1/22/2015

ගැමුණු රජු විශ්වයටම කළ සම්ප්‍රදානය මා සොයා ගත්තා - ප්‍රවීන සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි

කතෘ:යුතුකම     1/22/2015   1 comment
ජයන්ත චන්ද්‍රසිරි මෙරට සිනමා වංශකතාව තුළ තම අනන්‍යතාව සනිටුහන් කළ සුවිශේෂී නිර්මාණකරුවෙකි. ටෙලිනාට්‍යකරණයේදී සුවිශේෂී අනන්‍යතා සලකුණු තැබූ ඔහු ප්‍රවීණ මාධ්‍යවේදියෙකි. ඔහුගේ නවතම සිනමා ආඛ්‍යානය 'මහරජ ගැමුණු' හෙට දින (23 දා) සිට ඊ.ඒ.පී. මණ්‌ඩලයේ සිනමා ශාලාවන තිරගත වීමට නියමිතය. 'මහරජ ගැමුණු' සිනමා නිර්මාණය පිළිබඳ ජයන්ත චන්ද්‍රසිරි සමග 'වටමඬල' කළ සංවාදය පහතින් පළ වේ. 

මහරජ ගැමුණු ආරම්භය සිනමා නිර්මාණයක්‌ වශයෙන් වුවත් පළමුව ජනතාව වැළඳගත්තේ එහි නවකතාවයි. මෙහි පසුබිම කුමක්‌ද?

මහරජ ගැමුණු පිළිබඳ මගේ මුල්ම සිතිවිලි අවදිවන්නේත්, සංවිධානය වන්නේත් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක්‌ වෙනුවෙන් බව ඇත්ත. ඒ සමහරවිට මට සාහිත්‍යයට වඩා හුරු ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය වීම නිසා විය හැකියි. දීර්ඝ කාලීන ගවේෂණයකට පසු මා ලියන්නේ චිත්‍රපට තිර රචනයක්‌. චිත්‍රපට තිර රචනයක්‌ කියන්නේ චිත්‍රපට නමැති කලා මාධ්‍යයේ සර්ව බලධාරියා වන අධ්‍යක්‍ෂවරයා ප්‍රධාන එක්‌තරා මෙහෙයුම් මුළුවක්‌ වෙනුවෙන් ලියෑවෙන කිසියම් විධිමත් ලියෑවිල්ලක්‌. සාහිත්‍ය කලාව ඇසුරු නොකළ ලේඛකයකුට මේ ලියෑවිල්ල හරියට ලියාගන්න පුළුවන් වේයෑයි මා සිතන්නේ ද නැහැ. එහෙත්, සාහිත්‍ය කලාව කෙතරම් ඇසුරුකළ ලේඛකයකුට වුවත් තිර රචනයකින් විශිෂ්ට සාහිත්‍ය කෘතියක්‌ බිහිකරන්න හැකි යෑයි මා සිතන්නේ නැහැ. එසේ වුවත් තිර රචනා සිද්ධාන්තත්, සිනමා රූපකවල පවත්නා ශක්‌තියත් සාහිත්‍ය නිර්මාණ සඳහා යොදාගන්නා අවස්‌ථා අද දැකිය හැකියි. මහරජ ගැමුණු චිත්‍රපටගත කිරීම තවදුරටත් යථාර්ථයක්‌ නොවන තත්ත්වයක්‌ යටතේ මහරජ ගැමුණු තිර රචනය ඇසුරින් නවකතාවක්‌ රචනා කිරීමට මා එළඹෙනවා. ඉතාම සීඝ්‍රයෙන් අලෙවි වූ නවකතාවක්‌ විදිහට ඔබ කියන්නාසේම ජනතාව එය වැළඳගන්නවා. අවසානයේදී කථිකාචාර්ය ගුණපාල රත්නසේකර වැනි විශිෂ්ට සිනමා අර්ථපතියකුත් මට සොයා දෙන්නේ මහරජ ගැමුණු නවකතාව විසින්මයි.

ලේඛන කලාව හා දෘශ්‍ය කලාව වෙනස්‌වන ඉම කුමක්‌ද?

ලේඛන කලාව සීමා රහිත විශ්වයක්‌ නම්, දෘෂ්‍ය කලාව සීමාසහිත විශ්වයක්‌. නූතන චිත්‍ර කලාව
බිහිවන්නේ මේ සීමාසහිත විශ්වයෙන් එහාට පලායැමේ උත්සාහයක ප්‍රතිඵලයක්‌ වශයෙන්. ශ්‍රව්‍ය දෘශ්‍ය කලාවට අයත් සිනමාව බිහිවන්නේ මා කලින් කී සීමාරහිත විශ්වයෙනුත් පලායැමේ උත්සාහයක ප්‍රතිඵලයක්‌ වශයෙන්. ඒ නිසා ඇත්තටම බැලුවොත් එක කලාවකින් තවත් කලාවක්‌ වෙන්කරන නිශ්චිත ඉමක්‌ - කොණක්‌ ඇතැයි මා සිතන්නේ නැහැ. ඔව්, මා කියන්නේ පෑනෙන් ලියන සිනමාවක්‌ වගේම කැමරාවෙන් ලියන නවකතාද බිහිවිය හැකි බවයි.

ගැමුණු චරිතය සිංහල ජනවිඥනය තුළ බුහුමනට ලක්‌වන්නේ සිංහල රාජවංශයේ බිහිවුණු වීරචරිතය ලෙසිනුයි. එවැනි චරිතයක්‌ සිනමා සිත්තමකට, නවකතාවකට ගෙන ඒම ඉතා සියුම් ලෙස කළ යුතු දෙයක්‌. එහිදී ගැමුණු චරිතය පිළිබඳව ඔබ කළ විශේෂ ගවේෂණය කුමක්‌ද?


අප තවමත් ගැමුණු රජු අපගේ අවිඥනය තුළ නොමැකුණු රූපයක්‌ සේ පවත්වාගෙන එන්නේ මන්දැයි කුකුසක්‌ හැම විටම මා තුළ තිබුණා. ක්‍රිස්‌තු පූර්ව එක්‌තරා දවසක මුළුමනින්ම වැඩ නිමා නොකළ මහාථූපය දෙස බලමින් අවසන් හුස්‌ම හෙළු මේ මනුෂ්‍යයා තවමත් මේ තරම්ම අප තුළ ජීවමාන වන්නේ මන්ද යන්න පිළිබඳව ගැඹුරින් සොයා බලන්නට මා පෙළඹ වූ තවත් විශේෂ හේතුවක්‌ද තිබුණා. ඒ නම් මේ චරිතය පිළිබඳව අපගේ පැරණි සම්භාව්‍ය සාහිත්‍යයේ පමණක්‌ නොව ජනශ්‍රැතික තොරතුරුවල පවා පවත්නා පරස්‌පරතාවන්.

මෙහිදී මා ඇසුරු කළ මහාවංශය වංසත්ථප්පකාසිනිය, රසවාහිනිය, සද්ධර්මාලංකාරය, ධාතුවංශය, සිහලවත්ථුප්පකරණය, රාජාවලිය වැනි ඉපැරණි සාහිත්‍ය මූලාශ්‍රවල පමණක්‌ නොව මෑත යුගයේ බොහෝ විද්වතුන් විසින් පිහිටි රට සහ ගැමුණු රජතුමා පිළිබඳව රචනා කරන ලද ග්‍රන්ථ සහ ලිපි ලේඛන තුළින් පැහැදිලිව පිළිඹිබුවන පරස්‌පරතා රාශියක්‌ මා දුටුවා. මේ සියල්ලම ගැඹුරින් නිරීක්‍ෂණය කළ පසු මට හෙළිදරව්වූ ඉතාම වැදගත් දෙය නම් මේ පරස්‌පරතා හුදු අහඹු හෝ අහඹු විකෘති කිරීම් හෝ නොවන බවයි. ඒවා චිරාත් කාලයක්‌ මුළුල්ලේ මේ චරිතයේ විශිෂ්ටතාව අවප්‍රමාණ කිරීමට එකතු කරන ලද වැරදි සැරසිලි බව මට ප්‍රත්‍යක්‍ෂ වුණා. පුදුමයට කරුණ නම් මේ සැරසිලිs ශතවර්ෂ ගණනාවක්‌ මුළුල්ලේම කිසිවකුගේ ප්‍රශ්න කිරීමකට ලක්‌නොවී නිරුපද්‍රිතව පැවතීමයි. මෙය එක්‌තරා ආකාරයක සැකනොකරන ලද අගතිගාමීත්වයක (Unsuspected bias) ප්‍රතිඵලයක්‌ බවයි මට වැටහුණේ. ඓතිහාසික සාධක උපයෝගී කරගෙනම ඒවා බිඳදැමූ විට මේ චරිතයේ එන බැබලීම මහා පුදුමාකාරයි. මා සිතන්නේ මා ගැමුණු රජතුමා ඉතා නිවැරදිව සොයාගත් බව පමණක්‌ නොවේ. එතුමා මේ විශ්වයටම කළ සම්ප්‍රදානයද සොයාගත් බවයි.

ඒ සම්ප්‍රදානය තමයි මේ විශ්වයේ තිබෙන විශ්ව ධර්මතා තුළ තමාට ලැබිය හැකි උතුම්ම මානව විමුක්‌තිය ද සෙසු මිනිසුන් ගේ මානව විමුක්‌තිය උදෙසා පරිත්‍යාග කිරීම, අනුන්ගේ නිවන උදෙසා තමන්ගේ නිවන පමාකර ගැනීම. සාමාන්‍යයෙන් මෙවැන්නක්‌ කරනු ලබන්නේ බෝසත්වරයෙක්‌ පමණයි. 

නමුත් ඔබ සිනමාකරුවෙක්‌. කලාව ඉතිහාසයට වඩා දාර්ශනිකයි. ප්‍රේක්‍ෂකයන් මෙය කෙසේ පිළිගනීද?

සාමාන්‍යයෙන් ඉතිහාසඥයා අමතන්නේ තොරතුරුවලට, එහෙත් කලාකරුවා අමතන්නේ තොරතුරුවලට පමණක්‌ නොවේ. ඒ තොරතුරු නිපදවූ ආත්මවලටත් ඔහු අමතනවා. ඔහු ඒවා සමඟ සංවාදයේ යෙදෙනවා. ඉතාම සත්‍යය නම් මිනිසාගේ භෞතික ඉතිහාසයේ මොන මොන වෙනස්‌කම් සිදුව තිබුණත් ඔහුගේ භාවමය ඉතිහාසයේ කිසිදු වෙනසක්‌ තවමත් සිදුව නොතිබීමයි. ඒ නිසා හෙට දිනයේ පටන් ශ්‍රී ලාංකික සිනමා ප්‍රේක්‍ෂකයා මෙය වැළඳගන්නා බව මට හොඳටම විශ්වාසයි.
ගැමුණු චරිතය බුහුමනට ලක්‌වූ චරිතයක්‌ වූවත් මෑත කාලීන ඇතැම් නවකතා තුළ එය ඉතා විනාශකාරී චරිතයක්‌ ලෙසින් හුවාදැක්‌වීමට උත්සාහ ගත් අවස්‌ථා තිබුණා. විශේෂයෙන්ම ගැමුණුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ එළාර උත්කර්ෂයට නැංවීමේ උත්සාහයන් එම නිර්මාණයන්හි ගැබ්ව තිබුණා. නමුත් පෙර පැවැසුවා සේ ඔබ ඉතිහාසකරුවාටත් හසුනොවුණු ගැමුණු චරිතයේ ඉසියුම් තැන් ස්‌පර්ශ කරමින් ඔහු මෙරට බිහිවූ ශ්‍රේෂ්ඨතම පාලකයා වශයෙන් ඔසොවා තැබීමට උත්සාහ කරනවා...

කෙනෙකුට තමන් කැමැති ඕනෑම දෘෂ්ටි කෝණයකින් තමන්ගේ පරිකල්පනය ගොඩනැඟීමේ නිදහස අපේ ඓතිහාසික සම්ප්‍රදාය තුළ තිබෙනවා. එය පුදුම නිදහස්‌ සම්ප්‍රදායක්‌. හැබැයි මේ නිදහස්‌ සම්ප්‍රදායේ ආලෝකයෙන් ඉතිහාසය කියෑවීමේදී
පඬිතුමාගේ අප හරියට පරෙස්‌සම් විය යුතුයි. මක්‌නිසාද අපේ ඉතිහාසයේ සමහර දේ සමහර අවස්‌ථාවල ලියෑවී ඇත්තේ පදවල නොව පද අතර නිසා. සමහර දේ කියෑවෙනවාට වඩා නොකියෑවී ඇති නිසා. එය ගයිගර් වදනකින් කිවහොත්, සිංහලයාගේ ඉතිහාසයේ තිබෙන ප්‍රශ්නය වන්නේ ඔවුන් ප්‍රකාශ කළ දේ නොව ප්‍රකාශ නොකළ දේය කියන එකයි. ඒ නිසා යමකු ඉතිහාසය තුළට කි¹ නොබැස ඉතිහාසය උඩින් පල්ලෙන් අතගෑමෙන් ඓතිහාසික චරිතවල පවත්නා ස්‌වභාවික ගුණයන් විනාශ වී යා හැකියි. එබඳු දැ රටක රසික පරපුරකට කරන අසාධාරණයක්‌ විය හැකියි.

එහෙත් මෙහිදී ඔබ අදහන දර්ශනය ඔබගේ මතවාද, අභිමතාර්ථයන් ඔබ නිර්මාණය කළ ගැමුණු චරිතයට බලපෑම්කර ඇති බව පෙනෙනවා...

එය වියහැකියි. කලාකරුවකු ඉතිහාසය තුළට පිවිසෙන්නේ එහි සාක්‍ෂිකරුවකුවී එහි මුල්ලක නතර වී සිටීමට නොවෙයි. ඉතිහාසයට මඟහැරී හෝ මඟහරවා හෝ තිබෙන යම් සුවිශේෂ භාවමය සහ ආධ්‍යාත්මික කලාපයන් වර්තමානයේ තිබෙන ආලෝකධාරා අතරට ගෙන ඒමටයි. එය කිසියම් ආකාරයකට වචන - දැනුම, නොදැනුම, තර්ක - විතර්ක, සංවාද වෙනුවට ප්‍රඥවෙන් සහ දයාවෙන් කෙරෙන ඉතිහාස ගොඩනැඟීමක්‌.

එහෙත් එය හිතලුවක්‌ නොවේ. සියලු ඓතිහාසික සාධක මෙතෙක්‌ නොවූ විරූ ආකාරයකට ගවේෂණය කිරීමෙන්, විශ්ලේෂණය කිරීමෙන් ලබාගත් තත්ත්වයක්‌. ඒ තුළ කලාකරුවාගේ දෘෂ්ටිය, දර්ශනය නැතැයි කිවහැක්‌කේ කාටද? අනෙක්‌ අතට එය මහරජ ගැමුණු සම්බන්ධයෙන් නොවෙයි ඕනෑම කලාකෘතියක්‌ සම්බන්ධයෙන්ද සත්‍යයක්‌.

මෙම සිනමා නිර්මාණය සඳහා ඔබ 2009 වසරේ සැරසෙද්දී ඇතැම් විචාරකයන් එය සිංහල ජාතිවාදී අරමුණක්‌ වෙනුවෙන් සිදුකරන්නක්‌ යෑයි පැවසුවා. එහි අනෙක්‌ පැත්ත නම් මෙරටින් බිහිවන ඇතැම් සිනමා නිර්මාණ දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනීසිටින නිර්මාණ බව පැවසීමයි. (බොහෝවිට ජාත්‍යන්තර සම්මාන ලැබෙන නිර්මාණ හඳුන්වනු ලැබුවේ ඒ ආකාරයට) මගේ ප්‍රශ්නය මේ රටේ ස්‌වාධීන නිර්මාණකරුවකු තම නිර්මාණකරනයේදී යටත්විය යුතු යම් සමාජ සංස්‌කෘතික, දේශපාලනික සීමාවන් තිබිය යුතුද?

කලා නිර්මාණ සඳහා කවර ආකාරයකවත් සමාජ, සංස්‌කෘතික, දේශපාලනික තහංචි තිබිය යුතුයෑයි මා කවදාවත් විශ්වාස කරන්නේ නැහැ. පොත් පත් නොකියවා පොත්පත් විචාරය කරන විචාරකයන් සිටින රටක, චිත්‍රපට නොබලා චිත්‍රපට විචාරය කරන විචාරකයන් සිටින රටක, මහරජ ගැමුණු තනන්නටත් පෙර විවේචන ඉදිරිපත්වීම අරුමයක්‌ නොවෙයි. මහරජ ගැමුණු මාධ්‍ය දැක්‌ම නැරඹූ විචාරකයන් කීපදෙනකුම මා සමඟ පැවසුවේ තමන් මෙම චිත්‍රපටය නරඹන්නට පෙර එළඹ තිබූ පූර්ව විනිශ්චයන් කෙතරම් වැරදිද යන්න දැන් තමන්ට වැටහෙන බවයි. අපේ රට ඉතාම බරපතළ ලෙස බලකඳවුරු දේශපාලනයකට යටත්වූ රටක්‌. ස්‌වාධීන කලා විචාරකයන් ඉතාම අතලොස්‌සක්‌ හැරුණු විට මෙහි සිටින්නේ කුමන හෝ දේශපාලන බලකඳවුරකට අයත් විචාරකයන් පමණයි. දෙපසට බෙදී බැණ අඬ ගසා ගැනීමට අමතරව කලාකෘතීන් සඳහා ඒ ඒ අය යොදා ගන්නා ප්‍රස්‌තූත සමඟද මේ එකිනෙකා විරසකයි. තමන්ගේ පිලට අයත් නොවන නිර්මාණයක්‌ දුටුතැන හෙළා දකිමු යන්න ඔවුන් සියල්ලන්ගේම තේමා පාඨයයි. කලාවන් සඳහා සීමාවන් පැනවීම අඥනකමක්‌ පමණක්‌ නොවෙයි, අපරාධයක්‌ද වෙනවා. හැම නිර්මාණකරුවකුම කුමක්‌ හෝ ජීවන දෘෂ්ටියක්‌ තිබෙන කෙනෙක්‌ කියලයි මම හිතන්නෙ. එය ඔවුන් එකිනෙකාගේ අනන්‍යතාව වශයෙන් තේරුම් ගන්නවා හැර තමන්ගේ ජීවන දෘෂ්ටියට අනෙකාත් දමා ගැනීමට වෑයම් කිරීම යහපත් වැඩක්‌ නොවේ.

මට පිටුබලය සපයන ඉතාම නිශ්චිත ජීවන දෘෂ්ටියක්‌ තිබෙන බව මා හැම විටම ප්‍රකාශකර තිබෙනවා. එය බෞද්ධ දර්ශනයයි. එය කිසිවිටෙක මගේ නිර්මාණ සඳහා සීමාවක්‌, බාධාවක්‌ වී නැහැ.

ලක්‌මාල් බෝගහවත්ත :දිවයින

12/03/2014

සමාජ ව්‍යුහයේ ජයග්‍රහණය හෙවත් ස්‌වර්ණ පුස්‌තක සම්මානය - II

කතෘ:යුතුකම     12/03/2014   No comments
මේ ලිපියේ පළමු කොටස :

සමාජ ව්‍යුහයේ ජයග්‍රහණය හෙවත් ස්‌වර්ණ පුස්‌තක සම්මානය

අද එතැන් සිට....
  
ව්‍යුහයේ ජයග්‍රහණය
වර්තමානයේ දිනසිරි කුරුලුගංගොඩ වැනි ව්‍යාජ පුද්ගලයන් ද, ඔවුන් ගේ අඳබාල ප්‍රබන්ධ ද අනවශ්‍ය පමණට ඔසොවා තබන වෙළෙඳ සමාජයක්‌ බිහි වී තිබෙන බව අපි දනිමු. සියල්ලන්ට අවශ්‍ය වන්නේ මතුපිට පහුරු ගාමින් තවදුරටත් මජර ආර්ථිකය ක්‍රමයට උඩ ගෙඩි දෙන සමාජ ව්‍යුහය පවත්වා ගෙන යැම ය. ලියනගේ අමරකීර්ති වැන්නන් ද ගසා ගෙන යන කුහක 'සමාජ පල් වතුර' දැන් මෙරට විශ්වවිද්‍යාලයන් ද යට කර ගෙන ගොස්‌ හමාර ය.
ව්‍යුහයේ අංගවිකලකම 'ස්‌වර්ණ පුස්‌තක' සම්මාන කමිටුවට බලපා තිබෙන අන්දම ගැන කදිම විග්‍රහයක්‌ පසුගිය 13 වැනිදා දිවයින වටම`ඩල අතිරේකයට රත්තනදෙණියේ මේධානන්ද හිමියන් විසින් සපයා තිබිණි. 'කුරුලු හදවත' වැනි නෝන්ජල් කෘති සම්මානයට භාජන වන්නේ දිනසිරි වැනිම 'අපතයන් ගේ' තීරණ නිසා ය.
දිනසිරි කුරුලුගංගොඩ ගුවන් විදුලි මාධ්‍යයේ ඉහළට ගියේ ප්‍රවීණයකු ගේ පරිවාස කාලයවත් ගත නො කර යෑයි, කිඹුල් කඳුඵ හෙළන ලියනගේ අමරකීර්ති, 'කුරුලු හදවත' නවකථාවෙන් ස්‌වර්ණ ශ්‍රී බණ්‌ඩාර, ලැම්බට්‌ පෙම්මාවඩු වැනි ප්‍රාමාණිකයන්ට සිදු කර තිබෙන අවැඩ සුළු පටු නැත.

උදාහරණයක්‌ වශයෙන් ගුවන් විදුලියේ ලේ පරිත්‍යාගශීලීන් ගේ කඳවුරේදී ලේ දන් දීමට පැමිණි එක්‌ පුද්ගලයකු ගේ මුවට නංවා තිබෙන වදන් මෙහි ලා උපුටා දක්‌වනු වටී. 'මේ සැරේ නං දෙමලුන්ට කෙළවලාම තමයි පස්‌ස බලන්ඩ ඕනෙ. මගෙ ලේ ඔක්‌කොම වුණත් දෙනව අපේ කොල්ලන්ට' 

හමුදාවට ලේ දන් දෙන කඳවුරුවලදී මෙවැනි ආවේගශීලී ප්‍රකාශ ඇසුණු සමයක්‌ පසු කරන ලද බව සත්‍යයක්‌ වුවත්, එවැන්නක්‌ ගුවන් විදුලියේ ලේ පරිත්‍යාගශීලීන් ගේ කඳවුරේදී ඇසුණා යයි පැවසීම විශ්වාස කළ නො හැකි තරම් වන කෙප්පයකි. අප ගේ දෙසවනට දිගුකාලීන ව හුරු වී තිබෙන ලැම්බට්‌ පෙම්මාවඩු ගේ දයාර්ද්‍ර හඬින් අමතනු ලබන ශ්‍රාවක සමාජය එවැනි මාරාන්තික වෛරවාදයකට නතු කළ හැකි යයි සිතිය හැකි ද?
 
දශක ගණනක්‌ තිස්‌සේ පුණ්‍ය චේතනාව පෙරදැරි කර ගනිමින් ලේ පරිත්‍යාගශීලින් ගේ ගුවන් විදුලි වැඩ සටහනින් අසරණ රෝගී ජනතාවට අමිල මෙහෙවරක්‌ ඉටු කරන ලද ලැම්බට්‌ පෙම්මාවඩු මහතා, 'දෙම`ඵ මරන්නට කටයුතු කරමින් ලේ විකුණන්නකු' ලෙස හංවඩු ගසා තිබීම සාහසික අපරාධයකි. මෙලෙස ලැම්බට්‌ පෙම්මාවඩු වැනි සමාජයට කිසිදු අවැඩක්‌ කර නොමැති නිර්ව්‍යාජ ජනමාධ්‍යවේදීන් වචනාර්ථයෙන් ඝාතනය කිරීමට තරම් ආත්ම ශක්‌තියක්‌ ඇත්තකුට, කුරුලුගංගොඩ වැනි ප්‍රබන්ධ චරිතයක්‌ මරා දැමීම සු`ඵ දෙයකි.

ඒ අනුව නවකථාව අවසානයේ කුරුලුගංගොඩ දියේ ගිල්වා මරා දමා තිබෙන්නේ කතාව ගෙන යා හැකි අර්ථසම්පන්න ඉසව්වක්‌ සොයා ගත නො හැකි නිසා බව පැහැදිලි ය. එය ද සිදු ව තිබෙන්නේ පොලිස්‌ අත්අඩංගුවට පත් වූ සැකකරුවකු ආයුධ පෙන්වන්නට ගොස්‌ දියේ ගිලී මැරෙන ආකාරයට නො දෙවැනි වූ අභිරහස්‌ අන්දමට ය. මෙය සිදු වී ඇත්තේ නවකථාවේ තැනින් තැන මතු වන අවුල්සහගත තත්ත්වය කූටප්‍රාප්තිවීමක්‌ ලෙසිනි. ඒ සිදුවීම් මාලාව යනු අනෙකක්‌ නො ව, මෙකල ලියනගේ අමරකීර්ති විවිධාකාරයෙන් ස්‌වකීය අතීතය මරා ගන්නට ගන්නා උත්සාහයම ය. ගත වූ දශකයක පමණ කාලයක්‌ තිස්‌සේ ලියනගේ අමරකීර්ති ස්‌වකීය බුද්ධි ප්‍රභාව අවුළුවා ගන්නවා වෙනුවට සිදු කර තිබෙන්නේ 'ජෝති තමෝ පරායනයෙන්' කටයුතු කිරීම ය. 

සැසඳුව මැනවි.

'සිංහල-දෙමළ ජනවාර්ගිකත්වය (1983 ම්ලේච්ඡ පාපතර ත්‍රස්‌තවාදී සංහාරයෙන් පසුව පවා) අප ගේ යථාර්ථවාදී සාහිත්‍යයෙහි ප්‍රතිනිර්මාණය කෙරෙන තරම් සරල නැත. දකුණ යෑයි කියන සිංහල ප්‍රදේශය කුල දෙමළ ජනයා ද සිටිති. සිංහල ආණ්‌ඩුව යෑයි හඳුන්වන ආණ්‌ඩුවේ දෙමළ අය ද සිටිති. සිංහල රජය යෑයි කියන රජයේ දෙමළ අය ද සිටිති. සිංහල පොලීසියේත් ඊළාම් පොලීසියේත් පොලිස්‌පතිවරු දෙමළ ජාතිකයෝ වෙති. ජීවිතයම පවා සාහිත්‍යයට වඩා සංකීර්ණ නො වේද? (බලය/2003/ඔක්‌-නොවැ/පිටුව 46)

2003 වසරේදී එලෙස අදහස්‌ දක්‌වන ලියනගේ අමරකීර්ති 2014 වසරේදී පවසනුයේ මෙවැන්නකි.

'සිංහල බෞද්ධ පොලීසිය විසින් සිංහල බෞද්ධ කොලු ගැටයකු මරා දැමීම ගැන සිංහල බෞද්ධ පත්තර නිහඬය'. (ඇත්ත/2014.07.16)
සමාජයට ඉහඳ තබන මෙවැනි තත්ත්වයක්‌ දක්‌වා පිරිහුණු පුද්ගලයකු ගෙන් 'කුරුලු හදවත' වැනි නවකථාවකට වඩා වැඩි යමක්‌ බලාපොරොත්තු විය හැකි ද?

එසේම මෙකී නවකථාවෙන් සහ එය සම්මානයට පාත්‍ර කිරීමේ ක්‍රියාදාමයෙන් තහවුරු වන තවත් කරුණක්‌ තිබේ. මෙරට සිදු වන සියලු ව්‍යසනයන්ට හේතුව සිංහල-බෞද්ධයන් යෑයි නිතර දෙවේලේ වහසි බස්‌ දොඩන ලියනගේ අමරකීර්තිලා ගේ ප්‍රබන්ධවලින්ම ඒවා නිශේධ වී තිබීම ය.
නිදර්ශනයක්‌ වශයෙන් 'කුරුලු හදවත' කෘතියට අන්තර්ගත අර්ධ කල්පිත සමාජයේ කුජීත සමාජ ධාරාව නියෝජන කරන කුම් කුම් විඡේසිංහ සහ ජෙවන් දිසානායක එසේ හැසිරෙන්නේ ඔවුන් හුදෙක්‌ සිංහල-බෞද්ධයන් වන නිසා ද? 

අපභ්‍රෂ්ට සිංහලයෙන් ලියා ඇති 'කුරුලු හදවත' නවකථාව සම්මානනීය කෘතියක්‌ බවට ඔසොවා තබන්නට කටයුතු කර තිබෙන සමන් වික්‍රමාරච්චි සහ ආචාර්ය සුනිල් විඡේවර්ධන යනු ඊනියා සිංහල-බෞද්ධයෝ ද?

සැබෑ ජීවිතයේදී ස්‌වකීය කුල පීඩනයෙන් අත් මිඳෙන්නට වැර දරන කුරුලුගංගොඩ වැනි වළං කර්මාන්තයේ යෙදෙන්නන්ට මනුෂ්‍යත්වයෙන් පිරුණු සාධාරණයක්‌ ඉටු කරනු සඳහා ගුවන් විදුලි මාධ්‍යයෙන් ගමේ නම වෙනස්‌ කර ගන්නට උත්සාහ දැරෙන අතරේ, පුරාවිද්‍යාත්මක කැනීමක පුවතක්‌ නිර්මාණය කරන්නට තිබිණි. 

අද වන විට ලාංකික ශිෂ්ටාචාරයේ අභිමානය රැඳී තිබෙන්නේ බුදු දහම මෙරටට දායාද වන්නට පෙර ප්‍රාග් ඓතිහාසික යුගයේදී පැවැතුණු දියුණු සභ්‍යත්වයක ලක්‍ෂණ තහවුරු කෙරෙන යකඩ තාක්‍ෂණය මෙන්ම, වළං කැබලි සහ සකපෝරුව භාවිත කළ බවට සාධක හමු වී ඇති නිසා ය. එහි උරුමකරුවෝ නම් කුඹල්කරුවෝ ය. ජාතියක උසස්‌ අනන්‍යතාව සුරකින්නට දුර අතීතයේ සිට කටයුතු කර තිබෙන ස්‌වදේශික කර්මාන්තකරුවන් පිරිසකට, වර්තමානයේදී සිදු කරනු ලබන අයුක්‌තිසහගත අවමානය අවලංගු කරන්නට නම්, යොදා ගත යුතු වන්නේ මෙවැනි තාර්කික කරුණු විනා හුදෙක්‌ පාඨකයන්ට තාවකාලික විනෝදය ලබා දෙන ව්‍යාජ ප්‍රබන්ධවලින් නො වේ. 

එහෙත් බොළඳ ජනප්‍රිය FM ගුවන් විදුලි මාධ්‍ය මත්තේම ගිලුණු 'කුරුලූ හදවත' කෘතියට 'ස්‌වර්ණ පුස්‌තක සම්මානය' දී තිබෙන්නේ 'කුරුලු හදවත' නවකථාවේ නිරූපිත එකී සමාජ පාතාල ව්‍යුහය විසින්ම බව, පසුගිය කාල වකවානුවේ මුද්‍රිත මාධ්‍ය ම`ගින් හෙළිදරව් වූ කරුණුවලින් උවමනාවටත් වඩා තහවුරු වී තිබේ. සම්මාන කමිටුවේ අභ්‍යන්තර අවුලක්‌ නිසා හටගත් මතභේදයට ද්විතීයික විසඳුමක්‌ වශයෙන් යෝජනා කෙරුණු 'කුරුලු හදවත' නවකථාව තෝරා ගෙන ඇත්තේ, 'කුරුලු හදවත නවකථාව සම්මාන දිනා ගනී' යන වාක්‍යය ලියන්නට ගත වූ කාලයටත් වඩා වේගයෙනි. මේ සා අනර්ථ සහගත කෘතියක්‌ සම්මානයට පාත්‍ර වන්නේ ඒ අවකාශයෙනි. 

'ස්‌වර්ණ පුස්‌තක සම්මානය' පශ්චාත් යුද සමාජයේ සාහිත්‍ය-සංස්‌කෘතික ක්‍රියාවලිය මතට කඩා වැටුණු 'හෙණ ගෙඩියක්‌' බව අප පවසන්නේ, සමාජයේ සැබෑ අර්බුද තත්ත්වාකාරයෙන් නිරූපණය කරන සාහිත්‍යයට, මෙවැනි යටි අරමුණු සහිත විනිශ්චයන් නිසා අසාධාරණ සිදු වන නිසා ය.

ඒ අනුව ස්‌වර්ණ පුස්‌තක සම්මානය ලබා ගත් ලියනගේ අමරකීර්ති යනු, දිනසිරි කුරුලුගංගොඩ ද අභිබවමින් සමාජ පාදඩකරණයට උඩ ගෙඩි දෙන 'ව්‍යුහයේ ජයග්‍රහණය තහවුරු කළ අසමසම ජයග්‍රාහකයා' ලෙස හඳුන්වා දීම යුක්‌ති යුක්‌ත ය. 

- නිමි -

 
-කුමාර ලියනගේ  
යුතුකම සංවාද කවය
www.yuthukama.com

11/25/2014

ගම මුල්වුනු ආර්ථිකයක්

කතෘ:යුතුකම     11/25/2014   2 comments
දැන්නම් බොහෝ නිවෙස්වල රූපවාහිනිය නැතිව සවස් කාලය ගෙවා දමන්නේ කෙසේද යන්න ප්‍රශ්ණයකි. නමුත් අපි කුඩා කාලයේ ලංකාවේ රූපවාහිනී තිබුනේ නැත. එකල සතියකට වරක් ප්‍රචාරය වුනු ගුවන් විදුලි නාට්‍යයකට සවන් දීමෙන් අපි සෑහීමකට පත්වුනෙමු. ඒ නිසා අද රූපවාහිනිය ඔස්සේ සපුරා ලන්නේ එදා අපට තිබුනු නමුත් ඉටු නොවුනු අපේ යම් අවශ්‍යතාවක් යැයි කිව නොහැකිය. එය අනාගතයේදී නිර්මාණය කරන්නට යෙදෙන යම් භාණ්ඩයක් අපට අද නැතිවීම නිසා අද අපේ යම් හඳුනානොගත් අවශ්‍යතාවක් ඉටුවෙන්නේ නැතැයි කීම හා සමානය. ඒ නිසා රූපවාහිනියෙන් කෙරන්නේ ඊනියා අවශ්‍යතාවක් සැපිරීම නොව ඉන්ද්‍රිය පිනවීම සඳහා නව මඟක් පාදා දීම යැයි කිවහොත් එය වඩා නිවැරදිය.

මේ ආකාරයට මීට වසර තිහ හතලිහකට ඉහත නොතිබුනු පාරිභෝගික භාණ්ඩ හා සේවා රැසක් දැන් අපට නැතිවම බැරිවී ඇත. ඒවා ඊනියා අවශ්‍යතා ලෙස සැලකීමට අද අපි පුරුදුවී සිටියද කලකට ඉහතදී මේ බොහෝ දේ නැතිව ජීවත්වීමට හැකිවුනු බව අඩුතරමින් වැඩිහිටියන්ටවත් මතක තිබිය යුතුය. පාරිභෝගික භාණ්ඩ හා සේවාවන්හි වර්ධනයට හේතුව අපි සමාජයක් වශයෙන් වඩා වඩා ඉඳුරන් පිනවීමට ඇබ්බැහිවීමය.

රූපවාහිනී, මෝටර් රථ, ජංගම දුරකතන වැනි සුඛෝපභෝගී භාණ්ඩ සම්බන්ධයෙන් පමණක් නොවේ සෞඛ්‍ය සේවය වැනි සේවාවන්හි ඇතිවී ඇති වර්ධනයද වක්‍රාකාරයෙන් හෝ ඉඳුරන් පිනවීමේ ප්‍රතිඵලයකි. සෞඛ්‍යය සේවයේ වර්ධනයට එක් හේතුවක් රෝගීන් ගහණවීමය. නමුත් අද අප සමාජය තුල රෝගීන්ගේ වර්ධනයක් ඇතිවී ඇත්තේ සෘජුව හෝ වක්‍රව හෝ අපි ඉඳුරන් පිනවීමට ඇල්මක් දක්වන නිසා නොවේද? අපි ආහාර පරිභෝජනයේදී දිව පිනවීම අරමුණු කරගන්නෙමු. ඇඟ නොවෙහෙසා ජීවත් වෙන්නට බලන්නෙමු. අපව රෝගාතුර කරන විස සහිත පරිසරය කන බොන දෑ මෙන්ම තරඟකාරී ජීවතයද වක්‍රාකාරයෙන් ඉඳුරන් පිනවීමේ ජීවන රටාවක ප්‍රතිඵලයක් නොවේද? අනිත් අතට අද මහා පරිමාණයෙන් රට පුරා පුද්ගලික රෝහල් බිහිවෙන්නේ, ඒවාහි අධික මිලකට සේවා සැපයෙන්නේ, නොයෙකුත් උපක්‍රම යොදාගෙන රෝගීන් තමන් වෙත ආකර්ශනය කරන්නට උත්සාහ කරන්නේ යම් සේවාවක් සැපයීමේ මූලික අරමුණින් නොවන බව පැහැදිලිය. එහි නීත්‍යානුකූල බව කෙසේ වෙතත් ඊනියා සේවයක් සපයමින් සමාජයේ යම් පිරිසක් වඩ වඩා ඉඳුරන් පිනවා ගන්නා බව සත්‍යයකි.

මේ ආකාරයට විමසූවිට ගෙවී ගිය කාලය තුල පාරිභෝගික භාණ්ඩ හා සේවා සැපයීමේ වර්ධනයක් ඇතිවී ඇත්තේ අපි වඩ වඩා ඉඳුරන් පිනවීමට ඇබ්බැහිවීම හේතුකොටගෙනය. එසේ නොවේනම් මේ කාලය තුල සිදුවී ඇති ඊනියා අවශ්‍යතා වර්ධනය තේරුම් ගත හැක්කේ මොන ආකාරයකටද? එය ජනගහනය වර්ධනය වැනි වෙන යම් ස්වාභාවික සංසිද්ධියක් මඟින් පැහැදිලි කර ගත හැකිද?

අද බටහිර ආධිපත්‍යයට යටත්ව ඇති සියලු රටවල් හැකි පමණින් අනුකරනය කරන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ආර්ථික රටාවය. ධනවාදී, ලිබරල්, වෙලඳ, විවෘත ආදී අනොයෙකුත් නම් වලින් හැඳින්වුවද යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ආර්ථික රටාව ඉඳුරන් පිනවීම, එසේත් නැත්නම් අවශ්‍යතාවන් වර්ධනය කිරීම පදනම් කරගත් ආර්ථික රටාවකි. නමුත් බෞද්ධයින් වශයෙන් අපි ඉඳුරන් පිනවීමට ඇබ්බැහිවීම සසර තව තවත් දික් කර ගැනීමක් බව දන්නෙමු. බෞද්ධයින්ට අවශ්‍ය ඉඳුරන් සංවර කරගැනීමටය. නමුත් පෘතග්ජනයින් වශයෙන් අපිට නිවීම සොයා ගොස් නිවෙන්නට හැකිවෙන්නේ අවසන ඉන් සැනසීමක් ලැබෙනොත්ය. සැනසීම සොයා ගොස් සැනසෙන්නේ අවසන නිවෙන නිසාය. ඒ නිසා පෘතග්ජනයින් වශයෙන් අපට බලාපොරොත්තු විය හැක්කේ නිවී සැනසීමටය. නිවී සැනසෙන්නටනම් අවශ්‍යතා සපුරා ගන්නා අතරම අවශ්‍යතා ස්වයං වාරණයට ලක් කර ගැනීමටද හැකිවිය යුතුය.

අද අපි පිළිපදින ඉඳුරන් පිනවන ආර්ථික ක්‍රමය නීවී සැනසෙන ආර්ථික ක්‍රමයක් බවට වෙනස් කර ගැනීමට නම් අප උත්සාහ කල යුත්තේ අවශ්‍යතා සපුරා ගැනීම හා වාරණය අතර යම් සමතුලිතතාවක් ඇති කර ගැනීමය. නමුත් ඉඳුරන් පිනවීම පදනම් කරගත් ආර්ථික ක්‍රමයක් තුල ඊනියා සංවර්ධනයක් කරා යන අතරේ ඉන්ද්‍රිය සංවර කර ගැනීමට උනන්දු කරවන සංස්කෘතික ව්‍යාපාරයක් සාර්ථකවේ යැයි සිතිය නොහැකිය. බෞද්ධයින් බලාපොරොත්තු වෙන සමතුලිතතාව ඇති කර ගැනීමටනම් ආර්ථික ක්‍රමවේදයේම වෙනසක් සිදුවිය යුතුය.

බටහිර ආර්ථික ක්‍රමයේ වැදගත්ම දැනුම මහා පරිමාණයෙන් නිශ්පාදනය සිදුකෙරෙනවිට නිශ්පාදන “වියදම” අවම කර ගත හැකිය යන්නය. නමුත් ඇත්තටම මේ කථාව වංචාවකි. මෙහි නිෂ්පාදකයා දරන වියදම අඩු යැයි සැලකෙන්නේ මහා පරිමාණ නිශ්පාදනයේදී පොදුවේ සමාජයටත් පරිසරයටත් සිදුවෙන හානිය නොසලකා හැරීමෙනි. ඒ කෙසේ වෙතත් බටහිර ආර්ථික ක්‍රමය තුල මහා පරිමාණයෙන් නිශ්පාදනය වන්නේ පාරිභෝගික භාණ්ඩ පමණක් නොවේ සෞඛ්‍යය, අධ්‍යාපනය වැනි සේවාවන් සැපයෙන්නේද මහා පරිමාණයෙනි. නිශ්පාදනය මධ්‍යගතව සිදුවීම, භාණ්ඩ බහුලවීම, නිශ්පාදනය වෙළඳාම අරමුණු කොටගෙන සිදු කෙරීම, වෙළඳ මිල අඩුවීම ආදී කරුණූ මහා පරිමාණ නිශ්පාදනයේ ලක්‍ෂණය. මේ සියලු කරුණු අඩු වැඩි වශයෙන් දායක වෙන්නේ ඉඳුරන් පිනවීම වඩා කාර්යක්‍ෂමව සිදුකෙරීමටය. මහා පරිමාණයෙන් කෙරෙනවිට නිශ්පාදකයා දරන "වියදම" අඩුවන නිසා ඒ භාණ්ඩ ඉතා අඩු මිලකට පාරිභෝගිකයින්ට විකිනිය හැකිය. භාණ්ඩ බහුලවීමත් මිල අඩුවීමත් හේතුවෙන් මහා පරිමාණ නිෂ්පාදන ක්‍රමය තුල ඉඳුරන් පිනවීම වඩා කාර්යක්‍ෂමව සිදු කල හැකිය. මහා පරිමාණ නිශ්පාදනය පාලනය වෙන්නේ මධ්‍යගතවය. මධ්‍යගතව සිදුවෙන නිසා පාරිභෝජිකයා ජීවත් වන්නේ නිශ්පාදන ක්‍රියාවලියෙන් ස්වායත්තවය. ඒ නිසා වෙලඳපොල මඟින් ආර්ථිකය හැසිරවේයැයි බටහිර ආර්ථික විද්‍යාවේ කොතෙක් කියවුනද ඉන්ද්‍රිය සංවර කර ගැනීම අරභයා පාරිභෝජිකයාට නිශ්පාදන ක්‍රියාවලියට කල හැකි බලපෑමක් නැත. ඔහුට ඇත්තේ දෙන දෙයක් කා තව වැඩිපුර ලැබෙන තෙක් බලා හිඳීමටය. ඉඳුරන් පිනවීම කාර්යක්‍ෂමව සිදුවීමත් ඉන් මිදීමට ඇති හැකියාව අවම වීමත් නිසා සුවිශේෂ පුද්ගලයින්ට හැර බෞද්ධයින්ට සමාජයක් වශයෙන් ඔවුන් පතන සමතුලිතතාව මේ ක්‍රමය තුල අත් කර ගත නොහැකිය.

ඒ නිසා ඉඳුරන් සංවර කරන ආර්ථික ක්‍රමයක් ගොඩනඟා ගැනීමට නම් අපි මධ්‍යගත මහා පරිමාණ නිශ්පාදනයට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ අතක් ගත යුතුය. එනම් අපේ ආර්ථිකය අදට සාපේක්‍ෂව සුලු පරිමාණ නිශ්පාදනය මත පදනම්වුනු විමධ්‍යගත ආර්ථිකයක් බවට පත් කර ගත යුතුය. ගම මුල්වුනු ආර්ථික ක්‍රමයක ගැමියන්ට රිසි පරිදි තම අවශ්‍යතා පිරිමසා ගැනීමටත් අවශ්‍යතා වාරණයට ලක් කර ගැනීමටත් මධ්‍යගත ආර්ථිකයකදීට වඩා ඉඩක් ඇත. වර්ධනය හා වාරණය අතර සමතුලිතතාවක් ඇති කර ගත හැක්කේ ආර්ථික වපසරිය කුඩාවූ පමණටය.
 
-ජානක වංශපුර : මගේ රට
යුතුකම සංවාද කවය
www.yuthukama.com

11/12/2014

තණ්හා, රතී, රඟා: සර්පයා දුටුවාද?

කතෘ:යුතුකම     11/12/2014   3 comments
සැවැත් නුවර ගොවිතැනින් දිවි ගෙවන අහිංසක ගොවියකුගේ කුඹරක් අසළින් වඩින බුදු රජාණන් වහන්සේ එහි වැටී තිබුනු මසුරන් පොදියක් දුටු සේක. තථාගතයන් වහන්සේ නියර උඩින් වඩින ගමන් ආනන්ද හාමුදුරුවන්ගෙන් “ආනන්ද, සර්පයා දුටුවාද?” කියා විමසූ සේක. වටපිට බලන ආනන්ද හාමුදුරුවෝ තරමක් ඈතින් කිසියම් පොදියක් වැටී ඇති බව දුටුහ. "සර්පයා දුටිමි" කියා ආනන්ද තෙරුණුවෝ පිළිතුරු දුන්හ.

බුද්ධ කාලයේ එම කතා පුවතෙහි තේමාව ඔස්සේ දිවෙන අපූරු අද්‍යතන සිදුවීම් පෙළකි තණ්හා, රති, රඟා චිත්‍රපටය ඇසුරේ අප දුටුවේ. කිසියම් කතාවක් නිරූපණයේදි තේමාව මෙන්ම සංකල්ප රූපද වැදගත් වේ. සංකල්ප රූප යනු නිර්මාණය තුළ එන චරිත, සිද්ධි හා වස්තූන් වේ. යම් නිර්මාණයක සංකල්ප රූප යට ගොස් තේමාව ඕනෑවට වඩා ඉස්මතු වී පෙනෙන්නේ නම් එය බොහෝ විට උපදේශන ක්‍රියාවලියක ස්වරූපයක් ගනියි. තේමාව දුබල වී සංකල්ප රූප ඕනාවට වඩා ඉස්මතු වූ කල්හි එය නිසරු ඕපාදූපයකට ළංවේ. සාර්ථක නිර්මාණයකට අත්‍යවශ්‍ය කාරණයකි තේමාව හා සංකල්ප රූප අතර සමබරතාවය. තණ්හා, රතී රඟා චිත්‍රපටය තුළ අප දකින සුවිශේෂීම ලක්ෂණය නම් කතාවේ තේමාව හා සංකල්ප රූප අතර සමබරතාවයයි. ප්‍රේක්ෂකයා ඉදිරියේ දිගහරින චරිත සහ සිද්ධි ඔස්සේ යථාර්තවාදීව මිනිස් චිත්ත සන්තානය පිළිබඳ ප්‍රබල තේමාවක් ගොඩනැඟීමට චිත්‍රපටය සමත් වී ඇත. මෙම චිත්‍රපටයේ වටනාකම තවත් ත්‍රීවුර වන්නේ මිනිස් සිත නිරූපණය කිරීමට නිපදවූ අනෙක් 'කර්ම' වැනි චිත්‍රපටයක දක්නට ලැබෙන ඒ තුළට බලෙන් එබ්බවූ ප්‍රේක්ෂකයා රවටවන ආකාරයේ කටෝර විජ්ජා වලින් තොරව ප්‍රේක්ෂකයා හා සුහද වෙමින් මෙම චිත්‍රපටය මතුපිටින් සරල ලෙස ගලා යාමට සළස්වන්නට සමත්වීම නිසාය. එහෙත් මතුපිටින් පෙනෙන සරල බවට යටින් දිවෙන ඉතා සංකීර්ණ චෛතසික විවරණයක් මෙහි අන්තර්ගතය.

මෙම ලිපියේ අරමුණ චිත්‍රපටයේ නම විසින්ද අපට ආරාධනා කර සිටින එකී  චෛතසික විවරණය දෙසට අපගේ විමසුම් සිත යොමු කරවීමයි. මේ චිත්‍රපටය පිළිබඳ සිය දේශපාලන දෘෂ්ටිය මත පිහිටා විචාරයක් සපයන ආචාර්ය ලියන්ගේ අමරකීර්ති හා ඉන්දියාවේ ප්‍රසාද් සිනමා පාසලෙහි මාධ්‍ය සහ අධ්‍යක්ෂකවරුන් පුහුණු කිරීමේ ආචාර්ය උමා වන්ගාල් ද මෙහි එන සංකීර්ණම චරිතය වන සිරිතුංගගේ චරිතය කියවා තිබුනේ ඉතා සරල, සදොස් ආකාරයකට වීම විසින් මෙ ආකාර විවරණයෙක වැදගත්කම මතුකරවයි.

ප්‍රභාකරන් මිය යාමේ සිද්ධියත් සමඟිනි කතාව ඇරඹෙන්නේ. ප්‍රධාන චරිත වන විමල්, සිරිතුංග හා සුරාජ් සිංහ ධජ ඔසවමින් ප්‍රීතිවන මිනිසුන්ට කිරිබත් දන්සල් දෙමින් ඒ යුධ ජයග්‍රහණයත් සමඟ සිය ජීවිත කාලයෙන් වසර තිහක් පුරාම අරක් ගෙනඋන් ත්‍රස්තවාදී යක්ෂයාගෙන් නිදහස් වීමෙන් ලත් අහිංසක ප්‍රීතිය භුක්ති විදිමින් සිටිති. හදවතේ නැගුණු නිදහසේ ප්‍රහර්ෂයට A-9 මාර්ගය ඔස්සේ විමලෙගේ වාහනයේ රෝද තුන ඔස්සේ ගලා යන්නට ඉඩ හරිමින් යාපනය බලා යන විනෝද චාරිකාවකි තිදෙනාගේ මීළඟ ක්‍රියාව වූයේ.

චලෙයි මුහුදු වෙරළේ සිය නව පෙම්වතිය හා දුරකතන ඇමතුමක සිටින අතරතුර පා ඇඟිල්ලෙන් බිම හාරන විමලෙට ඔවුනගේ අද්‍යතන කතාවේ සර්පයා වන පිස්තෝලය අහම්බෙන් මෙන් හමුවේ.

එම පිස්තෝලය පිළිබඳ තිදෙනා විසින් දක්වන්නේ තුන් ආකාර වූ ආකල්පයකි. එම ආකල්පයන් හා ඔවුනගේ ජීවන සටනේ වත්මන් තත්වය හා සම්බන්ධයක්ද දැකිය හැකිය. ත්‍රීරෝද රථ රියදුරෙකු වන විමල් වෙසෙන්නේ ප්‍රාදේශීය දේශපාලකයකු වන ඔවුනගේ බාප්පාට අයිති නිවසකය. බාප්පා එම නිවසින් දොට්ට බසින ලෙස විමලෙලාට තර්ජනය කරමින් සිටිත්. තාත්තා නැති පවුලේ වැඩිමලා වන ඔහුය තම මල්ලීගේ සහ නංගීගේ අධ්‍යාපනයට වියදම් කරනුයේ. ඔහු යෝජනා කරනුයේ අතට ලැබුනු එම පිස්තෝලය කොළඹ ගොස් විකුණා යහමින් මුදලක් ඔවුනට ලබා ගැනීමටයි.

සුරාජ් විශ්ව විද්‍යාල සිසුවෙකි. අනෙක් දෙදෙනාට වඩා තරුණෙකු වන ඔහුට විශාල පවුල් බරක් නැතිය. ඔහු යෝජනා කරන්නේ එය එම ගමනේ සිහිවටනයක් ලෙස ළඟ තබා ගත යුතු බවෙකි.

සිරිතුංග තිදරු පියෙකි. ඔහු ජීවත් වන්නේ පොහොසත් ගෙවල වැඩපළ කර දීමෙනි. තමා කිසියම් අනතුරක වැටුනොත් සිය දරු පවුල ආනාථ වන බව පවසන ඔහු එම පිස්තෝලය රැගෙන යාමට බිය වී එය රැගෙන යාම දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි. එම අනුවණ ක්‍රියාව කිරීමට පෙළඹෙන මිතුරන් දෙදෙනට ඔහු දැඩි ලෙස දෝෂාරෝපණය කරයි. මෙම කතාව තුළ මිනිස් සිත ක්‍රියා කරන ආකාරය පිළිබඳ ඉතා සංකීර්ණ නිරූපණයක් ඇත්තේ සිරිතුංගගේ චරිතය තුළය. ඔහු අනිත් දෙදෙනාටම වඩා බියසුළුය. එනිසාම පිස්තෝලය රැගෙන යාමට ඔහු බිය වුවත් ඒ සඳහා තණ්හාවක් ඔහු සිත තුළ නූපදීද? තණ්හාව විමලේගේ හා සුරාජ්ගේ මතුපිටට පෙනෙන ලෙසට ක්‍රියාත්මක වන මුත් සිරිතුංගගේ සිත තුළ එම තණ්හාව උපදින්නේ මතුපිටට නොපෙනෙන වංචක චෛතසික ධර්මයක් ලෙසයි. නොඑසේ නම් ඔහු සිත තුළ තණ්හාව ක්‍රියාත්මක වන්නේ වෙනත් වේෂයකිනි. රාගය ක්‍රියාත්මක වන්නේ විරාගයේ වේෂයෙනි. එය ඉතා අපූරු චෛතසික ස්වභාවක් පිළිබිඹු කෙරෙන්නකි.

චිත්‍රපටය තුළ එම මානසික භාවයන් දර්ශන තලය මත ප්‍රතිනිර්මාණය කර පෙන්වන අවස්ථා කිහිපයක් දැක්විය හැකිය. සිරිතුංග මුලින්ම පිස්තෝලය  දුටු අවස්ථාවේ එය උදුරාගෙන වීසි කරයි. ඔවුන් එහිදී සිටින්නේ කැළෑබද ප්‍රදේශයකයි. සිරිතුංග මුළු වෙර යොදා පිස්තෝලය කැළෑව තුළට විසි කළා නම් එය නැවත සිය මිතුරන් දෙදෙනට සොයා ගැනීමට නොහැකි වන්නට තිබුනි. නමුත් මතු පිටින් ඔහු පෙන්වන බිය හා විරෝධය මැඩ ගෙන යටි සිතින් ක්‍රියාත්මක වන චිත්ත බලවේගයක් ඔහුට ඉඩ හරින්නේ තැනිතලා පෙදෙසක යාර කිහිපයක් දුරකට එය විසි කිරීමට පමණි.

යම් හෙයකින් පිස්තෝලය නිරුපද්‍රිතව කොළඹට ගෙන යාමට ඔවුනට හැකි වුවහොත්, සිරිතුංගගේ විරෝධතාව නිසා ඔහු එම ක්‍රියාන්විතයේ පංඟු කාරයකු බවට පත් නොවේ. එසේ වුවහොත් එම පිස්තෝලයට ඔහුට අයිතියක් නැතිවේ. ත්‍රීරෝද රථය තෙල් නොමැතිව දුෂ්කර පෙදෙසක නතර වූ විට බුලියත් රැගෙන තෙල් ගෙන ඒම සඳහා ඔහු පිටත්වන්නේ බලෙන්ම වාගේය. එසේ යාමට පිටත් වූ සිරිතුංගගේ මුවගට නැගෙන සිනහවේ රූප රාමුව තත්පර කිහිපයක එකක් වුවත් එවේලේ කැමරා කාචය සිරිතුංගගේ මුහුණට සමීප වී මදක් නතරවී සිටින්නේ ප්‍රේක්ෂකයාටද එවේලේ සිරිතුංගගේ මනසට එබී බලන්නට ඇරයුම් කරමිනි. ඔහුගේ මුහුණේ සටහන්ව තිබුනේ කපටි ප්‍රීතියක් නොවේද? ඒ ප්‍රීතිය පෙන්නුම් කරන්නේ තමාද දැන් එම පිස්තෝලය ගෙන ඒමට සම්මාදන් වූ නිසා ඒ පිස්තෝලයට හිමිකරුවකු වීමේ තෘෂ්ණාව නිසා හටගත් සතුටයි. ඉන් පසු ඔහු බලෙන්ම වාගේ ත්‍රීරෝද රථය යම් දුරක් පදවා ගෙනද එයි. එයද එම ක්‍රියාවට දායක වීමකි. ඔහු එසේ දායක වන්නේ ඔහුගේ සිතේ පවතින පූර්ණ එකඟතාවයකින් නොවන නිසා ඔහු සිය මිතුරන් දෙදෙනට දිගටම දෝෂාරෝපණය කරයි. ඔහුගේ සිතේ පවතින්නේ නීතියේ රැහැනට අසු වීමේ බියත්, පිස්තෝලයේ පංඟු අයිතිය සඳහා වන තෘෂ්ණාවත් යන දෙකම එකතු වී හටගත් චිත්ත ස්වභාවයකි. 

කොළඹට පැමිණි ඔවුන් නිවසට ගෙන යාමට යාපනයෙන් ගෙනා දෙයක් නැත. ඒ නිසා ඔවුහූ කොළඹින් පළතුරු මිලදී ගනිති. සිරිතුංග සිය යහළුවන් දෙදෙනා මිලට ගත් පලතුරු වලටද මුදල් ගෙවන්නේ යහළුකම නිසා පමණක්ම  නොව, තවත් හේතු දෙකක් නිසා විය යුතුය. තමාටද දැන් පංඟුවක් හිමි පිස්තෝලය ගෙන ඒමට මූලික වූ සිය මිතුරන් දෙදෙනාට කෘතගුණ දැක්වීමක් වශයෙන් හා එසේ කිඊම මඟින් පිස්තෝලයේ අයිතිය තුනට බෙදී යන බව තවදුරටත් මුද්‍රා තබා තහවුරු කිරීමටත්ය.

පිස්තෝලයක් අත්පත් කර ගැනීම යනු යම් ආකාරයක බලයක් අත්පත් කර ගැනීමකි. බලය ඇති විට හා බලය නැති විට එකම මිනිසා හැසිරන්නේ දෙආකරයකට බව අපි දනිමු. ගෙදර එන විමලේ දකින්නේ බාප්පා පැමිණ ගෙදර ජනෙල් පොඩි කර ගොස් ඇති ආකාරයයි. පෙරදී තුන් හිතකින්වත් නොසිතූ ලෙස විමලේට තුවක්කුව දැන් වුවමනා වේ. සුරාජ් සිය පෙම්වතිය සමඟ සිටින විට චණ්ඩියකු වන ඇගේ අයියාගෙන් ගුටි කෑමට සිදුවේ. ඔහුද කළින් නොසිතූ ලෙස වීරකම් පා එම චණ්ඩියාගෙ නිවසට ගොස් ඔහුට පහර දෙන්නේ මේ පිස්තෝලයේ ආනුභාවයෙනි.

දෙදෙනාම කළ ගොන් කම් ගැන කම්පා වෙමින් සිටියදී සිරිතුංග ඔවුනගේ ගොන් කම ගැන නැවත වතාවක් බැණ වදියි. විමලේ සිය බාප්පා පොලීසි නොයන බව පවසයි. කුමන විරසකය තිබ්බද බාප්පාට තමා හිරේ විලංගුවේ දැමීමට වුවාමනාවක් නැති බව විමලේ දනියි. දුෂ්ටයකු ලෙස පෙනෙනා බාප්පාගේ චරිතය වුව මානවවාදී දැක්මකින් චිත්‍රපටය තුළ ප්‍රතිනිර්මාණය කෙරී ඇත.

පිස්තෝලය සැඟවීමට කියා ඉල්ලා ගන්නා සිරිතුංග එය සඟවන්නේ කොහිද? කිසිවකුට අත පෙවිය නොහැකි පහසුවෙන් සොයා ගත නොහැකි ස්ථානයකද? සිරිතුංගගේ මනසේ ඇති වංචක ධර්මතාව වඩාත් මැනවින් පිළිබිඹු කෙරෙන තැනකි මේ. ඔහු එය තබන්නේ තමාගේ ගෙයි සාලයේ පෙට්ටගම යටයි. කලින් පටන් ඔහු සතුව තිබූ කඩුවක් තබා තිබුනු තැන්හිමය. කඩුව නිරූපණය කරන්නේ බලයයි. තුවක්කුව එතැනින්ම තබන්නේ දැන් ඔහුගේ බලය වැඩි වී ඇති බව පසක් කරමිනි. ඔහු බලයට බැදෙන්නේ රාගයෙනි. ඔහු පව් කරන්නේ රහසිනි.

කුස ජාතකය ඇතුළු ඇතැම් ජාතක කතාවන්හි මෙම වංචක චෛතසික ධර්ම ගැඹුරු ලෙස පිළිබිඹු වන අයුරු මාටින් වික්‍රමසිංහයන් සිය සිංහල විචාර මඟ කෘතියෙහි පෙන්වා දී ඇත. මෙවන් වූ වංචක චෛතසික ධර්ම අප තුළද ඇතිවා විය හැකිය. අයෝනිසෝ මනසිකාරයෙන් දිවි ගෙවන අප සිත් තුළ ඇති එම චිත්ත ස්වභාවයන් අපට ප්‍රකට නොවනවා විය හැකිය. සිනමා සිත්තමක් මත එබන්දක් නිරූපණය කිරීම අතිශය අභියෝගාත්මක කටයුත්තක් බව නොකිව මනාය. සිරිතුංගට රඟන සරත් කොතළාවලගේ රංගන ප්‍රතිභාව ඒ සඳහා සපයා තිබුනේ සුළුපටු පිටිවහලක් නොවේ. හාස්‍යය රසයෙන්ද පිරි මේ චිත්‍රපටය නරඹා අවසන එහි සමුදයාර්ථය දැක අපට පහන් සංවේග උපදවාගත හැකිය. 

බුදුන් දවස සැවැත් නුවර කුඹුරේ වැඩ කරමින් උන් ගොවියාට තමනට අයිති නැති කහවණු පොදිය ලෙහා බැලීමටවත් සිතක් පහළ වන්නේ නැත. එනමුත් රජු කරුණු නොවිසාම ඔහු සොරකමකට වැරදිකරු බවට තීරණය කර මරණ  දඬුවම නියම කරයි. මරණය සඳහා ගෙනයන අතරේය ඔහුට බුදු රාජාණන් වහන්සේ "ආනන්ද, සර්පයා දුටුවාද?" යි කී වදන්හි අරුත වැටහෙන්නේ. ඒ පිහිටෙනි ඔහු දිවි ගැලවෙන්නේ.


විමල්ට, සුරාජ්ට, සිරිතුංගට, ඔබට හා මට ඒ බුදු වදන් තවමත් වැටහී ඇත්ද? වැටහී ඇත්නම් ඒ කොපමණ දුරකටද?

"ආනන්ද, සර්පයා දුටුවාද?"

-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

10/31/2014

සරච්චන්ද්‍රයන් එක්තරා යුගයක්, එක්තරා සමාජ බලවේගයක්

කතෘ:යුතුකම     10/31/2014   1 comment
ගුණදාස අමරසේකර

දිවි ම‍ඟෙහි සැඩ සුළං
හෙණ ගිගුම් කළු වලා
අතරතුර නොසැලෙමින්
නඟා ගත් හිස ඇතිව
නැඟුණු රන් කොත් අයුරු
මොහු ද නොසැලී සිටියි...


රාමනාදන් ශාලාවේ වහලයේ රන්කොත සරච්චන්ද්‍රයන්ට උපමා කරමින් ‘රන්කොත’ නම් කාව්‍ය රචනා කරන ගුණදාස අමරසේකරයන් තරම් සරච්චන්ද්‍රයන්ගේ ජීවන ගමන ගැන විග්‍රහයක යෙදෙන්නට සුමට වූ කෙනෙක් පිළිබඳ මා මතකයට නොනැ‍ඟේ. අමරසේකරයන්, සරච්චන්ද්‍රයන්ගේ භාව පූර්ණ, රස පූර්ණ නිර්මාණකරණයේ සැබෑ ස්වරූපය පිළිබඳ සවිඥානික ව පුද්ගලබද්ධ විචාරයකින් තොර ව ඒ නිර්මාණයන්ට පසුබිම් වූ සමාජ, ආර්ථික, දේශපාලන කියැවීම ද මේ සංලාපය ඔස්සේ මැනවින් අවධාරණය කරයි. සරච්චන්ද්‍රයන්ගේ සාර්ථකත්වයට තුඩු දුන් කාරණා මෙන් ම ඔහුගේ පැවැති දුර්වලතා ද පමණක් නොව ඔහු එක්තරා යුගයක් නියෝජනය කරන දේශීය බුද්ධිමතා වශයෙන් ද හේ මෙහිදී සරච්චන්ද්‍රයන් හඳුනා ගනී. මේ කියැවීම බෙහෙවින් වැදගත් වන්නේ ප්‍රශස්ති හෝ නිර්දය විචාරයකින් තොර ව විචාරක්ෂියෙන් යුතු ව සරච්චන්ද්‍රයන් අවලෝකනය කරනා බැවිනි. ජන්ම ශත සංවත්සරය සමරන මේ මොහොතේ සරච්චන්ද්‍ර උපහාර කලාපයෙන් මුවදොර වදනට අමරසේකරයන් මේ ගෙන එන ආලෝකය සරච්චන්ද්‍ර කියැවීමේ නව මාන උදාකරන බැව් අවිවාදිත ය.

ඔබ සරච්චන්ද්‍රයන් හඳුනාගන්නේ 50 දශකයේ මුල් භාගයේ පමණ බව මා අසා තිබෙනවා.

නෑ. ඊටත් ටිකක් කලින්. 40 දශකයේ අගභාගයේ පමණ. ඒ කාලෙ මම හිටියෙ විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියේ. සරච්චන්ද්‍ර මහත්තයා එංගලන්තයට ගිහින් පශ්චාත් උපාධිය නිමා කරලා ආව අලුත. එතුමා ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහනක් ආරම්භ කළා ‘යෞවන සමාජය’ කියලා. තරුණ පිරිස් හැටියට අපි මේකට ඒ කාලෙ කන් දුන්නා. මමත් මේ වැඩසටහනට කතාවක් යැව්වා. ‘හ‍ඳේ පෙම්වතා’ ඒකෙ නම. ඒ කතාව සරච්චන්ද්‍රයන් බොහොම අගය කරලා නාට්‍යමය ස්වරූපයෙන් ඉදිරිපත් කළා. ඊට පස්සේ දිගින් දිගටම සම්බන්ධතාව ඇතිවුණා. රිජ්වේ තිලකරත්න, පී. වැලිකල ඇතුළු අපි කීප දෙනෙක් ඒ වැඩසටහන නිසා තමයි සරච්චන්ද්‍රයන් හඳුනා ගත්තේ. එතුමා ඒ කාලෙ හිටියේ ඩික්මන් පාරේ මොරිස් ඇවනිව් එකේ. අපි නිතර ම එතැනට ගියා.

විදෙස් ප්‍රකාශන සමාගමකින් පළ කළ කෙටිකතා සංග්‍රහයකට ඔබ ඉදිරිපත් කළ කෙටිකතාවක් ඉංග්‍රිසියට පරිවර්තනය කළෙත් සරච්චන්ද්‍රයන් යැයි ඔබ පුවත්පතකට පවසා තිබුණා.

ඔව්. පනහේ දශකයේ මුල් භාගයේ ලංකාදීප පත්තරේ තිබුණා ‘ජගත් කෙටිකතා තරගය’ කියලා එකක් ගැන. මමත් මේකට කෙටිකතාවක් යැව්වා. මෙහි විනිශ්චය මණ්ඩලයේ හිටියේ සරච්චන්ද්‍ර, එම්. ජේ. පෙරේරා වගේ අය. ඉතින් ඔබ කිව්වා වගේ එතුමා මගේ කෙටිකතාවක් තේරුවා පමණක් නොවෙයි එය ඉංග්‍රීසියට පරිවර්තනයත් කළා.

සරච්චන්ද්‍රයන්ට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ධුරයක් ලැබී නික්ම යාමත් සමඟ ඔබ සමඟ පැවැති ඇසුර දුරස් වූවා ද?

සරච්චන්ද්‍රයන් මුලින් ම හිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ, පාලි අංශයේ. සිංහල අධ්‍යයන අංශයේ නොවෙයි. ඔහු දර්ශනශූරී උපාධිය කළෙත් බෞද්ධ දර්ශනය විෂයෙන්. ඊට පස්සෙ තමයි පේරාදෙණිය සිංහල අධ්‍යයන අංශයට ගියේ. සරච්චන්ද්‍ර කියන මේ පුද්ගලයා ඒ යුගය, ඒ සමාජය ඒ අවදිය මත තබලා සලකා බැලීම ඉතා වැදගත්. සරච්චන්ද්‍ර මහත්මයා ගැන ගැඹුරින් අවබෝධයක් ලබාගන්න නම් ඒක අවශ්‍යයයි. මම හිතන හැටියට සරච්චන්ද්‍ර කියන්නේ පුද්ගලයකුට වඩා එක්තරා යුගයක, එක්තරා බලවේගයක සංකේතයක් වැනි පුද්ගලයෙක්. එය අපි ගැඹුරින් වටහා ගත යුතුයි. බොහෝ දෙනකුට මේක තේරෙන්නෙ නැහැ. තවත් නාට්‍යකාරයකු, නවකතාකාරයකු විදියටයි අනෙක් අයට එතුමාව පෙනෙන්නේ.

මම හිතන හැටියට මේ රටේ ඉංග්‍රීසිකාරයන් ව්‍යාප්ත කරපු අධ්‍යාපනයෙන් පහළ වෙච්ච පළමුවැනි බුද්ධිමතා සරච්චන්ද්‍රයන්. මාර්ටින් වික්‍රමසිංහ, සෙනරත් පරණවිතාන වගේ අය ඉංග්‍රීසි ඉගෙන ගත්තට ඉංග්‍රීසිකාරයන් විසින් මෙරට ව්‍යාප්ත කරපු ඔවුන්ගේ අධ්‍යාපනය ලබලා බිහිවෙච්ච අය නොවෙයි. එසේ බිහි වූ පළමු බුද්ධිමතා, ප්‍රාඥයා සරච්චන්ද්‍ර කියලා මම හිතනවා. මෙය වර්තමාන පරපුර දැනගත යුතු කාරණයක්. අධිරාජ්‍යවාදීන්ගේ අරමුණ වුණේ ඔවුන් අනුව යන අධිරාජ්‍යවාදී ගැති පිරිසක් අධ්‍යාපනය මඟින් බිහි කරගන්නයි. මේ රටේ විශ්වවිද්‍යාල පටන් ගත්තේත් ඒ අරමුණින්. එහෙම නැතිව රට ගැන, ජාතිය ගැන අවධානය යොමු කරපු බුද්ධිමතුන් පිරිසක් බිහි කිරීම නොවෙයි ඔවුන්ගේ අරමුණ වුණේ. ඉතින් ඒ අවදියේ තමයි සරච්චන්ද්‍ර කියන මේ පුද්ගලයා අපට හමුවෙන්නේ. ඒ අවදියේත් මේ රටේ හිටියා උසස් පන්තියක්, ඒ වගේම උසස් මධ්‍යම පන්තියක්. මේ අයට තිබුණේ රට ගැන, ජාතිය ගැන හැඟීමක් නොවෙයි.

ඒ පෙළැන්තියේ බොහෝ අයගේ ඒකායන අරමුණ වුණේ සිවිල් සේවයට එකතු වීම. නමුත් සරච්චන්ද්‍රයන් මේ ජනප්‍රිය මාර්ගය ප්‍රතික්ෂේප කරනවා. ඒ කාලේ සිවිල් සේවයට එකතු වෙනවා කියන්නේ ජීවිතයේ මුදුන් පෙත්තට ළඟාවුණා වගේ හැඟීමක් තිබුණු කාලයක්. ඒක පිටුදැකපු එක ම පුද්ගලයා සරච්චන්ද්‍රයන්. එවැනි තීරණයක සිටීම ඒ කාලේ ඉතා අසීරු දෙයක්. නමුත් ඔහුට අවශ්‍ය වුණේ සිවිල් සේවයට යන්න නොවෙයි.


නමුත් ඔහු සිවිල් සේවා තරග විභාගය සඳහා පෙනී සිටිනවා.

ඔව්. මවුපියන්ගේ බල කිරීම මත එතුමා තරග විභාගය සඳහා පෙනී සිට තිබෙනවා. ඔහු ප්‍රශ්න පත්‍රවලින් ඊට සුදුසුකම් ලැබුවා. හැබැයි වාචික පරීක්ෂණයට යද්දි ඔහු නේරු කැප් එකක් දාගෙන ගිහින් තියෙනවා, ඒ මේකෙන් ගැලවෙන්න හිතාගෙන. ඔහුට එත­ැනදි ලකුණු පහයි ලැබිලා තියෙන්නේ. 5 ක් දීලා තියෙන්නේ ඊට වැඩිය ලකුණු දුන්නානම් තේරෙන නිසාලු. ඔහුත් එක්ක එකටම හිටිය එම්. ජේ. පෙරේරා, ඩී. ජේ. දයාරත්න වගේ අය සිවිල් සේවයට ගියා. ඒ වගේ දෙයක් ප්‍රතික්ෂේප කරන්න තරම් සරච්චන්ද්‍රයන් ආත්ම ශක්තියක් හා ප්‍රඥාවක් තිබුණු කෙනෙක්.

ඒ යුගයේ පහළ වුණු ඉංග්‍රීසි අධ්‍යාපනය ලබපු පුද්ගලයකුට මේ වගේ ආකල්පවලින් යුතු ව, අධිරාජ්‍ය ගැති මනසින් තොර පුද්ගලයෙක් හැටියට නැඟී සිටින්නට හැකිවීම සුවිශේෂී සිද්ධියක් හැටියට අපට දැකිය හැකියි. දැන් වගේ පරිපාලන සේවය ඒ කාලේ පහතට වැටිලා තිබුණේ නැහැ. මධ්‍යම පන්තියෙන් ආව අයට සිවිල් සේවයට තේරෙනවා කියන්නේ හතරමහ නිධානෙ පහළ වුණා වගේ. මහ විශාල දෑවැද්දක් එක්ක ගැහැනියක් විවාහ කරගෙන සමාජයේ ඉහළින් වැජඹෙමින් කාලය ගෙවාගන්න සිවිල් සේවය ඒ කාලේ බොහොම ප්‍රයෝජනවත් වුණා. එතුමා මේ සියල්ල ප්‍රතික්ෂේප කරන්නට තරම් ආත්ම ශක්තියක් තිබු පුද්ගලයෙක්. මේ වගේ බුද්ධිමත්තු ඒ කාලේ අවශ්‍ය වී තිබුණා. එහි පළමුවැනියා වශයෙන් සරච්චන්ද්‍රයන් හඳුන්වා දිය හැකියි.

සරච්චන්ද්‍රයන්ගේ ‘Sinhalese Novel’ කියන පොතේ සිංහල හා ඉංග්‍රිසි යනුවෙන් නවකතාව වර්ග කළා ම සිංහල නවකතාව කියලා එකක් තියෙනව ද කියලා බොහෝ අය එතුමාගෙන් විමසා තිබුණා.

මට මතකයි සරච්චන්ද්‍ර මහත්තයා මේ පොත අතින් වියදම් කරගෙන ද කොහේද මුද්‍රණය කළේ. පසුව ගුණසේන සමාගමෙන් මුද්‍රණය කළා. මුල් කාලේ එතුමා මේ පොත බෙදා දුන්නාලු කියවන්න කියලා. එහෙම කියවපු අය අහලා තියෙනවා සිංහල නවකතාව කියලා එකක් තියෙනව ද කියලා. ඒකෙන් අපට පේනවා මොන තරම් අධිරාජ්‍යවාදී මනසක් ද තිබුණේ කියලා. අන්න ඒ නිසා තමයි මම කියන්නේ, සරච්චන්ද්‍රයන් පුද්ගලයෙක් නොවෙයි, එක්තරා යුගයක්, එක්තරා සමාජ බලවේගයක් ප්‍රතිමූර්ති කළ ප්‍රාඥයෙක් හැටියට හැඳින්විය හැකියි කියා. එහෙම බිහිවුණු පළමු පුද්ගලයාත් සරච්චන්ද්‍රයන් කියලා මම කියන්නේ ඒකයි.

ඔබ මේ සඳහන් කරන කාරණා ඔබේ ජීවිතයට කළ බලපෑම ගැන කතා කළොත්.

ඔහු මගේ ජීවිතයට විශාල බලපෑමක් කළා. අපේ ජීවිතයේ පරමාර්ථය විය යුත්තේ අධිරාජ්‍යවාදී ගැතිවීම නොවේ ය, මේ රට වෙනුවෙන් සේවයක් කරන්න අපට පුළුවන් ය කියන අවධානය අප වෙත යොමු කළ පරමාදර්ශී චරිතයක් සරච්චන්ද්‍රයන්. ඒක මගේ ජීවිතයට හුඟක් බලපෑම් කළා. අපේ පරමාර්ථය ඉගෙන ගෙන ලොකු රස්සාවල් කරලා ලොකු පවුල් වලින් කසාද බැඳගෙන වැජඹෙන්න නොවේ ය ඊට වඩා උසස් පරමාර්ථ අපට තියෙනව ය කියන එක අපේ මනසට වැටුණේ ඔහු නිසා.

සරච්චන්ද්‍රයන් අපට අනන්‍ය වූ නාට්‍ය කලාවක් හඳුන්වා දීමේ ප්‍රමුඛයා බවට පත් වෙනවා. මෙය ලාංකේය නාට්‍ය වංශකතාවේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස හැඳින්විය හැකියි.

එතුමා කළ විශිෂ්ට ම සේවය තමයි සිංහල නාට්‍ය කලාවක් බිහි කිරීම. ඒක ජාතික අවශ්‍යතාවක් වෙලා තිබුණේ. නොයෙක් නාට්‍යකරුවෝ ඒ කාලෙ හිටියා, ජෝන් ද සිල්වා ඇතුළු ව. මේ අය අතරින් සරච්චන්ද්‍රයන් තමයි අපට අනන්‍ය වූ නාට්‍ය කලාවක් බිහි කළේ.

මෙතන්දි එක්තරා ප්‍රශ්නයක් මතු වෙනවා. ඔහු නාට්‍ය බිහි කළේ ගැමි නාට්‍ය ආශ්‍රයෙන්. අපේ ගැමි නාට්‍ය, තොවිල් පවිල්, නාඩගම් ආශ්‍රයෙන්. හැමෝම නඟන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අපට නාට්‍ය කලාවක් තිබුණේ නැති ය, සරච්චන්ද්‍රයන් ගැමි නාට්‍ය ආශ්‍රයෙන් පළමුවෙන් ම නාට්‍ය කලාවක් බිහි කළා ය කියන එක. මම හිතන්නේ එහෙම දෙයක් කරන්න අමාරුයි කියලයි. ගැමි නාට්‍ය කියන එක බොහෝ විට බිහිවෙන්නේ විදග්ධ නාට්‍යයක් ඇසුරෙන්. විශේෂයෙන් ම අපේ ගැමි කවිය ගත්තොත් යශෝදරාවේ එහෙමත් නැත්නම් වෙස්සන්තර කතාවේ අපට පෙනෙනවා ඒවා අර කෝට්ටේ යුගයේ ‘ගුත්තිලය’ වගේ විදග්ධ කාව්‍යවලම දිගුවක් වගේ කියලා. නැත්නම් විදග්ධ කලාව ජනතාව අතට පත් වුණාම බිහිවුණු දෙයක් වගේ. ඒ දෙක අතරේ ලොකු වෙනසක් ඇත්තෙ නැහැ. ගැමි නාට්‍යයේ වුණත් තියෙනවනේ යම් යම් විදග්ධ ලක්ෂණ. අපිට කියලා විදග්ධ නාට්‍ය කලාවක් මේ නිසා නොතියෙන්න විදියක් නෑ. ඇත්ත වශයෙන් ම සරච්චන්ද්‍ර මහතා මේවා පාවිච්චි කළා, එහෙමත් නැත්නම් ප්‍රතිනිර්මාණයක් කළා. අලුතින් කළ දෙයක් නෑ. ප්‍රතිනිර්මාණයට අවශ්‍ය දේවල් ගැමියන් ලබන්න ඇත්තේ එදා සමාජයෙන්.

ඔහු වඩාත් සුමට ලෙස භාවිතයේ යෙදුණේ කාව්‍යකරණයේ බව ඔබ නිතර අවධාරණය කරන්නක්. ඔබේ ‘සිංහල කාව්‍ය සම්ප්‍රදාය’ කෘතියේ එදා මෙදාතුර පහළ වූ කවීන් තිදෙනා ලෙස තොටගමුවේ රාහුල හිමි, මුනිදාස කුමාරතුංගයන් හා සරච්චන්ද්‍රයන් නම් කිරීමට තරම් එතුමාගේ කාව්‍යකරණය පිළිබඳ ඔබට ඇල්මක් තිබෙනවා.

ඇත්ත වශයෙන් ම ඔහුට පුදුම කවි ශක්තියක් තිබුණා. ඔහුගේ නාට්‍යවල තියෙන්නෙත් ඒ කාව්‍යාත්මක ආභාසය. ඒකට බලපෑම් කළ දෙයක් තමයි එතුමාට තිබුණු සිංහල භාෂාවේ කාව්‍යයට අදාළ ව්‍යංජන ශක්තිය පිළිබඳ ගැඹුරු අවබෝධය. ඔහුගේ නාට්‍ය ගීත අරන් බැලුවම පේනවා ඒවා මොන තරම් විශිෂ්ට කාව්‍ය නිර්මාණ ද කියන එක. මුනිදාස කුමාරතුංගයන්ටවත් තිබුණේ නැහැ, සරච්චන්ද්‍රයන්ට තරම් සිංහල භාෂාවේ ව්‍යංජන ශක්තිය පිළිබඳ අවබෝධයක්. ඒ නිසා මූලික වශයෙන් සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණ අතරින් අප වඩාත් අවධානයට ලක්කළ යුතුයි, ඔහු දෘෂ්‍ය කාව්‍ය රචකයෙක් ලෙස.

සරච්චන්ද්‍රයන්ට නාට්‍යකරණයේ දී බටහිර නාට්‍ය ආභාසයක් තිබුණා යැයි ඔබ සිතනව ද?

මට එහෙම හිතෙන්නෙ නැහැ. මම හොඳට දන්නවා බටහිර නාට්‍ය ඇසුරෙන් තමයි සිංහල නාට්‍ය ගොඩනැඟිය යුතු කියලා ඔහු මුල් කාලෙ සිතුවා. දෙබස් නාට්‍යයෙන් අපේ නාට්‍ය බිහි කරන්න පුළුවන් කියලයි ඔහු සිතුවෙ. ඔය දෙබස් නාටකය කියන එක ඇත්ත වශයෙන් මෑත යුගයේදී විශේෂයෙන් බටහිර නවකතාව බිහිවීමෙන් පසුව ඇතිවුණු ආකෘතිකයක්. දෙබස් නාට්‍ය කියන්නේ නවකතාවේ ම දිගුවක්. නාට්‍ය කලාව ජාතියක සංස්කෘතික මූලයන් එක්ක සම්බන්ධ වෙච්ච ඊට වඩා බොහොම ඈතට දිවයන කලාවක්. බොහොම ඉතිහාසයක්, සංස්කෘතියක් තියෙන රටවල බිහිවෙන්නේ අතීතයේ ඉඳන් සම්ප්‍රදාය මඟින් ආභාසය ලැබු නාට්‍යය. ජපානය, චීනය, ග්‍රීක නාට්‍ය එහෙමයි. සරච්චන්ද්‍රයන් ඒ විදියේ නිර්මාණ කාර්යයක නිරත වීම ඉතාම වැදගත්. අපේ ගැමියන් අතර තිබුණු දෙයින් අපට අනන්‍ය වූ නාට්‍ය කලාවක් බිහිකර ගත හැකි ය කියලා කල්පනා කිරීම ම වැදගත්.

සරච්චන්ද්‍රයන් ශෛලිගත නාට්‍යයේ සිරකරුවකු වුණා ද?

කොහොම ද එහෙම කියන්නේ. නාට්‍ය කියලා මම මූලික වශයෙන් හඳුනාගත්තේ ශෛලිගත නාට්‍යයයි. දෙබස් නාට්‍ය මේ මෑත කාලයේ ආව දෙයක්. දෙබස් නාට්‍යවලින් කළ හැකි මෙහෙය ඉතා සීමිතයි. ශෛලිගත, සාම්ප්‍රදායික නාට්‍ය කලාව බොහොම ගැඹුරු, රටක සංස්කෘතියත් එක්ක බද්ධ වුණු, හර පද්ධති උකහා ගත්, ජාතියේ අධ්‍යාත්මය හා බැඳුණු නාට්‍ය ක්‍රමවේදයක්.

සමාජ, ආර්ථික, දේශපාලන කියැවීමකට වඩාත් උචිත මාධ්‍ය වශයෙන් ඔබ සලකන්නේ කුමන මාධ්‍යය ද?

නවකතාවෙන් කරන්නේ මොකද්ද, කවියෙන් මොකද්ද කරන්නේ, දෘෂ්‍ය කාව්‍යයෙන් කරන්නේ මොකද්ද කියලා අප මෙහිදී සිතිය යුතු වෙනවා. දැන් නවකතාවෙන් විශේෂයෙන් ම දේශපාලන, සමාජ ප්‍රශ්න මුල්කර ගත් කියැවීමක්නෙ කරන්නේ. නවකතාව මූලික වශයෙන් පාඨකයාගේ බුද්ධිය මුල්කර ගෙනයි බිහි වෙන්නේ. බටහිර පුනරුදයෙන් පසුව බිහිවුණු බටහිර නවකතාවත් එහෙමයි. කවියයි නාට්‍යයි ඊට වඩා වෙනස් දෙයක්. ඒවායෙන් මූලික වශයෙන් කරන්නේ අපේ හදවතට ආමන්ත්‍රණය කිරීම. හදවතට ආමන්ත්‍රණය කිරීමෙන් තමයි කවියා වර්තමාන තත්ත්ව ගැන වුණත් කතා කරන්නේ. නවකතාකරුවා බුද්ධියෙන් තමයි හදවතට ආමන්ත්‍රණය කරන්නේ. රසභාව මැව්වට මූලික වන්නේ බුද්ධිය. දෘෂ්‍ය කාව්‍යකරුවාගේ මූලික අරමුණත් හදවතට ඇමතීම.

ඔබ මේ කියන නවකතාව හා කවිය අතර පැවතිය යුතු මූලික අරමුණ වත්මනෙහි මාරුවී ඇතැයි මට සිතෙනවා. කවියෙන් බුද්ධියටත්, නවකතාවෙන් හදවතටත් වශයෙන්.

ඒ දෙක නම් හරියන්නේ නෑ. නවකතාව මූලික වශයෙන් බුද්ධිය හරහා රසභාව නිර්මාණය කරන්නක්. කවියෙත්, දෘෂ්‍ය කාව්‍යයෙත් අදහස් කියා දෙයක් නැහැ. රස බවට පත්වීමක් තියෙන්නේ. නවකතාව ඊට වෙනස්.

සරච්චන්ද්‍රයන් නවකතාකරණයේ දී ඔබ කියන ක්‍රමවේදයට වඩා එනම් බුද්ධියට වඩා හදවතටයි ආමන්ත්‍රණය කළේ.

ඔහු නවකතාකරුවෙක් විදියට ඒ තරම් වැදගත් මෙහෙයක් කළා යැයි මට හැ‍ඟෙන්නේ නැහැ. ඔහු නියම වශයෙන් නවකතාකරුවෙක් කියලා කියන්නත් බෑ. මාර්ටින් වික්‍රමසිංහ වගේ නවකතාකරුවෙක් එක්ක ගත්තම ඔහු දුර්වල නවකතාකරුවෙක්. හේතුව ඔහුගේ මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු දා, විලාසිනියකගේ ප්‍රේමය වගේ හැම එකක් ම ගද්‍ය නොවේ පද්‍ය ගීත. නවකතාවෙන් අප බලාපොරොත්තු වෙන දේවල් ඒකෙන් ලැබෙන්නේ නෑ. ඒ දුර්වලකම සරච්චන්ද්‍රයන්ගේ නවකතා විචාරයේත් තිබුණා. විචාරයේදීත් ඔහු නවකතාවෙන් කෙරෙන කාර්යය කුමක් ද කියලා අවබෝධ කරගත්තේ නැහැ. නවකතා වශයෙන් ඔහුගේ නවකතාවල ඒ තරම් වැදගත් දෙයක් නැහැ. නවකතාවේදී කරන්නේ ඒ යුගය පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කරලා, ඒ යුගය පිළිබඳ ව කැඩපතක් නිර්මාණය කිරීමයි. එහෙම නවකතාවක් සරච්චන්ද්‍රයන් අතින් ලියවුණේ නැහැ. ඔහු තමන්ගේ ඒ දුර්වලතාව ටිකක් විතර හදාගත්තා ‘වල්මත් වී හසරක් නොදිටිමි’ කියන නවකතාවෙන්. ඒත් ඒක සාර්ථක වුණේ නැහැ.

සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය, නවකතා ආදි කලා භාවිත ගොඩනැඟුණේ ඔහුගේ පෞද්ගලික ජීවිතයේ යම් යම් සංසිද්ධීන් හරහා යැයි ඔබට සිතෙනව ද?

ඒක අනිවාර්යයෙන් වෙන දෙයක්. ඕනෑම නිර්මාණකරු‍වකු නිර්මාණකරණයේ දී පුද්ගලබද්ධ වීමක් සිදු වෙනවා. තමන්ගේ අත්දැකීම් තමයි නිර්මාණයට බලපාන්නේ. ඔහුගේ ශ්‍රේෂ්ඨ ම නිර්මාණය ‘සිංහබාහු’ පුද්ගලික ඛේදවාචක මුල්කරගෙන බිහි වූ බවයි බොහෝ දෙනා පවසන්නේ.
සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ වගේ නාට්‍යයක් ගත්තොත් එය ලෝකයේ අග්‍රගණ්‍ය ම නාට්‍යවලින් එකක්. මනමේට වඩා මෙය බොහොම ගැඹුරුයි. එය කේරලයේ හා ඉන්දියාවේත් පෙන්නුවා.

නවකතාකරණයේ දී සරච්චන්ද්‍රයන්ට ඔබ මතු කළ සමාජ, ආර්ථික දේශපාලන විඥානය ආගන්තුකයි කියලා හිතෙනවා.

ඒක ඇත්ත. නවකතාකරණයේ දී විතරක් නොවෙයි, සාහිත්‍ය විචාරයේදීත් ඒක වුණා. ඔහු පරිකල්පනීය ඉසව්වක ඉඳලයි නිර්මාණකරණයේ නිරත වුණේ.

සරච්චන්ද්‍රයන් විශ්වාස කළේ අපිට ස්වාධීන සාහිත්‍යයක් නැති බව නොවේ ද? ඔහු ලංකාවේ සංස්කෘතිය දුටුවේ භාරතීය සංස්කෘතියේ කොටසක් විදියටයි.

ඔහු එසේ සිතීම සම්පූර්ණයෙන් ම වැරදියි. ඒක එක හේතුවක්. වික්‍රමසිංහ එහෙම හිතුවෙ නැහැ.
ඔහු නිතර ම හිතුවෙ අපට අනන්‍යතාවක්, විචාරයක්, කලා නිර්මාණයක් තියෙනවා කියලයි. සරච්චන්ද්‍රයන් මේක අමතක කළා. ඔහු සිතුවේ අප භාරතීය සංස්කෘතියේ ම කොටසක් විදියටයි. ඒ වගේම ඔහුට දේශපාලනමය වශයෙන් දැනුමක්, අවබෝධයක් තිබුණෙත් නැහැ. බෞද්ධ දර්ශනය පිළිබඳවත් ඔහුට එහෙම බැඳීමක් තිබුණේ නැහැ.

නමුත් ඔහු තමන්ගේ ආචාර්ය උපාධි නිබන්ධයට කරන්නේ බෞද්ධ දර්ශනය. ඔහු බෞද්ධ දර්ශනය වැලඳ ගත්තේ බුද්ධියෙන් මිසක් හදවතෙන් නොවේ යැයි මට සිතෙනවා.

ඒක ඇත්ත. ඔහු ඒ නිරත වුණේ ශාස්ත්‍රීය කටයුත්තකනේ. ඇත්ත වශයෙන් සරච්චන්ද්‍රයන් සියලුම විශිෂ්ට ගතිගුණත් ඔක්කොම එක්ක අපේ සිංහල, බෞද්ධ, ගැමි සංස්කෘතියෙන් බිහිවුණු චරිතයක් ය කියලා කියන්න අමාරුයි. ඒ දුර්වලතාව ඔහුගේ සියලු ම දේට බලපෑවා. දේශපාලනය, විචාරය, නිර්මාණකරණය වගේ මේ හැම දෙයකට ම බලපෑවා. වික්‍රමසිංහ වගේ චරිතයක් ගත්තොත් ඔහු ගමෙන් ඇවිත්, ගමේ ජීවත්වුණු චරිතයක්. සරච්චන්ද්‍රයන්ට එහෙම දෙයක් තිබුණේ නැහැ. අපේ සංස්කෘතිය ගැන අවබෝධයක් ලබාගන්න ඔහු උත්සාහ කළේ බුද්ධියෙන් නොවේ, හදවතෙන්.

‘මනමේ’ වගේ නාට්‍යයක් ගත්ත ම සිංහල සංස්කෘතික ආභාසය යම් මට්ටමකට හෝ ඔහුට තිබුණා යැයි කියාත් සිතෙනවා.

ඔහුට ඒ පිළිබඳ බුද්ධිමය වශයෙන් පරිචයක් තිබුණා. හදවතෙන් ආව එකක් නොවෙයි. ඒ නිසා තමයි අපට ආගන්තුක බවක් දැනෙන්නේ.

මුල් කාලයේ පටන් තිබුණු ඔබගේ දේශපාලන නැඹුරුවත්, සරච්චන්ද්‍රයන්ගේ සාහිත්‍ය නැඹුරුවත් ගළපා ගන්නේ කෙසේ ද?

මුල් කාලයේ මම ඔහු ළඟින් ම ඇසුරු කළා. ඒ නිසා මම ඔහුගේ අනුගාමිකයෙක් හැටියට කටයුතු කළා කියන්නත් පුළුවන්. සරච්චන්ද්‍රයන් හා වික්‍රමසිංහයන් අතරේ ලොකු වාද විවාද යද්දි මම මුලින් හිටියේ සරච්චන්ද්‍රගේ පැත්තේ. ඒත් පසුව මට තේරුණා සරච්චන්ද්‍රයන්ගේ ආකල්ප හා දෘෂ්ටිය බොහොම සීමා සහිත බව. කොටින් ම කියනවනම් එක්තරා අවදියක දී මට තේරුණා සරච්චන්ද්‍ර මහතා මූලික වුණු පේරාදෙණි සාහිත්‍යයේ කිසිම හරයක් නෑ කියලා. මේ සමාජයේ බොහොම සුළු පිරිසක් මූලික කරගෙන බිහිවෙච්ච, සෙසු මාධ්‍යයෙන් වියෝ වුණු සාහිත්‍යයක් හැටියට මට මේක දැනෙන්න පටන් ගත්තා. මේක මුළුමහත් ජනතාවගෙන් බිහිවුණු සාහිත්‍යයක් නොවේ ය කියන මට වැටහුණා. මීට වඩා සමාජයට, සාහිත්‍යයට වැඩක් කළ යුතුයි කියලා මට සිතුණා.

ඔබ පේරාදෙණි ගුරු කුලයෙන් ඈත් වීමත් එක්ක සරච්චන්ද්‍රයන් ඔබ කෙරේ දැක්වූවේ කවරාකාර ප්‍රතිචාරයක් ද?

සරච්චන්ද්‍රයන්ට පස්සෙ කාලෙදි මම එහෙම කළේ ඇයි කියලා වැටහුණා. පස්සෙ කාලෙ සරච්චන්ද්‍ර මහත්තයා ධර්මිෂ්ට සමාජය එහෙම ලියන කොට ඒ ගැන අවබෝධයෙන් හිටියේ. මුලින් ඔහු හිතුවෙ මගේ ආස්ථානය පුද්ගලික එකක් කියලයි. සරච්චන්ද්‍රයන්ට මේක තේරෙන්න කාලයක් ගියා.

ඔහු විචාරයේ දී ඉතා අවංක විචාරකයෙක්. එයට පේරාදෙණි ගුරුකුලය බලපෑවේ නැහැ.

සාහිත්‍යකරුවකු, බුද්ධිමතකු වශයෙන් ඔහු බොහෝ දුරට අවංක පුද්ගලයෙක්. සාහිත්‍ය කලා මතවාද, ප්‍රවණතා ගැන නිර්භයව අදහස් ප්‍රකාශ කිරීමේ දැඩි උවමනාව ඔහුට තිබුණා. 86, 87 ජේ වී පී කලබල තියෙන කාලෙ ‘ගනඳුරු මැදියම දකිනෙමි අරුණලු’ කියන පොත මම ලිව්වෙ. ඔහු ඒ පොත ඉතාම ඉහළින් අගය කළා. ඔහු එය දශක ගණනාවකින් ලියවුණු හොඳ ම පොතක් කියලා වර්ණනා කළා. ඔහුගේ සාහිත්‍ය මතවාද පිළිබඳ ව තිබු අවංක භාවය හැරෙන්නට ඔහුට එහෙම ලියන්න හේතුවක් නෑ. අපේ අදහස් මතවාද නොගැළපීම වෙනම ම දෙයක්. ඒත් සාහිත්‍ය මතවාද, නිර්මාණකරණය වගේ දේවල් ඉතා අවංකව කළ යුතුයි කියලා ඔහු විශ්වාස කළා. ඒක විශිෂ්ට ගුණයක්.

ඔහුගේ අවංක සාහිත්‍ය විචාරයත්, නිර්මාණකරණයේ දී පොදු ජනතාවගෙන් වියුක්ත කලා සේවනයකුත් ඇතිවීමට බලපෑම් කළේ සරච්චන්ද්‍රයන් පෙර කී සංස්කෘතීන් දෙකේ අතරමැදියකු වීම ද?

සරච්චන්ද්‍රයන් හිතුවෙ ස්වාධීන සංස්කෘතියක් අපට නෑ කියලනේ. එතුමාට ඒ සංස්කෘතික විඥානය තිබුණේ නැහැ. සංස්කෘතික විඥානයක් නැති කෙනාට දේශපාලන විඥානයක් ඇතිවෙන්නෙත් නෑ. ඒ දෙක එකට යන්නේ. සරච්චන්ද්‍රයි, වික්‍රමසිංහයි සන්සන්දනය කරද්දී මේක හොඳට වටහාගන්න පුළුවන්. මාර්ටින් වික්‍රමසිංහ වැනි කෙනෙක් පොළොවේ මුල් එක්ක බිහිවුණු සමාජ, ආර්ථික, දේශපාලන දැනුමක් තියෙන, විඥානයක් තියෙන නිර්මාණකරුවෙක් විදියටයි අප හඳුනා ගන්නේ. සරච්චන්ද්‍ර එහෙම නැහැ. ගැඹුරු සංස්කෘතික, දේශපාලන විඥානයක් ඇතිව නොවෙයි නිර්මාණකරණයේ නිරත වුණේ. ඔබ කියන කරුණට හේතුව එයයි. ඔහුට උවමනාව තිබුණා අපේ සංස්කෘතිය හඳුනාගන්න.
හැබැයි ඔහුට ඒක හදවතින් කරන්න බැරිව ගියා. ඔහු නිරත වුණු නිර්මාණ මාධ්‍යයටත් ඒක ඒ තරම් වලංගු වුණේ නැහැ. නවකතාකරුවෙක් විදියට ඔහු දුර්වල වී සිටින්නේ ඒ නිසයි. කවියෙක්, දෘෂ්‍ය කාව්‍ය නිර්මාණකරුවෙක් විදියට ඔහු සාර්ථක වෙන්නෙත් ඒ නිසා. එයයි අප වටහා ගත යුතු වෙන්නේ. ඔහු කවියේ රස නිෂ්පාදනය වෙන හැටි හොඳට දැනගෙන හිටියා. අනෙක ඔහු විස්මය උපදවන කාව්‍ය විචාරකයෙක්. මම ලියපු කවිවලට හිටපු හොඳම රසිකයා සරච්චන්ද්‍රයි. එකම දේ ඔහු කාව්‍ය විචාරයේ ඒ හැටි නිරත වුණේ නැහැ. ඒක ඉතාමත් අභාග්‍යයක්.

10/29/2014

තාත්තගේ ඕස්ට්‍රේලියා ගමන...

කතෘ:යුතුකම     10/29/2014   10 comments

වීසා එක ලැබුන දා දූලගේ දිහාවට
තාත්තගෙ ඉහේ මල් පිපුන වාගෙයි දැනුනෙ
නොදන්නා රට වලට මට ගිහින් පුරුදු නෑ
අපෙ මහත්තයා ගොහින් බලාගෙන එන්නකෝ
හාමිනෙත් කිවු නිසා තාත්තගෙ හිත හොඳයි
නෑදෑයො පැවසුවෙත් තාත්තගෙ පින තමයි......

මෙල්බර්න් නගරයට ගොඩබැස්සෙ පාන්දර
අළුත්ම සැප රියෙන් අලුත් ගෙයි දොරකඩට
වේගෙ සීයක් නිසා තදබදය නැති නිසා
කොයි තරම් දුර උනත් පැයට මත්තෙන් ගෙදර.....

මුණුපුරයි මිණිපිරියි සීයාව පිලිගන්න
ටෙඩී කෙනෙකුත් අරන් සීයාට දොයියන්න
දණ නමලා පිලිගත්තේ තාත්තව ආදරෙන්
තුන් මාසයක්ම දැන් අපි එක්ක හිටියැහැකි
දවසක්ම මග ගෙවලා මහන්සියි තාත්තට
ඕනෙනම් නාගන්න උණුවතුර ගේ ඇතුලෙ.....

තාත්තේ මෙහෙ ඉතිං ලංකාව වගෙ නෙවෙයි
ජීවිතේ ගෙනියන්න හරි පහසුකම් ගොඩයි
කෝන් ෆ්ලෙකස් වලට කිරි ටිකක් දාගත්තහම
උදෑසන ආහාරෙ තනියමම හැදුවැහැකි
තුන් මාසයක් ඉඳලා අත්දකින විට ඒවා
වචනයෙන් නොකිව්වට තාත්තට තේරේවි.....

සතියකට සෑහෙන්න ඉරිදාට උයාගෙන
පෙට්ටිවල අහුරලා ශීතකරණේ දැම්මහම
ලංකාවෙ වගේ අපි කුස්සියෙම ඉන්නෙ නෑ
කාලයත් ඉතුරුයිනෙ වෙන වැඩක් කර ගන්න
කන වෙලාවට අරන් මයික්‍රෝවේවයෙන්
රත් කරල ගත්තහම දැන් ඉවුවා වගේමයි
තාත්තා ත් ආසයිනෙ උණු උණුවෙ බත්කන්න
හෙට ඉඳලා තාත්තේ ආයිමත් අපිට වැඩ
එහෙ වගේ නෙවෙයි මෙහෙ පාඩුවේ හිටියැහැකි....

දුව උදේ 7ට වැඩ මුණුපුරා පාසලට
මිණිපිරිත් 6 වෙද්දි යන්නෝනැ ඩේ කෙයාර්
ඉන්නවා නම් මෙහේ ළමයිනුත් මෙහෙ වගේ
නොහැදුවොත් කවදාහරි ඔවුන්මයි අනතුරේ
දුවත් බෑනත් එක්ව කියාදෙයි තාත්තට....

තාත්තේ මගේ වැඩ ඇරඹෙන්නේ රෑ අටට
ඒනිසා මම දවල් නිදා ගන්නට ඕනෙ
හම්බඋන රස්සාව එපා කීවොතින් අපි
ආයිමත් හොයන්නට අමාරුයි මේ රටේ
තාත්තට පාලුනම් රූප පෙට්ටිය දාමු
බඩගින්න හැදුනොතින් ශීතකරණයෙ කෑම
ගිම්හානෙ ළඟ නිසා පෙලක් විට රස්නෙ
ගොඩක් රත් වෙනව නම් දාගන්න කූලරය
හීතලක් ආවොතින් දාගන්න හීටරය
ඇසිපියන වේගයෙන් රත්වෙනවා මුලු ගේම...

ටෙලිවිෂන දැම්මාට දෙයක් නෑ බලන්නට
වැඩිමනක් පෙන්නන්නෙ විලිසංගෙ නැති ඒවා
සති ගණන් පල් කරල කාල මට පුරුදු නෑ
ඊට වැඩියෙන් හොඳා හුරුපුරුදු ප්ලේන්ටිය
මගේ දුක දැනුනොතින් දරුවන්ට දුක හිතෙයි
කෑම ටික විසිකරල කෑව වගෙ ඉන්නෝනැ....

බෑන ගෙදරින් ගිහින් පැයක් යන්නට කලින්
දුව එනව කලුවරේ දරුවනුත් එක්කගෙන
අනේ පොඩි හා පැටව් සීතලේ නිදිමතේ
ළමාවිය මෙහෙමදෝ පොඩිඋන්ගෙ ගෙවෙන්නේ
මහන්සියි තාත්තේ... බඩගිනිද තාත්තට
ඉක්මනින් කෑම කමු මම කඩෙන් ගෙනාවා
මුලුදවස වැඩකරල ළමයිනුත් එක්කරන්
එද්දි හරි මහන්සියි උයන්නට අනේ බෑ....

මහා ලොකු බනිසයක මස් ගොඩක් පුරවලා
'පාස්ටා' කියලා තව දකිද්දිත් හිරිකිතයි
කොහොම කනවද මන්ද මේ පුංචි කිරිදරුවො
මේද රහිතයි ඕක මේව හරි ගණන් මෙහෙ
තාත්තා හින්දමයි මම ඕව ගෙනාවේ
ලංකාව වගෙ රටක කොහේ කන්නද ඕව....

ප්ලග් කරලා බ්ලැන්කටය ඔන්න මම රත්කරා
සීතලෙන් පෙරෙව්වොත් ඇවිස්සෙයි වීස් එක
සීතලෙන් උණුහුමින් පරිස්සම් වෙන්නෝනැ
ලෙඩඋනොත් තාත්තගේ ගමනින්ම ඵලක් නෑ...

බෑන මහ පාන්දර වැඩඇරිලා ඇවිල්ලා
තේ එකක් හදනවා., තාත්තත් ඇහැරලා
අනේ ඇයි තාත්තේ නින්ද යන්නේ නැද්ද
කාමරේ සීතලද.. තාත්තට තේ එකක්?
සෙනසුරාදාට අපි අම්මට කතා කරමු
බැලුවැහැකි සුදුමූණ ස්කයිප් තියනවනෙ
අනේ මගෙ හිතේ දුක බෑනාට කොලොප්පම්.....

සෙනසුරාදා දවල් අම්මගගෙන් ඇමතුමක්
අපෙ මහත්තයා ගොහින් සතියකුත් ගතඋනා
කොහොමදෑ ඔයදිහා අහන්නත් බැරිඋනා
මුණුපුරයි මිණිපිරියි සීයාගෙ තුරුල්ලේ
කතන්දර අහනවද ගී සින්දු කියනවද?.....

අනේ මගෙ හාමිනේ අහිංසක පොඩිඑවුන්
පාන්දර ගිහිල්ලා නිදියන්න ගෙට එන්නෙ
එක පවුලෙ අයවෙලත් බෝඩිමක වගෙ ඉන්නෙ
මොන මෝඩකමක්දෝ ඇවිත් මම කරගත්තේ

අනේ හාමිනේ අපි බඩට හරියට නොකා
දරුවන්ට ඉගැන්නුවෙ මෙහෙම දුක් විඳින්නද
ලංකාවෙ ඉන්දැද්දි ආදරෙන් පවුල් කෑ
අපේ දරු පැටව් මෙහෙ ඇවිත් මේ විඳින දුක
මුණුපුරයි මිණිපිරියි ඉන්නෙ උන්ගේ ලෝකෙ
සිංහලෙන් ඇහුවාට උන්ට තේරෙන්නෙ නෑ
දුව තමයි උන් කියන එව්වා මට කියන්නේ
ඉතිං මම කාටදැයි කවි කතා කියන්නේ.....

අපෙ මහත්තයා ඕව ගණනකට ගන්නෙපා
අපි මෙහෙම දුක් උනත් උන් ඉන්නෙ සතුටින්නෙ
ඉනු කඳුලු හංඟගෙන හාමිනේ හිත හදයි
අපි වාගෙ ආදරෙන් පවුල් කනවා තියා
උන් උන්ව හමුවෙන්නෙ හාවා හඳ දකින්නැහෙ.....

අපොයි තව සතියදෑ ගතඋනේ මයෙ මැණිකෙ
කල්පයක් වගෙයි මට මේ ගෙවුනු දවස් හත
තවත් සති එකොලහක් තියෙනවා නෙවෙද මට
මේ සුපිරි හිර ගෙදර ජීවිතේ ගෙවන්නට.....


-නිසංසලා රත්නායක
යුතුකම සංවාද කවය
www.yuthukama.com

10/26/2014

බාලගිරි දෝෂය වැළදුන තී‍්‍ර රෝද රථ නියාමනය

කතෘ:යුතුකම     10/26/2014   2 comments
පුර්විකාව  

ත්‍රීරෝද රථය වූ කලී සාමාන්‍ය මිනිසුන් වන අප කවුරුත් දෛනික ජීවිතයේ විවිධ අවශ්‍යතා සපුරා ගැනීම  සදහා ප්‍රයෝජනයට ගන්නා ප්‍රවාහන මාධ්‍යකි. කොයියම්ම  මොහොතක  හෝ ත්‍රී රෝද රථයක  පිහිට ලබා ගැනීමට අපට සිදු වේ. එහෙත් කර්මාන්තයක් වශයෙන් දියුණු  කළ  හැකි මෙය අද කිසිම නියාමනයකට යටත් නැති රස්තියාදුකාර ස්වරුපයෙන් පවතී. මහජනතාවගේ හිත සුව පිණිස මෙම කර්මාන්තය ඵලදායී ලෙස යොදා ගැනීම රජයේ හෝ වගකිව යුතු නිලධාරීන්ගේ වගකීමක්  වුවත් තවමත් ඔවුන්ගේ ඇස් කන් ඇරී  නැත. මේ පිලිබඳ අවධානය යොමු කරවමින් පහත පළවන ලිපිය මම මීට කලකට පෙර (2014.අප්‍රේල් 03) දිවයින පුවත්පතට ලියූවකි. එහෙත් එය බීරි අලින්ට  වීණා වාදනය කිරීමක්  වැන්නකි. "යුතුකම සංවාද කවය" ඔස්සේ එය  නැවත පළ  කරන්නේ පුරවැසියන් ලෙස අපට මෙහි ඇති වැදගත්කම පිලිබඳ සමාජ දැනුවත් බාවය ඇති කරනු පිණිසය.මෙය අප කාටත් බලපාන පොදු ප්‍රශ්නයකි.

බාලගිරි දෝෂය වැළදුන තී‍්‍ර රෝද රථ නියාමනය

ශ‍්‍රී ලංකාවේ වෘත්තීය ත‍්‍රිරෝද රථ මගී ප‍්‍රවාහන සේවය නව මගකට යොමු කිරීමේ අරමුණෙන් බස්නාහිර පළාත මූලික කොටගෙන පොදු මාර්ගෝපදේශ යෝජනාවලියක් සකස් කැරුණද තවමත් එයට බාලගිරි දෝෂය වැළදී තිබේ. පසුගිය වසරේ මැයි මාසයේ දී සමස්ථ ලංකා ත‍්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය, සමස්ථ ලංකා මීටර් ටැක්සි සංගමය, ස්වයං රැුකියා නියුක්තිකයන්ගේ සම්මේලනය ප‍්‍රමුඛ ත‍්‍රිරෝද රථ සම්බන්ධ අනිකුත් සියලූ සංගම්ද එක්වී සාමුහික එකඟතාවයෙන් යුතුව සැලසුම් සකස් කෙරුණද ඒවා මුද්‍රණ කඩදාසිවලට පමණක් සීමාකිරිමට වගබලා ගැනුනේ එතුළින් මගීන්ගෙන් අසාධාරණ ලෙස මුදල් ගසා කෑමට නොහැකි බව ඇතැම් ඊනියා සංගම්කරුවන්ට පසුව මතක් වූ හෙයිනි.

ඇත්ත වශයෙන්ම ත‍්‍රිරෝද රථ මගී ප‍්‍රවාහන සේවාව විධිමත් කිරීමට පැවති රජයන්ට කොතෙකුත් වුවමනාව තිබුණද මගීන්ගේ දත ගැලවීමට වෙරදරන ඊනියා සංගම්කරුවන්ගේ විරෝධය හමුවේ ඒ සෑම පියවරක්ම හකුලා ගැනීමට විෂයභාර ඇමතිවරුන්ට පවා සිදුවී තිබේ. උදාහරණ ලෙස 2003 පෙබරවාරි 20 දින  අංක 1276/15 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රය මගින් එවකට බස්නාහිර පළාත් සභාවේ ප‍්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ත‍්‍රිරෝද රථ මගින් කෙරෙන මගී ප‍්‍රවාහනය විධිමත් කිරිම හා ප‍්‍රවර්ධනය කිරිම සඳහා වැදගත් කොන්දේසි ගණනාවක්ම ඉදිරිපත් කළත් ඇතැම් ඊනියා සංගම්කරුවන් මෙන්ම සූරාකෑම තම ජීවන වෘත්තීය කරගත් ත‍්‍රිරෝද රථ  රියදුරෝද ඒවා ගණනකට නොගත්හ.

ඉන්පසු නැවතත් 2008 නොවැම්බර් 21 දින අංක 1576/30 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රයක් මගින් එවකට පළාත් සභා ප‍්‍රවාහන අමාත්‍ය රෙජිනෝල්ඞ් කුරේ මහතාද ත‍්‍රිරෝද රථ මගී ප‍්‍රවාහනය සම්බන්ධ නිතීරිතී මාලාවක් හදුන්වා දී ඒවා ඉදිරියට බස්නාහිර පළාත තුළ ක‍්‍රියාත්මක වන බව නිවේදනය කර තිබුණද ඉන්ද යහපත් ප‍්‍රතිඵලයක් ඇති නොවුණී. ඊට හේතුව වූයේ එම නිතීරිතී ක‍්‍රියාත්මක කිරීමට මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය යටතට බලය පවරන බව එම ගැසට් නිවේදනයේම සදහන් කොට තිබුණද ඊට පෙර මැතිවරණය සදහා පළාත් සභාව විසුරුවා හැරිමයි. මගී ප‍්‍රවාහන සේවයේ ගුණාත්මක වෙනසක් ඇති කිරිම සඳහා ත‍්‍රිරෝද රථ ක‍්‍රියාකාරිත්වය පිළිබඳ සොයා බැලීමට අධිකාරියක් පිහිටුවීමට ගත් එකී උත්සහය ද මැතිවරණයත් සමගින් යටපත් විණි.
ඉන්පසු අවස්ථා දෙකකදී නැවතත් ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා සහ බස්නාහිර පළාත් ප‍්‍රවාහන අමාත්‍ය උපාලි කොඩිකාර මහතා ත‍්‍රිරෝද රථ මගී ප‍්‍රවාහන සේවය මහජනයාට හිතකර අයුරින් පවත්වා ගැනීමට ගැසට් නිවේද මගින් කොන්දේසි ප‍්‍රසිද්ධියට පත් කළ ද මගීන්ගේ රුධිරයම ඉල්ලන ඇතැම් ඊනියා සංගම්කරුවන්ගේ විරෝධතාවය නිසා එම ගැසට් නිවේදනය මගින්ද ඵලක් නොවීය. ඒ  හේතුවෙන් ඵලදායී ලෙස සේවයට යොදා ගතහැකිව තිබු මෙම ත‍්‍රිරෝද රථ කර්මාන්තය අවස්ථා ගණනාවකදීම පොදු අරමුණෙන් බැහැරව අයාලේ යන තත්ත්වයට පත්විය. මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වීමට ඉඩ නොදී මහජන යහපත පිණිස හසුරුවාලීමට පියවර ගැනීම බලධාරින් විසින් තවදුරටත් පමා නොකළ යුතු ය.

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන වලට අනුව දැනට දීපව්‍යාප්තව ලංකාවට ආනයනය කර තිබෙන ත‍්‍රිරෝද රථ සංඛාව ලක්‍ෂ 08ක් දක්වා වර්ධනය වී තිබේ. ඉන් ලක්‍ෂ 02ක් පමණ පවුලේ පුද්ගලික පරිහරණය සදහා භාවිතා කරන අතර ලක්‍ෂ 06කට නොඅඩු ත‍්‍රිරෝද රථ සංඛාවක් සෘජුවම ස්වයං රැකියාවක් ලෙස මගී ප‍්‍රවාහනයේ යෙදෙති. එක් ත‍්‍රිරෝද රථයකින් යැපෙන පවුලේ සාමාජිකයන් ගණන 05ක් ලෙස සැලකුවහොත් ලක්‍ෂ 30ක පමණ ජනතාවක් රජයට බරක් නොවී නඩත්තු වන්නේ මෙම කර්මාන්තය තුළිනි. ඊට අමතරව ත‍්‍රිරෝද රථ කාර්මිකයන්, අමතර කොටස් අලෙවිසැල්කරුවන්, ආනයනකරුවන්, ත‍්‍රිරෝද රථ අලංකරණ ශිල්පීන් යනාදී හා ඒ වටා බැඳුනු වෙනත් වෘත්තීකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද  බැලූවිට තවත් අමතර ලක්‍ෂ 05ක් පමණ සිටිති.
අනෙක් අතට රටේ සමස්ත ජනගහණයෙන් 90‍% ජනයා කුලී ප‍්‍රවාහනය සඳහා යොදාගන්නේ ත‍්‍රිරෝද රථයයි. පාසැල් ළමුන් ප‍්‍රවාහනයට, රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන්හි කාර්යාලීය ප‍්‍රයෝජනයට සහ විවිධ ආයතන සේවකයන්, සුළු ව්‍යාපාරිකයන්ද, පොදු මගීන්ට අමතරව මොවුන්ගෙන් නිත්‍ය සේවය ලබාගනී. මේ අනුව මෙම කර්මාන්තය වටා විශාල ප‍්‍රජාවක් සෘජු හා වක‍්‍ර ප‍්‍රතිලාභ ලබන බව පැහැදිලිය. එබැවින් ත‍්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය ගරුත්වය හා  මගීන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කර දෙන විධිමත් වැඩපිළිවෙලක් ඇති කරදීම රජයේ ද වගකීමකී. එය මහින්ද චින්තන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේද (පිටු අංක 57) මහින්ද චින්තන ඉදිරි දැක්මෙහිද ( පිටු අංක 48) පැහැදිලිව සඳහන් කොට තිබේ. 2010 වසර  තුළ විශේෂ වැඩපිළිවෙලක්  ක‍්‍රියාත්මක කරන බව එහි සදහන් කර ඇතත් තවමත් එය කඩවුණු පොරොන්දුවක් පමණී.

දැනට ගාස්තු මීටරය අනිවාර්ය නොකිරිම හේතුවෙන් මීටරය සවිකොට නැති ත‍්‍රිරෝද රථ රියදුරෝ හිතුමතේ විවිධ ගාස්තු අයකරමින් මගීන්ගෙන් මුදල් ගසාකති. 2013 ජූලි 31 අංක 1821/31 දරන ගැසට් නිවේදනයෙන්ද එම වසරේම ඔක්තොම්බර් 30 අංක 1834/27 දරන ගැසට් නිවේදනයෙන්ද මගී ප‍්‍රවාහනයේ යෙදෙන ත‍්‍රිරෝද රථ  සඳහා මීටරයක් සවි කිරිම අනිවාර්ය කැරුනේ හිතුවක්කාරි ගාස්තු අය කිරිම් වලක්වාගනු පිණිසය. එය එක අතකට මගියාගේ කන්නලව් කිරිම් වලින් තොරව රියදුරාගේ වෘත්තීය ගරුත්වය ආරක්‍ෂා වන්නකී. එහෙත් ඇතැම් රියදුරෝ මීටර් ටැක්සි ලේබලය යටතේ මගීන් නංවාගෙන මීටරය ක‍්‍රියාත්මක නොවන බව පවසන්නේ මඳක් දුර ගියවිටය. එවිට මගියාට සිදුවන්නේ ඔහු ඉල්ලා සිටින ගාස්තුව දී බැස යෑම හෝ ඔහුගෙන් ගුටි කෑමටය. මෙම අවිධිමත් භාවය හේතුවෙන් ඇතැම් විට මගීන් ත‍්‍රිරෝද රථයෙන් බැස යන අවස්ථා ද එමටය.

ඊළගට මීටරය සවිකොට ඇති ත‍්‍රිරෝද රථ වුවද එක් කිලෝමීරයක් සඳහා දැනට විවිධ ගාස්තු අයකරති. සෑම ත‍්‍රිරෝද රථයක්ම පළමු කිලෝමීටරයට පොදුවේ රු.50.00ක් අයකරන අතර එතැන් සිට වැඩිවන සෑම කිලෝමීටරයක් සඳහාම රු.32, රු.35, රු.40 හා රු.45 ආදී වශයෙන් රියදුරාගේ කැමැත්ත පරිදි විවිධ වේ. එම ගාස්තුව කුමක් වුවත් එය මගියාට පැහැදිලිව පෙනෙන ලෙස ත‍්‍රිරෝද රථයේ ඉදිරිපස ප‍්‍රදර්ශනය කරන වැඩපිළිවෙලක් ඇති කරන්නේ නම් එවිට තමන්  ගමන් කරන්නේ කුමන ගාස්තුවක් අයකරන ත‍්‍රිරෝද රථයකදැයි තෝරා බේරාගැනීම මගියා සතු කාර්යයකි. වෙළද හා පාරිභෝගික අමාත්‍යංශය වෙළද දැන්වීමක් පළ කිරිමේදී පවා  මිල ප‍්‍රදර්ශනය අනිවාර්ය කරනු ලැබුවේ වෙළෙන්දන්ගේ අසාධාරණ සූරාකෑමට ලක්වන පාරිභෝගිකයා ආරක්‍ෂා කරගනු පිණිසය. නමුත් එම පාරිභෝගිකයාම ත‍්‍රිරෝද රථයක ගමන් කිරිමේදී ගසා කෑමට ලක්වේ.

 ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා අංක 1821/31 දරන ගැසට් නිවේදනයෙන්ද බස්නාහිර පළාත් ප‍්‍රවාහන අමාත්‍ය උපාලි කොඩිකාර මහතා අංක 1834/27 දරන ගැසට් නිවේදනයෙන්ද මගී ප‍්‍රවාහනයේ යෙදෙන ත‍්‍රිරෝද රථවල මගීන්ට පෙනෙන ලෙස මිල ප‍්‍රදර්ශනය කරන ලෙස පසුගිය වසරේ නියෝග කළ ද ත‍්‍රිරෝද රථ රියදුරෝ තවමත් එයට අවනත වී නැත. ප‍්‍රවාහන අමාත්‍යවරයා ගත් එම තීන්දුව එකල මහජනයාගේ ඉහමත් ප‍්‍රසාදයට හේතු වුවත් මෙකල ඇත්තේ බලාපොරොත්තු කඩවී ගිය හැගීමක් බව කිවයුතුය.

එම ගැසට් නිවේදනය මගින් තවදුරටත් අනාවරණය කර තිබුනේ මගියාගේ ආරක්‍ෂාව සහතික කිරිම සදහා රියදුරා පිළිබද තොරතුරුද රියදුරු අසුන පිටුපස ප‍්‍රදර්ශනය කළ යුතු බවයි. එනම් ලියාපදිංචි අංකය, රියදුරාගේ නම සහ රියදුරු බලපත‍්‍ර අංකය, 65"x  50" ප‍්‍රමාණයේ රියදුරාගේ ඡායාරූපයක්, අධිකාරියේ හෝ සංගමයේ ලියාපදිංචි අංකය, හදිසි අවස්ථාවකදී දැනුම්දීම සදහා දුරකථන අංකය ඊට ඇතුළත්ය. පෞද්ගලික බස්රථ තුළ මෙය දැනටත් දැකිය හැකි අතර ත‍්‍රිරෝද රථ රියදුරකුගෙන් මගියකුට බලවත් අසාධරණයක් පිඩාවක් සිදුවුවහොත් එය දැනුම්දීම සදහා වගකිවයුත්තෙක් හෝ ආයතනයක් නොමැත. ජාතික මට්ටමින් පොදු මගී ප‍්‍රවාහන සේවාවක් ලෙස බස් රථවලට මෙන් අමාත්‍යවරයෙක් සහ අමාත්‍යංශයක්, මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියක් නොව බලය පවරන ලද පළාත් පාලන අධිකාරියක හෝ ත‍්‍රිරෝද රථ සදහා කාර්යංශයක් තිබිය යුතුය. මන්ද ලක්‍ෂ 06ක් පමණ විශාල ත‍්‍රිරෝද රථ සංඛාවක් කර්මාන්තයක් වශයෙන් ඉතාම අවිධිමත් ලෙස වර්ධනයවී වර්තමානයේ මගී ප‍්‍රවාහනයේ යෙදෙන බැවිනි.

ඇත්ත වශයෙන්ම ත‍්‍රිරෝද රථ සදහා එබදු ආයතනයක් නොමැති වීම හේතුවෙන් ත‍්‍රිරෝද රථ රියදුරන්ද, මගීන්ද, පුද්ගලික රථ හිමිකරුවන්ද ගැටළු රාශියකට මුහුණ දෙති. දැනට මගී ප‍්‍රවාහනයේ යෙදෙන ත‍්‍රිරෝද රථ හා පුද්ගලික ත‍්‍රිරෝද රථය වෙන්කොට හදුනා ගැනීමටද විධිමත් ක‍්‍රමවේදයක් නොමැත.
එ් හේතුවෙන් මේ දෙපාර්ශවය අතරද විවිධ ගැටළු  උත්සන්න වන තත්ත්වයක් පවතී. එක් නිශ්චිත වර්ණයකින් හෝ ලේබලයක් අලවා හෝ පුද්ගලික රථය සහ මගී ප‍්‍රවාහනයේ යෙදෙන කුලී රථය හදුනාගත හැකි ක‍්‍රමයක් ඇති කරන්නේ නම් එවැනි ගැටුම් අවම කරගත හැකිය. එමෙන්ම එය පොලිස් රාජකාරි වලටද කිසියම් පහසුවක් වනු ඇත. දැනට මේ දෙපාර්ශවයම ඒ හේතුවෙන් යම් යම් අපහසුතාවයන්ට පත්වෙනු දැකිය හැකිය. මගී ප‍්‍රවාහන සේවයේ යෙදෙන කුලී ත‍්‍රිරෝද රථ වෙන්කොට හදුනා ගතහැකි නම් ඉන්ධන මිල ඉහළ ගිය අවස්ථාවක කුලී  රථ සඳහා  රජයට සහන සැලසීමට වුවද තෝරා බේරා ගැනීම දුෂ්කර නොවේ. රථගාල් ප‍්‍රශ්නයද මෙම කර්මාන්තය වටා පවතින උග‍්‍ර ගැටලුවක් බැවින්  එම ගැටළු  විසදීමටද එය පහසුවක් වෙනු ඇත.

මාර්ග නිතී කඩ කිරිම්, රිය අනතුරු බහුලවීම ආදිය කෙරෙහිද මෙම අවිධිමත් ත‍්‍රිරෝද රථ කර්මාන්තය බලපා තිබේ. මෙරට සංචාරක ව්‍යාපාරය කෙරෙහිද විශාල අපකීර්තියක් ඇති කිරීමට මේ අවිනීත රියදුරන්ගේ ක්‍රියා කලාපය හේතු වී තිබේ . එබැවින් බලය පවරන ලද ආයතනයක් මගින් ගුණාත්මකව විනයගරුක මගී ප‍්‍රවාහන සේවයක් ඇතිකරගැනීමට විධිමත් පියවරක් ගැනීමට රජයේ අවධානය යොමු කිරිම පමා නොකළ යුතු වැදගත් වැඩකි.  දැනටමත් දකුණු පළාත් සභාව සහ නැගෙනහිර පළාත් සභාව ඊට මුලපුරා තිබිම අගය කල යුතුය. නමුත් බස්නාහිර පළාත වැනි නාගරික තදාසන්න ප‍්‍රදේශ තුළ එම අවශ්‍යතාවය තදින්ම පවතී. එහෙත්  ඕනෑම හොද වැඩක් පටන්ගැන්මේදී සුළුතරයක් ඊට විරුද්ධව කරනම් ගසන සිරිතක් මේ රටේ පවතී. මහජනයා සූරාකෑම පරමාර්ථ කරගත් එබදු ඊනියා සංගම්කරුවන්ගේ විරෝධතා මහජන සුභසිද්ධිය පිණිස පියවර ගැනීමේදී බලධාරින් අභියෝගයක් කරගත යුතු නැත. බහුතර මහජන විරෝධයද නොසළකා රටට අහිතකර කැසිනෝ වැනි අණ පනත් ගෙන ආ රජය, ජාත්‍යන්තර විරෝධය පවා නොසලකා රටේ අග විනිසුරු වැනි බලවත් තනතුරක් පවා වෙනස් කළ රජය, ත‍්‍රීරෝද රථ මගී ප‍්‍රවාහනය ගුණාත්මක කිරීමට ඉදිරිපත් කළ රජයේම ගැසට් නිවේදන උල්ලංඝනය කරන විට එබදු පුද්ගලයන් කෙරෙහි පියවරක් නොගන්නේ මන්ද ? එය  අප තේරුම් ගත යුත්තේ කෙසේද.? බලධාරීන්ට එ් සඳහා කිසිදු අවශ්‍යතාවයක් නැති බවද?
2014 ජනවාරි 16 කොළඹ නිපොන් හෝටලයේ පැවති මාධ්‍ය සාකච්වකදී සමස්ථ ලංකා ත‍්‍රිරෝ රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසුවේ ත‍්‍රිරෝද රථ කර්මාන්තය සඳහා විධිමත් නියාමනයක් සිදුවන්නේ නම් තම සංගමයේ පුර්ණ සහය ඊට ලබාදෙන බවයි. බලධාරින් කළ යුත්තේ එම සංගමය හෝ මුල්කොටගෙන ගුණාත්මක මගී ප‍්‍රවාහන සේවාවක් ඇතිකිරිමට මූලික පිඹුරුපත් සකස් කිරිමයි. ඊට එකඟතාවය දක්වන අයට පමණක් රජයේ සියලූ වරප‍්‍රසාද ලබාදීමයි. එවිට විරුද්ධ පාර්ශව පවා කල්යත්ම ඊට අනුගත වනු ඇත. එතෙක් මගීන්ට කළයුතුව ඇත්තේ ගාස්තු මීටරය ක‍්‍රියාත්මක වන නොවන බව සහ කිලෝමීටරයකට ගාස්තුව කොපමනද යන්නත් රියදුරුගෙන් විමසා ඊට ගොඩවීමය.
-රත්තනදෙණියේ මේධානන්ද හිමි
ශ‍්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය

යුතුකම සංවාද කවය 
 www.yuthukama.com


10/14/2014

මේ කියන ගෙවිඳු මම ද?

කතෘ:යුතුකම     10/14/2014   1 comment
ගරු සභාපතිතුමා මඟින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සියලු ම සාමාජිකයන් වෙත.

මේ කියන ගෙවිඳු මම ද? මේ කියන පොත් ප්‍රකාශකයන් ගේ සංගමය අපේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමයද?

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මඟින් පිරිනමනු ලබන ස්වර්ණ පුස්තක සම්මානය සඳහා එහි අවසන් පොත් 5 සඳහා දෙවරක් ම නිර්දේශ වූ නවකතා රචනා කර ඇති මංජුල වෙඩිවර්ධන මහතාගේ නමින් අන්තර්ජාලයට නිකුත් කර තිබූ ලිපියකට අනුව මෙවර ස්වර්ණ පුස්තක අවසන් විනිශ්චය මණ්ඩලයේ පස් දෙනා ගෙන් (ආරියවංශ රණවීර සභාපති, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, සමන් වික්‍රමාරච්චි, ආචාර්ය හර්ෂණ රඹුක්වැල්ල හා ලයනල් ප්‍රනාන්දු) බහුතරයක් විසින් ස්වර්ණ පුස්තකය සඳහා නිර්දේශ කර ඇත්තේ ඔහු ගේ ‘මගෙ ආදරණීය යක්ෂණී’ පොත ය. එහෙත් ඒ කෘතියට ස්වර්ණ පුස්තකය දෙනවාට එරෙහිව ප්‍රකාශකයන් ගේ සංගමය තුළ හා පිටත මූලික වශයෙන් ජාතිවාදීන් විසින් ගෙන ගිය ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵලයක් ලෙස ‘යක්ෂණියට’ දීමට නියමිත ව තිබූ සම්මානය ආචාර්ය ලියනගේ අමරකීර්ති මහතාගේ ‘කුරුලු හදවතට’ දී ඇති වෙඩිවර්ධන මහතාගේ මේ ලිපියට අනුව ජාතිවාදීන් ගේ මැදිහත් වීමේ විශේෂම අංගයක් වන්නේ ගෙවිඳු කුමාරතුංග විසින් ‘යක්ෂණියට’ ස්වර්ණ පුස්තක සම්මානය දීමට එරෙහිව පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ දී සිදු කළ තර්ජනාත්මක කතාවයි.

මා දන්නා පරිදි නම් මේ වසර මුලදී ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන් ගේ සංගමයේ නිලධාරීන් තෝරා පත් කරගැනීම පිණිස පැවැත්වූ මහ සභා රැස්වීමෙන් පසු මේ වන තෙක් එහි කිසිදු රැස්වීමක් (මා සඳහන් කරන්නේ එහි මා වැනි සාමාන්‍ය සාමාජිකයනට සහභාගි විය හැකි මහ සභා රැස්වීම් ගැනය. අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම ගැන නොවේ.) තබා නැත. ඒ නිසා සංගමය තුළ මෙවර (2014) ස්වර්ණ පුස්තක කෘති තේරීම සම්බන්ධව මොනයම් ම හෝ අදහස් දැක්වීමක් කිරීමේ අවස්ථාවක් මා ඇතුළු සංගමයේ සාමාන්‍ය සාමාජිකයනට හිමිවී නැත. ගෙවිඳු කුමාරතුංග වන මා සංගමය තුළ හෝ ඉන් පිටත හෝ ‘යක්ෂණීට’ එරෙහිව හෝ පක්ෂව හෝ මොනයම් හෝ අදහස් ප්‍රකාශ කිරීමක් කර නැත.

එසේ තිබිය දී නවකතාකරුවකු, සාහිත්‍යකරුවකු වන මංජුල වෙඩිවර්ධන මහතා (ඔහු ගේ නමින් උක්ත ලිපිය අන්තර්ජාලයට මුදා හැර සති ගණනක් ගතව ඇති බැවින් හා ඒ කාලය තුළ ඔහු එය ප්‍රතික්ෂේප කර නැති බැවින් එය ඔහුගේ ම ලිපියක් ලෙස ගැනීමේ වරදක් නැතැයි සිතමි) ඔහුගේ කෘතියට ස්වර්ණ පුස්තකය නොලැබීමට හේතු ලෙස මොන ලෙස වත් මෙලොව සිදු නොවූ සිද්ධියක් (ප්‍රකාශකයන් ගේ සංමයේ ඔහු ගේ කෘතියට එරෙහිව මා තර්ජනාත්මකව අදහස් දැක්වූවා යි කියන සිද්ධිය. සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලය හා විනිශ්චය මණ්ඩලය මොනවා කළා දැයි මම නොදනිමි) නිර්මාණය කිරීම අමු ම අමු බේගලයක් නිර්මාණය කිරීම අප තේරුම් ගත යුත්තේ කෙසේ ද? සිය මවුබිමේ ජාතිවාදයට එරෙහි ව හා මානව අයිතීන් වෙනුවෙන් පිටුවහල් ව සිට පවා කැප වී ක්‍රියාකරන බව කියන මේ සාහිත්‍යධරයා විසින් මා මොන අයුරින් වත් සම්බන්ධ නැති සිද්ධියක් නිර්මාණය කර, මගේ නම ගම සමඟ මෙ ලෙස ප්‍රචාරය කරන්නේ ජාතිවාදී යැ යි සැලකෙන මට මොන ම මානව අයිතියක් වත් හිමි නැති නිසා ද? එදා අප්‍රිකාවෙන්, ආසියාවෙන් ‘ම්ලේච්ඡ’ ජනයා වහලුන් ලෙස අල්ලාගෙන තැලීමට, මැරීමට, විකිණීමට ඒ ‘ශිෂ්ට සම්පන්න’ සුද්දාට තිබූ අයිතිය මේ මහා මානව හිතවාදීනට ද ඒ සුදු මහත්වරු පවරා දී ඇති නිසාද?

තමන් ගේ සාමාජිකයකු විසින් සිදු කළ තර්ජනයක් ගැන ද කියැවෙන බැවින් වෙඩිවර්ධන මහතා විසින් නිර්මාණය කර ඇති සිද්ධිය සම්පූර්ණ අසත්‍යයක් බව කියා පා, හෙළා දැකීමේ යුතුකමක් ප්‍රකාශකයන්ගේ සංගමයට ද ඇතැයි සිතමි. ඒ හා සමඟ ප්‍රකාශකයන් ‍ගේ සංගමයේ සාමාජිකයකු වන රාවයට ද මේ හා සම්බන්ධ ව ඇත්ත කියාපෑමේ බාධාවක් තිබිය නොහැකි ය. එසේ මුත් ඔවුන් සියල්ලන් ම නිහඬය. ‘යක්ෂණිය’ ගැන රාවයේ පළවූ ලිපියක ‘මහානාම හිමියන්ට යක්ෂණිය සම්මුඛ කිරීම මාර වැඩක්’ ලෙස දැක තිබුණු පරිදි ම මේ අය සම්මාන නොලැබුණු ‘යක්ෂණියට’ ගෙවිඳු සම්මුඛ වීමත් මාර වැඩක් ලෙස රසවිඳිනවා විය හැකිය. අවසාන වශයෙන් මේ මානව හිතවාදී සාහිත්‍යධරයා මා සම්බන්ධ කර සිදුකර ඇති ප්‍රකාශවල සත්‍යයක් වේදැයි විමසීමට හා ඒ සම්බන්ධ මගේ අදහස් සිය පාඨකයන් හමුවේ තැබීමට (ඒ හා බැඳුණු අන්‍යයන් ගේ ද අදහස් සමඟ) ඉදිරිපත් වූයේ මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන බෙරිහන් දෙන මහත්වරු මර්දනකාරී රජයක හොරණෑවක් ලෙස නම් කරන ‘සිළුමිණ’ වීම නම් මාර වැඩක් ම ය.!
දැන් සිළුමිණ පුවත්පතේ ඉතා පැහැදිලි ව වෙඩිවර්ධන මහතා ගේ ‘යක්ෂණී’ කෘතියට සම්මානය දීමට හෝ නොදීමට හෝ මා මොනයම් හෝ මැදිහත්වීමක් නොවූ බව ඒ කෘතිය සම්බන්ධයෙන් මම මොනයම් ම හෝ අදහස් දැක්වීමක් සිදුකර නැති බව දක්වා තිබිය දී පසුගිය සිළුමිණ ග්‍රන්ථ විවේචනයෙහි ලා සමන් වික්‍රමාරච්චි මහතා ද අපූරු සොයාගැනීමක් සිදුකර ඇත. ‘යක්ෂණී’ අපභ්‍රංස නවකතාවක්ද? ලිපියෙහි පළමු ඡේදයේ ම වික්‍රමාරච්චි මහතා මෙසේ කියයි. “පොත් ප්‍රකාශකයින් වූ දයාවංශ ජයකොඩි සහ ගෙවිඳු කුමාරතුංග යන මහතුන්ට එය තේරී තිබිණි.” මම මේ පොත ගැන මොනම අදහසක් වත් කියා නැති ව තිබිය දී වික්‍රමාරච්චි මහතා එය මට තේරී ඇති බව දැනගත්තේ නැත් නම් සොයාගත්තේ කොහොමද?
සමන් වික්‍රමාරච්චි යනු ජාතික පුවත්පත් දෙකකම (මීට පෙර දීර්ඝ කාලයක් ඉරිදා ලක්බිමෙහි හා දැන් සිළුමිණෙහි) නිල ග්‍රන්ථ විචාරකයා ය. ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ උත්තරීතර විනිශ්චය මණ්ඩල සාමාජිකයෙකි. ඒ වගේම එතුමා විශ්‍රාමලත් විනිශ්චයකාරතුමෙකි. වෘත්තීය විනිශ්චයකරුවකු යනු ඇත්ත නැත්ත කිරීමට, නැත්ත ඇත්ත කිරීමට ඉදිරිපත් වන තර්ක විතර්ක මඟහැර සාක්ෂි මත පදනම් ව සත්‍යය මතු කරගැනීමේ පුහුණුවක් ලද්දෙක් නොවේ ද? ඉතින් එතුමා යක්ෂණී මට තේරී ඇතැයි කියන විට (මම දක්ෂයෙක් යැයි කියන විට) නොපිළිගෙන කොහොමද? ඒත් දෙයියනේ මම නොකියවපු පොතක් මට තේරෙන්නේ කොහොමද?

ඒ අතර පොත් ප්‍රකාශන සංගමයේ සභාපති විජිත යාපා මහතා ද පුවත්පත් සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් (2014/9/30 රිවිර) මේ තාක් කල් පොත් ප්‍රකාශකයන් ගේ සංගමයේ සාමාජිකයකු ලෙස මම නොදැන සිටි කරුණු රැසක් එළිදරවු කර තිබිණි. “කොහොම හරි අපි එතනින් 20 දෙනෙක් (ස්වර්ණ පුස්තක විනිශ්චයකරුවන්) තෝරාගත්තා. ඒ පිරිස තෝරාගත්තේ ස්වර්ණ පුස්තක කමිටුවක් විසින්. එහිදී ඒ තේරූ පිරිස හැම ප්‍රකාශකයෙක්ම අනුමත කළා. ඕන නම් ඒ තෝරාගත් පිරිසට තමන් අකමැති යි කියලා පොත් ප්‍රකාශක සංගමයේ සාමාජිකයන්ට කියන්න තිබ‍ුණා. ඒත් ඔවුන් එහෙම අකමැත්තක් පෙන්නුවේ නෑ.”
දැන් සභාපතිතුමාට අනුව පළමුව ස්වර්ණ පුස්තක කමිටුවක් තිබී ඇත. එය පත්කළේ කවුද? මා දන්නා පරිදි නම් පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ (මහ සභාවේ) අනුමැතිය ඇතිව එවැන්නක් පත්කළේ නැත. එපමණක් නොව ඒ මඟින් තෝරාගත් ස්වර්ණ පුස්තක විනිශ්චය මණ්ඩල සාමාජිකයන් 20 දෙනා ගැන සංගමයේ සාමාජිකයන් දැනුවත් කර ඇත. හිතවත් සභාපති තුමෙනි, ඒ දැනුම්වත් කිරීම සිදු කළේ ලිපියක් මඟින් ද? නැති නම් සංගමයේ මහ සභාවක් කැඳවාද? ඔබතුමා කියන පරිදි සංගමයේ සාමාජිකයන් සියලු දෙනාම තේරූ විනිශ්චය මණ්ඩලය අනුමත කළා නම් එය මහ සභා රැස්වීමක් විය යුතුය. ඒ මහා සභා රැස්වීම පැවැත්වූයේ කවදාද? කොහිදී ද? දවල් ද? රෑ ද?

දැන් මේක විශ්වාස කරන්න පුළුවන් ද? සිය මානව හිතවාදය නිසා ම තමන් අතහැර ගිය රටේ සාහිත්‍ය පෝෂණයට මැදිහත් වන සාහිත්‍යධර‍යෙක්, මෙවර ස්වර්ණ පුස්තක උත්තරීතර විනිශ්චය මණ්ඩල සාමාජිකත්වය ද දැරූ මේ රටේ ප්‍රමුඛතම සාහිත්‍ය විචාරකයෙක්, මේ රටේ ඉංගිරිසි මාධ්‍ය ප්‍රධාන පුවත්පත් දෙකක ආරම්භය කර්තෘත්වය දැරූ හා වත්මනෙහි පොත් ප්‍රකාශන සංගමයේ සභාපතිතුමා මේ ගරු කටයුතු මහතුන් සියලු දෙනා ම තමන් ගේ ප්‍රකාශ නිසා අන්‍යයන් පත්විය හැකි අපහසුතාවන් ගැන අබමල් රේණුවක තැකීමක් නැති ව, හැඟීමක් නැති ව මේ වගේ ගජබින්න ඇද බානවා වෙන්න පුළුවන් ද? බෑ නේද? එහෙනම් මේ අය කතා කරන්නේ මේ මම ගැන නෙවෙයි ද? වෙන ගෙවිඳු කුමාරතුංග කෙනෙක් ගැන ද? ගරු සභාපතිතුමා කියන්නේ මා නොදන්නා, මා සාමාජිකයකු නොවන වෙනත් පොත් ප්‍රකාශකයන් ගේ සංගමයක් ගැන ද?

හිතවත් කර්තෘතුමනි, හිතවත් සංස්කාරක තුමනි, කරුණාකර මේ ලිපිය ඔබතුමන් ගේ පුවත්පත්හි පළ කර අසරණ මගේ කන්නලව්ව ඔබ ගේ පාඨකයනට දැනගැනීමට සලස්වා මට ‘මම’ ගැන ඇත්ත නැත්ත දැනගැනීමට උපකාර කරනු මැනවි. පොත් ප්‍රකාශකයන් ගේ සංගමයේ හිතවත් සභාපතිතුමනි, කරුණාකර මේ ලිපිය සංගමයේ සාමාජිකයනට ද යවා මට මා ගැනත්, මා ද සාමාජිකයකු වන සංගමය ගැනත් ඇත්ත දැනගැනීමට සැලැස්වුව මැනවි.
ඔබ සැමට බොහෝම පින්! 

ගෙවිඳු කුමාරතුංග
[සිළුමිණ]

 
යුතුකම සංවාද කවය
www.yuthukama.com


 

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions