11/15/2015

මෙවර අය වැය කොයිබටද?

කතෘ:යුතුකම     11/15/2015   No comments

අළුත් ආණ්ඩුවේ අය වැය පාර්ලිමේන්තුවට ගෙන ඒමට ඇත්තේ තවත් දින කිහිපයකි. මේ වන විට ජනමාධ්‍ය මඟින් අසන්නට ලැබෙන කරුණු කාරණා අනුවත් ඒ පිළිබඳ දළ චිත්‍රයක් ලබා ගැනීමට අපට අසීරු නැත. මෙම දළ චිත්‍රය අපට කියා පාන්නේ මෙවර අයවැය කිසියම් අර්බුදකාරී තත්ත්වයක් තුළ ඉදිරිපත් කරන්නක් බවය.

මෙයින් අදහස් කරන්නේ ආර්ථික කඩා වැටීමක් ඇති වේ යන්න නොවේ. අර්බුදය හා කඩා වැටීම යන්න දෙකකි. මෙහිදී අපට පැහැදිලිවම දිස්වන්නේ කිසියම් අර්බුදකාරී අවපාතයක ගුණාංග ලක්ෂණයන්ය.

ලංකාව මෙන්ම ලෝකයේ සෙසු ආර්ථිකයන් පිළිබඳ ඇගයීමක් කරනා මූඩිස් (Moody’s) ආයතනය සහ ෆිච් රේටින්ස් (Fitch Rations) වැනි ආයතන ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ ලබා දී ඇත්තේ විවේචනාත්මක මෙන්ම නිශේධනාත්මක සංඥාවන්ය. එම ජාත්‍යන්තර ආයතනවල සංඥාවන් ප්‍රශ්න කරමින් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාද අදහස් දක්වා ඇත.

මේ වන විට ශ්‍රී ලංකා ආර්ථිකයට සිදුවී ඇත්තේ කුමක්දැයි අප විමසා බැලිය යුතුය. එහිදී අපට දැකගත හැක්කේ මාස ගණනක් තිස්සේ රුපියලේ අගය පහත වැටෙන ආකාරයයි. රුපියලේ අගය වූ කලි ආර්ථිකයේ සුවය හා ශක්තියේ යම් දර්ශකයකි. එය උණ කටුවක පෙනෙන වටිනාකම වැන්නකි. ඒ අනුව ඩොලරයට සාපේක්ෂව රුපියල සැලකිය යුතු ලෙසින් පහත වැටිම සවර ගණනාවකට පසු අප දකින දෙයකි.
ඉකුත් රජය යටතේ රුපියලේ අගය එක්තරා මට්ටමක සිට පහත වැටෙන්නට එම ආර්ථිකය මෙහෙයවූ නිලධාරීන් ඉඩ දුන්නේ නැත. රුපියලේ අගය මේ අයුරින් පහත වැටෙන්නට වත්මන් ආණ්ඩුව ඉඩ දීමෙන් පෙනෙන්නේ එක්කෝ ආණ්ඩුවට එය වැළැක්වීමය වුවමනාවක් නොතිබූ බව හෝ එය වැළැක්වීමට හැකියාවක් නොතිබූ බවයි. මෙම ක්‍රියා පිළිවෙත තුළ ආර්ථිකයක ශක්තිමත් බව දියාරු වන අතර ඉන් විදහා දැක්වෙන්නේ ආර්ථිකයේ සැළකිය යුතු ප්‍රශ්නයක් ඇති බවය. මෙහිදී රුපියලේ අගය ස්ථාවර වන්නේ කොතනකදී දැයි අප නොදනිමු. එහෙත් රුපියලේ අගය පහත වැටීමෙන් භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාමක් එනම් ජිවන මිලට අලුත් බරක් එකතු වීම වළක්වන්නට නොහැකිය.

මේ අතර ලෝක බැංකුවේ ව්‍යවසායකත්වයට පිළිබඳ වාර්තාවට අනුව ආයෝජකයින්ට වැදගත් සංඥාවක් ලබා දී ඇත. මෙම වාර්තාවෙන් කෙරෙන්නේ ලෝකයේ විවිධ රටවල ව්‍යවසායකත්වයට හිමි වන පහසුව පිළිබඳ තොරතුරු ලබා දීමයි. කෙසේ නමුත් එම වාර්තාවේ සඳහන් සමහර දත්තයන් තරමක් පුදුම සහගතයි. ලංකාවේ දේශපාලන ඉතිහාසය ගත් විට අපට පෙනෙන්නේ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් බලයට පත්වූ විට ව්‍යවසායකත්වයට පහසු තත්ත්වයක් ඇති බවත් ආයෝජනයට වැඩි දිරි ගැන්වීමක් ඇති බවත්ය. එහෙත් ලෝක බැංකුවේ මෙරට ව්‍යවසායකත්ව වාර්තාව අනුව පෙනෙන්නේ පසුගිය ආණ්ඩුව යටතේ නව ආණ්ඩුවට වඩා පහසු වාතාවරණයක් ව්‍යවසායකත්වයට හිමිව තිබූ බවයි. පළමු වතාවට එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂික ආණ්ඩුවක් යටතේ ව්‍යවසායකත්වයට ආයෝජකයාට තිබෙන පරිසරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් යටතේ තිබු පරිසරයට වඩා අවාසිදායක එකක් බව ලෝක බැංකු වාර්තාවෙන් පෙන්නුම් කෙරේ.

මෙම සංඥාවන්ට අමතරව ලංකා ආණ්ඩුවට සම්බන්ධිත ප්‍රධාන ස්වායත්ත බුද්ධි මණ්ඩලය වන ප්‍රතිපත්ති අධ්‍යයන යතනයේ (I.P.S) නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය වන ආචාර්ය දුෂ්නි වීරකෝන් විසින් මෑත කාලයේ ඉදිරිපත් කළ වාර්තාවක් පුවත්පත්වල සිරස්තල ලෙස පළවුණි. ඇය කියා සිටියේ විදේශ ණය බර විශාල ලෙස වැඩිවී ඇති බවත් එම විදේශ ණය බර නිසා ආර්ථිකයට ඇති වී ඇති අහිතකර බලපෑමෙන් මිදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතීමට ආණ්ඩුවට සිදුවිය හැකි බවයි. කෙසේ නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මතට හේත්තු විමට ආණ්ඩු වැඩි කැමැත්තක් දක්වන්නේ නැත. එවැන්නක් කළ යුතු යැයි ආර්ථික විශේෂඥයින් සාමාන්‍යෙයන් යෝජනා කරන්නේ ච නැත. ඊට හේතුවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යම්කිසි සහයෝගයක් දෙන්නේ නම් දැඩි හා දරුණු කොන්දේසි ඒ රට මත පටවන බැවිනි. විශේෂයෙන්ම එම කොන්දේසි වලින් බැට කන්නේ ඇති හැකි පැළැන්තිය නොව මධ්‍යම පැළැන්තිය සහ නැති බැරි පැළැන්තියයි.

කෙසේ නමුත් ආචාර්ය දුෂ්නි වීරකෝන් පවසන්නේ පෞද්ගලික මුදල් වෙළඳපොළට නොගොස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහයෝගයක් එනම් ණයක් ලබා ගැනීම අවශ්‍ය වන තරමට ම ලංකා ආර්ථිකය අර්බුදයකට මුහුණ දෙනු ලබන බවයි. සමස්තයක් ලෙස මෙම සියලු සංඥා සහ සළකුණු සැළකිල්ලට ගැනීමේදි පෙනෙන්නේ ආර්ථිකයේ සවිමත් බව සහ සෞඛ්‍යය එතරම් හොඳ තත්ත්වයක නැති බවත්, මෙම ආර්ථික රෝගී තත්ත්වයෙන් ගොඩ ඒමට මෙම අයවැයෙන් ආණ්ඩුව යම් යම් පියවර ගැනීමට ඉඩ ඇති බවත්ය. ඒ පිළිබඳ ජනමාධ්‍ය ඔස්සේ සැලවන කරුණු වලට අනුව මේ පවතින තත්ත්වය හොඳ අතට ඒමකට වඩා ජනතාවට වඩාත් අපහසු තත්ත්වයකට මුහුණ දීමට වුවද සිදුවිය හැකිය.

මේ අනුව මෙවර අයවැය පරතරය පියවීම් සඳහා ආණ්ඩුව ගන්නට යන පියවර පිළිබඳව ආණ්ඩුවට හිතවත්කම් ඇති ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පත් වල මේ ගැන යම් තොරතුරු පළ වී ඇත. එම තොරතුරු වලට අනුව යන්නේ නම් මෙවර අයවැය ආශ්‍රිතව හා එය පසුබිම් කරගෙන එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුව ඉතාම අන්තවාදී ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නට යන බවත් පෙනේ. ඉරිදා ඉංග්‍රීසි පුවත්පතක ලිපි දෙකක පළ වූ ආකාරයට මෙම ප්‍රතිසංස්කරණ වැඩිපුර බලපාන්නේ රටේ හදවත වන කෘෂිකාර්මික ක්ෂේත්‍රය සහ ගැමි ගොවි ජනතාවටය.

වත්මන් ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා වන රවි කරුණානායක මහතා ප්‍රතිසංස්කරණ දෙකක් යෝජනා කර ඇති අතර , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් තවත් එක් පියවරක් යෝජනා කර ඇත. මෙම කරුණු තුනම එක් වැඩපිළිවෙලක කොටස් ලෙස අපට තේරුම් ගත හැකිය. එහිදී රවි කරුණානායක මහතා විසින් යෝජනා කරන ලදැයි පෙර කී ඉරිදා ඉංග්‍රීසි පුවත්පතේ දේශපාලන ලිපියක පළවූයේ පොහොර සහනාධාරය ඉවත් කිරීමත් ඒ වෙනුවට යම්කිසි මුදලක් ගොවි ජනතාවට ලබා දිමත්ය. එය පළමුවන විපර්යාසයයි. දෙවන විපර්යාසය වන්නේ ඊට වඩා භයානක දෙයකි. එය නම් 1972 සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ සමසමාජ පක්ෂයේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා විසින් ක්‍රියාත්මක කරනු ලැබූ ඉඩම් ප්‍රතිසංස්කරණය සහ මුලින්ම නොපිට පෙරළා දැමීමයි. එම ඉංග්‍රීසි පුවත්පතට අනුව රවි කරුණානායක මුදල් ඇමති වරයා යෝජනා කරන්නේ 1972 අක්කර පනහේ සීමාව සහමුලින්ම ඉවත් කළ යුතු බවත්, එම සීමාව ඉහළ දැමීම නොව, සීමා විරහිතව ඉඩම් පවරා ගැනීමට අයිතිය ලබා දිය යුතු බවත්ය. මෙය තවත් ආකාරයකට කියන්නේ නම් 1972 ට පෙර පැවති තත්ත්වයට යළි යාමකි.

ඉහත පියවර දෙකට අමතරව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා තුන්වෙනි ප්‍රතිසංස්කරණයක් යෝජනා කර ඇති බව ඉහත පුවත්පතෙහිම සඳහන් වේ. එම ප්‍රතිසංස්කරණය වන්නේ විදේශිය කර්මාන්තකරුවන්ට සහ විදේශිකයින්ට මෙරට ඉඩම් අත්පත් කරගැනීමට තිබෙන සියලු සීමා බන්ධන ඉවත් කර දැමිමයි. මෙම යෝජිත පියවර තුන පිළිබඳ අප විසින් විවේචනාත්මකව විමසා බැලිය යුතුය.

පොහොර සහනාධාරය ඉවත් කොට ඒ වෙනුවට කිසියම් මුදලක් අතට දීමෙන් ගොවියාට සිදුවන වාසියක් නැත. එයට හේතුව නම් රුපියලේ අගය සිඝ්‍රයෙන් පහත වැටෙන තත්ත්වයක් තුළ අතට ලැබෙන මුදලේ වටිනාකම පහත වැටීම නොවැළැක්විය හැකි බැවිනි. මෙහිදී ගොවි ජනතාවට වාසි සහගත වන්නේ පොහොර සහනාධාරය දිගටම ලබා දීමයි. එම පොහොර සහනාධාරය ජනතාවට ලබාදෙන ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි. එම පියවරට වඩා අප අවධානය යොමු විය යුතු කරුණු දෙක වන්නේ 72 ඉඩම් ප්‍රතිසංස්කරණය නොපිට පෙරළා ඉඩම් සීමාව ඉවත් කිරිමත් , විදේශිකයින්ට ලංකාවේ ඉඩම් හිමිකර ගැනීමට ඇති සියලු සිමා බන්ධන බවත් කිරීමත්ය.

1972 ඉඩම් ප්‍රතිසංස්කරණයට පසුබිම් වූ ප්‍රධාන කරුණු කාරණා දෙකක් තිබේ. එහි පළමු කාරණාව වූයේ 1956 බණ්ඩාරනායක මහතා ගේ මැතිවරණ ප්‍රකාශනයේ ඉඩම් ප්‍රතිසංස්කරණයකට සහ වතුකරයේ තිබුණු තත්ත්වය පරිවර්තනයට ලක් කිරීම සඳහා පොරොන්දු දි තිබිමයි. පැවති වතු රාජ්‍ය වෙනස් කිරීමට බණ්ඩාරනායක මහතාගේ 56 මැතිවරණ ප්‍රකාශනයේ පොරොන්දුවක් දී තිබුණත් එය ඉටු කරගන්නට නොහැකි විණි. ඒ 1959 වසරේ බණ්ඩාරනායක මහතා ඝාතනයට ලක්වීමයි. එහෙත් බණ්ඩාරනායක මහතා ගේ ආණ්ඩු කාලයේ පිලිප් ගුණවර්ධන නම් කීර්තිමත් දේශපාලන නායකයා විසින් ඉඩම් පනත ගෙනවිත් යම් ප්‍රගතිශීලී වෙනසක් ගොවි ජනතාව වෙනුවෙන් ඉටු කරන ලද්දේය. මෙය එක් සාධකයකි. 1972 ඉඩම් ප්‍රතිසංස්කරණයට මුල් වූ වැදගත්ම සාධකය වූයේ 1971 වසරේ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ලංකාවේ සිදුවූ මහා පරිමාණ තරුණ කැරැල්ලයි. එහිදී ගැමි ගොවි පසුබිමකින් පැමිණි උගත් තරුණ තරුණියන්ගේ නැගිටීමක් දක්නට ලැබුණි. එම කැරැල්ලෙන් සමාජයට සහ රාජ්‍ය බලයට කොතරම් කම්පනයක් ඇතිවී දැයි කිවහොත් එම කැරැල්ලට හේතු සොයා බලා ඒවාට පිළියම් යෙදීම සඳහා මහා පරිමාණ ප්‍රතිසංස්කරණ දෙකක් සිදු කළේය.

ඉන් එක් ප්‍රතිසංස්කරණයක් වන්නේ සොල්බෙරි ව්‍යවස්ථාව යටතේ ශ්‍රී ලංකාව එවකට බ්‍රිතාන්‍ය කිරිටයට සම්බන්ධ විම සහ බ්‍රිතාන්‍ය උසාවියට සමබන්ධ වීම නිසා රටේ ස්වාධිනත්වය හා ස්වෛරිත්වයට යම් යම් සිමාවන් වූ බව පැහැදිළි විය. ජනතා විමුක්ති පෙරමුණේ පන්ති පහෙන් පළමුවෙනි පන්තියෙහි විවේචනය කරනු ලැබුවේ 1948 ලැබුණු නිදහසේ බොල් බව යි. ඒ නිදහස් ස්වෛරී ස්වාධින බව සැබැවක් කිරිම සඳහා 1972 ජනරජ ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරනු ලැබූහ.

අද ලංකාවේ අපට පෙනෙන්නේ විදේශීය නඩුකාරවරුන්, විදේශීය නිතීඥවරුන්, විදේශීය පරීක්ෂකවරුන් ඇතුළත් කරගත් විශේෂ උසාවියක් ක්‍රියාත්මක කර හමුදාවට දඬුවම් කිරීමේ ප්‍රයත්නය හරහා 1972 ජනරජ ව්‍යවස්ථාවේ අර්ථය නොපිට පෙරළීමට සහ ජනරජයට කලින් තිබූ තත්ත්වයටම යළිත් යෑමට ගන්නා උත්සාහයකි.

1971 කැරැල්ලෙන් පසුව දේශපාලන අධිකරියේ සිදූවූ ඊළඟ මහා පරිමාණ ප්‍රතිසංස්කරණය සිදුවූයේද එම වසරේදීය. එය නම් ඉඩම් ප්‍රතිසංස්කරණයයි. එය පියවර දෙකකින් සිදුවුණි. එකක් නම් 1972 අක්කර පනහේ ඉඩම් සීමාන ඉදිරිපත් කිරීමයි. අනෙක නම් 1975 වසරේ වතු අධිරාජ්‍ය , එනම් පිටරට කොම්පැනි වලට අයිති වූ තේ වතු රජය සතු කිරීමයි.

අද වන විට වත්මන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යෝජනා කරන්නේ මේ මහා ප්‍රතිසංස්කරණ දෙකම වළලා දැමීමටය. ඒ ඉඩම් ප්‍රතිසංස්කරණය පසුපස වු තර්කය වූයේ ලංකාවේ ගම්බද ප්‍රදේශ වල ඇති නැති පරතරය අනවශ්‍ය ලෙස විශාල වීමට ඉඩකඩ පැවතීමයි. එනම් ඉඩම් හිමි පන්තියකුත් , ඉඩම් රහිත පන්තියකුත් ඇති වීමයි. එහිදී දුප්පතුන් හා සුළු ගොවීන් පසුබිම් කරගෙන ඔවුන්ගේ දරුවන් විශ්ව විද්‍යාලයට ගොස් අධ්‍යාපනය ලබා පැවති සමාජ තත්ත්වයට එරෙහිව කැරලි ගැසූ බවත් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය සහ ගම්බද ඇති නැති පරතරය හැකි තරම් පියවීමට උත්සාහ දැරිය යුතු බවත් එවකට ආණ්ඩුව තීන්දු කර ඉඩම් ප්‍රතිසංස්කරණ අදියර දෙකකින් ක්‍රියාවට නැංවිණි. එහි නිර්මාතෘවරුන් වූයේ හෙක්ටර් කොබ්බැකඩුව අමාත්‍යවරයා සහ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා අමාත්‍යවරයායි.

ඒ අනුව තුන්වන ලෝකයේ වෙනත් රටවල කැරලි වලට හේතුවන ඉඩම් හිමි පන්තිය සහ ඉඩම් විරහිත පන්තිය අතර විශාල ප්‍රභේදනයක් ලංකාවේ ගම්බදව දක්නට ලැබෙන්නේ නැත. එහෙත් අක්කර පනහේ ඉඩම් සීමාව බවත් කළහොත් යළිත් වතාවක් ඇති වන්නේ විශාල වශයෙන් ඉඩම් ප්‍රමාණයක් හිමි සුළුතරයක් සහ එවැනි ඉඩම් ප්‍රමාණයක් හිමිකර ගත නොහැකි බහුතරයක් වශයෙන් ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය සහ පොදුවේ ගත්කළ ගම්බද පළාත් ප්‍රභේදනය වීමයි. මෙය කිසිම ලෙසකින් රටේ ආර්ථික සංවර්ධනයට හේතුවක් නොවේ. විශේෂයෙන්ම සීඝ්‍ර ආර්ථික සංවර්ධනයක් පිළිබඳ කීර්ති නාමයක් ලබා ඇති ආසියානු රටවල් ගත්විට එම රටවල වාමාංශික ආණ්ඩු තිබුණද දක්ෂිණාංශික ආණ්ඩු තිබුණද පොදු සාධකය වන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණයක් සිදු කිරීම බවයි. එහිදී චීනය, තායිවානය, දකුණු කොරියාව වැනි රටවල් ගත්තත් ඒ සියලු රටවල් වලට ඇත්තේ මහා ඉඩම් හිමි පන්තියකට ඉඩ නොදී මැද පරිමාණයේ ගොවියන්ට උත්තේජනයක් සැලසෙන ආකාරයේ ඉඩම් ප්‍රතිපත්තියකි.

ශ්‍රී ලංකාවේ පවතින 1972 ඉඩම් ප්‍රතිපත්තිය තව පියවරකින් ඉදිරියට ගෙනයාම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙකු වූ රණසිංහ ප්‍රේමදාස මහතා විශාල උත්සාහයක් දැරීය. සත්‍ය ලෙසම ඔහු විපක්ෂ මන්ත්‍රී වරුයෙකු ලෙස 1972 ඉඩම් ප්‍රතිසංස්කරණය ගෙනා අවස්ථාවේදි පාර්ලිමේන්තුවේදි යෝජනා කළේ ඉඩම් සීමාව අක්කර පනහක් නොව පහක් දක්වා පහත දැමිය යුතු බවයි. ඔහු එසේ කියන ලද්දේ විපක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස ආන්දෝලනාත්මක මතයක් ප්‍රකාශ කිරීමට සිතා නොවේ. ඔහු ජනාධිපති වූවාට පසුව ඉඩම් බෙදා දීම සඳහා විශේෂ කාර්ය සාධක මණ්ඩලය පිහිටුවීමේදි හෙතෙම නැවත මතක් කළේ තමා 1972 චි යෝජනා කළේ අක්කර පහක ඉඩම් සීමාවක් බවයි.

එහිදී රණසිංහ ප්‍රේමදාස මහතා අපේක්ෂා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව විසින් මහා පරිමාණ ඉඩම් හිමියන් ගෙන් රජයට ගත් ඉඩම් යළිත් මහා පරිමාණ ඉඩම් හිමි පන්තියකට බාර දීම නොව ඉඩම් අහිමි ජනතාවය භාර දීමට පියවර ගැනීමයි.

වර්තමාන එක්සත් ජාතික පක්ෂය ඉඩම් ප්‍රතිපත්තියක් ලෙස දැනට යෝජනා කරමින් යන්නේ , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පමණක් නොව තමාගේ පක්ෂයේ නායකයා වූ රණසිංහ ප්‍රේමදාස මහතාගේ ඉඩම් ප්‍රතිපත්තිවටද සහමුලින්ම පටහැනි දෙයකි.

මෙහිදී ඉඩම් සීමාව ඉවත් කිරීම පමණක් නොව ඉන් ඔබ්බට ගොස් විදේශිකයින්ට ලංකාවේ කෘෂිකර්මයේ ආයෝජනය කර ඉඩම් හිමිකර ගැනීමට ඉඩ දීමෙන් සිදුවන්නේ දේශීය වශයෙන් විශාල ඉඩම් හිමි පැළැන්තියක් බිහි වීම පමණක් නොව විදේශිකයින්ටද ඉඩම් හිමි කරගැනීමට ලංකාවේ ඉඩම් හිමි කරගැනීමට අවස්ථාවක් උදා වීමයි. එහිදි දමිළ ඩයස්පෝරාවේ ඊනියා ආයෝජකයින් වේවා, තමිල්නාඩුවේ ආයෝජකයින්, ඉන්දියානු ආයෝජකයින්, ඇතුළු ලොව ඕනැම රටක ධනපතින්ට ලංකාවේ ඉඩම් සීමාවකින් තොරව අයිති කර ගත හැකි බවය. මෙහිදී ශ්‍රී ලංකාවේ සශ්‍රීක ඉඩම් ඔවුන් අතට පත්විම රටේ දෛවයට සෘජුවම බලපානු ලබන කාරණයකි. මගේ පෞද්ගලික මතකය‍ට අනුව 1990 වසරේ සර්ව පාක්ෂික සමුළුවක් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් කැඳවනු ලැබු අතර ඊට මමද සහභාගි වූයෙමි. එම සමුළුවට ලිබරල් පක්ෂයේ නායකයා වූ චානක අමරතුංග යෝජනා කළේ ඉඩම් සිමාව ඉවත් කළ යුතු බවත් පෞද්ගලික දේපල අයිතිය ව්‍යවස්ථාවේ මූලික අයිතියක් බවට පත්කළ යුතු බවත්ය. එතනදි ප්‍රේමදාස ජනාධිපතිවරයා කියන ලද්දේ එවැන්නක් කළ නොහැකි බවත් මේ රටේ ඉඩම් යනු සමස්ත ජනයාට අයිති , පරපුරෙන් පරපුරට දායාද වන වස්තුවක් බවත්ය. ඒ අනුව දේශීය හා විදේශිය ඊනියා ආයෝජකයින්ට සීමා විරහිතව ශ්‍රී ලංකාවේ භූමිය අයිති කරගැනීමට ඉඩ ලැබෙන්නේ නම් එතැනදි ශ්‍රී ලංකා සමාජය පමණක් නොව මෙරට ඉතිහාසයද විකෘති තත්ත්වයකට පත්වීම නොවැළැක්විය හැකි වනු ඇත.

-ආචාර්ය දයාන් ජයතිලක [රිවිර]

කාටූනය:  සන්ඩේ ටයිම්ස්
Like us on facebook
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions