11/18/2015

සිංහල සංහාරයක සතර පෙරනිමිති

කතෘ:යුතුකම     11/18/2015   No comments

අමන (අවම) බලය, රතු හිවල්ලු, කළු බළල්ලු හා බූරු පැටව් - සිංහල සංහාරයක සතර පෙරනිමිති

-ආචාර්‍ය චමිල ලියනගේ

පසුගියදා ගණකාධිකරණ උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය ප්‍රජාවට එල්ලවූ පොලිස් ප්‍රහාර අපි දැක ගතිමු. ඒ සිද්ධියේ වූ අමානුෂිකත්වය සියල්ලෝ පිළිකුල් කළහ. ඡායාරූපද, වීඩියෝද කොතෙකුත් අන්තර්ජාලයට පැටවිණි. මේ සම්බන්ධයෙන් ගොඩ නැගී ඇති සමාජ කතිකාව පිළිබඳ අපේ නිරීක්ෂණ කීපයක් පළමුව ඉදිරිපත් කර දෙවනුව ඒ පිළිබද අප නිගමනය ප්‍රකාශයට පත් කරමු. ඇතැම්හු පොලිසියට බණිති. ඒ අමානුෂික පහරදීම පිළිබඳවය. ඒ බැණ අඬ ගැසීම් වලට ‘අට පාස් නැති නූගතුන්‘ ‘උපාධි අපේක්ෂක උගතුන්ට‘ ගැසීම ගැනද කරුණු ඇතුළත් වේ. තවකෙක් උසස් ඩිප්ලෝමාව උපාධියක දක්වා උසස් කරගැනීමට, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ඉදිරිපිට පාර අවහිර කරමින් උගතුන් නොව සාමාන්‍ය මිනිසකුටවත් නොසරිලන සේ කුපිතව හැසිරීම නුසුදුසු බව කියති. ‘ප්‍රජාතන්ත්‍රවාදය‘ තුළ අයිතීන් දිනා ගැනීම සඳහා සටන් කිරීමේ ‘උද්ඝෝෂණ‘ ආචාර ධර්ම පිළිබඳව ද ඇතැම් විචාර ප්‍රතිචාර පළවනු දක්නට ලැබේ. අපගේද ශරීර කිලිපොලා ගිය ලේ වැගිරෙන සිදුවීම් වල සිද්ධි වාචකත්වය හෙවත් ඛේදවාචක රසවින්දනයෙන් මදක් ඔබ්බට ගොස් හෙවත් මේ ජවනිකාව නම් ‘ඵල’යේ ‘හේතු’ සොයා යෑම සුදුසුයැයි අපි සිතමු.

මෙය පොලිසිය ශිෂ්‍යයන්ට පහර දුන් පළමු දිනය නොවන අතර, ප්‍රස්තුථ සිද්ධියට සම්බන්ධ ශිෂ්‍ය ඉල්ලීමේ ඉතිහාසය තුළ අදාළ වගකිවයුත්තන් සමග සිදුකළ පළමු අන්තර් ක්‍රියාව මෙම උද්ඝෝෂණයද නෙවේ. සිසුන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණය කරන බව සැළවී, පොලීසියේ පිරිසක් ස්වේච්ඡාවෙන් සංවිධානය වී පැමිණ මේ පහරදීම සිදු නොකළ බව අප පළමුව වටහා ගත යුතුය. අමානුෂික ලෙස හැසිරුනු ඒ ඩවුබිගින්ගේ පොලිස් ‘කාරයන්’ ලිහා දැමුවේ කවුද? සාමාන්‍ය සිරකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට වඩා දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් අදාළ අංශ ක්‍රියාත්මක විය යුතු පිළිවෙල වෙනස්ය. එක් එක් ප්‍රජා කණ්ඩායම් සමග ගණුදෙනු කිරීමේදී, අනුගමනය කළ යුතු ප්‍රමිතීන්, සම්මතයන් අතර වීදි සටනක නිරත ශිෂ්‍යයින් සම්බන්ධයෙන් කෙසේ හැසිරිය යුතුද යන්න පොලෝසියට උගන්වා නැතිද? දෙමළ බෙදුම්වාදයේ ඉල්ලීම් වෙනුවෙන්, මුස්ලීම් අන්තවාදය වෙනුවෙන් පාරවල් හරස් කරද්දී, හර්තාල්, වර්ජන කරද්දී ඊනියා අවම (අමන) බලයේ ශිෂ්ට හැසිරීම උසස් අධ්‍යාපන ආයතන වල සිසු සිසුවියන් සම්බන්ධයෙන් නැත්තේ ඇයි? එසේ ප්‍රශ්න කිරීම යුක්ති යුක්තය. අපිදු ඒ ප්‍රශ්න පුනරුච්ඡාරණය කරමු.

දැන් තවත් ඉතා මෑත කාලීන සංසිද්ධින් දෙකක් මෙහිලා ඈඳන්නෙමු. කොටි ත්‍රස්තවාදී සිරකරුවන් නිදහස් කරන්න යැයි, බෙදුම්වාදයේ බත්බැල යින් පිරිසක් කොළඹ සංවිධානය කළ උද්ඝෝෂණයකදී පොලිසියේ හැසිරීම අපි දැක්කෙමු. එහිදී යටකී අවම බලය පාවිච්චිවීම අපට, අකීකරු දරුවන් සිටින ළදරු පාසලක හුරතල් ගුරුවරියන් පිරිසක් බොරු තරහක් මවාගෙන උන් මේච්චල එහේ මෙහේ දුවන ආකාරය අපට සිහි ගැන්වුයේය. පොලිසියේ හැසීරීම එහිදී ඒතරම් සුමටය. මීරියබැද්ද සම්බන්ධයෙන් කොළඹින් බැහැර දෙමළ ජාතිකයින් පිරිසක් පැවැත්වූ උද්ඝෝෂණයකට විස්කෝතු දීමටත් පොලිසිය හරහා ක්‍රියාත්මක වෙන ආණ්ඩුවේ අවම බලය සූදානම්ය. හෙට අනිද්දා දෙමළ මරක්කල උද්ඝෝෂණයක උද්ඝෝෂකයන්ට විවේක ගන්නට කියා සටන්පාඨ කියමින් කෑ ගසන්නටද, අත් රිදී හිරිවැටෙන්නට ඉඩ ඇති නිසා සටන්පාඨ සහිත පුවරු ඔසවා සිටීමටද පොලිසිය යෙදවීමට ඉඩ තිබේ. වැරදීමකින් හෝ දෙමළ හෝ මරක්කල උද්ඝෝෂකයකුගේ අතක් සීරුනද පහුවද පීසා කුළුන ළඟද, අයිපල් කුළුණ ළඟද, බකිංහැම් මාලිගාව ළඟද, ධවල මන්දිරය ළඟද, ජිනීවා මානව හිමිකම් ගුබ්බෑයමක් ළඟද උද්ඝෝෂණ කරන්නට නෑයන් ඇත. සිංහල දරුවන්, භික්ෂූන් වහන්සේ වෙනුවෙන්? මින් පසු උද්ඝෝෂණ කරනවා නම් නළලේ පොට්ටු තබාගෙන ඒම සුදුසුයැයි කවුදෝ කොහේදෝ ලියා තිබෙනු අපි දුටුවෙමු.

එහෙත් පසෙක හිඳගෙන සිටින තරුණ ශිෂ්‍යයකු, ශිෂ්‍යවකගේ ඔලු පැලීමට තරම් ඉඩකඩක් සහිත අවම බලයක් ලැබෙන්නේ කෙසේද? එකම හේතුව මේ උද්ඝෝෂකයන් පිරිස සිංහල වීමය. ආණ්ඩුව මොන පක්ෂයේ වුවද නූගත් දේශපාලකයාගේ ලේ පිපාසය සංසිඳවීමටද, අශික්ෂිත පොලිස් දඩෝරියන්ගේ ඇඟේ පතේ හිරි ඇර ගැනීමටද සිංහල බිළි අවශ්‍යය. මේවා දකිද්දී, 1971ට පෙර සමයද, 1988-89ට ආසන්න කාලයද අපට සිහිපත්වේ. නමින් සිංහල වුවද, සිංහල නම් වලින් ඉපිද රාජ්‍ය බලය අල්ලාගෙන සිටින සොළී, පාණ්ඩ්‍ය, චේර ආත්ම කලින් කලට සිංහල බිළි ගන්නේය. ඒ ප්‍රගතිශීලී සිංහල අංකුර නසන්නටය. 1971දීද, 1988-89 දීද එය අපූරුවට සිදුවිය. අධිරාජ්‍යවාදී, සිංහල විරෝධී, බොදු විරෝධී පාලකයන්ගේ ලේ පිපාසය සංසිඳුවන්නට දංගෙඩියට සිංහල තරුණ තරුණියන්, තරුණ භික්ෂූන් වහන්සේ යන්නේ ස්වේච්ඡාවෙන් නොවේ. රට ජාතිය වෙනුවෙන් සටන් කරමින් සිටියදීද නොවේ.

මාක්ස්ගේ දේශීය ගෝලයෝ සිංහල තරුණ තරුණියන්ද, භික්ෂූන් වහන්සේද දරුණු ලෙස ඩැහැගන්නවා පමණක් නොව ඉහතකී දංගෙඩියට තල්ලු කරන්නේය! සිංහලයන් සංහාරය කිරීමේ කොන්ත්‍රාත්තුවේ පළමු කොටස කරන්නේ මාක්ස්ගේ චින්තනය විකුනාගෙන කන දේශීය රැවුලන්ය. ඒ, ආගම අබිං යැයි උගන්වමිනි. ජාතිකත්වය රට ආදීය නොසරුප් වදන්යැයි මොල සෝදා ඒත්තු ගන්වමිනි. උත්තරාරෝපිත මනෝමූලික පංති අසමානතාව නැමැති ‘අබිං’ කන්නටදී නිර්ධන පංතික ආඥාදායකත්ව නැමැති සිහිනය දකින්නට සළස්වමිනි. එච්.එන්.ඩී.ඒ සිද්ධියේ දී පමණක් නොව, උගත් බුද්ධිමත් ප්‍රබුද්ධ පිරිසක් ලෙස ඒ බුද්ධි ප්‍රභාව පෙන්වාලමින්, ප්‍රතිවාදීන් ලජ්ජාවට පත්කරමින් ජය ලබන්නට විශ්ව විද්‍යාල හෝ වෙනත් උසස් අධ්‍යාපන ආයතන වල විද්‍යාර්තීන්ට උගන්වනු වෙනුවට උන් අමන රැලක් බවට පත්කර තිබේ. පොලිසියෙන් අවම බලය ඉල්ලන්නන් තම භාවිතාව පාලනය කරගෙන තිබේද? ශිෂ්‍ය ප්‍රජාව ඒ තත්ත්වයට පත්කර ඇති මේ අමන රත්තන්, ඊළඟට පටන් ගන්නේ සිසුන්ගේ ලේ හා මළ කඳන් විකුනාගෙන කන්නටය!

සෛද්ධාන්තිකව කියන්නේ නම්, ඊනියා ස්වදේශික කොමියුනිස්ට්වාදී පක්ෂ මාක්ස්ගේ චින්තනයට මුවාවී අධිරාජ්‍යවාදයේම කොන්ත්‍රාත්තුවක් ඉටුකරමින්, ජාතික විමුක්ති අරගල දියකර හරිනු පිණිස ස්වදේශික ප්‍රගතිශීලී බලමුළු ඉතා උපක්‍රමශීලී ලෙස නසමින් සිටින්නේය. ජාතික විමුක්ති අරගල සඳහා උත්සුක පිරිස් ආයාසයෙන් රැස්කරමින් සිටින සමාජ ප්‍රාග්ධනය හා ඒ සඳහා ඇති ඉඩකඩ සහාසික ලෙස කොල්ලකමින් සිටින්නේය. ඒ ඇත්ත සමාජයෙන් වසන් කරනු පිණිස ඊනියා කොමියුනිස්ට් සමාජවාදයෙන් සිය නිරුවත වසා ගනිති. එළිපිට පවතින ‘ධනේෂ්වර‘ ආණ්ඩු වලට එරෙහි ලෙස පෙනී සිටියද, මේ රැවුලන්ගේ පැවැත්මට අවශ්‍ය සටන් නිර්මාණයට තරුණ සිත් උසිගැන්වීමට අවශ්‍ය සමාජ ආතතීන් උන්ගේම සහෝදර ‘ධනේෂ්වර’ආණ්ඩු පක්ෂ විසින්ම නිර්මාණය කරන්නේය. සිංහල තාරුණ්‍යය ‘රතු සිවලුන්‘ විසින් සටනට දැක්වූ පසු, ඒ අසරණයින් ඝාතනය කිරීමේ වගකීම කළු බළල්ලු අකුරට ඉටු කරති.

අවසාන වශයෙන් දේශපාලනය ගැන මූලික වැටහීමක් හෝ ඇත්තන් අමතා අපි යමක් සිහිගන්වනු කැමැත්තෙමු. 1971දී 19000ක්ද 1988-89 සමයේ 64000 ද (මේ සංඛ්‍යා ලේඛන ගැන විවිධ මූලාශ්‍ර විවිධ අදහස් ඉදිරිපත් කරයි) ඝාතනය වූ ‘අත්පුඩි‘ ගැසුයේ තනි අතින්ද? නැත. එය අත්පන්දු තරඟයක් මෙනි. රතු හිවල්ලු ‘පාස්‘ තබා දුන්නෝය. කළු බළල්ලු ‘ඩෑෂ්‘ ගැසූවෝය. කළු බළලුන්ද, රතු නරිද හැන්දෑවට හැව ඇර එකිනෙකාගේ ගණුදෙනු බෙදාහදා ගන්නා බව බූරු පැටවුන් දන්නේ නැත! අපේ මේ අනතුරු ඇඟවීම දෙමවුපියන් තේරුම් ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. නැතිනම් අතුරුදන්වූවන්ගේ මාපිය සංවිධානයක් ඇරඹීමට සූදානම් වීම යෙහෙකි.

-ආචාර්‍ය චමිල ලියනගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com