12/02/2015

ශ්‍රී ලංකාව ගැන සමන්තා පවර් ගේ පැටිකිරිය

කතෘ:යුතුකම     12/02/2015   2 comments

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු නිත්‍ය නියෝජිත සමන්තා පවර් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියාය. ඇගේ ගමන පිළිබඳ විග්‍රහ කිරිමට ප්‍රථම ඇය කවුද යන්න පිළිබඳවත් එම ගමනේ වූ අමුත්ත කුමක්ද යන්න පිළිබඳවත් අප විසින් විමසා බැලිය යුතුය. එහිදි මෙරට දේශපාලනයේ ප්‍රකට හා පැරණි සටන් පාඨයකට අනුව යමින් අපට විමසන්නට සිදුවන්නේ ඇය කවුද? කරන්නේ මොනවාද යන්නයි.

සැබැවටම සමන්තා පවර් යනු කවරෙක්ද? ඇය හිටපු ආචාර්යවරියකි. එමෙන්ම ඇය ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ ආණ්ඩුවේ වඩාත්ම වැදගත් න්‍යායාචාර්යවරිය ලෙසද සලකනු ලැබේ. අපේ විදේශ ප්‍රතිපත්ති චින්තකයින් අතරින් ඉදිරියෙන්ම සිටින්නේ සමන්තා පවර් යැයි එහිදී බැරැක් ඔබාමා පවසා ඇත.

සමන්තා පවර්ගේ පසුබිම සලකා බැලුවහොත් ඇය පුවත්පත් කලාවේදිනියක ලෙසත් හාවඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්යවරියක් ලෙසත් කටයුතු කර තිබේ. ඇය ප්‍රසිද්ධියට පත් වූයේ රුවන්ඩා සමූල ඝාතනය ගැන ලියු පොත හේතුවෙනි.

එම පොත තුළ ඇයගේ දර්ශනය පැහැදිලිව පෙනෙන්නට තිබේ. සමන්තා පවර් විදේශ ප්‍රතිපත්ති ක්ෂේත්‍රයේ ප්‍රකට වන්නේ මානවවාදයේ නාමයෙන් නොඑසේ නම් මානව දයාවේ නාමයෙන් බටහිර මැදිහත්විම් වල න්‍යායාචාරිණිය ලෙසයි. ඇය රුවන්ඩාවේ සමූල ඝාතනය ආශ්‍රිතව මතුකළ ප්‍රශ්නය වන්නේ මෙවැනි දේ වැළැක්වීම සඳහා ඇමරිකාව ප්‍රමුඛ බටහිර ලෝකය එනම් ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් වන්නේද නැද්ද වන ප්‍රශ්නයයි. එම ග්‍රන්ථය මහින් ඇය පැවසුවේ කෙදිනක හෝ එවැනි ප්‍රශ්නයක් මතු වුවහොත් තම රැකියාව පරදුවට තබා මැදිහත්වීම වෙනුවෙන් පෙනී සිටින බවයි.

ජනාධිපති බැරැක් ඔබාමාගේ පාලන සමය තුළ ඇය මුලින්ම දරන ලද තනතුර වූයේ ජනාධිපතිවරයාගේ ජාතික ආරක්ෂාක උපදේශක තනතුරයි. එම තනතුර දැන් භාරව සිටින්නේ ඇය අද දරණ තනතුර කලින් භාරව සිටි සුසන් රයිස් මහත්මියයි. ජනාධිපතිවරයාගේ ජාතික ආරක්ෂක උපදේශක තනතුරේ සිට ඇය පත්වූයේ නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙන්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඇමරිකානු තානාපතිනිය හා නිත්‍ය නියෝජිතවරිය වශයෙනි.

අද වන විට ලංකාව සම්බන්ධයෙන් ඇයට ඇති කාර්යභාරය පිළිබඳව දන්නේ කිහිප දෙනෙකු පමණි. 2011 දි පමණ සිට එනම් පශ්චාත් යුධ කාලයේ හා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන ධූර කාලයේදී ලංකාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළා පමණක් නොව ලංකාවට පැමිණ එවකට රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡාවලටද එක්විය. ඊට අමතරව ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස නිව්යෝක් නගරයට ගිය විටත් ඇය සාකච්ඡා වලට එක් විය. කෙසේ නමුත් ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව තද ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට මුල පුරපු ප්‍රබල චරිතයක් වූයේ සමන්තා පවර්ය.

මෙය ඇයගේ දර්ශනයට අනුව සිදුවූවක් බව යැයි අපට පැහැදිලිව පෙනේ. ඒ මන්ද යත් ජනාධිපති ඔබාමා සහ ආරක්ෂක ලේකම්වරයා වූ රොබට් ග්‍රේට්ස් පවා ලිබියාවේ ඇමරිකානු ප්‍රතිපත්තියට විරුද්ධ වූ වකවානුවකදි ලෝක ජනමතය එනම් බටහිර ජනමතය සහ ජනමාධ්‍ය වල මතය පාවිච්චි කරමින් ලිබියාව තුළ මැදිහත්වීමකට ඇමරිකාව තල්ලු කළ ප්‍රබල කාන්තාවන් තිදෙනාගෙන් එක් අයෙක් වූයේ සමන්තා පවර්ය. අනෙක් දෙදෙනා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සහ එවකට ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතා වූ සුසාන් රයිස්ය.

ජනාධිපති බැරැක් ඔබාමා ගේ ඡන්ද ව්‍යාපාරයේදී හිලරි ක්ලින්ටන්ට විරුද්ධව කිසියම් ප්‍රකාශයක් සමන්තා පවර් විසින් සිදු කරනු ලැබුවද පසුකාලීනව ඉහත නම කී ප්‍රබල කාන්තාවන් තිදෙනාම විදේශ ප්‍රතිපත්ති ප්‍රශ්නවලදි බටහිර මැදිහත් විම් වලට පක්ෂව එම මැදිහත්වීම ඉදිරියට තල්ලු කරමින් කටයුතු කරන ලදහ. සමන්තා පවර් ලංකාව දෙස බැලුවේද එම ප්‍රිස්මය තුළිනි.

දේශපාලන දර්ශණය පිළිබද විශේෂඥවරියක වන ඇය වැනි දක්ෂ අයෙකුට එරෙහිව මුහුණ දීමට ඉකුත් ආණ්ඩුව ඉදිරිපත් කළේ ඉතා නුසුදුසු හා දුර්වල චරිත දෙකකි.

මේ අනුව සමන්තා පවර්ගේ ලංකා ගමන සම්බන්ධයෙන් කියවුතු ප්‍රධාන දෙය නම් එය රාජ්‍ය තාන්ත්‍රික නියාමයෙන් හා සම්මතයන් උල්ලංඝනය කළ ගමනක් බවය.

මා එසේ කියන්නේ කුමක් නිසාද? අපි දන්නා පරිදි සමන්තා පවර් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු නිත්‍ය නියෝජිතවරියයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තානාපතිවරයා කිසියම් රටකට තානාපතිවරයෙකු නොවේ. එම සංවිධානය වනාහි අන්තර් රාජ්‍ය හෙවත් අන්තර් ආණ්ඩු සංවිධානයකි. එය හදුන්වනු ලබන්නේ බහුපාර්ශ්වික සංවිධානයක් ලෙසිනි. එම සංවිධානයේ නිලධාරීන් විවිධ රටවලට ගමන්ගන්නා අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයට තානාපතිවරයෙකු ලෙස සිටිනා පුද්ගලයකු වෙනත් රටකට ගමන්ගන්නේ නිශ්චිත තත්ත්වයන් දෙකක් තුළ පමණි. ඉන් එකක් නම් පෞද්ගලික නිවාඩුවක් සදහායි. දෙවනුව යම් අසල්වැසි රටක තානාපතිවරයෙකු නැතිනම් නිව්යෝක් නගරයේ සිටින තානාපතිවරයාට එම වගකිම භාරදෙනු ලැබේ. නිදසුනක් ලෙස නිව්යෝක් නගරයේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ ලංකාවේ නියෝජිතයා ලතින් ඇමරිකාවේ රටවල් දෙක තුනකත් තානාපතිවරයා ලෙස කටයුතු කරනු ලබයි. එයට හේතුව නම් එම රටවල ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයක් හෝ තානාපතිවරුන් නොසිටින බැවිනි.

කෙසේ නමුත් ලංකාවේ තත්ත්වය එය නොවේ. ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයක් ඇති අතර තානාපතිවරයෙකුද සිටී. ඒ අනුව එක්සත් ජාතීන්ගෙ සංවිධානයේ ඇමරිකානු තානාපතිනිය හා නිත්‍ය නියෝජිතයා වන සමන්තා පවර්ට පෞද්ගලික හේතු කාරණා හැරුණු විට නිල සංචාරයක් ලංකාවේ කිරීමට සැබවින්ම අයිතියක් නැත. එය රාජ්‍ය තාන්ත්‍රික සම්මතයන් උල්ලංඝනය කිරීමකි. එහෙත් ඒ ගමනින් ලංකාවේ ආණ්ඩුවට නම් එවැනි ප්‍රශ්නයක් මතු වූ බවක් නම් නොපෙනේ.

සමන්තා පවර් ලංකාවට පැමිණියාට පසු ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද හමුවිය. ඊට ප්‍රථම ඇය යාපනයටද ගියාය. ඇයගේ ගමනේ පළමු පියවර නම් උතුරට යාමයි. උතුරට ගොස් ඇය නිල වශයෙන් මුණ ගැසුනේ කවුද? ඇය එහිදී සිටියේ කුමක්ද? ඇය මුණ ගැසුණු පුද්ගලයින් ඇයට කියා සිටියේ කුමක්ද? මේ සියල්ල මාධ්‍ය මගින් අපට දැනගන්නට හැකිවිය. ඇය උතුරු පළාත් මහ ඇමතිවරයා හමුවිය. විග්නේෂ්වරන් යනු තමාගේ පක්ෂය තුළ පවා ආන්දෝලනයකට ලක් වු අයෙකි. ඔහු සමන්තා පවර්ට කියා සිටියේ දෙමළ රැඳවියන් සියලු දෙනා නිදහස් කළ යුතු බවත් ඒ පිළිබඳ ලංකා ආණ්ඩුවට බලපෑමක් සිදු කළ යුතු බවත්ය.

අනතුරුව ඇය හමුවූයේ උතුරු පළාත් ආණ්ඩුකාරවරයායි. නොවැම්බර් 23 වන දා මෙරට ඉංග්‍රීසි පුවත්පතකට පළවූ වාර්තාවකට අනුව ඇය පවසා ඇත්තේ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ තමා එකඟ වූ දෙයක් වන්නේ උතුරු පළාත නිර්හමුදාකරණය කිරිම තව දුරටත් ප්‍රමාද කළ නොහැකි කාරණාවක් යන්නයි. රටක යම්කිසි පළාතක් නිර්හමුදාකරණයට පාත්‍ර විය යුතු යැයි පැවසීම එම පළාතේ ආණ්ඩුකාරවරයාට අයිති තීන්දුවක් නොවේ. මෙහිදී ඊටත් වඩා වැදගත් කාරණය වන්නේ එය කිසිම රටක තානාපතිවරයෙකුට භාර මාතෘකාවක් නොවන බවය.

ඉකුත් එජාප ආණ්ඩු කාලයේ බටහිර තානාපතිවරයෙක් සහ තානාපතිකාර්යාලයේ ඉහළ නිලධාරියෙක් රටින් පිටමං කරනු ලැබුවේ මීට වඩා අඩු ලංසුවේ ප්‍රකාශ සිදුකිරීම හේතුවෙනි.

ඒ අතර ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේ කෙවින්ස් ස්කොට් නමැති නිලධාරියා පැය 24ක් ඇතුළත ගුවන් යානයක පටවා රටින් පිටත් කරනු ලැබුවේ 83 කළු ජූලිය සම්බනධයෙන් ආණ්ඩුව විවේචනය කළ බැවිනි. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ගේ කාලයේදී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා වන ඩේවිඩ් ග්ලැඩ්සන් රටින් පිටුවහල් කරනු ලැබිණි. එදා එජාප ආණ්ඩුවේ සහ අද එජාප ආණ්ඩුව අතර වෙනස නම් ඇමරිකානු තානාපතිවරියකට ඇයට අයිති නැති ගමනකදි මෙරට උතුරු පළාත නිර්හමුදාකරණය පිළිබඳ කතා කරන්නට ඉඩකඩ තබමින් ආණ්ඩුව ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීමය. උතුර නිර්හමුදාකරණය සම්බන්ධයෙන් සමන්තා පවර් කළ අදහස සම්පූර්ණයෙන්ම වැරදි අදහසකි. ඒ බෙදුම්වාදි යුද්ධයක් ඇමරිකාවේ අවසන් වූයේ 1865 දීය. ඒ නූතන යුගයේ කීර්තිමත්ම දේශපාලන චරිතයක් වන ඒබ්‍රහම් ලින්කන් දකුණේ දේශපාලන හිතවතකු විසින් ඝාතනය කරනු ලැබුණි. බෙදුම්වාදි දකුණු ප්‍රාන්තය යටපත් කර ඇමරිකාව යළිත් එක්සේසත් කළ උතුරේ හමුදාව එම දකුණු ප්‍රාන්ත වලින් ඉවත් කරවන්නට වසර දොළහක් ගත විය. ඇමරිකාවේ බෙදුම්වාදී දකුණු ප්‍රාන්ත වෙනත් භාෂාවක් කතා කළ වෙනත් ආගමක් ඇදහූ වෙනත් අනන්‍යතාවක් සහිත ප්‍රජාවක් නොවීය. තවද එම දකුණු ප්‍රාන්තයේ අසල් වැසි රට වශයෙන් අපට තමිල්නාඩු ප්‍රාන්තය තිබෙන්නාක් මෙන් අතුරු ප්‍රාන්තයක් නොතිබුණි. කෙසේ නමුත් පරමාදර්ශි යැයි කියා ගන්නා ඇමරිකාව යුද්ධයකට පසු අවරුදු දොළහක් යන තුරු හමුදාව ඉවත් නොකළේය. තවම ලංකාවේ බෙදුම්වාදී යුද්ධය නිමවී අවුරුදු හයකි. ලංකාවේ එම යුද්ධයට උල්පත වූ උතුර සහ තවමත් බෙදුම්වාදයට සහය දෙන මහ ඇමතිනියක් සිටින තමිල්නාඩුව අතර ඇත්තේ සැතපුම් දහනවයක් පමණි. එවැනි පළාතකින් හමුදාව ඉවත් කළ නොහැකිය. සමන්තා පවර් උතුර නිර්හමුදාකරණය කළ යුතු යැයි කීමෙන් අපට ඇමරිකාවේ සැබෑ සිතිවිල්ල පෙනී යයි.

මෙහිදි සමන්තා පවර් මුණ ගැසුණු තවත් සංවිධානයක් වූයේ ටි එන් ඒ සංවිධානයයි. ටීඑන්ඒ සංවිධානයේ නායකයා සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා වන ආර්.සම්බන්ධන් මහතා ඇයට පවසා ඇත්තේ ජිනීවා යෝජනාවලිය ක්‍රියාත්මක කිරිම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හා ඇමරිකා එක්සත් ජනපදයේ තෙරපුමක් තල්ලුවක් ආණ්ඩුවට ලබා දිය යුතු බවය. ඇමරිකාවේ තෙරපුමක් නොමැතිව එක්සත් ජාතීන්ගෙ සංවිධානය කටයුතු නොකරන බවත් මේ දෙකෙහිම තෙරපුමක් නොමැතිව ලංකා ආණ්ඩුව ජිනිවා යෝජනා ක්‍රියාත්මක නොකරන බැවින් එම යෝජනා යුහුසුළුව පරිපූර්ණව ක්‍රියාත්මක කිරීම ගැන ඇමරිකාව වගබලා ගත යුතු බවත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පවසා තිබේ.

අනතුරුව සමන්තා පවර් ලංකාවේ අනෙකුත් නායකයින්ද මුණ ගැසුණාය. ඒ අවස්ථාවේ ඇය පැවසුවේ ලොව අන් කිසිදු රටකට කල් පැවතෙන සංහිඳියාව කේන්ද්‍ර කර ගනිමින් සාධනීය විපර්යාසයක් ලංකාවේ සිදුව ඇති බවයි. වෙනත් ආකාරයට කියනවා නම් එය ඇමරිකාවේ දිලිසෙන ජයග්‍රහණයක් බවයි. කෙසේ නමුත් විශ්ලේෂණාත්මකව බැලීමේදි අපට පෙනී යන්නේ ලංකාව අද කරන දේ කරන්නට තරම් ලෝකයේ වෙන කිසිදු රටක් අදුරදර්ශී වී නැති බවයි. සමන්තා පවර් තානාපතිවරියගේ ගමන දෙස අප බැලිය යුත්තේ සමස්ත චිත්‍රයේ කොටසක් ලෙසය. එනම් ඈත අතීතයට යෑම නොව ඊට සමකාලීනව, සමගාමීව හා සමාන්තරව දිවෙන අනෙකුත් ක්‍රියාවලි සමගිනි.

සමන්තා පවර් ශ්‍රී ලංකාවට ඒමට දිනකට දෙකකට කලින් තවත් පුදුම සහගත දෙයක් සිදුවුණි. එනම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් වූ විශේෂ කාර්ය සාධක බළකායක් ලංකාවට පැමිණීමයි. ඔවුන් අවසන් වරට ලංකාවට පැමිණියේ 1999 වසරේදීය. ඉන් අදහස් කළේ අවුරුදු පහළොවක් තිස්සේ කිසිදු ලංකා ආණ්ඩුවක් එම කණ්ඩායමට පැමිණෙන්නට ඉඩ ලබා නොදුන් බවයි. ඊට හේතුවක් තිබිණ. ඒ යුධ අපරාධ පිළිබඳ තොරතුරු සොයන කණ්ඩායමක් මේ වෙලාවේ ලංකාවට වැද්දා ගැනීම නුවණට නුහුරු බව එම ආණ්ඩු තේරුම් ගත් බැවිනි. එමෙන්ම ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේ සිටි නියෝජ්‍ය සභාපතිවරයෙකු ලෙස මා දන්නා කරුණක් වන්නේ මෙවැනි විශේෂඥ කණ්ඩායම්වලට තමන්ගේ ප්‍රඥප්තීන් වලින් එහා කටයුතු නොකළ හැකි බවයි.

එහිදි අතුරුදන් වුවන් ගැන සොයනවා නම් කටයුතු කළ යුත්තේ ඒ සම්බන්ධයෙනි. එපමණක්ද නොව අදාළ රටේ කිසියම් ආයතනයක් හෝ ක්‍රියාවලියක් එම මාතෘකාව සම්බනධයෙන් ක්‍රියාකාරී වී ඇත්නම් එම දේශිය යාන්ත්‍රණය සමඟ මුණ ගැසී කතිකා කරගැනීම ඔවුන්ගේ වරමේ කොටසකි. එහෙත් අතුරුදහන් වූවන් ගැන රජයෙන් පත්කරනු ලැබූ මැක්ස්වෙල් පරණගම කොමිසමේ නිලධාරීන් කිසිවකු ඔවුන් මුණ ගැසී නැත. එපමණක් ද නොව මැක්ස්වෙල් පරණගම කොමිසමේ නිලධාරීන් කිසිවකු ඔවුන් මුණ ගැසුනේ නැත. එපමණක්ද නොව මැක්ස්වෙල් පරණගම කොමිසමට එරෙහිව එය අත්හළ යුතු බවත් එම ලිපිගොනු

තමන්ට භාර දියු යුතු බවත් එක්සත් ජාතීන්ගේ එම කණ්ඩායම සිය අවසන් පුවත්පත් සාකච්ඡාවේදී සඳහන් කළහ. එයත් තම නිල වරමෙන් විශාල ලෙස පිට පැනීමකි.

මෙම එක්සත් ජාතීන්ගේ කණ්ඩායමට නාවික හමුදාවේ කඳවුරු පරීක්ෂා කරන්නට දොර විවර කළේ ශ්‍රී ලංකා ආණ්ඩුව විසිනි. ඉරාකයේ හා අනෙකුත් රටවල පාඩම් ලංකාව ඉගෙන ගෙන නැත. ඒ බටහිර රටවල් විසින් මුදල් දී මෙහෙයවන එම එක්සත් ජාතීන්ගේ විශේෂ පරික්ෂණ කණ්ඩායම් ඒ ඒ රටවල කඳවුරු පරීක්ෂා කරමින් බොරු චෝදනා නගමින් ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ සම්ප්‍රදායක් ඇති බවයි. එම ව්‍යාජ සාක්ෂි මත අදාළ රට තවදුරටත් උගුලට හසු කර ගැනීම ඉතිහාසය තුළින් ඔප්පු වේ.

ඒ අනුව ඉන්දියාව වැනි බටහිර හිතෛශි රටක් පවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කණ්ඩායම් වලට තම හමුදා කදවුරු පරීක්ෂා කරන්නට ඉඩ දෙන්නේ නැත. එහෙත් ලංකා ආණ්ඩුව එවැන්නකට ඉඩදී තිබේ.

මෙහි ප්‍රතිඵලය කුමක්ද?

අතුරුදහන් වූවන් පිළිබදව තොරතුරු සොයන්නට වරමක් සහිතව පැමිණි එක්සත් ජාතීන්ගේ කණ්ඩායම නිල වාර්තාවක් නිකුත් කර ඇත. එම නිල වාර්තාව ඔවුන්ගේ නිල වරමින් බොහෝ ඇතට ගොස් ඊනියා යුධ අපරාධ පිළිබද ලංකාවේ ඉදිකළ යුතු අධිකරණ යාන්ත්‍රණයේ ස්වාභාවය පිළිබද විශාල නිර්දේශයක් කර ඇත. ඔවුන්ගේ වාර්තාවේ ඡේද ගණනාවක් ඇත්තේ ඔවුන්ට කිසි ලෙසකින් වත් අදාළ නැති කාරණායි. වෙනත් රටවල අධිකරණ ක්‍රියාවලියක් ගැන කතා කරන්නට අතුරුදන් වූවන් පිළිබද තොරතුරු සොයන එක්සත් ජාතීන්ගේ පර්යේෂණ කණ්ඩායමට අයිතියක් නැත. එහෙත් ඊට ප්‍රතිචාර දැක්වීමට

ආත්ම ගෞරවයක් හා කොන්දක් ඇත්තන් නැති නිම රටේ අවාසනාවකි. මේ අනුව සමන්තා පවර් ගේ ගමන ගැන එක්සත් ජාතීන්ගේ කණ්ඩායම ගත් එක් ක්‍රියාවලියක ධාවන පථයන් දෙකක් ලෙස පෙන්වා දීමට හැකිය. මෙහි තුන්වන හා හතරවන ධාවන පථ පිළිබද කතා කිරීමට තවත් අවස්ථාවකදි කළ යුතු වුවද මේ මොහොතේ එය සිහිපත් කළ යුතුය. එනම් තුන්වන ධාවන පථය යුහුසුළුව නව ව්‍යවස්ථාවක් ගෙන ඒමයි. හතරවන ධාවන පථය අයවැයයි.

මේ අනුව සමන්තා පවර්ගේ ගමන අතුරුදන්වූවන් පිළිබ එක්සත් ජාතීන්ගේ කණ්ඩායමේ පැමිණීම හා වාර්තාව නව ව්‍යවස්ථාවට ගෙන එමින් ඒකිය රාජ්‍ය සංකල්පය සංහිදියාවේ නාමයෙන් ගෙන ඒම සහ ආර්ථික ඩයස්පෝකරණයට හා විජාතිකකරණයට විවෘත කිරීම යනු ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමේ බහුවිධ මූලෝපායික සැලැස්මේ විවිධ ධාවන පථයන්ය. මෙම ව්‍යාපෘති සියල්ල හමාර වූවාට පසු ලංකාවේ චිත්‍රය සම්පූර්ණයෙන්ම වෙනස් වී මෙම දිවයිනේ ප්‍රජාවන් අතර ඇති ඓන්ද්‍රීය ස්වාභාවික බල තුලනය සහමුලින්ම වෙනස් වී යනු ඇත. ඒ අනුව මෙම දිවයින ඩයස්පෝරාව ප්‍රබලව සිටින බටහිර රටවල් මෙන්ම තමිල්නාඩුව සදහටම නිදන්ගත වී තිබෙන ඉන්දියාව අතර බලතුලනය සම්පූර්ණයෙන් වෙනස් වනු ඇත. දැනටමත් ශ්‍රී ලංකාවේ දෛවය ඇමරිකාවට ඉන්දියාවට පැවරීමේ ව්‍යාපෘතියක් මෙම ආණ්ඩුව ක්‍රියාත්මක කරන බව මේ සියල්ල තුළින් පැහැදිලිය.
 
-දයාන් ජයතිලක 
:රිවිර

යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. දිග වැඩියි මචන්.

    ReplyDelete
  2. මොනවා වුනත් සමන්තා පවර් පට්ට කෑල්ල. අපේ පිච්චිච්ච රිලව් සෙට් එක වගේ නෙමෙයි. එන එක කමක් නැහැ. මේ වගේ ගෑනියෙක් මේ වගේ රටකට එනවා කියන්නේ වාසනාවක්.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions