10/30/2014

රතන හිමියන්ට බැට දෙන බොදු බල සේනාවේ (අ)දේශපාලනය

කතෘ:යුතුකම     10/30/2014   4 comments



පසුගිය 2014.10.14 අගහරුවාදා කොළොඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රධාන පිවිතුරු හෙටක් සංවිධානය විසින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම් පත එළිදක්වන ලදී. එය ආණ්ඩුවේ ප්‍රධානීන් ඇතුළු විවිධ පක්ෂ නායකයින්, බහුවිධ ක්‍ෂේත්‍රයන්හි ප්‍රවීණයන්,විද්වතුන්,කලාකරුවන් හා සිවිල් පුරවැසියන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් වූ  එළි දැක්වීමකි. 19 වන ව්‍යවස්ථා සංශෝදනය යනු පසු දිනම ජනාධිපතිවරයා පුටුවෙන් බස්සවා ගෙදර එළවීමට ගෙන ආ යෝජනාවක් නොව 18 වන සංශෝධනයෙන් හා ව්‍යවස්‌ථාවෙන් හිතුවක්කාරී ලෙස ජනාධිපතිවරයාට පැවරී ඇති විධායක බලතල කිසියම් ප්‍රමාණයකට සීමා කිරීමට ගෙන ආ යෝජනාවකි. 1977 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජේ.ආර්. ජයවර්ධන මහතාට ලැබුණ හයෙන් පහක (5/6) අසීමිත බලයෙන් උන්මාදයට පත්ව ඔහු කළේ "ගැහැනියක්- පිරිමියෙක්" කිරීමටත්, "පිරිමියෙක් -ගැහැනියක්" කිරීමටත්,පමණක් නොහැකි අසීමිත බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමයක් හදුන්වා දීමයි. හොරකම,බොරුව, දුෂණය,තක්කඩිකම, සමාජ අසාධාරණය ඉහවහා පැතුරුණු පාලන ව්‍යූහයක් සහිත දුෂිත මැතිවරණ ක්‍රමයක්ද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සතු වෙයි. දැනට එය දහඅට වතාවක් සංශෝධනය කර ඇතත් ඒ සෑම අවස්ථාවකදීම තනි පුද්ගලයකු වටා අසීමිත බලයක් කේන්ද්‍ර කර ගත්තා හැර පවත්නා දුෂිත, අශීලාචාර ක්‍රමය, ශීලාචාර කර ගැනීමට අවශ්‍ය කිසිදු පියවරක් නොගැනුණි.

ජේ.ආර් ගේ හොඳකම


විධායක ජනාධිපති ක්‍රමය හදුන්වාදුන් ජේ.ආර්.විසින්ම එය ධුර කාල දෙකකට සීමා කළේ එහි ඇති සර්වබලධාරී අසීමිත බලතලවල තිබෙන අගතිගාමී ස්වරූපය තමා හොදින් දන්නා නිසාය. ජේ.ආර්. බලයට පත්වන විට ඔහු  70 ඉක්මවූ මහල්ලකු වූ නිසා වසර 06 බැගීන් ධුර කාල දෙකක් (වසර 12ක් ) ගෙවී යනවිට  තමාගේ හොඳ පණ නැති බව කල්පනා කළ ජේ.ආර් මේසා අහිතකර බලයක් තමන්ට මෙන් අන් කිසිවකුට ඊට වඩා වැඩිකාලයක් පරිහරණය කිරීමට ඉඩ තැබීම නුසුදුසු යැයි කල්පනා කොට ධුරකාල දෙකකට සීමා කළේය. එහෙත් යුද ජයග්‍රහණය හේතු කොටගෙන ආණ්ඩු පක්ෂයට ලැබුණු තුනෙන් දෙකේ (2/3) බලය ප්‍රයෝජනයට ගෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කළේ අර ජේ.ආර් ගේ ව්‍යවස්ථාවේ තිබුණු ධුරකාල දෙකේ බාධකය 18 සංශෝධනය මගින් කටුගා මැරෙනතෙක් බලයේ සිටීමට දික් කර ගැනීමයි. "අප සිතාගෙන හිටියේ නරකම පාලකයා ජේ.ආර් කියලා බලනකොට ඔහු හොඳයි" යනුවෙන් අතුරලියේ රතන හිමියන් 2014.ඔක් 19 දින මහරගම තරුණ සේවා සභාවේ දී පැවති ජාතික හෙළ උරුමයේ 11වන මහා සම්මේලනය අමතමින් පැවසුවේ ජේ.ආර් යහපත් පාලකයකු යන සාධු සම්මත අර්ථයෙන් නොව 18ට සාපේක්‍ෂ වශයෙනි. ජේ.ආර් සාධුතර පාලකයකු යන්න එම ප්‍රකාශයෙන් අදහස් නොවන බව නොමේරූ ළදරුවකුට හැර සාමාන්‍ය පුද්ගලයකුට වුවද පැහැදිලිය. නිදහසින් පසු මේ මහපොළව, ගහකොළ හදුනන, අපේ සංකෘතික උරුමය වෙත මුල් ඇඳුනු ආධ්‍යාත්මික පාලකයකු තවමත් බිහිවී නොමැති බව උන්වහන්සේ 2014.05.26. දෙරණ 360 වැඩසටහනටද  එක්වෙමින් පැවසූහ. රතන හිමියන්ගේ සොම්නසට හේතුවන පාලකයකු තවමත් බිහිව නැති බව මින් පැහැදිලිව පෙනෙද්දීත්, වත්මන් ජනාධිපතිගේ ක්‍රියා කලාපයට සාපේක්ෂව උන් වහන්සේ "ජේ.ආර් හොදයි" කියූ ප්‍රකාශය පමණක් උපුටමින් ජේ.ආර් ගේ අපකීර්තිමත් ඉතිහාසය නැවත වමාරා ලඝු මනසින් රතන හිමියන්ට පහර දෙන්නේ ඇයි ?


 ඇමරිකාව හා ප්‍රංශය ඉක්මවීම

ඇමරිකානු ජනාධිපතිවරයාගේ කටයුතුද කිසියම් ප්‍රමාණයට කොංග්‍රස් සභාවට පාලනය කළ  හැකිය. ඇමරිකානු ජනාධිපතිට ඕනෑම අවස්ථාවක ව්‍යවස්ථාදායක සභාව විසුරුවා හැරීමේ බලයක් ද නැත. ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් වන අතර නීතියට පටහැනිව කරන ඕනෑම ක්‍රියාවක් හෝ විධානයක් අවලංගු කිරීමේ බලය එරට ශ්‍රේෂ්ඨාධිකරණය සතුය. අසල්වැසි ඉන්දියාව ගත්තද ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය සම්පුර්ණයෙන්ම අහිමි කොට නැත. වංචා දුෂණ චෝදනාවන්ට එරට අධිකරණය ජයලලිතාට සිර දඩුවම් දෙන්නේ එබැවිනි. මෙරට දියවන්නාවේ ජයලලිතලා කොතෙකුත් සුරැකිව ඇත්ද?

ප්‍රංශ ජනාධිපතිටද අගමැතිගේ උපදෙස් නැතිව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් නැති අතර අගමැති නොසලකා ඇමති මණ්ඩලය පත් කිරීමේ බලයක්ද නැත. එහෙත් ලංකාවේ අග්‍රාමාත්‍යවරයා තවමත් ඇවිදින පඤ්චස්කන්ධයකට එහා පිළිගැනීමක් නැති අවලංගු කාසියකි. ප්‍රංශ ජනාධිපතිගේ ක්‍රියාකාරකම් පවා එරට ව්‍යවස්ථාදායක සභාවේ අධීක්ෂණයට ලක් වෙයි. නමුත් ලංකාවට විධායක ජනාධිපති ධුරය හදුන්වා දීමේදී ඇමරිකානු හා ප්‍රංශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පූර්වාදර්ශයට ගත්තා පමණක් නොව මහා බ්‍රිතාන්‍ය අගරැජිණ ගේ බලතලද මුසු කොට ලෝකයේ මොනම රටකවත් නැති අසම සම ව්‍යවස්ථාවක් ජේ.අර් උතුමෝ සකස්කර ගත්හ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 18 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙන්නේ එයත් ප්‍රමාණවත් නොවූ බැවිණි.
77 ජේ.ආර් ගේ සිතගියාවන්ට අනුව නිර්මාණය කොට එදා සිට අද දක්වාම පවත්වාගෙන යන මේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා නීතියට යටත් නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් නැත. කැබිනට් මණ්ඩලය තම අභිමතය පරිදි පත්කළ  හැකිය. ඕනෑම මොහොතක ඕනෑම අමාත්‍යංශයක් උදුරාගත හැකිය. ජනාධිපති වරයා නීතියට පටහැනිව කරන කවර වරදක දී වුවද ඊට එරෙහිව ක්‍රියා කිරීමට පාර්ලිමේන්තුවට හෝ අධිකරණයට බලයක් නැත. නියමිත කාලසීමාවට පෙර හිතුවක්කාර අන්දමින් පාර්ලිමේන්තුව හෝ පළාත්සභා විසුරුවා මැතිවරණ කැඳවිය හැකිය. අධිකරණයෙන් වරදකරුවකු ලෙස දඩුවම් ලබන්නෙකු වුවද ඕනෑම මොහොතක නිදහස් කල හැකිය. නිදසුනක් ලෙස 1981 සැප්තැම්බර් 13 මිනීමැරුම් චෝදනාවකට මරණ දඬුවම දී තිබූ කීර්තිසේන නමැත්තකු ජේ.ආර්. නිදහස් කළේය. ස්ත්‍රී දූෂණ චෝදනාව යටතේ දීර්ඝකාලීන සිර දඬුවම් නියම වූ ගෝනවල සුනිල්ටද පක්ෂ ආධාර කරුවකු වීම නිසා සමාව දුන්නේය. වත්මන් ජනාධිපතිවරයාද ඒ පුර්වාදර්ශ අනුයමින් මිනීමැරුම් චෝදනාවන්ට සිර ගත වූ චන්දන කත්‍රිආරච්චි හා මිල්රෝයි ප්‍රනාන්දු යුවළ නිදහස් කළේය.

මේ මැතිවරණ ක්‍රමය තුල මිනීමැරීම්, පහරදීම්, දේපළ හානි,වංචනික ක්‍රියා, මහජන මුදල් කාබාසිනා කිරීම් සංඛ්‍යාත්මක වශයෙන් කෙළවරක් නැත. මේ රට  1948 සිට තවමත් සංවර්ධනය වෙමින් පවතින (සංවර්ධනය කළ නොහැකි ) රටක් ලෙස තවමත් පැවතීමට හේතුවක් වන්නේත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය. මේ ක්‍රමය තනි පුද්ගලයකු වටා සකලවිධ සම්පත් කේන්ද්‍ර ගත වුවක් විනා පුරවැසියන්ගේ පොදු යහපත පිණිස සකස්වුවක් නොවේ. එබදු පටු අරමුණු ඇතිව සකස් කරගත් ව්‍යවස්ථාවක් මහජන යහපත පිණිස ප්‍රතිසංස්කරණය කර ගැනීමට ගන්නා උත්සාහයක් වේනම් ඊට සහයෝගය දිය යුත්තේ මේ පසුබිම යටතේය.

චම්පික අමාත්‍යවරයාගේ හෙළිදරව්ව  

පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාද මේ දිනවල මේ ආණ්ඩුවේ හිතුවක්කාර වැඩ ගැන විශේෂ හෙලිදරව්වක් කරමින් සිටී. පාඨලී  චම්පික රණවක යනු විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පැවරීමට සුදුසු ඒ විෂය පිලිබඳ ප්‍රමාණික දැනුමක් තිබෙන ඇමතිවරයා වෙයි. නමුත් ජනාධිපති බලතල
නම්න් ව්‍යවස්ථාවෙන් පැවැරී ඇති හාස්කම් බලයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ලබා දුන්නේ විෂය මුලික දැනුමක් නැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිටය. එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මතුකළ ප්‍රශ්නයකට  ලකුණු දා ගැනීමට ඇමතිවරිය පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් අරභයා හිටපු විදුලිබල ඇමති පාඨලී චම්පික රණවක මහතා පිළිතුරු දීමෙන් ආණ්ඩුවේ තිබුණු ලකුණු ද කැපී යන්නට පටන්ගෙන තිබේ.

එතුමා පවසන්නේ වසර ගණනාවක් තිස්සේ  කිසිම ටෙන්ඩර් පටිපාටියකින් තොරව අමාත්‍යංශයේ බලලත් පුද්ගලයකු නෝබෙල් රීයෝස් සමාගමෙන් ගල් අගුරු සැපයීම කළ බවත් බවත්, 2012 වර්ෂයේ ඉන්දුනීසියාවේ තෝරියන් සමාගමෙන් වාරාය අධිකාරියේ හා නැව් සංස්ථාවේ මෙහෙයවීම මත ප්‍රමතියෙන් තොර ගල් අගුරු නැව් දෙකක් ගෙන්වා ඇති බවයි, තමන්ගේ අනුදැනුමකින් තොරව කළ එම ගෙන්වීම නිසා ගල් අගුරු මිලදී ගැනීම ප්‍රතික්ෂේප කොට එම නැව් ආපසු හරවා යැවීමට උපදෙස් දුන්බව චම්පික අමාත්‍යවරයා කියයි. විදුලිබල අමාත්‍යංශයේ උපදෙස් නොපිළිගත් ගල් අගුරු සමාගමේ සභාපති තිස්ස හේරත් මහතා නීතිපති උපදෙස් ලබාගෙන අර ප්‍රමිතියෙන් තොර ගල් අගුරු තොගය ගොඩබාගෙන තිබේ. චම්පික අමාත්‍යවරයා කළේ සභාපති වරයාගේ මේ විධිමත් භාවයෙන් තොර, වැරදි හිතුවක්කාර ක්‍රියාවට දඬුවමක් වශයෙන් 2013.01.21 වන දින ඔහු ධුරයෙන් ඉවත් කොට 2013.01.24 වන දින නව අධ්‍යක්ෂක මණ්ඩලයක් පිහිටුවා සිදුවූ අක්‍රමිකතාව සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙස නියෝග කිරීමයි.

එහෙත් පරීක්ෂණය ආරම්භ කර දින හයක් යනවිට පාඨලී චම්පික අමාත්‍යවරයාගෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය උදුරාගෙන තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය ධුරය පිරිනමයි. විදුලිබල අමාත්‍යංශය පවිත්‍රා වන්නිආරච්චි මැතිනියට ලබා දෙන්නේ රාජපක්ෂ පවුලේ ඕනෑම දෙයකට එතුමියගේ ලැදියාව හා පමණ ඉක්මවා දක්වන කීකරුභාවය සැලකිල්ලට ගෙනය.එවිතරක් නොව චම්පික අමාත්‍යවරයා ඉවත් කළ සභාපතිද නැවත එම තනතුරේ පිහිට වූ බව අමාත්‍යවරයා කැදවූ මාධ්‍ය සාකච්ඡාවේ දී හෙළිදරව් කැරිණි . විෂයභාර ඇමැතිටත් වඩා ඔහු බලවත් වුයේ කෙසේද ? මේ අදිසි හස්ත නොහොත් සෑම අතටම විහිදුවා ගත් බූවලු පාලන ක්‍රමය ඥානසාර හිමියන්ට ප්‍රශ්නයක් නොවන්නේ ඇයි? රතන හිමියන් 19 වන සංශෝධනය ගෙනෙනේ මේ අත්තනෝමතික ක්‍රමගත බලකාමයට එරෙහිවය.

බොදු බල විරෝධය 

බොදු බල සේනාවේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නොමනා ආකාරයට රතන හිමියන්ට එරෙහිව අවි අමෝරාගෙන නැගී සිටියේය. රට, ජාතිය,ආගම පිලිබඳ බෙරිහන් දෙන තරමට සැබෑ උවමනාවක් තිබේ නම් බොදු බල සේනාවද කළයුතුව තිබුනේ ඊට එරෙහි වීම නොවේ. පසුගිය කාලයේ කෑ ගැසූ ප්‍රශ්න පිලිබඳවද නොතකා හළ ජනාධිපතිවරයාට නැවතත්  නොසලකා සිටීමට නොහැකි ලෙස ඒ පිලිබඳ දැනවීමට අවස්ථාවක් කරගැනීමයි. තමාට නොහැකි නම් කට පියාගෙන නොසිට  රතන හිමියන් විධායකයේ අනවශ්‍ය තටු කපා මේ රටට හිතකර ව්‍යවස්ථාවක් සකස්කර ගැනීමට පෙරමුණ ගන්නාවි ට එය තිඹිරිගෙයින්ම යටපත් කිරීමට බොදුබල සේනා සංවිධානයේ ඥානසාර හිමියන්ට තිබෙන හදිසි වූවමනාව කුමක්ද? නැත්නම් එය වෙනත් කාගේ හෝ උවමනාවක් ඥානසාර හිමියන්ගේ කටින් පිට වීමක්ද?

අලුත්ගම සිද්ධියේන් පසු බොදුබල සේනාවට එරෙහිව ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු අත්වැල් බැඳ ගනිද්දී චම්පික අමාත්‍යවරයා සිටියේ මුස්ලිම් අන්තවාදයේ හරය පැහැදිලි කරමින් බොදු බල සේනාවට පක්ෂ මතවාදයකය. එහෙත් ඔහුගේ අමාත්‍යාංශය පවා උදුරා ඉහළ තැන් නියෝජනය කිරීමට හෙංචයියන් පත් කරනවිට, එවැන්නන් රාජ්‍ය සේවය පුරාම  වසා පැතිරී සිටිනවිට, රට, ජාතිය ආගම පිලිබඳ ඥානසාර හිමියන්ගේ කැක්කුම් ගහන හෘද සාක්ෂිය යටපත් වන්නේ ඇයි? දැන් චම්පික ඇමැතිවරයාම නියෝජනය කරන පක්ෂයේ සභාපති හිමියන් විසින්  ව්‍යවස්ථා සංශෝදන කෙටුම් පතක් ගේන විට එය ඥානසාර හිමියන්ගේ වාතයාරක්තය කෝප වීමට හේතු වන්නේ ඇයි ?  



බොදු බල සේනාවේ රළු විවේචනයන්ටද පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලක්විය. නියගින් පීඩා විදින මෙරට ජනයා අමතක කොට පලස්තීනය වැනි මුස්ලිම් රටකට ඇමරිකානු ඩොලර් මිලියනක් ආධාර දීම, බදීයුදීන් ඇමතිවරයා විල්පත්තු වනය සංහාර කරමින් කළ මුස්ලිම් ජනපදකරණය, ඒ සදහා ආණ්ඩුවේ කෙරුමකු වූ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ සහයෝගය ඇතැයි ප්‍රසිද්දියේ චෝදනා කිරීම, හලාල් ඇතුළු මුස්ලිම් අන්තවාදය මැඩලීමට රජය කිසිදු පියවරක් නොගැනීම, පුරාවිද්‍යා වැදගත් කමකින් යුතු බෞද්ධ උරුමය සහිත ඓතිහාසික ප්‍රදේශ මුස්ලිම් ජනයා ආක්‍රමණය කිරීම, පල්ලි ඉදිකිරීම, ආදී නහුතයක් කරණා පෙරමුණට ගෙන මේ සංවේදී නායකයා ඊට සංවේදී නොවීම පිලිබඳ අතිශය ග්‍රාම්‍ය ආකාරයට විවේචනය කළහ. ෆේස් බුක් (facebook ) වැනි සමාජ ජාල පරිහරණය කරන්නන්ට මෙය අමුත්තක් නොවේ. කෙටියෙන්ම කිවහොත් ජනාධිපතිවරයා හදුන්වා දෙන්නේ "මොහොමඩ් මහින්ද" වශයෙනි. සිංහල බෞද්ධයාට ලැබිය යුතු නිසි තැන නොලැබෙන බව කියමින් රෙජීමය කෙරෙහි මේසා විශාල විරෝධයකින් සිංහල බෞද්ධයා කුපිත කළ සංවිධානයක් රතන හිමියන්ගේ යෝජනාව සමගින් සියලු වස්දොස් කිපී "හොඳම පොදු අපේක්ෂකයා මහින්ද" කියමින් රතන හිමියන් නයාට අඳුකොළ මෙන් පෙනී ගියේ ඇයි?  ඥානසාර හිමියන්ට තිබුනේ මීට විරුද්ධ වීම නොව තවමත් මෙරට ප්‍රධාන සංරචනය වන සිංහල බෞද්ධ බලවේග නොසලකා හිතුවක්කාර ලෙස ක්‍රියාකිරීමේ වරද ජනාධිපතිවරයාට දැනවීමට මේ මොහොත අවස්ථාවක් කර ගැනීමයි.එහෙත් ඊට වඩා මේ කෙටුම් පත සකස් කළ පුද්ගලයා ඥානසාර හිමියන්ට ප්‍රශ්නයක්‍  වී තිබේ.


සරත් එන් සිල්වා සාධකය
පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ "පිවිතුරු හෙටක්" සංවිධානය යනු බහුජන සංවිධාන සාමූහික එකතුවක් මිස සරත් එන්. සිල්වාගේ ඒක පුද්ගල ප්‍රසංගයක් නොවේ. සරත් එන් සිල්වා යනු මේ කෙටුම් පත සකස් කිරීමට බුධිමය දායකත්වය ලබාදුන් එක් පුද්ගලයකු පමණි. එහෙත් ඥානසාර හිමියන්ගේ එක් විවේචනයක් වන්නේ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මේ  සංශෝදනය කෙටුම්පත් කිරීමයි. රට මේ තත්වයට වැට්ටුවේ සරත් එන් සිල්වා බවත්, ඔහු පක්ෂ මාරු කිරීමට අනුබල දෙන නඩු තීන්දු දුන් බවත්, ඔහුගේ ඉතිහාසය අපවිත්‍ර නිසා බොදුබල සේනාවේ විරෝධය පළ කරන බවයි. සරත් එන් සිල්වා රටෙන් පිටුවහල් කළ  යුතු බවද මේ ගැන කීමට කැදවූ  මාධ්‍ය සාකච්ඡාවේ දී අවධාරණය කැරිණි.



ඇත්ත. වැරදි පුර්වාදර්ශ මෙන්ම,ආධානග්‍රාහී නඩු තීන්දු රාශියක්ම හිටපු අගවිනිසුරුවරයා ප්‍රකාශයට පත්කොට තිබෙන බව සැබෑය. එහෙත් අගවිනිසුරු වරයාට පවා ආණ්ඩු පක්ෂයට පක්ෂග්‍රාහී තීන්දු දීම හැර මේ ක්‍රමය තුළ වෙනත් විකල්පයක් නැත. විධායක බලයට අධිකරණ බලය යටත්කොට ඇති විටක ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුද විධායකයේ රබර් මුද්‍ද්‍රාවක්ම මිස අන් යමක් නොවන බව සරත් එන් සිල්වා හොදින් දැන සිටියේය. ශ්‍රේෂ්ඨාධිකරණ දුන් සෑම තීන්දුවක්ම එසේ යැයි මින් අදහස් නොවන අතර ආණ්ඩු පක්ෂයේ අණ -පනත් හෝ ඍජු දේශපාලනික කරණා සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය කුමක්දැයි ව්මසා බැලූ  සෑම අවස්ථාවකම  තීන්දු දී තිබෙන්නේ විධායකයේ සිතගියාවන්ට අනුකුල වන පරිදිය. එකල එස්.බී. දිසානායක මහතාට සිර දඬුවම් නියම කිරීම, පක්ෂ මාරුව, 18, වන සංශෝධනය ගැන හදිසි අර්ථ නිරූපණය, හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාට දුන් දරුණු වද හිංසන ආදිය සිදුවුයේ කාගේ වුවමනාවන්ට දැයි ජනතාව දනී. අගවිනිසුරු පත් කරන්නේ ජනාධිපති නිසා ඔහුගේ සිතගියාවන්ට අනුව ක්‍රියා කිරීමට අගවිනිසුරු නිල නොලත් මට්ටමින් බැදී සිටින බව අතීත සිද්ධි සාක්ෂ්‍ය දරයි. සරත් එන්. සිල්වාට අග්‍රවිනිශ්චකාර තනතුර ධුර කාල දෙකක් අතනොහැර අල්ලා සිටීමට හැකි වූයේ එහෙයිනි. ඥානසාර හිමියන් වර්තමාන අගවිනිසුරු මොහාන් පීරිස් මහතාගෙන් ඊට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්නේ දැයි නොදනිමු.

එහෙත් අපට වැටහෙන කරුණ නම් ඔහු පත්කර ගත්තේද  සරත් එන් සිල්වා නැති අධිකරණයක එම රික්තකය පුරවා ගැනීම පිණිසය. එසේ නොවන ඕනෑම මොහොතක සිදුවන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායක මහත්මියට වූ දේ සහ තවමත් වෙමින් පවතින දේ  සිහියට ගැනීම ඥානසාර හිමියන්ට නොමේරූ මොලයක් තිබීම වූවද ප්‍රමාණවත් වෙයි. අතීතයේ ද මෙවැනි නිදර්ශන තිබේ. ජේ.ආර් ජයවර්ධන පුවත් පතකට කර තිබු ප්‍රකාශයක් එවකට අගවිනිසුරු නෙවිල් සමරකෝන් උත්සව සභාවක දී විවේචනය කිරීම හේතුකොටගෙන ජේ.ආර් කළේ ඔහුව තනතුරෙන් පහ කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමය. ඊළගට 13 වන සංශෝධනයට පක්ෂ නොවීම නිසා ජ්‍යෙෂ්ඨත්වයෙන් පෙරමුණේ සිටි රාජා වනසුන්දරගෙන් පලි ගත්තේ ඔහුට අගවිනිසුරු ධුරය අහිමිකොට ඊට පහළින් සිටි පාලින්ද රණසිංහ පත් කිරීමෙනි. මාර්ක් ප්‍රනාන්දු මහතාද විධායකයට අකීකරු වීම නිසා අගවිනිසුරුකම අහිමිකර ගත්තෙකි. මේ සියලු තත්වයන් සියසින් දැක අත්විද ක්‍රමයට අනුගතව කටයුතු කරන්නේ කෙසේදැයි මානව තේරුම් ගැනීමට කුප්‍රකට බුද්ධියක් තිබුනේ සරත් එන් සිල්වාටය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීතිය පිළිබඳ හසල දැනුමක් ඇත්තෙකු සේම තැනේ හැටියට ඇණේ ගැසීමටත් ඔහු දක්ෂ විය. එසේ වූ පමණින් රතන හිමියන් ඔහුගේ බුද්ධිමය දායකත්වය නොගත යුතුද? අංගුලිමාලද රහත් වූ ශාසනයක භික්ෂුවක් සරත් එන් සිල්වාට පමණක් තමා කළ වැරදි නිවැරදි කර ගැනීමට අවස්ථාවක් නොදී රටෙන් පන්නා දැමිය යුතුයැයි කියන්නේ ඇයි? කරුණා අම්මාන් වැනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයකු මෙන්ම ආණ්ඩුවේ ඇමැතිවරයකු වීමට හැකි නම් රතන හිමියන් සරත් එන් සිල්වාගේ දැනුම මේ සංශෝදනයට ලබා ගැනීමේ ඇති වරද කුමක්ද? සංග්‍රාම භූමියකදී හී පහරක් වැදුන පසු පළමුව ඊට ප්‍රතිකර්මයක් කිරීම විනා එම හී පහර පැමිණියේ කුමන දිශාවෙන්ද, කුමන ලෝහයෙන් එය නිමවන ලද්දක්ද, එහි දිග පළල කොපමණද යන්න සොයා බැලීම අනුවණ  ක්‍රියාවකි. මේ මොහොතේ අවශ්‍ය වන්නේ ශීලාචාර ආණ්ඩුක්‍රමයක් නිර්මාණය කර ගැනීමට තමාන්ටත් තිබෙන අදහස් යෝජනා ඉදිරිපත් කොට දායකවීම හෝ මේ පිලිබඳ පළල් කතිකාවක් ඇති කිරීම විනා ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කළ පුද්ගලයාගේ ඉතිහාසය සොයා බැලීම නොවේ.

පුද්ගල සාධකයට වඩා අරමුණ වැදගත් වීම

දේශපාලන උපාය මාර්ග තේරීමේ දී පුද්ගල සාධකයන්ට වඩා අරමුණ ප්‍රමුඛ කොට ගැනීම වැදගත්ය.ඊට හොදම නිදසුන බොදුබල සේනා සංවිධානයයි. බීමතින් රිය පැදවීමේ වරදකට පැවැති නඩුවක් පිළිබඳව එක්තරා රුපවාහිනී නාලිකාවකින් ඉස්මතු කරද්දීත්  සිංහල බෞද්ධයින් රට පුරා පැවති බොදු සමුළුවලට පැමිණියේ ඥානසාර හිමියන්ගේ පැටිකිරිය සෙවීමට වඩා සිංහල බෞද්ධයා වෙනුවෙන් පෙනී සිටින අරමුණ සලකාය පසුගිය සැප්තැම්බර් 28 සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවති මහ සඟ සමුළුවට ආධාර පතා කොරියාවට ගිය විට එරට සේවය කරන ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ආධාර  කිරීමේදී තමාගේ පැටිකිරිය සොයා නොබැලූ   බව ඥානසාර හිමියන්ම සිය කතාවේදී හෙළි කළේය. ඒ ඔවුන්ට සිංහල බෞද්ධයා වෙනුවෙන් හඩ නැගීම ඊට වඩා වැදගත් නිසා විය යුතුය. එහෙත් ඒ බව කියන ඥානසාර හිමියන්ම දැන් සරත් එන්. සිල්වාගේ පැටිකිරිය සොයමින් මේ සංශෝධනයට විරුද්ධ වෙයි.

අනෙක් අතට ජනාධිපතිවරණයක් කටමුල තියාගෙන හදිසියේ සංශෝධන ගෙනෙන්නේ කුමකටද, දැන්ද මතක් වෙන්නේ යනුවෙන් ප්‍රශ්න කරයි.එහෙත් තවත් වසර දෙකක් තිබියදීම හදිසියේ ජනාධිපතිවරණ කැඳවන්නේ කුමකට දැයි උන්වහන්සේ අනෙක් පැත්තට නොවිමසයි. අනෙක් කාරණය මේ සංශෝධනයට විරුද්ධ වී ජනාධිපතිවරයාගේ මන දොළ තෘප්ත කිරීමට ඕනෑම විටක සුදානම්ව සිටින කීකරු ඇමතිවරු සිටියදී ඥානසාර හිමියන් ඒ කාරණයට ඉක්මන් වන්නේ ඇයිද? යන්නයි. එහි තේරුම බොදුබල සේනාවද  අවශ්‍ය වෙලාවට පාවිච්චියට ගැනීමට තිබෙන ආණ්ඩුවේම තුරුම්බුවක් යන්නද?

දේශප්‍රේමය යනු මේ රජය කරන ඕනෑම දෙයක් අනුමත කිරීම නොව මේ අසීමිත බලකාමය සහ ධනකාමය කිසියම් දුරකට හෝ පාලනය කිරීමයි. ජෙනරාල් සරත් ෆොන්සේකාට සහ ශිරානී බණ්ඩාරනායක මහත්මියට කළ කී දෑ හෘද සාක්ෂියක් ඇති කිසිවකුට අනුමත කල නොහැකිය.රාජපක්ෂ පවුලේ මේ අත්තනෝමතික ක්‍රියා කලාපයට පුරවැසියන් ලෙස අප පමණක් නොව උග්‍ර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයා පවා එරෙහි විය යුතුමය. වසර 30ක් තිස්සේ සියලු ලංකික පුරවැසියන් පීඩා විඳි කුරිරු ත්‍රස්තවාදයෙන් එතුමා රට නිදහස් කරගත් රාජ්‍ය නායකයා බව සැබෑය. එහෙත් ඒ වෙනුවෙන් ඔහු කරන කියන හැම දෙයක්ම අප ඉවසිය යුතුද ?  අසාධාරණය, නාස්තිය, දුෂණය, අත්තනෝමතිකත්වය, රජයනවිට ඊට එරෙහිව පෙනීසිටීමෙන් ආණ්ඩු විරෝධීයකු හෝ එන්.ජී.ඕ.කාරයයෙක් වීමට සුදුස්සෙක් වන්නේ නැත. අද එබඳු සංවිධාන පවා 19 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය දෙන්නේ හෙළ උරුමයේ ජාතික චින්තනය හෝ සිංහල බෞද්ධකම වැළඳගෙන නොව මේ මොහොතට අවස්තානුකූලව දේශපාලනය වීමකි. රොටිය පුච්චාගත හැක්කේ තැටිය රත්වූ වෙලාවට යනුවෙන් ගැමි කියමනක් තිබේ. ගැමියකුට තිබෙන එම දේපාලන සවිඥානිකත්වය අද බොදුබල සේනාවේ ඥානසාර හිමියන්ට නොවීම මේ සංවිධානය කෙරෙහි බලාපොරොත්තු තැබූ බෞද්ධයින්ගේ අවාසනාවකි. උන්වහන්සේගේ ඉලක්කය ජනාධිපතිවරණය නොව මහමැතිවරණය යැයි  කියමින් අදේශපාලනික ප්‍රකාශනද  කටින් පිට කරති. එහෙත් මෙබදු බලසම්පන්න විධායකයක් අභියස පාර්ලිමේන්තු ආසනයක් දෙකක් දිනා ගත් පමණින් කළහැකි කෙංගෙඩියක් නැති බව ඥානසාර හිමියන් අවබෝධ කර ගත යුතුය. ඇරත් අධානග්‍රාහී ලෙස පක්ෂ බදාගෙන ඉන්නා  සිංහල බෞද්ධයා බොදු බල සමුළුවල කතා ඇසීමට ආ පමණින් තම පරවේණිගත පක්ෂයට එපිටින් කතිරය ගසිතියි මුලා නොවිය යුතුය.

විරුද්ධ පක්ෂයට ඇති සීමා

ජේ.ආර්.ජනාධිපතිවරයා මේ ව්‍යවස්ථාව සකස්කොට තිබෙන්නේ ආණ්ඩු පක්ෂයෙන් හැර විරුද්ධ පක්ෂයෙන් සක් දෙවිඳු පැමිණියත් ලෙහෙසියෙන් බලයට පත්විය නොහැකි ආකාරයටය. රණසිංහ ප්‍රේමදාස මහතා හදිසියේ බෝම්බ ප්‍රහාරයකට ලක්ව මිය නොයන්න අදටත් පවතින්නේ එ.ජා.ප ආණ්ඩුවකි. ප්‍රේමදාස මහතාගේ අභාවයෙන් පසු උත්සාහයකින් තොරවම ජනාධිපති ධුරයට පත් වන්නේ ඩී.බී විජේතුංග මහතාය. ඔහු බලකාමයෙන් මත්ව විධායක බලතල හිතුවක්කාර අන්දමින් ඔහු පරිහරණය නොකළේය. දුර්වල පාලකයකු වූ එතුමා ස්වභාවයෙන්ම බලයට කෑදර නොවූයේ ප්‍රේමදාස මහතාගේ මරණයෙන් පසු ජනාධිපති ධුරය ස්වීප් දිනුමක් සේ ලැබුන නිසාය.  94 දී එ.ජා.ප ආණ්ඩුවෙන් චන්ද්‍රිකා බලය ලබාගන්නේ ඒ දුර්වලතාවය ප්‍රයෝජනයට ගනිමිනි. නො එසේ නම් අදටත් තිබෙන්නේ එජාප ආණ්ඩුවකි. මෙයින් පෙනෙන්නේ කුමන පක්ෂයකට බලය මාරු වුවත්  විරුද්ධ පක්ෂයට නැවත බලයට පැමිණීම ලෙහෙසි නැති බවයි. තම පක්ෂයම නිර්මාණය කළ මේ ඒකාධිපති ව්‍යවස්ථාව නිසා අද එම පක්ෂයම මෙහි ශාපය දිට්ට ධම්ම වේදනීය ආකාරයෙන්  අත්විදිමින් සිටී. දැන්වත් රටෙත්,ජනතාවගේත් ඉරණම තීරණය කරන මේ කඩදාසිය සාමුහික ප්‍රයත්නයකින් වෙනස්කරගත යුතුව ඇත.යුද්ධය ඉවර කිරීමට හැකි වූයේ මේ විධායක බලතල තිබුන නිසා යැයි කියන පිරිස් ද සිටී. එහෙත් යුද්ධය ඉවර කිරීමට මහින්ද රාජපක්ෂ වැන්නකුට බලයට පැමිණීමට හැකි වූයේ ද ධුර කාල දෙකේ සීමාව තිබූ  නිසාය.මහින්ද රාජපක්ෂ මහතාටද  සදාකාලික පැවැත්මක් නැති බවද සිහිපත් කළ යුතුය. ඔහු නැති කලක මේ ව්‍යවස්ථාව පත් වන්නේ කවර ගනයේ කෙනෙකුටයි තීරණය කළ නොහැකිය. එය මිනිසුන් ගස් බඳින දේශපාලකයකු අතට පත් වුවොත් සිදුවිය හැකි විනාශය අපමණය. එබැවින් තැටිය රත්වී තිබෙන මේ මොහොත කළමණාකරණය කර ගැනීමට අවශ්‍ය ප්‍රඥාව ඉදිරියේ දී බොදුබල සේනාවේ ඉහළ නායකත්වයට පහළ  වනු ඇතැයි අප විශ්වාස කරමු. එසේ නෝවුනහොත් ආණ්ඩුවේම තුරුම්බුවක් සේ සලකා සිංහල බෞද්ධයින් විසින්ම මේ රංගනයේ ආයුෂ කෙටි කරනු ඇත.


-රත්තනදෙණියේ මේධානන්ද හිමි : ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලය
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

4 comments :

  1. සුගත්10/30/2014 10:06 PM

    මේ පිලිබඳ කිසියම් හෝ සංවාදයක් ඇති කිරීම යහපත්ය. නමුත් රතන හාමුදුරුවන්ගේ ඇතැම් ප්රදකාශ ගැටළු සහගතය. මහින්ද එළවා ගේනේ මොකාදැයි උන්වහන්සේ පැවසිය යුතුය. බොදු බල සේනාවට කිසියම් සමාජ බලයක් තවම ඇතත් ඔවුනගේ ස්ථාවරයන් ගැන කතා කිරීම පලක් නැත්තේ ඔවුනට එවැන්නක් නැති නිසාය.
    මේ ලිපියේ බොහෝ කරුණු සමඟ එකඟ විය හැකි වුවත් ශිරානි ගැන කියා ඇති දෑ සමඟ එකඟ නොවෙමි. උතුරු පලාත් සභාව පිහිටුවා ඇති මෙසමයෙහි ඇය ඔතන සිටියා නම් 13 දී හමාරය, ඇය උග්ර ෆෙඩරල් වාදියකි. සුමන්තිරන් නඩු දමා අපට බඩු පැකට් කරනු නියතය. ජනාධිපතිතුමාට (හරි හෝ වැරදි හෝ) උතුරු පලාත් සභාව පිහිටුවීමට වුවමනා වූ නිසා ශිරානි පන්නා දැමීය. ඇගේ වෙනත් වැරදිද තිබුනි. වැරදි කරපු උන් කොතෙකුත් යහතින් සිටින බව ඇත්තකි. නමුත් එකෙකු හෝ පන්නා දැමීම ගැන අප කෝප විය යුතු නැත. ඔය නීතියේ සහ ඒකාධිපති පාලනයේ වෙනසක් නැත.
    සරත් ෆොන්සේකා මහතාද අනුන්ගේ ලණූ කා විහින් නැහුනු බව මගේ අදහසයි.

    ReplyDelete
  2. සරත් උඳුපිටිය10/31/2014 1:18 PM

    ශිරාණි පන්නා දැමුවේ උතුරු පළාත් සභාව පිහිටුවීමට උවමනා නිසා නොවේ. බැසිල් ගේ දිවිනගුම පනතට ගොනුකළ පෙත්සමක් සලකා බලා පාර්ලිමේන්තුවට දමා සම්මත කර ගැනීමට පෙර මහජනයාට අහිතකර වගන්ති කිහිපයක් වෙනස් කරන්න නියෝග කිරීමයි. කොටි ගණක මුදල් විගණනයකින් තොරව බැසිල් රාජපක්ෂට පරිහරණය කිරීමට පනතෙන් තිබුණු අයිතිය විගණන නිලධාරියකුට පැවරුවා නඩු තීන්දුවෙන්. එක කොච්චර හොදද? නැත්තම් දිවිනගුම මුදල් චන්ද කාලෙට බැසිල්ට වියදමට ගන්නත් ඒ පණතෙන් නිදහස තිබුණා. මොකද ඔහු යටතේ සියලු මුදල් පාලනය වෙන්නේ. කැන්වසින් යන අයට බත් පාර්සල් දෙන්න දිවිනගුමේ මුදල් යොදාගන්න තිබුණා. නඩු තීන්දුවෙන් මුදල් අත්තනෝමතික පරිහරණය කරන්න ඉඩ දුන් නැති උනාම තමයි සහෝදරයා ශිරානිට කෙලෙව්වේ. කෙටියෙන්ම කිව්වොත් තමන්ට ඕන විදිහට දිවිනගුම පණත සම්මත කරන්න ඉඩ දුන් නැති එකට.

    ෆොන්සේකා ලනු කෑවා කියමු. ඉතින් ඔහුට කරපු දේ වැරදි නේද? මිනී මරපු කරුණලා පිල්ලෙයාන්ලා කේ.පී. ලා ඉද්දි. එකෙනුත් තේරෙන්නේ රාජපක්ෂලාට හුරතල් වෙලා ඉන්නවනම් නීතිය බල්ලට ගිහින් බව නේද ? ඕනෑම වරදක් කලත් නිදහසේ ඉන්න පුළුවන් කියන එක නේද ඔබ කියන්නේ .ෆොන්සේකා ලනු කෑවත් පැරදුණා.ඉතින් ඔහුගේ පටි ගලවල විශ්‍රාම වැටුප කපලා හිරේ දාල කරපු දේවල් කැතයි සහෝ. මිනිස්සුන් ලෙස අපි මේ වැඩවලට විරුද්ද වෙමු. ඒක මේ ආණ්ඩු පෙරලන්න කරන දෙයක් නොවේ. සාධාරණව බලමු. ස්තුතියි අදහස් පළ කළාට ඔබට.

    ReplyDelete
  3. සුගත්10/31/2014 3:17 PM

    දිවි නැගුම නඩු තීන්දුවේ මුදල් පරිපාලනයෙපළාත් සභාවලට න් එහා ගිය ගැටළුවක් තිබුනා.
    //කෙසේ නමුත් පසුගිය දා මහත් ආන්දෝලනයට තුදු දුන් දිවි නැගුම පනත පිලිබඳ කාරනය බලය බෙදීමට සෘජුව සම්බන්ධ නඩු ක්‍රියාමාර්ගයකි. නමුත් 96දී මාර්ක් ප්‍ප්‍රනාන්දු විනිසුරුවරයා ලබා දුන් නීතිමය මගපෙන්වීමද නොසලකා හැරි ශිරාණි බන්ඩරනායක මැතිණිය එය තම නායකත්වය යටතේ ඇති අධිකරණ මන්ඩලයක් හරහා විභාග කෙරිණ. එහිදී ඇය බෙදුම්වාදය ශක්තිමත්වන තීරනයක් ලබාදුන් බව ඉතා පැහැදිලිය. එම තීන්දුවේ පළාත් සභා වලට අයත් ලයිස්තුව වූයේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී සුමන්තිරම් විසින් ඉදිරිපත් කළ ලයිස්තුවමය. එය ව්‍යවස්ථානුකූල අර්ථදැක්වීමට අනුකූල යැයි යැයිද එයට ඇගේ දේශපාලන මත්ය උත්ප්‍රේරකයක් නොවී යැයි සමහරු මෙහිදී ඉදිරිපත් කරන මතය ඉවත දැමිය යුත්තේ පූර්වාදර්ශ නොතිබියදී මේ අලුත් කරුණු අරභයා දෙන නීතිමය අර්ථගැන්වීම්වලට ඒ ඒ විනිසුරුවරුන්ගේ මතවාදී අභිලාශයන් ප්‍රබලව බලපාන බව වසන් කල නොහැකි සත්‍යක් වන බැවිනි.
    චන්ද්‍රිකා ජනාධිපති තුමිය විසින් ඇයව ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරියක ලෙස පත් කිරීම ඉහත කරුණු අනුව තේරුම් ගත හැකිය.
    - See more at: http://www.yuthukama.com/2013/01/JanapathitaAithiyakNetha.html

    සරත් ෆොන්සේකට කරපු ඔක්කොම හරිය කියලා මම කියන්නේ නෑ. සරත් ෆොන්සේකා කරපු එකත් හරිය කියලත් කියන බෑ. හිරෙන් එළියට දාපු එක නම් හොඳයි. ඇතුළේ හිටියා නම එතුමා ඉට වඩා බලවත් මේ වෙලාවේ. ඔය යූන්පී, ජේවීපී උන් ඔක්කොගෙම වීරයා වෙන්නෙ එතුමා එහෙනම්. එළියට ආවම කවුරුත් නෑ.

    ReplyDelete
  4. විපුල ගුණසේකර11/01/2014 7:51 AM

    ජනිපෙ (විමල් ) සහ හෙළ උරුමය එදා ඉදන්ම කියන දෙයක් තමයි පළාත් සභා කියන්නේ සුදු අලියෙක් මේක අහෝසි කරන්න කියලා. එත් මේ මහින්ද ලොක්කා එක කරන නෑ නේ . කලා නම් ඔය මොකුත් නෑ සහෝදරයා. මේක ජ.වී.පෙ. ත් ඉල්ලීමක්. එහෙම කරන්නේ කොහොමද දේශපාලකයන්ගේ දුලා පුතාල පාර්ලිමේන්තුවට එනකම් හොරකම් කරන්න ට්‍රේනින් එකක් ලැබෙන්නේ කොහොමද නේද ? හැක් ..හැ ක් ..පළාත් සභා කියන්නේ අද කිසි සේවයක් නැති විශාල ධනයක් කාබාසින කරන ඔවුන් පුහුණුවෙන ආයතනයක් විතරයි.


    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions