නමසිය පනස් ගණන් වල දී සාහිත්‍යකරණයට පිවිසි ගුණදාස අමරසේකර ශූරීන් මුල් කාලයේ දී තත්කාලීන දේශපාලන සමාජ ආර්ථික යථාර්ථය සමඟ බද්ධ නොවූ නිර්මාණකරණයක නිරත ව සිටියේ ය.
පනහ හැට දශකයේ අමරසේකර මහතාගේ නවකතා හා කෙටිකතා හුදකලා නිර්මාණ වුව ද, ඒ කාලය වන විටත් එතුමා ජාතිකත්වයට නැඹුරු වූ දේශපාලන ව්‍යාපාර සමඟ ක්‍රියාකාරී වශයෙන් සම්බන්ධ වී ඊට දායකත්වය සපයමින් සිටියේ ය. එම මැදිහත්වීම එතුමාගේ මුල් කාලීන නිර්මාණ තුලින් පිළිබිඹු නොවූයේ පේරාදෙණිය ගුරුකුලයේ බලපෑම නිසා විය යුතු යි.
හැත්තෑව දශකයේ අමරසේකර මහතාගේ සාහිත්‍ය නිර්මාණ තුල දක්නට ලැබුනු සාධනීය වෙනසට බලපෑ සාධක වශයෙන්, 1971 දී මෙරට උගත් ගැමි තරුණයින් ආයුධ අතට ගැනීම එතුමා තුල ඇතිකළ කම්පනයත්, ඒ වන විටත් ඔහු පේරාදෙණිය ගුරුකුලයේ බලපෑමෙන් මිදී සිටීමත් සැලකිය හැකි ය. එමෙන් ම සෑම සාහිත්‍ය නිර්මාණයක් ම ඉතිහාස කාල පරාසයක් නිරූපණය කරන්නක් ලෙසින් සැලකූ ග්‍රැහැම් හෆ්ගේ සාහිත්‍ය විචාරය ඔහුගේ අවධානයට ලක් වීමත් මේ වෙනසට බලපෑවේ ය.
හැත්තෑව දශකයේ දී එළි දක්වන ලද ‘එක්ටැමෙන් පොළොවට’ හා ‘කතා පහක්’ යන කෙටිකතා සංග්‍රහ මෙන් ම ‘අසත්‍ය කතාවක්’ හා ‘ප්‍රේමයේ සත්‍ය කතාවක්’ යන කෙටි නවකතා දෙක ද මේ ප්‍රවණතාව නිරූපණය කරයි.
කෙටිකතා කලාවට ආවේණික වූ ඇතැම් සම්ප්‍රදායානුකූල සිද්ධාන්තයන් පිළිබඳ ව එතරම් සැලකිලිමත් නොවී ඔහුට ම ආවේණික වූ නව කෙටිකතා ආකෘතියක් ගොඩනගා ගැනීමට මේ වන විට අමරසේකර මහතා සමත් ව සිටියේ ය.
ගල් පිළිමය හා බොල් පිළිමය, මරණ මංචකයේ දුටු සිහිනය, විල්තෙර මරණය, කියනු මැන දිවි අරුත වැනි පසු කාලීන කෙටිකතා සංග්‍රහයන් තුලින් ඔහු අප අත්විඳිමින් සිටි සංකීර්ණ දේශපාලන සමාජ යථාර්ථය පිළිබිඹු කොට දැක්වී ය.
අවාසනාවකට මෙන් අමරසේකර මහතාගේ බැරෑරුම් වූ ද සාර්ථක වූ ද නිර්මාණයන් එළි දැක්වෙන්නේ මෙරට සාහිත්‍ය පිළිබඳ ව හරවත් විචාරයක් නොපැවති සමයක ය. එවන් වාතාවරණයක සාහිත්‍ය හා දේශපාලනය සම්බන්ධයෙන් ඔහුගේ ම සාහිත්‍ය නිර්මාණ වලට සාපේක්ෂව සංවාදයක් ගොඩනගා ගැනීම ද ඔහුට ම කරන්නට සිදු විය. මෙහි ප්‍රතිථලයක් වශයෙනි අබුද්දස්ස යුගයක්, අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද, ගණඳුරු මැදියම දකිනෙමි අරුනලු, සිංහල කාව්‍ය සම්ප්‍රදාය, සභ්‍යත්ව රාජ්‍යයක් කරා, අමතක වූ උරුමය ආදී නිබන්ධයන් ඔහු අතින් බිහි වන්නේ.
යටත් විජිත සමයෙන් පසුව මෙරට විද්වතෙකු අතින් බිහි වූ ප්‍රථම මෙන් ම එකම දේශපාලන සමාජ සංස්කෘතික දර්ශනය ලෙසින් ගිණිය හැකි ජාතික චින්තන මතවාදය බිහි වූයේ මෙම අඛණ්ඩ සංවාදය තුලිනි.පසු කලක දී අමරසේකර මහතා විසින් ම ජාතික චින්තනය යන්න අර්ථ දක්වන ලද්දේ සවිඥානිකත්වයට පත් කරන ලද සභ්‍යත්ව විඥානය ලෙසිනි.
ඇතැම් බටහිර සාහිත්‍ය විචාර ගුරුකුල සාහිත්‍යය හා ඉතිහාසය අතර ඇති සම්බන්ධය එතරම් සැලකිල්ලට නොගත්ත ද අමරසේකර මහතා සිය පසුකාලීන නිර්මාණ තුලින් සාහිත්‍ය හා ඉතිහාසය අතර ඇති අවියෝජනීය සම්බන්ධය නිරන්තරයෙන් ම විදහා දැක්වී ය. ඉතිහාසය හා සාහිත්‍ය අතර ඇති මේ සම්බන්ධතාවය හොඳින්ම මතුකර පෙන්වන්නේ ඔහුගේ කොටස් නමයකින් සමන්විත ගමනක මුල සිට ගමනක අග දක්වා දිග හැරෙන දීර්ඝ නවකතාවයි. මේ කතාව කීමේ දී ඔහු තෝරා ගන්නා පාත්‍ර වර්ගයා වන්නේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ ලබමින් ගමින් නගරයට සංක්‍රමණය වන ඔහුද අයත් වන සිංහල බෞද්ධ මැද පන්තිය යි.
සාහිත්‍ය හා ඉතිහාසය අතර ඇති සම්බන්ධතාව වැදගත් කොට සැලකූ ගී ඩිබෝර් නැමති සාහිත්‍ය විචාරකයාට අනුව, “ඉතිහාසයේ ක්ෂේත්‍රය ස්මරණීය එකකි. එය සිද්ධීන්ගේ සමස්තතාව හා ඒවායේ ප්‍රතිඵල දීර්ඝ කාලීන ව දැක ගැනීමට මඟ සලසන්නකි. මේ අනුව ඉතිහාසය යනු පසු ව සිදුවන ක්‍රියාවලිය වටහා ගැනීමට අවශ්‍ය ඥානය සපයන්නකි. ඉතිහාසය මැකී යෑමත් සමඟ වර්තමානයට පමණක් සීමා වූ ජනමාධ්‍ය මඟින් ප්‍රසාරණය කරනු ලබන මනෝ රූපවල බලපෑමට අපි නතුවන්නෙමු…” ( උපුටා ගැනීම: නිහඬ නිම්වළල්ල - විමල් දිසානායක)
අප අමතක නොකළ යුතු වැදගත් කාරණය නම් සාහිත්‍ය මෙන් ම ඉතිහාසය ද මිනිසාගේ ම නිර්මාණයන් බව ය. එමෙන් සාහිත්‍ය නිර්මාණකරුවන්ගේ අවධානය යොමු විය යුත්තේ කෙටි කාලීන සමාජ විපර්යාසයන්ට වඩා දිගු කාලීන සමාජ විපර්යාසයන් කෙරෙහි බවට ද විද්වතුන් අතර මතයක් පවතී. මෙය වැදගත් වන්නේ ඉහත උපුටා ගැනීමේ සඳහන් කළ අයුරින් ම අතීත දිගු කාලීන ඉතිහාසය මැකී යාමත් සමඟ ය අප ‘වර්තමානයට පමණක් සීමා වූ ජන මාධ්‍ය මඟින් ප්‍රසාරණය කරනු ලබන මනෝරූප වල බලපෑමට නතු වන්නෝ’
මේ අද අප මුහුණ පා සිටින දේශපාලනමය සමාජමය හා සංස්කෘතික ඛේදවාචකය යි. අප වෙලා සිටින මේ ව්‍යසනයෙන් ගැලවීමට නම් අප අතර ඉතිහාසය ගැඹුරෙන් සාකච්ඡා වන සාහිත්‍ය නිර්මාණ බිහි විය යුතු ය. මේ අඩුව පිරිමැසීමට ය තුන්කල් නුවණින් යුතු සාහිත්‍යධරයකු වූ අමරසේකර මහතා ගමනක මුල නවකතා පෙළ නිර්මාණය කරන්නට ඇත්තේ.
ගමනක මුල ආරම්භ වන්නේ නමසිය තිස් ගණන් වල දිනක රාත්‍රී කාලයේ දී මෙහි කතා නායකයා වන පියදාස සිය මවුපියන් වන ඉස්කෝලෙ හාමිනේ හා වෙද මහත්තයා ද සමඟ බක්කි කරත්තයෙන්, වෙද මහතා ගායනා කරන සැලළිහිණියේ කවි වලට සවන් දෙමින් පාසැල් නිවාඩු කාලය ගත කිරීම සඳහා යටලමත්තේ සිට හම්මෑලිය දක්වා යන ගමනෙනි.
ගමනක මුලින් ඇරඹෙන මේ ගමනට දීර්ඝ ඉතිහාසයක් ඇත. ඒ මහාවංසයේ සිට සැලළිහිණිය දක්වා දිග හැරෙන දීර්ඝ සභ්‍යත්ව ප්‍රවාහයක ඉතිහාස කතාවයි. කෝට්ටේ යුගයේ සිට නිරන්තරයෙන් ම කුරිරු සංස්කෘතික ආක්‍රමණයන්ට මුහුණ දෙමින්, විනාශ වෙන්නට ඉඩ නොදී රැකගෙන ආ සභ්‍යත්ව විඥානයේ නූතන යුගයයි අමරසේකර මහතා ගමනක මුල- ගමනක අග නවකතා මාලාවෙන් ඉදිරිපත් කරන්නේ.
මේ අමරසේකර මහතා මෙරට සිංහල බෞද්ධයින්ට නැවත නැවතත් සිය අධ්‍යාත්මය තුලට එබී බැලීමටත්, එ තුලින් ම අප පෙළන අතෝරයට විසඳුම් සොයා ගැනීමටත් කරන ආරාධනය යි. තමා කවුදැයි නිවැරදිව හඳුනා ගැනීමට උනන්දුවක් දක්වන සෑම සිංහලයෙකු ම මේ නවකතාව කියවිය යුතු යැ යි මම යෝජනා කරමි.
‘බලනු තම හද තුල
පිළිතුර තිබේ ඒ තුල’
(‘අසක්දා කව ආඛ්‍යාන කාව්‍ය).
- විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි
- විශ්‍රාමික මහාචාර්ය රුහුණු විශ්ව විද්‍යාලය
යුතුකම නොවැම්බර් කලාපයේ ලිපියකි
යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama



0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .