1/27/2016

එන්රික්, “සෙක්ස් ඇන්ඩ් ලව්” හා තවත් අය: සමාජ ඛේදවාචකයක පාර්ශවකරුවන්, විනිසුරුවන් හා වින්දිතයන්

කතෘ:යුතුකම     1/27/2016   1 comment

කාන්තා ඇඳුම් සොරකම් කරන්නන් අපේ සමාජයේ නැත්තේ නොවේ. එක්කෝ එවැන්නකු හොඳ හැටි ගුටි බැට සංග්‍රහ ලබයි. නැත්නම් පොලිස් අත්අඩංගුවට පත්වේ. එවැන්නන් මානසික ආබාධයන්ගෙන් පෙලෙන බව දැනුමැති සමාජය පිළිගනී. එවැනි පුද්ගලයකු ආශා කරන්නේ කාන්තා යට ඇඳුම් වලට නම්, ඉන් ගම්‍යමාන වන්නේ මානසික ආබාධය බෙහෙවෙන්ම උග්‍ර බවය. එනයින් සළකා බලද්දී එන්රික් ඉග්ලේෂියස් යනු කවුද?

දෙවියන්ට ආහාර පිණිස අප පුදන්නේ පළතුරුය. කැවිළිය. එහෙත් මල පෙරේතයන් සඳහා අපි පුළුටු, පිලී ආදී දේ පුද දෙන්නෙමු. සම්භාව්‍ය වූවද නොවූවද, සුපර් ස්ටාර් වේදිකාවක අභිෂේක ලබන ළාමක ගායකයකු ගායිකාවක වුව ලබන්නේ විශිෂ්ට සම්මානයකි. එය වටිනා දෙයකි. එය කාන්තා හෝ පිරිමි යට ඇඳුමක් නොවේ. සිංහල ජන විඥානය අනුව ඒ අර්ථයයෙන් සළකා බලද්දී එන්රික් යනු දෙවියක්ද, ප්‍රේතයෙක්ද?

ලෝකයේ එවැනි උන්මත්තකයන් ඇත්තේ එකකු දෙන්නකු නොවන බව අපි දනිමු. එහෙත් කාන්තා ඇදුම් සොරකම් කරන, මානසික ආ
බාධයකින් පෙලෙන්නෙකුට ගුටිබැට දෙන සමාජයක්, එවැන්නකු ප්‍රසංග වේදිකාවේ දැකීමට රුපියල් 35,000/- සිට 5,000/- දක්වා වූ ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන ඉන් නොනැවතී ඒ සංගීත රිද්මයේ උන්මාදනීවය අතරමං වීම? පිස්සන්ගේ පදේට නටන්නේ කවුරුන්ද? අපි එයද ඉවසමු! ප්‍රශ්න නොකරමු. නූතන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සකලවිධ උන්මාදයන් වැළඳ ගැනීමට ඉඩහසර ලබාදේ. අප වස්කවි ලිවිය යුත්තේ, ශාප කළ යුත්තේ එවැනි උග්‍ර උන්මත්තකයන් ගෙන්වා ශ්‍රී ලාංකේය යෞවනයේ “පොපියන චමත්කාරයට” ආලෝකයක් එක්කල ඇත්තන්ට එරෙහිව බව අපගේ අදහසයි.

“සෙක්ස් ඇන්ඩ් ලව්” කී පමණින්ම මේ සංදර්ශනය අපේ රටට, සිංහල මහා සංස්කෘතිය පදනම් කරගත් නූතන ශ්‍රී ලාංකික සංස්කෘතියට ගැලපේද නොගැලපේද යන්න තීරණය කිරීමට වගකිවයුත්තන් අසමත් වන්නේ ඇයි? දඹදිව වන්දනාවේ ගොස් ගම්රට බලා එන උපාසකම්මා ඉන්දියාවෙන් ගෙන එන බෑගයද ස්කෑන් කරන රටේ එන්රික්ලා ගෙන්වා කුණුහරුප ජවුසං නටන්නට ඉඩදීම සිදුවන්නේ කෙසේද? මේ අවාසනාවන්ත ජවුසම සංවිධානය කරන කණ්ඩායමේ ප්‍රමුඛත්වය ගත්තේ කවුදැයි දැනගනිද්දී අපේ සිත් කම්පාවට පත්විය. ඒ, එටිසලාට් සමාගමේ ප්‍රධානී යසීර් අබුල්අමායම් නිසාවත්, ලයිව් ඉවෙන්ට්ස් හි ප්‍රධාන විධායක නිළධාරි රියාස් ශාහ් නිසාවත්, ප්‍රයිම් ලෑන්ඩ්ස් ගෘෘප් හි සභාපති ප්‍රේමලාල් නිසාවත්, කොන්ටිනන්ටල් ඉන්ෂුරන්ස් කළමනාකරන අධ්‍යක්ෂ චමින්ද සිල්වා නිසාවත්, ඊ.බී.සී. රේඩියෝවේ ප්‍රධානී චාලක ගජබාහු නිසාවත් නොවේ.

අප කම්පා වන්නේ පළමුව , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ පැඩී විතාන නිසාය. එය රජයේ ආයතනයකි. සමාජයේ රහසිගතව කාම චිත්‍රපට, කාම පුවත්පත් විකිනෙන බව අපි දන්නෙමු. වෙස්වලාගත් පොලිස් නිලධාරීන් ඒවා පවා හඹා යයි. ගණිකා මඩම්, නිවාස හා සම්බාහන ආයතන පවා වැටලේ. එහෙත් රාජ්‍ය ආයතනයක් වන සංචාරක ප්‍රවර්ධන කාර්යංශය “සෙක්ස් ඇන්ඩ් ලව්”නමින් පැවැත්වෙන ප්‍රසිද්ධ ජවුසමකට ඉඩ දීම කියාපාන්නේ මේ රටේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා සංස්කෘතිය පාවාදීමට සූදානම් බවද? නැත්නම් නව තත්ත්වයන් සමග රයේ සංස්කෘතිය නව අර්ථකතනයකට ලක් කර ඇති බවද? කැසිනෝ සාධාරීනීකරණය කරමින් පහුගිය ආණ්ඩුව කීවේ ඒවාට එන්නේ විදේශිකයන් පමණක් බවය. මේ කුණුහරුප ජවුසම ගැනද ඇතැමුන් එම තුරුම්පුව දමා ගැසූහ. අපි සමාජ ජාලා ඔස්සේ එහි සිටි ප්‍රේක්ෂකයින් දැක බලාගතිමු. එහි සිටි බහුතර ස්වදේශිකයින් ගැන කියන්නේ කුමක්ද? මුදල් ඇත්තෝ එහි ගියහ. කාම චිත්‍රපට කුතුහලයෙන් පිරි පොඩිහිටියන් අතර ප්‍රචලිත කිරීම පිණිස “වැඩිහිටියන්ට පමණයි” යැයි කීවා මෙන් මේ සංදර්ශනයයේ දැන්වීම් හෝ ප්‍රවේශපත්‍ර වල , “විදේශිකයන්ට පමණයි” කියා ගසා තිබුනේ නැත. රුපියල් 5,000/- සිට 35,000/- අතර මුදලක් සොයාගත්තෝ “සෙක්ස් ඇන්ඩ් ලව්” පිණිස එහි ගියහ. මේ කියන්නේ සදාචාරය සභ්‍යත්වය අපේක්ෂා කරන්නේ නැතිබැරි එකාගෙන් පමණක් බවද?

මේ මූසළ නමෙහි “සෙක්ස්” යනුවෙන් යෙදී ඇත්තේ සමාජ විද්‍යාත්මකව ලිංගිකත්වය යන අරුතින් නොවේ. එසේ නම් එදා එන්රික් කළ යුතුව තිබුනේ දාර්ශනික දේශනයකි. මෙය මුළුමනින්ම කාමය හා සංසර්ගය යන අරුත් දෙන “රසයන්ගෙන් සපිරි” පාදඩ ජවුසමක් බව අපි වගකීමෙන් කියන්නෙමු. දෙවනුව අප කම්පනයට පත්වන්නේ ලයිව් ඉවෙන්ට්ස්හී ප්‍රධාන ආයෝජකයන් දෙදෙනා ගැනය. ඒ මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාරය. රට වෙනුවෙන් ක්‍රිකට් පිටියේ සටන් කරද්දී ඔද වැඩුනු දේශානුරාගයෙන් ඔබට අත්පුඩි ගැසූ, විසිල් ගැසූ සිංහල, දෙමළ, මුස්ලිම් තාරුණ්‍යයට ක්‍රිකට් පිටියෙන්‍ ක්‍රමයෙන් සමුගන්නා ඔබ දුන්නේ අමතක නොවන සංස්කෘතික තිළිණයකි. සනත් ජයසූරිය ක්‍රිකට් පිටියෙන් සමුගෙන සරමක්ද කැහැපොට ගහගෙන ඉන්දියානු “ජලක් දේක්ලා ජා” රියැලිට් වේදිකාවේ නටනු අපි දිටිමු. අනතුරුව හේ කොළඹ සුපිරි අවන් හලක් අරඹීය. ක්‍රිකට් ඔස්සේ ජනාදරටය පාත්‍ර වූ ඔබ දෙපළ “සෙක්ස් ඇන්ඩ් ලව්” වලින් පසුව අරඹන්නට යන්නේ “සියල් සැප සපිරි” ස්පා එකක් විය යුතුය. පිළිකාවකින් මියගිය සිය සොයුරා වෙනුවෙන් පිළිකා රෝගීන්ගේ යහපත පිණිස සමාජ සත්කාරයක නියැලීමට මැදිහත්වූ මහේලගේ අනන්‍යතාව, “සෙක්ස් ඇන්ඩ් ලව්” සඳහා පසුබිමේ සිටි මහේලගේ අනන්‍යතාව සමග කෙසේ නම් ගළපන්නදැයි අපි තවමත් සිතමු.

මෙරට මහා සමාජයෙන් බහුතරයක් මේ ජවුසම පිළිබඳ දැනගත්තේ සිද්ධි තුනක් නිසාවෙනි. පළමු වැන්න එන්රික්ගේ තනපට එකතුවට ශ්‍රී ලාංකීය තනපටක්ද එකතුවීමයි. දෙවැන්න කවුරුන්දෝ එකියක් වේදිකාවට පැන එන්රික්ව පුන පුනා සපාකෑමට තැත් කිරීමයි. තුන්වැන්න මේ සිද්ධිය සැළවුන ගරු ජනාධිපතිතුමා මේ සමබන්ධයෙන් සිය කනස්සල්ල දැඩිව පළකිරීම ජනමාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයකට ලක්වීමයි. එහෙත් අප දුටුවේ ජනාධිපතිතුමාගේ ප්‍රතිචාරය සමබර ඇගයීමකට ලක්වනවාට වඩා පමණ ඉක්මවා ගිය දේශපාලනික ප්‍රහාරයන්ට ක්ෂණිකව හා තීව්‍රව ලක්වූ බවයි. සංදර්ශනය නැරඹීමට එතුමාගේ සමීපතමයන් ගිය බවක්ද සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය විය. රාජ්‍ය නායකයා එවැනි ප්‍රකාශයක් කිරීම ඉතා වැදගත් වූවද, සමකාලීන බරපතල සිද්ධි සම්බන්ධයෙන් එතුමාගේ හා රජයේ ස්ථාවරයන් හෝ නිහඬ පිළිවෙත් සමග එතුමාගේ මේ ඉක්මන් ප්‍රතිචාරය සැසඳූ බොහෝ දෙනෙක් එය එතරම් විහිළුවක්සේ සැලකීමද එක් අතකින් වරදක් නොවේ. එය එක් අතකින් අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමකි!

අනෙක් පසින් රුපියල් කෝටි ගණනක් ඉපයූ මේ ජවුසම මූල්‍ය විනිවිදභාවයෙන් තොරවී යැයිද, චෝදනා නැගිනි. කොළඹ මහ නගර සභාවට ගෙවිය යුතු නියමිත බදු මුදල් නොගෙවා ඇතැයි චොදනා නැගිනි. මෙය ඇත්තතෙන්ම විහිළුවක් පමණි. එය කිනම් විහිළුවක් දැයි සිතාගැනීම උගහටය. එහෙත් එය, කසිප්පු පොළක් වටලා මුදලාලි අත්අඩංගුවට ගෙන ආදායම් බදු නොගෙව්වේ ඇයිදැයි ප්‍රශ්න කිරීමට පර්යායය. නමුත් ඒ කතාබහ තුළ අපගේ විග්‍රහයට වැදගත් තොරතුරක් අනාවරණය විය. විවිධ අන්තර්ජාල පුවත් අඩවි හා පුවත්පත් ඔස්සේ වාර්තා වූ ආකාරයට රුපියල් 35,000/- ප්‍රවේශපත්‍ර මිලදී ගෙන 300ක් පැමිණේයැයි අපේක්ෂා කළද 5,000ක් පමණ දෙනා පැමිණ තිබේ. රුපියල් පන්දහසේ ප්‍රවේශපත්‍ර ලබාගෙන 5,300ක් දෙනා පැමිනෙතැයි අපේක්ෂා කළද 10,000ක් දෙනා පැමිණ තිබේ. රුපියල් 20,000/- ප්‍රවේශපත්‍ර සඳහා 300ක් දෙනා ඒ යැයි සිතූවද 10,000ක් පැමිණ ඇත.! (නැත්නම් එන්රික්ට පැයකට දෙකකට රුපියල් අටකෝටි අසූ දෙලක්ෂයක් ගෙවිය හැකිවේද?)

“සෙක්ස් ඇන්ඩ් ලව්” පිණිස දහස් ගණනින් මිළ ගෙවා අපේක්ෂා කළාට වඩා දහපහළොස් ගුණයකින් මිනිසුන් ඇදී ඒමේ සමාජ ප්‍රවණතාව කියා පාන්නේ කුමක්ද? එය සමාජ විද්‍යාත්මක දෘෂ්ටියකින් නම් සංස්කෘතිය වෙනස්වීමේ දර්ශකයකි. (ඇත්ත වශයෙන්ම ඒ සංස්කෘතික වල්වැදීම අපි මෙතැනදී “සංස්කෘතික වෙනස්වීමක්” ලෙස පමණක් හඳුන්වමු). ඒ වෙනස්වීම අදාල සංවිධායකයින්ගේ තක්සේරුව දස ගුණයද අභිබවා ඉක්ම ගොස් ඇත. අප කම්පා වන්නේ ඒ නිසාය. “සෙක්ස් ඇන්ඩ් ලව්” සම්බන්ධයෙන් අපේ රටේ සමාජ විද්‍යාඥයින් ජනමාධ්‍ය ඔස්සේ සිය අදහස් දැක්වූවාදැයි අපි නොදනමු. එසේ වී නම් ඒ එක් අයකු හෝ දෙදෙනෙකි. මන්ද එවැනි තත්ත්වයක් විග්‍රහ කරගැනීමට බුද්ධියද, ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමට තිබිය යුතු අදීනත්වය හා එඩිතර බවද සියල්ලන් සතු නොවන බැවිණි. බී.බී.සී යද තවත් ජනමාධ්‍යද වාර්තා කළේ ප්‍රසංගයේ සංවිධායකයන් කොළඹ මහ නගර සභාවට බදු නොගෙවීම පමණි. මේ සිද්ධියෙන් කම්පිතව නූතන සංස්කෘතික සෝදාපාළුවේ දිග පළල ගැඹුර දැනී යමකු යමක් කීවා නම් ඒ සමාජ ජාලා ඔස්සේය. ඊට හේතුව ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය එවැනි සාකල්‍යය විග්‍රහයන්ට ඉඩදී ස්වකීය “සිල් බිඳ ගැනීමට” ඇති බිය ය. හුදෙක් සංස්කෘතික ඝාතකයන්ගේ වෙළඳ දැන්වීම් වලින් යැපෙන, ඒ සංස්කෘතික ඝාතකයන්ගේ ආරක්ෂකයන් වන ගර්හිත දේශපාලන සදාචාරයේ අන්තේවාසික බොහෝ ජනමාධ්‍ය, තත්කාලීන සංස්කෘතික ඛේදවාචකයන් ගැන සංවාදයන්හී නිරත වූවා නම් අපට මීට වඩා යහපත් වර්තමානයක් දකින්නට හැකිව තිබිණි.

විශ්ව විද්‍යාල දෙපාර්තමේන්තු තුළ සිංහ සෙයියාවෙන් සිටියද, විවිධ හේතූන් නිසා මුණිවත රකිමින් හුදෙක් පුටු රත් කරන අපේ නූතන වියතුන් බොහොමක් දන්නේ කලකට ඉහතදී ලහිලහියේ ගිලදැමූ බටහිර න්‍යාය වමාරන්නටය. ඊටම නොදෙවෙනිව ශාස්ත්‍රීය අධිරාජ්‍යවාදයේ ගැත්තන් වූ ඔවුන් පැළඳ සිටින බටහිර කණ්නාඩි මේවා අර්ථකතනට කරන්නේ රුවිතෙටය. එහෙයින් ක්‍රීඩකයා දැවීගිය පසු පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන ක්‍රිකට් විස්තර විචාරකයා කරනවාට වඩා වැඩි දෙයක් කිරීමට නොදන්නා මේ කැල්වින්වාදී පුඟුලෝ, එය “සංස්කෘතික වෙනස්වීමක්” යැයි කියා අත පිහදා ගනිති. අප කියන්නේ සමාජයට හා ප්‍රතිපත්ති සම්පාදකයන්ට මඟ පෙන්වනු වෙනුවට පශ්චාත් මරණ පරීක්ෂන පවත්වන මේ විද්වත් සම්ප්‍රදාය හා නිහැඬියාවද මෙවැනි සංස්කෘතික සෝදාපාළුවක වක්‍ර කොටස්කරුවන් බවයි.

“තනපට ගලවා විසිකිරීම සිදු කළේ තරුණියක් නොවේය - එය එන්රික්ගේ ප්‍රසංගයේ අත්‍යාවශ්‍යම දෙයක් බැවින් සංවිධානාත්මකව තරුණයෙක් විසින් කළ දෙයකි” යි මතයක් සුක්ෂමව ජනගත වෙමින් ඇත. මේ රැකගන්නට හදන්නේ එහි ගිය කාන්තාවන්ගේ ආත්මගරුත්වයද, රටේ සංස්කෘතියද, නැතිනම් රෙදි ගැළවී ඇති සංවිධායකයන්ගේ නම්බුවද? තරුණයකු වුවද ගළවා විසිකළේ අමුඩයක් නොවේ. කාන්තා යට ඇඳුමකි. දෙවැන්න වේදිකාව මතට ගොඩවූ නෑම්බියගේ ආලිංගනයය. අපගේ විග්‍රහයන්ට අනුව මේ ප්‍රසංගය නම් තැබීමේ සිටම අපුළය! එහෙත් මෙහිදී කිවයුතු තවත් දෙයක් තිබේ. එනම් මේ ප්‍රස්තුත සංස්කෘතික සෝදාපාළුව හදිසියේ එන්රික්ගේ ජවුසම නැටූ දා හවස සිදුවූ ක්ෂණික භූ කම්පනයක් බඳු යමක් නොවන බවයි. පෙරදිග සංස්කෘතියේ වෙනස, සාම්ප්‍රදායික වැසියා නොඉවසන්නේ නව සංස්කෘතික සම්ප්‍රදායන්හී ලැජ්ජා බය සීඝ්‍රයෙන් ඉවත්වීම නිසාය. ලිංගිකත්වය සම්බන්ධ කරුණු කාරණා වලදී මේ ලැජ්ජා බය පිළිබඳ ප්‍රතිමාන තීව්‍රය; ප්‍රභලය. මේ ජවුසං වල අප නොදකින ලැජ්ජා බය, සමාජ හරයන්ගෙන් සේදී යන්නට පටන්ගත්තේ අද ඊයේද; එන්රික් නිසාද? කිසිසේත්ම නැත. මෙය හදිසි “අභාවයක්” නොවේ. ලෙඩා මැරෙන්නට පටන්ගෙන බොහෝ කල්ය.

මේ සිද්ධිය යමකු මතට ඇබ්බැහි වීමට පර්යායය. ගමේ බාසාවෙන් කියන්නේ නම් පළමු වතාවට වීදුරුවක් බොන එකා දෙවන තෙවන දවස වන විට වීදුරු ගණන වැඩි කරනවා පමණක් නොව, පළමුව යාලුවන් සමග බී අවසානයේදී මාමා, බාප්පා, හෝ අප්පා සමගද බොයි. කැබ්රේ නැටුම් මෙරටට හඳුන්වා දෙද්දී, ඒ වේදිකා අභියස පස්වනක් ප්‍රීතියෙන් ප්‍රමෝදයට පත්වූ ලොකු ලොක්කෝ අනාගතයේ දවසක සුද්දෙක් සිංදු කියද්දී තම දියණියෝ තනපට ගලවා වී යැයිද, අසිහියෙන් වේදිකාවට ගොඩවී සුද්දා හපාකාවි යැයිද සිතන්නට නැතුව ඇත. එදා “ආච්චි උනත් මොකද හොදට ලව් කරනව නම්”, “මස් මොකටද කට්ටෙ සොමිය දැනුනෙ එදානේ” රිද්මයට කොටහළු වූ කෙල්ල මැදි කරගෙන නැටූ වැඩිහිටියන් මේ ටික ටික සේදී යන්නේ අපේ සමාජයේ දේව ධර්ම නේදැයි නොසිතන්නට ඇත. නැටුවේ නැතිවුවද ඉලපතක් අතට නොගෙන ඒවා දෙස බලා “අනේ අනිච්ඡං” යැයි පමණක් සිතූ වැඩිහිටියෝද මේ සෝදායෑමට වගකිව යුතුය.

නව යෞවනය හා ආදරය අතර ඇත්තේ කෙබඳු සබඳතාවක්දැයි අපි දනිමු. එය සුන්දරය. එහෙත් නූතනයේ ඉතා ඛේදජනක ලෙස ඒ නව යෞවනය හා බැඳෙන්නේ කාමුකත්වය ය. නව යොවුන් තරුණියන්ගේ වටොර මත චොක්ලට් තබා, එය දිවගින් ගන්නට තරුණයකු යොදවන මට්ටමේ “සම්භාව්‍ය” වැලන්ටයින් උත්සව සංවිධානය කරමින්, ශ්‍රී ලාංකීය තාරුණ්‍යය මත පැටවූ ටියුෂන් මාස්ටර්ලාද මේ චෝදනාව භාරගත යුතුය. මුළුමනින්ම ලිබරල් නොවූවද, නූතන පුරවැසියන්ට ලිබරල් අහුමුළු වල සංස්කෘතික භාවිතාවන් අත්විඳීමට හැකි තාක්ෂණික කවුලු, ඉඩහසර ඕනෑ තරම් තිබේ. කාම චිත්‍රපට නැරඹීමට ඇබ්බැහිවූ නව යොවුන් වියේ දරුවන් සීඝ්‍රයෙන් ඉහළ යන්නේ එහෙයිනි. ශ්‍රී ලංකාවේ තරුණ පාසල් ශිෂ්‍යාවන් සිය මිතුරියන්ගේ උපන්දින සාද සමරන්නට පුරුෂ ලිංගයන්ගේ හැඩයට තැනූ කේක් ඇණවුම් කරන්නේ එහෙයිනි. අන්තර්ජාල කවුලු ඉදිරිපිට සලුපිළි උනා දුරස්ථ මෛථුන්‍යයේ යෙදෙන්නේ එහෙයිනි. ඉහළ තාක්ෂණික සාක්ෂරතාවක් හා අන්තර්ජාල සම්ප්‍රවේශය සඳහා වරම් ඇත්තෝ එසේ වෙද්දී, සාමාන්‍ය ගැමි සමාජය පාර දෙපස දකින්නේ කාන්තා යට ඇඳුම් සන්නම් ජනප්‍රිය කරවීම පිණිස වන හෙලු ඇලි නිළියන්ගේ රූප නා නිරූපන සහිත යෝධ දැන්වීම් පුවරුය. මේ සියල්ල ඒ ලැජ්ජා බය නැතිකිරීමෙහි ලා සමව දායක වූ බව වගකීමෙන් කියන්නෙමු. යට ඇඳුම් දැන්වීම් පමණක් නොව, “යෞවනය පොපියන්නට” නැටවූ සිසිල් බීම දැන්වීම්ද, “සෙක්ස් ඇන්ඩ් ලව්” එළිපිට නොකීවද, පළමුව කොළඹද, ඉන් නොනැවතී සෙංකඩගලපුරද “කලම්බෝ/කැන්ඩි නයිට් රෙස්” පැවැත්වූ ඇත්තෝද සංස්කෘතික අධිකරණයේ අධිචෝදනා ලැබිය යුත්තෝමය.

එන්රික් ගියේය. හෙට අනිද්දා කේ.කේ. එයි. ඒ ඉන්දියාවේ සිටය. එහිදී කවුරුන් කුමක් ගලවා විසිකරනු ඇත්දැයි අපි විමසිල්ලලෙන් බලා සිටිමු.

-ආචාර්‍ය චමිල ලියනගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. කාමය යනු බත් කෑම, නෑම, වගේම අවශ්‍යතාවයක්. දැන් කාලෙ වෙනස් තාලෙ අලුත්.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions