12/01/2015

රටේ ආර්ථික දත්ත කොල්ල කෑමට ඉඩ දිය යුතුද?

කතෘ:යුතුකම     12/01/2015   No comments

ආර්ථික දත්ත ඩිජිටල්කරණය සඳහා මිලියන 10,000ක් මෙවර අය වැයෙන් වෙන් කෙරී ඇත. රටේ දීර්ඝ කාලීන තාක්‍ෂණික සංවර්ධනය සඳහා ආයෝජනය කිරීම සුභදායකය. නමුත් ඊනියා සංවර්ධන කටයුතු හරහා රටේ ආර්ථිකයත් රාජ්‍ය බලයත් විදේශ බලවේගයන්ගේ අවශ්‍යතාවන්ට අනුව නොහැසිරවීමට වග බලා ගැනීම රජයේ යුතුකමය.

අය වැය කථාවේ 192 සහ 193 ඡේද වල මෙසේ සඳහන් වෙයි.

192. ගරු කථානායක තුමනි, රජය, විවෘත රාජ්‍ය සහභාගීත්වය (Open Government Partnership) සඳහා කැපවී සිටිනවා. ජාතික දත්ත තලය (national data platform) ක්‍රියාත්මක කිරීම මඟින් ශ්‍රී ලංකාවට විවෘත රාජ්‍ය සහභාගිත්වයෙහි අවශ්‍යතා සම්පූර්ණ කිරීමට තවදුරටත් සහායක් ලැබෙනු ඇත.

193. උසස් ඩිජිටල්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 10,000 ක ප්‍රතිපාදනයක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. (ඉංග්‍රීසි පිටපතෙහි උසස් ඩිජිටල්කරණය නෙුවට ඇත්තේ advanced digitization of economy කියාය. ඩිජිටල්කරණයට හසුවන්නේ ආර්ථික දත්ත බව සිංහල පිටපතෙහි සඳහන් නොවන්නේ මක් නිසාදැයි කිව හැක්කේ මුදල් අමාත්‍යවරයාටය.)

අයවැයෙන් ඒ ඒ විශයන් සඳහා වෙන් කෙරෙන මුදල් සලකා බැලූවිට රුපියල් මිලියන 10,000 ක් යනු විශාල මුදලකි. උදාහරණයක් වශයෙන් මෙගා පොලිස් ව්‍යාපෘතියටත්, පුබුදමු පොළොන්නරුව ව්‍යාපෘතියටත්, මුළු රටේම ප්‍රාථමික පාසල් නවීකරණය කිරීම සඳහාත් වෙන වෙනම යෝජනාවී ඇත්තේ ඒ හා සමාන ප්‍රතිපාදනය. නමුත් මෙහිදී වැදගත් ප්‍රශ්ණය ප්‍රතිපාදනයේ විශාලත්වය නොව රජය ඒ මුදලින් කරන්නේ කුමක්ද යන්නත් කරන්නේ කාගේ උවමණාවටද යන්නත්ය.

විවෘත රාජ්‍ය සහභාගීත්වය (OGP) යනු රාජ්‍යය විනිවිද භාවය වෙනුවෙන් ක්‍රියාකාරී වනවා යැයි ප්‍රකාශ කර සිටින ජාත්‍යන්තර සංවිධානයකි. OGP හි සාමාජිකයෝ බහුතරයක් බටහිර රටවල් හා බටහිර ආණ්ඩුවල බලපෑමට ලක්වන රටවල්ය. OGPහි එකම දකුණු ආසියාතික සාමාජිකයා ශ්‍රී ලංකාවය. ශ්‍රී ලංකාවට එහි සාමාජිකත්වයක් ලැබුනේ විජේදාස රාජපක්‍ෂ මහතාගේ ඉල්ලීමකට අනුව මේ වසරේ ඔක්තෝබර් මාසයේය.

ප්‍රධාන වශයෙන් OGP සංවිධානයට මුල්‍යාධාර සපයන්නේ බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකානු රජයන්ය. එහි ප්‍රඥාප්තියට අනුව ඊනියා විනිවිද භාවයක් උදෙසා රජයන්ට බල කිරීමත් ඒ වෙනුවෙන් ක්‍රියාකාරි වෙන සිවිල් සංවිධාන වලට ආධාර කිරීමත් මේ සංවිධානයේ වගකීම ලෙස සැලකෙයි. OGP සමඟ අත්වැල් බැඳගෙන සිටින ලංකාවේ ක්‍රියාත්මක වන සිවිල් සංවිධානය කුප්‍රකට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැශනල් සංවිධානයයි. එයද යැපෙන්නේ බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකාව ඇතුළු බටහිර ආණ්ඩු කිහිපයක ආධාර මතය. ඊනියා විනිවිදභාවයක් උදෙසා රජයට බාහිරින් එන බලපෑම් වලත් අභ්‍යන්තරයෙන් එන බලපෑම් වලත් මුූලාශ්‍රය එකමය. මෙවැනි දේ මෙරට සිදුවන්නේ පළමු වතාවට නොවේ. පැහැදිලිවම රජය රුපියල් මිලියන 10,000 වැය කිරීමට බලාපොරොත්තුවන ව්‍යාපෘතිය ඒංගලන්තයේ සහ ඇමෙරිකාවේ ආර්ථික සහ දේශපාලනික අවශ්‍යතාවන් මත කෙරෙන්නෙකි.

OGP සංවිධානය දුප්පත්බව, පරිසර දූශණය, තිරසාර සංවර්ධනය වැනි විශයයන්හි උනන්දුවන බව ප්‍රකාශ කර සිටියද ඔවුන්ට ඒවා විසිරුනු අදහස් බව ඔවුන්ගේ ලේඛන පිරික්සීමේදී පෙනීයයි. ඒ ඇස් බැන්ඳුම් තුල ඔවුන් සැබැවින්ම ක්‍රියාකාරී වී ඇත්තේ රාජ්‍යයක ආර්ථික හා සමාජීය තොරතුරු ලෝකයට නිදහස් කිරීම සම්බන්ධයෙනි. රාජ්‍ය කටයුතු වල යම් පාරදෘශ්‍ය බවක් තිබිය යුතුය. රජයක පාරදෘශ්‍ය බව තිබිය යුත්තේ රටේ ජනතාවටය. නමුත් OGP සංවිධානයේ අරමුණු ඊට එහා යන බව ඔවුන්ගේ ප්‍රකාශිත මූලෝපායන් තුල පැහැදිලිවේ:

“Promote public access to timely and disaggregated information and open data on government activities related to the implementation and financing of the 2030 Agenda for Sustainable Development, in line with national legislation and international commitments . We support development of the International Open Data Charter and intend to explore its implementation in our countries.” - Joint Declaration on Open Government for the Implementation of the 2030 Agenda for Sustainable Development.

මෙහි සඳහන් වෙන්නේ ඩිජිටල්කරණයට ලක් කෙරුනු රාජ්‍ය තොරතුරු පොදු ප්‍රජාවට මුදා හැරිය යුතු බවය. නමුත් මෙහි වැදගත් කරුණ හුදෙක් තොරතුරු නිදහස් කිරීම පිළිබඳව නොව එම තොරතුරු කොටස් වලට වෙන් කෙරුනු දත්ත වශයෙන් (disaggregated) ලබා දිය යුතු බව වීමය. උදාහරණයක් වශයෙන් කොළඹ නගරයේ වෙසන සිංහලුන්ගේ ප්‍රතිශතය දත්ත එකතු කිරීම තුලින් ගොඩනඟා ගන්නා තොරතුරකි. නමුත් කොළඹ නගරයේ එක් එක් නිවසක වෙසෙන මිනිසුන්ගේ ජාතිය, ආගම, වයස, අධ්‍යාපනය, රැකියාව ආදී තොරතුරු එකතු නොකරන ලද, ප්‍රාථමික මට්ටමේ දත්තයන්ය. මේවා ඉලෙක්ට්‍රොණික දත්ත වන අතර රටේම තොරතුරු ගත් විට ප්‍රමාණයෙන්ද අති විශාල වේ. මේ ආකාරයේ දත්ත පරිශීලණය කිරීමට විශේෂඥ දැනුමක් අවශ්‍යය. රටේ සාමාන්‍ය ජනතාවට එවැනි හැකියාවක් නැති අතර වඩා වැදගත් ලෙසට එවැනි දත්ත පරිශීලණය කිරීමට සාමාන්‍යයෙන් ඔවුන්ට උචමණාවක්ද නැත. උචමණාවක් සහ හැකියාවක් ඇති රටේ විශ්ව විද්‍යාල පර්යේෂකයින් මහ බැංකුව වැනි රජයේ ආයතනවල සේවකයින් වැනි අයට මේ ආකාරයේ ප්‍රාථමික මට්ටමේ දත්ත ඒවා රැස් කර ගබඩා කරන රජයේ ආයතන හරහා රාජකාරි මට්ටමෙන් ලබා ගැනීමට ක්‍රමවේද දැනටමත් තිබිය හැකිය. නැතිනම් එම ක්‍රමවේද තනාගත හැකිය. ඒ සඳහා ජාත්‍යන්තර සංවිධානවල මැදිහත්වීමක් අනවශ්‍යය. නමුත් OGP සංවිධානයේ ස්ථාවරය ප්‍රාථමික මට්ටමේ මෙවැනි තොරතුරු ඉලෙක්ට්‍රොනික දත්ත බවට පරිවර්තනය කර පොදු ප්‍රජාවට නිදහස් කල යුතු බවය. එවිට අවශ්‍යනම් මේ දත්ත විදේශ රටවල ආර්ථික විශ්ලේෂකයින්ට පවා කොන්දේසි විරහිතව ලබා ගත හැකි වනු ඇත. රුපියල් මිලියන දස දහසේ ව්‍යාපෘතිය ඒ සඳහා බව පැහැදිලිය. මෙහි අරමුණ කුමක්ද?

මිනිසුන්ගේ අනන්‍යතාවන් පිළිබඳ, ඔවුන්ගේ ගනුදෙනු පිළිබඳව, නිශ්පාදන සහ වෙළඳාම් පිලිබඳව ආදී වශයෙන් ප්‍රාථමික මට්ටමේ තොරුතුරු රජයේ මෙන්ම පෞද්ගලික ආයතන වල දිනපතා නිපදවෙයි. ආයතන හරහා තිරස් අතටත් කාලයේ සිරස් අතටත් ගත්කල විශාල දත්ත ප්‍රමාණයකි. එහි විවිධවත්වයද විශාලය, එම දත්ත සිඝ්‍රයෙන් වෙනස් වන්නේද වේ. මෙවැනි දත්ත විශ්ලේශණය කිරීම සඳහා අවශ්‍ය විශේෂඥ තාක්‍ෂණික දැනුම පොදුවේ හැඳින්වෙන්නේ මහා පරිමාණ දත්ත (Big Data) තාක්‍ෂණය යනුවෙනි. මහා පරිමාණ දත්ත විශ්ලේශණයේ මූලික අරමුණ දත්තවල අඩංගු දෑ පිළිබඳව යම් යම් නිගමණ වලට එළඹීම නොවේ. එසේ වුනි නම් රුපියල් මිලියන දස දහසේ ව්‍යාපෘතිය පිළිබඳව එතරම් කනස්සලක් ඇතිවන්නේ නැත.

මහාපරිමාණ දත්ත විශ්ලේශණයේ මූලික අරමුණ අනාගතය පිළිබඳ අනාවැකි පල කිරීමය. ඒ අනුව රටක ඩිජිටල්කරණයට ලක්වෙන ආර්ථික සහ සාමාජීය දත්ත හරහා ඒ රටේ නිශ්පාදනය, පරිභෝජනය, භෞතික සම්පත්, දේශගුණය, කෘෂිකර්මාන්තය ආදිය වෙනස් වෙන ආකාරය අධ්‍යනය කර රටේ අනාගත ආරථික සහ සාමාජීය තත්වයන් පිළිබඳව පුරෝකතනයක් කිරීමට හැකිවනු ඇත. විවෘත සමාජ වල සමාජ-ආර්ථික රටාවන් අන් රටවල් හා බැඳි පවතී. එබැවින් වඩා නිවැරදි ලෙස එම පුරෝකථනය කිරීමට හැකියාවක් ලැබෙන්නේ රටවල් විශාල සංඛ්‍යාවක මහා පරිමාණ ප්‍රාථමික දත්ත වලට හිමිකම් කියන විශ්ලේශකයෙකුටය. අපි අපේ දත්ත ඩිජිටල්කරණය කර මුදා හැරියද මුළු ලෝකයේම දත්ත ලබා ගැනීමට හැකියාවක් අපට නැත. OGP සංවිධානය හරහා ඒ හැකියාව ලබා දෙන්නේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් වලටය.

සමාජයක් මෙහෙයවිය හැක්කේ අනාගතය ගැන නිවැරදි දැකීමක් ඇති බලවේගයකටය. එබැවින් කිසියම් සමාජයක (රටක හෝ ලෝකයේම හෝ) අනාගතය පිළිබඳව නිවැරදිව අනාවැකි පල කිරීමට හැකිවීම මත දේශපාලන බලයක් ගොඩනැඟේ. මහාපරිමාණ දත්ත පිටුපස ඇත්තේ ඒ දේශපාලන බලය ගොඩනැඟීමේ අරමුණය. දැනට මහාපරිමාණ දත්ත විශ්ලේශණයට අවශ්‍යය තාක්‍ෂණික දැනුමත් ඊට පහසුකමුත් ඇත්තේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලය. ඊනියා රාජ්‍ය විනිවිදභාවයක් වෙනුවෙන් යැයි කියමින් රටේ ආර්ථික දත්ත කොල්ල කන ව්‍යාපෘතිය පිටුපස ඇත්තේ නව අධිරාජ්‍යවාදී ක්‍රමයයි. OGP සංවිධානයට හවුල් නොවීම නිසා අඩු තරමින් අපේ අසල්වැසි ඉංදියාව හෝ ඒ බව හඳුනාගෙන ඇති බව පෙනේ. තමන්ට එරෙහිවූ යෝජනාවකට අත්සන් තැබීමට තරම් දීනවූ මේ රජයට රටේ ආර්ථික දත්ත පාවාදීම එතරම් කජ්ජක්ද?

මූලාශ්‍ර
OGP 4 year strategy
OPG 2030 Agenda
Joint Declaration
Funding: Transparency International - Sri Lanka


-වංශපුර දේවගේ ජානක

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions