12/09/2015

ඇවා-ගාර්ඩ් විපක්ෂය, පාර්ලිමේන්තු විපක්ෂය හා ජාතික ආරක්ෂාව

කතෘ:යුතුකම     12/09/2015   No comments


සරල හෝ ගැඹුරු හෝ වේවා, මේ සමාජ සංවේදී තලයේ දී ඇන්ටන් පවිලොවිච් චෙකොෆ් ගැන අසා ඇත්තෙකු නැත්නම් එය අභාග්‍යයකි. ඒ ආකාරයටම අද දවසේ මෙ සිරිලක දේශපාලන කතිකාවේ දී නිශ්ශංක සේනාධිපති නම් පුද්ගලයා ගැන අසා නැති කෙනෙක් ඇත්නම් දේශපාලන කතාබහකට තබා, ඉදිරි මැතිවරණයකදී ඡන්දය පාවිච්චි කිරීමටවත් හවුල් කර ගැනීමට නුසුදුස්සෙක් වෙයි.

නිශ්ශංක සේනාධිපති මට තවම හමු වී නැත. සජීවීව දැකලාවත් නැත. දැක්කොත් මට මුලින්ම අහන්නට පැනයක් ඇත. “ඇවා-ගාඩ්” හෙවත් බොහෝ දෙනා වහරන පරිදි “ඇවන්ට් ගාර්ඩ් යනුවෙන් ඔබ ඔබගේ ආරක්ෂක සේවය නම් කළේ ඇයි ?” යන්න එම ප්‍රශ්නයයි. එහි සම්පූර්ණ හැඳින්වීම “AVANT-GARDE SECURITY SERVICES [PVT] LTD” යන්නයි.

නිශ්ශංක සේනාධිපති නම් මහත්මයා මට වඩා වසර කිහිපයකින් වැඩිමහලු ය. ඔහු ඉපැදී ඇත්තේ 1963 වසරේ ය. එහෙත් ඔහු අප මෙන්ම මේ රට විනාශය කරා ගිය ගමන් මගෙහි පුරෝගාමින්ගේ ආණ්ඩු හොඳින්ම දැක ඇත. ඒවායේ රස ගුණ අපට මෙන්ම ඔහුටද දැනී ඇත. ඒ නිසාම ඔහු පුරෝගාමී මෙහෙවරක නිරතවෙමින් 4500කට අධික පිරිසකට ගෞරවාන්විතව රැකියාවක නිරතවන්නට ආයතනයක් බිහිකළා වන්නට පුළුවන. ඒ මගින් අවම වශයෙන් දරු පවුල් 4500ක් වත් යැපෙන්නට ඇත. ඒ ඇසුරෙහි කුසගිනි නිවාගත් බාල, තරුණ, වැඩිහිටි, මහලු පිරිස අඩුම තරමින් 25000ක් පමණ වන්නට බැරි නැත. උපරිමය කිව නොහැක. මා වෙනත් අයට “මහත්තයා” කීවත් ඔහුට “මහත්මයෙක්” යන්න භාවිත කළේ මේ සද්භාවය හේතුකොට ගෙන ය. බෞද්ධයින් වෙසෙන බව කියන රටේ උපතින් බෞද්ධයෙක් බව කියන මටත් කිව හැක්කේ නිශ්ශංක සේනාධිපති මහත්මයා මතු උපදින ආත්ම ගණනාවකට පින් රැස් කරගත් අයෙකු බව ය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රාජ්‍ය සේවය ලක්ෂ 12ක් තරමට ඉහළ නංවා, උපාධිධාරීන්ට රැකියා දොරටු විවර කොට ලබාගත් පින කුණු මුල්ලට දැමීමට, සිරිසේන නම් මෛත්‍රී උපාසක තෙමේ බලවත් වූවාට, නිශ්ශංක නම් සේනාධිපතියා තමාගේ පින එසේ වන්නට ඉඩ නොදෙන බව කරන කියන ප්‍රකාශ හමුවේ පෙණෙන්නට තිබේ.

සද්භාවය කෙසේ වෙතත්, සිරි ලංකාවේ හදන නීතිවලට හා හැදෙන නීතිවලට පින වලංගු නැත. ඒ සියල්ලටම වඩා “ඩීල් දේශපාලනයට” අණක් ගුණක් ඇත්තේම නැත.

ඇවා-ගාඩ් කතා බහ හා හා පුරා කියා කරළියට ගෙන ආවේ වත්මනෙහි සිරිසේන ජනාධිපතිගේ උපදේශක නීතීඥ ශිරාල් ලක්තිලක ය. ශිරාල් ලක්තිලක මේ ආකාරයටම විශේෂ කාර්යයන් කිහිපයකට අත් පොත් තැබූවෙකි. රාජපක්ෂ පාලන සමයේ ඛණිජ තෙල් නිෂ්පාදනයට අදාළව “හෙජින්” ගනු දෙනුව අධිකරණයට දක්කාගෙන ගියේ ද ඔහු ඇතුළු කණ්ඩායමකි. එහි සහායකයා වූ නීතීඥ රවී ජයවර්ධන දැන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ය. හෙජින් දුර දිග ගියා සේම, ඇවා ගාර්ඩ් ද දැන් දුර ගමනක් විත් ය. මෙහි විශේෂත්වය නම්, ඇවා ගාඩ් යෂ්ටිය අතින් අත මාරු වී දැන් ඇත්තේ රාජිත සේනාරත්න අත වීම ය.

ඇවා-ගාඩ් හරි අපූරු දේ බිහි කරන්නට සමත් වූ මාතෘකාවකි. වෙල් විදානේ ලා, වික්ටරි සර්වන්ට් ලා, පමණක් නොව පරාජිත සේනාරත්නලා ද මේ හරහා රටට හඳුන්වා දී ඇත. ඇතැමෙකුට හාස්‍යයට කරුණක් වුව ද ඒ වදන් තුළ ගැඹුරක් ඇත. “හෙළ ගැඹුරු වන්නේ හෙළට බසින්නාට මිස ගොඩ සිටින්නාට නොවේ” ය. “අසුචි අමා වන්නේ ඉහඳ පණුවන්ට මිස ඇස් කන් නාසා ඇති මිනිසුන්ට නොවේ” ය. ඇමතිකම් අහිමි වීම්, අවලාද නැගීම් හා අවලාද ඇසීමේ සිට මේ දක්වා ඇවිස්සෙන්නට තරම් ඇවා-ගාඩ් කුණු ගොඩක්මත් නොවන බව සනාථ වී ඇත. මුලින් මුලින් දැණුනා සේ ඇවා-ගාඩ් යනු කියන තරම් කලු යකෙක් ද නොවේ ය. කලු කෙසේ වෙතත් යකෙකුත් නොවන බවනම් දැන් පැහැදිලි වෙමින් තිබේ.

ඇවා-ගාඩ් කතා බහ උච්ච අවස්ථාවට පැමිණි විට නිශ්ශංක සේනාධිපති මහත්මයා පවත්වන්නට සූදානම් කළ මාධ්‍ය හමුව අත්හිටුවීමට රජයේ පාර්ශවය සමත් වුව ද දැන් දැන් නිශ්ශංක සේනාධිපති පුවත් මවන්නෙක් බවට ද පත්ව සිටී. එපමණක් නොව ඔහු එන්නට කියනාතුරු නො සිට, ඔහු හමුවට ගොස් මාධ්‍ය සාකච්ඡා කරන තරමට ඇවා-ගාඩ් නිමැවුම්කරු ප්‍රබල මාතෘකාවක් වී ඇත. හෙට සිට ඔහුගේ වොයිස් කට් එකක් රූපවාහිනී පුවත් තුළින් දකින්නට ඇතිනම් යන සිතිවිල්ල මේ ලියුම්කරු තුළ ද මතු වි ඇත. ඒ තරමට පච රණවකලාගේ, හාබර්තුංගලාගේ හා පරාජිතලාගේ පැටිකිරිය දැන ගැනීමේ ජුගුප්සාවක් සමාජයට කාන්දු වී ඇත.
මේ තුල සැඟවුණු රහස් කොපමණ ඇද්දැයි ද කෙනෙකුට සිතෙන්නට පුළුවන. ලංකාවේ වත්මන් දේශපාලන පිටිය යනු ඩීල් ලෝකයක් දෝ යන පැනය නිතැතින්ම නැගෙනු ඇත. මෙකී නොකී කතා බෙහොමයක් හමුවේ රටේ ජාතික ආරක්ෂාවට ද තර්ජන එල්ලවිය හැකි පසුබිමක් නිර්මාණය වන්නට ද පුළුවන. එසේ වන්නේ ශ්‍රී ලංකාවේ මේ ඇවා-ගාඩ් යනු රට අභ්‍යන්තරයේ ආරක්ෂක ප්‍රශ්නයක් නොවන නිසා ය. ඉන් ආරක්ෂා විමට තැත් දැරූවන්ට දැන් සියල්ල මනාව හෙළි කරගන්නට හැකියාව ලැබී ඇත. මේ හරහා සහ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් වෙනත් තිරණ හමුවේද ජාතික ආරක්ෂාවට යම් පලුද්දක් ඇති වන්නට ඇත.

කෙසේ වෙතත්, ඇවා-ගාඩ් යන වචනයේ පාරිභාෂිකයට අනුවම එය පුරෝගාමී මෙහෙවරක නිරත වී ඇත. ඇවා-ගාඩ් යන නම තම ආරක්ෂක සේවයට යෙදුවේ ඇයිද යන පැනය මා විසින් නිශ්ශංක සේනාධිපති මහත්මයාගෙන් අසන බව කිවේ මේ හේතුව නිසා ය. “නව මං සොයන පුරෝගාමියෝ” යන්න එහි පාරිභාෂික අරුත ය. කලාවට සහ සාහිත්‍යයට එය වඩාත්ම උචිත ය. වෙලේ විදානේ, වික්ටරි සර්වන්ට්, ප-රාජිත වැනි යෙදුම් නව ආරකින් වහරන විට මේ බව යම් පමණකට සනාත වෙයි. යහ පාලනයටත් නව අරුතක් එක් කරන්නට මේ මගින් හැකියාව උදා වන්නේ නම් එය කෙතරම් වටී ද ?

මේ සියල්ල යට ඇත්තේ දේශපාලනයයි. ඇවා ගාඩ් ද දේශපාලනික ය. තර්කයකින් තොරවම ඇවා ගාඩ් තේමාව ම බැර වන්නේ විපක්ෂයට ය. එහෙත් පුදුමය නම් ඉන් දැන් ක්‍රීඩා කරන්නේ ආණ්ඩු පක්ෂයයි. මේ මොහොතේ එකම ප්‍රතිවාදියා නිශ්ශංක සේනාධිපති ය. ඔහු බිම දැමීම හරහා ඊළග ඉලක්කය ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා ය. ඉන් බිඳ වට්ටන්නට බලාපොරොත්තු වන්නේ වතමන් විපක්ෂයේ භූමිකාව ය. ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවීමක් කළ ගෝඨා හෙළීමේ දී තවත් පැති ගණනාවකට පහර වදිනු ඇත. සැබැවින්ම මේ වගක් විපක්ෂයට දැණෙන බවක්වත් නැත. ඒ තුළ ඇත්තේ කුහක වතය. රටට ආදරය කරනවුන් තේරුම් ගත යුත්තේ මෙයයි. අධිරාජ්‍යවාදීන්ට කත් අදිනු ලබන විජාතික රූකඩ මෙහෙය වෙන්නේ ඒ දෙසට ය.

දැන් ඇවා-ගාඩ් විපක්ෂයේ පළිහ තනි අතට ගෙන ප-රාජිතලාගේ කඩු පහරට තනිව මුහුණ දෙන්නේ නිශ්ශංක සේනාධිපති ය. මේ අර්ථයෙන් ගත් විට ඔහු සැබෑ සේනාධිපතියෙකි. ප-රාජිත සේනාරත්න කප්පම්කාරයෙක් යැයි කිමට ඔහු බිය නැත. අනෙක් අයට ද එසේ මය. වෙලේ විදානේ ගේ පැටිකිරියම දිග හරින්නට ඔහු බිය නැත.

ප්‍රශ්නය නම්, වත්මන් සැබෑ විපක්ෂය කුමක් ද ? යන්නයි. “නිශ්ශංක සේනාධිපතිට ඇති කොඳු නාරටිය තරම් ශක්තිසම්පන්න කොන්දක් ඇති එකෙක් වත්මන් විපක්ෂයෙන් සොයා ගත හැකි නම්....” යන සිතිවිල්ල මේ මොහොතේ නොනැඟෙන්නේ ද ?

සාහිත බිම ශක්ති සම්පන්න වු ඇන්ටන් පවිලොවිච් චෙකොෆ් තරමටම, වත්මන් සිරි ලංකා දේශපාලන බිම නිශ්ශංක සේනාධිපති ශක්තිමත් ය. සැබැවින්ම පණ්ඩක ආණ්ඩුවට වඩා ශක්තිමත් ය. විපක්ෂයේ දෙපිටකාට්ටුවන්ට වඩා ශක්තිමත් ය.

ඇන්ටන් චෙකොෆ් ගැන ලියැවුණු තැනක මෙසේ වෙයි.

“චෙකොෆ් ලංකාවේ ඔරියන්ටල් හෝටලයේ නතරව සිටියදී ‘ගුසෙව්’ (Goussiev) නම් නව කතාව ලිවීම ඇරඹී ය. ඊට ඔහු පෙළඹ වූයේ ඔහු එන විට නැවේදී දුටු දසුනකි. සිංගප්පූරුව සමීපයේදී නැවේම මිය ගිය රෝගී මගීන් දෙදෙනෙක් ගේ මළ සිරුරු මුහුදට වීසි කරන ලදී. ‘රුවල් රෙදි කඩකින් ඔතනු ලැබූ මළ සිරුරු මුහුදට වැටෙනු බලා සිටින කෙනෙකුට ඇති වන්නේ කෙබඳු හැගීමක් ද ? පිනුම් ගසන්නාක් මෙන් මුහුදට වැටෙන මෙම මළ කඳන් පිළිගනු ලබන්නේ මුහුදු පත්ලේ අතිශයින් ගැඹුරු වූ තැනකි. අපත් මැරෙන බව ද අනතුරුව මුහුදට වීසි කරනු ලබන බවද අහේතුකව අපේ හිත්වලට දැනේ යැ’ යි චෙකොෆ් ලිවී ය.මේ හැඟීම ‘ගුසෙව්’ ලිවීමට ද ඔහුට බලපෑවේ ය.”
චෙකොෆ්ට දැණුනු ඒ හැඟීම යුගයුග අගයවත් කෘතියකට පාදක වීය. අද වනවිට මේ දේශපාලන සූදුවේ සිටින කිසිවෙකුත් චෙකොෆ්ට දැණුනු ඒ හැඟීමෙන් පෙළනු ඇද්ද? කාට නැතත් විපක්ෂය යැයි කියා ගන්නන්ට නම් දැණී ඇතිවාට සැක නැත. මුඛවාඩම් ඒ නිසා ය. අව් කණ්ණාඩි ඒ නිසා ය. ඒ මුවාවීමකට වඩා මරණයට ඇති බිය නිසා ය.


- ජනිත් විපුලගුණ -

2015 දෙසැම්බර් 09
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com