් පසු නායකයන් මොන වැරදි කළ ද ජනතා අපේක්ෂාව යහපත් පාලනයකි. එහෙත් අපේ රට වෙනුවෙන් බාහිර බලවේග නායකයන් තෝරා දෙන්නේ අපේ රටේ යහපතටද යන්න අප විමසා බැලිය යුතුය.

මේ අනුකම්පා කළ යුතු ලැජ්ජාවට පත් විය යුතු අමන්දානන්දයට හේතුව මැතිවරණයක් මගින් පරාජය කළ නොහැකි යැයි සිතන ප්‍රතිවාදී අපේක්ෂකයා බාහිර බලවේග ලවා හෝ ඉවත් කර දුර්වලයකු සමග තරග කර ජය ලැබීමේ මෝඩ උමතුව බව රහසක් නොවේ. එහෙත් මෙවැනි මෝඩකම් 1815 අපේ රජතුමා සුද්දාට පාව දී ලැබූ ජයට නොදෙවෙනි බව අප අවබෝධ කරගත යුතුය.

අනෙක් අතට දුර්වලයකු සමග සටන් කර ලබන ජය විශිෂ්ටද? තහනම් උත්තේජක භාවිත කොට ඔලිම්පික් පදක්කමක් දිනීම ශිෂ්ට ලෝකය පිළිගන්නවාද? කෙසේ හෝ පිටියේ දී උසේන් බෝල්ට් පරාජය කරනු මිස ඔහුට තරග තහනමක් පනවා ජය ගැනීමට ජස්ටින් ගැට්ලින් උපක්‍රම යෙදුවේද? මේ මොන නිවට කම් ද?

රටේ ජනතා සතු පරමාධිපත්‍ය බලය කිසිවකු කඩා වඩා ගන්නවා බලා උදම් ඇනීම සමාන වන්නේ අල්ලපු ගෙදර චණ්ඩියා ගෙදරට පැන සිය බිරිඳට අතවර කිරීම අභිමානයක් කොට සැලකීම වැනි නීච නිවට ක්‍රියාවකට පමණි. අතුල් කේෂාප්ගේ ප්‍රකාශය කනට මී පැණි වත් කළා සේ මධුරතර විය හැක්කේ එවැනි මානසික මට්ටමක සිටින අයකුටය. අප ජාතියක් ලෙස හඬා වැටිය යුතු කෝපයෙන් වියරු වැටිය යුතු සිද්ධියක් අපේ අමන්දානන්දයට හේතු වීම කෙතරම් ඛේදජනකද? එදා 1815 කුප්‍රකට උඩරට ගිවිසුමින් රට පාවාදීමට මොහොතකට පෙර කතර කොඩිය එසවීමට එරෙහි වූ වාරියපොළ සුමංගල නාහිමි වැනි විරයන් දෙව්ලොව සිට කුමක් සිතනු ඇතිද?

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

6/18/2018

ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී!

කතෘ:යුතුකම     6/18/2018   1 comment
-නාමල් උඩලමත්ත-
භික්ෂූන් වහන්සේ භික්ෂු විනයට මෙන්ම ජීවත් වන රටේ නීතියට ද අනුගත විය යුතුය. එහෙත් අපේ රටෙි අද ඇත්තේ වසර දහස් ගණනක් තිස්සේ ගොඩනැඟුණු සිංහල නීතිය නොව රෝම ලන්දේසි නීතියයි.

ඒ නීති පද්ධතිය වසර සිය ගණනක් මෙරට භාවිත වුවද එය අපේ සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමට අප අසමත් වී ඇත. අපේ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා වන පරිදි ඒ නීතිය අපේ කර ගැනීමට අප අසමත් වී ඇත.

අපේ රටේ භික්ෂුවක් සිවිල් නීතියට අනුගත වරදක් කළ විට දඬුවම් ලබා දීමට එම නීතියට හැකි වීම ගැටලුවක් නොවුණ ද චීවරය ගලවා ජම්පරය ඇන්දවීමේ බලයක් එම නීතියට දිය යුතු නැත.

භික්ෂූන් වහන්සේ කෙනෙකුගේ චීවරය ගලවා දැමීමේ බලය රටේ නායක භික්ෂූන් වහන්සේලාට පමණක් හිමි යුතුය. එය බන්ධනාගාර කොමසාරිස් කෙනෙකුට නොව ජනාධිපතිට පවා ලබා දීම බුද්ධ චීවරයට කරන නින්දාවකි.

දෙව්දත් හිමි අපාගත වූයේද සිවුර පිටින් බව බණ කතාවේ කියවෙයි. කුඩාපොළ හිමි වෙඩි කෑවේ සිවුර පිටිනි. සුද්දා වාරියපොළ සුමංගල හිමි සිරගත කළ ද සිවුර ගැලවූ බවක් නොකියවෙයි. සුද්දා සිවුර ගැලවුවද ඒ වරද වහා නිවැරදි විය යුතුය.

මන්ද එමගින් හෑල්ලුවට ලක් වන්නේ මේ රට දැය සමයෙහි මුර දේවතාවුන් වැනි ආර්ය මහා සංඝ රත්නය කළ මහා උදාර සේවයයි. අපේ බෞද්ධ උරුමයයි. බන්ධනාගාර කොමසාරිස් වැනි මහජන මුදලින් යැපෙන ගිහියකු අතින් ගැළවෙන්නේ හුදු සිවුරක් නොව මේ ශිෂ්ටාචාරයේ අභිමානයේ සළුවයි.

මේ මොහොතේ අප අභියස රඟ දැක්වෙන්නේ භයානක විගඩමක් බවට කිසි සැකයක් නැත. කළු ඩිපෙන්ඩරයක තරුණයකු පැහැර ගෙන ගොස් මරණ තර්ජනය කළ හිරුණිකාලා මැති ඇමතිකම් දරමින් සුවසේ වාසය කරන රටක හුදෙක් මරණ තර්ජනය කළේ යැයි ඥානසාර හිමි සිරගත කර ජම්පරය ඇන්ද වීම ඔස්සේ සතුරා අරමුණු කිහිපයක් සපුරා ගැනීමට කටයුතු කරන්නේ යැයි සිතිය හැකිය.

පළමුවැන්න මේ රටේ සතුරන් සතුටු කිරීමය. දෙවනුව මේ රටේ බුදු දහමට හිමි තැන අහිමි කොට නින්දා කිරීමය. තෙවනුව මේ ආණ්ඩුව රකින අන්තවාදී කල්ලි සතුටු කිරීමය. සිව්වනුව රට වෙනුවෙන් පෙරට එන භික්ෂුව නිහඬ කිරීමය. පස්වනුව සමාව ලබා දී වීරයන් වීමය. සය වනුව එහිමියන්ගේ ගිලිහි ගිය ජනප්‍රියත්වය නැවත ලබා ගැනීමට මග පාදා තමන්ට අවශ්‍ය පරිදි බෞද්ධයන් රැවටීමට යොදා ගැනීමය.

දැන් නිර්මාණය වී අැති පසුබිම තුළ ඥානසාර හිමිට සිරගෙදර සිට පැමිණ 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී රනිල් හෝ රටේ සතුරු අපේක්ෂකයාට එරෙහිව වැටෙන බෞද්ධ ඡන්ද ප්‍රමාණයක් කඩා දැමිය හැකිය. නො එසේ නම් ඒ ජනාධිපතිවරණයට රනිල්ට හෝ රටේ සතුරාට එරෙහි අපේක්ෂකයාට සහාය දෙන බව පවසා ඔහුට වැටෙන සුළු ජාතික ඡන්ද විශේෂයෙන් මුස්ලිම් ඡන්ද කැඩිය හැකිය.

බොදුබල සේනාව බිහි කළ පාර්ශව පවසන පරිදිම එය දෙපැත්ත කැපෙන අසිපතකි. රටට හිතැති බලවේග ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී තත්ත්වයට පත් වනු අැත. එහෙයින් ජනතාව වෙනදාටත් වඩා පරිස්සමින් ඉවසීමෙන් මේ දෙස බලා සිටිය යුතුය. මේ නාටකට ඔස්සේ සිදු කරන සංස්කෘතික සංහාරයට එරෙහි විය යුතුය. නැතහොත් මේ අසිපත් පහරක් ලක් මවගේ ගෙලට එල්ල විය හැකිය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

6/13/2018

කර්නල් රත්නප්‍රිය උතුරෙන් උදුරා නොගනු! - [video]

කතෘ:යුතුකම     6/13/2018   No comments
- නාමල් උඩලමත්ත -
උතුරේ ජනතාව කාකි ඇඳුමට දක්වන්නේ පුදුම බියක් බවත් ඒ ජනතාවට ශ්‍රී ලංකා හමුදාව පෙනෙන්නේ ආක්‍රමණික ස්ත්‍රී දූෂක මිනිමරුවන් පිරිසක් බවත් දෙස් විදෙස් මාධ්‍ය ඔස්සේ සමාජගත කර තිබූ මතයයි. ඒ අනුව හමුදාව උතුරින් ඉවත් කිරීම, ඉතිරි හමුදාව බැරැක්කවලට සීමා කිරීම, මහජන සබඳතා කටයුතුවලින් ඉවත් කිරීම ආදිය යහපාලන ආණ්ඩුව මහා ප්‍රජා සත්කාර ලෙස සිදු කළේය. ඔවුන් සංහිඳියාව ලෙස දුටුවේ එයයි.

සුනන්ද දේශප්‍රිය වැනි අයකු කිලිනොච්චියේ දැල්වුණු වෙසක් කූඩුවක් පවා සිංහල බෞද්ධ ආක්‍රමණයක් ලෙස දුටු අතර ඒවා හමුදා කඳවුරුවලට සීමා කළ යුතු බව ප්‍රකාශ කෙරිණි. මේ මතය වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධානවලින් එදා වේල සපයා ගන්නා පිරිස දිවා රෑ නොබලා පෙනී සිටියේය. උතුරේ ජනතාව සමග එතරම් සබඳතා නැති සිංහල ජනතාවට ද මේ අදහස් විශ්වාස කිරීම හැර වෙන විකල්පයක් නොතිබිණි.

ඔවුන් මාධ්‍ය ඔස්සේ දුටුවේ බුදු පිළිම ඉවත් කිරීමට දෙමළ ජාතික සන්ධානය සංවිධානය කරන උද්ඝෝෂණය. උතුරු පළාත් සභාව නාගදීපයේ බුදු පිළිමය තැනීම තහනම් කිරීමය. උතුරේ බෞද්ධ සිද්ධස්ථාන වසා දැමිය යුතු බවට නඟන හඬය. සිංහල ජනතාව නැවත උතුරේ පදිංචි කිරීමට එරෙහි සටන්ය. උතුරට සිංහල රාජ්‍ය නිලධාරීන් පත්කිරීම පවා ඔවුන්ගේ විරෝධයට හේතු විය.

එහෙත් ඒ සියල්ල දෙමළ සන්ධානය නිර්මාණය කළ නාඩගම් මිස දෙමළ ජනතාව මුහුණ දෙන සැබෑ ප්‍රශ්න නොවන බව කොටි ත්‍රස්තවාදය පරාජය කර දශකයක් ගත වීමට මත්තෙන් ශ්‍රී ලංකා හමුදාව සනාථ කර තිබේ. පසුගිය දා කිලිනොච්චියේ සේවා කාලය නිමවා පැමිණීමට සුදානම් වූ යාපනය කිලිනොච්චි මුලතිව් අණ දෙන නිලධාරී කර්නල් රත්නප්‍රිය බන්දු මහතා මුහුණ දුන් අත්දැකීම් ලෝකයට නිහඬව එහෙත් ගැඹුරු හඬින් කියා පෑවේ ඒ කතාන්දරයයි.

දෙමළ ජනතාව තමන්ගෙන් සමුගෙන යන හමුදා නිලධාරියා වෙනුවෙන් මෙසේ හඬා වැළපෙනු දැකීමට බෙදුම්වාදී බලවේග හෝ ඊනියා සංහිඳියා මස් වැද්දන් කිසිසේත් කැමති නොවනු ඇත. එහෙත් ඒ ජනතාව තමාගෙන් සමුගන්නා හමුදා නිලධාරියාගේ වෙන්වීම දරා ගත නොහැකිව හඬ වැළපුණේය. වැඳ වැටුණේය. මල් මාලා පැළඳ වූයේය. මල් වරුසා ඉස්සේය. තම කර මතින් වීදි දිගේ ඔසවා ගෙන ගියේය.

එදා තමන්ගේ නායකයා ප්‍රභාකරන් බවත් දැන් කර්නල්වරයා බවත් කියමින් තමා අතැර නොයන ලෙස ආයාචනා කළේය. තමන්ගේ සතුට අදින් අවසන් බව කියමින් එක කාන්තාවක් මහ හඬින් හඬා වැළපුණාය. කර්නල්වරයාගේ දෑසින් ගලන කඳුලු සඟවාලීමට ඔහු පැළඳ සිටි අව් කණ්ණාඩියට හැකි වුව ද ඔහුගේ හැඟුම්බර ඉරියව් කෙසේ සඟවාලන්නද? මේ සියල්ල දෙස බලා සිටින විට අපට අවබෝධ වන්නේ ඒ අහිංසක දෙමළ ජනතාවගේ ආරක්ෂකයා ද මිත්‍රයා ද අම්මා ද තාත්තා ද ලෙස කටයුතු කර ඇත්තේ මේ කාකි සූට්කාරයා බවය.

ඒ ජනතාව ත්‍රස්තවාදය නිමා වූ පසු මෙතෙක් කල් ආරක්ෂා කළේ කාගෙන්ද? දකුණේ සිංහල ජනතාවගෙන්ද? නැතහොත් උතුරේ බෙදුම්වාදී කල්ලි කණ්ඩායම්වලින් ද? කර්නල්වරයා සමුගත් විට ඔවුන් අසරණ වනවා යැයි ඔවුන්ට හිතෙන්නේ ඇයි? දෙමළ සන්ධානය මේ ජනතාවගේ එකම ගැලවුම්කරුවා ලෙස කරන රඟපෑම කෙතරම් විහිළුවක්ද?

දෙමළ ජනතාව නියෝජනය කරන්නේ යැයි පරසක්වළ ගහන කණ්ඩායම් සහ සාමාන්‍ය ජනතාව අතර ඇත්තේ කෙතරම් පරතරයක්ද? මේ රටේ පාලකයන් ඊනියා සංහිඳියාවේ නාමයෙන් උතුරේ ජනතාවගේ එකම විශ්වාසනීය ආරක්ෂකයා වන හමුදාව ඉවත් කර ඔවුන් බෙදුම්වාදයට බිලි දෙන්නේ ඇයි? මේ ගැටලුවලට අපට පිළිතුරක් තිබේද? නැත්නම් වහාම පිළිතුරු සොයා ගත යුතුය.

අප සැබවින්ම සවන් දුන්නේ එදා නන්දිකඩාල් වෙරළේ දී අපේ රජුට ගිහින් කියන්න අපි බේරගන්න කියලා යැයි හඬා වැළපුණු කාන්තාවගේ හඬට නොව ඒ ජනතාව වෙනුවෙන් කිඹුල් කදුළු හෙළන ක්‍රිස්තියානි බළල් අතක් වන දෙමළ සන්ධානයේ බෙදුම්වාදී හඬටය. ඉතිහාසයේ අප කරගත් බරපතළම වරද ලෙස එය නූතන ඉතිහාසය ලියන දිනයක ලොකු අකුරින් සටහන් විය යුතුය.

සිය සිංහල ආරක්ෂක නිලධාරියාගේ මරණය හමුවේ හඬා වැටුණු යාපනේ විනිසුරු ඉලන්චේලියන්, උසාවියේ භික්ෂූන් වහන්සේලාට අසුන් පැනවූ චන්ද්‍රසේකරන් විනිසුරුතුමිය සහ මෙදා කර්නල් රත්නප්‍රිය දෙවියකු ලෙස සලකා බුහුමන් කරන කිලිනොච්චි ජනතාවගේ හෘද සාක්ෂිය සමග අප සිටගත යුතුය. ලෙයින් තෙත් වූ භූමියෙන් මතුව එන සැබෑ ළෙංගතුකමේ පුෂ්පය අප දෝතින්ම වැළඳගත යුතුය.

දැන්වත් මේ රටේ පාලකයන් උතුරේ දෙමළ ජනතාවගේ සැබෑ ප්‍රශ්න හඳනා ගත යුතුය. ඒ ප්‍රශ්නවලට ඒ ජනතාවට විසඳුම් ලබා දිය යුතුය. ඒ ජනතාව නැවත බෙදුම්වාදයට තල්ලු කර දැමීමට කටයුතු කරන කල්ලි කණ්ඩායම් පරාජය කළ යුතුය. ඒ සඳහා ගත යුතු මූලික පියවරක් තිබේ. ඒ සාමාන්‍ය හමුදා නීතිය මේ ජනතා ඉල්ලීම හමුවේ වෙනස් කරමින් කර්නල් රත්නප්‍රිය නැවත ඒ ජනතාවට ලබා දීම මගිනි.

සාධාරණ ජනතා අපේක්ෂාවලට ඉහළින් ක්‍රියාත්මක වන නීතියක් තිබිය යුතු නැත. එමගින් අපට උතුරේ ජනතාවට ලබා දිය හැකි ලොකුම පණිවුඩය අප ඔබේ හදවතට අපි ඔබේ හඬට සවන් දීමට සූදානම් බවය. අප සහ ඔබ දෙදෙනකු නොව එක් අයකු බවය. කර්නල්වරයා වසර පහක් තුළ උතුරේ ජනතාව අතර දිනාගත් ආදරය ජීවිත කාලය පුරා ඊළම වෙනුවෙන් පෙනී සිටි වික්‍රමබාහු කරුණාරත්නට හෝ වෙනත් එන්ජීඕකාරයකුට දිනාගත හැකි යැයි අප විශ්වාස කරන්නේ නැත.

එහෙයින් මෙය විශේෂ අවස්ථාවක් ලෙස සලකා ජනාධිපතිවරයා මැදිහත් වී කර්නල්වරයාට උසස් වීමක් ද ලබා දී නැවත උතුරේ ජනතාවට සේවය කිරීමට ඔහුට විශේෂ වරමක් ලබා දිය යුතුය. ඔහු යටතේ තවත් එවැනි නිලධාරි පිරිසක් පුහුණු කළ යුතුය. එය රටේ දිගුකාලීන සාමය ද සැබෑ සංහිඳියාව ද සොයා යන ගමනේ මං සලකුණක් වනු නො අනුමානය.


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

6/08/2018

ජවිපෙ විස්ස අවසාන ඊළාම් තුරුම්පුව ද?

කතෘ:යුතුකම     6/08/2018   No comments
-නාමල් උඩලමත්ත-

කිසිවකු සීදේවි යැයි කියා මූදේවිට වරක් දෙරවක් රැවටීම ඒ හැටි අරුමයක් නොවේ. එහෙත් දවල් වැටුණු වළේ රෑ වටෙන්නා සේ නැවත නැවත රැවටෙන්නේ නම් එය මහ ඛේදවාචකයකි. මෙවැනි තත්ත්වයකට රටක ජනතාව වැටුණ කල ඒ රට දිනෙන් දින අගාධයට යනු මිස ගොඩ ඒමක් නම් නැත. අද අපෙ රට හමුවේ ඇත්තේ එවැනි ඛේදවාචකයකි.

2015 යහපාලනය යන සර්ව පිත්තල වචනවලට මුවා වී විදෙස් බලවේග රටේ පාලනය ජනතාවගෙන් උදුරා ගත්තේය. කොටි ත්‍රස්තවාදය පරාජය කොට රටට සංවර්ධනයේ අරුණළු රැගෙන ආ ආණ්ඩුව බිඳ දැමූ සුද්දෝ we are part of this victory යැයි උදාන වාක්‍ය පැවසූහ. එය කෙතරම් ජුගුප්සාජනක කුමන්ත්‍රණයක් කිවහොත් සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලීවේ කවුද කියා එදා පත් වූ ජනාධිපතිවරයා පවා තවම දන්නේ නැත.

එතෙක් පැවති නිවහල් රට දැන් බටහිර ඉන්දිය කොලනියකි. බටහිර ඉන්දිය ස්වාමීවරුන්ගේ උවමනා එපාකම් අනුව ඔවුන් විසින් පත් කළ ආණ්ඩුව සහ ආණ්ඩුකාරවරු අද රට පාලනය කරති. යහපාලන සුනාමියට පසු රට පාලනය කිරීම යනුවෙන් සිදුවූයේ ජනාධිපතිවරයාම පවසන පරිදි ඔහු පවා නොදන්නා බලවේගයක් විසින් ලියා දුන් කොලයක් අනුව වැඩ කිරීමය. (අදත් සිදුවන්නේ එයම බව කිව යුතුද?) එතෙක් පැවති ආසන 142ක් සහිත ආණ්ඩුව පෙරළා දමා ආසන 42කින් සමන්විත එජාප නායකයා අගමැති කෙරිණි. ලෝක පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙවැනි විගඩමක් සිදු වූ පළමු සහ අවසාන අවස්ථාව එය විය යුතුය.

රට ප්‍රජාතන්ත්‍රවාදයෙන් සුඛිත මුදිත කිරීමට 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන වඩම්මා ගෙන ආවේ ඊට පසුය. මේ සංශෝධනය සමග රටේ අධිකරණය, රාජ්‍ය සේවය, පොලිසිය ආදි ආයතන ස්වාධීන වී ජනතාගේ මානව අයිතිවාසිකම් සුරක්ෂිත ශිෂ්ට දේශයක් උදාවන බවට නියත විවරණ ලැබිණි. එහෙයින් 19 නමැති මල් වට්ටියට අත ගැසීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සියලු බලවේගවල පරම යුතුකම සහ වගකීම බව පරසක්වළ ගැසුවේය.

හොරු අල්ලන්න බලයට පැමිණි පාලකයන් මහ බැංකුව කොල්ලකෑවේ මේ අතරය. ඕනෑම රටක බැංකු කොල්ලයක් සිදු විය හැකි වුවද රටක ආණ්ඩුවක් විසින් සිය රටේ මහ බැංකුව කොල්ල කෑ ඉතිහාසයේ ප්‍රථම සහ අවසාන අවස්ථාව එයයි. 2015 උදා වු යහපාලනයට සහ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ බලගැන්වූ දේශපාලන ඇඟිලි ගැසීම් නොමැති නීතියේ ආධිපත්‍යයට පිං සිදුවන්නට සිංගප්පූරුකාරයකුට රටේ මහ බැංකුව රිසි සේ කොල්ලකා නිදහසේ නැවත සිය රට බලා ගොස් ජීවත් වීමේ භාග්‍ය උදාවිය. 2014 වන විට කොටි සංවිධානයේ ජාත්‍යන්තර සබඳතා ජාලයේ ප්‍රධානියා වූ කේපී මැලේසියාවට ගොස් රැගෙන ඒමට තරම් ප්‍රබල බුද්ධි අංශයක් සහ ජාත්‍යන්තර සබඳතා ජාලයක් පැවති රටක එවැන්නක් සිදුවීම කෙතරම් උත්ප්‍රාසජනකද?

මේ මහා සහගහන අපරාධයට එරෙහිව ඒ අපරාධයේ මහා මොළකරුට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංගය මහ බැංකුවෙන් කොල්ල කෑ මුදල් සහ කොටි ඩයස්පෝරාව පිට රටවලින් පොම්ප කළ මුදල්වලින් මිලට ගත් මැති ඇමතිවරු ලවා පරාජයට පත් කෙරිණි. ජනතා මුදල් මහ දවල් කොල්ලකෑ බැඳුම්කර හොර රැළ පාර්ලිමේන්තුවේ දී ආරක්ෂා කළ කල්ලියේ මන්ත්‍රීවරු සියයකට වැඩි පිරිසකට එලෙස ජනතාවගෙන් කොල්ලකෑ මුදල් අල්ලස් ලෙස ලබා දී ඇති බව දැන් රටට රහසක් නොවේ. මේ අතර 20 වෙනි සංශෝධනය ගෙන එන ජවිපෙ නායකයන් ද සිටින බව පැවසෙයි.

මහ බැංකු හොරුන්ගෙන් පගා ගෙන විශ්වාසභංගය පරාජය කිරීමට අත එසවූ සරත් ෆොන්සේකලා ගම්පෙරළියේ නන්දා පියල් දුන් ලියුම අල්මාරිය අස්සට විසි කළා වැනි විහිළු කතා කියමින් මේ රටේ ජනතාවගේ බුද්ධියට නිගා දෙනු බලා සිටීමට අද අපට සිදුව තිබේ. සැබවින්ම 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ සිදුව ඇත්තේ මෙවැනි මහා අපරාධයක් සිදු වුව ද පියවරක් ගත නොහැකි තැනට විධායක ජනාධිපති ධුරයේ තටු කපා දැමීම පමණි. නො එසේ නම් 2015 ජනවාරි 9 වෙනිදා ආසන 142ක් සහිත සන්ධානයක් යටතේ දි.මු. ජයරත්න අගමැති ධුරයේ සිටියදීම ආසන 42ක් පමණක් තිබූ රනිල් අගමැති කළ මෛත්‍රීපාල සිරිසේනට දැන් රනිල් පහකර වෙනත් අගමැතිවරයකු පත් කිරීමට කිසිම නොහැකියාවක් නැත.

අවසානයේ ආණ්ඩුව රටට කෙතරම් විනාශකාරී වුවත් වසර හතරහමාරක් ගෙවෙන තුරු එය විසුරුවා හැරීමේ බලය 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය විසින් ජනාධිපතිවරයාගෙන් උදුරා ගෙන තිබේ. වෙනත් ලෙසකින් කිවහොත් 2003 චන්ද්‍රිකාට රනිල් පාලනය කර ගැනීමට තිබූ බලය අහිමි කර තිබේ. මේ වන විට ජනතාවගේ ජීවන බර, විරැකියාව ඉහළ ගොස් රටේ සියලු ආර්ථික දර්ශක පහළ වැටී දූෂණය ඉහවහා ගොස් රටම දෙකොණ විලක්කුවක් සේ ඇවිළි ගිය ද රටේ ජනාධිපතිවරයාට කළ හැක්කේ අනාරාධිතව උත්සව සභාවලට ගොස් කලින් කී බොරු වෙනුවට අලුත් බොරු කියා ඇදගෙන නෑමට පමණි.

යහපාලන නියමුවකු වූ සෝභිත හිමිගේ සැමරුමට ඇමතිකමින් පහ කළ පිවිතුරු රවී කරුණානායක වැනි අයකුට පවා ආරාධනා කරන පසුබිමක එම බලවේගය විසින් බලයට ගෙන ආ වත්මන් ජනපතිට ආරාධනා නොකිරීමෙන් 19 ඔස්සේ ජනපති ධුරයට අත්ව ඇති ඉරණම, මේ ආණ්ඩුව තුළ ඇති ගිනි කන්ද පමණක් නොව යහපාලන විහිළුවේ සැබෑ හෙළු ද ප්‍රදර්ශනය වෙයි.

මෙවැනි පසුබිමක 20 වෙනි සංශෝධනය ඔස්සේ රටේ ජනාධිපතිවරයා තෝරා ගැනීමට රටේ ජනතාවට ඇති බලය ඒ ජනතාවගෙන් උදුරා ගෙන පාර්ලිමේන්තුවට පැවරීමට යෝජනා කිරීම අප අවබෝධ කරගන්නේ කෙසේද? එහි අරමුණ කුමක්ද? බැඳුම්කර හොරුන්ගෙන් පාගා ගෙන ඒ හොරකමට එරෙහි විශ්වාසභංගය පරාජය කිරීමට අත එස වූ හොර කල්ලියකට මේ රටේ ජනාධිපතිවරයා තේරීමේ බලය ලබා දෙන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමට යැයි අප සිතිය යුතුද?

සැබවින්ම 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ සිදු කිරීමට උත්සාහ කරන්නේ රටේ විධායක ජනාධිපති ධුරය වෙනුවට විධායක අගමැති ධුරයක් නිර්මාණය කිරීමටය. බෞද්ධ ලේබලය සහිත පොදු අපේක්ෂකයකු ලවා පවා ඉටුකරගත නොහැකි වූ ඊළාම් ගමනේ ඊළඟ පියවර තැබීමට නූතන ඩොයිලි වන රනිල් වික්‍රමසිංහ පන්නයේ නායකයකු රටේ විධායකය බවට පත් කළ යුතුය. ඒ රනිල් වික්‍රමසිංහ, රාජිත සේනාරත්න හෝ මංගල සමරවීර වැන්නකු විය හැකිය. එවැනි අයකුට රටේ සමස්ත ජනතාවගේ ඍජු ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත් විය නොහැකිය. ඒ බහුතර සිංහල ජනතාව මෙවැනි පිල්ලිවලට එරෙහිව ඡන්දය භාවිත කරන නිසාය.

එහෙයින් කුමන නූල් සූත්තරය මගින් හෝ රටේ විධායකය තෝරන බලය ජනතාවගෙන් උදුරා ගෙන පාර්ලිමේන්තුවට ගතයුතුය. එවිට අර්ජුන් ඇලෝෂියස්ට පවා සල්ලිවලට ගත හැකි සරත් ෆොන්සේකලා වැනි සිංහල යැයි කියන මැති ඇමතිලා කොටි ඩයස්පෝරවේ මුදලින් මිලට ගෙන එජාප, ජවිපෙ, දෙමළ සන්ධානය ඇතුළු සුළු වාර්ගික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ද සහාය ඇතිව බෙදුම්වාදී පිල්ලියක් රටේ විධායකයට පත්කිරීම ඒ හැටි කජ්ජක් නොවේ.

ඒ සඳහා කළ යුත්තේ යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් වැනි බැලූ බැල්මට අතිශය සාධාරණ සටන් පාඨ ඔස්සේ විධායකය මහා භයානක යකකු කර ජනතාව සතු විධායකය තෝරන බලය බෙදුම්වාදී බලවේගවලට මුදල් බලයෙන් පාලනය කළ හැකි පාර්ලිමේන්තුවට ගැනීමය. කෙසේ හෝ මේ බාධකය ජය ගත හොත් පළමුව 13 වෙනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම ඔස්සේ උතුරේ ඊළාම් රාජ්‍යය බිහි කර ගැනීමට වසර කිහිපයකට වඩා ගත වෙතැයි සිතිය නොහැකිය.

එහෙයින් මේ ගොනා හැරෙන්නේ පොල් පැලයට බව ජාතිය වහා අවබෝධ කර යුතුය. බෙදුම්වාදී බලවේග ජවිපෙ ලවා උත්සාහ කරන්නේ 20 නමැති අවසාන ඊළාම් තුරුම්පුව ගැසීමටය. එය පරාජය කරනු හැර විකල්ප නැත. එපමණක් නොව 19 වැනි සංශෝධනය ඔස්සේ සිදු වූ මහා නස්පැත්තිය වහාම නිවැරදි කිරීමට පෙරමුණ ගත යුතුය. මේ රටේ ජනතාව 2015 යහපාලන විප්ලවය ඔස්සේ ලැබුණු ප්‍රජාතන්ත්‍රවාදය රහ බලමින් නැවත ඒ බොරුවට රැවටෙන්නේ නම් මේ රටට අනාගතයක් තිබිය නොහැකිය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

2/22/2018

රනිල් කැපුවොත් ජනාධිපතිට ගෙදර යන්න වෙයිද?

කතෘ:යුතුකම     2/22/2018   No comments
රනිල් කැපුවොත් ජනාධිපතිට ගෙදර යන්න වෙයිද?

අගමැතිවරයා ඉවත් කළේ නම් තමාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් එම තීන්දුව මත පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කර තමා ධුරයෙන් නෙරපීමේ සැලසුමක් තිබූ බව ජනාධිපතිවරයා පවසා තිබේ.

එවැනි දෝෂභියෝගයක් ඉදිරිපත් කිරීමේ සැලැස්මක් තිබිණි යැයි විශ්වාස කළ ද එය සම්මත වීමට නම් පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයක් අවශ්‍ය වෙයි. එම දෝෂාභියෝගය සඳහා එජාපයේ 106 දෙමළ සන්ධානයේ 16, ජවිපෙ 6, මුස්ලිම් කොංග්‍රසයේ 1 සහ ඊපිඩීපී 1 පක්ෂ වේ යැයි උපකල්පනය කළ ද ලබා ගත හැක්කේ ඡන්ද 130කි. ඒ අනුව 2/3ක් ලබා ගැනීමට තව ඡන්ද 20ක් උවමනා වෙයි.

ඉතිරි ඡන්ද ඇත්තේ ඒකාබද්ධය සහ ශ්‍රීලනිපය සතුව නිසාත් අගමැතිවරයා ඉවත් කිරීම යනු ඒකාබද්ධයේ ඉල්ලීමක් නිසාත් එම දෝෂාභියෝගයට කිසිසේත් ජයග්‍රහණය කළ නොහැකිය. ජනපති තනතුරට කිසිදු බලපෑමක් සිදු නොවෙයි. මේ අනුව ජනාධිපතිවරයාට කිසිවකු විසින් සුපුරුදු පරිදි තවත් ලනුවක් දී ඇත.

එසේ නැත්නම් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා මැතිවරණ දිනවල අපි තරහයි නාටකය රඟ දැක්වූයේ යැයි පිරිසක් පැවසූ මතය පිළිගැනීමට අපට සිදුවෙයි. ජනාධිපතිවරයා නොකෙරෙන දීගයට කෝඳරු තෙල් හත් පට්ටයයි තවත් ටිකක් හොයමින් කල් මරමින් සුපුරුදු පරිදි රඟපාන්නේ මැතිවරණ ප්‍රතිඵලය ඔස්සේ ලබා දුන් ජනතා තීන්දුව යටපත් වන තුරුය.

අනිත් අතට රනිල් ඉවත් කර වෙනත් අගමැතිවරයකු පත් කර ගැනීමට මේ වන විට ඒ සඳහා මහින්දගේ සහාය ප්‍රකාශ වී තිබේ. රනිල් ඉවත් කර සන්ධාන ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට මහින්ද සිරිසේනට සහාය නොදෙන බවටත් රට අගාධයට යන්නේ ඒ නිසා බවටත් ඒ සඳහා ද අවසානයේ වගකිය යුත්තේ මහින්ද බවටත් කළ ප්‍රකාශ ගැන අප දැන් නැවත විමසා බැලිය යුතුය.

2015 ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව ජනමතය වෙනස් වී ඇතැයි එවක 2/3 බලයක් සහිත ආණ්ඩුව වෙනුවට නව ආණ්ඩුවක් පත් කරගත් ජනාධිපතිවරයාට මේ අවස්ථාවේ ද 2015 තීන්දුව මත. පිහිටා කටයුතු කරනු හැර විකල්පයක් නැත. බොරු තර්කවලින් තව තවත් පිරිහෙනු මිස වන සෙතක් නැත.

ජනතාව බොරුවෙන් රැවටීම කළ නොහැකිය. මේ නිසා සිදුවන්නේ ඡන්දය ආසන්නයේ ජනාධිපතිවරයා "මම හොරු එක්ක තවත් ආණ්ඩු කරන්න සුදානම් නෑ" "ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම බැඳුම්කර හොරකමයි" "මම හොරුන්ට දඬුවම් දෙනවා" "ආන්ඩුවේ ඉතිරි කාලය රටේ ආර්ථිකය හසුරුවන්නේ මමයි" කියමින් කළ ගර්ජනාවලට රැවටී ඔහු නියෝජනය කළ බලවේගයට ඡන්දය දුන් 13% අතර සිටින පිරිස ද එළඹෙන මැතිවරණයේ දී ඔහු අතැර යාම පමණි.

නාමල් උඩලමත්ත

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

12/20/2017

අනුධරාධපුර නොතකා ඉදිරියට යා හැකිද?

කතෘ:යුතුකම     12/20/2017   No comments
-නාමල් උඩලමත්ත-
මම පසුගියදා ආචාර්ය නලින් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් සමග අනුරාධපුරයට ගියෙමි. ඒ රටට දැයට සෙත් පතා පිරිත් සජ්ඣායනය ඇතුළු අරමුණු කිහිපයක් පිණිසය.

අනුරාධපුරය සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයේ තිඹිරි ගෙයයි. සැබවින්ම එය අපේ ශිෂ්ටාචාරයේ තිඹිරි ගෙය යැයි පැවසීම එක අතකින් අනුරාධපුර වටිනාකම හෑල්ලු කිරීමකි. අපේ ශිෂ්ටාචාරය උපත ලබා එහි සොඳුරු තරුණ අවධිය ගෙවුණේ අනුරාධපුරයේය. ඒ වසර 1500ක පමණ කාලයකි. එය ලංකාවේ දීර්ඝතම කාලයක් පැවති රාජධානියයි.

අපේ රටේ අගනුවර ලෙස රටේ දකුණට නොව උතුරට ළඟ අනුරාධපුරය තෝරා ගැනීම ඉතා දුරදිග බලා ගත් උපායමාර්ගික දේශපාලන තීන්දුවකි. එම තීන්දුව පිටුපස සිටි මහ මොළකරු කවුද යන්න මා නොදනිතත් එය අහම්බයක් විය නොහැකිය. එම යුගය අපේ ඉතිහාසයේ ස්වර්ණමය අවධිය බවට අදත් විද්‍යමාන මහා දාගැබ්, වැව් ඇතුළු නිමැවුම් අපට කොඳුරා කියයි.

අසල්වැසි භාරතයේ දේශපාලන සංස්කෘතික බලපෑමෙන් උතුරු නැගෙනහිර පළාත් ආරක්ෂා කර ගැනීමට අගනුවර ඒ ආසන්නයේ පැවැත්ම ඉතා වැදගත්ය. අදත් එම පළාත්හි ශේෂ වී ඇති බොහෝ බෞද්ධ නටබුන් අනුරාධපුර යුගයට අයත් අතර එම පළාත්හි සිංහල මෙන්ම දෙමළ බෞද්ධයන්ද වාසය කළේ යැයි සිතිය හැකිය. එකල අනුරාධපුර මුල් කොට ගත් අපේ රාජධානියේ බලපෑම අසල්වැසි භාරතයේ බලපෑමට වඩා ප්‍රබල ලෙස උතුරු නැගෙනහිර පැතිර යාම මේ බෞද්ධ ප්‍රබෝධයට හේතුවයි.

අනුරාධපුර සමයේ කිසියම් ගැටුමක් ඇති වූ විට රාජ උරුමය සහිත අය පළාගියේ දකුණට බව දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු මහානාග රජගෙයි ගැටුමකට පසු රුහුණට පැමිණ මාගම්පුර රාජධානිය් පිහිටුවා ගැනීමෙන් සනාථ වෙයි. උතුරු රාජධානියට ආසන්න නිසා එවැනි ආරක්ෂිත පරිසරයක් එහි නොවීය. එහෙත් අනතුරුව රාජධානිය දකුණට සංක්‍රමණය වන විට උතුරේ බෞද්ධ බලපෑම කෙමෙන් වියැකි ගොස් භාරතීය බලපෑම ඉහළ ගිය බව පෙනේ. දෙමළ බෞද්ධයන් පමණක් නොව උතුරේ සිංහල බෞද්ධයන් ද අතුරුදන් විය.

මේ අනුව ආරක්ෂක හේතු මත රාජධානිය ක්‍රමයෙන් නිරිත දෙසට ගමන් කිරීම නැතහොත් උතුරින් ඈත්වන්ට වීම පසුකාලීන බොහෝ ගැටලුවලට හේතුව බව පෙනේ. කෝට්ටේ මහ රජුට බදු ගෙවමින් උතුර පාලනය කළ ප්‍රාන්ත පාලනයක් ඇති වන්නේ ද රටේ අගනුවර නිරිත දෙසට මාරු වීමේ ප්‍රතිඵලයක් ලෙසය. අනතුරුව 1970 දශකයේ අග කොටි ප්‍රමුඛ විවිධ ත්‍රස්ත කල්ලිවලට උතුර තිඹිර ගෙයක් වන්නේ ද මේ පසුබිමේය.

පසුකාලීන රජවරු මෙන්ම වර්තමාන පාලකයන්ද නැවත රාජධානිය අනුරාධපුරයට ගෙන යාම පිළිබඳ සැලකිලිමත් වූයේ නැත. එය පසුගිය ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල තමන් ජයගත හොත් පොළොන්නරුවේ සිට රට පාලනය කරමියි කියන වචනවලට පමණක් සීමා විය. ඔහු එය එතරම් නොසිතා ප්‍රකාශ කළ ද විය යුත්තේ එයයි.

අද අපේ මධ්‍යම ආණ්ඩුවේ බලයට වඩා රටේ සංස්කෘතික බලපෑමට වඩා තමිල්නාඩු බලපෑම ඉන්දීය බලපෑම උතුරට ලැබීමට මූලික හේතුව රටේ මැද නැතහොත් අනුරාධපුර පිහිටිය යුතු අගනුවර බටහිර වෙරළ දක්වා රැගෙන ඒමය. උතුරේ එම ප්‍රදේශවලට ගිය විට අපට අසන්න දකින්න ඇත්තේ ඉන්දීය රේඩියෝ රූපවාහිනි චැනල්ය. භාරතීය සංස්කෘතික බලපෑමය. අනුරාධපුර යුගයේ ලැබුණු සිංහල බෞද්ධ බලපෑම නටබුන් බවට පත්ව ඇත. එය එම ජනතාව රටේ ප්‍රධාන සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමට විශාල බාධාවකි.

දැවැන්ත දෙමළ රාජ්‍යයක ආසන්නයේ පිහිටි අපේ රටේ උතුරට එහි සංස්කෘතික දේශපාලන බලපෑම අවම කිරීමට එම ප්‍රදේශ නැවත අපේ රටට සංස්කෘතික වශයෙන් අවශෝෂණ කර ගැනීමට අප කළ යුත්තේ රටේ කොනක පිහිටුවා ඇති අපේ මධ්‍යම ආණ්ඩුව රටේ මධ්‍යය කරා එනම් අනුරාධපුරය කරා රැගෙන යාම නොවේද? එසේ කළ හැකි නම් නැවත කිසි දිනක උතුරේ බෙදුම්වාදී ව්‍යාපාරයක් බිහි නොවනු ඇත. ඒ සඳහා අප ගෙවන්නේ කිසිසේත් මිලක් නොවේ. ඒ මිල කළ නොහැකි අනාගත ආයෝජනයකි.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

8/25/2017

මේ ආණ්ඩුව තව දුරටත් පැවතිය යුතු නෑ- ආචාර්ය සුමනසිරි ලියනගේ

කතෘ:යුතුකම     8/25/2017   1 comment
මේ ආණ්ඩුව තව දුරටත් පැවතිය යුතු නෑ- ආචාර්ය සුමනසිරි ලියනගේ

ආණ්ඩුවේ මෙතෙක් ගමන් මග, වර්තමානය සහ අනාගතය පිළිබඳ ආර්ථික දේශපාලන විද්‍යාව පිළිබඳ ප්‍රාමාණිකයකු වන ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ආචාර්ය සුමනසිරි ලියනගේ මහතා සමග රිවිර කළ සාකච්ඡාවකි.

වසර දෙකකට අධික වර්තමාන ආණ්ඩුවේ ගමන් මග දෙස ආපසු හැරී බලන විට ඔබට සිතෙන්නේ කුමක්ද?

වසර දෙකහාමාරක් පමණ ගෙවුණු ආණ්ඩුවේ ගමන් මග දෙස නැවත හැරී බලන විට මට සිහිපත් වන්නේ 1960 ගණන්වල අග එවකට කොමියුනිස්ට් පක්ෂයේ නායකයෙකු වූ පීටර් කේනමන් මහතා පාර්ලිමේන්තුවේ කළ කතාවක්. එහි දී ඔහු එවකට පැවති ආණ්ඩු හැඳන්වූයේ ආර්ථික වශයෙන් වඳ, දේශපාලන වශයෙන් කිසිවක් කරගත නොහැකි, පරිපාලන වශයෙන් කිසිම ශක්‍යතාවක් නැති ආණ්ඩුවක් විදිහට. එදා ආණ්ඩුවට මේ ප්‍රකාශය තරමක අතිශ්‍යෝක්තිමය විවේචනයක් වුවත්, අද ආණ්ඩුව සම්බන්ධයෙන් නම් එය තරමක අවතක්සේරු සහගත ප්‍රකාශයක්.

පසුගිය අවුරුදු දෙකහමාර තුළ සෑම සාර්ව ආර්ථික දර්ශකයක් ම පිරිහිලා. ආර්ථික වර්ධනය සහ අපනයන ආදායම් පහත වැටිලා, ඒ නිසා ගෙවුම් ශේෂය ඉහළ ගිහින්, විදේශ සංචිත පහත වැටිලා. මහ බැංකුවේ සංඛ්‍යා ලේඛන සලකා බැලුවත් 2015ට වඩා ඉතාම නරක තැනක ආර්ථිකය පවතින්නේ.

ලංකාවේ පවතින ආර්ථික සමාජ දේශපාලන අර්බුදය කලමනාකරණය මගින් විසඳන්න බෑ. නමුත් හොඳ කලමනාකාරවරයෙක් සිටියොත් කිසියම් දෙයක් කරගත හැකියි. මේ ආණ්ඩුවට කිසිම දෙයක් නිසි ලෙස කළමනාකරණය කරන්න බෑ. ආණ්ඩුවේ කලමනාකරණ ශක්තිය අතිශයින් ම දුර්වලයි. සමස්තයක් විදිහට බැලුවා ම මේ අවුරුදු දෙකහමාරක කාලය ලාංකේය නූතන ඉතිහාසයේ අපතේ ගිය කාල වකවානුවක්. මේ කාලය තුළ දෙස අවලෝකණය කර බලද්දි රට ලබා ගත් කිසිවක් දකින්න නෑ. මේ ආණ්ඩුව ඉදිරියට ගියොත් ඉතාම නරක පාලනයක් ලෙස එය වර්ධනය වන බව මහ බැංකු බැඳුම්කර වංචාව දෙස බැලුවා ම කදිමට පැහැදිලියි.

මේ ආණ්ඩුව බලයට ආවේ ජනතාවට පොරොන්දු මල්ලක් ලබා දෙමින්. මොනවාද ඒ අතරින් ඉටු වුණු පොරොන්දු?

මේ ආණ්ඩුව නිර්මාණය වූ අලුත එතෙක් කිසියම් දුරකට හැකිළී පැවති ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය යළි පුළුල් වීමක් වුණා. සෑම නව ආණ්ඩු පිහිටුවීමකට පසුව ම පොඩි ප්‍රජාතන්ත්‍රවාදී වසන්තයක් තියෙනවා. 94 චන්ද්‍රිකා ආණ්ඩුව පිහිට වූ අවස්ථාවෙත් කෑ ගහන්න අත පය දිග අරින්න පොඩි කාලයක් ආවා. එහෙම කාලයක් මේ ආණ්ඩුවටත් තිබුණා. නමුත් පසුගිය ශිෂ්‍ය සටන් සහ වෘත්තීය අරගලවලට ආණ්ඩුව ප්‍රතිචාර දැක්වූ ආකාරයෙන් පේන්නේ ඒ වසන්තය අවසන් බවයි. මෙයත් සුපුරුදු ප්‍රජාතන්ත්‍රවාදී නොවන වර්ගයේ ආණ්ඩුවක්.

ඔවුන් මැතිවරණ අවස්ථාවේ ජනතාවට ලබා දුන් කිසිම පොරොන්දුවක් ඉටු කරලා නෑ. 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් මහා පම්පෝරි ගහලා ස්වාධීන කොමිෂන් සභා පිහිට වූවා. නමුත් මේ කොමිෂන්වලින් ජනතාවට නම් කිසිම යහපතක් වෙලා නෑ. පොලිසියේ මර්දනකාරී හැඩරුව තවත් වැඩි වීමට මේ කොමිෂන් සභා හේතු වුණා කියලා හිතෙනවා. කෙනෙක් තර්ක කළ හැකි 19 වන සංශෝධනය ඔස්සේ ආණ්ඩුව ලබා දුන් පොරොන්දු රූපික ලෙස ඉටු කළා කියලා. නමුත් ඒ ඔස්සේ සිදු විය යුත්ත නම් සිදුවෙලා නෑ.

දූෂණය නිමා කරලා සංවර්ධනය දහ ගුණයක් කරනවා කියන එක එදා ප්‍රමුඛතම සටන් පාඨයක්. දූෂණය සහ අපතේ යෑම් නතර කරලා ආර්ථිකය දියුණු කරනවා කියන එක අදහසක් විදිහටම වැරදියි. සංවර්ධනයේ සාමාන්‍ය තර්කනයවත් දන්නේ නැති පුද්ගලයෝ තමයි මේ වගේ කතා කියන්නේ. ඇතැම් විට සංවර්ධනයට දූෂණය හිතවත් විය හැකියි. නැගෙනහිර ආසියාවේ දියුණු වූ රටවල් ගත්තොත් විශාල දූෂණ තිබුණා. වරක් ඉන්දුනීසියානු මහාචාර්යවරයෙක් කීවා දූෂණය සංවර්ධනයට ලිහිසි තෙලක් වගේ කියලා. එය ආචාර ධාර්මික වශයෙන් වැරදි විය හැකියි. මිනිස්සු හිතුවේ බිලියන ගණන් හොරකම් කරලා ඇත්නම් ඒවා නැවැත්වීමෙන් රට දියුණු කළ හැකියි කියලා.

පැවති ආණ්ඩුවට එල්ල කළ චෝදනා ඔප්පු කරලා දඬුවම් නොදෙන්නේ ඇයි?

මම කියන්නේ නෑ පහුගිය ආණ්ඩුවේ හොරකම් සිදු වුණේ නෑ කියලා. සංවර්ධන ව්‍යාපෘති සමග හොරකම් සිදුවෙන්න ඇති. නමුත් සමහර ඇමතිවරුන්ට චෝදනා නැගුණේ ඡන්දේ කාලේ බෙදපු දේවල් ගැන. ඒවා නෙමේ සැබෑ මහ පරිමාණ හොරකම්. මේ ආණ්ඩුව ඒ හොරකම් අනාවරණය කරන්න දක්වන මැලි කමින් පේන්නේ අද ඔවුන් හොරකම් කරන්නේත් එදා පැවති ආණ්ඩුව හොරකම් කළ තැන්වලින් ම බවයි.

ආණ්ඩුව පරණ හොරු ඇල්ලුවේ නැතත් තමන් හොරකම් කළ බවට නැගුණු චෝදනා නිසා ඇමතිවරුන්ට ඉල්ලා අස්වීමට සිදුවෙලා?

ඒක ජනතාවගේ දැවැන්ත අවතක්සේරුවක ප්‍රතිඵලයක්. මේ ආණ්ඩුවේ පැරණි ආණ්ඩුවේ කොටසක් ඉන්නවා. ජනාධිපතිතුමා සෞඛ්‍ය ඇමතිතුමා ඇතුළු ඇමතිවරු විසි ගණනක් සිටිනවා. අනිත් පිරිස එජාපය. මේ දෙපිරිසේම ඉතිහාසය විමසා බැලුවොත් ඔවුන්ට එතරම් හොඳ කැරැට්ටුවක් නෑ. ඔවුන් බොහෝ දෙනා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ශිෂ්ට මැති ඇමතිවරුන් විදිහට නෙමෙයි. පැවති එජාප ආණ්ඩුවල සිටි මැති ඇමතිවරු අදත් මැති ඇමතිවරු. මේ ආණ්ඩුව මහජනතාවට විකල්පයක් නැති නිසා පත් කරගත් ආණ්ඩුවක් විතරයි. හොඳ පුද්ගලයෝ කිහිප දෙනෙක් හිටියත් මේ ආණ්ඩුවේ බලවත්තු ඔවුන් නෙමේ. යහපාලනය, වංචා දූෂණ නැති කිරීම, හොරු ඇල්ලීම පැන්ටසි විතරයි.

බැඳුම්කර වංචාව නිසා රටට සිදූ වූ පාඩුව කුමක් ද?

මේ ආණ්ඩුව බලයට පත්වෙලා මාස කිහිපයක් තුළ සමස්ත ආර්ථිකයට ම බරපතළ ලෙස රිදෙන බැඳුම්කර වංචාව සිදු වුණා. මේ නිසා සිදු වූ පාඩුව ඉලක්කම්වලින් කියන්න බෑ. බැඳුම්කර සිද්ධිය සමග එක ඉලක්කමේ පොලී අනුපාතය එකවර ඉලක්කම් දෙකට නගිනවා. ඒක බැඳුම්කරවලට විතරක් නෙමෙයි, මේ රටේ ආයෝජනවලට සහ සෙසු ආර්ථික කටයුතුවලට තදින් බලපානවා. එම හානි ගණනය කළ නොහැකියි. ඒ නිසා අපේ රටේ ආර්ථිකයට සිදු වූ පාඩුව දරා ගන්න බෑ.

නව දේශපාලන සංස්කෘතියක් අරඹමින් චෝදනා ලැබූ මුදල් ඇමතිවරයා ඉල්ලා වුණා?
ඒ ප්‍රකාශය මීට පෙර ඉල්ලා අස් වූ තිලක් මාරපනට නම් තරමක් ගැලපෙනවා. ඔහු එම චෝදනාව මතු වේගෙන එන කොට ම අස් වෙනවා. නමුත් මේක එහෙම එකක් නෙමේ. ඔහු තව දුරටත් සිටීම ආණ්ඩුවේ පැවැත්මට තර්ජනයක් වූ නිසායි ඉල්ලා අස් වුණේ. මේක නව දේශපාලන සංස්කෘතියක ඇරඹුම කියලා උදම් අනන්න තිබුණා අනිකා විජේසූරිය මහත්මිය අදාළ ප්‍රකාශය කළ දවසේ ම රවී කරුණානායක ඉල්ලා අස් වුණා නම්.

2015 ඩීව් ගුණසේකර මහතා ප්‍රධානත්වය දැරූ කෝප් කමිටු වාර්තාවෙන් මේ කරුණු හෙළි වුණා. ඒ කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත දිනට පෙරදින තමයි පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ. එය තමයි බරපතළ ම දූෂණය. දැනට මාස ගණනකට පෙර සිදුවිය යුතුව තිබූ ක්‍රියාවලියක් කල් දමලා මේ ඉල්ලා අස්වීම නව දේශපාලන සංස්කෘතියක් ඇරඹුවා යැයි කීම විහිළුවක්. නව සංස්කෘතිය කොහොම වුණත් මේ වන විට තවත් හොරකම් ගැන වාර්තා ලැබෙමින් තියෙනවා.

හම්බන්තොට වරාය චීනයට ලබා දීලා මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට ලබා දීම අපේ රටේ අනාගතයට බලපාන්නේ කොහොමද?

පුද්ගලයෙක් කිසියම් දුෂ්කර අවස්ථාවක නොකරම බැරි නම් තමන්ගේ රත්තරන් මාලය උගසට තැබීම හෝ විකිණීම එතරම් ගැටලුවක් නෙමෙයි. නමුත් මේ පුද්ගලයා තමන්ගේ පාරම්පරික ඉඩම් කෑල්ල විකුණනවා නම් ඒක බරපතළ ගැටලුවක්. අපට ‘විකිණිය හැකි’ සහ ‘විකිණීමට සිදුවේ නම් විකිණිය යුතු’ වත්කම් මොනවාද කියලා වෙන් කර ගැනීම වැදගත්. වරාය අවුරුදු 99කට දීලා ආයේ ඕන නම් 70කින් ගන්න පුළුවන් කියලා වැඩක් නෑ. මොකද ඒ යුගය වන විට එහි ආර්ථික සහ උපාය මාර්ගික වැදගත්කම වෙනස් වී තිබිය හැකියි. ඒ නිසා රටක සම්පත් විකිණීම ගැටළුවක්.

මේ වන විට ඉන්දීය සාගරය ලෝකයේ වැදගත් ආර්ථික කලාපයක් වීමේ ලකුණු තිබෙනවා. එහි ආධිපත්‍ය සඳහා ඉන්දියාව සහ චීනය අතර විශාල භූ දේශපාලන ගැටුමක් තියෙනවා. හම්බන්තොට වරාය සහ අවට කලාපය චීනයට දීලා මත්තල ගුවන්තොටුපළ සහ අවට කලාපය ඉන්දියාවට ලබා දුන්නොත් සමහර විට චීනය සහ ඉන්දියාව නිතර ගැටුම් ඇති කර ගන්නා ඉන්දියාවේ නැගෙනහිර දේශ සීමාවේ අර්බුදය හම්බන්තොටට එන්න පුළුවන්. වර්තමාන ඉන්දියාව ක්‍රියා කරන්නේ කලාපයේ ඇමරිකානු ඒජන්තවරයා හැටියට බව අපි මතකයේ තබා ගත යුතුයි. ඒ නිසා රටේ සම්පත් මේ විදිහට තව තව බලවතුන්ට ලබා දීමත් සමග අපේ රට ලෝක බලවතුන් සහ කලාපීය බලවතුන් සටන් වදින යුද බිම බවට නුදුරු අනාගතයේ පත්වීමේ අවදානමක් තිබෙනවා.

වරාය හෝ ගුවන් තොටුපල මගින් ලාභ ලැබිය හැකි විභවයක් නැත්නම් ඒවා විදෙස් රටවල් ගන්නේ ඇයි කියලා අපි සිතා බලන්න ඕන. එසේ නම් වෙනත් අරමුණු ඒ පිටුපස තිබිය යුතුයි. මේ තීරණ වගේ ම අනාගතයේ සිදුවීමට නියමිත අනෙකුත් සම්පත් පිට රටවලට විකුණා දැමීමත් ඉතා ම වැරදි තීන්දු බව අපට කීමට සිදුවෙනවා. අපි ආදර්ශයට ගන්නවා කියන සිංගප්පූරුව වගේ රටවල මෙහෙම දේවල් වුණේ නෑ. දැන් අපේ රටේ ආර්ථිකය හසුරුවන්නේ ලංකාවේ ආර්ථික අමාත්‍යංශය නෙමෙයි ජාත්‍යන්තර සංවිධාන. විදෙස් ප්‍රතිපත්තිය හසුරුවන්නේ විදේශ කටයුතු අමාත්‍යංශය නෙමෙයි යුරෝපීය බලවතුන්. රටට ආණ්ඩුවක් අවශ්‍ය ද කියන ප්‍රශ්නය ඉදිරියේ දී මතු විය හැකියි.

එට්කා ගිවිසුම අපේ රටට හිතකර ද?

කිසියම් ගිවිසුමකින් පාර්ශව දෙකටම වාසි ලැබෙනවා නම් ගිවිසුම් ගහන්න බල කරන්න වුවමනා නෑ. නමුත් ඉන්දියාව අපට ඔවුන් සමග ගිවිසුම් ගහන්න බල කරනවා. එයින් පෙනෙනවා මේ ගිවිසුම්වල වැඩි වාසිය ඔවුන්ට ලැබෙන බව. දෙපාර්ශවයක් අතර ගිවිසුමක් ඇති වූ විට එහි වැඩි වාසිය බලවත් පාර්ශවයට ලැබෙන බවවරක් මාක්ස් කීවා. 2000 සිට ක්‍රියාත්මක වන ඉන්දිය ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම නිසා අපට හැමදාම තියෙන්නේ ඍණ වෙළඳ පරතරයක්. ඒ සියලු කරුණු සලකා බැලුවාම එට්කා ගිවිසුමේ වාසිය හිමි ඉන්දියාවට බව පැහැදිලියි.

20 වැනි සංශෝධනය ගෙන ඒමේ අරමුණ කුමක්ද?

77 බලයට පැමිණි ජේ. ආර්. ජයවර්ධන කීවා තමන් වසර 25කට මැතිවරණ සිතියම අකුළනවා කියලා. නමුත් ඔහු ඇකිළුවේ ම නෑ. වසර කිහිපයකට කලින් ජනාධිපතිවරණයක් තිබ්බා. ලාම්පු කළගෙඩි සටනින් 5/6 පාර්ලිමේන්තු බලය රැක ගන්න උත්සාහ කළා. අතුරු මැතිවරණ තිබ්බා. දැන් අවුරුදු 40කට පස්සේ මැතිවරණ සිතියම අකුළලා 2019 පළාත් සභා ඡන්ද තබන්නයි සැලසුම. ජේ. ආර්. ජයවර්ධන මැතිවරණ සිතියම අකුළන බව කීවාත් තමන්ට මැතිවරණ ජයගත හැකි බව ඔහු දැනගෙන සිටියා. නමුත් දැන් ඡන්දයක් තිබ්බොත් තමන් පරදින බව පාලකයෝ දන්නවා. එදා ජයවර්ධන මහතා කියා නොකළ දේ මෙදා නොකියා කරන්න ඉඩ තියෙනවා.

ජේ. ආර්., ප්‍රේමදාස, මහින්ද නව ලිබරල්වාදය කිසියම් සංශෝධන සහිතව ක්‍රියාත්මක කළේ. ඒ යුගයේ යම් ආකාරයකට ආර්ථිකය ඔළුව ඉස්සුවා. නමුත් චන්ද්‍රිකාගේ ආණ්ඩුව 2001 රනිල්ගේ ආණ්ඩුව වගේම මේ ආණ්ඩුවත් ඉතාම මූල ධර්මීය විදිහට නව ලිබරල්වාදී ආර්ථික සැලසුම් ක්‍රියාත්මක කිරීමට සැරසෙනවා. ඒ හැම අවස්ථාවකම ආර්ථිකය කඩා වැටුණා.

මේ විට ආණ්ඩුවේ පාර්ශව අතර ගැටුම් ඇති වෙලා. ආණ්ඩුවේ අනාගතය කුමක් වේවිද?

අන්තෝනියෝ ග්‍රාමාස්කි නම් ඉතාලි ජාතික දාර්ශනිකයා වරක් කීවා කිසියම් එකක් වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දී සහ අලුත් යමක් මතු නොවී පවතින කාලය තන්ත්‍රාතර අවධිය (interregnum) කියලා. අපි ඉන්නේ එවැනි කාලයක. මේ ආණ්ඩුව වැටීමේ විභවයක් තියෙනවා. එය කලක් වරදාන මගින් පවත්වා ගෙන යා හැකියි. දැන් විජේදාස ඇමතිවරයා ඉවත් කරන්න වුවමනා නම් විශ්වාසභංග වුවමනා නෑ, ආණ්ඩුවට එය කළ හැකියි. ආණ්ඩුව හොඳටම සෙලවිලා. මේ ආණ්ඩුව තව දුරටත් පැවතිය යුතු නෑ. නිදහසින් පසු ආ නරකම ආණ්ඩුව මේක.

සාකච්ඡා කළේ : නාමල් උඩලමත්ත

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

8/17/2017

මෙතරම් අපකීර්තියට පත් ආණ්ඩුවක් ඉතිහාසයේ තිබුණේ නෑ - ජ්‍යේෂ්‍ය්ඨ කතිකාචාර්‍ය නවරත්න රඹුක්වැල්ල

කතෘ:යුතුකම     8/17/2017   No comments
-අද උතුරේ වගේ ම කොටිත් ජවිපෙත් මුලින් ම ගැහුවේ පොලිසියට -

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය
නවරත්න රඹුක්වැල්ල


දෙවසරකට වැඩි ආණ්ඩුවේ ගමන්මග සහ පැවති ආණ්ඩුවට එල්ල වන චෝදනා පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය නවරත්න රඹුක්වැල්ල මහතා සමග රිවිර කළ සාකච්ඡාවකි.

පසුගිය ආණ්ඩුව ආරම්භ කළ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති කෙටි කලකින් ම ඇයි රටට බරක් වුණේ?

මහින්ද රාජපක්ෂ 2005 භාර ගත්තේ ජනතාව තමන්ගේ ස්වාධිපත්‍ය ක්‍රියාත්මක කරන්න පත් කළ ආණ්ඩුවේ ස්වාධිපත්‍ය බලය භූමියෙන් 1/3ක ක්‍රියාත්මක නොවුණු රටක්. ඊට බාධා කළ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය දෙකට දෙවාරේ සිදු වූ රටක්. ඒ වන විට රනිල් වික්‍රමසිංහ සටන් විරාම ගිවිසුම මගින් රට උගුලකට හසු කරලා අසරණ කරලා තිබුණේ. දැන් රනිල් වික්‍රමසිංහ සමග ඉන්න පාඨලි චම්පික රණවක එදා කී වචනවලින් ම කියනවා නම් කොටි සංවිධානය 3600ක් වාරයක් සටන් විරාම ගිවිසුම කඩලා තිබුණා. එවැනි පසුබිමක වසර 30ක් තිස්සේ ඇදී ගිය උතුරේ ත්‍රස්තවාදය නිමා කරලා රටේ ස්වාධිපත්‍ය තහවුරු කිරීම තමයි මහින්දගේ පළමු ව්‍යාපෘතිය වුණේ.

මහින්ද ඉතා ම කෙටි කාලයකින් විස්මිත ලෙස රටේ ස්වාධිපත්‍ය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදුන් ම්ලේච්ඡ ත්‍රස්ත කල්ලිය පරාජයට පත් කරලා රටේ සමස්ත භූමිය පුරා රටේ ස්වාධිපත්‍ය තහවුරු කළා. ඒක සුළුපටු ව්‍යාපෘතියක් නෙමෙයි, අති දැවැන්ත ව්‍යාපෘතියක්. 2015 ජනවාරි 08 මහින්ද පරාජය කිරීම සඳහා පෙරමුණ ගත් දෙස් විදෙස් බලවේග සියල්ල ම වගේ එදා කොටි සමග සිටියා. ඒ සියල්ල එක මිටට පරාජය කරලා රටේ ස්වාධිපත්‍ය පිහිටු වීම තමයි මහින්ද කළ දැවැන්ත ම ආයෝජනය. දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය. ඊට පෙර සිටි ජනාධිපතිවරු 4 දෙනාටම එක් කරන්න බැරි වුණා. ඒ ව්‍යාපෘතිය නිසා 2009 සිට රටට අහිමි වීමට නියමිතව පැවති මිල කළ නොහැකි ජීවිත සහ දේපළ ප්‍රමාණයක් රටට ඉතිරි වුණා. දෙකට බෙදී සදාකාලික යුද්ධයකට ගොදුරු වෙන්න ලියවී තිබූ රටේ ඉරණම වෙනස් වුණා. එවැනි රටට ලාබදායි ආයෝජනයක්, ව්‍යාපෘතියක් මෑත ඉතිහාසයේ ලංකාවේ සිදුවෙලා නෑ.

එයින් පසුව තමයි අවුරුදු 30ක් තිස්සේ සංවර්ධනයේ අරුණලු නොදුටු රටට දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කරන්නේ. එහෙත් ත්‍රස්තවාදය නිසා රටේ සම්පත් විනාශ වෙලා. රටේ සංවර්ධනයට යෙදවිය යුතුව පැවති අති දැවැන්ත මුදලත් ශ්‍රමයක් ත්‍රස්තවාදය නිසා රටට අහිමි වෙලා. සංවර්ධනය සඳහා රටේ මුදල් නෑ. එහෙත් මහින්ද ඒ සියලු අභියෝගවලට මුහුණ දෙමින් රට සංවර්ධනය කිරීමේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියට අත ගැහුවා. ඒ සඳහා ණය ගන්න වුණා. මොකද යුද්ධ කරලා රටේ භාණ්ඩාගාරය හිස්වෙලා තිබුණේ.

එය රට අසලින් මුහුදු සේද මාවත වැටීමේ භූගෝලීය පිහිටීම පදනම් කරගත් ඉන් ලද හැකි වාසිය ඉලක්ක කරගත් සංවර්ධන ව්‍යාපෘතියක්. හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපල, අධිවේගී මාර්ග ඇතුළු රටේ මාර්ග පද්ධතිය ඒ සඳහා කදිම නිදසුනක්. වරායක්, ගුවන්තොටුපලක් හදලා කෙටි කලකින් ලාභ ගන්න බෑ. අපට ගුවන් යානා ආවාම උදලු ටිකක් අරගෙන ගුවන්තොටුපල හදන්න බෑ. වරාය හදන්න බෑ. ඒ නිසා අපි යටිතල පහසුකම් නිර්මාණය කරලා නැව් සහ ගුවන් යානා ගෙන්වා ගැනීම සඳහා ක්‍රමවත් සැලසුමක් ක්‍රියාත්මක කළ යුතුයි. ඒකට කාලයක් ගත වෙනවා. නමුත් මේ ආණ්ඩුවට ඒවා අලාභයි කියලා පිට රටවලට විකුණා ගෙන කෑමට මිස ඒවා දියුණු කරලා රට දියුණු කරන්න සැලසුමක් හෝ වුවමනාවක් නෑ. මහින්ද බලයේ හිටියා නම් මේ වන විට එම ව්‍යාපෘති මල් ඵල දරලා ඉවරයි.

මේ ව්‍යාපෘති සමග රට චීන කොලනියක් වන බවට එකල චෝදනා නැගුණා නේද?

එදා මහින්ද ත්‍රස්තවාදය නිමා කරලා මේ රටේ ස්වාධිපත්‍ය පිහිටුවලා සංවර්ධන ව්‍යාපෘති දියත් කරන කොට රටේ හතුරු බලවේගවලට ඒවාට එරෙහිව අවලාද බොරු චෝදනා නිර්මාණය කරලා පතුරුවා හැරීම හැර විකල්පයක් තිබුණේ නෑ. ඒ සඳහා රටට හතුරු ජාත්‍යන්තර බලවේගත් උදව් කළා. ඒ විදිහට බොරු චෝදනා පතුරුවා හරින්න එදා විපක්ෂයේ සිටි අය ඉතාම දක්ෂයි. ඔවුන් එය ඉතාම සුක්ෂ්ම ලෙස කළා.

මුලින් ම කීවා ලංකාව ලෝකෙන් හුදකලා වෙලා කියලා. ඊට පස්සේ මේ ව්‍යාපෘති චීන සහයෝගය ලබා ගෙන කරන කොට ඇතැම් විශ්වවිද්‍යාලීය උගතුන් යැයි කියා ගන්නා උදවිය ලංකාව චීන මායමට අහුවෙලා කියලා කීවා. ඒ සටන් පාඨ ඔස්සේ බලයට ආ අය වරාය චීනයට විකුණලා දැම්මා. එදා චීන මායම ගැන කතා කළ අය මේ අපරාධ නොදැක්කා වගේ අද දාර්ශනික කතාන්දර කිය කිය ඉන්නවා. ඒ ව්‍යාපෘතිවලට අවලාද නගමින් බලය ඩැහැ ගත් අය අදත් මහින්ද රටට දායාද කළ දේවල් විවෘත කරනවා මිස අලුතින් රටට පාලමක් බෝක්කුවක් හදලා නෑ.

නමුත් පහුගිය ආණ්ඩුව මේ ව්‍යාපෘති ආරම්භ කළේ කොමිස් ලබා ගැනීම සඳහා බවට චෝදනාවක් තියෙනවා?

1970 බලයට පත් සිරිමා ආණ්ඩුව ඉතාම සැලසුම් සහගත ලෙස වසර 30කින් සම්පූර්ණ කිරීමට මහවැලි ව්‍යාපෘතිය ආරම්භ කළා. නමුත් 77 බලයට පැමිණි එජාප ආණ්ඩු එය වසර 6කින් ඉදි කර නිමා කරන කඩිනම් මහවැලිය කළා. මහවැලි ව්‍යාපෘතිය කඩිනම් කළේම කොමිස් ගහන්නයි. එදා ආණ්ඩුව ඡන්ද කළේ සුඛෝපභෝගී ජීවිත ගතකළේ ඒ කොමිස් මුදල්වලින් තමයි.

ඒ වගේ ම මහවැලිය හදලා ටර්බයින් 18ක් කරකවලා ඉන්දියාවට විදුලිය අපනයනය කරන්නයි එදා කතා කළේ. නමුත් රටේ විදුලි අර්බුදයට තවම විසඳුමක් නෑ. මහින්ද හදපු ගල් අඟුරු බලාගාර නොවෙන්න අද රටම අඳුරේ. කඩිනම් මහවැලි ව්‍යාපෘතිය නිසා සිදුවූ පාරිසරික හානිය කියා නිමකරන්න බෑ. මා ජීවත්වන එදා දියතිලකපුර යනුවෙන් හැඳින්වූ හඟුරන්කෙත ආදි තෙත් බිම් වියළි කාන්තාර වුණේ කොමිස් මුදල් බලා ගෙන කළ ව්‍යාපෘති නිසා තමයි.

නමුත් මහින්ද සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කළේ රටේ සංවර්ධනය මිස කොමිස් ඉලක්ක කර ගෙන නෙමේ. ඒවා ඡන්ද ගරන්න මිනිස්සු රවටන්න කළ දේවල් නෙමේ. ඒ සංවර්ධන කටයුතුවලට එරෙහිව දැවැන්ත මඩ අවලාද ප්‍රචාරයක් දියත් වුණේ. එකල නැඟූ චෝදනා කිසිවක් වසර දෙකක් ගත වුණත් තවම ඔප්පු කරලාත් නෑ. මහින්ද පාලනයේ පැවති එක් දුර්වලතාවක් තමයි එහි පරිධියේ සිදුවන දෑ පිළිබඳ අවධානය යොමු නොකිරීම. ඒ නිසා යම් යම් සිදුවීම් වෙන්න ඇති. හැබැයි එකල චෝදනා නැඟුණු සියලු දෙනාම දැන් ඉන්නේ ආණ්ඩුවේ. එහෙම චෝදනා තියෙන කිසිවකු විපක්ෂයේ හිටියා නම් හොරු ඇල්ලීමට මුවා වෙලා විපක්ෂය මර්දනය කරන්න ඔවුන් මේ වෙන කොටත් සිරගත කරලා ඉවරයි.

එකල රටේ කවර සංවර්ධනයක් තිබුණාත් රටේ තිබුණේ පවුල් පාලනයක්?

ඔව්, රටේ පවුල් පාලනයක් ඇති බවට විපක්ෂය විතරක් නෙමේ, ඒ ආණ්ඩුවේ ඉඳලා මේ ආණ්ඩුවට පැමිණි අයත් චෝදනා කළා. දැන් පවුල් පාලන යුගය අවසන් නිසා ඔවුන්ට පුළුවන් නේ වැඩ කරන්න. නමුත් රටේ කිසිම සංවර්ධනයක් වෙන්නේ නෑ. රට අරාජික වුණා විතරයි. වැඩ බැරි මිනිස්සු එකල මහින්ද ආණ්ඩුවට එල්ල කළ චෝදනා නටන්න බැරි මිනිහා පොළොවේ ඇද කියනවා වගේ විහිළු කතා විතරයි. අනෙක එදා කොටි පරාජය කරන යුද්ධය වෙලාවේ මහින්දගේ සහෝදරවරු මිස එදා ආණ්ඩුවේ ඉඳලා දැන් මේ රටේ හතුරු බලවේග ගෙන ආ ආණ්ඩුවට ගිහින් මහින්දට බනින මිනිස්සු විශ්වාස කළා නම් තීරණාත්මක අවස්ථාවේ මහා පාවාදීමක් කරලා ඒ ජයග්‍රහණය ආපසු හරවන්න හොඳටම ඉඩ තිබුණා.

දැන් නව ආණ්ඩුවේ අවුරුදු දෙකත් ගෙවිලා. ඔවුන් එදා රටට ලබා දුන් පොරොන්දු ඉටු වෙලා ද?

මේ ආණ්ඩුව බලයට ගෙන ඒම පිටුපස ඉන්දියාව, කොටි හිතවාදී බටහිර බලවේග, රාජ්‍ය නොවන සංවිධාන, කොටි හිතවාදීන් සහ ජනතා විමුක්ති පෙරමුණ එකතු වෙලා. ජවිපෙ හැමදාම ජාතිකවාදී ආණ්ඩුවක් බලයට ආවොත් එය විනාශ කරලා එජාපයට බලය ලබා දීමට කටයුතු කළා. ඔවුන්ට අවශ්‍ය එජාපය ලවා රටට විනාශ කර සිය පක්ෂයට බලය ලබා දීම සඳහා ජනතාව යොමු කරවා ගන්න. එදා 70 සිරිමා ආණ්ඩුව කිසිම වැඩක් ආරම්භ කරන්න කලින් මාස කිහිපයක් තුළ ජවිපෙ ත්‍රස්තවාදය මුදා හරියා. 1988 ජනාධිපතිවරණය වෙලාවෙත් ඡන්ද වර්ජනය කරවලා එජාප අපේක්ෂකයා දිනවන්න කටයුතු කළා. එදා සිරිමා බණ්ඩාරනායක දිනුවා නම් ඔවුන්ගේ අරමුණ පරදිනවා. සිය නායකයා ඇතුළු ලක්ෂයක් මරා දැමූ එජාපය මෙදා නැවතත් බලයට ගේන්න ජවිපෙ උදව් කළා.

ඉතින් ජනතාවට ලබා දුන් තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස, මහින්ද වගේ දහ ගුණයක සංවර්ධනය, විනිවිදභාවය, තරුණ පරපුරට හොඳ අනාගතයක් වගේ දහසකුත් එකක් පොරොන්දු කොහොම වුණත් අර කලින් සඳහන් කළ රටේ සතුරන්ගේ බලාපොරොත්තු නම් අකුරට ඉටු කළා. මේ ආණ්ඩුවේ ශේෂ පත්‍රය ගැන බස් රියේ, කඩ පිළේ, මග තොට මුණ ගැහෙන ජනතාවගෙන් අහලා බැලුවොත් ඉතාම කෙටි කාලයකින් මේ තරම් අප්‍රසාදයට පත් ආණ්ඩුවක් අපේ රටේ ඉතිහාසයේ පහළ වෙලා නෑ කියලායි කියන්නේ.

මේ අර්බුදය පටන් ගත්තා විතරයි. තව ඉදිරියට තවත් දරුණු වෙනවා. 1948 පසු බලයට පත් නරක ම ආණ්ඩුව තමයි මේ. අද ආනයන වැඩිවෙලා, අපනයන පිරිහිලා, විරැකියාව වැඩිවෙලා, රුපියල පිරිහිලා, උද්ධමන වේගය ඉහළ ගිහින්, රටේ ණය බර වැඩිවෙලා. තරුණ අසහනය, ජනතා අසහනය වැඩිවෙලා. රටේ සියලු ජනතාව විවිධ කාරණා නිසා අද වීදි බැහැලා. ඒක තමයි දෙ වසරකට ටිකක් වැඩි ආණ්ඩුවේ ශේෂ පත්‍රය. අනෙක් අතට කොටි සහ ජවිපෙ වගේ මුල් කාලේ කළා වගේ උතුරේ මැර කල්ලි පොලිසියට පහර දෙන්න පටන් අරගෙන. රටම අරාජිකයි.

ආණ්ඩුව හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ සහ තෙල් ටැංකි විකුණා දමමින් සේද මාවත අසල පිහිටීම නිසා අපට හිමි භූගෝලීය වාසිය අහිමි කළා වගේ ම නව ෆෙඩරල් ව්‍යවස්ථාව ඔස්සේ 2009 අසීරුවෙන් රටට දිනා දුන් පූර්ණ ස්වාධිපත්‍ය ජාතියට අහිමි කරන්න කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේ ම ජාත්‍යන්තරය ගැන විශේෂඥයෝ කියලා බලයට ආ අය රටේ දෙකොණ චීනයට සහ ඇමරිකානු ළැදි ඉන්දියාවට විකුණා දමා පහුගිය දශක දෙකේ ගොඩනැඟුණු නව ලෝක දේශපාලන කඳවුරු දෙකේ පොර පිටියක් බවට අපේ රට ඇදලා දමන්න තමයි සුදානම් වන්නේ. ඊට එරෙහි බලවේග කෘර ලෙස මර්දනය කළා. ඒකාධිපති ලෙස පාර්ලිමේන්තු විවාදයක් පවා නොදී වරාය විකුණා දැමුවා. අපට රටේ ස්වාධිපත්‍ය අහිමි වෙනවා විතරක් නෙමෙයි ජාත්‍යන්තර බලවතුන්ගේ සන්නද්ධ යුද පිටියක් බවට පත් වී තිබෙනවා. එවැනි අනතුරක් මැද රට කැබලි වීම ඉතා සුළු කාරණාවක් විතරයි.

ආණ්ඩුවට මේ වැරදි නිවැරදි කර ගෙන නැවුම් ගමනක් යාමේ අවස්ථාවක් නැද්ද?

අපේ රටේ හැම ආණ්ඩුවක් ම සහලින් රට ස්වයංපෝෂිත කරන්න පොරොන්දු වුණත් හඳෙන් හාල් ගේනවා කීවාත් ඒක යථාර්ථයක් කළේ මහින්ද ආණ්ඩුව. නමුත් මේ ආණ්ඩුව බලය ගත් විගස ඒ ස්වයංපෝෂිතභාවය අවඥාවට ලක් කරමින් මත්තල වී ගබඩා කළා. අද පිට රටින් සහල් ගෙනෙන තැනට රට ඇදලා දාලා ඉවරයි. ගොවියාත් රට හාල් කන්න වෙලා. ලැජ්ජ නැතිව රටින් හාල් ගේනවා කියලා නායකයෝ අපට කියනවා. ඒ අතර ආණ්ඩුව කළ බැඳුම්කර වංචාවට රවි බිලි දීලා බේරෙන්න හදනවා. මේ කටයුතු නිසා ආණ්ඩුවට ලැබුණු ජනවරම අහෝසි වෙලා ඉවරයි. නැවත ඡන්දයක් දිනන්න තියා හිතන්නයත් බෑ. ඉතින් 20 වැනි සංශෝධනය ගෙනත් ඡන්ද කල් දාන්නයි ආණ්ඩුව සුදානම. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සියලු දෙනා ආණ්ඩුවෙන් මැතිවරණ උදුරා ගැනීමට අරගල කළ යුතුයි. ඒ නිසා මේ ප්‍රජාතන්ත්‍ර විරෝධි ආණ්ඩුවට ආපසු ගමනක් නෑ. එය වහාම පරාජය කළ යුතුයි.

සාකච්ඡා කළේ: නාමල් උඩලමත්ත

යුතුකම සංවාද කවය
www.yuthukama.com 

Like us on facebook :https://www.facebook.com/yuthukama

HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions