1/05/2016

නව ව්‍යවස්ථාවේ රාමුව ෆෙඩරල් ද?

කතෘ:යුතුකම     1/05/2016   1 comment

2016 වසරට පිවිසි අපට මෙම වසරේ මුහුණ දෙන්නට වන අභියෝග කවර ස්වරුපයක් ගනිද යන්න පිළිබඳ දළ චිත්‍රයක් මවා ගැනීම අසීරු නැත. මෙහිදී 2016 කි විට මගේ මනසට ක්ෂණිකව එන අදහස වන්නේ එය 1956 පෙරළියේ හැටවන සංවත්සර වර්ෂය බවයි. එනම් 1956 වසරේ ඇති වූ සදමාජ දේශපාලනික විදේශ ප්‍රතිපත්තිමය සහ සංස්කෘතික පෙරළිය නැවත වතාවක් නොපිට පෙරළන ව්‍යාපෘතින් ගණනාවක්ම 2016 මුදා හරිනු ලබන බව ඉතිහාසයේ සරදමක් හා ඛේදවාචකයක් ලෙස සදහන් කරන්නට සිදුව ඇත.

ආණ්ඩුවේ ඉහළම නායකයින් විසින් හෙළිදරව් කර ඇති පරිදි 2016 වසරේ මහා දේශපාලනික ආර්ථික ව්‍යාපෘති අඩුම තරමින් හතරක් හෝ පහක්වත් සමගාමීව මුදා හරිනු ලබන බව පැහැදිලිය. එතැන සුවිෂේශි අවදානමක් ඇත. ඒ මන්ද යත් ලංකාවේ මින් පෙර කිසිදු අවස්ථාවක එවන් මහා පරිමාණ පරිවර්තන කිහිපයක් එකවර කරන්නට උත්සාහ නොදරා ඇති බැවින් ම පමණක් නොව, ලෝක දේශපාලනය අනුව බැලුවත් එවන් මහා පරිමාණ පරිවර්තන රැසක් එක් සීමිත කාල රාමුවක් තුළ කිරීමේ පිළිවෙතක් ප්‍රජාතන්ත්‍රවාදි රටක දකින්නට නැති බැවිනි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි නොවන රටවල පවා මහා පරිමාණ පරිවර්තන කෙරෙනුයේ ඉතා පරිස්සමෙනි. මෙහිදී මහා පරිමාණ පරිවර්තන රැසක් එක් සීමිත කාල රාමුවක් තුළ ක්‍රියාත්මක කරන්නට යනවිට ඇති වන්නේ විශාල ලෙස විසංවාදි හා ගැටුම්කාරි තත්ත්වයකි. මෙම ගැටුම් හේතුවෙන් ඉරිතැළීම් ප්‍රතිවිරෝධතා සහ පිපිරීම් පවා සිදුවිය හැකි බව මගේ අනාවැකියයි.

මෙම මහාපරිමාණ පරිවර්තන කවරේද? ඒවායේ ප්‍රතිවිපාක කවරේද? ඒ පිළිබදව කෙටියෙන් හෝ විමසා බැලීම වැදගත්ය. එම පරිවර්තන වන්නේ , 1833 සිට ලංකාවේ පැවති ඒකීය රාජ්‍ය රාමුවෙන් පිට පනිමින් ෆෙඩරල් දිසාවකට ගමන් ගන්නා වූ නව රාමුවක් ඉදිකිරීමයි. මෙය බිහිවන්නේ නව ව්‍යවස්ථාවක මුවාවෙනි. එය හුදෙක් නව ව්‍යවස්ථාවක් නොවේ. 1947 සෝල්බෙරි ව්‍යවස්ථාව 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව, 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව මෙන්ම එම ව්‍යවස්ථාවල සියළු සංශෝධන ගත්විට ඒ සියල්ල සිදුවූයේ නිල වශයෙන් හෝ නිල නොවන ආකාරයට පැවති ඒකීය රාජ්‍ය රාමුව තුළය. විවිධත්වයක් සහිත කුඩා දිවයිනක් ලෙස එනම් මහ අසල්වැසියෙකු ළඟ සිටින කුඩා දිවයිනක් ලෙස තිබිය යුතු ශක්තිමත් තනි කේන්ද්‍ර දේශපාලන ක්‍රමය ඒකිය රාජ්‍ය ක්‍රමයේ හරයයි. එම ශක්තිමත් මධ්‍යම ආණ්ඩුව බිඳ දමා ඒ වෙනුවට ස්වයං පාලිත පළාත්වලින් සමන්විත වූ රටක් නිර්මාණය කිරීම නව ව්‍යස්ථාවේ අරමුණු බව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශ තුළින් පැහැදිලිය. එහිදී නව ව්‍යවස්ථාවේ ආකෘතිය ඔස්ට්‍රියානු ආකාරයේ ආකෘතියක් විය යුතු යැයි කීමෙන් පෙනෙන්නේ සුපැහැදිලි ෆෙඩරල් ආකෘතියක් පාවිච්චි කරමින් , ඇතැම්විට ෆෙඩරල් යන වචනය භාවිතා නොකරමින් ලංකාවේ රාජ්‍ය ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට උත්සාහ දරනු ලබන බවයි.

ඒ අනුව මෙම උත්සාහය දරනු ලබන්නේද අසම්මත හා නුසුදුසු ක්‍රමයකටය. ඕනෑම ව්‍යවස්ථාවක් වෙනස් වන ආකාරය එම ව්‍යවස්ථාව තුළම තිබේ. හරි දේ හරියට කළ යුතු අතරම සාධාරණ නීතිය අනුව එය ඉටු කළ යුතුය. එමෙන්ම ව්‍යවස්ථාව වෙනස් කළ යුත්තේ ව්‍යවස්ථාවට අනුවයි. මෙයට ව්‍යතිරේකයක් ලෙස තිබුනේ 1972 ව්‍යවස්ථාවයි. එහිදි ව්‍යවස්ථා දායක සභාවක් හරහා අලුත් ව්‍යවස්ථාවක් අලුතින්ම ආරම්භ කළේ ඊට පෙර වූ ව්‍යස්ථාව යටත් විජිතවාදීන්ගේ දායාදයක් වූ නිසාය. යටත් විජිතවාදී සොල්බෙරි කොමිසම යටත් විජිතහරණයට පාර කැපීම සඳහා ව්‍යවස්ථාවත් සම්පාදනය කළේය. එම ව්‍යවස්ථාවේ හොඳ මෙන්ම නරකද තිබුණි. එහි තිබුණු එක් විශේෂාංගයක් වූයේ බ්‍රිතාන්‍යය උසාවිය වන ප්‍රිට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ නඩු අවසන් වශයෙන් විභාග කරන්නට තිබු හැකියාව සහ නාමික වශයෙන් ලංකාවේ නායිකාව ලෙස බ්‍රිතාන්‍ය රැජින පිළිගනු ලැබීමයි. එම පෙකණිවැල කැපීම සඳහා එම ව්‍යවස්ථාවේ අඩංගු නොවු නව ආකාරයකට අනුව යමින් ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතුව තිබුණි. එය සාධාරණය. එහෙත් ජනරජයක් ස්ථාපිත වූ දා සිට ව්‍යවස්ථාවක් වෙනස් කරන්නේ නම් එය සිදුකළ යුත්තේ ලෝකයේ අනෙකුත් රටවල් ව්‍යවස්ථා වෙනස් කරනු ලබන ආකාරයටයි.

එනම් පවතින ව්‍යවස්ථාවේ ක්‍රමවේදය හා රෙගුලාසි අනුවය. මෙහිදී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කරන්නට උත්සාහ දරන්නේ ව්‍යවස්ථා පරිවර්තනයකට ව්‍යවස්ථාව තුළ තිබෙන ක්‍රම වේදය බැහැර කිරීමයි. මෙය සැබවින්ම සිදුවන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ව්‍යවස්ථා විප්ලව න්‍යාය අනුවය. මෙම ව්‍යවස්ථා විප්ලව න්‍යාය පවා ලෝකය දන්නා න්‍යායක් නොවේ. එවැන්නක් ගැන කිසිදු පොතක මා නම් කියවා නැත. එය චන්ද්‍රිකා ගේ සිතැඟියාවක් පමණි. ඊට අනුව මහ මැතිවරණය දෙකක් ජයග්‍රහණය කළහොත් ව්‍යවස්ථාව වෙනස් කළ හැකිය. එහෙත් ඉකුත් මහ මැතිවරණයෙන් 2/3 ක ඡන්දයක් ආණ්ඩුවට ලැබුණේ නැත. 2/3 බහුතරය ආවේ ඡන්දයෙන් පසුවයි. ඒ අනුව මහජන මතය නව ව්‍යවස්ථාවකට සහයෝගය දෙන මතයත් ලෙස අපට හුවා දැක්වීමට නොහැකිය.

මේ වන විට ව්‍යවස්ථා පරිවර්තනයකට ඇති ව්‍යවස්ථානුකුල මාර්ග සිතියම නොතකා වෙනස් ආකාරයකට ව්‍යවස්ථා මාරුවක් කරන්නේ නම් එය කොතෙක් දුරට නීත්‍යානුකුල සහ යුක්ති සහගත අයුරින් පිළිගත හැකිද? එසේ වුවහොත් එම ව්‍යවස්ථාව අවජාතක ව්‍යවස්ථාවක් නොවේද? මෙය පළමු පරිවර්තනයයි.

මෙහි දෙවැන්න වන්නේ විශේෂ නීති ගෙනැවිත් විශේෂ උසාවි පිහිටුවා නීතිපති කාර්යාලයක් නිර්මාණය කර විදේශික විශේෂඥයන් යොදවමින් රට එක්සේසත් කළ පසුගිය ජයග්‍රාහී යුද්ධයේදී සිදු වූවා යයි කියන යුධ අපාරධ සම්බන්ධයෙන් හමුදා නායකයින් හා එම ජයග්‍රාහි යුද්ධයට නායකත්වය දුන් දේශපාලන නායකයින් පිළිබඳ නඩු විභාග කිරීමයි. මෙයත් වෙන රටවල සිදුවන දෙයක් නොවේ. වෙනත් රටක් මෙවැනි ක්‍රියාමාර්ග වලට යන්නේ පරාජිත වූ ප්‍රජාතන්ත්‍රවිරෝධි ත්‍රස්තවාදි හෝ ෆැසිස්ට්වාදී බලවේග සම්බන්ධයෙනි. එසේ නොමැතිව නීත්‍යානුකුල හමුදාවක් සම්බන්ධයෙන් එවැනි තීරණ ගන්නේ නැත. මෙහිදී ගත යුතු වන්නේ සහ වෙනත් රටවල කෙරෙන්නේ පවතින දණ්ඩ නීති සංග්‍රහය අනුව පවතින උසාවි ව්‍යුහය ගැන සොයා බලා දඬුවම් කිරීමයි. මෙය දෙවැනි මහා අසම්මතයයි.

තුන්වන මහා අසම්මතය වන්නේ ලංකාවේ සම්පූර්ණ පැවැත්ම සහමුලින්ම වෙනස් කරන ඊනියා හනුමන් පාලම ඉදිකරීමයි. හනුමන් පාලම යනු මගේ වචනයක් නොවේ. එය ඉන්දියාවේ පුවත්පත් වල සඳහන් වන පරිදි එය ලංකාව හා ඉන්දියාව යා කොට තනන අලුත් පාලමට දැනටමත් නම් කොට ඇති නමයි. රාමායනයට අනුව රාම රාවණ සිතා යන තිදෙනවා ගේ කතන්දරයට අනුව බොහෝ දෙනෙකු දන්නා දෙය වන්නේ හනුමන්ගේ ක්‍රියාකලාපය සාර්ථක වූයේද රාවණාගේ අභ්‍යන්තර පිරිසේ සිටි ද්‍රෝහියෙක් නිසාය. මේ අතර ඉන්දියානු මහා මාර්ග ඇමති ඉන්දියානු මහා මාර්ග ඇමති ඉන්දියානු පාර්ලිමේන්තුවේ නිල ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඉන්දියාව හා ලංකාව යා කරන මුහුද යටින් දුවන උමගක් පාලමක් මෙන්ම දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට ආසියානු සංවර්ධන බැංකුව දැනටමත් මුදල් වෙන් කර ඇති බවත් එම ව්‍යාපෘතිය පිළිබඳව දැනටමත් ඉන්දීය අගමැති මෝදි ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කර අවසන් බවත්ය. එම කතාව බොරුවක් නම් විදේශ අමාත්‍යංශය ඒ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කොට ලංකාවේ මහ කොමසාරිස් නවදිල්ලියේදි ඊට විරුද්ධව පළකළ යුතුව තිබුණි. එහෙත් එවැන්නක් සිදුවූයේ නැත.

ඒ අනුව අපට නිගමනය කරන්න සිදුවන්නේ එම කතාව සත්‍යයක් බවයි. ඉතා මැතකදී එන්රිකේ ගේ සංගීත සංදර්ශනයක් නිසා ආන්දෝලනාත්මක කතාබහක් ඇති වුණි. එහිදී සිරිසේන ජනාධිපතිවරයා කියන ලද්දේ රටක සංස්කෘතිය සහ සම්ප්‍රදායක් නීතියටත් වඩා රටට වැදගත් බවත් විදේශ සංස්කෘතික ආබාධයන්ගෙන් මනස පුරවා ගත් පුද්ගලයින්ට නිරුවත පාරේ ගමන් කරන්නට නිදහස ලබා නොදෙන බවත්ය. මෙම සංස්කෘතික ප්‍රශ්නයේදී කිසිදු ස්ථාවරත්වයක් දැක්වීමය කිසිසේත්ම මට අදහසක් නැත. ඒ මෙහි දෙපැත්තක් ඇති බැවිනි.

කෙසේ නමුත් සංගීත සංදර්ශනයේදි ඇති වූ සිද්ධියෙන් පෙනෙන්නේ ජනවාරි 8 වෙනිදා ඇති වූ පරිවර්තනය හා යහපාලනය පිළිබඳ කිසියම් සංඥාවක් තරුණ පරපුර අතරටත් සමාජයටත් ගොස් ඇති බවකි. එසේ නැත්තම් මෙවැනි සංඥාව සහ එම චර්යාව ගැන කිසිදු අදහසක් මට නැත. එහෙත් ඊට වඩා වැදගත් කාරණයක් සංස්කෘතිය සම්බන්ධයෙන් මෙහි තිබේ. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, සභ්‍යත්වය, අපේකම, ආගම ආදි මේ සියල්ලම මතුවුයේ සහ හැඩගැසුණේ ඉන්දියානු මහද්වීපයෙන් වෙන් වූ ස්වාධින දූපතක් ලෙස ලංකාව පැවති බැවිනි. ඉන්දියානු අර්ධ ද්වීපයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාව පැවතියා නම් මෙහි ආගම වන්නේ හින්දු ආගමයි. බුදු දහමට ඉන්දියාවේ අත්වූ ඉරණම ලංකාවේදී අත්නොවුණේ ලංකාව ඉන්දියානු අර්ධද්වීපය සමඟ සම්බන්ධ නොවු බැවිනි. එනම් සහමුලින්ම වෙනත් පැවැත්මක් සහිතව සැතපුම් දහනවයක සාගරයකින් සහතික කර තිබූ බැවිනි. එම සාගරය නොතිබෙන්නට අපේ සම්පූර්ණ ඓතිහාසික සහ සංස්කෘතික ඉරණම වෙනස්ය. එහිදී අපේ භාෂාවද සිංහල නොවන්නට ඉඩ තිබුණි.

මෙහිදී ඉන්දියාව හා ලංකාව යා කරන පාලම හුදෙක් රටවල් දෙකක් යාකරන පාලම් නොවේ. එය දිවෙන්නේ රාමේශ්වරන් හා ධනුෂකොඩි අතරය. එනම් තමිල්නාඩුව හා දමිළ භාෂාව කතා කරන උතුරුකරය අතරය. එය තවදුරටත් පැහැදිලි කරනවා නම් බෙදුම්වාදී මතයන් ප්‍රසිද්ධියේ ගෙනහැර පාන තමිල්නාඩුව අතරය.

තමිල්නාඩුවේ මහ ඇමතිනි වන ජයලලිතා නිල ලියමනක් මඟින් මෝදි අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේ මෙහි තමිල් ඊළමක් පිහිටුවන්නට ඉන්දියාව සහයෝගය දියු යුතු බවයි. එවැන්නක් සිදුවන්නේ යැයි මෙහිදී මා නොකියන අතර මගේ අදහස වන්නේ එවැනි රෝගයක් ඇති තමිල්නාඩුව සමඟ එවැනි රෝගයක් නැති තිස් අවුරුදු යුද්ධයකින් බේරාගත් උතුර යා කරන්නට යන්නෙ කවර අරමුණකින්ද යන්නයි. එවැනි යා කිරීමකින් මෙම කුඩා දූපත ඉන්දියාවේ කොටසක් බවට පත්වන්නේ නැද්ද? එවන් තත්ත්වයක් තුළ ඊළඟ පරම්පරාව පරිණාමය වන්නේ කෙසේද? බිලියනයක ජනතාවක් සිටින අර්ධ ද්වීපයක් සමඟ මෙම කුඩා දූපත ඇමිණ ඇති විට එහි අනන්‍යතාවයට, සංස්කෘතියට සභ්‍යත්වයට සිදුවන්නේ කුමක්ද?

ඒ අනුව සංස්කෘතික සභ්‍යත්වයට හා අපේ කමට මරණීය තර්ජනයක් වන්නේ එන්රික්ගේ සංගීත සංදර්ශනයේ වූ සිදුවීමෙන්ද? එසේත් නැත්නම් අග්‍රාමාත්‍යවරයාගේ අනුමැතියෙන් ඉදිකරන්නට යන මුහුදු උමඟ සහ හනුමන් පාලමද? මෙහිදී තරුණියකගේ උඩුකය වසන යට ඇඳුම වේදිකාවට ගලවා දැමීමේ යැයි කියා සංවිධායකයින්ට මඬු වල්ගයෙන් තැලීම සුදුසු නම් ඒකීය රාජ්‍ය සංකල්පය ඇමරිකානු වේදිකාවට ගලවා විසිකර හනුමන් පාලමක් ඉදිකරන්නට අනුමැතිය දෙන අග්‍රාමාත්‍යවරයාට කුමකින් තැලිය යුතු දැයි අප නොදනිමු. කෙසේ නමුත් මෙය තෙවන විශාල පරිවර්තනය බව සඳහන් කළ යුතුය.

හතරවන පරිවර්තනය වන්නේ ඉන්දියාව හා ශ්‍රි ලංකාව පෙබරවාරි මාසයේ අත්සන් කරන්නට යන ECTA ගිවිසුමයි. එය ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුමකි. මේ ගැන නොයෙකුත් මත ඇති නමුදු ආණ්ඩුව කියා සිටින්නේ ශ්‍රම වෙළඳ පොල ඉන්දියාවට විවෘත නොකරන බවයි. එනමුත් ECTA ගිවිසුම සම්බන්ධයෙන් ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ වෙළඳ කටයුතු භාර අමාත්‍යංශවල ලේකම් වරුන්ගේ සාකච්ඡා වලින් පසු නිකුත් වූ නිල ප්‍රකාශයේ සඳහන් වන්නේ ඊට වඩා වෙනස් දෙයකි. ඒ නිල ප්‍රකාශයේ ඇත්තේ ශ්‍රම වෙළඳපොළේ විවෘත නොවන අංශ දෙකක් ඇති බවයි. එහි එක් අංශයක් වන්නේ බෝට්ටු සහ නැව් ඉදිකිරීමයි. අනෙක් අංශය වන්නේ තොරතුරු තාක්ෂණයයි. මෙය ඉතා භයානක තත්ත්වයකි.

අදවන විට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ලංකාව විශාල දියුණුවක් අත්කරගෙන ඇති අතර පරම්පරාවක්ම තොරතුරු තාක්ෂණය පිළිබඳ දස්කම් පෙන්වා රැකියා වලට පිවිස ඇත. එම ක්ෂේත්‍ර යෙන් දැනට ඔවුන් ලෝක වෙළඳපොළ සමඟ ද බද්ධ වී තිබේ. මෙම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට ඉන්දීය තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ තරුණ තරුණියන්ට ඇතුළු වන්නට ඉඩ දුන්විට අපේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට සිදුවන්නේ කුමක්ද? තොරතුරු තාක්ෂණ අංශය රටක වැදගත් මර්මස්ථානයක් බව අප අමතක නොකළ යුතුය. අසල්වැසි මහ බලවතාගේ තොරතුරු තාක්ෂණ පුහුණව ලද ශ්‍රමිකයන්ට එම ක්ෂේත්‍රයට ඇතුළු වීමට ඉඩ දුනහොත් එය අපේ ස්වෛරිත්වයට ප්‍රශ්නයක් වනු ඇත.

එහිදී ස්වෛරත්වය පිළිබඳ ප්‍රශ්නය පසෙක තැබුවත් තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් දස්කම් දක්වා ඇති ලාංකික තරුණ පිරිසට රැකියා අහිමි වීම හෝ විශාල දැනුමක් සහිතව පැමිණෙන ඉන්දියානු තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් යටතේ කටයුතු කරන්නට එහදි සිදුවනු ඇත. මෙයත් විශාල පරිවර්තනයකි.

අවසන් මහ පරිවර්තනය වන්නේ රටේ ආර්ථිකය සහමුලින්ම පාහේ පෞද්ගලිකරණය කිරීමට ගෙන ඇති තීන්දුවයි. මෙම තීන්දුව සංකේතවත් වන්නේ 2016 වසරේ භාණ්ඩාගාරයේ නව ලේකම්වරයා විසින් පත්කරන්නට යන චරිතය විසිනි. පුවත්පත්වල පළවන ආකාරයට මහාචාර්ය රසීන් සාලි භාණ්ඩාගාරයේ නව ලේකම්වරයා ලෙස පත් කිරීමට යන බව කියවේ. ඔහුට ලාංකික සම්භවයක් ඇති නමුත් ජීවිතකාලයේ වැඩි කලක් බ්‍රිතාන්‍ය යේ ජිවත් විය. එපමණක්ද නොව ඔහු සළකනු ලබන්නේ ලොව අන්ත දක්ෂිණාංශික රැඩිකල් පෞද්ගලිකරණවාදි ආර්ථික මතධාරින්ගේ ජාත්‍යන්තර සංගමයන්හි සාමාජිකයෙක් ලෙසටයි. ඔහු දැනට ලියා ඇති ලිපි වලින් පවසා ඇත්තේ ලංකාවේ ආර්ථික ආකෘතිය විය යුත්තේ චිලි රටේ 1973- 1974 වසරේ තිබු ආර්ථික ක්‍රියාවලිය බවයි. එම වැඩ පිළිවෙල ක්‍රියාත්මක වූයේ අන්ත දක්ෂිණාංශික ඇමරිකානු ගැති ෆැසිස්ට්වාදි හමුදා ආණ්ඩුවකින් බව ඔහු පවසා නැත.

ඒ අනුව සමාජ සුභ සාධනයට සහමුලින්ම විරුද්ධ අන්ත දක්ෂිණාංශික නව ලිබරල් වාදී ආර්ථික චින්තකයෙක් ලංකාවේ භාණ්ඩාගාරයේ ලේකම් ලෙස පත් කරන්නේ නම් ලංකා ආර්ථිකයට ඉන් සිදුවන්නේ කුමක්දැයි අපට සිතාගත හැකිය.

එහිදී අලුත් ව්‍යවස්ථාව හා ආර්ථික ප්‍රතිපත්තිය අතරත් සම්බන්ධකමක් තිබේ. මේ දෙක සහ හනුමන් පාලම අතර සම්බන්ධයක් තිබේ. මේ සියල්ල ක්‍රියාත්මක වූ විට අප අපගේ ජිවිතයේ ඉතිරි කාලය ගෙවන්නේ සහ අනාගත පරපුර බිහිවන්නේ කවරාකාර ලංකාවක් තුළද? නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක වුවහොත් ලංකාවේ සියලු පළාත් ස්වයං පාලිත වනු ඇත. මධ්‍යම ආණ්ඩුව හැකිලෙනු ඇත. ඒ අතරවාරයේ ආර්ථිකය සහමුලින්ම පෞද්ගලිකරණය වනු ඇත. එවිට ඌව පළාතක් වැනි පළාතක් සංවර්ධනය වන්නේ කෙසේද?

බස්නාහිර හා ඇතැම් විට දකුණු පළාතද තරමක් දුරට සංවර්ධනය වීමට ඉඩ ඇත. උතුරු පළාත නම් සංවර්ධනය වනු ඇත. මන්ද තමිල්නාඩුවේ ප්‍රාග්ධනය, දමිල ඩයස්පෝරාවේ ප්‍රාග්ධනය උතුරු නැගෙනහිර පළාත්වලට ලැබෙන බැවිනි. මෙහිදි ප්‍රාග්ධනයක් නොමැති පළාත්වලට මධ්‍යඹ ආණ්ඩුවේ හව්හරණක් නැති කටයුතු කරන්නට සිදුවන විටදී ඔවුන් විසින් කරන්නේ එම පළාතේ තියන සියළුම දේ විදේශිය කොම්පැණි වලට විකිණිමයි. එය විකුණන්නේද ඩයස්පෝරාව පාලනය කරන හෝ ඉන්දියානු කොම්පැණි වලටය.

ඒ අනුව උතුරු දකුනු සංහිඳියාවක් අපේක්ෂා කළ නොහැකි අතර ස්වයං පාලිත පළාත් සහිත රටක් සංවර්ධනය වන්නේ සමස්ත ජාතික විඥානයකින් නොවේ. හුදෙක් ගැඹුරු ප්‍රදේශවාදි විඥාණයකිනි. ඒ අනුව සර්ව ලාංකික විඥානය කිසිසේත්ම ඇති නොවන අතර සිංහල ජාතික විඥාණය පවා පළාත් වශයෙන් බිඳ විසිරී යනු ඇත. ඒ අතරවාරයේ තමිල්නාඩුව නමැති කාන්දමට උතුරු නැගෙනහිර තල්ලු වී යන ආකාරයට මධ්‍යම ආණ්ඩුව දුර්වල කර එම පළාත් ස්වයං පාලිත පලාත් බවට පත්කරනු ඇත.

මේ සියල්ල සිදු කරන්නට යන්නේ 2016 වසරේදීය. එබැවින් එළඹෙන වසර මහා පරිමාණ නෛතික දේශපාලන විදේශ ප්‍රතිපත්තිමය සංස්කෘතික සහ සදාචාරමය ගැටලු වලින් ගහන වසරක් වීම වැළැක්විය නොහැකි වනු ඇත.

ආචාර්ය දයාන් ජයතිලක - Rivira

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com