4/21/2016

77 දරුවෝ

කතෘ:යුතුකම     4/21/2016   3 comments
-නලින් සුබසිංහ-

1956 වසරේ දී බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන එක්සත් පෙරමුණ ලද විශිෂ්ට මැතිවරණ ජයග්‍රහණය, වෙනත් මැතිවරණ ජයග්‍රහණයක් මෙන් නොව, අපේ ඉතිහාසයේ සුවිශේෂ සංසිද්ධියකි. මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් විසින් සුප්‍රකට “බමුණු කුලයේ බිඳ වැටීම” නමින් ලිපිය ලියන ලද්දේ ද මේ සිදුවීම අරඹයා ය. ඇත්තටම ඉන්පසු බමුණු කුලය බිඳවැටුනාද නැත්ද යන කාරණය වෙනම විමසිය යුතු කාරණයක් වුවත්, මේ සංසිද්ධිය රටේ විශාල පිරිසක් ආශ්වාදනය කළ දෙයක් බව නම් පැහැදිලිවම පෙනෙන්නට ඇති දෙයකි. 56 පෙරළිය ආශ්වාදනය කළ සහ 56න් පසු අප සමාජයේ ඇති වූ වෙනස්කම් ඔස්සේ හැදී වැඩුණු පිරිස පසුකාලීනව අප සමාජයට විශාල බලපෑමක් ඇති කළහ. මහැදුරු නලින් ද සිල්වා “පනස් හයේ දරුවෝ” යනුවෙන් සංකල්පයක් බිහි කළේ මේ ගැනය.

1948 දී අපට නාමික නිදහසක් ලැබුණද රට පාලනය කළේ “අපේ” පිරිසක් බව රටේ මහජනයාට දැනී තිබුණේ නැත. රටේ නායකයන් වූයේ ටේල් කෝට්, ටොප් හැට් පැළඳ ගත් බටහිර ඌරුවක් සහිත පිරිසකි. මේ බව හොඳින්ම ප්‍රකට වූයේ ඩී.එස්. සේනානායක මහතාටත් වඩා සර් ජෝන් කොතලාවල මහතා තුළිනි. රටේ ජන විඥාණය තඹ දොයිතුවකට මායිම් නොකළ සර් ජෝන් කොතලාවල මහතා, අගමැති ධූරය දරන කාලය තුල හැසිරුණ ආකාරය ඉංගිරිසි ආණ්ඩුකාරයෙක් රට කරන ආකාරය අතර වැඩි වෙනසක් නොවීය. 1956 රටේ නායකයා වූ එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා ආරිය සිංහල ඇඳුම හැඳි කෙනෙක් වූ අතර ඔහු වටා සිටි පිරිස අතර හොඳ සිංහල පසුබිමක් සහිත නායකයෝ බොහොමයක් වූහ. ඔහු මැතිවරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සංකල්පය වූයේ “සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු” යන්නයි. මුල්වරට “අපේ” නායකයන් පිරිසක් බලයට පත් වූ බවක් මහජනතාවට දැනෙන්නට විය.

1956 මැතිවරණයේදී ඊට කලින් පාලන බලය හිමි එක්සත් ජාතික පක්ෂයේ සිටි ප්‍රබලම නායකයකු වූ ජේ.ආර්. ජයවර්ධන මහතා සිය කැළණිය ආසනයෙන් අන්ත පරාජයකට පත් වූවේය. මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ විට විරුද්ධවාදියකු විසින් ඔහුට නයි කූඹින් පිරි මල්මාලයක් පැළඳූ බවත් 56 සිදු වූ පෙරළිය කණපිට හැරවීමට ඔහු එදා අදිටන් කරගත් බවත් කියැ වේ. ඒ කතාවේ සත්‍ය අසත්‍ය බව කෙසේ වුවත් මේ මැතිවරණ පරාජය ජේ.ආර්. ජයවර්ධනට මානසිකව ප්‍රබල වශයෙන් බලපාන්නට ඇත. කෙසේ නමුත් 56 පෙරළිය කණපිට හැරවීමට ජේ.ආර්. ජයවර්ධන මහතාට තවත් බොහෝකලක් බලා සිටීමට සිදු විය. වසර විස්සකුත් ගෙවී ගිය පසු, 1977 දී ඒ ස්වර්ණමය අවස්ථාව උදා කර ගැනීමය හෙතෙම සමත් විය.

1977 දී ජේ.ආර්. ජයවර්ධන මහතා බලයට එන්නේ 56 “සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු” සංකල්පයට සමගාමීව “ධර්මිෂ්ඨ සමාජයක්” නම් සංකල්පයක් පෙර දැරි කර ගනිමිනි. කෙසේ වෙතත් ඔහුගේ පාලනය එකී සංකල්පයට හාත්පසින් වෙනස් අධර්මිෂ්ඨ පාලනයකි. 1956 විශාල ජනවරමක් ලද මුත්, අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා නිසා, බණ්ඩාරනායක මහතාට සාර්ථක දේශපාලන ගමනක් යෑමට නොහැකි විය. එමෙන්ම 1977 විශාල ජනවරමක් ලද මුත් ජේ.ආර්. ජයවර්ධන මහතාටද සාර්ථක දේශපාලන ගමනක් යෑමට නොහැකි විය. ඊට හේතුවූයේ ප්‍රධාන වශයෙන් ඔහු මෙන්ම ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ගෙන යන ලද අත්තනෝමතික පාලනයයි.

1977 න් පසු දේශපාලනය පැත්තෙන් වශයෙන් ජේ.ආර්. ජයවර්ධන මහතා අසාර්ථක වුවත්, සංස්කෘතිය පැත්තෙන් ඔහු බලාපොරොත්තු වූ දේ ඉටු කර ගැනීමට බොහෝ දුරට ඔහු සමත් වූ බව කිව යුතුය. 1977 ත් සමඟ බැඳෙන අනෙක් නාමය “විවෘත ආර්ථික ප්‍රතිපත්ති” යන්නයි. නමුත් ජේ.ආර්. ජයවර්ධන මහතා 1977 දී කළ, වඩා අවධානය යොමුකළ යුතු දේ “සංස්කෘතිය විවෘත කිරීමයි”. 1977 දී මේ ඔහු මේ රටේ සංස්කෘතිය විවෘත කළේය. 1977 න් පසු සියල්ල මුදලට විකිනෙන, මූල්‍යමය වටිනාකම මත සියල්ල තක්සේරුවන සමාජයක් බිහිවිය. මේ නිසා අපේ රටේ වටිනාකම් පද්ධතිය විනාශ විය. සමාජයේ සිදුවන මේ විපර්යාසය සෝමවීර සේනානායක වැනි කලාකරුවෝ “පළිඟු මැණිකේ” වැනි කලාකෘතිවලින් පෙන්වා දුන්හ. (අවාසනාවකට ඒ නිර්මාණවලට විදග්ධ කලා සමාජයේ තැනක් ලැබුණේ නැත.)

1977 සංස්කෘතිය විපර්යාසය ඉතා මැනවින් පිළිඹිබුවන කැටපතක් වන්නේ කලා ක්ෂේත්‍රයේ කඩා වැටීමයි. සිනමාව, සාහිත්‍යය, වේදිකා නාට්‍යය, ගීත කලාව ආදී කලා ක්ෂේත්‍රවල ස්වර්ණමය යුගය වන්නේ 60 සහ 70 දශකයන්ය. ඊට 56 දරුවන්ගෙන් වූ බලපෑම සුළුකොට තැකිය නොහැක. නමුත් ඉහත සියලු කලා ක්ෂේත්‍ර වල 80 දශකයේදී ක්ෂණික කඩා වැටීමක් දක්නට ලැබේ. සමාජයේ සාහිත්‍ය පොතපත කියවීමට ඇති උනන්දුව සීඝ්‍රයෙන් පහළ බැස්සේය.; ඉතාම බාලවර්ගයේ සිනමා නිර්මාණ බිහිවන්නට පටන්ගත් අතර මිනිස්සු ඒවා නොබලන තත්වයට පත් විය; 90 දශකය වනවිට සිනමා කර්මාන්තය මුළුමනින්ම අඩපණ විය; 70 දශකයේදී ස්වර්ණමය යුගයට පැමිණි ගීත කලාවද 80 දශකය අගභාගය වන විට මුළුමනින්ම විනාශ විය; වේදිකා නාට්‍යය බැලීමද අද කෙරෙන්නේ ඒ ගැන විශේෂ උනන්දුවක් දක්වන කිහිප දෙනෙක් විසින් පමණි. 1977 න් පසු හරවත් කලා නිර්මාණයක් බිහි වූයේ නම් ඒ බොහෝවිට 56 දරුවකු අතිනි.

1977 දී ජේ.ආර්. ජයවර්ධන මහතාගේ උත්සාහය සංස්කෘතික වශයෙන් සාර්ථක බව කිව හැක්කේ 77 දරුවන් පරපුරක් බිහි වී තිබීම දකින විටයි. 77 දරුවන් යනු මූලික වශයෙන් 1977න් පසු උපන් හෝ 1977 දී බාල වියේ හුන්, 1977න් පසු මේ රටේ සිදු වූ සමාජ සංස්කෘතික විපර්යාසයන් තුළ හැදී වැඩී, ඒ අලුත් සංස්කෘතිය ආශ්වාදයෙන් වැළඳගත් පිරිසයි. 1977න් පසු ඉපදුණු හැමකෙනෙක් තුළම 77 දරුවෙක් යම් ප්‍රමාණයකට සිටිය හැක.

77 දරුවන් බිහිවීමට බොහෝ දේ රුකුල් වී ඇත. රූපවාහිනිය හඳුන්වාදීම තුළින් නොයෙකුත් බටහිර විසූක දස්සන ගමට ගලා යාම ඊට ප්‍රධාන රුකුලක් විය. අලුතෙන් ආ වසරින් වසර අලුත් වන නොයෙකුත් ගෘහ විදුලි උපකරණ, ජංගම දුරකථන, යාන වාහන ආදිය මත රැඳුණු අධිපාරිභෝගික ජීවන රටාව පසුපස හඹා යාම නිසා මිනිසාගේ දිවි පැවැත්ම අවිවේකී සහ තරඟකාරී එකක් බවට වේගයෙන් පත් විය. අවිවේකීත්වය සහ තරඟකාරී බව නිසා මිනිසා සමාජයෙන් වේගයෙන් දුරස් වූ අතර ඔහුගේ සමාජ සංවේදීතාව බෙහෙවින් පහළ ගියේය.

77 දරුවන්ගේ සමාජ ආගමනය කැපී පෙනෙන්නේ විශේෂයෙන් විශ්ව විද්‍යාල සිසුන්ගේ ආකල්ප වල දක්නට ඇති යුග වෙනස දකින විටය. 77 දරුවන් විශ්ව විද්‍යාලවලට පැමිණීමට පටන් ගත් 90 දශකයට පෙර විශ්ව විද්‍යාල ශිෂ්‍යයා යනු සමාජ-දේශපාලන කාරනා වලට සංවේදී සත්ත්වයෙකි; අරගලකරුවෙකි. විශ්ව විද්‍යාල යනු විවිධ මතවාදී අරගලවලට තෝතැනි විය. නමුත් අද විශ්ව විද්‍යාල ශිෂ්‍යයා යනු (කිහිප දෙනෙක් හැරෙන්නට) හුදු විෂය කරුණුවලට පමණක් අවධානය යොමුකරන, තම උපාධිය පමණක් අරමුණු කරගත්, මූල්‍යමය අරමුණු තකා විවිධ වෙනත් පාඨමාලා හැදෑරීමට කාලය කරමින් සිටින කෙනෙකි. අද විශ්ව විද්‍යාල තුළ සමාජ-දේශපාලන සංවාදයක් නැත.
අද 77 දරුවෝ වැඩිහිටියෝ ය. ඔවුනගේ ආකල්ප සහ නොයෙකුත් ක්‍රියාකාරකම් අපි දකිමු.

ඉන්ද්‍රඛීලය :  2014/03/05


-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

9/27/2015

පොන්නම්බලම්-කුමාරස්වාමි පවුල සහ වෙල්ලාල දේශපාලනය

කතෘ:යුතුකම     9/27/2015   No comments
මුතු කුමරස්වාමි,ආනන්ද කුමාරස්වාමි ,පොන්නම්බලම්  රාමනාදන් , පොන්නම්බලම් අරුණාචලම් , සී.වී විග්නේෂ්වරන්
ඉංග්‍රිසින් විසින් 1815 දී අප රට අත්පත් කරගත් පසු මෙරට සිංහලයන්ගෙන් ඔවුනගේ පාලනයට ප්‍රබල ප්‍රතිරෝධයක් එල්ල විය. 1818 දී සහ පසුව 1848 දී වශයෙන් දෙවරක් සිංහලයෝ ඉංග්‍රිසි පාලනයට විරුද්ධව ප්‍රබල නැගී සිටීම් දෙකක් සිදු කළ අතර ඉංග්‍රිසින්ට ඒවා මැඩ පැත් විය හැකි වූයේ මහා ලේ වැගිරීම් වලින් පසුවය. මේ හේතුවෙන් ඉංග්‍රිසියෝ බහුතර සිංහලයන්ට එරෙහිව දෙමළ, විශේෂයෙන් දෙමළ වෙල්ලාල කුලයට, විවිධ වරප්‍රසාද සහ වරදාන පිරිනමමින් ඔවුන්ව ඉදිරියට ගෙන ඒම සිදු කළහ. ඉංග්‍රිසින් විසින් අප රට පාලන බලය ලබා දීම සඳහා පුරුදු පුහුණු කළේ මේ දෙමළ වෙල්ලාලයන්ගේ එක් පවුලක සාමාජිකයන්වය. අද අප රටේ ඊනියා ජනවාර්ගික අර්බූදයක් බවට ඔඩු දුවා ඇත්තේ ඔවුන් විසින් කරන ලද මේ නිහීන ක්‍රියාවලියේ අතුරුඵලයයි.

ලන්දේසීන් විසින් දකුණු ඉන්දියාවේ කෝරමැන්ඩල් වෙරළ තීරයෙන් දෙමළ වෙල්ලාලයන් අප රටට ගෙන එනු ලැබුවේ 17 වන සහ 18 වන සියවස්වලදී දුම්කොළ වගාව සඳහාය. පසුව ඉංග්‍රිසි පාලන කාලය වන විට ඔවුන් යාපනයේ උසස් කුලය බවට පත් වී තිබුණි. මේ දෙමළ වෙල්ලාලයන් අතරින් 1815 දී එක් චරිතයක් ඉංග්‍රිසින්ට වැදගත් වේ. ආරුමුගම්පිල්ලේ කුමාරස්වාමි නම් වන ඔහු ඉංගිරිසි ආණ්ඩුකාරවරයාගේ භාෂා පරිවර්තකයා ලෙස එවකට කටයුතු කරමින් සිටියේය. 1815 සිංහලේ අවසන් රජු අත් අඩංගුවට ගැනීම හා සම්බන්ධ ක්‍රියාවලියේදී ඔහු වැදගත් භූමිකාවක් ඉටු කළේය. මේ හේතුවෙන් ආරුමුගම් පිල්ලේ කුමාරස්වාමි ට වාසල මුඳලිඳු (Gate Mudaliyar) තනතුරක්ද ඉංග්‍රීසින් විසින් හිමිවේ. ආරුමුගම්පිල්ලේ කුමාරස්වාමිගේ පියා කුමාරස්වාමි ආරුමුගම්පිල්ලේ නැමැති කෙනෙකි. පෙනී යන ආකාරයට ඔහු ලන්දේසි පාලන සමයේ දකුණු ඉන්දියාවෙන් මෙරටට පැමිණෙන හෝ ගෙන එන ලදුව පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තෙකි. ඔහුද ලන්දේසීන්ට භාෂා පරිවර්තන සේවාවන් ඉටු කළ අයෙකි.
1833 කෝල්බෘක් ප්‍රතිසංස්කරණ වලින් පසුව ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථාදායක සභාවක් (Legislative Council) පිහිටවනු ලබන අතර එහි නිලනොලත් සාමාජිකයන් වශයෙන් යුරෝපීයන් තුන් දෙනක් සහ සිංහල, දෙමළ සහ බර්ගර් ජනවර්ග වලින් එක් අයෙක් බැගින් පත්කරන ලදී. මෙලෙස මුල්වරට ව්‍යවස්ථාදායක සභාවේ දෙමළ නියෝජිතයා වශයෙන් පත් කරනු ලබන්නේ ඉහත කී ආරුමුගම්පිල්ලේ කුමාරස්වාමිය.

ආරුමුගම්පිල්ලේ කුමාරස්වාමිගේ එකම පුත්‍රයා සර් මුතු කුමාරස්වාමි ය. කෝල්බෲක් කොමිසමේ නිර්දේශයක් මත පිහිටුවන ලද, පසුකාලීනව රාජකීය විද්‍යාලය (Royal College) බවට පත්වූ, කොළඹ ඇකඩමියේ (Colombo Academy) අධ්‍යාපනය ලබන හෙතෙම පසුව සිවිල් සේවයට බැඳී තරුණ වියේදීම තනතුරු ගණනාවක් හෙබවීමට වාසනාව හිමිකර ගන්නා ලද්දේය. ඉන්පසු 1861 දී වයස අවුරුදු 28ක් වන මුතු කුමාරස්වාමි තරුණයා ව්‍යවස්ථාදායක සභාවේ එකම දෙමළ නියෝජිතයා ලෙස පත් කෙරයි. (ඔහුගේ පියාගෙන් පසුව ඒ තනතුර හොබවනු ලැබුවේ සයිමන් කාසි චෙට්ටි සහ එදිරිමානසිංහම් නම් ඔහුගේ ඥාති මාමා කෙනෙකි. සයිමන් කාසි චෙට්ටි මේ පවුලෙන් පිට ව්‍යවස්ථාදායක සභාවේ දෙමළ නියෝජිතයා ලෙස පත් කරනු ලැබූ එකම තැනැත්තා ය.) මෙහිදී සඳහන් කළ යුතු විශේෂ කරුණක් නම් 1874 දී මුතු කුමාරස්වාමි ට නයිට් නාමය ලබා දෙනු ලැබීමයි. ඔහු නයිට් නාමයෙන් පුද ලද මුල්ම ආසියානුවා ලෙස ඉතිහාස ගත වේ.

මුතු කුමාරස්වාමි විවාහ වන්නේ එළිසබෙත් බිබී නම් ඉංගිරිසි ජාතික කාන්තාවක් සමඟය. ඔවුන් දෙපළගේ එකම පුත්‍රයා දේශපාලනයට නොපිවිසෙන අතර පසු කලෙක කීර්තිමත් විද්වතෙකු බවට පත් වේ. හේ ආනන්ද කුමාරස්වාමි ය. ආනන්ද කුමාරස්වාමි හැදී වැඩෙන්නේ එංගලන්තයේ ය. ලන්ඩන් විශ්ව විද්‍යාලයට ඇතුලුවන ඔහු භූගර්භ විද්‍යාව සහ උද්භිද විද්‍යාව සම්බන්ධව උපාධියක් ලබා ගනී. ඉන්පසු ඛණිජ වේදය පිළිබඳව ආචාර්ය උපාධියක් ලබා ගන්නා ආනන්ද කුමාරස්වාමි පසුකාලීනව ඉන්දියානු උපකලාපයේ සංස්කෘතීන්, කලාවන් සහ භාෂාවන් පිළිබඳ ගවේෂණයට යොමුවේ. ඒ විෂය ක්ෂේත්‍රය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කරන ඔහුව අද සැලකෙන්නේ ඉන්දියානු කලාවන් බටහිර ලෝකයට හඳුන්වා දුන් පුරෝගාමියා ලෙසයි.

ආරුමුගම්පිල්ලේ කුමාරස්වාමිගේ එකම දියණිය සෙල්ලච්චි කුමාරස්වාමිය. ඇය විවාහ වන්නේ තවත් දෙමළ වෙල්ලාල ප්‍රභූවරයකු වන වාසල මුදලිඳු පොන්නම්බලම් සමඟය. පොන්නම්බලම් පවුල සහ කුමාරස්වාමි පවුල අතර සම්බන්ධය ඇති වන්නේ එලෙසය. ඔවුන් දෙපළට පුත්‍රයන් හතර දෙනෙකි: සර් පොන්නම්බලම් රාමනාදන්, සර් පොන්නම්බලම් අරුණාචලම්, පොන්නම්බලම් කුමාරස්වාමි සහ මුදලිඳු පොන්නම්බලම් පත්මනාභ. මින් අන්තිමයා හැරෙන්නට අනෙත් සියළු දෙනාම ව්‍යවස්ථාදායක සභාවේ දෙමළ නියෝජිතයා ලෙස වරින් වර පත් කෙරෙනු ලැබේ.

සර් පොන්නම්බලම් රාමනාදන් ද කොළඹ ඇකඩමියේ අධ්‍යාපනය ලබන අතර අධිනීතීඥයකු ලෙස වෘත්තීයට එක් වේ. 1879 දී ව්‍යවස්ථාදායක සභාවේ දෙමළ නියෝජිතයා ලෙස ඔහුව පත් කෙරෙනු ලබන්නේ මුතු කුමාරස්වාමි ගේ ඇවෑමෙනි. ඉන්පසු 1892 දී ඉංග්‍රිසි ආණ්ඩුකාරවරයා ඔහුව සොලිසිටර් ජනරාල්වරයා ලෙස පත් කෙරෙනු ලබයි. වික්ටෝරියා රැජිණගේ ජුබිලි උත්සවය සඳහා ලංකාවෙන් යවනු ලබන නියෝජිතයා වන්නේද ඔහුයි. 1910 දී ඇති කරන ලද මැකලම් ප්‍රතිසංස්කරණවලින් රටේ ජනගහණයෙන් සුළු ප්‍රතිශතයකට ප්‍රථමවරට ඡන්ද බලය හිමි විය. මුළු රටේම ඡන්ද වලින් අනෙක් සියල්ල පරදා ලාංකික උගත් නියෝජිතයා ලෙස පත් වීමට පොන්නම්බලම් රාමනාදන් සමත් වීම මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයකි. මෙහිදී සිදුවන්නේ සිංහල ගොවිගම නායකයන් ඡන්දයට ඉදිරිපත් වූ සිංහල කරාව නියෝජිතයාට එරෙහිව දෙමළ වෙල්ලාල පොන්නම්බලම් රාමනාදන් හට ඡන්දය ලබා දීමයි.

පොන්නම්බලම් රාමනාදන්ගේ බාල සොහොයුරු සර් පොන්නම්බලම් අරුණාචලම් සිවිල් සේවයට එක්වීමට වරම් ලද මුල්ම ලාංකිකයෙකි. 1877 දී ඔහු රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ලෙස පත් වීම් ලබයි. හෙතෙම Royal Asiatic Society හි සාමාජිකත්වය ලද මුල්ම ලාංකික පුරවැසියාද වේ. පොන්නම්බලම් අරුණාචලම් 1919 දී ලංකා ජාතික සංගමය (Ceylon National Congress) ආරම්භ කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ අයෙක් වූ අතර එහි මුල්ම සභාපතිවරයාද වූයේය. කෙසේ වෙතත් භූමිය සහ ජනවර්ග පදනම් කරගෙන නියෝජිතයන් පත් කිරිම පිළිබඳ මතු වූ අර්බූදයක් මත පොන්නම්බලම් අරුණාචලම් ඇතුළු දෙමළ නායකයන් පිරිස ලංකා ජාතික සංගමයෙන් ඉවත් වී 1921 දී දෙමළ මහා සභාව පිහිටුවා ගත්හ.
රාමනාදන් සහ අරුණාචලම් දෙසොහොයුරන් ඉංගිරිසින්ගේ අධිරාජ්‍යවාදී පාලනයට එරෙහිව යම් යම් ක්‍රියාමාර්ග ගත්හ. විශේෂයෙන් 1915 සිංහල-මරක්කල කෝලාහලය මුවාවෙන් ඉංග්‍රිසින් විසින් සිංහල නායකයන් දඩයම් කරත්දී ඔවුහු සිංහලයන් වෙනුවෙන් පෙනී සිටියහ. මේ හේතුවෙන් ඔවුන් දෙදෙනා අපේ රටේ “නිදහස් සටනේ වීරයන්” දෙදෙනෙකු ලෙස අද සැලකේ. කෙසේ නමුත් මේ දෙදෙනාම සිංහලයන් මේ රටේ බහුතරය බව පිළිගැනීමට මැලිවූහ. ඉංග්‍රිසින්ගෙන් ඔවුන් ලද විවිධ වරප්‍රසාද අහිමි වෙතැයි ඔවුහු බිය වූහ. මේ නිසා දෙමළ බෙදුම්වාදයේ මුල් බිජු ඔවුන් අතින් රෝපණය කෙරිණි.

පොන්නම්බලම් අරුණාචලම් ගේ පුත්‍රයකු වූ සර් අරුණාචලම් මහාදේව ද දේශපාලනයට පිවිසියේය. ඔහු ද ව්‍යවස්ථාදායක සභාව සහ 1931 දී ඩොනමෝර් කොමිසමේ නිර්දේශ මත පිහිටුවන ලද රාජ්‍ය සභාව නියෝජනය කළේය. ඉන්පසු 1942-1946 කාල වකවානුව තුළ ස්වදේශ කටයුතු භාර අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේ ය.

මේ පවුලේ වර්තමාන පුරුක උතුරු පළාත් සභා මහා අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් ය. විග්නේෂ්වරන් අද දෙමළ ජනතාවගේ නිල නොවන නායකයා බවය පත්ව සිටියි.. ඔහුගේ සීයා රාමනාදන් සහ අරුණාචලම් දෙසොහොයුරන් ගේ මස්සිනා කෙනෙකි. මේ පවුලේ වැඩි දෙනෙක් පරිදි ඔහුද අධ්‍යාපනය ලබන්නේ කොළඹ රාජකීය විද්‍යාලයෙනි. ඉන්පසු නීති විද්‍යාලයට ඇතුළුවන ඔහු නීතීඥයකු ලෙස ඉන් පිට වී ස්වකීය වෘත්තිය ජීවිතයෙන් විශ්‍රාම යන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙසයි. ඔහු දේශපාලනයට පිවිසෙන්නේ ඉන්පසුවයි. ප්‍රකට වාමාංශික දේශපාලඥයකු වන වාසුදේව නානායක්කාර ගේ දියණිය විවාහ වී සිටින්නේ ඔහුගේ එක් පුතෙක් සමඟයි.

මේ පවුලේ තවත් දේශපාලඥයන් සහ ප්‍රභූන් විශාල සංඛ්‍යාවකි. යාපන ප්‍රදේශයෙන් බිහි වූ තවත් දේශපාලඥයෙක් වූ සුබයියා නඩේසපිල්ලේ විවාහ වී සිටියේ පොන්නම්බලම් රාමනාදන්ගේ දියණියක් සමඟයි. ඔහු වඩාත්ම ප්‍රකට වන්නේ 1952 පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කර ප්‍රබල දෙමළ දේශපාලඥයකු වූ එස්.ජේ.වී. චෙල්වනායගම් ව පරාජය කිරීම නිසාය. සිංහල පමණක් ප්‍රතිපත්තියට එක්සත් ජාතික පක්ෂය සහාය දීම නිසා නඩේසපිල්ලේ පසුව එම පක්ෂයෙන් ඉවත් වූයේය.

සර් සංකරපිල්ලේ පරරාජසිංහම් සෙනේට් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස කලක් කටයුතු කළ අයෙකි. ඔහු සර් පොන්නම්බලම් අරුණාචලම් ගේ දියණියක් හා විවාහ වී සිටියේය. පරරාජසිංහම් ගේ මුණුපුරා වන දේවමනෝහරන් ස්වාමිනාදන් වර්තමාන පාර්ලිමේන්තුවේ දෙමළ සන්ධාන මන්ත්‍රීවරයෙකි. ඔහු කලක් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කර ඇත.

බාලකුමාර් (බාකු) මහාදේව අරුණාචලම් මහාදේවගේ පුත්‍රයෙකි. විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයකු සහ සිවිල් සේවකයකු ලෙස වෘත්තීය ජීවිතය ගත කර ඇති ඔහු පසුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් වරයා ලෙස කටයුතු කළේය. පසු කලෙක බැංකු සහ සමාගම් ගණනාවක අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කළේය.

-නලින් සුබසිංහ

 ~යුතුකම සංවාද කවය~
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

9/22/2015

සමාජ ජාලා පාදඩකරණය : තොරතුරු යුගයේ ගොනාට අන්දන පැරඩි වසංගතය...

කතෘ:යුතුකම     9/22/2015   No comments
පැරඩි සහ බොරු කොඩි
 
-නලින් සුබසිංහ  [ඉන්ද්‍රඛීලය]

සමාජ ජාලයක් (Social Network) වන ෆේස්බුක් (Facebook) අපේ රටේ ජනතාව තම පුද්ගලික නෑ මිත්‍ර සබඳතා පවත්වා ගැනීමට භාවිතා කරති. එමෙන්ම බොහෝ දෙනෙක් එය සමාජ-දේශපාලන සංවාදවලට මෙන්ම මතවාද ප්‍රචාරණය සඳහාද බහුල වශයෙන් යොදා ගනිති. රටේ එතෙක් පැවති අනෙකුත් මාධ්‍යවලට සාපේක්ෂව නානා ප්‍රකාර මතිමතාන්තර, අදහස්වලට ෆේස්බුක් එක තෝතැන්නක් වී ඇත්තේ
  • එහි ඇති ලිහිල් වාරණ නීති 
  • මුදලක් වැය නොවීම
  • තරාතිරම්වලින් තොරව විශාල පිරිසකට විවෘත වීම
  • ඕනෑම කෙනෙකුට ප්‍රවේශ වීමට ඉඩ තිබීම
  • අනන්‍යතාවක් අවශ්‍ය නොවීම
 වැනි කාරණා නිසාය.

මේ හේතුව නිසා නා නා ප්‍රකාර මතවාද, අදහස් කිසිදු අවහිරයකින් තොරව ගලා යාමේ ඉඩකඩක් ෆේස්බුක් එක තුළ ඇති වී ඇත.
අපේ රටේ විශේෂයෙන් මෑත කාලයේ ජාතිය සහ ආගම සම්බන්ධ කාරණාවලට වැඩි ජනප්‍රියතාවක් ඇති වී තිබේ. ඒ නිසා ෆේස්බුක් එක තුළ ද ඊට අදාළ දේ වැඩි වශයෙන් ප්‍රචාරණය වීම ප්‍රවණතාවකි.
මේ ඉඩ ඔස්සේ තවත් ප්‍රවණතාවයන් දෙකක් ඇති වී තිබේ. ඒ බොරු කොඩි සහ පැරඩි ය.
 
බොරු කොඩි (False Flags)
 
බොරු කොඩි යනු තම මතවාදී සතුරා වෙනුවෙන් (බොරුවට ) පෙනී සිටිමින් අන්තගාමී සහ අගතිගාමී හැසිරීමක් පෙන්නුම් කිරීමයි. එසේ හැසිරීම තුළ තම මතවාදී සතුරා පිළිබඳ නරක චිත්‍රයක් සමාජයට ලබා දීම බොරු කොඩී ව්‍යාපෘතිවල අරමුණ වේ. https://en.wikipedia.org/wiki/False_flag

බොරු කොඩි විශාල වශයෙන් යොදා ගැනුනේ පසුගිය වකවානුවේ මුස්ලිම් විරෝධය මතු කිරීමටයි. ලංකාවේ මුස්ලිම්වරුන්ට, ඔවුන්ගේ ආගමට තදබල ලෙස අපහාස වන අන්දමේ පිටු විශාල වශයෙන් නිර්මාණය වුනි. එමෙන්ම සංවාද අවකාශ වල සැරිසරන, අනන්‍යතාවක් නැති මුස්ලිම් විරෝධී ෆේස්බුක් ප්‍රොෆයිල්ද විශාල වශයෙන් පසුගිය වකවානුවේ දක්නට ලැබිණි. මේවා දැන් වැඩි පුර දක්නට ලැබෙන්නේ නැත. මේවායෙන් සමහරක් ඒවා පිළිබඳව අපට කළ හැකි නිගමනය නම් ඒවා බොරු කොඩි බවයි.
 

පැරඩි (Parody)

මෑත කාලයේ ඇති වී ඇති අනෙක් වසංගත රැල්ල නම් පැරඩිය. පැරඩිවල අරමුණ යම් කිසි මතවාදයක් සමච්චලයට ලක් කිරීමයි. යම් කිසි මතවාදීමය පාර්ශවයක් සමච්චලයට ළක් කළ හැකි ආකාරයක් වන්නේ ඒ මතවාදයට පක්ෂව මෝඩ සහ අන්තගාමී අදහස් පළ කිරීමයි. පැරඩි වල කාර්යභාරය එයයි. https://en.wikipedia.org/wiki/Parody

මේ ආකාරයට නිර්මාණය කරන ලද ඇතැම් පැරඩි පිටු ඉහළ ජනප්‍රියතාවක් අත් කරගෙන ඇති අතර ෆේස්බුක් අවකාශය ගැන එතරම් පරිචයක් නැති ඇතැම් පිරිස් ඒවාට හසු වනවා සුලබව දක්නට ලැබෙන කාරණයකි. මෑතකදී එක්තරා ප්‍රකට වාමාංශික බ්ලොග්කරුවකුද පැරඩි වළක වැටී තිබෙනු දක්නට ලැබිණි.

බොරු කොඩි සහ පැරඩි අතර වෙනස ඇතැම් විට හඳුනාගැනීමට අපහසුය. එසේ වුවද මේ දෙකේම අරමුණ එකම වන අතර ඒ දෙකම පිටු දැකිය යුතු ප්‍රවණතාවයන්ය. ඉන් සැබෑ මතවාදී පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටින පිරිස්වලට තම මතවාදය ප්‍රචාරය කර ගැනීමට ඇති ඉඩ අහුරයි.

පහත පළ වන්නේ එවන් ෆේස්බුක් පැරඩි පිටු කීපයකි. මේවාට හසු නොවී පැරඩි වලවල් වල නොවැටීමට ෆේස්බුක් පරිහරණය කරන ජනතාව වග බලා ගත යුත්තේය.

 














ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions