
(රෝහණ විඡේවීර මහතාගේ 26 වැනි ගුණ සමරුව වෙනුවෙන් මෙම ලිපිය පළ වේ.)
රෝහණ විඡේවීර මහතා ඝාතනයට ලක්‌වීමෙන් අනතුරුව එළැඹෙන තීරණාත්මක ගුණ සමරුව මෙම මස 13 වැනි දිනට යෙදී ඇති බව පැහැදිලිවම සඳහන් කළ හැක. එලෙස සඳහන් කළ හැක්‌කේ විඡේවීර මහතා ඝාතනය වීමට බලපෑ දේශපාලන පරිසරයට බොහෝ දුරට සමාන දේශපාලන පරිසරයක් මේ මොහොත වන විට උදාවී ඇති බැවිනි.
විඡේවීර මහතා ඝාතනයට ලක්‌වූයේ ඉන්දු - ලංකා ගිවිසුමට හා පළාත් සභා ක්‍රමයට එරෙහිව සන්නද්ධ අරගලයක් මෙහෙයවමින් සිටියදීය. ඔහුගේ අවධානය වූයේ එම ගිවිසුම සහ පළාත් සභා ක්‍රමය පරාජය කිරීම සඳහා අන් සියලු කටයුතු දෙවැනි කොට කටයුතු කළ යුතු බවයි. ඔහු ශිෂ්‍යයන්ට කීවේ පළමුව මවුබිම දෙවනුව ඉගෙනුම කළ යුතු බවය. කම්කරුවන්ට කීවේ පළමුව මවුබිම දෙවනුව වැඩ බිම තෝරා ගන්නා ලෙසය.
ඒ අනුව මේ දක්‌වා රෝහණ විඡේවීර මහතා ජීවතුන් අතර සිටියේ නම් අන් සියලු කටයුතු පසෙකලා ජිනීවා මානව හිමිකම් කොමිසම විසින් මෙරටට එරෙහිව ඉදිරිපත් කරන ලද යෝජනාවලියට එරෙහිව කටයුතු කරන බව පැහැදිලිය. ඒ බව පැහැදිලි ලෙසම සඳහන් කළ හැක්‌කේ ඒ මහතා පළාත් සභා ක්‍රමයට පමණක් නොව ඩඩ්ලි - චෙල්වනායගම් ගිවිසුමට පවා එරෙහිව කටයුතු කර ඇති බැවිනි.
ජිනීවා මානව හිමිකම් කොමිසම මගින් ඉදිරිපත් කර ඇති යෝජනාවලියේ නැවත ගැටුම් ඇති නොවන පසුබිමක් ඇති කිරීම සඳහා කටයුතු කළ යුතු බව සඳහන් කර ඇත. එම යෝජනාව මගින් නිර්දේශ කර ඇත්තේ පෙඩරල් රාජ්‍යයක් තුළ දෙමළ ඊළම ස්‌ථාපිත කිරීම බව පැහැදිලිය. ඉන්දු -ලංකා ගිවිසුම මගින් පැහැදිලි ලෙසම මෙරට උතුර සහ නැගෙනහිර භූමිය දෙමළ ජනතාවගේ ඓතිහාසික නිජභූමිය ලෙස පිළිගෙන ඇත. එම භූමිය තුළ දෙමළ ඊළාම් රාජ්‍යය බිහි කිරීම සඳහා තවදුරටත් අවශ්‍ය වන්නේ ව්‍යවස්‌ථාදායක බලය හිමිකර දීම පමණි. දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා "දිවයින " පුවත්පත හා අදහස් දක්‌වමින් පසුගියදා ප්‍රකාශ කර තිබුණේ පළාත් සභාවලට නැවත ලබා ගත නොහැකි ලෙස, බලය පැවරීමක් කළ යුතු බවයි. ඒ මහතා සඳහන් කරන ආකාරයට බලය පැවරීමක් සිදු කළ හොත් පළාත් සභාවලට ව්‍යවස්‌ථාදායක බලය හිමි වන බව පැහැදිලිය. එසේ වුවහොත් මේ අවස්‌ථාව වනවිට දෙමළ ජාතික සංධානයේ අනියම් ඉල්ලීම වී තිබෙන පෙඩරල් රාජ්‍යයක් තුළ දෙමළ ඊළම බිහිවන බව පැහැදිලිය.
ඒ අනුව පළාත් සභා ක්‍රමයට සහ ඩඩ්ලි - චෙල්වනායගම් ගිවිසුමට එරෙහි වූ රෝහණ විඡේවීර මහතා ජීවතුන් අතර සිටියේ නම් ජිනීවා මානව හිමිකම් කොමිසමේ නිර්දේශවලට එරෙහි වන බව පැහැදිලි ලෙසම සඳහන් කළ හැක. රෝහණ විඡේවීර මහතා අත්අඩංගුවට පත්වීමෙන් පසුව ඝාතනය කරන ලද්දේ, ඔහු ජීවතුන් අතර සිටියදී දෙමළ ජාතිවාදී බෙදුම්වාදීන් සතුටු කිරීම කළ නොහැකි නිසා බවත් පැහැදිලිය.

එසේ වුවත් දෙමළ බෙදුම්වාදය පරාජය කිරීම සඳහා ඓතිහාසික කාර්ය භාරයක් ඉටු කළ ජනතා විමුක්‌ති පෙරමුණ මෙම තීරණාත්මක අවස්‌ථාවේදී ජිනීවා මානව හිමිකම් කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් සිය ඓතිහාසික කාර්ය භාරය ඉටු කරන බවත් පෙනෙන්නට නැත. එම පසු බිම තුළ මෙම මස 13 වන දිනට යෙදී ඇති 26 වැනි ඉල් මහ සමරුව ජනතා විමුක්‌ති පෙරමුණ සමරන්නේ කෙසේද යන්න, මෙරට දේශප්‍රේමි ජනතාව විමසිලිමත්ව බලා සිටී. එබඳු තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ රෝහණ විඡේවීර මහතා විසින් නිර්මාණය කළ ජනතා විමුක්‌ති පෙරමුණේ න්‍යාය පත්‍රයේ පළමු අංකයට යෙදී තිබූ පළමුව මවුබිම යන සටන් පාඨය පසෙකට ගොස් එම ස්‌ථානයට පළමුව ඇවන්ගාඩ් පත්වී ඇති බැවිනි.
ඉල් මහ විරුවන් යනු ඉන්දු - ලංකා ගිවිසුමට සහ පළාත් සභා ක්‍රමයට එරෙහිව සටන් කර එම අරමුණ වෙනුවෙන් තම ජීවිතය පූජා කළ වීරවරයන්ය. ඔවුන් සැමරීමේ අයිතිය තිබෙන්නේ එදත් ජීවිතය පූජා කළ අරමුණ ජයග්‍රහණය කිරීම සඳහා තවදුරටත් කටයුතු කරන පුද්ගලයන්ට පමණක් බව පැහැදිලිය. එම අරමුණින් තොරව ඉල් මහ විරුවන් සැමරීම දේශපාලන අවස්‌ථාවාදය බව නොකියාම බැරිය.
එරික් ගාමිණී ජිනප්‍රිය :දිවයින
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .