12/17/2015

ත්‍රස්ත සැකකරුවන් නිදහස් කිරීම; එදා, අද සහ හෙට

කතෘ:යුතුකම     12/17/2015   No comments

පසුගියදා අයවැය විවාදයට සහභාගීවෙමින් අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පසුගිය රජය විසින් දොලොස් දහසක පමණ කොටි ත්‍රස්ත සැකකරුවන් පිරිසක් පුනුරුත්ථාපනය කර නිදහස් කල බවත් කරුණා, පිල්ලෙයාන් ආදීන් ඉහල තනතුරුවලට පත් කල බවත් තමන් ප්‍රමුඛ යහපාලන රජය සිරගතකර ඇති ත්‍රස්ථයින් නිදහස් කරන්නේ එහිම ඉදිරි පියවරක් ලෙස බවත් පවසා සිටියේය. එතුමාට අනූව එය සංහිඳියාව උදෙසා ගන්නා වැදගත් පියවරකි. බෙදුම්වාදයට සිතැති එජාප මන්ත්‍රීවරුන් මෙන්ම ජාතිකවාදී සළුවෙන් වැසීඋන් පා. ච. රණවක අමාත්‍යවරයාද මීට සමාන තර්ක පසුගිය සමය පුරාම රාජපක්ෂ රජයට විරුද්ධව යොදාගත් අතර පසුගිය සතියේ ආචාර්යය ජයන්ත ලාල් රත්නසේකර සිය "දේශපාලන වාසියට ජාතිවාදය ඇවිලවීම" සිරස යටතේ වූ ලිපියකද මෙම කරුණ සඳහන් කර ඇත. යහපාලන මාධ්‍ය බලකාය සහ අනුගාමිකයන් තමන්ගේ කල්ලියට එල්ලවන චෝදනා වලට ප්‍රතිචාරයක් ලෙස මෙම කුතර්කය භාවිත කරනු පෙනේ.

සැබැවින්ම මෙම කණ්ඩායම් දෙක සහ ක්‍රියාවන් එලෙස සමාන කල හැකිද?
පසුගිය රජය යටතේ නිදහස් කලායයි පවසන කණ්ඩායම ගැන සලකා බලන විට ඔවුන් සාතිශය බහුතරය අවසන් සටන අතරතුරදී සහ අවසානයේදී අත් අඩංගුවට ගත් සහ හමුදාවට භාරවූ කොටි සංවිධානයේ ආරක්ෂිත කාර්යයන්, ප්‍රහාරක මෙහෙයුම් මෙන්ම සංවිධාන අභ්‍යන්තරයේ ක්‍රියාකාරීන් ඇතුළු “බිම් මට්ටමේ කාඩරය” ලෙස යොදගත් අයවලුන්ය. මොවුන්ට අදාල ඉදිරි අධිකරණ කටයුතු වලදී මතුවන ප්‍රධාන ගැටළුව සාක්ෂි සහිතව ඍජු අපරාධ චෝදනා එල්ල කල නොහැකිවීමයි. රටේ ඒකීය භාවයට එරෙහිව ආයුධ සන්නද්ධ කැරැල්ලකට සම්බන්ධ වීම සම්බන්ධව චෝදනා නැගිය හැකි වුවත් එහි ප්‍රතිඵලය ලෙස සියළු දෙනා වසර කිහිපයකට සිර දඬුවමකට යටත් කිරීමට වඩා පුනුරුත්ථාපනයකින් අනතුරුව සමාජගත කිරීම වඩා ප්‍රායෝගික සහ ඵලදායක නිසා එම රජය එම පියවරට එලඹියේය. ඒ අනූව හමුදාවේ පූර්ණ අධීක්ෂනය යටතේ විශේෂයෙන් පිහිටවුනු මධ්‍යස්ථාන කිහිපයක මෙම ත්‍රස්ථයන් පුනුරුත්ථාපනය, අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව ලබාදීම, මානසික මට්ටම ඉහල නැංවීම සහ ආගමික වැඩසටහන් ආදිය පවත්වන්නට යෙදිනි. විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනය කඩාකප්පල්වූ හිටපු කොටි සාමාජිකයන් පුනුරුත්ථාපනය අවසානයේදී එම රජය විසින් යෞවන සබඳතා සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය යටතේ අරඹන ලද වෘත්තීය පුහුණු මධ්‍යස්ථන වලට සම්බන්ධ කරගෙන එන්.වී.කිව් මට්ටමේ සහතික ලබාදීමේ වැඩසටහන් වලට සහ ජර්මන් KFW ණය ආධාර යටතේ කිලිනොච්චියේ යෝජිතව තිබූ ශ්‍රී ලංකා - ජර්මන් පුහුණු ආයතනයට සම්බන්ධ කටයුතු සඳහා නොමිලේ සහයෝගය ලබාදීමේ අවස්ථාව අපටද හිමිවිනි. (එවකට SLGTI ආයතනයේ ඉදිකිරීම් 2015 වසරේ මුල ඇරඹීමට නියමිතව තිබූ අතර නව රජය අනෙක් සංවර්ධන ව්‍යාපෘති මෙන් එය අතරමග හැරදමා නැත් නම් 2017 වසරේ "යහපාලන රජයේ සංකල්පයකට අනූව ගොඩනගන ලද" ලේබලය යටතේ ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.) මෙම වැඩසටහන් වලින් අරමුණු කරන ලද්දේ පුනරුත්ථාපනය වූ කොටි සැකකරුවන්හට ඉහල ජීවන තත්වයක් ලබාදීම හා ඒ හරහා ඔවුන් නැවත ත්‍රස්ත කටයුතු වලට නැඹුරු වීම වැලැක්වීම වූ අතර වෘත්තීන් ඇරඹීම සඳහා ඔවුන්ට බැංකු ණය පහසුකම් පවා ලබාදීමට යෝජනා විය. උදාහරණයක් ලෙස ප්‍රභාකරන්ගේ ශරීරාරක්ෂක සෙබලෙක් පවා පුනුරුත්ථාපනය අවසානයේ නිදහස්ව පෙදරේරු වෘත්තියට පිවිස සිටින බව කලකට පෙර පුවත්පතක් අනාවරණය කලේය.
 (යහපාලන වෙනුවෙන් පසුව මැදිහත් වූ ව්‍යාජ සිංහල ජාතිකවාදී අක්ෂය මෙම කටයුතු වලට එරෙහිවද සයිබරය තුල මහා හඬක් ගෙනගියෝය.) යහපාලනය සැබෑ සංහිඳියාව කෙරෙහි කැපවන්නේ නම් කලයුත්තේ මෙම පිරිස අදාල වැඩසටහන් අරමුණු කල පරිදි ත්‍රස්තවාදී චින්තනයෙන් සහ ක්‍රියාකාරකම් වලින් වෙන්වී සිටීදැයි සොයා බලා ඊට අවශ්‍ය සහය සහ නොමග යන අය ඇත්නම් ඔවුන් ගැන අවශ්‍ය පියවර ගැනීම මිස ත්‍රස්තවදීන් ඝාතනයවීම වරදක් සේ සලකා ඔවුන්ගේ පවුල් වලට “ප්‍රභාකරන්ගේ මහවිරු ක්‍රමයට” අනූව වරදාන ලබාදීම නොවේ. එසේ වුවත් දෙමල අන්තවාදීන්ට, බටහිර තානාපති කාර්යාල වලට මෙන්ම යහපාලනයට න්‍යාය සපයන විජාතික මනස්පුතුන්ට අනූව උතුරේ ජනතාව මෙරට කොටසක් ලෙස සලකා ඔවුන්ගේ ජීවන තත්වය උසස් කිරීමට මාර්ග, විදුලිය ආදී යටිතල පහසුකම් ලබාදීම, අධ්‍යාපන, ආර්ථික ක්ෂේත්‍රවලට පහසුකම් ලබා දීම සංහිඳියාවට අදාල නොවන අතර වාර්ගිකත්වයට, බෙදුම්වාදයට දෙන කප්පම් පමණක් ඊට වලංගු වේ. දමිල ජනතාවට ඉඩම් සැපයීම ඔවුන්ට වැදගත් වන්නේ එය අධිආරක්ෂිතයක්, හමුදා කඳවුරක් ඉවත් කර ලබාගත්විටය.

හිටපු කොටි සාමාජිකයන් අතරින් ස්වල්ප දෙනෙක් නීතියේ සිදුරු වලින් මෙන්ම බෙදුම්වාදයට හිතැති දෙ.ජා.සං මන්ත්‍රීවරුන්ගේ හා තානාපති කාර්යාල වල පිහිටෙන් පුනුරුත්ථාපනය මගහැර සමාජ ගත වූහ. ඉන් කොටසක් අද විදේශ රටවල ජීවත් වෙති. තවත් හිටපු ත්‍රස්තවාදීන් කිහිපදෙනෙක් හමුදාව විසින් පාශ්චාත් යුධ ත්‍රස්ථ මර්ධන කටයුතු සඳහාවන බුද්ධි මෙහෙයුම්වලට යොදා ගැනුනු බව පසුගිය සමයේ අනාවරණය විය. එයද අද යහපාලකයින්ට පටු දේශපාලන තුරුම්පුවක් බවට පත්වී තිබේ.

පසුගිය ජනාධිපතිවරණයට පෙර කරුණාව, කේපීව අත් අඩංගුවට ගෙන දඬුවම් කල යුතු බවට යහපාලනවාදීන් මහා ඝෝෂාවක් නැගූහ. යහපාලනය බලයට පත්වී කියා සිටියේ කේපී ට විරුද්ධව නඩු පැවරීමට තරම් සාක්ෂි නොමැති බවයි. (ඔහු යහපාලනයට එරෙහි වූ සැනින් සාක්ෂි පහළ වනු ඇත.) කරුණා කොටින්ගෙන් ඉවත් වුනේ 2002 -04 එජාප සමයේය. ඔතරම් ඕනෑකමක් තිබිනි නම් ඔවුන්ට කරුණාව අත් අඩංගුවට ගත හැකිව තිබිණි. (කොටි ත්‍රස්ථවාදීන්ට එරෙහිව යොදාගැනීමෙන් පසුව ඔහුව අත් අඩංගුවට ගැනීමට සැලසුම් කර සිටි බවක් එජාපය කිවහොත් එය කිසිම සදාචාරාත්මක හෝ නීත්‍යානුකූල හෝ නොවන ප්‍රකාශයක්වනවා සේම අමූලික අසත්‍යක් වන්නේ එකල එජාපය කිසිවිටෙක කොටි සංවිධානයට එරෙහිව යමක් කිරීමට සූදානමින් නොසිටි නිසාය.) අදටත් තමුන් කොටි දෙකඩ කල බවට උදන් අනන එජාපය එදා කරුණාගෙන් දේශයට ගතයුතු ප්‍රයෝජනය ලබා නොදුන්නා පමණක් නොව නැවත ප්‍රභාකරන්ට ශක්තිමත් වීමට සියළු පහසුකම් සැපයූහ. (කරුණා ප්‍රභාගෙන් ගැලවීමේ ගෞරවය එජාපයට නොව මේ. ජ. වජිර විජේගුණවර්ධනට හිමිවිය යුතුය.) මහින්ද රජය ඔහුව ඊලාම්වාදී අදහස් වලින් ඉවත් කරගෙන මානුෂික යුද්ධය ජයගත්හ. යහපාලනවාදීන්ට අර්බුධය ඇත්තේ ඊලාම්වාදයෙන් මිදුනු කරුණා සමග මිස ඊලාම්වාදීන් සමග නොවේ. අද යන එන මන් නැති කරන ලද කරුණා ප්‍රධාන ධාරවේ ශ්‍රිලනිපය අතහැර නැවත ද්‍රවිඩ ජාතිකවාදය හා සම්බන්ධ කිරීමේ පූර්ණ වගකීම සිරිසේන ප්‍රමුඛ යහපාලකයින් දැරිය යුතුය.

යහපාලන රජය විසින් මෑතදී නිදහස් කිරීමට කටයුතු කරමින් සිටින ත්‍රස්ත සැකකරුවන් කව්ද? පැහැදිලිවම ඔවුන් මහ බැංකු, හිටපු හමුදාපති, ආරක්ෂක ලේකම්, දෙහිවල දුම්රිය, කරණ්දෙනිය බස් ආදී බෝම්බ ප්‍රහාර, අමාත්‍ය කදිරගාමර් මහතා ඝාතනය මෙන්ම හමුදා සෙබලුන්ට වධදී ඝාතනය කිරීම්, නාවික යාත්‍රා වලට පහරදීම් ආදීයට සම්බන්ධ නිශ්චිත හේතු මත අත් අඩංගුවට ගෙන සිටින තවමත් බෙදුම්වාදය වෙනුවෙන් කැපවී සිටින ත්‍රස්තවාදීන්ය. (යහපාලන ආණ්ඩුවේ මුල් අවධියේ බෙදුම්වාදී එන්.ජී.ඕ කල්ලි සඳහන් කලේ කොටි සැකකරුවන් 483ක් රජය රඳවා ගෙන සිටින බවකි. නමුත් දැන් කියන්නේ දෙසීය ගණනක් ගැනය! එලෙස ගණනින් අඩුවෙන්නේ ඉතිරි කොටස හොර රහසේ නිදහස් කල නිසාද? එක් කොටි සාමාජිකාවක් ඇප පිට නිදහස් කර සතිදෙකක් ගතවන්නට පෙර ඇය ඇමරිකාවට පලා ගොස් ඇති බව වාර්තා විය. රජය මේවා නොදනීද?) මෙතනින් ඇතමුන් චෝදනා විභාග කර දඬුවම් විඳින අය (50) වන අතර සමහරෙකුට එරෙහි චෝදනා අධිකරණයේ විභාග වෙමින් පවතී (120). සමහරුන්ට තවම නඩු පවරා නැත (47). වරදකරුවන් වී දඬුවම් විඳින අය ඒවායින් නිදහස් කර ගැනීමට ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත සංශෝධනය කරන බවටද ආරංචි මාර්ග සඳහන් කරයි. නිල වශයෙන් මෑතදී ත්‍රස්ථ සැකකරුවන් 31ක් සහ 8ක් වශයෙන් කණ්ඩායම් දෙකකට ඇප ලැබිණි. එය අමුතුම පන්නයේ ඇප දීමක් විය. සාමාන්‍යෙන් ඇප දීමකදී එක් එක් සැකකරුට/ විත්ති කරුට අදාල නඩුවට සම්බන්ධ කාරණා සොයා බලා ඇප දීමට සුදුසුද යන්න තීරණය කරනු ලබයි. නමුත් මෙහිදී පලමු 31 දෙනා අධිකරණයට ඉදිරිපත්කොට ඇප දීමට නොහැකි බව උදේ වරුවේ පවසා නැවත බන්ධනාගාරයට ගෙනගිය අතර නීතිපතිවරයා හදිසියේම එදින හවස් වරුවේ මෝසමක් ඉදිරිපත් කරමින් ඇප ඉල්ලා සිටියේය! ඒ ආකාරයට හදිසියේම තීරණ වෙනස් වන්නේ දේශපාලන බලාධිකාරියේ අවශ්‍යතාවය මතය. නඩු එකින් එකට අදාල කාරණා සලකමින් නොව සියලු දෙනාට එකවර ඇප ඉල්ලා සිටීම ඇප දීමකට එහා ගිය පොදු සමාවක් වේ. ඉදිරියේදී රජයේ මැදිහත් වීමෙන් ක්‍රමාණුකූලව සැකකරුවන් නිදහස් කෙරෙනු ඇත. දැනට මේවා "බයියන්ගේ හීන" ලෙස ලේබල් කිරීම යහපාලන වාදීන්ට ඇති එකම විකල්පයයි. ජනාධිපතිවරණයට පෙර සිරිසේන මහතා සහ දෙ.ජා.ස අතර කොටි ත්‍රස්තයන් නිදහස් කිරීමේ, හකීම්ලාට සමග මුස්ලිම් පාලන කලාප ලබා දීමේ එකඟතා ගිවිසුම් ඇති බවට මහින්දවාදීන් චෝදනා කරන විට ඒවාටද මෙම "හීන" ලේබලය ගසා බැහැර කිරීමට යහපාලනවාදීන් ක්‍රියාකල අතර තමා කිසිවිටෙක කොටි ත්‍රස්තයන් නිදහස් නොකරන බවට මෛත්‍රී සිරිසේන මහතා ශපථ කලේය. "රනිල් මහත්තයා කිව්වා අපේ ලමයි සිරිසේන මහත්තයා ආපු ගමන් නිදහස් කරලා දෙනවා කියලා" කොටි ත්‍රස්තයෙක්ගේ මවක් හඬා වැලපෙනවිට, පොරොන්දු වූ පරිදි කොටි සැක කරුවන් නිදහස් නොකලොත් ආණ්ඩුවට එරෙහි විරෝධතා අරඹන බවට දෙ.ජා.ස - විග්නේශ්වරන් ආණ්ඩුවට තර්ජනය කරන විට, පොරොන්දු වූ පරිදි මුස්ලිම් කලාපය ලබාදෙන ලෙස මුස්ලිම් ඇමතිවරු තර්ජනය කරද්දී යහපාලන අනුගාමිකයින් වහාම සිය අවධානය ඇවන්ගාඩ්, අරලියගහ මන්දිරේ බංකර් වෙත යොමු කලහ! "අපි බිල්ලො මවන්නෙත් නෑ, බිල්ලොන්ට බයත් නෑ" කියූ අනුර කුමරු මෙන්ම මාවිල් ආරුවේ හටන්කල රතන හිමියන්ද මේ ගැන නිහඬය. "ඒවා අපි බලාගන්නම්" කියූ චම්පික මෙන්ම ඊනියා යුධ විරු වෙල් විදානෙ වරින්වර කරන පරස්පර විරෝධී ප්‍රකාශ ඔවුන්ගේ "මහප්‍රාණ ජාතිකවාදී" අනුගාමික කිහිපදෙනාව නිහඬ කර ඇත. මැතිවරණයේදී මේ ගැන නිහඬව (පසුපසින්)හුන් නිර්මාල් රංජිත්ලා අද ඉදිරියට පැමිණ සංහිඳියාව සඳහා ත්‍රස්ත සැකකරුවන් නිදහස් කිරීමේ අත්‍යාවශ්‍යතාවය කියාදෙති. හංස පූට්ටුවට අනූව වංචාව යනු යහපාලනය ගොඩනැගීමට අත්‍යාවශ්‍යම දෙයකි.

මේ අතර යුධ අපරාධ චෝදනා අඩංගු එ.ජාතීන්ගේ ලියවිල්ල ඉහලින්ම පිලිගත් රජය ඒ අනූව හමුදා සාමාජිකයන්ට දඬුවම් දීමට සැරසෙයි. මේ වනවිටත් නොයෙක් කරුණු කාරණා දක්වමින් හමුදා සෙබලුන් අත් අඩංගුවට ගැනීම සිදුවේ. මීට පෙර එජාප රජය යටතේ 2002 සටන් විරාම අවස්ථාවේදීත් කොටි ත්‍රස්තයන්ගේත් බටහිර වහල් ස්වාමීන්ගේත් යශුශි අකාශිගේත් සිත් දිනාගනුවස් අධිකරණයට ඉදිරිපත් වන නීතිපතිවරයා විසින් "ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව" පවසමින් නඩු අවසන්කර කොටි සැකකරුවන් මුදා හැරීමත් ඊට සමාන්තරව බිඳුනුවැව ත්‍රස්ත පුනරුත්ථාපන කඳවුරට පහරදීම නිසා අධිකරණයේ වරදකරුවන් වූ ගම්වාසීන් සහ සහය දැක්වූ ආරක්ෂකයින්හට මරණ දඬුවම ලබාදීම සඳහා එල්ලුම්ගහ බලගැන්වීමට උත්සාහ කිරීමත් සිදුවිය. අද ඊටත් වඩා තදින් කොටි සැකකරුවන් හා සම්බන්ධ අධිකරණ ක්‍රියාවලියට දේශපාලනය මැදිහත් වෙයි.

රජයේ ක්‍රියාකලාපයෙන් වන හානිය කොටි ත්‍රස්තයින් අතීතයේ කල වැරදිවලට දඬුවම් නොලැබීමට බොහෝ එහා යයි. ප්‍රධාන වරද පසුගිය මානුෂීය සටන ජයග්‍රහණය කර රටට සාමය ගෙන ඒමේ ක්‍රියාවලිය හෑල්ලු කිරීමේ මානසිකත්වයක් ජනතාව තුල ඇති කිරීම සහ ජාත්‍යන්තරය ඉදිරියේ එය පිලිගැනීමයි. රටට එරෙහි ඉදිරි මෙහෙයුම් වල ප්‍රතිඵල පිලිගැනීම සඳහා අවශ්‍ය “වරදකාරී හැඟීම්” ජනතාව තුල එයින් ගොඩනැගේ. මෙම මනෝමූල සංග්‍රාමය ඉදිරි ක්‍රියාවලියක පලමු පියවර වේ. රටේ නීතියට ත්‍රස්තයන් අවනත වීමක් නොව ත්‍රස්තයන් ඉදිරියේ රට වරදක් කල බවට පිලිගැනීමක්වෙයි. නිදහස් කරන ත්‍රස්තවාදී සැකකරුවන් දැනටමත් බෙදුම්වාදී පාර්ශවය ඔවුන් හැඳින්වීමට යොදන ආකාරයට “පසුගිය රජය විසින් රඳවාගන්නා ලද දේශපාලන සිරකරුවන්" බවට සම්මතවේ. අත්නොහරින දැඩි ඊලාම්වාදී අදහස් ඇත්තන් වන මොවුන් විදෙස්ගත දෙමල අන්තවාදී කල්ලි සහ විසිරි ජනතාව සමග සංවිධාන ගතවී රාජ්‍ය අස්ථාවර කිරීමේ ක්‍රියාවලියේ පෙර ගමන්කරුවන් වනු ඇත. බෙදුම්වාදී සංවිධායකයින් විසින් ඉදිරි යුධ අපරාධ පරීක්ෂණ වලදී "සිද්ධිය ඇසින් දුටු දර කැඩීමට යුධ බිමට ගිය අවිහිංසක දෙමල ජනතාව"ගේ භූමිකාව රඟදැක්වීමට, වඩා සංගත ලෙස බොරු සාක්කි දීමට මොවුන්ව මෙහෙයවනු ඇත. එමගින් සුනිල් රත්නායකලා වැඩි වැඩියෙන් බිහිකල හැකිවාක් මෙන්ම දෙමල ජන වර්ගයට එරෙහි ශ්‍රී ලංකා හමුදාව සංවිධානාත්මකව යුධ අපරාධ කරන ලදැයි ඔප්පු කර බෙදී වෙන්වී යාමේ අයිතියද ඊනියා ජාත්‍යන්තරය විසින් නියම කරන ලදුව යහපාලන රජය පිලිගන්නා තැන දක්වා රට පසුබැස්විය හැක. ආරම්භක අවධියේදීම මෙම ක්‍රියාවලිය බිඳ දැමීම නිදහස් දේශයක් පතන සියල්ලන්ගේම වගකීමක් වේ.

-සඳරුවන් මහින්දරත්න
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions