10/31/2014

ස්වර්ණ පුස්තක NGO මගඩිය සහ ප‍්‍රකාශකයා සතු සමාජ වගකීම..

කතෘ:යුතුකම     10/31/2014   2 comments

විශිෂ්ඨයන්ගේ විශිෂ්ඨ පොත් දෙසීය පනහක් සමගින් ඔක්තෝබර් 28 සිට ඔක්තෝබර් 4 දක්වා කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්වෙන විසිදුනු පොත් දැක්ම සමාරම්භක උත්සවයේදී සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මහතා සිදුකල මුඛ්‍ය දේශනය.අතුපූජ්‍ය ත්‍රීකුණාමලයේ ආනන්ද මහනාහිමිපානන් මෙහි මුලසුන දැරීය. 

පසුගිය දිනක ස්වර්ණ පුස්තක සම්මානය මුල් කොට ගාලගෝට්ටියක් ඇති වූ සැටි අපි දුටුවෙමු. එ් ගාලගෝට්ටියට පාදක වූයේ ස්වර්ණ පුස්තක සම්මාන විනිශ්චය මණ්ඩලයට කඩා වැටුණු ඇන්. ජී. ඕ. නඩයේ අමන හැසිරීම යි. එ් ගාලගෝට්ටිය ජුගුප්සාජනක එකක් වුව ද එයින් විශාල ලාභයක් අපට අත් වී ය යි මම සිතමි. එ මගින් පොත් ප‍්‍රකාශනය අරබයා ඉතා වැදගත් කරුණක් අපට පෙන්වාදෙන ලදි. එ් වැදගත් කරුණ නම් පොත් ප‍්‍රකාශකයා හුදු පොත් වෙළෙන්දකු නොව විශාල සාමාජික වගකීමක් ඇති පුද්ගලයකු බව පෙන්වාදීම යි. 

සිංහල පොත් ප‍්‍රකාශනය කුඩා කර්මාන්තයක් ව පැවැතුණු අවදියේ මේ පොත් ප‍්‍රකාශනය මුල් කොට මෙ වැනි ප‍්‍රශ්නයක් මතු නොවූ බව අපි දනිමු. එ කල ග‍්‍රන්ථකරණයේ යෙදුණේ ඇසූ පිරූ තැන් ඇති සමාජ සම්භාවනාවට පාත‍්‍ර වූ උගතුන් ටික දෙනකු යි. එ් උගතුන් සිය සමාජීය වගකීම ඉටු කළ බැවින් ඊට මැදහත් වීමට පොත් ප‍්‍රකාශකයාට අවශ්‍ය නො විණ. එහෙත් අද වන විට මේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වී තිබේ. මුද්‍රණ පහසුකම් නොමඳ ව ඇති අද දිනපතා ම පාහේ පොත්-පත් විශාල ගණනක් පළ කරනු ලැබේ. එ මෙන් ම එ්වා ලියනු ලබන්නේ රට පිළිගත් උගතුන් විසින් පමණක් නො වේ. ක‍්‍රියාකාරක සම්බන්ධය පවා නොදන්නා නවකයන් අද ගත් කතුවරුන් බවට පත් වී ඇති බව රහසක් නො වේ. එ බැවින් එදා ප‍්‍රකාශකයා සතු ව නොතිබුණු සමාජීය වගකීමක් වත්මන් ප‍්‍රකාශකයා මත පැවරී තිබේ. 

පොත් ප‍්‍රකාශකයා සතුව සමාජීය වගකීමක් ඇති ය යන්න අපට නුහුරු සංකල්පයක් නමුදු, කාලාන්තරයක් මුළුල්ලෙහි පොත් ප‍්‍රකාශනයේ යෙදී ඇති ප‍්‍රකාශකයන්, විශේෂයෙන් බටහිර රටවල ප‍්‍රකාශකයන් මේ සමාජීය වගකීම සිය වෘත්තියේ අනිවාර්ය අංගයක් ලෙස සලකා ඇති බව අපි දනිමු. 
බි‍්‍රතාන්‍යයේ පොත් ප‍්‍රකාශනයේ නියැළී උන් Faber of Faver ප‍්‍රකාශන ආයතනය, හොගාත් (Hogarth) ප‍්‍රකාශන ආයතනය, ඩක්වර්ත් (Duckworth)ප්‍රකාශන ආයතනය, පෙන්ගුයුන් (Penguin) ආයතනය, පෙලිකන් (Pelican) ආයතනය මෙහි ලා නිදසුන් වශයෙන් දැක්විය හැකි යි. මේ පොත් ප‍්‍රකාශකයන් ගේ පළමු කාර්යය වූයේ තමනට ලැබෙන අත් පිටපත් විද්වත් මණ්ඩලයක් වෙත ඉදිරිපත් කිරීම යි. එ් විනිශ්චය මණ්ඩලය සැකසී තිබුණේ රටේ පිළිගත් උගතුන්ගෙනු යි. Faber ප‍්‍රකාශකයන් ගේ විනිශ්චය මණ්ඩලයේ ප‍්‍රධානියා වූයේ ‘ටී. එස්. එලියට්’ නමැති මහා කවියා යි. ඩක්ස්වර්ත් ප‍්‍රකාශන ආයතනයේ විනිශ්චය මණ්ඩලයේ ප‍්‍රධානියා වූයේ කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ‘ග‍්‍රැහැම් හෆ්’ බව මා අසා තිබේ. බුල්මිස්බරි පර්ශදයේ සාමාජිකයකු වූ ‘ලෙනා වුල්ෆ්’ සිය ප‍්‍රකාශන ආයතනය ආරම්භ කළේ හුදෙක් සිය සමාජීය වගකීම ඉටු කිරීමේ අභිලාෂයෙන් බව ඔහු විසින් ම සඳහන් කර තිබේ (අද වන විට මේ තත්ත්වය වෙනස් වී ඇති බව පැහැදිලි කරුණකි. මේ රටේ ඉංගිරිසි පොත් අලෙවි කරන පොත් සාප්පුවකට ගියොත් මේ කරුණ මැනවින් පෙනීයනු ඇත). මේ රටේ ඉන්නා වත්මන් පොත් ප‍්‍රකාශකයන් ගෙන් වැඩි දෙනකු ඉහතින් දැක්වූ ආකාර පිළිවෙතක් අනුගමනය නොකරන බව රහසක් නො වේ. ඔවුන් මෙහෙයවනු ලබන්නේ සමාජීය-බුද්ධීය වගකීමක් විසින් නො වේ. ඔවුන් මෙහෙයවන එක ම දෙය වාණිජ අපේක්ෂාව යි. තමන් කළ ආයෝජනය හැකි ඉක්මනින් ආපසු ලබාගන්නේ කෙසේ ද යන්න යි ඔවුන් මුහුණ දෙන එක ම ප‍්‍රශ්නය. මෙහි ප‍්‍රතිඵලය මේ වන විට දක්නට ලැබේ. අලෙවියක් නැති කෙටි කතා සංග‍්‍රහ, කාව්‍ය සංග‍්‍රහ හෝ ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ අද පළ නො වේ. පළ වන එක ම දෙය තම තමා නමින් ලියැවෙන යාන් හෑලි යි. එ්වා ද පළමු මුද්‍රණයට සීමා වෙයි. අද වන විට මෙහි මුල් බැසගෙන ඇති මේ ප‍්‍රවණතාව මේ රටට සීමා වූ එකක් නොවන බව මෙහි ලා අප විසින් වටහාගත යුතු යි. එය අද වන විට ලොව පුරා පැතිර ඇති ප‍්‍රවණතාවක් බවට පත් ව තිබේ. අපේ ප‍්‍රකාශකයන් දැන හෝ නොදැන හෝ එ් ප‍්‍රවණතාවේ කොටස්කරුවන් වී ඇතැ යි නිගමනය කිරීම සෙදාස් නො වේ. 

ලොව පුරා පැතිර ඇති මේ ප‍්‍රවණතාවට මුල් හේතුව අන් කිසිවක් නො ව අද වන විට මුළු ලොව ම වෙලාගෙන ඇති නව ලිබරල්වාදී ධනවාදී ආර්ථිකය යි. 77න් පසු අපි ද මේ ධනවාදයට ගොදුරු වීමු. මේ නව ලිබරල්වාදී ධනවාදයේ පැවැත්මට අවශ්‍ය වන සංස්කෘතියන් ද එ් ආර්ථිකය මගින් සපයා තිබේ. එ් සංස්කෘතීන් අරමුණ මේ අධම ආර්ථිකයත් එ් මඟින් බිහි වී ඇති සමාජයත් ප‍්‍රශ්න කිරීමෙන් තොර ව බාර ගන්නා අවිචාරවත් මානසික වහලකු බිහි කිරීම යි (77 බලයට පත් ජේ. ආර්. ජයවර්ධන සාහිත්‍යය කන්නට දැ යි ඇසුවේ සාහිත්‍යයට මේ මානසික වහලා ගේ ඇස් ඇරවීමේ ශක්තිය තිබෙන බව එ තුමා දැන සිටි නිසා යි). මේ මානසික වහලා ගේ ජීවන දැක්ම වනුයේ කාපල්ලා, බීපල්ලා, ජොලි කරපල්ලා යන්න යි. එ සේ නම් එ් ජොලි කිරීමට අවශ්‍ය විනෝදාස්වාදය සැපයීම මේ ආර්ථිකය විසින් කළ යුතු වෙයි. අර මානසික වහලා සන්තර්පණය කිරීමට අවශ්‍ය විනෝදාස්වාදය සැපයීම අද මහා පරිමාණයේ කර්මාන්තයක් බවට පත් ව තිබේ (වැඩි දුර  නොගොස් අපේ රූපවාහිනියේ චැනල් නැරඹීම විසින් මෙය වටහාගත හැකි යි). එ් විනෝදාස්වාදයට සරිලන සාහිත්‍යයක් - නවකතා බිහි කිරීම ද එ් මහා පරිමාණ විනෝදාස්වාද කර්මාන්තයේ ප‍්‍රධාන අංගයක් බවට අද පත් ව තිබේ. විනෝදාස්වාදය මුල් කොටගත් මේ සාහිත්‍යය පවත්වාගෙනයනු සඳහා මේ පොත් ප‍්‍රකාශකයන් විසින් විවිධ උපක‍්‍රම යොදාගෙන ඇත. එ් උපක‍්‍රම අතරින් මුල් තැන ගත්තකි අසීමිත ප‍්‍රචාරය. එ් සඳහා බුකර් ප‍්‍රයිස් :Booker Price  වැනි ත්‍යාග යොදාගනු ලැබේ. එ් ත්‍යාග ලබාගන්නා නවකතාවක් සතියක් යෑමට පළමු විවිධ භාෂාවලට පරිවර්තනය කර ලක්ෂ ගණනින් ලොව පුරා බෙදාහරිනු ලැබේ. මේ ප‍්‍රචාරයේ පැති කඩක් මෙ රට වාර්ෂික ව පවත්වන පොත් ප‍්‍රදර්ශනයේ දී ද දැක බලාගත හැකි යි. 
ස්වර්ණ පුස්තකයට තෝරාගනු ලබන නවකතා පහ ගැන විස්තරයක් විනාඩි පහළොවෙන් පහළොවට ලවුඞ්ස්පීකරය මගින් දෙ කන් බිහිරි කරමින් මුදාහරින්නේ අලෙවිය උදෙසා ප‍්‍රචාරයේ ඇති වටනාකම අපේ ප‍්‍රකාශකයනුත් වටහාගෙන ඇති නිසා නො වේ ද? ප‍්‍රචාරයට අමතර ව තවත් උපක‍්‍රමයක් ද දැන් අන්තර්ජාතික ප‍්‍රකාශකයන් විසින් යොදාගනු ලැබේ. එ නම් විනෝදාස්වාදය සපයන මේ නවකතාකරුවන් මහා සාහිත්‍යධරයන් ලෙස ලොවට කියාපෑම යි. අඥන පාඨකයනට එ්ත්තු ගැන්වීම යි. එ මගින් පාඨක රසඥතාව දූෂණය වන අතර උසස් සාහිත්‍යකෘති පාඨකයන් අතින් ගිලිහීයෑම ද සිදු වනු ඇත. එ සේ ම ප‍්‍රකාශකයාට අවශ්‍ය නවකතාකරුවන් ද එ් මගින් ව්‍යාප්ත වනු ඇත. මේ ප‍්‍රවණතාව බිහි වූ මුල් යුගයේ ග‍්‍රැහැම් හාෆ් විද්වතා විසින් ඉතා අගනා නිරීක්ෂණයක් ඔහු ගේ Essay on Criticism නමැති විචාර කෘතියෙන් ඉදිරිපත් කරන ලදි. Today cultural imperialism and sheer commercial interest attempt to engineer such judgments. If enough faulbright professors go round the world saying that Hawthorne is as good as Dostioevski, if you pay enough copywriters to say that Soul Bellow is a great novelist, many people will come to believe it. Great Novelists, like great printers are created today by advertising and a rigged market.'  

මෙය බටහිර ලෝකය තුළ පමණක් නො ව මේ රටේ ද සිදු වෙමින් ඇති සැටි අපට දැකගත හැකි යි. මේ රට තුළ ද එ වැනි පුල්බයිට් මහාචාර්යවරු විරල නො වෙති. පසුගිය කාලයේ නිසරු කෘතිවලට සම්මාන දීම මගින් පාඨක රුචිය දූෂණය වූ අතර එ වැනි නිසරු පොත් ලිවීමට නවකයන් පොලඹවන ලද සැටි ද අපි දුටිමු. සැප්තැම්බර මාසය ළං වන විට මේ නවකතා එළි දකින්නේ හතු පිපෙන්නාක් ලෙස යි.මේ ප‍්‍රවණතාවට කළ හැකි පිළියම් නොමැති යි. මේ ආර්ථික ක‍්‍රමය පවත්නා තුරු මේ ප‍්‍රවණතාව එ ලෙස ම පවතිනු ඇත. මෙ වැන්නක් හමුවේ නැණවත් පාඨකයාට කළ හැක්කේ තමා ම පහනක් බවට පත් කරගෙන සරු දෙය නිසරු දෙයින් වෙන් කරගෙන භුක්ති විඳීම පමණි. එහෙත් එ සේ උදාසීන මනසින් ඉවසා සිටිය නොහැකි භයානක ක‍්‍රියාමා ර්ගයන් ද දැන්දැන් මේ ප‍්‍රවණතාව ඔස්සේ ක‍්‍රියාත්මක වෙමින් පවතින බව දක්නට ලැබේ. එ නම් මේ ප‍්‍රවණතාව සිය දේශපාලන අරමුණු ඉටු කරගැනීම සඳහා යොදාගැනීම යි; මේ නව සාහිත්‍ය රැල්ල සංස්කෘතික ආක‍්‍රමණයේ ප‍්‍රබල අවියක් බවට පත් කරගැනීම යි. තුන් වන ලෝකය තුළ සිය ආධිපත්‍යය පතුරවාලීමට ඇමරිකාව ප‍්‍රධාන බටහිර රටවල් දරන ප‍්‍රයත්නයට එරෙහි ව විශාල අභියෝගයක් මේ තුන් වන ලෝකයේ රටවල් විසින් එල්ලකර තිබේ. එ් අභියෝගාත්මක බලවේගයට මුල් වී ඇත්තේ මේ රටවල් සතු ව පවත්නා සංස්කෘතික-සභ්‍යත්ව-ජාතිකත්ව පදනම යි. ‘දැන් අපේ සතුරා කොමියුනිස්ට්වාදය නො ව කුමේනිවාදය යි’ මීට වසර කීපයකට පෙර පවසන ලද්දේ ඊස්රාල් ජනාධිපති පියර් සිමන් ගේ විසිනු යි. සභ්‍යත්වය-ජාතිකත්වය පදනම් කරගත් මේ බලවේගය කෙ තරම් ප‍්‍රබල ද යන්න සැමුවෙල් හංටින්ටස් විද්වතා විසින් සිය Clash of Civilizations නමැති ග‍්‍රන්ථයෙන් පෙන්වාදී තිබේ. මේ සියවසේ බටහිර රටවලට මුහුණ දීමට ඇති ප‍්‍රධාන ම බලවේගය සභ්‍යත්වය-ජාතිකත්වය පදනම් කරගත් මේ බලවේගය බව හටිංටින් ගේ මතය වෙයි. එ බැවින් මේ රටවල් තුළ ඇති සභ්‍යත්ව ජාතික පදනම විනාශ කිරීම බටහිර බලවතුන් ගේ උපාය මාර්ගය වී තිබේ. එ් සඳහා යොදාගත හැකි ප‍්‍රබල ම අවිය ජාතියක් සතු සාහිත්‍යය යි. සභ්‍යයත්වයක් සතු පුරුෂාර්ථ, හර, දර්ශනය රැුකගනු ලබන්නේ සාහිත්‍යය විසිනු යි. එ්වා අවඥවට ලක් කිරීම යනු සභ්‍යත්ව පදනම දෙදරවාහැරීමක් වෙයි. මේ කටයුත්ත අද බටහිර බලවේග විසින් ඉතා සාර්ථක ලෙස කරගෙන යනු ලැබේ. 

මුස්ලිම් සභ්‍යත්වය හෙළා දකින සල්මන් රෂ්ඩි ගෞරවනීය බි‍්‍රතාන්‍ය පුරවැසියකු ද පමණක් නො ව නයිට් නාමයකින් ද පුදන ලද්දෙකි. ඔහුට මෙ තෙක් නොබෙල් ත්‍යාගය නොලැබීම පුදුමයකි. මේ කටයුත්ත සාර්ථක ලෙස කරන නයිපෝල්ලා, අරුන්දතී රෙජයිලා, ඔන්ඩච්චිලා අද මහා සාහිත්‍යධරයන් බවට පොත් ප‍්‍රකාශකයන් විසින් පත් කරනු ලැබ තිබේ. සමාජවාදී දේශපාලනයට සහභාගී වීම සමග අරුන්දතී ජෝයි දැන් පහතට ඇදදමා තිබේ. මොවුන් ගේ ක‍්‍රියා කලාපය පිළිබඳ හොඳ නිදසුනක් පසුගිය දා මේ රට තදින් ම අපට දැකගත හැකි විය. ස්වර්ණ පුස්තක විනිශ්චය මණ්ඩලයට වහ වැටුණු මෙ රට ඉන්නා, ඩොලර් මත යැපෙන ඇන්. ජී. ඕ. නඩය එ් සම්මානය සඳහා තෝරාගන්නා ලද්දේ අප ගේ සභ්‍යත්වය-ජාතිකත්වය අවඥවට ලක් කරන නවකතා යි. ඔවුන් එ මගින් සිදු කළේ සිය ස්වාමිවරුන් ගේ අපේක්ෂා ඉටු කිරීම විනා අන් කවරක් ද? එ් අරමුණ ගැන අවබෝධයක් නැති අහිංසක ප‍්‍රකාශකයන් සිය අපේක්ෂා ඉටු කරගැන්ම සඳහා යොදවාගැන්මට මේ අමනයෝ සමත් වූ හ. එ් අහිංසකයන් අතර මේ වාණිජ රැල්ලෙන් සිය මඩිය තර කරගැන්මට සූදානම් වූ කූඨ වෙළෙන්දන් ද නොසිටියා නො වේ. මේ තත්ත්වය තව දුරටත් උදාසීන සිතින් ඉවසා සිටිය හැකි තත්ත්වයක් නො වේ. සම්මාන දීම නැවැත්විය යුතු ය යි මා හඩ නැගුවේ එ් ඉවසීම දෙදරායෑම නිසා යි. 

ජාතියක සභ්‍යත්ව-ජාතිකත්ව විඥනය නො නැසී පවතින තුරු ජාතියක් විනාශ කළ හැකි නො වේ. එහෙත් එ් සභ්‍යත්ව විඥනය විනාශ කිරීම යනු එ් ජාතියේ පැවැත්ම දෙදරාහැරීමක් වෙයි. ජාතියක් මිහිපිටින් අතුරුදහන් කිරීමේ මුල් පියවර එය යි. අද අපේ ජාතිය විසින් ඉල්ලා සිටිනු ලබන්නේ මේ අවශ්‍යතාව වටහාගත් අප ගේ සභ්‍යත්ව විඥනය රැකගෙන ඉදිරියට ගෙනියන, වාණිජ රැල්ල පිටු දකින සමාජ වගකීමකින් යුත් පොත් ප‍්‍රකාශකයකු යි. එ් ඉල්ලීම විසිදුනු ප‍්‍රකාශකයා විසින් නොමඳ ව සපුරනු ලබන බව අප ගේ වැටහීම යි. අනේකවිධ බාධා මධ්‍යයෙහි විසි වසරක් පුරා මේ කාර්යය ඉටු කිරීමෙහි නියැළුණු, යුගයේ අවශ්‍යතාව සපුරන විසිදුනු ප‍්‍රකාශකයන් වෙත ජාතියේ ප‍්‍රණාමය මේ අවස්ථාවේ හිමි විය යුතු වෙයි. 


-යුතුකම සංවාද කවය
www.yuthukama.com


, , , , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. සුගත්11/03/2014 10:51 AM

    ඔබට ලබන වසරේ ස්වර්ණ පුස්තක සම්මානය දිනා ගැනීමට ආස නම් පොතක් ලියන්න සිංහලයන්ට ඇරලා..සිංහලයා අනුවණ තකතීරු ජාතියක්ය කියන තේමාවෙන් ලියන්න..

    ReplyDelete
  2. නලින්ද සිල්වා11/07/2014 9:59 PM

    මොහු කියන දේවල් බටහිර හිපි යුදෙව්වාදීන්ගේ චින්තනය නිසා කුනු වුනු ඔහුගේ චින්තනයම පෙන්වයි. නාත දෙවියන් මට ඊමේලයක් එවා මොහු කියන බයිලා ගනන් නොගන්නා ලෙස දන්වා ඇති නිසා බනින්නට නොයමි.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions