1/30/2015

ජාතිය කන්නද? රට ඒකීය විය යුත්තේ ඇයි?

කතෘ:යුතුකම     1/30/2015   2 comments

90 දශකයේ ජනප්‍රිය ප්‍රශ්න වූ මේවා දැන් නැවතත් කරළියට පැමිණ ඇත, වඩාත් නිවැරදිව කිවහොත් ගෙන ඇත. ඇත්තටම ජාතිය මොකටද, මේක මල කඳක්ද? උස්සන් ගිහින් වැඩක් තියෙනවද? පස් ගොඩක් වෙච්ච මේ රට ඒකීය වෙන්නම ඕනද? ඉදිරියේදී අපගෙන් නැවත නැවත ඇසීමට නියමිත මේ හා සමාන ප්‍රශ්නවලට පිළිතුරක් ලෙස මෙය ලියා තැබීමට සිතුවෙමි.

ලංකාව නැමති වර්ග සැතපුම් 65000කට ආසන්න මේ භූමි ප්‍රදේශයේ දැනට මිනිසුන් කෝටි දෙකකට මදක් වැඩි පිරිසක් ජීවත් වෙයි. මේ මිනිස්සු ජාතීන් කිහිපයකට ( වඩාත් නිවැරදිව කිවහොත් ජනවර්ග. නමුත් ඒ වෙනස අපි මෙතනදි නොසලකා හරිමු. ) අයත් වේ. මේ ජාතීන් අතර දැනට ආතතියක් ඇත. එය දිගු කාලීනව සමනය කරන්නෙ කෙසේද? අප ඉදිරිපිට ඇති ප්‍රශ්නය එයයි. ජාතිකවාදී දේශපාලනයෙන් මේ ප්‍රශ්නෙට උත්තර සපයා ඇත්තේ ජාතිය සහ ඒකීය රාජ්‍යය පදනම් කරගෙනයි. ජාතිය සහ ඒකීය රාජ්‍යය ශක්තිමත් කිරීම හරහායි. ඊට ප්‍රතිපක්ෂව ඉදිරිපත් වෙලා ඇති විසඳුම් පොදුවේ එක ගොඩකට ගෙන පැහැදිලි කර ගමු.

මිනිස්සුන්ගෙ වාර්ගික විඥාණය( මම දෙමළ, මම සිංහල කියල මිනිස්සු තුල ඇතිවෙන හැඟීම සහ ඒත් සමඟ එන සාමූහික හැඟිම ) ප්‍රබලයි නමුත් ඒ වාර්ගික විඥාණය අහිතකරයි. වඩා හිතකර, දේශපාලනය වාර්ගික විඥාණය මත නිර්ණය නොවන තත්වයකුයි. එතනින් බිඳි එන ප්‍රකාශ ලෙස, "ලෝකෙ තියෙන්නෙ එක ජාතියයි ඒ මිනිස් ජාතිය" , "ලෝකෙ මිනිස්සු සාර්ථකව බෙදන්න පුළුවන් පංති අනුව මිසක් ජාති අනුව නෙමෙයි" වැනි ඒවා ගත හැකියි. කෙසේ හෝ මේ වාර්ගික විඥාණය තනුක කල යුතුයි. දැනට උතුරේ ජනයා තුල වාර්ගික විඥාණය මුල් වී ස්වයං පාලනය සහිත භූමි ප්‍රදේශයක් තම නිජබිම ලෙස අවශ්‍යයි යන ස්ථාවරයක් ඇත. දකුණේ ජනයා ඒ දෙමළ නිජබිමට අයත් භූමි ප්‍රදේශය තමන්ගේත් නිජබිම, තමන්ගේ සිංහල දේශය ලෙස සිතා සිටින ස්ථාවරයක ඇත. දැන් මේ වාර්ගික විඥාණ දෙකම යටපත් කල යුතුයි එය සිදු කල යුත්තේ මෙසේයි. සිංහල ජනයා උතුරු නැගෙනහිරත් ඇතුලුව පනවාගෙන තිබෙන රාජ්‍යය දුර්වල කල යුතුයි. එහි කොටසක, උතුරු නැගෙනහිර, දෙමළ ජනයාට ස්වයං පාලනය සහිත දෙමළ නිජබිමකට අයිතියක් දෙමළ ජනයාට ඇති බව පිළිගන්නා තැනට සිංහල ජන මනස ගෙන ආ යුතුයි. ඒ සඳහා මතවාදය සකසා සිංහල ජන මනස තුළ එය පෝෂණය කල යුතුයි. එනම් සිංහල වාර්ගික විඥාණය තනුක කිරීමක් කල යුතුයි. අනෙක් පසින් දෙමළ ජනයාට රාජ්‍යයක් පිළිබඳ තම හැඟීම සාක්ෂාත් කර ගැනීමට පහසුකම් සැපයිය යුතුයි. ඔවුන්ට උතුරු නැගෙනහිර ස්වයං පාලනයක් සහිත නිජබිමක් පිහිටුවා ගැනීමට සහාය දිය යුතුයි. එය සාක්ෂාත් වූ පසු ඔවුන්ගේ වාර්ගික විඥාණයද ඉබේම තනුක වේ. එනම් විවාහයට කලින් විවාහයට ඇති ආශාව විවාහයෙන් පසු ඉබේම අඩු වන්නා සේ මෙතනදී වාර්ගික විඥාණයද ඉබේම තනුක වේ. දැන් දෙපසම වාර්ගික විඥාණ තනුක වන තත්වයක් නිර්මාණය වී ඇත. මෙය සමතුලිත තත්වයකි. මේ හරහා රට පාලනය කල හැකියි. මේ තනුක උනු වාර්ගික විඥාණය සහිත තත්වය කාළයත් සමඟ තවත් තනුක වී "අපි හැමෝම මිනිස් ජාතියෙ මිසක් සිංහල, දෙමළ, මුස්ලිම් කියන ජාතිවල නෙමෙයි" යන නූතන තත්වයට පත් වනු ඇත. එවන් තත්වයකට රටේ පාලනය සැකසිය යුතුය. වාමවාදී පිරිස් එතනින් තවත් ඉදිරියට යමින්, ඔය තත්වය තුල පංති විඥාණය ඉස්මතු කල යුතුයැයි යෝජනා කරයි. වෙනත් ආකාරයකින් කිවහොත්, කිලිනොච්චියේ සිටින මින්සාත්, තංගල්ලේ සිටින මිනිසාත් මම දෙමළ මම සිංහල කියා නොහිතන නමුත් අපි දෙන්නම කම්කරු පංතියේ හෝ එකම පංතියේ කියා සිතන තත්වයකට සමාජය මෙහෙයවිය යුතුය.

මගේ පෞද්ගලික අදහස මේ විසඳුම මේ ආකාරයෙන්ම විසඳෙන්න තියෙන හැකියාව සෑහෙන්න අඩු බවයි. ඊට හේතු කිහිපයක් සරලව පහතින් දක්වමි.

1) වාර්ගික විඥාණය ප්‍රබලයි කියා පටන් ගෙන, සිංහල වාර්ගික විඥාණයේ තටු කපා තනුක කරමු දෙමළ වාර්ගික විඥාණයේ තටු ශක්තිමත් කර තනුක කරමු යන තැනම ප්‍රශ්නයක් ඇත. බහුතරයේ වාර්ගික විඥාණය තනුක කිරීමට ඔවුන්ගේ වාර්ගික විඥාණ ආසාවන් තුනී කල යුතුයි, සුළුතරයේ වාර්ගික විඥාණය තනුක කිරීමට ඔවුන්ගේ ආසාවන්ට ඉඩ ලබා දි ඉන් පසු තුනී කල යුතුයි. උදාහරණයක් ගමු. කුමාරගෙ ඉඩමෙන් කොටසකට කුමාර සහ ගනේෂ් කියන දෙන්නම ආශා කරනවා. කුමාරට "අපෝ ඔය ඉඩම වැඩක් නැහැ ඔයාට තියෙන ඉඩම ඔයිට වඩා හොඳටම හොඳයි ඒක තියා ගෙන හේනක් කොටාගෙන බණක් භාවනාවක් කරගෙන ඉන්න එක සැපයි" කියා ඔහුගේ ඉඩම ගැන ආසාව තුනී කරන්න උත්සහ කරනවා. ගනේෂ්ට ඉඩම අයිති කර ගන්න ඉඩ සලසල දෙනවා. හැබැයි ඔය දෙන්නට දෙන්න දන්නවා තම තමන්ට ආශාවන් තුනී කර ගන්න කියපු කතා දෙක දෙකක් බව. කුමාරට පැහැදිලිවම තේරෙනව එක්කො අද නැත්තන් හෙට නැත්තන් අනිද්දා මේ කරන්නෙ තමන්ව ගොනාට ඇන්දිල්ලක් බව. මේකෙන් තමන් ආස කරන ඉඩම තමන්ට නැතිවෙන බව. එතකොට කුමාර ඉඩම කෙසේ හෝ ලබා ගන්න පෙරටත් වඩා වැඩි ආවේගයකින් උත්සහ කරනවා. පෘතග්ජන මිනිස් ස්වභාවය අනුව සිදු වීමට වඩා ඉඩ ඇත්තේ මෙයද නැත්නම් කුමාර තමන්ට පෙනි පෙනි ඉඩම නැති වීමෙන් සැනසීමට පත් වී ගනේෂ් තමන්ට ඉඩම හිමි වීමෙන් සැනසීමට පත් වී සතුටින් සිටීමද? කුමාර සහ ගනේෂ් කියන තනි පුද්ගලයන් වෙනුවට සිංහල සහ දෙමළ පෘතග්ජන සමාජ දෙකත් ඉඩම වෙනුවට ලංකාවත් දාල බලන්න. මගෙ අදහස වැඩි ඉඩකඩ ඇත්තේ දෙවෙනි අදහස සිදු වීම බවයි.

2) තනුක කරන වාර්ගික විඥාණය කුමක්ද සාන්ද්‍ර කරන වාර්ගික විඥාණය කුමක්ද යැයි තීරණය කරන්නේ කෙසේද? "ඇයි සිංහලයගෙ එක තනුක කරල දෙමළ එක සාන්ද්‍ර කරන්නෙ" යන සරල ප්‍රශ්නයට පිළිතුර කුමක්ද? එහිම අනිත් පැත්ත සිදු කිරීමට ඇති බාධාව කුමක්ද? එයට බොහෝ විට ලැබෙන පිළිතුර නම් දෙමළ පීඩිතයා බවත් සිංහලයා පීඩකයා බවත් යන්න. නමුත් පවතින තත්වය තුල ආර්ථිකමය වශයෙන් ඔය දෙගොල්ලොම පීඩිතයොය. වාර්ගිකත්වය අතින් ලංකාවෙ සිංහලයො අන්ත පීඩිතයෝය. අන්තර්ජාතිකව යුරෝපය, ඉන්දියාවේ තමිල්ණාඩුව, ඇමරිකාව ආදී රටවල් වලින් තම රාජ්‍යය අත් හරින ලෙසස් පීඩනය එල්ල වෙන්නේ සිංහල ජන සමාජයට මිස දෙමළ ජන සමාජයට නොවේ. ඒ නිසා ඒ පීඩිත/පීඩක උත්තරය මෙයට උත්තරයක් නොවේ. නමුත් ප්‍රසිද්ධ මාධ්‍ය වල හෝ දේශපාලන කතිකාවල ඔය විදියට තනුක කිරීම දෙමළ සමාජයේ කිරීම අඩුම තරමින් විකල්පයක් ලෙසවත් සාකච්ඡා නොවේ. ගරු රාජිත සේනාරත්න ඇමතිතුමා බොහෝ වේදිකාවල සිංහල ජනයාට "මේ ලෝකෙ ඉන්නෙ එක ජාතියයි ඒ තමයි මනුස්ස ජාතිය මතක තියා ගන්න හරිද" කියා තරවටු කරනු ඔබට ඇසී ඇත. නමුත් ඒ මහතා දෙමළ, මුස්ලිම් ජනයාට දෙමළ,මුස්ලිම් ලෙස නොව මනුස්ස ජාතිය ලෙස සිතන ලෙස යෝජනා නොකරයි. ඒ වෙනුවට දෙමළ,මුස්ලිම් ජනතාවට ඇති ප්‍රශ්න ගැන කතා කරයි. ජාත්‍යන්තරවාදීන්ගේ නිර්පාක්ෂික අපාර්ශවික සමමිතික යෝජනා එතරමටම අපාර්ශවිකයි !

3) මෙහි ඇති පූර්ව නිගමනය වන වාර්ගික විඥාණය මත දේශපාලනය කිරීම අගුණයි යන්නද ප්‍රශ්නයකි. ඒ ඇයි යන්නට පැහැදිලි හේතු මේ දක්වා මට නම් හමු වී නැත. ප්‍රබල බවට ඔවුන්ම පිළිගන්නා වාර්ගික විඥාණය පාගා පොඩි කර යටපත් කර ගෙන එන තත්වය සමතුලිත එක්ක වීමට ඇති ඉඩ අඩුය. විශේෂයෙන් දීර්ඝ ඉතිහාසයක් ඇති අනන්‍ය ජාතියක්, සංස්කෘතියක්, ශිෂ්ඨාචාරයක් බිහිවී ඇති ලංකාව වැනි රටක එවන් සමතුලිතතාවයකට ඉඩ බෙහෙවින්ම අඩුයි. සුදු නෙළුම්, තවලම්, ඉතිහාසය පාසල් විෂය නිර්දේෂයෙන් ඉවත් කිරීම්, දුටු ගැමුණු චරිතය යටපත් කිරීම්, "මේ සිංහල අපගෙ රටයි" වැනි ගීත තහනම් කිරීම් වැනි එකී මෙකී නොකී සියළු දෑ සිදු කල පසුවදීත් වාර්ගික විඥාණය නැවත මතු වන බව පහුගිය දශක දෙකක දේශපාලනය විමසීමෙන් පැහැදිලි විය යුතුය.

4) වාර්ගිකත්වය මුල් කරගෙන සිදු කරන බෙදීමක්, වාර්ගිකත්වය තනුක වීමකින් නොව, වාර්ගිකත්වය තවත් සංකීර්ණ වී රාජ්‍යයන් දෙකක් බවට පත් වීමේ හැකියාව විශාලය. එවන් වාර්ගිකත්වය මත බිහි කරන යාබධ රාජ්‍යය්න් අසමතුලිත බව පාකිස්ථානය, ඊශ්‍රායලය ආදී උදාහරණ වලින් පැහැදිලි විය යුතුය. එහිම අනිත් පැත්ත ලෙස වාර්ගිකව බෙදා වාර්ගික විඥාණය තනුක කර පසුව නැති කර සමතුලිත කල රටවල් වලට උදාහරණ කීයක් අපට සැපයිය හැකිද? මේ වාර්ගිකව බලය බෙදීමෙන් සිදුවෙන්නෙ වාර්ගික සතුරෙකු බිහි වී තව තවත් වාර්ගික විඥාණය උත්සන්න වීමයි. සදාකාලික දේශ සීමා යුද්ධ වලට මුල පිරිය හැකිය. මෙය අත් හැරිය හැකි අනියත බියක් නොවේ.

ඔය විසඳුම අවංකවම ජාතික සමගිය ඇති කර ප්‍රශ්නයට පිලිතුරක් සෙවීමට යෝජනා කරන පිරිස් සිටී. නමුත් ඔය විසඳුම යෝජනා කරන අති බහුතරය තමන්ගෙ ඇති සිංහල බෞද්ධ ඇරියස් පියවා ගැනීමට සිංහලත්වය නැති කිරීමට වලි කන අය බව නොකියාම බැරිය. ම්ලේච්ඡ මරි මෝඩ ලේ පිපාසිත ළිං මැඩි ගෝත්‍රික ස්වෝත්තමවාදී සිංහල බෞද්ධ ජාතිකත්වය නැමති පඹයෙක් නිර්මාණය කර ගත් පඹයන්ගේත් පඹයන් මෙවැන් විසඳුම් හරහා තම හීනමානය පිට කර ගනුද දැක ඇත. වාසනාවකට මොවුන්ගේ පර්ණත ලේඛන කලාව තමන් පමණක් බලන වෙබ් පිටු කීපයකට පමණක් සීමා වී ඇත.

ජාතිකත්ව ලෝක දැක්මක මේ සඳහා දිය හැකි විසඳුම

අපේ රටේ දීර්ඝ ඉතිහාසයක් සහිත ඒ ඉතිහාසය හරහා අනන්‍ය ජාතියක් සහ අනන්‍ය සංස්කෘතියක් අනන්‍ය ශිෂ්ඨාචාරයක් බිහි කර ඇත. එවන් රටක වාර්ගික විඥාණය ඉතාම ප්‍රබලයි යන නිගමනය අපිද පිළි ගනිමු. ඇතැම් විට එය දකුණු ආසියානු රටවලට ආවේණික ලක්ෂණයක් විය හැක. අපි කියන්නෙ ඒ ප්‍රබල වාර්ගික විඥාණය ජාතික විඥාණයකට දියුණු කර මේ ප්‍රශ්නය විසඳමු. චිරාත් කාලයක් මේ රටේ හිටපු මිනිසුන් එකට බැඳ තැබූ හුය ජාතියයි. එය නමින් සිංහල ජාතියයි. අදට සිංහල ජාතියට උරුමකම් කියන්නෙ සිංහල ලෙස වර්ථමානයේ හඳුනා ගන්නා පිරිස පමණයි. අනෙක් ජන වර්ගයන් එම ජාතියට එක් වීමට ඇති ඉඩකඩ අහුරා ඔවුන් වෙන් කර ඇත. ප්‍රශ්නය මෙන්ම විසඳුම ඇත්තේ මෙතනයි. විසඳුම නම් මේ වෙන් වීමට තැත් කරන අනෙක් ජනවර්ගයින්ට එක් ජාතියට එක් වීමට අවස්ථාව සැලසීමයි. ඒ එක් ජාතියට සිංහල යන නම අනිවාර්ය නැත. අත්‍යවශ්‍ය වන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම් වූ රාජ්‍යයකි. මෙහිදී වෙනම ස්වයං පාලන ඉල්ලා කරන වාර්ගික ඉල්ලීම් වලට යෝජනා කරන්නෙ වෙනම කලාප වෙනුවට මුළු රටම ගන්නා ලෙසයි. මේ කෑල්ල පමණක් නොව මුළු රටම මගේය යන හැඟීම ඇති කර ගන්නා ලෙසයි. ඒකීය රාජ්‍යය අවශ්‍ය වන්නේ එහිදීයි. තනි වාක්‍යයකින් කිවහොත් වාර්ගිකව බෙදා වෙන් නොවුනු ඒකීය රාජ්‍යයක පොදු ජාතියක් නම් කුඩය යට ජීවත් වන වෙනස් ජනවර්ගයන්ගෙන් යුත් සමාජයක් අපේ යෝජනාවයි. පාසල් සමයේ එක් එක් නිවාස වලට බෙදී නිවාසය නියෝජනය කරමින් නිවාසාන්තර ක්‍රිඩා වලට සහභාගී වන අතරම කොට්ඨාශ, පළාත් තරඟ වලදි පාසල නියෝජනය කරමින් තරඟ වලට සහභාගී වීම වැනි අත්දැකීම් ඔබට ඇති යැයි සිතමි. මෙහිදී සිදු කල යුත්තේද එයමය.
රාජ්‍යය සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම් වීමට ප්‍රධාන හේතු තුනක් ඇත. එකක් නම් මෙරට ජාතිය පෙර සිටම නිර්මාණය වී ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය පදනම් කරගෙනයි. ඒ එකතු කිරීමට අවශ්‍ය, කල පුරුද්ද, දැක පුරුද්ද, පළ පුරුද්ද සිංහල බෞද්ධ සංස්කෘතිය තුල ඇත. දෙක නම් සිංහල බෞද්ධ සංස්කෘතිය තුල නිසඟයෙන්ම ඇති වෙනත් සංස්කෘතීන් සමඟ සහවාසය කිරිමේ හැකියාවයි. තුන නම් අදටත් ලංකාවේ අති මහත් බහුතර ජනයාගේ සංස්කෘතික උරුමය සිංහල බෞද්ධ වීමයි. මේ ජාතිය නිර්මාණය කිරීමේදී එක් එක් ජනවර්ග වලට තම තම අනන්‍යතා බොහෝ දුරට එලෙසම පවත්වා ගත හැකියි. වෙනස් කිරීම් සිදු කිරීමට සිදුවනු ඇත්තෙ ඒ ඒ අනන්‍යතා අතර සමඟියට බාධා ඇතිවන තැන්වලදී සහ පොදු සංස්කෘතියට එරෙහිව යන තැන් වලදීයි. අඩු වැඩි වශයෙන් තම තම වාර්ගික විඥාණ එලෙසම පවත්වා ගනිමින් පොදු ජාතියකට එකතු වීම වාර්ගික විඥාණ අසමමිතිකව තනුක කිරීමකට වඩා බෙහෙවින් ප්‍රායෝගික බව පැහැදිලි විය යුතුය. දැන් මේ පොදු ජාතියට වාර්ගික සමූහයන් එකතු කිරීමේදී දැනට පවතින ජාතියත්, දැනට පවතින සිංහල බෞද්ධ සංස්කෘතියත් වෙනස් වීම් වලට ඉබේම භාජනය වනු ඇත. ජාතිය මෙන්ම සංස්කෘතියද එක තැන පල් වෙන ගල් ගැසුණු දේ නොවේ. මෙතන ඇත්තේ චක්‍රිය සම්බන්ධයකි. වාර්ගිකත්වයින් තනි ජාතියකට එකතු කල යුත්තේ පවතින ජාතිය සහ සංස්කෘතිය පාදක කරගෙන එම ජාතිය සහ සංස්කෘතියද වෙනස් කරමින්මය. වැදගත්ම කාරණය මෙය දින 100න් 150න් සිදු නොවන බව වටහා ගැනීමයි. වාර්ගිකත්වයන් මිශ්‍ර කොට ජීවත් වීමට සැලසීමෙන් දීර්ඝ කාලීනව මේ ක්‍රියාදාමය ඉබේම සමතුලිත තත්වයකට පත් වනු ඇත. සිංහල බෞද්ධ සංස්කෘතිය තුල මේ ජනවර්ග එකතුවීම ස්වභාවයෙන්ම සිදු වීමට තිබූ ඉඩ ඇහිරී ගියේ ඉංග්‍රිසීන් විසින් තම පාලනය පහසු කර ගැනීම සඳහා උඩින් පාත් කල සහ පෝෂණය කල දෙමළ ජාතිවාදයයි. එසේ නොවන්නට අද පවතින වාර්ගික අසහනයක් රටේ නැත. අද දෙමළ ජාතිවාදයට අමතරව අලුතින්ම සීග්‍රයෙන් පැතිර යන මුස්ලිම් අන්තවාදයද මේ අසහනයට හේතු වී ඇත. දෙමළ ජාතිවාදයට වඩා බරපතල ප්‍රශ්නයක් බවට මුස්ලිම් අන්තවාදය පත් වීමේ ලකුණු ඇත. මේ අපි යෝජනා කරන විසඳුම ඉතා ඉක්මනින් ස්ථාපනය කිරීමේ වැදගත් කම ඇත්තේ එබැවිනි.

-චරිත කාරියවසම්
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, , , , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. මම හිතන්නේ මේකට තිබෙන හොඳම විසදුම එක ජන වර්ගයක් එක් ප්‍රදේශයකට සාන්ද්‍රණය වීම වැලැක්වීම. නමුත් විදේශවලින් ඒ දේ කිරීමට සැලකිය යුතු විරෝධයක් පවතී. කෙටියෙන් පැවසුවහොත් මේ ප්‍රශ්නය විසදෙනවාට බොහෝ රටවල් කැමති නැත. .

    ReplyDelete
  2. ඉතාමත් සරල සහ ඉතාමත් පැහැදිලි ලිපියක්. ලෝකයේ දියුණු රටවල් ගත්තත්, ඒ හැම එකක්ම වගේ ජාතිකත්වය මථ පදනම් ව තම රටේ සමාජ ආර්ථික ආකෘතිය හදාගෙන තියෙනවා. උදාහරණයක්...ඇමෙරිකාව, ජර්මනිය, ජපානය , රුසියාව..මේවා බහු සංස්කෘතික බහු ආගමික කථා කිව්වත්, අවසානය්දී..තම රටට අනන්‍යවූ ජාතිකත්වයක් සියලු කාරණයන් හිදී මුලික කර ගන්නවා...

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com