ලොව කිසිම රටක් සිය ආරක්‍ෂක හමුදා මූලස්‌ථානයක් විදේශීයන්ට විමර්ශනය කිරීමට ඉඩ දෙන්නෙ නැත.
එහෙත් ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා ඉතිහාසයේ මුල්වරට එක්‌සත් ජාතීන්ගේ කණ්‌ඩායමක් ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානයට පැමිණ වධ කඳවුරක් තිබේදැයි පරීක්‍ෂා කළහ.
මෙම එක්‌සත් ජාතීන්ගේ දූත කණ්‌ඩායම ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානයට ගෙන ආවේ රහස් පොලිසියයි.
එකී දූත කණ්‌ඩාම නාවික හමුදා මූලස්‌ථානයේ පරණ ගොඩනැඟිල්ලක් පරීක්‍ෂා කර කොළඹට ගොස් බරපතළ ප්‍රකාශයක් කරනු ලැබීය. අපි බිම්මහලක තිබූ රහසිගත වධකාගාරයක් සොයා ගත්තා. මෙහි කුටි 12 ක් පමණ තිබූ බව අපි දුටුවා යෑයි දූත කණ්‌ඩායමේ සාමාජික ඒරියල් ඩ්‍රලිම්ස්‌කි පළ කළේය.
ශ්‍රී ලංකා හමුදාව රහසිගත වධකාගාර පවත්වාගෙන යන බවට ද්‍රවිඩ සන්ධාන හිටපු මන්ත්‍රී සුරේශ් ප්‍රේමචන්ද්‍ර චෝදනා කර තිබුණි. රජය එම චෝදනාව ප්‍රතික්‍ෂේප කළේය. මේ පසුබිම මැද එක්‌සත් ජාතීන්ගේ දූත කණ්‌ඩායම ත්‍රිකුණාමල නාවික කඳවුරට ගොස් පරීක්‍ෂා කර ඉහත කී බරපතළ ප්‍රකාශය කළේය.
නාවික හමුදා කඳවුරක් යනු ජාතික ආරක්‍ෂාවට සම්බන්ධ කේන්ද්‍රස්‌ථානයකි. එවන් කඳවුරක් පරීක්‍ෂා කිරීමට එකී දූත කණ්‌ඩායමට ඉඩ ලැබුණේ කෙසේද?
ඇමරිකානු රජය කියුබාවේ පිහිටි ත්‍රස්‌ත සැක කරුවන් රඳවා ඇති ගුන්තනාමෝබේ කඳවුර පරීක්‍ෂා කිරීමට කිසිවකුටත් ඉඩ දී නැත.
ඇමරිකානු සී. අයි. ඒ. සංවිධානය වධකාගාර පවත්වාගෙන ගිය බවට වාර්තාවකින් හෙළි විය. එහෙත් එක්‌සත් ජාතීන්ගේ දූත කණ්‌ඩායමක් ඇමරිකාවට හෝ පෝලන්තයට ගොස් වධකාගාර පරීක්‍ෂා කිරීමට ක්‍රියා කර නැත.
එහෙත් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාවට පවා එක්‌සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වන අයහපත් තත්ත්වයක් මතු වී තිබේ.
මේ අන්දමට ඉන්දීය හමුදාව එරට රැඳවුම් මධ්‍යස්‌ථාන හෝ නාවික හමුදා කඳවුරු පරීක්‍ෂා කිරීමට එක්‌සත් ජාතීන්ගේ දූත මණ්‌ඩවලට ඉඩ දෙනු ඇතැයි කිව හැකිද?
ප්‍රභාකරන් විසින් සිරකරුවන් රැසක් වන්නියේ රහස් රැඳවුම් කඳවුරුවල සිරගත කර සිටියදී කිසිදු එක්‌සත් ජාතීන්ගේ කණ්‌ඩායමක් මෙරටට පැමිණියේ නැත.
එහෙත් රටේ නාවික හමුදා කඳවුරු පවා එක්‌සත් ජාතීන්ගේ දූත කණ්‌ඩායම් විසින් පරීක්‍ෂා කරන තත්ත්වයක් අද උදා වී ඇත.
මෙරටට පැමිණි එක්‌සත් ජාතීන්ගේ දූත කණ්‌ඩායම මෙරට ජාතික ආරක්‍ෂාවට කෙතරම් බරපතළ ලෙස මැදිහත්වුවද කිවහොත් උතුරු නැඟෙනහිරින් ආරක්‍ෂක හමුදාව අඩු කරන ලෙසද ඉල්ලා ඇත.
උතුරු නැඟෙනහිර ආරක්‍ෂක තත්ත්වය ගැන තීන්දු ගන්නේ ජාතික ආරක්‍ෂක මණ්‌ඩලයයි. එවැනි විටෙක එක්‌සත් ජාතීන්ගේ දූත මණ්‌ඩලයට උතුරින් හමුදාව අඩු කරන්න යෑයි ඉල්ලීමට හිමි කමක් තිබේද?
මේ අන්දමට මුළු ලොව පුරා ඇති ඇමරිකානු හමුදා කඳවුරු 1000 කට වැඩි ප්‍රමාණයක් අඩු කරන ලෙස එක්‌සත් ජාතීන්ගේ දූත මණ්‌ඩලය ඇමරිකාවෙන් කිසි විටෙක ඉල්ලන්නේ නැත.
එසේම මෙරටට පැමිණි එක්‌සත් ජාතීන්ගේ දූත මණ්‌ඩලය තවදුරටත් පවසා ඇත්තේ රටේ අනිකුත් ස්‌ථානවල ඇති වධකාගාර ගැනද තොරතුරු හෙළි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි. මේ පසුබිම මැද පැරිසියට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරය නිසා අත්අඩංගුවට ගනු ලැබූවන් රහසිගත ස්‌ථානවල රඳවා තිබේ.
මේ ස්‌ථාන හෙළි කරන ලෙස එක්‌සත් ජාතීන්ගේ දූත මණ්‌ඩල ප්‍රංශ රජයෙන් ඉල්ලා නැත. අද මෙරට සිදු වන්නේ කුමක්‌ද යන බරපතළ ප්‍රශ්නය ජනතාව හමුවේ පවතී. මිනීමරු කොටි ත්‍රස්‌තයෝ නිදහස ඉල්ලා උපවාස කරති. එම තත්ත්වය මැද එක්‌සත් ජාතීන්ගේ දූත මණ්‌ඩලය නාවික හමුදා කඳවුර පරීක්‍ෂා කර වධකාගාරයක් තිබූ බව මුළු ලොවටම ප්‍රකාශ කර ඇත.
ඉන් අවමානයක් ඇති වූයේ නාවික හමුදාවට නොවේද?
ශ්‍රී ලංකාවේ යුද හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල වී ඇති අවස්‌ථාවක ඊළම්වාදීන් හා ද්‍රවිඩ දේශපාලකයන් එල්ල කරන චෝදනා විමර්ශනය කිරීමට පැමිණි එක්‌සත් ජාතීන්ගේ දූත මණ්‌ඩලයට රටේ ජාතික ආරක්‍ෂාවට මැදිහත් වීමට ඉඩදීම බරපතළ වැරැද්දකි.
කීර්ති වර්ණකුලසූරිය
-දිවයින
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .