අපේ මතය - 7
ශ්‍රී ලංකාවේ ජාතිකවාදය
අපගේ මව්බිම වන මෙම දිවයිනෙහි නිල නාමය ශ්‍රී ලංකාව යනුවෙන් නම් කරනු ලැබුවේ 1972 ජනරජ ව්‍යවස්ථාවෙනි. වසර 2,500 ක් තරම් අතීතයක් දක්වා දිය යන ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතු වේ. එම ඉතිහාසය පුරාවිද්‍යාත්මක සාධක මගින්ද, වංශකතා සාහිත්‍ය මගින්ද පමණක් නොවේ ලෝකයේ වෙනත් රාජධානීන් තුළින් සොයා ගන්නා ලද පුරාවිද්‍යාත්මක සහ සාහිත්‍යමය මූලාශ්‍ර මගින් ද සනාථ කොට ඇත.
වසර 2,500 ක ඉතිහාසය තුළ මෙම දිවයින දේශපාලනමය වශයෙන් ඒකඡත්‍ර වූ අවස්ථා මෙන්ම නොවූ අවස්ථාද විය. ඇතැම් කාලවලදී දිවයින රාජධානි කිහිපයකට බෙදී ගොස් පැවතුණි. එසේ වුවත්, එවන් කාලවලදී පවා තමන් එකම ජාතියකට අයත් වූ ජනතාවක් ය යන ජාතික හැඟීම රටවැසියා තුළ නොනැසී පැවතුණි.
1815 දක්වා ශ්‍රී ලංකාව තුළ ස්වදේශික රාජාණ්ඩු පැවතුණි. රාජ්‍යයේ වැසියන්ගේ ජාතිකත්වය ‘සිංහල’ වූ බැවින් එකල්හි රාජ්‍යයේ නිල නාමය වූයේ ‘සිංහලේ’ යන්නයි. රාජ්‍යයේ ආගම බුද්ධාගම විය. සිංහලේ රාජ්‍යත්වය ඇතැම් තැන්හිදී වෙනත් වාර්ගික සම්භවයන් සහිත වූ පුද්ගලයන් අතටද උරුමයෙන් හිමි විය. ජන්මයෙන් වෙනත් ජනවර්ගවලට අයත් වූවන් පවා බුදු සමය වැළඳ ගැනීමෙන් අනතුරුව සළකන ලද්දේ සිංහලේ රජු වශයෙනි.
ශ්‍රී ලංකාව අනාදිමත් කාලයක පටන් ඉන්දියන් සාගරයේ නාවුක ගමනාගමනයේ අතිශය වැදගත් කේන්ද්‍රස්ථානයක් වේ. මේ හේතුවෙන් ලෝකයේ නොයෙක් ජනවර්ගවලට අයත් ජනතාව මෙහි පැමිණ පැළපදියම් වූහ. එලෙස පැමිණුනු සංක්‍රමණික ජනවර්ග පවා බුදු සමය සිය ආගම ලෙස පිළිගැනීමෙන් සහ සිංහල භාෂාව සිය භාෂාව ලෙස භාවිතයට ගැනීම ආරම්භ කිරීමෙන් අනතුරුව සිංහල ජාතිකයන් බවට පත් විය.
16 වන සියවසේ මුල සිට එල්ල වූ බටහිර යුරෝපීය බලපෑම් හේතුවෙන් ක්‍රමිකව සිංහලේ රාජධානි පරිහානියට ලක් විය. දිවයින වටා පිහිටි මුහුදු තීරය සහ නාවුක තොටුපලවල් අහිමි වීම කරණ කොටගෙන සීඝ්‍ර විපර්‍යාසයන්ට බඳුන් වෙමින් පැවති ලෝකය හා සම්බන්ධතා පවත්වා ගැනීමට සිංහලේ රාජධානි අසමත් විය. මේ සමඟම සියවස් ගණනක් පවත්වාගෙන ආ ආගතුකයන් සිය ජාතිය වෙත අවශෝෂණය කර ගැනීමේ සක්‍යතාවය ද සිංහල ජාතිය වෙතින් කෙමෙන් හීන විය.
1815 උඩරට ගිවිසුම මගින් සිංහලේ අවසාන රාජධානියේ පාලනය බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යටතට පත් විය. එතැන් සිට 1848 දක්වා කාලය තුළ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි සන්නද්ධ නැගී සිටීම් කිහිපයක් සිදු විය. 1818 වෙල්ලස්ස සටන, 1848 මාතලේ සටන ඒ අතර ප්‍රධාන වෙයි. ඊට අමතරව 1820, 1823 සහ 1824 වර්ෂ වලදීද සන්නද්ධ නැගී සිටීම් සඳහා සිංහල ජනතාව සූදානම් වූ බව ඉංග්‍රීසි වාර්තා අනුව තහවුරු වේ. නමුත් ඒවා ලත් තැනම ලොප් විය. මෙම මුල් කාලීන සන්නද්ධ ප්‍රයත්නයන් සියල්ලක්ම ඉලක්ක ගත වූයේ නැවත සිංහල රාජාණ්ඩුව ස්ථාපිත කිරීම පිණිසය.
මේ අතර බ්‍රිතාන්‍යන් විසින් සමස්‍ත දිවයිනම ආවරණය වන පරිදි පරිපාලන ව්‍යුහයක් ස්ථාපිත කරන ලදි. එහි සේවාවන් සඳහා ඉංග්‍රීසි භාෂාව උගත් ස්වදේශිකයන් බඳවා ගන්නා ලදි. මෙම ආණ්ඩුවේ රැකියාවන් සඳහා ස්වදේශිකයන් පුහුණු කිරීම සඳහා ක්‍රිස්තියානි පල්ලිය මූලික කරගත් අධ්‍යාපන ක්‍රමයක් ද ඇති කරන ලදි. තවද මෙම යුගයේදී ධනය ඉපයීම සඳහා බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් වෙත ඇගෑලුම්කම් පෑම අනිවාර්ය විය.
මෙම පසුබිම මත තම සහෝදර රටවැසියා අමතක කොට බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වෙනුවෙන් කත් අදින සමාජ පංතියක් මෙරට බිහි විය. ඔවුන් භාෂාවෙන්, ආගමෙන් සහ සිරිත් විරිත්වලින් යුරෝපීයයන් අනුකරණය කරන්නෝ වූ අතර මෙරට පොදු ජනයාගේ ඇවතුම් පැවතුම් සහ සිංහල ශිෂ්ඨාචාරයේ උරුමයන් පිළිකෙව් කරන්නෝ වූහ.
ශ්‍රී ලංකාවේ ජාතිකවාදී දේශපාලන ධාරාවේ මුල් බීජ රෝපණය වන්නේ 19 වන සියවසේ දෙවන බාගය තුළ උද්ගත වුණු ආගමික පුනර්ජීවන ව්‍යාපාරය සමගිනි. එතැන් සිට ශ්‍රී ලංකාවේ ජාතිකවාදය විකාශනය වූ ආකාරය සහ එහි වත්මන් තත්ත්වය නිවැරදිව විග්‍රහ කර ගැනීම සඳහා එය අප විසින් පහත පරිදි යුග 5 කට බෙදා දක්වන්නෙමු.
I - ආගමික පුනර්ජීවන ව්‍යාපාරයේ සිට 1919 ලංකා ජාතික සංගමය ස්ථාපිත වීම දක්වා යුගය
II - 1919 සිට 1956 පෙරළිය දක්වා යුගය
III - 1956 සිට 1987 ඉන්දු ලංකා ගිවිසුම තෙක් යුගය
IV - 1987 සිට 2009 එල්ටීටීඊ ත්‍රස්තවාදී සංවිධානය පරාජය කිරීම දක්වා වූ යුගය
V - 2009 න් පසු මේ දක්වා
මෙතැන් සිට ඉහත යුගයන් 5 විවරණය කර ගනිමින් සිදු කරන්නා වූ තොරතුරු දැක්වීම අප විසින් සිදු කරනු ලබන්නේ එය අපට අනාගත මාවත තෝරා ගැනීම සඳහා මගපෙන්වීමක් ලබා දෙන බැවිනි. මෙම ඉතිහාස විවරණය තුළ කිසිවෙකු හෙළා දැකීමට අප හට වුවමනාවක් නැත.
ශ්‍රී ලංකාවේ ජාතිකවාදී දේශපාලන ධාරාව තුළ එක් යුගයක් තුළ ප්‍රගතිශීලී යුග කාර්යභාරයක් ඉටු කළ මිනිසුන් තවත් යුගයකදී ඊට ඉඳුරාම වෙනස් මාවත් ඔස්සේ පියමන් කොට ඇත. අනාගතයේදී ද නිසැකවම මේ යතාර්ථය යළි යළිත් අත් විඳීමට සිදු වනු ඇත.
මාවත තුළ යන එන මිනිසුන් පෙනී නොපෙනී යන නමුත් මාවත නොවෙනස්ව පවතී.
[ශ්‍රී ලංකාවේ ජාතිකවාදයේ පළමු යුගය - ආගමික පුනර්ජීවන ව්‍යාපාරයේ සිට 1919 ලංකා ජාතික සංගමය ස්ථාපිත වීම දක්වා යුගය- පිළිබඳව යුතුකම අගෝස්තු කලාපයෙන් සාකච්ඡා කරමු.]
පැතුම් ඒ. රණසිංහ
යුතුකම සඟරාවේ ජූලි කලාපයේ පලවූ ලිපියකි
යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .