10/26/2014

බාලගිරි දෝෂය වැළදුන තී‍්‍ර රෝද රථ නියාමනය

කතෘ:යුතුකම     10/26/2014   2 comments

පුර්විකාව  

ත්‍රීරෝද රථය වූ කලී සාමාන්‍ය මිනිසුන් වන අප කවුරුත් දෛනික ජීවිතයේ විවිධ අවශ්‍යතා සපුරා ගැනීම  සදහා ප්‍රයෝජනයට ගන්නා ප්‍රවාහන මාධ්‍යකි. කොයියම්ම  මොහොතක  හෝ ත්‍රී රෝද රථයක  පිහිට ලබා ගැනීමට අපට සිදු වේ. එහෙත් කර්මාන්තයක් වශයෙන් දියුණු  කළ  හැකි මෙය අද කිසිම නියාමනයකට යටත් නැති රස්තියාදුකාර ස්වරුපයෙන් පවතී. මහජනතාවගේ හිත සුව පිණිස මෙම කර්මාන්තය ඵලදායී ලෙස යොදා ගැනීම රජයේ හෝ වගකිව යුතු නිලධාරීන්ගේ වගකීමක්  වුවත් තවමත් ඔවුන්ගේ ඇස් කන් ඇරී  නැත. මේ පිලිබඳ අවධානය යොමු කරවමින් පහත පළවන ලිපිය මම මීට කලකට පෙර (2014.අප්‍රේල් 03) දිවයින පුවත්පතට ලියූවකි. එහෙත් එය බීරි අලින්ට  වීණා වාදනය කිරීමක්  වැන්නකි. "යුතුකම සංවාද කවය" ඔස්සේ එය  නැවත පළ  කරන්නේ පුරවැසියන් ලෙස අපට මෙහි ඇති වැදගත්කම පිලිබඳ සමාජ දැනුවත් බාවය ඇති කරනු පිණිසය.මෙය අප කාටත් බලපාන පොදු ප්‍රශ්නයකි.

බාලගිරි දෝෂය වැළදුන තී‍්‍ර රෝද රථ නියාමනය

ශ‍්‍රී ලංකාවේ වෘත්තීය ත‍්‍රිරෝද රථ මගී ප‍්‍රවාහන සේවය නව මගකට යොමු කිරීමේ අරමුණෙන් බස්නාහිර පළාත මූලික කොටගෙන පොදු මාර්ගෝපදේශ යෝජනාවලියක් සකස් කැරුණද තවමත් එයට බාලගිරි දෝෂය වැළදී තිබේ. පසුගිය වසරේ මැයි මාසයේ දී සමස්ථ ලංකා ත‍්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය, සමස්ථ ලංකා මීටර් ටැක්සි සංගමය, ස්වයං රැුකියා නියුක්තිකයන්ගේ සම්මේලනය ප‍්‍රමුඛ ත‍්‍රිරෝද රථ සම්බන්ධ අනිකුත් සියලූ සංගම්ද එක්වී සාමුහික එකඟතාවයෙන් යුතුව සැලසුම් සකස් කෙරුණද ඒවා මුද්‍රණ කඩදාසිවලට පමණක් සීමාකිරිමට වගබලා ගැනුනේ එතුළින් මගීන්ගෙන් අසාධාරණ ලෙස මුදල් ගසා කෑමට නොහැකි බව ඇතැම් ඊනියා සංගම්කරුවන්ට පසුව මතක් වූ හෙයිනි.

ඇත්ත වශයෙන්ම ත‍්‍රිරෝද රථ මගී ප‍්‍රවාහන සේවාව විධිමත් කිරීමට පැවති රජයන්ට කොතෙකුත් වුවමනාව තිබුණද මගීන්ගේ දත ගැලවීමට වෙරදරන ඊනියා සංගම්කරුවන්ගේ විරෝධය හමුවේ ඒ සෑම පියවරක්ම හකුලා ගැනීමට විෂයභාර ඇමතිවරුන්ට පවා සිදුවී තිබේ. උදාහරණ ලෙස 2003 පෙබරවාරි 20 දින  අංක 1276/15 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රය මගින් එවකට බස්නාහිර පළාත් සභාවේ ප‍්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ත‍්‍රිරෝද රථ මගින් කෙරෙන මගී ප‍්‍රවාහනය විධිමත් කිරිම හා ප‍්‍රවර්ධනය කිරිම සඳහා වැදගත් කොන්දේසි ගණනාවක්ම ඉදිරිපත් කළත් ඇතැම් ඊනියා සංගම්කරුවන් මෙන්ම සූරාකෑම තම ජීවන වෘත්තීය කරගත් ත‍්‍රිරෝද රථ  රියදුරෝද ඒවා ගණනකට නොගත්හ.

ඉන්පසු නැවතත් 2008 නොවැම්බර් 21 දින අංක 1576/30 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රයක් මගින් එවකට පළාත් සභා ප‍්‍රවාහන අමාත්‍ය රෙජිනෝල්ඞ් කුරේ මහතාද ත‍්‍රිරෝද රථ මගී ප‍්‍රවාහනය සම්බන්ධ නිතීරිතී මාලාවක් හදුන්වා දී ඒවා ඉදිරියට බස්නාහිර පළාත තුළ ක‍්‍රියාත්මක වන බව නිවේදනය කර තිබුණද ඉන්ද යහපත් ප‍්‍රතිඵලයක් ඇති නොවුණී. ඊට හේතුව වූයේ එම නිතීරිතී ක‍්‍රියාත්මක කිරීමට මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය යටතට බලය පවරන බව එම ගැසට් නිවේදනයේම සදහන් කොට තිබුණද ඊට පෙර මැතිවරණය සදහා පළාත් සභාව විසුරුවා හැරිමයි. මගී ප‍්‍රවාහන සේවයේ ගුණාත්මක වෙනසක් ඇති කිරිම සඳහා ත‍්‍රිරෝද රථ ක‍්‍රියාකාරිත්වය පිළිබඳ සොයා බැලීමට අධිකාරියක් පිහිටුවීමට ගත් එකී උත්සහය ද මැතිවරණයත් සමගින් යටපත් විණි.
ඉන්පසු අවස්ථා දෙකකදී නැවතත් ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා සහ බස්නාහිර පළාත් ප‍්‍රවාහන අමාත්‍ය උපාලි කොඩිකාර මහතා ත‍්‍රිරෝද රථ මගී ප‍්‍රවාහන සේවය මහජනයාට හිතකර අයුරින් පවත්වා ගැනීමට ගැසට් නිවේද මගින් කොන්දේසි ප‍්‍රසිද්ධියට පත් කළ ද මගීන්ගේ රුධිරයම ඉල්ලන ඇතැම් ඊනියා සංගම්කරුවන්ගේ විරෝධතාවය නිසා එම ගැසට් නිවේදනය මගින්ද ඵලක් නොවීය. ඒ  හේතුවෙන් ඵලදායී ලෙස සේවයට යොදා ගතහැකිව තිබු මෙම ත‍්‍රිරෝද රථ කර්මාන්තය අවස්ථා ගණනාවකදීම පොදු අරමුණෙන් බැහැරව අයාලේ යන තත්ත්වයට පත්විය. මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වීමට ඉඩ නොදී මහජන යහපත පිණිස හසුරුවාලීමට පියවර ගැනීම බලධාරින් විසින් තවදුරටත් පමා නොකළ යුතු ය.

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන වලට අනුව දැනට දීපව්‍යාප්තව ලංකාවට ආනයනය කර තිබෙන ත‍්‍රිරෝද රථ සංඛාව ලක්‍ෂ 08ක් දක්වා වර්ධනය වී තිබේ. ඉන් ලක්‍ෂ 02ක් පමණ පවුලේ පුද්ගලික පරිහරණය සදහා භාවිතා කරන අතර ලක්‍ෂ 06කට නොඅඩු ත‍්‍රිරෝද රථ සංඛාවක් සෘජුවම ස්වයං රැකියාවක් ලෙස මගී ප‍්‍රවාහනයේ යෙදෙති. එක් ත‍්‍රිරෝද රථයකින් යැපෙන පවුලේ සාමාජිකයන් ගණන 05ක් ලෙස සැලකුවහොත් ලක්‍ෂ 30ක පමණ ජනතාවක් රජයට බරක් නොවී නඩත්තු වන්නේ මෙම කර්මාන්තය තුළිනි. ඊට අමතරව ත‍්‍රිරෝද රථ කාර්මිකයන්, අමතර කොටස් අලෙවිසැල්කරුවන්, ආනයනකරුවන්, ත‍්‍රිරෝද රථ අලංකරණ ශිල්පීන් යනාදී හා ඒ වටා බැඳුනු වෙනත් වෘත්තීකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද  බැලූවිට තවත් අමතර ලක්‍ෂ 05ක් පමණ සිටිති.
අනෙක් අතට රටේ සමස්ත ජනගහණයෙන් 90‍% ජනයා කුලී ප‍්‍රවාහනය සඳහා යොදාගන්නේ ත‍්‍රිරෝද රථයයි. පාසැල් ළමුන් ප‍්‍රවාහනයට, රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන්හි කාර්යාලීය ප‍්‍රයෝජනයට සහ විවිධ ආයතන සේවකයන්, සුළු ව්‍යාපාරිකයන්ද, පොදු මගීන්ට අමතරව මොවුන්ගෙන් නිත්‍ය සේවය ලබාගනී. මේ අනුව මෙම කර්මාන්තය වටා විශාල ප‍්‍රජාවක් සෘජු හා වක‍්‍ර ප‍්‍රතිලාභ ලබන බව පැහැදිලිය. එබැවින් ත‍්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය ගරුත්වය හා  මගීන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කර දෙන විධිමත් වැඩපිළිවෙලක් ඇති කරදීම රජයේ ද වගකීමකී. එය මහින්ද චින්තන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේද (පිටු අංක 57) මහින්ද චින්තන ඉදිරි දැක්මෙහිද ( පිටු අංක 48) පැහැදිලිව සඳහන් කොට තිබේ. 2010 වසර  තුළ විශේෂ වැඩපිළිවෙලක්  ක‍්‍රියාත්මක කරන බව එහි සදහන් කර ඇතත් තවමත් එය කඩවුණු පොරොන්දුවක් පමණී.

දැනට ගාස්තු මීටරය අනිවාර්ය නොකිරිම හේතුවෙන් මීටරය සවිකොට නැති ත‍්‍රිරෝද රථ රියදුරෝ හිතුමතේ විවිධ ගාස්තු අයකරමින් මගීන්ගෙන් මුදල් ගසාකති. 2013 ජූලි 31 අංක 1821/31 දරන ගැසට් නිවේදනයෙන්ද එම වසරේම ඔක්තොම්බර් 30 අංක 1834/27 දරන ගැසට් නිවේදනයෙන්ද මගී ප‍්‍රවාහනයේ යෙදෙන ත‍්‍රිරෝද රථ  සඳහා මීටරයක් සවි කිරිම අනිවාර්ය කැරුනේ හිතුවක්කාරි ගාස්තු අය කිරිම් වලක්වාගනු පිණිසය. එය එක අතකට මගියාගේ කන්නලව් කිරිම් වලින් තොරව රියදුරාගේ වෘත්තීය ගරුත්වය ආරක්‍ෂා වන්නකී. එහෙත් ඇතැම් රියදුරෝ මීටර් ටැක්සි ලේබලය යටතේ මගීන් නංවාගෙන මීටරය ක‍්‍රියාත්මක නොවන බව පවසන්නේ මඳක් දුර ගියවිටය. එවිට මගියාට සිදුවන්නේ ඔහු ඉල්ලා සිටින ගාස්තුව දී බැස යෑම හෝ ඔහුගෙන් ගුටි කෑමටය. මෙම අවිධිමත් භාවය හේතුවෙන් ඇතැම් විට මගීන් ත‍්‍රිරෝද රථයෙන් බැස යන අවස්ථා ද එමටය.

ඊළගට මීටරය සවිකොට ඇති ත‍්‍රිරෝද රථ වුවද එක් කිලෝමීරයක් සඳහා දැනට විවිධ ගාස්තු අයකරති. සෑම ත‍්‍රිරෝද රථයක්ම පළමු කිලෝමීටරයට පොදුවේ රු.50.00ක් අයකරන අතර එතැන් සිට වැඩිවන සෑම කිලෝමීටරයක් සඳහාම රු.32, රු.35, රු.40 හා රු.45 ආදී වශයෙන් රියදුරාගේ කැමැත්ත පරිදි විවිධ වේ. එම ගාස්තුව කුමක් වුවත් එය මගියාට පැහැදිලිව පෙනෙන ලෙස ත‍්‍රිරෝද රථයේ ඉදිරිපස ප‍්‍රදර්ශනය කරන වැඩපිළිවෙලක් ඇති කරන්නේ නම් එවිට තමන්  ගමන් කරන්නේ කුමන ගාස්තුවක් අයකරන ත‍්‍රිරෝද රථයකදැයි තෝරා බේරාගැනීම මගියා සතු කාර්යයකි. වෙළද හා පාරිභෝගික අමාත්‍යංශය වෙළද දැන්වීමක් පළ කිරිමේදී පවා  මිල ප‍්‍රදර්ශනය අනිවාර්ය කරනු ලැබුවේ වෙළෙන්දන්ගේ අසාධාරණ සූරාකෑමට ලක්වන පාරිභෝගිකයා ආරක්‍ෂා කරගනු පිණිසය. නමුත් එම පාරිභෝගිකයාම ත‍්‍රිරෝද රථයක ගමන් කිරිමේදී ගසා කෑමට ලක්වේ.

 ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා අංක 1821/31 දරන ගැසට් නිවේදනයෙන්ද බස්නාහිර පළාත් ප‍්‍රවාහන අමාත්‍ය උපාලි කොඩිකාර මහතා අංක 1834/27 දරන ගැසට් නිවේදනයෙන්ද මගී ප‍්‍රවාහනයේ යෙදෙන ත‍්‍රිරෝද රථවල මගීන්ට පෙනෙන ලෙස මිල ප‍්‍රදර්ශනය කරන ලෙස පසුගිය වසරේ නියෝග කළ ද ත‍්‍රිරෝද රථ රියදුරෝ තවමත් එයට අවනත වී නැත. ප‍්‍රවාහන අමාත්‍යවරයා ගත් එම තීන්දුව එකල මහජනයාගේ ඉහමත් ප‍්‍රසාදයට හේතු වුවත් මෙකල ඇත්තේ බලාපොරොත්තු කඩවී ගිය හැගීමක් බව කිවයුතුය.

එම ගැසට් නිවේදනය මගින් තවදුරටත් අනාවරණය කර තිබුනේ මගියාගේ ආරක්‍ෂාව සහතික කිරිම සදහා රියදුරා පිළිබද තොරතුරුද රියදුරු අසුන පිටුපස ප‍්‍රදර්ශනය කළ යුතු බවයි. එනම් ලියාපදිංචි අංකය, රියදුරාගේ නම සහ රියදුරු බලපත‍්‍ර අංකය, 65"x  50" ප‍්‍රමාණයේ රියදුරාගේ ඡායාරූපයක්, අධිකාරියේ හෝ සංගමයේ ලියාපදිංචි අංකය, හදිසි අවස්ථාවකදී දැනුම්දීම සදහා දුරකථන අංකය ඊට ඇතුළත්ය. පෞද්ගලික බස්රථ තුළ මෙය දැනටත් දැකිය හැකි අතර ත‍්‍රිරෝද රථ රියදුරකුගෙන් මගියකුට බලවත් අසාධරණයක් පිඩාවක් සිදුවුවහොත් එය දැනුම්දීම සදහා වගකිවයුත්තෙක් හෝ ආයතනයක් නොමැත. ජාතික මට්ටමින් පොදු මගී ප‍්‍රවාහන සේවාවක් ලෙස බස් රථවලට මෙන් අමාත්‍යවරයෙක් සහ අමාත්‍යංශයක්, මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියක් නොව බලය පවරන ලද පළාත් පාලන අධිකාරියක හෝ ත‍්‍රිරෝද රථ සදහා කාර්යංශයක් තිබිය යුතුය. මන්ද ලක්‍ෂ 06ක් පමණ විශාල ත‍්‍රිරෝද රථ සංඛාවක් කර්මාන්තයක් වශයෙන් ඉතාම අවිධිමත් ලෙස වර්ධනයවී වර්තමානයේ මගී ප‍්‍රවාහනයේ යෙදෙන බැවිනි.

ඇත්ත වශයෙන්ම ත‍්‍රිරෝද රථ සදහා එබදු ආයතනයක් නොමැති වීම හේතුවෙන් ත‍්‍රිරෝද රථ රියදුරන්ද, මගීන්ද, පුද්ගලික රථ හිමිකරුවන්ද ගැටළු රාශියකට මුහුණ දෙති. දැනට මගී ප‍්‍රවාහනයේ යෙදෙන ත‍්‍රිරෝද රථ හා පුද්ගලික ත‍්‍රිරෝද රථය වෙන්කොට හදුනා ගැනීමටද විධිමත් ක‍්‍රමවේදයක් නොමැත.
එ් හේතුවෙන් මේ දෙපාර්ශවය අතරද විවිධ ගැටළු  උත්සන්න වන තත්ත්වයක් පවතී. එක් නිශ්චිත වර්ණයකින් හෝ ලේබලයක් අලවා හෝ පුද්ගලික රථය සහ මගී ප‍්‍රවාහනයේ යෙදෙන කුලී රථය හදුනාගත හැකි ක‍්‍රමයක් ඇති කරන්නේ නම් එවැනි ගැටුම් අවම කරගත හැකිය. එමෙන්ම එය පොලිස් රාජකාරි වලටද කිසියම් පහසුවක් වනු ඇත. දැනට මේ දෙපාර්ශවයම ඒ හේතුවෙන් යම් යම් අපහසුතාවයන්ට පත්වෙනු දැකිය හැකිය. මගී ප‍්‍රවාහන සේවයේ යෙදෙන කුලී ත‍්‍රිරෝද රථ වෙන්කොට හදුනා ගතහැකි නම් ඉන්ධන මිල ඉහළ ගිය අවස්ථාවක කුලී  රථ සඳහා  රජයට සහන සැලසීමට වුවද තෝරා බේරා ගැනීම දුෂ්කර නොවේ. රථගාල් ප‍්‍රශ්නයද මෙම කර්මාන්තය වටා පවතින උග‍්‍ර ගැටලුවක් බැවින්  එම ගැටළු  විසදීමටද එය පහසුවක් වෙනු ඇත.

මාර්ග නිතී කඩ කිරිම්, රිය අනතුරු බහුලවීම ආදිය කෙරෙහිද මෙම අවිධිමත් ත‍්‍රිරෝද රථ කර්මාන්තය බලපා තිබේ. මෙරට සංචාරක ව්‍යාපාරය කෙරෙහිද විශාල අපකීර්තියක් ඇති කිරීමට මේ අවිනීත රියදුරන්ගේ ක්‍රියා කලාපය හේතු වී තිබේ . එබැවින් බලය පවරන ලද ආයතනයක් මගින් ගුණාත්මකව විනයගරුක මගී ප‍්‍රවාහන සේවයක් ඇතිකරගැනීමට විධිමත් පියවරක් ගැනීමට රජයේ අවධානය යොමු කිරිම පමා නොකළ යුතු වැදගත් වැඩකි.  දැනටමත් දකුණු පළාත් සභාව සහ නැගෙනහිර පළාත් සභාව ඊට මුලපුරා තිබිම අගය කල යුතුය. නමුත් බස්නාහිර පළාත වැනි නාගරික තදාසන්න ප‍්‍රදේශ තුළ එම අවශ්‍යතාවය තදින්ම පවතී. එහෙත්  ඕනෑම හොද වැඩක් පටන්ගැන්මේදී සුළුතරයක් ඊට විරුද්ධව කරනම් ගසන සිරිතක් මේ රටේ පවතී. මහජනයා සූරාකෑම පරමාර්ථ කරගත් එබදු ඊනියා සංගම්කරුවන්ගේ විරෝධතා මහජන සුභසිද්ධිය පිණිස පියවර ගැනීමේදී බලධාරින් අභියෝගයක් කරගත යුතු නැත. බහුතර මහජන විරෝධයද නොසළකා රටට අහිතකර කැසිනෝ වැනි අණ පනත් ගෙන ආ රජය, ජාත්‍යන්තර විරෝධය පවා නොසලකා රටේ අග විනිසුරු වැනි බලවත් තනතුරක් පවා වෙනස් කළ රජය, ත‍්‍රීරෝද රථ මගී ප‍්‍රවාහනය ගුණාත්මක කිරීමට ඉදිරිපත් කළ රජයේම ගැසට් නිවේදන උල්ලංඝනය කරන විට එබදු පුද්ගලයන් කෙරෙහි පියවරක් නොගන්නේ මන්ද ? එය  අප තේරුම් ගත යුත්තේ කෙසේද.? බලධාරීන්ට එ් සඳහා කිසිදු අවශ්‍යතාවයක් නැති බවද?
2014 ජනවාරි 16 කොළඹ නිපොන් හෝටලයේ පැවති මාධ්‍ය සාකච්වකදී සමස්ථ ලංකා ත‍්‍රිරෝ රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසුවේ ත‍්‍රිරෝද රථ කර්මාන්තය සඳහා විධිමත් නියාමනයක් සිදුවන්නේ නම් තම සංගමයේ පුර්ණ සහය ඊට ලබාදෙන බවයි. බලධාරින් කළ යුත්තේ එම සංගමය හෝ මුල්කොටගෙන ගුණාත්මක මගී ප‍්‍රවාහන සේවාවක් ඇතිකිරිමට මූලික පිඹුරුපත් සකස් කිරිමයි. ඊට එකඟතාවය දක්වන අයට පමණක් රජයේ සියලූ වරප‍්‍රසාද ලබාදීමයි. එවිට විරුද්ධ පාර්ශව පවා කල්යත්ම ඊට අනුගත වනු ඇත. එතෙක් මගීන්ට කළයුතුව ඇත්තේ ගාස්තු මීටරය ක‍්‍රියාත්මක වන නොවන බව සහ කිලෝමීටරයකට ගාස්තුව කොපමනද යන්නත් රියදුරුගෙන් විමසා ඊට ගොඩවීමය.
-රත්තනදෙණියේ මේධානන්ද හිමි
ශ‍්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය

යුතුකම සංවාද කවය 
 www.yuthukama.com


, , , , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. ඉතාමත් වැදගත් හැමදෙනාටම එදිනෙදා මූහුණ දෙන්න වෙන ප්‍රශ්නයක් ගැන කතා කිරීම ස්තූතියි හාමුදුරුවනේ

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions