1/23/2016

මෛත්‍රිපාල ගේ මහින්දකරණය

කතෘ:යුතුකම     1/23/2016   1 comment

"මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති තුමාගේ නිල තේමා ගීතය" නමින් එතුමා බලයට පත්ව වසරක් ගත වීම නිමිත්තෙන් ඉකුත් ජනවාරි 8 දා නිකුත් කල ගීතය නිකුත් කර පැය විසි හතරක් ගත වීමටත් පෙර යූටියුබ් සහ වෙනත් වෙබ් අඩවි වලින් ගලවන ලදී. අනතුරුව එම වීඩියෝව ජනපති අනුමැතියකින් තොරව නිපදවූවක් ලෙස කියන්නට ජනාධිපති මාධ්‍ය ඒකකය අසාර්ථක උත්සාහයක යෙදුනි [එම පැටලවිල්ලේ විස්තරය මෙහි ඇත]. සියලු කරුණු කාරණා සලකා බලද්දී "ගැලවීම" හැරුණු විට වෙන විකල්පයක් තිබුනේ ද නැත. ඒ කෙසේ වෙතත් මෛත්‍රිපාල සිරිසේන එම වීඩියෝ පටය හරහා තමන් ගැන බොහෝ දේ පවසා ඇත.

මහින්ද රාජපක්ෂ ජනපති ලෙස පත්ව කළ මංගල කථාවේ ඔහු එක ඉල්ලීමක් කළේය: "ප්‍රශස්ති ගායනා නොකරන්න". එම ඉල්ලීමට "මිත්‍රත්වය" පිලිබඳ යමක් ද ඔහු එකතු කළේය: "මාගේ සැබෑ මිතුරන් වන්නේ සාධාරණ විවේචන කරන්නන් මිස ප්‍රශස්ති ගායනා කරන්නන් නොවේ". ඒ 2005 නොවැම්බර් මාසයේ ය. කාලය සමග ඔහුට ද ඔහුගේ පාක්ෂිකයින්ටද විශේෂයෙන් ඔහු වටා රොක් වී විවධ වරප්‍රසාද දිනාගෙන සිය පැවැත්ම ඔහුගේ දේශපාලන අනාගතයට ගැට ගැසූ අයට ද ඒ ඉල්ලීම අමතක වුවා විය හැක. ප්‍රශස්ති වල නම් අඩුවක් නොවින, විශේෂයෙන්ම 2009 මැයි 18 දාට පසුව.

1978 ව්‍යවස්ථාව යටතේ ජනාධ්පතිට පිරිනැමෙන බලතල සලකා බලද්දී ප්‍රශස්ති ගායනා ඉල්ලීමටත්, ප්‍රතික්ෂේප කිරීමටත්, අවශ්‍ය නම් තහනම් කරන්නටත් මහින්ද ට හැකියාව තිබිණ. එබැවින් ඒවා සඳහා ඔහුගේ සක්‍රීය දායකත්වය හෝ නිහඬ අනුමැතිය ලැබුනේ යැයි නිගමනය කල යුතු ය. ඔහුගේ ධූර කාලය තුල සිදුවූ සියලු අක්‍රමිකතා සහ සාහසිකකම් වලට අඩු වැඩි වශයෙන් ඔහු වග කිව යුතුය. එබැවින්ව 2009 මැයි මස එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කරීමේ ප්‍රධාන ගෞරවය හිමි වන්නේද ඔහුටමය. ඉතින් එම ජයග්‍රහණය වෙනුවෙන් නිර්මාණය වූ "ආයුබෝ වේවා මහා රජාණෙනි" ගීතය ජනප්‍රිය වීමද සාමාන්‍ය දෙයකි. රජවරු ගැන කියවුනද එම වකවානුවේ පොදුවේ රාජපක්ෂගේ නායකත්වය ට වටිනාකම තිබුනේ ය. පසු කාලයේ (විශේෂයෙන්ම 2010 ජනාධිපති මැතිවරණ සමයේ) එම ගීය යම් යම් පාර්ශව වල උදහසට ලක්වීම වෙනත් කාරණයකි. ප්‍රශස්ති ගායනා ඉවසීමේ සහ ඒවාට අනුබල දීමේ ආදීනව පෙන්වා දුන්නද [2011 නොවැම්බර් 7 දා "ද නේෂන්" පුවත්පතේ කතුවැකිය,"Friendship and Hosanna-Singing" කියවන්න] ඔහු සිය ප්‍රධානම ප්‍රතිවාදියා බවට තමන්වම පත්කරගත්තේය [මහින්ද රාජපක්ෂ ගේ දෙවන වාරය ඇරඹුන සමයේ ලියු "Mahinda Rajapaksa's most formidable enemy"කියවන්න].


"සිව් මහා බඹුන් දුන් විවරණින්
අපටත් රජෙක් පහලව ඇතේ
ඒ මහා රජුන් පෑ පෙළහරින්
මේ දෙරණ එක්සේසත් වුනේ"

[සම්පූර්ණ විඩීයෝ ව මෙහි ඇත]

බෙදුණු රටක් එක්සත් කලේ ඔහු ගේ නායකත්වයෙනි. "දෙස් විදෙස් අභියෝග බිඳ" නායකයෙකි ඔහු. 2005-2015 කාලය තුල මේ රටේ සිදුවූ සියලු දූෂණ, වංචා, තක්කඩිකම්, මිනීමැරුම් ගත්කල ඒවා ජේ.ආර්-ප්‍රේමදාස සහ චන්ද්‍රිකා යුග වලදී ජනතාවට අත්විඳින්න වූ පීඩාවන්ට සාපේක්ෂව 'සුළු අපරාධ' ලෙස සැලකිය යුතු වුවද ඒ රජයන් වෙත 'දෙස් විදෙස්' අවලාද නැගුනේ නැති බව ද මතක් කල යුතු ය.

ඒ කෙසේ වෙතත් "ආයුබෝ වේවා" ප්‍රශස්ති ගැයුමකි. එයට රාජපක්ෂ ගේ අනුමැතිය ලැබුණි. ඒ ගීතයේ සහ මෛත්‍රිපාල සිරිසේන ජනපති ගේ පළමු පදවි ප්‍රාප්තිය නිමිති කොට නිර්මාණය වූ "ඔබ අපේ මිනිසෙක්" ගීතය අතර ඇති ප්‍රධාන සමානකම එය වේ. දැන් වෙනස සලකා බලමු.

අප මුලින් සඳහන් කල පරිදි, මහින්ද ගේ ගීතය මහා පොළොවේ යථාර්ථයක් පිළිබිඹු කළේය. මෛත්‍රී ඇත්තටම "අපේ මිනිසෙක්" ද? බහුතරයක් ඡන්දය දුන් බැවින් බහුතරයකට ඔහු 'අපේ මිනිහෙක්' යැයි තර්ක කල හැක. එනමුත් ඔහුම කියා ඇත්තේ "මේ රටේ කවුරු මොනවා කිව්වත් ජාත්‍යාන්තරය (ඔහු) සමග" බවයි. මෙහි ඇත්තක් තිබේ, මන්ද මේ රටේ ඔහුගේ නම ඉදිරියෙන් කතිරයක් ගැසූ බොහෝ දෙනාට අවශ්‍ය වුයේ ඔහු ජනපති කරනවාට වඩා මහින්ද රාජපක්ස බලයෙන් ඉවත් කිරීමයි. ඔහු ජනපති වීම මහින්ද 'එලවීමේ' අතුරු ඵලයක් වැනිය.

"ඔබ අපේ මිනිහෙක්" ගීතයෙන් මෛත්‍රිපාල අපේ මිනිහෙක් වන්න උත්සාහා කරනබවක් දැනෙන්නේ එම නිසා විය යුතුයි. අරමුණ එය වුවත් ගීතයෙන් නම් සිද්ද වෙන්නේ අනිකකි. එනම් ඔහු මේ රටේ මිනිසුන්ගේ සිතුම් පැතුම් සහ දේශපාලන, සාමාජීය අවශ්‍යතා හා අනන්‍ය නොවන කෙනෙකු බවය. මහින්ද ගේ 'රජකම' තුල ඇති උද්දච්චකම යම් ප්‍රමාණයකට මැකී යන්නේ රට එක්සේසත් කිරීම සඳහා සැබවින්ම ඔහු තීරණාත්මක ලෙස දායක වූ බැවිනි [එක්සේසත් වීම හොඳද නරකද යන්න මෙහිදී අදාළ නොවේ -- ඇතැම් විචාරකයින්ට එම "ප්‍රතිඵලය" ජනතාවට විඳින්න සිද්ද වූ දැවැන්ත පරාජයකි; එහෙත් අති බහුතරය එය "ජයග්‍රහණයක්" ලෙස වැළඳ ගත් බව පැහැදිලිය].

මෛත්‍රී ගේ 'රජකම' විහිළුවක් වන්නේ 'අපේ මිනිහෙක්' වීමේ කයිවාරුව බරපතල ලෙස ඔහුගේ ක්‍රියාකලාපය මෙන්ම එම වීඩියෝ වෙන් ද ප්‍රශ්න වන බැවිනි. මෙය වඩාත් ම පැහැදිලි වන්නේ මෛත්‍රිපාලගේ ගීයටම මහින්ද ගේ රූප පෙළක් එකතු කර නිර්මාණය කර ඇති වීඩියෝවෙනි. එහි දෙවිවරු නැත. රජවරු නැත. සුදු අශ්වයෝ නැත. මිනිසුන් ඇත. ගැලපීමක් ඇත. [එම වීඩියෝ ව මෙතන ඇත] ඇතැම් විට මෛත්‍රිපාල 'මිනිසුන් අතර' සිටින ඡායාරූප පෙළක් පසුබිම් කොට "ඔබ අපේ මිනිසෙක්" නිර්මාණය කලේ නම් මේ තරම් අභව්‍ය නොවනු ඇත. එසේ නොවුනේ මෛත්‍රී සහ ඔහුට ප්‍රශස්ති ගයන වන්දිභට්ටයින් ඒ තරම්ම් ම පොදු සමාජයෙන් (සහ මැතිවරණ සමයේ ඉස්මතු වූ ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ කතිකාවෙන්) විතැන් වී ඇති නිසා විය හැක.

මෙන්න මෛත්‍රී විසින් මෛත්‍රී සඳහා මෛත්‍රී සමග නිර්මාණය කරන ලද ගීතය:

අභිමාන පුලතිසි මහා පැරකුම් විජයබා කුලයේ
ඉතිහාසයම යලි ගොඩ නගන්නට නුඹට බාරයි අපේ මව් දෙරණේ
විරාජිත වේ නුඹ සදාකල් ම
අතීතයමයි අනාගත අරුත
වැටෙන අහසින් දිය බිඳක් වත් අහක නොදමා ඉතිරි කල නිරිඳෙක්
රටට ඕනෑ මහ පොළොවේ තතු හඳුනා ගත මිනිහෙක්
නුඹට පුළුවන් රට හදන්නට නුඹ අපේ මිනිහෙක්

එදත් ගැයුවා බොරු ප්‍රශස්ති වන්දිභට්ටයෝ වටකරන් නිරිඳුන්
නොරැවටී නොසැලී පෙර මෙන් යායුතුයි හෙටටත්
නුඹට පුළුවන් රට හදන්නට නුඹ අපේ මිනිහෙක්
නුඹ අපේ මිනිහෙක්

විජාතික පර අඳුරු සෙවනැලි නුඹ වටත් කැරකේවී ළඟ හිඳිමින්
අව්‍යාජකම හා මෛත්‍රියමයි නුඹට හිමි අවියත්
ජාතියම ලෙලවා තබනු මැන හෙට එයයි අපේ පැතුමත්
එයයි අපේ පැතුමත්

රජවරු කුමාරවරු යුගය අවසන් කර ඇති බව ආඩම්බරයෙන් පැවසූ මෛත්‍රිපාල දැන් රජවරු කුමාරවරු නොව දෙවි වරු සහ දේව වරම් වැළඳ ගැනීම මොනතරම් හාස්‍යජනකද? රටේ ජනතාවගේ ආදරය, ගෞරවය සහ විශ්වාසය ට වඩා පිටරැටියන්ගේ "කරුණාව" අගයන කෙනෙකුට, එවන් බලවේග වල ආධාරයෙන් බලයට පත් කෙනෙකුට (හියුගෝ ස්වයර් එසේ පවසා ඇත) "විජාතික පර අඳුරු සෙවණැලි" වල භයානක කම පහදා දෙන්නේ කෙසේද? ප්‍රජාතන්ත්‍රවාදය රට තුල යලි ස්ථාපිත කරන, පුරවැසිකමට නැවත අරුතක් දෙන නායකයා මොහු යැයි සිතු කෙනෙක් වේ නම් ඔහු හෝ ඇය ඒ මායාවන් ගෙන් මිදීමට මෙයම ප්‍රමාණවත් සාධකයක් වේ.
"විරාජිත වේ නුඹ සදාකල් ම". මහින්ද ද මෙලෙස සිතන්නට ඇත. ඔහු ගැන ප්‍රශස්ති ගැයුවන් ද ඔහුට වන්දිභට්ටකම් කල අයද මෙලෙස සිතන්නට ඇත. මෛත්‍රිපාල යනු රාජතාන්ත්‍රිකයෙකු නොව තවත් එක දේශපාලනඥයෙකු බව පහුගිය වසර තුල ඔහු මොනවට ඔප්පු කර ඇත. ඥාති සංග්‍රහ, පලිගැනීම්, බලය අයුතු ලෙස යෙදවීම් පහු ගිය මාස දොළහ තුල එමටය. වඩාත් ම හාස්‍යජනක වන්නෙ වන්දිභට්ටයින් වටකරන් සිටින, වන්දිභාට්ටයින්ට ප්‍රේම කරන මෛත්‍රිපාල ට වන්දිභාට්ටයින්ගෙන් නොරැවටෙන්න කියා වන්දිභට්ටයින් ම ප්‍රකාශ කර සිටීම යි. ප්‍රශස්ති ගායනයකින් ප්‍රශස්ති ගායකයින් ට නොරැවටෙන ලෙස ඉල්ලා සිටීම යි. වෛරය සහ පළිගැනීමේ ඡේතනාවෙන් මෙහෙයවෙන කෙනෙකු ට 'මෛත්‍රිය' නම් අවියක් ඇති බව කීමයි. ව්‍යාජත්වය පිරී ඇති ගීයකින් ව්‍යාජත්වයේ සතුටින් කිමිදෙන කෙනෙකු අව්‍යාජ යැයි පැවසීමයි.

මෙම පද රචනයෙහි එකම එක නිවැරදි පදයක් ඇත: "අතීතයමයි අනාගත අරුත". එයද ගීත රචකයා අදහස් කරන අරුතින් නොව "මහින්ද" නම් වූ 'අතීතය" "පශ්චාත්-මහින්ද" නම් වූ "අනාගතය" වීමේ අරුත ය.

මාලින්ද සෙනවිරත්න


-යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. Buduhamuduruwo issaraha kuda ihalagena mal pujakarana Gramasewaka goiyawa dekkada???

    Meyaka hithan inne Rata kiyanne higurakgodata witharai kiyala

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions