1/05/2016

නව ව්‍යවස්ථාවේ රාමුව ෆෙඩරල් ද?

කතෘ:යුතුකම     1/05/2016   1 comment
2016 වසරට පිවිසි අපට මෙම වසරේ මුහුණ දෙන්නට වන අභියෝග කවර ස්වරුපයක් ගනිද යන්න පිළිබඳ දළ චිත්‍රයක් මවා ගැනීම අසීරු නැත. මෙහිදී 2016 කි විට මගේ මනසට ක්ෂණිකව එන අදහස වන්නේ එය 1956 පෙරළියේ හැටවන සංවත්සර වර්ෂය බවයි. එනම් 1956 වසරේ ඇති වූ සදමාජ දේශපාලනික විදේශ ප්‍රතිපත්තිමය සහ සංස්කෘතික පෙරළිය නැවත වතාවක් නොපිට පෙරළන ව්‍යාපෘතින් ගණනාවක්ම 2016 මුදා හරිනු ලබන බව ඉතිහාසයේ සරදමක් හා ඛේදවාචකයක් ලෙස සදහන් කරන්නට සිදුව ඇත.

ආණ්ඩුවේ ඉහළම නායකයින් විසින් හෙළිදරව් කර ඇති පරිදි 2016 වසරේ මහා දේශපාලනික ආර්ථික ව්‍යාපෘති අඩුම තරමින් හතරක් හෝ පහක්වත් සමගාමීව මුදා හරිනු ලබන බව පැහැදිලිය. එතැන සුවිෂේශි අවදානමක් ඇත. ඒ මන්ද යත් ලංකාවේ මින් පෙර කිසිදු අවස්ථාවක එවන් මහා පරිමාණ පරිවර්තන කිහිපයක් එකවර කරන්නට උත්සාහ නොදරා ඇති බැවින් ම පමණක් නොව, ලෝක දේශපාලනය අනුව බැලුවත් එවන් මහා පරිමාණ පරිවර්තන රැසක් එක් සීමිත කාල රාමුවක් තුළ කිරීමේ පිළිවෙතක් ප්‍රජාතන්ත්‍රවාදි රටක දකින්නට නැති බැවිනි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි නොවන රටවල පවා මහා පරිමාණ පරිවර්තන කෙරෙනුයේ ඉතා පරිස්සමෙනි. මෙහිදී මහා පරිමාණ පරිවර්තන රැසක් එක් සීමිත කාල රාමුවක් තුළ ක්‍රියාත්මක කරන්නට යනවිට ඇති වන්නේ විශාල ලෙස විසංවාදි හා ගැටුම්කාරි තත්ත්වයකි. මෙම ගැටුම් හේතුවෙන් ඉරිතැළීම් ප්‍රතිවිරෝධතා සහ පිපිරීම් පවා සිදුවිය හැකි බව මගේ අනාවැකියයි.

මෙම මහාපරිමාණ පරිවර්තන කවරේද? ඒවායේ ප්‍රතිවිපාක කවරේද? ඒ පිළිබදව කෙටියෙන් හෝ විමසා බැලීම වැදගත්ය. එම පරිවර්තන වන්නේ , 1833 සිට ලංකාවේ පැවති ඒකීය රාජ්‍ය රාමුවෙන් පිට පනිමින් ෆෙඩරල් දිසාවකට ගමන් ගන්නා වූ නව රාමුවක් ඉදිකිරීමයි. මෙය බිහිවන්නේ නව ව්‍යවස්ථාවක මුවාවෙනි. එය හුදෙක් නව ව්‍යවස්ථාවක් නොවේ. 1947 සෝල්බෙරි ව්‍යවස්ථාව 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව, 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව මෙන්ම එම ව්‍යවස්ථාවල සියළු සංශෝධන ගත්විට ඒ සියල්ල සිදුවූයේ නිල වශයෙන් හෝ නිල නොවන ආකාරයට පැවති ඒකීය රාජ්‍ය රාමුව තුළය. විවිධත්වයක් සහිත කුඩා දිවයිනක් ලෙස එනම් මහ අසල්වැසියෙකු ළඟ සිටින කුඩා දිවයිනක් ලෙස තිබිය යුතු ශක්තිමත් තනි කේන්ද්‍ර දේශපාලන ක්‍රමය ඒකිය රාජ්‍ය ක්‍රමයේ හරයයි. එම ශක්තිමත් මධ්‍යම ආණ්ඩුව බිඳ දමා ඒ වෙනුවට ස්වයං පාලිත පළාත්වලින් සමන්විත වූ රටක් නිර්මාණය කිරීම නව ව්‍යස්ථාවේ අරමුණු බව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශ තුළින් පැහැදිලිය. එහිදී නව ව්‍යවස්ථාවේ ආකෘතිය ඔස්ට්‍රියානු ආකාරයේ ආකෘතියක් විය යුතු යැයි කීමෙන් පෙනෙන්නේ සුපැහැදිලි ෆෙඩරල් ආකෘතියක් පාවිච්චි කරමින් , ඇතැම්විට ෆෙඩරල් යන වචනය භාවිතා නොකරමින් ලංකාවේ රාජ්‍ය ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට උත්සාහ දරනු ලබන බවයි.

ඒ අනුව මෙම උත්සාහය දරනු ලබන්නේද අසම්මත හා නුසුදුසු ක්‍රමයකටය. ඕනෑම ව්‍යවස්ථාවක් වෙනස් වන ආකාරය එම ව්‍යවස්ථාව තුළම තිබේ. හරි දේ හරියට කළ යුතු අතරම සාධාරණ නීතිය අනුව එය ඉටු කළ යුතුය. එමෙන්ම ව්‍යවස්ථාව වෙනස් කළ යුත්තේ ව්‍යවස්ථාවට අනුවයි. මෙයට ව්‍යතිරේකයක් ලෙස තිබුනේ 1972 ව්‍යවස්ථාවයි. එහිදි ව්‍යවස්ථා දායක සභාවක් හරහා අලුත් ව්‍යවස්ථාවක් අලුතින්ම ආරම්භ කළේ ඊට පෙර වූ ව්‍යස්ථාව යටත් විජිතවාදීන්ගේ දායාදයක් වූ නිසාය. යටත් විජිතවාදී සොල්බෙරි කොමිසම යටත් විජිතහරණයට පාර කැපීම සඳහා ව්‍යවස්ථාවත් සම්පාදනය කළේය. එම ව්‍යවස්ථාවේ හොඳ මෙන්ම නරකද තිබුණි. එහි තිබුණු එක් විශේෂාංගයක් වූයේ බ්‍රිතාන්‍යය උසාවිය වන ප්‍රිට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ නඩු අවසන් වශයෙන් විභාග කරන්නට තිබු හැකියාව සහ නාමික වශයෙන් ලංකාවේ නායිකාව ලෙස බ්‍රිතාන්‍ය රැජින පිළිගනු ලැබීමයි. එම පෙකණිවැල කැපීම සඳහා එම ව්‍යවස්ථාවේ අඩංගු නොවු නව ආකාරයකට අනුව යමින් ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතුව තිබුණි. එය සාධාරණය. එහෙත් ජනරජයක් ස්ථාපිත වූ දා සිට ව්‍යවස්ථාවක් වෙනස් කරන්නේ නම් එය සිදුකළ යුත්තේ ලෝකයේ අනෙකුත් රටවල් ව්‍යවස්ථා වෙනස් කරනු ලබන ආකාරයටයි.

එනම් පවතින ව්‍යවස්ථාවේ ක්‍රමවේදය හා රෙගුලාසි අනුවය. මෙහිදී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කරන්නට උත්සාහ දරන්නේ ව්‍යවස්ථා පරිවර්තනයකට ව්‍යවස්ථාව තුළ තිබෙන ක්‍රම වේදය බැහැර කිරීමයි. මෙය සැබවින්ම සිදුවන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ව්‍යවස්ථා විප්ලව න්‍යාය අනුවය. මෙම ව්‍යවස්ථා විප්ලව න්‍යාය පවා ලෝකය දන්නා න්‍යායක් නොවේ. එවැන්නක් ගැන කිසිදු පොතක මා නම් කියවා නැත. එය චන්ද්‍රිකා ගේ සිතැඟියාවක් පමණි. ඊට අනුව මහ මැතිවරණය දෙකක් ජයග්‍රහණය කළහොත් ව්‍යවස්ථාව වෙනස් කළ හැකිය. එහෙත් ඉකුත් මහ මැතිවරණයෙන් 2/3 ක ඡන්දයක් ආණ්ඩුවට ලැබුණේ නැත. 2/3 බහුතරය ආවේ ඡන්දයෙන් පසුවයි. ඒ අනුව මහජන මතය නව ව්‍යවස්ථාවකට සහයෝගය දෙන මතයත් ලෙස අපට හුවා දැක්වීමට නොහැකිය.

මේ වන විට ව්‍යවස්ථා පරිවර්තනයකට ඇති ව්‍යවස්ථානුකුල මාර්ග සිතියම නොතකා වෙනස් ආකාරයකට ව්‍යවස්ථා මාරුවක් කරන්නේ නම් එය කොතෙක් දුරට නීත්‍යානුකුල සහ යුක්ති සහගත අයුරින් පිළිගත හැකිද? එසේ වුවහොත් එම ව්‍යවස්ථාව අවජාතක ව්‍යවස්ථාවක් නොවේද? මෙය පළමු පරිවර්තනයයි.

මෙහි දෙවැන්න වන්නේ විශේෂ නීති ගෙනැවිත් විශේෂ උසාවි පිහිටුවා නීතිපති කාර්යාලයක් නිර්මාණය කර විදේශික විශේෂඥයන් යොදවමින් රට එක්සේසත් කළ පසුගිය ජයග්‍රාහී යුද්ධයේදී සිදු වූවා යයි කියන යුධ අපාරධ සම්බන්ධයෙන් හමුදා නායකයින් හා එම ජයග්‍රාහි යුද්ධයට නායකත්වය දුන් දේශපාලන නායකයින් පිළිබඳ නඩු විභාග කිරීමයි. මෙයත් වෙන රටවල සිදුවන දෙයක් නොවේ. වෙනත් රටක් මෙවැනි ක්‍රියාමාර්ග වලට යන්නේ පරාජිත වූ ප්‍රජාතන්ත්‍රවිරෝධි ත්‍රස්තවාදි හෝ ෆැසිස්ට්වාදී බලවේග සම්බන්ධයෙනි. එසේ නොමැතිව නීත්‍යානුකුල හමුදාවක් සම්බන්ධයෙන් එවැනි තීරණ ගන්නේ නැත. මෙහිදී ගත යුතු වන්නේ සහ වෙනත් රටවල කෙරෙන්නේ පවතින දණ්ඩ නීති සංග්‍රහය අනුව පවතින උසාවි ව්‍යුහය ගැන සොයා බලා දඬුවම් කිරීමයි. මෙය දෙවැනි මහා අසම්මතයයි.

තුන්වන මහා අසම්මතය වන්නේ ලංකාවේ සම්පූර්ණ පැවැත්ම සහමුලින්ම වෙනස් කරන ඊනියා හනුමන් පාලම ඉදිකරීමයි. හනුමන් පාලම යනු මගේ වචනයක් නොවේ. එය ඉන්දියාවේ පුවත්පත් වල සඳහන් වන පරිදි එය ලංකාව හා ඉන්දියාව යා කොට තනන අලුත් පාලමට දැනටමත් නම් කොට ඇති නමයි. රාමායනයට අනුව රාම රාවණ සිතා යන තිදෙනවා ගේ කතන්දරයට අනුව බොහෝ දෙනෙකු දන්නා දෙය වන්නේ හනුමන්ගේ ක්‍රියාකලාපය සාර්ථක වූයේද රාවණාගේ අභ්‍යන්තර පිරිසේ සිටි ද්‍රෝහියෙක් නිසාය. මේ අතර ඉන්දියානු මහා මාර්ග ඇමති ඉන්දියානු මහා මාර්ග ඇමති ඉන්දියානු පාර්ලිමේන්තුවේ නිල ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඉන්දියාව හා ලංකාව යා කරන මුහුද යටින් දුවන උමගක් පාලමක් මෙන්ම දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට ආසියානු සංවර්ධන බැංකුව දැනටමත් මුදල් වෙන් කර ඇති බවත් එම ව්‍යාපෘතිය පිළිබඳව දැනටමත් ඉන්දීය අගමැති මෝදි ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කර අවසන් බවත්ය. එම කතාව බොරුවක් නම් විදේශ අමාත්‍යංශය ඒ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කොට ලංකාවේ මහ කොමසාරිස් නවදිල්ලියේදි ඊට විරුද්ධව පළකළ යුතුව තිබුණි. එහෙත් එවැන්නක් සිදුවූයේ නැත.

ඒ අනුව අපට නිගමනය කරන්න සිදුවන්නේ එම කතාව සත්‍යයක් බවයි. ඉතා මැතකදී එන්රිකේ ගේ සංගීත සංදර්ශනයක් නිසා ආන්දෝලනාත්මක කතාබහක් ඇති වුණි. එහිදී සිරිසේන ජනාධිපතිවරයා කියන ලද්දේ රටක සංස්කෘතිය සහ සම්ප්‍රදායක් නීතියටත් වඩා රටට වැදගත් බවත් විදේශ සංස්කෘතික ආබාධයන්ගෙන් මනස පුරවා ගත් පුද්ගලයින්ට නිරුවත පාරේ ගමන් කරන්නට නිදහස ලබා නොදෙන බවත්ය. මෙම සංස්කෘතික ප්‍රශ්නයේදී කිසිදු ස්ථාවරත්වයක් දැක්වීමය කිසිසේත්ම මට අදහසක් නැත. ඒ මෙහි දෙපැත්තක් ඇති බැවිනි.

කෙසේ නමුත් සංගීත සංදර්ශනයේදි ඇති වූ සිද්ධියෙන් පෙනෙන්නේ ජනවාරි 8 වෙනිදා ඇති වූ පරිවර්තනය හා යහපාලනය පිළිබඳ කිසියම් සංඥාවක් තරුණ පරපුර අතරටත් සමාජයටත් ගොස් ඇති බවකි. එසේ නැත්තම් මෙවැනි සංඥාව සහ එම චර්යාව ගැන කිසිදු අදහසක් මට නැත. එහෙත් ඊට වඩා වැදගත් කාරණයක් සංස්කෘතිය සම්බන්ධයෙන් මෙහි තිබේ. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, සභ්‍යත්වය, අපේකම, ආගම ආදි මේ සියල්ලම මතුවුයේ සහ හැඩගැසුණේ ඉන්දියානු මහද්වීපයෙන් වෙන් වූ ස්වාධින දූපතක් ලෙස ලංකාව පැවති බැවිනි. ඉන්දියානු අර්ධ ද්වීපයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාව පැවතියා නම් මෙහි ආගම වන්නේ හින්දු ආගමයි. බුදු දහමට ඉන්දියාවේ අත්වූ ඉරණම ලංකාවේදී අත්නොවුණේ ලංකාව ඉන්දියානු අර්ධද්වීපය සමඟ සම්බන්ධ නොවු බැවිනි. එනම් සහමුලින්ම වෙනත් පැවැත්මක් සහිතව සැතපුම් දහනවයක සාගරයකින් සහතික කර තිබූ බැවිනි. එම සාගරය නොතිබෙන්නට අපේ සම්පූර්ණ ඓතිහාසික සහ සංස්කෘතික ඉරණම වෙනස්ය. එහිදී අපේ භාෂාවද සිංහල නොවන්නට ඉඩ තිබුණි.

මෙහිදී ඉන්දියාව හා ලංකාව යා කරන පාලම හුදෙක් රටවල් දෙකක් යාකරන පාලම් නොවේ. එය දිවෙන්නේ රාමේශ්වරන් හා ධනුෂකොඩි අතරය. එනම් තමිල්නාඩුව හා දමිළ භාෂාව කතා කරන උතුරුකරය අතරය. එය තවදුරටත් පැහැදිලි කරනවා නම් බෙදුම්වාදී මතයන් ප්‍රසිද්ධියේ ගෙනහැර පාන තමිල්නාඩුව අතරය.

තමිල්නාඩුවේ මහ ඇමතිනි වන ජයලලිතා නිල ලියමනක් මඟින් මෝදි අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේ මෙහි තමිල් ඊළමක් පිහිටුවන්නට ඉන්දියාව සහයෝගය දියු යුතු බවයි. එවැන්නක් සිදුවන්නේ යැයි මෙහිදී මා නොකියන අතර මගේ අදහස වන්නේ එවැනි රෝගයක් ඇති තමිල්නාඩුව සමඟ එවැනි රෝගයක් නැති තිස් අවුරුදු යුද්ධයකින් බේරාගත් උතුර යා කරන්නට යන්නෙ කවර අරමුණකින්ද යන්නයි. එවැනි යා කිරීමකින් මෙම කුඩා දූපත ඉන්දියාවේ කොටසක් බවට පත්වන්නේ නැද්ද? එවන් තත්ත්වයක් තුළ ඊළඟ පරම්පරාව පරිණාමය වන්නේ කෙසේද? බිලියනයක ජනතාවක් සිටින අර්ධ ද්වීපයක් සමඟ මෙම කුඩා දූපත ඇමිණ ඇති විට එහි අනන්‍යතාවයට, සංස්කෘතියට සභ්‍යත්වයට සිදුවන්නේ කුමක්ද?

ඒ අනුව සංස්කෘතික සභ්‍යත්වයට හා අපේ කමට මරණීය තර්ජනයක් වන්නේ එන්රික්ගේ සංගීත සංදර්ශනයේ වූ සිදුවීමෙන්ද? එසේත් නැත්නම් අග්‍රාමාත්‍යවරයාගේ අනුමැතියෙන් ඉදිකරන්නට යන මුහුදු උමඟ සහ හනුමන් පාලමද? මෙහිදී තරුණියකගේ උඩුකය වසන යට ඇඳුම වේදිකාවට ගලවා දැමීමේ යැයි කියා සංවිධායකයින්ට මඬු වල්ගයෙන් තැලීම සුදුසු නම් ඒකීය රාජ්‍ය සංකල්පය ඇමරිකානු වේදිකාවට ගලවා විසිකර හනුමන් පාලමක් ඉදිකරන්නට අනුමැතිය දෙන අග්‍රාමාත්‍යවරයාට කුමකින් තැලිය යුතු දැයි අප නොදනිමු. කෙසේ නමුත් මෙය තෙවන විශාල පරිවර්තනය බව සඳහන් කළ යුතුය.

හතරවන පරිවර්තනය වන්නේ ඉන්දියාව හා ශ්‍රි ලංකාව පෙබරවාරි මාසයේ අත්සන් කරන්නට යන ECTA ගිවිසුමයි. එය ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුමකි. මේ ගැන නොයෙකුත් මත ඇති නමුදු ආණ්ඩුව කියා සිටින්නේ ශ්‍රම වෙළඳ පොල ඉන්දියාවට විවෘත නොකරන බවයි. එනමුත් ECTA ගිවිසුම සම්බන්ධයෙන් ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ වෙළඳ කටයුතු භාර අමාත්‍යංශවල ලේකම් වරුන්ගේ සාකච්ඡා වලින් පසු නිකුත් වූ නිල ප්‍රකාශයේ සඳහන් වන්නේ ඊට වඩා වෙනස් දෙයකි. ඒ නිල ප්‍රකාශයේ ඇත්තේ ශ්‍රම වෙළඳපොළේ විවෘත නොවන අංශ දෙකක් ඇති බවයි. එහි එක් අංශයක් වන්නේ බෝට්ටු සහ නැව් ඉදිකිරීමයි. අනෙක් අංශය වන්නේ තොරතුරු තාක්ෂණයයි. මෙය ඉතා භයානක තත්ත්වයකි.

අදවන විට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ලංකාව විශාල දියුණුවක් අත්කරගෙන ඇති අතර පරම්පරාවක්ම තොරතුරු තාක්ෂණය පිළිබඳ දස්කම් පෙන්වා රැකියා වලට පිවිස ඇත. එම ක්ෂේත්‍ර යෙන් දැනට ඔවුන් ලෝක වෙළඳපොළ සමඟ ද බද්ධ වී තිබේ. මෙම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට ඉන්දීය තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ තරුණ තරුණියන්ට ඇතුළු වන්නට ඉඩ දුන්විට අපේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට සිදුවන්නේ කුමක්ද? තොරතුරු තාක්ෂණ අංශය රටක වැදගත් මර්මස්ථානයක් බව අප අමතක නොකළ යුතුය. අසල්වැසි මහ බලවතාගේ තොරතුරු තාක්ෂණ පුහුණව ලද ශ්‍රමිකයන්ට එම ක්ෂේත්‍රයට ඇතුළු වීමට ඉඩ දුනහොත් එය අපේ ස්වෛරිත්වයට ප්‍රශ්නයක් වනු ඇත.

එහිදී ස්වෛරත්වය පිළිබඳ ප්‍රශ්නය පසෙක තැබුවත් තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් දස්කම් දක්වා ඇති ලාංකික තරුණ පිරිසට රැකියා අහිමි වීම හෝ විශාල දැනුමක් සහිතව පැමිණෙන ඉන්දියානු තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් යටතේ කටයුතු කරන්නට එහදි සිදුවනු ඇත. මෙයත් විශාල පරිවර්තනයකි.

අවසන් මහ පරිවර්තනය වන්නේ රටේ ආර්ථිකය සහමුලින්ම පාහේ පෞද්ගලිකරණය කිරීමට ගෙන ඇති තීන්දුවයි. මෙම තීන්දුව සංකේතවත් වන්නේ 2016 වසරේ භාණ්ඩාගාරයේ නව ලේකම්වරයා විසින් පත්කරන්නට යන චරිතය විසිනි. පුවත්පත්වල පළවන ආකාරයට මහාචාර්ය රසීන් සාලි භාණ්ඩාගාරයේ නව ලේකම්වරයා ලෙස පත් කිරීමට යන බව කියවේ. ඔහුට ලාංකික සම්භවයක් ඇති නමුත් ජීවිතකාලයේ වැඩි කලක් බ්‍රිතාන්‍ය යේ ජිවත් විය. එපමණක්ද නොව ඔහු සළකනු ලබන්නේ ලොව අන්ත දක්ෂිණාංශික රැඩිකල් පෞද්ගලිකරණවාදි ආර්ථික මතධාරින්ගේ ජාත්‍යන්තර සංගමයන්හි සාමාජිකයෙක් ලෙසටයි. ඔහු දැනට ලියා ඇති ලිපි වලින් පවසා ඇත්තේ ලංකාවේ ආර්ථික ආකෘතිය විය යුත්තේ චිලි රටේ 1973- 1974 වසරේ තිබු ආර්ථික ක්‍රියාවලිය බවයි. එම වැඩ පිළිවෙල ක්‍රියාත්මක වූයේ අන්ත දක්ෂිණාංශික ඇමරිකානු ගැති ෆැසිස්ට්වාදි හමුදා ආණ්ඩුවකින් බව ඔහු පවසා නැත.

ඒ අනුව සමාජ සුභ සාධනයට සහමුලින්ම විරුද්ධ අන්ත දක්ෂිණාංශික නව ලිබරල් වාදී ආර්ථික චින්තකයෙක් ලංකාවේ භාණ්ඩාගාරයේ ලේකම් ලෙස පත් කරන්නේ නම් ලංකා ආර්ථිකයට ඉන් සිදුවන්නේ කුමක්දැයි අපට සිතාගත හැකිය.

එහිදී අලුත් ව්‍යවස්ථාව හා ආර්ථික ප්‍රතිපත්තිය අතරත් සම්බන්ධකමක් තිබේ. මේ දෙක සහ හනුමන් පාලම අතර සම්බන්ධයක් තිබේ. මේ සියල්ල ක්‍රියාත්මක වූ විට අප අපගේ ජිවිතයේ ඉතිරි කාලය ගෙවන්නේ සහ අනාගත පරපුර බිහිවන්නේ කවරාකාර ලංකාවක් තුළද? නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක වුවහොත් ලංකාවේ සියලු පළාත් ස්වයං පාලිත වනු ඇත. මධ්‍යම ආණ්ඩුව හැකිලෙනු ඇත. ඒ අතරවාරයේ ආර්ථිකය සහමුලින්ම පෞද්ගලිකරණය වනු ඇත. එවිට ඌව පළාතක් වැනි පළාතක් සංවර්ධනය වන්නේ කෙසේද?

බස්නාහිර හා ඇතැම් විට දකුණු පළාතද තරමක් දුරට සංවර්ධනය වීමට ඉඩ ඇත. උතුරු පළාත නම් සංවර්ධනය වනු ඇත. මන්ද තමිල්නාඩුවේ ප්‍රාග්ධනය, දමිල ඩයස්පෝරාවේ ප්‍රාග්ධනය උතුරු නැගෙනහිර පළාත්වලට ලැබෙන බැවිනි. මෙහිදි ප්‍රාග්ධනයක් නොමැති පළාත්වලට මධ්‍යඹ ආණ්ඩුවේ හව්හරණක් නැති කටයුතු කරන්නට සිදුවන විටදී ඔවුන් විසින් කරන්නේ එම පළාතේ තියන සියළුම දේ විදේශිය කොම්පැණි වලට විකිණිමයි. එය විකුණන්නේද ඩයස්පෝරාව පාලනය කරන හෝ ඉන්දියානු කොම්පැණි වලටය.

ඒ අනුව උතුරු දකුනු සංහිඳියාවක් අපේක්ෂා කළ නොහැකි අතර ස්වයං පාලිත පළාත් සහිත රටක් සංවර්ධනය වන්නේ සමස්ත ජාතික විඥානයකින් නොවේ. හුදෙක් ගැඹුරු ප්‍රදේශවාදි විඥාණයකිනි. ඒ අනුව සර්ව ලාංකික විඥානය කිසිසේත්ම ඇති නොවන අතර සිංහල ජාතික විඥාණය පවා පළාත් වශයෙන් බිඳ විසිරී යනු ඇත. ඒ අතරවාරයේ තමිල්නාඩුව නමැති කාන්දමට උතුරු නැගෙනහිර තල්ලු වී යන ආකාරයට මධ්‍යම ආණ්ඩුව දුර්වල කර එම පළාත් ස්වයං පාලිත පලාත් බවට පත්කරනු ඇත.

මේ සියල්ල සිදු කරන්නට යන්නේ 2016 වසරේදීය. එබැවින් එළඹෙන වසර මහා පරිමාණ නෛතික දේශපාලන විදේශ ප්‍රතිපත්තිමය සංස්කෘතික සහ සදාචාරමය ගැටලු වලින් ගහන වසරක් වීම වැළැක්විය නොහැකි වනු ඇත.

ආචාර්ය දයාන් ජයතිලක - Rivira

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

12/09/2015

චන්ද්‍රිකාගේ තීන්දු සහ සංහිඳියාව

කතෘ:යුතුකම     12/09/2015   1 comment
ජාතික සංහිඳියාව පිළිබඳව පවතින කතාබහ අතරට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අලුත් තීන්දුවක් එක්කොට තිබේ. ඇය විසින් එම තීන්දුවට අදාළ ප්‍රකාශයක් සිදුකරන ලද්දේ පසුගිය දෙසැම්බර් 01 වනදා ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ඒ නිකම්ම නොව ජාතික සමගිව සහ සංහිඳයාව සඳහා වන කාර්යාලයේ ප්‍රධානියා ලෙසටය.

ඇය විසින් එහිදී සඳහන් කළ ප්‍රධාන කරුණක් වන්නේ අවසන් යුද්ධයේදී සිදුවූවා යයි කියන යුධ අපරාධ පිළිබඳව පරීක්ෂා කිරීමට විශේෂ උසාවි 2016 වසරේ ජනවාරි මාසය නිමවීමට ප්‍රථම පිහිටුවනු ලබන බවයි. ඇය කියන්නේ එම උසාවි මගින් යුධ අපරාධ පිළිබඳව සොයන බවත් සාමාන්‍ය සොල්දුදාවන් ගැන නොව අණ දීමේ ප්‍රධාන දාමය වෙත සියලු අවධානය යොමු කළ යුතු බවත්ය. මෙවැනි ප්‍රකාශයක් සිදු කරන්නට ඇයට කිසිදු අයිතියක් නැති බව අප මුලින්ම සඳහන් කළ යුතුය. මක් නිසාද යත් ඇය දේශපාලන අධිකාරිය විසින් පත්කරන ලද නිලධාරිනියකි. ඇය වැනි නිලධාරිනියකට ඉකුත් යුද්ධය වැනි ඓතිහාසික සිද්ධියක් සම්බන්ධයෙන් නීත්‍යානුකුල ක්‍රියාමාර්ග ගැනීමට විශේෂ උසාවි නිර්මාණය ගැන කතා කිරීමට වරමක් ඇත්තේ නැත. ජිනීවා යෝජනා මේ රටේ ක්‍රියාත්මක කරනවාද නැද්ද එසේ නම් ඒ කුමන ප්‍රමාණයකටද එසේත් නැත්නම් ඊට විකල්ප ක්‍රියාමාර්ගයක් ගන්නවාද නැද්ද පිළිබඳවද සාකච්ඡා කරන්නට රටේ නායකයා වන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිබේ. එම සර්ව පාක්ෂික සමුළුවේ ප්‍රධානත්වය දරන්නේද ජනාධිපතිවරයායි. තවමත් එම සර්ව පාක්ෂික සමුළුවෙන් කිසිදු තීරණයකට පැමිණ නැත. එවැනි තීන්දුවකට පැමිණ නැත්තේ එම සමුළුවේ ඇති ගැටලුවක් නිසා නොව එහි තවමත් පවත්වා ඇත්තේ සාකච්ඡා වට දෙකක් පමණක් බැවිනි.

ඒ අනුව සර්ව පාක්ෂික සමුළුවේ ප්‍රධානත්වය දරන්නේද ජනාධිපතිවරයායි. තවමත් එම සර්ව පාක්ෂික සමුළුවෙන් කිසිදු තීරණයකට පැමිණ නැත. එවැනි තීන්දුවකට පැමිණ නැත්තේ එම සමුළුවේ ඇති ගැටලුවක් නිසා නොව එහි තවමත් පවත්වා ඇත්තේ සාකච්ඡා වට දෙකක් පමණක් බැවිනි.

ඒ අනුව සර්ව පාක්ෂික සමුළුව සාකච්ඡා කරමින් සිටියදි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග නමැති නව නිලධාරිනිය එම කාරණය සම්බන්ධයෙන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන්නේ කෙසේද යන්න මුලින්ම ප්‍රශ්න කළ යුතුව ඇත. එහිදී අපට මතුවන ගැඹුරු ප්‍රශ්නය වන්නේ ආරක්ෂක හමුදාව සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකුල වගකීම ඇති ත්‍රිවිධ හමුදාවේ අණදෙන නිලධාරියා සහ ආරක්ෂක ඇමතිවරයා වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ තීන්දුවකට ප්‍රථම තමාගේ තීන්දුවක් ප්‍රකාශ කිරීමට ඇයට බලයක් හෝ වරමක් ලැබුණේ කෙසේද යන්නයි. එවැනි බලයක් හෝ වරමක් පෙනෙන්නට නැති කල ඇයගේ මෙම ප්‍රකාශය පිළිබඳව ආණ්ඩුව කෙලෙස කටයුතු කරනවාද යන්න නිරීක්ෂණය කළ යුතුය. කෙසේ නමුත් මිට දිය හැකි තවත් අලුත් අරථකථනයක් වෙයි. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූවේ ආණ්ඩුවේ සැබෑ සහ සැඟවුණු තීන්දුව බවය. එය එසේ නම් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කෙරෙන සර්ව පාක්ෂික සමුළුව කෙසේ වෙතත් ආණ්ඩුවේ සැබවින්ම තීන්දු ගැනීමේ ගුරුත්ව කේන්ද්‍රය ඇත්තේ රනිල්, චන්ද්‍රිකා, මංගල ත්‍රිත්වය අතේද එසේත් නැත්නම්
ඔවුන්ගෙන් පරිබාහිරව ජාතනතර බලවතුන්ගේ අතේදැයි යන ප්‍රශ්නය මතුවේ. කෙසේ නමුත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසූ කාරණා වඩාත් කිට්ටුවෙන් විමසා බැලීමේදි අපට පෙනෙන්නේ ඒවා සත්‍යයට කිට්ටු නොවන බවයි. ඊනියා යුධ අපරාධ පිළිබඳ වගවීමකින් තොරව මේ රටේ ජාතීන් ජාතිකත්වය හෝ ජනවාර්ගික ප්‍රජාවන් අතර සංහිඳියාවක් ඇති වන්නේ නැතැයි යන අදහස සම්පූර්ණයෙන්ම අසත්‍යයකි. සංහිඳයාව පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් කදිමතම නිදර්ශනයක් වී ඇත්තේ උතුරු අයර්ලන්තයේ මහ සිකුරාදා සාම ප්‍රඥප්තියයි. එම සාම ප්‍රඥප්තිය තුළ යුධ අපරාධ පිළිබඳ වගවීම සම්බන්ධයෙන් කිසිවක් සඳහන් වූයේ නැත. එවැන්නක් තිබිය යුතු යැයි අයි.අර්.ඒ. සංවිධානය ඉල්ලුවේද නැත. එවැන්නක් කරන්නට බ්‍රිතාන්‍ය ආණ්ඩුව ප්‍රතිඥා දුන්නේද නැත. එවැන්නක් කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉල්ලා සිටියේද නැත. කෙසේ නමුත් අයර්ලන්තයේ සංහිඳියා ක්‍රියාවලිය ඉතා සාර්ථකව ඉදිරියට ගොස් තිබේ. ඉන් පෙනෙන්නේ සංහිඳියාව සහ වගවීම එසේත් නැතිනම් අපරාධවලට වගකීම පැවරීම අතර සම්බන්ධයක් නොමැති බවයි. මේ ඊට එක් නිදසුනක් පමණකි. යුරෝපා සංගමයේ වැදගත් සාමාජිකයෙකු වෙන නේටෝ යුධ සංවිධානයේ ප්‍රබල සාමාජිකයකු වන ස්පාඤ්ඥය ඊට තවත් නිදසුනකි. ස්පාඤ්ඥයේ 1930 ගණන් වලදී සුවිශාල සිවිල් යුද්ධයක් ඇති විය. එම යුද්ධයේදී එක් පාර්ශවයකට ජර්මනියේ පැසිස්ට්වාදී බලවතා සහයෝගය දුන්නේය. අනෙක් පාර්ශවයට සෝවියට් රුසියාව සහාය දුන්නේය. මේ මහා සිවිල් යුද්ධ‍යෙන් මියගිය ගණන තවමත් අපි නොදනිමු. කෙසේ නමුත් අවුරුදු පනහක පැසිස්ට්වාදී ආඥාදායක පාලනයකින් පසුව කදිම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පත්වූ ස්පාඤ්ඤය අවුරුදු අසුවකට පෙර සිදුවූ සිවිල් යුද්ධය දෙස ආපසු හැරී බලන්නේ නැත. එහි සිදුවූ අපරධ පිළිබඳ වගවීමක්ද නැත. තවද සිවිල් යුද්ධය දෙස ආපසු හැරී බැලීම නීතියෙන් තහනම් වූවකි. එය කලාකරුවන්ට සහ ඉතිහාසඥයන්ට කළ හැකි වුවද මිය ගිය සංඛ්‍යාව බලන්නේ නැත. එහි සිදුවූ අපරාධ පිළිබඳ වගවිමක්ද නැත. තවද සිවිල් යුද්ධය දෙස ආපසු හැරි බැලීම නීතියෙන් තහනම් වූවකිත එය කලා කරුවන්ට හා ඉතිහාසඥයන්ට කළ හැකි වුවද මිය ගිය සංඛ්‍යාව නිල වශයෙන් සෙවීම නීති විරෝධිය. එවැන්නක් සිදුකළ ප්‍රසිද්ධ විනිශ්චයකාරවරයෙකුට එරෙහිව පැවරු නඩුවක් ද තිබේ. ඉන් පෙනෙන්නේද චන්ද්‍රිකාගේ තර්කය සහමුලින්ම බිඳ වැටෙන බවයි.

ලෝකයේ රටවල් වැඩි ප්‍රමාණයක ගැටුම් සම්බන්ධයෙන් වගවීමක් සිදු කළා නම් එය සිදුවූයේ දිනන්නට බැරි යුද්ධයක් ජාත්‍යන්තර මැදිහත්වීමක් සහිතව සාම ගිවිසුමක් හරහා තල්ලු වන අවස්ථාවකදීය. එවැනි අවස්ථාවන් වලදී වගවීම පිළිබඳව විශේෂ පියවර ගනු ලැබිණි. එහෙත් ලංකාවේ සිදුවුයේ එවැන්නක් නොවේ ඒ නිසාවෙන්ද වගවීම පිළිබඳ ප්‍රශ්නයක් මෙහිදී පැන නොනැගිය යුතුය.

එමෙන්ම ලෝකයේ තවත් රටවල් ගණනාවක බහුතරයන්ගේ ආඥාදායකත්වයන් තනි පක්ෂ එසේත් නැත්නම් සුදු වර්ණ භේදවාදින්ගේ හෝ මිලිටරි ආඥාදයකත්වයන් ලෙස දේශපාලන සිතියම තුළ ප්‍රතිබිම්බනය විය. ඒ ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමය පෙරළා දැමීමෙන් පසුව පෙරළා පවා වගවීම මතු කරනු ලැබුවේ නැත. වගවිම ගැන මතු වුයේ නම් ඒ දශක ගණනාවකට පසුය. ඒ ප්‍රමාදය හේතුවූයේද සංහිඳියාව සඳහා සමාජයේ තුවාල නොපෑරී දශක ගණනාවකට පසුයත ඒ ප්‍රමාදයට හේතුවුයේද සංහිඳියාව සඳහා සමාජයේ තුවාල නොපැරීම වැදගත් බැවිනි. ඒ අනුව චන්ද්‍රිකා බණ්ඩාරනායක මතුකර ඇත්තේ පුහු තර්කයකි. ඒ අනුව ඇයට පවරා ඇති වගකීම අනුව ඇය කළ යුත්තේ සංහිඳයාව සම්බන්ධ නිලධාරිනියක් ලෙස කටයුතු කිරීම මිසක පසුගිය යුද්ධය ගැන හාරා බලමින් වරදකරුවන් සෙවීම නොවේ.

එසේ නම් මෙහිදී සිදුවන්නේ කුමක් ද? චන්ද්‍රිකා බණ්ඩාරනායක චරිතයේ අමුතු දේශපාලන චර්යාවන් අපට පෙනේ. ඇයගේ සැමියා වන විජය කුමාරතුංගයන් ඝාතනය කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. ජනතා විමුක්ති පෙරමුණ පරාජයට පත් කරන ලද්දේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතායි. ඇයගේ එක් ඇසක් අන්ධ කරනු ලැබුවේ කොටි සංවිධානය විසිනි. එම කොටි සංවිධානය පරාජය කරනු ලැබුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසිනි. කෙසේ නමුත් චන්ද්‍රිකා ගේ ප්‍රධාන වෛරක්කරුවන් වූයේ ප්‍රේමදාස හා රාජපක්ෂ යන ජනාධිපතිවරුන් දෙදෙනායි. ඒ අනුව පැහැදිලිවම ඇය තුළ ඇත්තේ තමන්ට වඩා ජනාධිපති තනතුරේ කිසියම් සාර්ථකත්වයක් ලැබූ ඒ නිසාම ඉතිහාසගතවන චරිතවලට එරෙහි වීමයි.

විධායක ජනාධිපති ධූරය වාර දෙකක් දැරු ඇය සිය පියා සහ මවගේ කීර්ති නාමය නිසා ලද ජාත්‍යන්තර සබඳතා ජාලය යොදවමින් කොටි සංවිධානය පරාජය කරන්නට අවශ්‍ය සහයෝගය ලබා ගත්තේද නැත. ඇය ඒ වෙනුවට කළේ නෝවේ රටට අත වනමින් ඊනියා සාම ක්‍රියාවලියකට රට තල්ලු කිරීමයි. එහිදීද තෝරා ගත් රට ඊට ඉතාම නුසුදුසුය. ඒ නෝවේ රටේ ප්‍රබල දමිළ ඩයස්පෝරාවක් සිටිනා බැවිනි. සාම ක්‍රියාවලියකට මැදිහත් වීමට රටකට ආරාධනා කරන්නේ නම් සිය රටේ යුද්ධ කරන පාර්ශව දෙකේම ඩයස්පෝරා සිටිය යුතුය. නොඑසේ නම් ඒ එක් ඩයස්පෝරාවකටවත් ප්‍රබල බලයක් ඒ අදාළ රටේ නොතිබිය යුතුය. ඒ අනුව ජපානය වැනි රටක් ඊට තෝරා ගැනීමේ වරදක් නැත.

කෙසේ නමුත් තමන්ට ජයග්‍රහණය කරන්නට තිබූ යුද්ධයක් ජයග්‍රහණය නොකර එය ජයග්‍රහණය කළ දේශපාලන නායකත්වය සහ නිලධාරීන් හමුදා ප්‍රධානීන් වෙතින් යුධ අපරාධ සිදුවූවා යයි උපකල්පනය කර ඒවා සොයැ බැලීමට විශේෂ උසාවි කැඳවීම හෝ ඊට අත්පුඩි ගැසීම හිටපු නායිකාවකට තරම් නොහොබිනා දෙයකි.

යුද්ධයේදි වැරදි සිදුවූවා නම් ඒ වැරදි පිළිබඳ සොයා බලන්නට අවශ්‍ය කාල ප්‍රමාණය ගතවී ඇද්දැයි ප්‍රථමයෙන් සලකා බැලිය යුතුය. ඊට හේතුව නම් වෙනත් රටවල මෙවැනි දේවල් සොයා බලනු ලැබුවේ වසර ගණනාවක් අවසන් වීමෙන් පසුව වීමයි. බොහෝ රටවල ඒ පිළිබඳ සොයා බැලුවේම නැත. කෙසේ නමුත් මෙරට පැවති යුද්ධයෙන් හය වසරකට පසු එම තුවාල පෑරවීම වගකීම් විරහිත දෙයකි. දෙවනුව සිදුවූ වැරදි පිළිබඳ සොයා බැලීමට විශේෂ උසාවි අවශ්‍ය මන්දැයි තවත් ප්‍රහේලිකාවකි.

පවතින නීති පද්ධතිය සහ පවතින ආයතන පද්ධතිය හරා එනම් පවතින උසාවි යටතේ මිනි මැරුම් ස්ත්‍රී දූෂණ වැනි ඕනැම බරපතළ අපරාධයක් පිලිබඳ සොයා බැලිය හැකිය. එසේ තිබියදි චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉදිරිපත් වී ඇත්තේ ඒ වෙනුවට විශේෂ උසාවි වැඩපිළිවෙලක් වෙනුවෙනි.

මෙහි ඊළඟ කරුණ නම් යුද්ධයට අණ දුන්නවුන්ගේ විශේෂ වගකීමක් පිළිබඳ කතා කරනු ලැබ තිබීමයි. ඇය පැහැදිලිවම බලන්නේ සාර්ථක යුද්ධයකට අණ දුන්න වූවන්ට දඬුවම් කිරීමටය. සත්‍ය ලෙසම අණ දුන් පිරිසගේ අතින් වරදක් වූයේ නම් සහ ඊට දඬුවම් දෙන්නේ නම් ඔවුන් අතින් සිදුවූ මහා සත්ක්‍රියාවට දෙනු ලබන ත්‍යාගය කුමක්ද? වරදක් කළා නම් දඬුවම් දිය යුතු වේ නම් එම වරද සිදුවුයේ රට ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීමේ විශාල සද්ක්‍රියාවේ කොටසක් ලෙසින් නම් ඒ වෙනුවෙන් අණ දුන් පිරිසට චන්ද්‍රිකාගෙන් ලැබෙන ස්තුතිය කවරේද?

මේ පිළිබඳ අපේ ඈත ඉතිහාසයේ කදිම නිදර්ශණයක් ඇත. එනම් රට එක්සේසත් කළ පසු පශ්චාත්තාපි වු දුටු ගැමුණු රජතුමාට අරහත්වරුන් විසින් දෙන ලද උපදේශයයි. එවැනි දැක්මක් මේ අවස්ථාවේ ද අප යෙදවිය යුතුය. එය අපේ ඓතිහාසික සම්ප්‍රදායන් මෙන්ම ඉතිහාසයෙන් අපට උරුම වූ දෙයක් බැවිනි. එහිදී ක්‍රමවේදය ඉතා නිවැරදිය. දුටු ගැමුණු රජු කළ යුද්ධය ඉතා සාධාරණ වුවකි. ඒ එම යුද්ධය රට එක්සේසත් කිරීමට කළ යුද්ධයක් වූ බැවිනි. එම යුද්ධය තුළ සිදුවූ වැරදිවලට අරහත් වරු විසින් සමාව ලබාගෙන ලදී. ඉන් දුටුගැමුණු රජුගේ හෘද සාක්ෂිය යම් අස්වැසිල්ලක් ලැබු බව මහාවංශය සඳහන් වේ.

එවැනි තත්ත්වයන් ඉතිහාසය තුළ තිබියදි චන්ද්‍රිකා අද පවසන්නේ කොටි සංවිධානය නමැති රකුසු සංවිධානය තමන්ට පරාජය කරන්නට නොහැකි වු නමුදු මහින්ද රාජපක්ෂ විසින් පරාජය කළ බැවින්ම එය මහා වරදක් බවත් ඊට රාජපක්ෂලා සහ හමුදාව දඬුවම් විඳිය යුතු බවත් නොවේද?මෙරට පිහිටුවන විශේෂ උසාවිය ගැන කියන චන්ද්‍රිකා විසින් මතු කළ තවත් කාරණාවක් තිබේ. ඇය දෙසැම්බර් 01 දා ජනමාධ්‍ය හමුවේචි පවසා ඇත්තේ තාක්ෂණික කටයුතු සහ පරීක්ෂණ කටයුතු සඳහා විදේශීය විශේෂඥයන් උසාවිය විසින් පාවිච්චි කරනු ලබන බවයි. බැලු බැල්මට මෙහි වැදගත්කමක් නොපෙනුණද මෙය ඉතාමත්ම භයානක කාරණාවකි. ඊට හේතුව නම් මෙමඟින් කියා සිටින්නේ නැති මිනී වළවල් හෑරීම සහ ඇට කටු සොයා බැලීම සහ එම ඇට කටු බටහිර රටවල රසායනාගාර හා විශ්ව විද්‍යාල වෙත යැවීම සඳහා විදේශීය විශේෂඥයන් ලංකාවට වද්දාගනු ලබන බවයි. මෙයට ‍බෙහෙවින්ම අඩු ලංකාවේ ක්‍රියාවක් මීට සති දෙක තුනකට ප්‍රථම සිදුවිණි. ඒ 1999න් පසු ප්‍රථම වතාවට අතුරුදන් වූවන් පිළිබඳ සොයන එක්සත් ජාතීන්ගේ විශේෂ කමිටුවට මෙරටට පැමිණෙන්නට ඉඩ දීමයි. එම කමිටුව ත්‍රිකුණාමලයේ නාවුක කඳවුරට ගොස් දමිළ ත්‍රස්තවාදි රැඳවියන් තබා ගෙන සිටි වධකාගාරයක් යැයි කියන එක් කාමරයක් නම් කර තිබුණි. විශේෂ උසාවියක් යටතේ මෙවැනි දේ පිළිබඳ සොයනවා පමණක් නොව ඒ ගැන පරීක්ෂා කිරීම නියත ලෙසම සිදුවනු ඇත. සමකාලීන ලෝක ඉතිහාසය දන්නා ඕනැම කෙනෙකු දන්නා කරුණක් වන්නේ මෙම විදේශිය විශේෂඥයන්ගේ නැටුම කාගේ පදේකට සිදුවන්නක්ද යන්නයි. ඔවුන් කළ බොරුවල එක ප්‍රතිඵලයක් වූයේ ඉරාකය විසින් මහා පරිමාණ ලෙස මිනිසුන් සමූහ ඝාතනය කළ හැකි රසායනික අවි තබාගෙන සිටින්නේය යන බොරුව පතුරුවා යුද්ධයට අවශ්‍ය පරිසරට සකස් කිරීමයි. එම රසායන අවි කතාව බොරුවක් බව දැන් ඔප්පු වී ඇත. මෙවැනි තත්ත්ව සළකා බැලීමේදි මෙරට විදේශ විශේෂඥයන් තාක්ෂණික කටයුතු වලට යොදවනවා යැයි කියන්නේ අපේ රට ත්‍රස්තවාදයෙන් බේරු හමුදා නායකයින්, නිලධාරීන් සහ දේශපාලන නායකත්වයට එරෙහිව බාහිර බලවේග දැනුවත්ව මැදිහත් කර ගැනීමකි.

මේ සියල්ලෙන් සිදුවන්නේ කුමක්ද? ත්‍රිවිධ හමුදාව දුර්මුඛ වීමයි. දැනටමත් ත්‍රිවිධ හමුදාව ප්‍රතිසංවිධානය කිරීමට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා ඉදිරිපත්ව ඇත. ඒ සඳහා ඔහු රන් පවුම් මිලියන 6.6ක් තුන් වසරක් සඳහා ලබා දීමට සූදානම් බව පවසා ඇත. බ්‍රිතාන්‍ය හමුදාව යුද්ධයක් දිනන ලද්දේ දශක ගණනාවකට කලින් අයර්ලන්තයේ අයි.ආර්.ඒ සංවිධානය පවා මෙල්ල කිරිමට ඔවුන්ට හැකියාව තිබුණේ නැත. ඇෆ්ගනිස්තානයෙන් ඔවුන් පලා ගියේය. ඒ අනුව ලංකාවේ විජයග්‍රාහි හමුදාවක් ප්‍රතිසංස්කරණය කරන්නට බ්‍රිතාන්‍යයට ඇති අයිතිය කුමක්ද? බ්‍රිතාන්‍යෙය් දමිළ ඩයස්පෝරාව වැඩි වශයෙන් සිටින රටකි. එමෙන්ම සමන්තා පවර් මහත්මිය පසුගියදා උතුර නිර්හමුදාකරණ්‍ය කළ යුතු යැයි කීවාය. මේ පියවර තුන එනම් උතුර නිර්හමුදාකරණය, ආරක්ෂක හමුදාව ඊනියා ප්‍රතිසංස්කරණයට ලක් කිරිම සහ විශේෂ උසාවි හරහා පසුගිය යුද්ධයේ අණදුන් පිරිසට දඬුවම් දීම හේතු කොටගෙන ත්‍රිවිධ හමුදාවේ චිත්ත ධෛර්යය බිඳ දැමීම අනිවාර්ය වේ. තවද යුද්ධයට නිවැරදි දේශපාලන නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ සහ නිවැරදි පරිපාලනමය හා සංවිධානාත්මක නායකත්වය දුන් ගෝඨාභය රාජපක්ෂ වැන්නවුන්ගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කෙරෙන්නේ නම් එහිදී සිදුවන්නේ ලබන අවුරුද්දේ ෆෙඩරල් පන්නයේ ව්‍යවස්ථාවක් ගෙනෙන විට ඊට විරුද්ධ වීමට සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විසංවාදී මන්ත්‍රී පිරිසට දේශපාලන නායකත්වය දීමට දේශපාලන චරිත ප්‍රායෝගිකව ඉතිරි නොකිරීමය. මෙහිදී එක් අතකින් විජයග්‍රාහී හමුදාවක හිස ගසා දමන අතර අනෙක් පසෙන් ජාතික බලවේගයන්ගේ දේශපාලන හිසද ගසා දමනු ලබන බව දෙසැම්බර් 01 දා චන්ද්‍රිකාගේ ජනමාධ්‍ය සාකච්ඡාවෙන් හෙළිදරව් වන සැලසුමයි.

-ආචාර්‍ය දයාන් ජයතිලක
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)

https://www.facebook.com/yuthukama

12/02/2015

ශ්‍රී ලංකාව ගැන සමන්තා පවර් ගේ පැටිකිරිය

කතෘ:යුතුකම     12/02/2015   2 comments
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු නිත්‍ය නියෝජිත සමන්තා පවර් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියාය. ඇගේ ගමන පිළිබඳ විග්‍රහ කිරිමට ප්‍රථම ඇය කවුද යන්න පිළිබඳවත් එම ගමනේ වූ අමුත්ත කුමක්ද යන්න පිළිබඳවත් අප විසින් විමසා බැලිය යුතුය. එහිදි මෙරට දේශපාලනයේ ප්‍රකට හා පැරණි සටන් පාඨයකට අනුව යමින් අපට විමසන්නට සිදුවන්නේ ඇය කවුද? කරන්නේ මොනවාද යන්නයි.

සැබැවටම සමන්තා පවර් යනු කවරෙක්ද? ඇය හිටපු ආචාර්යවරියකි. එමෙන්ම ඇය ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ ආණ්ඩුවේ වඩාත්ම වැදගත් න්‍යායාචාර්යවරිය ලෙසද සලකනු ලැබේ. අපේ විදේශ ප්‍රතිපත්ති චින්තකයින් අතරින් ඉදිරියෙන්ම සිටින්නේ සමන්තා පවර් යැයි එහිදී බැරැක් ඔබාමා පවසා ඇත.

සමන්තා පවර්ගේ පසුබිම සලකා බැලුවහොත් ඇය පුවත්පත් කලාවේදිනියක ලෙසත් හාවඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්යවරියක් ලෙසත් කටයුතු කර තිබේ. ඇය ප්‍රසිද්ධියට පත් වූයේ රුවන්ඩා සමූල ඝාතනය ගැන ලියු පොත හේතුවෙනි.

එම පොත තුළ ඇයගේ දර්ශනය පැහැදිලිව පෙනෙන්නට තිබේ. සමන්තා පවර් විදේශ ප්‍රතිපත්ති ක්ෂේත්‍රයේ ප්‍රකට වන්නේ මානවවාදයේ නාමයෙන් නොඑසේ නම් මානව දයාවේ නාමයෙන් බටහිර මැදිහත්විම් වල න්‍යායාචාරිණිය ලෙසයි. ඇය රුවන්ඩාවේ සමූල ඝාතනය ආශ්‍රිතව මතුකළ ප්‍රශ්නය වන්නේ මෙවැනි දේ වැළැක්වීම සඳහා ඇමරිකාව ප්‍රමුඛ බටහිර ලෝකය එනම් ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් වන්නේද නැද්ද වන ප්‍රශ්නයයි. එම ග්‍රන්ථය මහින් ඇය පැවසුවේ කෙදිනක හෝ එවැනි ප්‍රශ්නයක් මතු වුවහොත් තම රැකියාව පරදුවට තබා මැදිහත්වීම වෙනුවෙන් පෙනී සිටින බවයි.

ජනාධිපති බැරැක් ඔබාමාගේ පාලන සමය තුළ ඇය මුලින්ම දරන ලද තනතුර වූයේ ජනාධිපතිවරයාගේ ජාතික ආරක්ෂාක උපදේශක තනතුරයි. එම තනතුර දැන් භාරව සිටින්නේ ඇය අද දරණ තනතුර කලින් භාරව සිටි සුසන් රයිස් මහත්මියයි. ජනාධිපතිවරයාගේ ජාතික ආරක්ෂක උපදේශක තනතුරේ සිට ඇය පත්වූයේ නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙන්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඇමරිකානු තානාපතිනිය හා නිත්‍ය නියෝජිතවරිය වශයෙනි.

අද වන විට ලංකාව සම්බන්ධයෙන් ඇයට ඇති කාර්යභාරය පිළිබඳව දන්නේ කිහිප දෙනෙකු පමණි. 2011 දි පමණ සිට එනම් පශ්චාත් යුධ කාලයේ හා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන ධූර කාලයේදී ලංකාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළා පමණක් නොව ලංකාවට පැමිණ එවකට රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡාවලටද එක්විය. ඊට අමතරව ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස නිව්යෝක් නගරයට ගිය විටත් ඇය සාකච්ඡා වලට එක් විය. කෙසේ නමුත් ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව තද ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට මුල පුරපු ප්‍රබල චරිතයක් වූයේ සමන්තා පවර්ය.

මෙය ඇයගේ දර්ශනයට අනුව සිදුවූවක් බව යැයි අපට පැහැදිලිව පෙනේ. ඒ මන්ද යත් ජනාධිපති ඔබාමා සහ ආරක්ෂක ලේකම්වරයා වූ රොබට් ග්‍රේට්ස් පවා ලිබියාවේ ඇමරිකානු ප්‍රතිපත්තියට විරුද්ධ වූ වකවානුවකදි ලෝක ජනමතය එනම් බටහිර ජනමතය සහ ජනමාධ්‍ය වල මතය පාවිච්චි කරමින් ලිබියාව තුළ මැදිහත්වීමකට ඇමරිකාව තල්ලු කළ ප්‍රබල කාන්තාවන් තිදෙනාගෙන් එක් අයෙක් වූයේ සමන්තා පවර්ය. අනෙක් දෙදෙනා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සහ එවකට ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතා වූ සුසාන් රයිස්ය.

ජනාධිපති බැරැක් ඔබාමා ගේ ඡන්ද ව්‍යාපාරයේදී හිලරි ක්ලින්ටන්ට විරුද්ධව කිසියම් ප්‍රකාශයක් සමන්තා පවර් විසින් සිදු කරනු ලැබුවද පසුකාලීනව ඉහත නම කී ප්‍රබල කාන්තාවන් තිදෙනාම විදේශ ප්‍රතිපත්ති ප්‍රශ්නවලදි බටහිර මැදිහත් විම් වලට පක්ෂව එම මැදිහත්වීම ඉදිරියට තල්ලු කරමින් කටයුතු කරන ලදහ. සමන්තා පවර් ලංකාව දෙස බැලුවේද එම ප්‍රිස්මය තුළිනි.

දේශපාලන දර්ශණය පිළිබද විශේෂඥවරියක වන ඇය වැනි දක්ෂ අයෙකුට එරෙහිව මුහුණ දීමට ඉකුත් ආණ්ඩුව ඉදිරිපත් කළේ ඉතා නුසුදුසු හා දුර්වල චරිත දෙකකි.

මේ අනුව සමන්තා පවර්ගේ ලංකා ගමන සම්බන්ධයෙන් කියවුතු ප්‍රධාන දෙය නම් එය රාජ්‍ය තාන්ත්‍රික නියාමයෙන් හා සම්මතයන් උල්ලංඝනය කළ ගමනක් බවය.

මා එසේ කියන්නේ කුමක් නිසාද? අපි දන්නා පරිදි සමන්තා පවර් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු නිත්‍ය නියෝජිතවරියයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තානාපතිවරයා කිසියම් රටකට තානාපතිවරයෙකු නොවේ. එම සංවිධානය වනාහි අන්තර් රාජ්‍ය හෙවත් අන්තර් ආණ්ඩු සංවිධානයකි. එය හදුන්වනු ලබන්නේ බහුපාර්ශ්වික සංවිධානයක් ලෙසිනි. එම සංවිධානයේ නිලධාරීන් විවිධ රටවලට ගමන්ගන්නා අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයට තානාපතිවරයෙකු ලෙස සිටිනා පුද්ගලයකු වෙනත් රටකට ගමන්ගන්නේ නිශ්චිත තත්ත්වයන් දෙකක් තුළ පමණි. ඉන් එකක් නම් පෞද්ගලික නිවාඩුවක් සදහායි. දෙවනුව යම් අසල්වැසි රටක තානාපතිවරයෙකු නැතිනම් නිව්යෝක් නගරයේ සිටින තානාපතිවරයාට එම වගකිම භාරදෙනු ලැබේ. නිදසුනක් ලෙස නිව්යෝක් නගරයේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ ලංකාවේ නියෝජිතයා ලතින් ඇමරිකාවේ රටවල් දෙක තුනකත් තානාපතිවරයා ලෙස කටයුතු කරනු ලබයි. එයට හේතුව නම් එම රටවල ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයක් හෝ තානාපතිවරුන් නොසිටින බැවිනි.

කෙසේ නමුත් ලංකාවේ තත්ත්වය එය නොවේ. ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයක් ඇති අතර තානාපතිවරයෙකුද සිටී. ඒ අනුව එක්සත් ජාතීන්ගෙ සංවිධානයේ ඇමරිකානු තානාපතිනිය හා නිත්‍ය නියෝජිතයා වන සමන්තා පවර්ට පෞද්ගලික හේතු කාරණා හැරුණු විට නිල සංචාරයක් ලංකාවේ කිරීමට සැබවින්ම අයිතියක් නැත. එය රාජ්‍ය තාන්ත්‍රික සම්මතයන් උල්ලංඝනය කිරීමකි. එහෙත් ඒ ගමනින් ලංකාවේ ආණ්ඩුවට නම් එවැනි ප්‍රශ්නයක් මතු වූ බවක් නම් නොපෙනේ.

සමන්තා පවර් ලංකාවට පැමිණියාට පසු ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද හමුවිය. ඊට ප්‍රථම ඇය යාපනයටද ගියාය. ඇයගේ ගමනේ පළමු පියවර නම් උතුරට යාමයි. උතුරට ගොස් ඇය නිල වශයෙන් මුණ ගැසුනේ කවුද? ඇය එහිදී සිටියේ කුමක්ද? ඇය මුණ ගැසුණු පුද්ගලයින් ඇයට කියා සිටියේ කුමක්ද? මේ සියල්ල මාධ්‍ය මගින් අපට දැනගන්නට හැකිවිය. ඇය උතුරු පළාත් මහ ඇමතිවරයා හමුවිය. විග්නේෂ්වරන් යනු තමාගේ පක්ෂය තුළ පවා ආන්දෝලනයකට ලක් වු අයෙකි. ඔහු සමන්තා පවර්ට කියා සිටියේ දෙමළ රැඳවියන් සියලු දෙනා නිදහස් කළ යුතු බවත් ඒ පිළිබඳ ලංකා ආණ්ඩුවට බලපෑමක් සිදු කළ යුතු බවත්ය.

අනතුරුව ඇය හමුවූයේ උතුරු පළාත් ආණ්ඩුකාරවරයායි. නොවැම්බර් 23 වන දා මෙරට ඉංග්‍රීසි පුවත්පතකට පළවූ වාර්තාවකට අනුව ඇය පවසා ඇත්තේ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ තමා එකඟ වූ දෙයක් වන්නේ උතුරු පළාත නිර්හමුදාකරණය කිරිම තව දුරටත් ප්‍රමාද කළ නොහැකි කාරණාවක් යන්නයි. රටක යම්කිසි පළාතක් නිර්හමුදාකරණයට පාත්‍ර විය යුතු යැයි පැවසීම එම පළාතේ ආණ්ඩුකාරවරයාට අයිති තීන්දුවක් නොවේ. මෙහිදී ඊටත් වඩා වැදගත් කාරණය වන්නේ එය කිසිම රටක තානාපතිවරයෙකුට භාර මාතෘකාවක් නොවන බවය.

ඉකුත් එජාප ආණ්ඩු කාලයේ බටහිර තානාපතිවරයෙක් සහ තානාපතිකාර්යාලයේ ඉහළ නිලධාරියෙක් රටින් පිටමං කරනු ලැබුවේ මීට වඩා අඩු ලංසුවේ ප්‍රකාශ සිදුකිරීම හේතුවෙනි.

ඒ අතර ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේ කෙවින්ස් ස්කොට් නමැති නිලධාරියා පැය 24ක් ඇතුළත ගුවන් යානයක පටවා රටින් පිටත් කරනු ලැබුවේ 83 කළු ජූලිය සම්බනධයෙන් ආණ්ඩුව විවේචනය කළ බැවිනි. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ගේ කාලයේදී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා වන ඩේවිඩ් ග්ලැඩ්සන් රටින් පිටුවහල් කරනු ලැබිණි. එදා එජාප ආණ්ඩුවේ සහ අද එජාප ආණ්ඩුව අතර වෙනස නම් ඇමරිකානු තානාපතිවරියකට ඇයට අයිති නැති ගමනකදි මෙරට උතුරු පළාත නිර්හමුදාකරණය පිළිබඳ කතා කරන්නට ඉඩකඩ තබමින් ආණ්ඩුව ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීමය. උතුර නිර්හමුදාකරණය සම්බන්ධයෙන් සමන්තා පවර් කළ අදහස සම්පූර්ණයෙන්ම වැරදි අදහසකි. ඒ බෙදුම්වාදි යුද්ධයක් ඇමරිකාවේ අවසන් වූයේ 1865 දීය. ඒ නූතන යුගයේ කීර්තිමත්ම දේශපාලන චරිතයක් වන ඒබ්‍රහම් ලින්කන් දකුණේ දේශපාලන හිතවතකු විසින් ඝාතනය කරනු ලැබුණි. බෙදුම්වාදි දකුණු ප්‍රාන්තය යටපත් කර ඇමරිකාව යළිත් එක්සේසත් කළ උතුරේ හමුදාව එම දකුණු ප්‍රාන්ත වලින් ඉවත් කරවන්නට වසර දොළහක් ගත විය. ඇමරිකාවේ බෙදුම්වාදී දකුණු ප්‍රාන්ත වෙනත් භාෂාවක් කතා කළ වෙනත් ආගමක් ඇදහූ වෙනත් අනන්‍යතාවක් සහිත ප්‍රජාවක් නොවීය. තවද එම දකුණු ප්‍රාන්තයේ අසල් වැසි රට වශයෙන් අපට තමිල්නාඩු ප්‍රාන්තය තිබෙන්නාක් මෙන් අතුරු ප්‍රාන්තයක් නොතිබුණි. කෙසේ නමුත් පරමාදර්ශි යැයි කියා ගන්නා ඇමරිකාව යුද්ධයකට පසු අවරුදු දොළහක් යන තුරු හමුදාව ඉවත් නොකළේය. තවම ලංකාවේ බෙදුම්වාදී යුද්ධය නිමවී අවුරුදු හයකි. ලංකාවේ එම යුද්ධයට උල්පත වූ උතුර සහ තවමත් බෙදුම්වාදයට සහය දෙන මහ ඇමතිනියක් සිටින තමිල්නාඩුව අතර ඇත්තේ සැතපුම් දහනවයක් පමණි. එවැනි පළාතකින් හමුදාව ඉවත් කළ නොහැකිය. සමන්තා පවර් උතුර නිර්හමුදාකරණය කළ යුතු යැයි කීමෙන් අපට ඇමරිකාවේ සැබෑ සිතිවිල්ල පෙනී යයි.

මෙහිදි සමන්තා පවර් මුණ ගැසුණු තවත් සංවිධානයක් වූයේ ටි එන් ඒ සංවිධානයයි. ටීඑන්ඒ සංවිධානයේ නායකයා සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා වන ආර්.සම්බන්ධන් මහතා ඇයට පවසා ඇත්තේ ජිනීවා යෝජනාවලිය ක්‍රියාත්මක කිරිම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හා ඇමරිකා එක්සත් ජනපදයේ තෙරපුමක් තල්ලුවක් ආණ්ඩුවට ලබා දිය යුතු බවය. ඇමරිකාවේ තෙරපුමක් නොමැතිව එක්සත් ජාතීන්ගෙ සංවිධානය කටයුතු නොකරන බවත් මේ දෙකෙහිම තෙරපුමක් නොමැතිව ලංකා ආණ්ඩුව ජිනිවා යෝජනා ක්‍රියාත්මක නොකරන බැවින් එම යෝජනා යුහුසුළුව පරිපූර්ණව ක්‍රියාත්මක කිරීම ගැන ඇමරිකාව වගබලා ගත යුතු බවත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පවසා තිබේ.

අනතුරුව සමන්තා පවර් ලංකාවේ අනෙකුත් නායකයින්ද මුණ ගැසුණාය. ඒ අවස්ථාවේ ඇය පැවසුවේ ලොව අන් කිසිදු රටකට කල් පැවතෙන සංහිඳියාව කේන්ද්‍ර කර ගනිමින් සාධනීය විපර්යාසයක් ලංකාවේ සිදුව ඇති බවයි. වෙනත් ආකාරයට කියනවා නම් එය ඇමරිකාවේ දිලිසෙන ජයග්‍රහණයක් බවයි. කෙසේ නමුත් විශ්ලේෂණාත්මකව බැලීමේදි අපට පෙනී යන්නේ ලංකාව අද කරන දේ කරන්නට තරම් ලෝකයේ වෙන කිසිදු රටක් අදුරදර්ශී වී නැති බවයි. සමන්තා පවර් තානාපතිවරියගේ ගමන දෙස අප බැලිය යුත්තේ සමස්ත චිත්‍රයේ කොටසක් ලෙසය. එනම් ඈත අතීතයට යෑම නොව ඊට සමකාලීනව, සමගාමීව හා සමාන්තරව දිවෙන අනෙකුත් ක්‍රියාවලි සමගිනි.

සමන්තා පවර් ශ්‍රී ලංකාවට ඒමට දිනකට දෙකකට කලින් තවත් පුදුම සහගත දෙයක් සිදුවුණි. එනම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් වූ විශේෂ කාර්ය සාධක බළකායක් ලංකාවට පැමිණීමයි. ඔවුන් අවසන් වරට ලංකාවට පැමිණියේ 1999 වසරේදීය. ඉන් අදහස් කළේ අවුරුදු පහළොවක් තිස්සේ කිසිදු ලංකා ආණ්ඩුවක් එම කණ්ඩායමට පැමිණෙන්නට ඉඩ ලබා නොදුන් බවයි. ඊට හේතුවක් තිබිණ. ඒ යුධ අපරාධ පිළිබඳ තොරතුරු සොයන කණ්ඩායමක් මේ වෙලාවේ ලංකාවට වැද්දා ගැනීම නුවණට නුහුරු බව එම ආණ්ඩු තේරුම් ගත් බැවිනි. එමෙන්ම ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේ සිටි නියෝජ්‍ය සභාපතිවරයෙකු ලෙස මා දන්නා කරුණක් වන්නේ මෙවැනි විශේෂඥ කණ්ඩායම්වලට තමන්ගේ ප්‍රඥප්තීන් වලින් එහා කටයුතු නොකළ හැකි බවයි.

එහිදි අතුරුදන් වුවන් ගැන සොයනවා නම් කටයුතු කළ යුත්තේ ඒ සම්බන්ධයෙනි. එපමණක්ද නොව අදාළ රටේ කිසියම් ආයතනයක් හෝ ක්‍රියාවලියක් එම මාතෘකාව සම්බනධයෙන් ක්‍රියාකාරී වී ඇත්නම් එම දේශිය යාන්ත්‍රණය සමඟ මුණ ගැසී කතිකා කරගැනීම ඔවුන්ගේ වරමේ කොටසකි. එහෙත් අතුරුදහන් වූවන් ගැන රජයෙන් පත්කරනු ලැබූ මැක්ස්වෙල් පරණගම කොමිසමේ නිලධාරීන් කිසිවකු ඔවුන් මුණ ගැසී නැත. එපමණක් ද නොව මැක්ස්වෙල් පරණගම කොමිසමේ නිලධාරීන් කිසිවකු ඔවුන් මුණ ගැසුනේ නැත. එපමණක්ද නොව මැක්ස්වෙල් පරණගම කොමිසමට එරෙහිව එය අත්හළ යුතු බවත් එම ලිපිගොනු

තමන්ට භාර දියු යුතු බවත් එක්සත් ජාතීන්ගේ එම කණ්ඩායම සිය අවසන් පුවත්පත් සාකච්ඡාවේදී සඳහන් කළහ. එයත් තම නිල වරමෙන් විශාල ලෙස පිට පැනීමකි.

මෙම එක්සත් ජාතීන්ගේ කණ්ඩායමට නාවික හමුදාවේ කඳවුරු පරීක්ෂා කරන්නට දොර විවර කළේ ශ්‍රී ලංකා ආණ්ඩුව විසිනි. ඉරාකයේ හා අනෙකුත් රටවල පාඩම් ලංකාව ඉගෙන ගෙන නැත. ඒ බටහිර රටවල් විසින් මුදල් දී මෙහෙයවන එම එක්සත් ජාතීන්ගේ විශේෂ පරික්ෂණ කණ්ඩායම් ඒ ඒ රටවල කඳවුරු පරීක්ෂා කරමින් බොරු චෝදනා නගමින් ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ සම්ප්‍රදායක් ඇති බවයි. එම ව්‍යාජ සාක්ෂි මත අදාළ රට තවදුරටත් උගුලට හසු කර ගැනීම ඉතිහාසය තුළින් ඔප්පු වේ.

ඒ අනුව ඉන්දියාව වැනි බටහිර හිතෛශි රටක් පවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කණ්ඩායම් වලට තම හමුදා කදවුරු පරීක්ෂා කරන්නට ඉඩ දෙන්නේ නැත. එහෙත් ලංකා ආණ්ඩුව එවැන්නකට ඉඩදී තිබේ.

මෙහි ප්‍රතිඵලය කුමක්ද?

අතුරුදහන් වූවන් පිළිබදව තොරතුරු සොයන්නට වරමක් සහිතව පැමිණි එක්සත් ජාතීන්ගේ කණ්ඩායම නිල වාර්තාවක් නිකුත් කර ඇත. එම නිල වාර්තාව ඔවුන්ගේ නිල වරමින් බොහෝ ඇතට ගොස් ඊනියා යුධ අපරාධ පිළිබද ලංකාවේ ඉදිකළ යුතු අධිකරණ යාන්ත්‍රණයේ ස්වාභාවය පිළිබද විශාල නිර්දේශයක් කර ඇත. ඔවුන්ගේ වාර්තාවේ ඡේද ගණනාවක් ඇත්තේ ඔවුන්ට කිසි ලෙසකින් වත් අදාළ නැති කාරණායි. වෙනත් රටවල අධිකරණ ක්‍රියාවලියක් ගැන කතා කරන්නට අතුරුදන් වූවන් පිළිබද තොරතුරු සොයන එක්සත් ජාතීන්ගේ පර්යේෂණ කණ්ඩායමට අයිතියක් නැත. එහෙත් ඊට ප්‍රතිචාර දැක්වීමට

ආත්ම ගෞරවයක් හා කොන්දක් ඇත්තන් නැති නිම රටේ අවාසනාවකි. මේ අනුව සමන්තා පවර් ගේ ගමන ගැන එක්සත් ජාතීන්ගේ කණ්ඩායම ගත් එක් ක්‍රියාවලියක ධාවන පථයන් දෙකක් ලෙස පෙන්වා දීමට හැකිය. මෙහි තුන්වන හා හතරවන ධාවන පථ පිළිබද කතා කිරීමට තවත් අවස්ථාවකදි කළ යුතු වුවද මේ මොහොතේ එය සිහිපත් කළ යුතුය. එනම් තුන්වන ධාවන පථය යුහුසුළුව නව ව්‍යවස්ථාවක් ගෙන ඒමයි. හතරවන ධාවන පථය අයවැයයි.

මේ අනුව සමන්තා පවර්ගේ ගමන අතුරුදන්වූවන් පිළිබ එක්සත් ජාතීන්ගේ කණ්ඩායමේ පැමිණීම හා වාර්තාව නව ව්‍යවස්ථාවට ගෙන එමින් ඒකිය රාජ්‍ය සංකල්පය සංහිදියාවේ නාමයෙන් ගෙන ඒම සහ ආර්ථික ඩයස්පෝකරණයට හා විජාතිකකරණයට විවෘත කිරීම යනු ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමේ බහුවිධ මූලෝපායික සැලැස්මේ විවිධ ධාවන පථයන්ය. මෙම ව්‍යාපෘති සියල්ල හමාර වූවාට පසු ලංකාවේ චිත්‍රය සම්පූර්ණයෙන්ම වෙනස් වී මෙම දිවයිනේ ප්‍රජාවන් අතර ඇති ඓන්ද්‍රීය ස්වාභාවික බල තුලනය සහමුලින්ම වෙනස් වී යනු ඇත. ඒ අනුව මෙම දිවයින ඩයස්පෝරාව ප්‍රබලව සිටින බටහිර රටවල් මෙන්ම තමිල්නාඩුව සදහටම නිදන්ගත වී තිබෙන ඉන්දියාව අතර බලතුලනය සම්පූර්ණයෙන් වෙනස් වනු ඇත. දැනටමත් ශ්‍රී ලංකාවේ දෛවය ඇමරිකාවට ඉන්දියාවට පැවරීමේ ව්‍යාපෘතියක් මෙම ආණ්ඩුව ක්‍රියාත්මක කරන බව මේ සියල්ල තුළින් පැහැදිලිය.
 
-දයාන් ජයතිලක 
:රිවිර

යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

11/15/2015

මෙවර අය වැය කොයිබටද?

කතෘ:යුතුකම     11/15/2015   No comments
අළුත් ආණ්ඩුවේ අය වැය පාර්ලිමේන්තුවට ගෙන ඒමට ඇත්තේ තවත් දින කිහිපයකි. මේ වන විට ජනමාධ්‍ය මඟින් අසන්නට ලැබෙන කරුණු කාරණා අනුවත් ඒ පිළිබඳ දළ චිත්‍රයක් ලබා ගැනීමට අපට අසීරු නැත. මෙම දළ චිත්‍රය අපට කියා පාන්නේ මෙවර අයවැය කිසියම් අර්බුදකාරී තත්ත්වයක් තුළ ඉදිරිපත් කරන්නක් බවය.

මෙයින් අදහස් කරන්නේ ආර්ථික කඩා වැටීමක් ඇති වේ යන්න නොවේ. අර්බුදය හා කඩා වැටීම යන්න දෙකකි. මෙහිදී අපට පැහැදිලිවම දිස්වන්නේ කිසියම් අර්බුදකාරී අවපාතයක ගුණාංග ලක්ෂණයන්ය.

ලංකාව මෙන්ම ලෝකයේ සෙසු ආර්ථිකයන් පිළිබඳ ඇගයීමක් කරනා මූඩිස් (Moody’s) ආයතනය සහ ෆිච් රේටින්ස් (Fitch Rations) වැනි ආයතන ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ ලබා දී ඇත්තේ විවේචනාත්මක මෙන්ම නිශේධනාත්මක සංඥාවන්ය. එම ජාත්‍යන්තර ආයතනවල සංඥාවන් ප්‍රශ්න කරමින් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාද අදහස් දක්වා ඇත.

මේ වන විට ශ්‍රී ලංකා ආර්ථිකයට සිදුවී ඇත්තේ කුමක්දැයි අප විමසා බැලිය යුතුය. එහිදී අපට දැකගත හැක්කේ මාස ගණනක් තිස්සේ රුපියලේ අගය පහත වැටෙන ආකාරයයි. රුපියලේ අගය වූ කලි ආර්ථිකයේ සුවය හා ශක්තියේ යම් දර්ශකයකි. එය උණ කටුවක පෙනෙන වටිනාකම වැන්නකි. ඒ අනුව ඩොලරයට සාපේක්ෂව රුපියල සැලකිය යුතු ලෙසින් පහත වැටිම සවර ගණනාවකට පසු අප දකින දෙයකි.
ඉකුත් රජය යටතේ රුපියලේ අගය එක්තරා මට්ටමක සිට පහත වැටෙන්නට එම ආර්ථිකය මෙහෙයවූ නිලධාරීන් ඉඩ දුන්නේ නැත. රුපියලේ අගය මේ අයුරින් පහත වැටෙන්නට වත්මන් ආණ්ඩුව ඉඩ දීමෙන් පෙනෙන්නේ එක්කෝ ආණ්ඩුවට එය වැළැක්වීමය වුවමනාවක් නොතිබූ බව හෝ එය වැළැක්වීමට හැකියාවක් නොතිබූ බවයි. මෙම ක්‍රියා පිළිවෙත තුළ ආර්ථිකයක ශක්තිමත් බව දියාරු වන අතර ඉන් විදහා දැක්වෙන්නේ ආර්ථිකයේ සැළකිය යුතු ප්‍රශ්නයක් ඇති බවය. මෙහිදී රුපියලේ අගය ස්ථාවර වන්නේ කොතනකදී දැයි අප නොදනිමු. එහෙත් රුපියලේ අගය පහත වැටීමෙන් භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාමක් එනම් ජිවන මිලට අලුත් බරක් එකතු වීම වළක්වන්නට නොහැකිය.

මේ අතර ලෝක බැංකුවේ ව්‍යවසායකත්වයට පිළිබඳ වාර්තාවට අනුව ආයෝජකයින්ට වැදගත් සංඥාවක් ලබා දී ඇත. මෙම වාර්තාවෙන් කෙරෙන්නේ ලෝකයේ විවිධ රටවල ව්‍යවසායකත්වයට හිමි වන පහසුව පිළිබඳ තොරතුරු ලබා දීමයි. කෙසේ නමුත් එම වාර්තාවේ සඳහන් සමහර දත්තයන් තරමක් පුදුම සහගතයි. ලංකාවේ දේශපාලන ඉතිහාසය ගත් විට අපට පෙනෙන්නේ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් බලයට පත්වූ විට ව්‍යවසායකත්වයට පහසු තත්ත්වයක් ඇති බවත් ආයෝජනයට වැඩි දිරි ගැන්වීමක් ඇති බවත්ය. එහෙත් ලෝක බැංකුවේ මෙරට ව්‍යවසායකත්ව වාර්තාව අනුව පෙනෙන්නේ පසුගිය ආණ්ඩුව යටතේ නව ආණ්ඩුවට වඩා පහසු වාතාවරණයක් ව්‍යවසායකත්වයට හිමිව තිබූ බවයි. පළමු වතාවට එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂික ආණ්ඩුවක් යටතේ ව්‍යවසායකත්වයට ආයෝජකයාට තිබෙන පරිසරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් යටතේ තිබු පරිසරයට වඩා අවාසිදායක එකක් බව ලෝක බැංකු වාර්තාවෙන් පෙන්නුම් කෙරේ.

මෙම සංඥාවන්ට අමතරව ලංකා ආණ්ඩුවට සම්බන්ධිත ප්‍රධාන ස්වායත්ත බුද්ධි මණ්ඩලය වන ප්‍රතිපත්ති අධ්‍යයන යතනයේ (I.P.S) නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය වන ආචාර්ය දුෂ්නි වීරකෝන් විසින් මෑත කාලයේ ඉදිරිපත් කළ වාර්තාවක් පුවත්පත්වල සිරස්තල ලෙස පළවුණි. ඇය කියා සිටියේ විදේශ ණය බර විශාල ලෙස වැඩිවී ඇති බවත් එම විදේශ ණය බර නිසා ආර්ථිකයට ඇති වී ඇති අහිතකර බලපෑමෙන් මිදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතීමට ආණ්ඩුවට සිදුවිය හැකි බවයි. කෙසේ නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මතට හේත්තු විමට ආණ්ඩු වැඩි කැමැත්තක් දක්වන්නේ නැත. එවැන්නක් කළ යුතු යැයි ආර්ථික විශේෂඥයින් සාමාන්‍යෙයන් යෝජනා කරන්නේ ච නැත. ඊට හේතුවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යම්කිසි සහයෝගයක් දෙන්නේ නම් දැඩි හා දරුණු කොන්දේසි ඒ රට මත පටවන බැවිනි. විශේෂයෙන්ම එම කොන්දේසි වලින් බැට කන්නේ ඇති හැකි පැළැන්තිය නොව මධ්‍යම පැළැන්තිය සහ නැති බැරි පැළැන්තියයි.

කෙසේ නමුත් ආචාර්ය දුෂ්නි වීරකෝන් පවසන්නේ පෞද්ගලික මුදල් වෙළඳපොළට නොගොස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහයෝගයක් එනම් ණයක් ලබා ගැනීම අවශ්‍ය වන තරමට ම ලංකා ආර්ථිකය අර්බුදයකට මුහුණ දෙනු ලබන බවයි. සමස්තයක් ලෙස මෙම සියලු සංඥා සහ සළකුණු සැළකිල්ලට ගැනීමේදි පෙනෙන්නේ ආර්ථිකයේ සවිමත් බව සහ සෞඛ්‍යය එතරම් හොඳ තත්ත්වයක නැති බවත්, මෙම ආර්ථික රෝගී තත්ත්වයෙන් ගොඩ ඒමට මෙම අයවැයෙන් ආණ්ඩුව යම් යම් පියවර ගැනීමට ඉඩ ඇති බවත්ය. ඒ පිළිබඳ ජනමාධ්‍ය ඔස්සේ සැලවන කරුණු වලට අනුව මේ පවතින තත්ත්වය හොඳ අතට ඒමකට වඩා ජනතාවට වඩාත් අපහසු තත්ත්වයකට මුහුණ දීමට වුවද සිදුවිය හැකිය.

මේ අනුව මෙවර අයවැය පරතරය පියවීම් සඳහා ආණ්ඩුව ගන්නට යන පියවර පිළිබඳව ආණ්ඩුවට හිතවත්කම් ඇති ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පත් වල මේ ගැන යම් තොරතුරු පළ වී ඇත. එම තොරතුරු වලට අනුව යන්නේ නම් මෙවර අයවැය ආශ්‍රිතව හා එය පසුබිම් කරගෙන එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුව ඉතාම අන්තවාදී ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නට යන බවත් පෙනේ. ඉරිදා ඉංග්‍රීසි පුවත්පතක ලිපි දෙකක පළ වූ ආකාරයට මෙම ප්‍රතිසංස්කරණ වැඩිපුර බලපාන්නේ රටේ හදවත වන කෘෂිකාර්මික ක්ෂේත්‍රය සහ ගැමි ගොවි ජනතාවටය.

වත්මන් ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා වන රවි කරුණානායක මහතා ප්‍රතිසංස්කරණ දෙකක් යෝජනා කර ඇති අතර , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් තවත් එක් පියවරක් යෝජනා කර ඇත. මෙම කරුණු තුනම එක් වැඩපිළිවෙලක කොටස් ලෙස අපට තේරුම් ගත හැකිය. එහිදී රවි කරුණානායක මහතා විසින් යෝජනා කරන ලදැයි පෙර කී ඉරිදා ඉංග්‍රීසි පුවත්පතේ දේශපාලන ලිපියක පළවූයේ පොහොර සහනාධාරය ඉවත් කිරීමත් ඒ වෙනුවට යම්කිසි මුදලක් ගොවි ජනතාවට ලබා දිමත්ය. එය පළමුවන විපර්යාසයයි. දෙවන විපර්යාසය වන්නේ ඊට වඩා භයානක දෙයකි. එය නම් 1972 සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ සමසමාජ පක්ෂයේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා විසින් ක්‍රියාත්මක කරනු ලැබූ ඉඩම් ප්‍රතිසංස්කරණය සහ මුලින්ම නොපිට පෙරළා දැමීමයි. එම ඉංග්‍රීසි පුවත්පතට අනුව රවි කරුණානායක මුදල් ඇමති වරයා යෝජනා කරන්නේ 1972 අක්කර පනහේ සීමාව සහමුලින්ම ඉවත් කළ යුතු බවත්, එම සීමාව ඉහළ දැමීම නොව, සීමා විරහිතව ඉඩම් පවරා ගැනීමට අයිතිය ලබා දිය යුතු බවත්ය. මෙය තවත් ආකාරයකට කියන්නේ නම් 1972 ට පෙර පැවති තත්ත්වයට යළි යාමකි.

ඉහත පියවර දෙකට අමතරව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා තුන්වෙනි ප්‍රතිසංස්කරණයක් යෝජනා කර ඇති බව ඉහත පුවත්පතෙහිම සඳහන් වේ. එම ප්‍රතිසංස්කරණය වන්නේ විදේශිය කර්මාන්තකරුවන්ට සහ විදේශිකයින්ට මෙරට ඉඩම් අත්පත් කරගැනීමට තිබෙන සියලු සීමා බන්ධන ඉවත් කර දැමිමයි. මෙම යෝජිත පියවර තුන පිළිබඳ අප විසින් විවේචනාත්මකව විමසා බැලිය යුතුය.

පොහොර සහනාධාරය ඉවත් කොට ඒ වෙනුවට කිසියම් මුදලක් අතට දීමෙන් ගොවියාට සිදුවන වාසියක් නැත. එයට හේතුව නම් රුපියලේ අගය සිඝ්‍රයෙන් පහත වැටෙන තත්ත්වයක් තුළ අතට ලැබෙන මුදලේ වටිනාකම පහත වැටීම නොවැළැක්විය හැකි බැවිනි. මෙහිදී ගොවි ජනතාවට වාසි සහගත වන්නේ පොහොර සහනාධාරය දිගටම ලබා දීමයි. එම පොහොර සහනාධාරය ජනතාවට ලබාදෙන ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි. එම පියවරට වඩා අප අවධානය යොමු විය යුතු කරුණු දෙක වන්නේ 72 ඉඩම් ප්‍රතිසංස්කරණය නොපිට පෙරළා ඉඩම් සීමාව ඉවත් කිරිමත් , විදේශිකයින්ට ලංකාවේ ඉඩම් හිමිකර ගැනීමට ඇති සියලු සිමා බන්ධන බවත් කිරීමත්ය.

1972 ඉඩම් ප්‍රතිසංස්කරණයට පසුබිම් වූ ප්‍රධාන කරුණු කාරණා දෙකක් තිබේ. එහි පළමු කාරණාව වූයේ 1956 බණ්ඩාරනායක මහතා ගේ මැතිවරණ ප්‍රකාශනයේ ඉඩම් ප්‍රතිසංස්කරණයකට සහ වතුකරයේ තිබුණු තත්ත්වය පරිවර්තනයට ලක් කිරීම සඳහා පොරොන්දු දි තිබිමයි. පැවති වතු රාජ්‍ය වෙනස් කිරීමට බණ්ඩාරනායක මහතාගේ 56 මැතිවරණ ප්‍රකාශනයේ පොරොන්දුවක් දී තිබුණත් එය ඉටු කරගන්නට නොහැකි විණි. ඒ 1959 වසරේ බණ්ඩාරනායක මහතා ඝාතනයට ලක්වීමයි. එහෙත් බණ්ඩාරනායක මහතා ගේ ආණ්ඩු කාලයේ පිලිප් ගුණවර්ධන නම් කීර්තිමත් දේශපාලන නායකයා විසින් ඉඩම් පනත ගෙනවිත් යම් ප්‍රගතිශීලී වෙනසක් ගොවි ජනතාව වෙනුවෙන් ඉටු කරන ලද්දේය. මෙය එක් සාධකයකි. 1972 ඉඩම් ප්‍රතිසංස්කරණයට මුල් වූ වැදගත්ම සාධකය වූයේ 1971 වසරේ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ලංකාවේ සිදුවූ මහා පරිමාණ තරුණ කැරැල්ලයි. එහිදී ගැමි ගොවි පසුබිමකින් පැමිණි උගත් තරුණ තරුණියන්ගේ නැගිටීමක් දක්නට ලැබුණි. එම කැරැල්ලෙන් සමාජයට සහ රාජ්‍ය බලයට කොතරම් කම්පනයක් ඇතිවී දැයි කිවහොත් එම කැරැල්ලට හේතු සොයා බලා ඒවාට පිළියම් යෙදීම සඳහා මහා පරිමාණ ප්‍රතිසංස්කරණ දෙකක් සිදු කළේය.

ඉන් එක් ප්‍රතිසංස්කරණයක් වන්නේ සොල්බෙරි ව්‍යවස්ථාව යටතේ ශ්‍රී ලංකාව එවකට බ්‍රිතාන්‍ය කිරිටයට සම්බන්ධ විම සහ බ්‍රිතාන්‍ය උසාවියට සමබන්ධ වීම නිසා රටේ ස්වාධිනත්වය හා ස්වෛරිත්වයට යම් යම් සිමාවන් වූ බව පැහැදිළි විය. ජනතා විමුක්ති පෙරමුණේ පන්ති පහෙන් පළමුවෙනි පන්තියෙහි විවේචනය කරනු ලැබුවේ 1948 ලැබුණු නිදහසේ බොල් බව යි. ඒ නිදහස් ස්වෛරී ස්වාධින බව සැබැවක් කිරිම සඳහා 1972 ජනරජ ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරනු ලැබූහ.

අද ලංකාවේ අපට පෙනෙන්නේ විදේශීය නඩුකාරවරුන්, විදේශීය නිතීඥවරුන්, විදේශීය පරීක්ෂකවරුන් ඇතුළත් කරගත් විශේෂ උසාවියක් ක්‍රියාත්මක කර හමුදාවට දඬුවම් කිරීමේ ප්‍රයත්නය හරහා 1972 ජනරජ ව්‍යවස්ථාවේ අර්ථය නොපිට පෙරළීමට සහ ජනරජයට කලින් තිබූ තත්ත්වයටම යළිත් යෑමට ගන්නා උත්සාහයකි.

1971 කැරැල්ලෙන් පසුව දේශපාලන අධිකරියේ සිදූවූ ඊළඟ මහා පරිමාණ ප්‍රතිසංස්කරණය සිදුවූයේද එම වසරේදීය. එය නම් ඉඩම් ප්‍රතිසංස්කරණයයි. එය පියවර දෙකකින් සිදුවුණි. එකක් නම් 1972 අක්කර පනහේ ඉඩම් සීමාන ඉදිරිපත් කිරීමයි. අනෙක නම් 1975 වසරේ වතු අධිරාජ්‍ය , එනම් පිටරට කොම්පැනි වලට අයිති වූ තේ වතු රජය සතු කිරීමයි.

අද වන විට වත්මන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යෝජනා කරන්නේ මේ මහා ප්‍රතිසංස්කරණ දෙකම වළලා දැමීමටය. ඒ ඉඩම් ප්‍රතිසංස්කරණය පසුපස වු තර්කය වූයේ ලංකාවේ ගම්බද ප්‍රදේශ වල ඇති නැති පරතරය අනවශ්‍ය ලෙස විශාල වීමට ඉඩකඩ පැවතීමයි. එනම් ඉඩම් හිමි පන්තියකුත් , ඉඩම් රහිත පන්තියකුත් ඇති වීමයි. එහිදී දුප්පතුන් හා සුළු ගොවීන් පසුබිම් කරගෙන ඔවුන්ගේ දරුවන් විශ්ව විද්‍යාලයට ගොස් අධ්‍යාපනය ලබා පැවති සමාජ තත්ත්වයට එරෙහිව කැරලි ගැසූ බවත් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය සහ ගම්බද ඇති නැති පරතරය හැකි තරම් පියවීමට උත්සාහ දැරිය යුතු බවත් එවකට ආණ්ඩුව තීන්දු කර ඉඩම් ප්‍රතිසංස්කරණ අදියර දෙකකින් ක්‍රියාවට නැංවිණි. එහි නිර්මාතෘවරුන් වූයේ හෙක්ටර් කොබ්බැකඩුව අමාත්‍යවරයා සහ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා අමාත්‍යවරයායි.

ඒ අනුව තුන්වන ලෝකයේ වෙනත් රටවල කැරලි වලට හේතුවන ඉඩම් හිමි පන්තිය සහ ඉඩම් විරහිත පන්තිය අතර විශාල ප්‍රභේදනයක් ලංකාවේ ගම්බදව දක්නට ලැබෙන්නේ නැත. එහෙත් අක්කර පනහේ ඉඩම් සීමාව බවත් කළහොත් යළිත් වතාවක් ඇති වන්නේ විශාල වශයෙන් ඉඩම් ප්‍රමාණයක් හිමි සුළුතරයක් සහ එවැනි ඉඩම් ප්‍රමාණයක් හිමිකර ගත නොහැකි බහුතරයක් වශයෙන් ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය සහ පොදුවේ ගත්කළ ගම්බද පළාත් ප්‍රභේදනය වීමයි. මෙය කිසිම ලෙසකින් රටේ ආර්ථික සංවර්ධනයට හේතුවක් නොවේ. විශේෂයෙන්ම සීඝ්‍ර ආර්ථික සංවර්ධනයක් පිළිබඳ කීර්ති නාමයක් ලබා ඇති ආසියානු රටවල් ගත්විට එම රටවල වාමාංශික ආණ්ඩු තිබුණද දක්ෂිණාංශික ආණ්ඩු තිබුණද පොදු සාධකය වන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණයක් සිදු කිරීම බවයි. එහිදී චීනය, තායිවානය, දකුණු කොරියාව වැනි රටවල් ගත්තත් ඒ සියලු රටවල් වලට ඇත්තේ මහා ඉඩම් හිමි පන්තියකට ඉඩ නොදී මැද පරිමාණයේ ගොවියන්ට උත්තේජනයක් සැලසෙන ආකාරයේ ඉඩම් ප්‍රතිපත්තියකි.

ශ්‍රී ලංකාවේ පවතින 1972 ඉඩම් ප්‍රතිපත්තිය තව පියවරකින් ඉදිරියට ගෙනයාම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙකු වූ රණසිංහ ප්‍රේමදාස මහතා විශාල උත්සාහයක් දැරීය. සත්‍ය ලෙසම ඔහු විපක්ෂ මන්ත්‍රී වරුයෙකු ලෙස 1972 ඉඩම් ප්‍රතිසංස්කරණය ගෙනා අවස්ථාවේදි පාර්ලිමේන්තුවේදි යෝජනා කළේ ඉඩම් සීමාව අක්කර පනහක් නොව පහක් දක්වා පහත දැමිය යුතු බවයි. ඔහු එසේ කියන ලද්දේ විපක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස ආන්දෝලනාත්මක මතයක් ප්‍රකාශ කිරීමට සිතා නොවේ. ඔහු ජනාධිපති වූවාට පසුව ඉඩම් බෙදා දීම සඳහා විශේෂ කාර්ය සාධක මණ්ඩලය පිහිටුවීමේදි හෙතෙම නැවත මතක් කළේ තමා 1972 චි යෝජනා කළේ අක්කර පහක ඉඩම් සීමාවක් බවයි.

එහිදී රණසිංහ ප්‍රේමදාස මහතා අපේක්ෂා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව විසින් මහා පරිමාණ ඉඩම් හිමියන් ගෙන් රජයට ගත් ඉඩම් යළිත් මහා පරිමාණ ඉඩම් හිමි පන්තියකට බාර දීම නොව ඉඩම් අහිමි ජනතාවය භාර දීමට පියවර ගැනීමයි.

වර්තමාන එක්සත් ජාතික පක්ෂය ඉඩම් ප්‍රතිපත්තියක් ලෙස දැනට යෝජනා කරමින් යන්නේ , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පමණක් නොව තමාගේ පක්ෂයේ නායකයා වූ රණසිංහ ප්‍රේමදාස මහතාගේ ඉඩම් ප්‍රතිපත්තිවටද සහමුලින්ම පටහැනි දෙයකි.

මෙහිදී ඉඩම් සීමාව ඉවත් කිරීම පමණක් නොව ඉන් ඔබ්බට ගොස් විදේශිකයින්ට ලංකාවේ කෘෂිකර්මයේ ආයෝජනය කර ඉඩම් හිමිකර ගැනීමට ඉඩ දීමෙන් සිදුවන්නේ දේශීය වශයෙන් විශාල ඉඩම් හිමි පැළැන්තියක් බිහි වීම පමණක් නොව විදේශිකයින්ටද ඉඩම් හිමි කරගැනීමට ලංකාවේ ඉඩම් හිමි කරගැනීමට අවස්ථාවක් උදා වීමයි. එහිදි දමිළ ඩයස්පෝරාවේ ඊනියා ආයෝජකයින් වේවා, තමිල්නාඩුවේ ආයෝජකයින්, ඉන්දියානු ආයෝජකයින්, ඇතුළු ලොව ඕනැම රටක ධනපතින්ට ලංකාවේ ඉඩම් සීමාවකින් තොරව අයිති කර ගත හැකි බවය. මෙහිදී ශ්‍රී ලංකාවේ සශ්‍රීක ඉඩම් ඔවුන් අතට පත්විම රටේ දෛවයට සෘජුවම බලපානු ලබන කාරණයකි. මගේ පෞද්ගලික මතකය‍ට අනුව 1990 වසරේ සර්ව පාක්ෂික සමුළුවක් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් කැඳවනු ලැබු අතර ඊට මමද සහභාගි වූයෙමි. එම සමුළුවට ලිබරල් පක්ෂයේ නායකයා වූ චානක අමරතුංග යෝජනා කළේ ඉඩම් සිමාව ඉවත් කළ යුතු බවත් පෞද්ගලික දේපල අයිතිය ව්‍යවස්ථාවේ මූලික අයිතියක් බවට පත්කළ යුතු බවත්ය. එතනදි ප්‍රේමදාස ජනාධිපතිවරයා කියන ලද්දේ එවැන්නක් කළ නොහැකි බවත් මේ රටේ ඉඩම් යනු සමස්ත ජනයාට අයිති , පරපුරෙන් පරපුරට දායාද වන වස්තුවක් බවත්ය. ඒ අනුව දේශීය හා විදේශිය ඊනියා ආයෝජකයින්ට සීමා විරහිතව ශ්‍රී ලංකාවේ භූමිය අයිති කරගැනීමට ඉඩ ලැබෙන්නේ නම් එතැනදි ශ්‍රී ලංකා සමාජය පමණක් නොව මෙරට ඉතිහාසයද විකෘති තත්ත්වයකට පත්වීම නොවැළැක්විය හැකි වනු ඇත.

-ආචාර්ය දයාන් ජයතිලක [රිවිර]

කාටූනය:  සන්ඩේ ටයිම්ස්
Like us on facebook
https://www.facebook.com/yuthukama

10/05/2015

සම්මත වූ ඇමරිකානු යෝජනාව සහ රටේ අනාගතය - ආචාර්ය දයාන් ජයතිලක

කතෘ:යුතුකම     10/05/2015   No comments
ශ්‍රී ලංකාව පිළිබඳ ඇමරිකානු යෝජනාව ඔක්තෝම්බර් 01 වනදා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මණ්ඩලයේදි සම්මත වූයේ ඡන්ද විමසිමකින් තොරවය. අදාළ යෝජනාවට රටවල් විසි පහක් සම අනුග්‍රහකත්වය දක්වන්නට එකඟවිම කැපි පෙනෙන්නක් වු අතරම එය රටක ස්වෛරීත්වයට ස්වාධිනත්වයට ගෙනෙන බලපෑම කවරේද යන්න විමසා බැලීම අතිශය වැදගත්ය.

රටක් ලෙස ගත්විට මෙමඟින් අපට සිදුවන බලපැම කිසි ලෙසකින් වත් යහපත් එකක් වන්නේ නැත. මා එසේ කියන්නේ එම කවුන්සිලය අමතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් විසින් සැප්තැම්බර් 30 වනදා කළ ප්‍රකාශයත්, ඔක්තෝම්බර් 01 වන දා යෝජනාව සම්මත වීමේදි එම යෝජනාවේ ප්‍රමුඛ දායකයෙකුවන මහා බ්‍රිතාන්‍යෙය් තානාපතිවරයා විසින් සනාථ කරන ලද කරුණු කාරණාත් සැළකිල්ලට ගැනීමේදිය.

මහා බ්‍රිතාන්‍යයේ තානාපතිවරයා මෙන්ම නිත්‍ය නියෝජිතවරයා සභාව අමතමින් එහිදී කියන ලද්දේ මෙම යෝජනාවේ පදනම හෙවත් තිරසාර අත්තිවාරම වන්නේ සෙයිඩ් අල් හුසේන් ගේ කාර්යාලයෙන් වාර්තාව බවයි.

එහිදි බ්‍රිතාන්‍ය නිත්‍ය නියෝජිතයා සනාථ කරන ලද දෙවන වැදගත් කරුණ වන්නේ මෙම යෝජනාව ගලා යන්නේ 2012, 2013, 2014 ශ්‍රී ලංකාව පැරදුණු යෝජනා හරහා බවත් 2012 සිට නව යෝජනාව දක්වා එම ක්‍රියාවලිය ඉදිරියට තල්ලු කරගෙන ගියේ සිවිල් සමාජය විසින් බවත්ය. අද වන විට වෙනසකට ඇත්තේ එම අදහස් වලට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව දායක විම බවත්ය. ඒ අනුව ගෙන බැලීමේදි මෙම යෝජනාව සම්මත වීමේ හරය මෙම ප්‍රකාශ මඟින් පැහැදිලිව දැක්වෙයි. එය මෙම යෝජනාව සම්පාදනය කළ ප්‍රධාන බලවතෙකු විසින් කරන ලද කාරණයකි.

මෙහිදි සෙයිඩ් අල් හුසේන් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව ගෙන බැලීමේදි එහි ප්‍රධාන අර්ථය වැදගත්ය. එය අපට විමසන්නට හැකි වන්නේ ඔහුගේම වදන් හරහායි. ඒ ශ්‍රී ලංකාව පිළිබඳ සැප්තැම්බර් 30 දා සෙයිඩ් අල් හුසේන් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ සිට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අමතමින් දුන් වීඩියෝ හරහායි. එහිදී ඔහු කියා සිටියේ ලංකාවේ අධිකරණ පද්ධතිය සිය වාර්තාවේ සඳහන් වන යුධ අපරාධවල ගැඹුර, බරපතලකම මෙන්ම පැතිරයාම දරා ගැනීමේ හැකියාවෙන් විරහිත බවයි.

මෙමගින් අප තේරුම්ගත යුත්තේ කුමක්ද?

සෙයිඩ් අල් හුසේන් මෙන්ම ඔහුගේ කාර්යාල වාර්තාව ලංකාවේ යුධ අපරාධ සිදූවු බව දැනටමත් නිගමනය කර ඇති බවයි. එපමණක්ද නොව එම යුධ අපරාධ විශාල ගැඹුරකින් බරකින් සහ ප්‍රමාණයකින් සමන්විත වූ බවයි. මෙහිදි තර්කානුකූලව අප සිතා බැලිය යුත්තේ ලංකාවේ පවතින නිති පද්ධතියට හා අධිකරණ පද්ධතියට දරාගැනීමට බැරි, දඬුවම් දී බැරි කිසිදු අපරාධයක් තිබේද යන්නයි. යුධ සමයක අපරාධ සිදුවිම ඛේදජනක යතාර්ථයකි. ඒ අපරාධ වලට දඬුවම් පැමිණවීම බොහෝ සමාජ වල කෙරේ. ලංකාවේද එවැන්නකට හොඳටෝම ඉඩකඩ ඇත. තනි පුද්ගලයකු මරා දැමුවත් පුද්ගලයින් දහස්ගණනක් මරා දැමුවත් එය ලංකාවේ අධිකරණ පද්ධතිය හරහා දඬුවම් කළ හැකි අපරාධයකි. එම අපරාධය සිදු කරනු ලැබුවේ එක් අයෙකු විසින්ද කණ්ඩායමක් විසින්ද යන්න එහිදි ප්‍රශ්නයක් නොවේ. එය සොයා බලා ලංකාවේ පවතින නිතිය හා අධිකරණ ක්‍රමය තුළ ඒ ගැන සොයා බලා දඬුවම් දිමට අවකාශයක් ඇත.

එසේ තිබියදි සෙයිඩ් සිය වාර්තාව මඟින් ලංකා අධිකරණයට එකේ කළ නොහැකි යයි කියන්නේ කුමක් නිසාද? ඔහු කියන ආකාරයට මෙම යුධ අපරාධ වල ඇති ගැඹුර බරපතලකම සහ ව්‍යාප්තිය නිසාය. මෙහිදී කතා කරන්නේ එක් අයෙකු හෝ කිහිපදෙනෙකු ඉහළින් අනුමැතිය ඇතිව හෝ නැති කළා වු මිනි මැරීම් හෝ දූෂණ ගැන පමණක් නොවේ. එහිදි ඔවුන් කියන්නේ සමස්ත හමුදාව විසින් දැනුවත්ව ප්‍රතිපත්තියක්ව, ආයතනය විසින් ගනු ලැබු තීන්දු තීරණ අනුව යමින් මහා පරිමාණයෙන් යුධ අපරාධ සිදුකළ බවයි. එහිදි තමුන්ගේ රටේ නිත්‍යානුකුල හමුදාව ගොදුරක් කරන්නට තරම් අවශ්‍ය විශාල දැලක් ශ්‍රී ලංකා අධිකරණය හා නිති පද්ධතිය තුළ නැතැයි සෙයිඩ් අල් හුසේන් ගේ වාර්තාවේ පදනමයි. ඒ නිසාම ජාත්‍යන්තර සහභාගිත්වය සහිත විශේෂ උසාවියක් හා වෙනත් විශේෂ යාන්ත්‍රණද යෝජනා කර තිබේ. ඇමරිකානු යෝජනාවේ පදනම එකි නියමය වන අතර, යෝජනාවේ පදනම සෙයිඩ් අල් හුසේන්ගේ එම වාර්තාව බව බ්‍රිතාන්‍ය තානාපතිවරයාගේ කතාවෙන් පැහැදිලිය. මෙයට ශ්‍රි ලංකා ආණ්ඩුව සම්මාදම් වීමෙන් කර තිබෙන්නේ තමුන් විසින් මෙම බලගතු අසාධාරණය හා අවලාදය පිළීගත් බවට ලෝකයට පැවසීමයි.

සෙයිඩ් අල් හුසේන් ගේ වාර්තාවේ අන්තර්ගතය ශ්‍රී ලංකා හමුදා විරෝධි යුද්ධයකට සම්පූර්ණයෙන්ම මඩ ගසන, එය යුධ අපරාධ වලින් ගහන ජන සංහාරයක් ලෙස සලකන වාර්තාවක් අත්තිවාරමක් කරගන්නේ නම් ව්‍යාජ අත්තිවාරම මත ගොඩ නැගෙන කිසිවක් සත්‍ය විය නොහැක. එහෙත් ලංකා ආණ්ඩුව දැන් එකඟ වී ඇත්තේ සෙයිඩ් අල් හුසේන් ගේ වාර්තාව පමණත් නොව එම වාර්තාව අත්තිවාරම කොටගත් ඇමරිකානු යෝජනාවටය.

ඇමරිකානු යෝජනාවේ හරය පවතින්නේ එහි ක්‍රියාකාරී ඡේද වලයි. පෙරවදන් ඡේදවල ලංකාව පිළිබඳ ප්‍රශංසා මුඛයෙන් කතා කර ඇති අතර, පෙරවදන් ඡේදවලින් ගම්‍ය වන වටිනාකමක් නැත. වැදගත්කම ඇත්තේ ක්‍රියාකාරී ඡේදවලයි. එහි දැක්වෙන්නේ සැප්තැම්බර් 28 වනදා ඇමරිකානු කෙටුම්පත් යෝජනාවලියේ තිබූ කරුණු කාරණාමය. එබැවින් ඔක්තෝම්බර් 01 වන දා සම්මත වුයේ ඕ 25 නමැති යෝජනාවයි. එහි කිසියම් සංශෝධනයක් සිදු කිරීමට ආණ්ඩුවට හැකියාවක් තිබුණා නම් එය සඳහන් වන්නේ ඕ25 සංශෝධිත යන්නයි. එහෙත් වරහන් තුළ එවැන්නක් නැත. ඒ අනුව ඉහත යෝජනාව තුළින් ඉතා පැහැදිලි වන්නේ විශේෂ උසාවියක් නිර්මාණය කිරිමට ලංකා ආණ්ඩුව පොරොන්දු වී ඇති බවයි. එහිදී විශේෂ නීතිවේදි නිලධාරි කාර්යාලයක් පිහිටුවීමට ලංකා ආණ්ඩුව එකඟ වී ඇති බවත් ඒවා අර්ථවාන්විත කිරීම පොදු රාජ්‍ය මණ්ඩලීය හා විදේශ නඩුකාරවරුන් සහ විදේශ පරික්ෂකයන්ගේ සහභාගිත්වය අවශ්‍ය බවත්ය. ඒ අනුව මිට හයිබ්‍රිඩ් කිව්වද, නොකිව්වද මෙහි හරය එකමය. ඒ විදේශිය සහභාගිත්වය හේතුවෙනි.

එහිදී විදේශිය සහභාගිත්වය අපට ලැබෙන්නේ උපදේෂක මට්ටමින් නොවේ. එම යෝජනාවේ හයවැනි ක්‍රියා කාරි වගන්තියේ සඳහන් වන්නේ විශේෂ උසාවියේ සහ විශේෂ නිලධාරියාගේ කාර්යාලයේ මෙම විදේශිය නඩුකාරයින්, විදේශිය නීතිඥයන් සහ විදේශිය පරික්ෂකයින් සහ විදේශීය නීතිඥයින් සහ විදේශීය පරීක්ෂකයින් සහ විදේශීය කොටස් කරුවන් සහභාගි විය යුතුය. ඒ අනුව මෙහිදි සිදුවන්නේ කුමක්ද?

මෙහිදි පැහැදිලිවම සිදුවන දෙයක් වන්නේ ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමයි. ඒ වෙනුවට නඩු මෙහෙයවිම සහ අධිචෝදනා මෙහෙයවිම සඳහා විශේෂ කාර්යාලයක් ආරම්භ කිරීමයි. එහිදී නීතිපති දෙපාර්තමේන්තුව මඟින් සාම්ප්‍රදායිකව සිදුවන දේ සිදු නොවන අතර මෙහිදි පිහිටුවන්නට යන විශේෂ අධි චෝදනා මෙහෙයවන කාර්යාලයට කවුරුන් ඒ දැයි කිමට නොහැකිය. පිටරට වාසය කරන ශ්‍රී ලාංකිකයින් දමිළ ඩයස්පෝරාවේ පුද්ගලයින් පිටරැටියන් මේ ආදි කවුරුන් ඒ දැයි කීමට නොදනිමු. එහෙත් නීතිපති දෙපාර්තමේන්තුව මුල සිටම කොන්කිරිම මෙහිදී සිදුවන වැදගත්ම ව්‍යුහාත්මක ලක්ෂණයයි.

ඊළඟ කරුණ නම් මෙහි විශේෂ උසාවිය නිර්මාණය කිරිමයි. එයත් ඉතාමත්ම නරක ක්‍රියාවකි. මන්ද 19 වන සංශෝධනයෙන් පසුව සහ ස්වාධින කොමිෂන් පිහිටුවීමෙන් අනතුරුව ලංකාවේ අධිකරණය ප්‍රමුඛ නිලධාරි තන්ත්‍රය බෙහෙවින්ම ස්වාධින වී ඇත. මැතිවරණ කොමසාරිස් කාර්යාලය සම්බනධයෙන් ගත්විට එය පැහැදිලි වේ. ඒ තත්ත්වය තිබියදිත් මෙම විශේෂ උසාවිය නිර්මාණය කරන්නේ කුමක් අරබයාද යන ප්‍රශ්නය යළි යළිත් මතුවේ.

මෙම සම්මත වු යෝජනාව තුළ ඊළඟ භයානක වූ කාරණාව ත්‍රිවිධ හමුදාව පිළිබඳ ඇති ක්‍රියාකාරී ඡේදයයි. එම ඡේදය තුළ සඳහන් වන්නේ කිසියම් ස්වාධීන පරිපාලන ක්‍රියාවලියක් හරහා යම් මානව හිමිකම් උල්ලංඝනයකය, විශ්වාස කටයුතු ලෙස සම්බන්ධ වී ඇත්නම් ඒ සියල්ලන්ම හමුදාවේ රඳවා තබා නොගන්නා ලෙසයි. එනම් කළු කොටියෙක්ගේ හෝ මානව හිමිකමක් බරපතල ලෙස උල්ලංඝනය වුවා යයි නඩුවකින් මෙහා පරිපාලන ක්‍රමයකින් සොයාගත හැකි නම් හෝ සැකකළ හැකි නම් ඒ සියලු පුද්ගලයින් හමුදාවෙන් ඉවත් කිරිම සිදුවෙයි. ඊට ලංකා ආණ්ඩුව දැන් පොරොන්දු වී තිබේ.

මඩ වතුර බොමින්, පල් වතුරේ ලගිමින්, කැලැ පීරමින්, බිම් බෝම්බ වලට හසුවෙමින් අතපය හා ශරීරාංග නැතිකර ගනිමින් සටන්කර ජය ලබා ගත් සොල්දාදුවන්, නිලධාරීන් ප්‍රමුඛ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 2009 යුද්ධය ජයගෙන වසර හයකට පසුව විදේශිකයින් ඇතුළත් විශේෂ උසාවියක් හරහා පෙනී සිටීමට හෝ ඊනියා ස්වාධින පරිපාලන ක්‍රියාවලියකට ලක්වී හමුදාවෙන් අස්කරනු ලබන තත්ත්වයකට මුහුණ දෙනු ඇතැයි නිකමටවත් සිතන්නට ඇද්ද? සිහිනෙකින් වත් ඔවුන් හෝ අපට එවැන්නක් සිතෙන්නේ නැත. එහෙත් අද සිදුවී ඇත්තේ එයට ලංකා ආණ්ඩුව ප්‍රතිඥා දීමය.

අප මෙහිදී අනෙකුත් රටවල් සම අනුග්‍රාහකත්වය දැක්වීම පිළිබඳ කාරණයද විමසා බැලිය යුතුය. සම අනුග්‍රාහකත්වය තුළ සිදුවන්නේ ලංකාව වෙනුවෙන් කතා කරන්නට තිබු රටවල පවා ලංකාව විසින්ම කටවසා දැමූ තත්ත්වයකි.

සැප්තැම්බර් 30 දා සෙයිඩ් අල් හුසේන්ගේ කතාවෙන් පසු ශ්‍රී ලංකාව ආරක්ෂා කරමින් රුසියාව, පකිස්තානය, වියට්නාමය, ආදි රටවල් කතා කළේය. සෙයිඩ් අල් හුසේන්ට පක්ෂව කතා කළේ බටහිර රටවල්ය. අල් හුසේන් ට පක්ෂව කතා කළේ බටහිර රටවල්ය. ඔක්තෝම්බර් පළමුවැනිදා ඇමරිකානු යෝජනාව ඉදිරිපත් කරද්දි සියුම් විසංවාද අයුරකින් චීනය ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීම ගැන විරුද්ධව අදහස් ප්‍රකාශ කළේය. මෙහිදී සියලු රටවැසියන් දැනගත යුත්තේ අපේ තිරසාර මිත්‍රයන් වන්නේ රුසියාව හා චීනය ප්‍රමුඛ බලකඳවුර බවයි. මෙහිදී ඔවුන්ගේ නායකත්වයෙන් අපට ලබා ගැනීමට හැකිව තිබූ ඡන්ද ප්‍රමාණය පවා ලැබිම වැළකුණේ සහ සෙයිඩ් අල් හුසේන් ගේ ඇමරිකානු වාර්තාවට විරුද්ධව ලංකාව පැත්ත ගෙන කතා කරන්නට නොහැකි වුයේ ලංකාව ඉදිරියට පැන මෙම යෝජනාවට සහාය දෙන මෙන් සභාවෙන් ඉල්ලා සිටි නිසාය.

මේ අයුරින් බලද්දි ඔක්තෝම්බර් පළවෙනිදා යනු ලංකාවේ සමකාලීන මෙන්ම දීර්ඝ ඉතිහාසයේ වැදගත් මර්මස්ථානයකි. එදින සිට ලංකාවේ දෛවය හා දේශපාලනය තින්දු වන්නේ මෙම යෝජනාව ලංකාවේ ක්‍රියාත්මක විම හෝ නොවීම මෙන්ම ඊට ලැබෙන හෝ නොලැබෙන ප්‍රතිචාරය අනුවයි. එමෙන්ම ලංකා දේශපාලනය මින් මතුවට පිල් බෙදෙන්නේ මෙම යෝජනාවට පක්ෂ වූවන් හා විපක්ෂ වූවන් ලෙසයි. මෙම යෝජනාව ක්‍රියාත්මක කළ යුතු වන්නේ ලංකාවේය. එම යෝජනාවේ අන්තර්ගත තවත් වැදගත් කාරණයක් වන්නේ අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමයි. ජිනීවා වල කුමන යෝජනා සම්මත වුවත් නැටුම නටන්නට වන්නේ ලංකාවේය. ඇතැම්විට බාහිර ක්ෂේත්‍රයේ සිදුවන දේ අපට පාලනය කරගැනීමට නොහැකිය. එහෙත් යම් යම් විජයග්‍රාහී අවස්ථා ගෙන බැලුවොත් එවැන්නක් කිරීමට හැකියාවක් තිබේ. 2009 මැයි 26 දා ලංකාව අදීනව අභිතව මෙම යුධ අපරාධ චෝදනාවට මුහුණ දෙමින් නවිපිල්ලේ මහත්මිය නිව්යෝක් සිට එම මානව හිමිකම් කවුන්සිලයම අමතමින් ජාත්‍යන්තර පරික්ෂණයක් හා යුධ අපරාධ පරික්ෂණයක් පිළිබඳව කළ ඉල්ලීම 2/3 කට ආසන්න ඡන්දයකින් පරාජය කරන්නට තරම් හැකියාවක් ලැබිණි. එදා සිට අද දක්නා අප දකින්නේ සහ මා පුද්ගලිකය අත්විඳන්නේ මේ රටට සිදු වු මහා අවපාතය සහ කඩා වැටිමයි.

මෙහිදී ඉතා භයානක කාරණාවක් පෙන්වා දිය යුතුය. 2009 මැයි මාසය වූ කලි ශ්‍රී ලංකා ජාතියේ උච්චතම අවස්ථාවකි. මෙම මාසයේ ඓතිහාසික ජයග්‍රහණ දෙකක් සිදුවිය. ඉන් එකක් මෙම දූපතේදි එල් ටි ටි ඊ හමුදාව කායිකව පරාජයට පත් කිරිමයි. එයින් දින දහයකට පසුව සතුරාගේ භූමියක බටහිර රටක එනම් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදි ගොඩබිමේ සිදුවූ ජයග්‍රහණයේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිබිම්භනය ලෙස අපට රටවල් 2/3 ක සහාය ලබමින් මෙරටට පක්ෂ යෝජනාවක් සම්මත කරගැනීමට අවකාශය ලැබීමයි. යුධ ජයග්‍රහණය ට සීල් තබනු ලැබුවේ මෙම රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණය වන අතර එය නොපිට පෙරළීමට ආසන්න හේතුව වූයේ එවකට රාජපක්ෂ රජයේ අදුරදර්ශි විදේශ ප්‍රතිපත්ති තීන්දු මෙන්ම කළමනාකාරණයයි. 2012, 2014 අතර කාලයේ වූ පරාජයන්ට එම අදුරදර්ශිභාවය හේතු විය. එය හේතුකොට ගනිමින් ඔක්තෝම්බර් 01 වනදා සිදුවූ මහා පාවාදීමට පාර කැපුණි.

මෙහි ප්‍රශ්නය ඇත්තේ යුධ ජයග්‍රහණය රාජ්‍ය තාන්ත්‍රික , එනම් ජාත්‍යන්තර දේශපාලන ජයග්‍රහණයකින් සීල් තබනු ලැබු නිසා මෙවර සිදුවු මෙම රාජ්‍ය තාන්ත්‍රික පාවා දීම හේතුකොට ගෙන යුධ ජයග්‍රහණය ආපසු පෙරළේද නැද්ද යන්නයි. මෙහි ඇති ගැටළුව සුළු පටු දෙයක් නොවේ. මෙම යෝජනාව කෙතරම් අනර්ථකාරී වුවත් එය යතාර්ථයක් කරන්නට නම් ක්‍රියාත්මක විය යුත්තේ ලක් පොළවේය. එය ලක් පොළවේ ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න තීරණය කරන්නේ ලක්වැසි ජනතාව හා දේශපාලන බලවේගයන්ය. ජනාධිපතිවරයා එම දේශපාලන සාධක වලින් එකකි. ජනාධිපති සිරිසේනගේ ජාත්‍යන්තර සාධක වලින් එකකි. ජනාධිපති සිරිසේන ගේ ජාත්‍යන්තර හා දේශීය දර්ශනය ගත් විට මෙම යෝජනාවේ සම්මත කරුණු හා ඔහුගේ දර්ශනය අතර කිසියම් පරතරයක් මෙන්ම යම් පරස්පර විරෝධයක්ද දැකගත හැකිය. සිරිසේන ජනාධිපතිවරයා නිව්යෝක් නුවර එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය අමතමින් කතා කරද්දී ජිනීවා යෝජනාවේ අඩංගු කරුණු කතා කළේම නැති අතර රනිල් වික්‍රමසිංහ මහතා හෝ මංගල සමරවීර මහතා දුන් කිසිම ප්‍රතිඥාවක් සිරිසේන ජනාධිපතිවරයා නිව්යෝක් වලදි දුන්නේ නැත. ඒ අනුව රාජ්‍ය නායකයා මහා මණ්ඩලයේ එවැනි භයානක දේකට ප්‍රතිඥා නොදීම අපට යම් තරමක අස්වැසිල්ලකි. නමුත් එම අස්වැසිල්ලෙන් පමණක් ලක්වැසි ජනතාවට සෑහිමකට පත්වීමට නොහැකිය.

ජිනීවා යෝජනාව මෙරට ක්‍රියාත්මක කිරීමට නම් මේ රටේ උසාවි හා පාර්ලිමේන්තුව හරහා යාමට සිදුවේ. මෙරට දේශපාලන හා අධිකරණ ආයතන මෙම යෝජනාවට ඉඩ නොදෙන්නේ නම් මෙම භයානක යෝජනාව ක්‍රියාත්මක කරන්නට නොහැකිය. එහෙත් පාර්ලිමේන්තුව හෝ අධිකරණය ස්වයංක්‍රීයව ඉබේටම එම යෝජනාව ප්‍රතික්ෂේප කරන්නේ නැත. ඒ සඳහා රට ගැන හිතවත්කමක් ඇති සියලු පක්ෂ වලට අයත් මන්ත්‍රීවරුන් සහ සිවිල් සමාජ කණ්ඩායම් අධිකරණයේ මෙන්ම පාර්ලිමේන්තුවේ දි ද ඉතාම තියුණු සටන් වල යෙදිය යුතුය. කෙටියෙන් කිව හොත් මෙම භයානක යෝජනාවේ ක්‍රියාත්මක කිරිමට එරෙහිව නිත්‍යානුකූල හා සාමකාමී සියලු සටන්ක්‍රම ලක්වැසි ජනතාව විසින් යෙදවීම අවශ්‍යය.

එහිදී ශ්‍රී ලංකාව නැමැති දේශපාලන දේහය මේ යෝජනාව වමාරන්නේ නම් එය යළි යළිත් ගිල්ලවන්නට යු එන් පි ආණ්ඩුවට හැකි වන්නේ නැත. මෙතැන් සිට ලංකාවේ දේශපාලනය තීන්දු වන්නේ මෙම අනර්ථකාරී ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් දරනු ලබන ස්ථාවරය අනුවය. මෙයට අත ඔසවන්නේ කවුද විරුද්ධ වන්නේ කවුද යන කරුණු කාරණා අනුවය. එහිදි ඔවුන් කතාව, ක්‍රියාව සහ ගන්නා පැත්ත අනුව විවිධ දේශපාලන පක්ෂ, කණ්ඩායම් හා චරිතවල මෙන්ම හමුදාවෙත් සමස්ත ජාතියේම දෛවය තීන්දු වනු ඇත.
-ආචාර්ය දයාන් ජයතිලක - [රිවිර]


-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 

9/29/2015

ඇමරිකානු යෝජනාවේ මුල මැද අග - -ආචාර්‍‍ය දයාන් ජයතිලක

කතෘ:යුතුකම     9/29/2015   No comments

පසුගිය යුධ සමයේ මෙරට සිදුවුයේ යැයි කියන මානව හිමිකම් කඩවීම් පිළිබඳ සොයා බලා යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියකට අප යා යුතු බවට ජාත්‍යන්තරය කිඹුල් කඳුළු හෙළනන්ට පටන් ගෙන බොහෝ කාලයකි. ජිනිවා මානව හිමිකම් කොමිසම සිය වාර්තාව ගෙන එමින් දෙමුහුන් අධිකරණයක් ගැන කියද්දී මෙරට දේශපාලනඥයන් යුක්තිය පසිඳලිමේ දේශිය යාන්ත්‍රණයක් ගැන කියනු ලැබුහ. එම කරුණු කාරණා සැලකිල්ලට ගැනීමේදි වත්මන් ආණ්ඩුවේ මුලෝපායන් යම් අර්බුදයක් දක්වා ගමන් කර ඇති බව හඳුනා ගත හැකිය. එම අර්බුදය තවත් වර්ධනය වන්නේ ඇමරිකා එක්සත් ජනපදය ජිනිවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති ඒකාබද්ධ යෝජනාව නිසාවෙනි.

එම යෝජනාවේ හයවැනි වගන්තියට අනුව ශ්‍රි ලංකා ආණ්ඩුව විශේෂ අධිකරණ යාන්ත්‍රණයක් සහ විශේෂ නිලධාරින් පත් කිරීම පිළිබඳ කාරණය සතුටින් පිළිගන්නා බවත්, එම ශ්‍රී ලාංකීය අධිකරණ යාන්ත්‍රණයේ විශ්වාසනීයත්වය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය මෙන්ම විදේශීය නඩුකාරවරුන්, අධි චෝදනා මෙහෙයවන්නන්, නීතිඥවරුන්, පරික්ෂකවරුන්ගෙන් සමන්විත යුතුය යන්න එම යෝජනාවේ අන්තර්ගතයයි. එම යෝජනාවට දැන් ශ්‍රී ලංකා ආණ්ඩුව එකඟ වි තිබේ. එම එකඟතාවට ඔවුන් පැමිණ ඇත්තේ කිසිදු විරෝධයක් නොමැතිව හෙයින් මේ පිළිබඳව වෙනත් රටකටද ඒ පිළිබඳව කිසිදු විරෝධයක් පෑමට අවස්ථාවක් නැත.

ඔවුන්ගේ යෝජනාව තුළ හයිබ්‍රිඩ් යන වචනය නැතත්, මෙය හයිබ්‍රිඩ් විශේෂ උසාවියකි. එය සම්මිශ්‍රිත වු හයිබ්‍රිඩ් උසාවියක් වන අතර විදේශීය නඩුකාරවුරුන්, නිරීක්ෂකවරුන් මෙන්ම දේශීය නඩුකාරවරුන්,
නීතිඥයන්, නිලධාරීන් ලංකාවේ කටයුතු කිරීම තුළ අපට සිහිගන්වනු ලබන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත කාලයේ පැවති ආකෘතියකි. එහිදී උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත් කිරීම ඇතුළුව මෙහි ඒකාබද්ධ යෝජනාවට ස්වාධින පරිපාලන යන්ත්‍රයක් විසින් ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය සහ සහභාගිත්වය සමඟ ඇති කෙරෙන විශ්වාසදායි සහ සංක්‍රාන්තිමය අධිකරණ ක්‍රියාවලියක් වෙත වැදගත් පියවරක් තැබිම අරමුණ බව පෙන්වා දෙනු ලබයි. ඔවුන් එහිදි කියා සිටින්නේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේදි ඇමරිකාව තමන් ඇතුළු පාර්ශවකරුවන් එක් වී ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් සභාගත කළ බවත්, එය සත්‍යයේ, යුක්තියේ වරද නිවරද කිරීමේ සංහිඳියාව වර්ධනය කිරීමේ පියවරක් ලෙස දකිනා බවත්ය.
මෙතැනදි ඇති වන්නේ කිසි ලෙසකින් ස්වාධීන අධිකරණයක් නොවේ. මෙය සමස්ත අධිකරණ යාන්ත්‍රණය උඩු යටිකුරු කරන්නක් වන අතර රාජ්‍යයක ස්වෛරිත්වය ට අභියෝග කරන්නකි. මෙම විශේෂිත අධිකරණය ස්ථාපිත කිරීමේදි, ශ්‍රි ලංකාවේ සම අනුග්‍රාහකයෙක් ලෙස එක්වීමට ගත් තීරණය අගය කර ඇති අතර , එක්ව කටයුතු කිරීමක් ගැනද එහි දක්වා ඇත. තවද එහි දක්වා ඇති කරුණක් වන්නේ ශ්‍රී ලාංකිකයන්ට අයත් ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය සහ සහභාගිත්වයත් සමඟ ඇති කෙරෙන විශ්වාසදායි සංක්‍රාන්තිමය අධිකරණ ක්‍රියාවලියක් වෙත වැදගත් පියවරක් මෙම යෝජනාව මඟන් තබනු ඇති බවය.

එහිදී ඔවුන් යුද්ධයේ අතුරුදහන් වුවන් ගැන සඳහන් කරන අතර, ඔවුන් විෂයෙහි ගතයුතු ක්‍රියාදාමයන් ගැන සඳහන් කරමින් අතුරුදහන් වූ පුද්ගලයන්ට අදාළව පිළිතුරු ලබා දීමටද අපේක්ෂා කරනු ලබන බව සඳහන් කොට ඇත.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ මෙන්ම ඇමරිකානු යෝජනාව දෙස බැලිමේදි පෙනි යන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය සහ විදේශීය නිලධාරින් නඩුකාරවරුන්ගෙන් යුත් ශ්‍රී ලාංකික නිලධාරින්ද සිටින දෙමුහුන් අධිකරණයකට ශ්‍රී ලාංකික නිලධාරින්ද සිටින දෙමුහුන් අධිකරණයකට ශ්‍රී ලංකාව එකඟ වී ඇති බවය. මෙය අර මුලින් කී හයිබ්‍රිඩ් උසාවියටත් වඩා භයානකය.

හයිබ්‍රිඩ් හා සම අනුග්‍රාහකත්වය යන වදනේ ලොකු වෙනසක් නැති අතර මෙය ජාත්‍යයන්තර මැදිහත්වීම සහිත මුලින් කී ආකාරයේ දේශීය හා ජාත්‍යන්තර පරීක්ෂණ උසාවියකි. එය ලාංකික දේශපාලනඥයන් රටට කී, මෙරට ස්ථාපිත කරන්නට බලාපොරොත්තු පරීක්ෂණ උසාවියකි. එය ලාංකික දේශපාලනඥයන් රටට කී, මෙරට ස්ථාපිත කරන්නට බලාපොරොත්තුව සිටි පරික්ෂණ උසාවිය නොවේ. හයිබ්‍රිඩ් යන වදන භාවිත නොකළද එය එවැනි උසාවියකට වඩා ඇතට ගිය එකක් බව ඉතා පැහැදිලිය.

ආණ්ඩුව සිතා ගෙන සිටියේ සහ රටට ලද්දේ මේ වන විට ලංකාව ඇමරිකාව සමඟ කිට්ටු හිතවත්කම් ඇති තත්ත්වයක සිටින බවත් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට වඩා එය සර්ව සම්පුර්ණයෙන්ම වෙනස් බවත්ය. 

ආණ්ඩුව සිතාගෙන සිටියේ සහ රටට කියන ලද්දේ මේවන විට ලංකාව ඇමරිකාව සමඟ කිට්ටු හිතවත්කම් ඇති තත්ත්වයක සිටින බවත් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට වඩා එය සර්ව සම්පූර්ණයෙන්ම වෙනස් බවත්ය.
එහෙත් අද වන විට සිදුව ඇත්තේ කුමක්ද? අද වන විට දකින්නට ඇත්තේ එම අපේක්ෂා කළ තත්ත්වය නොවේ. ඇමරිකා එක්සත් ජනපදයේ ස්ථාවරය සහ ඇමරිකානු හිතෛෂි, ලංකා ආණ්ඩුවේ ස්ථාවරය අතර කිසියම් පරතරයක් ඇති වී තිබේ.

එයට හේතු විමසා බැලිමේදි අපට පෙනී යන්නේ ඇමරිකානු යෝජනාව ලංකාව සම්බන්ධයෙන් මෙතුවක් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති යෝජනා සියල්ලටම වඩා සැර යෝජනාවක් වන බවයි.

ඇමරිකාවේ සගයන් ලෙස සලකනු ලබන මහා බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් සහ ඔහුගේ කාර්යාලයත්, බටහිර රටවල ලිබරල්වාදි ජාලය මෙහිදී දැරුවේ ලංකා ආණ්ඩුවේ ස්ථාවරයට වඩා දැඩි ස්ථාවරයක් බවත් පැහැදිලිය.

ඇමරිකානු කෙටුම්පත් යෝජනාව සැළකිල්ලට ගැනීමේදි එහි සඳහන් කරුණු කාරණා බෙහෙවින්ම සටන්කාමී, රැඩිකල්වාදී මෙන්ම රටට අනර්ථකාරී ඒවා බව පැහැදිලිය. දැන් බළලා මල්ලෙන් එළියට පැන ඇත. එම බළලා නම් ඇමරිකානු එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර කඳවුර ලංකාවෙන් සැබැවින්ම බලාපොරොත්තු වන දේ සහ පතන දේයි. මේවා ඉතා පාරදෘෂ්‍ය ලෙස ඇමරිකානු යෝජනාවේ සඳහන්ව ඇත. එහි අනෙකුත් කාරණාද අප විසින් විමසා බැලිය යුතුය. උදාහරණයක් ලෙස එහි තවත් තැනක දැක්වෙන්නේ ලංකාවේ උතුරු නැගෙනහිර නිර්හමුදාකරණය කළ යුතු බවය. එමඟින් ඔවුන් අදහස් කරන්නේ හමුදාවන්ගෙන් තොරවු තත්ත්වයකට පත් කළ යුතු බවයි. එහිදි උතුරු නැගෙනහිර පළාත් හමුදා බලය පමණට වඩා වැඩි යැයි අයෙකුට තර්ක කළ හැකි වුවද එම අතිරික්තය අඩු කිරීමව ඇමරිකාවේ ප්‍රශ්නය නම් ඉහත වගන්තිය වෙනත් ආකාරයකට නිර්මාණය කළ යුතුව තිබුණි. එහිදී නිර් හමුදා කරණය කළ යන නිශ්චිත යෙදුම වෙනුවට හමුදාවේ ප්‍රමාණය යළි සළකා බැලීම වැනි වඩා මෘදු යෙදුමක් භාවිතා කරන්නට අවකාශ තිබුණි.

දැන් මෙම කරුණු සළකා බැලීමේදි ප්‍රශ්න කිහිපයක් එකට ගොනුවී ඇති බව පෙනේ. විශේෂයෙන්ම සාමකාමී රටක් ගතහොත් යම් කිසි පළාතකින් හමුදාව ඉවත් කළ යුතු යැයි පැවසීමට ඇමරිකාවට හෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට කිසිදු අයිතියක් නැත. උතුරු නැගෙනහිර කියන්නේ ජාත්‍යන්තර නීතිය යටතේ යටත් කළ ප්‍රදේශ නොවේ. ගාසා තීරය ගතහොත් යටත් කළ ප්‍රදේශයකි. පලස්තීනයේ බටහිර ඉවුර ජාත්‍යන්තර නීතිය යටතේ යටත් කළ ප්‍රදේශයකි. එහෙත් ලංකාවේ උතුරු නැගෙනහිර වනාහි ජාත්‍යන්තර නීතියට හෝ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ තීන්දුවලට කිසිලෙසකින් වත් යටත් වන ප්‍රදේශ නොවේ. එම ප්‍රදේශවලින් හමුදා ඉවත් කළ යුතු යයි කියන්නේ කුමක් නිසාද? එමෙන්ම එම වගන්තිය ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාවේ විදේශ ඇමති වරයා වදනක්නත් නොපැවසීමට හේතුව කුමක්ද? එමෙන්ම විදේශ ඇමතිවරයා හැරුණුකොට, ජිනීවා ගැන කතා බහ කරන අධිකරණ අමාත්‍යවරයා මෙන්ම කැබිනට් ප්‍රකාශක ලෙස කටයුතු කරන අමාත්‍යවාරයා මෙම නිර් හමුදා කරණය විවේචනය නොකරන්නේ කුමක් නිසාද?

මෙහිදී ඇමරිකානු නිර්දේශ ගතහොත් තවත් වැදගත් වගන්ති කිහිපයක් ඇත. එම වගන්ති තුළින්ද ලංකාව පිළිබඳ ඔවුන්ගේ දැක්ම ප්‍රත්‍යක්ෂ වේ. ඉන් එක් වගන්තියක ඇත්තේ යුද සමයේ මානව හිමිකම් උල්ලංඝනය කළා යැයි සාධාරණව සැකකළ හැකි කවරෙක් හෝ සිටින්නේ නම් එම පුද්ගලයන් සියලු දෙනා ත්‍රිවිධ හමුදාවේ තවදුරටත් තබා නොගත යුතු බවයි. ඔවුන් මින් අදහස් කරන්නේ ඔවුන් ත්‍රිවිධ හමුදාවෙන් ඉවත් කර දැමිය යුතු බවයි. මේ කතා කරන්නේ කිසිදු උසාවියකින් වරදකරුවන් ලෙස තීන්දු කරනු ලැබු පුද්ගලයන් ගැන නොවේ. ඔවුන් එහිදී පාවිච්චි කරන යෙදුම වන්නේ එනම්, විශ්වාසනිය සැකයක් ඇත්නම් යන්නයි. එවැනි සැකයක් වේ නම් ඒ සියලු පුද්ගලයන් හමුදාවෙන් අස්කළ යුතු බවත්, රටේ කිසිදු ආරක්ෂක සේවාවකට මොවුන් අනුයුක්ත කරගත නොයුතු බවත්ය.

මෙයින් ප්‍රදර්ශනය වන්නේ ප්‍රථමයෙන් අන්ත කුහකකමකි. කොරියානු යුද්ධයේ සිට ඉරාකය සහ ලිබියාව දක්වා මානව හිමිකම් මෙන්ම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇති ඇමරිකානු හමුදාවෙන් අස්කරනු ලැබුනේ කී දෙනෙකුදැයි අපට ප්‍රශ්න කළ හැකිය. මෙම යෝජනාවට පක්ෂ බ්‍රිතාන්‍ය හමුදාව සම්බන්ධයෙන් තත්ත්වය එයයි. මෙහිදී ඔවුන් කියා සිටින්නේ කුමක්ද? අපේ රට ත්‍රස්තවාදයෙන් මුදවාගත් අපේ රාජ්‍යය යළි එක්සේසත් කළා වූ සාධාරණ ආත්මාරක්ෂක යුද්ධයකට තම ජීවිතය පරදුවට තබා සහභාගි වුවන් අතුරින් කවරෙකු හෝ කළු කොටියෙක්ගේ වුව මානව හිමිකම් උල්ලංඝනය කළා යැයි සාධාරණ සැකයක් වේ නම් ඊට එරෙහිව පියවර ගත යුතු බවයි. එනම් එම පුද්ගලයින් සියලු දෙනා රට වෙනුවෙන් කළ සේවයට ස්තුති ලෙස ත්‍රිවිධ හමුදාවෙන් නෙරපා දැමිය යුතු බවයි. එයින්ම ඇමරිකාව අපේ හමුදා දෙස බලන ආකාරය පැහැදිලි වේ.

මෙහි ඊළඟ වැදගත් කරුණ වන්නේ සෙයිඩ් අල් හුසේන් මහ කොමසාරිස්වරයා සහ ඔහුගේ කාර්යාලයේ වාර්තාව ගෙඩිය පිටින්ම ඇමරිකාව විසින්ම පිළිගැනීමත් එය එලෙසම ක්‍රියාත්මක කිරීමට ලංකාව යෝජනා කරනු ලැබීමත්ය.

එහිදී හයිබ්‍රිඩ් යන වචනය නොයෙදුවත් සෙයිඩ් අල් හුසේන්ගේ නිර්වචනය කෙටුම්පත් යෝජනාවට අන්තර්ගත කොට ඇත. එම යෝජනාවේ ඇත්තේ ජාත්‍යන්තර නඩුකාරවරුන්, ජාත්‍යන්තර අධිචෝදනා පමුණුවන්නන් ජාත්‍යන්තර නීතිඥයන් සහ ජාත්‍යන්තර නිරීක්ෂකයන් යන යෙදුම් හතරයි. මෙම යෙදුම් හතරම ඇමරිකානු යෝජනාවේ තිබේ.

ඇමරිකානු යෝජනාවේ තවත් වැදගත් කාරණාවක් වන්නේ මංගල සමරවීර විදේශ ඇමතිවරයා ජිනීවා වලදි දුන් ප්‍රතිඥාවක් පුනරුච්චාරණය කිරීමයි. ලංකා ආණ්ඩුව ප්‍රතිඥා දුන් ආකාරයටම ත්‍රස්තවාදය වැළැක්වීමේ පන. අහෝසි කළ යුතු බව ඇමරිකානු කෙටුම්පත් යෝජනාව මඟින් නිර්දේශ කොට තිබේ. මෙහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනයට ලක් කිරීම හෝ සංශෝධනයට ලක් කිරීමේ වරදක් ඇත්තේ නැත. එහෙත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්නේ නම් අනිවාර්යයෙන් සිදුවන්නේ එම පනත යටතේ සිරගතව සිටින උදවිය නිදහස් වීමයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට වඩා හොඳ පනතක් ගේන්නේ නම් එම අලුත් පනත යටතේ කළු කොටින්ට සහ භයානක මිනීමරු ත්‍රස්තවාදීන්ට දඬුවම් කළ නොහැකිය. එයට හේතුව නම් තමුන් එම වැරදි කරද්දි නොතිබුණු පනතක් යටතේ ඔවුන්ව රඳවා ගන්නටවත් තමන් වරදකරුවන් ලෙස තීන්දු කරනු ලැබු පනත අහෝසි වු පසුව එම දඬුවම අහෝසි වීමත්ය.

මංගල සමරවීර ඇමතිවරයා ජිනීවා වල කළ තවත් ප්‍රතිඥාවක් වුයේ මහජන ආරක්ෂක පනත අහෝසි කිරීමයි. එම පනත අහෝසි කරන්නේ නම් එය උල්පත ලෙස යොදවමින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි තත්ත්වය හා යුධ නීතිය වැනි දේ ප්‍රකාශයට පත් කිරීමට නොහැකි වේ.

ඒ අනුව මෙම සමස්ත චිත්‍රය ගත්විට අපට පෙනෙන්නේ ඇමරිකාවට අවශ්‍ය වන්නේ හුදු මහින්ද රාජපක්ෂට හෝ ගෝඨාභයට දඬුවම් කිරීමේ ව්‍යාපෘතියක් නොව ශ්‍රී ලංකා රාජ්‍ය තන්ත්‍රය බිඳ දමා විසුරුවාලීමේ සහ උතුරු නැගෙනහිර සම්පුර්ණයෙන්ම අනාරක්ෂිත තත්ත්වයකට පත් කිරීමේ ව්‍යාපෘතියක් බවයි. එහිදී මංගල සමරවීර මහතාගේ ප්‍රතිඥා දෙස බැලීමේදි පෙනෙන්නේ ද ඔහු නොදැනුවත් ව හෝ දැනුවත්ව එම ව්‍යාපෘතිය හෝ මතවාදයේ කොටස්කරුවෙකු වී ඇති බවයි.
එමෙන්ම මේ වන විට ඇමරිකානු යෝජනාවට අඩංගු සම අනුග්‍රහය යන වදනට අනුව, රටේ ස්වාධින අධිකරණ පද්ධතියේ උඩුයටිකුරු වීමක් මෙම යෝජනාවලිය හරහා ඇති වීම නොවැළැක්විය හැකිය.

-යුතුකම සංවාද කවය

www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 

(Like us on facebook)
https://www.facebook.com/yuthukama

9/27/2015

ජිනීවා මර උගුලෙන් ගැලවෙන්නේ කෙසේද?- ආචාර්‍ය දයාන් ජයතිලක

කතෘ:යුතුකම     9/27/2015   No comments
ජිනීවා මර උගුල මහින්දගේ වරදක් නිසාද?

යුධ අපරාධ චෝදනා විභාගයට පරීක්ෂණ පැවැත්වෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ ඔහු එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැංකි මූන් ට වූ පොරොන්දුවක් ,සහ එවකට ජිනීවා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත දයාන් ජයතිලක මහතා විසින් ලබා දුන් පොරොන්දුවක් නිසා යැයි රජයේ පාර්ශවයෙන් මේ දිනවල බහුලව කියන කතාවකි. හිටපු අධිකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා යන යන තැනදී පසුගියදා මේ කතාව කියනු ඇසිණ. එමෙන්ම විදේශ අමාත්‍යවරයාද අගමැතිවරයාද මේ කතාව ,මෙලෙසම ප්‍රකාශ කරමින් සිටී.

ජිනීවා මර උගුලේ චෝදනාව එන අනාගතයේ දිනයක ඒ චොදනාව වෙනකෙකු පිට දමා තම අත් සෝදාගැනීමට ඒ හරහා හැකිවෙතැයි ඔවුන් සිතනවා වන්නට පුළුවන.
පසුගියදා සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවති විද්වත් කතිකාවක් අමතමින් ආචාර්‍ය දයාන් ජයතිලක මහතා මෙය ප්‍රතික්ෂේප කරමින් ජිනීවා යෝජනාවේ භයානක කම ඉතා මැනෙවින් පැහැදිළි කළේය.මෙවැනි හයිබ්‍රිඩ් යාන්ත්‍රණ සුද්දා අප යටත් කරගෙන සිටි යටත්විජිත සමයේත් මෙරට ක්‍රියාත්මක වූ බව ඔහු එහිදී මතක් කර දුනි...

වසර තිහක් තිස්සේ මරණ බියෙන් වෙලාගත් රටක් ජාතියක් සිය ජීවිත පරිත්‍යාගයෙන් මුදාගත් රණවිරුවන් අපරාධකරුවන් කොට, ත්‍රස්තවාදය වැපිරුවන් ගේ අයිතිවාසිකම් රකින්නට ගෙන එන ඊනියා පරීක්ෂණය පිළිගන්න තරම් මේ පොළොවේ ජිවත්ව ඒ කටුක අත්දැකීම් අත්විඳි අපට නරුම වියහැකිදැයි දයාන් ජයතිලක මහතා එහිදී ජාතියෙන්ම ප්‍රශ්න කර සිටී.වීඩියෝව මෙතනින් >>

අපි ජිනීවා දිහා බලාගෙන සිටින විට අගමැති රනිල් ඉන්දියාවට ගිහින් කලේ කුමක්ද? ආසියානු සංවර්ධන බැංකුවෙන් $5.19ඹ් ලෝන් එකක් ගන්නේ හනුමා පාලම හදන්න නේද? ඊට පස්සේ අපිට වෙන්නේ මොකක්දැයි දයාන් ජයතිලක මහතා ප්‍රශ්න කරයි..
වීඩියෝව මෙතනින් >>

* ජිනීවා යෝජනා හරහා හමුදාවේ කොඳු නාරටිය බිඳදමන හැටි.
* හමුදාවේ මේජර් ජෙනරාල් ජගත් ජයසුරියගේ සිට කර්නල් රවිප්‍රිය දක්වා නම් 22 ක් වාර්තාවේ.
* ඇමරිකාව එක්ක මේ යෝජනාව අපිම ගෙනෙන්න යනකොට අපේ මිත්‍රයින්ටවත් අපිව ආරක්ෂා කරන්න බැරි තැනකට අද පත්වෙලා ඉවරයි.
* සම්පුර්ණ දේශීය අධිකරණයකින් සාපරාධි ලෙස හමුදාව දඩයම් නොකරන නිසා තමයි විදේශ නියෝජිතයෝ සහිත අධිකරණයක් ඕනේ වෙලා තියෙන්නේ.
* විජාතික යෝජනාවේ හරිමැද තියෙන්නේ මොකද්ද ? ආණ්ඩුවට කරගන්න බැරි ආයතන විදේශවලට පවරමු කියන එකද?
*ඇමරිකාව සම්මත කරන යෝජනාවේ ත්‍රිවිධ හමුදාව සම්බන්ධ අතිශය තීරණාත්මක යෝජනාව කුමක්ද ?
මේ කරුණු සියල්ල ඇතුලත්ව ඇමරිකාව සහ ශ්‍රිලංකාවේ සම අනුග්‍රහයෙන් ඉදිරිපත්වන යෝජනාව හේතුවෙන් ඇතිවන අතිශය අහිතකර ප්‍රතිවිපාක පිළිබඳව දයාන් ජයතිලක මහතා කරන විග්‍රහයට මෙතනින් සවන් දෙන්න.


යුතුකම සංවාද කවය
www.yuthukama.com ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

9/23/2015

ජිනීවා මානව හිමිකම් වාර්ථාවේ හරස්කඩ - ආචාර්‍ය දයාන් ජයතිලක

කතෘ:යුතුකම     9/23/2015   No comments
මෙරට මානව හිමිකම් කඩවිම පිළිබඳ සොයන්නට hybrid ආකාරයේ විශේෂිත අධිකරණයක් පිහිටුවිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ නිර්දේශය විය. ඉකුත් 16 වෙනිදා ජිනිවාහිදි පැවති එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සැසිවාරයේදි ශ්‍රි ලංකාව පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරමින් ඔහු මෙම බරපතල ප්‍රකාශය සිදුකළේය. මෙම ප්‍රකාශය දෙස මා බලන්නේ දේශපාලන විද්‍යාඥයෙකු, දේශපාලන විශ්ලේෂකයෙකු හෝ එක්සත් ජාතින්ගේ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස නොවේ. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඡන්දයෙන් තේරි පත්වු නියෝජ්‍ය සභාපතිවරයකු ලෙස කටයුතු කර අත්දැකිම් ලත් පුද්ගලයෙකු ලෙසය.

ඒ අනුව ගනිද්දි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිට් අල් හුසේන් විසින් කළ ප්‍රකාශය සහ ඔහු විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව ජාත්‍යන්තර ක්‍රමයේ මුලිකාංග හා සම්මතයන්ට එරෙහිව යන්නක් බව ඉතා පැහැදිලිය.

එය ලංකාවට සිදුවන මහා ආක්‍රමණශීලි අපරාධයක් පමණක් නොව, මෙය සම්පුර්ණයෙන්ම ජාත්‍යන්තර ක්‍රමයේ අත්තිවාරම වෙන ජාතික සෛවරිත්වය හා ස්වාධිනත්වය යන සංකල්පයන්ට එරෙහිව යන්නකි. එය මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ ප්‍රකාශය තුළින් ඔප්පු වි තිබේ.

සෙයිඩ් අල් හුසේන් සිය පුවත් පත් සාකච්ඡාව පටන් ගනිද්දි ඔහුගේ ආරම්භක වාක්‍යය වුයේ මෙය අලුත් දෙයක් මෙන්ම මෙය මීට පෙර සිදු නොවු දෙයක් බවයි. මෙවැන්නක් සිය කාර්යාලය මඟින් පළමුවරට සිදුකරන දෙයක් බවට මහ කොමසාරිස්වරයා සඳහන් කළේය.

එම ප්‍රකාශයෙන් අනතුරුව නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු නැවතද එය සනාථ කළේය. ඔහු ඊට භාවිතා කළ ඉංග්‍රිසි යෙදුම වූයේ තරමක් සුවිශේෂ (රාදර් යුනික්) යන්නයි. ඒ අනුව එක්සත් ජාතින් විසින් ක්‍රියාමාර්ග ගැනීමේදි මෙවැනි දෙයක් වන පළමු වතාව මෙය බව පැහැදිලිය.

ඒ අනුව අපට පෙනි යන්නේ ලංකාවට එරෙහිව මුලික අසාධාරණයක් සිදුවි ඇති බවය. ඒ කෙදිනකවත් සිදු නොවු ආකාරයේ ක්‍රියාවලියක් ලංකාව පිළිබඳව ගෙනෙන්නේ කරව නම් හේතු කාරණා නිසාද? අද වන විට ලංකාවේ යුද්ධයක් තිබේද? කලාපීය හෝ ජාත්‍යන්තර සාමයට ලංකාවෙන් ගැටළුවක් තිබේද? එසේ නොමැති නම් ලංකාවෙන් යුධ සරණාගතයින් පිටාර ගලන්නේද? නොඑසේ නම් මැත කාලයේ සිදුවු යුද්ධ අතරින් වැඩිම මිනිස් ඝාතන සිදුවුයේ ලංකාවේ පැවති යුද්ධයේද? ශ්‍රී ලංකාව වෙනත් රටක් ආක්‍රමණය කළාද? මේ සියළු ප්‍රශ්නයන්ට පිළිතුර නැත යන්නයි. එසේ නම් සෙයිඩ් අල් හුසේන් මහ කොමසාරිස්වරයාගේ පිළිගැනීම අනුවම පළමු වතාවට අත්හදා බලන මෙය ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ කුමක් නිසාද?

මෙම ක්‍රියාමාර්ගය හිරෝෂිමා නාගසාකි වලට පරමාණු බෝම්බය හෙළා කරන ලද අත්හදා බැලීම වැනි දෙයකි. මෙය අලුත් අත්හදා බැලිමක් බැවින් ලංකා ආණ්ඩුව සහ සියලු පුරවැසියන් විසින් ප්‍රතිපත්තියක් ලෙස මෙම පරීක්ෂණ වාර්තාව සහ එහි අඩංගු සියලු දේ ප්‍රතික්ෂේප කළ යුතුය. එමෙන්ම ඒ සම්බන්ධයෙන් ඝනකම් රතු ඉරක් ඇඳිය යුතුය. එය මෙහි පළමු කාරණය වන අතර එහි ඊළඟ කාරණාව වන්නේ මෙම වාර්තාවේ ඇති නිර්දේශයන්ය. මෙම නිර්දේශයන්ට අනුව ඉතාම භයානක කරුණ වන්නේ ජාත්‍යන්තර නඩුකාරයින් සම්බන්ධ කරගත් /hybrid / විශේෂ උසාවි යෝජනාව නොවේ.

එහි වඩාත්ම භයානක කාරණය එම වාර්තාවේ 251 වන පිටුවේ සඳහන් කර ඇත. එහි 251 පිටුවේ නිර්දේශ කර ඇත්තේ එක්සත් ජාතින්ගේ සංවිධානය සහ සියළු සාමාජික රටවලට යන්න උපශීර්ෂ පාඨයක් සඳහන් කර තිබේ. එක්සත් ජාතින්ගේ සංවිධානයේ රටවලට යන්න උප ශිර්ෂ පාඨයක් සඳහන් කර තිබේ. එක්සත් ජාතින්ගේ සංවිධානයේ සියළු සාමාජික රටවලින් ඉල්ලා සිටින්නේ ලංකාව සම්බන්ධයෙන් චෝදනා වේ නම් තම රටවල පරික්ෂණ ආරම්භ කර නඩු පවරන ලෙසයි. මෙම නිර්දේශයේ එහි 251 පිටුවේ ඇති අංක තිස් හය නිර්දේශයේ සඳහන් අතර ඉන් කියවෙන්නේ මෙම වාර්තාවේ සඳහන් අපරධ සම්බන්ධයෙන් සැක කෙරෙන (ඔප්පු වි නැති) උදවියට එරෙහිව තමුන්ගේ රට රටවල පරීක්ෂණ අරඹා තමුන්ගේ රට රටවල පරික්ෂණ අරඹා නඩු පැවරිය යුතු බවයි. එම නඩු පවරන සූත්‍රයද එම නිර්දේශයේම සඳහන් කර ඇත. එනම් විශ්ව අධිකරණ බලසිමාව (Universal Jurisdiction) යන ධර්මතාවයයි. එම ධර්මතාවයට අනුව ඇතැම් අපරාධ සම්බන්ධයෙන් දේශ සීමා තරණය කර වෙන රටක උසාවියකට තවත් රටක සිදුවු අපරාධයක් පිළිබඳ නඩු පැවරිය හැකිය. එම නිර්දේශයන් සිදුකර ඇත්තේ අපව ත්‍රස්තවාදයෙන් මුදවාගත් යුද්ධයට සම්බන්ධ වූ අපේ රාජ්‍ය නිලධාරින්, සොල්දාදුවන් සෙන්පතියන් සහ දේශපාලන නායකයින් පිළිබඳ ගෝලීය වශයෙන් නෛතික සංග්‍රාමයක් ඇරඹිම සඳහායි. මෙය වෙනත් කිසිදු රටක් සම්බන්ධයෙන් ගෙන ඇති තීරණයක් නොවේ. සත්‍ය ලෙසම ජාත්‍යන්තර (world court) උසාවියකට ගොස් මෙයට විරුද්ධව නඩු පැවරිමට තරම් ලංකා ආණ්ඩුවට කරුණු කාරණා තිබේ.

මෙහි තෙවන කරුණ වන්නේ /hybrid/ විශේෂ උසාවිය පිළිබඳ කාරණයයි. ස්වාධින ස්වෛරී උසාවිය පිළිබඳ කාරණයයි. ස්වාධින ස්වෛරී රටකට විජාතික නඩුකාරවරු ඇත්තේ නැත. ලංකාවේ විජාතික නඩුකාරවරු සිටියේ යටත් විජිත කාල පරිච්ඡේදයේදි පමණි. ඊට පෙර පහු නඩු ඇසුවේ ලාංකිකයන් විසිනි.

ලෙනාඩ් වුල්ෆ් ගේ සුප්‍රකට කෘතිය වු බැද්දේගම ලෙස්ටර් ජේම්ස් පිරිස් විසින් සිනමාවට නගන ලද්දේය. එහි සිළිඳුගේ චරිතය රඟපාන්නේ ජෝ අබේවික්‍රමයන්ය. එම කතා පුවතේ ඇත්තේ සිළිඳු නැමැති අහිංසක පුද්ගලයා විජාතික එනම් බ්‍රිතාන්‍ය යටත් විජිතවාදී නඩුකාරවරයෙක් විසින් අයුතු ලෙස ජිවිතාන්තය දක්වා සිරදඬුවමකට යටත් කොට අකාලයේ මිය යාමට සැලැස්වීමයි. එහිදි ඔහු මිය යාම මෙන්ස ඔහුගේ පවුලේ උදවිය අනාථ විම පිළිබඳවද එම කෘතියේ කියැවිණි.

මේ පිළිබඳව ප්‍රගතිශිලි යටත්විජිත වාදි නිලධාරියෙකු වූ ලෙනාඩ් වුල්ෆ් විශාල කම්පනයකට පත්විය. ඔහු එය සිය කතා වෘතාන්තයක් බවට පත්කළේ එබැවිනි. ඔහු සමාජවාදි මතවාදී බ්‍රිතාන්‍ය බුද්ධිමතෙකි. මේවන විට අපට යළිත් යන්නැයි කියන්නේ ලෙනාඩ් වුල්ෆ් විසින්ම අසාධාරණයක් බවට යටත් විජිත කාලයේ දුටු ආයතනික සම්භවයක් වෙතය. එනම් රටේ පුරවැසියන් ගැන සොයන්නට විජාතික නඩුකාරවරු, නිතිඥවරු සම්බන්ධ කරගත් දේශිය නඩුකාරවරු ද සම්බන්ධ කරගත් සම්මිශ්‍රිත විශේෂ උසාවියක් පිහිටුවිමයි. මෙය ඕනැම රටක මූලික ස්වෛරීභාවය ස්වාධිනත්වය සහ අදීනත්වය බරපතල ආකාරයට කෙලෙසන යෝජනාවකි. එය අලුයම බහාලු කෙළ පිඩක් ලෙස ආණ්ඩුව හා රට වැසියන් ඉවත දැමිය යුතුයි.
සිංගප්පූරුව වගේ දියුණු රටක නීති පීඨයක් අරඹන ලද්දේ ලංකාවෙන් ගිය නීතිවේදින්ය. අද දක්වා ජිවතුන් අතර සිටින සි.ජි.වීරමන්ත්‍රි විනිශ්චයකාරතුමන් ලෝක උසාවියේ උප සභාපති ධුරය දැරුවේය. නීතිය පිළිබඳ ලංකාවට කීර්තිමත් සම්ප්‍රදායක් ඇත. අපට අපේම වු නිති පද්ධතියක්, නිතිඥ වෘතිකයන් මෙන්ම අධිකරණ පද්ධතියක් ද ඇත. එහි යම් යම් විකෘති විම් පහුගිය යුද කාලය තුල සිදුවු වා නම් 19 වන සංශෝධනය තුළින් අධිකරණ පද්ධතියේ ස්වාධිනත්වය ප්‍රතිෂ්ඨාපනය වී ඇත. එවැනි තත්ත්වයක් තුළ විජාතික සංයුතියක් සහිත විජාතික සංඝටකයක් සහිත සම්මිශ්‍රිත හෙවත් hybrid විශේෂ උසාවියක් පිළිබඳ අදහස සැලකිල්ලට ගැනිම පවා පාප කර්මයකි.

ජාත්‍යන්තර වශයෙන් ගතහොත් ව්‍යතිරේකයක් මේ පිළිබඳ එකක් දෙකක් තිබේ. එහෙත් ඒවා එම රාජ්‍යන් විසින්ම කැඳවා පිහිටුවනු ලැබු සම්මිශ්‍රිත උසාවිය. ඒවා ඉතාම අල්පය. එහිදි කාම්බෝජය පිළිබඳ මතකය අපට අවදි කළ හැකිය. කාම්බෝජයේ එවැනි hybrid උසාවියක් පිහිටුවනු ලද්දේය. එහෙත් එසේ කරන ලද්දේ පරාජයට පත් කළ පොල් පොට් ගේ හමුදා ගරිල්ලාවරු (රතු හමුදාව) විසින් 1970 ගණන් වල සහ 80 ගණන්වල සිදුකළ මහා සාපරාධි සමූල ඝාතන පිළිබඳ සොයා බැලිම සඳහායි. එය වෙනත් ආකාරයෙන් කියනවා නම් කොටි සංවිධානය විසින් කරන ලද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ජාත්‍යන්තර විශේෂඥයින් ගෙන්වා නඩු ක්‍රමයක් ආරම්භ කරන්නේ නම් එය ඊට සමානය. කෙසේ නමුත් කාම්බෝජයේ දෙපැත්ත විසින් සිදුකළා යයි කියන එසේත් නැත්තම් රජයේ හමුදා විසින් සිදුකළා යයි කියන ඊනියා අපරාධ ගැන සොයා බැලුවේ නැත. මෙහිදි කරන්නට හදන්නේ මානව හිමිකම් මහ කොමසාරිස්වරායාග් වචන වලින්ම කියන ආකාරයට රාජ්‍ය චරිත එනම් රාජ්‍ය නළුවන් විසින් කරනු ලැබු යුධ අපරාධ පිළිබඳ සොයා බැලීමයි.

මෙහිදි ඔහු එසේ කියන ගමන්ම අනතුරුව කියන ලද්දේ රාජ්‍යය විසින් පමණක් නොව කොටි සංවිධානය විසින්ද යම් යම් වැරදි කළ බවය. මෙහිදි ඔහුගේ කියමනට අනුව ප්‍රධාන පාපකරුවා ශ්‍රී ලංකා රාජ්‍යයයි. එනම් ලංකාව තිස් අවරුදු යුද්ධයකින් මුදවා ගන්නා ලද සාමය හා මිනිස්සුන්ගේ සුරක්ෂිත බව තහවුරු කළ ශ්‍රී ලංකා රාජ්‍යයි. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වයාගේ වාර්තාවෙන් ඉලක්ක වන්නේ එයයි. මෙය ප්‍රතිපත්තියක් ලෙස සහමුලින්ම ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කළ යුතු ක්‍රියාවලියක් වාර්තාවක් සහ නිර්දේශයන් බව අවධාරණය කළ යුත්තේ එබැවිනි.

තවද ඉහත වාර්තාව ඉදිරිපත් කරමින් ජිනීවා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා කියන ලද තවත් කරුණක් වූයේ මෙරට අධිකරණ පද්ධතිය ශක්තිමත් නොවන බවයි. එහෙත් මෙරට අධිකරණ පද්ධතියේ ක්‍රියාවලිය නිසා සොල්දාදුවන් බරපතළ දඬුවම්වලට යටත්ව සිරගතව සිටී. ඒ නැතත් මෙරට අධිකරණ පද්ධතියේ යම්

දෝෂයක් තිබේ නම් එය පිළිසකර කිරීම රටේ පාර්ලිමේන්තුවට අයිති වගකීමකි. එසේ නොමැතිව ඊට බෙහෙත විජාතික නඩුකාරවරුන් ගෙන්වා ගැනීම නොවේ.

19 වන සංශෝධනය මඟින් කරනු ලැබුවේ අපේ රාජ්‍ය ආයතනික ව්‍යුහය වඩාත් ස්වාධින කිරිමය. උදාහරණයක් ලෙස මැතිවරණ කොමසාරිස් කාර්යාලය පෙර තිබුණාට වඩා ස්වාධීන එකක් විය. අධිකරණයත් එසේමය. එම තත්ත්වය එසේ තිබියදි මෙරට නිති පද්ධතියේ යම්කිසි ප්‍රතිසංස්කරණයක් කරන්නට තිබුණේ නම් එය ස්වෛරී රටක් ලෙස මෙරට පාර්ලිමේන්තුව තුළින් ඉටුකර ගැනීමට හැකියාව තිබේ. එසේ තිබියදි මෙරට දීර්ඝ කාලයක් තිස්සේ පැවති අධිකරණ පද්ධතිය සහ නිතිඥ වෘත්තිය අවඥාවට ලක්කර ඒ වෙනුවට විජාතික නඩුකාරවරුන් සහ නීතිඥවරුන් සහභාගි කරවන විශේෂ උසාවියක් නිර්මාණය කරන්නැයි යෝජනා කිරීමම අපට එල්ල කරනු ලබන අතුල් පහරකි. මෙයට පැහැදිලිව පිළීතුරක් ලබා දිමට ලංකා ආණ්ඩුව කටයුතු කළ යුතුය.

ඉහත නිර්දේශයන් සමඟ ශ්‍රි ලංකා දේශපාලනය තුළද දැනටමත් යම් යම් වෙනස් කම් පිළිබඳ අසන්නට ලැබේ. මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ප්‍රකාශයත් සමඟ උතුරු පළාත් සභා මහ ඇමති සි.වි. විග්නේශ්වරන් සිදුකළ ප්‍රකාශය අපට නොසළකා හැරීමට නොහැකිය. ඔහු සඳහන් කර ඇත්තේ එම වාර්තාවට ඉදිරිපත් කළ දිනය දමිළ ජනතාවට සන්තෝෂ විය හැකි දවසක් බවයි. එම ප්‍රකාශය හුදකලාවේ තබා සැළකිය යුතු නැත. ඒ පිළිබඳ ටි.එන්.ඒ සංවිධානය වෙනුවෙන් එම්.ඒ සුමන්තරන් නිතිඥවරයා ජිනිවා සිට කළ ප්‍රකාශයක් ද වෙයි. එම් . ඒ සුමන්තිරන් විග්නේශ්වරන්ට වඩා මධ්‍යස්ථ මතධාරියෙකි. එහෙත් ඔහු කියා සිටින්නේද විදේශ නඩුකාරවරුන් හා නීතිඥයන් සහිත (hybrid) උසාවි යෝජනාව සමඟ ටි.එන්.ඒ සංවිධානය එකඟ බවත් ඒ ගැන සතුටු වන බව මෙන්ම එය ක්‍රියාත්මක කිරිම සඳහා ද්‍රවිඩ ජනතාව හා එක්ව කටයුතු කරනු ලබන බවයි.

අප දන්නා දේශපාලන සත්‍යයක් වන්නේ අධිරාජ්‍යවාදීන්ගේ පැරණිම උපක්‍රමය වන්නේ බෙදා පාලනය කිරීම බවත් රටක බහුතරයට එරෙහිව සුළුතරය ඔඩොක්කුවේ තබා ගැනිම ඔවුන්ගේ අරමුණ බවත්ය. මෙය රෝම අධිරාජ්‍යයාගේ කාලයේ සිට බ්‍රිතාන්‍යය සහ ඇමරිකානු අධිරාජ්‍යය යටතේ සිදු වූ දෙයකි. ඒ අනුව දමිළ සුළුතරය සැමවිටම උත්සාහ ගන්නා ලද්දේ රටේ නැති ශක්තියක් මහ ප්‍රජාතන්ත්‍රවාදි ඡන්ද ක්‍රමය තුළින් ලබා ගන්නට බැරි දෙයක් ජාත්‍යන්තර සහ බටහිර සහයෝගය සහ ඉන්දියානු සහයෝගය ඇතිව ලබා ගැනිමයි.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ මෙම නව අත්හදා බැලීමෙන් ඔවුන්ට එවැනි සතුටුදායක ප්‍රතිඵලයක් ලැබි තිබේ. නමුත් එය වඩාත් සතුටුදායක වන්නේ ලංකාවේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඉකුත් සඳුදා ජිනීවා වල සිදුකළ නිල කතාව සමඟිනි. ඔහු එහිදි දමිළ වචනය සිව්වතාවක් සිය කතාවෙදි භාවිතා කළේය. එහි වරදක් නැතත් වරද වන්නේ සිංහල හා මුස්ලිම් යන වචනය එක් වරක් හෝ භාවිත නොකිරීමයි.

යම් හෙයකින් ඇමරිකාවේ කුඩා පාසල් ශිෂ්‍යයකු එම කතාව ඇසුවේ නම් සිතන්නේ ලංකාව තමිල් නාඩුව බවයි. එපමණක් ද නොව මංගල සමරවීර මහතාගේ නිල කතාවේ දෙවරක්ම සඳහන් කර ඇත්ත් දෙමළ ජනතාව සඳහා ව්‍යවස්ථාදායක සභාවක් හරහා නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට එකම හේතුව දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාශය සංසිඳවීමය බවයි.

සමස්ත රටේ මූලික නීතිව වෙනස් කිරිමට සුළුතර ප්‍රජාවේ දේශපාලන අභිලාශය සංසිඳවිම තනි හේතු සාධකය විය නොහැකිය. ඒ අනුව ව්‍යවස්ථාවක් හදන්නේ නම් එය රටට සාධාරණය ඉටුවන ව්‍යවස්ථාවක් වන්නේ නැත.
මංගල සමරවිර මහතා ගේ කතාවෙන් පැහැදිලි වන අනෙක් කාරණය වන්නේ දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාශයන් සංසිඳවීමට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය බවයි. එයද ප්‍රහේළිකාවකි. පවතින ව්‍යවස්ථාව යටතේ සංශෝධන මඟින් දෙමළ ජනතාවගේ අභිලාශයන් සංසිඳවිමට නොහැකි නම් ඒ කුමක් නිසාද? 19 වැනි සංශෝධනය ගෙන ආ ආකාරයට එය ඉටුකළ හැකිව තිබියදි නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට අවශ්‍ය වන්නේ තර්කානුකූලව එක් කාරණයක් නිසාවෙනි. ඒ තිබෙන ව්‍යවස්ථාව යටතේ ඒකිය රාජ්‍ය ක්‍රමය හලා 13 වන සංශෝධනයෙන් ගුණාත්මක වශයෙන් ඔබ්බට යාමට නොහැකි නිසාය. මංගල සමරවීර මහතාගේ කතාව අනුව මෙහි ඊළඟ භයානාක කාරණය නම් ලංකාවේ ජනවාර්ගික හෝ ජාතිකත්ව ගැටළුවක් වේ නම් එය විසඳීමට සිංහල දෙමළ මුස්ලිම් අභිලාෂයන් තුලනය කර රටේ ජනවාර්ගික සංයුතිය හා යතාර්ථයන්ට ගැලපෙන ආකරයේ සම්මුතිවාදි විසඳුමකට ඒම නොව හුදෙක් දමිළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් විසඳීමන් එම ජනවාර්ගික ප්‍රශ්නය විසඳන බව සමරවීර මහතා සහ ඒ මහතාගේ ආණ්ඩුවේ දර්ශනය වී ඇත.

ඒ අනුව මෙහිදී කරන්නට හදන්නේ සෝල්බෙරි කොමිසම කළ නොහැකි යයි කියා අවඥාවෙන් ප්‍රතික්ෂේප කළ යෝජනාවකි. සෝල්බරි සාමිවරයා කීවේ කිසිම ප්‍රජාතන්ත්‍රවාදි රටක බහුතරයක් සුළුතරයක් කරන්නට යෑම හෝ සුළුතරයක් බහුතරයක් කිරිම කළ නොහැකි බවයි. එසේ කියමින් ඔහු චෙල්වනායගම් මහතාගේ යෝජනා ප්‍රතික්ෂේප කළේය.

එහෙත් මංගල සමරවීර මහතා ජිනීවා කළ කතාවෙන් පෙනෙන්නේ සොල්බෙරි සාමිවරයා ප්‍රතික්ෂේප කළ ඒ ක්‍රියාකාරකම දැන් කරන්නට සූදානම් බවය.

මේ සියල්ලෙන් අපට පෙනෙන්නේ අපේ ආත්මාරක්ෂාව වෙනුවෙන් කළ සර්ව සාධාරණ යුද්ධයක් සම්බනධයෙන් ඉතිහාසය කණපිට පෙරලන්නට අපි සූදානම් බවයි. මෙහි චූදිතයා වී ඇත්තේ අපයි. සෙයිඩ් අල් හුසේන් ශ්‍රී ලංකාවේ ගෙල සිඳිය යුතු බව කියද්දී මංගල සමරවීර කියන්නේ ගෙල සිඳින්න එපා ..කඩුව අපට දෙන්න අප බඩ කපාගන්නම් යන්නයි.

මේ වන විට ඇමරිකාව සමඟ එක්වී සම්මුතිවාදි යෝජනාවක් සැප්තැම්බර් 30 දා ජිනිවා වලට ගෙනෙන්නට යන්නේ ගෙල සිඳ දැමීම වෙනුවට බඩ කපා ගැනීමේ සූත්‍රය පිළිගැනීමෙනි. එසේ කිරීමෙන් සිදුවන්නේ අපේ මිත්‍ර රටවලට පවා අපව ආරක්ෂා කරමින් කතා කරන්නට ඇති අවස්ථාව වසා දැමීමයි. ශ්‍රි ලංකාවේ ජාතික ආණ්ඩුවෙන් විපක්ෂයේ කට වැසු ආකාරයෙන්ම සම්මුතිවාදි යෝජනාවෙන් සිදුවන්නේ සෙයිඩ් අල් හුසේන්ට විරුද්ධව ලංකාව ආරක්ෂා කරමින් අපේ මිත්‍ර රටවලට කතා කරන්නට ඇති අවස්ථාව දැනුවත් මඟ හරවාලීමකි.

[රිවිර 2015-09-20]


-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

9/17/2015

හයිබ්‍රිඩ් උසාවිය රටේ ස්‌වෛරීත්වයට හානියක්...

කතෘ:යුතුකම     9/17/2015   No comments


විදෙස්‌ විනිසුරුවන්ගෙන් සමන්විත හයිබ්‍රිඩ් උසාවිය රටක ස්‌වෛරීත්වයට විරුද්ධ එකක්‌
- ආචාර්ය දයාන් ජයතිලක

•විදෙස්‌ විනිශ්චයකාරවරුන් වෙනත් රටවල කටයුතු කළේ යටත් විජිත සමයේ. ස්‌වාධීන රටවල විදෙස්‌ විනිශ්චයකාරවරුන් කටයුතු කරන්නේ නැහැ.

•එවැනි අධිකරණයක්‌ පසුගිය සමයේ පැවතියේ කාම්බෝජයේ තිබුනා. එහෙත් එහිදී විභාග කළේ පරාජිත සමූලඝාතන හමුදාවක්‌ වූ පොල්පොට්‌ගේ රතු කෙමරූඡ් ගරිල්ලා ව්‍යාපාරයේ ඝාතන ගැන.

•මෙරට රජය විසින් යුද අපරාධ කළ බව සාමකාමී රටක සිටින අප ගැන පරණ තුවාල පෑරීමට ජාත්‍යන්තර උසාවියක්‌ ගෙන ඒමට ඔවුන් කටයුතු කරමින් සිටිනවා. මෙම සෙල්ලම තේරුම් ගත යුතුයි.

•සෙයිඩ් අල් හුසෙන් ලංකාවේ ගෙල සිඳින්න ඕනෑ යෑයි කියද්දී ඇමෙරිකාව නෑ නෑ ගෙල සිඳින්න නොව බඩ කපාගන්න කියනව.

•විදේශ ඇමැති මංගල සමරවීර මහතා ජිනීවා වල පසුගියදා කළ කථාවේදී අලුත් උසාවි පිහිටුවන්න, අලුත් නිලධාරියෝ පත් කරන්න අප අපරාධ යුක්‌තිය සම්බන්ධයෙන් අලුත් නීති ගෙන ඒමට සූදානම් බව කියා සිටියා. මේ අලුත් නීති කුමකටද?

•අපගේ පවතින නීතියට නොහැකිවන්නේ විදේශිකයන් සම්බන්ධ කරගත් උසාවි පිහිටුවන එක.

•මෙම නව නීති ගෙන එන්නේ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට අවශ්‍ය දේ ඉටු කර දීමටයි.

•ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත අහෝසි කරන බව මංගල සමරවීර මහතා එම කථාවේදී ප්‍රකාශ කර තිබෙනවා.
•හයිබ්‍රිඩ් උසාවියකට වෙස්‌මුහුණක්‌ දමා දේශීය පරීක්‍ෂණ යාන්ත්‍රණය කියා ඇමරිකාවත් සමග එක්‌වී යෝජනාවක්‌ සම්මත කරවා ගතහොත් මිත්‍රශීලී රටවලට පවා අප බේරා ගැනීමට නොහැකි වෙනවා.

•අන්තිමට අප වෙනුවෙන් කථා කරන්න කිසිවකු ඉතුරු නොවනු ඇති.

- ආචාර්ය දයාන් ජයතිලක
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)

https://www.facebook.com/yuthukama

9/04/2015

සම්බන්දන් විපක්‍ෂ නායක කිරීම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම උඩු යටිකුරු කිරීමක්‌

කතෘ:යුතුකම     9/04/2015   No comments
-ප්‍රවීණ දේශපාලන විචාරක ආචාර්ය දයාන් ජයතිලක
 
සම්බන්දන් මහතා විපක්‍ෂ නායකයා ලෙස පත් කිරීම මේ රටේ මහජන වරම සහ ස්‌වාධිපත්‍යය සහමුලින්ම උල්ලංඝනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම උඩුයටිකුරු කිරීමක්‌. ඔහුට මේ තනතුර ලබාදීම දෙස මා බලන්නේ ජනවාර්ගික ප්‍රිස්‌මයක්‌ තුළින් නෙමෙයි.

1977 දී අමිර්තලිංගම් මහතා විපක්‍ෂ නායක තනතුර දැරූ නමුත් ඒ අවස්‌ථාවේ ටී.එන්.ඒ. සංවිධානයට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට වඩා ආසන සංඛ්‍යාවක්‌ හිමිව තිබුණා. නමුත් අද ටී.එන්.ඒ. සංවිධානයට ශ්‍රීලනිපයට වඩා ආසන ප්‍රමාණයක්‌ හිමි වී නෑ. මේ රටේ ජනතාව මේ මහ මැතිවරණයේදී ඡන්දය දුන්නේ සාපේක්‍ෂ වශයෙන් දුබල ආණ්‌ඩුවක්‌ සහ ප්‍රබල විපක්‍ෂයකටයි. ජනතාවගේ මනාපය එයයි. නමුත් ඒ ජන මතය උල්ලංඝනය කරමින් ශ්‍රීලනිපයේ පිරිසක්‌ එක්‌සත් ජාතික පක්‍ෂයට ප්‍රදානය කරනු ලැබුවා. එහි ප්‍රතිඵලයක්‌ විදිහට කිසියම් හිදැසක්‌ සහ අවුල් වියවුල් භාවයක්‌ ද නිර්මාණය කෙරුණා.

ඒ නිර්මාණය කරන ලද හිදැස තුළට ටී.එන්.ඒ. සංවිධානය රිංගවලා තියෙනවා. නමුත් ශ්‍රීලනිපයේ ආසන 95 ඉතාම පැහැදිලිව ටී.එන්.ඒ. හි ආසන 16 ට වඩා විශාලයි. ශ්‍රීලනිපයේ ආසන 95 න් කිසියම් ප්‍රතිශතයක්‌ ආණ්‌ඩුවට එකතු වුණත් මන්ත්‍රීවරු 55 කට වැඩි ප්‍රමාණයක්‌ විපක්‍ෂයේ වාඩිවෙන බව දැනුම් දී තිබෙනවා. ඒ අනුව ශ්‍රීලනිපයේ විපක්‍ෂයේ සිටින මන්ත්‍රීවරු ප්‍රමාණය පවා ටී.එන්.ඒ. මන්ත්‍රීවරු 16 ට වඩා තුන්හතර ගුණයකින් විශාලයි. එවැනි තත්ත්වයක්‌ තුළ ශ්‍රීලනිපය විපක්‍ෂයෙන් ඉවත් කර එම තනතුර ටී.එන්.ඒ. සංවිධානයට බාරදීම මූලික අංක ගණිතයටත් මහජන මතයටත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායටත් සාමාන්‍ය බුද්ධියටත් එරෙහිව යැමක්‌.

ටී.එන්.ඒ. සංවිධානයේ දේශපාලන අතීතය මොහොතකට අමතක කරමු. නමුත් ජුලි 25 දා ටී.එන්.ඒ. සංවිධානය මෙවර මහමැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළ උතුරු වලිකාමම්හි පැවැති රැස්‌වීමේ මුලසුන හෙබවූයේ මේ විපක්‍ෂ නායකකම හිමිකර ගෙන සිටින සම්බන්දන් මහතාමයි. ඒ රැස්‌වීමේ ආරම්භයේ සිට අවසානය දක්‌වා සියලු කථිකයන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ තමන්ගේ අසහාය නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් බවයි. එය ප්‍රකාශ වුණු හැම මොහොතකම රැස්‌ව සිටි දහස්‌ සංඛ්‍යාත පිරිස විසිල් ගසමින් නැටූහ. ටී.එන්.ඒ. සංවිධානයේ මන්ත්‍රීවරු අතරින් වැඩිම මනාප ප්‍රමාණයක්‌ අත්කර ගෙන සිටින ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ ප්‍රභාකරන් වන්දනා කරන පුද්ගලයෙකි. ප්‍රභාකරන් වීරයෙක්‌ ලෙස පැහැදිලිවම සලකන ටී.එන්.ඒ. සංවිධානයට විපක්‍ෂ නායකකම ප්‍රදානය කිරීම වරදක්‌ කළ පුද්ගලයකුට වැදගත් තිළිණයක්‌ දීම හා සමානය. එය අතිශයින්ම අමනෝඥ ක්‍රියාවකි.

ටී.එන්.ඒ. සංවිධානයේ මැතිවරණ ප්‍රකාශනය කරුණු 4 කින් සමන්විතයි. දෙමළ ජනතාවට ස්‌වයං තීරණ අයිතිය හිමිවන බව, උතුරු නැඟෙනහිර දෙපළාත වහාම නිත්‍ය වශයෙන් එකතු කළ යුතු බව, ඒකීය රාජ්‍ය ක්‍රමය වෙනුවට පෙඩරල් රාජ්‍ය ක්‍රමයක්‌ ඇති කළ යුතු බව සහ ලංකාවේ හමුදාව විසින් සිදුකළා යෑයි කියන යුද අපරාධ සෙවීමට ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ අවශ්‍ය බව එම කරුණු 4 යි. ඊට අමතරව ශක්‌ති රූපවාහිනී නාලිකාව සමඟ ටී.එන්.ඒ. මන්ත්‍රී සුමන්තිරන් මහතා සහ ඊ.පී.ඩී.පී. මන්ත්‍රී ඩග්ලස්‌ දේවානන්ද මහතා අතර පැවැති උණුසුම් විවාදයේදී සුමන්තිරන් මහතා කියා සිටියේ එක්‌සත් ජාතික පෙරමුණ සහ ටී.එන්.ඒ. සංවිධානය අතර ලිත නොවන දේශපාලන එකඟත්වයක්‌ ඇති බවත් ඒ එකඟත්වයට ඉන්දියානු අගමැති මෝදි මහතාගේ සහයෝගයත් ලැබී ඇති බවත් ය. සුමන්දිරන් මහතා පැවසුවේ ඒ එකඟත්වය වනාහි මහ මැතිවරණයෙන් පසු එක්‌සත් ජාතික පෙරමුණ විසින් අලුත් ව්‍යවස්‌ථාවක්‌ රටට ගෙනැවිත් ඒකීය සංකල්පය හලන බවත් ය. රටේ මූලික ව්‍යවස්‌ථාවේ සඳහන්ව ඇති ශ්‍රී ලංකා රාජ්‍යයේ ව්‍යුහය වන ඒකීය රාජ්‍ය ක්‍රමයට එරෙහි වන සංවිධානයකට විපක්‍ෂ නායකකම භාර දීම කෙතරම් වගකීම් විරහිත ක්‍රියාවක්‌ද?

මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව කිසි දිනක ස්‌කොට්‌ලන්ත ජාතික පක්‍ෂයට විපක්‍ෂ නායකකම බාර දෙන්නේ නෑ. ඒ තනතුර ලැබෙන්නෙ කම්කරු පක්‍ෂයට, කන්සවේටිව් පක්‍ෂයට හෝ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයටයි. අපේ රටේ මේ කර තිබෙන්නේ පනින රිලවුන්ට ඉණිමං බඳින ගමන් ම උන් අතට දැළි පිහියකුත් දීමයි.

විපක්‍ෂය යනු ආණ්‌ඩුවේ වැරදි හෙළිදරව් කරන පක්‍ෂයක්‌. නමුත් ටී.එන්.ඒ. සංවිධානය ආණ්‌ඩුව වැරදි දිශාවට තල්ලු කරන ස්‌ථාවරයක්‌ සහිත පක්‍ෂයක්‌. එක්‌ අතකින් ඔවුන් ආණ්‌ඩුවේ සගයන් ලෙස ජනවාරි 8 වැනිදා සිට කටයුතු කර ඇති අතර අනෙක්‌ අතට ඔවුන් ආණ්‌ඩුවට පක්‍ෂවන ගමන් රාජ්‍ය ව්‍යුහයට එරෙහි වෙති. එයට හේතුව පෙඩරල් ක්‍රමයක්‌ ගැන කතා කිරීමට පමණක්‌ නොව ලෝකයේ අනෙක්‌ පෙඩරල් රටවල්වල නැති එක ප්‍රදේශයක හා එක ජනවර්ගයක ජාතික ස්‌වයං තීරණ අයිතියක්‌ ගැන ඒ සමඟම කතා කරන නිසාය. එවැනි පක්‍ෂයකට විපක්‍ෂ නායකකම බාරදීමෙන් සිදුවන්නේ මෙම විපක්‍ෂ නායකකම කවදා හෝ අහිමි කළත් හිටපු විපක්‍ෂ නායක තත්ත්වය අමිර්තලිංගම්ට හිමි වූවා සේ මොවුන්ටත් හිමි වී ලෝකය පුරා ගමන් කර ඔවුන්ගේ ප්‍රදේශවලින් ඔවුන් ලද ජනවරම ක්‍රියාත්මක කිරීමට විශාල රුකුලක්‌ සැපයීමයි.

-පාලිත සේනානායක [දිවයින]

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions