1/22/2015

ගැමුණු රජු විශ්වයටම කළ සම්ප්‍රදානය මා සොයා ගත්තා - ප්‍රවීන සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි

කතෘ:යුතුකම     1/22/2015   1 comment

ජයන්ත චන්ද්‍රසිරි මෙරට සිනමා වංශකතාව තුළ තම අනන්‍යතාව සනිටුහන් කළ සුවිශේෂී නිර්මාණකරුවෙකි. ටෙලිනාට්‍යකරණයේදී සුවිශේෂී අනන්‍යතා සලකුණු තැබූ ඔහු ප්‍රවීණ මාධ්‍යවේදියෙකි. ඔහුගේ නවතම සිනමා ආඛ්‍යානය 'මහරජ ගැමුණු' හෙට දින (23 දා) සිට ඊ.ඒ.පී. මණ්‌ඩලයේ සිනමා ශාලාවන තිරගත වීමට නියමිතය. 'මහරජ ගැමුණු' සිනමා නිර්මාණය පිළිබඳ ජයන්ත චන්ද්‍රසිරි සමග 'වටමඬල' කළ සංවාදය පහතින් පළ වේ. 

මහරජ ගැමුණු ආරම්භය සිනමා නිර්මාණයක්‌ වශයෙන් වුවත් පළමුව ජනතාව වැළඳගත්තේ එහි නවකතාවයි. මෙහි පසුබිම කුමක්‌ද?

මහරජ ගැමුණු පිළිබඳ මගේ මුල්ම සිතිවිලි අවදිවන්නේත්, සංවිධානය වන්නේත් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක්‌ වෙනුවෙන් බව ඇත්ත. ඒ සමහරවිට මට සාහිත්‍යයට වඩා හුරු ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය වීම නිසා විය හැකියි. දීර්ඝ කාලීන ගවේෂණයකට පසු මා ලියන්නේ චිත්‍රපට තිර රචනයක්‌. චිත්‍රපට තිර රචනයක්‌ කියන්නේ චිත්‍රපට නමැති කලා මාධ්‍යයේ සර්ව බලධාරියා වන අධ්‍යක්‍ෂවරයා ප්‍රධාන එක්‌තරා මෙහෙයුම් මුළුවක්‌ වෙනුවෙන් ලියෑවෙන කිසියම් විධිමත් ලියෑවිල්ලක්‌. සාහිත්‍ය කලාව ඇසුරු නොකළ ලේඛකයකුට මේ ලියෑවිල්ල හරියට ලියාගන්න පුළුවන් වේයෑයි මා සිතන්නේ ද නැහැ. එහෙත්, සාහිත්‍ය කලාව කෙතරම් ඇසුරුකළ ලේඛකයකුට වුවත් තිර රචනයකින් විශිෂ්ට සාහිත්‍ය කෘතියක්‌ බිහිකරන්න හැකි යෑයි මා සිතන්නේ නැහැ. එසේ වුවත් තිර රචනා සිද්ධාන්තත්, සිනමා රූපකවල පවත්නා ශක්‌තියත් සාහිත්‍ය නිර්මාණ සඳහා යොදාගන්නා අවස්‌ථා අද දැකිය හැකියි. මහරජ ගැමුණු චිත්‍රපටගත කිරීම තවදුරටත් යථාර්ථයක්‌ නොවන තත්ත්වයක්‌ යටතේ මහරජ ගැමුණු තිර රචනය ඇසුරින් නවකතාවක්‌ රචනා කිරීමට මා එළඹෙනවා. ඉතාම සීඝ්‍රයෙන් අලෙවි වූ නවකතාවක්‌ විදිහට ඔබ කියන්නාසේම ජනතාව එය වැළඳගන්නවා. අවසානයේදී කථිකාචාර්ය ගුණපාල රත්නසේකර වැනි විශිෂ්ට සිනමා අර්ථපතියකුත් මට සොයා දෙන්නේ මහරජ ගැමුණු නවකතාව විසින්මයි.

ලේඛන කලාව හා දෘශ්‍ය කලාව වෙනස්‌වන ඉම කුමක්‌ද?

ලේඛන කලාව සීමා රහිත විශ්වයක්‌ නම්, දෘෂ්‍ය කලාව සීමාසහිත විශ්වයක්‌. නූතන චිත්‍ර කලාව
බිහිවන්නේ මේ සීමාසහිත විශ්වයෙන් එහාට පලායැමේ උත්සාහයක ප්‍රතිඵලයක්‌ වශයෙන්. ශ්‍රව්‍ය දෘශ්‍ය කලාවට අයත් සිනමාව බිහිවන්නේ මා කලින් කී සීමාරහිත විශ්වයෙනුත් පලායැමේ උත්සාහයක ප්‍රතිඵලයක්‌ වශයෙන්. ඒ නිසා ඇත්තටම බැලුවොත් එක කලාවකින් තවත් කලාවක්‌ වෙන්කරන නිශ්චිත ඉමක්‌ - කොණක්‌ ඇතැයි මා සිතන්නේ නැහැ. ඔව්, මා කියන්නේ පෑනෙන් ලියන සිනමාවක්‌ වගේම කැමරාවෙන් ලියන නවකතාද බිහිවිය හැකි බවයි.

ගැමුණු චරිතය සිංහල ජනවිඥනය තුළ බුහුමනට ලක්‌වන්නේ සිංහල රාජවංශයේ බිහිවුණු වීරචරිතය ලෙසිනුයි. එවැනි චරිතයක්‌ සිනමා සිත්තමකට, නවකතාවකට ගෙන ඒම ඉතා සියුම් ලෙස කළ යුතු දෙයක්‌. එහිදී ගැමුණු චරිතය පිළිබඳව ඔබ කළ විශේෂ ගවේෂණය කුමක්‌ද?


අප තවමත් ගැමුණු රජු අපගේ අවිඥනය තුළ නොමැකුණු රූපයක්‌ සේ පවත්වාගෙන එන්නේ මන්දැයි කුකුසක්‌ හැම විටම මා තුළ තිබුණා. ක්‍රිස්‌තු පූර්ව එක්‌තරා දවසක මුළුමනින්ම වැඩ නිමා නොකළ මහාථූපය දෙස බලමින් අවසන් හුස්‌ම හෙළු මේ මනුෂ්‍යයා තවමත් මේ තරම්ම අප තුළ ජීවමාන වන්නේ මන්ද යන්න පිළිබඳව ගැඹුරින් සොයා බලන්නට මා පෙළඹ වූ තවත් විශේෂ හේතුවක්‌ද තිබුණා. ඒ නම් මේ චරිතය පිළිබඳව අපගේ පැරණි සම්භාව්‍ය සාහිත්‍යයේ පමණක්‌ නොව ජනශ්‍රැතික තොරතුරුවල පවා පවත්නා පරස්‌පරතාවන්.

මෙහිදී මා ඇසුරු කළ මහාවංශය වංසත්ථප්පකාසිනිය, රසවාහිනිය, සද්ධර්මාලංකාරය, ධාතුවංශය, සිහලවත්ථුප්පකරණය, රාජාවලිය වැනි ඉපැරණි සාහිත්‍ය මූලාශ්‍රවල පමණක්‌ නොව මෑත යුගයේ බොහෝ විද්වතුන් විසින් පිහිටි රට සහ ගැමුණු රජතුමා පිළිබඳව රචනා කරන ලද ග්‍රන්ථ සහ ලිපි ලේඛන තුළින් පැහැදිලිව පිළිඹිබුවන පරස්‌පරතා රාශියක්‌ මා දුටුවා. මේ සියල්ලම ගැඹුරින් නිරීක්‍ෂණය කළ පසු මට හෙළිදරව්වූ ඉතාම වැදගත් දෙය නම් මේ පරස්‌පරතා හුදු අහඹු හෝ අහඹු විකෘති කිරීම් හෝ නොවන බවයි. ඒවා චිරාත් කාලයක්‌ මුළුල්ලේ මේ චරිතයේ විශිෂ්ටතාව අවප්‍රමාණ කිරීමට එකතු කරන ලද වැරදි සැරසිලි බව මට ප්‍රත්‍යක්‍ෂ වුණා. පුදුමයට කරුණ නම් මේ සැරසිලිs ශතවර්ෂ ගණනාවක්‌ මුළුල්ලේම කිසිවකුගේ ප්‍රශ්න කිරීමකට ලක්‌නොවී නිරුපද්‍රිතව පැවතීමයි. මෙය එක්‌තරා ආකාරයක සැකනොකරන ලද අගතිගාමීත්වයක (Unsuspected bias) ප්‍රතිඵලයක්‌ බවයි මට වැටහුණේ. ඓතිහාසික සාධක උපයෝගී කරගෙනම ඒවා බිඳදැමූ විට මේ චරිතයේ එන බැබලීම මහා පුදුමාකාරයි. මා සිතන්නේ මා ගැමුණු රජතුමා ඉතා නිවැරදිව සොයාගත් බව පමණක්‌ නොවේ. එතුමා මේ විශ්වයටම කළ සම්ප්‍රදානයද සොයාගත් බවයි.

ඒ සම්ප්‍රදානය තමයි මේ විශ්වයේ තිබෙන විශ්ව ධර්මතා තුළ තමාට ලැබිය හැකි උතුම්ම මානව විමුක්‌තිය ද සෙසු මිනිසුන් ගේ මානව විමුක්‌තිය උදෙසා පරිත්‍යාග කිරීම, අනුන්ගේ නිවන උදෙසා තමන්ගේ නිවන පමාකර ගැනීම. සාමාන්‍යයෙන් මෙවැන්නක්‌ කරනු ලබන්නේ බෝසත්වරයෙක්‌ පමණයි. 

නමුත් ඔබ සිනමාකරුවෙක්‌. කලාව ඉතිහාසයට වඩා දාර්ශනිකයි. ප්‍රේක්‍ෂකයන් මෙය කෙසේ පිළිගනීද?

සාමාන්‍යයෙන් ඉතිහාසඥයා අමතන්නේ තොරතුරුවලට, එහෙත් කලාකරුවා අමතන්නේ තොරතුරුවලට පමණක්‌ නොවේ. ඒ තොරතුරු නිපදවූ ආත්මවලටත් ඔහු අමතනවා. ඔහු ඒවා සමඟ සංවාදයේ යෙදෙනවා. ඉතාම සත්‍යය නම් මිනිසාගේ භෞතික ඉතිහාසයේ මොන මොන වෙනස්‌කම් සිදුව තිබුණත් ඔහුගේ භාවමය ඉතිහාසයේ කිසිදු වෙනසක්‌ තවමත් සිදුව නොතිබීමයි. ඒ නිසා හෙට දිනයේ පටන් ශ්‍රී ලාංකික සිනමා ප්‍රේක්‍ෂකයා මෙය වැළඳගන්නා බව මට හොඳටම විශ්වාසයි.
ගැමුණු චරිතය බුහුමනට ලක්‌වූ චරිතයක්‌ වූවත් මෑත කාලීන ඇතැම් නවකතා තුළ එය ඉතා විනාශකාරී චරිතයක්‌ ලෙසින් හුවාදැක්‌වීමට උත්සාහ ගත් අවස්‌ථා තිබුණා. විශේෂයෙන්ම ගැමුණුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ එළාර උත්කර්ෂයට නැංවීමේ උත්සාහයන් එම නිර්මාණයන්හි ගැබ්ව තිබුණා. නමුත් පෙර පැවැසුවා සේ ඔබ ඉතිහාසකරුවාටත් හසුනොවුණු ගැමුණු චරිතයේ ඉසියුම් තැන් ස්‌පර්ශ කරමින් ඔහු මෙරට බිහිවූ ශ්‍රේෂ්ඨතම පාලකයා වශයෙන් ඔසොවා තැබීමට උත්සාහ කරනවා...

කෙනෙකුට තමන් කැමැති ඕනෑම දෘෂ්ටි කෝණයකින් තමන්ගේ පරිකල්පනය ගොඩනැඟීමේ නිදහස අපේ ඓතිහාසික සම්ප්‍රදාය තුළ තිබෙනවා. එය පුදුම නිදහස්‌ සම්ප්‍රදායක්‌. හැබැයි මේ නිදහස්‌ සම්ප්‍රදායේ ආලෝකයෙන් ඉතිහාසය කියෑවීමේදී
පඬිතුමාගේ අප හරියට පරෙස්‌සම් විය යුතුයි. මක්‌නිසාද අපේ ඉතිහාසයේ සමහර දේ සමහර අවස්‌ථාවල ලියෑවී ඇත්තේ පදවල නොව පද අතර නිසා. සමහර දේ කියෑවෙනවාට වඩා නොකියෑවී ඇති නිසා. එය ගයිගර් වදනකින් කිවහොත්, සිංහලයාගේ ඉතිහාසයේ තිබෙන ප්‍රශ්නය වන්නේ ඔවුන් ප්‍රකාශ කළ දේ නොව ප්‍රකාශ නොකළ දේය කියන එකයි. ඒ නිසා යමකු ඉතිහාසය තුළට කි¹ නොබැස ඉතිහාසය උඩින් පල්ලෙන් අතගෑමෙන් ඓතිහාසික චරිතවල පවත්නා ස්‌වභාවික ගුණයන් විනාශ වී යා හැකියි. එබඳු දැ රටක රසික පරපුරකට කරන අසාධාරණයක්‌ විය හැකියි.

එහෙත් මෙහිදී ඔබ අදහන දර්ශනය ඔබගේ මතවාද, අභිමතාර්ථයන් ඔබ නිර්මාණය කළ ගැමුණු චරිතයට බලපෑම්කර ඇති බව පෙනෙනවා...

එය වියහැකියි. කලාකරුවකු ඉතිහාසය තුළට පිවිසෙන්නේ එහි සාක්‍ෂිකරුවකුවී එහි මුල්ලක නතර වී සිටීමට නොවෙයි. ඉතිහාසයට මඟහැරී හෝ මඟහරවා හෝ තිබෙන යම් සුවිශේෂ භාවමය සහ ආධ්‍යාත්මික කලාපයන් වර්තමානයේ තිබෙන ආලෝකධාරා අතරට ගෙන ඒමටයි. එය කිසියම් ආකාරයකට වචන - දැනුම, නොදැනුම, තර්ක - විතර්ක, සංවාද වෙනුවට ප්‍රඥවෙන් සහ දයාවෙන් කෙරෙන ඉතිහාස ගොඩනැඟීමක්‌.

එහෙත් එය හිතලුවක්‌ නොවේ. සියලු ඓතිහාසික සාධක මෙතෙක්‌ නොවූ විරූ ආකාරයකට ගවේෂණය කිරීමෙන්, විශ්ලේෂණය කිරීමෙන් ලබාගත් තත්ත්වයක්‌. ඒ තුළ කලාකරුවාගේ දෘෂ්ටිය, දර්ශනය නැතැයි කිවහැක්‌කේ කාටද? අනෙක්‌ අතට එය මහරජ ගැමුණු සම්බන්ධයෙන් නොවෙයි ඕනෑම කලාකෘතියක්‌ සම්බන්ධයෙන්ද සත්‍යයක්‌.

මෙම සිනමා නිර්මාණය සඳහා ඔබ 2009 වසරේ සැරසෙද්දී ඇතැම් විචාරකයන් එය සිංහල ජාතිවාදී අරමුණක්‌ වෙනුවෙන් සිදුකරන්නක්‌ යෑයි පැවසුවා. එහි අනෙක්‌ පැත්ත නම් මෙරටින් බිහිවන ඇතැම් සිනමා නිර්මාණ දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනීසිටින නිර්මාණ බව පැවසීමයි. (බොහෝවිට ජාත්‍යන්තර සම්මාන ලැබෙන නිර්මාණ හඳුන්වනු ලැබුවේ ඒ ආකාරයට) මගේ ප්‍රශ්නය මේ රටේ ස්‌වාධීන නිර්මාණකරුවකු තම නිර්මාණකරනයේදී යටත්විය යුතු යම් සමාජ සංස්‌කෘතික, දේශපාලනික සීමාවන් තිබිය යුතුද?

කලා නිර්මාණ සඳහා කවර ආකාරයකවත් සමාජ, සංස්‌කෘතික, දේශපාලනික තහංචි තිබිය යුතුයෑයි මා කවදාවත් විශ්වාස කරන්නේ නැහැ. පොත් පත් නොකියවා පොත්පත් විචාරය කරන විචාරකයන් සිටින රටක, චිත්‍රපට නොබලා චිත්‍රපට විචාරය කරන විචාරකයන් සිටින රටක, මහරජ ගැමුණු තනන්නටත් පෙර විවේචන ඉදිරිපත්වීම අරුමයක්‌ නොවෙයි. මහරජ ගැමුණු මාධ්‍ය දැක්‌ම නැරඹූ විචාරකයන් කීපදෙනකුම මා සමඟ පැවසුවේ තමන් මෙම චිත්‍රපටය නරඹන්නට පෙර එළඹ තිබූ පූර්ව විනිශ්චයන් කෙතරම් වැරදිද යන්න දැන් තමන්ට වැටහෙන බවයි. අපේ රට ඉතාම බරපතළ ලෙස බලකඳවුරු දේශපාලනයකට යටත්වූ රටක්‌. ස්‌වාධීන කලා විචාරකයන් ඉතාම අතලොස්‌සක්‌ හැරුණු විට මෙහි සිටින්නේ කුමන හෝ දේශපාලන බලකඳවුරකට අයත් විචාරකයන් පමණයි. දෙපසට බෙදී බැණ අඬ ගසා ගැනීමට අමතරව කලාකෘතීන් සඳහා ඒ ඒ අය යොදා ගන්නා ප්‍රස්‌තූත සමඟද මේ එකිනෙකා විරසකයි. තමන්ගේ පිලට අයත් නොවන නිර්මාණයක්‌ දුටුතැන හෙළා දකිමු යන්න ඔවුන් සියල්ලන්ගේම තේමා පාඨයයි. කලාවන් සඳහා සීමාවන් පැනවීම අඥනකමක්‌ පමණක්‌ නොවෙයි, අපරාධයක්‌ද වෙනවා. හැම නිර්මාණකරුවකුම කුමක්‌ හෝ ජීවන දෘෂ්ටියක්‌ තිබෙන කෙනෙක්‌ කියලයි මම හිතන්නෙ. එය ඔවුන් එකිනෙකාගේ අනන්‍යතාව වශයෙන් තේරුම් ගන්නවා හැර තමන්ගේ ජීවන දෘෂ්ටියට අනෙකාත් දමා ගැනීමට වෑයම් කිරීම යහපත් වැඩක්‌ නොවේ.

මට පිටුබලය සපයන ඉතාම නිශ්චිත ජීවන දෘෂ්ටියක්‌ තිබෙන බව මා හැම විටම ප්‍රකාශකර තිබෙනවා. එය බෞද්ධ දර්ශනයයි. එය කිසිවිටෙක මගේ නිර්මාණ සඳහා සීමාවක්‌, බාධාවක්‌ වී නැහැ.

ලක්‌මාල් බෝගහවත්ත :දිවයින

, , , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. සෑම උසස්‌ සාහිත්‍ය නිර්මාණයක්‌ තුළම නොකියා කියන පණිවිඩයක්‌, අනාගත දැක්‌මක්‌, මාර්ටින් වික්‍රමසිංහයන් ගේ වචනයෙන් කීවොත් භවිෂ්‍යත් විදර්ශනාවක්‌ ගැබ්වී තිබෙනවා. ජයන්ත චන්ද්‍රසිරිගේ මේ නිර්මාණය තුළත් මම එවැනි භවිෂ්‍යත් විදර්ශනාවක්‌ දකිනවා. චන්ද්‍රසිරි මෙහිදී ඉඟියෙන් දක්‌වන්නේ අපගේ අනාගත ගමන් මග කෙබඳු එකක්‌ විය යුත්තක්‌ද යන්නය කියා මා සිතනවා. යම් සේ අප ප්‍රභාකරන් නමැති ආක්‍රමණිකයාගේ ත්‍රස්‌තවාදයෙන් ගැලවුණේ, ගැමුණු මඟ, සිංහල බෞද්ධ සභ්‍යත්ව විඥන මත ගොඩනැඟුණු ගැමුණු මග අනුගමනය කිරීමෙන් නම් අපි අපගේ අනාගතය ගොඩනඟාගත යුත්තේ ඒ ගමන්මග අනුව යමින් බවයි මේ නවකතාව මගින් පෙන්නුම් කරනු ලබන්නේ. ඒ භවිෂ්‍යත් විදර්ශනාවයි මේ නවකතාව තුළ ඇත්තේ.

    මෙය අප විසින් මේ අවස්‌ථාවේ ඉතා ගැඹුරින් වටහා ගත යුත්තක්‌ බවයි මා හිතන්නේ. ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට මුල් වූයේ දෙමළ ජාතිවාදය පමණක්‌ නොවේ. අප දිගින් දිගටම නිදහස ලැබීමෙන් පසුවත් අනුගමනය කළ දීන අනුකරණයි. ඒ දීන අනුකරණයේ ගැළුණු අප කළේ ස්‌වාධීන දීර්ඝ ඉතිහාසයක්‌ ඇති ජාතියක්‌ විසින් ගත යුතු සිය අතීත උරුමය සොයා යැම නොව විජාතිකයා අප විනාශ කිරීම පිණිස තනා දුන් ඊනියා පක්‍ෂ ක්‍රමය, පාර්ලිමේන්තුව ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය පසු පස්‌සේ යැමයි. ඒ පක්‍ෂ ක්‍රමය බහුතර ජනතාව වන සිංහලයා බෙදා වෙන් කර නිෂ්ක්‍රීය කිරීමට මුල්වූ බව, ඒ පාර්ලිමේන්තුව දූෂිතයන්ට, අධමයන්ට නිවහනක්‌ සාදා දී ඇති බව ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය අප තලා පෙළා යටත් කිරීමට විදේශිකයන්ට කෙවිටක්‌ වී ඇති බව දැන්වත් අපට පෙනී යා යුතුයි. එබැවින් මේ දීන අනුකරණය නවත්වා අප අපගේ උරුමය වෙත වහ වහා ගමන් නොකළොත් අප ආසියාවේ ආශ්චර්යය වීම කෙසේ වුව අපට අනාගත පැවැත්මක්‌ තිබිය හැකිද යන්න මට නම් ප්‍රහේළිකාවක්‌. ජයන්ත චන්ද්‍රසිරි ගේ මේ කෘතියෙන් කරනු ලබන්නේ අපට මෙය මතක්‌ කර දීමය කියා මා හිතනවා.
    http://www.divaina.com/2011/04/17/scholast.html

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com