10/02/2014

සාහිත්‍ය සම්මාන තේරීමේ ගාලගෝට්ටිය

කතෘ:යුතුකම     10/02/2014   1 comment


අප මෙම ලිපිය ලියන්නේ "ස්‌වර්ණ පුස්‌තක" ආදී විවිධ සම්මාන උළෙල සඳහා නිර්දේශිත නවකතා සියල්ල මිලයට ගෙන කියෑවූවෙකු වශයෙන් යෑයි මුලින්ම සඳහන් කළ යුතුය. "ස්‌වර්ණ පුස්‌තක" පොත් තේරීමේ ක්‍රියාවලිය ආරම්භ වූ තැන් පටන් සම්මාන ප්‍රදානය දක්‌වා සියලු කටයුතු කෙරෙහි අවදිවත්ව සිටි අපට, එම ක්‍රියාවලියේ නිල හා නිල නොවන ආරංචි එසැණින් ලබාගැනීමට හැකි විය. එහෙත් මෙම ලිපිය "ස්‌වර්ණ පුස්‌තකය" සඳහා නිර්දේශිත නවකතා පිළිබඳව කෙරෙන ඇගයීමක්‌ නොවන්නේය.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති විජිත යාපා මහතා, "ස්‌වර්ණ පුස්‌තක" සම්මාන උළෙලේ පිළිගැනීමේ කතාවේදී පැවසූ සමහර කරුණු ගැන සිහිපත් කරමින්, මෙම ලිපිය ආරම්භ කළ යුතුය. ඔහුගේ කතාව මෙතෙක්‌ "ස්‌වර්ණ පුස්‌තක" සම්මාන උළෙලකදී සභාපතිවරයකු පැවැත්වූ කතාවකට වඩා ප්‍රබල හා තරමක තර්ජනාත්මක එකක්‌ විය. ඉංගිරිසි භාෂාව හැසිරවීමේ ව්‍යාක්‌තභාවය ඔහුගේ සිංහල කතාවට ප්‍රබලත්වයක්‌ එක්‌ කළේය. විජිත යාපා මහතා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපතිවරයා වශයෙන් දිනපතා පුවත්පතක සාහිත්‍ය අතිරේකයකට දෙන ලද සම්මුඛ සාකච්ඡාව කියෑවූ අපට සිතුණේ, ඔහුගේ නිල කාලය තුළදී "ස්‌වර්ණ පුස්‌තක" සම්මානයේ විනිශ්චය මණ්‌ඩල සංස්‌ථාපනයේ හා ක්‍රමවේදයේ කිසියම් වෙනසක්‌ සිදුවිය හැකි බවයි. එහෙත් "ස්‌වර්ණ පුස්‌තක" ක්‍රියාවලිය හා ඔහුගේ දේශනය අපගේ බලාපොරොත්තු බිඳ හෙලීය. "හානා හීය පානා අඬහැරෙන් දැනේ" යෑයි ඔහු කී පිරුළ ඔවුන් හානා හීයටම සරිලන එකක්‌ වීය. සභාපතිවරයාට පැවරී තිබුණේ ද ප්‍රශ්නකාරී දෙයක්‌ විසිතුරු වර්ණයෙන් වර්ණ ගැන්වීමයි. සෑම වසරකදීම මතුවන විවේචනවලට පිළිතුරු දෙන අය විලසින් ඔහුද, සම්මාන විවේචනය කරන්නේ සම්මාන නොලබන අය යෑයි කීම බොළඳ වාගාලාපායක ප්‍රතිරාවයකි. ගිය වසරේදී සාහිත්‍ය කෘතියක්‌ පළ නොකළ අයකු වශයෙන් මා කියා සිටින්නේ, සම්මාන නොලැබෙන අයකුට පවා අසාධාරණය, අගතිය හා කල්ලි ගැසීම විවේචනය කොට අදහස්‌ පළ කිරීමේ නිදහස ඇති බවයි. "ස්‌වර්ණ පුස්‌තකයේ" මුල් වටයේ නවකතා අතරට තේරුණු "දණ්‌ඩ භූමි" නවකතාව ලියූ ටෙනිසන් පෙරේරාට ද එම අයිතිය ඇත. ස්‌වර්ණ පුස්‌තක" සම්මානය ලබා දෙන නවකතාව ස්‌වර්ණ පුස්‌තකය වේ නම් අමාවතුර, බුත්සරණ, කව්සිළුමිණ, ජාතක පොත මොන ආකාරයේ පුස්‌තකදැයි කිසිවකු විසින් නගන ලද ප්‍රශ්නයට සභාපතිවරයා දුන් පිළිතුර වූයේ ඒවා නවකතා නොවන බවයි. පෙරළා එම තර්කයම නැගුවහොත්, "ස්‌වර්ණ පුස්‌තකය" යනු ස්‌වර්ණ පුස්‌තකයක්‌ විනා, "ස්‌වර්ණ නවකතාව" නොවන බව පැවසිය යුත්තේ, මෙතෙක්‌ "ස්‌වර්ණ පුස්‌තක" සම්මානය හිමිකරගත් නවකතා විමසා බැලීමෙනි. පුස්‌තකය යන්න බයිලා, විරිඳු හෝ කුණුහරුප කතා පොතකට වුව යෙදිය හැකිය.

"ස්‌වර්ණ පුස්‌තක" සම්මානය මෙන්ම වෙනත් සාහිත්‍ය සම්මාන උළෙලවල සමීක්‍ෂණයන් ගැන සඳහන් නොකොට සිටීම වැදගත්ය. සෑම වසරක්‌ පාසාම අප මේ සාහිත්‍ය නිලමක්‌කාරයන් ගැන කියා ඇතත් ඉන් වැඩක්‌ සිදුවී නොමැතිය. මේ බොහෝ විනිශ්චයන් පුද්ගල බද්ධ වේ. මිතුරෝ මිතුරන්ට සම්මාන ලබා දෙති. සතුරන්ගේ ග්‍රන්ථ කපා හරිති. සතුරන්ගේ මිතුරන්ටද සාධාරණය ඉටු නොකරති" නුඹ මට දුන් නිසා මම නුඹට දෙමි" පුවත්පත් විචාරකයා, ග්‍රන්ථ සමීක්‍ෂකයා සේ සිය භූමිකාව වෙනස්‌ කර ගනිමින් තමා ප්‍රශස්‌තියට නැංවූ කෘතියකට සම්මාන ලබාදීමට හවුල් වෙයි. සාහිත්‍ය ප්‍රශ්න පත්තරයකට උත්තර ලියමින් මා කැමැති නවකතාව යෑයි නම් කරන ලද නවකතාවට සම්මාන ලැබේ. රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ බොහෝ විනිශ්චයකරුවන් හැරෙන්නට අනෙකුත් සම්මාන උළෙලවල සමීක්‍ෂකයන් බහුතරය ගැන අප අහලාවත් නැත. 

වෙනත් වසරවලදී "ස්‌වර්ණ පුස්‌තක" සම්මානයේ මුල්වටය උදෙසා නවකතා දොළහක්‌ තෝරා ගත්තද, මෙවර තෝරා ගන්නා ලද්දේ නවකතා දහයකි. එමගින් සුසන්ත මහඋල්පතගේ "ආෂාඨ පුෂ්පය" හා චන්ද්‍රසිරි පල්ලියගුරුගේ "සීමා" මුල්වටයේදීම ඉවත් කෙරිණ. මේ දෙදෙනාම කලකදී "ස්‌වර්ණ පුස්‌තක" උත්තරීතර මණ්‌ඩල සාමාජිකයන් වූ බව අප සිහිතබාගත යුතුය. මෙයින් "ආෂාඨ පුෂ්පය" ගොඩගේ සම්මානය හිමිකරගත් බවද, "සීමා", රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානයේ නිර්දේශිත නවකතා හතර අතර වූ බවද කිව යුතුය. "ස්‌වර්ණ පුස්‌තක" පළමු වටයේදී "මනාප" (මෙය සාහිත්‍ය විචාරයක්‌ නොව මනාප ගණන් කිරීමකි.) දහහතක්‌ ලබා ගත් නෝබට්‌ අයගමගේ ගේ "කාල නදී ගලා බසී" දෙවැනි වටයේදී විසිවී ගොස්‌, මුල් වටයේදී අවසානයට තේරුණු "මගේ ආදරණීය යක්‍ෂණී" දෙවැනි වටයේදී නවකතා පහ අතරට ඉහළ දැමේ. "කාල නදී ගලා බසී", ගොඩගේ සම්මානය සඳහා නිර්දේශිත වූ නවකතා පහ අතර නැත. එහෙත් එය 2014 රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගනියි. අපගේ ඇගයීම අනුවද "කාල නදී ගලා බසී" 2013 දී ලියන ලද නවකතා අතුරින් හොඳ නවකතාවකි. එයට රාජ්‍ය සම්මානය ලබාදීම පැසසුම් කටයුත්තකි. කළු ගඟ ආශ්‍රය කොටගත් පාරු කාරයන්ගේ ජීවිතය ගංගාව හා බැඳී ඇති ආකාරය එය අපූර්වයට ගෙත්තම් කොට තිබේ. එහි ප්‍රධාන චරිතය වන සාදිරිස්‌ ගංගාවෙන් හා පාරුවෙන් ඉවත් කොට ගොඩබිම තැන්පත් කිරීමෙන් පසුව එය නවකතාවක්‌ වශයෙන් බිඳ වැටේ. මේ නවකතාව අපට සිහිපත් කරන්නේ, දැදුරුඔය හා පැරණි ලන්දේසි ඇළ ආශ්‍රය කොටගත් පාරුකාරයන් ගැන කියන, ඒ. එම්. කරුණාරත්නගේ "පාරුව පදිනතුරු" (2004) නම් නවකතාවයි.



විවිධ සම්මාන උත්සවවලදී විවිධ නවකතා සම්මානයට පාත්‍ර වන්නේ මන්දැයි පැහැදිලි නැත. ඊනියා හේතුපාඨය නවකතාවක ගුණාගුණ හෝ සම්මානයට පාත්‍ර වීමට සුදුසු බව පෙන්වන කෝදුවක්‌ නොවේ. එය භාණ්‌ඩයක අලෙවි කරන දැන්වීම්කරුවෙකුගේ පාඨයක්‌ වැන්න. මේ නයින් බලන කල්හි ගොඩගේ සම්මාන උළෙලේදී බෙදාහරින ලද "සමාප්ති සටහන" නම් ප්‍රකාශනය සඳහා, මහාචාර්ය කුලතිලක කුමාරසිංහ විසින් ලියා ඇති නවකතා විචාරය පැසසිය යුත්තක්‌ වේ. ඔහු නිර්දේශිත නවකතා පහ ගැන පිටු පණහක පමණ දීර්ඝ විවරණයක යෙදේ. සාහිත්‍ය සම්මාන ඔස්‌සේ සාහිත්‍ය විචාරය ද පෝෂණය විය යුතුය. එහෙත් එහි ඇති අඩුව වන්නේ, "ආෂාඨ පුෂ්පය" හොඳම නවකතාව වන්නේ ඇයි දැයි අනික්‌ නවකතා හතර සමග තුලනාත්මකව විමසා නොසිටීමය.

ගොඩගේ සම්මානයේ ශාස්‌ත්‍රී කෘති සඳහා කෘති 28 ක්‌ සමීක්‍ෂණය කොට තිබේ. එහෙත් "ප්‍රශස්‌ත මට්‌ටමේ කෘතියක්‌" සම්මාන සඳහා තිබී නැත. මෙය අප රට විශ්වවිද්‍යාල ඇතුළු බුද්ධි කේන්ද්‍රවල පවත්නා වඳ පීදුණු බව කියා පායි. එහෙත් රාජ්‍ය සාහිත්‍ය සමීක්‍ෂකයන්ගේ වර්ණ ඡායාරූප සහිත ජීවදත්ත දෙස බලන විට, ඔවුන් නොකරන්නා වූ අධ්‍යයන ක්‍ෂේත්‍රයක්‌ ඉතිරි වී නොමැති බව පෙනේ.

යළිත් අපි "ස්‌වර්ණ පුස්‌තකය" වෙතට එළැඹෙමු. "ස්‌වර්ණ පුස්‌තකයේ" රහස්‍යභාවයක්‌, විනිවිදභාවයක්‌, විශ්වසනීයත්වයක්‌ ඇතැයි කීවද එය එසේ නොවේ. පළමු වටයේදී නවකතා තෝරා ගැනීමේ ක්‍රියාවලියේදී ද, දෙවැනි වටයේ නවකතා පහ තෝරාගැනීමේ ක්‍රියාවලියේදීද, ඒ ඒ නවකතාවලට ලැබුණු මනාප හා ඒ මනාප ලබා දුන්නවුන් කවුරුදැයි එවෙලේම දුරකතන පණිවුඩ හා කෙටි පණිවුඩ මගින් කොළඹ පුරා සංසරණය විය. සමහර සමීක්‍ෂකයන් සමහර පොත් කියවා පැමිණ නොමැති බවද, තම මිතුරන්ගේ නවකතා වෙනුවෙන් පෙනී සිටිය බව ද, තවත් සමහරු සිය තීරණ වෙනස්‌ කොට එළියට පැමිණ දුරකථනයට කෙටූ බවද අනාවරණය විය.

"ස්‌වර්ණ පුස්‌තකය" තේරීම සඳහා මුල් සමීක්‍ෂකයන් විසිදෙනා අතරින් පස්‌දෙනකු තෝරා ගත්තේ කෙසේද, ඔවුන් තේරුවේ කවුරුන්ද යන්න අද දක්‌වා පිළිතුරු නොලැබුණු ප්‍රශ්නයක්‌ වේ. මෙරට කොටි ත්‍රස්‌තවාදය පරාජය කොට ඇතත්, කොටි ඩයස්‌පෝරාවේ හා රෙජිමය පෙරළීමට කැස කවන්නන්ගේ අවශ්‍යතා, සාහිත්‍ය හා කලාව මගින් ඉටු කරන එන්. ජී. ඕ. නඩයක්‌ මගින්, සාහිත්‍ය හා කලාවේ මර්මස්‌ථාන අල්ලාගෙන ඇතිබවත්, අද සාහිත්‍යය හා කලාවේ බලපවත්වන්නාවූ දෘෂ්ටිවාදය කුමක්‌දැයි අවබෝධ කර ගැනීමටත්, වසරක්‌ පාසා "ස්‌වර්ණ පුස්‌තක" සම්මානයේ "මාධ්‍ය මණ්‌ඩලයට" හා "උත්තරීතර මණ්‌ඩලයට" තේරී පත්වී එන සමීක්‍ෂකයන්ගෙන් මනාව පැහැදිලි වෙයි. ගිය වසරේදී ද එය වඩා බිහිසුණු ලෙස පිළිබිඹු කෙරිණ. ගිය වසරේදී එක්‌ විචාරකයකු මොවුන් "අපතයන්" යෑයි කීවද ඔවුහු "අපතයෝ" නොවෙති. මෙම වසරේදී එම විචාරකයාම ඒ "අපතයන්" ගේ සමාගමට එක්‌වීම තරම් සෝපහාසයක්‌ තවත් ඇද්ද?

"ස්‌වර්ණ පුස්‌තක" දෙවන වටයට නවකතා පහක්‌ තෝරාගත් අගෝස්‌තු 21 වැනිදා සිට, සම්මාන උළෙල පැවැත්වූ සැප්තැම්බර් 6 වැනිදා දක්‌වා දින 17 ක්‌ පුරා, අපට අසන්නට ලැබුණේ මහා සැලසුමක, ඊට එරෙහි ප්‍රති- සැලසුමක, සමීක්‍ෂකයන්ගේ .A. සැලසුම ක්‍රියාත්මක කළ නොහැකි වන්නේ නම්, ඔවුන්ගේ 'B' සැලසුම ක්‍රියාත්මක කිරීමට යාම පිළිබඳව යුද්දයක අවසාන මෙහෙයුම හා සමාන වන්නාවූ තොරතුරු සමුදායකි. 'A' සැලසුම, ප්‍රති - සැලසුම් හා 'B' සැලසුම මෙසේ සංක්‍ෂිප්ත කොට දැක්‌විය හැකිය. 

- "ස්‌වර්ණ පුස්‌තක" සම්මානය ලැබෙන්නේ මංජුල වෙඩි වර්ධනගේ "මගේ ආදරණීය යක්‍ෂණී" ට ය. එය මෙරටින් පලා ගොස්‌ ප්‍රංශයේ ජීවත් වන සරණාගතයකුගේ කෘතියකි. දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටි කතුවරයාට, දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටි බහුතරයකින් සමන්විත විනිශ්චය මණ්‌ඩලයේ ආශිර්වාදය හා අනුග්‍රහය ලැබේ. මේ අනුව නියත වශයෙන්ම "ස්‌වර්ණ පුස්‌තකය" ලෙස අබිසෙස්‌ නංවන්නේ "යක්‍ෂණීය" (මෙතැන් පටන් ඒ කෙටි යෙදුම යෙදේ.)

- මේ පුවත් අසා පොත් ප්‍රකාශක සංගමයේ සාමාජිකයෝ සසල වූහ. ඔවුහු රාත්‍රි පුරා විවිධ පුද්ගලයන් අමතා "යක්‍ෂණී" ගැන සොයන්නට වූහ. මේ සමහරු මගෙන්ද කරුණු විමසා සිටියහ. ඔවුන්ට අවශ්‍ය වූයේ "යක්‍ෂණී" හි ඇත්තේ කුමක්‌ද යන්න දැන ගැනීමට හා ඒ පිළිබඳව මගේ අදහස්‌ය. මේ අනුව ඔවුන් පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපතිවරයාට කරුණු ඉදිරිපත් කළ බව වාර්තා වේ. පොත් ප්‍රකාශකයන්ගේ සංගමය "යක්‍ෂණීට" සම්මානය නොදීමට යෑයි විනිශ්චය මණ්‌ඩලයට බලපෑම් කළ බව දැන් පැහැදිලිය.

- ස්‌වර්ණ පුස්‌තකයේදී "යක්‍ෂණී" ට සම්මාන දුනහොත් පිරිසක්‌ විදුලිය ඇන හිටුවා හූ කියා කලබලයක්‌ ඇති කිරීමට යන බැව් අප හා පැවසුවේ ග්‍රන්ථ සමීක්‍ෂකයකුමය. එය කොළඹ පැවැති "පොංගුතමිල්" උත්සවයේදී සිදුවූ පහරදීමට සමාන වන්නක්‌ බැව් පැවසිණ.

- මෙසේ කලබලයක්‌ ඇතිවුවහොත් තමන් ද කලබලකාරයන්ට එරෙහිව "යක්‍ෂණී" වෙනුවෙන් ප්‍රතිප්‍රහාර එල්ල කරන බව අප හා පැවසුවේ ලේඛකයෙකි.

- මෙවන් පසුබිමක්‌ යටතේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ප්‍රබල සාමාජිකයන් ඉතා සූක්‍ෂම ආකාරයෙන් අනතුරු වැළැක්‌වීමේ හා අනතුරු අවම කිරීමේ ක්‍රියාමාර්ගයක්‌ ක්‍රියාත්මක කළ බැව් සිතා ගැනීමට පුළුවන. 

- "යක්‍ෂණී" කියෑවීමට අති දුෂ්කර නවකතාවකැයි ප්‍රකාශ කොට ඇත්තේ, ග්‍රන්ථ සමීක්‍ෂක සභාපතිවරයාමය. ඒ බව පිළිගත් ප්‍රකාශකයන්ගේ මතය වූයේ, එය කියෑවීම පාඨකයාට වඩාත් දුෂ්කර වන බවත්, එබඳු කියෑවිය නොහැකි, අලෙවි නොවන නවකතාවක්‌ "ස්‌වර්ණ පුස්‌තකය" සේ සම්මානයට පාත්‍ර කළ නොහැකි බවත්ය. එය පොත් ප්‍රකාශකයන්ගේ අරමුණු හා ගැටේ. "ස්‌වර්ණ පුස්‌තකය" නිසා හොඳ නවකතා ලිවීම ආරම්භ වූයේ යෑයි කී පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපතිවරයාගේ අදහස්‌වලට එවැන්නක්‌ අනුකූල නොවේ.

- මීළඟ කාරණය වන්නේ, ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ආරාධිත අමුත්තා ලෙස විවෘත කිරීමේ උත්සවයට සහභාගි වන ජනාධිපතිතුමාට, "යක්‍ෂණී" වැනි නවකතාවක්‌ "ස්‌වර්ණ පුස්‌තකය" සේ පිළිගැන්වීමට නොහැකි බැව් පොත් ප්‍රකාශකයන්ගේ මතය වීමයි. දෙමළ බෙදුම්වාදීන්ගේ අදහස්‌ ප්‍රචලිත කෙරෙන නවකතාවක්‌ ජනාධිපතිවරයාට පිළිගැන්වීම ඔහුට කරන අවමානයක්‌ බැව් පොත් ප්‍රකාශකයෝ දැන සිටියහ. 2010 දී ප්‍රභාකරන්ට මෛත්‍රී සූත්‍රය දේශනා කළ "පොදු පුරුෂයා" නම් නවකතාවට කොටින් පරාජය කළ සේනාධිනායකයා වූ ජනාධිපතිතුමා අතින්ම සම්මාන ලබා දුන්නේ, එකල පැවැති රාජ්‍ය සාහිත්‍ය අනුමණ්‌ඩලයයි. එම වරද නැවතත් කළ නොහැකිය. 

- තම ප්‍රකාශක සංගමයේ සාමාජිකයකු නොවන ප්‍රකාශකයකු විසින් පළ කරන ලද නවකතාවකට, තම උත්තම සම්මානය පිරිනැමීම නිවැරැදි ද යන්න ද ප්‍රකාශක සංගමය සිතන්නට ඇත.

- කෙසේ නමුදු රෙජිමය පෙරළා දැමීමට කැස කවන විචාරකයන්ද බිය වූ බව පැහැදිලිය. තම සාහිත්‍ය විචාර න්‍යාය අමුඩය තමා විසින්ම ගලවා නොගෙන, කොන්ද කෙලින් තබාගෙන, සාහිත්‍ය විචාරය හා සම්මාන ප්‍රදානය නිදහස්‌ නැතැයිද, එයට බලපෑම් ඇතැයිද ලොවට හඬගා කීමට තිබූ අවස්‌ථා මොවුහු නැති කරගත්හ. ඔවුනට ඉල්ලා අස්‌වීමට ඉඩ තිබිණ. එසේ නොකරන්නේ මන්ද? එසේ වුවහොත් ලබන වසරේදී "ස්‌වර්ණ පුස්‌තක" හොද්ද හැඳි ගෑමට ඔවුනට අවස්‌ථාව නොලැබෙනු ඇත. එය ඩොලර් ගලා ඒම හිඟ සමයක ආර්ථිකයට වන හානියකි. "ස්‌වර්ණ පුස්‌තක"ය තේරීමේ මහා බලය ඇති ඉහළ ස්‌ථරයකින් බිම ඇද වැටී පුස්‌සන් බවට පත් වනු නියතය. එමගින් සාහිත්‍යයට, විචාරයට, සම්මානවලට හා ලේඛක ලේකාවන් කෙරෙහි දක්‌වන අසීමිත බලානුභාවය නොලැබී යනු ඇත.

අප "යක්‍ෂණී" ය ගැන කි හෙයින් පාඨකයාගේ ප්‍රයෝජනය සඳහා ඒ ගැන යමක්‌ කිව යුතුය. එහි ප්‍රකාශකයන් වන්නේ "සම ප්‍රකාශකයෝ" නම් අලුත් ප්‍රකාශන ආයතනයකි. එය "සනත්", "මංජුල"යන නම් දෙකක මුල් අකුරු සිහිපත් කළ ද එහි තවත් අරුත් ගැබ්ව පවතී. එය ප්‍රංශයට පළා ගිය සිංහල සරණාගතයකුගේ කෘතියකි. ලොව "පිටුවහල් සාහිත්‍යය" (Exile Literature) කියා සාහිත්‍ය වර්ගයක්‌ ඇති බව සැබෑය. එහි නිර්වචනය, ඉතිහාසය, එම ලේඛකයන් හා එම නිර්මාණවල පවත්නා සුවිශේෂී ගති ලක්‍ෂණ ගැන කීමට මෙය අවස්‌ථාව නොවේ. "මගේ ආදරණීය යක්‍ෂණී" නම් නවකතාවේද පිටුවහල් සාහිත්‍යයේ ඇති යම් යම් ගති ලක්‍ෂණ ඇතැයි පැවසිය යුතුය. ඉංගිරිසියෙන් Expatriate, Refugee, Asylum Seeker හා Exile   යන වචනවල විවිධ අරුත් පවතී. පිටුවහල් සාහිත්‍යයක හා "යක්‍ෂණී"යේ වෙනස නම් පිටුවහල් වූවන් තමා පදිංචිවී සිටින රටේ භාෂාවෙන් (මෙහිදී ප්‍රංශ) හෝ වෙනත් ජාත්‍යන්තර භාෂාවකින් ලිවීම හා "යක්‍ෂණී" මේ කොදෙව්වේ වෙසෙන සිංහලයන්ගේ පාරිභෝජනයට (ඔවුන්ගේ වචනයෙන් "ළිං මැඬියන්"සඳහා) සිංහලෙන් ලියා, සිංහල සම්මාන බලාපොරොත්තු වීම හා ඔවුන්ගේ සිංහල ඒජන්තවරුන් විසින් සිංහල සම්මාන සඳහා නිර්දේශ කරවා ගැනීමයි. කොදෙව්වන් පලා ගිය එකාට කොදෙව්වේ සම්මාන කුමකටද? 

එම නවකතාව ලේඛකයාට මවුරටින් පලාගොස්‌ සරණාගත තත්ත්වයකට පත්වීමට බලපෑ හේතු මොනවාද යන්න සාකච්ඡා කිරීමට වුව අපොහොසත් වෙයි. පිටු 412 ක්‌ වන "යක්‍ෂණී" නවකතාවේ සාරය මෙසේ පිඬුකොට දැක්‌විය හැකියි. "කුවන්නා කියන්නේ දෙමළ ගෑණියෙක්‌ට" (398 සිට) විජය මුතු මංකොල්ලකාරයෙකි. දුටුගැමුණු. සාලිය කුමාරයා අතුරුදන් කළේය. සාලිය- අසෝකමාලා පෙම් පුවතක්‌ මවා මහානාම හාමුදුරුවන් ද එම කුමන්ත්‍රණයට හවුල් වී තිබේ. ඉසුරුමුණියට, ඉසුරුමුණි පෙම් යුවළ මූර්තිය සවි කළේ අශ්වහිස හා මිනිසා නම් ශේ්‍රෂ්ඨ කලා නිර්මාණය යටපත් කිරීමටය. සැබෑ සිංහලයන් වසන්නේ වන්නියේය. දෙමළ අරගලය විමුක්‌ති අරගලයකි. එය ගුත්තිල පඬිතුමා ට ශක්‍රයා දුන්නේ යෑයි කියන ගුලි තුනද, දඹුළු ලෙන් පියස අතරින් වැටෙන වතුර බින්දුව ද, ජාතික කොඩියද උපහාසයට නංවයි.

මෙබඳු තත්ත්වයක්‌ යටතේ "ස්‌වර්ණ පුස්‌තක" සමීක්‍ෂකයන්ට සිදුවූයේ, සිය "බී" සැළසුම ක්‍රියාත්මක කිරීමයි. එනම්. එරික්‌ ඉලයප්ආරච්චිගේ "පාද යාත්‍රා", "පී. බී. ජයසේකරගේ "මරියා සිලොනිකා වස්‌තුව", නිශ්ශංක විඡේමාන්නගේ "තාර මගේ දෙව්දුව" හා ලියනගේ අමරකීර්තිගේ "කුරුළු හදවත" යන නවකතා හතරෙන් එකක්‌ තෝරා ගැනීමයි. මෙයින් "මරියා සිලොනිකා වස්‌තුව" හා "තාරා මගේ දෙව්දුව" ප්‍රකාශකයාගේ සෘජු මැදිහත්වීම කෙරෙහි සති මාස ගණනාවක්‌ පුරා බුර බුරා නැඟුණු විරෝධය සමීක්‍ෂකයෝ දැන සිටියහ. එම නිසාම එම නවකතා දෙකින් එකක්‌ අබිසෙස්‌ නැංවීම පොත් ප්‍රකාශකයන්ගේ කීර්ති නාමයට නොගැළපේ. අනිත් අතට "තාරා මගේ දෙව්දුව" නවකතාවක්‌ද, ගැටවර ප්‍රේම අන්දරයක්‌ද, චිත්‍රපට තිරනාටකයක්‌ද යන්න නිශ්චිත නැත. මෙම කතුවරයා උඩ දමන ලද්දේ කොළඹ පශ්චාත් - නූතනවාදීන් වුවද, පශ්චාත්- නූතනවාදීන්ගේ ව්‍යායාමය බින්තැන්නේ වැද්දන්ද මොඩ් කිරීම යයි අභාවිත 'X' කණ්‌ඩායම විසින් ප්‍රකාශ කොට තිබුණද, ඈත පිටිසර ගමක වෙසෙන සිවිල් බලයක්‌ නොමැති චිත්‍ර කර්ම ගුරුවරයකුට "ස්‌වර්ණ පුස්‌තකය" දියනොහැකිය. "මරියා සිලොනිකා වස්‌තුවේ" ප්‍රධාන චරිතය එන්. ජී. ඕ. මතවාදයට සරිලන චරිතයක්‌ වුවද, රෙජිමය පෙරලීමට අවශ්‍ය වන්නන්ට සුදුසු පරිදි දේශපාලනඥයකු හා දූෂිත නිලධාරි තන්ත්‍රයක්‌ චිත්‍රණය කොට තිබුණද, සිවිල්බලයක්‌ නොමැති ඈත පිටිසර ගමක ජීවත් වන ගණිත ගුරුවරයකුට සම්මානය දිය නොහැකියි. අනිත් අතට මේ නවකතා දෙකම උක්‌ත ආඛ්‍යාත පද සම්බන්ධය නිවැරැදි කරමින් යළි ලිවිය යුතුවූ නවකතා දෙකකි. එබඳු කෘතියකට සම්මාන දීම භාෂා සංහාරය "ස්‌වර්ණ පුස්‌තකයක්‌" කිරීම හා සමාන වේ. "තාරා මගේ දෙව්දුව" අපූරු ඉංගී්‍රසියක්‌ ඉංගිරිසියෙන්ම ලියයි. "පාද යාත්‍රා" කතුවරයා බොහෝ දේ ලියුවද, නිහඬව බොහෝ වැඩ කරන්නෙකු වුවද, මතවාද වපුරන්නෙක්‌ නොවේ. 

මේ වාතාවරණය අනුව ලියනගේ අමරකීර්තිගේ "කුරුළු හදවත" 2014 ස්‌වර්ණ පුස්‌තකය වෙයි. පිටරට වෙසෙමින් රෙජීමය පෙරළීමට තැත් කරන "යක්‍ෂණීයකට" වඩා මෙරට සිට රෙජිමය පෙරළීමට න්‍යාය සපයන "කුරුල්ලෙකුට" සම්මාන දීම යෝග්‍ය වේ. "යක්‍ෂණීයේ" සෘජු ලෙස ප්‍රකාශ වන දේ "කුරලු හදවතේ" ප්‍රකාශ වන්නේ වක්‍රාකාරවටය. වෙඩි උණ්‌ඩයට වඩා බිහිසුණු වන්නේ සීනි තැවරූ වෙඩි උණ්‌ඩයයි. කලා හා සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ අපට නිබඳව හමුවන්නේ සීනි තැවරූ වෙඩි උණ්‌ඩය. 

සම්මාන ප්‍රදානයෙන් පසුව බොහෝ ප්‍රකාශකයෝ සැනසුම් සුසුම් හෙලූහ. "අපි බේරුණා", "ඇඟට ලේ ඉණුවා" යෑයි ඔවුන් අප හා ප්‍රකාශ කළේ මේ හෙයිනි. එහෙත් ඔවුන්ට සීනි තැවරූ වෙඩිඋණ්‌ඩය හැදෑරීමට තවත් කල්ගත වනු ඇත. පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපතිවරයා ජනාධිපතිතුමාටද "කුරුලු හදවත" නවකතාවේ පිටපතක්‌ තෑගි කරන්නටද ඇත්තේ ඒ සොම්නස්‌ සහගත සිතිවිල්ලෙන් විය යුතුය. එහෙත් ඒ සමගම සභාපතිවරයා අමරකීර්ති සෙනෙට්‌ සභික ෆුල්බ්‍රයිට්‌ගෙන් ඉගෙන ගැනීමට කියා ජනාධිපතිවරයාට යෑවූ විවෘත ලිපියෙන් පිටපතක්‌ ද දුන්නේ නම් මැනවැයි සිතේ. 

"ස්‌වර්ණ පුස්‌තක" සම්මාන උළෙලේදී පෙන්වූ වීඩියෝ පට මගින් අවසාන වටයට තේරුණු නවකතා පහ ගැන ග්‍රන්ථ සමීක්‍ෂකයන් පස්‌දෙනකු යොදවා කතා කරවීම ඉතා බාල ක්‍රියාවකි. කිසිදා නොවූ පරිදි හේතු පාඨය අගට "පාද යාත්‍රා" හා "යක්‍ෂණී" ප්‍රශස්‌ති කෘති බවට ප්‍රකාශ කිරීම සභාපතිවරයා සිරකරුවකු වූ බවද, එන්. ජී. ඕ. විචාරයේ ප්‍රබලත්වය මෙන්ම යටපත්වීම හා අතරමග සමාදානය ද පෙන්නුම් කරයි. "යක්‍ෂණී" ප්‍රවණතාවක්‌ වෙතැයිද, "ස්‌වර්ණ පුස්‌තක" සම්මාන ලැබීමට නම් ඒ ලෙසින් ලිවිය යුතු යෑයිද කී ලේඛකයෝද වූහ. එළාර අනුරාධයකු (අනුරාධපුර වැසියකු) කොට නිජබිම් වැසියකු කරමින්, දුටුගැමුණු මාගමෙකු (ආක්‍රමණිකයකු) කරමින් නවකතා ලියෑවෙන්නේ මේ හෙයිනි.

-සේන තෝරදෙනිය
යුතුකම සංවාද කවය
www.yuthukama.com

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. සුගත්10/02/2014 4:48 PM

    බලන් ගියාම මේක මාර ජාවාරමක්නෙ..අනේ අර අහිංසක මිනිස්සුත් සල්ලි දීලා මේ පොත් අරන් කියවනවනේ..අයියෝ සල්ලි!

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions