6/04/2018

ප්‍රභාකරන්, අමනකම් වලට "ස්තුතියි"

කතෘ:යුතුකම     6/04/2018   No comments
ප්‍රභාකරන්, ඔබට ස්තුතියි

2018 වසරේ මැයි 18 වන දිනය උදාවන්නේ 2009 වසරේ යුද ජයග්‍රහණයෙන් පසු වසර 9ක් සම්පූර්ණ කරමිනි. එම වසර 9 තුළ ශ්‍රී ලංකා රාජ්‍යය කටයුතු කළ ආකාරය හා එය ඉදිරිපිට ඇති තර්ජන හා අභියෝග සම්බන්ධයෙන් අවබෝධයක් ඇති කරගැනීම අවශ්‍ය වේ. නමුත් ඊට ප්‍රථම 2009 යුද ජයග්‍රහණය නැතහොත් දෙමළ බෙදුම්වාදයේ සන්නද්ධ ව්‍යාපාරය පරාජය කිරීමේ කටයුත්තට අගනා සේවයක් කළ ප්‍රභාකරන්ගේ මෙහෙය නොසළකා හැරිය නොහැකිය. ශ්‍රී ලංකාවේ නායකයන් හා සාමාන්‍ය ජනතාව කෘර ලෙස ඝාතනය කරමින් රටෙන් තුනෙන් එකක් ඉල්ලා සිටි ප්‍රභාකරන් යන ත්‍රස්තවාදියාට ස්තුති කළ යුත්තේ කුමක් නිසා දැයි කෙනෙකු ප්‍රශ්න කළ හැකිය. 2009 මැයි 18 වන දින යුද ජයග්‍රහණය ලැබීමට මුල්වූයේ ආරක්ෂක අංශ සිදුකළ සාර්ථක යුද මෙහෙයුම් හා කැපකිරීම බව සැබෑය. නමුත් ඒ සමඟ එම අඩියට දෙමළ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය නැතහොත් දෙමළ බෙදුම්වාදීන්ගේ වචන වලින් කිවහොත් දෙමළ නිදහස් අරගලය පහතට ඇද දැමීමට ප්‍රභාකරන් සිදුකළ මෙහෙය අප අවබෝධ කරගත යුතුය. ඊට ප්‍රධාන හේතුව මෙම සාධක අවබෝධ කරනොගත හොත් අනාගතයේ දී මුහුණ දීමට සිදුවන අභියෝග ඉදිරියේ ශ්‍රී ලංකාව රාජ්‍යයක් වශයෙන් අසරණ තත්ත්වයට පත්විය හැකි නිසාය.

කොටි සංවිධානය බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරයට එළඹෙන්නේ 1972 වසරේ දීය. ඒ වන විට දෙමළ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරයේ නියැළෙමින් ශ්‍රී ලංකාවෙන් වෙනම ඊළමක් ලබා ගැනීමේ සටනේ නියුතුව සිටියේ ප්‍රභාකරන්ගේ කොටි සංවිධානය පමණක් නොවේ, දෙමළ සටන්කාමී සංවිධාන 30කට වැඩි සංඛ්‍යාවක් දෙමළ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරයේ නියුතුව සිටියහ. ඒ අතරින් වඩා ප්‍රසිද්ධියට පත්වූයේ TELO, EPRLF, PLOTE, EROS හා LTTE සංවිධානයි. 1982 වන විට මෙම සියළු සංවිධාන, ඉන්දීය ඔත්තු සේවා සංවිධානය වන රෝ සංවිධානය සමඟ සබඳතා ගොඩනගා ගෙන තිබුණි. එපමණක් නොව තමිල්නාඩුවේ දෙමළ දේශපාලකයන් සමඟ ද සබඳතා ඇති කරගෙන තිබුණි. ඒ ආකාරයට ඉන්දීය මධ්‍යම රජයට සමීප වීමට මෙම දෙමළ බෙදුම්වාදී සංවිධාන සමත්විය. 1983 වන විට තිබුණු තත්ත්වය එයයි. උතුරේ දෙමළ ප්‍රජාව අතරින් එල්ල වන දෙමළ බෙදුම්වාදී අභියෝගය සම්බන්ධයෙන් මුණිවත රැකගෙන සිට එම ගැටළුව උග්‍ර කළ සිරිමාවෝ බණ්ඩාරනායක රජය 1977 වසරේ දී බලයෙන් පහ කෙරෙන විට අමිර්තලිංගම්ගේ නායකත්වයෙන් යුත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ වෙනම ඊළමක් සඳහා වූ සටන ආරම්භ කර තිබුණි. 1976 වසරේ වඩුක්කෝඩෙයි යෝජනාව සම්මත කරගත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ, 1977 මහ මැතිවරණයෙන් ඉහළ ජයක් වාර්තා කළේ “වෙනම දමිළ රටක් දිනාගන්නවා” යන ඉල්ලීම ඉදිරිපත් කරමිනි. ඒ අනුව 1977 වන විට උතුරු නැගෙනහිර දෙමළ බෙදුම්වාදී සන්නද්ධ සංවිධාන බිහිවී තිබුණා පමණක් නොව දෙමළ දේශපාලන නායකයෝ ඉතා සෘජුව හා විවෘතව වෙනම රටක් සඳහා පෙනී සිටියහ. සාමාන්‍ය දෙමළ ප්‍රජාවගෙන්ද ඒ සඳහා උපරිම සහාය ලැබුණි. 1982 වන විට උතුරු නැගෙනහිර දෙමළ ප්‍රජාව හා ඔවුන්ගේ සහයෝගය ලැබෙන දෙමළ දේශපාලන පක්ෂ හා දෙමළ සන්නද්ධ සංවිධාන වෙනම ඊළමක් සඳහා කටයුතු කරමින් සිටියහ. ශ්‍රී ලංකාව බරපතළ බෙදුම්වාදී අභියෝගයකට මුහුණ දී සිටියේ එලෙසය.

නිදහසට පෙර සිටම ශ්‍රී ලංකාවේ ජීවත් වන මුස්ලිම් ජනතාව, දෙමළ සමූහයා තුළට එකතු කරගැනීමට දෙමළ දේශපාලන නායකයෝ තැත් දැරූහ. මෙරට බහුතර මුස්ලිම් ප්‍රජාවගේ මව් භාෂාව දෙමළ වන නිසා දෙමළ පාර්ශවයේම කොටසක් බවට මුස්ලිම් ප්‍රජාව පත් කිරීම ඔවුන්ගේ උපාය විය. කෙසේ වෙතත් මුස්ලිම් නායකයන්ගෙන් ඒ සඳහා සහයෝගය නොලැබිණි. ඔවුහු වෙනම වාර්ගික අනන්‍යතාවයක් සිය ආගම පදනමි කරගෙන ඇති කරගත්හ. සිය මැදපෙරදිග මූලයන්ට වැදගත්කම ලබා දෙමින් දෙමළ වෙනුවට මුවර් යන අනන්‍යතාවය ඔවුහු ඇති කරගත්හ. මෙය දෙමළ බෙදුම්වාදීන්ට හා ඔවුන්ට උපකාර කළ ඉන්දියානු රජයේ කොටස් වලටද ගැටළුවක් විය. කෙසේ වෙතත් ඇතැම් බෙදුම්වාදී සංවිධාන සිය දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයට මුස්ලිම් ජනතාවද එකතු කරගැනීමට සමත් විය. ඒ අනුව EPRLF වැනි සංවිධානවල දමිළ මෙන්ම මුස්ලිම් සාමාජිකයන්ද සුළු වශයෙන් දැකිය හැකි විය. එමෙන්ම නැගෙනහිර පළාත දෙමළ බෙදුම්වාදී දේශපාලනයට නතු කරගැනීම සඳහා එහි වෙසෙන මුස්ලිම් ජනයාත් ඊට එකතු කරගැනීම දේශපාලනික වශයෙන් අවශ්‍ය විය. මේ සඳහා දෙමළ දේශපාලන පක්ෂ මෙන්ම සන්නද්ධ සංවිධාන කටයුතු කරමින් සිටියහ. ඔවුන්ගේ උත්සාහයන් සඵල වූයේ නම් 1982 වන විට ශ්‍රී ලංකාව මුහුණ දුන් බරපතළ ගැටළුව තවත් තීව්‍ර වන්නට ඉඩ තිබුණි.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ අසල්වැසි ඉන්දියාව, දෙමළ බෙදුම්වාදයට සෑම විටම පක්ෂපාතී හිතමිතුරෙකු විය. 1982 වසරේ දී ඉන්දීය රෝ සංවිධානය දෙමළ බෙදුම්වාදී සන්නද්ධ සංවිධාන සමඟ සබඳතා ඇති කරගත්තා පමණක් නොව ඉන්දියාවේදී ඔවුන්ට ආයුද පුහුණුවද ලබා දුන්නේය. ශ්‍රී ලංකාවේ දෙමළ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාර ශක්තිමත් ස්ථානයකට ගෙන ආවේ ඔවුන්ය. 1983 වසරේ ජූලි මාසයේ සිදුවූ අවාසනාවන්ත දෙමළ ජන ඝාතනයෙන් පසුව ඊට මුවා වී වඩා විවෘත ලෙස ඉන්දියානුවෝ දෙමළ සන්නද්ධ සංවිධාන වෙත උදව් උපකාර සිදුකරන්නට වූහ. එපමණක් නොව දෙමළ සංවිධාන වලට සහාය පළ කරමින් ශ්‍රී ලංකාව හා ඔවුන් අතර සාකච්ඡා ඇති කිරීමට හා බලපෑම් කිරීමට මැදහත්කරුවෙකු ලෙස ඉන්දියාව කටයුතු කළේය. අවසානයේ උතුරු හා නැගෙනහිර පළාත් එකතු කරමින් වෙනම පාලන ඒකකයක් කොට දෙමළ සන්නද්ධ සංවිධාන වෙත බලය ලබා දීමට ද ඉන්දියාව කටයුතු කළේය. මෙම තත්ත්වය යටතේ ශ්‍රී ලංකා රාජ්‍යය පැවතියේ අන්ත අසරණ තත්ත්වයකය. ශ්‍රී ලංකාවේ මුළු මහත් දෙමළ ප්‍රජාවම බෙදුම්වාදයට සහාය දෙන අතරේ දී මුස්ලිම් ජනතාවද ඊට ඇඳා ගනිමින් තිබුණි. එමෙන්ම කලාපයේ බලවතා වූ ඉන්දියාවද ශ්‍රී ලංකාවේ ගැටළුවට බෙදුම්වාදීන් වෙනුවෙන් අත දැමීය. නමුත් මෙම අහිතකර දේශපාලන තත්ත්වය වෙනස් වී පැවති තත්ත්වයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාවට ඉඩ සැලසුණේ ප්‍රභාකරන් විසින් සිදුකරන ලද දේශපාලන මෝඩකම් හේතුවෙන්ය.

ප්‍රභාකරන් එකින් එක තම සංවිධානයේ හා දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයේ හිතමිතුරන් නැති කරගත්තේය. ඒ සඳහා ඇති ජනතා සහයෝගය නැති කරදැම්මේය.

1. වෙනත් දෙමළ සංවිධාන වල සාමාජිකයන් සමූල ඝාතනය

ඉන්දියානු සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවට ඒමට පෙර සිටම ප්‍රභාකරන් ආරම්භ කළ පියවර වූයේ වෙනත් දමිළ සන්නද්ධ සංවිධාන වල සාමාජිකයන් ඝාතනය කිරීමය. ප්‍රභාකරන් පැවසුවේ ඊළම එකම අරමුණ වන නිසා ඒ සඳහා සංවිධාන කිහිපයක් තිබීම අවශ්‍ය නොවන බවය. කොටි සංවිධානය පමණක් ඒ සඳහා පැවතිය යුතු බව ඔහු ප්‍රකාශ කළේය. එම සංවිධාන වල සාමාජිකයන්ට ප්‍රභාකරන් ලබා දුන් නියෝගය වූයේ වහාම සංවිධාන අත්හැර කොටි සංවිධානයට බැඳෙන ලෙසය. නැතහොත් කොටි සංවිධානය ඔවුන් විනාශ කරනු ඇත. මෙම තත්ත්වය මත එකිනෙකා මරා ගන්නා තත්ත්වයට දෙමළ සන්නද්ධ සංවිධාන පත්විය. කොටි සංවිධානය විසින් ටෙලෝ, ඊපීආර්එල්එෆ්, ඊරෝස් යන සංවිධාන වල සාමාජිකයෝ සිය ගණනින් ඝාතනය කරනු ලැබූහ. ඝාතනයට ලක්වුණු ටෙලෝ සංවිධානයේ සාමාජිකයන්ගේ සිරුරු සිය ගණනින් යාපනයේ වීදි පුරා ප්‍රදර්ශනය කරනු ලැබීය. අවසානයේ සිදුවූයේ කොටි සංවිධානයට එරෙහි පිරිසක් දෙමළ ප්‍රජාව තුළම බිහි වීමය. මෙම පිරිසට සිය ජීවිත ආරක්ෂා කරගැනීමට ගත හැකිව තිබූ එකම පියවර වූයේ ශ්‍රී ලංකා රජයේ ආරක්ෂාව පැතීමය. ඔවුහු පසුව ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශ සමඟ කටයුතු කරමින් කොටි සංවිධානය විනාශ කරදැමීමට සහයෝගය ලබා දුන්හ. ප්‍රභාකරන් ම්ලේච්ඡ ලෙස ඔවුන් ඝාතනය කරවීමට කටයුතු නොකළේ නම් එම තත්ත්වය උදා නොවුනු ඇත.

එමෙන්ම කොටි සංවිධානය විසින් අනෙක් දෙමළ සන්නද්ධ සංවිධාන විනාශ කරනු වෙනුවට එම සංවිධාන එකමුතුව ක්‍රියා කිරීමට පෙළඹුණි නම් ශ්‍රී ලංකා රජය අපහසුතාවයට පත්වෙනු ඇත. එවිට ශ්‍රී ලංකාව තුළ ඉන්දීය රජය දේශපාලනික ලෙස තව දුරටත් බලවත් වීම වැළැක්විය නොහැකිය.

2. ඉන්දියානු සාම සාධක හමුදාව සමඟ යුද්ධයට එළඹීම හා රජීව් ගාන්ධි ඝාතනය

ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාවට සිටින ස්වාභාවික මිතුරා ඉන්දියාවයි. ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රාන්තය සෑම විටම ශ්‍රී ලංකාවේ දමිළයන්ට පක්ෂව ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමට ඉන්දීය මධ්‍යම රජයට බලපෑම් සිදුකරනු ඇත. 1980 දශකයේ ඉන්දියානු මැදිහත්වීමට මුල් වූයේද එම තත්ත්වයයි. සිය ස්වාභාවික මිතුරා නැති කරගැනීමට ද අධි මානයෙන් ක්‍රියා කළ ප්‍රභාකරන් කටයුතු කළේය. ඉන්දියාව නිර්මාණය කළ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව ගොස් ඉන්දීය සාම සාධක හමුදාවට ප්‍රහාර එල්ල කිරීමට කොටි සංවිධානය කටයුතු කළේය. ඒ අනුව වසර දෙකක් තුළ ඉන්දියානු සාම සාධක හමුදා සාමාජිකයන් දහසකට වැඩි සංඛ්‍යාවක් ඝාතනය කිරීමට ප්‍රභාකරන් කටයුතු කළේය. යුද්ධය ආරම්භ වූ පසු ඉන්දියානු සාම සාධක හමුදාව හා සාමාන්‍ය දෙමළ ජනතාව අතර පෙර පැවති මිත්‍රශීලි බව තවදුරටත් පැවතියේ නැත. ඒ වෙනුවට ඉන්දියානුවන්ගේ ප්‍රහාර හා තාඩන පීඩන හමුවේ දෙමළ ජනතාව තුළ ඉන්දීය රජය හා හමුදාව කෙරෙහි ඇති වූයේ අවිශ්වාසය, බිය හා කෝපය මිශ්‍රිත හැඟීමකි. ප්‍රභාකරන් විසින් ඉන්දියානු හමුදාවට ප්‍රහාර එල්ල නොකළේ නම් එවන් තත්ත්වයක් ඇති නොවන්නේය. 1983 වසරේදී කොළඹ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් උතුරු නැගෙනහිරට පලා ගිය දෙමළ වැසියන් නැවතත් කොළඹට පැමිණියේ තමාට ශ්‍රී ලංකා රජය හා ආරක්ෂක අංශ යටතේ ඊට වඩා ආරක්ෂිතව වාසය කළ හැකි යැයි අවබෝධ වූ නිසාය.

13 වන සංශෝධනය තමාට ප්‍රමාණවත් නොවේ යයි තර්ජනය කරමින් ඉන්දියානු සාම සාධක හමුදාව සමඟ යුද්ධයට පිවිසියා පමණක් නොව එය ගෙන ඒමට මුල් වූ ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රාජීව් ගාන්ධි චෙන්නයිහිදී ඝාතනය කිරීමට ප්‍රභාකරන් කටයුතු කළේය. මෙම පියවරෙන් තමිල්නාඩුව ඇතුළු මුළු ඉන්දියාවේම කෝපය කොටි සංවිධානය වෙතට යොමු විය. වයිකෝ, නෙදුමාරන් ඇතුළු ප්‍රබල කොටි හිතවාදීන්ටද ඒ වන විට සිදුකළ හැකි කාර්යය සීමා සහිත විය. ප්‍රභාකරන්ගේ මෙම දේශපාලනික වශයෙන් අඥාණික නමුත් අහංකාර ක්‍රියාව හේතුවෙන් ලාංකික දෙමළ දේශපාලනය සතු ප්‍රබලම ස්වාභාවික මිතුරා නැති කරගත්තේය. මෙහි බලපෑම ඉතා හොඳින් පෙන්නුම් වන්නේ දැඩි කොටි හිතවාදියෙකු හා ශ්‍රී ලංකාවට හා සිංහල ප්‍රජාවට එරෙහිව දැඩි මතදාරියෙකු වූ තමිල්නාඩුවේ සුබ්‍රමනියම් ස්වාමි නැමැත්තා රජීව් ගාන්ධි ඝාතනයෙන් පසු දැඩි කොටි විරෝධියෙකු වීමෙනි.

රජීව් ගාන්ධි ඝාතනය එසේ සිදුනොවිණි නම් මේ වන විට ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සම්බන්ධය බොහෝ සෙයින් වෙනස් වන්නට ඉඩ තිබුණි. යුද ජයග්‍රහණයක් ගැන අපට කතා කිරීමට අවකාශය නැති වන්නට ඉඩ තිබුණි.

3. මුස්ලිම් ප්‍රජාවට ප්‍රහාර එල්ල කිරීම හා මුස්ලිම් ජනතාව උතුරින් පලවා හැරීම

දශක ගණනාවක් පුරා මුස්ලිම් ජනතාව, සිය දෙමළ සමූහය තුළට අවශෝෂණය කරගැනීමට දෙමළ දේශපාලන නායකයන් දැරූ ප්‍රයත්නයන් නිශ්ක්‍රීය කරමින් උතුරු නැගෙනහිර මුස්ලිම් ප්‍රජාව වෙතද ප්‍රභාකරන් සිය ප්‍රචණ්ඩත්වය මුදා හැරියේය. නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාවට තාඩන පීඩන සිදුකළේය. 1990 වසරේ දී යාපනයේ වාසය කළ දහස් ගණනක් වූ සමස්ථ මුස්ලිම් ප්‍රජාවම පැය 24ක් තුළ ප්‍රභාකරන් බලහත්කාරයෙන් පිටත් කළේය. ඔවුන් විසින් ජීවිත කාලය පුරා හරි හම්බ කළ දේපලද අත්හැර ප්‍රභාකරන්ගේ ඊළමින් මුස්ලිම් ජනතාව පිටවිය යුතුව තිබුණි. අවසානයේ පුත්තලමට ගොස් උපන් රටේම අවතැන් වූවන් ලෙස ජීවත් වීමට උතුරේ මුස්ලිම් ප්‍රජාවට සිදුවුණි. එයින් නොනැවතුණු ප්‍රභාකරන් සිය සැබෑ ස්වරූපය පෙන්වමින් නැගෙනහිර පළාතේ මුස්ලිම් දේවස්ථාන දෙකකට ප්‍රහාර එල්ල කර එහි සිටි සිය ගණනක් වූ මුස්ලිම් බැතිමතුන් ඝාතනය කළේය. මේ හේතුවෙන් වෙනම ඊළමක් ලබාගැනීමේ දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයට අත්‍යවශ්‍ය සාධකයක් වූ මුස්ලිම් සහයෝගය ප්‍රභාකරන් නැති කරගත්තේය.

4. දෙමළ ළමුන් බලහත්කාරයෙන් බඳවා ගැනීම

දෙමළ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරයට 70 දශකයේ සිටම සාමාන්‍ය දෙමළ ජනතාවගේ සහයෝගය ලැබුණි. එම තත්ත්වය 80 දශකය වන විට වර්ධනය වූ අතර 1983 ජූලි කලබල හේතුවෙන් තවත් උග්‍ර විය. 83 කලබල හේතුවෙන් කොළඹින් යාපනයට පිටත් කරනු ලැබූ තරුණ දෙමළ කොටස් නැවතුනේ දෙමළ සන්නද්ධ සංවිධාන වල සාමාජිකයන් බවට පත්වෙමිණි. මුල් කාලයේ දී සියයකටත් අඩු සාමාජිකයන් සංඛ්‍යාවක් සිටි සන්නද්ධ සංවිධාන 83න් පසුව දහස් ගණන් සාමාජිකයන් සිටින සංවිධාන බවට පත්විය. නමුත් 80 දශකය අවසාන වන විට තත්ත්වය වෙනස් විය. සිය සංවිධානයට බැඳෙන සාමාජිකයන් සංඛ්‍යාව අඩුවන විට ප්‍රභාකරන් සිදුකළේ බලහත්කාරයෙන් කුඩා දරුවන් පැහැරගෙන සිය සංවිධානයට යොදා ගැනීමය. සිය දරුවන් පැහැරගෙන යාමට කොටි සාමාජිකයන් කටයුතු කළ බැවින් සාමාන්‍ය දෙමළ ජනතාව තුළ කොටි සංවිධානය කෙරෙහි මුලින් තිබූ ගෞරවය හා පක්ෂපාතීත්වය සෙමින් නැතිවන්නට පටන් ගත්තේය. පසුකාලීනව රජයේ හමුදාවන්හි දිගු දුර මෙහෙයුම් සඳහා සහයෝගය ලබාදීමට පවා දෙමළ ජනතාව පෙළඹුනේ මෙම කෝපය හේතුවෙනි.

එමෙන්ම කුඩා දරුවන් පැහැරගෙන ළමා සොල්දාදුවන් ලෙස යොදාගන්නා බවට චෝදනා එල්ලවීමත් සමඟ කොටි සංවිධානයට විරුද්ධව ජාත්‍යන්තර මතවාදයක් ඇති වීමටද එය ඉවහල් විය. විශේෂයෙන්ම නිදහස් අරගලයක් සිදුකරන ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින නියෝජිතයා ලෙස තමාව හඳුන්වා ගැනීමට කොටි සංවිධානය උත්සාහ කළද ළමා සොල්දාදු ගැටළුව හේතුවෙන් එම උත්සාහයට වැට බැඳිණි. විශේෂයෙන් කොටි සංවිධානයට එරෙහිව ජාත්‍යන්තරයේ සටන් කළ හිටපු විදේශ අමාත්‍ය කදිරගාමර් මහතා කොටි සංවිධානයේ ත්‍රස්ත ක්‍රියා හා ළමා සොල්දාදුවන් බඳවා ගැනීම ගැන ලෝකයටම හෙළි කළේය.

5. හමුදාමය ඉලක්ක වෙනුවට සාමාන්‍ය ජනතාව ඉලක්ක කරමින් ත්‍රස්ත ප්‍රහාර දිගටම කරගෙන යාම

සන්නද්ධ සංවිධාන යම් දේශපාලන ඉලක්කයක් සාක්ෂාත් කරගැනීමට සන්නද්ධ අරගලයක් සිදුකරන විට රජයේ හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සාමාන්‍ය තත්ත්වයකි. එසේ සිදුකළ පමණික් සංවිධානයක් ත්‍රස්ත සංවිධානයක් ලෙස ලෝකයේ හංවඩු ගැසෙන්නේ නැත. නමුත් කොටි සංවිධානය හමුදා ඉලක්ක වලට පමණක් සීමා නොවීය. රට පුරා සිංහල මුස්ලිම් භේදයකින් තොරව සිවිල් වැසියන් ඝාතනය කිරීමට කොටි සංවිධානය කටයුතු කළේය. සිවිල් වැසියන් ඉලක්ක කරමින් රටපුරා බෝම්බ පිපිරවීම, මායිම් ගම්මාන වලට පැන සිවිල් වැසියන් අමානුෂික ලෙස ඝාතනය කිරීම හේතුවෙන් කොටි සංවිධානය හුදු බෙදුම්වාදී සන්නද්ධ සංවිධානයක් නොව දරුණු අමානුෂික ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස බෞතීස්ම වුණි. කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට දකුණේ සිංහල ජනතාව අධිෂ්ඨානශීලී වූයේද මෙම දරුණු ත්‍රස්තවාදය හේතුවෙනි. දකුණේ සාමාන්‍ය ජනතාව ඉලක්ක නොකර හමුදා ඉලක්ක වෙත පමණක් සීමා වූයේ නම් කොටි සංවිධානයට වඩා ඉහළ සහයෝගයක් හා පිළිගැනීමක් ජාත්‍යන්තරය තුළ හා ශ්‍රී ලංකාව තුළ ලබාගත හැකිව තිබුණි. දැඩි අමානුෂික හා කෘර බව හේතුවෙන් කොටි සංවිධානය තමන්ගේ ආයුද බලයෙන් ගොඩනගා ගත් දේශපාලන බලය නැති කරගත්තේය.

නමුත් කොටි සංවිධානය එක් අතකින් ඉතා වාසනාවන්ත සංවිධානයක් විය. ඔවුන්ගේ මෝඩ කම් හේතුවෙන් ඉන්දියානු සහයෝගය නැති කරගත්තද කොටි සංවිධානය වෙනුවෙන් පෙනී සිටින තවත් විදේශීය බලවේගයක් ඇති කරගත්තේය. ඒ නෝර්වේ රාජ්‍යයයි. නෝර්වේ රාජ්‍යය 1998 දී ශ්‍රී ලංකාව හා කොටි සංවිධානය අතර සාම ක්‍රියාදාමයට පහසුකම් සැලසීමේ කාර්යභාරය ආරම්භ කළේ එකම අරමුණක් ඇතිවය. එනම් කොටි සංවිධානයට හිතකර ජාත්‍යන්තර මතවාදයක් ඇති කර ඔවුන්ට ජාත්‍යන්තර පිළිගැනීම හා අනුකම්පාව ලබා දීමටය. නමුත් එම උත්සාහයද නැවතත් බිඳ වැටුණේ ප්‍රභාකරන්ගේ දේශපාලන දැනීමේ අඩුපාඩු නිසාය. නෝර්වේජියානුවන්ගේ උපදෙස් වලට පිටින් ගොස් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කළේය. එතැනින් නොනැවතී නෝර්වේ සාම ක්‍රියාදාමය සාර්ථක කරගැනීමට අවශ්‍ය සියළු දේ කිරීමට සූදානමින් සිටි රනිල් වික්‍රමසිංහ පරාජය වන සේ 2005 ජනාධිපතිවරණය වර්ජනය කළේය. ශ්‍රී ලංකාවේ යුද ජයග්‍රහණය උදෙසා ප්‍රභාකරන්ගේ මෙම දේශපාලන අනුවණකම් ද බොහෝ සේ දායක විය. එම අනුවණකම් හඳුනාගැනීමෙන් හා ඉන් සිදුවුණු බලපෑම තේරුම් ගැනීමට තැත් දැරීමෙන් යුද ජයග්‍රහණයේ වටිනාකම හා රජයේ හමුදාවන්ගේ කැපවීමේ වටිනාකම මඳකුදු අඩු නොවේ. නමුත් යුද ජයග්‍රහණය දේශපාලන ජයග්‍රහණයක් වශයෙන් ඉදිරියේදී ස්ථාපිත කරගැනීමට මෙම කාරණා හඳුනාගැනීම අත්‍යාවශ්‍යය.

සටහන
අයි.ජයතිලක

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

11/19/2017

කොටි ත්‍රස්තයන් ද? විරුවන් ද? නිර්මාල් දේවසිරිට පිළිතුරක්

කතෘ:යුතුකම     11/19/2017   1 comment



ආචාර්‍ය නිර්මාල් අපෙන් ප්‍රශ්න කරන්නේ ත්‍රස්තවාදීන් හා විරුවන් අතර වෙනස කුමක්ද යන්නයි. ඇත්තටම කොටි ත්‍රස්තවාදී න්? විරුවන්ද? දෙමළ ජනතාව විසින් කොටි සාමාජිකයන්ව විරුවන් විදිහට සමරන නිසා ඒ අය ත්‍රස්තවාදීන් ලෙස නම් කරන්නට අපි කවුදැයි නිර්මාල් මහතා අපෙන් අසයි. ඇත්තටම විරුවන් හා ත්‍රස්තවාදීන් වෙන් කර ගැනීමට විදිහක් නැද්ද? මහ විරු සමරු උත්සවශ්‍රීයෙන් සමරන්නට ඉඩ ලබා දිය යුතුද? අනාගතයේ දී ප්‍රභාකරන් සැමරීමට අවකාශය ලබා දිය යුතුද?

මේ සඳහා මම යොදාගන්නේ, දමිළ බුද්ධිමතෙක් වුණු මුතුක්‍රිෂ්ණා සර්වනාදන් මහතාගේ අදහසකි. කොටි සංවිධානය ත්‍රස්තයන්ද නිදහස් ගරිල්ලන්ද යන ප්‍රශ්නය විසඳා දෙනවා ඒ මහතා බොහෝම අපූරුවට.

මේ පිළිතුර ලබා දී තිබෙන්නේ Stokke කියන නෝර්වේජියානු පර්යේෂකයෙක්ට 2007 දීයි.

There is a growing interest in the distinction between ‘freedom fighters’ a ‘terrorists’ in the aftermath of the 9/11 attacks in the USA in 2001 (for example, see Bhatia, 2005: passim; Policzer, 2005). Stokke (p 1019) tends to regard the LTTE as a movement of freedom fighters in the same mould as South Africa’s African National Congress (ANC). In my view the basic distinction between liberation struggles and terrorism rests with the different means of achieving an end. Although both, liberation struggles and terrorist struggles, may head towards the same end, it is how (or the means by which) they arrive at their predetermined end which distinguishes between the two. In the real world all liberation struggles and terrorist struggles have a combination of both legitimate acts of violence and terrorist acts. Nonetheless, while legitimate acts of violence are predominant and terrorist acts are sporadic in liberation struggles, in terrorist struggles terror acts are predominant. Based on this distinction I would regard the ANC and the Sudanese People’s Liberation Army (SPLA) as freedom movements, and the LTTE as a terrorist organisation.

This is because in the armed conflict in Sri Lanka the majority of the victims have been civilians.13 In fact, anecdotal evidence suggests that the LTTE has killed more civilians (from all three communities, namely Tamils, Sinhalese and Muslims) than the armed forces personnel, although numbers are unavailable.

Further, the LTTE has killed more Tamils than the state security forces, particularly in internecine war among various Tamil militant groups since 1985. The ANC, the Pan Africanist Congress (PAC), and the Inkatha Freedom Party existed side by side during their struggle against the apartheid regime in South Africa. The ANC did not attempt to eliminate PAC or Inkatha and claim to be the authentic or sole representative of the (black) people on whose behalf if was fighting. In this it differed from the , which has proscribed all other Tamil militant groups and continues to hunt them down,and has forcibly liquidated all Tamil democratic political parties, except the TULF.

The fundamental fault among most analysts of the Sri Lankan conflict (both national and international) is their false assumption that the LTTE is a liberation movement. It is true that the majority of Tamils (including the author) still regard the Sri Lankan state as a racist state. However, it is also true that the de facto regime of the LTTE in the North and East is even more racist than the Sri Lankan state.

The treatment of ethnic minorities, particularly the Muslim community, in the North and East by the LTTE lends credence to our view. It is important to recall at this moment, with shame, how Muslims were evicted from their historical habitats in the North in 1990 and massacred at mosques in the East by the LTTE. A self-proclaimed liberation movement, which does not respect the rights of other minorities living in contested territories, has no moral right to be so-called.

2001 වසරේ දී ඇමරිකාවේ සිදුවූ 9/11 ප්‍රහාරයෙන් පසු නිදහස් සටන්කාමීන් හා ත්‍රස්තවාදී න් යන දෙපාර්ශවය අතර වෙනස කුමක්ද යන්න පිළිබඳව සොයා බැලීමට බොහෝ දෙනා පෙළඹී තිබේ. නෝවේජියානු පර්යේෂකයෙකු වන Stokke විසින් කොටි සංවිධානය හඳුනාගන්නේ දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා ගේ අප්‍රිකානු කොන්ග්‍රසයට සමාන නිදහස් අරගලකරුවන් පිරිසක් ලෙසයි.

මගේ අදහස නම් නිදහස් අරගලයක් හා ත්‍රස්තවාදය අතර මූලික වෙනස ඇත්තේ අවසාන ඉලක්කය සපුරා ගැනීමට දෙපාර්ශවය විසින් යොදා ගන්නා ක්‍රමය මතයි. නිදහස් අරගල හා ත්‍රස්තවාදී ව්‍යාපාර යන දෙකම එකම අරමුණක, වෙනම රටක්, කරා ගියත් ඒ සඳහා භාවිතා කරන මාර්ගය අනුව ත්‍රස්තවාදය හා නිදහස් අරගලය අතර වෙනස දැක බලාගන්නට පුළුවනි.

සැබෑ ලෝකයේ දී නිදහස් අරගල හා ත්‍රස්තවාදී ව්‍යාපාර යන දෙවර්ගයේම නීත්‍යානුකූල හමුදා ක්‍රියා හා ත්‍රස්ත ක්‍රියා ඇතුළත් වේ. කෙසේ වෙතත් නිදහස් අරගලයන් හිදී නීත්‍යානුකුල හමුදා ක්‍රියා බහුල වන අතර ත්‍රස්ත ක්‍රියා විරළ වේ. ත්‍රස්තවාදී ව්‍යාපාරයක බහුල වන්නේ ත්‍රස්ත ක්‍රියායි.

මෙම වෙනස්කම මත නෙල්සන් මැන්ඩෙලාගේ අප්‍රිකානු කොන්ග්‍රසය හා සුඩාන ගරිල්ලන් නිදහස් අරගලකරුවන් වන අතර කොටි සංවිධානය ත්‍රස්ත සංවිධානයක් වේ.

ඊට හේතුව ශ්‍රී ලංකාවේ යුද්ධයේ දී වින්දිතයන් බහුතරය සාමාන්‍ය ජනතාව වේ. පවතින සාක්ෂි පෙන්වා දෙන ආකාරයට ජනවර්ග තුනේම ( දෙමළ, සිංහල හා මුස්ලිම්) සිවිල් වැසියන් බහුලවම ඝාතනය කර ඇත්තේ කොටි සංවිධානය විසිනි.

එමෙන්ම රජයේ ආරක්ෂක අංශ විසින් ඝාතනය කළාටත් වඩා වැඩි ප්‍රමාණයකින් දමිළ ජනතාව ඝාතනය කළේ කොටි සංවිධානයයි. විශේෂයෙන් 1985 සිට දමිළ සංවිධාන අතර පැවති සටන් තුළින් දමිළ ජාතිකයන් බොහෝ පිරිසක් ඝාතනය කළේ කොටි සංවිධානයයි. මැන්ඩෙලාගේ දකුණු අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය සිය නිදහස දිනා ගැනීමේ සටනේ දී අනෙකුත් සටන් සංවිධාන විනාශ කළේ නැති අතර ඔවුන් හා සහයෝගයෙන් කටයුතු කළේය. කොන්ග්‍රසය විසින් අනෙක් සංවිධාන විනාශ කර දමා දකුණු අප්‍රිකාවේ කළු ජාතිකයන්ගේ එකම නියෝජිතයා වීමේ වුවමනාවකින් පෙළුනේ නැත. ඊට සහමුලින්ම වෙනස් වූ කොටි සංවිධානය අනෙකුත් සියළු දමිළ හමුදා සංවිධාන විනාශ කර දැමීය. ප්‍රභාකරන් ගේ අන්තිම දවස වන තුරු කොටි සංවිධානය විසින් අනෙකුත් දෙමළ සංවිධාන විනාශ කිරීමට උත්සාහ ගත්තේය. ඒ අනුව සියළු දෙමළ දේශපාලන පක්ෂ විනාශ කර දැමීමට ප්‍රභාකරන් කටයුතු කළේය.

ශ්‍රී ලංකාවේ අර්බුධය සම්බන්ධයෙන් හදාරන බොහෝ විචාරකයින් විසින් කරන වරද නම් කොටි සංවිධානය යනු නිදහස් අරගලයක් ලෙස ඉතා වැරදි ලෙස අනුමාන කිරීමයි.

කතුවරයා වන මුතුකරුප්පන් සරවනමුත්තු මහතා ඇතුළුව බොහෝ දමිළ ජාතිකයන් ශ්‍රී ලංකා රාජ්‍යය සළකන්නේ ජාතිවාදී රාජ්‍යයක් ලෙසයි. නමුත් කොටි සංවිධානය විසින් පවත්වා ගෙන ගිය ඊළාම් රාජ්‍යය, ශ්‍රී ලංකා රාජ්‍යය ටත් වඩා බෙහෙවින් ජාතිවාදීවේ.

කොටි සංවිධානය විසින් උතුරු නැගෙනහිර ජීවත් වූ සුළු වාර්ගික ප්‍රජාවට සැළකූ ආකාරය සිතා බැලිය යුතුයි. මුස්ලිම් ජනතාව උතුරු පළාතේ ඔවුන්ගේ ඓතිහාසික ගම්බිම් වලින් කොටි සංවිධානය විසින් 1990 දී ඉතා නින්දිත ආකාරයට පිටමං කළ අතරම නැගෙනහිර පළාතේ දී මුස්ලිම් පල්ලි තුළ ජනතාව මරා දැමීය. නිදහස් අරගල කරුවන් ලෙස තමා විසින්ම හඳුන්වාගන්නා සංවිධානයක් විසින් තම ප්‍රදේශ තුළ ජීවත් වන සුළු වාර්ගික ජනතාවගේ අයිතියට ගරු නොකරන්නේ නම් , එම සංවිධානයට නිදහස් අරගල කරුවන් ලෙස තමන් හඳුන්වා ගැනීමට අයිතියක් නොමැති බවයි මගේ අදහස.

**************

මුතුක්‍රිෂ්ණා සරවනමුත්තු මහතගේ අදහස් සමඟ මේ සටහන ලියන මම ද එකඟ වෙන අතර තවත් කරුණු එකතු කරන්නට කැමැත්තෙමි. කොටි සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නිවැරදිව අර්ථ දක්වන්නට පුළුවන් වීමට තවත් හේතු රාශියක් තිබේ. වෙනම රටක් දිනාගන්නට කළ යුද්ධයේ දී කොටි සංවිධානය අති විශාල ලෙස දමිළ ජාතිකයන්වම මරා දැම්ම අතර ඒ ඉලක්කය වෙත ගිය අනෙකුත් දමිළ සංවිධාන සමූල ඝාතනය කළා පමණක් නොව දෙමළ දේශපාලකයින්වද මරා දැමූහ. විරුවන්ට හා නිදහස් අරගල කරුවන්ට පුළුවනි ද තමන්ගේ ජනතාවම ඒ විදිහට මරා දමන්න? අන්තිමට දෙමළ දේශපාලකයින්ට සිදුවූයේ තමාව පෙළන ‘සිංහල’ රජයෙන්ම රැකවරණය ඉල්ලා සිටින්නටයි. කොටි සංවිධානය අද සිටිනවා නම්, විග්නේෂ්වරන්ට උතුරේ මහ ඇමතිධූරය දැරිය හැකිද? සම්පන්ධන්ට නායකත්වය දිය හැකිද? දමිළ නායකයින්ට උතුරට ගොසින් රිසි සේ දේශපාලනය කරන්නට ඔය කියන දෙමළ විරුවන් මරා දමන්නටම අවශ්‍යය වූයේ ඇයි?

වසර 30 ක කාලය තුළ උතුරට හා වන්නියට ආහාර, බෙහෙත් ද්‍රව්‍යය යැව්වේ කවුරුන්ද? ශ්‍රී ලංකා රජය නොවේද? මෙසේ එවන භාණ්ඩ වලින් වැඩි කොටසක් කොටි සංවිධානය විසින් සොරා ගන්නා බව දැන දැන එහෙත් දෙමළ ජනතාවට එම භාණ්ඩ එව්වෙ රජය නේද? කුමන ආකාරයේ විරුවන් ද තමන්ගේ ජනතාව කන දෙයත් සොරකම් කරන්නේ? විඳ දරාගත නොහැකි බදු ගසන්නේ? මොන රජය ද මේ ආකාරයට අලාභ හා අවාසි විඳගෙන ආහාර බෙහෙත් ද්‍රව්‍යය යවන්නේ? උතුරේ හා කොටි පාලන පෙදෙස් තුළද අධ්‍යාපනයට හා සෞඛ්‍ය සේවාවට මුදල් වැය කළේ ශ්‍රී ලංකා රජය නොවේද? නිදහස් අරගල කරුවන්ට එම සේවාවන් ජනතාවට ලබා දීමට වුවමනාවක් හෝ තිබුණේ ද?

2000 වසරේ යාපනය අර්ධ ද්වීපය කොටි තර්ජනයට ලක්වූ අවස්ථාවේ දී උතුරට භාණ්ඩ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් විශාල ගැටළුවක් ඇති වුණි. ආහාර ප්‍රවාහනය කරන රතු කුරුස නැවකට පවා ආරක්ෂාව සහතික කිරීමට නොහැකි යැයි ප්‍රභාකරන් කීවා මතකද? කුමන විරුවන්ද තමන්ගේ ජනතාව කුස ගින්නේ තබන්නේ?

2009 සළකා බලමු. ජාත්‍යන්තර මැදිහත්වීමකට පාර කපා ගැනීම සඳහා දෙමළ මිනිසුන් ලක්ෂ ගණනක පිරිසක් මිනිස් පලිහක් ලෙස යොදා ගත්තේ කවුරුන් ද? ඒ අයට විරුවන් කිව හැකිද? යුධ පිටියෙන් බේරී යන දෙමළ මිනිසුන්ට වෙඩි තබා නවත්වන්නට කොටින් උත්සාහ කළා නේද? ඒ අයට විරුවන් කිව හැකිද?

තමා ආරක්ෂා කරනවා යැයි කියන ජනතාවම මරා දමන්නේ විරුවන්ද? ත්‍රස්තවාදීන්ද? මුතුක්‍රිෂ්ණා සරවනමුත්තු මහතා පවසන පරිදිම කොටි සංවිධානය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ත්‍රස්තවාදීන් වේ. ඒ අය ත්‍රස්තවාදීන් ලෙස නොව විරුවන් පිරිසක් ලෙස කෙනෙකු හුදු ජාතිය නිසා පමණක් සිතයි නම් එසේ සිතන්නාගේ මානසිකත්වයේ ප්‍රශ්නයක් ඇත. සිංහලයාට ෆෙඩරල් විකිණීමට එන්ජිඔ සංවිධාන මුදල් වැය කරන අතර දෙමළ ජාතිවාදයට විරුද්ධවත් මුදල් වැය කළා නම් රටේ සාමයටත් ප්‍රගතියටත් හොඳය.......

-අයි ජයතිලක

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

8/14/2017

ඉන්දියාව විසින් නැවතත් දෙමළ සන්නද්ධ ව්‍යාපාරයක් ලංකාවේ ඇති කරයිද?

කතෘ:යුතුකම     8/14/2017   No comments
 Prabhakaran (3rd from left) at a LTTE training camp in Sirumalai, Tamil Nadu, India.
 -අයි. ජයතිලක-
පසුගිය දිනවල යාපනය ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්ට පහරදීම හා වෙනත් ප්‍රචණ්ඩ ක්‍රියා නිසා නැවතත් පොලිස් විශේෂ කාර්යය බලකාය යොදවන්නට රජය පියවර ගෙන ඇත. රටේ තත්ත්වය බොහෝ දුරට සාමකාමීයි, උතුරේ හමුදා ඉවත් කිරීම කළ යුතු යයි පාරම්බාමින් බලයට පැමිණි රජයකට එය සිදුකිරීමට වීම දෛවයේ සරදමකි. නමුත් මෙම තත්ත්වය ඇති වුයේ අහඹු ලෙස නොවේ.

වසර 30ක ත්‍රස්තවාදී යුද්ධය අවසාන වූ පසුව 2015 දී යහපාලන රජයේ පැමිණීමත් සමඟ උතුරේ ආරක්ෂක තත්ත්වයේ යම් ලිහිල් වීමක් ඇතිවුණි. බුද්ධි අංශවල කාර්යයන් සීමා වුණු අතර හමුදා කඳවුරු ඉඩම් සිවිල් වැසියන්ට ලබා දීමත් සිදුවිය. උතුරේ හමුදා සාමාජිකයන් රඳවා සිටීම ක්‍රමානුකුලව අඩු කෙරිණි. උතුරේ සාමාන්‍ය ජනයාට සිදුවිය හැකි අපහසුතා මැඩීමත් සාමාන්‍ය ජන ජිවිතය ඇති කිරීමට කටයුතු කිරීමත් ශ්‍රී ලංකා රජය විසින් සිදු කළ යුතුයි. එය රජයේ වගකීමක් වන අතර ඒ ගැන විවාදයක් නැත. නමුත් ආරක්ෂක තත්ත්වය ලිහිල් කිරීම සිදුවිය යුත්තේ දෙමළ ඩයස්පෝරාවේ හෝ විදේශ ගත දේශපාලකයින් ගේ අවශ්‍යතා අනුව නොව ලංකාවේ ආරක්ෂක අංශයන් ගේ අවවාද මධ්‍ය යේ ක්‍රමානුකූලවයි. ඒ සමගම නැවතත් අවි අතට ගැනීමක් හෝ සන්නද්ධ ක්‍රියාකාරකම් ඇති වීමට ඇති හැකියාව සොයා බැලීමට තියුණු බුද්ධි අංශ සේවයක් පවත්වා ගැනීම අත්‍යාවශ්‍යය. ඉමහත් මානුෂීය කැපකිරීම් හමුවේ ලබාගත් සාමයත් රටේ ස්ථාවරත්වයත් ආරක්ෂා කිරීමට එය අත්‍යාවශ්‍ය කාරණයකි. ශ්‍රී ලංකාවේ නැවතත් සන්නද්ධ දමිළ බෙදුම්වාදී ව්‍යාපාරයක් ඇති විය හැකි ද? බොහෝ විදෙස් ආරක්ෂක විශේෂඥයින් පවසන්නේ නැවතත් ප්‍රභාකරන් වැනි අයකු බිහි වන්නේ නැති බවයි. ඒ ප්‍රකාශයේ යම් සත්‍යයක් තිබුණ ද නැවතත් දමිළ සන්නද්ධ ව්‍යාපාරයක් බිහි නොවේ යයි කෙනෙකුට පැවසිය නොහැක. ලෝකය පුරා සන්නද්ධ බෙදුම්වාදී කණ්ඩායම් කොතෙකුත් ඇත, ඒ සඳහා ප්‍රභාකරන් කෙනෙකු අවශ්‍යම නැත.

රජය විසින් ඩයස්පෝරාවේ සිටින අන්තවාදී ඊළාම්වාදී කොටි සහායකයින්ට ලංකාවට ඇතුළු වීමට ඉඩ ප්‍රස්ථාව සලසා ඇත. ඒ අනුව උතුරේ ජනතාව සදා බෙදුම්වාදී මානසිකත්වයේ තබා ගැනීමට අවශ්‍ය සාධක වලට රටට ඇතුළු වීමට ලංකාවේ රජයම උපකාර කරයි. අප මතක තබා ගත යුතු සත්‍යයක් වන්නේ ලංකාවේ යුද්ධයේ නිමාව විශේෂයෙන් කොටි සංවිධානයේ විනාශය නොඉවසන හා ඒ පිළිබඳ දුක්වන බාහිර බලවේග සැහෙන ප්‍රමාණයක් සිටින බවයි. ඒ අතරින් ලංකාවේ සන්නද්ධ ව්‍යාපාරයක් ආරම්භ වුවහොත් ඊට සහාය ලබා දීමට ඔවුන් පසු බට නොවනු ඇත. යාපනයේ ඇති වී තිබෙන ප්‍රචණ්ඩ ක්‍රියා හා ඊට දායකවී ඇති තරුණ කොටස් අනුව පෙනී යන්නේ බාහිර පාර්ශවයකට සන්නද්ධ ව්‍යාපාරයකට භාවිතා කිරීමට හැකි ආවේග ශීලි තරුණ කොටස් ඕනෑ තරම් සිටින බවයි. ලංකාවේ නැවතත් බෙදුම්වාදී දමිළ සන්නද්ධ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නම් අනිවාර්යයෙන් ඉන්දියාවේ සහාය අවශ්‍ය වේ. මෙහිදී ඉන්දියාවේ සහාය යනු ඉන්දීය රජයේ සහායම නොව ඉන්දීය ඔත්තුසේවාවන්ගේ සහාය පමණක් වුවද ප්‍රමාණවත්ය. 80 දශකයේ මුල් භාගය වන විට ප්‍රභාකරන් ගේ දෙමළ කොටි යනු ඉන්දියාව විසින් පෝෂණය කළ එකම සංවිධානය පමණක් නොවේ. සංවිධාන ගණනාවක් අතරින් එකක් පමණයි. සියළු සංවිධාන ඉන්දියානු රෝ ඔත්තු සේවාවන්ගේ සුවච කීකරු ගෝලයන් වන විට ප්‍රභාකරන් පමණක් ඉන්දියානු ඔත්තු සේවාවන්ගෙන් ස්වාධීනව ක්‍රියාකිරීමට පටන් ගත්තේය. අවසානයේ ඉන්දියානු සාම සාධක හමුදා හා ප්‍රභාකරන් අතර ගැටුමට මුල්වූයේත් ප්‍රභාකරන්ගේ ස්වාධීන බවයි.

1980 දශකයේ මුල් අවධියේ දී ප්‍රභාකරන් හා තවත් දෙමළ සංවිධානයක අයෙක් අතර ඉන්දියාවේ චෙන්නායිහිදී වෙඩි හුවමාරුවක් ඇති විය. මේ වෙඩි හුවමාරුව නිසා ප්‍රභාකරන් ඇතුළු තවත් අයෙක් අත් අඩංගුවට පත්ව ඇත. එහිදී චෙන්නායි පොලිසිය දැනගත් කරුණු ඉන්දීය මධ්‍යම රජයට දන්වා ඉන්දිරා ගාන්ධිගේ කණ වැකුනු පසු ගත් තීරණය නම් මේ අයට යන්න දුන්නද ඉන්දියානු රෝ ඔත්තු සේවය හා මොවුන් අතර සබඳතා පවත්වා ගත යුතු බවයි( kept in touch) මේ දැන හැඳිනගැනීම ඉන්දියාව විසින් පසුව ලංකාවේ ඇති කළ ත්‍රස්තවාදී ගැටුමෙන් කෙළවර විය. ප්‍රශ්නය වන්නේ ඉන්දියාව විසින් නැවතත් එවැන්නක් සිදුකරයිද යන්නයි. ඒ ගැන හොඳින් අවබෝධ කර ගැනීමට ඉන්දියාව විසින් සිදුකළ මැදිහත් වීමත් ඒ සම්බන්ධයෙන් ඉන්දියානු රජය දරණ ස්ථාවරය පිළිබඳවත් සොයා බැලීම වටී.

ඉන්දියාව විසින් ලංකාවට මැදිහත් කිරීමක් සිදුකරන්නට අවස්ථාව ලැබෙන තුරු බලා සිටි අතර දෙමළ බෙදුම්වාදය එයට හොඳම අවස්ථාව සැලසුවේය. දෙමළ බෙදුම්වාදීන් හා ඉන්දීය රෝ ඔත්තු සේවය අතර සබඳතා ඇති වුණි. රජීව් ගාන්ධි ඝාතනයෙන් පසුත් රෝ සංවිධානයට කොටි සංවිධානය කෙරේ තිබූ ඇල්ම හිටපු රෝ ප්‍රධානියෙකු වන බී.රාමන් නැමැත්තාගේ බ්ලොග් අඩවිය පරීක්ෂා කිරීමෙන්ම පෙනේ. ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදියෙකු වන ශමින්ද්‍ර ෆර්ඩිනන්ඩු මහතාට අනුව 1983 දී ප්‍රභාකරන් ඇතුළු කොටි කාඩරයන් විසින් වැල්වැටිතුරේ දී හමුදා සාමාජිකයන් 13 කු මරා දැම්මේ කිසිවකු නොසිතු ලෙසයි. මීට පෙර කොටි සිදුකළ ත්‍රස්ත ක්‍රියා වූයේ බැංකු කොල්ලකෑම්, හොර බඩු ප්‍රවාහනය හා පොලිස් නිලධාරීන් ඝාතනය කිරීමයි. ෆර්ඩිනැන්ඩුට අනුව 83 හමුදා සාමාජිකයන්ට එරෙහි ප්‍රහාරය තනිව සිදුකිරීමට තරම් හැකියාවක් හෝ දැනුමක් ඒ වන විට කොටි සංවිධානයට තිබුණේ නැත. එම ප්‍රහාරයට අවශ්‍ය දැනුම සපයා දුන්නේ ඉන්දියාවේ රෝ සංවිධානය බවට ඔහු සැක කරයි. මෙම ප්‍රහාරයෙන් හමුදා සාමාජිකයන් 13 කු මිය ගියෙන් පසු ලංකාවේ දකුණේ සාමාන්‍ය දෙමළ වැසියා ඉලක්ක කරගෙන එවකට පැවති රජයේ සහායෙන් සංහාරයක් ක්‍රියාත්මක වුණි. එයින් 3000 කට ආසන්න පිරිසක් මිය ගිය බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කළ අතර කොළඹ සිටි දෙමළ ජනයා යාපනය ප්‍රදේශයට කෝච්චි මගින් ප්‍රවාහනය කළේය. මෙහිදී දෙමළ වැසියන් ආරක්ෂා කරගැනීම ටවත් කොටි සංවිධානය ශක්තිමත් වීම වැළැක්වීමටවත් ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක වූයේ නැත. ෆර්ඩිනැන්ඩුට අනුව ලංකා රජය ඉතා හොඳින් රෝ උගුලේ වැටුණි.

From left LTTE commander Yogi, Shankar , LTTE chief Prabhakaran with his bodyguards Sornam(4th) and Gaddafi (standing behind the IPKF officer)

එවිට ලංකාවේ රජය විසින් දෙමළ ජනයා මර්ධනය කරන බවට ලෝකයට ඒත්තු ගැන්වීමට රෝ සංවිධානයට හැකි විය. ඉතිහාසයේ පළමු වරට රටේ අභ්‍යන්තර අර්බුධය ජාත්‍යන්තරකරණය විය. දෙමළ ජනයා හා පක්ෂ වෙනුවෙන් යයි කියමින් ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයට ඉන්දියාව අත දැමීය. තිම්පු සාකච්ඡා ඇති විය. එම සාකච්ඡා වලට කොටි සංවිධානය ඇතුළු තවත් සන්නද්ධ කණ්ඩායම් වල නියෝජිතයින් එක්විය. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයින්ද එක්විය. සාකච්ඡා වලදී කොටින් විසින් කොන්දේසි ඉදිරිපත් කළහ. රජය එම කොන්දේසි ප්‍රතික්ෂේප කළ අතර තිම්පු සාකච්ඡා සාර්ථක නොවීය. කොටින් හා අනෙක් කණ්ඩායම් විසින් රටේ තැන තැන බෝම්බ පිපිරවීමත් නැගෙනහිර පළාතේ සිංහල ජනතාව ඉලක්ක කරමින් ඝාතනයන් සිදුකිරීමත් ආරම්භ කළහ. මේ අතර කොටි සංවිධානය විසින් අනෙක් දෙමළ කණ්ඩායම් මර්ධනය ආරම්භ කර තිබිණ. තත්ත්වය පාලනය කළ යුතු නිසා කොටි සංවිධානය මුලිනුපුටා දැමීමට රජය ක්‍රියාත්මක විය.

ජෙනරාල් කොබ්බැකඩුව හා මේජර් ජෙනරල් විජය විමලරත්න යන හමුදා නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් වඩමාරච්චි මෙහෙයුම ආරම්භ විය. 1987 දී වඩමාරච්චි මෙහෙයුම සාර්ථකව සිදුවන අතරතුරේ දී උතුරේ හමුදා මෙහෙයුම් නැවැත්විය යුතු බවට ඉන්දියාව විසින් තර්ජනය කරන්නට විය. කොටි සංවිධානය ඉලක්ක කර ශ්‍රී ලංකා රජය විසින් මෙහෙයුම් සිදුකළද එම මෙහෙයුම් නිසා උතුරේ දෙමළ ජනයා අතිශය දුෂ්කරතාවයකට පත්ව ඇති බවත් හමුදා මෙහෙයුම් වහාම නැවැත්විය යුතු බවටත් ඉන්දීය රජයේ පණිවිඩය එවකට තානාපති ඩික්සිත් විසින් ජේ ආර් ජයවර්ධනට පැවසීය. ඉන්දීය අවවාද නොතැකුව හොත් භයානක ප්‍රතිඵල අත්වේ යයි ඩික්සිත් විසින් ජනාධිපතිවරයාට පවසා ඇත. ජේ ආර් විසින් භයානක ප්‍රතිඵල මොනාවා දැයි විමසූ විට ඩික්සිත් පවසා ඇත්තේ ඉන්දීය හමුදා ආක්‍රමණයක් සිදුකොට ඊළමක් ඇති කිරීම වුවත් විය හැකි බවයි. කෙසේ වුවත් රජය හමුදා මෙහෙයුම දිගටම කරගෙන ගියේය. ශ්‍රී ලංකාවේ උතුරු පෙදෙසට ඉන්දීය ජෙට් යානා මගින් ගුවනින් පාර්සල් හෙළන බවත් එම ගුවන් යානා වලට කිසිදු කරදරයක් නොකර සිය කාර්යය කර ගැනීමට ඉඩ දිය යුතු බවටත් ඉන්දීය රජය විසින් ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා කැඳවා දන්වා සිටියේය. මේ අනුව සිදුවූයේ කුප්‍රකට පරිප්පු දැමීමේ මෙහෙයුමයි. එම ඉන්දීය මෙහෙයුම, පූමලෛයි හෙවත් දමිළ භාෂාවෙන් මල්මාලය ලෙසට නම් කර තිබුණි. එම මෙහෙයුමේ අරමුණ වූයේ කොටි සංවිධානය පරාජයෙන් බේරා ගැනීමයි. ඉන්දීය රජය විසින් ප්‍රචලිත කළ ආකාරයට දමිළ ජනයාට ආහාර හිඟයක් හෝ අතිශය දුෂ්කර තත්ත්වයක් නොතිබූ බව ඩී බී එස් ජෙයරාජ් කැනේඩියානු දමිළ මාධ්‍ය වේදියා විසින් පසුකාලීනව පවසා ඇත. සිදු වූයේ ප්‍රභාකරන්ව බේරා ගැනීමට රජීව් ගාන්ධි විසින් ‘මල් මාලාවක්’ එවීමයි. එයින් වසර 4කට පසු සිය කළ ගුණ සැළකීමට ප්‍රභාකරන් අමතක කළේ නැත. දෛවයේ සරදමක් ලෙස රජීව් ගාන්ධිට ප්‍රභාකරන් විසිනුත් මල් මාලාවක් එවූ අතර එය යැව්වේ ධනු නම් සියදිවි නසාගන්නා බෝම්බකාරියෙක අතේය.

1987 වසරේ දී ශ්‍රී ලංකා රජයට එරෙහිව හමුදා ආක්‍රමණයක් කරන බවට තර්ජනය කර ශ්‍රී ලංකා රජය සිය අදහසට නම්මා ගන්නට ඉන්දියාව සමත් විය. ජේ ආර් ජයවර්ධන රජයට බලපෑම් කර ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන ලදී. එම ගිවිසුමට අනුව ලංකාවේ ත්‍රිකුණාමල වරාය හා තෙල් ටැංකි ගබඩා සංකීර්ණය ඉන්දියාව නොවන වෙනත් කිසිම පිටස්තර පාර්ශවයකට ලබා දිය නොහැක. ඒත් සමඟම ශ්‍රී ලංකා ව්‍යවස්ථාවට 13 වන සශෝධනය එකතු කළහ. මෙම 13 වන සංශෝධනය යටතේ උතුර හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළ අතර ඉඩම් හා පොලිස් බලතල ඇතුළු බලතල සමූහයක් පළාත් වලට ලබාදුණි. එසේ ඒකාබද්ධ කළ උතුරු හා නැගෙනහිර පළාතේ ඡන්දයක් පවත්වා කවුන්සිලයක් පත්කළ යුතු වුණු අතරම මහ ඇමතිවරයෙක් ඡන්දයෙන් පත්විය යුතුය. ඒත් සමඟම උතුරු පළාතේ ආරක්ෂාව තහවුරු කිරීමට හා සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කිරීමට මුවාවෙන් ඉන්දීය හමුදාව සාම සාධක හමුදාවක් ලෙස ලංකාවට පැමිණයේය. ඉන්දීය හමුදා කුමන අවස්ථාවක හෝ ලංකාවට එවීමට ඉන්දීය රජය සූදානම්ව සිටි අතර ඒ සඳහා මේ අවස්ථාව ඔවුන් ප්‍රයෝජනයට ගත්හ.

මේ වන විට කොටි සංවිධානය හා ඉන්දියාව අතර තිබූ ඇයි හොඳයිය බිඳ වැටෙමින් පැවතිණ. ඊට ප්‍රධානම කාරණය ඉන්දියාවේ අරමුණ හා කොටි සංවිධානයේ අරමුණ දෙකක් වීමයි. කොටි සංවිධානය බලාපොරොත්තුවූයේ 71 දී නැගෙනහිර පාකිස්ථානයේ සිදුකළාක් මෙන් ඉන්දියානු මැදිහත්වීමක් යටතේ ලංකාවේ ඊළමක් සෑදේ යන්නයි. නමුත් සිදුවූයේ ඉන්දියාව හා ලංකාව අතර ගිවිසුමක් අත්සන් කර පළාත් සභා බලය බෙදීමේ ක්‍රමයකට දෙමළ පාර්ශවයට එකඟ වන්නයි ඉන්දියාව විසින් බලකිරීමයි. ඉන්දියාව බලාපොරොත්තු වූයේ මෙම ක්‍රමය මගින් උතුරු නැගෙනහිර ඉන්දියාවේ පදයට නටන නිල වශයෙන් ලංකාවට අයත් වුවත් නොනිල ලෙස ඉන්දියානු ප්‍රාන්තයක් ලෙස පවත්වා ගෙන යාමයි. සයිප්‍රසයේ තුර්කියට පක්ෂ කොටසක් පවතින ලෙස ලංකාවේත් ඉන්දීය රජයට යටත් ඉන්දීය පාලනයේ පවතින කොටසක් ඇති කර ගැනීමයි. මෙය හුදු ඉන්දීය අරමුණු ඉටු කරගැනීමකි. කොටි සංවිධානය ඇතුළු අනෙක් සියළු සන්නද්ධ ත්‍රස්ත කණ්ඩායම් මේ සැකැස්මට එකඟ කර ගැනීමට ඉන්දියාව සමත්විය. ටෙලෝ, ඊපිආර්එල්එෆ් යන සංවිධාන රෝ ඔත්තුසේවයට අනුව ක්‍රියාකරන ඉන්දීය රජයේ අතකොළු විය. ඉන්දීය රජයේ සැලැස්ම ඉන්දියාවට අවශ්‍ය ලෙසම ක්‍රියාත්මක විය. ඉන්දියානු අතකොළු අතට ලංකාවේ උතුරු නැගෙනහිර බලය යන අතර ශ්‍රී ලංකා රජයට ඔවුන් පාලනය කළ නොහැකිය. ඉන්දියානු හමුදා ලංකාවට ගොඩ බැස තිබුණි. සියල්ල හොඳින් ක්‍රියාත්මක විය, එකක් හැර. කොටි සංවිධානයේ නායකයා හා ඉන්දීය රජය විශේෂයෙන් තානාපති ඩික්සිත් අතර ගැටුම් ඇති වන්නට විය. කොටි සංවිධානයට අවශ්‍ය වූයේ ඊළමක්ම වන අතර ඉන් මෙහාට කිසිම දෙයකට කැමති වූයේ නැත. ඉන්දීය අතකොළු වීමට ප්‍රභාකරන් කෙසේවත් කැමති වූයේ නැත.

The LTTE training camp in Kulathur, Salem district, India,
where the 16th batch was trained in 1985/6.
ප්‍රභාකරන් සමඟ තම සැලසුම ක්‍රියාත්මක කිරීමට බැරි බව තේරුම් ගත් ඉන්දීය රජය තමාගේ සුවච කීකරු තවත් සන්නද්ධ කල්ලියක් වන ඊපිආර්එල්එෆ් සංවිධානයට උතුරු නැගෙනහිර පළාත් සභා මැතිවරණය ජය ගැනීමට ඉඩ ලබා දුණි. 1988 උතුර නැගෙනහිර පළාත් සභා ඡන්දයේදී ඉන්දියානු සාම සාධක හමුදාව විසින් කෙලින්ම ඊපිආර්එල්එෆ් හා ටෙලෝ සංවිධානයට උපකාර කළේය. ඔවුන් වෙනුවෙන් හොර ඡන්ද දැම්මේය. අවසානයේ ඊපිආර්එල්එෆ් සංවිධානය, උතුරු නැගෙනහිර පළාතේ කවුන්සිලයේ බලය අතට ගත් අතර රෝ සංවිධානයේ ඒජන්ට් කෙනෙකු වන වර්ධරාජා පෙරුමාල් මහ ඇමති පදවියට පත්විය.

කොටි සංවිධානයට තව දුරටත් ඉන්දීය රජය හා සබඳතා පැවැත්වීමේ අවශ්‍යතාවයක් නැති විය. ඉන්දීය සැලසුම ප්‍රශ්නයක් නැතිව ඉදිරියට ගියා නම් අද වන විට ලංකාවේ උතුර හා නැගෙනහිර ලංකාව යටතේ තිබේ දැයි යන්න පවා ප්‍රශ්නයකි. ප්‍රභාකරන් විසින් ඉන්දීය සැලසුමට පිටින් යාම නිසා ඒ අප්‍රසන්න තත්ත්වයෙන් ගැලවීමට අපිට ඒ මොහොතේ හැකි විය. කොටි සංවිධානය විසින් සාම සාධක හමුදා ඉලක්ක කරමින් ප්‍රහාර ආරම්භ කළහ. සතියකින් කොටි සංවිධානය අවසාන කරනවා යැයි පාරම්බෑ ඉන්දීය සාම සාධක හමුදා ප්‍රධානියා වන හර්කිරාත් සිංග්ට ලංකාවේ උතුරු ප්‍රදේශයේ කැලැතුළ දුෂ්කර යුද්ධයක වසර දෙකක් පුරා නියැළෙන්නට විය. කොටි සංවිධානය විසින් සාම සාධක හමුදා හා යුද්ධ කරන අතර ම අනෙක් දෙමළ සන්නද්ධ සංවිධාන සමූල ඝාතනය කරන්නට ද කටයුතු කළේය. ඉන්දීය රජය විසින් තවත් උපායක් යෙදවීය. කොටි නොවන අනෙක් සියළු සන්නද්ධ කණ්ඩායම් එකතු කර එක් සංවිධානයක් නිර්මාණය කර එයට ටැමිල් නැෂනල් ආමි නැතහොත් දෙමළ ජාතික හමුදාව ලෙස නම් කර කොටින් හා සටන් වැදීමට ඔවුන් යොමු කළේය. එසේම සාම සාධක හමුදා කිසි විටක ලංකාවෙන් ඉවත් ව තම සැලැස්ම බාගෙට ක්‍රියාත්මක කරන්නට ලැහැස්ති වූයේ නැත. මේ නිසා සාම සාධක හමුදා පිළිබඳ බිය හා අවිශ්වාසය මුළු රට පුරාම දැඩි වන්නට විය. සාම සාධක හමුදා ඉවත් කරන බවට ප්‍රේමදාස ජනාධිපතිවරයා සිය ජනාධිපතිවරණ සටනේ දී පොරොන්දු විය. කොටි සංවිධානයටත් එය එලෙසම අවශ්‍ය විය. ඒ හේතුව නිසා ප්‍රේමදාස රජයත් කොටි සංවිධානයත් අතර තාවකාලික ලෙස නිල නොවන සන්ධාන ගතවීමක් සිදුවුණි. අප කවුරුත් දන්නා කොටින්ට ආයුධ ලබා දීම සිදුවුනේ ඒ අයුරිනි. කෙසේ නමුත් සාම සාධක හමුදා සමඟ සටන් කිරීමට හෝ කොටින්ට ආයුධ ලබා දීම ඒ තරම් නුවණට හුරු සැලැස්මක් නොවීය. ඒ අවස්ථාවේ සාම සාධක හමුදා රටින් යැවීම හා ඔවුන්ගේ නියෝජිතයින් වන දෙමළ ජාතික හමුදාව මර්ධනය ප්‍රේමදාස රජයට අවශ්‍ය වන්නට ඇත. වාසනාවට මෙන් ඉන්දීය රජය පෙරළුණු අතර බලයට ආවේ භාරතීය ජනතා පක්ෂයයි. ඒ පක්ෂය රජීව් ගාන්ධි විසින් සාම සාධක හමුදා ලංකාවට යැවීම මැතිවරණ වේදිකා වල දැඩි සේ විවේචනය කළ අතර බලයට පැමිණි විගස ප්‍රේමදාස රජයේ ඉල්ලීම් වලට කන් දී සාම සාධක හමුදා නැවත ඉන්දියාවට කැඳවා ගත්තේය. ඉන්දීය සැලැස්ම සම්පූර්ණයෙන්ම ඉටු කිරීමට නොහැකිව ඉන්දීය හමුදා නැවතත් ඔවුන්ගේ මව් බිමට ගියහ. පෙර කීවාක් මෙන් ඉන්දීය සැලසුම් ඔවුන්ට අවශ්‍ය පරිදි ක්‍රියාත්මක වූයේ නම් අද වන විට උතුරු නැගෙනහිර බිහි වන්නේ ඉන්දීය පාලනය යටතේ පවතින ඉන්දීය නියෝජිතයන් ගේ පාලනයකි. එම නියෝජිතයන් වන්නේ දෙමළ දේශපාලකයන් හා සන්නද්ධ කල්ලිය. ඔවුන් කිසි ලෙසක ශ්‍රී ලංකා රජයට අවනත නොවන අතර උතුරු නැගෙනහිර නිල නොවන ලෙස ඉන්දියාවේ කොටසක් වන්නට තිබිණ. අප අකමැත්තෙන් හෝ පිළිගන්නට සිදුවන්නේ මේ සැලැස්ම අවුල් වීමට බලපෑ එකම හේතුව ප්‍රභාකරන් යන සාධකයයි. ඉන්දියාව හා කොටි සංවිධානය අතර ප්‍රශ්න ඇති වීමට මුල් වූයේ ප්‍රභාකරන් නැමැති සාධකයයි.

ඉන්දියාවට තමන් විසින් කිරි පොවා ඇති දැඩි කළ නාගයා තමන්ට අවශ්‍ය පරිදි නැටවීමට නොහැකි විය. නමුත් කොටි සංවිධාය නැවතත් ඉන්දියාවට අවශ්‍ය ලෙස නටවන්නට උත්සාහ කිරීම නැවත්වූයේ නැත. පසුව ඉන්දියාව විසින් සිය අණසකට යටත් වූ ප්‍රභාකරන් ගේ දෙවනියා වූ මහත්තයා යොදාගෙන ප්‍රභාකරන් ඝාතනය කරවා කොටි සංවිධානය ඉන්දීය ග්‍රහණයට ගන්නට රෝ සංවිධානය විසින් උත්සාහ කළේ ද මේ නිසායි. එදා මහත්තයා විසින් ප්‍රභාකරන් මරා දමා කොටි සංවිධානයේ නායකත්වය ලබා ගත්තේ නම් ඉන්දීය සැලැස්ම නැවතත් ක්‍රියාත්මක කරවන්නට ඉන්දියාවට හැකිවන්නට තිබිණ. එක් අතකින් ප්‍රභාකරන් විසින් මහත්තයා මරා දැමීම ලංකාවට සිදුවූ යහපතකි. එයින් පසු ප්‍රභාකරන් විසින් නිරන්තරයෙන් ඉන්දියාව සැක කිරීම සිදුවුණි. ඉන්දියාවේ රෝ ප්‍රධානියෙකු වන ලංකාවේ කොටි ඇතුළු අනෙක් සන්නද්ධ කණ්ඩායම් සමඟ 80 දශකය මුල සිටි කටයුතු කළ අයෙකි, බී. රාමන්. බී රාමන් විසින් පසුකාලීන සිය සටහන් වලින් නිරතුරුව මතුකළ කාරණා කිහිපයකි. කොටි සංවිධානය හෝ ඉන්දීය බලපෑම නැති වූවිට ශ්‍රී ලංකා රජය විසින් දෙමළ ජනතාවගේ ඉල්ලීම් කිසිවිටක ලබා දෙන්නේ නැත. 1983ට පෙර පැවති තත්ත්වයට ලංකාව නැවතත් යනු ඇති බවත් එය වැළැක්වීමට නම් කොටි සංවිධානය සංශෝධනය වී ඉන්දීය රජය සමඟ සබඳතා ඇති කරගත යුතු බවයි. එනම් ප්‍රභාකරන් වෙනුවට එතැනට වෙනත් නායකයෙක් පැමිණිය යුතු බවයි. එම නිසා ඉන්දියාවට හා රෝ සංවිධානයට ප්‍රශ්නය තිබුනේ ප්‍රභාකරන් සම්බන්ධව මිස කොටි සංවිධානය සමඟ නොවේ. ඒ නිසා නැවතත් සන්නද්ධ කණ්ඩායම් උතුරේ ඇති වනවාට ඉන්දියාව අකමැති වන්නට හේතුවක් නැත. ඇත්ත වශයෙන්ම කියනවා නම් ප්‍රභාකරන් සාධකය නැති වීමත් සමඟ නැවතත් පළමු සැලසුම ක්‍රියාත්මක කිරීමට ඉන්දියාවට අවකාශය ඇත. සිය සැලැස්ම ඉටු කිරීම කල් දමා ඇතිවා මිසක ඉන්දියාව විසින් එය කිසිවිටක අත්හැර නැති බව මගේ හැඟීමයි. නැවතත් සැලැස්ම ක්‍රියාත්මක කරනවා නම් ප්‍රභාකරන් වැනි චරිතයක් මග හැර තමන්ට අවනත වෙනත් ත්‍රස්ත නායකයින් ඇති කරන්නට ඔවුන් පසුබට නොවනු ඇත. ඒ සඳහා හොඳම ආයෝජනය විය හැක්කේ කොටි සංවිධානයේ සිටි පුද්ගලයින්ය. ශ්‍රී ලංකා රජය විසින් 13000 ට ආසන්න හිටපු කොටින් පුනරුත්ථාපනයෙන් පසු සමාජගත කළහ. එමෙන්ම රජයට හසු නොවූ කොටි සංවිධානයේ සිටි 4000ක පමණ කොටසකුත් ලංකාවේ සිටින බවට වාර්තා වේ. මේ අනුව නැවතත් සිය සැලැස්ම ඉටු කරනවා නම් ඉන්දියාවට එය කරන්නට සුදුසු පුද්ගලයින් ඇත. පසුගිය වසර වල විටින් විට හිටපු කොටි සාමාජිකයින් ඉන්දීය ගුවන් තොටුපලවල් හිදී අත්අඩංගුවට ගත් අතර ඒ අයට ඉන්පසු කුමක් සිදුවූයේ දැයි වාර්තා වූයේ නැත. ශ්‍රී ලංකා රජය විසින් ඔවුන්ව නැවතත් ඉල්ලා සිටියාද මේ අය රෝ සංවිධානය විසින් භාවිතා කරන අයදැයි නිශ්චිතව කිව නොහැකිය. නමුත් එක්ක කිය හැකිය, නැවත ලංකාවේ දෙමළ සන්නද්ධ ත්‍රස්තවාදය ඇති කිරීමට ඉන්දියාට හැකියාව හොඳන්ම ඇත, එවැන්නක් පළමු වතාවේ මෙන් නොව වඩා සාර්ථකව සිය අරමුණ ඉටු වන දේ සිදුකරන්නට හැකිය, එසේ කිරීමෙන් ඉන්දියාවට වාසි ලබා ගත හැකිය. පවතින රජය යටතේ හම්බන්තොට වරාය චීනයට ලබා දීමෙන් පසු ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය හා අජිත් ඩෝවල් විසින් මෙවැන්නක් නොසිතා සිටින්නේ නැති බව මගේ හැඟීමයි. එම නිසා නැවතත් ඉන්දියාව විසින් ලංකාවේ ලංකාවේ සන්නද්ධ දෙමළ ත්‍රස්තවාදය ඇති කිරීමට උත්සාහ කිරීම සිදුවිය හැකිය. එවැන්නක් සිදුවීමට පවතින රජය ඉඩ ප්‍රස්ථාව ලබා දුන්හොත් එය කිසි දිනෙක සමාව දිය හැකි වරදක් නොවනු ඇත. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගන්නා රටකට අනාගතයක් නැත.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions