2/27/2019

සාමූහික විඤ්ඤාණය මත ගොඩනැගිය හැකි සමාජවාදී උත්තරීතර සමාජය පිළිබඳ මගපෙන්වීමක්

කතෘ:යුතුකම     2/27/2019   No comments


ගුණදාස අමරසේකර මහතා විසින් රචිත “ධනවාදයට විකල්පයක් - අප සතු මග” කෘතිය පිළිබඳ විචාරයකි.

ආර්ථික සංවර්ධනය සහ සංස්කෘතිය අතර ඇති සම්බන්ධතාව උගතුන් අතර නිරන්තර සාකච්ඡාවට බඳුන් වූ කාරණයකි. සංස්කෘතික අගය පද්ධති පිළිබඳ අධ්‍යයනයක් කළ ලන්දේසි ජාතික මහාචාර්යවරයකු වන ගර්ට් හොෆ්ස්ටඩ් ඒ මත පදනම් වී “සංස්කෘතික මාන න්‍යාය” නමින් අදහසක් ද ඉදිරිපත් කර තිබේ. මේ මාන න්‍යායට ඇතුළත් “දිගු කාලීන සහ කෙටි කාලීන නැඹුරුව” පිළිබඳ අගය ඔහු මුලින් නම් කර තිබුණේ “කොන්ෆියුසියානු අගය මානය” ලෙසිනි. ඇත්තෙන් ම, මෙම මානය හොෆ්ස්ටඩ්ගේ න්‍යායට එකතු කරගනු ලැබුවේ පසු කාලයක යි. චීනය සහ ආශ්‍රිත රටවල ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් ඔහු කළ නිරීක්‍ෂණ මෙයට හේතු විය. එනම්, මෙය ආර්ථික සංවර්ධනයට හේතු විමසමින් ආපස්සට ගිය ගමනක ප්‍රතිඵලයකි.

චීනය ඇතුළු නැගෙනහිර ආසියාතික රටවල ආර්ථික සංවර්ධනය පිළිබඳ කළ බොහෝ අධ්‍යයනවල දී මේ හා සමාන සංස්කෘතික සාධක හඳුනාගෙන තිබේ. අප රට තුළ සිටින ප්‍රාඥයකු වන ගුණදාස අමරසේකර සූරීහු ද මේ කාරණය - එනම්, සංස්කෘතිය නොතකා ආර්ථික සංවර්ධන මාවතෙහි ඉදිරියට යා හැකි ද යන කාරණය; පිළිබඳ ව දීර්ඝ කාලයක් තිස්සේ විමසමින් සිටිති. 1992 දී එතුමන් විසින් “ජාතික චින්තනය සහ ජාතික ආර්ථිකය” යන හිසින් ලියන ලද ලිපිය මේ සඳහා ගෙනහැර දැක්විය හැකි අගනා මූලාශ්‍රයකි. එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් අප රටෙහි උගතුන් වෙතින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ලියැවුණු එකකි, එම ලිපිය.

1977 දී හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තියට විකල්පයක් වේ නම් ඒ පිළිබඳව තමන්ව දැනුවත් කරන මෙන් ප්‍රේමදාස ජනාධිපතිතුමා මෙ රට උගතුන්ගෙන් ඉල්ලා සිටියේ ය. මෙයට පිළිතුරු වශයෙන් ගුණදාස අමරසේකරයන් ලියා පළකළ උක්ත ලිපියෙන් එතුමා පවසා සිටියේ සංස්කෘතිය අමතක කර ආර්ථික සංවර්ධනයක් ගැන සිතිය නොහැකි බවකි. අමරසේකර ශූරින් විසින් 1992 දී එ ලෙසින් ආරම්භ කළ ආර්ථික විකල්පයක් පිළිබඳ කරුණු ගවේෂණය මේ වන විට එක්තරා ආකාරයක න්‍යායික අන්තයකට වර්ධනය කිරීමට එතුමා සමත් වී සිටිති. එතුමන් විසින් මෑතක දී ලියා පළකළ “ධනවාදයට විකල්පයක් - අප සතු මග” කෘතිය එම ගවේෂණයෙන් වර්ධනය කරගත් කරුණු සම්පිණ්ඩනය කළ අගනා රචනයක් බැව් කිව යුතු ය.

ගෝලීයකරණයට පක්‍ෂව සහ විපක්‍ෂව විවිධ වියතුන් විසින් ඉදිරිපත් කර ඇති අදහස් සම්පිණ්ඩනය කොට ඉදිරිිපත් කරන අමරසේකර මහතා, 1977 දී කිසිදු විචාරයකින් ත‍ොරව අප රටට හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්ති නිසා අපට උරුම වී ඇති හානිකර දේ පිළිබඳව ද කරුණු දක්වයි. ඉක්බිතිව ගෝලීයකරණයට ඇති විකල්ප පිළිබඳ කරුණු සොයමින් එතුමන් කළ ගවේෂණයේ දී සොයාගත් දේ ගැන එතුමා අපට පවසයි. මේ හා සම්බන්ධ මූලාශ්‍ර දක්වමින් එතුමන් විසින් කරනු ලබන කරුණු දැක්වීම තව තවත් කරුණු සොයායෑම සඳහා විචාරශීලි පාඨකයා හට මගපෙන්වීමකි. විශේෂයෙන් ම, ධනවාදයේ උපතට අදාළ සංස්කෘතික පදනමත්, ධනවාදය ඇති නො වූ චීනය වැනි රටවල සංස්කෘතික පදනමත් අමරසේකර මහතාගේ විචක්‍ෂණ විචාරයට හසුවෙයි. ඉක්බිතිව එතුමා අසන්නේ “මාක්ස්වාදය විකල්පයක් ද?” යන ප්‍රශ්නය යි. සංස්කෘතිය මුළුමනින් ම නොසළකා ගොඩනංවා ඇති මාක්ස්වාදී ආර්ථික වට්ටෝරුව කිසි අයුරකින් විකල්පයක් නොවන බැව් අමරසේකර මහතා පැහැදිළිකරන්නේ එම විවරණය තුළිනි.

මෙම ලේඛකයාගේ නිරීක්‍ෂණයට අනුව, ආර්ථික ගැටලුවෙන් ගොඩ ඒම සඳහා අමරසේකර මහතා විසින් පෙන්වනු ලබන මග අපට හඳුනාගත හැක්කේ මෙම මූලික කරුණු පිළිබඳ විවරණයෙන් අනතුරුව එතුමන් ඉදිරිපත් කරන අදහස් තුළිනි. විශේෂයෙන් ම, ඩේවිඩ් සී කෝටන් මහතා පවසා ඇති “අප තෝරාගන්නා ආර්ථික මග අප ගේ ඇගැයීම්, හර පද්ධතිය මත ඉදිවිය යුතු යැ” යන අදහස අමරසේකර මහතා විසින් අප වෙත ගෙනහැර දක්වන්නේ එ් පිළිබඳව එතුමන් ද අවිවාදයෙන් එකඟ වන බැවිනි. මෙම කාරණය අමරසේකර ශූරීහු නැවත නැවතත් කරුණු දක්වමින් අප හට අවධාරණය කරති. විශේෂයෙන් ම, අප සමාජය තුළ ඇති “සාමූහික විඤ්ඤාණය” පිළිබඳ එතුමන් දක්වන අදහස් මේ අරභයා අපට බෙහෙවින් ප්‍රයෝජනවත් ය.

“සාමූහිකත්වය” යනු අප අගයකරන හර පද්ධතියෙහි ඉදිරියෙන් ම ඇති එකකි. උඩින් කී හොෆ්ස්ටඩ් ගේ “සංස්කෘතික මාන න්‍යාය” තුළ ද, සංස්කෘතික මාන ගැන අධ්‍යයනය කළ වෙනත් උගත්තු ද “පුද්ගලාන්තික” සහ “සමූහාන්තික” හර පද්ධති මත පදනම් වී සංස්කෘතීන් වර්ග කරති. අප කවුරුනුත් දන්නා පරිදි ලිබරල්, ධනවාදී සමාජ හොඳින් ස්ථාපිත වී ඇත්තේ “පුද්ගලාන්තික” හර පද්ධති වැළඳගෙන ඇති රටවල ය. එහෙත් “සමූහාන්තික” හර පද්ධති වැළැඳගත් සමාජවල වෙසෙන ජනතාව ලිබරල්, ධනවාදී අදහස්වලට අරුචියක් දක්වති. මෙය චීනය වැනි පෙරදිග ආසියාතික රටවලට පමණක් නොව, යම් පමණකින් සමාජවාදී සිහිනය පසුපස ගිය ලතින් ඇමෙරිකානු කතෝලික රටවලට ද පොදු කාරණයකි.

මේ රටේ වසන අපිදු “සමූහාන්තික” හරයන්ට ප්‍රියකරමු. අවුරුදු පන්සියයකට වැඩි කාලයක් තිස්සේ අඛණ්ඩව සහ මහා පරිමාණයෙන් ලැබෙන “පුද්ගලාන්තික” අගය පද්ධතීන්ගේ ආභාසය නිසා අප තුළට යම් ප්‍රමාණයකින් එම අදහස් ද කාන්දු වී ඇති බව සත්‍යයකි. ඒ හේතුවෙන්, එකිනෙකට පටහැනි අගය පද්ධති දෙකක් දරුණු ලෙසින් ගැටෙන තත්ත්වයක් ද අප සමාජය තුළ දැකගත හැකි ය. කෙසේ වුව ද, අප තවමත් වැඩියෙන් අගයකරන්නේ “සමූහාන්තික” දේ ය. එහෙයින් ගුණදාස අමරසේකර ශූරින් පවසන පරිදි අප අපේ ආර්ථික විසඳුම් සොයාගත යුත්තේ මෙම “සාමූහික විඤ්ඤාණය” මත පදනම්වීමෙනි.

ධනවාදී ක්‍රමය වැළඳගෙන ධනපතියන් කිහිප දෙනකුගේ වහළුන් බවට අපගේ මිනිසුන් පත්කිරීමේ උත්සාහය ද, මාක්ස්වාදී මොඩලය වැළඳගෙන නිලධාරි තන්ත්‍රයක සහ මධ්‍යගත ආයතන පද්ධතියක වහළුන් බවට අපේ මිනිසුන් පත්කිරීමේ උත්සාහය ද මේ පොළොවේ කිසි දිනෙක සාර්ථක කරගත හැකි කටයුත්තක් නොවේ. “මේ දේ කරපන්” කියා දෙන නියෝගවලට අපේ මිනිස්සු අවනත නොවෙති. “අපි මේ දේ කරමු” යැයි කී විට ඔවුහු ඒ දෙය කරති. ඒ, අපේ හැටි ය. ඉදින් අප විසින් ගොඩ නගාගත යුත්තේ “අප වෙනුවෙන් අපි” ආකාරයේ ආර්ථික මොඩලයකි. ආර්ථික සම්පත් සහ ව්‍යවසාය කටයුතු ආණ්ඩුවට පවරාගැනීම ජනසතුකිරීමක් නොවේ. ඒවා ධනපතියන් කිහිප දෙනකුට පවරාදීම ද පිළියමක් නොවේ. අද කළ යුත්තේ මේ කටයුතු මිනිසුන්ට පැවැරීමේ විකල්පයට අපි යොමුවීමයි.

ධනවාදයට ඇති විකල්පය මෙය යි. අප ගත යුතු මගත් එය යි. ඉදින් මේ ඇත්ත අප හට එළිකර දෙමින් ගුණදාස අමරසේකර මහතා විසින් රචිත “ධනවාදයට විකල්පයක් - අප සතු මග” කෘතිය අප සැමගේ නොමද අවධානයට පාත්‍ර විය යුතු අගනා කෘතියක් බව පැවැසිය හැකි ය.

-ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

3/29/2015

"මහරජ ගැමුණු" නොබැලූ දෑස කුමටද?"

කතෘ:යුතුකම     3/29/2015   1 comment
මම වෘත්තීය චිත්‍රපට විචාරකයකු නොවෙමි. එබැවින් මා ඔබ හමුවේ මෙම සටහන තබනුයේ හුදු කලා රසිකයකු හා දේශප්‍රේමියකු වශයෙන් එය නැරැඹීමෙන් ලත් ආශ්වාදය ඔබ ඉදිරියේ දිගහැරීම සඳහා ය. 

1956 න් පසු පසුගිය දශකයේ යළිත් මේ රට තුළ ඇති වූ ජාතිකත්වය, දේශමාමකත්වය හා ආගමික පුනරුද ප්‍රබෝධයේ එක්‌ වැදගත් පැතිකඩක්‌ වශයෙන්ද, සිංහල සිනමා කලාවේ එක්‌තරා කූඨ ප්‍රාප්තියක්‌ වශයෙන්ද මම මෙය දකිමි. සිංහල දේශයේ අභිමානවත් හා සාඩම්බර ඉතිහාස කතාවේ හර පද්ධතීන් ආරක්‍ෂා කරමින්, ප්‍රබලව උලුප්පා දක්‌වමින් නූතන සිනමාවේ සියලු මහිමයන් කලාත්මකව භාවිතා කරමින් දුටුගැමුණු වත මෙවැනි විචිත්‍රවත් සිනමා සිත්තමකට නැගීම පිළිබඳව පළමුව ජයන්ත චන්ද්‍රසිරියන්ටත්, දෙවනුව නිෂ්පාදක ගුණපාල රත්නසේකරයන්ටත් එම ප්‍රාතිහාර්යට සම්බන්ධ වූ සියලු දෙනාටත් සමස්‌ත ජාතියේම නොමඳ උපහාරය හිමිවිය යුතු යෑයි මම සිතමි. 

අසීමිත කුසලතා ඇති ප්‍රතිභාපූර්ණ, නිර්මාණශීලී ජයන්ත චන්ද්‍රසිරි නමැති මේ කලාකරුවා මා පළමුවරට දුටුවේ මීට දශක කීපයකට පෙර රූපවාහිනි තිරය මත දිගහැරුණු, තවත් විශිෂ්ට කලාකරුවකු වූ බුද්ධදාස විතානාරච්චිගේ විශිෂ්ට රංගනයෙන් ඔපවත් වූ "දඬුබස්‌නාමානය" ටෙලිනාට්‍ය තුළිනි. මා පාසල් යන අවධියේ ශ්‍රී ලංකා මාසික සඟරාවේ පළවූ පුරාවිදු දැරණියගලයන්ගේ පුරාණ සිංහල සටන් කලාව පිළිබඳ රූ සටහන් හැරුණුකොට දඬුබස්‌නාමානයේ දුටු පරිදි රංගනයක්‌ වැනි දෙයක්‌ ඊට පෙර කිසිදාක මා දැක නැත. දඬුබස්‌නාමානය කොතරම් මා සිත් ගත්තේ දැයි කිවහොත් එම වසරේ ටෙලි නාට්‍යයන්ට ලැබෙන සම්මානයන් සියල්ල එයට ලැබිය යුතු බව මගේ බිරිඳටද කීවෙමි. මගේ නිගමනය සනාථ කරමින් මට මතක හැටියට එම වසරේ සම්මාන සියල්ලම මෙන් එයට ලැබිණ. "දඬුබස්‌නාමානය" සහ පසු කලෙක "අකාල සන්ධ්‍යා" තුළින් දුටු එම අපූරු අංකුර කලාකරුවා කවදා හෝ මේ රටේ සිනමා ක්‌ෂේත්‍රයේ විප්ලවයක්‌ කරන අයකු වන බවට එදා මා තුළ ඇතිවූ විශ්වාසය "මහරජ ගැමුණු" හරහා අද ඉටුවී තිබීම ගැන බෙහෙවින් ප්‍රීති වෙමි. 

"මහරජ ගැමුණු" සිනමා කාව්‍යයට පදනම් වී ඇත්තේ එළාර දුටුගැමුණු සටනයි. ඒ වූ කලී, ඉරහඳ පෑයූ දා සිටම ස්‌වභාව සෞන්දර්යෙන් හා ආර්ථික සමෘද්ධියෙන් ආඪ්‍ය වූ මේ රම්‍ය දිවයින අත්පත්කොට ගැනීම සඳහා කෞටිල්‍යවාදී ඉන්දියානු ආක්‍රමණිකයන් විසින් නොනවතින මුහුදු රළ මෙන් දියත් කෙරෙන ආක්‍රමණාවලියේ එක්‌ සිද්ධියකට විරුද්ධව තම මව්බිම රැකගැනීම සඳහා දුටුගැමුණු රජතුමාගේ නායකත්වයෙන් දියත් කරනා ලද ආහ්ලාදජනක, වීරෝදාර සංග්‍රාමයයි. සිනමාව තුළින් දුටුගැමුණු වත ජාතියට කීමේදී ඓතිහාසික උරුමයද මනා සේ රකිමින් මේ සිංහල දේශයේ රජුගේ මෙන්ම බෞද්ධ භික්‍ෂුවගේද කාර්යභාරය සහ උරුමය විශිෂ්ට අන්දමින් නිරූපණය කොට ඇත. 

කිසි දිනක සුව නොවන කෞටිල්‍යවාදී නිධන්ගත රෝගයකින් පෙළෙන දුෂ්ට ඉන්දියානු ව්‍යාප්තවාදයේ සනාතනික ආක්‍රමණවලින් රට රැක ගැනීමේ සිංහලයාගේ ආත්ම ආරක්‌ෂණවාදී වීරෝදාර සටන් පිළිබඳ සනාතනික ශෝක ගීතය වශයෙන් මා විසින් හඳුන්වනු ලබන ලංකා ඉතිහාස කතාවේ වැදගත්ම සංසිද්ධියක්‌ නිදාගෙන සිටින ජාතියක්‌ අවදි කිරීම සඳහා මේ අන්දමින් ප්‍රබලව සිනමාවට නැංවීමෙන් ජයන්ත චන්ද්‍රසිරි සිදුකොට ඇති මෙහෙය ප්‍රශංසනීයය.

රජුන්, රැජිනියන් හා කුමාරවරුන් තම රටවැසියා වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් රන් හුයක්‌ සේ කතාන්තරය පුරාම ගලා යයි. ඒ අතරම ගැමුණු කුමරු මාගමට කැටිව යැමට පැමිණි නන්දිමිත්‍ර යෝධයා සමග කෙරෙන කතාබහේදී "කුමාරවරුන් බොරු කීවත් ගොවියන් බොරු නොකියන බව නඟාලීමෙන් වර්තමානයේ සිටින දේශපාලන කුමාරවරුන්ටද සියුම් උපහාසයක්‌ කිරීමට ජයන්ත අමතක නොකරන බව පෙනේ. අව්‍යාජ සිංහල ගැමියාගේ නියම ප්‍රතිරූපයද ඉන් විදහා දැක්‌වෙයි. 

කොත්මලේ සිට මාගමට යන විට ගැමුණු කුමරු සමගින් සාලිය කුමරකුද එසේම බිසවක්‌ද යෑවීමෙන් මහාවංශ කතුවරයා අපට නොවිස¹ ඉතිරිකොට ගිය ගැටලුවක්‌ද ජයන්ත නිරාකරණය කොට ඇත. ඒ සමග ධර්මසේන හිමියන්ද අභිබවා මානව චර්යා ධර්මතාව පිළිබඳ යථාර්ථයද ඔහු පෙන්වාදී ඇතැයි සිතමි. මේ නිර්මාණය තුළින් මනමේ නාට්‍යයේ මනමේ කුමරිය නින්දාවෙන් නිදොස්‌ කරවා ගැනීම සඳහා එදිරිවීර සරච්චන්ද්‍රයන් යොදාගත් උපාය ජයන්ත විසින්ද මෙහිදී යොදාගෙන තිබීම ප්‍රශංසනීයය.

අනෙක්‌ අතින් සිංහල බෞද්ධ රාජ්‍යයේ භික්‍ෂුවගේ කාර්යභාරය සහ උරුමය මෙන්ම වගකීමද කතාව පුරාම ගලායන අන්දමින් හසුරුවා ඇත. විශේෂයෙන්ම ගැමුණු කුමරු හා තිස්‌ස කුමරුන්ගේ පිරිස්‌ අතර සිදුවීමට යන සටනේදී දෙපාර්ශ්වයේ අවි ගැටීමෙන් මතුවන ගිනිපුළිඟු මෙන්ම, මැරී වැටෙන සිය දහස්‌ ගණනක්‌ දැන් දැන් දක්‌නට ලැබේ යයි නරඹන්නන් විසින්ම ත්‍රාසයෙන් බලා සිටිද්දී යුද පෙරමුණු දෙක මැදින් ආකස්‌මිකව මතුවී ඉදිරියට ඇදෙන බැබළෙන කසාවතින්, එක්‌ වචනයකුදු නොබැණ යුද්ධය වැළැක්‌වූ අයුරුද විශිෂ්ට සිනමා අවස්‌ථාවකි. මෙවැනි දර්ශන තුළින් ශේ්‍රෂ්ඨ ජාතියක්‌ සතු සමාජ හරයන් ඉස්‌මතුකොට දක්‌වා තිබීමද අපූරුය. එළාර, කාවන්තිස්‌ස, විහාරමහා දේවි සහ ගැමුණු කුමරුගේ චරිතද ඉතා විශිෂ්ට අන්දමින් හසුරුවා ඇත. මෙහිලා ජැක්‌සන් ඇන්තනී (එළාර), ශ්‍රියන්ත මෙන්ඩිස්‌ (කාවන්තිස්‌ස), කුසුම් රේණු (විහාරමහා දේවි) සහ උද්ධික ප්‍රේමරත්න (ගැමුණු) යන නම්ද කිසි විටෙකත් අමතක කළ නොහැක.

දුටුගැමුණු - එළාර පුවතේ වැදගත්ම කොටස යුද්ධය වුවද විශේෂයෙන්ම මහියංගණයේ සිට රජරට දක්‌වාත්, එතැන් සිට විජිතපුරය දක්‌වාත් බලකොටු පිට බලකොටු විනාශ කරමින් කෙරුණු යුද්ධය මෙන්ම විජිතපුර සටනද ලුහුඬින් සටහන් වීම මා සිතට ප්‍රහේළිකාවකි. එසේම එළාර රජු මියයැමෙන් පසු සිද්ධීන් අතර සතුරාට පවා ගෞරව කිරීමේ සිංහල රාජ නීතිය උලුප්පා දක්‌වන අවස්‌ථාව එළාර සිහිවටන ස්‌තූපය නිර්මාණය ආදිය මෙන්ම දුටුගැමුණු රජුගේ පශ්චාත් යුද ආශ්චර්යන් වන රුවන්වැලිසෑය, ලෝවාමහාපාය ආදී ශාසනික සේවාවන් මෙන්ම ඒ සියල්ලටමත් වඩා තුන්හෙළය එක්‌සේසත් කිරීමේ පුවත උලුප්පා නොදැක්‌වීම සිංහලයේ අසහාය මහා නරපතියාට සිදු කෙරුණු අසාධාරණයක්‌ දෝයි මට සිතිනි. එසේම සිවුරු හැර යුද්ධයට පැමිණි ථෙරපුත්තාභය යුද්ධයෙන් පසු කෙළෙස්‌ සොරුන් සමග යුද්ධයට නික්‌ම ගිය පරමාදර්ශනද සඳහන් වූයේ නම් වර්තමානයේ සිටින දේශපාලන හා ව්‍යාපාරික භික්‍ෂූන්ට පණිවුඩයක්‌ දීමට හැකිව තිබිණැයිද මට සිතුණි. 

කෙසේ වුවද තිර රචනය මත රූප රාමු දිගහැරෙන විට මගේ රට හා සම්ප්‍රදායන් පිළිබඳ මහත් ආඩම්බර බවක්‌ මට දැනුණාක්‌ මෙන්ම මා සරසවි සිසුවකුව සිටියදී දුටු ඔeබ ඤපප්බාපැබඑs සහ ඵඑ ඵදබඑe Caරකද වැනි චිත්‍රපට මා සිහියට නැගුණේ නිතැතිනි. එසේම තවමත් තරුණ ජයන්ත චන්ද්‍රසිරි කලාකරුවා මා දකිනුයේ සිංහල නාට්‍ය වංශ කතාවේ අනාගත සරච්චන්ද්‍ර කෙනෙක්‌ වශයෙනි. ගායන ක්‌ෂේත්‍රයේ අමරදේව සහ නන්දා මාලිනී වැනි චරිතයකි. එසේම සංගීත ලෝකයේ කේමදාස කෙනෙකි. තමන් සතු අසීමිත සුරුවිරුකම් යොදා හෙට දිනයේ මහා පරාක්‍රමබාහු වත සහ සිංහලේ උඩරට රාජධානියට සහ එහි වැසියන්ට බ්‍රිතාන්‍ය යටත්විජිතවාදී ආක්‍රමණිකයන් විසින් සිදු කරන ලද විනාශයන් අලලා විශ්ව සිනමාකරණයකට සුදුසු නිර්මාණ දෙකක්‌ කිරීමටද ජයන්ත චන්ද්‍රසිරියන්ට ශක්‌තිය, ධෛර්ය හා වාසනාව ලැබේවායි ප්‍රාර්ථනය කරමි.

අවසාන වශයෙන් මේ රටේ ඉතිහාසය, සම්ප්‍රදායන් සහ ජාතික උරුමයන් පිළිබඳ මෙලෝ අවබෝධයක්‌ හෝ හැඟීමක්‌ නැති වල්මත්ව පිස්‌සු කෙළිමින් නයිට්‌ ක්‌ලබ්වල කුණුවෙමින් අයාලේ යන තරුණ තරුණියන්ට සහ රටේ අනාගතය භාර ගැනීමට සිටින සියලුම පාසල් සිසුන්ටද "මහරජ ගැමුණු" වැනි චිත්‍රපට බැලීමට අවස්‌ථාව ලබාදෙන මෙන් වගකිව යුත්තන්ගෙන් ඉල්ලීමටද මම මෙය අවස්‌ථාවක්‌ කර ගනිමි.

ආචාර්ය සුදත් ගුණසේකර

12/21/2014

සිංහල බෞද්ධ සංස්‌කෘතිය අමතක කර මෙරට සාහිත්‍ය නිර්මාණ කරන්න බැහැ

කතෘ:යුතුකම     12/21/2014   No comments
-ජ්‍යෙෂ්ඨ සාහිත්‍යවේදී ගුණදාස අමරසේකර

 ගුණදාස අමරසේකරයන් අපට සිටින ජ්‍යෙෂ්ඨතම සාහිත්‍යවේදියෙකි. ඔහුගේ සාහිත්‍ය කලා සම්ප්‍රදානය තේමා කර ගනිමින් රාජ්‍ය සාහිත්‍ය අනුමණ්‌ඩලය ක්‍රියාවට නංවන මාසික සාහිත්‍ය සංකථන සම්මන්ත්‍රණ මාලාවේ අටවැන්න දෙසැම්බර් 11 දින ශ්‍රී ලංකා ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වුනි. ගුණදාස අමරසේකරයන් සමග මේ සංවාදය ඒ නිමිත්තෙනි.

සාහිත්‍යකරුවෙකු ලෙස මතුවීමට ඔබට බලපෑ මුල් කාලීන සමාජ, දේශපාලන පසුබිම කෙබඳුද?

මම සාහිත්‍යකරණයට පිවිසෙන්නේ 1950 දී පමණ. ඒ සමය රටේ ලොකු ජාතික ප්‍රබෝධයක්‌ ඇතිවෙමින් තිබුණු කාලයක්‌. හතළිස්‌ ගණන්වල සිට විවිධ ජාතික ව්‍යාපාර හරහා මේ නව තත්ත්වය උදාවෙමින් පැවතුණා. එහිදී විශේෂ කඩඉමක්‌ ලෙස 1944 බිහි වූ නිදහස්‌ අධ්‍යාපන පනත හඳුන්වන්න පුළුවන්. සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතාගේ නිදහස්‌ අධ්‍යාපන පනත තනිකරම අධ්‍යාපනය පිළිබඳවම බිහිවූවක්‌ නොවේ. නිදහස්‌ අධ්‍යාපනය එහි මූලිකම පරමාර්ථය වුවත් ඒ හරහා විශාල ජාතික බෞද්ධ ප්‍රබෝධයක්‌ද ඇතිවුණා. නිදහස්‌ අධ්‍යාපනය හඳුන්වා දුන් වෙලාවේ එයට විරුද්ධව හිටියේ මේ රටේ ධනේශ්වරය වගේම ක්‍රිස්‌තියානි, කතෝලික පිරිසක්‌a. එයට පක්‍ෂව සිටියේ සිංහල බෞද්ධ නායකයෝ. මලලසේකර, මෙත්තානන්ද වගේ බෞද්ධ නායකයින් එහි පෙරමුණේ හිටියා. ඩී. එස්‌. සේනානායක හිටියේa සම්පූර්ණයෙන්ම එයට විරුද්ධව. ඒ නිසා කන්නන්ගර මහත්තයට නිදහස්‌ අධ්‍යාපන පනත සම්මත කරගන්න බොහොම අමාරු වුණා. එහෙත් අවසානයේ එය ජයගත්තා. මේ යුගය වෙද්දී ඉතා විශාල පුවත්පත් සංඛ්‍යාවක්‌ ද තිබුණා. 'සිංහල ජාතිය', 'සිංහල බෞද්ධයා' වැනි පුවත්පත් මෙන්ම 'ලංකාදීපය' ද බිහිවුණා. මෙම ජාතික ප්‍රබෝධයත් සමගම සාහිත්‍ය ප්‍රබෝධයක්‌ ද නිර්මාණය වීම නොවැළැක්‌විය හැකි වුණා.

මාර්ටින් වික්‍රමසිංහගේ නවකතා බිහිවුණා. සරච්චන්ද්‍රගේ නවකතා විචාරය බිහිවුණා. නොයෙක්‌ නොයෙක්‌ වාද විවාද ඇති වුණා. ඩබ්. ඒ. සිල්වා හා මාර්ටින් වික්‍රමසිsංහ අතර ඇති වුණ වාදය මේ අතර ඉතා ප්‍රධානයි. නවකතාව පිළිබඳ ඔවුන් දෙදෙනා අතර ඇතිවුණ මෙම වාදය ඉතා විශාල ලෙස ජනතාව අතර ජනප්‍රිය වුණා. ඒ හරහා සාහිත්‍යකරණය පිළිබඳව උනන්දුවක්‌ ජනතාව තුළ නිරායාසයෙන්ම නැත්පත් වුණා. ඒ වගේම තමයි කොළඹ කවිය බිහිවීම. මේ සියලු කරුණු කාරණා සමග විශේෂයෙන් කොළඹ අවට විශාල සාහිත්‍ය ප්‍රබෝධයක්‌ ඇති වුණා. ඒ වගේ පරිසරයක්‌ තුළ තමයි අපි ලියන්න පටන් ගත්තේ. මම පළමුව ලිව්වේ 'සිංහල බෞද්ධයා' පුවත්පතට. ඊට පස්‌සේ සිළුමිණට. 1940 ගණන්වල පටන් ගලාගෙන ආපු ජාතික ව්‍යාපාරය කූටප්‍රාප්ත වෙන්නෙන් 1956 පෙරළියක්‌ සමග. එම සන්ධිස්‌ථානය අපේ ලේඛන කලාවට ලබා දුන්නේ ඉතා විශාල වපසරියක්‌. ආලෝකයක්‌. මෙම සමාජ පසුබිම මත තමයි මගේ ලේඛන කලාව බිහි වෙන්නෙ.

ඔබගේ ප්‍රථම නිර්මාණ සංග්‍රහය වන "රතු රෝසමල" කෙටි කථා සංග්‍රහය මෙන්ම "කරුමක්‌කාරයෝ" නවකතාව බිහිවීමට බලපෑ විශේෂ කරුණක්‌ තිබෙනවාද?

විශේෂ හේතුවක්‌ නැහැ. "රතු රෝස මල" කෙටි කතා සංග්‍රහය බිහිවීමට ප්‍රථම මාර්ටින් වික්‍රමසිංහගේ හොඳ කෙටිකතා බිහිවී තිබුණා. ජී. බී. සේනානායකගේ හොඳ කෙටිකතා තිබුණා. "රතු රෝස මල" බිහිවුණේ එම කෙටි කතා ඇසුරෙන් යෑයි පැවැසීම නිවැරදියි. නමුත් " කරුමක්‌කාරයො" එසේ නොවෙයි. ඒකේ වැදගත්කම තිබෙන්නේ ඉන්a නිරූපණය කළ සමාජ චිත්‍රය තුළ. ඒක වැදගත්. එයින් පෙන්වනවා නගර ආශ්‍රිතව තිබුණු වෙළෙඳ පංතිය ක්‍රමයෙන් ගමට ඇතුල්වෙන හැටි. එතෙක්‌ වියුක්‌ත වෙලා තිබුණ ගමට වෙළෙඳ පංතියේ බලපෑම ඇතිවුණ හැටි. එහි ප්‍රතිඵලයක්‌ ලෙස බස්‌ ගමනාගමනය ඇතිවුණා. ඒ ඔස්‌සේ ගම ක්‍රම ක්‍රමයෙන් සංකීර්ණ තත්ත්වයට පත්වෙනවා පමණක්‌ නොවේ. ඒ ඇසුරෙහි මිනිසුන්ගේ ජීවිත ද සංකීර්ණ තත්ත්වයට පත්වෙනවා. ඒ අනුව ඒ යුගයේ තිබුණු සමාජ පෙරළිය "කරුමක්‌කාරයෝ" නවකතාවෙන් හොඳින් නිරූපණය වුණ බව මම අදත් විශ්වාස කරනවා. නමුත් එහි එන ප්‍රේම සම්බන්aධතාව දුර්වලයි. ඒක ඇත්ත වශයෙන්ම කෘත්‍රිමයි. ඒ නිසා නවකතාවේ අන්තෝ ජටා හා බහී ජටා යන දෙක වෙන වෙනම පෙනෙන බවයිs මට හිතෙන්නේ. ඒ දෙක හරියට එකට සම්බන්ධ වෙන්නේ නැති ලක්‍ෂණයක්‌ බව මට දැනෙනවා.

"කරුමක්‌කාරයෝ" නවකතාව සිංහල නවකතාවෙහි දිශානතිය වෙනස්‌ කරපු නවකතාවක්‌...

හොඳට හෝ නරකට පළමුවරට එක්‌තරා විදිහකට ලිංගිකත්වය නිරූපණය කළේ එම නවකතාවයි. නවකතාවක්‌ මගින් ලිංගිකත්වය පිළිබඳව එතෙක්‌ විවෘත ලෙස කතා කර තිබුණේ නැහැ. එහි ලිංගිකත්වය විවෘත ලෙස සාකච්ජා කරන නිසා බොහෝ ගුරුවරු ළමයින්ට එය කියවන්න එපා කියල කිව්වා. ඒකෙන් හොඳක්‌ වුණාද, නරකක්‌ වුණාද කියන්න මා දන්නේ නැහැ. හැබැයි නරකක්‌ වුණා යෑයි නම් මට හිතෙන්නේ නැහැ. එකම දේ අද තිබෙන්නේ ලිංගිකත්වය නිරූපණය කිරීම නොවෙයි. ලිංගිකත්වය සූරා කෑම. අනවශ්‍ය විදියට ලිංගිකත්වය ප්‍රයෝජනයට ගැනීම.

"යළි උපන්නෙමි" කෘතිය ඔබ ප්‍රතික්‍ෂේප කරන්නෙත් එම තර්කය මතද?

"යළි උපන්නෙමි" මම ප්‍රතික්‍ෂේප කරන්නේ ඇත්ත වශයෙන්ම එහි තිබෙන ලිංගිකත්වය පිළිබඳ ප්‍රශ්නය නිසා නොවෙයි. එහි එන චරිතයත්, ඒ ප්‍රශ්නයත් එක්‌තරා විදියක ව්‍යාජයක්‌. එය මේ සමාජය තුළින් පැනනැඟුණු තත්ත්වයක්‌ නොවෙයි. එහි තිබෙන්නේ මේ සමාජයෙන් වියෝවුණු පුද්ගලයකුගේ මානසික රෝගයක්‌. සම්පූර්ණ කතාවම ගොඩනඟා තිබෙන්නේ එම පසුබිම මත. කවුරු හරි කෙනෙක්‌ අහන්න පුළුවන් එවැනි චරිත සමාජෙ නැද්ද? කියල. එහෙම චරිත නැත්තේ නැහැ. ඉන්නවා. ඒත් නවකතාකරුවෙක්‌ යම්කිසි චරිතයක්‌ නිර්මාණය කරනවා නම් ඒ චරිතය සමාජයේ පොදු චරිතයක්‌ විය යුතුයි. නවකතාකරුවා මනසින් පමණක්‌ නිරූපණය කරන මනස්‌ පුතෙක්‌ගෙන් ඇති වැඩක්‌ නැහැ. නවකතාකරුවා බිහි කරන චරිතය මගින් සමාජයේ එක්‌ පැතිකඩක්‌ නියෝජනය විය යුතුයි. එහෙම නැතුව හුදු පුද්ගල චරිත පමණක්‌ නිර්මාණය කිරීමේ තේරුමක්‌ නැහැ.

මානසික රෝගියෙක්‌ පිළිබඳ තිබෙන වාර්තාවක්‌ ඒ මානසික රෝගියාට වැදගත් වෙන්න පුළුවන්. ඒත් ඒක මුළු සමාජයටම වලංගු වෙන්නේ නැහැනේ. මේක ඉතා වැදගත්. ජෝර්ඡ් ලූකාස්‌ මෙම තත්ත්වය ඉතා හොඳට විස්‌තර කර තිබෙනවා. ඔහු පැහැදිලිව කියන්නේ යම්කිසි නවකතාවක චරිතයක්‌ නිරූපණය කිරීමේදී එහි තිබෙන එක්‌ ප්‍රධාන වැදගත්කමක්‌ තමයි, එම චරිතය මුහුණ දෙන ප්‍රශ්නය කොතරම් දුරට සමාජයට අනුකූලද යන්න පිළිබඳ නවකතාකරුවා අවධානය යොමු කිරීම. එය නිවැරැදියි. එහෙම නැති වුණොත් ඒක අභව්‍ය චරිතයක්‌ වෙනවා. "යළි උපන්නෙමි" තුළ ඉන්න ප්‍රධාන චරිතය එසේ අභව්‍ය චරිතයක්‌. එය මනඃකල්පිතයක්‌ පමණයි. එය බටහිර නවකතා ඇසුරෙන් බිහිවුණු අභව්‍ය චරිතයක්‌. එම චරිතය සමාජය විකෘති ලෙස හුවා දැක්‌වීමක්‌. එයින් සමාජයට කිසිදු වැඩක්‌ නැහැ. කොටින්ම එය සමාජයට අනුකූල නැහැ. ලියන දෙය සාධාරණ නැත්නම්, පාඨකයන්ට විෂය නොවෙනවා නම් එයට ඇතුල්වෙන්න බැරිනම් ලියන පුද්ගලයාට එය වැදගත් වුණාට සමාජයට වැදගත් වෙන්නේa නැහැ. "යළි උපන්නෙමි" සඳහා පමණක්‌ නොවේ පේරාදෙණිය සාහිත්‍යය පිළිබඳ කරන්න පුළුවන් ලොකුම විවේචනය තමයි එය. මාර්ටින් වික්‍රමසිංහ එය හොඳට තෝරා බේරා දී තිබෙනවා. එම නිර්මාණ මේ රටේ මිනිසුන්ගේ සමාජ ජීවිතයේ පැවැත්ම, ආකල්ප දිහා බලා ඒවා අවබෝධ කරගෙන ලියූ දේවල් නොව, අනුකාරක දේවල් කියලා. ඒක මගේ හිතේ සාධාරණ විවේචනයක්‌. ඇත්තෙන්ම "යළි උපන්නෙමි" මම නැවත මුද්‍රණය නොකරන්නේ එය නොවැදගත් නිර්මාණයක්‌ ලෙස මම හිතන නිසා.

කෙටි කතාව පිළිබඳ ඔබගේ අදහස කුමක්‌ද?

නව කතාව ආමන්ත්‍රණය කරන්නේ මූලික වශයෙන් බුද්ධියට. කවිය ආමන්ත්‍රණය කරන්නේ මූලික වශයෙන් හදවතට. කෙටිකතාව මේ දෙක තිබෙන අතරමැදි තත්ත්වයක්‌. එය එක්‌වරම බුද්ධියට මෙන්ම හදවතටත් ආමන්ත්‍රණය කරනවා. කෙටිකතාව බොහෝ විට කවියට ළඟයි. ඒ නිසා එහි බස භාවපූර්ණ බසක්‌ වෙන්න ඕන. ඒ අනුව කෙටි කතාවක භාවමය ගුණය නවකතාවකට වඩා වැඩියි. ටෝල්ස්‌ටෝයිගේ 'යුද්ධය හා සාමය' කෘතිය ගන්න. එම නවකතාවේ සමහර තැන් බොහොම ආයාසයෙන් කියවන්න ඕන. ඒ කියන්නේ එහි භාවමය ගුණය අඩුයි. ඒක හරි. 'යුද්ධය හා සාමය', 'ඇනා කැරනිනා' වැනි කෘතිවල සාකච්ඡා කරන විශාල සමාජ විශ්ලේෂණය හරහා ආමන්ත්‍රණය කරන්නේ බුද්ධියට මිසක්‌ හදවතට නොවේ. ඩොස්‌ටොවුස්‌කිගේ කෘති පවා සමහර වෙලාවට දීර්ඝ වෙහෙසක්‌ අරගෙන කියවන්න ඕන. මොකද ඒව ලිව්වේ පාඨකයගේ බුද්ධියට.

නමුත් කෙටිකතාව ඊට වෙනස්‌. ඇන්ටන් චෙකොµaගේ කෙටිකතාව අරගෙන බලන්න. ඉහත සඳහන් කරන ලද නවකතාවල අපට හමුවන භාෂා විලාශයට වඩා වෙනස්‌. එය ඉතා සුඛනම්‍ය භාෂාවක්‌. කෙටිකතාවක තිබෙන සංක්‍ෂිප්ත භාවය තුළ රචකයා යොදා ගනු ලබන බස භාවපූර්ණ බසක්‌ නොවේ නම් එය සාර්ථක කෙටිකතාවක ලක්‍ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. කෙටිකතාව හරහා දෙනු ලබන පණිවිඩය හෝ අදහස කුමක්‌ වුවත් ඒ හරහා පාඨකයාගේ හදවතේ, බුද්ධියත් අවදි කළේ නැත්නම් එය නිකම්ම නිකම් වාර්තාවක්‌ විතරයි. ඒ වගේම නවකතාවක යොදා ගනු ලබන භාෂාව භාවපූර්ණ නොවිය යුතු යෑයි මෙයින් අදහස්‌ වෙන්නේ නැහැ. සාහිත්‍ය නිර්මාණයක්‌ නම් එය රචනා කරන ලේඛකයාගේ බස අනිවාර්යයෙන්ම නිර්මාණාත්මක ගුණයෙන් පිරිපුන් විය යුතුයි. මගේ 'ගමනක මුල' නවකතාව හරහා නිර්මාණය වන අනිකු=ත් සියලුම කෘතීන් තුළ සාකච්ඡා කරන්නේ මධ්‍යම පංතියේ සමාජ විකාශනයේ විශාල චිත්‍රයක්‌. ඒ තුළ සිදු කෙරෙන්නේ බුද්ධිමය සංවාදයක්‌. නමුත් එහි භාවමය ලක්‍ෂණ තිබෙනවා. එම භාවමය ලක්‍ෂණ බිහිවෙන්නේ එහි යොදාගෙන ඇති බස හරහා. 'කියනු මැන දිවි අරුත' කෙටිකතා පොතත් එයට හොඳ උදාහරණයක්‌.

ඔබගේ කෙටි කතා පිළිබඳව ඔබට සිතෙන්නේ කුමක්‌ද?

මගේ පළමුවැනි කෙටි කතා පොත 'රතු රෝස මල'. එහි තිබෙන්නේ බටහිර කෙටි කතාවල ආභාෂය. ''ජීවන සුවඳ' පොතේ තිබෙන වැදගත්කම තමයි අත්දැකීම් මුල් කරගෙන ලිවීම. එහි එන තරුණයා එක්‌තරා විදියකට සමාජයෙන් වියෝවුණුq ලෝකයක ජීවත් වූ තරුණයෙක්‌. සමාජය හා ගැටෙන, සමාජයට අභියෝග කරන කෙනෙක්‌ නොවේ. නමුත් ඊට පස්‌සේ රචනා වන 'එක්‌ටැමෙන් පොළොවට', ''කතා පහක්‌', 'ප්‍රේමයේ සත්‍ය කතාව', 'අසත්‍ය කතාව' ඇතුළු අනිකුත් කෘති තුළ අපිට පෙනෙනවා සමාජය සමග පුළුල් ලෙස ආබද්ධ වුණු චරිත. සමාජයෙන් ඈත් වෙලා ඉන්න කෙනෙක්‌ නොවේ. සමාජයට වැදගත් වෙන්නෙ මෙන්න මේවයි. ජයතිලක කම්මැල්ලවීරගේ, පියසීලි විඡේමාන්නගේ, අනුලා කුමාරි විඡේරත්නගේ සමහර කෙටිකතාවල මෙම ලක්‍ෂණය තිබෙනවා. සයිමන් නවගත්තේගමගේ මුල් කාලීන කෙටිකතාවල යම් සාර්ථක ලක්‍ෂණ තිබෙනවා. ඒවා සමහරක්‌ සාර්ථකයි. නමුත් පසු කාලයේ ලියපු නවකතා කෙටිකතා ගන්න දෙයක්‌ නැහැ. ඒව තුළ තිබෙන්නේ බොරු මෝස්‌තර. "සාපේක්‍ෂනී" වගේ කෘතියක්‌ එයට හොඳ උදාහරණයක්‌.

එතකොට කරුණාසේන ජයලත්

ඔහුට හොඳ දක්‍ෂකමක්‌ තිබුණා. ඔහු ලොකු දෘෂ්ටිකෝණයකින් බලා රචනාවේ යෙදුණු ලේඛකයෙක්‌ නොවේ. නමුත් ඔහුගේ රචනාවල අපට ළං වෙන්න පුළුවන් සමාජ චිත්‍රයක්‌ තිබුණා. එවැනි සමාජ චිත්‍රයක්‌ නිර්මාණයක්‌ කරන්න පුළුවන් බසක්‌ ඔහු සතු වුණා. නමුත් මම කැමැති 'ගොළු හදවත' කෘතියට නොවේ. 'ගැහැනු ළමයි' කෘතියට. 'රිදී නිම්නය' ඔහු රචනා කළේ ගැඹුරු යමක්‌ ප්‍රකාශ කරන්න. නමුත් එය ඉතා සරල අසාර්ථක කෘතියක්‌. ජයලත්ගේ කතා වැටෙන්නේa 'මළගිය ඇත්තෝ', 'මළවුන්ගේ අවුරුදු දා' වගේ කොටසකට. 'මළගිය ඇත්තෝ', 'මළවුන්ගේ අවුරුදු දා' කෘති දෙක වුණත් ඉතා වටිනා ගද්‍ය කාව්‍ය දෙකක්‌ මිසක්‌ සාර්ථක නවකතා දෙකක්‌ නොවේ.

"විරාගය" මාර්ටින් වික්‍රමසිංහයන්ගේ හොඳම කෘතිය බවට ඔබ පිළිගන්නවාද?

'විරාගය' හොඳ තමයි. නමුත් එයට වඩා 'ගම්පෙරළිය', 'කලියුගය', 'යුගාන්තය' කියන නව කතා තුන 'විරාගයට' වඩා ගැඹුරු දෙයක්‌ කියනවා. 'විරාගය' ජනප්‍රිය වුණේ මාර්ටින් වික්‍රමසිංහයන් ඒ හරහා දෙන්න හදපු බුද්ධිමය පණිවිඩය නිසා නොවේ. එහි ඇති ප්‍රේම කතාව නිසා. මම 'විරාගය' ගැන ලිපි කිහිපයක්‌ රචනා කර තිබෙනවා. කතා කර තිබෙනවා. අරවින්ද හරහා වික්‍රමසිංහයන්ට කියන්න අවශ්‍ය වුණේ ගමෙන් ආපු කෙනෙක්‌ වෙනස්‌ වන සමාජයට අනුව වෙනස්‌ වීමට නොහැකි වී ඒ තුළ හුදකලා වීමයි. ඒ හුදකලා පුද්ගලයාගේ වියෝවයි. එහි එන අනිකුත් චරිත වෙනස්‌ වන සමාජයට අනුකූල වෙමින් ජීවිතය සාර්ථක කරගන්නවා. අරවින්දගේ පරාජයෙන් පෙනෙන්නේ වෙන දෙයක්‌ නොවෙයි. ඔහුගේ ජීවිතයට සරිලන සමාජ ආර්ථිකයක්‌ මේ රටේ ගොඩනඟා ගැනීමට හැකි වීම. තරගය මුල් කරගත් බටහිර ධනවාදී ආර්ථිකය ඔහුට ගැලපෙන්නෙ නැහැ. ඔහුට සාර්ථක ජීවිතයක්‌ ගත කරනවා නම් ගත කරන්න වෙන්නේ මෙන්න මේ වෙනස්‌ වූ සාමාජික, ආකල්ප හා පුරුෂාර්ථ උඩ. එය තමයි, එහි තිබෙන හරවත් පණිවිඩය. නමුත් බොහෝ දෙනා තදින් වැළඳ ගත්තේ එහි තිබෙන භාව කම්පනය කරන ප්‍රේම වෘතාන්තය මිසක්‌ එහි සැබෑ අර්ථය නොවේ. 'ගම්පෙරළිය' නවකතාව සාර්ථකයි. යථාර්ථවාදී නවකතාවට පදනම වැටුණේ එම කෘතියත් සමගින්. 'විරාගය' අසාර්ථක හෝ නීරස කෘතියක්‌ නොවේ. නමුත් මම හිතන්නේ වික්‍රමසිංහගේ නවකතා ත්‍රිත්වය එයට වඩා ගැඹුරු සමාජ විශ්ලේෂණයක්‌ ඉදිරිපත් කරන බවයි.

නවකතා ත්‍රිත්ව අතරිනුත් " කලියුගය" විශේෂ වන බව මගේ පෞද්ගලික හැඟීමයි...

එය හරි. 'ගම්පෙරළිය' හා 'යුගාන්තය' එකට යා කරන්නේ 'කලියුගය' හරහා. ගම්පෙරළිය නවකතාව ඉතිහාසය තුළ ඉතා වැදගත් ස්‌ථානයක්‌ ගන්නා සේම එම ත්‍රිත්වය අතරිනුත් 'කලියුගය' ඉතා විශේෂයි. නමුත් ඒ පිළිබඳ හරවත් කතිකාවතක්‌ ගොඩනැඟුණේ නැහැ. හැමෝම කතා කරන්නේ 'ගම්පෙරළිය' ගැන පමණයි. මෙතැනදී තවත් කරුණක්‌ පැවසිය යුතුයි. 'විරාගය' තුළින් වික්‍රමසිංහ දෙන්න උත්සාහ කරපු පණිවිඩය 'විරාගය' චිත්‍රපටය තුළ ඉදිරියට ආවත්, 'ගම්පෙරළිය' චිත්‍රපටයේ තිබෙන්නේ නන්දා හා පියල්ගේ ප්‍රේම කතාව විතරයි. වෙන කිසි දෙයක්‌ නැහැ. රුසියන් නවකතාව ශ්‍රේෂ්ඨ වෙලා තිබෙන්නේ ඒ යුගයේ ඒ සමාජයේ මධ්‍යම පංතිය තුළ තිබුණ ප්‍රබල සංවාදය. ඒ සංවාදයේම කොටසක්‌ තමයි එම කෘතිවල තිබෙන්නේ. ටෝල්ස්‌ටෝයිට අවශ්‍ය වුණේ ජරාජීර්ණ වූ රුසියන් සමාජය වෙනුවට විකල්ප සමාජයක්‌ ගොඩනැඟීම. ඒ වගේ ගම්පෙරළිය හරහා වික්‍රමසිංහයන්ට අවශ්‍ය වුණෙත් පාරම්පරික වැඩවසම් සමාජය අභාවයට යැමත් සමග නැඟී එන නව වාණිජ පංතියේ ස්‌වරූපය පිළිබඳ අදහසක්‌ නිර්මාණය කරන්න. ඒත් චිත්‍රපටයේ ඒ කිසි දෙයක්‌ ගොඩනැඟී නැහැ. නමුත් 'ගම්පෙරළිය' යුග යුග ගණන් කියවා තිබෙන නිසා 'ගම්පෙරළිය' චිත්‍රපටය නරඹන ප්‍රේක්‍ෂකයෝ මානසික වශයෙන් අනිවාර්යයෙන්ම පොත සමඟ බද්ධ වෙනවා. එය සිහියේ තබාගෙන චිත්‍රපටය නරඹනවා.

මහාචාර්ය සරච්චන්ද්‍ර හා මාර්ටින් වික්‍රමසිංහ පිළිබඳ ඔබගේ අදහස කෙබඳුද?

ඔවුන් දෙදෙනාම සිංහල සාහිත්‍යයට කරන ලද සේවය අති විශාලයි. ඒ පිළිබඳ විවාදයක්‌ නැහැ. සරච්චන්ද්‍රයන් 'විරාගය' පිළිබඳ කරන ලද නිරීක්‍ෂණය ඉතා වැදගත් යෑයි මට හිතෙනවා. ඔහුගේ අදහසට අනුව අරවින්ද තෘප්තියක්‌ ලබන්නේ අවසානයේ තමන්ට හිමි නොවන සිහින ලෝකයක්‌ තුළින්ය යන නිරීක්‍ෂණය තුළ යම්කිසි සත්‍යතාවක්‌ තිබෙනවා. වික්‍රමසිංහයන් මම අඳුර ගන්නේ එඩ්වින් ආරියදාස මගින්. හඳුනගත්ත දවසේ සිටම ඔහු මිය යනතුරු අපි අතරේ විශාල සුහදත්වයක්‌ ගොඩනැඟී තිබුණා. මම වික්‍රමසිංහගේ සියලුම පොත් පත් හා ලිපි ලේඛන කියවල තිබෙනවා. ඒ හරහා ඔහු පිළිබඳ ලොකු ගෞරවයක්‌ මට තිබුණා. කොටින්ම කියනවා නම් නූතන සිංහල සාහිත්‍යයේ නිර්මාතෘවරයා වික්‍රමසිංහ. ඔහු දැමූ පදනම උඩ තමයි අපි සියලු දෙනාම අපේ නිර්මාණ ගොඩනඟා තිබෙන්නේ. නමුත් හුඟ දෙනෙක්‌ එය වටහාගෙන නැහැ. සිංහල ජනතාවට ඔවුන්ටම සුවිශේෂී වූ සංස්‌කෘතියක්‌ තිබෙන බව මෙම සාහිත්‍ය ක්‍ෂේත්‍රය තුළ පැහැදිලිව පෙන්වා දුන්නේa ඔහු. ඒක දැන් බැලූවිට සුළු පටු දෙයක්‌ වගේ තමයි. නමුත් එතුමා තමයි තර්කානුකුලව එම අදහස ගොඩනැඟුවේ.

'සිංහල සාහිත්‍යයේ නැඟීම' කෘතිය පුරාම ඔහු සාකච්ඡා කරන්නේ සිංහල මිනිස්‌සුන්ට අතීතයේ සිට බුදු සමය ආශ්‍රයෙන් බිහි වූ විදග්ධ සංස්‌කෘතිය පිsළිබඳව. එම සංස්‌කෘතික පදනම උඩ තමයි, එතුමා සියලුම සාහිත්‍ය විචාර ගොඩනැඟුවේ. ඔහු කිසියම් කෘතියක සාර්ථක අසාර්ථක බව පෙන්වා දුන්නේ සිංහල සංස්‌කෘතිය කියන සංකල්පය උඩ. එය නිවැරදියි. විචාරයට යම් කිසි පදනමක්‌ තිබිය යුතුයි. නිsකම් දොඩවා හරියන්නේ නැහැ. එම පදනම අපේ සමාජ සංස්‌කෘතික පරිසරය මත නිර්මාණය විය යුතු දෙයක්‌ මිසක්‌ කොහේවත් රටක තිබෙන විචාර පදනමක්‌ නොවිය යුතුයි. අද බිහිවෙන නවකතා මෙන්ම විචාරයන් තුළ ද දක්‌නට නොලැබෙන ලක්‍ෂණය එයයි. වර්තමාන නවකතාකරුවන්ට මෙන්ම විචාරකයන්ට ද එවැනි පදනමක්‌ නැහැ. ඒ නිසා ඒ ගැන වැඩිය කතා කිරීම පවා කාලය කා දැමීමක්‌. වික්‍රමසිංහයන් පෙර අපර දිග සාහිත්‍යය පිළිබඳ විශාල දැනුමක්‌ තිබුණු පුද්ගලයෙක්‌. ඒ වගේම විශ්ව විචාර න්‍යායන් පිsssssssළිබඳ පැතිරුණු දැනුමක්‌ තිබුණු පුද්ගලයෙක්‌. එවැනි පුද්ගලයෙකු පවා තම පදනම ලෙස යොදා ගත්තේa බුදු සමය හරහා ගොඩනැඟුණු සිංහල සංස්‌කෘතික උරුමය. අද නිර්මාණකරුවන් ඒ හැම දේම අතහැර අනුකාරක පිරිසක්‌ බවට පත්වීම ඉතා භයානකයි. සිංහල බෞද්ධ සංස්‌කෘතිය අමතක කර අපේ රටේ කිසිම සාහිත්‍යයක්‌ නිර්මාණය කරන්න බැහැ.

ඔබ කවියෙක්‌

අපිට තිබෙනවා, විශාල වියත් කවි සම්ප්‍රදායක්‌. එහි ප්‍රතිඵලයක්‌ ලෙස තමයි, මගේ කවිය බිහිවුණේ. 'භාවගීත' ලියවුණේ සැහැලිවල, තොවිල් කවිවල, ජන කවිවල ආභාසයෙන්. 'අමල් බිසෝ' තුළ ඊට වඩා එහා ගියා. ඊළඟට 'ගුරුළු වත' තුළ සම්භාව්‍ය කවි බස යොදා ගත්තා. වියත් කවි බස තාම මැරිල නැහැ. කෝට්‌ටේ යුගයෙන් පස්‌සේ බිහිවෙච්ච වියත් කවි බස දිගින් දිගටම තිබෙනවා. එකම දේ තිබෙන්නේ අලගියවන්නගෙන් පස්‌සේ මේක කාලානුරූපව වෙනස්‌ කරන්න ශ්‍රේෂ්ඨ කවියෙක්‌ බිහි වුණේ නැහැ. කවියේ මූලිකම පරමාර්ථය තමයි රස ජනනය. ඒ නිසා තමයි මම කියන්නේ කවි බස කියන්නේ හදබස කියල. පුවත් පත් භාෂාවෙන්, කොළඹ කවි භාෂාවෙන් ඇතුළු ඕනෑම භාෂාවකින් කවි ලියන්න පුළුවන් කමක්‌ නැහැ. රස ජනනය සඳහා අර්ථ වනිය වගේම ශබ්ද වනියක්‌ද අවශ්‍යයි. මේ දෙකෙන් තමයි රසය උපදින්නේ. ශබ්ද වනිය සඳහා අවශ්‍යයි යම් විරිතක්‌. සිංහල භාෂාවට ප්‍රාණය ලැබෙන්නෙ විරිතෙන්. මෙය ගොඩක්‌ දෙනා වටහා නොගෙන ඕනෑම භාෂාවකින් කවි ලියන්න පුළුවන් කියල හිතාගෙන

කෑලි කෑලි කඩල වචන රාශියක්‌ ලියනවා. එතැනදී බිහිවෙන්නේ රසයක්‌ නැති නිර්මාණ බිහිවීම පමණයි. මම මුල ඉඳලම කවි ලිව්වේ රස ජනනය මූලික කරගෙන මිසක්‌ හුදෙක්‌ කවි රචනා කිරීමේ පරමාර්ථයෙන් නොවෙයි.

"අබුද්දස්‌ස යුගය" හරහා ආරම්භ වී" ගණඳුරු මැදියම..." හරහා ගලා ගිය ඔබගේ සමාජ සංස්‌කෘතික විවේචනය අද වන විට ප්‍රතිඵල අත්කර දී තිබෙනවාද?කිසි දෙයක්‌ වෙලා නැහැ. තව ඉතාම කෙටි කාලෙකින් සිංහල ජාතිsය නැත්තටම නැතිවෙලා යන කං අපි වෙන වෙන මනස්‌ගාත කර කර ඉන්නවා. අපේ අනාගතය ඉතාම භයානකයි. මෙවැනි මොහොතක සාහිත්‍යකරුවාගේ වගකීම අප නියමාකාරව අවබෝධ කරගත යුතුයි. අපේ වගකීම යොමු විය යුත්තේ අප වසන සමාජයට මිස අන්තර්ජාතිකත්වයට නොවේ.

සංවාදය - සුලෝචන වික්‍රමසිංහ [දිවයින]

යුතුකම සංවාද කවය

12/03/2014

සමාජ ව්‍යුහයේ ජයග්‍රහණය හෙවත් ස්‌වර්ණ පුස්‌තක සම්මානය - II

කතෘ:යුතුකම     12/03/2014   No comments
මේ ලිපියේ පළමු කොටස :

සමාජ ව්‍යුහයේ ජයග්‍රහණය හෙවත් ස්‌වර්ණ පුස්‌තක සම්මානය

අද එතැන් සිට....
  
ව්‍යුහයේ ජයග්‍රහණය
වර්තමානයේ දිනසිරි කුරුලුගංගොඩ වැනි ව්‍යාජ පුද්ගලයන් ද, ඔවුන් ගේ අඳබාල ප්‍රබන්ධ ද අනවශ්‍ය පමණට ඔසොවා තබන වෙළෙඳ සමාජයක්‌ බිහි වී තිබෙන බව අපි දනිමු. සියල්ලන්ට අවශ්‍ය වන්නේ මතුපිට පහුරු ගාමින් තවදුරටත් මජර ආර්ථිකය ක්‍රමයට උඩ ගෙඩි දෙන සමාජ ව්‍යුහය පවත්වා ගෙන යැම ය. ලියනගේ අමරකීර්ති වැන්නන් ද ගසා ගෙන යන කුහක 'සමාජ පල් වතුර' දැන් මෙරට විශ්වවිද්‍යාලයන් ද යට කර ගෙන ගොස්‌ හමාර ය.
ව්‍යුහයේ අංගවිකලකම 'ස්‌වර්ණ පුස්‌තක' සම්මාන කමිටුවට බලපා තිබෙන අන්දම ගැන කදිම විග්‍රහයක්‌ පසුගිය 13 වැනිදා දිවයින වටම`ඩල අතිරේකයට රත්තනදෙණියේ මේධානන්ද හිමියන් විසින් සපයා තිබිණි. 'කුරුලු හදවත' වැනි නෝන්ජල් කෘති සම්මානයට භාජන වන්නේ දිනසිරි වැනිම 'අපතයන් ගේ' තීරණ නිසා ය.
දිනසිරි කුරුලුගංගොඩ ගුවන් විදුලි මාධ්‍යයේ ඉහළට ගියේ ප්‍රවීණයකු ගේ පරිවාස කාලයවත් ගත නො කර යෑයි, කිඹුල් කඳුඵ හෙළන ලියනගේ අමරකීර්ති, 'කුරුලු හදවත' නවකථාවෙන් ස්‌වර්ණ ශ්‍රී බණ්‌ඩාර, ලැම්බට්‌ පෙම්මාවඩු වැනි ප්‍රාමාණිකයන්ට සිදු කර තිබෙන අවැඩ සුළු පටු නැත.

උදාහරණයක්‌ වශයෙන් ගුවන් විදුලියේ ලේ පරිත්‍යාගශීලීන් ගේ කඳවුරේදී ලේ දන් දීමට පැමිණි එක්‌ පුද්ගලයකු ගේ මුවට නංවා තිබෙන වදන් මෙහි ලා උපුටා දක්‌වනු වටී. 'මේ සැරේ නං දෙමලුන්ට කෙළවලාම තමයි පස්‌ස බලන්ඩ ඕනෙ. මගෙ ලේ ඔක්‌කොම වුණත් දෙනව අපේ කොල්ලන්ට' 

හමුදාවට ලේ දන් දෙන කඳවුරුවලදී මෙවැනි ආවේගශීලී ප්‍රකාශ ඇසුණු සමයක්‌ පසු කරන ලද බව සත්‍යයක්‌ වුවත්, එවැන්නක්‌ ගුවන් විදුලියේ ලේ පරිත්‍යාගශීලීන් ගේ කඳවුරේදී ඇසුණා යයි පැවසීම විශ්වාස කළ නො හැකි තරම් වන කෙප්පයකි. අප ගේ දෙසවනට දිගුකාලීන ව හුරු වී තිබෙන ලැම්බට්‌ පෙම්මාවඩු ගේ දයාර්ද්‍ර හඬින් අමතනු ලබන ශ්‍රාවක සමාජය එවැනි මාරාන්තික වෛරවාදයකට නතු කළ හැකි යයි සිතිය හැකි ද?
 
දශක ගණනක්‌ තිස්‌සේ පුණ්‍ය චේතනාව පෙරදැරි කර ගනිමින් ලේ පරිත්‍යාගශීලින් ගේ ගුවන් විදුලි වැඩ සටහනින් අසරණ රෝගී ජනතාවට අමිල මෙහෙවරක්‌ ඉටු කරන ලද ලැම්බට්‌ පෙම්මාවඩු මහතා, 'දෙම`ඵ මරන්නට කටයුතු කරමින් ලේ විකුණන්නකු' ලෙස හංවඩු ගසා තිබීම සාහසික අපරාධයකි. මෙලෙස ලැම්බට්‌ පෙම්මාවඩු වැනි සමාජයට කිසිදු අවැඩක්‌ කර නොමැති නිර්ව්‍යාජ ජනමාධ්‍යවේදීන් වචනාර්ථයෙන් ඝාතනය කිරීමට තරම් ආත්ම ශක්‌තියක්‌ ඇත්තකුට, කුරුලුගංගොඩ වැනි ප්‍රබන්ධ චරිතයක්‌ මරා දැමීම සු`ඵ දෙයකි.

ඒ අනුව නවකථාව අවසානයේ කුරුලුගංගොඩ දියේ ගිල්වා මරා දමා තිබෙන්නේ කතාව ගෙන යා හැකි අර්ථසම්පන්න ඉසව්වක්‌ සොයා ගත නො හැකි නිසා බව පැහැදිලි ය. එය ද සිදු ව තිබෙන්නේ පොලිස්‌ අත්අඩංගුවට පත් වූ සැකකරුවකු ආයුධ පෙන්වන්නට ගොස්‌ දියේ ගිලී මැරෙන ආකාරයට නො දෙවැනි වූ අභිරහස්‌ අන්දමට ය. මෙය සිදු වී ඇත්තේ නවකථාවේ තැනින් තැන මතු වන අවුල්සහගත තත්ත්වය කූටප්‍රාප්තිවීමක්‌ ලෙසිනි. ඒ සිදුවීම් මාලාව යනු අනෙකක්‌ නො ව, මෙකල ලියනගේ අමරකීර්ති විවිධාකාරයෙන් ස්‌වකීය අතීතය මරා ගන්නට ගන්නා උත්සාහයම ය. ගත වූ දශකයක පමණ කාලයක්‌ තිස්‌සේ ලියනගේ අමරකීර්ති ස්‌වකීය බුද්ධි ප්‍රභාව අවුළුවා ගන්නවා වෙනුවට සිදු කර තිබෙන්නේ 'ජෝති තමෝ පරායනයෙන්' කටයුතු කිරීම ය. 

සැසඳුව මැනවි.

'සිංහල-දෙමළ ජනවාර්ගිකත්වය (1983 ම්ලේච්ඡ පාපතර ත්‍රස්‌තවාදී සංහාරයෙන් පසුව පවා) අප ගේ යථාර්ථවාදී සාහිත්‍යයෙහි ප්‍රතිනිර්මාණය කෙරෙන තරම් සරල නැත. දකුණ යෑයි කියන සිංහල ප්‍රදේශය කුල දෙමළ ජනයා ද සිටිති. සිංහල ආණ්‌ඩුව යෑයි හඳුන්වන ආණ්‌ඩුවේ දෙමළ අය ද සිටිති. සිංහල රජය යෑයි කියන රජයේ දෙමළ අය ද සිටිති. සිංහල පොලීසියේත් ඊළාම් පොලීසියේත් පොලිස්‌පතිවරු දෙමළ ජාතිකයෝ වෙති. ජීවිතයම පවා සාහිත්‍යයට වඩා සංකීර්ණ නො වේද? (බලය/2003/ඔක්‌-නොවැ/පිටුව 46)

2003 වසරේදී එලෙස අදහස්‌ දක්‌වන ලියනගේ අමරකීර්ති 2014 වසරේදී පවසනුයේ මෙවැන්නකි.

'සිංහල බෞද්ධ පොලීසිය විසින් සිංහල බෞද්ධ කොලු ගැටයකු මරා දැමීම ගැන සිංහල බෞද්ධ පත්තර නිහඬය'. (ඇත්ත/2014.07.16)
සමාජයට ඉහඳ තබන මෙවැනි තත්ත්වයක්‌ දක්‌වා පිරිහුණු පුද්ගලයකු ගෙන් 'කුරුලු හදවත' වැනි නවකථාවකට වඩා වැඩි යමක්‌ බලාපොරොත්තු විය හැකි ද?

එසේම මෙකී නවකථාවෙන් සහ එය සම්මානයට පාත්‍ර කිරීමේ ක්‍රියාදාමයෙන් තහවුරු වන තවත් කරුණක්‌ තිබේ. මෙරට සිදු වන සියලු ව්‍යසනයන්ට හේතුව සිංහල-බෞද්ධයන් යෑයි නිතර දෙවේලේ වහසි බස්‌ දොඩන ලියනගේ අමරකීර්තිලා ගේ ප්‍රබන්ධවලින්ම ඒවා නිශේධ වී තිබීම ය.
නිදර්ශනයක්‌ වශයෙන් 'කුරුලු හදවත' කෘතියට අන්තර්ගත අර්ධ කල්පිත සමාජයේ කුජීත සමාජ ධාරාව නියෝජන කරන කුම් කුම් විඡේසිංහ සහ ජෙවන් දිසානායක එසේ හැසිරෙන්නේ ඔවුන් හුදෙක්‌ සිංහල-බෞද්ධයන් වන නිසා ද? 

අපභ්‍රෂ්ට සිංහලයෙන් ලියා ඇති 'කුරුලු හදවත' නවකථාව සම්මානනීය කෘතියක්‌ බවට ඔසොවා තබන්නට කටයුතු කර තිබෙන සමන් වික්‍රමාරච්චි සහ ආචාර්ය සුනිල් විඡේවර්ධන යනු ඊනියා සිංහල-බෞද්ධයෝ ද?

සැබෑ ජීවිතයේදී ස්‌වකීය කුල පීඩනයෙන් අත් මිඳෙන්නට වැර දරන කුරුලුගංගොඩ වැනි වළං කර්මාන්තයේ යෙදෙන්නන්ට මනුෂ්‍යත්වයෙන් පිරුණු සාධාරණයක්‌ ඉටු කරනු සඳහා ගුවන් විදුලි මාධ්‍යයෙන් ගමේ නම වෙනස්‌ කර ගන්නට උත්සාහ දැරෙන අතරේ, පුරාවිද්‍යාත්මක කැනීමක පුවතක්‌ නිර්මාණය කරන්නට තිබිණි. 

අද වන විට ලාංකික ශිෂ්ටාචාරයේ අභිමානය රැඳී තිබෙන්නේ බුදු දහම මෙරටට දායාද වන්නට පෙර ප්‍රාග් ඓතිහාසික යුගයේදී පැවැතුණු දියුණු සභ්‍යත්වයක ලක්‍ෂණ තහවුරු කෙරෙන යකඩ තාක්‍ෂණය මෙන්ම, වළං කැබලි සහ සකපෝරුව භාවිත කළ බවට සාධක හමු වී ඇති නිසා ය. එහි උරුමකරුවෝ නම් කුඹල්කරුවෝ ය. ජාතියක උසස්‌ අනන්‍යතාව සුරකින්නට දුර අතීතයේ සිට කටයුතු කර තිබෙන ස්‌වදේශික කර්මාන්තකරුවන් පිරිසකට, වර්තමානයේදී සිදු කරනු ලබන අයුක්‌තිසහගත අවමානය අවලංගු කරන්නට නම්, යොදා ගත යුතු වන්නේ මෙවැනි තාර්කික කරුණු විනා හුදෙක්‌ පාඨකයන්ට තාවකාලික විනෝදය ලබා දෙන ව්‍යාජ ප්‍රබන්ධවලින් නො වේ. 

එහෙත් බොළඳ ජනප්‍රිය FM ගුවන් විදුලි මාධ්‍ය මත්තේම ගිලුණු 'කුරුලූ හදවත' කෘතියට 'ස්‌වර්ණ පුස්‌තක සම්මානය' දී තිබෙන්නේ 'කුරුලු හදවත' නවකථාවේ නිරූපිත එකී සමාජ පාතාල ව්‍යුහය විසින්ම බව, පසුගිය කාල වකවානුවේ මුද්‍රිත මාධ්‍ය ම`ගින් හෙළිදරව් වූ කරුණුවලින් උවමනාවටත් වඩා තහවුරු වී තිබේ. සම්මාන කමිටුවේ අභ්‍යන්තර අවුලක්‌ නිසා හටගත් මතභේදයට ද්විතීයික විසඳුමක්‌ වශයෙන් යෝජනා කෙරුණු 'කුරුලු හදවත' නවකථාව තෝරා ගෙන ඇත්තේ, 'කුරුලු හදවත නවකථාව සම්මාන දිනා ගනී' යන වාක්‍යය ලියන්නට ගත වූ කාලයටත් වඩා වේගයෙනි. මේ සා අනර්ථ සහගත කෘතියක්‌ සම්මානයට පාත්‍ර වන්නේ ඒ අවකාශයෙනි. 

'ස්‌වර්ණ පුස්‌තක සම්මානය' පශ්චාත් යුද සමාජයේ සාහිත්‍ය-සංස්‌කෘතික ක්‍රියාවලිය මතට කඩා වැටුණු 'හෙණ ගෙඩියක්‌' බව අප පවසන්නේ, සමාජයේ සැබෑ අර්බුද තත්ත්වාකාරයෙන් නිරූපණය කරන සාහිත්‍යයට, මෙවැනි යටි අරමුණු සහිත විනිශ්චයන් නිසා අසාධාරණ සිදු වන නිසා ය.

ඒ අනුව ස්‌වර්ණ පුස්‌තක සම්මානය ලබා ගත් ලියනගේ අමරකීර්ති යනු, දිනසිරි කුරුලුගංගොඩ ද අභිබවමින් සමාජ පාදඩකරණයට උඩ ගෙඩි දෙන 'ව්‍යුහයේ ජයග්‍රහණය තහවුරු කළ අසමසම ජයග්‍රාහකයා' ලෙස හඳුන්වා දීම යුක්‌ති යුක්‌ත ය. 

- නිමි -

 
-කුමාර ලියනගේ  
යුතුකම සංවාද කවය
www.yuthukama.com

11/05/2014

රට ගිය ඇත්තන්ගේ ජීවන තත්වය

කතෘ:යුතුකම     11/05/2014   4 comments
සමහරු ජීවය පරදුවට තබා බෝට්ටුවල නැගී ගොස් සරණාගතයින්සේ විදේශගත වන්නේ කෙසේ හෝ තම ජීවන තත්වය ඉහල දමා ගැනීමේ අරමුණින්ය. අද අප රටේ බොහෝ තරුණයින් මේ ආකාරයට හෝ වෙනයම් ආකාරයකට හෝ බටහිර රටකට පැන ගැනීමට කැමැත්තෙන් සිටින බව රහසක් නොවේ. කෙසේ වෙතත් විදේශගතවීමෙන් පසු මේ බොහෝ දෙනෙකුගේ ජීවන තත්වය සාපේක්‍ෂ වශයෙන් ඉහල යන බව කිව යුතුය. අඩුම ගණනේ බොහෝ දෙනෙක් එසේ තම ජීවන තත්වය ඉහල ගොස් ඇතැයි සිතති. නමුත් විදේශගත වන බහුතරයක් ශ්‍රී ලාංකිකයින් තමන්ගේ ජීවන තත්වය උසස් යැයි සිතන්නේ එම රටවල සිටින සුද්දන් ඒ ගැන සිතන ආකාරයටම නොවේ. බටහිරුන්ට තම ජීවන තත්වය උසස් වීමට භෞතික සැප පහසුකම් වලට අමතරව පුද්ගලික නිදහස, දේශපාලන නිදහස, ස්ත්‍රී-පුරුෂ සමානත්වය වැනි දෑද වැදගත්ය. අපිටද මේ සමහර දෑ වැදගත් වුනත් අපි ඒ පිළිබඳ දරන අදහස් බටහිරුන් ඒ ගැන දරන අදහස් හා සමාන නොවේ. කෙසේ වෙතත් ජීවන තත්වය යනු වාස්ථවිකවූ මැනගත හැකි දෙයක් නොවේ. එය සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස්ය. එසේ නම් විදේශගතවන ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන තත්වය ඉහල යන්නේ කෙසේද?

බටහිර රටවලට පැනගත් මා වැනි පළමු පරම්පරාවේ බොහෝ ශ්‍රී ලාංකිකයෝ එරට සංස්කෘතියට මුලු මනින් අවශෝෂණය නොවෙති. උත්සාහ කලත් ඔවුන් බහුතරයකට එසේ වෙනස්වීමටද නොහැකිය. ඔවුන් බහුතරයක් ඇසුරු කරන්නේ තමන් මෙන් එරටට පැනගත් ශ්‍රී ලාංකියන්මය. බොහෝ දෙනෙකු සුද්දන් ඇසුරු කරන්නේ අතේ දුරින්ය. ඔවුන් එකිනෙකා හමුවුන විට වැඩිපුර කථා බස් කරන්නේ ශ්‍රී ලංකාවේ එදිනෙදා තොරතුරු මිස තමන් වසන රටේ සිදුවන දෑ නොවේ. එක් ව කල් ගත කරන්නට ඇති බලවත් කැමැත්ත නිසා මේ විදේශගත ශ්‍රී ලාංකිකයෝ නිතර තම නිවෙස්වල ශ්‍රී ලාංකික මිතුරන් කැඳවා සාද පවත්වති. ඒ සාදවල අසන්නේත් ගැයෙන්නේත් පරණ සිංහල සිංදුමය. මේ පළමු පරම්පරාවේ ශ්‍රී ලාංකිකයින් බහුතරයකගේ ප්‍රධාන ආහාරයද බත්මය. බටහිර රටවල මේ පුරුද්ද එතරම් පහසු නොවුනත් ඔවුහු ලංකාවේ කෑම බීම ඒ විදිහටම උයා පිහාගෙන කන්නට වෙර දරති. හැකියාවක් ඇති බෞද්ධයෝ තමන් වාසය කරන ප්‍රදේශවල පන්සල් තනා ගනිති. බටහිර රටවලට පැන ගැනගත් ශ්‍රී ලාංකිකයෝ ඒ රටවල වාසය කරන්නේ සුද්දන් මෙන් නොවන බව රට නොගිය ශ්‍රී ලාංකිකයින් නොදන්නවා විය හැකිය. නමුත් ඇත්ත තත්වය එයය.

බටහිර රටක වාසය කළත් මේ විදේශගත ශ්‍රී ලාංකිකයින් සංස්කෘතියෙන් මුලු මනින් බටහිර වී නැති බව පැහැදිලිය. ඔවුන්ගේ ජීවන තත්වය උසස්වීමට බලපාන ප්‍රධාන කරුණ බටහිර ඇති ලෞකික සැප සම්පත්ය. ඊට බලපාන අනිත් වැදගත් කරුණ නම් ආශ්‍රයෙන් හෝ කෑමෙන් බීමෙන් හෝ වෙන කිසියම් අයුරකින් හෝ ඔවුන්ට තම සංස්කෘතික අංග යම් පමණකට හෝ එම රටවල පවත්වාගෙන යාමට ඇති හැකියාවය. ඇතැමුන්ට අනුව එය දුකින් සැප විඳීමකි.  ඒ කෙසේ වෙතත් මෙලෙස තම සංස්කෘතියේ යන්තම් හෝ පය ගසා ගෙන සිටින නිසා පළමු පරම්පරාවේ සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන් තමන්ගේ ජීවන තත්වය උසස් යැයි සිතන්නේ එම රටවල සිටින සුද්දන් ඒ ගැන සිතන ආකාරයට නොව තම මවු රටේ වැසියන් සිතන ආකාරයටමය. ඔවුහු තම සංස්කෘතියේ එල්බ ගෙන සිටමින් ලෞකික සැප සම්පත් ලඟා කරගෙන තමන්ගේ ජීවන තත්වය උසස් කර ගනිති. ඔවුන්ට රට යෑම නිසා තමන්ගේ ජීවන තත්වය උසස් වී ඇතැයි හැඟෙන්නේ ඔවුන් රට යෑමට පෙරත් පසුත් ජීවත්වන්නේ අඩුලුහුඩු කම් මත වුනත් එකම සංස්කෘතියක තුළ බැවිනි. ඒ නිසා රට යෑම ඔවුන්ගේ ජීවන තත්වයේ අර්ථ දැක්වීම වෙනස් කිරීමට හේතු වී නැත. ඒ නිසා ඔවුන් බටහිර රටේදී අත්පත් කරගන්නා ආර්ථික වෙනස ඔවුන්ට මැන ගත හැකිය. ඒ වෙනස ඔවුන්ගේ ඇඟට දැනේ. නමුත් ඔවුන්ගෙන් පැවත එන දෙවන හා තෙවන පරම්පරා වලට තමන්ගේ ජීවන තත්වය ඉහල ගොස් ඇතැයි කිව හැකිද?

පළමු පරම්පරාවේ සංක්‍රමණික ශ්‍රී ලාංකික දෙමව්පියන් තම දු දරුවන් සැප සම්පත් ඇති බටහිර රටක හදා වඩා ගැනීමට හැකිවීම ගැන සතුටු වෙති. ඔවුන්ට බටහිර රටක අධ්‍යාපනය ලබා දීමට හැකිවීම ගැන සතුටු වෙති. මේ දෙමව්පියන්ට එසේ සතුටුවිය හැක්කේ ඔවුන් ලංකාවේ සිටියා නම් ඔවුන්ට අත්විය හැකි ජීවන තත්වයක් ගැන කල්පනා කරමිනි. මේ දෙමව්පියන් තවම ශ්‍රී ලාංකික සංස්කෘතියේ යන්තම් පය ගසා ගෙන සිටින නිසා ඔවුන්ට මෙවැනි සංසන්දනයක් කල හැකිය. ඔවුන්ට ඒ ජීවන තත්වය ගැන අවබෝධයක් ඇත. නමුත් ඔවුන්ගේ දු දරුවන් ජීවත්වන්නේ බටහිර සංස්කෘතියේය. ඒ දරුවන් තම ජීවන තත්වය අර්ථ දක්වන්නේ බටහිර සංස්කෘතියට අනුවය. ඔවුන්ගේ අර්ථ දැක්වීම පළමු පරම්පරාවේ අර්ථ දැක්වීමට වඩා වෙනස්ය. ඒ නිසා තම දෙමව්පියන්ගේ සංක්‍රමණය නිසා ඇතිවූයේ යැයි කියන ජීවන තත්වය උසස්වීම ගැන දරුවන්ට අවබෝධයක් නැත. ඔවුන්ට ඒ සැසඳීම වැදගත්ද නැත. මන්ද දරුවන් තම ජීවන තත්වය නඟා සිටුවා ගැනීමට නම් ඔවුන් ජීවත්වන බටහිර සංස්කෘතියේ අර්ථ දැක්වීම් අනුව ක්‍රියා කළ යුතු බැවිනි. දෙමව්පියන් කෙසේ සිතුවත් ඔවුන්ගේ සංක්‍රමණය නිසා දරුවන්ට ඔවුන් ජීවත්වන බටහිර සමාජයේ (ජාතියෙන් සුදු නොවීම නිසා අවාසියක් වුනොත් මිස) වාසියක් අත්වී නැත. මේ දරුවන් බටහිර රටේ තම ජීවන සටන අරඹන්නේ මුල සිටමය. මේ බව බහුතරයක් පළමු පරම්පරාවේ සංක්‍රමණික ශ්‍රී ලාංකික දෙමව්පියන්ට පිළිගැනීමට අපහසු ඔවුන් තවම තම මවු රටේ සංස්කෘතික ආකල්ප තුලින් ජීවන තත්වය දිහා බලන බැවිනි.

රට ගිය ඇත්තන්ගේ මේ අත්දැකීම තුළින් බටහිරුන්ගේ ආර්ථික සංවර්ධනය ගැන පාඩමක් ඉගෙනගත හැකිය. යම් ආර්ථික ක්‍රියාවලියක් නිසා ජීවන තත්වය ඉහල ගියා යැයි කිව හැක්කේ, නැත්නම් එය ඇඟට දැනෙන්නේ, ඒ ක්‍රියාවලිය නිසා ජීවන තත්වය යන සංකල්පයේ අර්ථ දැක්වීම වෙනස් නොවුනොත් පමණි. ජීවන තත්වයේ උසස්වීම පළමු පරම්පරාවේ සංක්‍රමණික දෙමව්පියන්ගේ ඇඟට දැනෙන්නේ ඒ නිසාය. යම් ආර්ථික ක්‍රියාවලියක් නිසා ජීවන තත්වය යන සංකල්පයේ අර්ථ දැක්වීම වෙනස් වුවහොත් වෙනස් කිරීමේ ක්‍රියා වලියට පෙරත් ඊට පසුත් ජීවන තත්ව සංසන්දනය කිරීමට නොහැකිය. ඔවුන්ගේ දරුවන්ට ඒ වෙනස නොතේරෙන්නේ ඒ නිසාය.

බටහිර ආර්ථික රෝදය කරකවන්නේ පෙර නොවූ මිනිස් අවශ්‍යතා අළුතින් මැවීම හරහාය. ඒ නිසා බටහිර ආරේ ආර්ථික සංවර්ධනය තුල ඊනියා ජීවන තත්වය යන්නෙහි අර්ථ දැක්වීම නිරන්තරයෙන් වෙනස් කෙරේ. අර්ථ දැක්වීම වෙනස් නිසා ඉතිහාසයේ අවස්ථා දෙකක් අතර ජීවන තත්වයේ උසස්වීමක් මැන ගැනීමට නොහැකි විය යුතුය. එය අතාර්කිකය. නමුත් බටහිර ආරේ සංවර්ධන ක්‍රියාකාරකම් නිසා ඊනියා ජීවන තත්වය උසස් වේ යැයි කියා බටහිර ආර්ථික විද්‍යාව අපව මුලා කරයි. ඒ නිසා ඕනෑම රටක ඕනෑම සංස්කෘතියක අද ජීවත්වන හෝ අතීතයේ ජීවත්වූ මිනිසුන් සමූහයක ජීවන තත්වයට අගයක් දීමට හැකියැයි බටහිර ආර්ථික විද්‍යාඥයෝ කල්පනා කරති. ඔවුන් සංවර්ධනය වී සිටින්නේත් අපි තවම සංවර්ධනය වන්නේත් ඒ පදනම උඩය. මේ කථාව ඔවුන් කියන කථාවක් පමණක් නොවේ. අපිද බටහිර සංස්කෘතික ආධිපත්‍ය හමුවේ මේ කථාව පිළිගෙන සිටින්නෙමු. නමුත් බටහිර ආරේ සංවර්ධන ක්‍රියාවලියක් නිසා ජීවන තත්වය ඉහල ගියා යැයි කීම හුදු උපකල්පනයක් පමණි.

-ජානක වංශපුර     : මගේ රට
යුතුකම සංවාද කවය
www.yuthukama.com


10/31/2014

ස්වර්ණ පුස්තක NGO මගඩිය සහ ප‍්‍රකාශකයා සතු සමාජ වගකීම..

කතෘ:යුතුකම     10/31/2014   2 comments
විශිෂ්ඨයන්ගේ විශිෂ්ඨ පොත් දෙසීය පනහක් සමගින් ඔක්තෝබර් 28 සිට ඔක්තෝබර් 4 දක්වා කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්වෙන විසිදුනු පොත් දැක්ම සමාරම්භක උත්සවයේදී සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මහතා සිදුකල මුඛ්‍ය දේශනය.අතුපූජ්‍ය ත්‍රීකුණාමලයේ ආනන්ද මහනාහිමිපානන් මෙහි මුලසුන දැරීය. 

පසුගිය දිනක ස්වර්ණ පුස්තක සම්මානය මුල් කොට ගාලගෝට්ටියක් ඇති වූ සැටි අපි දුටුවෙමු. එ් ගාලගෝට්ටියට පාදක වූයේ ස්වර්ණ පුස්තක සම්මාන විනිශ්චය මණ්ඩලයට කඩා වැටුණු ඇන්. ජී. ඕ. නඩයේ අමන හැසිරීම යි. එ් ගාලගෝට්ටිය ජුගුප්සාජනක එකක් වුව ද එයින් විශාල ලාභයක් අපට අත් වී ය යි මම සිතමි. එ මගින් පොත් ප‍්‍රකාශනය අරබයා ඉතා වැදගත් කරුණක් අපට පෙන්වාදෙන ලදි. එ් වැදගත් කරුණ නම් පොත් ප‍්‍රකාශකයා හුදු පොත් වෙළෙන්දකු නොව විශාල සාමාජික වගකීමක් ඇති පුද්ගලයකු බව පෙන්වාදීම යි. 

සිංහල පොත් ප‍්‍රකාශනය කුඩා කර්මාන්තයක් ව පැවැතුණු අවදියේ මේ පොත් ප‍්‍රකාශනය මුල් කොට මෙ වැනි ප‍්‍රශ්නයක් මතු නොවූ බව අපි දනිමු. එ කල ග‍්‍රන්ථකරණයේ යෙදුණේ ඇසූ පිරූ තැන් ඇති සමාජ සම්භාවනාවට පාත‍්‍ර වූ උගතුන් ටික දෙනකු යි. එ් උගතුන් සිය සමාජීය වගකීම ඉටු කළ බැවින් ඊට මැදහත් වීමට පොත් ප‍්‍රකාශකයාට අවශ්‍ය නො විණ. එහෙත් අද වන විට මේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වී තිබේ. මුද්‍රණ පහසුකම් නොමඳ ව ඇති අද දිනපතා ම පාහේ පොත්-පත් විශාල ගණනක් පළ කරනු ලැබේ. එ මෙන් ම එ්වා ලියනු ලබන්නේ රට පිළිගත් උගතුන් විසින් පමණක් නො වේ. ක‍්‍රියාකාරක සම්බන්ධය පවා නොදන්නා නවකයන් අද ගත් කතුවරුන් බවට පත් වී ඇති බව රහසක් නො වේ. එ බැවින් එදා ප‍්‍රකාශකයා සතු ව නොතිබුණු සමාජීය වගකීමක් වත්මන් ප‍්‍රකාශකයා මත පැවරී තිබේ. 

පොත් ප‍්‍රකාශකයා සතුව සමාජීය වගකීමක් ඇති ය යන්න අපට නුහුරු සංකල්පයක් නමුදු, කාලාන්තරයක් මුළුල්ලෙහි පොත් ප‍්‍රකාශනයේ යෙදී ඇති ප‍්‍රකාශකයන්, විශේෂයෙන් බටහිර රටවල ප‍්‍රකාශකයන් මේ සමාජීය වගකීම සිය වෘත්තියේ අනිවාර්ය අංගයක් ලෙස සලකා ඇති බව අපි දනිමු. 
බි‍්‍රතාන්‍යයේ පොත් ප‍්‍රකාශනයේ නියැළී උන් Faber of Faver ප‍්‍රකාශන ආයතනය, හොගාත් (Hogarth) ප‍්‍රකාශන ආයතනය, ඩක්වර්ත් (Duckworth)ප්‍රකාශන ආයතනය, පෙන්ගුයුන් (Penguin) ආයතනය, පෙලිකන් (Pelican) ආයතනය මෙහි ලා නිදසුන් වශයෙන් දැක්විය හැකි යි. මේ පොත් ප‍්‍රකාශකයන් ගේ පළමු කාර්යය වූයේ තමනට ලැබෙන අත් පිටපත් විද්වත් මණ්ඩලයක් වෙත ඉදිරිපත් කිරීම යි. එ් විනිශ්චය මණ්ඩලය සැකසී තිබුණේ රටේ පිළිගත් උගතුන්ගෙනු යි. Faber ප‍්‍රකාශකයන් ගේ විනිශ්චය මණ්ඩලයේ ප‍්‍රධානියා වූයේ ‘ටී. එස්. එලියට්’ නමැති මහා කවියා යි. ඩක්ස්වර්ත් ප‍්‍රකාශන ආයතනයේ විනිශ්චය මණ්ඩලයේ ප‍්‍රධානියා වූයේ කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ‘ග‍්‍රැහැම් හෆ්’ බව මා අසා තිබේ. බුල්මිස්බරි පර්ශදයේ සාමාජිකයකු වූ ‘ලෙනා වුල්ෆ්’ සිය ප‍්‍රකාශන ආයතනය ආරම්භ කළේ හුදෙක් සිය සමාජීය වගකීම ඉටු කිරීමේ අභිලාෂයෙන් බව ඔහු විසින් ම සඳහන් කර තිබේ (අද වන විට මේ තත්ත්වය වෙනස් වී ඇති බව පැහැදිලි කරුණකි. මේ රටේ ඉංගිරිසි පොත් අලෙවි කරන පොත් සාප්පුවකට ගියොත් මේ කරුණ මැනවින් පෙනීයනු ඇත). මේ රටේ ඉන්නා වත්මන් පොත් ප‍්‍රකාශකයන් ගෙන් වැඩි දෙනකු ඉහතින් දැක්වූ ආකාර පිළිවෙතක් අනුගමනය නොකරන බව රහසක් නො වේ. ඔවුන් මෙහෙයවනු ලබන්නේ සමාජීය-බුද්ධීය වගකීමක් විසින් නො වේ. ඔවුන් මෙහෙයවන එක ම දෙය වාණිජ අපේක්ෂාව යි. තමන් කළ ආයෝජනය හැකි ඉක්මනින් ආපසු ලබාගන්නේ කෙසේ ද යන්න යි ඔවුන් මුහුණ දෙන එක ම ප‍්‍රශ්නය. මෙහි ප‍්‍රතිඵලය මේ වන විට දක්නට ලැබේ. අලෙවියක් නැති කෙටි කතා සංග‍්‍රහ, කාව්‍ය සංග‍්‍රහ හෝ ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ අද පළ නො වේ. පළ වන එක ම දෙය තම තමා නමින් ලියැවෙන යාන් හෑලි යි. එ්වා ද පළමු මුද්‍රණයට සීමා වෙයි. අද වන විට මෙහි මුල් බැසගෙන ඇති මේ ප‍්‍රවණතාව මේ රටට සීමා වූ එකක් නොවන බව මෙහි ලා අප විසින් වටහාගත යුතු යි. එය අද වන විට ලොව පුරා පැතිර ඇති ප‍්‍රවණතාවක් බවට පත් ව තිබේ. අපේ ප‍්‍රකාශකයන් දැන හෝ නොදැන හෝ එ් ප‍්‍රවණතාවේ කොටස්කරුවන් වී ඇතැ යි නිගමනය කිරීම සෙදාස් නො වේ. 

ලොව පුරා පැතිර ඇති මේ ප‍්‍රවණතාවට මුල් හේතුව අන් කිසිවක් නො ව අද වන විට මුළු ලොව ම වෙලාගෙන ඇති නව ලිබරල්වාදී ධනවාදී ආර්ථිකය යි. 77න් පසු අපි ද මේ ධනවාදයට ගොදුරු වීමු. මේ නව ලිබරල්වාදී ධනවාදයේ පැවැත්මට අවශ්‍ය වන සංස්කෘතියන් ද එ් ආර්ථිකය මගින් සපයා තිබේ. එ් සංස්කෘතීන් අරමුණ මේ අධම ආර්ථිකයත් එ් මඟින් බිහි වී ඇති සමාජයත් ප‍්‍රශ්න කිරීමෙන් තොර ව බාර ගන්නා අවිචාරවත් මානසික වහලකු බිහි කිරීම යි (77 බලයට පත් ජේ. ආර්. ජයවර්ධන සාහිත්‍යය කන්නට දැ යි ඇසුවේ සාහිත්‍යයට මේ මානසික වහලා ගේ ඇස් ඇරවීමේ ශක්තිය තිබෙන බව එ තුමා දැන සිටි නිසා යි). මේ මානසික වහලා ගේ ජීවන දැක්ම වනුයේ කාපල්ලා, බීපල්ලා, ජොලි කරපල්ලා යන්න යි. එ සේ නම් එ් ජොලි කිරීමට අවශ්‍ය විනෝදාස්වාදය සැපයීම මේ ආර්ථිකය විසින් කළ යුතු වෙයි. අර මානසික වහලා සන්තර්පණය කිරීමට අවශ්‍ය විනෝදාස්වාදය සැපයීම අද මහා පරිමාණයේ කර්මාන්තයක් බවට පත් ව තිබේ (වැඩි දුර  නොගොස් අපේ රූපවාහිනියේ චැනල් නැරඹීම විසින් මෙය වටහාගත හැකි යි). එ් විනෝදාස්වාදයට සරිලන සාහිත්‍යයක් - නවකතා බිහි කිරීම ද එ් මහා පරිමාණ විනෝදාස්වාද කර්මාන්තයේ ප‍්‍රධාන අංගයක් බවට අද පත් ව තිබේ. විනෝදාස්වාදය මුල් කොටගත් මේ සාහිත්‍යය පවත්වාගෙනයනු සඳහා මේ පොත් ප‍්‍රකාශකයන් විසින් විවිධ උපක‍්‍රම යොදාගෙන ඇත. එ් උපක‍්‍රම අතරින් මුල් තැන ගත්තකි අසීමිත ප‍්‍රචාරය. එ් සඳහා බුකර් ප‍්‍රයිස් :Booker Price  වැනි ත්‍යාග යොදාගනු ලැබේ. එ් ත්‍යාග ලබාගන්නා නවකතාවක් සතියක් යෑමට පළමු විවිධ භාෂාවලට පරිවර්තනය කර ලක්ෂ ගණනින් ලොව පුරා බෙදාහරිනු ලැබේ. මේ ප‍්‍රචාරයේ පැති කඩක් මෙ රට වාර්ෂික ව පවත්වන පොත් ප‍්‍රදර්ශනයේ දී ද දැක බලාගත හැකි යි. 
ස්වර්ණ පුස්තකයට තෝරාගනු ලබන නවකතා පහ ගැන විස්තරයක් විනාඩි පහළොවෙන් පහළොවට ලවුඞ්ස්පීකරය මගින් දෙ කන් බිහිරි කරමින් මුදාහරින්නේ අලෙවිය උදෙසා ප‍්‍රචාරයේ ඇති වටනාකම අපේ ප‍්‍රකාශකයනුත් වටහාගෙන ඇති නිසා නො වේ ද? ප‍්‍රචාරයට අමතර ව තවත් උපක‍්‍රමයක් ද දැන් අන්තර්ජාතික ප‍්‍රකාශකයන් විසින් යොදාගනු ලැබේ. එ නම් විනෝදාස්වාදය සපයන මේ නවකතාකරුවන් මහා සාහිත්‍යධරයන් ලෙස ලොවට කියාපෑම යි. අඥන පාඨකයනට එ්ත්තු ගැන්වීම යි. එ මගින් පාඨක රසඥතාව දූෂණය වන අතර උසස් සාහිත්‍යකෘති පාඨකයන් අතින් ගිලිහීයෑම ද සිදු වනු ඇත. එ සේ ම ප‍්‍රකාශකයාට අවශ්‍ය නවකතාකරුවන් ද එ් මගින් ව්‍යාප්ත වනු ඇත. මේ ප‍්‍රවණතාව බිහි වූ මුල් යුගයේ ග‍්‍රැහැම් හාෆ් විද්වතා විසින් ඉතා අගනා නිරීක්ෂණයක් ඔහු ගේ Essay on Criticism නමැති විචාර කෘතියෙන් ඉදිරිපත් කරන ලදි. Today cultural imperialism and sheer commercial interest attempt to engineer such judgments. If enough faulbright professors go round the world saying that Hawthorne is as good as Dostioevski, if you pay enough copywriters to say that Soul Bellow is a great novelist, many people will come to believe it. Great Novelists, like great printers are created today by advertising and a rigged market.'  

මෙය බටහිර ලෝකය තුළ පමණක් නො ව මේ රටේ ද සිදු වෙමින් ඇති සැටි අපට දැකගත හැකි යි. මේ රට තුළ ද එ වැනි පුල්බයිට් මහාචාර්යවරු විරල නො වෙති. පසුගිය කාලයේ නිසරු කෘතිවලට සම්මාන දීම මගින් පාඨක රුචිය දූෂණය වූ අතර එ වැනි නිසරු පොත් ලිවීමට නවකයන් පොලඹවන ලද සැටි ද අපි දුටිමු. සැප්තැම්බර මාසය ළං වන විට මේ නවකතා එළි දකින්නේ හතු පිපෙන්නාක් ලෙස යි.මේ ප‍්‍රවණතාවට කළ හැකි පිළියම් නොමැති යි. මේ ආර්ථික ක‍්‍රමය පවත්නා තුරු මේ ප‍්‍රවණතාව එ ලෙස ම පවතිනු ඇත. මෙ වැන්නක් හමුවේ නැණවත් පාඨකයාට කළ හැක්කේ තමා ම පහනක් බවට පත් කරගෙන සරු දෙය නිසරු දෙයින් වෙන් කරගෙන භුක්ති විඳීම පමණි. එහෙත් එ සේ උදාසීන මනසින් ඉවසා සිටිය නොහැකි භයානක ක‍්‍රියාමා ර්ගයන් ද දැන්දැන් මේ ප‍්‍රවණතාව ඔස්සේ ක‍්‍රියාත්මක වෙමින් පවතින බව දක්නට ලැබේ. එ නම් මේ ප‍්‍රවණතාව සිය දේශපාලන අරමුණු ඉටු කරගැනීම සඳහා යොදාගැනීම යි; මේ නව සාහිත්‍ය රැල්ල සංස්කෘතික ආක‍්‍රමණයේ ප‍්‍රබල අවියක් බවට පත් කරගැනීම යි. තුන් වන ලෝකය තුළ සිය ආධිපත්‍යය පතුරවාලීමට ඇමරිකාව ප‍්‍රධාන බටහිර රටවල් දරන ප‍්‍රයත්නයට එරෙහි ව විශාල අභියෝගයක් මේ තුන් වන ලෝකයේ රටවල් විසින් එල්ලකර තිබේ. එ් අභියෝගාත්මක බලවේගයට මුල් වී ඇත්තේ මේ රටවල් සතු ව පවත්නා සංස්කෘතික-සභ්‍යත්ව-ජාතිකත්ව පදනම යි. ‘දැන් අපේ සතුරා කොමියුනිස්ට්වාදය නො ව කුමේනිවාදය යි’ මීට වසර කීපයකට පෙර පවසන ලද්දේ ඊස්රාල් ජනාධිපති පියර් සිමන් ගේ විසිනු යි. සභ්‍යත්වය-ජාතිකත්වය පදනම් කරගත් මේ බලවේගය කෙ තරම් ප‍්‍රබල ද යන්න සැමුවෙල් හංටින්ටස් විද්වතා විසින් සිය Clash of Civilizations නමැති ග‍්‍රන්ථයෙන් පෙන්වාදී තිබේ. මේ සියවසේ බටහිර රටවලට මුහුණ දීමට ඇති ප‍්‍රධාන ම බලවේගය සභ්‍යත්වය-ජාතිකත්වය පදනම් කරගත් මේ බලවේගය බව හටිංටින් ගේ මතය වෙයි. එ බැවින් මේ රටවල් තුළ ඇති සභ්‍යත්ව ජාතික පදනම විනාශ කිරීම බටහිර බලවතුන් ගේ උපාය මාර්ගය වී තිබේ. එ් සඳහා යොදාගත හැකි ප‍්‍රබල ම අවිය ජාතියක් සතු සාහිත්‍යය යි. සභ්‍යයත්වයක් සතු පුරුෂාර්ථ, හර, දර්ශනය රැුකගනු ලබන්නේ සාහිත්‍යය විසිනු යි. එ්වා අවඥවට ලක් කිරීම යනු සභ්‍යත්ව පදනම දෙදරවාහැරීමක් වෙයි. මේ කටයුත්ත අද බටහිර බලවේග විසින් ඉතා සාර්ථක ලෙස කරගෙන යනු ලැබේ. 

මුස්ලිම් සභ්‍යත්වය හෙළා දකින සල්මන් රෂ්ඩි ගෞරවනීය බි‍්‍රතාන්‍ය පුරවැසියකු ද පමණක් නො ව නයිට් නාමයකින් ද පුදන ලද්දෙකි. ඔහුට මෙ තෙක් නොබෙල් ත්‍යාගය නොලැබීම පුදුමයකි. මේ කටයුත්ත සාර්ථක ලෙස කරන නයිපෝල්ලා, අරුන්දතී රෙජයිලා, ඔන්ඩච්චිලා අද මහා සාහිත්‍යධරයන් බවට පොත් ප‍්‍රකාශකයන් විසින් පත් කරනු ලැබ තිබේ. සමාජවාදී දේශපාලනයට සහභාගී වීම සමග අරුන්දතී ජෝයි දැන් පහතට ඇදදමා තිබේ. මොවුන් ගේ ක‍්‍රියා කලාපය පිළිබඳ හොඳ නිදසුනක් පසුගිය දා මේ රට තදින් ම අපට දැකගත හැකි විය. ස්වර්ණ පුස්තක විනිශ්චය මණ්ඩලයට වහ වැටුණු මෙ රට ඉන්නා, ඩොලර් මත යැපෙන ඇන්. ජී. ඕ. නඩය එ් සම්මානය සඳහා තෝරාගන්නා ලද්දේ අප ගේ සභ්‍යත්වය-ජාතිකත්වය අවඥවට ලක් කරන නවකතා යි. ඔවුන් එ මගින් සිදු කළේ සිය ස්වාමිවරුන් ගේ අපේක්ෂා ඉටු කිරීම විනා අන් කවරක් ද? එ් අරමුණ ගැන අවබෝධයක් නැති අහිංසක ප‍්‍රකාශකයන් සිය අපේක්ෂා ඉටු කරගැන්ම සඳහා යොදවාගැන්මට මේ අමනයෝ සමත් වූ හ. එ් අහිංසකයන් අතර මේ වාණිජ රැල්ලෙන් සිය මඩිය තර කරගැන්මට සූදානම් වූ කූඨ වෙළෙන්දන් ද නොසිටියා නො වේ. මේ තත්ත්වය තව දුරටත් උදාසීන සිතින් ඉවසා සිටිය හැකි තත්ත්වයක් නො වේ. සම්මාන දීම නැවැත්විය යුතු ය යි මා හඩ නැගුවේ එ් ඉවසීම දෙදරායෑම නිසා යි. 

ජාතියක සභ්‍යත්ව-ජාතිකත්ව විඥනය නො නැසී පවතින තුරු ජාතියක් විනාශ කළ හැකි නො වේ. එහෙත් එ් සභ්‍යත්ව විඥනය විනාශ කිරීම යනු එ් ජාතියේ පැවැත්ම දෙදරාහැරීමක් වෙයි. ජාතියක් මිහිපිටින් අතුරුදහන් කිරීමේ මුල් පියවර එය යි. අද අපේ ජාතිය විසින් ඉල්ලා සිටිනු ලබන්නේ මේ අවශ්‍යතාව වටහාගත් අප ගේ සභ්‍යත්ව විඥනය රැකගෙන ඉදිරියට ගෙනියන, වාණිජ රැල්ල පිටු දකින සමාජ වගකීමකින් යුත් පොත් ප‍්‍රකාශකයකු යි. එ් ඉල්ලීම විසිදුනු ප‍්‍රකාශකයා විසින් නොමඳ ව සපුරනු ලබන බව අප ගේ වැටහීම යි. අනේකවිධ බාධා මධ්‍යයෙහි විසි වසරක් පුරා මේ කාර්යය ඉටු කිරීමෙහි නියැළුණු, යුගයේ අවශ්‍යතාව සපුරන විසිදුනු ප‍්‍රකාශකයන් වෙත ජාතියේ ප‍්‍රණාමය මේ අවස්ථාවේ හිමි විය යුතු වෙයි. 


-යුතුකම සංවාද කවය
www.yuthukama.com


සරච්චන්ද්‍රයන් එක්තරා යුගයක්, එක්තරා සමාජ බලවේගයක්

කතෘ:යුතුකම     10/31/2014   1 comment
ගුණදාස අමරසේකර

දිවි ම‍ඟෙහි සැඩ සුළං
හෙණ ගිගුම් කළු වලා
අතරතුර නොසැලෙමින්
නඟා ගත් හිස ඇතිව
නැඟුණු රන් කොත් අයුරු
මොහු ද නොසැලී සිටියි...


රාමනාදන් ශාලාවේ වහලයේ රන්කොත සරච්චන්ද්‍රයන්ට උපමා කරමින් ‘රන්කොත’ නම් කාව්‍ය රචනා කරන ගුණදාස අමරසේකරයන් තරම් සරච්චන්ද්‍රයන්ගේ ජීවන ගමන ගැන විග්‍රහයක යෙදෙන්නට සුමට වූ කෙනෙක් පිළිබඳ මා මතකයට නොනැ‍ඟේ. අමරසේකරයන්, සරච්චන්ද්‍රයන්ගේ භාව පූර්ණ, රස පූර්ණ නිර්මාණකරණයේ සැබෑ ස්වරූපය පිළිබඳ සවිඥානික ව පුද්ගලබද්ධ විචාරයකින් තොර ව ඒ නිර්මාණයන්ට පසුබිම් වූ සමාජ, ආර්ථික, දේශපාලන කියැවීම ද මේ සංලාපය ඔස්සේ මැනවින් අවධාරණය කරයි. සරච්චන්ද්‍රයන්ගේ සාර්ථකත්වයට තුඩු දුන් කාරණා මෙන් ම ඔහුගේ පැවැති දුර්වලතා ද පමණක් නොව ඔහු එක්තරා යුගයක් නියෝජනය කරන දේශීය බුද්ධිමතා වශයෙන් ද හේ මෙහිදී සරච්චන්ද්‍රයන් හඳුනා ගනී. මේ කියැවීම බෙහෙවින් වැදගත් වන්නේ ප්‍රශස්ති හෝ නිර්දය විචාරයකින් තොර ව විචාරක්ෂියෙන් යුතු ව සරච්චන්ද්‍රයන් අවලෝකනය කරනා බැවිනි. ජන්ම ශත සංවත්සරය සමරන මේ මොහොතේ සරච්චන්ද්‍ර උපහාර කලාපයෙන් මුවදොර වදනට අමරසේකරයන් මේ ගෙන එන ආලෝකය සරච්චන්ද්‍ර කියැවීමේ නව මාන උදාකරන බැව් අවිවාදිත ය.

ඔබ සරච්චන්ද්‍රයන් හඳුනාගන්නේ 50 දශකයේ මුල් භාගයේ පමණ බව මා අසා තිබෙනවා.

නෑ. ඊටත් ටිකක් කලින්. 40 දශකයේ අගභාගයේ පමණ. ඒ කාලෙ මම හිටියෙ විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියේ. සරච්චන්ද්‍ර මහත්තයා එංගලන්තයට ගිහින් පශ්චාත් උපාධිය නිමා කරලා ආව අලුත. එතුමා ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහනක් ආරම්භ කළා ‘යෞවන සමාජය’ කියලා. තරුණ පිරිස් හැටියට අපි මේකට ඒ කාලෙ කන් දුන්නා. මමත් මේ වැඩසටහනට කතාවක් යැව්වා. ‘හ‍ඳේ පෙම්වතා’ ඒකෙ නම. ඒ කතාව සරච්චන්ද්‍රයන් බොහොම අගය කරලා නාට්‍යමය ස්වරූපයෙන් ඉදිරිපත් කළා. ඊට පස්සේ දිගින් දිගටම සම්බන්ධතාව ඇතිවුණා. රිජ්වේ තිලකරත්න, පී. වැලිකල ඇතුළු අපි කීප දෙනෙක් ඒ වැඩසටහන නිසා තමයි සරච්චන්ද්‍රයන් හඳුනා ගත්තේ. එතුමා ඒ කාලෙ හිටියේ ඩික්මන් පාරේ මොරිස් ඇවනිව් එකේ. අපි නිතර ම එතැනට ගියා.

විදෙස් ප්‍රකාශන සමාගමකින් පළ කළ කෙටිකතා සංග්‍රහයකට ඔබ ඉදිරිපත් කළ කෙටිකතාවක් ඉංග්‍රිසියට පරිවර්තනය කළෙත් සරච්චන්ද්‍රයන් යැයි ඔබ පුවත්පතකට පවසා තිබුණා.

ඔව්. පනහේ දශකයේ මුල් භාගයේ ලංකාදීප පත්තරේ තිබුණා ‘ජගත් කෙටිකතා තරගය’ කියලා එකක් ගැන. මමත් මේකට කෙටිකතාවක් යැව්වා. මෙහි විනිශ්චය මණ්ඩලයේ හිටියේ සරච්චන්ද්‍ර, එම්. ජේ. පෙරේරා වගේ අය. ඉතින් ඔබ කිව්වා වගේ එතුමා මගේ කෙටිකතාවක් තේරුවා පමණක් නොවෙයි එය ඉංග්‍රීසියට පරිවර්තනයත් කළා.

සරච්චන්ද්‍රයන්ට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ධුරයක් ලැබී නික්ම යාමත් සමඟ ඔබ සමඟ පැවැති ඇසුර දුරස් වූවා ද?

සරච්චන්ද්‍රයන් මුලින් ම හිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ, පාලි අංශයේ. සිංහල අධ්‍යයන අංශයේ නොවෙයි. ඔහු දර්ශනශූරී උපාධිය කළෙත් බෞද්ධ දර්ශනය විෂයෙන්. ඊට පස්සෙ තමයි පේරාදෙණිය සිංහල අධ්‍යයන අංශයට ගියේ. සරච්චන්ද්‍ර කියන මේ පුද්ගලයා ඒ යුගය, ඒ සමාජය ඒ අවදිය මත තබලා සලකා බැලීම ඉතා වැදගත්. සරච්චන්ද්‍ර මහත්මයා ගැන ගැඹුරින් අවබෝධයක් ලබාගන්න නම් ඒක අවශ්‍යයයි. මම හිතන හැටියට සරච්චන්ද්‍ර කියන්නේ පුද්ගලයකුට වඩා එක්තරා යුගයක, එක්තරා බලවේගයක සංකේතයක් වැනි පුද්ගලයෙක්. එය අපි ගැඹුරින් වටහා ගත යුතුයි. බොහෝ දෙනකුට මේක තේරෙන්නෙ නැහැ. තවත් නාට්‍යකාරයකු, නවකතාකාරයකු විදියටයි අනෙක් අයට එතුමාව පෙනෙන්නේ.

මම හිතන හැටියට මේ රටේ ඉංග්‍රීසිකාරයන් ව්‍යාප්ත කරපු අධ්‍යාපනයෙන් පහළ වෙච්ච පළමුවැනි බුද්ධිමතා සරච්චන්ද්‍රයන්. මාර්ටින් වික්‍රමසිංහ, සෙනරත් පරණවිතාන වගේ අය ඉංග්‍රීසි ඉගෙන ගත්තට ඉංග්‍රීසිකාරයන් විසින් මෙරට ව්‍යාප්ත කරපු ඔවුන්ගේ අධ්‍යාපනය ලබලා බිහිවෙච්ච අය නොවෙයි. එසේ බිහි වූ පළමු බුද්ධිමතා, ප්‍රාඥයා සරච්චන්ද්‍ර කියලා මම හිතනවා. මෙය වර්තමාන පරපුර දැනගත යුතු කාරණයක්. අධිරාජ්‍යවාදීන්ගේ අරමුණ වුණේ ඔවුන් අනුව යන අධිරාජ්‍යවාදී ගැති පිරිසක් අධ්‍යාපනය මඟින් බිහි කරගන්නයි. මේ රටේ විශ්වවිද්‍යාල පටන් ගත්තේත් ඒ අරමුණින්. එහෙම නැතිව රට ගැන, ජාතිය ගැන අවධානය යොමු කරපු බුද්ධිමතුන් පිරිසක් බිහි කිරීම නොවෙයි ඔවුන්ගේ අරමුණ වුණේ. ඉතින් ඒ අවදියේ තමයි සරච්චන්ද්‍ර කියන මේ පුද්ගලයා අපට හමුවෙන්නේ. ඒ අවදියේත් මේ රටේ හිටියා උසස් පන්තියක්, ඒ වගේම උසස් මධ්‍යම පන්තියක්. මේ අයට තිබුණේ රට ගැන, ජාතිය ගැන හැඟීමක් නොවෙයි.

ඒ පෙළැන්තියේ බොහෝ අයගේ ඒකායන අරමුණ වුණේ සිවිල් සේවයට එකතු වීම. නමුත් සරච්චන්ද්‍රයන් මේ ජනප්‍රිය මාර්ගය ප්‍රතික්ෂේප කරනවා. ඒ කාලේ සිවිල් සේවයට එකතු වෙනවා කියන්නේ ජීවිතයේ මුදුන් පෙත්තට ළඟාවුණා වගේ හැඟීමක් තිබුණු කාලයක්. ඒක පිටුදැකපු එක ම පුද්ගලයා සරච්චන්ද්‍රයන්. එවැනි තීරණයක සිටීම ඒ කාලේ ඉතා අසීරු දෙයක්. නමුත් ඔහුට අවශ්‍ය වුණේ සිවිල් සේවයට යන්න නොවෙයි.


නමුත් ඔහු සිවිල් සේවා තරග විභාගය සඳහා පෙනී සිටිනවා.

ඔව්. මවුපියන්ගේ බල කිරීම මත එතුමා තරග විභාගය සඳහා පෙනී සිට තිබෙනවා. ඔහු ප්‍රශ්න පත්‍රවලින් ඊට සුදුසුකම් ලැබුවා. හැබැයි වාචික පරීක්ෂණයට යද්දි ඔහු නේරු කැප් එකක් දාගෙන ගිහින් තියෙනවා, ඒ මේකෙන් ගැලවෙන්න හිතාගෙන. ඔහුට එත­ැනදි ලකුණු පහයි ලැබිලා තියෙන්නේ. 5 ක් දීලා තියෙන්නේ ඊට වැඩිය ලකුණු දුන්නානම් තේරෙන නිසාලු. ඔහුත් එක්ක එකටම හිටිය එම්. ජේ. පෙරේරා, ඩී. ජේ. දයාරත්න වගේ අය සිවිල් සේවයට ගියා. ඒ වගේ දෙයක් ප්‍රතික්ෂේප කරන්න තරම් සරච්චන්ද්‍රයන් ආත්ම ශක්තියක් හා ප්‍රඥාවක් තිබුණු කෙනෙක්.

ඒ යුගයේ පහළ වුණු ඉංග්‍රීසි අධ්‍යාපනය ලබපු පුද්ගලයකුට මේ වගේ ආකල්පවලින් යුතු ව, අධිරාජ්‍ය ගැති මනසින් තොර පුද්ගලයෙක් හැටියට නැඟී සිටින්නට හැකිවීම සුවිශේෂී සිද්ධියක් හැටියට අපට දැකිය හැකියි. දැන් වගේ පරිපාලන සේවය ඒ කාලේ පහතට වැටිලා තිබුණේ නැහැ. මධ්‍යම පන්තියෙන් ආව අයට සිවිල් සේවයට තේරෙනවා කියන්නේ හතරමහ නිධානෙ පහළ වුණා වගේ. මහ විශාල දෑවැද්දක් එක්ක ගැහැනියක් විවාහ කරගෙන සමාජයේ ඉහළින් වැජඹෙමින් කාලය ගෙවාගන්න සිවිල් සේවය ඒ කාලේ බොහොම ප්‍රයෝජනවත් වුණා. එතුමා මේ සියල්ල ප්‍රතික්ෂේප කරන්නට තරම් ආත්ම ශක්තියක් තිබු පුද්ගලයෙක්. මේ වගේ බුද්ධිමත්තු ඒ කාලේ අවශ්‍ය වී තිබුණා. එහි පළමුවැනියා වශයෙන් සරච්චන්ද්‍රයන් හඳුන්වා දිය හැකියි.

සරච්චන්ද්‍රයන්ගේ ‘Sinhalese Novel’ කියන පොතේ සිංහල හා ඉංග්‍රිසි යනුවෙන් නවකතාව වර්ග කළා ම සිංහල නවකතාව කියලා එකක් තියෙනව ද කියලා බොහෝ අය එතුමාගෙන් විමසා තිබුණා.

මට මතකයි සරච්චන්ද්‍ර මහත්තයා මේ පොත අතින් වියදම් කරගෙන ද කොහේද මුද්‍රණය කළේ. පසුව ගුණසේන සමාගමෙන් මුද්‍රණය කළා. මුල් කාලේ එතුමා මේ පොත බෙදා දුන්නාලු කියවන්න කියලා. එහෙම කියවපු අය අහලා තියෙනවා සිංහල නවකතාව කියලා එකක් තියෙනව ද කියලා. ඒකෙන් අපට පේනවා මොන තරම් අධිරාජ්‍යවාදී මනසක් ද තිබුණේ කියලා. අන්න ඒ නිසා තමයි මම කියන්නේ, සරච්චන්ද්‍රයන් පුද්ගලයෙක් නොවෙයි, එක්තරා යුගයක්, එක්තරා සමාජ බලවේගයක් ප්‍රතිමූර්ති කළ ප්‍රාඥයෙක් හැටියට හැඳින්විය හැකියි කියා. එහෙම බිහිවුණු පළමු පුද්ගලයාත් සරච්චන්ද්‍රයන් කියලා මම කියන්නේ ඒකයි.

ඔබ මේ සඳහන් කරන කාරණා ඔබේ ජීවිතයට කළ බලපෑම ගැන කතා කළොත්.

ඔහු මගේ ජීවිතයට විශාල බලපෑමක් කළා. අපේ ජීවිතයේ පරමාර්ථය විය යුත්තේ අධිරාජ්‍යවාදී ගැතිවීම නොවේ ය, මේ රට වෙනුවෙන් සේවයක් කරන්න අපට පුළුවන් ය කියන අවධානය අප වෙත යොමු කළ පරමාදර්ශී චරිතයක් සරච්චන්ද්‍රයන්. ඒක මගේ ජීවිතයට හුඟක් බලපෑම් කළා. අපේ පරමාර්ථය ඉගෙන ගෙන ලොකු රස්සාවල් කරලා ලොකු පවුල් වලින් කසාද බැඳගෙන වැජඹෙන්න නොවේ ය ඊට වඩා උසස් පරමාර්ථ අපට තියෙනව ය කියන එක අපේ මනසට වැටුණේ ඔහු නිසා.

සරච්චන්ද්‍රයන් අපට අනන්‍ය වූ නාට්‍ය කලාවක් හඳුන්වා දීමේ ප්‍රමුඛයා බවට පත් වෙනවා. මෙය ලාංකේය නාට්‍ය වංශකතාවේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස හැඳින්විය හැකියි.

එතුමා කළ විශිෂ්ට ම සේවය තමයි සිංහල නාට්‍ය කලාවක් බිහි කිරීම. ඒක ජාතික අවශ්‍යතාවක් වෙලා තිබුණේ. නොයෙක් නාට්‍යකරුවෝ ඒ කාලෙ හිටියා, ජෝන් ද සිල්වා ඇතුළු ව. මේ අය අතරින් සරච්චන්ද්‍රයන් තමයි අපට අනන්‍ය වූ නාට්‍ය කලාවක් බිහි කළේ.

මෙතන්දි එක්තරා ප්‍රශ්නයක් මතු වෙනවා. ඔහු නාට්‍ය බිහි කළේ ගැමි නාට්‍ය ආශ්‍රයෙන්. අපේ ගැමි නාට්‍ය, තොවිල් පවිල්, නාඩගම් ආශ්‍රයෙන්. හැමෝම නඟන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අපට නාට්‍ය කලාවක් තිබුණේ නැති ය, සරච්චන්ද්‍රයන් ගැමි නාට්‍ය ආශ්‍රයෙන් පළමුවෙන් ම නාට්‍ය කලාවක් බිහි කළා ය කියන එක. මම හිතන්නේ එහෙම දෙයක් කරන්න අමාරුයි කියලයි. ගැමි නාට්‍ය කියන එක බොහෝ විට බිහිවෙන්නේ විදග්ධ නාට්‍යයක් ඇසුරෙන්. විශේෂයෙන් ම අපේ ගැමි කවිය ගත්තොත් යශෝදරාවේ එහෙමත් නැත්නම් වෙස්සන්තර කතාවේ අපට පෙනෙනවා ඒවා අර කෝට්ටේ යුගයේ ‘ගුත්තිලය’ වගේ විදග්ධ කාව්‍යවලම දිගුවක් වගේ කියලා. නැත්නම් විදග්ධ කලාව ජනතාව අතට පත් වුණාම බිහිවුණු දෙයක් වගේ. ඒ දෙක අතරේ ලොකු වෙනසක් ඇත්තෙ නැහැ. ගැමි නාට්‍යයේ වුණත් තියෙනවනේ යම් යම් විදග්ධ ලක්ෂණ. අපිට කියලා විදග්ධ නාට්‍ය කලාවක් මේ නිසා නොතියෙන්න විදියක් නෑ. ඇත්ත වශයෙන් ම සරච්චන්ද්‍ර මහතා මේවා පාවිච්චි කළා, එහෙමත් නැත්නම් ප්‍රතිනිර්මාණයක් කළා. අලුතින් කළ දෙයක් නෑ. ප්‍රතිනිර්මාණයට අවශ්‍ය දේවල් ගැමියන් ලබන්න ඇත්තේ එදා සමාජයෙන්.

ඔහු වඩාත් සුමට ලෙස භාවිතයේ යෙදුණේ කාව්‍යකරණයේ බව ඔබ නිතර අවධාරණය කරන්නක්. ඔබේ ‘සිංහල කාව්‍ය සම්ප්‍රදාය’ කෘතියේ එදා මෙදාතුර පහළ වූ කවීන් තිදෙනා ලෙස තොටගමුවේ රාහුල හිමි, මුනිදාස කුමාරතුංගයන් හා සරච්චන්ද්‍රයන් නම් කිරීමට තරම් එතුමාගේ කාව්‍යකරණය පිළිබඳ ඔබට ඇල්මක් තිබෙනවා.

ඇත්ත වශයෙන් ම ඔහුට පුදුම කවි ශක්තියක් තිබුණා. ඔහුගේ නාට්‍යවල තියෙන්නෙත් ඒ කාව්‍යාත්මක ආභාසය. ඒකට බලපෑම් කළ දෙයක් තමයි එතුමාට තිබුණු සිංහල භාෂාවේ කාව්‍යයට අදාළ ව්‍යංජන ශක්තිය පිළිබඳ ගැඹුරු අවබෝධය. ඔහුගේ නාට්‍ය ගීත අරන් බැලුවම පේනවා ඒවා මොන තරම් විශිෂ්ට කාව්‍ය නිර්මාණ ද කියන එක. මුනිදාස කුමාරතුංගයන්ටවත් තිබුණේ නැහැ, සරච්චන්ද්‍රයන්ට තරම් සිංහල භාෂාවේ ව්‍යංජන ශක්තිය පිළිබඳ අවබෝධයක්. ඒ නිසා මූලික වශයෙන් සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණ අතරින් අප වඩාත් අවධානයට ලක්කළ යුතුයි, ඔහු දෘෂ්‍ය කාව්‍ය රචකයෙක් ලෙස.

සරච්චන්ද්‍රයන්ට නාට්‍යකරණයේ දී බටහිර නාට්‍ය ආභාසයක් තිබුණා යැයි ඔබ සිතනව ද?

මට එහෙම හිතෙන්නෙ නැහැ. මම හොඳට දන්නවා බටහිර නාට්‍ය ඇසුරෙන් තමයි සිංහල නාට්‍ය ගොඩනැඟිය යුතු කියලා ඔහු මුල් කාලෙ සිතුවා. දෙබස් නාට්‍යයෙන් අපේ නාට්‍ය බිහි කරන්න පුළුවන් කියලයි ඔහු සිතුවෙ. ඔය දෙබස් නාටකය කියන එක ඇත්ත වශයෙන් මෑත යුගයේදී විශේෂයෙන් බටහිර නවකතාව බිහිවීමෙන් පසුව ඇතිවුණු ආකෘතිකයක්. දෙබස් නාට්‍ය කියන්නේ නවකතාවේ ම දිගුවක්. නාට්‍ය කලාව ජාතියක සංස්කෘතික මූලයන් එක්ක සම්බන්ධ වෙච්ච ඊට වඩා බොහොම ඈතට දිවයන කලාවක්. බොහොම ඉතිහාසයක්, සංස්කෘතියක් තියෙන රටවල බිහිවෙන්නේ අතීතයේ ඉඳන් සම්ප්‍රදාය මඟින් ආභාසය ලැබු නාට්‍යය. ජපානය, චීනය, ග්‍රීක නාට්‍ය එහෙමයි. සරච්චන්ද්‍රයන් ඒ විදියේ නිර්මාණ කාර්යයක නිරත වීම ඉතාම වැදගත්. අපේ ගැමියන් අතර තිබුණු දෙයින් අපට අනන්‍ය වූ නාට්‍ය කලාවක් බිහිකර ගත හැකි ය කියලා කල්පනා කිරීම ම වැදගත්.

සරච්චන්ද්‍රයන් ශෛලිගත නාට්‍යයේ සිරකරුවකු වුණා ද?

කොහොම ද එහෙම කියන්නේ. නාට්‍ය කියලා මම මූලික වශයෙන් හඳුනාගත්තේ ශෛලිගත නාට්‍යයයි. දෙබස් නාට්‍ය මේ මෑත කාලයේ ආව දෙයක්. දෙබස් නාට්‍යවලින් කළ හැකි මෙහෙය ඉතා සීමිතයි. ශෛලිගත, සාම්ප්‍රදායික නාට්‍ය කලාව බොහොම ගැඹුරු, රටක සංස්කෘතියත් එක්ක බද්ධ වුණු, හර පද්ධති උකහා ගත්, ජාතියේ අධ්‍යාත්මය හා බැඳුණු නාට්‍ය ක්‍රමවේදයක්.

සමාජ, ආර්ථික, දේශපාලන කියැවීමකට වඩාත් උචිත මාධ්‍ය වශයෙන් ඔබ සලකන්නේ කුමන මාධ්‍යය ද?

නවකතාවෙන් කරන්නේ මොකද්ද, කවියෙන් මොකද්ද කරන්නේ, දෘෂ්‍ය කාව්‍යයෙන් කරන්නේ මොකද්ද කියලා අප මෙහිදී සිතිය යුතු වෙනවා. දැන් නවකතාවෙන් විශේෂයෙන් ම දේශපාලන, සමාජ ප්‍රශ්න මුල්කර ගත් කියැවීමක්නෙ කරන්නේ. නවකතාව මූලික වශයෙන් පාඨකයාගේ බුද්ධිය මුල්කර ගෙනයි බිහි වෙන්නේ. බටහිර පුනරුදයෙන් පසුව බිහිවුණු බටහිර නවකතාවත් එහෙමයි. කවියයි නාට්‍යයි ඊට වඩා වෙනස් දෙයක්. ඒවායෙන් මූලික වශයෙන් කරන්නේ අපේ හදවතට ආමන්ත්‍රණය කිරීම. හදවතට ආමන්ත්‍රණය කිරීමෙන් තමයි කවියා වර්තමාන තත්ත්ව ගැන වුණත් කතා කරන්නේ. නවකතාකරුවා බුද්ධියෙන් තමයි හදවතට ආමන්ත්‍රණය කරන්නේ. රසභාව මැව්වට මූලික වන්නේ බුද්ධිය. දෘෂ්‍ය කාව්‍යකරුවාගේ මූලික අරමුණත් හදවතට ඇමතීම.

ඔබ මේ කියන නවකතාව හා කවිය අතර පැවතිය යුතු මූලික අරමුණ වත්මනෙහි මාරුවී ඇතැයි මට සිතෙනවා. කවියෙන් බුද්ධියටත්, නවකතාවෙන් හදවතටත් වශයෙන්.

ඒ දෙක නම් හරියන්නේ නෑ. නවකතාව මූලික වශයෙන් බුද්ධිය හරහා රසභාව නිර්මාණය කරන්නක්. කවියෙත්, දෘෂ්‍ය කාව්‍යයෙත් අදහස් කියා දෙයක් නැහැ. රස බවට පත්වීමක් තියෙන්නේ. නවකතාව ඊට වෙනස්.

සරච්චන්ද්‍රයන් නවකතාකරණයේ දී ඔබ කියන ක්‍රමවේදයට වඩා එනම් බුද්ධියට වඩා හදවතටයි ආමන්ත්‍රණය කළේ.

ඔහු නවකතාකරුවෙක් විදියට ඒ තරම් වැදගත් මෙහෙයක් කළා යැයි මට හැ‍ඟෙන්නේ නැහැ. ඔහු නියම වශයෙන් නවකතාකරුවෙක් කියලා කියන්නත් බෑ. මාර්ටින් වික්‍රමසිංහ වගේ නවකතාකරුවෙක් එක්ක ගත්තම ඔහු දුර්වල නවකතාකරුවෙක්. හේතුව ඔහුගේ මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු දා, විලාසිනියකගේ ප්‍රේමය වගේ හැම එකක් ම ගද්‍ය නොවේ පද්‍ය ගීත. නවකතාවෙන් අප බලාපොරොත්තු වෙන දේවල් ඒකෙන් ලැබෙන්නේ නෑ. ඒ දුර්වලකම සරච්චන්ද්‍රයන්ගේ නවකතා විචාරයේත් තිබුණා. විචාරයේදීත් ඔහු නවකතාවෙන් කෙරෙන කාර්යය කුමක් ද කියලා අවබෝධ කරගත්තේ නැහැ. නවකතා වශයෙන් ඔහුගේ නවකතාවල ඒ තරම් වැදගත් දෙයක් නැහැ. නවකතාවේදී කරන්නේ ඒ යුගය පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කරලා, ඒ යුගය පිළිබඳ ව කැඩපතක් නිර්මාණය කිරීමයි. එහෙම නවකතාවක් සරච්චන්ද්‍රයන් අතින් ලියවුණේ නැහැ. ඔහු තමන්ගේ ඒ දුර්වලතාව ටිකක් විතර හදාගත්තා ‘වල්මත් වී හසරක් නොදිටිමි’ කියන නවකතාවෙන්. ඒත් ඒක සාර්ථක වුණේ නැහැ.

සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය, නවකතා ආදි කලා භාවිත ගොඩනැඟුණේ ඔහුගේ පෞද්ගලික ජීවිතයේ යම් යම් සංසිද්ධීන් හරහා යැයි ඔබට සිතෙනව ද?

ඒක අනිවාර්යයෙන් වෙන දෙයක්. ඕනෑම නිර්මාණකරු‍වකු නිර්මාණකරණයේ දී පුද්ගලබද්ධ වීමක් සිදු වෙනවා. තමන්ගේ අත්දැකීම් තමයි නිර්මාණයට බලපාන්නේ. ඔහුගේ ශ්‍රේෂ්ඨ ම නිර්මාණය ‘සිංහබාහු’ පුද්ගලික ඛේදවාචක මුල්කරගෙන බිහි වූ බවයි බොහෝ දෙනා පවසන්නේ.
සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ වගේ නාට්‍යයක් ගත්තොත් එය ලෝකයේ අග්‍රගණ්‍ය ම නාට්‍යවලින් එකක්. මනමේට වඩා මෙය බොහොම ගැඹුරුයි. එය කේරලයේ හා ඉන්දියාවේත් පෙන්නුවා.

නවකතාකරණයේ දී සරච්චන්ද්‍රයන්ට ඔබ මතු කළ සමාජ, ආර්ථික දේශපාලන විඥානය ආගන්තුකයි කියලා හිතෙනවා.

ඒක ඇත්ත. නවකතාකරණයේ දී විතරක් නොවෙයි, සාහිත්‍ය විචාරයේදීත් ඒක වුණා. ඔහු පරිකල්පනීය ඉසව්වක ඉඳලයි නිර්මාණකරණයේ නිරත වුණේ.

සරච්චන්ද්‍රයන් විශ්වාස කළේ අපිට ස්වාධීන සාහිත්‍යයක් නැති බව නොවේ ද? ඔහු ලංකාවේ සංස්කෘතිය දුටුවේ භාරතීය සංස්කෘතියේ කොටසක් විදියටයි.

ඔහු එසේ සිතීම සම්පූර්ණයෙන් ම වැරදියි. ඒක එක හේතුවක්. වික්‍රමසිංහ එහෙම හිතුවෙ නැහැ.
ඔහු නිතර ම හිතුවෙ අපට අනන්‍යතාවක්, විචාරයක්, කලා නිර්මාණයක් තියෙනවා කියලයි. සරච්චන්ද්‍රයන් මේක අමතක කළා. ඔහු සිතුවේ අප භාරතීය සංස්කෘතියේ ම කොටසක් විදියටයි. ඒ වගේම ඔහුට දේශපාලනමය වශයෙන් දැනුමක්, අවබෝධයක් තිබුණෙත් නැහැ. බෞද්ධ දර්ශනය පිළිබඳවත් ඔහුට එහෙම බැඳීමක් තිබුණේ නැහැ.

නමුත් ඔහු තමන්ගේ ආචාර්ය උපාධි නිබන්ධයට කරන්නේ බෞද්ධ දර්ශනය. ඔහු බෞද්ධ දර්ශනය වැලඳ ගත්තේ බුද්ධියෙන් මිසක් හදවතෙන් නොවේ යැයි මට සිතෙනවා.

ඒක ඇත්ත. ඔහු ඒ නිරත වුණේ ශාස්ත්‍රීය කටයුත්තකනේ. ඇත්ත වශයෙන් සරච්චන්ද්‍රයන් සියලුම විශිෂ්ට ගතිගුණත් ඔක්කොම එක්ක අපේ සිංහල, බෞද්ධ, ගැමි සංස්කෘතියෙන් බිහිවුණු චරිතයක් ය කියලා කියන්න අමාරුයි. ඒ දුර්වලතාව ඔහුගේ සියලු ම දේට බලපෑවා. දේශපාලනය, විචාරය, නිර්මාණකරණය වගේ මේ හැම දෙයකට ම බලපෑවා. වික්‍රමසිංහ වගේ චරිතයක් ගත්තොත් ඔහු ගමෙන් ඇවිත්, ගමේ ජීවත්වුණු චරිතයක්. සරච්චන්ද්‍රයන්ට එහෙම දෙයක් තිබුණේ නැහැ. අපේ සංස්කෘතිය ගැන අවබෝධයක් ලබාගන්න ඔහු උත්සාහ කළේ බුද්ධියෙන් නොවේ, හදවතෙන්.

‘මනමේ’ වගේ නාට්‍යයක් ගත්ත ම සිංහල සංස්කෘතික ආභාසය යම් මට්ටමකට හෝ ඔහුට තිබුණා යැයි කියාත් සිතෙනවා.

ඔහුට ඒ පිළිබඳ බුද්ධිමය වශයෙන් පරිචයක් තිබුණා. හදවතෙන් ආව එකක් නොවෙයි. ඒ නිසා තමයි අපට ආගන්තුක බවක් දැනෙන්නේ.

මුල් කාලයේ පටන් තිබුණු ඔබගේ දේශපාලන නැඹුරුවත්, සරච්චන්ද්‍රයන්ගේ සාහිත්‍ය නැඹුරුවත් ගළපා ගන්නේ කෙසේ ද?

මුල් කාලයේ මම ඔහු ළඟින් ම ඇසුරු කළා. ඒ නිසා මම ඔහුගේ අනුගාමිකයෙක් හැටියට කටයුතු කළා කියන්නත් පුළුවන්. සරච්චන්ද්‍රයන් හා වික්‍රමසිංහයන් අතරේ ලොකු වාද විවාද යද්දි මම මුලින් හිටියේ සරච්චන්ද්‍රගේ පැත්තේ. ඒත් පසුව මට තේරුණා සරච්චන්ද්‍රයන්ගේ ආකල්ප හා දෘෂ්ටිය බොහොම සීමා සහිත බව. කොටින් ම කියනවනම් එක්තරා අවදියක දී මට තේරුණා සරච්චන්ද්‍ර මහතා මූලික වුණු පේරාදෙණි සාහිත්‍යයේ කිසිම හරයක් නෑ කියලා. මේ සමාජයේ බොහොම සුළු පිරිසක් මූලික කරගෙන බිහිවෙච්ච, සෙසු මාධ්‍යයෙන් වියෝ වුණු සාහිත්‍යයක් හැටියට මට මේක දැනෙන්න පටන් ගත්තා. මේක මුළුමහත් ජනතාවගෙන් බිහිවුණු සාහිත්‍යයක් නොවේ ය කියන මට වැටහුණා. මීට වඩා සමාජයට, සාහිත්‍යයට වැඩක් කළ යුතුයි කියලා මට සිතුණා.

ඔබ පේරාදෙණි ගුරු කුලයෙන් ඈත් වීමත් එක්ක සරච්චන්ද්‍රයන් ඔබ කෙරේ දැක්වූවේ කවරාකාර ප්‍රතිචාරයක් ද?

සරච්චන්ද්‍රයන්ට පස්සෙ කාලෙදි මම එහෙම කළේ ඇයි කියලා වැටහුණා. පස්සෙ කාලෙ සරච්චන්ද්‍ර මහත්තයා ධර්මිෂ්ට සමාජය එහෙම ලියන කොට ඒ ගැන අවබෝධයෙන් හිටියේ. මුලින් ඔහු හිතුවෙ මගේ ආස්ථානය පුද්ගලික එකක් කියලයි. සරච්චන්ද්‍රයන්ට මේක තේරෙන්න කාලයක් ගියා.

ඔහු විචාරයේ දී ඉතා අවංක විචාරකයෙක්. එයට පේරාදෙණි ගුරුකුලය බලපෑවේ නැහැ.

සාහිත්‍යකරුවකු, බුද්ධිමතකු වශයෙන් ඔහු බොහෝ දුරට අවංක පුද්ගලයෙක්. සාහිත්‍ය කලා මතවාද, ප්‍රවණතා ගැන නිර්භයව අදහස් ප්‍රකාශ කිරීමේ දැඩි උවමනාව ඔහුට තිබුණා. 86, 87 ජේ වී පී කලබල තියෙන කාලෙ ‘ගනඳුරු මැදියම දකිනෙමි අරුණලු’ කියන පොත මම ලිව්වෙ. ඔහු ඒ පොත ඉතාම ඉහළින් අගය කළා. ඔහු එය දශක ගණනාවකින් ලියවුණු හොඳ ම පොතක් කියලා වර්ණනා කළා. ඔහුගේ සාහිත්‍ය මතවාද පිළිබඳ ව තිබු අවංක භාවය හැරෙන්නට ඔහුට එහෙම ලියන්න හේතුවක් නෑ. අපේ අදහස් මතවාද නොගැළපීම වෙනම ම දෙයක්. ඒත් සාහිත්‍ය මතවාද, නිර්මාණකරණය වගේ දේවල් ඉතා අවංකව කළ යුතුයි කියලා ඔහු විශ්වාස කළා. ඒක විශිෂ්ට ගුණයක්.

ඔහුගේ අවංක සාහිත්‍ය විචාරයත්, නිර්මාණකරණයේ දී පොදු ජනතාවගෙන් වියුක්ත කලා සේවනයකුත් ඇතිවීමට බලපෑම් කළේ සරච්චන්ද්‍රයන් පෙර කී සංස්කෘතීන් දෙකේ අතරමැදියකු වීම ද?

සරච්චන්ද්‍රයන් හිතුවෙ ස්වාධීන සංස්කෘතියක් අපට නෑ කියලනේ. එතුමාට ඒ සංස්කෘතික විඥානය තිබුණේ නැහැ. සංස්කෘතික විඥානයක් නැති කෙනාට දේශපාලන විඥානයක් ඇතිවෙන්නෙත් නෑ. ඒ දෙක එකට යන්නේ. සරච්චන්ද්‍රයි, වික්‍රමසිංහයි සන්සන්දනය කරද්දී මේක හොඳට වටහාගන්න පුළුවන්. මාර්ටින් වික්‍රමසිංහ වැනි කෙනෙක් පොළොවේ මුල් එක්ක බිහිවුණු සමාජ, ආර්ථික, දේශපාලන දැනුමක් තියෙන, විඥානයක් තියෙන නිර්මාණකරුවෙක් විදියටයි අප හඳුනා ගන්නේ. සරච්චන්ද්‍ර එහෙම නැහැ. ගැඹුරු සංස්කෘතික, දේශපාලන විඥානයක් ඇතිව නොවෙයි නිර්මාණකරණයේ නිරත වුණේ. ඔබ කියන කරුණට හේතුව එයයි. ඔහුට උවමනාව තිබුණා අපේ සංස්කෘතිය හඳුනාගන්න.
හැබැයි ඔහුට ඒක හදවතින් කරන්න බැරිව ගියා. ඔහු නිරත වුණු නිර්මාණ මාධ්‍යයටත් ඒක ඒ තරම් වලංගු වුණේ නැහැ. නවකතාකරුවෙක් විදියට ඔහු දුර්වල වී සිටින්නේ ඒ නිසයි. කවියෙක්, දෘෂ්‍ය කාව්‍ය නිර්මාණකරුවෙක් විදියට ඔහු සාර්ථක වෙන්නෙත් ඒ නිසා. එයයි අප වටහා ගත යුතු වෙන්නේ. ඔහු කවියේ රස නිෂ්පාදනය වෙන හැටි හොඳට දැනගෙන හිටියා. අනෙක ඔහු විස්මය උපදවන කාව්‍ය විචාරකයෙක්. මම ලියපු කවිවලට හිටපු හොඳම රසිකයා සරච්චන්ද්‍රයි. එකම දේ ඔහු කාව්‍ය විචාරයේ ඒ හැටි නිරත වුණේ නැහැ. ඒක ඉතාමත් අභාග්‍යයක්.

10/23/2014

කුරුළු හදවත නොදුටු විරු හදවත

කතෘ:යුතුකම     10/23/2014   6 comments
මේ පසුගිය 8 වැනිදා අප හට කියවන්නට ලැබුනු පුවතකි.

"කිලිනෙච්චිය ප්‍රදේශයේ අඩි 15ක් පමණ ජලයෙන් පිිරී තිබූ වගා ළිඳකට හදීසියේම වැටුනු අවුරුද්දකුත් මාස 6ක් වයසැති කුඩා දරුවෙකු යුද හමුදා සෙබලූන් දෙදෙනෙකු විසින් එම ළිඳට පැන දරුවාගේ ජීවිතය බේරා දීමේ වීර ක‍්‍රියාවක නිරත වී ඇත.

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් 57වන සේනාංකයේ 574 වන බලසේනාවට අයත් ගම්මානයක පිහිටි වගා ළිඳකට අවුරුද්දකුත් මාස 06 ක් වයසැති සිවකුමාර් සිංදුජන් නැමති කුඩා දරුවා 6 දා සවස හදීසියේ වැටී ඇති අතර මේ පිළිබඳව දැනගත් දරුවාගේ මව විලාප නගන්නට විය. මෙම විලාපය, 574 වන බලසේනාවේ ගජබා රෙජිමේන්තුවේ සේවයේ නිරත කෝප‍්‍රල් විජිත පෙරේරා සහ කෝප‍්‍රල් ඞී.එම්.ලීලාරත්න යන සෙබලූන් දෙදෙනාට ඇසීමෙන් ඔවුන් දෙදෙනාම එම අවස්ථාවේදීම අදාල ස්ථානයට දිව ගොස් ඇත. ළිඳ තුලට වැටී සිටි දරුවා ළිඳට වැටි තිබූ ළනුවෙ පැටලී ඇති අතර මේ හේතුව නිසා සුලූ වේලාවක් දරුවා ජලයේ පාවෙමින් සිට ඇති නමුත් දරුවාගේ දැඟලීම නිසා දරුවාට  දැඩි ලෙසින් වතුර පෙවී ඇති බවත් සුලූ වේලාවකින් දරුවා ගිලීමට යන අයුරුත් ඔවුන් දෙදෙන දැක ඇත. අඩි 25ක් පමණ ගැඹුරින් යුතු වගා ළිඳට බැසීම සඳහා ළිඳෙහි තිබූ කඹය ගෙන උත්සහයක නිරත වුවද ප‍්‍රමාද වීමෙන් දරුවාගේ ජීවිතය අහිමි වන බව දැන ගත් සෙබලූන් දෙදෙනා එම අවස්ථාවේදීම ළිදේ ලණුව කටින් අල්ලා ළිඳට පැන ඇති අතර දරුවා බේරා ඉතා ඉක්මණින් ගොඩට ගෙන දරුවාට පෙවී තිබූ ජලය උදරයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත."

මෙම හමුදා සෙබළුන් දෙදෙනාටද දරුවන් සිටිනවා විය හැකිය. ඒ කිරි සප්පයා බේරන්නට යාමේදී තමන්ගේම ලෙයින් උපන් දරුවනට පියා අහිමි වීමේ අවදානමක් තිබුනි. නමුත් ඒ බව සිතා මේ  දරුවා අමතක කර දැමීමට නොහැකි ආකාරයේ උතුම් හෘද සාක්ෂියකින් මේ  මිනිසුන් දෙදෙන  සන්නද්ධය. සිය රාජකාරී සීමාවෙන් ගව් ගණනක් ඔබ්බට ගොස් මිනිසාට සේවය කරන මේ දෙවි මිනිසුන් පිළිබඳ පුවත් අපට අසන්නට ලැබුනු පළමු සහ අවසාන අවස්ථාවද මෙය නොවේ. සැබැවින්ම රණ විරුවන් පසුගිය දශක කිහිපය පුරාම සිය දිවි පරදුවට තබා රට, දැය, සමය බේරා ගැනීමට කටයුතු කළ ආකාරය සහ ඒ මහා කැපකිරීමේ කතන්දරය පිටුපස ඇති අභීත සිංහ හදවත් සංකේතාත්මකව පිළිඹිබු කරන්නකි මේ සිද්ධිය. මේ විරුවන් නිසා අද අපි බිය සැක නැතිව මහමඟ දෙපයින්, බසයෙන්, දුම්රියෙන් හෝ වෙනත් වාහනයකින් හෝ ගමන් කරන්නෙමු. පිළිස්සී ගිය මළ කදන් රූප පෙට්ටියේ නොදකින රටක අපි ජීවත් වන්නෙමු. එහෙත් ඒ සැනසීම පොදුවේ අප සැවොටම ලබාදීම වෙනුවෙන් ඔවුනට සිය ජීවිත කැප කරන්නට සිදු විය.

ඔවුහූ අන් අය වෙනුවෙන් සිය දිවි කැප කළහ. ඔවුන් ආදරය කරන සිය පවුලේ සාමාජිකයින් හා තිබිනු බැදීම මරණයේ අවිනිශ්චිතතාවෙන් නිරන්තරයෙන් වෙලී තිබුනි. එම අවිනිශ්චිතතාව විසින් ඒ සියළු දෙනාගේම හදවත් ඉසිළිය නොහැකි ආකාරයේ බරකින් පුරවා තැබීය. රූපවාහිනියෙන් හෝ රේඩියෝවෙන් හෝ හමුදා සාමාජිකයින් මෙපමණක් මිය ගොස් ඇති බව අසන සැම මොහොතකම, ඒ අතර තම පියා, සැමියා, පුතා සිටීදැයි යන සන්ත්‍රාසයෙන් ඔවුන්ගේ හදවත් ගල් ගැසී නැවතුනි. ඔවුන් නැවත බාගෙට හෝ හුස්මගන්නට පටන් ගත්තේ ඔහුගෙන් යම් පණිවුඩයක් ලද පසුය. ඒ වේදනාව,  ඒ අවිනිශ්චිතතාව වචනයට නැගීමට අප අසමත් වන්නෙමු.

ඔවුන් එසේ කැප කිරීම් කොට යුද්ධය නිම කළ නිසා මිනිස්සු බිය සැක නැතිව අද ඇවිද යති. සෙනඟ රැස් වන තැන්හි බිය සැක නැතිව කාලය ගත කරති. පසුගිය දා බණ්ඩාරනායක අනුස්මන්ත්‍රණ ශාලාවේ පැවති පොත් ප්‍රදර්ශනයටද ඒ නිදහස භුක්ති විදින මිනිස්සු බුරුතු පිටින් එක් රැස් වී පොත් මිලදී ගත්හ. සම්මානයෙන් පුදනු ලබන පොත්, එසේ ලැබුනු සම්මානය ඒ පොත හොඳ පොතක් බවට නිර්ණායකයකැයි යන ස්වාභාවික තත්වයන් යටතේ සාධාරණ තර්කයට අනුව සිතා ඒවා වැඩිපුර මිලදී ගනිති. ඒ අනුව කුරුළු හදවත පොත් ප්‍රදර්ශනයෙන් මිලට ගත් මිතුරෙකු ඒ මට ගෙනත් දුනි. එය කියවීමට පටන් ගතිමි.

කුරුළු හදවත යනු මෙවර හොඳම නවකතාව ලෙස ස්වර්ණ පුස්ථක සම්මානයෙන් පුදනු ලැබූ පොතයි. ආචාර්ය ලියන්ගේ අමරකීර්ති ඔහුගේ කුරුළු හදවත කතාවේ පළමු පිටේම මෙම කොටස ලියා තිබුනි.

"කල්පනාවෙන් බරව ගෙදර එන අතරෙ ඔහුට මතක් උනේ ඔහුගෙ යාලුවන්ට ගිය අවුරුද්දෙත් මතක් උන දේ. ඒ තමයි හමුදාව. අසමත් කොල්ලන්ට තමන් සමත්කම් ඇති කොල්ලො කියල පෙන්නන්න තියෙන හොඳම අවස්ථාව: හමුදාව.

විභාග දෙපාර්තුමේන්තුවයි හමුදාවයි අතර රහස් ගිවිසුමක් තියෙනවා වගේ දෙපාර්තුමේන්තුව අසමත් කරන අය හමුදාව බඳවාගෙන ඔවුන්ගෙ සමත්කම් මතුකරලා පෙන්වනවා. දිනසිරිත් හිතුවා ඒකම තමයි විසඳුම කියලා."

කෘතියක් මඟින් පිළිඹිබු කෙරෙන දේශයක හා කාලයක කාරණා බොහොමයක් අතරින් සිය කෘතියකට යමෙකුට වෙසෙසින්ම කැඳවාගෙන ආ හැකි වන්නේ ඉතා සුළු ප්‍රමාණයක් පමණි. එනිසා කතුවරයෙකු විසින් ඒවා ඉතා ඕනෑකමින් තෝරාබේරා ගත යුතුවේ. ඉහත උපුටා දැක්වූ අසමතුන් පිළිබඳ කොටස මෙම කතාන්දරය හා යාවජීවව බැදී නැතිය. "අසමත් කොල්ලන්ට තමන් සමත්කම් ඇති කොල්ලො කියල පෙන්නන්න තියෙන හොඳම අවස්ථාව: හමුදාව" යන්න දිනසිරිට සිතෙන සිතුවිල්ලක් නොවන බව මේ කොටස කියවීමෙන් පැහැඳිළි වේ.

මේ කෘතියේ කිසිදු චරිතයකට, පරිසරියකට හෝ අවස්ථාවකට එම කොටස් නෑකම් නොකියයි. නමුත් එය අසම්බන්ධිත නොවන බවද පෙනී යයි. එසේ නම් ඒ සම්බන්ධය කුමක්ද? එම සම්බන්ධය වන්නේ එවැනි අවස්ථාවක්, වඩා පොදු තත්වයකට ගෙන එනම් දිනසිරි වෙනුවෙට "ලංකාවේ ගැමි කොල්ලන්" සමූහය සළකා ඒ පිළිබඳ පොදු තත්වයක් ලෙසින් මේ බව කියා පෑමයි.  ඒ ආචාර්ය අමරකීර්තිට සිතෙන අයුරු එලෙසම ලියා තැබීමකි. එමගින් පැහැඳිළි වන්නේ මෙම අදහස් කියා පෑමේ ප්‍රචාරාත්මක අවශ්‍යතාවයෙන් කතුවරයා පෙළී ඇති බවයි. එය සිය නිර්මාණය තුළට එනම් දිනසිරිගේ චරිතය තුළට කැටුවාගෙන ඒමට ප්‍රමාණවත් තරම් ශික්ෂණයක් ඔහු තුළ නොවූ බවයි. ඊට වඩා ඔහුට වැදගත් වී ඇත්තේ ඔහුගේ සිතේ පහළ වූ මේ උදාන වාක්‍යය කඩිමුඩියේ කාටත් හොඳට පෙනෙන්න ලියා තැබීමයි.

එමගින් මෙහි නිර්මාණාත්මක අගය අඩුවන බව අපේ තක්සේරුව වුවත් මෙහිදී අප මේ ලිපිය තුළ සාකච්ඡාවට ගන්නේ ඒ අගය නිර්ණායකයට අදාළ සාහිත්‍යය විචාරකයාට අයිති කාරණය නොව. අපට වැදගත් වන්නේ මෙම වාක්‍යය කිහිපය හරහා පිළිඹිබු වන ආචාර්ය ලියනගේ අමරකීර්ති මේ රටේ රණ විරුවන් පිළිබඳ කිසියම් ආකල්පයක් සිය පාඨකයන් වෙත රැගෙන එන ආකාරයයි. 

මෙවර රාජ්‍යය සාහිත්‍යය සම්මාන උළෙලේ හොඳම කෙටි කතා සංග්‍රහය වූ ගුණදාස අමරසේකරයන්ගේ
කියනු මැන දිවි අරුත කෘතියෙහි 'මහ ගෙදර සොයා ආ ගමන' නම් කෙටි කතාවේ මේ දෙබස් කාණ්ඩය ඉහත අමරකීර්තිගේ කොටස හා සංසන්දනය කරනු වටී.

"දැන් කවුද ගෙදර ඉන්නේ?"

"මායි බාල කොලුවයි විතරයි... මහත්තයට ආරංචි ඇතිනේ අපට වුණු දේවල්."

"වැඩිමහල් හාදයා යාපනේ දී බෝම්බෙකට අහු වුණු බව ආරංචි වුණා."

"ඒ දවස්වල ජේ. වී. පී. කර කර ඉඳලා රට බේර ගන්න ඕනයා කියලා හමුදාවට ගියා... අවුරුද්දක් වත් යන්න නැතුව ඇති බෝම්බෙට අහු වෙන කොට. අපි දැන ගත්තෙත් සුමාන ගණනකට පස්සේ.. මිනියවත් දකින්න හම්බු වුණේ නැහැ."

එම කෙටි කතාවේ සමුදයාර්ථයට ඉතා අවැසි කාර්යයක් ඉහත දෙබස මඟින් ඉටු වන අතර දෙබස තුල කතුවරයාගේ මිනිස් ගුණය අවිඤාණිකවම රැකී ඇත. අමරසේකරයන්ගේ හමුදා  සොල්දාදුවා හමුදාවට ගොස් ඇත්තේ රට බේරා ගන්න ඕනා කියාය. නමුත් අමරකීර්තිට අනුව කොල්ලන්ට හමුදාව මතක් වන්නේ විභාගය අසමත් වූ විටය.

අමරසේකරයන්ගේ මිය ගිය හමුදා සෙබලා ද ආර්ථික දුෂ්කරතා තිබූ අයෙකි. වෙසෙසින් සඳහන් නොකළද ඔහු විභාගය අසමත් වී තිබිය හැකිය. නමුත් ඔහු හමුදාවට ගොස් ඇත්තේ මේ රට බේරා ගන්නට ඕනෑය කියාය. කතුවරයා තම නිර්මාණයට කැදවාගනේ ඒ කාරණයයි. ඔහුගේ චරිතයෙන් වත්මන් පාඨකයා සංවේදී විය යුතු එක් ප්‍රධාන කාරණයකි එය.

නවකතාකරුවෙකු වේවා නාට්‍යකරුවකු වේවා මේ කවුරුත් මිනිසුන්ය. අද මේ බිමේ මිනිසුන් නිදහසේ වෙසෙන්නේ හමුදාවට බැදුනු මිනිසුන් කළ අමිල කැප කිරීම උඩයි. ඉතින් මිනිසෙකු නවකතාවක් ලියද්දී ඒ කෘතවේදීත්වය අත්හළ හැකි නොවේ. තවත් අතකින් වත්මන් යුගයට සවිඥාණිකත්වයක් ඇති කලාකරුවෙකුගෙන් ඉටුවිය යුතු කාර්යයක්ද වනුයේ ඒ පිළිබඳ අනෙක් මිනිසුන්ද වඩා සවිඤාණික කොට වඩාත් සංවේදී කරවීමයි. අමරකීර්තිට යුධ විරෝධියෙකු වීමට අයිතියක් ඇත. නමුත් ඔහුට හමුදා සෙබළා අවඥාවට ලක් කිරීමට අයිතියක් ඇතිද? සමනල සංධ්වනිය චිත්‍රපටය නැරඹුවා නම් ඒ කෘතවේදීත්වය ඉතා සියුම් ලෙස කලා නිර්මාණයකට එක් කරන්නේ කෙලෙසදැයි අදහසක් ආචාර්ය අමරකීර්තිට ලබා ගන්නට තිබුනි.

ලංකාවේ කොල්ලන් වැඩි වැඩියෙන් හමුදාවට බැදුනේ එකා මත්තේ එකා මිය යමින් යුද්ධය සිදුවන අවස්ථාවලදීය. සාම සාකච්ඡා හෝ සටන් විරාම හෝ පවතින වකවානුවල රජයන් මඟින් ප්‍රයත්න දැරූවද හමුදාව හා එක්වූයේ ඉතා අඩු පිරිසක් පමණි. අනෙක් අතට විභාගය අසමත් වන අයගෙනුත් හමුදාව හා එක්වනේ ඉතා සුළු පිරිසක් බව අමරකීර්ති නොසළකා හරියි. හමුදාව හා එක්වන්නන්ට ඇත්තේ හුදු පෞද්ගලික අපේක්ෂා පමණක්ම නොව. මේ රට බේරා ගැනීමට තමා ඉදිරිපත් විය යුතු බවට අභීත හැඟිමක්ද සිත් කොනක හෝ ඔවුනට තිබුනු බවක් අමරකීර්තිලාට සිතෙන්නේ නැත. එය හුදු ආර්ථික හා පෞද්ගලික මමත්වය හා බැදුනු ක්‍රියාවක් ලෙසය ඔවුන් දකිනුයේ. කෙතරම් ආර්ථික හෝ සමාජීය හෝ පීඩනයන් තිබිනද ලංකාව වැනි බිහිසුණූ යුද්ධයක් පැවති රටක හමුදාවට බැදීම සඳහා වීරත්වයක්, නිර්භීත බවක් අවැසි බව අමරකීර්ති මහතාට පසක් වී නැති වීමට අමතරව හමුදාවට බැදෙන්නන් අසමතුන් ලෙස උළුප්පවා දැක්වීමට ද ඔහු අකෘතඥ වී ඇත.

එහෙත් ඔහු ඉඟිල්ලෙන මාළුන් මෙන් නරුම ලෙස සිය මතය එළියට දමා නැති බව පැහැඳිලිය. ඔහු උත්සාහ දරන්නේ පොදුවේ කාටත් සාධාරණ යැයි පෙනෙන ආකාරයකට එය ගෙන ඒමටයි. කොළේ වහලා ගහනවා යයි කියමනක් තිබේ. "අපි වෙනුවෙන් අපි" නොවන බවට අමරකීර්ති ගහන්නේ කොළේ වහලාය. කොළේ වසා ගැහීමෙන් ස්වර්ණ පුස්ථක සම්මානද දිනා ගත හැකිය.

ඉහත කුඩා දරුවෙකු බේරා ගැනීමට ඉදිරිපත් වූ හමුදා සෙබළුන් දෙදෙනා විසින් සංකේතාත්මකව මෙන් නිරූපණය කළ මේ රට බේරා ගැනීමට දිවි පරදුවට තබා ඉදිරිපත් වූ මේ කොල්ලන් සතු වූ අධ්‍යාත්මික ගුණය,  ආචාර්ය අමරකීර්තිගේ කුරුළු හදවතට තවම දැනී නැත.


-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions