අජටාකාශ යානයකින් ඉවත හෙළන ලද කොටසක් ලෙස සැක කෙරෙන වස්‌තුවක් නොවැම්බර් 13 වැනි දා පෙරවරුවේ ශ්‍රී ලංකාවේ දකුණුදිග මුහුදට කඩා වැටීමට නියමිත බව දැන් අප රටේ බොහෝ දෙනකු දන්නා පුවතකි. මේ ලිපියෙන් එම වස්‌තුව සම්බන්ධ තාරකා විද්‍යාත්මක පසුබිම් තොරතුරු සමූහයක් විමසුමට ලක් කෙරෙයි.
WT1190F ලෙසින් නම් කර ඇති මේ වස්‌තුව මුල් වරට ප්‍රසිද්ධ දුරදක්‌නයකට දක්‌නට ලැබී ඇත්තේ 2013 වසරේ පෙබරවාරි 18 වැනි දින දී ය. ඇමෙරිකාවේ ඇරිසෝනා සරසවියේ ස්‌ටුවර්ඩ් නිරීක්‌ෂණාගාරයට අයත් Catalina Sky Survey නමැති ග්‍රහක සහ වල්ගා තරු නිරීක්‌ෂණ වැඩසටහනකට යටතේ ක්‍රියාත්මක මවුන්ට් ලෙමන් වැඩසටහනට අයත් දුරේක්‌ෂයකට මෙය නිරීක්‌ෂණය වූ අතර UDA34A3 ලෙසින් තාවකාලිකව නම් කරන ලදී. එය දර්ශන පථයෙහි පැවතියේ පැය 5 ක් වැනි කාලයක් පමණි. අනතුරුව මේ වස්‌තුව එම වසරේ ම නොවැම්බර් 29 වැනි දින පෙර වැඩසටහනට ම අයත් දුරේක්‌ෂයකට නැවත දර්ශනය වූ අතර එවර එය නම් කර තිබුණේ UW8551D නමිනි. එවර එය පැය එක හමාරක පමණ කාලයක් දර්ශනය විය. ඉන් පසු නැවතත් මෙය දක්‌නට ලැබී ඇත්තේ 2015 ඔක්‌තෝබර් මාසයේ 3 වැනි දා ය. WT1190F නම ඊට හිමි වූයේ මෙවර ය. (මෙය ඔක්‌තෝබර් 9 වැනිදා හවායි සරසවියට අයත් දුරේක්‌ෂයකින් ද දර්ශනය වී තිබිණි). අවස්‌ථා තුනක දී නම් තුනකින් හඳුන්වා තිබීමෙන් අනුමාන කළ හැක්‌කේ මෙය එක ම වස්‌තුවක් බව නිරීක්‌ෂකයන් දැන නො සිටි බවයි. කෙසේ වෙතත් අවසන් වරට දිස් වූ අවස්‌ථාවේ දී මීට පෙර මෙය පෘථිවි දුරේක්‌ෂයකට වාර්තා වී ඇත් දැයි සෙවීමට නිරීක්‌ෂකයන් උත්සුක වූ අතර එවිට පෙනී ගියේ 2015 සැප්තැම්බරයේ දී හා 2012 වසරේ දෙසැම්බර් මස දී පවා මේ වස්‌තුව පෘථිවි දුරේක්‌ෂවලට දර්ශනය වී ඇති බව ය.
කලින් කරන ලද නිරීක්‌ෂණවල වාර්තා ද සමඟ සන්සන්දනය කරමින් මෙහි ගමන් මග අධ්‍යයනය කළ විද්‍යාඥයන් පවසන්නේ සඳට ද ඔබ්බෙන් ඇති දුරක් දක්‌වා එනම් පෘථිවියත් සඳත් අතර දුර මෙන් දෙගුණයක් තරම් දුරක් දක්‌වා විහිදෙන පුළුල් ඉලිප්සාකාර ගමන් ම`ගක මෙය ගමන් කරන බව ය. එය පෘථිවිය වටා එක් වටයක් යැමට සති 3 ක කාලයක් ගෙන තිබිණි. ඒ අනුව මෙය ඝනත්වයෙන් අඩු වස්‌තුවක් බවටත් මෑතක දී හෝ දශක කිහිපයකට පෙර හෝ සඳ වෙත යෑවුණු යානයක (රොකට්‌ටුවක ඉහළ අදියරකට අයත්) කොටසක් විය හැකි බවටත් සාධාරණ සැකයක් මතු ව ඇත. ඝනත්වයෙන් අඩු බැවින් එය අජටාකාශ යානයකින් ඉවත හෙළන ලද, මැද නාළාකාර අවකාශයකින් යුතු ටැංකියක් හෝ යානයක බඳක කොටසක් හෝ විය හැකි යෑයි අනුමාන කරනු ලැබේ. මෙහි ඝනත්වය ගණනය කර ඇති ආකාරයට ජලයේ ඝනත්වයටත් වඩා සියයට 10කින් අඩු ය. ස්‌වාභාවික අභ්‍යවකාශ වස්‌තුවක් නම් මේ තරම් අඩු ඝනත්වයක් සහිත වන්නට හැකියාවක් නැත. (ඝනත්වය යනු ද්‍රව්‍යයක කිසියම් ඒකක පරිමාවක් සැලකීමේ දී එහි ස්‌කන්ධයයි).
පෘථිවිය හා සෘජු ව ගැටෙන ගමන් මගකට මෙය අවතීර්ණ වී තිබීම හේතුවෙන් රටවල් ගණනාවක විද්‍යාඥයන්ගේ අවධානය මේ කෙරෙහි යොමු වී තිබේ. මේ වන විට පෘථිවියෙන් සාපේක්‌ෂව ඈත අභ්‍යවකාශය දක්‌වා දිවෙන කක්‌ෂයක අතරමංව ගමන් කරමින් ඇති මෙවැනි කෘත්‍රිම වස්‌තු අතරින් විද්‍යාඥයන්ට නිරීක්‌ෂණය කිරීමට හැකිව තිබෙන්නේ 20 ක් වැනි ස්‌වල්ප සංඛ්‍යාවක් පමණි. එහෙත් එවැනි ඈත අභ්‍යවකාශය දක්‌වා වූ ගමන් පථයක ගමන් කරන වස්‌තුවක් මෙතෙක් (විද්‍යාඥයන් දැනුවත්ව) පෘථිවියට කඩා වැටී නැත. මිනිසා විසින් නිපදවන ලද අභ්‍යවකාශ වස්‌තුවක් මීට පෙර පෘථිවියට කඩා වැටී ඇත්නම් ඒ සියල්ල ම පෘථිවි කක්‌ෂය ආසන්නයෙහි අභ්‍යවකාශගත වී තිබූ ඒවා වේ. ඒ අනුව පෘථිවියෙහි නිපදවූ වස්‌තුවක කොටසක් ඈත අභ්‍යවකාශ දක්‌වා ගොස් නැවත පෘථිවිය වෙතට ම පැමිණෙන ප්‍රථම අවස්‌ථාව මෙය වෙයි.
යුරෝපා අභ්‍යවකාශ නියෝජිතායතනයට අයත් නෙදර්ලන්තයේ පිහිටි පෘථිවි සමීප වස්‌තු අධ්‍යයන කාර්යාලයේ සම කළමනාකරු ගර්හාර්ඩ් ෙඩ්‍රාල්ශැගන් පවසන්නේ ඈත අභ්‍යවකාශයේ සිට ඇදී එන මිනිසා විසින් නිපදවන ලද වස්‌තුවක් පෘථිවියට ඇතුළු වන අවස්‌ථාවේ හැසිරෙන ආකාරය පිළිබඳ අදහසක් ලබාගැනීමටත් ඈත අභ්‍යවකාශයේ සිට පෘථිවිය ඉලක්‌ක කරගෙන ඇදී එන ඕනෑ ම වස්‌තුවක් සම්බන්ධ සිදුවීමක දී විද්‍යාඥයන් අතර පෙර සූදානම අත්හදා බැලීමටත් මෙය විරල ගණයේ අවස්‌ථාවක් වනු ඇති බව ය. සමීප නිරීක්‌ෂණ කටයුතු සඳහා ගුවන් යානා හා නාවික යාත්‍රා දැනටමත් සූදානම් කර ඇත. කෙසේ වෙතත් පොදුවේ ගත් කල පෘථිවිය ආසන්නයෙන්ම කක්‌ෂගතව ඇති කෘත්‍රිම සුන්බුන් නිරීක්‌ෂණය කිරීමට ඇති උනන්දුව තරමේ උනන්දුවක් පෘථිවියෙන් ඈත් වූ ගමන් ම`ගකට පිවිස ඇති සුන්බුන් නිරීක්‌ෂණය සඳහා මෙතෙක් යොමු වී නැත. මේ ආකල්පය වෙනස් විය යුතු බව මැසචුසෙට්‌ස් ප්‍රාන්තයේ කේම්බ්‍රි-හි පිහිටි තාරකා භෞතිකය පිළිබඳ හාර්වර්ඩ්- ස්‌මිත්සෝනියන් මධ්‍යස්‌ථානයේ තාරකා භෞතික විද්‍යාඥ ජොනතන් මැක්‌ඩොවෙල් පවසයි.
උඔ1190F ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 11.50 ට පමණ දක්‌ෂිණ ශ්‍රී ලංකාව අවට මුහුදට කඩා වැටෙනු ඇති අතර බොහෝ දුරට එය පතිත වීමට පෙර ඉහළ අහසේ දී දැවී යනු ඇත. එසේ වුව ද කිසියම් කොටසක් පතිත වීමට ද ඉඩ ඇති බැවින් මෙවැනි අවස්‌ථාවක තමා නම් මුහුදු යන්නේ නැතැයි නාසා ආයතනයට අයත් පැසඩෙනාහි ජෙට් ප්‍රචාලන පර්යේෂණාගාරයේ සිට අභ්‍යවකාශ සුන්බුන් නිරීක්‌ෂණ කටයුතුවල යෙදෙන තාරකා විද්‍යාඥයකු හා මෘදුකාංග සංවර්ධන ශිල්පියකු වන බිල් ග්‍රේ පවසයි. කඩා වැටීමට නියමිත ප්‍රදේශය අවට අවම වශයෙන් කිලෝමීටර 5ක සීමාව තුළ ධීවර කටයුතුවල යෙදීමෙන් වැළකීම වඩාත් සුදුසු බව ඔහු ගේ නිර්දේශයයි. කෙසේ වෙතත් මෙම`ගින් සුළු හානියක් වුව සිදු වීමට ඇති ඉඩකඩ අල්ප බව යුරෝපා අභ්‍යවකාශ නියෝජිතායතනයේ ප්‍රකාශකයකු පවසා තිබිණි.
දිවා අහසේ වුව ද මෙය අඩු දීප්තියක් යටතේ දැවී යන අයුරු දුරේක්‌ෂ ආධාරයෙන් දැකබලාගත හැකි බව විශ්වාස කෙරෙයි. පෘථිවිය හා ගැටීමට ආසන්නයේ දී එහි දීප්ති විශාලනය 16ක් (ධන 16) පමණ වනු ඇතැයි අනුමාන කර තිබේ. තාරකා විද්‍යාවේ දී අභ්‍යවකාශ වස්‌තුන්හි දීප්තිය මනිනු ලබන්නේ 0 සිට ධන දෙසටත් සෘණ දෙසටත් විහිදෙන අංක ක්‍රමයකින් වන අතර මේ මිනුම් ක්‍රමයේ දී වස්‌තුවක දීප්තිය සෘණ අගයෙන් වැඩි නම් වැඩි දීප්තියකුත් ධන අගයෙන් වැඩි නම් අඩු දීප්තියකුත් අදහස් වෙයි. මේ මිනුම් පරිමාණයෙහි සූර්යයා ගේ දීප්තිය දැක්‌වෙන්නේ සෘණ 26 ක් ලෙසිනි. චන්ද්‍රයා සෘණ 12 කි. පරිමාණයෙහි පියවි ඇසට වස්‌තුවක් යාන්තමින් පෙනෙන මට්‌ටම නිරූපණය කෙරෙන්නේ ධන 5.5 නි. දුරේක්‌ෂයකින් බැලිය යුතු සීමාව ඇරඹෙන්නේ ඉන් ඔබ්බට ය. ඒ අනුව 16 හෙවත් ධන 16 යනු පියවි ඇසින් දැකගත හැකි දීප්තියක් නො වේ.
ධාවක රාජසිංහ
[දිවයින]
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .