2026 වසරේ පළමු කාර්තුව නිමා වන විට ලෝකය බහුවිධ ගැටුම් සහ තීරණාත්මක භූ-දේශපාලනික පෙරළි රැසකට මුහුණ දෙමින් සිටී. වසර කිහිපයක් පුරා යුක්‍රේනයේ ඇවිළෙන යුද ගින්නට අමතරව, 2026 වසරේ මුල් භාගයේදී මැදපෙරදිග කලාපය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වූ මහා පරිමාණ යුද්ධය හේතුවෙන් ගෝලීය ආරක්ෂක ව්‍යුහය පෙර නොවූ විරූ සංකීර්ණ තත්ත්වයකට පත්ව ඇත.
2026 වසරේ පෙබරවාරි අග භාගයේදී ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සහ පාලන තන්ත්‍රය ඉලක්ක කරගනිමින් ‘ඔපරේෂන් එපික් ෆියුරි’ (Operation Epic Fury) නම් දැවැන්ත හමුදා මෙහෙයුමක් දියත් කළහ. මෙයට ප්‍රතිචාර වශයෙන් හෙස්බොල්ලා සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මාර්තු මාසය වන විට ලෙබනනය සහ ඊශ්‍රායලය අතර සෘජු යුද්ධයක් නිර්මාණය විය.මෙම යුද්ධය හේතුවෙන් ලෙබනනය තුළ අභ්‍යන්තර ගැටුම් ඇතිවීමේ අවදානමක් ද මතු වී ඇති අතර, මිලියනයකට අධික ලෙබනන වැසියන් පිරිසක් මේ වන විට අවතැන්ව සිටිති.
ඉරානය සිය යුද උපාය මාර්ගය ලෙස මෙම ගැටුම භූගෝලීය වශයෙන් ව්‍යාප්ත කිරීමට (Horizontal Escalation) කටයුතු කර ඇත. ඒ අනුව, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේටය, කටාර් සහ බහරේන් වැනි අසල්වැසි අරාබි රටවල පිහිටි ඉලක්ක වෙත ද ඉරාන මිසයිල ප්‍රහාර එල්ල විය. මෙම තත්ත්වය හමුවේ අරාබි රාජ්‍යයන් කිහිපයක් සිය රටවල සිටි ඉරාන තාන්ත්‍රිකයන් නෙරපා හැරීමට පියවර ගෙන තිබේ.
මැදපෙරදිග ගැටුම උත්සන්න වීමත් සමඟ යුක්‍රේනය වෙත එල්ල වූ ජාත්‍යන්තර අවධානය සහ හමුදා ආධාර සැලකිය යුතු ලෙස අඩු වී තිබේ. මැදපෙරදිග යුද්ධය ආරම්භ වූ පළමු සති දෙක තුළ පමණක්, ඇමරිකාවට සිය ගුවන් ආරක්ෂක මිසයිල නිෂ්පාදන ධාරිතාව මෙන් දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක් එම කලාපය වෙත යොමු කිරීමට සිදු විය. මෙමගින් යුක්‍රේනයේ ගුවන් ආරක්ෂක පද්ධති දුර්වල වී ඇති අතර, එය රුසියාවට සිය හමුදා මෙහෙයුම් තීව්‍ර කිරීමට අවස්ථාවක් සලසා දී ඇත.
මේ අතර රුසියාව විසින් මෝල්ඩෝවා රාජ්‍යය වෙත ද සිය බලපෑම් ව්‍යාප්ත කිරීමේ අවදානමක් පවතී. විශේෂයෙන්ම නේටෝ (NATO) ගිවිසුමේ 5 වන වගන්තිය සෘජුව ක්‍රියාත්මක නොවන මට්ටමේ පවතින ‘දෙමුහුන් ප්‍රහාර’ (Hybrid Attacks) මගින් යුරෝපය අස්ථාවර කිරීමට රුසියාව උත්සාහ කළ හැකිය. මෙහිදී සන්නිවේදන කේබල්, විදුලි බල පද්ධති සහ ඩිජිටල් යටිතල පහසුකම් අක්‍රිය කිරීම ඔවුන්ගේ ප්‍රධාන උපක්‍රමයක් විය හැක.
චීනය, රුසියාව සහ උතුරු කොරියාව අතර ගොඩනැගෙමින් පවතින ශක්තිමත් ආරක්ෂක සබඳතා ආසියානු කලාපයේ බල තුලනය උඩුයටිකුරු කර තිබේ. උතුරු කොරියානු සෙබළුන් රුසියාව වෙනුවෙන් යුක්‍රේන යුධ පෙරමුණේ සටන් වදින අතර, ඒ වෙනුවට උතුරු කොරියාවට රුසියාවෙන් නවීන ආයුධ, තාක්ෂණය සහ ඉන්ධන සැපයෙන බව වාර්තා වේ. 2026 වසරේදී ප්‍රකාශයට පත් කළ සිය නව පස් අවුරුදු ආරක්ෂක සැලැස්ම මගින් උතුරු කොරියාව ආයුධ සංවර්ධනය කෙරෙහි දැඩි අවධානයක් යොමු කර ඇත.
දකුණු චීන මුහුදේ චීනය සහ පිලිපීනය අතර පවතින ආරවුල් ද මේ වන විට උච්චස්ථානයකට පැමිණ තිබේ. 2026 අප්‍රේල් මාසයේදී පිලිපීනය, ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාව එක්ව සිදු කළ දැවැන්ත හමුදා අභ්‍යාසයට ප්‍රතිචාර ලෙස චීනය සිය ගුවන් යානා ප්‍රවාහන නෞකා ඇතුළු ප්‍රබල නාවික බලඇණියක් එම කලාපයට යොමු කර ඇත.
මධ්‍යම ආසියාවේ ෆර්ගානා නිම්නය (Fergana Valley) කේන්ද්‍ර කරගනිමින් ජල හිඟය සහ ඉඩම් ආරවුල් හේතුවෙන් නව ගැටුම් ඇතිවීමේ අවදානමක් මතුව තිබේ. රුසියාව මෙම කලාපය සිය ‘ප්‍රධාන ආරක්ෂක කලාපය’ ලෙස සලකන අතර, ඕනෑම බාහිර හමුදා මැදිහත්වීමකට එරෙහිව දැඩි අනතුරු ඇඟවීම් සිදු කර ඇත.අප්‍රිකානු මහද්වීපය තුළ ද එතියෝපියාව සහ එරිත්‍රියාව අතර මුහුදු ප්‍රවේශය පිළිබඳ පවතින ආරවුල නව යුද්ධයකට මඟ පෑදිය හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මීට අමතරව සහෙල් (Sahel) කලාපයේ පවතින අස්ථාවරත්වය රුසියානු සහ ඉරාන බලපෑම් එම කලාපය තුළ ව්‍යාප්ත වීමට හිතකර වටපිටාවක් නිර්මාණය කර ඇත.
ඉරාන යුද්ධයේ අතුරුඵලයක් ලෙස හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම ගෝලීය තෙල් සහ පොහොර සැපයුමට දරුණු ලෙස බලපා ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස පොහොර මිල 70% කින් පමණ ඉහළ ගොස් ඇති අතර, එය 2026-2027 වර්ෂවල අස්වැන්න පහළ දැමීමට හේතු වනු ඇත. මෙම තත්ත්වය ලෝකයේ බොහෝ රටවල ‘ආහාර කැරලි’ සහ සිවිල් නොසන්සුන්තාවන් ඇති කිරීමට සමත් ප්‍රබල සාධකයක් බවට පත්ව තිබේ.
දක්ෂිණ ජයවික්‍රම
යුතුකම ජාතික සංවිධානය
දක්ෂිණ ජයවික්‍රම
යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama


0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .