12/27/2015

හොර පාරෙන් එන සිරිසේනලාගේ ව්‍යවස්ථා සංශෝධන මර උගුල...

කතෘ:යුතුකම     12/27/2015   No comments

යෝජිත ව්‍යවස්‌ථා සමිපාදක මණ්‌ඩලයේ යටි අරමුණක්‌ තිබේද?

ජනවාරි 9 දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්‌ සිදුකර, සමස්‌ත පාර්ලිමේන්තුවම 3 වන ජනරජ ව්‍යවස්‌ථාව සැකසීම සඳහා ව්‍යස්‌ථාදායක සභාවක්‌ බවට පත්කිරීමට නියමිත බව ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත්කර ඇත. ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළ වූ රජයේ නිල නිවේදනයට අනුව මෙය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයකි. මේ දෙආකාරයෙන්ම අදහස්‌ වන්නේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම හා පැනවීම සඳහා පිහිටුවනු ලබන මහජන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් සභාවකි. මෙවැන්නක්‌ පිහිටුවීමේ එකම පරමාර්ථය වනුයේ පවත්නා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනිව ගොස්‌ නව ව්‍යවස්‌ථාවක්‌ පැනවීමය. එහිදී නව ව්‍යවස්‌ථාව තම වලංගුභාවය සඳහා මුල් ව්‍යස්‌ථාව මත රඳා පැවතීමේ මූලික කොන්දේසීය බලහත්කාරයෙන්ම කඩකර අහෝසි කර දමනු ලැබේ.

ඊට සමාන අවස්‌ථාවක්‌ ලෙස හුවා දක්‌වන එහෙත් න්‍යායාත්මකව එසේ නොවන උදාහරණයක්‌ ඇත- ඒ 1972 ජනරජ ව්‍යවස්‌ථාව සමිමත කිරීමේ ක්‍රියාවලියයි- 1970 මැයි 27 දින බලයට පත්වූ ආණ්‌ඩුව විසින් එවකට පැවති පාර්ලිමේන්තුවේ ආසන 157 කින් 116 ක්‌ ලබාගන්නා ලදී. එහිදි ඡන්ද දායකයින්ගෙන් 84.9% ක පමණ ප්‍රතිශතයක්‌ ඡන්දය පාවිච්චි කර තිබුණි. ආණ්‌ඩුකාරයා විසින් පත්කළ මන්ත්‍රී 6ත් සමඟ පෙරමුණට ආසන 122 ක්‌ වුණි. ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයක්‌ මගින් නව ජනරජ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ පනවනු ලබන බවට පැහැදිලිව හා නිශ්චිතව පෙරමුණ විසින් ඡන්දයට පෙර ප්‍රකාශ කර තිබුණි. අග්‍රාමාත්‍ය වරයාගේ ආරාධනාවෙන් 1970 ජූලි මස 19 දින කොළඹ නවරගහලට රැස්‌වූ සියලුම මහජන නියෝජිතයින් විසින් ඒකමතිකව සම්මතකරගත් යෝජනාවක්‌ මත ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයක්‌ ලෙසට පරිවර්ථනය වන ලදි. වසර 2 ක වෙහෙසකාරී ක්‍රියාදාමයකින් පසුව ප්‍රමථම ජනරජ ව්‍යවස්‌ථාව 1972 මැයි 22 දින ඡන්ද 119 කින් සම්මත කරගන්නා ලදී.

1970 දී ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයක්‌ පිහිටුවීමට සුවිශේෂ හේතු තිබුණි. එවකට තිබූ ව්‍යවස්‌ථාව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් පනවන ලද නෛතික පදනම් විය. ශ්‍රී ලංකාවට ස්‌වාධින ජනරජයක්‌ ලෙසට පත්වීම සඳහා අප රටේ ජනතාවගේන් සාරෝපණය වන බලය ඇති ව්‍යවස්‌ථාවක්‌ සැකසිය යුතු විය. එමගින් පැරණි ව්‍යවස්‌ථාව හරහා ක්‍රියාත්මක වූ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු බලය බිඳහෙළිය යුතුවිය. එනම් බ්‍රිතාන්‍ය කිරීටය සතුවූ පරමාධිපත්‍ය බලය මහජනයා වෙත සතු කිරීමේ අවශ්‍යතාව එමෙන්ම පැවති ව්‍යවස්‌ථාව, 1970 දී පැවති නව තත්ත්වයන්ට උචිත නොවූ අතර එම ව්‍යවස්‌ථාවේ හරයාත්මක වෙනස්‌කම් ශ්‍රී ලංකාවේ ව්‍යවස්‌ථාදායකය විසින් සිදුකළ නොහැකි විය. පැවති ව්‍යවස්‌ථාවෙන් කැඩී වෙන්වීම සඳහා ව්‍යවස්‌ථාවෙන් පරිබාහිර ක්‍රමවේදයක්‌ අනුගමනය කිරීමට සිදුවූ බැවින් මෙය ව්‍යවස්‌ථාමය විප්ලවයක්‌ වශයෙන් හැඳින්වේ. සමකාලිනව ඉන්දියාව, පකිස්‌තානය වැනි රටවල් විසින් ද මීට සමාන ව්‍යසවස්‌ථා සම්පාදක මණ්‌ඩල පිහිටුවා ඒ ඒ රටවලට උචිතවන පරිදි බ්‍රිතාන්‍ය රාජ්‍ය බලයෙන් මිදීම සිදුකරගන්නා ලදී.

1978 දෙවන ජනරජ ව්‍යවස්‌ථාව බිහිවූයේ පළමු ජනරජ ව්‍යවස්‌ථාවට සිදුකරන ලද පූර්ණ සංශෝධනයක්‌ වශයෙනි. ඒ සඳහා පාර්ලිමේන්තුව මුල් ව්‍යවස්‌ථාවට අනුකූලව කාරක සභාවක්‌ වශයෙන් ක්‍රියාකරන ලදී. 1978.08.16 දින තුන්වර කියවීමෙන් පසුව සම්මත වූ එම ව්‍යවස්‌ථාව 1978.09.22 සිට ක්‍රියාත්මක විය. ඒ අනුව 1970 පටන් ජනතාවගේ (පරමාධිපත්‍යස) බලය මත බිහිවු අඛන්ඩ ව්‍යවස්‌ථාමය පැවැත්මක්‌ අපට ඇත. එහිදී සිදුවන්නේ පසුවට පනවන ව්‍යවස්‌ථාව මුල්විය ව්‍යස්‌ථාවේ බලාත්මක බවය මත පිහිටා එහි වලංගුබාවය අත්කරගැනීමය.

වත්මන් පාර්ලිමේන්තුව ව්‍යවස්‌ථාදායක සභාවක්‌ බවට පත්කිරීම සඳහා හෝ එයට ව්‍යවස්‌ථාදායක සභාවක්‌ ලෙසට කටයුතු කිරීම සඳහා හෝ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ කිසිදු ප්‍රතිපාදනයක්‌ නොමැත. එවැනි බලයක්‌ ජනාධිපතිවරයා වෙත ලබාදීමක්‌ ද සිදුකර නොමැත. අනෙක්‌ අතට මෙවැනි සභාවක්‌/මණ්‌ඩලයක්‌ පිහිටුවීමකින් තොරව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව කොටස්‌ වශයෙන් හෝ මුලුමුනින්ම හෝ සංශෝධනය කර නව ව්‍යවස්‌ථාවක්‌ පැනවීම සඳහා නිශ්චිත හා පැහැදිලි ප්‍රතිපාදන අප ව්‍යවස්‌ථාවේම (82 වන වගන්තියේ) පනවා ඇත. එසේනම් 3 වන ජනරජ ව්‍යවස්‌ථාව නමින් අභිනව ව්‍යවස්‌ථාවක්‌ පවත්නා නීතියෙන් පරිබාහිර ක්‍රමයකින් එළි දැක්‌වීමට ගන්නා උත්සාහය තුළ වෙනත් යටි අරමුණක්‌ තිබේද?

1970 දී තිබූ තත්ත්වයන් හා සන්සන්දනය කිරීමේදී මෙවැනි ව්‍යවස්‌ථා විප්ලවයක්‌ සිදුකිරීමට අවශ්‍යතාවක්‌ වර්තමානයේදී උද්ගත වී ෙනැමත. මේ ආකාර වූ ව්‍යවස්‌ථාමය විප්ලවයක්‌ කිරීමට ජනතාව විසින් ආණ්‌ඩුවට හෝ ජනාධිපතිවරයාට හෝ කිසිදු මන්ත්‍රීවරයෙකුට බලයක්‌ ලබා දී නොමැත. ජනාධිපතිවරණයේදී ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිsතුමා විසින් පැහැදිලිව ප්‍රකාශ කරන ලද්දේ ජනමත විචාරණයකින් පමණක්‌ සංශෝධනය කළයුතු වන ව්‍යවස්‌ථාවේ ඇති කිසිදු වගන්තියකට අතනොතබන බවය. මහ මැතිවරණයේදී ද එක්‌සත් ජාතික පක්‌ෂය විසින් මූලික කරනගන්නා ලද්දේ විධායක ජනාධිපති ක්‍රමයේ වෙනස්‌කම් සිදුකිරීම පමණක්‌ය. කිසිදු පක්‌ෂයක්‌ විසින් සම්පූර්ණ ආණ්‌ඩුකම ව්‍යවස්‌ථාවම ඉවත්කර ඒ වෙනුවට නව ව්‍යවස්‌ථාවක්‌ පැනවීම සඳහා ජන වරමක්‌ ඉල්ලා නොමැත.

ඒ අනුව ව්‍යවස්‌ථා සභාවක්‌ (සම්පාදක මණ්‌ඩලයක්‌ පිහිටුවා ඒ තුළින් නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒමට වත්මන් ආණ්‌ඩුවට සදාචාරමය හෝ නෛතික අයිතියක්‌ නොමැත. එදා සිරිමාවෝ බණ්‌ඩාරණායක මැතිනියගේ ආණ්‌ඩුව විසින් ව්‍යවස්‌ථා විප්ලවයක්‌ සිදුකළේ ව්‍යවස්‌ථාවට ලැබෙන නීතිමය බලය බ්‍රිතාන්‍ය රජයෙන් වෙන්කර (හා අවසන් කර එම බලය ශ්‍රී ලංකාවේ ජනතාව වෙත ලබා දීමටය. ඉන් පසුව බිහිවූ පළමු ජනරජ ව්‍යවස්‌ථාව අපේම ව්‍යවස්‌ථාවක්‌ බවට පත්විය. ඒ සඳහා එදා විශේෂ ජනවරමක්‌ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ඉල්ලා සිටි හෙයින් එම බලය එම ආණ්‌ඩුවට හා රජයට හිමිවිය. එහෙත් අද ව්‍යවස්‌ථාදායකය ක්‍රියාකිරීමට තැත්කරනුයේ ඔවුන් වෙත ජනතාව විසින් ලබා දී නොමැති බලයක්‌ මතය. එදා රජය විසින් සත්බාවයෙන් ක්‍රියා කළ හෙයින් පාර්ලිමේන්තුවෙන් පිටත ස්‌ථානයකදී ව්‍යවස්‌ථාදායක සභාව රැස්‌වී ව්‍යවස්‌ථා ඛන්ඩනය විනිවිදබාවයෙන් යුතුව ප්‍රකාශ කළේය. අද එම සභාව පාර්ලිමේන්තුව තුළ පැවැත්වීම මගින් නව ව්‍යස්‌ථාවේ සැබෑ ස්‌වරූපය ජනතාවගෙන් වසන් කිරීමට උත්සාහයක්‌ ගෙන ඇත.

තවත් වැදගත් කරුණක්‌ ඇත. 1970 දී අප රටේ වැසියන් විසින් අත්පත් කරගන්නා ලද පරමාධිපත්‍ය බලය වනතෙක්‌ම පවතින්නේය. අප විසින් ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයකුද මහ මැතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ද පත්කර ඇත්තේ මෙම පරමාධිපත්‍ය බලය පාවිච්චි කරමිනි (3 හා 4 ව්‍යවස්‌ථා වගන්ති). එම පරමාධිපත්‍ය බලය මත බලාත්මක වන ව්‍යවස්‌ථාවක්‌ පවතිද්දී ඊට සමගාමීව ව්‍යවස්‌ථාදායක සභාවක්‌ පිහිටුවා එම සභාව වෙත ඔවුන් වෙත ලබා දී නොමැති බලයක්‌ කෘත්‍රිමව ආරෝපණය කරගැනීම මගින් කිසිසේත්ම පවත්නා ව්‍යවස්‌ථාව පරිචින්න කිරීමේ බලය ඇති නව ව්‍යවස්‌ථාවක්‌ පැනවිය නොහැක. එසේම ජනාධිපතිවරණයේදී ජනතාව විසින් වත්මන් ජනාධිපතිවරයාව විධායකයේ ප්‍රධානියා ලෙසට පත්කර ඇත්තේ ව්‍යවස්‌ථාදායකයේ මන්ත්‍රිවරුන් පත්කිරීමේදී ඔවුන් වෙත ලබා දෙන බලයට පරිබාහිරවය. මෙය බලබෙදීමේ න්‍යාය පැහැදිලිව අප ව්‍යවස්‌ථාවෙන් පිළිගෙන තිබීමේ ප්‍රතිථලයකි. එබැවින් වත්මන් ව්‍යවස්‌ථාවේ නිශ්චිතව පැහැදිලිකර තිබෙන ක්‍රමවේදයෙන් බැහැරව යමින් විධායකයට හෝ විධායකයේ බලතලවලට බලපාන කිසිදු (ව්‍යවස්‌ථාවිරෝධි) සංශෝධනයක්‌ ව්‍යවස්‌ථාදායකයට පත්වී සිටින්නන්ට සිදුකළ නොහැක.

ඉහත හේතුන් නිසා ජනවාරි 9 දින පිහිටුවීමට නියමිත ව්‍යවස්‌ථාදායක සභාවට කිසිදු ආකාරයකින් වලංගු ව්‍යවස්‌ථාවක්‌ පැනවීමට කටයුතු කළ නොහැක. එම ව්‍යවස්‌ථාදායක සභාවත් එහි කටයුතුත් මුල සිටම නීති විරෝධිය. එම සභාව හරහා එන ඕනෑම ව්‍යවස්‌ථාවක්‌ මුල සිටම බලශුන්‍ය වනු ඇත. මෙවැනි අවදානම් හා ව්‍යවස්‌ථා විරෝධි කටයුතු කිරීමේ ප්‍රතිඵලය වන්නේ රට තුළ තව තවත් අර්බුද ඇතිවීම හා ජාත්‍යන්තරය ඉදිරියේදී ශ්‍රී ලංකා රජය රජයක්‌ වශයෙන් හා ශ්‍රී ලංකාව රටක්‌ වශයෙන් පිළිගැනීම අවදානමට හා අවිනිශ්චිත තාවයට පත්වීම වේ.

මේ ආකාරයෙන් ව්‍යවස්‌ථා ඛන්ඩනයක්‌ සිදුකිරීම පෙර සඳහන් පරිදි ජනතාවගේ පරමාධිපත්‍ය බලයටද හානිකරය. විශේෂයෙන්ම ජාත්‍යන්තරය විසින් රටේ ස්‌වෛරීත්වයට හා ඒකීයභාවයට තර්ජනයක්‌ වන පරිදි මැදිහත්වන මෙවැනි යුගයකදී මෙවැනි අවදානම් කටයුත්තක්‌ සිදුකිරීම අතිකර භයංකාරය. ව්‍යස්‌ථාදායක සභාවක්‌ හරහා සිදුවන්නේ නව ව්‍යස්‌ථාවක්‌ අලුතින්ම ලිවීමය. එසේ ලිවීමේදී රටේ ඒකිය බාවය, දේශසීමාවන්, පළාත්සභා හා ඒවායේ බලතළ, ඡන්ද ක්‍රමය, අධිකරණ, මුල්‍ය පාලනය, බුද්ධාගමට පරහා ප්‍රමුඛත්වය දීම ආදී සියලුම අංගවලට අයත් වගන්ති නැවත හරිගැස්‌විය නොහැකි ලෙසට වෙනස්‌විය හැකිය. ස්‌වයංපාලන අයිතිය මත පරමාධිපත්‍ය බලය ඇති ඒකකයක්‌ ලෙසට උතුරු-නැගෙනහිර ඒකාබද්ධකරන ලද භුමියක පාලන අයිතිය (හා එවැනි ඒකක ඇති ෙµඩරල් ක්‍රමයක්‌) ඉල්ලා සිටින ඊනියා විරුද්ධ පක්‌ෂ නායකයා නියෝජනය කරන ටී.එන්.ඒ සංවිධානය/පක්‌ෂය විසින් අභිනව ව්‍යවස්‌ථාව යටතේ නැවතත් ඒකීය රාජ්‍යයක්‌ බිහිවීමට ඉඩනොතබනු ඇත. දැනට ඇති ව්‍යවස්‌ථාව යටතේ කිසිසේත් අතතැබිය නොහැකි ජනතාවගේ පරමාධිපත්‍ය, බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය ලබාදීම, ජාතික කොඩිය, ජාතික ගීය, පාර්ලිමේන්තුවේ උත්තරීතර ව්‍යවස්‌ථාදායක බලය හා මුල්‍යම බලය යනාදි විෂයන් සම්බන්ධ වගන්ති ව්‍යවස්‌ථාදායක සභාවට පහසුවෙන්ම වෙනස්‌කළ හැකි වනු ඇත. ඒ අනුව ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයක්‌ හරහා එළිදැක්‌වෙන අභිනව ව්‍යවස්‌ථාව යටතේ සම්පූර්ණයෙන්ම විකෘති වූත් අවුල් වූත් බිඳීගිය රටක්‌ හා රජයක්‌ බිහිවීමේ අවදානම ඇත. දහස්‌ ගණනක්‌ ජීවිත පරිත්‍යගයෙන් දිනාගත් සාමය හා රට ලාංකිකයින්ට අහිමිවීමටද ඉඩ ඇත. මෙරට රාජ්‍ය හා ජනතාව දුර්වල කර ශ්‍රී ලංකාව කේන්ද්‍රීමය කොටගෙන ආසියාව පුරා තම බලපරාක්‍රමය පැතිරවීමට කුමන්ත්‍රණය කරන ඇමරිකාව ඇතුලු විජාතික බලවතුන්ගේ සිහිනය ද වනුයේ මෙම රට භෞමික හා පරිපාලනමය වශයෙන් බිඳ දමා ජනතාව එකිනෙකාට එරෙහිව කෙටවීමය.

ගරු අගමැතිතුමා විසින් තම වෙබ් අඩවියේ ව්‍යවස්‌ථා සභාවක්‌ පිහිටුවීම හා එය ක්‍රියාත්මකවීම සම්බන්ධව පටිපාටියක්‌ ප්‍රකාශයට පත්කර ඇත. එම පටිපාටියට අනුව ව්‍යවස්‌ථා සභාව විසින් සම්පාදනය කරනු ලබන කෙටුම්පත බිල්පතක්‌ වශයෙන් ජනමත විචාරණයකට ඉදිරිපත් කිරීමට අදහස්‌ කරන බව පෙනේ. මෙම ක්‍රියාවලියේ අවසාන පියවර පවතින ව්‍යවස්‌ථාවට අනුව සිදුකරන බවට හුවාදැක්‌වීමට එමගින් උත්සාහ ගෙන තිබුණත් ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලය (ව්‍යවස්‌ථාදායක සභාව) පිහිටුවීමත් සමගම නව ව්‍යවස්‌ථාව පවතින ව්‍යවස්‌ථාවෙන් ඛන්ඩනය වීමක්‌ සිදුවී හමාරය. එමෙන්ම ජනමත විචාරණයට යොමුවන ව්‍යවස්‌ථාව කුමන ආකාරයකට වෙනස්‌ වන්නේද යන්නද කිසිවකුට කිව නොහැකිය. එම නිසා ජනමත විචාරණයට ඉදිරිපත් කරන බවට ප්‍රකාශ කළ පමණින් අභිනව ව්‍යවස්‌ථාව දැනට පවතින ව්‍යවස්‌ථාවෙන් බලය හා වලංගුබාවය ලැබූ ව්‍යවස්‌ථාවක්‌ වන්නේද නැත.

වත්මන් ආණ්‌ඩුවට විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම හෝ වෙනත් සංශෝධනයක්‌ ව්‍යවස්‌ථාදායක සභාවක්‌ වෙනුවට සම්පූර්ණ පාර්ලිමේන්තුවම (අවශ්‍ය නම්) කාරක සභාවක්‌ ලෙසට පත්කර සිදුකළ හැකිය. ඒ සඳහා ස්‌ථාවර නියෝගවල ද ප්‍රතිපාදන ඇත. එවැනි ක්‍රියාවලියක්‌ ව්‍යවස්‌ථානුකූල වන අතර එමගින් දැනට ඇති ව්‍යවස්‌ථාවේ පදනමට හානියක්‌ හෝ ව්‍යවස්‌ථා බලය සාරෝපනය වීමේ ඛන්ඩනය වීමක්‌ ද සිදුවන්නේ නැත. එබැවින් රටට අනවශ්‍ය මොහොතකදී අනපේක්‌ෂිත ප්‍රතිඵල ගෙනදිය හැකි ව්‍යවස්‌ථාදායක සභාවක්‌ පිහිටුවීමෙන් වැළකී සිටීම ප්‍රඥාගෝචරය. ඒ සඳහා වගකීම සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුම අත ඇත.


නීතිඥ කණිෂ්ක විතාරණ  >>
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions