11/22/2014

සමාජ ව්‍යුහයේ ජයග්‍රහණය හෙවත් ස්‌වර්ණ පුස්‌තක සම්මානය

කතෘ:යුතුකම     11/22/2014   No comments

මෙයට කලකට පෙර ආචාර්ය සුනිල් විඡේසිරිවර්ධන විසින් දක්‌වන ලද පහත සඳහන් අදහස එදාටත් වඩා වලංගු වන්නේ අදට ය.

'අද වන විට අපේ රටේ මේ සංස්‌කෘතික ක්‌ෂේත්‍රය පවතින වෙළෙඳපළේ ඉත්තෙකු ලෙස ක්‍රියාත්මක වේ. මේ සෑම ආණ්‌ඩුවක්‌ තුළින්ම සංස්‌කෘතික ක්‌ෂේත්‍රය මූලික තර්ක දෙකක්‌ මත ක්‍රියාත්මක වී ඇත.

එනම් මේ ක්‌ෂේත්‍රය සම්පූර්ණයෙන්ම තමන් යටතේ පැවතිය යුතු ආයතනයක්‌ ලෙස දැකීම හා ඊට ඉඳුරාම ප්‍රතිපක්‌ෂ වූ තමන් ගේ පාලනයෙන් සම්පූර්ණයෙන්ම මිදුණු රැක බලා නො ගත යුතු තමන් ගේ ආණ්‌ඩුවේ මුදල්වලින් පෝෂණය නොකළ යුතු වෙළෙඳපළ විසින්ම රැක බලා ගත යුතු ආයතන ලෙස පවත්වා ගෙන යැමයි. මෙයින් ගම්‍ය වන්නේ කුමක්‌ ද? අද වන විට සංස්‌කෘතිය සම්බන්ධයෙන් අපට දර්ශනයක්‌ නොමැති බවයි'. (බලය/2004 අප්‍රේල්-මැයි/පිටුව 43)

ආචාර්ය විඡේසිරිවර්ධන පැහැදිලි කරන සමාජ ගරා වැටීම වර්තමානය වන විට කෙතරම් ඔඩුදුවා ඇද්දැයි තහවුරු කළ හැකි වන්නේ, ඔහු විසින් විවේචනය කරන ලද 'සංස්‌කෘතිය වෙළෙඳපළේ ඉත්තකු බවට පත් කිරීමේ' ක්‍රියාවලියට අද ඔහු ද සෘජු ව මැදිහත් වී සිටින ආකාරය පෙන්වා දීමෙනි. පශ්චාත් යුද සමාජයේ සාහිත්‍ය-සංස්‌කෘතික ක්‍රියාවලිය මතට කඩා වැටුණු හෙණ ගෙඩියක්‌ බඳු 'ස්‌වර්ණ පුස්‌තක සම්මානය' තෝරනු ලබන කමිටුවේ ප්‍රධාන තීරකයකු වන ආචාර්ය විඡේසිරිවර්ධන මෙකල සේවය කරන්නේ වෙළෙඳපළ බලවේගයන්ට සාහිත්‍යය යටත් කළ පොත් වෙළෙන්දන් ගේ ඒජන්තයකු වශයෙනි. (මීට වසර හයකට පෙර අපි 'විදර්ශන' නමින් පොත් ප්‍රකාශනයට ඇතුල් වන විට අපි පැහැදිලි ව එක්‌ දෙයක්‌ ප්‍රකාශ කළෙමු. කුකුල් මස්‌ සහ පොත් අතර වෙනසක්‌ නැත, යන්න ඒ ප්‍රකාශයයි. (ජනක ඉණිමංකඩ/බලය 2003 සැප්තැම්බර්/පිටුව 34)

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන් ගේ සංගමයේ සභාපති විජිත යාපා මහතා 2014 ස්‌වර්ණ පුස්‌තක සම්මාන උළෙල සඳහා සකස්‌ කරන ලද පුස්‌තිකාවට පණිවිඩයක්‌ නිකුත් කරමින් පසුගිය ස්‌වර්ණ පුස්‌තක සම්මාන සාර්ථක වූ බව තහවුරු කර තිබෙන්නේ ඒවා සියල්ලම පාහේ පසු ව ටෙලිනාට්‍ය බවට පත් වූ බව උපුටා දක්‌වමිනි. ඒ අනුව කවර සාහිත්‍ය උන්නතිකාමී ප්‍රකාශ නිකුත් කළ ද, ස්‌වර්ණ පුස්‌තක සම්මානයේ යටි අරමුණ පැහැදිලි ය. සාහිත්‍යය එය 'කුකුල් මස්‌ සහ පොත් අතර වෙනසක්‌ නැත' යනුවෙන් ප්‍රකාශ කර තිබෙන ජනක ඉණිමංකඩ මහතා 'මරියා සිලෝනිකා' කෘතිය අලෙවි කරන ආකාරයෙන් ද දැක්‌ක හැකි ය. 'මේ වන විට කෙටි කාලයක්‌ තුළ අලෙවි වී ඇති පොත් සංඛ්‍යාව 9000යි, එයින් ලේඛකයා ඉපයූ මුදල ලක්‌ෂ 3යි', වැනි ඔහු ගේ අදහස්‌වලින් ගම්‍යමාන වන්නේ අද වන විට සාහිත්‍ය පොතක්‌ යනු තරගකාරී වෙළෙඳපළේ අධිවේගයෙන් විකිණෙන පාරිභෝගික භාණ්‌ඩයක්‌ (FMCG) බවට පත් කෙරෙමින් තිබෙන බව ය.

භූමි දර්ශනය

මෙවර ස්‌වර්ණ පුස්‌තක සම්මානයට පාත්‍ර වී තිබෙන ලියනගේ අමරකීර්ති විසින් රචනා කරන ලද 'කුරුලු හදවත' විචාරයට ලක්‌ කළ යුතු වන්නේ නූතන ශ්‍රී ලාංකික සමාජය හැසිරෙන මෙකී සමාජ සංස්‌කෘතික සහ දේශපාලනික භූමි දර්ශනය මත සිටිමිනි. එය අනෙකක්‌ නො ව 'කුරුලු හදවත' නවකථාවේ එන දිනසිරි කුරුලුගංගොඩ ගේ ව්‍යාජ FM ප්‍රබන්ධ සහ පුද්ගල චරිතය උත්කර්ෂයට නංවන සමාජ ව්‍යුහය ම ය.

ඒ අනුව ස්‌වර්ණ පුස්‌තක සම්මාන කමිටුවේ ප්‍රධාන කාර්යභාරය ඉටු කළ සමන් වික්‍රමාරච්චි සහ ආචාර්ය සුනිල් විඡේසිරිවර්ධන යනු මියුරු FM ව්‍යාපෘතියේ කුම් කුම් විඡේසිංහ සහ ජෙවන් දිසානායක වෙති. දිනසිරි, කුම් කුම් සහ ජෙවන් ගේ නිර්මාණ නිෂ්පාදන භාණ්‌ඩ ද අවසානයේදී ටෙලිවිෂන් මාධ්‍යයට පරිවර්තන වෙයි. ඔවුන් ගේ පිටුපස සිටින වෙළෙඳපළ බලවේගය හෙවත් Big M අයත් වන්නේ ද, 'කුකුල් මස්‌ සහ පොත් අතර වෙනසක්‌ නැත' යනුවෙන් රෑඩිකල් (?) ප්‍රකාශ නිකුත් කරන පොත් වෙළෙන්දන් ගේ ක්‌ෂණික වෙළෙඳපළට ම ය.

පාරිභෝගිකයාට කවර ඉරණමක්‌ අත් වූව ද, වගේ වගක්‌ නැති නරුම වෙළෙන්දන් ගේ 'ප්ලාස්‌ටර් ඔෆ් පැරිස්‌' ආප්ප වැනි සිංහල සාහිත්‍ය පොත් ආප්ප අතර 'කුරුලු හදවත' යනු බිත්තර ආප්පයකි. දැන් එය ජැකොලින් ගේ 'කෑමසූත්‍ර' අවන්හලේ බිත්තර ආප්පයක්‌ බවට පත් කර ඇත.

ප්‍රබන්ධාත්මක යථාර්ථය කලා කෘතියක්‌ යනු කවර ආකෘතියකින් නිර්මාණ කළ ද එය සාමාජයීය ප්‍රතිනිෂ්පාදනයකි. සාහිත්‍ය කෘතියක්‌ නම් යථාර්ථවාදී වුව ද, පශ්චාත් යථාර්ථවාදී වුව ද, ඊට අවශ්‍ය අත්දැකීම් සැපයෙන්නේ විෂය ලෝකයෙනි. එනම් කල්පිතය (myth) ද්වීතීයික වන බව ය. අප දකින අද්භූත සිහිනයකට වුව ක්‍රියාදාමයක්‌ හට ගැනෙන්නේ ආකස්‌මික ව නො වේ. එයට පිටිබල දෙන සමාජ පසුබිමක්‌ තිබේ.

ඒ අනුව සාහිත්‍යකරුවා ගේ කාර්යය වන්නේ එතෙක්‌ සමාජ යථාර්ථය පමණක්‌ ඇසුරු කරමින් සිටි පාඨකයා ගේ හිස මත ප්‍රබන්ධාත්මක යථාර්ථය (fictional reality) නම් වූ කරඬුව තැබීම ය. (ආගමික දෘෂ්ඨියෙන් නො වේ.) එයින් ඔහු ගේ සමාජ හැසිරීම වෙනස්‌ වන්නට පටන් ගන්නේ ය. මේ ක්‍රියාවලිය සරල නැත.

නූතන අප්‍රිකානු කලාපයේ Wole Soyinka, Chinua Achebe, Amos Tutuola, Ngugi Wa Thiong, Kwei Armah, Cyprian Ekwensi, Alawi Amoudi වැන්නන් විසින් බ්‍රිතාන්‍ය ඉංග්‍රීසිය බිඳ සකස්‌ කර ගන්නා ලද අප්‍රිකානු ඉංග්‍රීසිය යනු, අප්‍රිකානු අත්දැකීම් සමාජගත කරනු වස්‌ නිෂ්පාදන කර ගැනුණු නව භාෂා පද්ධතියකි. ඔවුන් ගේ අපේක්‍ෂාව මව්බසට අමතර ව පාඨකයා තුළ යථාවාදී ව විශ්වාසය තහවුරු කර ගැනීම සඳහා නව දෙවැනි බසක්‌ ගොඩනැංවීම ය. මෙයින් පෙනී යන්නේ පාඨක ග්‍රහණයෙන් තොර සාහිත්‍යයක්‌ නොමැති බව ය. ඊට 'විශ්වාසය පරම ඥාතියා' බවට පත් කර ගත යුතු ය.

ඒ අනුව සාහිත්‍ය කෘතියක්‌ කිසි විටකත් 'අත් හිට වූ විශ්වාසයෙන්' (suspended belief) ඵල නො දරන බව පැහැදිලි ය. එය වෙළෙඳපළ තර්කනයේදී තවත් බලගතු වන්නේ ය. එනම් නිතර විශ්වාසය උපරිම කර ගන්නට වැර දරන තාර්කික පාරිභෝගිකයා (logical consumer)) යනු වෙළෙඳපළ අගය වැඩි කරන ගුණාත්මක නිෂ්පාදකයා ගේ පැවැත්ම ද තහවුරු කරන අයෙකි. ඒ අනුව ඔහු 'විශ්වාසය අත් හිටවා කටයුතු කරන්නට' මාන බලන්නේ නැත. සාහිත්‍ය විචාරයේදී උපුටා දැක්‌වෙන ආදර්ශ පාඨකයා (model reader) නමින් මුණ ගැසෙන්නේ ද ඔහු ය. (මේ සඳහා reader යන්න ප්‍රමාණවත් නො වන බව මේ ලේඛකයා ගේ අදහස ය. එයට peruser නම් වූ නව යෙදුම යෝජනා කෙරේ.)

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ගේ මූලිකත්වයෙන් දියත් කරන ලද පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ප්‍රාරබ්ධ නූතන සාහිත්‍ය සංවාදයේ ද කේන්ද්‍රීය ලක්‌ෂය වූයේ කෘතියේ විශ්වාසනීයත්වය ය. කවර හෝ සාහිත්‍ය කෘතියක රසය උද්දීප්ත වන්නේ එහි විශ්වාසනීයත්වය තහවුරු කළ තරමට ය, යන්න ඒ අනුව සම්භාවිත ය. එය ලෝක සම්මතයකි.

කුරුලු හදවත

'කුරුලු හදවත' යනු සිංහල සංස්කෘතික සමාජයට බැට දීම සඳහා අගතිගාමී ව ලියන ලද්දක්‌ බව පැහැදිලි ය. ඒ බව අස්‌ථානයේ වුව සඳහන් කර තිබෙන අදහස්‌ මඟින් සනාථ කළ හැකි ය.

සිංහල ගැමි ගොවිතැනේ මූලික ලක්‌ෂණය වන්නේ එය පරිසර පද්ධතිය හා බැඳුණු විද්‍යාවක්‌ වීම ය. පරිසරයේ අන්තර් සම්බන්ධතා හොඳින් දැන අනාදිමත් කාලයක සිට පුරුදු පුහුණු කරන ලද කෙම්පහන් ක්‍රම වැනි දේ අදටත් අනභියෝගී වෙයි. ලියනගේ අමරකීර්ති 'කුරුලු හදවත' ලියා තිබෙන්නේ මේ සංස්‌කෘතික ජීවිතයට නිගරු කිරීමට ය. ඒවා තර්කවාදයෙන් තොර ය.

එසේ ද වුවත් අමරකීර්ති ගේ අත්තනෝමතයන්ට අගයක්‌ ලැබෙන්නේ කෘතිය යථාභූත ලෝකය මත පිහිට වූ තරමට බව පැහැදිලි ය. එය මාකේස්‌ ගේ මැකෙන්ඩෝවේ හෝ නාරායන් ගේ මල්ගුඩියේ හෝ තබා කළ නො හැක්‌කකි. එවිට ඊතළය වදින්නේ පඳුරට බව ඔහු හො`ඳින් දනී.

'මගේම පරම්පරාව සමීප ව වටහා ගැනීම පිණිස මා ලියන ප්‍රබන්ධ මාලාවක අසම්බන්ධ දිගුවක්‌ සේ සැලකිය හැකි මේ නවකථාව, කාලයක්‌ පුරා මා දන්නා පසුබිමක පිහිටුවා ගවේෂණය කළ ද, මෙහි එන ලෝකය ගොඩ නැංවීමේදී බොහෝ දෙනෙකු ගේ උදව් හා පර්යේෂණ සහාය අවශ්‍ය විය'.

'කුරුලු හදවත' පෙරවදනෙහි ලා ඔහු දක්‌වා තිබෙන මෙකී අදහසින් තහවුරු වන ආකාරයට කතාව ගලා යන්නේ යථාර්ථවාදය ඔස්‌සේ ය. එය ද යථා පුද්ගල ප්‍රබන්ධ (real person fiction) ධාරාවට අයත් වූවක්‌ පරිද්දෙනි. වඩාලාත් රේඩියෝ ප්‍රබන්ධ (radiofic) යනුවෙන් නම් කළ හැකි ශානරීය මුහුණුවරිනි. එහි කාල රේඛාව (time line) 1988/89 සිට 1994 අතර දිව යනු දැක්‌ක හැකි ය.
කෘතිගත සිදුවීම්වලට අදාළ ස්‌ථාන වැඩි වශයෙන් අයත් වන්නේ ද, ව්‍යවහාරික ලෝකයට ය. ඒ අනුව අප භෞතික ව දන්නා කුරුණෑගල ප්‍රදේශයේ වැල්ලව නමින් ග්‍රාමයක්‌ තිබේ. කොල්ලුපිටිය යනු ලංකාවේ මුහුදුබඩ නගරයකි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය පරිශ්‍රයේ මහාචාර්ය සරච්චන්ද්‍ර විසින් ඉදි කරන ලද එළිමහන් රංග පීඨය හෙවත් 'වළ' අදටත් එහි දක්‌නා ලැබේ. ගුවන් විදුලි සංස්‌ථාව ආසන්නයේ ඇති 'රන්දෝලිය' මත්ලෝලීන් අතර ප්‍රකට වූවකි. විජය කුමාරණතුංග නමින් ජනප්‍රියත්වයට පත් වූ සිනමා නළුවකු ලංකාවේ ජීවත් වූ අතර, ඔහු 1988 පෙබරවාරි 16 වැනිදා ඝාතනය කෙරිණි. ජාතික ගුවන් විදුලියේ ප්‍රේමකීර්ති ද අල්විස්‌ නමින් ප්‍රවීණයෙක්‌ සිටියේ ය. ඔහු විසින් ඉදිරිපත් කරන ලද 'සැරිසර' වැඩසටහන අවසන් වූයේ 'සමරවීර මුදලි ගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස්‌ වන මා විසින් ප්‍රකාශයට පත් කරන ලදී', යනුවෙනි. ඔහු ඝාතනය වූයේ 1989 ජුලි 31 වැනිදාය. 1993 මැයි 01 වැනි දා එවකට ජනාධිපති වී සිටි ආර්. ප්‍රේමදාස ඝාතනය කරන ලදී.

ස්‌වර්ණ ශ්‍රී බණ්‌ඩාර රජරට ගුවන් විදුලිය සඳහා 'පිලේ පැදුර' නමින් ගුවන් විදුලි විචිත්‍රාංගයක්‌ නිෂ්පාදන කළේය. ලලිත් එස්‌. මෛත්‍රීපාල, ධර්ම ශ්‍රී වික්‍රමසිංහ, සුමනා නෙල්ලම්පිටිය, ඉන්ද්‍රා රාමනායක, ආරියසිරි විතානගේ මෙන්ම බෝයගනේ පර්ල් අයිරින්, ම`ගුලාගම මංගලිකා දිසානායක, මෝදර රොක්‌ හවුස්‌ කඳවුරේ ගාමා ගාමිණී සුභසිංහ, ගම්පහ පද්මාවෝ මහේශ්වරී, රේඛාවෝ ඊශ්වරී (රේඛාවෝ ඊශ්වරී යන්න 'කුරුලු හදවත' නවකථාවේ සඳහන් වී තිබෙන්නේ රේඛාවෝ මහේශ්වරී නමිනි. එය මුද්‍රණ දෝෂයක්‌ නොවේ. නො දන්නාකම ය.) යනු කලකට පෙර ගුවන් විදුලි සංස්‌කෘතිය හැඩ කළ අපගේ ද දෙසවනින් අසන ලද, අග්‍රේසර සහ පරිවාර චරිතයෝ වෙති. කෘතියේ අනෙක්‌ අර්ධය අයත් වන්නේ ප්‍රබන්ධ කොටසට ය. දිනසිරි කුරුලුගංගොඩ, කුම් කුම් විඡේසිංහ, ජෙවන් දසනායක, මුත්තු අත්තා, රතු නැන්දා, රන්දිමා, භාග්‍යා, මධුවන්ති, සරත් සහෝදරයා, ජයසේන, ඡේන් සහ මියුරු FM, Big M, X Plaza යනු එවැනි පුද්ගලයෝ සහ ස්‌ථානයෝ ය.

නූතන වහරින් හඳුන්වා දෙන්නේ නම් හයිබ්‍රිඩ් (hybrid) වර්ගයෙහි ලා සැලකිය හැකි නවකථාවක්‌ වන 'කුරුලු හදවත' යනු තෙල් සහ වතුර වැනි එකිනෙක හා අසම්බන්ධ දෙවර්ගයක්‌ අතර සිදු වන අස්‌වාභාවික සංසර්ගයක්‌ වැන්න.

ප්‍රබන්ධීය ස්‌වභාවය

කවර ප්‍රබන්ධයකට වුව අනන්‍ය තාර්කික ස්‌වභාවයක්‌ (fictional nature) තිබේ. එය බිහි වන්නේ කෘතියේ අභ්‍යන්තරික සැකැස්‌මෙනි. ප්‍රබන්ධයේ චරිතයන්ට ස්‌වභාවවාදී වන්නට හෝ විකාරරූපී වන්නට හෝ අවස්‌ථාව හිමි වන්නේ ඒ ම`ගිනි. නිදර්ශනයක්‌ වශයෙන් පියල් කාරියවසම් ගේ 'සීතල හිමිදිරියේ වහළ උඩ සිටි බළලා' කෙටිකථාවේ සිදු වන අභව්‍ය සිදු වීම් පිළිගනිමින් පාඨකයා ප්‍රබන්ධය හා තවදුරටත් සම වදින්නට පෙළඹෙන්නේ ඇයි? ඒ අනෙකක්‌ නිසා නො ව ප්‍රබන්ධීය ස්‌වභාවයේ සාර්ථකත්වය නිසා ය. සැබැවින්ම ප්‍රබන්ධීය ස්‌වභාවය යනු යමක්‌ වැරුදුණු විට 'ඇඟ බේරා ගැනීම සඳහා' තිබෙන කූට උපක්‍රමයක්‌ නො වේ. එය නවකථා රචනා කලාවේ තාක්‍ෂණයෙන් උපදින්නකි.

ඉහත අර්ථයෙන් ගත් කල 'කුරුලු හදවත' යනු විශ්වාස කළ හැක්‌කක්‌ නො වේ. ඊට හේතුව කෘතියේ සැබෑ ලෝකය නියෝජන කරන රචනා අර්ධය කරුණු හරිහැටි අධ්‍යයන කර ඉදිරිපත් නො කිරීම ය. අනෙක්‌ අතට එසේ සිදු කිරීමට අදාළ ප්‍රත්‍යක්‍ෂ හේතු කිසිවක්‌ ඉස්‌මතු කර ගැනීමට නො හැකි වීම ය. එසේම ඒවා හේතු විරහිත වීම ය.

ඒ අනුව ප්‍රබන්ධයට හානි කර වන ලෙස සිදු ව තිබෙන 'වැළැක්‌විය හැකි හේතු' පැහැදිලි ය. නිදර්ශනයක්‌ වශයෙන් ආර්. ප්‍රේමදාස, විජය කුමාරණතුංග, ප්‍රේමකීර්ති ද අල්විස්‌ වැන්නන් ගේ අනුස්‌මරණ උත්සව සහිත ඝාතන දිනයන් 'ටක්‌කෙට හරි යන ලෙස්‌ සඳහන් කරන්නට තරම් යාවත්කාලීන වූ මතකයක්‌ 'කුරුලු හදවත' පර්යේෂණ කණ්‌ඩායම (?) සතු ව තිබී ඇත්තේ ඒවා මාධ්‍ය පුවත් ලෙස නිතර කන වැකී තිබෙන හෙයිනි. එහෙත් ප්‍රසිද්ධියේ ඝාතනය නො වූ ස්‌වර්ණ ශ්‍රී බණ්‌ඩාර මියගිය දිනය පිළිබඳ අවබෝධයක්‌ ඔවුන්ට නැත. 1986 වර්ෂයෙන් පසුව මරණයෙන් උත්ථාන වී ස්‌වර්ණ ශ්‍රී බණ්‌ඩාර නවකථාවේ අවකාශය තුළ සැරිසරන්නේ (පිටුව -25) යුද්ධය විසින් ස්‌වාභාවික මරණයේ වටිනාකම පහත දමා තිබුණු නිසා ය. අනෙක්‌ අතට අග්‍රේසරයකු වන ස්‌වර්ණ ශ්‍රී බණ්‌ඩාර යනු මෙරට වෙළෙඳ මාධ්‍ය ක්‍ෂේත්‍රයේ සැමරුම් වටිනාකමක්‌ අත් කර ගත් චරිතයක්‌ ද නො වේ. ලියනගේ අමරකීර්ති වැන්නන්ට එබඳු චරිත වැදගත් වන්නේ ජාතික ගුවන් විදුලියෙන් සහ FM නාලිsකාවලින් ඔවුන් අනුස්‌මරණ කෙරෙන තරමට ය. 'මෙහෙම තියෙද්දි 1993 මැයි 10 වැනිදා - එනම් ජනාධිපති ප්‍රේමදාස ඝාතනයෙන් හරියටම දවස්‌ 9කට පස්‌සෙ ....' (පිටුව 159) යනුවෙන් සඳහන් වන්නේ ඒ අනුව ය.

වසර 30 කට ආසන්න කාලයක්‌ තිස්‌සේ පැවැති යුද සමයේ දී හමුදා කඳවුරු නමින් සෙබළ මරණ වාර්තා වූයේ අදාළ කඳවුරුවලට දැවැන්ත ප්‍රහාර එල්ල වීමෙන් පසු ව ය. ඒ අනුව අලිමංකඩ, මුලතිව්, පුනරින් වැනි කඳවුරුවලට ත්‍රස්‌තවාදින් විසින් පහර දෙන ලද සිදුවීම් නිසා යුද වාර්තාකරණයේ අලුත් පරිච්ඡේදයක්‌ ඇරඹිණි. එතෙක්‌ 'යුද්ධෙන් මැරුණා', 'යාපනේදි මැරුණා' යනුවෙන් පොදුවේ පැවසුණු හමුදා මරණ 'අලිමංකඩ දී මැරුණා', 'පුනරින්වල දී දිවි පිදුවා' යනුවෙන් ක`දවුරු නමින් ප්‍රකාශ වන්නට විණි. එයින් කියෑවුණේ එක්‌කෝ පුනරින් මහා ප්‍රහාරය ය, නැත්නම් අලිමංකඩ මහා ප්‍රහාරය ය. පුනරින් මහා ප්‍රහාරය සිදු වූයේ 1993 වර්ෂයේ දී ය. ප්‍රසිද්ධ මාධ්‍යයන්හි අප්‍රකට පුනරින් ප්‍රහාර දිනය ද 'කුරුලු හදවත' නො දනී. මෙකී අවුල නිසා ප්‍රබන්ධීය කාල රාමුව තුළ ප්‍රේමකීර්තිට ද මරණින් මතු වසර කිහිපයක්‌ ජීවත් වීමේ භාග්‍යය (පිටුව - 91) උදා වී තිබේ.

මෙලෙස නවකථාවේ මූලික කාල රේඛාව විවිධ අවස්‌ථාවන්හිදී බි`ද වැටෙන අතර, එයින් පසු කෘතිය කියවිය යුතු වන්නේ 'අත්හිට වූ විශ්වාසය' (suspended belief) ආධාර කර ගනිමිනි. එය 'පාඨකයා ඝාතනය' (death of reader) නමින් හැඳින්වීම වඩාලාත් යෝග්‍ය වන අතර, බටහිර අර්ථයෙන් පශ්චාත්-පශ්චාත් නූතනවාදී (post-post modernism) තත්ත්වයක්‌ ලෙසින් ද අර්ථකථන කළ මනා ය.

දරිද්‍රතාව ඉහ වහා ගිය, හුළු අතු බැඳ ගෙන රේඩියෝ අසන්නට යන හද්දා ගැමියන් සිටින ගමක වෙසෙන දිනසිරිට, තමන් විසින් ඉල්ලා යෑවෙන ගීත ප්‍රචාර වූ අවස්‌ථා පටිගත කර ගන්නට තරම් (පිටුව - 162) තාක්‍ෂණික පහසුකම් තිබුණේ කො තැන ද? ඔහු පමණක්‌ කැසට්‌ යන්ත්‍රයක්‌ සහ කැසට්‌ පටි මිලදී ගත්තේ කවර ස්‌ථානයකින් ද? 'තෝ මොකද ඕක ඔච්චර ඔලුවෙ බැඳං ඉන්නේ? තොපේ ගෙදර පොඩි රේඩියෝ කෑල්ලක්‌ තිබුණට ගුවන් විදුලි සංස්‌ථාව තොගෙද? නෑනෙ.' මුත්තු අත්තා දිනසිරි ගේ හැ`ඩල් එකට තට්‌ටුවක්‌ දාලා කිව්වා.' (පිටුව 89)

මෙබඳු අතාර්කික ජීවන පරිසරයක්‌ සහිත, ජාතික ගුවන් විදුලිය ශ්‍රවණය කරන, නේරු යනු කවුදැයි නො දන්නා (පිටුව - 73) එහෙත් 'පිලස්‌තීනුවා' යන්න දන්නා (පිටුව-70) දිනසිරි යනු අපභ්‍රංෂයකි. එවැනි ගොඩනැ`ගීම් සිදු ව තිබෙන්නේ සියල්ල මතු පිටින් අත ගා තිබෙන කෘතියේ රචකයා ගේ වරදිනි. චරිතයන්හි ක්‍රියාදාම එඩ්වඩ් මල්ලවාරච්චි ගේ නවකථාවක තරමට ද වර්ධනය වී නැති 'කුරුලු හදවත' මොහිදින් බෙග්, ඒ. ඡේ. කරීම් වැනි මෙරට ප්‍රකට ගායනවේදීන්ට සිදු කර තිබෙන අවමානය ද සුළු පටු නැත. මනස්‌ගාතවලින් ගහණ මේ කෘතියේ 55 වැනි පිටුවේ සඳහන් වන ආකාරයට, ඒ. ඡේ. කරීම් විසින් ගායනා කරන ලද, 'අඩුකුලේ කියාලා' නම් වූ ජනප්‍රිය ගීතය ගායනා කර තිබෙන්නේ මොහිදින් බෙග් විසිනි. පේරාදෙණියේ සහ කොළඹ විශ්ව විද්‍යාලයන්හි සිටින හේරත්ලා ගේ කුල මානය ම`ඩින යටි අරමුණු ද සහිත පෞද්ගලික අපේක්‍ෂා ඉටු කර ගන්නා අතරේ, අත්වැරදීමකින් ලියෑවී තිබෙන 'කුරුලු හදවත' නවකථාවට අනන්‍ය යථාරූපී ප්‍රබන්ධීය ස්‌වභාවයක්‌ නැත.

'කුරුලු පාළුව' යනු 'පාඩුව' වැනි අර්ථයක්‌ ජනනය කරන්නක්‌ ලෙස සඳහන් කරන්නට තරම් සියුම් ව සිංහල ගැමි සමාජයට එරෙහි ව බුද්ධි මෙහෙවරක යෙදී ඇති ලියනගේ අමරකීර්තිට ප්‍රබන්ධයේ යථාව කෙරෙහි අවධානය යොමු කරන්නට තරම් ඉස්‌පාසුවක්‌ නැති වී තිබෙන්නේ ඇයි?

මේ බව ලියනගේ අමරකීර්ති නොදන්නවා නො වේ. ඔහු විසින් 2003 වසන්ත සෘතුවේදී විස්‌කොන්සින් විශ්ව විද්‍යාලයේදී පවත්වන ලද දේශනයක්‌ සඳහා පාදක කරගෙන ඇත්තේ, මහාචාර්ය සරච්චන්ද්‍ර ගේ 'මළගිය ඇත්තෝ' නවකථාව ය. එහිදී ඔහු අපූරු කතාවක්‌ කියා තිබේ.

ඒ අනුව මෙකල ලාංකිකයන් ගේ මුදල් හොන්ඩා, ටොයොටා, යමහා සහ නොකියා වැනි ජපන් නිෂ්පාදන ම`ගින් සූරා කැවෙන බවත්, 'මළගිය ඇත්තෝ' නවකථාවේ චරිත නාම ගැන්වීමේදී මහාචාර්ය සරච්චන්ද්‍ර 'නොකියා' (Nokia) වැනි ජපන් නිෂ්පාදන නාම මැනවින් අධ්‍යයන කර, 'නොරිකෝ' යන නම තබා තිබෙන බවත් ලියනගේ අමරකීර්ති පවසා ඇත.

මෙහි ලා හාස්‍යජනක සිදුවීම වන්නේ 'නොකියා' යනු ජපන් නිෂ්පාදනයක්‌ නො වීම ය. ඒ බව ලියනගේ අමරකීර්ති සහ ඒ වන විට දේශන ශාලාවේ සිටි කිසිවකුත් දැන සිට නැත. ජපන් ඌරුවක්‌ ඇති 'නොකියා' යනු පින්ලන්තයේ නිෂ්පාදිත වෙළෙඳ සන්නාමයකි. මේ වන විට එය මයික්‍රෝ සොෆ්ට්‌ ආයතනය විසින් මිලදී ගනු ලැබ තිබේ.

මෙයින් පෙනී යන්නේ මහාචාර්ය සරච්චන්ද්‍ර ද අදහස්‌ නො කළ තරමට, ප්‍රබන්ධය (fiction) සැබෑව (real) සමඟ ගැට ගැසීමේ උවමනාවක්‌ ලියනගේ අමරකීර්තිට තිබී ඇති බව ය. ඔහු සමඟ ජාතික අධ්‍යාපනය නිදහස්‌ කර ගැනීමේ අභීත අරගලයට උර දී සිටින නිර්මාල් රංජිත් දේවසිරි, 'ගම්පෙරළිය' නවකථාවේ පියල් නන්දා වැනි පුද්ගල නාම අදාළ ව්‍යවහාරික කාලයට ගැළපෙන්නේ නැතැයි පවසන විට ද, ගුණදාස අමරසේකර ගේ සාහිත්‍ය කෘතින් හි නිරූපිත වාමාංශික දේශපාලනික චරිත තත්‍ය ලෝකය හා සැසඳෙන්නේ නැතැයි කුමුදු කුසුම් කුමාර පවසන විට ද, මෙවර 'ස්‌වර්ණ පුස්‌තක සම්මානය' දිනා ගත් 'කුරුලු හදවත' හාස්‍යයට ලක්‌ වීම නො වැළැක්‌විය හැකි ය. මාර්ටින් වික්‍රමසිංහ ගේ, ගුණදාස අමරසේකර ගේ ප්‍රබන්ධ පිළිබඳ ගැටලු ඔවුන්ට මතු ව ඇත්තේ චරිතයන්හි හැසිරීම් පාදක කර ගෙන ය. එහෙත් අමරකීර්ති ගේ කෘතිය අභියෝගයට ලක්‌ වන්නේ මූලික වශයෙන් එහි කාල රේඛාව බිඳ වැටීම නිසා ය. එය බරපතළ වරදකි.

'මම බල්සාක්‌ ගෙන් බොහෝ දේ ඉගෙන ගත්තෙමි' යයි එංගල්ස්‌ පවසන්නේ සාහිත්‍යය යනු ව්‍යවහාරික ජීවිතය පෝෂණය කරන, බුද්ධි මණ්‌ඩලයට නව අර්ථ සපයන යථාර්ථවාදය මත පිහිටුවන විෂයක්‌ ද වන නිසා ය. එය ඇසට පෙනෙන දේ ගොනු කළ වාර්තා සංග්‍රහයක්‌ නො වන බව ඇත්ත ය. එහෙත් 'වඩබාගින්න' වැනි 'කළු ජූලිය' ප්‍රස්‌තුත කර ගන්නා නවකථාවක්‌ නම් එය අනිවාර්යයෙන් ප්‍රබන්ධ විය යුත්තේ 1983 ජුලි මාසය පදනම් කර ගෙන ය. සාහිත්‍යය වූ පමණින් අදාළ සිදුවීම් පෙළ ගැස්‌ම 1985 අගෝස්‌තු හෝ 1975 මාර්තු වැනි කාලයකට අයත් කර ගත හැකි ද? එවකට බලයේ සිටි පුද්ගලයා රෝහණ විඡේවීර හෝ රනිල් වික්‍රමසිංහ හෝ විය හැකි ද?

ලබන සතියට...



-කුමාර ලියනගේ
[දිවයින වටමඬල]
යුතුකම සංවාද කවය
www.yuthukama.com

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com