12/13/2015

2015 ජනාධිපතිවරණය සහ බෙදුම්වාදයේ දේශපාලන සංරචකය

කතෘ:යුතුකම     12/13/2015   1 comment

[සටහන: 2014-12-02 දින ලියූ ලිපියකි. වසරකට පසු අදටත් මෙය අදාළ යැයි සිතන බැවින් යළි පළ කරන්නෙමු. ]
-දර්ශන කස්තුරිරත්න
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නියමිත කාලයට වසර දෙකකට පමණ පෙර ජනාධිපතිවරණයක් කැදවා ඇත. තමන්ගේ ආණ්ඩුවේ ගිලිහෙන ජනප්‍රියත්වය හමුවේ ඔහු මේ පියවර ගන්නට ඇතැයි සිතිය හැකිය. එසේම 2015 මාර්තු මස රැස්වන ජෙනීවා මානව හිමිකම් කවුන්සිල රැස්වීමෙන් යම් තීරණාත්මක බලපෑමක් ඇති වීමට ඉඩ ඇති නිසා එයට පෙර ජනවරමක් දේශීයව දිනා ගැනීමද ඔහුට වැදගත් විය හැකිය. කෙසේ හෝ වේවා දැන් තිබෙන තත්වය අනුව ජනාධිපතිවරණයක් 2015 ජනවාරි මස 8 වන දින පැවැත්වෙයි. එහිදී ජාතික බලවේග ගත යුතු තීරණය සහ ඒ තීරණය ගත යුත්තේ ඇයිද යන්න අප දකින ආකාරයට පැහැදිලි කිරීම මෙම ලිපිය ලිවීමේ අරමුණ වෙයි.

මහින්ද රාජපක්ෂගේ ප්‍රතිවාදියා ශ්‍රිලනිපයේ මෛත්‍රිපාල සිරිසේනය. මෛත්‍රිපාල මහතා ජාතිකත්වයට බර ප්‍රතිරූපයක් තිබූ නායකයෙකි. විශේෂයෙන්ම සිගරට් අරගලය වැනි කාරණාවලින් ඔහු පහුගිය කාලයේ ඒ ප්‍රතිරූපය තහවුරු කර ගත්තේය (ඒ කාලයේද මෙවැනි පිම්මක් පැනීමේ අදහසක් ඔහුට හෝ අද ඔහුට අනුග්‍රහය දක්වන කණ්ඩායම්වලට තිබිණිදැයි අපි නොදනිමු). රනිල් වික්‍රමසිංහ වෙනුවට පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් වීමම තවමත් රටේ ප්‍රධාන දේශපාලන මතවාදය ජාතික මතවාදය බව තහවුරු කරන්නකි. රනිල්ට නොලැබෙන සිංහල ඡන්ද මෛත්‍රිපාල මහතාට ලැබීම මීට ප්‍රධාන හේතුව වෙයි. හෙළ උරුමය මෙහිදී ඒ සදහා ආධාරකයක් වෙයි. මෛත්‍රිපාල යනු රනිල්ගේ කොන්ඩමයක් නම් හෙළ උරුමය යනු ඒ කොන්ඩමයට උඩින් පළදින තවත් කොන්ඩමයකි. 2010දී පරාජයෙන් බේරී විපක්ෂ නායකධූරය රැක ගැනීමට ෆොන්සේකා කොන්ඩමය පමණක් භාවිත කළ රනිල් වික්‍රමසිංහ මහතා, මෙවර බලය ලබා ගැනීමට කොන්ඩම් දෙකක්ම එකවර භාවිත කරනු දැකිය හැකිය. 2004දී ශ්‍රිලනිප ඡන්ද කඩා එජාප ආණ්ඩුවක් පිහිටුවීමට කඩේ ගිය හෙළ උරුමය (එය අසාර්ථක විය) නැවත වතාවක් එජාප ආණ්ඩුවක් පිහිටුවීමට තීරණාත්මකව මැදිහත්ව සිටී. ජාතික ව්‍යාපාරය දේශපාලන වශයෙන් ශක්තිමත් වන විට එහි පෙරමුණේම සිට ලකුණු දමා ගන්නා හෙළ උරුමයේ දෙබිඩි පිළිවත මතු වන්නේ ජාතික බලවේග දේශපාලන වශයෙන් වඩා අස්ථාවර වන අවස්ථාවලය. 2004 පාර්ලිමේන්තුවේ කථානායක ධූරය තේරීම එවැනි එක් තීරණාත්මක අවස්ථාවකි. ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය කුමක් වුවත් හෙළ උරුම ව්‍යාපෘතිය මෙතැනින් අවසාන වනු ඇත. මේ එහි කූටප්‍රාප්තියයි. එහි අවසාන පිම්මයි. ඒ පිම්ම ඔවුන් පිටුපස සිටින විජාතික බලවේගවලට ඉතා වැදගත් පිම්මකි.
මෛත්‍රිපාල මහා දෙසැම්බර් 1 වන දින පොදු විපක්ෂයේ පක්ෂ සහ පුද්ගලයන් අතර අත්සන් කළ ගිවිසුමේ ප්‍රධානම කරුණක් මතු වෙයි. එය නම් විධායක ජනපති ධූරය අහෝසි කර පාර්ලිමේන්තු පාලන ක්‍රමයක් ඇති කරන බවය. එවැනි පාලන ක්‍රමයක විධායක බලය පැවරෙනුයේ අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයටය. මෙහිදි රනිල් අගමැති කරන කතාව ඔහු කිවේ පළමු මාධ්‍ය හමුවේදීය. පසුව ඔහු ඒ ගැන එතරම් කතා නොකළ අතර එමගින් සිංහල ඡන්ද කැඩීම වැළක්විම එයට හේතුව විය හැකිය. කෙසේ වෙතත් දෙසැම්බර් 2 දින මෛත්‍රිපාල මහතාට සහය දීමට ගත් එකගතාවයේදී හෙළ උරුමයේ චම්පික රණවක මහතාද රනිල් අගමැති වීම ගැන සදහන් කර ඇත. එජාපය මෛත්‍රිපාල මහතාට සහය දෙන්නේ නිකම් විය නොහැකිය. මේ නිසා මෛත්‍රිපාල මහතා පොදු විපක්ෂය සමග ඇති කරගෙන තිබෙන එකගතාවය අනුව සිදු වීමට වඩාත්ම ඉඩ ඇති දෙය නම් රනිල් අගමැති ධූරය උසුලන පාර්ලිමේන්තු බලය ඇති ආණ්ඩුවක මෛත්‍රිපාල නාමික ජනාධිපතිවරයෙකු වීමය. 2001-2003 සමයේ විරුද්ධ පක්ෂයේ විධායක ජනපති කෙනෙක් සිටින විට පවා රනිල් කටයුතු කළ ආකාරය සලකන විට මෙවැනි ආණ්ඩුවක ක්‍රියාකලාපය කෙසේ වේදැයි නිගමනය කිරිමට අංජනම් එළි බැලීමට අවශ්‍ය නොවේ.

දෙමළ බෙදුම්වාදයේ සංරචක තුනක් ඇත. එ් යුධමය, දේශපාලනමය, සහ මතවාදීමය සංරචක තුනයි. මෙයින් යුධමය සංරචකය නන්දිකඩාල් කලපුවේදී පැරදුනි. මතවාදී සංරකයද අද එතරම් ශක්තිමත් නොවේ. එහෙත් දේශපාලන සංරචකය ටිකෙන් ටික ඉන් පසුව වර්ධනය විය. උතුරු පළාත් සභාව පිහිටුවීම එහි ප්‍රධාන සන්ධිස්ථානයකි. එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එයට රිසිසේ ක්‍රියාත්මක වීමට ඉඩ නොදුන්නේය. මහින්ද බෙදුම්වාදයේ දේශපාලන සංරචකය ආපස්සට හැරවීමට ප්‍රමාණවත් පියවර ගත්තේ නැතැයි අපි සිතමු. අනෙක් අතට ඔහු එය වර්ධනය වීමට ඉඩ දුන්නේද නැත. ඔහු උතුරු පළාත් මහ ඇමතිවරයා ඉල්ලු පරිදි ආණ්ඩුකාරවරයා මාරු කිරීමට මෙන්ම යුධ හමුදාව ඒ පළාත්වලින් ඉවත් කිරීමටද විරුද්ධ විය. ඔහු යටතේ ඉඩම් සහ පොලිස් බලතල පළාත් සභාවලට නොලැබුනි. රනිල් යටතේ එන ආණ්ඩුවකින් මේ තත්වය සහමුලින්ම වෙනස් වීමට ඉඩ ඇති බව අපේ විශ්වාසය වෙයි. එය 2001-2003 අත්දැකීම් මත එන නිගමනයකි.

රනිල් වික්‍රමසිංහ අගමැති ධූරය දරන ආණ්ඩුවකින් පහසුවෙන් බෙදුම්වාදයේ දේශපාලන සංරචකය දැනට වඩා සිය ගුණයකින් ශක්තිමත් විය හැකි බව අපේ හැගීමය. එහි පළමු පියවර 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම (ඉඩම් සහ පොලිස් බලතල පළාත් සභාවලට ලබා දීම), උතුරු සහ නැගෙනහිර පළාත්වල ආණඩුකාරවරුන් මාරු කර බෙදුම්වාදයට හිතැති පුද්ගලයන් පත් කිරීම, උතුරු සහ නැගෙනහිර පළාත් යළි ඒකාබද්ධ කිරීම, උතුරු සහ නැගෙනහිර පළාත්වලින් හමුදාව ඉවත් කිරීම වැනි දෑ විය හැකිය. ඇත්තටම මේ ඉල්ලීම් කාලයක පටන් ඉදිරිපත් වෙයි. පාර්ලිමේන්තු ක්‍රමය යටතේ එන රනිල්ගේ ආණ්ඩුවක්, විධායක ක්‍රමය යටතේ ඇති මහින්දගේ ආණ්ඩුවකට වඩා මේ ඉල්ලීම්වලට එකග වීමේ සම්භාවිතාව ඉතා වැඩිය. මෙහි ඊළග පියවර අභ්‍යන්තර ස්වයං පාලනය ඉල්ලීමයි. මේ අභ්‍යන්තර ස්වයං පාලනය අවුරුදු කිහිපයකින් ජනමත විචාරණයකින් වෙන් වීම පහසුවෙන්ම සිදුවිය හැක්කකි. චන්ද්‍රිකාගේ පැකේජයේද එවැනි යෝජනා අන්තර්ගතව තිබිණි. ඇත්තවශයෙන්ම චන්ද්‍රිකා මෛත්‍රිපාලගේ මාධ්‍ය සාකච්ඡාවේදී තම පැකේජය ගැනද කිහිපවරක්ම මතක් කිරීම බළලා මල්ලෙන් එළියට පැනීමකි (38 මිනිත්තුවේ සිට බලන්න) (මාධ්‍ය සාකච්ඡාවේදී ඇගේ එක් විවේචනයක් වූයේ මහින්ද මේවා ගැන ප්‍රමාණවත් උනන්දුවක් නොදැක්වූ බවය). එසේම පොදු අපේක්ෂකයාගේ එකගතාවය අත්සන් කරන රැස්වීමේදී චන්ද්‍රිකා කලකට පසු පොදු අපේක්ෂකයා මාර්ගයෙන් ‘සියලු ජාතීන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන එක්සත් ලංකාවක්‘ පිහිටුවන බවට ප්‍රතිඥා දුන්නාය. පොදු අපේක්ෂකයාගේ කර මතින් බිහිවන නව ආණ්ඩුව ඒකීය රාජ්‍යය වෙනුවෙන් පෙනී නොසිටින බව පැහැදිලිය.

මේ ආකාරයට පියවරෙන් පියවර වෙනම රාජ්‍ය බිහිවීම හිතලුවක් නොවන අතර නෝර්වේ මැදිහත්වීමෙන් දකුණු සුඩානයේද, එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමේන් නැගෙනහිර ටිමෝරයේදී සිදු වූයේ මේ ආකාරයට ස්වයං පාලනය සහ ජනමත විචාරණ හරහා වෙන්වීමකි. එම රාජ්‍යය ඊශ්‍රායල පන්නයේ දෙමළ ෆැසිස්ට්වාදී රාජ්‍යයක් වනු ඇති. එම නව රාජ්‍යය විසින් දේශසීමා පුළුල් කිරීම සහ ජනපදකරණය හරහා ලංකාවේ ඉතිරි ටිකත් ගිල ගැනීම හෙවත් ලංකාව දකුණු ආසියාවේ පලස්තීනය බවට පත්වීම කාලය පිළිබද ප්‍රශ්නයක් පමණි. චෙල්වනායගම්ගේ ‘දැන් ටිකක්, පසුව හුගක්‘ න්‍යාය චෙල්වනායගම්ට පමණක් අනන්‍ය වූවක් නොවේ. ඇත්ත වශයෙන්ම දෙමළ වර්ගවාදීන්ට මුලින්ම අවශ්‍ය වූයේ මධ්‍යයේ එනම් ලංකා රාජ්‍යයේ බලය ලබා ගැනීමය. ජී.ජී. පොන්නම්බලම් රාජ්‍ය මණ්ත්‍රණ සභාවේ 50ට 50 බලය ඉල්ලුවේ (මෙහිදි ඔහු කරේ සිංහල 50ක් සහ දෙමළ 50ක් ඉල්ලීම නොව දෙමළ 50ක් සහ සිංහල ඇතුළු අන් සියල්ලන්ටම 50ක් ඉල්ලීමකි) උතුරු නැගෙනහිර දෙපළාතට නොව මුළු ලංකාවටමය. චෙල්වනායගම් උතුරු නැගෙනහිර පළාත් සදහා වූ දෙමළ රාජ්‍යයක් යන ඉල්ලීමට පසු බැස්සේ සර්වජන ඡන්ද බලය ලැබිමත් සමග රාජ්‍ය මණ්ත්‍රණ සභාවේ බහුතරය සිංහල වූ පසු තව දුරටත් මධ්‍යයේ බලය ලබා ගැනීම ප්‍රායෝගික නොවන බව පැහැදිලි වූ පසුවය. යම් හෙයකින් උතුරු නැගෙනහිර දෙමළ රාජ්‍යය සාක්ෂාත් වුවහොත් දෙමළ වර්ගවාදීන් නැවතත් මුලටම යනු ඇත. බෙදුම්වාදීන් සහ වර්ගවාදීන් කප්පම්කරුවන් වැනිය. කප්පම් දීමෙන් කප්පම්කරුවන් සැනසිය හැකියැයි යමෙක් සිතන්නේ නම් ඒ මුළාවකි. එයින් සිදුවන්නේ කප්පම්කරුවන් වඩාත් ධෛර්යමත් වී වඩ වඩාත් කප්පම් ඉල්ලීම සහ ලබාගැනීම පමණය.

මෙය විය හැකි නරකම දෙය උනත් මේ සිදුවීම් පෙළ සිදුවීමට හොදටම ඉඩ ඇති බව අපේ හැගීමය. මෙතැනින් දැක්වෙන්නේ ඉන්දියාවේ ප්‍රධානම පෙළේ දේශපාලන විශ්ලේෂකයන් සහ ක්‍රමෝපායන් සැලසුම් කරන්නන්ගේ සාකච්ඡාවකි. ඔවුන්ට අනුව ඉන්දියාවේ දේශපාලන අභිලාශයන්ට මහින්ද රාජපක්ෂ බාධාවකි. ඒ චීන මැදිහත්වීම නිසාත් ඊට අමතරව ඔවුන්ට අවශ්‍ය ආකාරයට මහින්ද 13 වන සංශෝධනය හෝ ඊටත් එහා ගිය බලය බෙදීමක් ක්‍රියාත්මක නොකරන නිසාත්ය (ඔවුන් කියන්නේ මහින්ද 13 ගැන බයිලා කියමින් ඔවුන්ව අන්දන බවය. එය අපේ පැත්තෙන් බලන කල මහින්දට කළ හැකි ලොකුම ප්‍රශංසාවකි). එසේම ලංකාවේ ෆෙඩරල් ක්‍රමය ක්‍රියාත්මක කිරිමද ඔවුන්ට වැදගත් වෙයි. ඔවුන්ට අවශ්‍ය ලංකාව තුළ ඔවුන්ට පාලනය කළ හැකි මට්ටමේ ෆෙඩරල් රාජ්‍යයකි. එහෙත් එය එතනින් නතර නොවෙයි. වරක් දෙමළ ත්‍රස්තවාදීන්ට අනුග්‍රහය දක්වා තම රාජ්‍ය නායකයා අහිමි කරගත් කෞටිල්‍යලාට නොවැටහෙන කරුණ නම් එම දෙමළ ෆෙඩරල් රාජ්‍යය වෙනම දෙමළ රාජ්‍යයක් බවට පත් වීම කාලය පිළිබද ප්‍රශ්නයක් පමණක් බවය. බටහිර රටවල භූමිකාව මෙහිදී වැදගත් වෙයි. මෙහි අවසන් ප්‍රතිඵලය දීර්ඝකාලීනව ඉන්දියාවේ භෞමික අඛණ්ඩතාවයටද එමගින් තර්ජනයක් එල්ලවීමය. සන්නද්ධ කැරැල්ලකදී මෙන් නොව, ලංකා ආණ්ඩුවේ අනුමැතිය ඇතිව, බටහිර රටවල ආශිර්වාදය සහ මෙහෙයවීම මත සිදු වන බෙදුම්වාදී රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලිකයදී, ඉන්දියාවට ලංකාවේ වෙනම දෙමළ රාජ්‍යයක් බිහිවීම වැළැක්වීමට සෘජුව මැදිහත් වීමට ඇති අවකාශ අවම වෙයි.

අද එල්ටීටීඊ සංවිධානය භූමිකාවේ නැති වීම ඇත්තටම බෙදුම්වාදයේ දේශපාලන සංරචකයට වෙස්වළාගත් ආශිර්වාදයක් වෙයි. චන්ද්‍රිකාගේ පැකේජය හෝ රනිල්ගේ සාම ගිවිසුම් කාලයේ දුන් යෝජනා එල්ටිටීඊය පිළිගත්තානම් අද ඊළම බිහිවී හමාරය. එහෙත් ෆැසිස්ට්වාදි දැඩි මතධාරී සංවිධානයක් වූ එල්ටිටීඊයට අවශ්‍ය වූයේ සටන් කිරීමෙන්ම ඊළම දිනා ගැනීමටය. ඔවුන් සාකච්ඡා යොදා ගත්තේ තම යුධ ව්‍යාපාරයට අරමුදල්, පිරිස් සහ සම්පත් රැස් කිරීමට අවකාශය සහ කාලය ලබා ගැනීමට පමණි. එහෙත් ඔවුන්ට අනුරූපික සුඩාන සහ ටිමෝර බෙදුම්වාදී කණ්ඩායම් බටහිරයන්ගේ සැලසුමට එකග වී පියවරෙන් පියවර ගොස් වෙනම රාජ්‍යයක් දිනා ගත්හ. අද සිටින දෙමළ බෙදුම්වාදී දේශපාලකයන්ද එවැනි ක්‍රම ක්‍රමයෙන් වෙනම රාජ්‍යයක් දිනා ගැනීමට එක පයින් කැමති වෙති. එයට අකුල්හෙලිමට එල්ටීටීඊයක් නොමැති වීම ඔවුන්ට අමතර වාසියක් වෙයි. මෙහිදී මහින්ද ආණ්ඩුව කළ වරද නම් යුධ ජයග්‍රහණය මාකට් කරමින් ඡන්ද ගරමින් බෙදුම්වාදයේ දේශපාලන සංරචකය අමතක කිරීමය. යුධ ජයග්‍රහණයෙන් දෑස් නිලංකාර වූ මහාජනතාවද බෙදුම්වාදයේ දේශපාලන සංරචකය නොතකා හැරි අතර ටික කලකින් යුධ ජයග්‍රහණයද ඔවුන්ට අමතක විය.

අප හිතවත් ආචාර්ය නිර්මාල් රංජිත් සිය ෆේස්බුක් සටහනක දැක්වූ ආකාරයට (ලංකාවේ දේශපාලන ප්‍රධාන ධාරාව තුළ සිංහල-බෞද්ධ ජාතිකවාදයේ මධුසමය තීරණාත්මක ලෙස අවසන් වී ඇත. එහෙත් දෘෂ්ටිවාදයක් ලෙස එහි ශක්තිය දුර්වල වී නැත. එමනිසා යලි දේශපාලන පුනරාගමනයකට හැකියාව ඇත. ඒ නිසා මේ තත්වය නිවැරදිව තක්සේරුකර අපතේ නොයැවීමට කටයුතු කිරීම අවශ්‍ය වේ. - නිර්මාල් දේවසිරි - 27-11-2014) මේ ඡන්දය සිංහල බෞද්ධ ජාතිකවාදී බලවේගයේ දේශපාලන බලය වළලා දැමිය හැකි ඡන්දයකි. ඔහු පොදු අපේක්ෂක ව්‍යාපාරයේ මාධ්‍ය ප්‍රකාශකයා ලෙස කටයුතු කළ අයෙකි. යහපාලන සහ ප්‍රජාතන්ත්‍රවාදී කතා මේ බව වසා ගැනීමට ඇටවූ බොරු බයිලා පමණක් වෙයි. මේ ඡන්දයේද තීරක කාරණය වන්නේ ඒකීය රාජ්‍යයද නැද්ද යන්නය. එහෙත් එය තේරුම් ගැනීම අපහසු වන්නේ විජාතික බලවේග ජාතික සළුපිළි අැදගෙන ඉදිරිපත් විම නිසාය. නිර්මාල් මෙසේ කියන විට, චන්ද්‍රිකා එක්සත් ලංකාවක් ගැන කතා කරන විට, චම්පික මේ ඡන්දය ‘යහපාලනය ගැන ඡන්දයක් මිස ඒකීය හෝ ෆෙඩරල් භාවය පිළිබද ඡන්දයක් නොවේය‘ කියමින් සිංහලයන්ගේ ඇස්වලට වැලි ගසයි. කොහොමත් රනිල්ගේ ආණ්ඩුවකට සහය ගැනීමට නම් කුඩුකාරයන්ට සහ එතනෝල් කාරයන්ට ඇමති පට්ටම් සහ/හෝ මුදල් දීමට සිදුවෙයි. පොදු අපේක්ෂකයාගේ එකගතාවයේ ඇමති මණ්ඩල සීමාව හැලී අත්තේ සභාග ආණ්ඩුවකට මන්ත්‍රීරුන් බාගැනීමටනම් යළිත් වරක් ජම්බෝ කැබිනට්ටුවක් අවශ්‍ය වන හෙයිනි. චම්පිකම කියන ආකාරයට මහින්දටද ඒ ආණ්ඩුවට එකතු විය හැකිය. එවිට චම්පික සතුව ඇති මහින්දගේ ෆයිල් 1000ට සිදු වන්නේ කුමක්ද? එවිට මහින්දගේ ෆයිල් ටික සමග යහපාලනයද අමතක කර දැමීමට චම්පිකට සිදු වනු ඇත.

මේ අවදානම් සහගත තත්වය උදා වීමට ප්‍රධානම වගකිවයුතු පාර්ශව කීපයක් වෙයි. ඉන් ප්‍රධානම පාර්ශවය නම් අන් කවරෙකුවත් නොව මහින්ද රාජපක්ෂමය. ඔහු පහුගිය අවුරුදු 5 තුළ ගෙන ගිය පාලනය ලංකා ඉතිහාසයේ වඩාත්ම දූෂිත මෙන්ම ඥාති සංග්‍රහයෙන් අනූන පාලනයකි. එසේම කුඩු, එතනෝල්, කැසිනෝ ආදී දුරාචාරවලට උපරිම අනුග්‍රහ දැක්වූ පාලනයකි. නීතිය සම්පූර්ණයෙන්ම බිද වැට්ටවූ පාලනයකි. ඔහුගේ ආණ්ඩුවේ ආර්ථික ක්‍රමය කොමිස් අාර්ථික ක්‍රමයකි. සංවර්ධන ආකෘතිය කොමිස් සංවර්ධනයකි. ඔහුගේ සංවර්ධනයෙන් පොදු ජනතාවට වූ සෙතක් නැත. සිදුවූයේ ණය බර සහ ජීවන බර තව තවත් වැඩිවීමය. යුධ ජයග්‍රහණයෙන් ලත් ජනප්‍රියතාව ඔහු වේගයෙන් අහිමි කරගත්තේය. ඔහුගේ අසීමිත පවුල්වාදය නිසා ශ්‍රිලනිපය ජ්‍යෙෂ්ඨයන් ඔහු හැර ගියහ. ශ්‍රිලනිපය දෙකඩ විය. එයින් වාසිය අත්වූයේ බෙදුම්වාදීන්ටය. ඔහු යුධ අපරාධ චෝදනා ඡන්ද ගරා ගැනීමට හිගන්නාගේ තුවාලයක් කරගත්තේය. පහුගිය කාලයේ විදේශ සේවයේ සිදු වූ ක්‍රමානුකූල බිඳ වැට්ටවීිම මේ අනුව තේරුම් ගත හැකිය. එහෙත් සමහර අවස්ථාවල හිගන්නාගේ තුවාලයෙන් හිගන්නාම මරණයට පත් විය හැකිය. දැන් උදා වි ඇත්තේ එබඳු තත්වයකි. එහෙත් ඔහුගේ එකම එක හොඳක් ඇත. ඒ බෙදුම්වාදයට ඉඩ නොතැබීමය. ඔහුගේ ඇති එකම හොඳ එයයැයි සිතමි. එහෙත් ඒ හොඳ ඉතා වැදගත් වෙයි. අප දකින ආකාරයට වඩාත්ම වැදගත් වන්නේ එයයි. මන්ද ලංකා රාජ්‍යයේ අනාගත පැවැත්ම ඒ මත තීරණය වන හෙයිනි. දුෂණය හෝ නීතිය බිද වැටීම මෙන් නොව ඒකීය රාජ්‍ය සමග කරන සෙල්ලමෙන් ආපසු හැරවිය නොහැකි සදාකාලික හානියක් සිදුවෙයි. ලංකා රාජ්‍යයේ පැවැත්මම අභියෝගයට ලක් වෙයි. මොනවා කරන්ඩත් රටක් තිබිය යුතුය. එහෙත් බොහෝ දෙනාට තම ඡන්දය ප්‍රකාශ කිරීමේදී ඒකීය රාජ්‍යය හැරෙන්නට අනිකුත් කාරණාද වැදගත් වෙයි. සමහර විට කවුරුන් බලයට පත්වුවත් ඒකීය රාජ්‍යයේ පැවැත්ම ගැන අර්බුදයක් අනාගතයේ ඇති වන්නට ඉඩක් නැතැයි ඔවුන් සිතීමටද ඉඩ ඇත. එහෙත් ඒ එසේ නොවන බව අපේ අදහසය.

පොදු විපක්ෂය බලයට පත්වුවත් මේ දුර්වලකම්වල ලොකු වෙනසක් වේයැයි අපි නොසිතමු. ඩඩිලි සිරිසේන අනාගත බැසිල් රාජපක්ෂ කෙනෙක් වීමේ ලකුණු පෙන්වා ඇත. එසේම ආණ්ඩුවක් පිහිටුවිමට නම් මේ ඉන්න කැසිනෝ සහ කුඩු කාරයන් පිරිසම මුදල් හෝ ඇමතිකං පෙන්වා (සමහර විට මහින්ද ගාව තිබු ෆයිල්ම මේ අය බා ගැනීමට පාවිච්චි කිරීමට බැරි නැත. මේ නම් පශ්චාත් නූතන යහපාලනයකි!) මේ පැත්තට ගැනීමට සිදුවෙයි. එවැනි තත්වයක යහපාලනය විහිලුවක් වෙයි. 2016 අප්‍රේල් වන විට වත්මන් පාර්ලිමේන්තුවේ නිලකාලය අවසන් වුවත් පොදු විපක්ෂයේ එකගතාවයට අනුව අවම වශයෙන් (උපරිම සීමාවක් දක්වා නැත) අවුරුදු 2ක් රනිල්ගේ සභාග ආණ්ඩුව පවතිනු ඇත. එනම් කුමන හෝ ගේමක් ගසා පාර්ලිමේන්තු ඡන්දය කල් දමා ගැනිමක් අපට බලාපොරොත්තු විය හැකිය. මේ ක්‍රියාදාමයේ අවසන් ප්‍රතිඵලය ලංකා ඉතිහාසයේ ලොකුම දේශපාලන පරාජිතයා කිසිදු ජනවරමක් නැතිව ලංකාවේ අනාගතය තීරණය කරන චරිතය බවට පත් වීමය. මහාජනතාව ඡන්දයෙන් පත් කළ ආණ්ඩුව සහ විධායක ජනාධිපතිවරයා වෙනුවට වෙනත් පිරිසක් රට පාලනය කිරීමය. මෙහි ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් නම් නැත. මෙය සිදුවුවහොත් ඇත්තටම එය ලංකා ඉතිහාසයේ ලොකුම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව වනු ඇත.
මේ තත්වයට වගකිව යුතු අනිත් පාර්ශවය නම් ජාතික බලවේගවලම න්‍යායාචාර්යවරුය. විශේෂයෙන්ම ආචාර්ය නලින් ද සිල්වා පහුගිය කාලයේ මහින්ද රාජපක්ෂට කොන්දේසි විරහිත සහයක් දැක්වීය. වඩා විවේචනාත්මක සහයක් දුන්නේනම් මහින්ද ඊට අනුව තම පිස්සු කෙළීම ටිකක් හෝ අඩු කරගැනීමට ඉඩ තිබු බව අපේ හැගීමය. නමුත් සිදුවූයේ පනින රිලවුන්ට ඉණිමක් බදින්නාක් වැනි වැඩකි. මේ තත්වය විශේෂයෙන්ම මතු වූයේ රාජපක්ෂ ආණ්ඩුවේම කොටසක් මෙහෙයවිමෙන් සහ ආශිර්වාදයෙන් රට පුරා ක්‍රියාත්මක කෙරුණු මුස්ලිම් විරෝධී වැඩපිළිවලත් සමගය (මෙයට ආණ්ඩුවේම සමහර ඇමතිවරු පවා එදා විරුද්ධ වූහ). අලුග්තම ප්‍රහාරය එහි කූටප්‍රාප්තිය විය. ආචාර්ය නලින් ද සිල්වා මේ ක්‍රියාදාමය සාධාරණීකරණය කළ අතර එය වැරදි බව අපි එදා මෙන්ම අදද කියමු. එයින් රට තුළ වර්ගවාදයක් වර්ධනය වී රට අස්ථාවර විය. මුස්ලිම් ජනතාවද බෙදුම්වාදය සහ අන්තවාදය දෙසට වඩාත් තල්ලු විය. එදා මහින්දව මුස්ලිමුන්ට විරුද්ධව උසි ගැන්වූ හෙළ උරුමය මෙන්ම 2010දී මහින්ද සමග සිටි මුස්ලිම් ජනතාවද අද මහින්ද හැර දමා ඇත. තමන් රැවටුනු බව තේරෙන විට රාජපක්ෂවරු ප්‍රමාද වැඩිය. දැන් නැවත තම සුවච කීකරු බොදු බල සේනාව ලවා වෙනත් වටයකින් ප්‍රචාරණය අරඹා ඇත. බොබසේනාව දැන් මුස්ලිම් විරෝධය අමතක කර දමා බෙදුම්වාදයට විරුද්ධ ස්ථාවරයකට යාම අහඹුවක් නොවේ. එහෙත් දැන් ප්‍රමාද වැඩිය. ගුණදාස අමරසේකර මහතා ආණ්ඩුවට විවේචනාත්මක සහයක් දුන් නමුත් ඔහුට ප්‍රමාණවත් ඉඩක් මාධ්‍යවලින් නොලැබුනි. පොදුවේ ජාතික බලවේග මහින්දකරණය විම මේ තත්වය නිර්මාණය වීමට ප්‍රධාන හේතුවක් වූ බව අපි සිතමු.

විමල් වීරවංශ වැනි ජාතික බලවේග නියෝජනය කරනවාය කියන දේශපාලකයන්ද මහින්දගේ අත්තනෝමතික වැඩපිළිවල වෙනස් කිරීමට කිසිදු ආකාරයට ප්‍රමාණවත් පීඩනයක් හෝ ප්‍රතිරෝධයක් දුන්නේ නැත. බොහෝ විට අපි විමල් වීරවංශගෙන් දැක්කේ අවංක පීඩනයක් රාජපක්ෂ ආණ්ඩුවට එල්ල කිරීමට වඩා තිර රචනයකට අනුව කරන බොරු රගපෑමක්යැයි සිතිය හැකි තත්වයකි. මේවාට රැවටීමට තරම් මහාජනතාව මෝඩ නැත. ජාතිකවාදීය කියාගන්නා හෙළ උරුමයට මහින්දගේ වැරදි මතක් වූයේ ජනාධිපතිවරණය කිට්ටු වූ පසුවය. ඒ වන විටත් ඔවුන් සිටියේ පොදු අපේක්ෂකයා සමගය. 18වන සංශෝධනය හරහා ඒකාධිපතිත්වයක් නිර්මාණය කර රාජ්‍යය අසමතුලිත කර අස්ථාවර කිරීමට මේ සියලු පාර්ශව එදා මතවාදීව සහ දේශපාලනිකව සහය දුන්හ.

දැන් තිබෙන ප්‍රශ්නය මේ තත්වය උඩ ජාතික බලවේග කුමක් කළ යුතුද යන්නය. ජාතික බලවේගවලට ඇති එක් විකල්පයක් නම් ජාතික බලවේග කඩේ යවන, ඒ ජාතික බලවේග සතුටු කිරීම පිණිසම බෙදුම්වාදයට ඉඩ නොදෙන මහින්දව දිගටම තබා ගැනීමය. අනෙක් විකල්පය නම් ජාතික සළුපිළි පැළදගෙන එන සෘජු විජාතික බලවේග බලයට පත් කිරීමය. මේ ගැන තීරණයක් ගැනීම ඔබටම බාර කරමි. මහින්ද බලයට පත් වුවත් ඔහුගේ බලය අඩුවනු ඇති බව මගේ හැගීමයි. මන්ද ශ්‍රිලනිපය දෙකඩ වූ තත්වයක් තුළ පාර්ලිමේන්තුව තුළ තමාට සහය පවත්වාගැනීමටත් දෝෂාභියෝග අනතුර අවම කිරීමටත් පෙර තරම්ම අත්තනෝමතික පාලනයට යාමට ඔහු පසුබට වනු ඇත. රාජපක්ෂ ආණ්ඩුවකට වඩා ශ්‍රිලනිප ආණ්ඩුවකට වැඩි අවස්ථාවක් දීමට අකමැත්තෙන් වුවද ඔහුට සිදුවනු ඇත. එය රටට හිතකරය. කෙසේ වෙතත් ජාතික බලවේගවල දිගු කාලින න්‍යායපත්‍රය විය යුත්තේ පුද්ගල චරිත වන්දනාවේ ගොස් ඇණ ගැනීමට වඩා ඒකීය රාජ්‍යය නොබිදිය හැකි ලෙස තහවුරු කරන ව්‍යවස්ථාවක් සහ නීති ක්‍රමයක්, ජාතික ආර්ථිකයක් සහ සදාචාරවත් සමාජයක් බිහිකරගැනීමය. ඒ සදහා වන මතවාදී සහ දේශපාලනික ක්‍රියාවලියක් ඇරඹිමය. වඩා ප්‍රධාන විය යුත්තේ මතවාදය මිස පුද්ගලයන් නොවේ. අපට අවශ්‍ය ජාතික මතවාදයක් පසුපස පුද්ගල චරිත මෙහෙයවන ජාතික ව්‍යාපාරයක් මිස මතවාදය ‘බැක්පැක්‘ එකක දමාගෙන පුද්ගල චරිත පසුපස අන්ධ භක්තියෙන් (කඩේ) යන ජාතික ව්‍යාපාරයක් නොවේ. මේ අවුල ඇතිවීමට ප්‍රධාන හේතුවද එයමය. ඔබට යමක් විශ්වාස කිරීමට අවශ්‍ය නම් විශ්වාස කළ යුත්තේ පුද්ගලයන් නොව මතවාදයන්ය.

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)

https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. අඬන්න එපා මචෝ. කොච්චර ඇඬුවත් මේ ආණ්ඩුව වැටෙන්නේ නෑ. 2017 වෙනකොට මරායි උගේ පවුලේ එවුනුයි සාධාරණ නඩු විභාගයකින් පස්සේ හිරේ යනවා.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions