11/19/2014

සුජාතභාවය රැකගැනීම උදෙසා ස්‌වර්ණ පුස්‌තක ඇගයුම් මණ්‌ඩලය ප්‍රබන්ධ ගෙතීම

කතෘ:යුතුකම     11/19/2014   No comments

"අප ක්‍රියාත්මක වූයේ නිදහස්‌ බුද්ධිමය පරිසරයකයි" යන මැයෙන් ස්‌වර්ණ පුස්‌තක අවසන් ඇගැයුම් මණ්‌ඩලයේ ප්‍රබන්ධමය ප්‍රකාශය 2014 ඔක්‌තෝබර් 23 වටමඬල සාහිත්‍ය අතිරේකයේ පළවී තිබිණි. පිළිතුරක්‌ දීමට තරම් ගැඹුරක්‌ එම ප්‍රකාශයේ නැතත් එහි ඇති දෘෂ්ටිමය අධිපතිවාදී ස්‌වභාවය සහ අවසන් ඇගැයුම් ක්‍රියාවලිය පිළිබඳව යළිත් ප්‍රශ්න කිහිපයක්‌ මතුකිරීමට අවස්‌ථාවක්‌ ලබා දී තිබේ.

සම්මාන උළෙලේ සුජාතභාවය

ඒකාබද්ධ නිවේදනයේ මුලින්ම සඳහන් කරන්නේ මෙවැනි උළෙලකින් පසු ඒ පිළිබඳ වාද - සංවාද ඇතිවීම ස්‌වභාවික බවත්, එනමුත් ජනමාධ්‍ය හරහා ඒ පිළිබඳ විවේචන එල්ල කර තිබුණේ සාහිත්‍යයේ උන්නතිය අරමුණු කොට නොවන බවයි. උක්‌ත සම්මාන උළෙලේ සුජාතභාවය කෙලෙසීමට ඉඩදීමෙන් සිංහල සාහිත්‍ය ප්‍රජාවට සිදුවිය හැකි හානිය වළක්‌වා ගැනීමට මේ ඒකාබද්ධ නිවේදනය පළකරන බවද සඳහන් කොට තිබිණි. පුදුමයට කරුණ මෙම සම්මාන උළෙලේ සුජාතභාවයත්, විනිශ්ච මණ්‌ඩලයේ තීන්දුත් බරපතළ ආකාරයට හෑල්ලුවට ලක්‌ කළේ අද මේ ප්‍රකාශයට අත්සන් තබා ඇති සමන් වික්‍රමාරච්චි මහතායි. ඒ පසුගිය වසරේ ස්‌වර්ණ පුස්‌තක සම්මානය කීර්ති වැලිසරගේ "කාල සර්ප" නවකතාවට හිමි වූ විටයි. එම ලිපියද 2013 ඔක්‌තෝබර් 03 දිවයින වටමඬලේ පළවිය. වික්‍රමාරච්චි මහතා එහි හඳුන්වා ඇති පරිදි පොත් මුදලාලිලා විසින් දැන් තමන්ද මේ ක්‍රියාවලියට කැඳවාගෙන ඇති නිසා වසරකට පසුව එහි සුජාතභාවය ආරක්‍ෂා කිරීමට කැපවී සිටින බව පෙනේ. සම්මානලාභී සාහිත්‍යකරුවන් සාධාරණව උපයාගෙන ඇති ගෞරවය ආරක්‍ෂා කරදීමද මෙම නිවේදනයේ තවත් අරමුණක්‌ වන බැවින් මීට අත්සන් යෙදූ අයගේ දැනගැනීම පිණිසත්, පාඨකයන්ගේ දැනගැනීම පිණිසත් වික්‍රමාරච්චි මහතාගේ ලිපියෙන් කොටස්‌ කීපයක්‌ උපුටා දැක්‌වීම වැදගත්ය.
 
01) ස්‌වර්ණ පුස්‌තකය පොත් ප්‍රකාශකයන්ගේ සංගමය නමින් හැඳින්වෙන ව්‍යාපාරික රොත්තකගේ මෙහෙයවීමෙන් කෙරෙන්නක්‌ බැවින් එහි සංස්‌කෘතික සන්දර්භය අතිශයින් පසු-ධනවාදී වේ.
02) ස්‌වර්ණ පුස්‌තක සම්මාන ජූරිය සඳහා මගේ නම යෝජනා වී තිබිණි. එහෙත් පොත් ප්‍රකාශකයන්ගේ වැඩිදෙනෙක්‌ ඒ නමට විරුද්ධත්වය ප්‍රකාශ කළ බැව් දැනගන්නට ලැබී ඇත. කිසියම් ප්‍රකාශකයෙක්‌ "එයාගේ න්‍යාය වැඩියි ඒ වගේම එයා රැඩිකල් වැඩියි" යනුවෙන් පැවැසුවේය. රැඩිකල් හා න්‍යාය යන වදන්වල ඔවුන් දන්නා අර්ථය කුමක්‌ හෝ වේවා ඔවුන්ට අවශ්‍ය නෝන්ජලයන් පිරිසකි. අප ඔවුන් හඳුන්වන්නේ අපතයන් යනුවෙන්ය. එලෙස ස්‌වර්ණ පුස්‌තක හැඟැවුම්කාරණයේ ආධිපත්‍යට නතුවූ නෝන්ජලයන් පිරිසක්‌ විසින් දොළහක්‌, පහක්‌ සහ එකක්‌ ලෙස තේරා දුන් පොත් මුදලාලිලාගේ පහන් සංවේගයට ගැළපෙන නවකතාව zකාලසර්පZ විය. කාල සර්ප නවකතාව වූකලී එක්‌තරා නෝන්ජලයකුගේ කතාවයි.
03) කාල සර්ප නවකතාවේ එන වසන්ත කුමාර ශිෂ්‍ය නායකයකු තබා සමාජ සබඳතාවක්‌ පවා පවත්වාගෙන යා නොහැකි නෝන්ජල් තරුණයෙකි. ඔහු පෙම්වතියට ලියන ලිපිවල දැක්‌වෙන්නේ ඔහුගේම ෆැන්ටසීන්ය.
04) මෙම නවකතාව පිළිබඳ ස්‌වර්ණ පුස්‌තක සම්මානය ප්‍රදානය කරමින් ප්‍රකාශයට පත්කළ හේතු පාඨයද වසන්ත කුමාර තම පෙම්වතියට ලියන ලිපියට දෙවැනි නැත. (2013 ඔක්‌තේබර් 03 වඬමඩල - සමන් වික්‍රමාරච්චි)

ස්‌වර්ණ පුස්‌තක සම්මාන උළෙලේ සුජාතභාවයට හා එකල සම්මානලාභී සාහිත්‍යකරුවන් සාධාරණව උපයාගත් ගෞරවයට මේ තරම් හානිකළ ලිපියක්‌ තවත් තිබේද? පොත් ප්‍රකාශක සංගමය, විනිශ්චය මණ්‌ඩලය පමණක්‌ නොව ඔවුන් තෝරන ලද නවකතා ලියූ කතුවරුද මින් අවඥවට ලක්‌ වේ. මන්ද නෝන්ජලයන් පිරිසක්‌ විසින් දොළහක්‌ පහක්‌ හා එකක්‌ වශයෙන් පොත් මුදලාලිලාට තෝරා දී තිබෙන කෘති (අත අත නෑර හැර) නෝන්ජල් කෘති වන නිසාය. මේ ඒකාබද්ධ ප්‍රකාශනයෙන් ඉස්‌මතු කොට දක්‌වන කරුණු අනුව දැන් අපට ඇසීමට ප්‍රශ්න කීපයක්‌ තිබේ.

වික්‍රමාරච්චි මහතාගේ මේ ලිපියෙන් කමිටුවේ සභාපති ඇතුළු විනිශ්චය මණ්‌ඩලයේ ගෞරවයත්, ස්‌වර්ණ පුස්‌තක සංගමයේ සුජාතභාවයත්, පොත් ප්‍රකාශක සංගමයේ ගෞරවයත්, සම්මානලාභීන් සාධාරණව උපයාගත් ගෞරවයත් ආරක්‍ෂා වූයේද? මෙම ප්‍රකාශයට අත්සන් කොට තිබෙන ආරියවංශ රණවීර (සභාපති) සුනිල් විඡේසිරිවර්ධන, හර්ෂණ රඹුක්‌වැල්ල යන මහත්වරු පසුගිය වසරේ මේ කියන ජූරියද නියෝජනය කළහ. එකල මෙබඳු නිවේදන නිකුත් නොකළේ වික්‍රමාරච්චි මහතාගේ ලිපිය ස්‌වර්ණ පුස්‌තක ක්‍රියාවලිය හා සම්බන්ධ පාත්‍ර වර්ගයාගේම ගෞරවයට හේතු වූ නිසාද? එතුමා සිය ලිපිය අවසන් කරන්නේ මේ ආකාරයටය.

"කාල සර්ප පුළුල් වියමනක්‌ ලෙස ගෙන සලකා බලන විට පෙනී යන්නේ එහි එන පාත්‍ර වර්ගයා පරයා එහි කතුවරයාද එයට සම්මාන පාක්‌කුඩම් පුදන ස්‌වකීය මිත්‍ර ප්‍රතිරූපකයන්ද මතුවන සැටිය. ඔවුහු නවකතාවේ එන ප්‍රධාන චරිතයේ නෝන්ජල්කමට නොදෙවැනිව හැසිරෙති".

එකල සම්මානලාභී සාහිත්‍යකරුවන් සාධාරණව උපයාගත් ගෞරවය ආරක්‍ෂාකර දීමට මෙම කමිටුව පියවර නොගත්තේ වික්‍රමාරච්චි මහතා සඳහන් කරන පරිදි මිත්‍ර ප්‍රතිරූපක මතු වූ නිසාද?
අනෙක්‌ පැත්තෙන් වික්‍රමාරච්චි මහතාගෙන්ද මේ සමඟ ඇසිය යුතු ප්‍රශ්න කීපයක්‌ තිබේ.

ජනාමාධ්‍යවේදීන්ට මාධ්‍ය ආචාර ධර්ම හා වෘත්තිමය වගකීම ගැන කියා දෙන්නට එන ඔබ කුමක්‌ හෝ ක්‍ෂේත්‍රයක ඉදිරියට ගිය ප්‍රවීණයන්ට අපතයන්, නොන්ජලයන් යෑයි කීම ගැළපෙන්නේ කුමන ආචාර ධර්මයකටද? සාහිත්‍ය ක්‍ෂේත්‍රයට තවමත් කථිකාමය මැදිහත්වීමක්‌ හෝ සම්ප්‍රදානයක්‌ අපට නැත්තේ හර්ෂණ රඹුක්‌වැල්ල මහතාගෙන් පමණි. ඔහුද විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකැයි පැවැසේ. එහෙත් පිටකොටුවේ රඹුටන් වෙළෙන්දකුට වුවද එබඳු පරිභවයක්‌ කිරීම ගැළපෙන්නේ කුමන වෘත්තිමය සුදුසු කමකටද? අනෙක්‌ අතට මේ නෝන්ජල් කියූ පිරිස සමඟ අප ක්‍රියාත්මක වූයේ බුද්ධිමය පරිසරයක යෑයි කියන්නේ කෙසේද? වික්‍රමාරච්චි මහතා විනිශ්චය මණ්‌ඩලයට ඇතුළත් වූ සැනින් අනෙක්‌ අය ප්‍රබුද්ධ වූයේ කෙසේද? එබඳු අය සමඟ මෙවර ගත් තීන්දුවද නෝන්ජල් තීන්දුවක්‌ නේදැයි කවුරු හෝ ප්‍රශ්න කළහොත් ඊට දිය හැකි පිළිතුරක්‌ තිබේද? හැඟවුම, හැඟවුම්කාරකය, ඩෙරීඩියානු ප්‍රවාද µqකෝ න්‍යාය ප්‍රොසිඩියානු මනෝවිශ්ලේෂණය ආදි වචන කටපාඩමේ තබා නොගත් පමණින් කිසිවෙකු නෝන්ජලයන්, අපතයන් ලෙස හැඳින්විය හැකිද?

ප්‍රබන්ධ ගෙතීම

ස්‌වර්ණ පුස්‌තක සම්මාන ක්‍රියාවලිය අරභයා පසුගිය කාලයේ මාධ්‍ය මගින් පළවූ පුවත ප්‍රබන්ධ නම් එකලම ඒවා නිවැරදි නොකොට මාස දෙකකට ආසන්න කාලයක්‌ බලා සිටීමට සිදු වූ හේතුව කුමක්‌දයි ඉන් තව තවත් ප්‍රබන්ධ පැතිරීමට ඉඩ ලැබුණා නොවේද? සත්‍ය වසන්කොට හෝ සත්‍ය යටපත් කොට සමාදානයකට පැමිණ ප්‍රබන්ධ ලිවීමට නම් දිගුකලක්‌ ගත වනු ඇත. කෙසේ වුවත් ඒකාබද්ධ ප්‍රකාශනයෙන් ඇගැයුම් මණ්‌ඩලය සඳහන් කරන්නේ ඇගැයුම් අදියර තුනක්‌ සඳහා කමිටු තුනක්‌ පත්කර තිබූ බවයි. පොත් දොළහ තේරීම සඳහා මුල් කමිටුවද පොත් පහක්‌ තේරීම සඳහා දෙවැනි කමිටුවද ස්‌වර්ණ පුස්‌තක සම්මානය නිර්දේශ කිරීම සඳහා තෙවැනි කමිටුවද වශයෙනි. නමුත් කෘති පහ තේරූ දෙවැනි කමිටුවක්‌ පිළිබඳ සඳහන් ඒකාබද්ධ ප්‍රකාශනයේ නැත. පෙර වසරේ පැවැති අර්බුද හේතුවෙන් මෙවර නව විනිශ්චය ක්‍රමවේදයක්‌ කරා යන බව මාධ්‍ය මගින් දක්‌නට ලැබුණද දෙවැනි කමිටුවක්‌ පිළිබඳ තොරතුරක්‌ දක්‌නට නොලැබුණි. මේ දෙවැනි මණ්‌ඩලය නියෝජනය කළේ කවුරුන්ද? ඔවුන් තෝරා ගැනුණේ කුමන පදනමකින් දැයි පැහැදිලි කළ හැකිද?

ආරම්භ කෘති දොළහක්‌ යෑයි කීවාට ප්‍රසිද්ධියට පත්කළේ කෘති දහයක්‌ පමණි. ඊට හේතු මේ ප්‍රකාශනයේ නැත. පෙර වසරවලදී මුල් වටයේ කෘති දොළහ මෙවර දහය වූයේ දෘෂ්ටිවාදයට නොගැළපෙන "සීමා හා ආෂාඩ පුෂ්පය" යන නවකතා දෙක කපා දැමීමට නොවේද?
ප්‍රබන්ධ යෑයි කියන ස්‌වර්ණ පුස්‌තක ඇගැයුම් ක්‍රියාවලිය පිළිබඳ යම් යම් තොරතුරු එළියට එන්නට ගත්තේ විනිශ්චය මණ්‌ඩලයේම කටවල්වලින් මිස වෙනයම් ක්‍රමයකින් නොවේ. මුලින්ම ඇගැයුම් ක්‍රියාවලියේදී ඒ ඒ නවකතාවට ලැබුණු ඡන්ද ප්‍රමාණය සඳහන් කොට "ස්‌වර්ණ පුස්‌තකය නව විනිශ්චය ක්‍රමවේදයක්‌ කරා යන්නේ කොහොමද?" යන මැයෙන් විමලනාත් වීරරත්න මහතා ලියූ ලිපිය 2014 අගෝස්‌තු 17 රාවයේ පළ විය. ඒ අනුව කුරුළු හදවතට ඡන්ද 19 කි. තාරා මගේ දෙව්දුව හා මරියා සිලෝනිකාට 18 කි. කාලනදී ගලාබසී කෘතියට 17 කි. පාද යාත්‍රා කෘතියට 16 කි. වැඩිම ඡන්ද ප්‍රමාණයක්‌ ලැබූ පිළිවෙල අනුව අවසන් කෘති 05 ලෙස නියමාකාර ලෙස නම්කළ යුතුව තිබුණේ මේවාය. අවසාන ඇගැයුම් මණ්‌ඩලයේ කිසිවෙකු තවමත් මෙම ලකුණු පිළිවෙල ප්‍රතික්‍ෂේප කොට හෝ වැරදි නම් නිවැරදි කර නැත. ගැටලු පැන නගින්නේ විසි දෙනකුගෙන් යුත් විනිශ්ච මණ්‌ඩලයෙන් ඡන්ද දාහතක්‌ ගත් කාලනදී ගලා බසී කෘතිය වෙනුවට එක්‌ පුද්ගලයකුගේ දැඩි වුවමනාව මත ඡන්ද දහතුනක්‌ ලැබුණ "යක්‍ෂණී" කෘතිය අවසන් පහ අතරට ගැනීමෙනි. ඉන් පසුව 2014.08.31 zසිළුමිණZ ට නෝබට්‌ අයගමගේ සහ ටෙනිසන් පෙරේරා දක්‌වා තිබූ අදහස්‌ පාඨකයන්ට තවමත් මතකය. යක්‍ෂණිට සම්මාන දෙන්නට තැත්කිරීම මොහොතකට අමතක කළත් එය අවසන් කෘති පහ අතරට එන මැජික්‌ ක්‍රමවේදය කුමක්‌ද? කාගේ උවමනාවකට දැයි පැහැදිලි කළ යුතුව ඇත. සතියක්‌ දෙකක්‌ ඇතුළත කියවූ කෘතියක්‌ දෙවරක්‌ නොකියවන අතර කියවූවන් ලබන අද්දැකීම වින්දනය, රුචිකත්වය, අංශක ගණනකින් වෙනස්‌ වන්නේ නැත.

අවසන් ඇගැයුම් මණ්‌ඩලය නිදහස්‌ හා බුද්ධිමය පරිසරයක ක්‍රියාත්මක වෙමින් ඒකමතිකව තීරණය කළේ කුරුළු හදවතට සම්මාන දීමට නම් සම්මාන උළෙලින් පසුවත් දිගින් දිගටම යක්‍ෂණී උඩ දමමින් එක්‌ විචාරකයෙක්‌ විවිධ පුවත්පත්වලට ලිපි ලිsයන්නේ ඇයි? (2014.10.05 සිළුමිණෙහි ඉන් එකක්‌ පළ විය) මේවා ප්‍රබන්ධ නම් කිසිදා නොවූ විදිහට යක්‍ෂණී පිළිබඳ සඳහනක්‌ සභාපතිවරයා ඉදිරිපත් කළ සම්මාන නිර්දේශ කතාවට ඇතුළත් කළේ ඇයි? ඊට පෙර වසරවලදී මෙබඳු විශිෂ්ට ලක්‍ෂණ ඇති කෘතීන් නොතිබුණාද? තමන්ට කියවීමට අසීරු යෑයි කියූ කෘතියක විශිෂ්ට ලක්‍ෂණ සභාපතිවරයා අන්තිමට දැක්‌කේ කෙසේද? සභාපතිවරයා සභා ගැබට පැමිණ එක්‌තරා ප්‍රකාශකයකු සම්මාන ප්‍රදානයට පෙර අවසන් රැස්‌වීම පැවැත්වූ තැනට රැගෙන යන්නේ කුමන හේතුවකට දැයි පැහැදිලිs කළ හැකිද?
අන්තර් ජාලයේ (Lanka Daily) වෙබ් අඩවියේ මංජුල වෙඩිවර්ධන මහතාගේ සම්මුඛ සාකච්ඡාවක්‌ මේ පිළිබඳ පළ කොට තිබිණි. යක්‍ෂණීගේ අභිෂේක වීම වැළැක්‌වීමට වෙනත් බලවේග ක්‍රියාත්මක වූ බවට පැතිරෙන ආරංචිය විශ්වාස කරනවද? යන පැනයට මංජුල දෙන පිළිතුර මෙවැන්නකි.

"විශ්වාස කරනවද කියලා අහන්න දෙයක්‌ නෑ. එතන සිද්ධ වුණේ මංකොල්ලයක්‌ තමයි. ආරියවංශ රණවීර කවින්ද්‍රයා එළියට ඇවිත් දේවල් කිව්වට ඒ ඇගැයීම නිවේදනය කරපු දවසේ ඔහුගේ මුහුණ හා කටහඬ පත්වෙලා තිබ්බ ව්‍යාකූලත්වය හැමෝම දැක්‌කා. සාහිත්‍ය මංකොල්ලයක්‌ සිද්ධ වුනාම ඒකට සෘජුව හවුල් වුනු අයට එක ඒ අයගේ හෘද සාක්‍ෂි සම්බන්ධ ගැටළුවක්‌ බවට පත් වෙනවා. රෑට නින්ද යන්නේ නෑ. හීනෙන් බය වෙනවා. පොත්වල හිටපු චරිත ඇඳට පැනල බෙල්ල මිරිකන්න එනවා. නමුත් මේ ක්‍රියාවලියේ හිටපු ඇත්ත මිනිස්‌සු එළියට ඇවිත් ඇත්ත කියන්න ගත්ත දවසට හැංගෙන්න දැන් ඉඳන්ම බිත්තර කටු හොයා ගන්න වෙනවා."
(මංජුල වෙඩිවර්ධන - Lanka Daily)
ස්‌වර්ණ පුස්‌තක සම්මාන ලැබීමට යක්‍ෂණි කතුවරයා ද ඇඳුම් මසාගෙන සිටි බව මින් පෙනේ. ඔහු තවදුරටත් පවසා තිබුණේ රණවීර මහතාගේ දුරකථනයේ ඩීටල්ස්‌ බිල ගත හැකි නම් මේ මංකොල්ලයේ අගමුල සොයා ගත හැකි බවයි. එහෙත් ඒ සඳහා අධිකරණයට යන කිසිවෙකු නැත. එනිසා ඇගැයුම් මණ්‌ඩලයටද ඕනෑම ප්‍රබන්ධයක්‌ ගෙතිය හැකිය.

මාධ්‍ය හීලෑකිරීම

අවසාන වශයෙන් මේ කමිටුව තරුණ ජනමාධ්‍යවේදීන් මෙල්ල කිරීමට දීන උත්සාහයක්‌ද ගෙන තිබේ. එය තම සිවිල් බලය යොදා පිටු සංස්‌කාරවරුන්ට කළ අනියමාර්ථ තර්ජනයකිනි. ලංකාවේ සාහිත්‍යකරුවන් හා විචාරකයන් රෝලන්ඩ් බාර්ත් ගේ කර්තෘ ඝාතනය හෙවත් කර්තෘගේ මරණය පිළිබඳ පාඩම් ඉගැන්වුවත් රාත්‍රියේ දී කර්තෘ අවදියෙන් බව මෙරට පිටු සංස්‌කාරකවරු දනී. කමිටුව කියන ආකාරයට අදහස්‌ විමසන්නට ගියවිට ලංකාවේ සාහිත්‍යකරුවන්, විචාරකයන්, ඒවා පළ කිරීමට ඉඩ දෙයිද?

වටමඬලෙහි පළවෙන ලිපි සංවාදයට විවෘත බවත්, යම් නිර්මාණයන් පිළිබඳ අදහසක්‌, මතවාදයක්‌, චෝදනාවක්‌ තිබේ නම් ඊට ඉඩ දෙන්නට තමන් සූදානම් යෑයිද වටමඬල සංස්‌කාරකවරයා ලියයි. ඔහු යටත් වන සීමාව මෙයයි. මේ ලිපිය පවා ලියෑවෙන්නේ විවෘත අදහස්‌ දැක්‌වීමකට එහි ඉඩ විවරකොට ඇති නිසාය. ඇගැයුම් මණ්‌ඩලයේ ප්‍රකාශය පළවන්නේ ද ඒ ආචාරධර්මයට අනුවය.

අනෙක්‌ අතට පුවත්පත් කලාවේදීන් ට "වෘත්තිමය වගකීම" උගන්වන මේ මහත්වරු මේ ක්‍රියාවලියේදී පෙන්වා ඇති වෘත්තිමය වගකීම කුමක්‌ද? ඔවුන් විවාදාත්මක මත පළ කරන විට ඒ ක්‍රියාදාමයට මැදිහත් වූ අනෙක්‌ පාර්ශ්වවලින් ද මත විමසා බැලීමට යෑයි පුවත්පත් කලාවේදීන්ගෙන් ඉල්ලා සිටියාද? මෑතක දී සභාපතිවරයා පේරාදෙනිය ගුරුකුලය හා සාහිත්‍ය ගැන ලියන විට ඔහු ලියූ දේ ගැන සිරි ගුනසිංහගෙන් හා ගුණදාස අමරසේකරගෙන් විමසා ඒවා සත්‍යක්‌ද ප්‍රබන්ධයක්‌ද යන්න නිශ්චිතවම දැනගෙන පළකරන්නට යෑයි ඔහු ඉල්ලා සිටියාද? වික්‍රමාරච්චි මහතා ලියන ලිපි පිළිබඳවත් අදාළ පර්ශ්වයන්ගේ අදහස්‌ ද විමසා පළ කරන්නැයි ඔහු පුවත්පත් කතුවරුන්ගෙන් ඉල්ලා සිටින්නේද? විවාදාත්මක දේශපාලන ප්‍රශ්නයක්‌, දේශපාලන තීන්දුවක්‌ හෝ කිසියම් පාර්ශ්වයකට නීතිය ඉදිරියට යා හැකි අගතියට පත්වන යමක්‌ පළ කිරීමට පෙර ඒ පාර්ශ්වයන්ගේ අදහස විමසා සිටීම මාධ්‍ය මූලධර්මයක්‌ වුවත් සාහිත්‍ය විචාරය ගැන මත විමසන සිරිතක්‌ ඇත්තේ මොන රටේ මොන පුවත්පතේද?

තරුණ වියේදී ප්‍රවෘත්ති සම්පාදිකාවක්‌ ලෙස සේවය කළ ඉසබෙල් අයියන්දේ මෙන් පුවත්පත් රස්‌සාවෙන් සමුගෙන සිය ජීවිතය ප්‍රබන්ධ සාහිත්‍ය වෙනුවෙන් කැපකිරීම යෙහෙකැයි යනුවෙන් උපහාසයට ලක්‌කරමින් මේ කරන්නේ තමන්ට එරෙහිව පළවෙන ලිපි සිවිල් බලය සාදා මර්දනය කිරීමයි. ස්‌වකීය අධිපතිවාදී දෘෂ්ටිය ඔවුන් අවනත කර ගැනීමයි. වටමඬලෙහි විවිධත්වයෙන් යුත් ලිපි පළවෙන බව පෙනේ. බහු ජන වර්ගයන්, බහු සංස්‌කෘතීන්, බහුමානිත කියවීම් වෙනුවෙන් නිතර දෙවේලේ පෙනී සිටින පිරිස්‌ මෙවැනි තැන්වලදී අන් කවරෙකුටත් වඩා ඒකමානික වන්නේ ඇයි?
අවසාන වශයෙන් අප කියන්නේ මේ ලිපිය වුවද කාටත් සංවාදයට විවෘත වන බවය.

-රත්තනදෙණියේ මේධානන්ද හිමි :ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය
යුතුකම සංවාද කවය
www.yuthukama.com  

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions