3/18/2018

සම්බන්ධන්ගේ ඊළාම් පොහොට්‌ටුව

කතෘ:යුතුකම     3/18/2018   No comments
-මොහාන් සමරනායක-

දෙමළ ජාතික සන්ධානයේ නායක 85 හැවිරිදි රාජවරෝදියාන් සම්බන්ධන් මහතා අප රටේ සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයා වන්නේය. ලංකා දෙමළ රාජ්‍ය පක්‌ෂයෙන් (ඉලංගෛ තමිල් අරසු කච්චි) 1956 දී දේශපාලනයට අවතීර්ණ වී 1977 දී මුල් වරට පාර්ලිමේන්තුවට පිවිසි ඔහු දොළොස්‌ වසරක විරාමයකින් පසු 2001 දී යළි පාර්ලිමේන්තුවට තේරී පත්ව අද දක්‌වාම මන්ත්‍රී ධුරයේ රැඳී සිටී. 2015 අගෝස්‌තු 17 මහ මැතිවරණයේදී ඔහුගේ පක්‍ෂයට හිමි වූයේ මන්ත්‍රී ධුර 16 ක්‌ පමණක්‌ වුවද, සිරිසේන - වික්‍රමසිංහ ආණ්‌ඩුව පිළිගන්නා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම පිහිටෙන් සම්බන්ධන් මහතා විපක්‌ෂ නායක පදවිය හිමිකර ගත්තේය. ඊට කළගුණ සලකනු වස්‌ ඔහු යහපාලන ආණ්‌ඩුවේම කොටසක්‌ බවට පත්ව සෑම අයවැයකටම, සෑම පනතකටම පක්‍ෂව ඡන්දය දෙයි.

දේශපාලන මතවාදය කුමක්‌ වුවද, දේශපාලන පරිණතභාවය, ඉංගී්‍රසි බස ව්‍යක්‌ත ලෙස හැසිරවීමේ හැකියාව, කතාවෙහි චතුරබව හා වයෝවෘද්ධභාවය යන ලක්‍ෂණ නිසා සම්බන්ධන් මහතා බොහෝ පිරිසක්‌ අතර ගෞරවයට පාත්‍ර වී සිටී. නාගරික මැද පන්තියේ ඇතැම් විචාරකයන් විසින් ඔහු හා ඔහුගේ දෙමළ ජාතික සන්ධානය 'මධ්‍යස්‌ථ මතධාරී' යන විශේෂණයෙන් හඳුන්වනු ලැබේ. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමෙහිලා පෙරමුණ ගෙන සිටින එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න නව ව්‍යවස්‌ථාවක අවශ්‍යතාව පහදමින් මෑතක පාර්ලිමේන්තුවේ කළ කතාවකදී සම්බන්ධන් මහතා සාධාරණ දේශපාලනඥයකු ලෙස හැඳින්විය. අධිපති රටවල අරමුදලින් නඩත්තු වන මෙරට එන්. ජී. ඕ. ප්‍රජාවේ බහුතරයද එසේ විශ්වාස කරති.

සම්බන්ධන් මහතා වටා ගොඩනැඟී ඇති ප්‍රතිරූපය එබඳු වුවද, ස්‌වකීය දේශපාලන න්‍යාය පත්‍රය, එනම් අවසානයේ වෙනම රාජ්‍යයක්‌ බවට පත්වීමේ ශක්‍යතාවය සහිත පෙඩරල් පාලන ව්‍යqහයක්‌ උතුරු - නැගෙනහිර ස්‌ථාපනය කිරීමේ ප්‍රයත්නය සපුරා ගැනීමට ඉවහල් වන්නේ නම් විතණ්‌ඩවාදී මිත්‍යා තර්කවලින් සමාජය මුලා කිරීමටත්, තම අරමුණු වසන් කොට ප්‍රතිවාදීනට චෝදනා කිරීමටත් නොපැකිලෙන බව ඔහු පෙබරවාරි 19 වැනිදා පාර්ලිමේන්තුවේදී යළිත් වරක්‌ සනාථ කළේය. ඒ පෙබරවාරි 10 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලය ගැන උද්වේගකර විග්‍රහයක්‌ කරමිනි. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා නායකත්වය දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අත්කරගත් ජයග්‍රහණය බරපතළ ලෙස ගණන් ගැනීමට, ප්‍රතිවාදීනට කලබලවීමට සහ පක්‍ෂයේ ආධාරකරුවනට උද්දාමයට පත්වීමට පදනමක්‌ නැති නොවටිනා එකක්‌සේ හෑල්ලු කිරීමට ඔහු තම කථාවේදී උත්සාහ කළේය.

ඔහු ගොඩනැඟූ හාස්‍යජනක තර්කය මෙසේය. පළාත් පාලන මැතිවරණයේදී රාජපක්‍ෂ මහතා ලැබූ මුළු ඡන්ද ප්‍රතිශතය 44.69% කි. එ.ජා.පය, ශ්‍රී.ල.නි.ප ය හා එජනිස මුළු ඡන්ද සංඛ්‍යා එකතු කළ විට ප්‍රතිශතය 45.99% ක්‌ වේ. එය මහින්දගේ ප්‍රතිශතයට 2 කින් වැඩිය. ජනතා විමුක්‌ති පෙරමුණ ලැබූ 6.26% හා ඉලංකෙයි තමිල් අරසුකච්චි ලැබූ 3.06% ද, ඊට එක්‌ කළ විට පොදුජන පෙරමුණට එරෙහිව ප්‍රකාශ වූ මුළු ඡන්ද සංඛ්‍යාවේ ප්‍රතිශතය 55.31% කි.-ඉතින් උද්දාම වීමට මෙහි ඇත්තේ කුමක්‌ද? කිසිවක්‌ නැත. සම්බන්ධන් මහතා තර්ක කරයි. (So, What is their to get Existed about ? Nothing at All) මේ තර්කයේ අඥාන හා වංචාකාරි බව සාක්‍ෂි සහිතව පැහැදිලි කරමින් විචාරකයන් කිහිපදෙනකුම ඉංගී්‍රසි මාධ්‍ය පුවත්පත්වලට ලිපි සපයා තිබිණ. සම්බන්ධන් මහතා මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජය හෑල්ලු කිරීමට ගොඩනඟන තර්කය තමාට ලැබුණ ප්‍රතිඵලය අරබයා අදාළ කරගන්නේ නැතැයි එක්‌ ලේඛකයෙක්‌ පෙන්වා දුන්නේය. උතුරු පළාතේ බහුතර ජනතාව වෙසෙන යාපනය දිස්‌ත්‍රික්‌කයේදී සම්බන්ධන් මහතාගේ දෙමළ ජාතික සන්ධානයට ලැබුණු මුළු ඡන්ද ප්‍රතිශතය 35% දක්‌වා මෙවර පහත වැටිණ. මැතකදී බිහිවූ දෙමළ ජාතික ජනතා පෙරමුණ 21% ක්‌ ද, ඩග්ලස්‌ දේවානන්දගේ ඊපීඩීපී 19% ක්‌ද හිමි කරගත්තේය. වෙනත් ලෙසකින් කියතහොත් යාපනය දිස්‌ත්‍රික්‌කයේ ජනයාගෙන් 65% ක්‌ම දෙමළ ජාතික සන්ධානය ප්‍රතික්‌ෂේප කර තිබේ. මහින්ද රාජපක්‍ෂ ඇඳ සිටින ඇඳුම ඉරී ඇති බව දකින ආර්. සම්බන්ධන් තමා සිටින්නේ නිරුවතින් බව අමතක කරයි.

පොදු ජන පෙරමුණට ප්‍රතිවාදී පක්‍ෂ පොදු න්‍යාය පත්‍රයක සිට තර`ග නොකළ මැතිවරණයක්‌ අරභයා මෙවැනි ඉලක්‌කම් හරඹයක්‌ වලංගු වන්නේ කෙසේ දැයි තවත් ලේඛකයෙක්‌ ප්‍රශ්න කළේය. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී පොදු ජන පෙරමුණ ජයගත් බවත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජනතා තීන්දුවට ගරු කළ යුතු බවත් සිය කථාවේ එක්‌ තැනක ස`දහන් කරන විපක්‌ෂ නායකයා ඊළඟ මොහොතේ ප්‍රතිශත අගයන් සසඳමින් ඉහත සඳහන් ගද්‍රභ තර්කය ගොඩනඟනුයේ පොදු ජන පෙරමුණේ ජය අවතක්‌සේරු කිරීමට හා ඊළඟ ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණට 50% ඉක්‌මවා ඡන්ද ගැනීමට නොහැකිය යන සාවද්‍ය මතය ඒත්තුගැන්වීමේ අරමුණ ඇතිවය. මහින්ද රාජපක්‍ෂ 2005 ජනාධිපතිවරණයේදී ඡන්ද 50.2% ක්‌ ද, 2010 දී 57.9% ක්‌ද ලැබූ බව ඔහුට අමතක වී තිබේ. නැතහොත් හිතාමතාම අමතක කර තිබේ.

මේ ලිපියේ ප්‍රධාන අරමුණ විපක්‌ෂ නායකයාගේ අනුවණ ඉල්ලකම් හරඹය ගැන කතා කිරීම නොවේ. මා අවධානය යොමු කරනුයේ පළාත් පාලන ඡන්දයෙන් පසු පාර්ලිමේන්තුව මුල් වරට රැස්‌වූ පෙබරවාරි 19 වැනි දා ඔහු කළ කථාවේ අග භාගයේදී මෙරට ජනතාවට විශේෂයෙන් දකුණේ සිංහල ජනයාට කළ බරපතල අන්තරාය ඇඟවීමටය. එසේම ඒ අන්තරාය ඇඟවීම පිටුපස ඇති දේශපාලන වංචනික ස්‌වභාවය පෙන්නුම් කිරීමටය.

ඔහු කී දේ මගේ බසින් සංක්‍ෂිප්තව මෙසේය. -මහින්ද රාජපක්‍ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු උපරිම බලය බෙදීමක්‌ ගැන කතා කළේය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාවලියට ඒකාබද්ධ විපක්‍ෂයද එක්‌ විය. එහෙත්, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පසු ඊළම බිහිවීමට ඉඩ ඇතැයි රාජපක්‍ෂ මහතා හදිසියේම කියන්නට පටන් ගත්තේය. පළාත් පාලන ඡන්දය ඊළම පිළිබඳ ජනමත විචාරණයක්‌ ලෙස හැඳින්වූ හිටපු ජනාධිපතිවරයා එ.ජා.පයට ඡන්දය දුනහොත් ඊළම බිහිවනු ඇති බැවින් ඔවුනට ඡන්දය නොදී නෙළුම් පොහොට්‌ටුවට ඡන්දය දෙන්නැයි ජනතාවට කියා සිටියේය. දෙමළ ජාතික සන්ධානය සිය මැතිවරණ ව්‍යාපාරයේදී රට බෙදීමට කතා කළේ නැත. අප කතා කළේ එක්‌සත්, නොබෙදුණු හා නොබෙදිය හැකි තනි රටක්‌ තුළ සාධාරණ හා ප්‍රමාණවත් බලය බෙදාගැනීමේ රාමුවක්‌ ගැන පමණි. රාජපක්‍ෂ කළේ දකුණේ අහිංසක සිංහල ජනතාව රැවටීමය. පොදුජන පෙරමුණ මේ දුෂ්ඨ මාර්ගයෙහි ඉදිරියට යන්නේ නම්, අප නිසා නොව නෙළුම් පොහොට්‌ටුව නිසා ඊලම විකසිත වනු ඇති බව මම ඔබට කියමි. ("I want to tell you, Elam will Bloom not on Account of us, but on account of your'Lotus Bud'. Your Lotus Bud will Bloom in to an Elam") සම්බන්ධන් මහතාගෙන් මේ ප්‍රකාශයෙන් මා දකින පරිදි ප්‍රධාන කරුණු 3 ක්‌ ඇඟවෙයි.

1. තමා ඊළමට විරුද්ධ බව හෝ තමන්ට ඊළමක්‌ අවශ්‍ය නැති බව.

2. ඊළම සිංහලයාට අනර්ථයකි. එබැවින් එය වළක්‌වා ගැනීමට සිංහල ජනයා උනන්දු විය යුතුය.

3. එක්‌සත්, නොබෙදුණු හා නොබෙදිය හැකි රටක්‌ තුළ ප්‍රමාණවත් බලය බෙදා ගැනීමේ රාමුවක්‌ ඊළමක්‌ බිහිවීමට මුල් නොවන බව. මේ ඇඟවීම් ප්‍රත්‍යක්‍ෂ මූලක සාක්‍ෂිවලින් සනාථ වන්නේ දැයි විමසා බලමු.

1. සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ප්‍රභූ පන්තියේ නායකයන් ශ්‍රී ලංකාවට නිදහස ලැබීමටත් පෙර සිටම තමන්ට වෙනම රාජ්‍යයක්‌ අවශ්‍ය බව කියන මතවාදය සමාජගත කොට පෝෂණය කරමින් යථාර්ථයක්‌ බවට පත් කර ගැනීමට අඛණ්‌ඩව ක්‍රියාකරන බවට ප්‍රමාණවත් සාක්‍ෂි පවතී. වත්මන් විපක්‌ෂ නායකයා දේශපාලනයට පිවිසෙනුයේ දෙමළ රාජ්‍යයක්‌ ස්‌ථාපනය අරමුණු කොට ගෙන එස්‌. ෙ-.වී. චෙල්වනායගම් 1951 දී ආරම්භ කළ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්‍ෂයෙනි. මොවුන් එක්‌ව 1972 දී පිහිටුවා ගත් දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ 1975 දී සම්මත කළ වඩුක්‌කොඩෙයි යෝජනාවෙන් ඊළම සිය ප්‍රධාන අරමුණ කොට ගත්තා පමණක්‌ නොව එය සපුරා ගැනීම සඳහා අවශ්‍ය වුවහොත් ආයුධ අතට ගැනීමේ අයිතිය ද පිළිගනු ලැබීය. 70 දශකයේ මැද භාගයේදී පමණ ඊළම අරමුණු කොට ගත් දෙමළ තරුණයන්ගේ සන්නද්ධ සටන් ව්‍යාපාරය පිළිසිඳ ගත්තේ මේ මතවාදයේ ගර්භාෂය තුළය. සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවට පිවිසි 1977 මහ මැතිවරණයට දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ තරග කළේ ඊළම දිනා ගැනීම ප්‍රධාන තේමාව කර ගනිමිනි.

උතුරේ සන්නද්ධ කණ්‌ඩායම් බිහි වී එල්.ටී.ටී.ඊ. කෙමෙන් සටනේ ඒකාධිකාරය සියතට ගනිමින් සිටින විට සම්බන්ධන් මහතා ඇතුළු නායකයෝ එල්.ටී.ටී.ඊ. වෙනුවෙන් දිගටම පෙනී සිටියහ. කොටි තුවක්‌කුකරුවන් දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක ඒ. අමිර්තලිංගම් ඔහුගේ කොළඹ නිවසේදී ඝාතනය කළ පසුද දෙමළ ප්‍රභූ පන්තිය සිය ස්‌ථාවරය අත්හළේ නැත. එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන් ජීවත්ව සිටියදී කළ සෑම ප්‍රසිද්ධ දේශනයක්‌ම අවසන් කළේ 'විමුක්‌ති කොටින්ගේ පිපාසය තමිල් ඊළමයි' කියමිනි. වෙනම රාජ්‍යයකින් මෙපිට කිසිවක්‌ භාරගැනීමට කොටි නායකයා කිසිවිටෙකත් කැමති වූයේ නැත. එබඳු වූ එල්.ටී.ටී.ඊ ය දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා බව සම්බන්ධන් මහතා නායකත්වය දෙන දෙමළ ජාතික සන්ධානය 2001 දී පිහිටුවාගත් විගස ඔහු විසින් නිවේදනය කරනු ලැබීය. 2005 ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙස එල්.ටී.ටී.ඊ දෙමළ ජනතාවට කළ නියෝගය කිළිනොච්චියේදී ප්‍රකාශයට පත් කරනු ලැබූයේ දෙමළ ජාතික සන්ධානය විසිනි. 2004 අප්‍රේල් මහ මැතිවරණයේදී උතුර - නැගෙනහිර දෙපළාතේ මන්ත්‍රී ධුර සංඛ්‍යාවෙන් බහුතරය දෙමළ සන්ධානය දිනා ගත්තේ එල්.ටී.ටී.ඊ ප්‍රචණ්‌ඩත්වයේ පිහිටෙන් බවට යුරෝපා සංගමය සැකසූ වාර්තාවකින් චෝදනා කෙරිණ.

සම්බන්ධන් මහතා ප්‍රභාකරන්ගේ අවසන් පැය දක්‌වාම ඔහුගේ ප්‍රකාශකයාව සිටියේය. එල්.ටී.ටී.ඊ නායකත්වය විනාශ වීමෙන් පසුවද ඔහු ඊළම අත්හළේ නැත. 2012 මැයි මස මඩකලපුවේ පැවති ඉලංකෙයි තමිල්අරසුකච්චි 14 වැනි වාර්ෂික සමුළුවේදී ඔහු කළ දේශනයේ ඇතුළත් මේ ප්‍රකාශ බලන්න.-'සන්නද්ධ බලයෙන් අපට දිනා ගැනීමට නොහැකි වූ, අපේ ජනතාවගේ උතුරා යන අභිලාෂයන් ජීවිත හානියකින් තොරව සාක්‍ෂාත් කර ගැනීමේ ඉඩ ප්‍රස්‌ථාව, අන්තර්ජාතික ප්‍රජාවේ වත්මන් පරිචය නිසා දැන් අපට උදාවී තිබේ'. මේ කියන්නේ ඊළම ගැන නොවේ නම් අන් කවරක්‌ ගැනද? (එල්.ටී.ටී.ඊ ) සන්නද්ධ බලයෙන් දිනා ගැනීමට උත්සාහ කළේ ඊළම නොවේ නම්, අන් කුමක්‌ද? දැන් ජීවිත හානියකින් තොරව අන්තර්ජාතික ප්‍රජාවේ උදව්වෙන් සිය අභිලාෂයන් (ඊළම) දිනා ගැනීමට ඉඩ ප්‍රස්‌ථාව විවෘත වී ඇතැයි සම්බන්ධන් මහතා උදම් අනයි. ඉතින් නෙළුම් පොහොට්‌ටුව නිසා ඊළම විකසිත වනු ඇතැයි ඔහු කරන අන්තරාය ඇඟවීම ව්‍යාජයක්‌ නොවන්නේද ?

2. අර්ධ සත්‍යයකි. ඊළම නැතහොත් ශ්‍රී ලංකා රාජ්‍යය බෙදා වෙන් කිරීම අනර්ථයක්‌ වන්නේ සිංහල මිනිසාට පමණක්‌ නොවේ. දෙමළ හා මුස්‌ලිම් සාමාන්‍ය මිනිසාට ද එය එකසේ අනර්ථකාරී, විනාශකාරී වන්නේය. වාර්ගික පදනමකින් බෙදී ගිය රටවලට අත්වූ යහපතක්‌ නැත. යම් පිරිසකට යහපතක්‌ වූයේ නම්, එකී යහපත නිසැකවම සිදුවූ අයහපතට අඩුය. ඒ බව සනාථ කෙරෙන නිදසුන් ඕනෑ තරම් තිබේ. 2011 දී අධිරාජ්‍යවාදීන් විසින් සුඩානය දෙකඩ කොට නිර්මාණය කරන ලද දකුණු සුඩානය අද එරට ජනයා කිසිවකුගේ අවධානයට ලක්‌ නොවී මැස්‌සන්, මදුරුවන් මෙන් මිය යමින් සිටින දේශයකි. ඔවුන් එක්‌ව සර්බියාවෙන් කඩා වෙන්කර දුන් කොසෝවෝ ප්‍රාන්තය අද ගණිකාවන්ගේ පුරයකි.

3. අනුමාන ප්‍රකාශනයකි. එක්‌සත්, නොබෙදුණු හා නොබෙදිය හැකි රටක්‌ තුළ බලය බෙදා ගැනීමේ රාමුවක්‌ ස්‌ථාපනය කිරීමෙන් වෙනම රාජ්‍යයක්‌ බිහි නොවන බවට ස්‌ථිර සහතිකයක්‌ නැත. එසේ වන්නටද නොවන්නටද පිළිවන. ශ්‍රී ලංකාව ඇතුළත මෙන්ම පිටතද අන්තර් ජාතික ප්‍රජාව නමින් හඳුන්වන බලවත් රටවල සහය ඇතිව ක්‍රියාත්මක ප්‍රබල බෙදුම්වාදී ප්‍රවණතාවක්‌ පවතින සමයක සම්බන්ධන් මහතා යෝජනා කරන ආකාරයේ බලය බෙදා ගැනීමේ රාමුවක්‌ ස්‌ථාපනය කිරීම බෙදී වෙන්වී යාමට විශාල ඉඩකඩක්‌ නිර්මාණය කරයි. සෝවියට්‌ දේශයේ සහ යුගෝස්‌ලාවියාවේ බිඳවැටීමට මුල් වූ හේතු සාධක අතර ඒ රටවල පැවති ෙෆඩරල් පාලන ව්‍යqහයද ප්‍රධාන එකක්‌ වූ බව පැහැදිලිය.

2017 නොවැම්බර් 5 වැනිදා ප්‍රධාන පෙළේ සති අන්ත පුවත්පතක්‌ උතුරේ ජනතාවට තිබෙන ගැටලු මොනවාදැයි ප්‍රශ්න කළ විට සම්බන්ධන් මහතාගේ පිළිතුර වූයේ උතුරේ ජනයාගේ ඉඩම්වල හමුදා කඳවුරු ස්‌ථාපනය කර තිබීම, අතුරුදන් වූවන්ගේ ගැටලු, රැකියා විරහිතභාවය සහ වැන්දඹුවන්ගේ දුක්‌ගැනවිලි ආදියයි. සම්බන්ධන් මහතාගේ ව්‍යාපෘතියට සහය දක්‌වන අද්වකාත්වරයකු වන ජාතික සාම මණ්‌ඩල ප්‍රධානියා පළාත් පාලන ඡන්දයෙන් පසුව ඉංගී්‍රසි පුවත්පතකට ලිපියක්‌ ලියමින් උතුරේ ජනයාගේ හදිසි ප්‍රමුඛතා ලෙස හඳුන්වා තිබුණේ ද මේ ගැටලුමය. ඒවාට විසඳුම් සෙවීමට සම්බන්ධන් මහතා යෝජනා කරන ආකාරයේ පුළුල් බලය බෙදීම අවශ්‍ය වන්නේ මන්දැයි පැහැදිලි නැත.

විපක්‌ෂ නායක සම්බන්ධන් මහතාණෙනි, සිංහල, දෙමළ, මුස්‌ලිම් අපි සියලු දෙනා එක්‌ව සියලුදෙනාට හැකි උපරිම සාමයෙන්, සමගියෙන්, අභිමානයෙන් හා සමානාත්මතාවයෙන් ජීවත්විය හැකි එක්‌ ජාතියක්‌ හා එක්‌ දේශයක්‌ ගොඩනගමු. ඔබ ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්න. බහුතරයකට එකඟ විය හැකි වැඩ පිළිවෙළක්‌ ඔබ ජනතාව හමුවේ තබන්නේ නම් මමද ඔබට ඡන්දය දෙමි.


[Divaina 3/11]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

9/11/2017

රට රැකි විරුවන්ට ඇති යුධ අපරාධ චෝදනාවල අසාධාරණකම - මොහාන් සමරනායක

කතෘ:යුතුකම     9/11/2017   No comments
කොටි ළමා හමුදාවට ළදරුවන් බඳවාගත් , කොටි ත්‍රස්තවාදීන්ගේ අමානුෂික ක්‍රියාවලට සෘජුව දායක  වූ කොටි ත්‍රස්තවාදියෙක් වන හිටපු කොටි න්‍යායාචාර්‍ය ඇන්ටන් බාලසිංහම්ගේ බිරිඳ ඇඩෙලා බාලසිංහම්ට බ්‍රිතාන්‍ය තුල කිසිඳු බාධාවකින් තොරව නිදහසේ ජීවත් වීමට හැකි වී ඇත්තේත් , ඉරාකය තුල යුධ අපරාධ සිදුකළැයි සෘජුවම චෝදනා ලැබ සිටින හිටපු බ්‍රිතාන්‍ය අගැමැති ටෝනි බ්ලෙයාර් ට එරෙහිව කිසිඳු යුධ අපරාධ පරීක්ෂණයක් සිදු නොවෙද්දී කොටි ත්‍රස්තවාදය පරාජය කරන්නට කටයුතු කළ රජයේ හමුදා වල විරුවන් ට එරෙහි යුධ අපරාධ චෝදනා ගෙන ඒමට ඒ බටහිරයන්ම කටයුතු කරන්නේත් කෙසේදැයි ප්‍රවීන මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා ප්‍රශ්න කරයි.

බටහිරයන් විසින් මේ යුධ අපරාධ චෝදනා , තමන්ට අවනත නොවන රාජ්‍ය අවනත කරගැනීමේ මෙවලමක් ලෙස ඉතා දුෂ්ඨ අයුරින් යොදා ගනිමින් සිටින බව ඔහු සාධක සහිතව පෙන්වා දුන්නේය.
යුතුකම සංවාද කවය විසින් පසුගියදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මොහාන් සමරනායක මහතා මේ බව ප්‍රකාශ කළේය.අපේ රටේ රණවිරුවන්ට එරෙහි ව්‍යාජ යුධ අපරාධ චෝදනා නැගෙන්නේද ඒ සංදර්භය තුල යැයි ඔහු තවදුරටත් අවධාරණය කළේය.

මොහාන් සමරනායක මහතා පැවැත්වූ සම්පූර්ණ අදහස් දැක්වීම පහත සබැඳියෙන්...


-සටහන යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook - https://www.facebook.com/yuthukama

11/04/2016

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මල් වට්ටියක්ද?

කතෘ:යුතුකම     11/04/2016   No comments
-මොහාන් සමරනායක-
පළමු කොටස>>


2015 ජනවාරි 8 ජනාධිපතිවරණයෙන් ජයගත් මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත්කොට ස්ථාපනය කළ දින සියයේ ආණ්ඩුව ශ්‍රී ලංකාව පෙළන සියලු දේශපාලන ආර්ථීක හා සමාජයීය ව්‍යාධීනට මූලික නිධානය ලෙස තමන් හඳුනාගත් විධායක ජනාධිපති ක්‍රමය සතු සීමා රහිත බලතල කප්පාදු කොට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනු වස් 2015 අප්‍රේල් 28 වැනිදා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත කොට ගත්තේය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනාගෙන්, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද ඇතුළුව 212 දෙනෙක් ඊට පක්ෂව ඡන්දය දුන්හ. විරුද්ධ වූයේ එක් මන්ත්‍රීවරයකු පමණි.

විධායක ජනාධිපති ක්‍රමය ශ්‍රී ලංකා දේශපාලනයේ සර්ව රෝග නිධානය ලෙස දුටු සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු, අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ 19 වැනි සංශෝධනය සම්මත වීමටත් පෙර එය හැඳින්වූයේ මල්වට්ටියක් ලෙසිනි. අන්තර්ජාතික කටුයුතු සම්බන්ධ ජනාධිපති උපදේශක සහ එක්සත් ජාතීන්ගේ හිටපු විෂයය භාර මහ ලේකම්වරයකු වන ජයන්ත ධනපාල 19 වැනි සංශෝධනය ‘යහ පාලනයේ මධ්‍ය ලක්ෂය’ ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදී පුණරුදයේ කඩඉමක් ලෙසත් ශ්‍රී ලංකාවේ තානාපති ප්‍රජාව හමුවේ නම් කළේය.

19 වැනි සංශෝධනය යහ පාලන ආණ්ඩුවේ විශිෂ්ඨ ජයග්‍රහණයක් බව ජනාධිපති සහ අගමැති නිතර ප්‍රකාශ කරති. මේ ඇගයීම්වල යථාර්තය විමසා බැලෙන කොටස් දෙකකින් යුත් ලිපියක පළමු වැන්න “ඉරිදා” පුවත් පතේ පසුගිය කලාපයේ පළ විය. මේ එහි දෙවැන්නයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත වීමට අමතරව ජනමත විචාරයකින්ද අනුමත විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණ කළ වගන්තිවල ප්‍රකාශිත හා අප්‍රකාශිත අරමුණු පළමු කොටසින් විමසා බැලිණ. සම්මත වූ සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන ලද වෙනස්කම් අද ලිපියෙන් විභාග කෙරෙයි.

විධායක ජනාධිපති ධුරයේ ඇති කළ වෙනස්කම්
ජනාධිපති ධුර කාලය අවුරුදු 6සිට 5 දක්වා අඩු කිරීම.(19වන සංශෝධනයේ 3 වැනි ජේදය, ව්‍යවස්ථාවේ 30 (2) වගන්තිය)

ජනාධිපති පාලනයක් සහිත රටවල ජනාධිපති ධුර කාලය රටින් රටට වෙනස් වෙයි. අමෙරිකාවේ සහ ඉරානයේ අවුරුදු 4කි. රුසියාවේ, ඔස්ට්‍රියාවේ සහ ෆින්ලන්තයේ අවුරුදු 6 ක් වෙයි. රටවල් බහුතරයක අවුරුදු 5කි. ධුර කාලය වසරකින් අඩු කිරීමට නිසා බලයේ සිටින ජනාධිපතිවරයාගේ සහ ඔහුගේ ආණ්ඩුවේ කාර්ය සාධනය ගැන විනිශ්චයක් කිරීමට ජනතාවට පෙරට වඩා කලින් අවස්ථාව උදා වීම යහපත් ලක්ෂණයකි. එසේ වුවද ජනාධිපති ධුර කාලයේ වසරක අඩු වැඩි කිරීමක් ප්‍රජාතන්ත්‍රවාදය පාර්ශවයෙන් තීරණාත්මක අනර්ථයක් හෝ ප්‍රගතියක් හෝ ලෙස ගිනිය නොහැකිය.

පුද්ගලයකුට ජනාධිපති ධුර දැරීමට හැකි වාර ගණන යළි දෙකකට සීමා කිරීම. (සංශෝධනයේ 4 වැනි ජේදය, ව්‍යවස්ථාවේ 31 (2) වගන්තිය )

ජනාධිපති පාලනයක් සහිත බොහෝ රටවල පුද්ගලයකුට ධුරය දැරීමට හැකි වාර ගණන දෙකකි. වියට්නාමයේ එය 3ක් වේ. එක් පුද්ගලයකු දීර්ඝ කාලයක් විධායක බලතල සහිත ජනාධිපති ධුරයේ රැඳී සිටීම අධිකාරිවාදයට, අත්තනෝමතික චර්යාවට සහ දූෂණයට බොහෝ විට මග පාදයි. බලය දූෂ්‍ය වෙයි. පරම බලය අත්‍යන්තයෙන් දූෂ්‍ය වෙයි යනුවෙන් ඇක්ටන් සාමිවරයා ප්‍රකාශ කළේ එනිසා විය යුතුය. පුද්ගලයකුට ජනාධිපති ධුරය දැරිය හැකි වාර ගණන දෙකකට සීමා කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතියකි. එහෙත් බලයේ සිටින වාර දෙක ඇතුළත ජනාධිපති ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාලනය ගෙන යන බව ඉන් සහතික කෙරෙන්නේ නැත. දුබල රාජ්‍ය යන්ත්‍රණයක් සහිත තුන්වැනි ලෝකයේ රටවල ප්‍රබල පෞරුෂයක් සහිත යහපත් පාලකයකු දිගුකල් බලයේ සිටීම අදාළ රටට වාසිදායක වූ අවස්ථා දක්නට තිබේ.

වයස අවුරුදු 35ට අඩු තැනැත්තෙක් (සංශෝධනයේ 21 වැනි ජේදය, ව්‍යවස්ථාවේ 92 (අ) වගන්තිය) හෝ ද්විත්ව පුරවැසියෙක් වන තැනැත්තෙක් ජනාධිපතිධුරයට තෝරාගනු ලැබීමට නුසුදුසු වන්නේය. මේ සංශෝධනය විධායක ජනාධිපති ධුරයේ බල තල අඩු කිරීමට හෝ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට හෝ ඉවහල් වන්නේ කෙසේදැයි පැහැදිලි නැත.

පහත සඳහන් අතිරේක වගකීම් ජනාධිපතිවරයාට පවරා දීම
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කිරීම සහ එය පිළිපැදීම සහතික කිරීම.
ජාතික සංහිඳියාව සහ ඒකාබද්ධතාව ප්‍රවර්ධනය.

ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සහ ව්‍යවස්ථාවේ 7 වැනි පරිද්ජේදයේ සඳහන් ආයතනවල නිසි ක්‍රියාකාරිත්වය පහසු කිරීම සහ සහතික කිරීම.

මැතිවරණ කොමිසමේ උපදෙස් පරිදි නිදහස් හා සාධාරන ඡන්ද විමසීම් හා ජනමත විචාරණ පැවැත්වීමට අවශ්‍ය කොන්දේසි සහතික කිරීම.(සංශෝධනයේ 5 වැනි ජේදය, ව්‍යවස්ථාව 33(1) වගන්තිය)

ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කිරීම සහ පිළිපැදීම සහතික කළ යුතු බව පහත කියැවුණද වත්මන් ජනාධිපතිවරයා ධුරයේ දිවුරුම් දීමෙන් පසු කළ ප්‍රථම කාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිමයෙන් ඇති මන්ත්‍රීවරයකු අගමැති ධුරයට නම් කළ යුතු බව කියැවෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 (3) වගන්තිය අග්‍රාමාත්‍යවරයා පත්කිරීමේ කොන්දේසි ඇතුළත් 47 වගන්තියත් උල්ලංඝනය කෙරිණි. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කොට නීතියේ පාලනය සහතික කිරීම සඳහා 19 වැනි සංශෝධනය ගෙන ආවේ මෙසේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමෙන් පසුවය.

ජනාධිපතිවරයාට සිය අභිමතය පරිසි අගමැතිවරයා ඉවත් කිරීමට තවදුරටත් බලය නැත. (සංශෝධනයේ 9 වැනි ජේදය, ව්‍යවස්ථාවේ 46 (2) වගන්තිය)

මෙය නිසැකව ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට ඉවහල් වන සංශෝධනයකි. අගමැති ධුරයට පත්වනුයේ ඡන්දයෙන් තෝරාගනු ලබන මන්ත්‍රීවරයකු බැවින්ද යම් පක්ෂයක් ජයගතහොත් අගමැති ධුරයට පත්වන්නේ කවුරුන්දැයි මැතිවරණයේදී ජනතාව දැන සිටින බැවින්ද ජනාධිපතිගේ පෞද්ගලික අභිමතය අනුව අගමැතිවරයා ධුරයෙන් පහකිරීමට ඉඩ තිබිය යුතු නැත. එසේම ජනවාරි 8 වෙනසින් පසු අගමැතිධුරයට පත්කෙරුනු රනිල් වික්‍රමසිංහ මහතාට 2004 දී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය යටතේ අත් වූ අභාග්‍ය වළක්වා ගැනීමට 19 වැනි සංශෝධනයේ කර්තෘවරුන්ට අවශ්‍ය වූ බව පැහැදිලිය.

කැබිනට් ඇමැතිවරයකු, කැබිනට් නොවන ඇමැතිවරයකු හෝ නියෝජ්‍ය ඇමැතිවරයකු පත්කිරීමේදී හෝ ඉවත් කිරීමේදී ජනාධිපති අගමැතිගේ උපදෙස් අනුව ක්‍රියා කළ යුතුය

(සංශෝධනයේ 9 වැනි ජේදය, ව්‍යවස්ථාවේ 43 (2),44 (1) සහ 46(3) (අ) වගන්තිය)

එසේ වුවද කැබිනට් ඇමැති සංඛ්‍යාව සහ එක් එක් ඇමැතිවරයාට පැවැරෙන විෂයයන් නිශ්චය කිරීමේදී හා කැබිනට් නොවන ඇමැතිවරුනට විෂයයන් පැවැරීමේදී ජනාධිපති අගමැතිගේ උපදෙස් විමසිය යුත්තේ එසේ උපදෙස් විමසීම අවශ්‍ය යැයි ඔහු/ ඇය සලකන්නේ නම් පමණි. (සංශෝධනයේ 9 වැනි ජේදය, ව්‍යවස්ථාවේ (43) 1,44 (2) වගන්තිය)

19 වැනි සංශෝධනය ජනාධිපති බල තල සීමා කිරීමට වඩා අගමැති බල තල පුළුල් කිරීම අරමුණු කරගත්තක් බව ඉහත ඡේදයෙන් යළිත් පැහැදිලි වේ.

සිය ධුරයේ බල සීමාව ඇතුළත ජනාධිපතිවරයාගේ ක්‍රියාවන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පිළිබඳ අධිකරණ බලයට යටත් වෙයි.( සංශෝධනයේ 7 වැනි 35 වගන්තිය)

සංශෝධනයට පෙර ජනාධිපතිට එරෙහිව කිසිදු නඩු කටයුත්තක් පැවැරීමට නොහැකි විය.

සංශෝධනයෙන් ජනාධිපතිවරයා සතු විමුක්තිය සිවිල් හෝ අපරාධ අධිකරණ ක්‍රියාමාර්ගවලට සීමා කෙරිණ. මෙය ප්‍රජාතන්ත්‍රවාදය අවකාශය පුළුල් කරන ප්‍රගතිශීලි පියවරකි.

පාර්ලිමේන්තුවෙන් ප්‍රතික්ෂේප කරන ලද, ව්‍යවස්ථාව සංශෝධනයක් නොවන, කවර හෝ පනතක් ජනමත විචාරණයකින් ජනතාවට යොමු කිරීමට ජනාධිපතිට ඇති බලය ඉවත් කිරීම. (සංශෝධනයේ 19 වැනි ජේදය, ව්‍යවස්ථාවේ 85(2) වගන්තිය)

මේ සංශෝධනය ජනාධිපතිගේ බලය සීමා කිරීමට පාර්ලිමේන්තුවේ බලය ශක්තිමත් කිරීමට ඉවහල් වන්නකි.

ව්‍යවස්ථාදායක මණ්ඩලය සහ ස්වාධීන කොමිෂන් සභා

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 7 දෙනෙකුගෙන් සහ විශිෂ්ට පුද්ගලයන් තිදෙනකුගෙන් සමන්විත දස පුද්ගල ව්‍යවස්ථාදායක මණ්ඩලයක් ස්ථාපනය කෙරිණි. (සංශෝධනයේ 8 වැනි ජේදය) කථානායක, අගමැති සහ විපක්ෂ නායක නිල බලයෙන් සාමාජිකත්වයට පත්වෙති. ජනාධිපති විසින් එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, අගමැති සහ විපක්ෂ නායක නාමයෝජනා කිරීමෙන් ජනාධිපති විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතරයේ එකඟත්වයෙන් තවත් මන්ත්‍රීවරයකු මණ්ඩලයට පත්කරනු ලැබේ. අගමැතිගේ සහ විපක්ෂ නාම යෝජනා කිරීමෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව පත්කෙරෙන ඉතිරි තිදෙනා රාජ්‍ය සේවයේ හෝ වෘත්තීය ජීවිතයේ විශිෂ්ටත්වයට පැමිණි කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයන් නොවන පුද්ගලයන් විය යුත්තේය. පසුව සඳහන් කරන කොමිෂන් සභා නවයේ සාමාජිකයන් පත් කිරීමට ජනාධිපතිවරයාට හැකිවන්නේ ව්‍යවස්ථාදායක මණ්ඩලයේ නිර්දේශය මත පමණි. ඒවායේ සභාපතිවරු පත්කිරීමට ජනාධිපතිවරයාට හැකි වුවද ඊටද මණ්ඩලයේ නිර්දේශය අවශ්‍ය වන්නේය. එක් එක් කොමිසමේ සභාපතිත්වය සඳහා නම් තුනක් නිර්දේශ කිරීමට මණ්ඩලයට පිළිවන. (සංශෝධනයේ 8 වැනි ජේදය)

අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්, අභියාචනාධිකරණ සභාපති සහ විනිශ්චයකාරවරුන්,අධිකරණ කොමිසමේ සාමාජිකයන්,නීතිපති, විගණකාධිපති, පොලිස්පති, පාර්ලිමේන්තු කොමසාරිස් සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් යන තනතුරුවලට ජනාධිපතිවරයා නම් කරන පුද්ගලයන්ට අනුමැතිය දීම ද ව්‍යවස්ථාදායක මණ්ඩලයේ කාර්යයක් වන්නේය. මණ්ඩලයේ තීරණ හා නිර්දේශ හැකි සෑම විටම ඒකමතික විය යුත්තේය. නැතහොත් අදාළ රැස්වීමට සහභාගිවී සිටින සාමාජිකයන්ගෙන් පස්දෙනෙකුට නොඅඩු සංඛ්‍යාවක අනුමැතිය තිබිය යුත්තේය. සභාපතිට පළමු වටයේදී ඡන්දය දීමට නොපිළිවන. දෙවනි වටයක් අවශ්‍ය වුවහොත් එහිදී තීරක ඡන්දය දීමට ඔහුට පිළිවන. ව්‍යවස්ථාදායක මණ්ඩලයේ නිර්දේශ හා තීරණ මූලික අයිතිවාසිකම් පෙත්සමක ස්වරූපයෙන් අධිකරණයකදී මිස වෙනත් අයුරකින් අභියෝගයට ලක් කළ නොහැකිය.

19 වැනි සංශෝධනයෙන් ස්ථාපිත කොමිෂන් සභා නවය මෙසේය. මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, ජාතික පොලිස් කොමිසම, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, මූල්‍ය කොමිසම, සීමා නිර්ණයන කොමිසම, ජාතික ප්‍රසම්පාදන කොමිසම සහ විගණන සේවා කොමිසම.

ව්‍යවස්ථාදායක මණ්ඩලය සහ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය 19 වැනි සංශෝධනයේ විශිෂ්ටතම ලක්ෂණය ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේ ව්‍යායාමයේ තීරණාත්මක කඩඉමක් ලෙසත් ආණ්ඩුව සහ එහි අනුගාමිකයන් විසින් සාඩම්බරයෙන් හඳුන්වනු ලැබේ. එහෙත් මණ්ඩලයේ සංයුතිය විමසීමේදී එහි ස්වාධීනත්වය පිළිබඳව බරපතල සැක සංකා මතු වෙයි. සභාපති ධුරය හිමි කථානායකට පළමු වටයේදී ඡන්දයක් නැත. ඒ අනුව ප්‍රථම වටයේ ඡන්ද බලය හිමි සංඛ්‍යාව නවයකි. ඉන් බහුතරය 05 කි. නව දෙනාගෙන් හත් දෙනෙකුම අගමැතිගේ සහ විපක්ෂ නායකගේ බලයට යටත්ය. ඔවුහු සියලු දෙනාම තමන්ගේම න්‍යය පත්‍ර සහිත දේශපාලඥයෝ වෙති. එවැනි පිරිසක් ගන්නා තීරණ පත්වීම් සහ නිර්දේශ දේශපාලනයෙන් තොරවනු ඇතැයි අපේක්ෂා කිරීම හිරුගෙන් සිසිලස පැතීම බඳුය.

ජනාධිපතිවරයා පත්වනුයේ රටේ සමස්ත ජන්දදායක ජනගහනයේ බහුතරයේ කැමැත්තෙනි. අගමැති සහ විපක්ෂ නායක කිසියම් දිස්ත්‍රික්කයකින් පත්වන අතර ඔවුනට ජන්දය දෙනුයේ ඒ දිස්ත්‍රික්කයේ බහුතරයක් පමණි. ව්‍යවස්ථාදායක මණ්ඩලයක් පත්කිරීමෙන් සිදුව ඇත්තේ දිස්ත්‍රික්ක විසිපහේම ජනතාවගේ බහුතර ජන්දයෙන් පත්වන ජනාධිපති සතු බලතල දිස්ත්‍රික්ක 2කක් පමණක් නියෝජනය කරන අගමැතිට සහ විපක්ෂ නායකට පවරා දිමය. එය ප්‍රජාතන්ත්‍රවාදය නම් ප්‍රජාතන්ත්‍රවාදයට අලුත් අර්ථ කථනයක් සොයා ගැනීමට සිදු නොවන්නේද?

සෙසු වෙනස්කම් පාර්ලිමේන්තුවේ නිල කාලය අවුරුදු 6 සිට 5 දක්වා අඩු කිරීම (සංශෝධනයේ 15 වැනි ජේදය, ව්‍යවස්ථාවේ 62 (2) වගන්තිය)

ලෝකයේ රටවල් බහුතරයක ව්‍යවස්ථාදායකයේ නිල කාලය වසර 3කි. මෙසේ නිල කාලය අඩු කිරීම ජනතා කැමැත්ත ප්‍රකාශ කිරීමට ඇති අවකාශය පුළුල් වීමක් බැවින් ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර සංශෝධනයක් ලෙස සැලකිය හැකිය.

ස්වකීය අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ජනාධිපතිවරයාට ඇති බලය අහෝසි කිරීම.

19 වැනි සංශෝධනය ප්‍රකාර ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවිය හැක්කේ පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක් යෝජනාවක් සම්මත කළහොත් හෝ පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීමේ සිට අවුරුදු හතර හමාරක් ගෙවී යාමෙන් පසු ඕනෑම වේලාවකදී හෝ පමණි. (සංශෝධනයේ 17 වැනි ජේදය, ව්‍යවස්ථාවේ 70 (1) වගන්තිය)

මේ සංශෝධනය එක් අතකින් පාර්ලිමේන්තුව අත්තනෝමතික ලෙස විසුරුවා හැරීමට ජනාධිපතිට ඇති බලය අහෝසි කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන අතර, අනෙක් අතින් වත්මන් අගමැතිවරයාට ස්වකීය දේශපාලන න්‍යය පත්‍රය 2004දී වූවාක් මෙන් ඇණහිටීමකින් තොරව ඉදිරියට ගෙන යාමට ඉඩ ප්‍රස්ථාව සලසයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට සැලසුම් කරමින් සිටි ආණ්ඩුවක් අගමැතිගේ බලතල ශක්තිමත් කරන සංශෝධනයක් ගෙන ආවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට වඩා අගමැති ප්‍රමුඛ පාලන තන්ත්‍රය රැකගැනීම සඳහාය.

වසර හතර හමාරක් ගෙවී ගිය පසු පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයාට හැකි බවට පනවා ඇති ප්‍රතිපාදනය අර්ථ විරහිතය. පාර්ලිමේන්තුවේ නිල කාලය අවුරුදු හයේ සිට පහ දක්වා අඩු කර ඇති පසු බිමක අවුරුදු හතර හමාරකට පසු ඉතිරි වන්නේ හය මසක් පමණි. මේ සංශෝධනය හාස්‍යය උපදවයි.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ඉන්දියාව සිය මිලිටරි බලය ප්‍රදර්ශනය කොට එදා සිටි ආණ්ඩුව බියගන්වා සම්මත කරනු ලැබූවකි. යහපාලන පෙරළිය සේම 19 වැනි සංශෝධනය ද ඉන්දියාවට අමතරව අමෙරිකාව සහ යුරෝපා සංගමය එක්වී සැලසුම් කරන ලද දේශපාලන ව්‍යාපෘතියක ඵලයක් බවට දැන් බොහෝ සාක්ෂි ලැබී තිබේ. මෙයින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අධිකාරිවාදී, නීතියේ පාලනය හෑල්ලු කළ, නාස්තිකාරී, දූෂිත සහ අහංකාර පරවශ ක්‍රියාකලාපය නිසා ජනතාවගෙන් විශාල පිරිසක් ඊට අනුගත කරගැනීමට ඔහුනට හැකි විය. මේ ව්‍යාපෘතියට බටහිර මුදලින් යැපෙන සිවිල් සමාජය ලෙස හඳුන්වා ගන්නා කණ්ඩායම් ඇතුළු දෙස් විදෙස් බලවේගවලට නොමඳ සහය ලැබිණ.

අනාගත දිනක් එක්සත් ජාතික පක්ෂසයට තර්ජනයකින් තොරව සිය පිළිවෙත් ඉදිරියට ගෙනයාම සඳහා ශක්තිමත් බලයක් ලැබෙන තුරු ජනවාරි 8 සහ අගෝස්තු 17 අත්කරගත් බලය අඛණ්ඩව පවත්වාගැනීම 19 වැනි සංශෝධනයේ මුඛ්‍ය අරමුණ වූයේය. සෝභිත හිමියන් කී මල් වට්ටිය පූජා කිරීමටත් පෙර පර වී තිබිණ.
මොහාන් සමරනායක

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මල් වට්ටියක්ද?

කතෘ:යුතුකම     11/04/2016   No comments
-මොහාන් සමරනායක-
19 වැනි සංශෝධන පනත සම්මත වීමට පෙර දිනෙක ඊට සහය දෙන මෙන් මන්ත‍්‍රීවරුන් පෙළඹවීම පිණිස විශාල පිරිසක් සමඟ පාර්ලිමේන්තු මාවත ඔස්සේ පා ගමනක නිරත වූ සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ “මේක මල්වට්ටියක්, ඊට අතගහන්න” යනුවෙන් කීහ.


2015 ජනවාරි 08 දේශපාලන පෙරළියට දායක වූ නන්විධ යහපාලන බලවේග අත මහා පොදු සාධකයක් තිබිණ. ඒ ශ‍්‍රී ලංකාව පෙළන සියලු දේශපාලන, ආර්ථික හා සාමාජයීය ව්‍යාධීන්ගේ ප‍්‍රධාන නිධානය විධායක ජනාධිපති ක‍්‍රමය බැවින් රටට යහපත හා සමෘද්ධිය උදා කිරීමට නම් එය අහෝසි කළ යුතු බව කියන ප‍්‍රවාදයයි.

ජනවාරි 08 වැනිදා ඡන්දය දුන් ජනතාව මේ ප‍්‍රවාදය එසේම පිළිගත්තේද නැද්ද යන්න නිශ්චිත නැති වුවද යහපාලන ආණ්ඩුව විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමේ මුල් පියවර ලෙස හඳුන්වමින් විධායක ජනාධිපති ක‍්‍රමයේ බලතල සීමා කිරීම අරමුණු කොට ගත් 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2015 මාර්තු 16 වැනිදා ගැසට් පත‍්‍රයේ පළකොට 2015 මාර්තු 24 වැනිදා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කළේය.

ගැසට් කරන ලද පනත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත වීමට අමතරව සමස්තය හෝ කොටසක් හෝ ජනමත විචාරණයකින් අනුමත විය යුතු දැයි නිශ්චය කරනු පිණිස කිහිප දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළහ. ගැසට් කරන ලද පනතෙහි එන අංක 11 ඡේදයට අයත් වගන්ති හයක් සහ අංක 26 ඡේදයේ වගන්තියක් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයෙන් සම්මත වීමට අමතරව ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය (SC SD 4 – 19/2015). ජනාධිපති ජාතික සමගියේ සංකේතයක් බව කියැවෙන අංක 33(1) වගන්තිය වැරදි සහගත බව නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එය ඉවත් කරන ලෙස නියෝග කළේය.

මන්ත‍්‍රීවරුන්ගේ නමින් ඡන්ද විමසීමෙන් පසු 2015 අපේ‍්‍රල් 28 වැනිදා පනත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත කෙරිණ. 212 දෙනෙක් පක්‍ෂව ඡන්දය දුන්හ. එක් මන්ත‍්‍රීවරයෙක් විරුද්ධ විය. තවත් අයෙක් වැළැකී සිටියේය. දස දෙනෙක් පැමිණ සිටියේ නැත. කථානායකවරයා 2015 මැයි පහළොස් වැනිදා සිය අත්සන තැබීමෙන් පසු 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතියක් බවට පත් විය.

19 වැනි සංශෝධනය අධිකාරිවාදී විධායක ජනාධිපති ධුරයේ බලතල සීමා කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම සඳහා ගත් විශිෂ්ට පියවරකැයි යහපාලන ආණ්ඩුව යළි යළිත් කියා සිටී. පනත සම්මත වීමට පෙර දිනෙක ඊට සහය දෙන මෙන් මන්ත‍්‍රීවරුන් පෙළඹවීම පිණිස විශාල පිරිසක් සමඟ පාර්ලිමේන්තු මාවත ඔස්සේ පා ගමනක නිරත වූ සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ “මේක මල්වට්ටියක්, ඊට අතගහන්න” යනුවෙන් කීහ.

2015 ජුනි 16 වැනිදා සවස ජයික් හිල්ටන් හීදි ශ‍්‍රී ලංකාවේ තානාපති ප‍්‍රජාව හමුවේ “19 සංශෝධනය, ප‍්‍රජාතාන්ත‍්‍රික පුනරුදයේ කඩඉමක්” මැයෙන් දේශනයක් කළ අන්තර්ජාතික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක සහ එක්සත් ජාතීන්ගේ හිටපු විෂය භාර මහ ලේකම්වරයෙකු වන ජයන්ත ධනපාල 19 වැනි සංශෝධනය විධායක ජනාධිපති ක‍්‍රමයේ ප‍්‍රජාතාන්ත‍්‍රික ඌණතාව මුලුමනින්ම නොවුනද විශාල ප‍්‍රමාණයකින් නිවැරදි කළ බව කියා සිටියේය. යහපාලනයේ මුල් පෙළේ සගයකුවන විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ ප‍්‍රධානී පාක්‍යසෝති සරවනමුත්තු වෙබ් අඩවියකට ලියූ ලිපියක සඳහන් කළේ “බරපතල මතවාදී ආබාධිතයකු සහ අත්‍යන්ත විකෘතියක් ඇත්තකු ලෙස දිස්වන්නේ නැතිව කිසිවකුට හෝ 19 වැනි සංශෝධනයට එරෙහි විය නොහැකි” බවය.

වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීමට උදව් කළ ‘අන්තර්ජාතික ප‍්‍රජාව’ 19 වැනි සංශෝධනය මහත් සේ අගය කළේය. ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන්, මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් සහ යුරෝපා සංගමයේ ප‍්‍රධානීහූ ඔවුන් අතර වූහ. ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත සංශෝධනය අනුමත වීම 2015 අපේ‍්‍රල් 29 වැනිදා වාර්තා කළේ ‘ශ‍්‍රී ලංකාවේ සමකාලීන දේශපාලන ඉතිහාසයේ නව පරිච්ඡේදයක ආරම්භය’ ලෙස හඳුන්වමිනි. සුළං හමන අතට රුවල බානු මිස සංශෝධනය අරභයා ගැඹුරු හා ශාස්ත‍්‍රීය අධ්‍යයනයක් නොකළ සහ එසේ කිරීමේ වුවමනාවක් නොතිබූ ඒකාබද්ධ විපක්‍ෂයද සංශෝධනයට පක්‍ෂව පාර්ලිමේන්තුවේදී ඡන්දය දුන්නේය.

ශ‍්‍රී ලංකාවේ දේශපාලනය නිවැරදි දිශානතියට යොමු කිරීමට නම් දේශපාලන ආර්ථික වර්ධනයන් අරභයා සැඟවූ න්‍යාය පත‍්‍ර සහිත වෘත්තිකයන් සහ විද්වතුන් ඇතුළු සමාජයේ වරප‍්‍රසාදිත ස්ථරය පළකරන අදහස් එසේම පිළිනොගෙන ප‍්‍රත්‍යක්‍ෂ මූලක සාධක ඇසුරෙන් ඒවා විභාග කර බැලීම අත්‍යවශ්‍ය වන්නේය. එවැනි විග‍්‍රහයකින් 19 වැනි සංශෝධනය සෝභිත හිමියන් කී පරිදි මල් වට්ටියක්ද ජයන්ත ධනපාල මහතා කී පරිදි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පුනරුදයේ කඩඉමක්ද නැතහොත් අලංකාර සළුපිළි පලඳවා අයහපත් දේශපාලන අරමුණු සපුරා ගැනීමේ ව්‍යාපෘතියක් ද යන්න තේරුම් ගැනීමට පිළිවන.

එකී අවබෝධය අත්කර ගැනීමට නම් පාර්ලිමේන්තුවේදී සම්මත වූ 19 වැනි සංශෝධනයේ අන්තර්ගතය නොව සම්මත කොට ගැනීම සඳහා ජනමතවිචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීම නිසා සම්මත කොට ගැනීමට නොහැකි වූ වගන්ති ප‍්‍රථමයෙන්ම විමර්ශනය කළ යුතු වන්නේය.

ජනමතවිචාරණකදී අනුමත විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කළ ඡේද මෙසේය:

පනතේ 11වැනි ඡේදය:
යෝජිත වගන්තිය 42(3):
අග‍්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රධානියා වන්නේය.

යෝජිත වගන්තිය 43(1):
අග‍්‍රාමාත්‍යවරයා අමාත්‍යවරුන් සහ අමාත්‍යංශ සංඛ්‍යාව සහ එකී අමාත්‍යවරුන්ට පවරන විෂයය සහ කාර්යය නිශ්චය කළ යුත්තේය.

යෝජිත වගන්තිය 43(3):
විෂයයන් පැවරීම ඕනෑම වෙලාවක වෙනස් කිරීමටත් අමාත්‍ය මණ්ඩල සංයුතියේ වෙනස්කම් ජනාධිපතිවරයාට නිර්දේශ කිරීමටත් අග‍්‍රාමාත්‍යවරයාට බලය ඇත්තේය.

යෝජිත වගන්තිය 44(2):
අග‍්‍රාමාත්‍යවරයා කැබිනට් නොවන අමාත්‍යවරුන්ට පවරන විෂයය සහ කාර්යය නිශ්චය කළ යුත්තේය.

යෝජිත වගන්තිය 44(3):
කැබිනට් නොවන අමාත්‍යවරුන්ට පවරන විෂයයන් ඕනෑම වේලාවක වෙනස් කිරීමට අග‍්‍රාමාත්‍යවරයාට බලය ඇත්තේය.

යෝජිත වගන්තිය 44(5*:
අග‍්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි ඕනෑම අමාත්‍යවරයෙකුට ගැසට් පත‍්‍රයේ පළකරනු ලබන නිවේදනයක් මගින් තමාට පවරා ඇති යම් බලයක්, වගකීමක් හෝ කාර්යයක් අන්කවර හෝ අමාත්‍යවරයකුට පවරා දිය හැක්කේය.

පනතේ 26වැනි ඡේදය:
යෝජිත වගන්තිය 104 ආ (5) (ඇ):
මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති රෙගුලාසි උල්ලංඝනය කරන්නා වූ රාජ්‍ය හෝ පෞද්ගලික ගුවන් විදුලි/ රූපවාහිනි ආයතනයක කළමනාකාරිත්වය පවරා ගැනීම සඳහා නිසි බලධාරියෙකු පත්කර ගැනීමට මැතිවරණ කොමිසමට බලය ඇත්තේය. නිසි බලධාරියා දේශපාලන වැඩසටහන්වලට හෝ මැතිවරණයට බලපෑමක් කළ හැකි සෙසු වැඩසටහන්වලට අදාළ වන ප‍්‍රමාණයට මැතිවරණය අවසන් වනතුරු කළමනාකාරිත්වය පවරා ගත යුත්තේය.

තවමත් ක‍්‍රියාත්මක 1978 දී සම්මත ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි තුන්වැනි ඡේදයෙහි සඳහන් පරිදි “ශී‍්‍ර ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය”. ඉහත වගන්තිවලින් කියැවෙන බලතල පරමාධිපත්‍යය හිමි ජනතාව විසින් ඡන්දයෙන් තෝරා ගනු ලබන ජනාධිපතිවරයාට පවරා තිබේ. එකී බලතල අගමැතිවරයාට පැවැරීමට 19 වැනි සංශෝධනයෙන් උත්සාහ කරනු ලැබීය. ජනතාව ජනාධිපතිවරයාට පවරා දුන් බලතල අග‍්‍රාමාත්‍යවරයාට පැවැරීමට නම් ජනමත විචාරණයකින් ජනතාවගේ කැමැත්ත ගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයෙහි සරල අර්ථයයි. එසේ නම් මෙහිදී නෛතික මෙන්ම දේශපාලන සදාචාරය පාර්ශ්වයෙන්ද බරපතල ප‍්‍රශ්නයක් පැන නගී.

සාමාන්‍යයෙන් සිදුවන පරිදි කවර රටක වුවද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, ඊට එක් කෙරෙන සංශෝධන සහ වෙනත් අණපනත් සම්පාදනය කරනුයේ තත් විෂයයෙහි ප‍්‍රාමාණික දැනුමක් සහ පරිචයක් ඇති විශේෂඥයන් විසිනි. ශ‍්‍රී ලංකාවේදී එය එසේ නොවීමට හේතුවක් නැත. 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පාදනය කරන්නට ඇත්තේ අදාළ ක්‍ෂේත‍්‍රයේ විශේෂඥයන් විය යුතුය. ඉහත සඳහන් වගන්ති පාර්ලිමේන්තුවෙන් සම්මත වීමට අමතරව ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බව මෙකී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විශේෂඥයන් දැන සිටියේ නැද්ද? නොදැන සිටියේ නම් ඔවුන් විශේෂඥයන් විය නොහැකිය. එසේ නම් 19 වැනි සංශෝධනය සම්පාදනය කර ඇත්තේ නීති ක්ෂේත‍්‍රයේ දුහුනන් පිරිසක් විසිනි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කඩ ඉමක් සලකුණු කිරීම එවැනි පිරිසකට භාරදීම විමතිය දනවයි.

නැතහොත් වැදුණොත් වැදුණාවේ කියා ගල් ගසන න්‍යායෙන් සිතා කුමක් හෝ හේතුවක් නිසා ශ්‍රේෂ්ඨාධිකරණය ජනමත විචාරණයක් අවශ්‍ය යැයි නිශ්චය නොකළහොත් පාර්ලිමේන්තුවේ තමන් සතු බහුතරයෙන් පනත සම්මත කරගැනීමේ පවිටු චේතනාවක් මේ පිටුපස වීද? එසේ සිතන්නට ප‍්‍රමාණවත් හේතු තිබේ. ශී‍්‍ර ලංකා දේශපාලන දේහයේ සර්ව රෝග නිධානය විධායක ජනාධිපතික‍්‍රමය බැවින් එය අහෝසි කිරීම හෝ බලතල විශාල ලෙස සීමා කිරීම හෝ කළ යුතු බව යහපාලන අද්වකාත්වරු ජනාධිපතිවරණයට පෙරත් පසුත් කියා සිටියහ. (වත්මන් ජනාධිපති පොරොන්දු වූයේ බලතල සීමා කිරීමට නොව විධායක ජනාධිපති ක‍්‍රමය මුළුමනින් අහෝසි කිරීමටය.) වත්මන් ව්‍යාවස්ථාවෙන් ජනාධිපතිවරයාට පවරා දී ඇති ඇමැතිවරුන් පත් කිරීම වැනි බලතල සමහරක් අගමැතිට පවරා දීමට 19 වැනි සංශෝධනය උත්සාහ කළේ බලතල සීමාකිරීමේ අරමුණ ඇතිවය.

ජනමත විචාරණයකින් අනුමත විය යුතු යයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ වගන්ති වලින් කියැවෙන බලතල විධායක ජනාධිපති වෙත තිබියදී ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හෝ අධිකාරීවාදී හෝ වන්නේත් එකී බලතලම අගමැතිවරයාට පැවරූ විට ප‍්‍රජාතන්ත‍්‍රවාදී වන්නේත් අධිකාරීවාදී නොවන්නේත් කෙසේ දැයි පැහැදිලි නැත. ජනාධිපති සෘජුවම පාර්ලිමේන්තුවට වග නොකියන බවත් අගමැති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු බැවින් පාර්ලිමේන්තුවට වගකීමට බැඳී සිටින බවත් යහපාලන අද්වකාත්වරුන් තර්ක කරන්නට පිළිවන.

තර්කයක් ලෙස එහි වලංගු භාවයක් පවතී. එහෙත් ප‍්‍රායෝගිකව සහ නිදහසින් පසු අපේ ඉතිහාසය සලකන විට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වූ අගමැතිවරුන් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී සහ අධිකාරීවාදී ලෙස කි‍්‍රයා කර ඇති බව දැක ගත හැකිය. පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කරමින් හා දවස පුවත්පත සීල් තබමින් බණ්ඩාරනායක මැතිනිය ගෙන ගිය පාලනය ඊට නිදසුනකි. එසේ තිබියදී ඉහත කී ආකාරයේදී බලතල ලැබුණු විට ඔවුන් සංයමයෙන් කි‍්‍රයාකරනු ඇතැයි සිතීමට තාර්කික පදනමක් නැත.

1978 ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථාවේ පරිච්ඡේද 34කි. අගමැති සඳහා වෙන්වූ පරිච්ඡේදයක් එහි නැත. ජනාධිපති සතු බලතල හා කාර්යයන් ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා තිබුණ ද අගමැති සතු බලතල හෝ කාර්යයන් සඳහන් කර නැත. අගමැති යන නාම පදය පවා ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ දහ වරකටත් අඩුවෙනි. රණසිංහ පේ‍්‍රමදාස මහතා අගමැතිව සිටියදී තමා පියන් කෙනෙකුට සමාන කර ගත්තේ ඒනිසා විය යුතුය. එහෙත් වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහ ව්‍යවස්ථාවෙන් පැවරී නැති බොහෝ බලතල තමන් අතට ගෙන ඇති බව නොරහසකි. මින් පෙර 2001 දෙසැම්බර් 05 මහ මැතිවරණයෙන් අගමැති ධුරයට පත් වූ විට ද ඔහු කි‍්‍රයා කළේ හිමි නැති බලතල සියතට ගනිමිනි.

ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථාවේ 33 ඡේදයේ ‘ඉ’ වගන්තිය අනුව යුද්ධ ප‍්‍රකාශ කිරීමට හා සාමය ප‍්‍රකාශ කිරීමට බලය ඇත්තේ ජනාධිපතිට වුවද වික‍්‍රමසිංහ මහතා එදා ජනාධිපතිනිය හෝ පාර්ලිමේන්තුව හෝ දැනුවත් නොකොට 2002 පෙබරවාරි 22 දා එල්ටීටීඊය සමග සටන් විරාම ගිවිසුමක් අත්සන් තැබීය. ව්‍යාවස්ථාවෙන් බලයක් හිමිවී නැත ද වත්මන් ආණ්ඩුවේ අගමැති දේශපාලනය, ආර්ථිකය හා විදේශ ප‍්‍රතිපත්තිය වැනි ක්ෂේත‍්‍රවල අතිශය වැදගත් තීරණ ගනිමින් සිටී. ජනාධිපති සිරිසේනම කියන පරිදි මෙසේ ගනු ලබන ඇතැම් තීරණ ඔහු දැන ගන්නේ ජනමාධ්‍යයෙනි. ඉතින් ජනාධිපති සතු බලතල 19 වැනි සංශෝධනයෙන් අගමැති වෙතට පවරා දීමට ගත් උත්සාහය ‘මල් වට්ටියක්’ හෝ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී පුනරුදයේ කඩඉමක්’ හෝ වන්නේ කෙසේදැයි පැහැදිලි කර දීම යහපාලන අද්වකාත්වරුන්ගේ වගකීමකි.

ජනාධිපති තෝරා ගනු ලබන්නේ ද ජනතාවගේ ජන්දයෙනි. ඔහුට හෝ ඇයට පාර්ලිමේන්තුවට සෘජු වගකීමක් නැත ද ජනතාවට වගකීමෙන් බැඳී සිටී. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පැවරීඇති බලතල ඔහු / ඇය අයුතු ලෙස පරිහරණය කරන්නේ නම් ඊළඟ ජනාධිපතිවරණයේ දී ජනතාව ඔහු / ඇය ගැන හෝ ඔහුගේ/ ඇයගේ දේශපාලන පක්‍ෂය ගැන හෝ තීරණයක් ගනු ඇත. තුන්වැනි වරටත් ජනාධිපතිවරණයකට තරග කළ මහින්ද රාජපක්‍ෂ මහතාට මේ අමිහිරි අත්දැකීම විඳින්නට සිදුවිය. තුන්වැනි වාරයක් ගැන කල්පනා නොකළ ඔහුගේ පූර්වගාමීහූ වාසනාවන්තයෝ වූහ.

2015 ජනවාරි 8 දේශපාලන පෙරළිය මූලික වශයෙන් එක්සත් ජාතික පක්‍ෂය, මහින්ද රාජපක්‍ෂ පාලන බලයෙන් පලවා හැර තමන්ට අවනත ආණ්ඩුවක් ශී‍්‍ර ලංකාවේ ස්ථාපනය කිරීමට අධිෂ්ඨාන කොටගෙන සිටි අමෙරිකාව, යුරෝපා සංගමය සහ ඉන්දියාව ඇතුළු විදේශ බලවේග, ධනවත් රටවලින් ලැබෙන අරමුදල් මත යැපෙන, සිවිල් සමාජය නමින් හඳුන්වා ගන්නා සංවිධාන සහ රාජපක්‍ෂ පාලනය කෙරෙහි කලකිරී සිටි හිටපු ජනාධිපතිවරයගේ දේශපාලන සගයන් එක්ව සැලසුම් කළ ව්‍යාපෘතියක ප‍්‍රතිපලයකි. මහින්ද රාජපක්‍ෂ පරාජය වූ විට ආණ්ඩු බලය සියතට ගත හැකි බව එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා නිවැරදිව දැන සිටියේය. සිය අරමුණු ජය ගැනීම සඳහා එකතු කර ගත හැකි බලවේග යහපාලන ධජය යටතේ එක්කර ගැනීමට ඔහු සමත් විය.

2001 මැතිවරණය ජයගැනීමෙන් පසු අගමැති ධුරයට පත් වික‍්‍රමසිංහ මහතා සිය දෘෂ්ටිය අනුව නිවැරදි යයි කල්පනා කළ දේශපාලන සහ ආර්ථික ගමන් මගකට පිළිපන්නේය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන නොසලකා එල්ටීටීඊ සමග සටන් විරාම ගිසුමක් අත්සන් තැබිණ. එය සාර්ථක කර ගැනීම සඳහා විදේශීය බලවතුන් සහාය කරගන්නා ලදී. ලෝක බැංකුව, මූල්‍ය අරමුදල සහ ධවල මන්දිරය යන ආයතන ති‍්‍රත්වයෙන් සැදුම්ලත් ‘වොෂින්ටන් ඒකමතිකත්වය’ තුන්වැනි ලෝකයට නිර්දේශ කරන නව ලිබරල් මාදිලියට අනුගතව ‘යළි පුබුදමු ශී‍්‍ර ලංකා’ මැයෙන් ආර්ථීක වැඩසටහනක් සම්පාදනය කළේය.

බටහිරට නැඹුරු විදේශ පිළිවෙතකට ශී‍්‍ර ලංකාව යොමු විය. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ප‍්‍රථමයෙන් එජාප රජයේ ප‍්‍රධාන අමාත්‍යාංශ 3ක් තමා වෙත පවරා ගෙන අනතුරුව 2004දී ඔහුගේ ආණ්ඩුව අහෝසි කළෙන් සියලු ව්‍යාපෘති නතර විය. එසේ අත්හැර දැමීමට සිදුවු වැඩ පිළිවෙල ජනවාරි 8න් පසු යළි ආරම්භ වී තිබේ. එදා සිය හිස මත කඩා වැටුණු අභාග්‍යය මෙදා යළි සිදු නොවනු පිණිස බලය තහවුරු කර ගැනීමට වික‍්‍රමසිංහ මහතා අදිටන් කර ගෙන තිබිණ.

ඒ සඳහා යහපාලනයේ සහ ප‍්‍රජාත්ත‍්‍රවාදයේ නාමයෙන් ව්‍යවස්ථානුකූලවම බලය සියතට ගැනීමට අවශ්‍ය වූයේය. අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රධානත්වය, ඇමැතිවරුන්ගේ විෂයය සහ කාර්යයන් නියම කිරීම හා වෙනස් කිරීම අගමැති අතට පවරා ගත යුතු විය. මහ මැතිවරණයෙන් වසරකට පසු ආණ්ඩුව අහෝසි කිරීමටත් කැමැති විටෙක අගමැතිවරයා ඉවත් කිරීමටත් ජනාධිපති සතුව ඇති බලතල ඔහුගෙන් ඉවත් කළ යුතු වූයේය. තමන් බලයට පත් වූ විට නව ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථාවක් සම්පාදනය කරන බව යහපාලන රජයේ ප‍්‍රධානීහු මැතිවරණ සමයේ යළි යළිත් කියා සිටියහ.

අලුත් ව්‍යාවස්ථාවෙන් විධායක ජනාධිපති ක‍්‍රමය මුළුමනින් අහෝසි කිරීම හෝ අවශ්‍ය පරිදි සංශෝධනය කිරීම හෝ කළ හැකිව තිබියදී 19 වැනි සංශෝධනය ගෙන ආවේ එබැවිනි. ඊට ඇතුළත්ව තිබූ එහෙත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත වීමට අමතරව ජනමත විචාරණයකින් අනුමත විය යුතු යයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීම නිසා සම්මත කර ගැනීමට නොහැකි වූ වගන්ති වල සැබෑ අරුත එයයි.

සම්මත වූ සංශෝධනය ද එකී අරමුණම කේන්ද්‍රකොට ගත්තකි. ඒ පිළිබඳව විවරණය ලබන සතියේ බලාපොරොත්තු වන්න.
[Irida]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

10/23/2016

අන්තර්ජාතික ප්‍රජාව’ මහින්දට එරෙහි වූයේ ඇයි? - මොහාන් සමරනායක

කතෘ:යුතුකම     10/23/2016   No comments
-මොහාන් සමරනායක
-
අන්තර්ජාතික ප්‍රජාව’ මහින්දට එරෙහි වූයේ ඇයි?

“යුද්ධය පැවති කාලයේ ප්‍රබල රාජ්‍ය නායකයන් අපේ රටට ආවා. සාමය ආරක්ෂා කිරීමට කොළඹ සිට ඇඹිලිපිටියට ගියා. ඒ අය යළි ගියාම කිව්වේ ඒ අයට මඤ්ඤොක්කා කවලා යැව්වා කියලා. මේ නිසා අපි හිතාමතාම ජාත්‍යන්තරය නැති කරගත්තා. ලෝක බලවතුන් නැති කරගත්තා.” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2015 ඔක්තෝබර් 2 වන දින රාත්‍රී කොටුව ජනාධිපති මන්දිරයේදී මාධ්‍යවේදීන් හමුවේ කළ කතාවෙන්.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා ගෙන ගිය අව පාලනය නිසා ‘අන්තර්ජාතික ප‍්‍රජාව’ නැතහොත් ජාත්‍යන්තරය ශ‍්‍රී ලංකාවට සතුරු වූ බවත් වත්මන් රජය මහින්ද රාජපක්‍ෂ කළ වරද නිවැරදි කොට ඔවුන් මිතුරු කර ගත් බවත් කියැවෙන මෙවැනි ප‍්‍රකාශ කරනුයේ ජනාධිපති පමණක් නොවේ. 2015 ජනවාරි 8 දේශපාලන පෙරළියෙන් පසු ‘අන්තර්ජාතික ප‍්‍රජාව’ නමින් හඳුන්වා ගන්නා ගෝලීය බලවතුන්ගේ න්‍යාය පත‍්‍රයට මුලුමනින්ම පාහේ අනුගත වූ වත්මන් ආණ්ඩුවේ සෙසු නායකයෝත් සිය පිළිවෙත සාධාරණීකරණය පිණිස මේ හා සමාන ප‍්‍රකාශ යළි යළිත් කරති. අගමැති, විදේශ ඇමැති, අධිකරණ ඇමැති, කැබිනට් ප‍්‍රකාශක, විශ්වවිද්‍යාල ඇමැති සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරගකොට ජයගෙන හෝ නැතිව පාර්ලිමේන්තුවට පිවිස යහපාලනයට එක් වී ඇමැති ධුර ලබාගත් මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ යන අමාත්‍යවරු ඔවුන් අතර කැපී පෙනෙති.

මාක්ස් වාදීන් හා ජනමාධ්‍ය

මේ මතය දරන්නෝ සහ ප‍්‍රකාශ කරන්නෝ යහපාලන ආණ්ඩුවේ නායකයෝ සහ සගයෝ පමණක් ම ද නොවෙති. මෙරට මුල් පෙළේ මාධ්‍යවේදීන් සමහරෙක්, තමන් මාක්ස්වාදීන් ලෙස හඳුන්වාගන්නා ඇතැමෙක්ද ඔවුන් සමඟ එකට සිට ගනිති. ජනාධිපති රාජපක්‍ෂ අනුවණ ලෙස බටහිර ජාතීන් සහ ඉන්දියාව අමනාප කර ගත් බව දිනපතා ඉංග‍්‍රීසි පුවත්පතක කතුවැකි කිහිපයකම සටහන් කර තිබිණ. අනුවණකම් මොනවාදැයි ඒවායේ සඳහන් නොවීය. ජනතා විමුක්ති පෙරමුණේ අන්තර්ජාතික සබඳතා විෂයය භාර බිමල් රත්නායක මන්තී‍්‍රවරයාද පසුගිය දිනක පුවත්පතකට සමාන ප‍්‍රකාශයක් කළේය. එබඳු මත සියල්ල කැටිකොට ගත් විට කියැවෙන අදහස ‘අන්තර්ජාතික ප‍්‍රජාව’ මෑත භාගයේදී ශ‍්‍රී ලංකාව කෙරෙහි අනුගමනය කරමින් සිටි කි‍්‍රයාකලාපය ඔවුන්ගේ අවශ්‍යතාව අනුව සැකසුනක් නොව රාජපක්‍ෂ ආණ්ඩුවේ චර්යාවට ප‍්‍රතිකි‍්‍රයාවක් පමණක් බවය.

අන්තර්ජාතික ප‍්‍රජාව මහින්ද රාජපක්‍ෂ සමඟ විරසක වූයේ මන්දැයි යහපාලකයන් සහ ඔවුන්ගේ සහායකයන් දක්වන හේතු මෙසේ සම්පිණ්ඩනය කිරීමට පිළිවන:

* අනුවණ විදේශ පිළිවෙත සහ අකාර්යක්‍ෂම විදේශ සබඳතා කළමනාකරණය.
* නීතියේ පාලනය යටපත් කළ අධිකාරිවාදී පාලන රටාව.
* මානව හිමිකම් උල්ලංඝනය කිරීම.
* දූෂිත පවුල් පාලනය.
* අන්තර්ජාතික ප‍්‍රජාවට දුන් ප‍්‍රතිඥා ඉටු නොකිරීම.


‘අන්තර්ජාතික ප‍්‍රජාව’ දැන් අපේ රට සමඟ සැබැවින්ම මිතුරු වී සිටී ද ඒ මිත‍්‍රත්වය අපට අත්කර දෙන යහපත් හෝ අයහපත් ප‍්‍රතිවිපාක කවරේද යන්න නිවැරදිව අවබෝධකොට ගැනීම ජාතියේ අභිවෘද්ධියට ඉවහල් වන බැවින් ඉහත සඳහන් සාධක ප‍්‍රත්‍යක්‍ෂ මූලක සාධක ඇසුරෙන් විභාග කළ යුතු වන්නේය. ‘අන්තර්ජාතික ප‍්‍රජාව’ යන පදය වත්මන් ගෝලීය දේශපාලන යථාර්ථය නියෝජනය නොකරන බවත්, එය ව්‍යාජෝක්තියක් බවත් සියල්ලට ප‍්‍රථම අවධාරණය කළ යුතුය. වචනාර්ථය ගත් කල ඉන් සමස්ත ලෝක ප‍්‍රජාව ඇඟවෙන නමුදු ප‍්‍රායෝගික ව්‍යවහාරයේදී ‘අන්තර්ජාතික ප‍්‍රජාව’ ලෙස පෙනී සිටිනුයේ ප‍්‍රධාන වශයෙන් බටහිර ධනවත් සහ බලවත් රාජ්‍යයන් අතළොස්සකි. ‘අන්තර්ජාතික ප‍්‍රජාව’ සතුරු කර ගත් බව හෝ මිතුරු කර ගත් බව හෝ කියන විට අදහස් වනුයේ මෙකී රාජ්‍යයන් සමූහය යි.

* අනුවණ විදේශ පිළිවෙත සහ අකාර්යක්‍ෂම විදේශ සබඳතා කළමනාකරණය

මහින්ද රාජපක්‍ෂ පාලනයට පමණක් නොව නිදහසින් පසු ශී‍්‍ර ලංකාවේ කවර ආණ්ඩුවකට වුවද තත්කාලීන ලෝක රටාව ගැඹුරින් අධ්‍යයනය කොට රටට යෝග්‍ය අයුරින් සකසා ගත් විදේශ ප‍්‍රතිපත්තියක් නොවීය. වැඩිපුරම සිදුවූයේ ඒ ඒ වකවානුවේ බලයට පත් දේශපාලන පක්‍ෂයේ ආර්ථික සමාජ දෘෂ්ටිය සහ පිළිවෙත සමඟ ගැළපෙන විදේශ සම්බන්ධතා ව්‍යූහයක් ගොඩනගාගැනීමය. ප‍්‍රථම අග‍්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක බ්‍රිතාන්‍යය සමඟ ආරක්ෂක ගිවිසුමක් අත්සන් තැබීමත් සමාජවාදී රටවල් සමග රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා ඇති කර නොගැනීමත් ඊට නිදසුන්ය. සමකාලීන අන්තර්ජාතික සන්දර්භය පිළිබඳ යම් පමණක හෝ අවබෝධය පදනම්කොට ගත් විදේශ ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක වූයේ බණ්ඩාරනායක මැතිණිය ආණ්ඩු කළ සමයේ පමණි.

රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ පාලනයට ද වත්මන් ලෝක රටාව සහ ඒ පිටුපස ඇති දෘෂ්ටිය හා බලවේග අරභයා නිසි අධ්‍යයනයකින් අත්කරගත් දැනුමක් නොවීය. වැඩි වශයෙන් සිදුවූයේ ඒ ඒ අවස්ථාවේ උද්ගත අවශ්‍යතා අනුව සබඳතා ඇතිකරගැනීම හා පවත්වා ගැනීම පමණි. හිටපු ජනාධිපතිවරයාගේ දෙවැනි පාලන සමයේදී විදේශ සබඳතා කළමනාකරණය බෙහෙවින් අවුල් සහගත, අනුවණ හා අකාර්‍යක්‍ෂම එකක් වූයේ ය. තානාපතිවරුන් සහ තානාපති නිලධාරීන් පත්කිරීම අත්තනෝමතික විය.

අමෙරිකා එක්සත් ජනපදය වැනි ප‍්‍රමුඛ පෙළේ රාජ්‍යයකට පවා තානාපති ලෙස පත් කරනු ලැබූයේ පෞද්ගලික අභිමතය අනුව තෝරාගත් තැනැත්තෙකි. තවත් ප‍්‍රධාන පෙළේ රටකට නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ලෙස මෙරටේ ගර්හාවට ලක් වූ පුද්ගලයකු පත්කරන ලදී. ඇමැති ධුරය හෙබැවූ උගත් මහාචාර්යවරයා සිටියදී විදේශ අමාත්‍යංශය මෙහෙයවන ලද්දේ මදාවි චරිතයක් ලෙස අපකීර්තියට පත් තැනැත්තකු විසිනි. අමෙරිකාව ප‍්‍රමුඛ බලවත් රටවල් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මෙවලමක් කොටගෙන ශී‍්‍ර ලංකාවට එරෙහිව මානව හිමිකම් ආයුධය අතට ගත් විට ඊට මුහුණදීමට කිසිදු විධිමත් වැඩපිළිවෙළක් නොවීය. මහජන සබඳතා සමාගම්වලට මුදල් ගෙවා අමෙරිකා එක්සත් ජනපදයේ විදේශ ප‍්‍රතිපත්තිය වෙනස් කළ හැකි යැයි සිතන තරමට පාලකයෝ අනුවණ වූහ.

මේ අනුවණකම් සහ අකාර්යක්‍ෂමතා රාජපක්‍ෂ පාලනය සමඟ සතුරුවීමට ප‍්‍රමාණවත් සාධක ලෙස ගැනීමට තරම් ‘අන්තර්ජාතික ප‍්‍රජාව’ බොළඳ වන්නේ නැත. රාජපක්‍ෂ පාලන සමයේදී ‘අන්තර්ජාතික ප‍්‍රජාව’ ශ‍්‍රී ලංකාවට බොහෝ සතුරුකම් කළහ. එල්ටීටීඊ සමඟ යුද්ධය උච්ච අවස්ථාවට ළඟාවෙමින් තිබූ 2008 වසරේ අයවැය පරාජය කිරීමට මෙරට බටහිර තානාපති කාර්යාල ඉමහත් උත්සාහයක් ගත් බව ප‍්‍රකටය. යුරෝපා සංගමය ශ‍්‍රී ලංකාවට දී තිබූ ජී.එස්.පී. ප්ලස් සහනය අහෝසි කර දැමීය. මත්ස්‍ය නිෂ්පාදන අපනයන තහනම් කෙරිණ. රාජක්‍ෂ පාලනය මූල්‍ය අරමුදලින් ඩොලර් බිලියන 1.5ක ණයක් ඉල්ලා සිටි විට එය ප‍්‍රදානය වැළැක්වීමට ඔවුහු බොහෝ දේ කළහ. අවසානයේ ශ‍්‍රී ලංකාව යුධ අපරාධ කළේ යැයි චෝදනා කරමින් මානව හිමිකම් කවුන්සිලයේදී යෝජනා සම්මත කරගනු ලැබීය.

ඔවුන් අපේ අනුවණකම් දෙස, දේශපාලන හිතවත්කම් මත පත්ව සිටි තානාපතිවරුන් දෙස උපහාසයෙන් බලන්නට ඇතත සිනාසෙන්නටද ඇත. එහෙත් මේ සා සතුරුකම් කරන්නට ඒවා හේතුවිය නොහැකිය. විදේශ සබඳතා කළමනාකරණයේ අනුවණකම් සතුරුකම් කරන්නට හේතු වන්නේ නම් ‘අන්තර්ජාතික’ ප‍්‍රජාවට තුන්වැනි ලෝකයේ බොහෝ රටවල් සමඟ තානාපති සබඳතා පවත්වාගැනීමට පවා නොපිළිවන. අනෙක් අතට ‘අන්තර්ජාතික ප‍්‍රජාවට’ අයත් ජාතීන්ද මෙවැනි අනුවණකම් නොකරනවා නොවේ.
අධිකාරිවාදී පාලනය

රාජපක්‍ෂ පාලනය සමඟ සතුරු වීමට ‘අන්තර්ජාතික ප‍්‍රජාව’ පෙළඹවූ, යහපාලනය සඳහන් කරන සෙසු සාධක තුන එනම්, නීතියේ පාලනය යටපත් කළ අධිකාරිවාදී පාලන රටාව, මානව හිමිකම් උල්ලංඝනය කිරීම හා දූෂිත පවුල් පාලනය එකට ගෙන සාකච්ඡා කළ හැකිය. ‘අන්තර්ජාතික ප‍්‍රජාව’ රටකට සතුරුවීමට මේ සාධක ඉවහල් වන්නේ නම්, අධිකාරීවාදී, දූෂිත, පවුල් පාලනයක් පවතින සෑම රාජ්‍යයකටම ඔවුන් එරෙහිවිය යුතුය. දෙවැනි ලෝක සංග‍්‍රාමයෙන් පසු ඉතිහාසය ගත් කල රාජපක්‍ෂ පාලනය මෙන් දහ දොළොස් ගුණයකින් මර්දනකාරී, කුරිරු, මිනීමරු හා ආඥදායක ආණ්ඩු බහුතරය නඩත්තු කර ඇත්තේ ශ‍්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ගෙන ආ අමෙරිකා එක්සත් ජනපදය විසිනි.

පිලිපීනයේ ෆර්ඩිනන්ඩ් මාකෝස්, ඉන්දුනීසියාවේ සුහර්තෝ, දකුණු කොරියාවේ සින්ග්මන් රී, තායිවානයේ චියැං කායි ෂේක්, පාකිස්තානයේ සියා උල් හක්, වියට්නාමයේ ඩිං ඩියම්, ඉරානයේ ෂා රෙසා පාලවි, චිලීයේ ඔගොස්ටෝ පිනෝෂේ, කොංගෝවේ මොබුටු සෙසේ සෙකෝ අමෙරිකාවේ සුරතලුන්ව සිටි දූෂිත ආඥදායකයන් විශාල සංඛ්‍යාවකින් කිහිපදෙනෙකු පමණි. ඔවුන්ගේ නාම ලේඛනය බොහෝ දිගය. වර්තමානයේ මැද පෙරදිග කලාපයේ මර්දනකාරී දූෂිත රාජාණ්ඩු සියල්ලම අමෙරිකාවේ හිතෛෂීහූ වෙති. ඔවුන්ට එරෙහිව මානව හිමිකම් යෝජනා තබා ඊට අඩු මට්ටමේ කි‍්‍රයාමාර්ගයක් හෝ නැත.

‘අන්තර්ජාතික ප‍්‍රජාව’ සෙසු රාජ්‍යයන්ට එරෙහිවන තවත් ප‍්‍රබල හේතුවක් තිබේ. ඒ කිසියම් රටක් බටහිර නව ලිබරල් ආර්ථික මාදිලිය ප‍්‍රතික්ෂේප කරමින් සමාජවාදී හෝ සමාජවාදයට නැඹුරු, ස්වාධීන සංවර්ධන මඟක් තෝරාගැනීමය. කියුබාවේ පිදෙල් කස්ත්‍රෝ, වෙනිසියුලාවේ හියුගෝ චාවෙස්, බොලිවියාවේ ඊවෝ මොරලස් ඊට නිදසුන් සපයති. රාජපක්‍ෂ ජනාධිපතිවරයා, චන්ද්‍රිකා බණ්ඩාරනායක හෝ රනිල් වික‍්‍රසිංහ හෝ මෙන් නව ලිබරල්වාදයේ අන්තයට නොගියද ඔහුගේ ආර්ථික පිළිවෙත මූලික වශයෙන් නව ලිබරල්වාදයම විය. ඔහු ධනේශ්වර වෙළෙඳ පොළ ක‍්‍රමය ප‍්‍රතික්ෂේප කළේ නැත. ඔහුගේ උපදේශකයෝ වැඩිදෙනා උග්‍ර ධනේශ්වර චින්තනයක් සහිත අය වූහ. රාජපක්‍ෂ පාලනය සමඟ සතුරුවීමට ආර්ථික පිළිවෙතද ‘අන්තර්ජාතික ප‍්‍රජාව’ට හේතුවක් වූයේ නැත.

එසේ නම් මේ විරසකය ප‍්‍රභවය ලබන්නේ කොතැනින්ද? ප‍්‍රධාන මූලාශ‍්‍ර දෙකකි. පළමුවැන්න අමෙරිකාව ප‍්‍රමුඛ ලෝක පාලක ති‍්‍රමුර්තියේ බලකිරීම් සහ තර්ජන හමුවේ නොසැලී එල්ටීටීඊ බෙදුම්වාදය පරාජය කිරීමය. දෙවැන්න, බටහිර ගෝලීය ආධිපත්‍යයට විශේෂයෙන් ආර්ථික බලයට ප‍්‍රබල අභියෝගයක් වෙමින් සිටින චීනයට සමීප වීමය. වර්ෂ 1500දී පමණ උපත ලැබ වත්මන් අවදිය දක්වා පරිණාමය වී ඇති ලෝක රටාව ධනවත් සහ බලවත් ජාතීන් අතළොස්සක ආධිපත්‍යයට නතු වූ ධුරාවලිගත ව්‍යුහයක් සහිත එකක් බවත්, රටාවේ කේන්ද්‍රය නිර්මාණය කරන ජාතීන් සෙසු සියලු රටවල් සිය අවනතභාවයේ තබාගැනීමට නිරතුරුව උත්සාහ කරන බවත්, කාලීන විමසුම ලිපි පෙළෙන් සාක්‍ෂි සහිතව පෙන්වා දුනිමු. ඒ සඳහා රටවල් ඇතුළතින් දුබල කොට අස්ථාවර කළ යුතුය.

අවශ්‍ය නම් බෙදා වෙන් කළ යුතුය. ඉලක්කය සපුරා ගැනීමට අධිපති ජාතීන් භාවිත කරන මෙවලම් අතර, බෙදුම්වාදය ප‍්‍රධාන තැනක් ගනී. කිසියම් රටක බෙදුම්වාදී අරගල ඇතිවන්නේ හුදෙක් ‘අන්තර්ජාතික ප‍්‍රජාවේ’ උවමනාව නිසාම නොවේ. අභ්‍යන්තර සාධක ඊට මුල්වන බවට විවාදයක් නැත. අන්තර්ජාතික ප‍්‍රජාව මෙවැනි අරගල උත්සන්න කොට තමන්ට අවශ්‍ය පරිදි කළමනාකරණය කරමින් සිය අරමුණ සපුරාගැනීම සඳහා උපයෝගී කර ගනී.

ශ‍්‍රී ලංකාවේද එය සිදුවූ බවට ප‍්‍රමාණවත් සාක්‍ෂි පවතී. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ එල්ටීටීඊ යට එරෙහි මිලටරි කි‍්‍රයාමාර්ගය ආරම්භ කළ වහාම අන්තර්ජාතික ප‍්‍රජාව ඊට එරෙහි වූයේ එබැවිනි. යුද්ධයේ අවසාන භාගයේදී එල්ටීටීඊ ආයුධ නැව් හඳුනා ගැනීමට අමෙරිකාව උදව් කළද, එල්ටීටීඊ මුළුමනින්ම පරාජය වනු දැකීමට එරටට අවශ්‍ය වූයේ නැත. අමෙරිකාව ප‍්‍රමුඛ රටවල අපේක්ෂාව වූයේ සුඩානයේ හෝ කොසෝවෝහි කළාක් මෙන් තමන්ට පාලනය කළ හැකි බල ව්‍යුහයක් ශ‍්‍රී ලංකාවේ නිර්මාණය කිරීමයි. එවිට එහි සිට දකුණු ආසියාවටත් චීනයටත් බලපෑම් කිරීමට පිළිවන. මහින්ද රාජපක්‍ෂ එල්ටීටීඊ පරාජය කරමින් මේ සැලැස්ම ව්‍යර්ත කර දැමුවේය.

ජයක් නැති යුද්ධය

එල්ටීටීඊ කිසිවිටකත් යුද්ධයෙන් පරාජය කළ නොහැකි යයි බටහිර ජාතීහු දිගටම අපට කියා සිටියහ. ඉන්දියාවේ රජීව් ගාන්ධි සාර්ථකව ඉදිරියට යමින් තිබූ වඩමාරච්චි මෙහෙයුම කඩාකප්පල්කොට වෙනම රාජ්‍යයක් සඳහා තවදුරටත් සටන් කිරීමට ප‍්‍රභාකරන් රැක ගත්තේය. “ඔබට කිසිවිටෙකත් එල්ටීටීඊ පරාජය කරන්නට බැහැ”, නෝර්වේ සාම නියෝජිත එරික් සෝල්හයිම් 2006 මාර්තු මස රාජපක්‍ෂ මහතාගේ මුහුණටම පැවැසීය. 2009දී බරක් ඔබාමා අමෙරිකාවේ ජනාධිපති ධුරයට සහ හිලරි ක්ලින්ටන් රාජ්‍ය ලේකම් ධුරයට පත්වීමෙන් අනතුරුව ශ‍්‍රී ලංකාව අරභයා දැඩි පිළිවෙතක් ගැනීමට එරට තීරණය කළේය. යුද්ධය නතර නොකරන්නේ නම් ශ‍්‍රී ලංකාව යුද අපරාධ චෝදනාවලට ලක්විය හැකි යයි එවක මෙරට අමෙරිකානු තානාපති රොබට් බ්ලේක් 2009 මාර්තු 18 වැනදා විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගමට අන්තරාය ඇඟවීය. “ශ‍්‍රී ලංකාවේ බියකරු මානව ඛේදවාචකයක්” දිගහැරෙමින් තිබේ යැයි හිලරි ක්ලින්ටන් 2009 අපේ‍්‍රල් 29 වනදා ජනමාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කළාය.

අමෙරිකාවේ අනුදැනුම හා ආශීර්වාදය ඇතිව එදා බි‍්‍රතාන්‍ය විදේශ ඇමැති ඬේවිඩ් මිලිබෑන්ඩ් සහ ප‍්‍රංශ විදේශ ඇමැති බර්නාඩ් කුෂ්නර්, ජනාධිපති සිරිසේන කියන පරිදි සාමය ඇතිකිරීමට නොව, යුද්ධය නතර කරන ලෙස ඉල්ලනු පිණිස 2009 අපේ‍්‍රල් 28 වනදා දිවයිනට පැමිණියහ. ඔවුහු ඊට පසුදා ඇඹිලිපිටියට සමීප චන්ද්‍රිකා වැව අසබඩ ජනාධිපති නිවහනේදී රාජපක්‍ෂ මහතා හමුවූහ. විදේශ ඇමැති බෝගොල්ලාගම, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදේශ ලේකම් පාලිත කොහොන, අතිරේක ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න සහ බි‍්‍රතාන්‍ය හා ප‍්‍රංශ තානාපතිවරු රැස්වීමට එක්ව සිටියහ. “ජනාධිපතිතුමනි, ඔබට දැනුම්දීමට ‘අන්තර්ජාතික ප‍්‍රජාවගේ’ පණිවිඩයක් අප වෙත තිබෙනවා. ඔබේ හමුදා දෙමළ ජනයා සහමුලින් විනාශ කිරීමේ නිරත වෙලා. දෙමළ ජනයාට කරන මේ ප‍්‍රහාර වහා නතර කරන මෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.” මිලිබෑන්ඩ් දැඩි ස්වරූපයෙන් පැවැසීය. (Mr.President, we have a message from the international community. You forces are threatening the annihilation of the Tamils. We want you to stop these attacks on Tamils immediately)

මහින්ද රාජපක්‍ෂ දුන් පිළිතුර තියුණු සේම කෝපයද මුසු එකක් විය. “මතක තබාගන්න අප තවදුරටත් ඔබේ කොලනියක් නොවේ. එය 1948දී අවසන් වුණා. අපේ හමුදා ත‍්‍රස්තවාදය අවසන් කරන තුරු මම නතර වන්නේ නැහැ.” (Remember, we are no longer a colony of yours. That ended in 1948. I will not stop until our forces will finish terrorism.) “අප ඔබේ මිතුරන්”, යයි කියමින් කුෂ්නර් මැදිහත් විය. රාජපක්‍ෂ ජනාධිපතිවරයා මෙසේ ප‍්‍රතිචාර දැක්වීය. “මගේ මිතුරන් කවුදැයි මම දන්නවා. මේ මිනිස්සු මැරෙනකොට ඔබට ඒක ප‍්‍රවෘත්තියක්. නමුත් මට සහ මගේ ජනතාවට එය මහ විපතක්. මම මේ රටේ ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වූ නායකයා. අපි දැන් ත‍්‍රස්තවාදය අවසන් කිරීමට ආසන්නයි. මම නතර වෙන්නේ නෑ.” (I know who my friends are. When people die here it’s just news for you, but it’s agony for me and my people. I am the elected leader of this country and we are very close to ending terrorism. We will not stop.)

මාෆියා මූලධර්මය

තුන්වැනි ලෝකයේ දිළිඳු දුබල රටක නායකයෙක් ලෝකයේ තනි සුපිරි බලවතාගේ සහ ඔහුගේ සමීපතම සඟයන් දෙදෙනකුගේ නියෝගය දෙවරක් නොසිතා ඉවත දැමීය. මහින්ද රාජපක්‍ෂ සමඟ සතුරුවීමට අන්තර්ජාතික ප‍්‍රජාවට එය ප‍්‍රමාණයටත් වැඩි හේතුවක් විය. නොම් චොම්ස්කි අමෙරිකානු විදේශ පිළිවෙත ගැන කතා කිරීමේදී මාෆියා මූලධර්මයක් ගැන සඳහන් කරයි. අවනත නොවනු තබා අවතන නොවීමට කල්පනා කිරීමට පවා දුබලයකුට ඉඩ නොතැබීම මාෆියා මූලධර්මයයි. එසේ ඉඩ දුනහොත් සෙසු අයද ඒ මඟ ගනිති. එවිට සුපිරි බලවතාගේ ගෝලීය ආධිපත්‍යය බිඳ වැටේ. කිසිසේත්ම ඊට ඉඩදීමට නොපිළිවන. මහින්ද රාජපක්‍ෂට පමණක් නොව සමස්ත ශ‍්‍රී ලංකාවටම නැවත එබඳු ආඩම්බරයකින් කතා කිරීමට හෝ ක‍්‍රියා කිරීමට හෝ ඉඩ නොලැබෙන පරිදි දඬුවම් කිරීමට අමෙරිකාව අධිෂ්ඨාන කර ගත්තේය. ඉතිරිය ඉතිහාසයයි.

චීනයෙන් ආයුධ මිලට ගැනීම, ණය ගැනීම, ශ‍්‍රී ලංකාව තුළ චීන ව්‍යාපෘති සඳහා ඉඩ දීම අමෙරිකාව පමණක් නොව ඉන්දියාවද කෝප ගැන්වීය. ආණ්ඩු වෙනසක් (රෙජිම් චේන්ජ්) කළ යුතු බව ඔවුහු තීරණය කළහ. ජනවාරි 8 වෙනසට හවුල් වූවන් මෙතෙක් ලියා ඇති පොත පතෙන් හෙළිවන පරිදි ‘රෙජීම් චේන්ජ්’ සංග‍්‍රාමය සැලසුම් කිරීම 2011 දීම ඇරඹිණ.

මහින්ද රාජපක්‍ෂ යුධ අපරාධ කළවුන්ට දඬුවම් කිරීම සඳහා යාන්ත‍්‍රණයක් ස්ථාපනය කරන බවට පොරොන්දු වෙමින් ‘අන්තර්ජාතික ප‍්‍රජාව’ සමඟ ගිවිසුමකට එළැඹියේ නැත. එල්ටීටීඊ විනාශයෙන් තුන් දිනකට පසු එනම් 2009 මැයි 22 වැනිදා දිවයිනට පැමිණි එක්සත් ජාතින්ගේ මහ ලේකම් බැන්කී මූන් වගවීමේ කි‍්‍රයාදාමයක අවධාරණය කළ විට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කළා පමණි. ගිවිසුමක් තිබී එය මුලුමනින්ම ක‍්‍රියාත්මක කළද ජනාධිපති රාජපක්‍ෂට දඬුවම් කිරීමේ උත්සාහය ‘අන්තර්ජාතික ප‍්‍රජාව’ අත්හරින්නේ නැත. යහපාලන ආණ්ඩුව ‘අන්තර්ජාතික ප‍්‍රජාවට’ මුලුමනින්ම අවනත වීමෙන් සිදුවූයේ එකී උත්සාහය සාර්ථක කරගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය වීමය.

[ඉරිදා ජාතික පුවත්පත]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

5/15/2016

සන්ධානෙන් ඡන්දය අරගෙන සම්මුතිවාදී ආණ්ඩුවට ගියේ වසළයෝ - මොහාන් සමරනායක [වීඩියෝ]

කතෘ:යුතුකම     5/15/2016   No comments

ලිච්ඡවි පාලන සමයක් යැයි පැවසෙන මෙසමයෙහි ආණ්ඩුවට රිදෙන කිසිම මාතෘකාවකට සංවාදයකට ඉඩ නොතබන විටක යුතුකම සංවාද කවයේ භූමිකාවට රට වැසියෙක් වශයෙන් තමන්ගේ ස්තුතිය පුදකරන බව මොහාන් සමරනායක මහතා පැවසීය. පසුගිය වසරේ අපේ රටට එරෙහිව සම්මත වූ ජිනීවා යෝජනා මේ රටේ දේශපාලනය, පරිපාලනය, මැතිවරණ ක්‍රමය, හමුදා ව්‍යුහය, නීති පද්ධතිය මුළුමනින්ම උඩුයටිකුරු කරන ක්‍රියා දාමයක්. නමුත් කිසිම තැනක ප්‍රමාණවත් කතිකාවක් සිද්ධ වෙන්නේ නෑ. එම සංවාදය ඉතා සූක්ෂම ලෙස ඉවත් කරන්නට ආණ්ඩුව ක්‍රියා කරනවා. දකුණු ඇමරිකාවෙන් ආ ගායකයෙක් ගී ගයන විට තරුණියක් තණපට ගලවලා වීසි කළාම අපේ ජනමාධ්‍යය සති දෙක තුන ඒ ගැන බොහොම අභිරුචියෙන් කතා කරනවා. නමුත් අපේ රටේ 1815 හා සමාන පරිවර්තනයක් සිදු කළ ජිනීවා යෝජනා ගැන ඒ සංවාදය සිද්ධ වෙන්නේ නෑ.

සම්මුතිවාදී ආණ්ඩුව 56 නිෂේධනය කිරීමේ බරපතල ප්‍රයත්නයක්. එය පරාජය කළ යුතුයි. ජනතාව ඊට එරෙහිව නැගී සිටියහොත් එය පරාජය කළ හැකියි. එසේ නොවුනහොත් බටහිර රටවල් මැදිහත් වූ සෙසු රටවලට අයත් වූ කාලකන්නි ඉරණම අපටද අත්වීම වැළැක්විය නොහැකියි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය සිදු කළේ වංචනික අරමුණු ඇතිවයි. ඒ ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කළ ව්‍යවස්ථාපිත මණ්ඩලය අරුම පුදුම ආයතනයක්. එය නීතිපතිවරයා පත්කරන්න එක ක්‍රියාදාමයක්, පොලිස්පතිවරයා පත් කරන්න තව ක්‍රියාදාමයක්.

අගෝස්තු 17 ඡන්දයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කොට සම්මුතිවාදී ආණ්ඩුවට එක්වූවන් තමන් දකින්නේ වසළයන් ලෙස බවද ඒ මහතා පැවසීය.


යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

2/11/2016

ETCA - වත්ත බද්දට දී ඇස්සට දත නියවන්න වෙයිද?

කතෘ:යුතුකම     2/11/2016   No comments
"සෙපා-එපා". ඉන්දියාව, ශ්‍රී ලංකාව සමඟ අත්සන් තැබීමට යෝජනා කළ CEPA ගිවිසුමට එදා විරෝධය පළ වූයේ ඒ අයුරින්. විරෝධය නිසාම පසුගිය රජය CEPA අත්සන් කළේ නෑ. වත්මන් රජය CEPA වෙනුවට ETCA නමින් ආර්ථික සහයෝගිතා ගිවිසුමක් ඉන්දියාව සමඟ අත්සන් තැබීමට දැන් සූදානම් වෙනවා. රජය කියන්නේ CEPA ගිවිසුමේ තිබුණු ලංකාවට අවාසිදායක කොන්දේසි ETCA හි ඇතුළත් නොවන බවයි. ETCA වෙනත් නමකින් එන CEPA ගිවිසුමම බව බොහෝ වෘත්තිකයන් පවසනවා. මේ ඒ පිළිබඳ කෙටි විමසුමක්.

-යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

11/19/2015

තමන්ගේ රටට එරෙහිව යෝජනාවක් ගෙනාපු ලෝකේ එකම ආණ්ඩුව - මොහාන් සමරනායක [Video]

කතෘ:යුතුකම     11/19/2015   No comments


ජිනීවා - නිව්යෝක් පටලවා ජනතාව ගොනාට අන්දන යහපාලන ඇම්බැට්ටයන්ගේ දීන පාවාදීම පිලිබඳ මොහාන් සමරනායක මහතාගේ විවරණය.
වෙනම රාජ්‍යක් සඳහා දශක කිහිපයක් තිස්සේ බෙදුම්වාදීන් ගෙන ආ පියවර දැන් ඔවුන්ට ජයග්‍රහණය ලැබෙන ඉම දක්වා පැමිණ ඇතැයි ද , ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්තවාදීන් සම්පූර්ණ අතුගා දැමීමේ මෙහෙයුම බටහිර රටවල අභිප්‍රායන්ට අනුව නතර නොකිරීම නිසා හිටපු රාජ්‍ය නායකයාට සහ ත්‍රිවිද හමුදාවට එරෙහිව යුධ අපරාධ චෝදනා නගා පළිගැනීමේ ක්‍රියාවලියක නිතරව ඇතැයි ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.
යුතුකම සංවාද කවයේ සංවිධානත්වයෙන් පසුගියදා ගම්පහ සණස ශාලාවේදී පැවැත්වූ " බිල්ලො ඇවිත් " සම්මන්ත්‍රණයේ මුඛ්‍ය දේශනයක් පවත්වමින් ඔහු මේ බව අවධාරණය කළේය.
ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සැසිය ඇමතීමට ඇමරිකාවට ගොස් පැමිණෙද්දී "ජිනීවා දිනා එන අපේ ජනාධිපතිතුමාට ආචාරය" පුද කරමින් මෙරට ලයිට් කණුවක් ගානේ කටවුට් ගැසුවේ ආණ්ඩුවේ බලධාරීන්ට ජිනීවා - නිව්යෝක් පැටලුණු නිසා නොවන බවත් ඒ ජිනීවා පාවාදීම ජනතාවගෙන් වසන් කිරීමේ උත්සාහයක් බවත් ඔහු පෙන්වා දෙයි.
ලෝකය පුරා බටහිර ජාතීන් සිදුකරමින් තිබෙන මානව හිමිකම් අහිමි කිරීමේ දුෂ්ඨ ක්‍රියාකාරකම් පිළිබඳ නෑසූකන්ව සිටින මානව හිමිකම් කොමිෂම් ලංකාව පසුපස පන්නන්නේ ඉන්දියන් සාගරයේ අතිශය වැදගත් සංධිස්ථානයක පිහිටවා තිබෙන ශ්‍රී ලංකාව තමන්ගේ භූ දේශපාලන අභිලාෂයන්ට යටත් කර තමන්ට හීළෑ රටක් බවට පත් කිරගැනීමට බවද මොහාන් සමරනායක මහතා ජාත්‍යන්තර සාධක සහිතව පෙන්වා දෙයි. තමන්ට හීළෑ කරගැනීමට නම් මෙරට අස්ථාවර බෙදුණු රටක් ලෙස පැවතීම ඔවුන්ට අවශ්‍ය හෙයින් නිවට දීන ආණ්ඩුවක් ඇටවීමට ඔවුන්ගේ සහයෝගය ලැබුණු බවත් ලෝකයේ තමන්ගේ රටට එරෙහිව කටයුතු කරන අරුම පුදුම දීන ආණ්ඩුව මේ යහපාලන ආණ්ඩුව බවද , 1815 උඩරට ගිවිසුම පවා පරදවන දීන පාවාදීමකට කටයුතු කළ මේ ආණ්ඩුව තමන්ගේ බල ලෝභය උදෙසා රට ඉතිහාසයේ පත් කර ඇති අඳුරුතම ව්‍යසනය වෙත යොමු කර ඇතැයිද පෙන්වා දෙයි.

ඒ පිළිබඳ පැහැදිලි කරන මොහාන් සමනායක මහතා " මේ රට ඇතුලේ ස්වෛරී ආණ්ඩුවක් තිබුණොත් , නිවහල් ආණ්ඩුවක් තිබුනොත් බටහිරයන්ට මේ රට ඔවුන්ට අවශ්‍ය පරිදි පාවිච්චි කරන්න බෑ.ඒ නිසා තමයි ඔවුන්ට අවශ්‍ය වන්නේ තමන් කියන දේ එහෙයි කියල ඉටු කරන නිවට පාලකයො ඉන්න ආණ්ඩුවක්. ඔවුන් එහෙම ආණ්ඩුවක් ගෙනාවා.ඒ ආණ්ඩුව තමන්ගේ සුවච කිකරු භාවය ප්‍රදර්ශනය කළා පසුගිය ජිනීවා සමුළුවෙදි. රටට විරුද්ධව ගෙන ආ දුෂ්ඨ යෝජනාවකට සම අනුග්‍රහය දැක්වීමෙන්.දොන් ජුවන් ධර්මපාල වගේ පාලකයො ලෝකයේ ඕන තරම් හිටිය සතුරන්ගෙන් තමන්ට ලැබෙන ලාභ ප්‍රයෝජන නිසා රටවල් පාවා දීපු.නමුත් එක්සත් ජාතීන්ගේ සමුළුවේදී තමන්ගේ රටට එරෙහිව යෝජනාවක් සම්මත කරපු කිසිම රටක් ලෝක ඉතිහාසයේ නෑ.මේක තමයි ඒ ද්‍රෝහී පාවාදීම කරපු එකම දුෂ්ඨ ආණ්ඩුව."

මොහාන් සමරනායක මහතා පැවැත්වූ සම්පූර්ණ දේශනය මෙතනින් >>



සටහන : යටියන ප්‍රදීප් කුමාර
-යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

10/14/2015

අයිලාන් කුර්දි "රෙජීම් චේන්ජ්" ශාපයේ ගොදුරක්

කතෘ:යුතුකම     10/14/2015   No comments
-මොහාන් සමරනායක
සැප්තැම්බර් මුල් සතියේ ලොව පුරා ජනමාධ්‍යන්හි සහ සමාජ ජාලයෙහි පළ වූ චායාරූපයක් අයුක්තිය හමුවේ සසල වන හෘදය සාක්ෂියක් සහිත කෝටි සංඛ්‍යාත මිනිසුන් කම්පනයට පත් කළේය. නිලුෆර් ඩෙමීර් නැමති 29 හැවිරිදි තුර්කි ප්‍රවුත්ති චායාරූප ශිල්පිනියගේ කැමරා කාචයෙහි සටහන් වුණු චායාරූපයෙහි දැක්බුණේ තුර්කියේ බොඩ්‍රම් වෙරළට ගොඩ ගසා තිබූ මුහුදේ ගිලී මිය ගිය හුරුබුහුටි කුඩා පිරිමි දරුවෙකි. මනාව හැඳ පැළඳ සිටි දරුවාගේ සිරුර මුහුදු දියෙන් සේදෙමින් තිබිණ. ඔහුගේ නම අයිලාන් කුර්දි ,වයස තුනයි.දරුවා වෙරළ මත මුණින් අතට වැතිර සිටියේය.

සිරියානු ජාතික කුර්දි සිය පියා, මව , ගල්ප් නැමති පස් හැවිරිදි වැඩිමල්සොහොයුරා ඇතුළු පිරිසක් යුරෝපයට සංක්‍රමණය වනු පිණිස මුහුදු ගමනකට නුසුදුසු බෝට්ටුවක නැගී ග්‍රීසියේ කොස් දිවයින බලා යාත්‍රා කරමින් සිටියදී මේ විපතට ගොදුරු විය. බෝට්ටුව මුහුදේ ගිලී යාමේන් 12 දෙනෙක් මළහ . අයිලාන් පවුලේ සාමාජිකයන්ගේ දිවි බේරා ගැනීමට හැකි වූයේ පියාට පමණි.මේ ඔවුන් තුර්කියටත් අනතුරුව යුරෝපයටත් පැන යාමට උතාහ කළ තුන් වැනි අවස්ථාවයි.පළමු වර දේශසීමා රැකවළුන් විසින් ඔවුන් නතර කරනු ලැබූහ. දෙවන වර මිනිස් ජාවාරම්කරුවෙක් ඔවුන්ගේ මුදල් සොරා ගත්තේය .තෙවැනි ගමන හෝකාන්තයක් විය.

කුර්දි පවුල සිය උපන් බිම හා ගේදොර අතැහැර දිවි පරදුවට තබා යුරෝපයට පලා යාමට උත්සාහ කළේ තම දේශය වෙලාගත් යුධ භීෂණයෙන් මිදී ජීවිත ආරක්ෂාව සළසාගනු පිණිසය.ඔවුහු සිරියාවේ දැනට මහත් ප්‍රසිද්ධියට පත්ව ඇති කොබොනේ නගරයේ වැඉයෝ වූහ. 2011 අරබි වසන්තය සමග සිරියාවේ පැනනැගුණු ආණ්ඩු විරෝධී සන්නද්ධ ව්‍යාපාරයේ එක් අවස්ථාවක කොබනේ නගරය බියකරු සටන්වලින් පසු කුර්දි කම්කරු පක්ෂයේ සහය ලබන කුර්දි සන්නද්ධ කණ්ඩායම් අතට පත් විය. දැනට වසරකට පමණ පෙර ISIS (Islamic state of Iraq and Syria ) නමින් ප්‍රකට කෲර මිනීමරු බළකාය නගරය අල්ලා ගත්හ. ඉවක් බවක් නැතිව මිනිසුන් ඝාතනය කළ ඔවුහු වහල් වෙළඳාම සඳහා ස්ත්‍රීන් පැහැරගෙන ගියහ. නගරයේ  බලය යළි අත්කර ග්ගැනීම සඳහා කුර්දි සන්නද්ධ කණ්ඩායම් එක්සත් ජනපද ගුවන් ප්‍රහාරය ආවරණය ඇතිව සටන් වැදුණු විට නගරය සුන්බුන් ගොඩක් බවට පත් විය. වැසියෝ බියකරු නගරය අත්හැර පලා යන්නට වූහ.

තුර්කි වෙරළට ගොඩ ගසා තිබූ අයිලාන් කුර්දිගේ ප්‍රාණය නිරුද්ධ බිළිඳු සිරුර දැක්වෙන ඡායාරූපය යුද්ධයේ භීෂණයේ නිරූපණය කරන පළමු හා අවසාන පින්තූරයද නොවේ.දිනපතාම යුධ බිමෙන් මෙවැනි ඡායාරූප සිය ගණනින් ලැබෙමින් පවතී. කවර හෝ හේතුවක් නිසා මේ සුවිසේෂී ඡායාරූපය ලොව පුරා මනුෂ්‍ය හෘදය සාක්ෂියෙහි මහත් කැළඹීමක් ඇති කළේය."දරුවාගේ විලාපය ලෝකයට ඇසෙන්නට සැලැස්වීම" සිය අරමුණ විනැයි නිලුෆර් ඩේමීර් සඳහන් කළාය.ඇගේ අදහස ඉටු විය. දරුවාගේ විලාපය ලොවට ඇසිණ. ආවේගයෙන් , සංවේගයෙන් , කෝපයෙන් යුතුව පුවත්පත්වල බොහෝ ලිපි පළ විය. සයිබර් අවකාශයේ බොහෝ සටහන් තැබිණ. මෙවන් රුදුරු විපත් කිසි කලක නොවේවායි ප්‍රාර්ථනා කෙරිණ. එහෙත් අයිලාන් කුර්දි දරු පැටියාගේ මරණය පිටුපස කටුක දේශපාලන යථාර්ථය බොහෝ දෙනා දුටුවේ නැත.දුටුවද නොදුටුවා සේ උන්හ. බටහිර ව්‍යාපාරික මාධ්‍ය හිතාමතාම ඒ යථාර්ථය වසන් කළේය.

සිරියානු ජනයා සිය දහස් ගණනින් තම රට හැර පලා යනුයේ ජනාධිපති බෂාර් අල් අසාද්ගේ ඒකාධිපති , මර්ධනකාරී , රුදුරු පාලනය ඉවසිය නොහැකි නිසායයි මතයක් සමාජගත කිරීමට බටහිර ජනමාධ්‍ය විචාරකයන් සහ බටහිර අරමුදල් මගින් නඩත්තු කෙරෙන සිවිල් සමාජය කලෙක සිට උත්සාහ කරන දැකිය හැකිය. අල් අසාද් පිය පුතු පාලනය ඒක පාක්ෂික, අධිකාරිවාදී හා මර්දනකාරී එකක් බව සැබෑය. එහෙත් බටහිර මැදිහත්වීම් සිදු වන තුරු එරට බොහෝ සෙයින් සාමකාමී ස්ථාවර රාජ්‍යයක්ව පැවතිණි. 2010 බ්‍රාට් (Bradt) සංචාරක අත්පොත මෙසේ සඳහන් කරයි. සමහර විට සිරියාව ලෝකයේ වඩාත්ම ආරක්ෂා සහිත රටවලින් එකක් විය හැකිය.ප්‍රචණ්ඩත්වය හෝ විදේශිකයන්ට එරෙහි සුළු අපරාධ නැත්තටම නැති තරම්ය. බෂර් අල් අසාද්ගේ සිරියාව අන්‍ය ආගම් ඉවසන ආගමික (secular) රාජ්‍යයකි.

2010 දෙසැම්බර් ටියුනීසියාවෙන් මතුවී 2011 වසර ආරම්භයේ සිට මැද පෙරදිග හා උතුරු අප්‍රිකානු රටවල් රැසක පැතිර ගිය අරාබි වසන්තය සමග සියල්ල වෙනස් වන්නට විය. මේ රටවල ජනතාව මර්දනයට , පීඩනයට දූෂණයට අධිරාජ්‍යවාදී සූරෑකෑමට සහ නව ලිබරල් ගෝලීයකරණයට එරෙහිව නැගී සිටි විට බටහිර පාලක පන්තීහු එකී ජනතා නැගිටීම තම අභිමතය පරිදි හැසිරවීමට මැදිහත් වූහ. ලෝක ඛනිජ තෙල් සැපයුමෙන් සියයට 65 කට වගකියන භූමි කලාපය සිය ග්‍රහණයෙන් මිදී ස්වාධීනව නැගී සිටිනු දකින්නට ඔවුන් කැමති වූයේ නැත.
මැදිහත්වීම දෙයාකාර විය. තමනට අවනත , හිතෛෂී රටවල - බහරේන් සවුදි අරාබිය වැනි - ජනතා නැගිටීම මර්ධනය කරනු පිණිස පාලකයනට උදව් කරනු ලැබීය. තමනට අවනත නොවන ලිබියාව, සිරියාව වැනි රටවල , කැරලිකාර කණ්ඩායම් අවි සහ අරමුදල් සපයමින් පෝෂණය කොට ආණ්ඩු වෙනස් කිරීමට ආධාර කරනු ලැබීය. රෙජීම් චේන්ජ් (Regime Change) පිළිවෙත නමින් ප්‍රකටව ඇත්තේ ලෝකය පාලනය කිරීම සඳහා බටහිර අධිරාජ්‍යවාදය මෑතකදී නිර්මාණය කළ උපාය මාර්ගයයි.
1991 දී සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු ලොව තනි සුපිරි බලවතා ලෙස ඉතිරි වූ ඇමරිකා එක්සත් ජනපදය තමන් සතු අතිරික්ත මිලිටරි ශක්ති ලෝකය පාලනය කිරීම සඳහා උපයෝගී කොට ගත යුත්තේ කෙසේදැයි කළ අධ්‍යනයකින් පසු රෙජීම් චේන්ජ් පිළිවෙත හඳුන්වා දෙනු ලැබීය. සිය දේශපාලන ආර්ථික වුවමනාවන්ට වාසිසහගත පරිදි ගෝලීය ආර්ථික ප්‍රතිනිෂ්පාදනය පවත්වාගනු පිණිස විශේෂයෙන් තුන්වැනි ලෝකයේ ආණ්ඩු වෙනස් කිරීම ඉන් අදහස් විය. ඒකාධිකාරී පාලන ව්‍යුහයක් සහිත රටවලදී "වර්ණ විප්ලව" ද උපයෝගී ක්ලර ගැනේ. "රෙජීම් චේන්ජ්" ව්‍යාපෘතිය හැමවිටම ක්‍රියාත්මක වනුයේ ප්‍රජාතන්ත්‍රවාදය ,මානව අයිතිවාසිකම් ,මානුෂවාදී මැදිහත්වීම් ,ආරක්ෂා කිරීමට ඇති අයිතිය (R2p) වැනි තේමා පාඨ අවසන් අභිමතාර්ථ ලෙස දක්වමිනි.

අරාබි වසන්තය සමග ලිබියාව හා සිරියාව රෙජීම් චේන්ජ් පිළිවෙතට ගොදුරු විය. ලිබියාවේ පාලකයා  මහ මග ඝාතනය කෙරිණ. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට රට අරාජික භාවයේ ගිලී ගියේය. දැන් ලිබියාව නොනිල වශයෙන් දෙකඩ වී තිබේ.නීතියේ පාලනය වෙනුවට තුවක්කුවේ පාලනය රජ වී ඇත.ආර්ථිකය බිඳ වැටී ගොසිනි. ලිබියානුවෝ සිය දහස් ගණනින් රට හැර යමින් සිටිති. සිරියාවේ අල් අසාද් ආණ්ඩුව තවම රැකී තිබුණද බියකරු ප්‍රචණ්ඩත්වය මුළු රටම වෙලා ගෙන ඇත.  හැම විටම සිදු වන පරිදි අස්ථාවරත්වය හා අරාජික භාවය විසින් නිර්මාණය කෙරෙන දේශපාලන රික්තය පුරවනු ලබනුයේ කිහිප ගුණයකින් සාහසික ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වය විසිනි. ISIS හමුදාව දැන් සිරියාව තුළ ඒ කාර්‍ය ඉටු කරමින් සිටී.මේ ව්‍යසනය 1991 දී ඇමරිකාවේ මෙහෙයවීමෙන් ඉරාකයට පහර දීමෙන් පටන් ගත් ක්‍රියාදාමයේ දිගුවකි. ISIS  ත්‍රස්තවාදය බිහි වූයේ ඇමරිකාවේ සහ නේටෝ රටවල ක්‍රියා කලාපය නිසා යැයි එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆී අනන් මෑතකදී චෝදනා කලේය.

ළදරු අයිලාන් කුර්දි රෙජීම් චේන්ජ් ශාපයට ගොදුරු විය. තවත් දහස් සංඛ්‍යාත අයිලාන් කුර්දිලා බිලිඳු වේශයෙන් හෝ වැඩිහිටි වේශයෙන් ඉදිරියටත් අපට හමු වනු ඇත. ශාපය උදා කළ පිරිස් අන්තර්ජාතික ප්‍රජාව යන සුජාඅත නාමයෙන් ලෝකය හමුවේ පෙනී සිටිති. අධිරාජ්‍යවාදය ආර්ථික ලාභය මිස දයාව ,අනුකම්පාව හෝ මනුශ්‍යත්වය නොහඳුනයි. අන්තර්ජාතික ප්‍රජාවේ නාමයෙන් පෙනී සිටින අධිරාජ්‍යවාදය නිවරදිව හඳුනා ගැනීම ඊට එරෙහිව අරගල කිරීමට පෙළ ගැසීම ජනතාවගේ වගකීමකි. අයිලාන් කුර්දි නාමයෙන් අප කළ යුත්තේ එයයි. මේ වගකීම ඉටුකිරීමට ලෝක ජනතාව අසමත් වන තාක් කල් අධිරාජ්‍යවාදී යුද්ධ හා ආර්ථික ප්‍රතිපත්ති විසින් දස සංඛ්‍යාත ජනයා මරණයට හා සරණාගතභාවයට ඇද දමනු ඇත

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා යුතුකමට ලියන ලිපි මාලාවේ පළමුවැන්න...
මොහාන් සමරනායක : msamaranayakalb@gmail.com

-යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

10/11/2015

ජිනීවා - නිවට පාවාදීම වැසීමට ගෙතූ ආණ්ඩුවේ අමු කෙප්ප නිරුවත් කරන - මොහාන් සමරනායක [Video]

කතෘ:යුතුකම     10/11/2015   No comments
"බිල්ලෝ ඇවිත්  - රට වැසියන් බේරාගන්නේ කෙසේද" යන මැයෙන් යුතුකම සංවාද කවය සංවිධානය කරන ලද සංවාදශීලි සම්මන්ත‍්‍රණය ඔක්තෝබර් 08 කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි. එහිදී ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ සිදුවූ නිවට පාවාදීම හරහා අපට මුහුණ දෙන්නට සිදුවන ඛේදවාචකය පිළිබඳ සම්මන්ත්‍රණයේ මුඛ්‍ය දේශනයක් කළ මොහාන් සමරනායක මහතා පළකළ අදහස් :

‘ජිනීවා ක‍්‍රියාදාමයේ ප‍්‍රකාශිත අරමුණු සහ ඒ පිටුපස තිබෙන සැබෑ අරමුණු කවරේද?’ යන මාතෘකාවට අදාළවයි මා ඔබ හමුවේ සාක්‍ෂි සහගතව කරුණු දක්වන්නේ. මෙය පහසු කරුණක් නොවෙයි. ජිනීවා ක‍්‍රියාදාමයේ සැබෑ ස්වරූපය වසන් කරමින් අමූලික බොරු ආණ්ඩුවේ නායකයන් විසින් දිනපතාම ප‍්‍රකාශ කිරීම නිසයි එසේ එය අපහසු කටයුත්තක් වන්නේ. ඒ අමූලික බොරු සමාජයේ විශාල පිරිසක් විශ්වාස කරන බවත් පෙනෙනවා.
ඒ නිසා මා කෙටියෙන් ඒ අමූලික බොරු කිහිපයක් ප‍්‍රථමයෙන්ම ඔබ හමුවේ තබන්නම්.

 


පළමු බොරුව
: ජිනීවා බලහත්කාරයට මුල මහින්ද - බැංකි මූන් ගිවිසුමක්ද?


‘ජිනීවා ක‍්‍රියාදාමය ආරම්භ වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 2009 මැයි 23 වැනිදා ශ‍්‍රී ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් මහතා සමග අත්සන් කරනු ලැබූ ගිවිසුමකින් යුද අපරාධ පිළිබඳ සෙවීමට ප‍්‍රතිඥා දුන් නිසාය’ කියා ජනාධිපති, අගමැති, අධිකරණ අමාත්‍ය ඇතුළු සෙසු ආණ්ඩුවේ ප‍්‍රබලයන් විසින් පවසනවා. පසුගිය අගහරුවාදා ස්වාධීන රූපවාහිනියේ දහවල් ප‍්‍රවෘත්ති ප‍්‍රකාශය මට අහන්න ලැබුණා. එහිදී ‘ ඕනෑම ගොනකුට යුද්ධ කරන්න පුළුවන්’ කියපු අමාත්‍යවරයාගේ කටින්ම කියනවා, ‘මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා බැන් කී මූන් සමග අවබෝධතා ගිවිසුමක්(MOU) අත්සන් කළා’ කියලා. මම පුළුවන් තරම් උත්සාහ කළා එහෙම එකක් සොයා ගන්න. එහෙම එකක් තවම නම් අහු වුණේ නැහැ. එහෙම එකක් මේ කතාව කියන අය ප‍්‍රසිද්ධ කරලාත් නැහැ.

මේ කියන කාරණය සම්බන්ධයෙන් ඇත්ත තත්ත්වය කුමක්ද? එල්.ටී.ටී.ඊ නායකත්වය පරාජය කිරීමෙන් දෙතුන් දිනකට පසුව බැන් කී මූන් ශ‍්‍රී ලංකාවට ආවා. ඒ චාරිකාව අවසානයේදී ඒකාබද්ධ ප‍්‍රකාශනයක්(Joint Statement) නිකුත් කළා. අන්තර්ජාතික හමුවීම්වලින් පසුව සාකච්ඡා කළේ කුමක්ද? කියා දෙපාර්ශ්වයේ එකගතාවයෙන් ඒකාබද්ධ ප‍්‍රකාශනයක් මගින් ජනතාවට දැනුම් දෙනවා. රජයේ අමාත්‍යවරයකුට ඒකාබද්ධ ප‍්‍රකාශයක සහ අවබෝධතා ගිවිසුමක වෙනස හඳුනා ගැනීමට නොහැකි නම් එයින්ම පෙනෙනවා අපි මුහුණ පා සිටින බියකරු ව්‍යසනයේ තරම.

ඒකාබද්ධ ප‍්‍රකාශයේ අවසන් ඡ්‍ෙදයේ තමයි මේ පිළිබඳ කාරණය සඳහන් වෙන්නේ. ජාත්‍යන්තර සම්මුතීන් ප‍්‍රකාරව මානව හිමිකම් සුරැකීමට තමන් තුළ වන අභිලාෂය, ශ‍්‍රී ලංකාව යළි අවධාරණය කළා. අන්තර්ජාතික මානුෂවාදී නීතිය සහ අන්තර්ජාතික මානව හිමිකම් නීතිය උල්ලංඝනය වීම් පිළිබඳව වගකිවයුත්තන් පිළිබඳව සොයා බැලීමේ ක‍්‍රියාදාමය ගැන මහ ලේකම්වරයා අවධාරණය කළා. ශ‍්‍රී ලංකා රජය මේ දුක්ගැනවිලි ආමන්ත‍්‍රණය කිරීමට පියවර ගන්නවා’ කියලයි එහි සඳහන් වෙන්නේ. මෙතැනදී ශ‍්‍රී ලංකා රජය කියන්නේ නැහැ ‘අපි යාන්ත‍්‍රණයක් හදනවා. විමර්ශනය කරනවා’ කියලා. ඉන් අනතුරුව පසුගිය ආණ්ඩුව ‘එල්.එල්.ආර්.සී කොමිසම’ පත් කරනු ලැබුවා. ‘මැක්ස්වෙල් පරණගම’ කොමිසම පත් කරනු ලැබුවා. ඒවා තමයි ගත්තු පියවර. එහෙම නැතිව ලිඛිත පොරොන්දුවක් දුන්නේ නැහැ. ඒ එක බොරුවක්.

දෙවනි බොරුව : බටහිරයන්ගේ අරෝව සුද්දාට මඤ්ඤොක්කා කැවූ නිසාද?

තවත් විශාල බොරුවක් තමයි, ‘හිටපු ජනාධිපතිවරයාගේ ක‍්‍රියාකලාපය නිසා අන්තර්ජාතික ප‍්‍රජාව අප සමග අමනාප වුණා’ කියන එක. පසුගියදා වත්මන් ජනාධිපතිවරයා කියනවා, ‘ප‍්‍රබල රටවල නියෝජිතයන් මෙරටට ආවා සාම සාකච්ඡා සඳහා. ඒ අයට ඇඹිලිපිටියට එන්න කියලා මඤ්ඤොක්කා කන්න දුන්නා. ඒ නිසා ඒ අය අමනාප වුණා. ඒකයි මේ ව්‍යසනය අපේ ඔළුව මත කඩා වැටුණේ’ කියා. යුද්ධය අවසන් වෙමින් තිබියදී එවකට බි‍්‍රතාන්‍ය විදේශ අමාත්‍ය ඬේවිඞ් මිලිබෑන්ඞ් සහ ප‍්‍රංශ විදේශ අමාත්‍ය බර්නාඞ් කුෂ්නර් යන දෙදෙනා මේ රටට ආපු බව ඇත්ත. නමුත් ආවේ සාම සාකච්ඡා සඳහා නොවෙයි. ඔවුන් ඇවිත් කුමක්ද කීවේ? ‘එල්.ටී.ටී.ඊයට එරෙහිව සටන නතර කරන්න. තුන්වැනි පාර්ශ්වයකට ආයුධ භාරදී යටත් වීමට ඉඩ දෙන්න’ කියලා. එදා අපි එයට ඇහුම්කන් දුන්නා නම් එල්.ටී.ටී.ඊය අදත් අප සමග සටන් කරනවා, අදත් ප‍්‍රභාකරන් ඉන්නවා. වඩමාරච්චි මෙහෙයුම කාලයේ රාජීව් ගාන්ධි ප‍්‍රභාකරන් ඉන්දියාවට රැගෙන ගියා හෙලිකොප්ටරයකින්. එහි ප‍්‍රතිඵලය වුණේ ප‍්‍රභාකරන් ශ‍්‍රී ලංකා රජයට එරෙහිව 2009 මැයි 19 වැනිදා වන තෙක් සටන් කිරීම. ඒ අනුව ඉතා පැහැදිලියි එම ප‍්‍රකාශය මුළුමනින්ම අසත්‍ය එකක් කියා.

තෙවැනි බොරුව : මෛත්‍රීපාල ජාත්‍යන්තරය එක් සේසත් කළේද?

මේ අය පවසන තවත් බොරුවක් තමයි ‘මහින්ද රාජපක්‍ෂ පාලන සමයේදී අන්තර්ජාතික ප‍්‍රජාව බෙදිලා හිටියා. දැන් අපි ඒ අයව එක තැනයකට ගෙනාවා’ කියන එක. කලින් ශ‍්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ගෙන ආ විට ඒ පිළිබඳව සිදු කළ ඡන්ද විමසීමේදී යම් රටවල් සංඛ්‍යාවක් ඒ යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන්නා. තවත් රටවල් සංඛ්‍යාවක් කරුණු පෙන්වා දෙමින් ඊට එරෙහිව ඡන්දය දුන්නා. මෙවර මේ ආණ්ඩුව සිදු කළේ අපට පක්‍ෂව ඡන්දය දුන් රටවල් නිහඩ කරවා අපෙන් ඈත් කිරීම. ‘අපි අපේ කැමැත්තෙන්ම බෙල්ලට තොණ්ඩුව දමා ගන්නවා නම් නුඹලාට ඇති රුදාව කුමක්ද? කියලා මේ ආණ්ඩුව ඒ රටවල්වලට කීවා. ඔවුන් ඒ අනුව නිහඩව සිටියා.

පසුගියදා අවසන් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරය අවසානයේදී පාකිස්ථානය සහ රුසියාව අපි වෙනුවෙන් කතා කළා. නමුත් එහිදී අපේ ආණ්ඩුව කිසිඳු විදිහකින් අපේ රාජ්‍යය වෙනුවෙන් කතා කළේ නැහැ. එදා රුසියාව සහ පාකිස්ථානය කීවා ‘ශ‍්‍රී ලංකාවට අන්තර්ජාතික ප‍්‍රජාව උදව් කරනවා නම් ඒ කවරාකාරයෙන්ද කියා තීරණය කිරීමේ අයිතිය ඔවුන්ට තිබිය යුතුයි’ කියා. නමුත් ශ‍්‍රී ලංකාව නියෝජනය කළ මේ ආණ්ඩුවේ නියෝජිතයන් ඒක කීවේ නැහැ. එසේ නොකීමේ ප‍්‍රතිඵලය ලෙස කුමක්ද වුණේ? ජපානය එතැනදීම පැවසුවා, ‘අපි ශ‍්‍රී ලංකාවට එවනවා යුද අපරාධ පිළිබඳ විමර්ශනය කිරීමේ විශේෂඥයෙක්’ කියලා. ඔහු තමයි කාම්බෝජ විශේෂ අධිකරණයේ නියෝජිතයකු ලෙස කටයුතු කළේ.

වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන් පුනපුනා පවසන තවත් බොරුවක් තමයි, ‘ඇමෙරිකානු යෝජනාවට සමඅනුග‍්‍රාහකත්වය දැක්වීම නිසා අපි ලෝකය දිනා ගත්තා. මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා, ගෝඨාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඇතුළු පිරිස් විදුලි පුටුවට ගෙන යන එක ඒ නිසා වැළකුණා’ කියන එක. මේ ‘විදුලි පුටු කතාව’ ඇත්තටම හරි විහිළුවක්. ‘විදුලි පුටු කතාව’ යොදා ගත්තේ මේ ක‍්‍රියාදාමයේ අවසන් ප‍්‍රතිඵලය භයානක බව පෙන්වීමට නම් එය තේරුම්ගත හැකියි. එසේ නොමැතිව එම කතාවට කිසිම පදනමක් නැහැ. අධිකරණයේදී දිය හැකි දඩුවම සිර දඩුවමක් පමණයි, මරණ දඩුවමක් නොවෙයි. එම දඩුවම් නියම කිරීම සඳහා තිබෙන ආයතනය අන්තර්ජාතික අපරාධ අධිකරණයයි(ICC) එහි මූලස්ථානය තිබෙන්නේ නෙදර්ලන්තයේ හේග් නගරයේයි. එම අධිරකණයට ව්‍යවස්ථාවක් තිබෙනවා. එය හඳුන්වන්නේ, ‘අන්තර්ජාතික අපරාධ අධිකරණයේ රෝම ව්‍යවස්ථාව’ නමින් එම ව්‍යවස්ථාවේම සඳහන් වෙනවා ‘වැරදිකරුවන්ට මරණ දඩුවම නියම කරන්නේ නැහැ’ කියා. ඒ අනුව ඉතා පැහැදිලියි මේක ජනතාව මුලා කරන්න කියන තවත් එක බොරුවක් පමණයි කියලා.

පසුගිය දිනයක ශ‍්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා පවසා තිබුණා ජිනීවා යෝජනාවට සමඅනුග‍්‍රාහකත්වය දැක්වීම නිසා හේග් අධිකරණයට ශ‍්‍රී ලංකා දේශපාලන සහ මිලිටරි නායකයන් රැගෙන යාම වැළකුණා’ කියලා. මෙහි ඇත්ත තත්ත්වය මා පැහැදිලි කර දෙන්නම්. අන්තර්ජාතික අපරාධ අධිකරණය ක‍්‍රියාත්මක වන්නේ 2002 ජූනි මාසයේ සිට. ඒ අධිකරණයේ විෂය පථය වන්නේ යුද අපරාධ, මනුෂ්‍ය වර්ගයාට එරෙහි අපරාධ වැනි බරපතළ අපරාධ ක‍්‍රියා පිළිබඳව නඩු විභාග කොට දඩුවම් කිරීම. ඒ දඩුවම් කිරීම සඳහා අන්තර්ජාතික අපරාධ අධිකරණයේ රෝම ව්‍යවස්ථාව අනුව ක‍්‍රම තුනක් තියෙනවා. පළමු ක‍්‍රමය චූදිතයා රෝම ව්‍යවස්ථාවට අත්සන් කළ රටක පුරවැසියකු වීම. ඒ අනුව අපේ රටේ පුරවැසියකුට දඩුවම් කරන්න බැහැ. අප රෝම ව්‍යවස්ථාවට අත්සන් තැබූ රටක් නොවෙයි. දෙවැනි ක‍්‍රමය අදාළ අපරාධය සිදු වූයේ රෝම ව්‍යවස්ථාවට අත්සන් කළ රටක භූමි ප‍්‍රදේශය ඇතුළත නම් නඩු පැවරීම ඒකත් අපේ රටට අදාළ නැහැ. තුන්වැනි ක‍්‍රමය, රෝම ව්‍යවස්ථාවට අත්සන් කළ රටක් උක්ත අපරාධය පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීම. අන්න අපට අදාළ වන තැන. මේ දෙමුහුන් පරීක්‍ෂණයෙන් පසුව අපේ රටේ එල්.ටී.ටී.ඊය පරාජය කිරීමට කටයුතු කළ දේශපාලන සහ මිලිටරිමය නායකත්වය හේග් අධිකරණයට රැගෙන යා යුතු යැයි එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයට යෝජනාවක් රැගෙන ආවොත් එය එහි නිත්‍ය සාමාජිකයන් 05 දෙනා ඇතුළු සාමාජිකයන් 09 දෙනකුගේ ඡන්දයෙන් සම්මත වෙන්න ඕනෙ. නිත්‍ය සාමාජිකයන් 05 දෙනා අතර ඉන්නවා චීනය සහ රුසියාව. මේ දක්වා එවැනි යෝජනාවක් ආවා නම් රුසියාව සහ චීනය අපට පක්‍ෂව තමයි කටයුතු කළේ. දැන් ශ‍්‍රී ලංකාව සියතින්ම මේ යෝජනාව පිළිගැනීම නිසා මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයට රැගෙන එන යෝජනාවට විරුද්ධ වීමට රුසියාවට සහ චීනයට තිබෙන අයිතිය අවසන් වී තිබෙනවා. ශ‍්‍රී ලංකා ආණ්ඩුව තමන්ගේ අතින්ම බෙල්ලට තොණ්ඩුව දා ගන්න කොට ඒක වැළැක්වීමට රුසියාවට සහ චීනයට තිබෙන රුදාව කුමක්ද? මේ විදිහට තමයි දැන් අපව හේග් අධිකරණයට රැගෙන යාමට පාර කැපී ඇත්තේ. ඒ විතරක් නොවෙයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් හුසේන් කුමාරයාගේ වාර්තාවෙන් නිර්දේශ කොට තිබෙනවා ‘ ශ‍්‍රී ලංකාව රෝම ව්‍යවස්ථාවට අත්සන් තැබිය යුතුයි’ කියලා. එසේ අත්සන් තැබුවහොත් හේග් අධිකරණයට රැගෙන යාමට තිබූ සුළු බාධාව පවා නැතිව යනවා. සාමාන්‍ය ජනතාවට මේ සත්‍ය කරුණු වටහා ගැනීමට අපහසුයි, මේ පිළිබඳ ඉවසිය නොහැකි ‘බොරු කන්දරාවක්’ මේ ආණ්ඩුවේ දේශපාලනඥයන් විසින් ප‍්‍රකාශ කිරීම නිසා.

ජිනීවා ක‍්‍රියාදාමයේ ප‍්‍රකාශිත අරමුණු

මා දැන් මගේ දේශනයේ ප‍්‍රධාන කොටසට පිවිසෙන්නම්. ජිනීවා ක‍්‍රියාදාමයේ ප‍්‍රකාශිත අරමුණු සහ එය පිටුපස වන සැබෑ අරමුණු කුමක්ද? කියන එකට. මේ ව්‍යාපෘතියේ ප‍්‍රකාශිත අරමුණ තමයි, ඔවුන් කියන විදිහට ‘ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා එල්.ටී.ටී.ඊය සමග සටන් කළ සමයේදී අන්තර්ජාතික මානුෂවාදී නීතිය සහ අන්තර්ජාතික මානව හිමිකම් නීතිය බරපතළ විදිහට උල්ලංඝනය කළා. ඒ පිළිබඳව සොයා බලා ඊට වගකිය යුතු අයට දඩුවම් කළ යුතුයි. මන්ද ශ‍්‍රී ලංකාව මේ අන්තර්ජාතික මානුෂවාදී නීතියට සහ අන්තර්ජාතික මානව හිමිකම් නීතිවලට අත්සන් තබා පාර්ශ්වකරුවකු වී ඇති නිසා’ අන්තර්ජාතික මානුෂවාදී නීතිය කියලා හඳුන්වන්නේ 1949දී සම්මත වුණු ජිනීවා සම්මුති 04ටයි. ඒ සම්මුති හතරෙන් කථා කරන්නේ යුද්ධයේදී යුද වදින පාර්ශ්ව අනුගමනය කළ යුතු නීතිරීති සහ කොන්දේසි. මානව හිමිකම් නීතියෙන් අදහස් වන්නේ දේශපාලන, සමාජ, ආර්ථික අයිතිවාසිකම් ඇතුළත් අන්තර්ජාතික සම්මුති ගණනාවක්.

ජිනීවා යෝජනාවේ ඇත්ත අනතුර සහ අප හිර කළ ඛේදවාචකය...ජාත්‍යන්තර පූර්වාදර්ශද සමගින්

ප‍්‍රකාශික අරමුණ අනුව දිස්වන්නේ මේ යෝජනාව ගෙන එන රාජ්‍යයන් මානව හිමිකම්වලට ගරු කරන, මනුෂ්‍යයාට අසීමිත පේ‍්‍රමයකින් ක‍්‍රියා කරන, වැරැද්දක් දුටුවොත් වහාම කිපෙන, ඒ වැරැද්දට දඩුවම් නොදුන්නොත් නින්ද නොයන රාජ්‍යයන් විදිහටයි. මේ කතාව ඇත්තක්ද? මේ යෝජනාව ගෙන එන්නන් කවුද? පළමුවැන්නා ඇමෙරිකා එක්සත් ජනපදය. බි‍්‍රතාන්‍යය ඇතුළු යුරෝපා සංගමයේ නායක රටවල්ද ඒ සමග ඉන්නවා. මේ අයගේ ඉතිහාසය දෙස හැරී බැලූවොත් එය සම්පූර්ණයෙන්ම ලේ වැකුණු ඉතිහාසයක් බව පෙනේවි. බි‍්‍රතාන්‍යය තමයි මිනිස් ඉතිහාසයේ වැඩිම මිනිසුන් සංඛ්‍යාවක් ඝාතනය කළ රට. ඇමෙරිකා එක්සත් ජනපදය තමයි මිනිස් ඉතිහාසයේ වැඩිම රටවල් ගණනාවකට බෝම්බ දැමූ, පහර දුන් රාජ්‍යය. ඒ ආක‍්‍රමණ නිසා මියගිය සංඛ්‍යාව දශලක්‍ෂ ගණනක්. ඇමෙරිකාව අධිරාජ්‍යවාදී බලවේගයක් විදිහට ඉදිරියට එන්නේ 1898 ස්පාඤ්ඤ – ඇමෙරිකා යුද්ධයෙන්. ඒ යුද්ධයේදී ඔවුන් පිලිපීනය යටත්කර ගත්තා. ඊට විරුද්ධව පිලිපීනයේ ‘මොරෝජ්’ කියන ජනවර්ගය සටන් වැදුණා. එක අවස්ථාවක පිලිපීන මොරෝජ් ජාතිකයන් 800ක් එක වලක දමලා ඇමෙරිකා හමුදා විසින් ඝාතනය කළා. මේ පිළිබඳ ලිඛිත සාක්‍ෂි තිබෙනවා.

දෙවැනි ලෝක යුද්ධය අවසන් වෙමින් තිබියදී කිසිඳු හේතුවක් නොමැතිව එවකට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ටෲමන් නියෝග කළා, ජපානයේ නාගසාකි සහ හිරෝෂිමා යන නගරවලට න්‍යෂ්ටික බෝම්බවලින් පහර දෙන්න. එක්සත් ජාතීන්ගේ වාර්තා අනුව බෝම්බ නිසා පළමු පැය ඇතුළත දෙලක්‍ෂ පනස්දහසත් තුන්ලක්‍ෂයත් අතර පිරිසක් මියගියා. 1991දී ඉරාකය එරෙහිව සිදු කළ පළමු ගල්ෆ් යුද්ධයේදී ඇමෙරිකා එක්සත් ජනපද හමුදා විසින් පසුබසින ඉරාක සෙබළුන් දෙලක්‍ෂයක් මරා දැම්මා. මෙය මුළුමනින්ම ජිනීවා සම්මුතීන් උල්ලංඝනය කිරීමක්. මේ ඉරාකයට එරෙහි මෙහෙයුමට අණදුන්නු ඇමෙරිකානු හමුදා ප‍්‍රධානියා ජනරාල් නෝමන් ස්වාස්කෝ. ඔහු එක්තරා රූපවාහිනි සංවාදයකදී පැවසුවා, ‘අපි ඉරාකය ගල් යුගයට තල්ලූ කළා’ කියලා. අන්න කරපු විනාශය. එහිදී ඔහු පසුබසින ලද ඉරාක සෙබලූන් ගැන මෙසේ කියනවා. ‘ඔවුන් පහසුවෙන් තුවක්කුවට බිලිකර ගන්න පුළුවන් වුණා.’ මේ අය මේවා මානව හිමිකම් පේ‍්‍රමයෙන් සිදු කරනවා යැයි පිළිගත හැකිද? 2003දී ඉරාකය යටත්කර ගැනීමෙන් අනතුරුව 2006 වන විට පමණක් ඉරාක ජනතාව හයලක්‍ෂයක් ඝාතනය වී තිබුණා. ඔබට මේ සංඛ්‍යාලේඛන පිළිබඳව ගැටළුවක් තියෙනවා නම් මූලාශ‍්‍ර පවා සඳහන් කරන්න පුළුවන්. ඵෂඔ කියන ඇමෙරිකානු කීර්තිමත් විශ්ව විiාලයේ වෙබ්අඩවියේ මේ සංඛ්‍යාලේඛන තිබෙනවා. මෙය මානව හිමිකම් පේ‍්‍රමයෙන් සිදු කරන දෙයක් නොවෙයි.

‘ඉරානය ගල් යුගයට තල්ලූ කළා’ යැයි වහසිබස් දෙඩූ ඇමෙරිකාව එතැනින් නතර වුණේ නැහැ. ආරක්‍ෂක මණ්ඩලයට යෝජනාවක් ගෙනවිත් ඉරාකයට පරිපූර්ණ සම්බාධක පැනවූවා. ඒ පරිපූර්ණ සම්බාධක පැනවීම නිසා ඉරාකය කාලකන්නි තැනකට වැටුණා. තෙල් විකුණාගන්න බැරි වුණා. මන්දපෝෂණය පැතිරුණා. මව්වරුන් නීරක්තියෙන් පෙළුණා. මිනිසුන් බඩගින්නේ දුෂ්පෝෂණයෙන් මැරෙන්න පටන් ගත්තා. යුනිසෙප් වාර්තා අනුව වසරකට 90,000ක් පමණ. මේ මහා ඝාතන ගැන ලෝකයේ විශාල කතාබහක් ඇති වුණා. එහි කොටසක් විදිහට ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරිය වූ මැඞ්ලින් ඕල්බ‍්‍රයිට් සමග 1996දී ඇමෙරිකානු ක්‍ඊී රූපවාහිනී සේවය සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූවා. එම රූපවාහිනී සංවාදය පැවැත්වූයේ ලෙස්ලි ස්ටාල් කියලා මහතෙක්. එහිදී ලෙස්ලි ස්ටාල් අහනවා ‘පරිපූර්ණ සම්බාධක පැනවීම නිසා මේ දක්වා පන්ලක්‍ෂයක් මියගොස් තිබෙනවා. එයින් හරි අඩක් ළමයින්. මේක ගෙවිය යුතු මිලක්ද?’ කියලා. එහිදී මදක් නිහඩව ඉඳලා ඕල්බ‍්‍රයිට් මැතිනිය කියනවා ‘ඒක දුෂ්කර තීරණයක්. ඒත් ඒක කරන්න වටින වැඩක්’ කියලා. ඉරාකයේ ළමයින් ඇතුළු පන්ලක්‍ෂයක් මියයාම, ගෙවිය යුතු මිලක් කියලා සලකන ජාතියක්, එකට සහයෝගය දෙන බි‍්‍රතාන්‍යය, කැනඩාව හා යුරෝපා සංගමයේ රටවල් මානව හිමිකම් පිළිබඳ පේ‍්‍රමයෙන් ද මේක කරන්නේ. මහත්වරුනි මේ වංචනිකභාවය පැහැදිලි කිරීමට නිදසුන් සිය ගණනින් දක්වන්න පුළුවන්.

මම තවත් එක් නිදසුනක් පමණක් ඉදිරිපත් කරන්නම්. අප‍්‍රිකාවේ මැද කොටසේ තියෙනවා කුඩා රාජ්‍යයක් රුවන්ඩාව කියලා. ඒ රටේත් අපේ රටේ වගේ ගැටුමක් තිබුණා. 1994 අපේ‍්‍රල් මාසයේදී ඒ රටේ ජනාධිපතිවරයාව ඝාතනය කළා. ඉන්පසුව විශාල මනුෂ්‍ය ඝාතනයක් සිදු වුණා. එය කොතරම් බියකරු ද කියනවා නම් මාස 05කදී ලක්‍ෂ 08ක් ඝාතනය කළා. ඔය මහත්වරු බලලා ඇති ‘හොටේල් රුවන්ඩා’ කියන චිත‍්‍රපටය. ඒකෙන් කියැවෙන්නේ මේ බියකරු කතාව. ඒ විශාල මනුෂ්‍ය ඝාතනය පිටුපස හිටියේ රුවන්ඩා දේශප්‍රේමී පෙරමුණ නම් වූ එල්.ටී.ටී.ඊය බඳු සංවිධානයක්. එහි නායකයා වූයේ පෝල් කගමේ. ඔහු මේ මහා ඝාතනයෙන් පසුව රුවන්ඩාවේ ජනාධිපති ධුරයට පත් වුණා. ඔහු ඇමෙරිකාවේ මිත‍්‍රයෙක්. බටහිර නව ලිබරල් ගෝලීයකරණ මාදිලිය පිළිගන්නා තැනැත්තෙක්. ඒ නිසා ඔහුට විරුද්ධව ඇමෙරිකාව හෝ එක්සත් ජාතීන් හෝ කිසිවක් කළේ නැහැ. ඒ විතරක් නොවෙයි 2005දී ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් නගරයේ පැවැත්වුණු ‘එක්සත් ජාතීන්ගේ සහස‍්‍රක සංවර්ධන අභිමතාර්ථ’ නම් වැඩසටහනේ ප‍්‍රගතිය සමාලෝචනය කිරීමේ රැුස්වීමේ සභාපති විදිහට තෝරා ගත්තේ පෝල් කගමේ. ඉතාම සංක්‍ෂිප්තව සඳහන් කරනවා නම්, මේ ජිනීවා ක‍්‍රියාදාමය පිටුපස තිබෙන්නේ මානව හිමිකම් පිළිබඳ පේ‍්‍රමයක් නොවෙයි.

මේ කි‍්‍රයාදාමය පිටුපස මානව හිමිකම්වලට වඩා තිබෙනවා, ශ‍්‍රී ලංකාව ඇතුළේ තිබෙන දේශාපාලන, ආර්ථික, සමාජ, මිලිටරි, අධිකරණ, පාර්ලිමේන්තු, මැතිවරණ ක‍්‍රියාදාමය මුළුමනින්ම වෙනස් කිරීමේ උවමනාවක්. එවැනි යෝජනා කරන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයිතියක් නැහැ. හුසේන් කුමාරයාට අයිතියක් නැහැ. එක්සත් ජාතීන් පදනම් වෙන්නේ එහි ප‍්‍රඥප්තිය මත. ප‍්‍රඥප්තියේ දෙවැනි වගන්තියෙහි පැහැදිලිව සඳහන් වෙනවා, එක්සත් ජාතීන් ක‍්‍රියාත්මක විය යුතු මූලධර්ම 07ක් පිළිබඳව. එහි පළමුවැන්න තමයි ‘ජාතීන්ගේ ස්වෛරී සමානාත්මතාවය’ ශ‍්‍රී ලංකාව වෙන් කරලා අරන් දඩුවම් කරන්න බැහැ. හත්වැනි මූලධර්මයෙහි තිබෙනවා, ‘රටක අත්‍යවශ්‍යයෙන්ම අභ්‍යන්තර යැයි සැලකිය හැකි කරුණු සම්බන්ධයෙන් මැදිහත් විය නොහැක’ කියලා. අපේ රටේ ඉඩම් අයිතිය සහ පරිහරණය ගැන එක්සත් ජාතීන්ට හෝ මානව හිමිකම් කවුන්සිලයට නිර්දේශ ඉදිරිපත් කරන්න බැහැ. එහෙම නම් මේ පිටුපස තිබෙන්නේ වෙනත් ව්‍යාපෘතියක්. මගේ කියවීම අනුව ඒ ව්‍යාපෘතිය තමයි, නව ලිබරල් ගෝලීයකරණ ආර්ථික මොඩලය මේ රටේ පැලපදියම් කිරීමේ උවමනාව.

බටහිර රටවල් මෑත යුගයේදී අධිරාජ්‍ය ගොඩනැගුවා. ඒ අධිරාජ්‍ය ගොඩනැගීමෙන් කොල්ලකන ලද ධනයෙන් තමයි ඔවුන් අද ඉතා ඉහළ ජීවන තත්ත්වයක් හිමිකර ගෙන සිටින්නේ. නමුත් පසුගිය සියවසේ ඇති වූ වෙනස්කම් නිසා ඒ පැරණි අධිරාජ්‍ය ක‍්‍රමය බිඳ වැටුණා. සමාජවාදය කියලා එකක් ආවා. මනුෂ්‍ය සංහතියේ අවාසනාවට 90 දශකයේදී සමාජවාදය බිඳ වැටෙනවා. සෝවියට් දේශය බිඳ වැටෙනවා. ඉන්පසුව ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් අර කලින් පැවැති තත්ත්වයෙන්ම ලෝකය පාලනය කිරීමේ සැලැස්මක් සකස් කරලා එය පියවරෙන් පියවර ක‍්‍රියාවට නගනවා. ඒක තමයි අද දේශපාලන විද්‍යාවේදී ‘නව ලිබරල් ගෝලීයකරණය’ හෙවත් නව අධිරාජ්‍යවාදය කියා හඳුන්වන්නේ.

මේ නව අධිරාජ්‍යවාදයේ ස්වභාවය පැහැදිලි කිරීම සඳහා මම ඇමෙරිකානු බුද්ධි මණ්ඩලයේ සාමාජිකයකු කළ ප‍්‍රකාශයක් උපුටා දක්වන්නම්. ඔහුගේ නම මයිකල් නාටේජ්. ඔහු හාවඞ් විශ්ව විද්‍යාලයේ කෙනඩි ආණ්ඩුක‍්‍රම පාසලේ මානව හිමිකම් පිළිබඳ ප‍්‍රතිපත්ති අධ්‍යයන අංශයේ මහාචාර්යවරයෙක්. ඔහු පවසනවා ‘ඇමෙරිකා අධිරාජ්‍යය පැරණි අධිරාජ්‍ය වගේ නොවෙයි. එයට යටත්විජිත නැහැ. 21 වැනි සියවසේ අධිරාජ්‍යවාදය දේශපාලන විද්‍යාවේ අලූත් සොයා ගැනීමක්. එහි ස්වභාවය තමයි, සැහැල්ලූ අධිරාජ්‍යයක් පැවතීම. මේ අධිරාජ්‍යයේ තේමා පාඨ මොනවාද? මානව හිමිකම්, නිදහස් වෙළඳපොළ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය.(මෙතැන නැති එකක් අපි ඇතුළත් කරමු ‘යහපාලනය’ කියලා.) ලෝකයේ මෙතෙක් දැක ඇති බියකරුම යුද යාන්ත‍්‍රණය මගින් තමයි ඒක ක‍්‍රියාත්මක කරන්නේ. එය න්‍යාය අනුව මානුෂවාදියි, ප‍්‍රයෝගිකව අධිරාජ්‍යවාදියි. එය පරාධීන ස්වාධිපත්‍යය නිර්මාණය කරනවා. න්‍යාය අනුව අනෙක් රටවලට නිදහස තිබෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම නිදහස නැහැ. ඇමෙරිකන් හමුදා බෝල්කන් ප‍්‍රදේශයේ, ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ ඉන්නේ ඇයි? ඇමෙරිකාවට දේශපාලන, ආර්ථික වශයෙන් වැදගත් වන භූමි කලාප පාලනය කිරීම සඳහා’ කියලා. ඒක තමයි මේ ව්‍යාපෘතිය.

අපි ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා 2015 මැයි 08 වැනිදා සිදු කළ මෙවැනි ප‍්‍රකාශයක් සලකා බලමු. එයත් වෙඞ්අඩිවිවලින් බලන්න පුළුවන්. ඔහු මෙම ප‍්‍රකාශය සිදු කරන්නේ සුප‍්‍රසිද්ධ ‘නයික්’ සමාගමේ උත්සවයකදී දේශනයක් පවත්වමින්. වත්මන් ඇමෙරිකානු ජනාධිපතිවරයා කියනවා, ‘අපේ ආර්ථිකය ගෝලීය වශයෙන් ශක්තිමත්ව තිබෙන අතර ලෝක ආර්ථිකයේ නීති අපි තමයි ලියන්නේ, කියන එක සහතිකර ගන්න ඕනෙ. අපි ලියුවේ නැති නම් චීනය එය කරාවි’ කියලා. අපි ස්තූතිවන්ත වෙන්න ඕනෙ ඒ ඇමෙරිකන් නායකයන්ට ඔවුන් මේ විදිහට ඇත්ත කියනවාට.

මේ වසරේ වෙසක් දවස්වල ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ශ‍්‍රී ලංකාවට ආවා. ඒ පිළිබඳව ඉංග‍්‍රීසි පුවත්පතකට ලිපියක් ලියමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන පෙලේ රාජ්‍ය නොවන සංවිධානයක ප‍්‍රධානියා කියනවා ‘ජෝන් කෙරීගේ සංචාරය, මට බුදුන්වහන්සේ ශ‍්‍රී ලංකාවට වැඩම කරවීම සිහි ගන්වනවා’ කියලා. නමුත් බලන්න ජෝන් කෙරී මෙහි පැමිණ ප‍්‍රකාශ කළ දෙය. ’ඔබගේ රට පිහිටා තිබෙන්නේ හන්දියක. ඒ හන්දියෙන් සම්බන්ධ වන්නේ අප‍්‍රිකාව, දකුණු අසියාව හා නැග‍ෙනහිර ආසියාව’ කියලයි ජොන් කෙරී කිව්වේ. දැන් ලෝකයේ වැඩිම ආර්ථික වර්ධනය තිබෙන්නේ මේ භූමි කලාපයේ. ඒ වගේම ජෝන් කෙරී මෙහිදී පැවසුවා ‘ඉන්දියන් සාගරය තමයි ලෝකයේ වැදගත්ම වාණිජ ගමන් මාර්ගය. ශ‍්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම අනුව නූතන සජීවි ගතික ඉන්දු – ශාන්තිකර කලාපයක නාභිය වෙන්න ඔබට පුළුවවන්’ කියලා. ඒ වගේම ජෝන් කෙරී කීවා, ‘ඒ කාර්ය සඳහා අප ඔබට උදව් කරන්නම්’ කියලා. මේ තමයි ජිනීවා ක‍්‍රියාදාමය පිටුපස තිබෙන ඇත්ත කතාව.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා එක්සත් ජනපදයේ, යුරෝපා සංගමයේ හා ඉන්දියාවේ ඕනෑ එපාකම් අනුව ක‍්‍රියා කළා නම් මේ ජිනීවා යෝජනාව එන්නේ නැහැ. එහෙම නම් ඔහුටත් පෝල් කගමේට වගේ එක්සත් ජාතීන්ගේ විමර්ශන මණ්ඩලයක සභාපති වෙන්න තිබුණා. අන්තර්ජාතික යුද අපරාධ අධිකරණයට ගෙන යාමෙන් ඇත්තටම මිදෙන්න තිබුණා. මෙන්න අපි රටක් විදිහට මුහුණ දී තිබෙන අභියෝගය.

මම දකින විදිහට ජිනීවා ක‍්‍රියාදාමය කෝට්ටේ රජු පෘතුගීසීන්ට කොළඹ කොටුවක් හදන්න දුන්නාට සමානයි. ඉන්පසුව සිංහල රජු පෘතුගීසීන් පලවා හැරීමට ලන්දේසීන් ගෙන්වා ගත්තාට සමානයි. ඉන්පසුව 1815දී උඩරට ගිවිසුම අත්සන් කළාට සමානයි. 1987දී ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කළාට සමානයි. 2002 පෙබරවාරි මාසයේදී එවකට පැවැති එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව එල්.ටී.ටී.ඊය සමග අත්සන් කළ සටන් විරාම ගිවිසුමට සමානයි. නිදහස්, නිවහල් ජාතියක් ලෙස පැවතීමට නම් මේ උවදුරෙන් අපි රටක් ලෙස මිදිය යුතුයි. අපට ගැලපෙන වාස්තවික ආර්ථික, සමාජ මාදිලියක් අනුගමනය කරන්නට නම්, ජාතීන් අතර සංහිඳියාව ඇති කරන්නට නම් අපි මේ උවදුරෙන් මිදිය යුතුයි.

මේ ඊනියා අන්තර්ජාතික ප‍්‍රජාව මැදිහත් වුණු සෑම රටක්ම අද මුහුණ පා සිටින්නේ බියකරු ඛේදවාචකයකට. ඇල්ජීරියාවේ හිටපු නායක හුවාරි බුමඩියන් මෙසේ පවසා තිබුණා. ‘මේ ආර්ථික රටාව වෙනස් නොවුණොත් යම් දවසක අපේ රටවල සිට දශලක්‍ෂ සංඛ්‍යාත ජනයා යුරෝපයට සංක‍්‍රමණය වීම වළක්වන්න බැහැ’ කියලා. ඔහු අනාවැකි කියන ජෝතිෂඥයකු නොවෙයි. නමුත් දේශපාලනය හා ආර්ථිකය හරියට කියවන්න දැනගෙන සිටි රාජ්‍ය නායකයෙක්. ඔහු කියපු දේ අද සත්‍යයක්. අද අප හමුවේ තිබෙන ප‍්‍රශ්නය ‘අපි එතැනට යනවාද? දිනාගත් නිවහල්භාවය රැකගෙන අපට සුදුසු අභිමත ආර්ථික මාදිලියක් ඔස්සේ අදීන ජාතියක් වශයෙන් ලෝකය සමග එක්සත්ව, සමගියෙන් ඉදිරියට යනවාද?’ කියන එකයි.

කළ යුත්තේ කුමක්ද

මේ අභියෝගය ජයගැනීම පහසු නැහැ. වැඩි පිරිස ඉන්නේ අනෙක් පිලේ. පසුගිය මහ මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති වේ යැයි අපේක්‍ෂාවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය දුන් ජනතාවගේ ඡන්දයෙන් මන්ත‍්‍රී ධුරයක් ලබාගත්තු විශාල පිරිසක් අනෙක් පිලට පලා ගියා. ඔවුන් ගැන පුදුම වෙන්න ඕනෙ නැහැ. හෙට දිනයේදී ‘දේශසීමා නොමැති දෙමළ ඊළාම් රාජ්‍යයේ සිහින අගමැතිවරයා’ රුද්‍රකුමාරන් මේ රටේ අගමැති වුවත් ඔවුන් එතැනට යනවා. ඉන් පස්සේ ඔවුන් කියනවා, ‘මේක තමයි අපි කාලයක් තිස්සේ බලා හිටපු ආණ්ඩුව. දැන් ඒක ආවා’ කියලා. ඒ නිසයි මේ අභියෝගය බරපතළ වෙන්නේ. මේ පිළිබඳව ජනතාව අවදි කළ යුතුයි. දැනුම්වත් කළ යුතුයි. නමුත් අපේ රටේ මාධ්‍යවලින් මේකට ගත හැකි සහාය අල්පයි. සිංහල මාධ්‍යවලට මේ ක‍්‍රියාදාමය පිළිබඳව අවබෝධයක් තිබෙනවාද? කියා මට සැකයි. අවබෝධයක් තිබුණත් ඔවුන් කථා කරන්නේ නැහැ. ඉංග‍්‍රීසි පුවත්පත් මේ පිළිබඳව දන්නවා. නමුත් ලංකාවේ එක් ඉංග‍්‍රීසි පුවත්පතක් හැර අනෙක් සියලූ ඉංග‍්‍රීසි පුවත්පත් පෙනී සිටින්නේ මේ ඇමෙරිකානු ව්‍යාපෘතිය වෙනුවෙන්, මේ ආණ්ඩුව වෙනුවෙන්. ඒ නිසා මේ බරපතළ අභියෝගය ජයගැනීම සඳහා ජනතාව දැනුම්වත් කිරීම සඳහා අපි මේ ආකාරයට නොකඩවා කටයුතු කරමු.’’

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)

https://www.facebook.com/yuthukama

6/29/2015

මේ උවදුර හඳුනාගත යුත්තේ කෙසේද?

කතෘ:යුතුකම     6/29/2015   No comments
-ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

මානව සමාජය පන්තීන් ලෙස බෙදී ගිය මුල් අවධියේ සිටම අධිපතීහු, අධිපති කණ්ඩායම් හා බලවේග බිහිව සමාජය පාලනය කරන්නට වූහ. බලසම්පන්න අධිපතියෙක් හෝ අධිපති කණ්ඩායමක් හෝ යම් රටක බලය අත් කරගෙන තහවුරු කොට ගත් විට ආසන්න රාජ්‍යයන් සිය ග‍්‍රහණයට ගෙන අධිරාජ්‍ය ගොඩනැඟීම ඉතිහාසය පුරාම සිදුව තිබේ. අධිරාජ්‍ය ක‍්‍රමයේ මූලික අරමුණ යටත් කරගනු ලබන රටවල භෞතික මානව හා සංස්කෘතික සම්පත් අධිපති රාජ්‍යයේ පාලක පන්තීන්ගේ සුඛ විහරණය පැවැත්ම හා වර්ධනය සඳහා උපයෝගී කොට ගැනීමය. හැමවිටම පාහේ අධිරාජ්‍ය ගොඩනගනු ලැබුවේ අවි බලයෙන් හා හිංසාවෙනි. ඇතැම් විට ප‍්‍රයෝගකාරී ගිවිසුම් වැනි උපක‍්‍රමද භාවිත කරනු ලැබීය.
ඉතිහාසයේ විවිධ වකවානුවල සෑම භූමි කලාපයකම පාහේ අධිරාජ්‍ය ඇතිව නැතිව ගියේය. පර්සියානු, මැසිඩෝනියානු, රෝම, ඔටෝමන් තුර්කි, ගුප්ත, චෝල, පාන්ඩ්‍ය, ඔස්ත්‍රෝ හංගේරියානු අධිරාජ්‍ය එවන් සමහරකි. මානව වංශ කතාවේ නූතන අවධියේ අධිරාජ්‍ය ගොඩනංවනු ලැබූයේ පෘතුගාලය, ස්පාඤ්ඤය, ඕලන්දය, බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය හා බෙල්ජියම ආදී බටහිර ජාතීන් අතලොස්සක් විසිනි. 1898 ඇමරිකානු ස්පාඤ්ඤ යුද්ධයත් සමඟ ඇමරිකා එක්සත් ජනපදයද අධිරාජ්‍ය තර`ගයට එක්විය.

අරමුණු හා ගොඩනැඟූ ආකාරය සමාන වුවද පැරණි අධිරාජ්‍ය හා බටහිර අධිරාජ්‍ය අතර තීරණාත්මක වෙනස්කම් රාශියක් තිබේ. බටහිර අධිරාජ්‍යවාදය ධනේශ්වර ක‍්‍රමයේ උපත හා වර්ධනය සම`ග වෙන්කළ නොහැකි අයුරින් බැඳී පවතින්නකි. එබැවින් බටහිර අධිරාජ්‍යවාදය ආර්ථීක දේශපාලන දෘෂ්ටියක් සහිතය. එය පැරණි අධිරාජ්‍ය මෙන් නොව මහද්වීප ඉක්මවා ව්‍යාප්ත වූවකි. බටහිර අධිරාජ්‍යවාදය ගොඩනැඟීම සහ පැවැත්ම සඳහා අවි බලයට අමතරව නූතන දේශපාලන මතවාද, සිය අණසක යටතේ පවත්නා අන්තර්ජාතික රාජ්‍ය සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, විද්‍යාව හා තාක්ෂණය, ජනසන්නිවේදන ඒකාධිකාරය, ආර්ථික ආධිපත්‍යය, බටහිර ජීවන රටාව හා සංස්කෘතිය වැනි මෙවලම් රාශියක් උපයෝගී කොට ගනී. මේ නිසාම පුර්ව ධනවාදී අධිරාජ්‍ය මෙන් ප‍්‍රබල අභියෝග හමුවේ අභාවයට නොගොස් අභියෝග ජය ගනිමින්, ම`ග හරිමින්, විකල්ප උපාය උපක‍්‍රම භාවිත කරමින් ලෝක බලවේගයක් ලෙස නොනැසී පවතින්නට බටහිර අධිරාජ්‍ය ක‍්‍රමය අද දක්වාම සමත් වී තිබේ.

බටහිරයන් ගොඩනැගූ ශී‍්‍ර ලංකාව ඇතුලූ සෘජු යටත්විජිත අධිරාජ්‍ය ක‍්‍රමය අභ්‍යන්තර හා බාහිර ප‍්‍රතිවිරෝධයන් සමූහයක සමුච්චිත ප‍්‍රතිඵලයක් ලෙස දෙවැනි ලෝක සංග‍්‍රාමය අවසානයෙන් පසු බිඳවැටෙන්නට විය. අද ලොව කිසි තැනක සෘජු යටත් විජිත නැත. එබැවින් අද අධිරාජ්‍යවාදයක් නැතැයි සාමාන්‍ය ජනයා පමණක් නොව වාමාංශිකයන් ඇතුළු බොහෝ විද්වත්හුද විශ්වාස කරති. එහෙත් එය එසේ නොවේ. යටත් විජිත අහිමි වන්නට පටන් ගැනීමත් සම`ගම අධිරාජ්‍යවාදය නව මුහුණුවරකින් යළි කරලියට පැමිණියේය. ශී‍්‍ර ලංකාව බඳු කුඩා හා ආර්ථික සහ යුධ ශක්තියෙන් දුබල රටවල් පමණක් නොව රුසියාව හා චීනය වැනි බලසම්පන්න ජාතීන් පවා අද මුහුණ දී සිටිනුයේ මේ නව අධිරාජ්‍යවාදයටය.

බටහිර ජාතීන් වර්තමානයේ අත්කරගෙන ඇති ඉහල ජීවන මට්ටම කරා ළ`ගා වූයේ හුදෙක් ස්වශක්තියෙන් නොව තම ග‍්‍රහණයට නතු කරගත් රටවල සම්පත් නිර්දය ලෙස කොල්ල කා ගැනීමෙනි. 1902 දී පළ කරන ලද ජෝන් හොබ්සන් විසින් රචිත ; imperialism – a study නැමති සම්භාව්‍ය ග‍්‍රන්ථය මේ සූරාකෑම කදිමට පැහැදිලි කරයි. දෙවැනි ලෝක සංග‍්‍රාමයේ අවසානයත් සමඟ ආරම්භ වූ නව යටත් විජිතකරණ කි‍්‍රයාදාමය නිසා මේ මහා සම්පත් සම්භාරය තමන්ට අහිමි වන බව දුටු අධිරාජ්‍යවාදීහු පැරණි යටත්විජිත තවදුරටත් සිය අවනත භාවයේ තබා ගැනීමට සැලසුම් සකසන්නට වූහ. මේ වකවානුව වනවිට ලෝක ධනේශ්වර ක‍්‍රමයේ නායකත්වය බි‍්‍රතාන්‍ය වෙතින් සියතට ගෙන සිටි ඇමරිකා එක්සත් ජනපදය නව අධිරාජ්‍යවාදී ව්‍යාපෘතියේ පෙරමුණ ගත්තේය.

ලෝක බැංකුව, මූල්‍ය අරමුදල, වැනි සිය අණසක යටතේ පවත්නා ආයතන ම`ගින් අලූත නිඳහස දිනූ රටවල ආර්ථිකය හසුරුවන අතර තමන්ට අවනත නොවන රටවල් ඇතුළතින් අස්ථාවර කොට ජාතිකවාදී නායකත්වයක් සහිත ආණ්ඩු පෙරළා දමා රූකඩ ආණ්ඩු ස්ථාපනය නව අධිරාජ්‍යවාදී සැලැස්මේ මූලික උපායමාර්ගයක් විය. ගෝතමාලා (1952), ඉරානය (1953) ඉන්දුනීසියාව (1964) නිකරගුවා (1979) යන රටවල ආණ්ඩු පෙරළි ඊට නිදසුන් කීපයක් පමණි. එසේ වුවද එකල සෝවියට් දේශය නමින් බලසම්පන්න පසමිතුරු රාජ්‍යයක් තිබූ බැවින් නව අධිරාජ්‍යවාදී සැලැස්ම මුළුමනින්ම කි‍්‍රයාත්මක කිරීමට හැකි වූයේ නැත.

1991දී සෝවියට් දේශය බි`ද වැටිණි. සමාජවාදී රාජ්‍ය පද්ධතිය අභාවයට ගියේය. නව ලිබරල් ගෝලීයකරණය සමස්ථ පෘථිවියම වෙලා ගන්නට විය. ලෝකය පාලනය කිරීමේ නව අධිරාජ්‍යවාදී සැලැස්ම නව ජවයකින් කරළියට ගෙන එනු ලැබීය. තමන්ට අවනත නොවන ආණ්ඩු පෙරලා; දමා imperialism – a study රූකඩ ආණ්ඩු බලයට ගෙන ඒම එළිපිටම ඇරඹිණි. ඒකාධිපති පාලන ව්‍යූහයක් සහිත රටවල් ආක‍්‍රමණය කොට යටත් කරගනු ලැබීය. වෙනත් රටවල වර්ණ විප්ලව (colour revolution) දියත් කෙරිණි. තවත් රටවල වාර්ගික ගැටුම් අවුළුවා බෙදුම්වාදය පෝෂණය කරනු ලැබීය. විසිවැනි සියවසේ දෙවැනි භාගයේ සිට තුන්වැනි ලෝකයේ රටවල් රැුසක වර්ධනය වූ සන්නද්ධ බෙදුම්වාදය තමන්ට අවනත නොවන රාජ්‍යයන් අස්ථාවර කිරීම ස`දහා නව අධිරාජ්‍යවාදීහු ප‍්‍රධාන මෙවලමත් බවට පත්කර ගත්හ.

තිස් වසරකට ආසන්න කාලයක් තිස්සේ ඇදී ගිය එල්ටීටීඊ සන්නද්ධ බෙදුම්වාදය නිසා ශී‍්‍ර ලංකාව නව අධිරාජ්‍යවාදයේ පහසු ගොදුරක් බවට පත්විය. ශී‍්‍ර ලංකාව සිය අණසක යටතට ගැනීමට ඔවුන්ට අවශ්‍ය වනුයේ උපායමාර්ගික වැදගත්කමක් සහිත භූගෝලීය පිහිටීම් නිසා පමණක් නොව පෙර අපර දෙදිග නාවික වාණිජ මාර්ගයක කේන්ද්‍රයක්ද වන නිසාය. ශි‍්‍ර ලංකාවේ බෙදුම්වාදයට උදව් කොට දිවයිනේ ෆෙඩරල් හෝ වෙනත් ස්වරූපයක තවත් රාජ්‍ය ව්‍යූහයක් නිර්මාණය කළ විට දෙපිරිසම පාලනය කිරීමට තමන්ට හැකි වන බව බටහිර බලවත්තු මැනවින් දැන සිටිති. ඔවුන්ගේ අවශ්‍යතාව ශී‍්‍ර ලංකාව ඇතුළත හා පිටත ඊළාම්වාදීන්ගේ වුවමනාව සම`ග මනාව සැසඳිනි. අනෙක් අතට ශී‍්‍ර ලංකාවේ පය ගසා ගත් විට සිය ආර්ථික ආධිපත්‍යයට දැනටමත් අභියෝගයක් වී ඇති ඉන්දියාව හා චීනය අවුල් කිරීම අධිරාජ්‍යවාදීන්ට වඩා පහසුය.

එල්ටීටීඊ සන්නද්ධ ශක්තිය පවත්වා ගනිමින් හා වර්ධනය කරමින්ම වාර්ගික පදනමක් මත වෙනම රාජ්‍ය ව්‍යූහයක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල 2001දී ආණ්ඩු බලය හිමිකරගත් රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා යටතේ පියවරෙන් පියවර ඉදිරියට යමින් තිබිණි. මේ අන්තරාය වටහාගත් ජනතාව 2004 මහ මැතිවරණයේදී ඔහුගේ ආණ්ඩුව පෙරළා දැමූහ. 2005 ජනාධිපති ධූරයට පැමිණි මහින්ද රාජපක්ෂ බෙදුම්වාදීන්ගේත් අධිරාජ්‍යවාදීන්ගේත් අපේක්ෂා භංග ඛරමින් ඔවුන්ගේ බලවත් විරෝධය මධ්‍යයේ එල්ටීටීඊය යුධමය වශයෙන් විනාශ කර දැමීය. සිය සැලසුම් ව්‍යර්ථ කළ රාජපක්ෂ ජනාධිපතිවරයා පලවා හැර තමන්ට කීකරු ආණ්ඩුවක් පත්කර ගැනීමට ඇමරිකාවට යුරෝපා සංගමයට හා ඉන්දියාවට අවශ්‍ය විය. රෙජීම් චේන්ජ් ව්‍යාපෘතියක් සැලසුම් කෙරිනි. මංගල සමරවීර එය හදුන්වන්නේ දේදුණු විප්ලවයක් ලෙසය. ව්‍යාපෘතියේ අරමුණු දෙකකි. ඒ බෙදුම්වාදයට ඉඩ සැලසීම සහ අධිරාජ්‍යවාදීන්ගේ නියෝග නොපිළිගත් රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට දඩ්‍රුවම් කිරීමය. ව්‍යාපෘතියට යහපාලන සළුපිළි අන්දවනු ලැබීය. පසුගිය රජයේ ඇතැම් පිළිවෙත් හා චර්යාවන් නිසා කළකිරී සිටි කොටස්ද යහපාලනයක් පතා ඡන්දය දුන්හ. ව්‍යාපෘතිය සාර්ථක විය.

දැන් යහපාලනය කෙසේ වෙතත් බෙදුම්වාදය ඉදිරියට යමින් තිබේ. ඒ කෙසේදැයි ඊළඟ ලිපියෙන් විමසා බලමු.

[Lanka Lead News වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි ]

HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions