11/08/2015

මෙතරම් ඉක්මනින් සෝභිත හිමි අපවත් කළෝ කවුරුහුද ?

කතෘ:යුතුකම     11/08/2015   3 comments

මාදුළුවාවේ සෝභිත හිමියෝ අපවත් වූහ. උන්වහන්සේ අපවත්වූයේ නොසිතූ කලක ය. එනම්, තව බොහෝකල් වැඩ වසන බවට තරම් විශ්වාසයක් සැමට තිබූ උන්වහන්සේ ඉක්මනින්නම අපවත් වූහ. මෙතරම් ඉක්මනින් අපවත් විය හැකි බවට රෝ පීඩා, උන්වහන්සේ ග්‍රහණයට ගැනීමට තරම් ශාරීරිකව මෙන්ම මානසිකව ද උන්වහන්සේ අබල දුබල වන්නට භෞතික සාධක රැසක් බලපැවැත්විය යුතු ය.

රෝග පීඩාවන්ට අමතරව, සෝභිත හිමියන් අසරණව සිටි කාලයක් තිබුණි. ඈත මෙන්ම මෑත ද උන්වහන්සේ අසරණ කරන්නට හෝ නිහඬ කරන්නට වෙර හා දැරූ තැත්ද අපමණ ය. මෑත ඉතිහාසයට අදාළව, දැන් ජනප්‍රිය “සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය“ ගොඩනඟන අවස්ථාවේ උන්වහන්සේට කෙනෙහිලිකම් කළ අය බොහොමයක් සිටියෝ ය. අද සිට තව දින කිහිපයක් යනතුරු සෝභිත හිමි වෙනුවෙන් සෙම් සොටු පෙරන හා කහ කොඩි ඔසවන බොහෝ දෙනා නිවැරදිවම නොදන්නවාට, එම ව්‍යාපාරය කඩාකප්පල් කරමින් සෝභිතහිමිට එරෙහිව ප්‍රබලව කටයුතු කළෝ අද වනවිට අභව්‍ය ලෙස යෙහෙන් වැජඹෙමින් සිටින්නෝ ය. දෛවය සරදම් කරනවා කීවාට මෙතැන දී දෛවයේ සරදම ආශීර්වාදයක් කරගත්තෝ උන්වහන්සේට කෙණෙහිලිකම් කළෝ වෙති.

විවිධ මාතෘකා කරළියට ගෙන එමින් සමාජ කතිවතක් ඇතිකොට, පැවැති රජය දරුණු විවේචනයකට බඳුන් කරමින් කටයුතු කිරීම නිසා සෝභිති හිමි චරිතයට පැවැති රජයෙන් අගතියක් සිදු වූවාද යන සැකය සමාජ ගතවීම ද මීට සමගාමීව යම් සාධනීය බවක් දනවයි. සැබැවින්ම එය එසේ නොවේ.

මෑත ඉතිහාසයේ මාදුළුවාවේ සෝභිත හිමියන්ට අවහිර කළෝ, මහින්ද රාජපක්ෂ හිටපු ජනපති හෝ හිටපු ආණ්ඩුව නොවේ. තවකෙකුගේ දෛවයේ සරදම ආපිට පෙරළෙන ආශීර්වාදයක් කරගන්නට ඇතැමුන් සමත් බව පෙර සඳහන් කළේ එබැවිනි. මෙයට අදාළව බොහෝ දෙනෙක් නොදන්නා මෑත ඉතිහාසය සැකෙවින් මතක් කිරීමට සිදුවෙයි.

සෝභිත හිමියන්ගේ කැඳවුම්කාරත්වයෙන් යුතුව ගොඩනැඟූ “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය“ ආරම්භවීම සම්බන්ධව ද අද සිට දින කිහිපයක් යනතුරු අපූරු ඉතිහාස කතා ද බොහෝ තැන්වල ලියැවෙනු ඇත. ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසය පවා විකෘති කරන ආකාරයටම මෙහි ඉතිහාස කතාව ද වැරදියට ලියන බව දැනටමත් සනාතය. නොසිතූ මෙහොතක දැඩිව රෝගාතුරවී ඉක්මනින් අපවත්වීමට කරුණු යෙදීම තුළ සෝභිත හිමියන්ට මෑත එල්ල වූ බලපෑම් සමහරක් සහ ක්‍රියාකාරීත්වයේ පැතිකඩක් නිරාවරණය කිරීම වැදගත් ය.

“සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය” වැනි ව්‍යාපාරයක් ගොඩනැගීමේ පළමු සාකච්ඡා 2010 වසරේ පවත්වන්නේ රාජගිරිය, වැලිකඩවත්ත පාරේ පිහිටි නිතීඥ ශිරාල් ලක්තිලක ගේ දේශපාලන කාර්යාලයේ ය. සැබැවින්ම ඒ වෙනුවෙන් තම කාලය, ශ්‍රමය හා මුදල් ද වැය කරනුයේ ශිරාල් ය.ඒ සමගම කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් ය.

සැබැවින්ම දේශපාලන සත්ත්වයෙක් වූ ශිරාල් අද සිටින ආස්ථානයන් පිළිබඳව ඇතැමුන්ට මතයක් තිබිය හැක. වත්මන් සමාජයේ ඇතැමුන් පුද්ගල චරිත පිළිබඳව පෙර සිට ඇඳගන්නා චිත්‍රයක් ඇත. ඒ අනුව එය මෙම ලියුම්කරු සම්බන්ධවද සමහරුන් තුල තිබිය හැක. ශිරාල් ට හෝ සෝභිත හිමිට හෝ අදාළව සමාජය තුළ එවැන්නක් තිබිය හැක. එය දුර්වල හා නොගැළපෙන මතයකි. එය අදේශපාලනික ය. තමන් දරන ස්ථාවරය හෝ උගත් දේශපාලනික-අධ්‍යාපනික මට්ටම් මත ඕනෑම පුද්ගලයෙකුට වෙනස් විය හැකිය. ප්‍රගමණික සමාජයක් බිහිවීම සඳහා එම වෙනස්වීම් සදාචාරාත්මකව ප්‍රශ්න කළ හැක. සමාජයක් තුළ එම හැකියාව තිබිය යුතුය. එම වෙනස්වීම දරා ගැනීමට හෝ විවේචනය කිරීමට හෝ නොහැකි අවකාශයක් සමාජයක ගොඩනැගෙන්නේ නම් එවන් සමාජයක් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් නොවන බව ඒත්තු යයි.
කෙසේ වෙතත්, “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය” බිහිවීමේ පළමු සාකච්ඡාවේ සිටම එය 2014 මැදභාගය දක්වා කටයුතු කළේ යෝජනාවලියක් සමාජ ගත කරවීමේ මුඛ්‍ය පරමාර්ථයෙනි. එම යෝජනාවලිය පැවැති රජයට මෙන්ම විපක්ෂයට ද විවෘත වූවක් වීය. නො එසේව එය මහින්ද විරෝධී යෝජනාවලියක් නොවුණි.

රාජ්‍ය යේ යහ පැවැත්ම වෙනුවෙන් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයන් හි අත්වැල මීට නොමඳව ලබා ගන්නට ද නීතීඥ ශිරාල් ලක්තිලකගේ මග පෙන්වීම ඊට ලැබුණි. ඒ අනුව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් ද මෙහි ක්‍රියාකාරීත්වයට මනා සහායක් ලබා දුනි. රටක් යහප්‍රගමණික යථාවේ තවදුරටත් රඳවා ගැනීමට එවන් සද් මිනිසුන්ගේ දායකත්වය අගනේ ය.
“සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය” යන නාමය පවා යෝජනා වී නොතිබුණු වකවානුවේ, සිවිල් ව්‍යාපාරය ශක්තිමත් කර ගැනීම උදෙසා විවිධ පුද්ගලයින්ට ආයාචනා කිරීමට ද ශිරාල්ට සිදුව තිබුණි. පසු කලෙක මෙම ව්‍යාපාරයෙන් බැබළුණෝද එවන් පුද්ගලයින් හා ඊට එරෙහි වූවෝ ය. ඒ වන විට සිරගතව සිටි ජෙනරාල් සරත් ෆොන්සේකා පිළිබඳ මාතෘකාවත් මෙම යෝජනාවලියේ ප්‍රධාන අංගයක් බවට පත්වුවද, ඔහු නිදහස් වීමෙන් අනතුරුව වෙනත් මාතෘකා කිහිපයක් ප්‍රමුඛත්වයේ ලා සළකමින් යෝජනාවලිය සමාජගත කරවීය. මෙම යෝජනාවලිය පිළිවෙළින් සකස්කර දීමට කීර්ති තෙන්නකෝන් ට මහත් වෙහෙසක් ගැනීමට සිදුවූ බව ද මතකය.

අද පටන් දින කිහිපයක් යනතුරු සෝභිත හිමියන් කරට ගෙන, මේ මුහුණු පොතේ සහ ඉන් බාහිරවත් හඬා වැළපෙන කිසිවෙකුත් “සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ ”ඉතිහාසය තබා, එහි පළමු ප්‍රසිද්ධ රැස්වීම පැවැත්වූ ආකාරයවත් නොදන්නවාට කිසිම සැකයක් නැත. 2010 න් පසුව පොදු අපේක්ෂක භූමිකාවට යළි පණ දෙන්නේ මෙම “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය” යි. එමෙන්ම අපේක්ෂයින් තෝරා ගැනීම සහ ඡන්දය පාවිච්චියේ දී සැළකියයුතු නිර්ණායකයන් කිහිපයක් සමාජ ගතවන්නේ ද මෙම ව්‍යාපාරයේ බලපෑම සමාජගතවීමේ ප්‍රතිඵලයක් ලෙසටය.

එහි පළමු ප්‍රසිද්ධ රැස්වීම පවත්වන්නේ ජයවර්ධන කේන්ද්‍රයේ ය. මෙම රැස්වීම සංවිධානය කළ මොහොතේ පටන්ම, එක්සත් ජාතික පක්ෂයේ ඒ වනවිට වෙන් වෙන්ව ක්‍රියාත්මක වූ සියලු කණ්ඩායම් අඩු වැඩි වශයෙන් රැස්වීම කඩාකප්පල් කිරීමට අප්‍රමාණ වෙහෙසක් ගත්තෝය. එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මුල්පෙළේ නායකයින් මෙම ලියුම්කරුට පුද්ගලිකව කතා කොට මේ ව්‍යාපාරයෙන් ඉවත්වන ලෙසටද බල කළ අවස්ථා ඇත. ඊට අමතරව සහාය දුන් ඇතැමුන්ට කෙටි පණිවිඩ සහ දුරකථන ඇමතුම් දෙමින් ඊට සහාය දීම වැළැක්වීමට උත්සාහ ගත්තෝ ය.

එකල “රාවය” පතට ලියූ ලිපියකින්, සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙක් සහ නිදහස් ලේඛකයෙක් වන කුසල් පෙරේරා “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය” සහ සෝභිත හිමියන් පිළිබඳව පැවැසූයේ “.......අපි ‘සිංහල බෞද්ධ කුමේනි‘ කෙනෙකු හදන්නට උත්සාහ කරනවා ....” කියාය.

මේ සියල්ල මැද, පසු ව මෙම ව්‍යාපාරයට සෑම අතින්ම දායකත්වය දැක්වීමට කරූ ජයසූරිය මන්ත්‍රීවරයා ඉදිරිපත් වීය. එය ද අතීශයට දුෂ්කරතා මධ්‍ය යේ සිදු කරගෙන යාමට ඔහුටද සිදුවීය. ජයම්පතී වික්‍රමරත්න ඇතුළු කණ්ඩායමක්, “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ” උපදේශන මට්ටමේ විද්වත් සභාව නියෝජනය කරන්නට පටන් ගන්නේ, එක්සත් ජාතික පක්ෂයේම විවිධ බලපෑම් මත කරූ ජයසූරිය මහතා එම ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයෙන් නිහඬ කරවන්නට උත්සාහ දරමින් තිබුණු අවධියේ ය.

මහින්ද රාජපක්ෂ විසින් 2015 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟම රනිල් වික්‍රමසිංගේ භූමිකාව යළිත් ප්‍රශ්න කරන තැනකට පත්වීය. ඉන් බේරීම සඳහා රනිල් වික්‍රමසිංහගේ කෛරාටික ඤාණය පහසු මං සොයන්නට වීය.

නිමල් සිරිපාල මඟහැරීමෙන් පසුව මෛත්‍රීපාල සිරිසේන දැවැන්ත පාවාදීමකට හසුකර ගන්නට රනිල් - චන්ද්‍රිකා හවුල සමත්වන්නේ මේ අරතුරය. ඒ වනවිට “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය” විසින් සමාජය මත යම් තෙරපුමක් ඇති කළ හැකි යෝජනාවලියක් කරළියට ගෙනවිත් තිබුණි. පරාජයෙන් බේරීමට මං සොයමින් සිටි රනිල් වික්‍රමසිංහට මෙම ගොඩනැගෙමින් තිබුණු තත්ත්වය ආශීර්වාදයක් කරගන්නට හැකි වන්නේ විදෙස් රවල් කිහිපයකද ආධාර උපකාර නොමඳව ලැබීමත් සමඟය.

කෙසේ වෙතත්, සෝභිත හිමි ඇතුළු “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ” සූදානම වී තිබුණේ කරූ ජයසූරිය මන්ත්‍රීවරයා ජනාධිපතිවරණ සටනේ මීලග සෙන්පතියා ලෙස අභිෂේක ගැන්වීමය. ඒ වෙනුවෙන් අසරණ කරූ ජයසූරිය මන්ත්‍රීවරයා ද සැදී පැහැදී සිටියේ ය. නමුත්, රනිල් ගේ කෛරාටික බව වැට පැන්නේ ය. ජයම්පතී වික්‍රමරත්න ඇතුළු කණ්ඩායම සේම රනිල් විසින් පොරොන්දු දී නටවමින් සිටි විවිධ පුද්ගලයින්ගේ ද සහාය ඇතිව “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ” මතය වෙනස් කිරීමට පියවර කිහිපයක් ගනු ලැබී ය. ඇමෙරිකාව සහ ඉන්දියාව ද, සිය සැළසුම් වෙනුවෙන් හැකි උපරිමයෙන් සහාය දක්වන කණ්ඩායම, මෙහි දී ශක්තිමත් කරමින් සිටියේ ය.

සෝභිත හිමියන් වැඩ විසූ කෝට්ටේ නාග විහාරය දෙසට මාධ්‍ය ඇස නිතර යොමු වන්නට පටන් ගන්නේ, ජනාධිපතිවරණයේ අපේක්ෂකයා තේරීමේ කාර්යයට “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය” බලපෑමක් කළ හැකි මට්ටමට පැමිණ තිබූ හෙයිනි. කෙසේ වෙතත්, එම ව්‍යාපාරය රනිල් ගේ සහ චන්ද්‍රිකාගේ කුමන්ත්‍රණ රැහැනට හසු වූ බව සෝභිත හිමියන් දැන ගන්නා විට අශ්වයා ඉස්තාලයෙන් පැන ගොසිනි. ඒ වනවිට “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය”ට සහාය දුන් එහි ක්‍රියාකාරී මට්ටමේ සිටි සෑහෙන පිරිසක් එය අතැර ගොස් හෝ නිහඩව සිටින්නට තීරණය කර තිබුණි. එහෙත් සමාජගවූ මතවාදයට සහ ක්‍රියාන්විතයට ඉල්ලුමක් තිබුණි. ඒ නිසාම සංධානයේ පාර්ශවයේ ඇතැම් පක්ෂ හා කණ්ඩායම් සමඟ ද සාකච්ඡා පැවැත්වෙන තැනක් බවට නාග විහාරය නිතැතින්ම පත් වුණි.

බලයෙන් උද්දාමව හැසිරුණු සංධානයේ ඇතැම් පාර්ශව “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ” හැසිරීම තුට්ටුවකට මායිම් නොකළේය. මෙහි වාසිය රනිල්ගේ ගැලවුම්කාරයා නිර්මාණය කිරීමට සමත් වීය. සැබැවින්ම “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය” වටා එක්ව සිටි බහුතරය ඒ තත්ත්වය අනුමත නොකළද අවසානයේ සෝභිත හිමියන්ද රනිල් චන්ද්‍රිකා කුමන්ත්‍රණයේ ඉත්තෙක් බවට පත් වීය. අවාසනාව නම් එම කුමන්ත්‍රණයේ මූල්‍ය දායකත්වය හා බොහෝ මෙහෙයුම් සඳහා ඇමෙරිකාව හා ඉන්දියාවද හවුල් වීමයි. ඒ අනුව අවසන, සෝභිත හිමියන්ටද ඇමෙරිකානු සහ ඉන්දියානු රූකඩයක් වීමට සිදු වූ බව පැහැදිලිය.

එතකින් නොනැවතී රොටී පුළුස්සන තැනකට සෝභිත හිමිගේ කතා ශෛලිය ඇද වැටුණේ “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය” බලාපොරොත්තු වූ සුළු හෝ යම් සාධනීය තලයකට “යහ පාලනය” නාමයෙන් තමන් ද විකිණූ පර ගැත්තෝ ළං නොවන බව දැණුනු නිසාය. යම් කාර්යයකට කැප වූ කවර පුද්ගලයෙක් වුව ඉච්ඡාභංගත්වයට පත්වීමෙන් පසුව ලද හැකි සංවේගය සෝභිත හිමිට නොදැණුනා යැයි කාට නම් කිව හැකි ද ?

අවාසනාව සහ විශ්මය වන්නේ සෝභිත හිමියන් පසුව නායකත්වය දුන් ව්‍යාපාරයේද දායකත්වයෙන් (පිහිටෙන්) එය කඩාකප්පල් කරන්නට වෙර දැරූවන් බලයට පත්වීමයි. ඊට පෙර කාලයක සෝභිත හිමියන්ට බිම දමා පහරදුන් පක්ෂය ම සහ එදා බලය හෙබවූ වුන්ම බලයට පත්වීමයි.

මේ වනවිට හෙවත් රෝගාතුර වනවිට සෝභිත හිමියන් නොරුස්සන ස්වභාවයක සිට කෙනෙහිලිකම් කරමින් කටයුතු කරන්නට යහ පාලකයෝ පෙළඹී සිටි බව ඇතුළාන්තය දන්නෝ දනිති. සත්‍ය වශයෙන්ම, මෙතරම් ඉක්මනින් සෝභිත හිමියන් අපවත් වීම සම්බන්ධයෙන් යහපාලනය නමින් බලය ලබා ගත්තෝ වගකිව යුතුය.

අපවත් වූ සෝභිත හිමියන් මුල් අවධියේ පැතූ සමාජය යථාවක් බවට පත් කිරීම හැර, රාජ්‍ය ගෞරව සහිත ආදාහන පූජෝත්සව පැවැත්වූවාට ජහ පාලකයෝ යහ පාලකයෝ වන්නේ නැත.

සැබැවින්ම සෝභිත හිමියෝ විසින් රටේ ජනතාවට දැණෙන ලෙස කෙටි කාලයක් තුළ දේශපාලනික කටයුත්තක් කළ බව මම නැවැත පවසමි.

එනම්, යහ පාලනය නමින් විවිධ සළු පොරවා ගෙන ජනතාව රවටන්නන් ටික දෙනෙකුගේ රෙදි උණා දැමීමට මගක් සැළසීමයි.

ඒ අර්ථයෙන් ගත් කල, යහ පාලනය නමින් තව දුරටත් රට රවටන්නෝද අවලංගු විය යුතුය. ඔවුන්ද සෝභිත හිමිගේ චිතකයේ ම දැවී අළු වී යා යුතුය.

- ජනිත් විපුලගුණ -
2015 නොවැම්බර් 08
යුතුකම සංවාද කවය

www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)

https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

3 comments :

  1. සෝභිත හිමිට මෙසේ වුණේ යහපාලනය ගැන වූ කලකිරීම නිසයි…
    ---------------------------
    තමන් බොහෝ කැපවී බිහි කරන ලද පාලකයන්ගෙන් පොරොන්දු වූ යහපාලනය නොලැබීම සම්බන්ධයෙන් සෝභිත හිමියන් හිටියේ බොහොම කලකිරීමකින් බවත් එය උන්වහන්සේගේ ලෙඩදුක් වැඩිවෙන්න බලපෑ බවත් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

    ‘වැදගත් පරමාදර්ශ මුල්කරගෙන සමාජ ප‍්‍රගමනය වෙනුවෙන් ද සිය ජීවිතය කැප කළ යතිවරනමක් සෝභිත හිමියන් කියන්නේ. උන් වන්සේ ඕනෑම අභියෝගයකට අභීතව මුහුණ දීමට දැක් වූ කැපවීම උන්වහන්සේගේ ජීවිතය තුළ කැපී පෙනුණා. හිමිටන්ට විවිධ තර්ජන ගර්ජන අසූ ගණන්වලදීත් ආවා. ඒ සියල්ල හමුවේ සෝභිත හිමියන් පරමාදර්ශීව කටයුතු කළ ආකාරය අති විශ්ෂ්ටයි. උන් වහන්සේ සියලූ ආගමික කණ්ඩායම්වල ගෞරවය දිනා ගැනීමටත් ඔවුන් එකම වේදිකාවට කැදවා ගෙන ඒමටත් සමත් වුණා’ යයිද ඔහු එහිදී කියා සිටියේය.

    ReplyDelete
  2. .
    මහින්ද පරද්දනවා කියමින්
    ඉල්ලීම් පෙළක් එක්ක
    පිවිතුරු හෙටක් සංවිධානය සමග
    සැලසුමක් දියත් කළ රැස්වීමෙ
    බැසිලුයි රනිලුයි සිටියා.
    https://www.youtube.com/watch?v=F293Pcm37qM
    බැසිල් රටේ බලය ගන්න
    බලා ඉන්න කෙනෙක් කියා
    මම හිතනවා.
    රනිල් විකට් එක ලැබුණොත්
    අනිත් පැත්තෙ කෙනාට ගහන්න දීලා
    ගේම අරන් යන්න පුලුවන්
    පොල්පිතිකරුවෙක්..
    ඕන වුණා නම්
    ඔහු බැසිල්ටත් උස්සලා දෙනවා.
    ඒ ඉල්ලීම් වල හරය වුණේ
    චන්දෙන් පත්වෙන
    ජනාධ්පති නාමික කරලා
    පාර්ලිමේන්තු ඡන්දෙන්
    විධායක අගමැති කෙනක් ගෙනෙන්නයි.
    මේ රටාව තුළ
    මහින්ද ජනාධිපති කරලා
    බැසිල් අගමැති වෙන්න උත්සාහ කළා කියා
    මම අනුමාන කරනවා.

    සෝභිත හිමියනුත්,
    චන්ද්‍රිකාත් එකතු වෙලා
    මේ ව්‍යාපාරය හයිජැක් කරලා
    මෛත්‍රීපාල ගෙනාවා.
    සෝභිත හිමියන්ගෙ අපවත්වීම
    ඝාතනයක් නම්
    උන්වහන්සේ වන්දි ගෙව්වෙ
    මහින්ද පැරදවීම නිසාවත්
    යහපාලනය ගෙන ඒම නිසාවත් නොව
    ඒ සැලසුම බකල් කිරීම නිසා
    කියා මම හිතනවා.

    මේ තොරතුරුවලට අමතරව
    වෙනත් තොරතුරු මා සතුව නෑ.
    ඒත් මම නම හිතන්නෙ
    අපවත් වීම පළිගැනීමක් සහ
    ජීවත්ව ඉන්න අයට කළ
    අනතුරු ඇඟවීමක් කියලයි..
    අනාගත දේශපාලන ජවනිකා අනුව
    මගේ හිතලුව නිවැරදිද කියා
    බලාගන්න පුලුවන්..
    ===========================================
    පිවිතුරු හෙටක් යෝජනා
    01. ස්‌වරූපය - නව රාජ්‍ය පාලන ක්‍රමය ජනාධිපති අගමැති ව්‍යවස්‌ථාමය සන්ධානයක්‌ වේ. ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා වන අතර අගමැතිවරයා ආණ්‌ඩුවේ නායකයා වේ.

    ජනපතිගේ වගකීම

    02 ජනාධිපතිවරයා - ජනතාව විසින් ජනාධිපතිවරණයකින් වසර 6 ක්‌ සඳහා ජනාධිපතිවරයෙකු පත් කරනු ලැබේ. එම පත්වීම ලද විට ජනාධිපතිවරයා තව දුරටත් දේශපාලන පක්‍ෂයක සාමාජිකයෙක්‌ නොවන අතර නැවත එම ධුරයට පත්වීමට ද නුසුදුස්‌සෙක්‌ වන්නේය. ජනාධිපති සන්නද්ධ හමුදාවන්හි විෂයට සීමා වූ ආරක්‍ෂක ඇමැති වනු ඇත. ජාතික සමගිය හා එකමුතු බවද ආගමික සංහිඳියාව ද ප්‍රවර්ධනය කිරීම ජනාධිපතිවරයා වෙත පැවරෙන කාර්යයක්‌ වේ. ඒ අනුව රටේ ඒකීයභාවයට හෝ ස්‌වාධිපත්‍යයට හෝ හානිකර තත්ත්වයක්‌ උදාවන අවස්‌ථාවන්හි දී රට සුරක්‍ෂිත කිරීමේ වගකීම හා බලය ජනාධිපතිවරයාට පැවරේ.

    03 අගමැතිවරයා හා අමාත්‍ය මණ්‌ඩලය - පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම පමණකින් ලබා ඇති මන්ත්‍රීවරයා අගමැති වශයෙන් පත්වේ. කැබිනට්‌ මණ්‌ඩලයේ ඇමැතිවරුන් සංඛ්‍යාව 20 සිට 25 අතර සංඛ්‍යාවකට සීමා වන අතර, නියෝජ්‍ය ඇමතිවරුන් සංඛ්‍යාව ද 35 කට නොවැඩි වේ. අගමැතිවරයාගේ යෝජනාවෙන් ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්‌ඩලය සඳහා මන්ත්‍රීවරුන් අතරින් පත් කරනු ලැබේ.

    ReplyDelete
    Replies
    1. මාතර සුනිල්11/14/2015 9:20 PM

      විකාර දොඩවන්නේ නැතිව කියවනවා අර රතන හාමුදුරුවන්ගේ දකුණු අත 'අශෝක අබේගුණවර්ධන' ලියපු "යුග පෙරළිය" පොත..
      ඒකේ කියනවා බැසිල් ගෙන්න ගත්තේ මොකටද කියල...
      අනේ තමුන්ල වගේ උඩින් අතගාන මිනිස්සු අම්මපා...

      Delete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions