10/05/2014

සිංහල භාෂාවේ අනාගත ඉරණම කුමක්‌වේද?

කතෘ:යුතුකම     10/05/2014   4 comments

ඉන්දු ආර්ය භාෂා ගණයට අයත්වන පැරණිතම බසක්‌ වන සිංහල භාෂාව වචන හා අදහස්‌ ප්‍රකාශ කිරීම අතින් ඈත අතීතයේ සිටම පොහොසත් වූ බසකි. ඊටම වෙන්වූ වදන් වැලක්‌ මෙන්ම අක්‌ෂර සංකේත ද සිංහල භාෂාව සතුව ඇත. පාලි හා සංස්‌කෘත මෙන්ම දෙමළ, ඉංග්‍රීසි භාෂා මගින් ද එය පෝෂණය වී තිබේ. ඉංග්‍රීසිය අද ලොව පුරාම පැතිරුණ බසක්‌ වුවද ඊටම වෙන්වූ අක්‌ෂර සංකේත නොමැත. එය ලියන්නේ රෝමන් අක්‌ෂරවලිනි. ප්‍රංශ, ජර්මන්, ඉතාලි, රුසියන් ආදි භාෂා ද එසේමය. එහෙත් ඈත අතීතයේ පටන්ම ඊටම වෙන්වූ අක්‌ෂර සංකේත සිංහල භාෂාව සතුව පවතී. එහි එන "ඇ" ශබ්දය ලොව කිසිදු බසක නොමැත. සිංහල කතා කරන සිංහලයන්ට ලොව ඕනෑම බසක්‌ එම භාෂාව කතා කරන අය ලෙසින්ම කතා කිරීමේ හැකියාව ඇත්තේ ද එහි අක්‌ෂර මාලාවේ පොහොසත් බස නිසාමයි. ඕනෑම ගැඹුරු කරුණක්‌ වටහාදීමේ ශක්‌තිය ද සිංහල භාෂාවට ඇත. එදා මිහිඳු මහ රහතන් වහන්සේ බුදු දහම වටහා දීමට පාලියෙන් කියූ අටුවා සිංහල භාෂාවෙන් තැබුවේද ඒ නිසයි. මෙවන් වූ උතුම් බසක්‌ ආරක්‌ෂා කොට පෝෂණය කිරීම අප රටේ උගතුන්ගේ මෙන්ම දේශපාලකයන්ගේද ප්‍රමුඛ කාර්යක්‌ විය යුතු නමුත් එය ඉටු වන බවක්‌ නොපෙනේ.

අතීතයේ මෙරටට පැමිණි වෙළෙඳුන් සඳහා මෙන්ම රටේ කොටසක්‌ වරින් වර පාලනය කළ සොළී රජුන් නිසා දෙමළෙන් ලියූ සෙල්ලිපි කීපයක්‌ ඇතත් දෙමළ බස මෙහි ව්‍යවහාරයට පත්වූයේ ලන්දේසීන් මෙරට මුහුදුබඩ පාලනය කළ යුගයෙන් පසුවයි. රටේ සාම්ප්‍රදායික පිළිගැනීමට අනුව මහනුවර යුගයේ වඩුග රජවරු බෞද්ධයන් වූ නමුත් ඔවුන් භාවිත කළේ දෙමළ බසයි. ඒ නිසාම රජගෙදරට සම්බන්ධ සිංහලයන්ද දෙමළ බස ව්‍යවහාර කරන්නට ඇත. දෙමළ කථාකිරීම හෝ ලිවීම නොකළ හැකි වුවද, එදා රදලයන් තම අත්සන තැබුවේ දෙමළෙන් බව ඉංග්‍රීසීන්ට රට බාරදීමේ ගිවිසුමට අත්සන් තබා ඇති ආකාරයෙන් පෙනී යයි. මේ නිසාම පසුකාලීනව පටබැඳුණු කවියක්‌ ද ඇත.

"සිහළ බස වැඩක්‌ නෑ. ඒ උගැන්මෙන් පලක්‌ නෑ

සකුමඟද කමක්‌ නෑ ඒක දන්නා කෙනෙක්‌ නෑ

අහලක උගතෙක්‌ නැත්නම් කොහේ හරි ගිහිල්ලා

දෙමළ බස ටිකක්‌වත් පාඩුවක්‌ නෑ උගත්තොත්" 

මෙය උපහාස කවියක්‌ වුවද එදා ඇතැමුන් දෙමළ බසට යොමු වූ බවට ඉඟියක්‌ ද ලබා දෙයි.

ඉංග්‍රීසි ආධිපත්‍යය මෙරට වසර 133 ක්‌ එක දිගට පැවැතීම නිසා සිංහල සමහරු ඉංග්‍රීසිය වන්දනා කරන තැනට පත්වූහ. එහෙත් වරින්වර දෙමළ ආක්‍රමණිකයන් රටින් කොටසක්‌ පාලනය කළ නමුත් සිංහල රජ කුමාරවරු යළි යළිත් රට තුළ සිංහල බලය තහවුරු කිරීම නිසා දෙමළ බස මෙරට තුළ බලපෑමක්‌ ඇති කළේ නැත. මුස්‌ලිම් අය ද වැඩිදෙනා සිංහල කතා කළත් ඔවුන්ගේ ලියන කියන බස දෙමළ වීමත් ඉංග්‍රීසි පාලන සමයෙහිදී සිංහලයන් මර්දනය කිරීමට දෙමළ හා මුස්‌ලිම් අයට ඉංග්‍රීසි ඉගැන්වීමේ පහසුකම් ලබා දී ඔවුන් රජයේ තනතුරුවලට යොදා ගැනීමත් නිසා සිහළ බසට තදබල පහරක්‌ එල්ල විණි. ඒ සමඟම සුද්දන් යටතෙහි සේවය කළ සිංහලයන්ද සිහළ බස ගරු නොකළ ඉංග්‍රීසිය වන්දනා කළ අය වූහ. මුල් යුගයෙහි උසස්‌ අධ්‍යාපනය ද ඉංග්‍රීසියෙන්ම ලැබිණි. මෙම හේතු සාධක මත අතීතයේ මෙන් සිංහල භාෂාවෙන් විශ්ව සාහිත්‍ය නව නිර්මාණ බිහිවීමද සිදු නොවිණි. පියදාස සිරිසේන, ඩබ්ලිව්. ඒ. සිල්වා, වැන්නන්ගේ නවකතා මෙන්ම කුමාරතුංගයන්ගේ භාෂා ප්‍රේමී වැඩපිළිවෙළ නිසා සිංහල භාෂාවට නව පණක්‌ ලැබී පොත පත ලියෑවෙනට ද කරුණු යෙදුණි. මුල් යුගයේ සිංහල සිනමාව හා නාට්‍ය ද සිංහල භාෂාවේ පෝෂණයට හේතු විය. කවරම රටක වුවද මවුබසින් මිස වෙනත් බසකින් නව නිර්මාණ බිහි නොවේ. නව නිර්මාණ බිහි නොකරන ජාතියක්‌ ලොව දියුණුව කරා ද පියනඟන්නේ නැත. එය කුමාරතුංගයන් මෙසේ දක්‌වා ඇත.

"අලුත් අලුත් දැ නොතනන ජාතිය ලොව නොනඟී - හිඟා කෑම බැරිවූ තැන ලගී ගයා මර ගී"

එබැවින් මවුබස ප්‍රගුණ කිරීම අතිශයින්ම අවශ්‍ය දෙයකි. කෝට්‌ටේ යුගය දක්‌වාම සිංහල භාෂාවෙන් විශ්ව සාහිත්‍ය කෘති නිර්මාණය වුවද බටහිර ආධිපත්‍යය හා ඉංග්‍රීසියේ බලපෑම නිසා සිංහල බසින් එවැනි ශ්‍රේෂ්ඨ කෘති බිහිවීම ද සිදු වී නැත. 1948 ඉංග්‍රීසීන්ගෙන් දේශපාලන නිදහස ලබාගත් පසුව වුවද ඉංග්‍රීසිය වන්දනා කිරීම නතර වී නොමැත. හරිනම් විය යුතුව තිබුණේ නිදහස ලබා ගත් දා සිටම සියලු කටයුතු සිංහල භාෂාවෙන් සිදු කිරීමයි. එහෙත් නිදහස සමඟ මෙරට පාලන බලය හිමිවූවන්ට සිංහල බැරිකම නිසා ඉංග්‍රීසියෙන්ම සියලු කටයුතු සිදු විණි. වත්මන් යුගයෙහි සිංහල බස මැරීමට මුලින්ම දායක වූ පිරිස ඔවුන්ය. කවදා හරි ඉංග්‍රීසීන් රට හැර ගියත් උන්ගෙන් පසුව බලයට එන කළු සුද්දන් ඉංග්‍රීසීන්ටත් වඩා හොඳින් ඉංග්‍රීසිය රජ කරවමින් සිංහලකමත් බෞද්ධකමත් විනාශ කරනු ඇතැයි අනගාරික ධර්මපාලතුමන් එදා කී අනාවැකිය ටිකෙන් ටික සනාථ වෙමින් පවතී. ඊට ඉඩහැර බලාසිටියහොත් සිදු වනුයේ ඉතිහාසය පුරා මහා ශිෂ්ටාචාරයක්‌ ගොඩනැඟීමට උපකාරී වූ සිංහල බස මෙන්ම එම ශිෂ්ටාචාරය ද විනාශ වී යැමයි.

ලොව අද වන තුරුත් ආරක්‌ෂා වී පවතින පැරණිතම ශිෂ්ටාචාර දෙකකි. එකක්‌ චීනයේ චීන ශිෂ්ටාචාරයයි. අනෙක සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයයි. සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය පෝෂණය වූයේ ආරක්‌ෂා වූයේ සිංහල භාෂාව මුල්කරගෙනයි. මෙරටට වැදගත් වන රටේ අනන්‍යතාව වනුයේද මෙම ශිෂ්ටාචාරයයි. එය මතුවටද ආරක්‌ෂාවීමට මේ සිංහල භාෂාව ද පෝෂණය වෙමින් පැවතිය යුතුමය. එසේ නොවුණහොත් ඒ ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයද අනාගතයේදී අද රෝම, ග්‍රීක්‌ ශිෂ්ටාචාරය මෙන්ම අතීතයට පමණක්‌ උරුම වූවක්‌ වනු ඇත. එසේ වීමට අප ඉඩ දිය යුතු නැත. අපේ රටේ අනන්‍යතාව රැක දීමට නම් සිංහල භාෂාව ආරක්‌ෂා කොට පෝෂණය කළ යුතුමයි. 

අපේ රටේ සියලු දෙනාට හෝ වැඩි දෙනෙකුට ඉංග්‍රීසි හෝ දෙමළ ඉගැන්වීම අවශ්‍ය නැත. ඉංග්‍රීසි මෙන්ම ඊටත් වැඩියෙන් දෙමළ බස ද පාසල්වල ඉගැන්වීමට (විෂයයක්‌ වශයෙන්) යෙදීම අවශ්‍යයි. එහෙත් සියලුම දෙනාට සිංහල ඉගැන්වීම නම් සාධාරණයි. එය කළ හැකි දෙයක්‌ද වෙයි. රටේ සම්බන්ධීකරණ භාෂාව විය යුත්තේ ඉංග්‍රීසිය නොව සිංහල භාෂාවයි. මේ බව නොතේරෙන හෝ නොහිතන දේශපාලකයන් මෙන්ම අධ්‍යාපන විශේෂඥයන් ද රටට හිතකර අය නොවේ. එවැන්නන් නිසා රටේ දියුණුවක්‌ අපේක්‌ෂා කළ නොහැක. අද දේශපාලනය ගැන පමණක්‌ සිතන හෙවත් රටේ හා ජාතියේ අනාගතය ගැන නොසිතන රැකියා සඳහා මිනිසුන් තැනීමේ පහත් අරමුණ මත අධ්‍යාපනය සකස්‌ කරන දේශපාලකයන් හා උගතුන් නිසා ලොව ඉතා ශ්‍රේෂ්ඨ භාෂාවක්‌ මෙන්ම ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක්‌ ගොඩ නැඟූ භාෂාවක්‌ වන සිංහල භාෂාවත්, සිංහල ශිෂ්ටාචාරයත් විනාශ වී යන තැනට කරුණු යෙදිමින් පවතියි. අපේ රටේ කිසිවෙකුටවත් ඉංග්‍රීසි හෝ දෙමළ ඉගෙන ගෙන ලොව ජයගත නොහැක. එහෙත් සිංහලය හොඳට ඉගෙන ගතහොත් එමගින් ලොවටද වටිනා නව නිර්මාණ කළ හැකිය. බටහිර ක්‍රමයට මනස හදාගත් උපාධි ලබාගත් එම රාමුව තුළ සිටින අයට මේවා නොවැටහීම අරුමයක්‌ නොවේ. එම ක්‍රමයට උපාධි ලබාගත් උගතෙකු වූ පලියට මිනිසුන්ගේ ඡන්දය ලබා මන්ත්‍රීකමක්‌ හෝ ඇමැතිකමක්‌ ලබා ගත් පලියට සිංහල වැටහේ යෑයි සිතා කටයුතු කිරීම මෝඩකමකි. එවැනි මෝඩ දේශපාලකයන් ඉතිහාසය ඉගැන්වීම පාසල් විෂයෙන් ඉවත් කිරීමේ විපාක රටක්‌ වශයෙන් විඳීමට අද අපට සිදු වී ඇත.

අතීතයේ සියයට සියයක්‌ම සිංහල වූ ද බටහිර ආක්‍රමණ නිසාවෙන් එම ආක්‍රමණික පාලන සමයන්හිදීත් 80% ක්‌ සිංහලයන් සිටී. අද සිංහල ජන අනුපාතය 74% දක්‌වා අඩු වී තිබේ. සිංහල බස නොතකා හැරීම යනු තවත් දශක කිහිපයක්‌ යන විට සිංහල ජන අනුපාතය තවත් අඩුවීමට හේතු වෙන එක්‌ කරුණකි. අද ඇති ජන අනුපාතය අනුව සිතුවද මුළු රටේම බස සිංහල විය යුතුය. රටේ සියලු ජනතාවට සිංහල බස කතාකිරීමට ව්‍යවහාර කිරීමට යෙදීම ඉතාම පහසු මෙන්ම ප්‍රයෝජනවත් දෙයකි. එහෙත් සිංහල විරෝධී ඊළාම්වාදී, ජාතිවාදී, ආක්‍රමණශීලී පිළිවෙත් නිසාත් උගතුන් හා දේශපාලකයන්ද ඒවාට හසු වී හෝ යටවී ඇති නිසාත් එවැන්නක්‌ සිදු වේ යෑයි සිතීම පවා උගහටය. එහෙත් විය යුත්ත නම් සිංහලය මුළු රටේම සියලු දෙනාගේම භාෂාව වීමයි.

මෙරට බස සිංහල බස වූ අතර රටේ නම ද සිංහලදීප විය. සුද්දන් විසින් ඔවුන්ගේ උච්චාරණයට අනුව .Ceහකදබ. කීවේද සිංහල යන්න මැයි (සිංහලම්, සීගලම්, සිලාන්, සිලෝන්) එසේ මේ රට පැවතුණේ සිංහල බස කථාකරන සිංහල ජාතිය වාසය කරන සිංහල රට ලෙසයි. අද එය ශ්‍රී ලංකා නමින් හැඳින්වුවද, ශ්‍රී ලංකා යෑයි බසක්‌ නොමැත. සිංහල, දෙමළ, මුස්‌ලිම් සියල්ලම ශ්‍රී ලාංකිකයන් ලෙස හැඳින්වේ. එහෙත් සියලු දෙනාම සිංහලයන් වූවානම් නොවේද වඩාත්ම සුදුසු හැඳින්වීම වනුයේ. මෙතරම් පැහැදිලි සත්‍ය ඉතිහාසයක්‌ ඇති සිංහල රට සිංහල දැය හා සිංහල බස නොතකා එය මරා දැමීමට පිඹුරුපත් තනන උගතුන් මෙන්ම දේශපාලකයන්ද ජාතිද්‍රෝහීන්, දේශද්‍රෝහීන් ලෙස සැලකිය යුතුමය.

අද කිසියම් තැනකට රැස්‌වන ඉංග්‍රීසි උගත් සිංහලයන් කතා කරනුයේ ඉංග්‍රීසියෙනි. එහෙත් ලංකාවේදී පමණක්‌ නොව විදේශයකදී වුවද දෙමළ දෙදෙනෙක්‌ හමුවූ විටෙක කතා කරනුයේ දෙමළෙනි. තමන් සිංහලයයි පෙන්වීමට සිතීමට අකැමැති හීනමානයක්‌ ඇතැම් සිංහලයන් තුළ ඇති අතර ඉංග්‍රීසි මානසිකත්වයෙන් යුතුව උජාරුවෙන් පෙනී සිටීමට කැමැති උච්ච මානයක්‌ද ඔවුන් තුළ පවතී. මෙම මාන්නය මෝඩකම සමඟ පවතින මානසික ලක්‌ෂණයක්‌ බව බුදු දහමෙහි පෙන්වා තිබේ. මෙසේ ඉංග්‍රීසි උගත්, උගතුන් මෙන්ම දේශපාලකයන්ද සිංහලය මැරීමට දායකවන අතර සුළු ජාතික විඥානයක්‌ ගොඩනඟා තම තම දේශපාලන වාසිය තකා ක්‍රියාකරන වාමාංශික දේශපාලකයෝද එසේම ඊට දායක වෙති. රැකියා අවස්‌ථා වෙනුවෙන් හා ජාත්‍යන්තරය වෙනුවෙන් සිතා ඉංග්‍රීසියට තැන දීමට ක්‍රියාකරන දේශපාලකයන් මෙන්ම සිංහලයාගේ ඡන්දය කොහොමත් ලැබෙතැයි සිතාගෙන දෙමළ හා මුස්‌ලිම් ඡන්ද ලබා ගැනීමේ පහත් අරමුණින් ක්‍රියාකරන දේශපාලකයෝද ඊටම අයත් වෙති. දෙමළ හා ඉංග්‍රීසි බස ව්‍යවහාර කරන ජනතාව ලොව පුරාම සිටිති. ඉංග්‍රීසි කතාකරන ජනගහනය කොපමණදැයි කිව නොහැකි තරම්ය. තමිල්නාඩුවද ඇතුළත් දෙමළ කතාකරන දෙමළ ජනගහනය කෝටි හතකට වැඩිය. එහෙත් සිංහල කතාකරන සිංහල බස උරුම කර ගත් ජනගහනය වැඩිම වුණොත් එක්‌කෝටි විසි ලක්‌ෂයක්‌ පමණ විය හැකිය. ඔවුන්ට හිමි එකම දේශය මේ රට (ලංකාව( පමණි. එම රටෙහි ද සිංහල බසට සිංහල ජාතියට නිසි තැන නොලැබෙන විට ලෝකයෙන් ඊට කිසිදු තැනක්‌ නොලැබෙනු ඇත. ශ්‍රේෂ්ඨ හා දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන සිංහල බස, සිංහල ජාතිය හා සිංහල ශිෂ්ටාචාරය පෝෂණය කිරීමට හා ආරක්‌ෂා කිරීම සිංහලයන්ගේ පමණක්‌ නොව ග්‍රෝත්‍රික මානසිකත්වයෙන් ආක්‍රමණික මානසිකත්වයෙන් බැහැර වූ ශීලාචාර හැම කෙනෙකුගේම යුතුකම හා වගකීම වන්නේය. එහිදී අප අවධාරණය කරනුයේ සිංහල රට තුළ සිංහලයට හිමි තැන දීම මිස වෙනත් කිසිවකුගේවත් හිමිකමක්‌ ඔවුනට අහිමි කර සිංහලයට හිමිකර දීම නොවන බව ද සිහි නුවණින් යුතුව සිතා වටහා ගත යුතුය.

-බෙංගමුවේ නාලක හිමි
දේශප්‍රේමී භික්‌ෂු පෙරමුණේ ලේකම්
ජනාධිපති උපදේශක

, , , , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

4 comments :

  1. දරුවන් ගේ මව් භාෂාව බලෙන් ඉංගිසි කරවීමෙන්...තරුණ දෙමාපියන් හානි කරනු ලබන්නේ ළමයින්ට විතරක් නොවෙයි. එම දරුවන්ගේ දරුවන්ට ද සහ එයින් බිහිවන පරම්පරාවම සිංහල සංස්කෘතියෙන් ඉවත්කර දැමීම මෙයින් සිදුවෙයි. අධ්‍යාපන උගතුන් කියන්නේ එදිනෙදා පාවිච්චි කරන භාෂාව මව් භාෂාව විය යුතු බවයි. කෙසේවෙතත් නිර්මානශීලි දරුවෙකු ලෙස ළමයට වැඩීමට ඇති අයිතිය දෙමව්පියන්ගේ "ඉංග්‍රීසි හින මානය" නිසා වැළකෙයි.

    ReplyDelete
  2. ලසන්ත වික්‍රමසිංහ10/07/2014 9:19 AM

    මේ රටේ පෞද්ගලික ආයතනවල මේ තත්වය හරිම කණගාටුදායකයි. ඒවායේ ඉන්නේ මේ හීනමානයට කප් ගහපු උදවිය. උන් හිතන්නේ වැදගත් දේවල් ඉංග්‍රීසියෙන් කියන්න ඕන කියලා. බොසා එහෙම උනාම ගෝලයාත් ඒක කොපි කරනවනේ...සිංහල වැඩක් නැති දෙයක් කියලා තමා හුඟක් මෝඩයෝ හිතන් ඉන්නේ.. ඔහොම ගොන් රැලක් ඉන්න ලෝකේ එකම රට මේක වෙන්න ඕන..

    ReplyDelete
  3. ලසන්ත වික්රමසිංහ මහතාගේ කතාව හරියටම හරි. තමන්ගේ භාෂාව සත පහට දාලා වැඩ කරන ගොං රැලක් ඉන්න එකම රට මේ අපේ සිරි ලංකාව වෙන්න ඇති. එසේම, ඉංගිරිසියට වන්දනා මාන කරන මානසිකත්වයක් සහිත මිනිස්සු ඉන්න එකම රටත් මේක වෙන්න ඕන. අනේ අනිච්චං!

    ReplyDelete
  4. සුගත්10/09/2014 6:38 PM

    මේ කතාවත් හොඳයි..
    http://www.yuthukama.com/2013/05/ComeBaba.html

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions