1/05/2018

අද තියෙන්නේ කෙප්ප සාහිත්‍යයක් - ගුණදාස අමරසේකර

කතෘ:යුතුකම     1/05/2018   No comments

ගුණදාස අමරසේකර මහතා දැනට මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම සාහිත්‍යධරයායි. නවකතාව, කෙටිකතාව, කවිය,විචාරය ආදී නන්විධ සාහිත්‍යාංගයන්හි බහුවිධ කුසලතා දැක්වූ ඔහු සරච්චන්ද්‍රයන් ඇසුරේ වැඩෙමින් සාහිත්‍ය යුගයක් නිර්මාණය කිරීමටද පුරෝගාමී වෙයි. එකළ මේ පේරාදෙණි සාහිත්‍ය තියුණු විවේචනයට ලක්කරනු ලැබුවේ මාර්ටින් වික්‍රමසිංහ විසිනුයි. පසුව අමරසේකරද වික්‍රමසිංහ මග ගනිමින් පේරාදෙණි සාහිත්‍ය පුපුරවා හැරීමට දායක වෙන්නේ සිය කෘතිද ප්‍රතික්ෂේප කරමින්. දැක්මකින් යුතුව සාහිත්‍යකරණයේ නියැළෙමින් අදටත් මෙරට බලපෑම් සහගත මත පළකරන සාහිත්‍යකරුවාද වන අමරසේකර මහතා සමග මේ වටමඬල කළ සාකච්ඡාවකි.

Q.ඔබ සරසවි ශිෂ්‍යකු ලෙස සිටියදීම ඔබේ කෘති සරසවියේ විභාගවලට නියම වෙනවා. මෙය කිසිම කෙනෙකුට නොලැබුණ භාග්‍යක් වගේම වරප්‍රසාදයක්. මෙයින් ඔබට ආඩම්බරයක් ඇති වුණාද?

මම ඒ වරප්‍රසාදයට සුදුසු නම් ඒකේ ආඩම්බර වෙන්න දෙයක් නෑ. මගේ ජීවන සුවද කෙටිකතා සංග්‍රහයෙන් සිංහල කෙටිකතාවේ නව යුගයක් ආරම්භ කළා. මගෙ හිතේ ඊට පෙර හරවත් වැදගත් කතා තිබුණේ වික්‍රමසිංහගේ පමණයි. ජී.බී. සේනානායකගේ ආකෘතිය අතින් ඉදිරිගාමී ලක්ෂණ පෙන්නුම් කරපු බොහොම හොද කතා තිබුණට මොකද ඒවා එක්තරා විදිහකට සන්දර්භය අතින් මේ සමාජය හා බැදිච්ච කතා නෙමෙයි. සුවඳ නැති නමුත් ලෝකෙට රුව ඇති කතා ලෙස මවිසින් කලකට පෙර හදුන්වනු ලැබුවේ එනිසා. මගේ ජීවන සුවඳ එනකොට ආකෘතියත්, සංදර්භයත් දෙකම එක්කාසු වෙලා මේ රටේ පසින් බිහිවෙච්ච විශේෂයෙන් මධ්‍යම පාන්තික ජීවිතය තුළින් බිහි වූ කෙටි කතා නිර්මාණයක් වෙනවා. මං හිතන්නේ සුවඳයි රුවයි දෙකම අන්තර්ගත වීමේ වැදගත්කම නිසයි ජීවන සුවද නිර්දේශ වෙන්නේ.

Q.ඔබ ලේඛකයකු හැටියට ඉස්මතු වෙන්නේ සරච්චන්ද්‍ර ඇතුළු පේරාදෙණි ගුරුකුලයේ අන්තේවාසිකයන් නිසා. අද එවැනි වරප්‍රසාදයක් කිසිම කෙනෙකුට නැහැ නේද? එහෙම තත්වයක් යටතේ පේරාදෙණි ගුරුකුලයට හා එහි නවකතාවට විරුද්ධ වීමේ සදාචාරය කුමක්ද?

ඇත්ත වශයෙන්ම එදා සරච්චන්ද්‍ර ඉන්න කාලේ පේරාදෙණිය එක්තරා සංස්කෘතික කේන්ද්‍රයක් වෙලා තිබුණා. සාහිත්‍යට, නාට්‍යට, විචාරයට ලොකු සේවයක් පේරාදෙණිය ගුරුකුලයෙන් වුණා. අද එහෙම එකක් මේ රටේ නෑ. අද පේරාදෙණිය කියන්නේ එක්තරා විදිහක තවත් එක් විද්‍යාපීඨයක් නැත්නම් නිසරු බිමක් පමණයි.

සාහිත්‍ය කියන්නේ පුද්ගලික සබඳතා වගේ කෙළෙහි ගුණ සලකන දෙයක් නෙමෙයි. කෙළෙහි ගුණ සලකන සදාචාරයක් සාහිත්‍යයේ නෑ. ඒක බුද්ධිමය ව්‍යාපාරයක්. ලියන්නේ තමන්ගේ හෘද සාක්ෂයට අනුව. ඒ හෘද සාක්ෂයට අනුව යම් පොතක් ප්‍රතික්ෂේප කිරීම සදාචාරාත්මක ප්‍රශ්නයක් නෙමෙයි. අනිත් එක සාහිත්‍යකරුවා කියන්නේ එකතැන පල්වෙන මිනිහෙක් නෙමෙයි. ඔහුගේ ජීවන දර්ශනය වෙනස්වෙන විට අනිවාර්යෙන්ම ඔහුගේ සාහිත්‍ය පිලිබඳ දර්ශනයත් වෙනස් වෙනවා. මම මුලින් පේරාදෙණි ආධිපත්‍යය තුළ හිටියට මට ටික කලකින් තේරුණා පේරාදෙණි සාහිත්‍යයේ තිබුණු විශාල අඩුපාඩු. මට තෙරුණා ඒක මේ සමාජයෙන් වියෝ වෙච්ච එක්තරා විදිහක එක්ටැම් සාහිත්‍යක් බව. විශේෂයෙන්ම ඒක මට පැහැදිළිව තේරුණේ 71 තරුණයන්ගේ නැගිටීමත් සමග. අපි පේරාදෙණිය සාහිත්‍යයෙන් කළේ මේ රටේ සමාජ ප්‍රශ්න ගැන කතා කරන එක නෙමෙයි. පේරාදෙණියට රැස් වෙච්ච අර සීමිත තරුණයන්ගේ සීමිත ජීවිතය පිළිබඳ තමය ඒ සාහිත්‍යයෙන් සාකච්ඡා කළේ. නමුත් පුළුල් සමාජ ප්‍රශ්න, මේ රටේ තරුණයින්ගේ ප්‍රශ්න, ගැන සාකච්ඡාවක් පේරාදෙණියෙන් වියයුතුව තිබුණා. ඒත් එහෙම එකක් සිදුවුණේ නැහැ. ඒ අඩුපාඩුව මට හොදට තේරුණ නිසයි අපි සාහිත්‍ය පිළිබඳ අමුතුවෙන් කල්පනා කළ යුතුයි කියන තැනට ආවේ.

Q.නමුත් ඔබ යළි උපන්නෙමි විතරයි නැවත පළ නොකරන්නේ. පේරාදෙණි සාහිත්‍යයට අයිති අනෙක් කෘති කරුමක්කාරයෝ දෙපා නොලද්දෝ වාගේ ඒවා පළ කරනවා. ඔබ ඒවාගෙන් විනාශය දකින්නේ නැද්ද?

ඒවා ඒ තරම් නරක නෑ. කරුමක්කාරයෝ පේරාදෙණි බලපෑමට ඉස්සෙල්ලා ලියපු නවකතාවක්. යළි උපන්නෙමි ඇත්ත වශයෙන්ම අර දෙකටම වඩා අපේ සභ්‍යත්වයට සම්පූර්ණයෙන්ම පටහැනි අපේ සංස්කෘතිය හෙළා දකින නවකතාවක්. ඒක අද ගැහුවොත් සමාජයට වැරදි ආදර්ශයක් වෙනවා. අද ලියවෙන ඒවා බලද්දී ඒක පනින රිලවුන්ට ඉනිමං බැදීමක් වගේ වෙනවා. මොකද අද සාහිත්‍යත් යළි උපන්නෙමි සාහිත්‍යක් දක්වා ගමන් කරමින් තියෙන බව පේනවා. යළි උපන්නෙමි නවකතාවේ සන්දර්භයට මම එකග නොවුණත් අඩුගානේ ඒකේ කලාත්මක බවක්වත් තියෙනවා. දැන් ලියන ඒවා එහෙමත් නෑ. අරකේ නරක ලක්ෂණ ටික විතරක් අරගෙන ලිගු දුගඳ වහනය කිරීම පමණයි දැන් නවකතාවලින් කරන්නේ.

කරුමක්කාරයෝ නවකතාවේ ප්‍රේම සම්බන්ධතා තිබුණට මොකද එහි වැදගත්කම තියෙන්නේ පවුල් සම්බන්ධතාවල හෝ ප්‍රේම සම්බන්ධතාවල නෙමෙයි. එක්තරා විදිහකට ගමට ධනවාදී සමාජ ක්‍රමය ඇවිල්ලා, ගමට ඡන්ද ක්‍රමය ලැබිලා, ගමේ සමගිය නැති කරලා, අපගේ පුරුෂාර්ථ, හර පද්දති එක්ක කොහොමද ගම වෙනස් වුණේ කියන එක තමයි නවකතාවේ දක්වන පුළුල් සමාජ චිත්‍රය. ඒක කියන්න නවකතාවට පිටින් ගැටගහපු එක තමයි අර ප්‍රේම කතාව. හුගදෙනෙක්ට මේක තේරිලා නෑ. කරුමක්කාරයෝ චිත්‍රපටය හදනකොට තිස්ස අබේසේකර ගත්තේත් අර ප්‍රේම කතාව. ගම්පෙරළිය නවකතාව චිත්‍රපටයට නගනකොටත් මේ දුර්වලකම තිබුණා. ගම වෙනස් වුණේ කොහොමද කියන පුළුල් සමාජ චිත්‍රය චිත්‍රපටයේ නෑ. තියෙන්නේ අර ප්‍රේම කතාව විතරයි. ඒ නිසා මේ නවකතා දෙකටම ගැටගහපු ප්‍රේමකතාවලට වඩා ඒ යට දිවෙන සමාජ, ආර්ථික, දේශපාලන විපර්යාසයි වැදගත්.

Q.ඔබ මුලින්ම දැන් මේ රටේ සාහිත්‍යක් නැතැයි මත පළ කිරීමට පුරෝගාමී වූ කෙනෙක්. සුචරිත ගම්ලත්, ඒ.වී. සුරවීර වැනි විද්වතුන්ද ජීවතුන් අතර සිටියදී මේ අදහසේ සිටියා. ඔවුනුත් අද පළවෙන නවකතා කියවීම කාලය නාස්ති කිරීමක් යැයි ප්‍රකාශ කළා. ඔබට අනුව හොඳ නවකතාවක් කියන්නේ කුමක්ද?

හොඳ නවකතාවක් නම් ඒකෙන් පෙන්නන්න ඕන මනුස්ස ජීවිතයත් ඒ සමාජයත් අතර ඇති සම්බන්ධතාවය. මනුස්සයා ජීවත් වෙන්නේ යම්කිසි සමාජයකනේ. සාහිත්‍යකරුවා මේ දෙක අතර සම්බන්ධතාවය ගළපන්න ඕන. මේ දෙකෙන් වියෝ වෙච්ච චරිත අරගෙන වැඩක් නෑ. මළගිය ඇත්තෝ නවකතාවෙත්, යළි උපන්නෙමි නවකතාවෙත් සමාජයෙන් වියෝ වෙච්ච චරිත තියෙන්නෙ. යම් කෘතියක සමාජය අමතක කරලා මනුස්සයා ගැන කතා කරලා වැඩකුත් නෑ. මනුස්සයා අමතක කරලා සමාජය ගැන කතා කරලා වැඩකුත් නෑ. මේ දෙක අතර අන්‍යෝන්‍ය සම්බන්ධය ගළපා තිබෙනවා නම් ඒක උසස් නිර්මාණයක් කියන්න පුළුවන්. වික්‍රමසිංහ නවකතාව සමාජයේම පිළිඹිබුවක් ලෙස පෙන්නුවා. සමාජය හසුරවන දේශපාලන, ආර්ථික බලවේග ගැන නවකතාකරුවා අවධානය යොමු කරන්න ඕන. ජනතාවගේ නැණ නුවණ පාදන දේශපාලන හා සමාජ විඥානය පුළුල් කරවන ඥාන මාර්ගයක් පෙන්වන නවකතාවක් වෙන්න ඕන. අපගේ මනස මෙන්ම හදවතද විවෘත කරන මානව දයාවෙන් පිරුණු නිරූපණයක් එහි තියෙන්න ඕන. සාහිත්‍යකරුවා සමාජ විද්‍යාඥායාගෙන් වෙනස් වෙන කරුණ ඒක. අද ඒ වගේ නවකතා පළවෙන්නේ නෑ. සමාජයෙන් වියෝ වෙච්ච චරිත වටා කතුවරයාගේ මනසේ ගැටගහන කෙප්ප තමයි අච්චු ගහලා බෙදන්නේ. ඒ නිසා අද තියෙන්නේ උසස් සාහිත්‍යක් නොව කෙප්ප සාහිත්‍යක්.

Q.ඔබ හිතන විදිහට මේ සාහිත්‍ය පරිහානියට හේතු වූ පසුබිම මොකක්ද?

පේරාදෙණිය සාහිත්‍යයෙන් තමයි මේ පරිහානිය ආරම්භ වෙන්නේ. වික්‍රමසිංහගේ යථාර්ථවාදී නවකතාවට පිටුපාලා පේරාදෙණියෙන් පටන් ගත්තේ මේ සමාජයෙන් වියෝ වෙච්ච එතැනට රැස් වු තරුණයන්ගේ ජීවතවලට පමණක් සීමා වෙච්ච මනැස් පුතුන්ගේ එක්ටැම් සාහිත්‍යයක්. පේරාදෙණිය නවකතාව බිහිවුණේ මිනිසා කියන්නේ සමාජ සත්වයෙක් කියලා සලකන්නේ නැතුව පුද්ගලිකවාදයට මුල් තැන දීපු නවකතාවක් විදිහට. නවකතා විචාරය සඳහා අවශ්‍යය සමාජ සංස්කෘතික දේශපාලන විඥානයෙන් තොරවූ සරච්චන්ද්‍ර මේ කටයුත්තට අත ගැසීම නිසා සිංහල නවකතාවේ වැඩීමට අනර්ථයක් වූ බව අකමැත්තෙන් වුවත් අපට පිළිගන්න වෙනවා. මොකද මේ නිසරු අනුකාරක පේරාදෙණි නවකතාව වැඩුනේ සරච්චන්ද්‍රයන්ගේ සෙවණේ. මේ පේරාදෙණි නවකතාව එක්ක එදා දරුණුවට ගැටුනේ වික්‍රමසිංහ. ඒ මතවාදී ගැටුමෙන් පස්සේ ඇතිවිය යුතුව තිබුණේ වික්‍රමසිංහ පටන් ගත්ත යථාර්ථවාදී හරවත් සාහිත්‍ය සම්ප්‍රදාය ඉදිරියට ගෙන යාමයි. ඒත් එහෙම දෙයක් සිදු වුණේ නෑ. ඊට හේතුව පේරාදෙණිය අනුකරණය කළ අනෙක් විශ්වවිද්‍යාල දෙකත්, රජයේ පාසල්වලත් ඔජවඩනු ලැබුවේ පේරාදෙණි නවකතාව. මොකද එවකට විශ්ව විද්‍යාල ප්‍රවේශය තිබූ මහා විද්‍යාල හා මධ්‍යමහා විද්‍යාල ඇතුළු රජයේ පාසල් බොහොමයක සිංහල උගන්වනු ලැබුවේ පේරාදෙණියෙන් බිහිකරන ලද උපාධිධාරීන් විසින්. එයින් පේරාදෙණි සාහිත්‍ය ආධිපත්‍ය විශ්වවිද්‍යාලයෙන් පිටත ගම්දනව් දක්වාත් පැතිරුණා. සරච්චන්ද්‍රගෙන් පසුවත් ඔහුගේ අන්නේවාසිකයින් විසින් ගුරු පූජාවක් මෙන් ඉදිරියට ගෙන ගියේ අර කාල්පනික සාහිත්‍ය. මේ හේතුවෙන් වික්‍රමසිංහ හෙළි පෙහෙළි කරදුන් සාහිත්‍ය මාර්ගය යටපත් වුණා. ඔහුට සරච්චන්ද්‍රට වාගේ අන්නේවාසිකයන් බෝ කර ගැනීමට විශ්වවිද්‍යාලයක ඉගැන්වීමේ වරප්‍රසාදය තිබුණේ නෑ.

දෙවනුවට,

හතලිස් අටේ නිදහසින් පස්සේ මේ රටේ හරවත් සමාජ දේශපාලන සංවාදයක් සිදු නොවීමත් හරවත් සාහිත්‍යක් බිහිනොවීමට බලපෑවා. ජාතික නිදහස මුල් කරගෙන ඒ යුගයේදී මේ රටේ පැවති සංවාදයේ ප්‍රතිඵලයක් හැටියටයි වික්‍රමසිංහ වාගේ කෙනෙක් බිහි වෙන්නේ. හතලිස් ගණන්වල අනගාරික ධර්මපාලතුමා මූලික කරගෙන ජාතික ව්‍යාපාර ඔස්සේ මෙන්ම පියදාස සිරිසේනගේ නවකතා ආදියේ බලපෑමෙන් යම්කිසි හරවත් චින්තනයක් මේ රටේ තිබුණා. වික්‍රමසිංහගේ නිර්මාණ නිකම් ඕපපාතිකව ඇති වූ දෙයක් නෙමෙයි. ඒ හරවත් සමාජ දේශපාලන චින්තනයේ ප්‍රතිඵලයක් හැටියටයි බිහිවෙන්නේ. ඇත්ත වශයෙන්ම වික්‍රමසිංහ කෙනෙක් බිහි වෙන්නේ නෑ පියදාස සිරිසේන කෙනෙක් නැත්නම්. පියදාස සිරිසේන නිකම් උඩින් මත්තෙන් විචාරකයෙක් විදිහට කියූ දේ තමයි වික්‍රමසිංහ ඊට වඩා ගැඹුරෙන් සලකලා ඉදිරිපත් කළේ. 56 ජයග්‍රහණයටත් බලපෑවේ ජාතික නිදහස මුල් කරගෙන පියදාස සිරිසේන, ධර්මපාල තුමා ආදීන් ඇතිකරපු සමාජ චින්තනය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවුණාට මොකද බණ්ඩාරනායක මහතාටත් තමන් බලයට පත්කරපු සමාජ චින්තනය ඉදිරියට ගෙන යන්න බැරි වුණා. ඒ චින්තනමය පදනම පක්ෂයේ දර්ශනය කරගත්තේ නෑ. අද ඔය පක්ෂය දියවෙලා යන්නෙත් ඒකයි. උපන් දවසේ ඉදලා ඔළුවක් නැති කවන්ධයක්. කිසි චින්තනමය පදනමක් දර්ශනයක් නෑ. මේ අනුව පේනවා එකල පැවති හරවත් සමාජ සංවාදය දේශපාලන පරිවර්තනයකට වගේම වික්‍රමසිංහ වගේ සාහිත්‍යකරුවකුගේ බිහිවීමටත් පසුබිම සකස් කරපු බව. නමුත් එවැනි මතවාදී සංවාදයක් නිදහසින් පසු නොවීම ශේෂ්ඨ චින්තනයක් ඇති සාහිත්‍යයකරුවන් බිහි නොවීමට බලපෑවා. නවකතාකාරයෙක් වුණාම ප්‍රබුද්ධ චින්තනයක් තියෙන්න ඕන. එහෙම නැති අඥානයින් පිරිසකගෙන් හොද නවකතා බිහිවෙන්න විදිහක් නෑ.

තෙවනුවට,

77 ජේ.ආර්. ගේ ඊනියා විවෘත ආර්ථිකය නැමැති නව යටත්විජිතකරණ සංස්කෘතික ආක්‍රමණයත් මේ සාහිත්‍ය අවපාතයට හේතු වුණා. ඔහුගේ කාලයේ සාහිත්‍ය හා ඉතිහාසය නොවැදගත් විෂයන් ලෙස සලකා අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් ඉවත් කරනු ලැබුවා. නමුත් දරුවන්ට දිය යුතු ප්‍රාථමික අධ්‍යාපනයේ කේන්ද්‍රීය නැබ විය යුත්තේ ඒ රටේ ඉතිහාසය හා සාහිත්‍යයි. එහෙත් ජේ. ආර්. කළේ එහි අනෙක් පැත්තයි. ඔහු මේවා ඉවත් කළේ ඒ විෂයන්වල තියෙන වටිනාකම නොදන්නා නිසා නෙමෙයි. ජේ. ආර්. අපට වඩා සාහිත්‍ය ගැන දන්නවා හොඳට. ඔහු ග්‍රීක, ලතින්, ප්‍රංශ, ඉංග්‍රීසි, සෝවියට් ආදී සාහිත්‍ය තියෙව්වේ. ඔහු දැනගත්තා සාහිත්‍ය නැමැති කැඩපත සේවනය කරන්න සැලැස්සුවොත් එය තමන් ගෙනයන අධම සංස්කෘතික ආක්‍රමණයට බාධාවක් වෙන බව. අපේ පාරම්පරික සභ්‍යත්වය, ඇගැයුම්, සමාජ වටිනාකම් මිනිසුන්ට සාහිත්‍ය තුළින් කා වැද්දුවොත් ඒක ජේ. ආර්. ගේ අධිරාජ්‍ය ගැති විජාතික ආර්ථිකට ලොකු බලපෑමක් වෙනවා. ඔහු දන්නවා සාහිත්‍ය කියන්නේ ජනතාවගේ සමාජ විඥානය පුළුල් කරවන්න පුළුවන් දෙයක් බව. ඒ නිසා තමයි අද මේක විජාතික කදවුරේ අය ජාතිකත්වයට එරෙහිව පාවිච්චි කරන්නේ. ජේ. ආර්ට උවමනා වුණේ සාහිත්‍යයෙන් ලබන වින්දනය වෙනුවට ටැලිවිෂනය මගින් කාමෝද්දීපන විනෝදය සපයලා උපන් සමාජයෙන් වියෝ කරන ලද පරපුරක් බිහිකර ගැනීම. එහෙව් පිරිසකට සමාජය හසුරුවන දේශපාලන ආර්ථික බලවේග ගැන විමසා බැලීමේ උවමනාවක් නෑ. ඒකේ ප්‍රතිඵලය හැටියට අද වනවිට සින්දුවෙන් සුපර් ස්ටාර් වීමේ සහ පන්දුවෙන් මුරලිදරන් වීමේ සිහින අභිලාෂය කරගත් මේ රටේ සභ්‍යත්ව විඥානයෙන් දුරස් වූ බුද්ධි හීන ගැටවරයන් පිරිසක් බිහි වුණා. ජේ.ආර්. විවෘත්ත ආර්ථිකය හරහා ඇතිකරපු නව යටත්විජිත සංස්කෘතික ආක්‍රමණය අද උච්චතම අවස්ථාවට පැමිණ තිබෙනවා. ප්‍රභාකරම්ගේ ත්‍රස්තවාදයටත් වඩා භයානක විදිහට නුදුරේදීම මේ රට විනාශ මුඛයට ඇදගෙන යනු ලබන්නේ මේ සංස්කෘතික ආක්‍රමණය විසින්. අද මේ පල්ලක් නැති සාහිත්‍ය විතරක් නෙමෙයි සමස්ත කලාවම යොදා ගන්නේ අපේ පුරුෂාර්ථ හර පද්දති හෙළා දකිමින් ජාතිකත්වයට එරෙහිව ගෙනයන එන්.ජී.ඕ. සංස්කෘතික ආක්‍රමණයේ කොටසක් හැටියයි. මේක තාම හුග දෙකෙන් තේරුම් අරගෙන නෑ.

Q.ඔබ මුලින් පැවසුවා වික්‍රමසිංහ වැනි සාහිත්‍යකරුවකු බිහිවෙන්නේ එකල පැවති සමාජ දේශපාලන සංවාදයේ ප්‍රතිඵලයක් ලෙසින් බව. එතකොට පේරාදෙණි සාහිත්‍යට බලපෑ සංවාදය කුමක්ද? ඒ වගේම පසුකාලීනව හොද සාහිත්‍යක් බිහිවීමට අවශ්‍ය දේශපාලන සංවාදයක් සිදු නොවූයේ ඇයි?

ඕනෑම සමාජයක ඇතැම් යුගවල මේ දේශපාලන සංවාදය බලවත්ව පවත්නා අතර ඇතැම් කාලවල එවැන්නක් නැත්තටම නැති තත්වයක තිබෙනවා. එකල ජාතික නිදහස මුල් කරගෙන හරවත් දේශපාලන සංවාදයක් පැවැතුණා. මම මෙයට දේශපාලන සංවාදය කියන්නේ පක්ෂ දේශපාලනය කියන පටු අරුතින් නොව පුළුල් අරුතින්. මේ දේශපාලන සංවාදය පවත්වාගෙන යනු ලබන්නේ ඒ සමාජයේ ඉන්න ප්‍රාඥයින් ජන නායකයින් විසින්. එදා මේ කටයුත්ත ධර්මපාලතුමා කළා. වික්‍රමසිංහ ආදීන්ගේ නවකතා බිහිවූයේ සමාජයේ ප්‍රබල දේශපාලන සංවාදයක් පැවති අවධියකයි. විශේෂයෙන් නවකතාව කියන්නේ ඒ දේශපාලන සංවාදයේම උත්තර සංවාදය. ඒක නිර්මාණාත්මක විචාරශීලි ප්‍රබුද්ධ සංවාදයක්. එම උත්තර සංවාදය අර දේශපාලන සංවාදයට පෙරළා බලපානවා. සේවය කරනවා. නමුත් පේරාදෙණි නවකතාව බිහිවුණේ එවැනි කිසිම සංවාදයක් නොතිබූ අබුද්දස්ස යුගයකයි. ඒ නවකතා කල්පනා ලෝක මිස සේවය කරපු දේශපාලන සංවාදයක් නෑ. එවකට ප්‍රචලිතව පැවති බටහිර නවකතාවේ ආභාසයෙන් කතුවරයාගේ මනසින් ගැටගහපු කල්පිතයක් පමණයි එහි තිබුණේ. ඒකයි පේරාදෙණි සාහිත්‍යට මනැස් තුන්ගේ සාහිත්‍යක් කීවේ. වික්‍රමසිංහ මේවාට ආදර්ශ සැපයුවේ ජපන් නවකතා කීව්වට ඒ වෙනකොට අපි ජපන් සාහිත්‍ය කියවලා තිබුණෙත් නෑ. ඇත්ත වශයෙන්ම පේරාදෙණි නවකතාවට පිටුබලය ලැබුණේ එවකට බටහිර යුරෝපයේ ප්‍රචලිතව පැවති ඩී.එච්. ලෝරන්ස්, ප්‍රාන්ස් කෆ්කා, ආන්ද්‍රේ ජීත්, ඇල්බෙයා කැමූ ආදීන්ගේ නවකතායි. එයින් පේනවා පේරාදෙණි සාහිත්‍ය කියන්නේ අනුකාරක සාහිත්‍යක් මිස කිසිම සමාජ දේශපාලන සංවාදයක ප්‍රතිඵලයක් ලෙස මේ රටේ පසින් බිහිවෙච්ච සාහිත්‍යක් නොවන බව.

ඊළගට පසුකාලීනව හොඳ සාහිත්‍යක් බිහිවීමට අවශ්‍ය දේශපාලන සංවාදයක් බිහි නොවූයේ ඇයිද අහපු ප්‍රශ්නය ගැන කතා කරනවා නම් මගෙ හිතේ පසුගිය දශක එකහාමාරක දෙකක පමණ කාලය තුළ මේ රටේ තරමක් හෝ ව්‍යාප්ත වූ දේශපාලන සංවාදයක් තිබුණා. ජාතික සංවිධානවල ගිහි පැවිදි නායකයින් මේ සංවාදය රට පුරා ගෙන ගියා. දිවයින, විදුසර, කාලය සගරාව, ආදී වූ ප්‍රකාශන මාධ්‍ය තුළින් මේ දේශපාලන සංවාදය ජනතාව අතරට ගෙන ගියා. එයින් පැහැදිළිවම දේශපාලන ජයග්‍රහණ අප ලබා ගත්තත් සාහිත්‍ය ව්‍යාපාරයක් වර්ධනය කර ගැනීමට නොහැකි වුණා. අද නඩත්තු කරන එන්. ජී. ඕ. සාහිත්‍යට එරෙහිව තිබෙන්නේ මගේ සාහිත්‍ය විතරයි. ඒකනේ ඒ අය මගේ ඉස්සර සාහිත්‍ය හොදයි දැන් නරකයි කියන්නේ. මොකද මගේ නවකතා ඒ අයට ඒ අයගේම මුණ පේන කණ්ණාඩියක් වාගේ. විචාරය පැත්තෙන් සිංහලෙන් ලියන කෙනෙකුට ඉන්නේ සේන තෝරදෙනිය විතරයි. ඇත්ත වශයෙන්ම එතුමාට නවකතාවක් විචාරය කිරීමට අවශ්‍ය සමාජ දේශපාලන විඥානය තිබෙනවා. ඒ ඇරෙන්න මට පේන්නෙ නෑ වෙන කවුරුවත් එහෙම ලියනවා. අද ඒ අඩුව තිබෙනවා. මේක එක්කෙනෙක්ට දෙන්නෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.

Q. පේරාදෙණි සාහිත්‍යයත් අද සාහිත්‍යයත් අතර වෙනස ඔබ දකින්නේ කෙසේද?

පේරාදෙණි සාහිත්‍ය අපේ සංස්කෘතියක පදනම හිතා මතාම බිඳ දැමීම අරමුණු කරගෙන ලියපු ඒවා නෙමෙයි. බටහිර නවකතාව අනුකරණය කරලා ලිව්වාට මොකද එහෙම අරමුණක් තිබුනේ නෑ. එහෙත් අද මේ විදූෂකයන් අතින් ලියවෙන ප්‍රලාප අපගේ සංස්කෘතික පදනම දෙදරවා හරිනු පිණිස හිතා මතාම ලියන ඒවා බව පේනවා. අද සාහිත්‍ය හා කලාව එන්.ජී.ඕ. සංස්කෘතියේ උපාංගයක් බවට පත්කරගෙන තිබෙනවා. මේ ධනවාදී විජාතික සංස්කෘතික ආක්‍රමණයට තියෙන එකම බාධාව තමයි ජාතිකත්වය. එනිසා අද සාහිත්‍යයේ එකම අරමුණ වී තිබෙන්නේ ජාතිකත්වය විනාශ කිරීමයි. එන්.ජී.ඕ. නඩ මගින් එවැනි නවකතා ඔසවා තැබීමට කරන ආවැඩිල්ලෙන්ම එය පැහැදිළියි.

Q.බොහෝ අය අහන දෙයක් තමයි අපි ලෝක සාහිත්‍ය ප්‍රවණතා අවශෝෂණය කරගන් නැතුව හැමදාම සිංහල නවකතාව යථාර්ථවාදී රීතියෙන් ලියවෙමින් එකතැන පල්විය යුතුද කියා. යථාර්ථවාදය යල් පැනගිය එකක් සේ සලකා සමහරු මායා ඉන්ද්‍රජාල ආදී විවිධ ශෛලීන්ට නැඹුරු වෙන බවත් පේනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

අද සිංහල නවකතාව විදූෂකයන් පිරිසක් අත නැටවෙන කෙළිබඩුවක් බවට පත් වෙලා. මේ අය අප හදුන්වන්නේ ලෝක සාහිත්‍ය ප්‍රවණතා ගැන නොදත් ළිං මැඩියන් විදිහට. එය සනාත කිරීමට ඉන්ටනෙට් එකෙන් බොත්තම ඔබලා අහුලා ගත් වචන කට්ටලයක්ද මේ දීන අනුකාරකයන්ට තියෙනවා. අධි යථාර්ථය, මාය යථාර්ථය, අර මැජික් මේ මැජික් වාගේ බහුභූත කතා කියලා කරන කටමැත දෙඩවීම් නිසා ආධුනිකයා නොමග යැවෙනවා.

යථාර්ථවාදය යල් පැනගිය එකක්ය කියන එකත් මේ විදුෂකයන් මොස්තරයට කියන තවත් එක් දුරුමතයක් පමණයි. නවකතාව යථාර්ථයෙන් වෙන් කරන්න බෑ. යථාර්ථය කියන්නේ නවකතාවේ නිජබිම. නවකතාව කියන්නේ යථාර්ථයේම තවත් එක් ව්‍යවහාරයක්. යම් කතාවක් කාල දේශ නිර්ණයෙන් යුතු හේතු ප්‍රත්‍ය නියාමය පදනම් කරගත් කතාවක් නම් ඒක නවකතාවක්. ඒ වගේම යම් කතාවක් කාල දේශ නිර්ණයෙන් තොර නම් හේතු ප්‍රත්‍ය නියාමය නොතකා තිබේ නම් එය නවකතාවක් වශයෙන් හැදින්විය නොහැකියි. එය උපමා කතාවක්, දෘෂ්ටාන්තයක්, නැත්නම් සංකේතාත්මක කල්පිතයක් විය හැකියි. යථාර්ථය සහ නවකතාව දෙකක් නොව එකක් වන්නේ එබැවින්.

ඉන්ද්‍රජාල යථාර්ථය, මායා යථාර්ථය, අධි යථාර්ථය ආදී මොන නම්වලින් හැදින්නුවත් ඒවා යථාර්ථවාදී රීතියේම ප්‍රභේද. මේවා යුරෝපීය හා යුරෝපීය නොවන බටහිර සංස්කෘතිය ඔස්සේ බිහිවූ සංකල්පය. ගාර්ෂියා මාකේස් අනුගමනය කරන ඉන්ද්‍රජාල යථාර්ථවාදය ලතින් ඇමෙරිකානු සංස්කෘතිය ඔස්සේ ආපු එකක්. ලතින් ඇමෙරිකානු ජනතාව දෙවියන්, යකුන්, භූතයන් ආදී විජ්ජා අදහන පිරිසක්. ඒ මයා ලෝකය ඔවුන්ගේ මනසේම කොටසක්. ඒක වත්මන් යුරෝපියන්ට ඉන්ද්‍රජාලයක් වුවත් ලතින් ඇමෙරිකානුවන්ට යථාර්ථයක්. අපටත් මෙවැනි සංස්කෘතියක පසුබිමක් තිබෙනවා. යකුන්, ප්‍රේතයන්, දෙවියන්, හොල්මන් කතන්දර, අනාවැකි නැකැත් මේවා සියල්ල අපේ සංස්කෘතියේ එන යථාර්ථයේම කොටස්. මගේ විල්තෙර, මරණය කෙටිකතා සංග්‍රහයෙත් තිබෙනවා එකපාර ජල රකුසෙක් මතුවෙන සිද්දියක්. එවැනි අභූත කොටස් සලකලා ඒවා ඉන්ද්‍රජාල රීතිය අනුව ලියවිලා තියෙනවා කියන්න බෑ. ඒවා සුද්දෙක්ට නම් ඉන්ද්‍රජාල කතන්දර විය හැකියි. එතකොට ඔවුන් හදුන්වන සංකල්ප අපි අවිචාරවත්ව වැළඳ ගන්න ඕනද? මාකේස්ම කියලා තියෙනවා මගේ නවකතා සම්පුර්ණ යථාර්ථවාදී නවකතා කියලා. ඒ වුණාට බටහිර සුද්දෙක් මොකක් හරි කිව්වම ඒක වැදපුදා ගෙන බාරගන්න ලෑස්තිවෙලා ඉන්න මෝඩයන්ටත් පිරිසක් මෙහේ ඉන්නවා.

සංවාදය
රත්තනදෙණියේ මේධානන්ද හිමි
2018. 01. 05 දිවයින

යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions