1/25/2018

රනිල් ඉවත් කළ යුත්තේ ඇයි?

කතෘ:යුතුකම     1/25/2018   No comments

පසුගිය දිනවල රනිල් වික්‍රමසිංහ දේශපාලනයෙන් ඉවත් විය යුතු බවත් එසේ ඉවත් විය යුත්තේ ඇයි යන කාරණාවත් පැහැදිලි කරමින් සමාජ ජාලා වෙබ් අඩවි තුළ බොහෝ අවස්ථාවල ලිපියක් සංසරණය වෙමින් පැවතිණ. එම ලිපියේම සඳහන් පරිදි එය ලියා ඇත්තේ ජනවාරි 8 වෙනි දින යහපාලනයට ඡන්දය දුන් රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් දැඩි ගෞරවයකින් හා බලාපොරොත්තු සහගත බවකින් යුතුව සිටි පුද්ගලයෙකි. රනිල් වික්‍රමසිංහ දේශපාලනයෙන් ඉවත් යුතු බවට ඔහු සිදුකරන යෝජනාව මම ද තරයේ එකඟ වන නමුත් ඒ ඊට වඩා බොහෝ වෙනස් හේතුන් මතයි.

ශ්‍රී ලංකාව යනු ආර්ථික වශයෙන් දුර්වල නිසි ඉදිරිගාමී සැලැස්මක් නැතිව ඉබාගාතේ යන රටක් ලෙස පැවතීමට ප්‍රධානම හේතුව කුමක් දැයි ශ්‍රී ලංකාවේ පුරවැසියන්නේ විමසුවහොත් අති බහුතරයක් පවසන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලකයින් අමු හොරු වීම බවයි. නමුත් මම සළකන ආකාරයට ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන වළක්වන ප්‍රධානම බාධකය “දේශපාලනඥයින් හොරු වීම” නොවේ, මේ රටේ ජනතාව විශේෂයෙන් උගත් බුද්ධිමත් යයි කියා ගන්නා ජනතාව දේශපාලන දැනුවත්භාවය අතින් දක්වන අධික දුර්වලතාවයයි. සාක්ෂරතාවයෙන් ඉහළ රටක් යැයි ශ්‍රී ලංකාව සැළකුවද දේශපාලන සවිඥානික බව අතින් ඉතාම දුප්පත්ය. විශේෂයෙන්ම “ඉංග්‍රීසි උගත් බුද්ධිමත් ප්‍රජාව” අතර ශ්‍රී ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් ඇති දැනුවත්භාවය දුර්වලය. මෙම සමාජමය ගැටළුවේ ප්‍රතිඵලයක් ලෙස රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ජීවිතය මම සළකමි. තමන්ගේ රට මුහුණ දෙන අභියෝග හා තර්ජන, එහි නූතන දේශපාලන ඉතිහාසය හා ඒ ඒ දේශපාලකයින් ශ්‍රී ලංකාවට ලබා දුන් දායකත්වය සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තිබෙන ජනතාවක් සිටියේ නම් රනිල් වික්‍රමසිංහ වැන්නෙකුට කිසිදා 2015 දී යළි මේ රටේ අග්‍රාමාත්‍යධූරයට පත්විය නොහැකිය. ශ්‍රී ලංකාව රටක් ලෙස එම අනවබෝධයේ ප්‍රතිඵල භුක්ති විඳිමින් සිටින අතර අනාගතයටත් විඳිනු ඇත.

රනිල් වික්‍රමසිංහ යනු වසර 40ක් පුරා ශ්‍රී ලංකාවේ දේශපාලනයේ නියැළී සිටි පුද්ගලයෙකි. සිව් වතාවක් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වුණු කෙනෙකි. නමුත් ඔහු විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් යහපත් දායකත්වයක් සොයා ගැනීමට ඉතා අපහසුය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක හා අර්බුදකාරී සිදුවීම් ගණනාවකට ඔහුගේ නම ඈඳී තිබේ. බටලන්ද වධකාගාර පවත්වා ගැනීම, මිලේනියම් සිටි සිද්ධිය හා බැඳුම්කර සිද්ධිය ලෙස ජනාධිපති කොමිසම් තුනකින්ම ඔහුගේ කාර්යභාරය පිළිබඳව ප්‍රශ්න කර තිබේ. එය දේශපාලකයෙකු වශයෙන් එතරම් යහපත් වාර්තාවක් නොවේ.

වසර 30ක ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක්, ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදයට එරෙහිව හමුදා ක්‍රියාන්විත දෙකක් සිදුකළ රටක වන ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය මැඩ ලීමට ඒ ඒ ආණ්ඩු දැඩි ක්‍රියාමාර්ග ගත්තේය. නමුත් වධාකාගාරයක් තුළ නිවෙසක පදිංචිව සිටි බවට සාක්ෂි වලින් තහවුරු කරගත් එකම දේශපාලකයා වන්නේත් රනිල් වික්‍රමසිංහයි. ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් සිරගත කළ ගෝනවල සුනිල් නැමැත්තා 1981 වසරේ දී ජනාධිපති සමාවක් ලබාගත්තේය. ඒ පිටුපස එවකට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල දේශපාලකයෙකු සිටි බව බොහෝ දෙනා දන්නා කාරණයකි. පසුව මෙම ගෝනවල සුනිල් නැමැත්තා 83 වසරේ වැලිකඩ දෙමළ සිරකරු ඝාතනය ඇතුළු පුද්ගල ඝාතන කිහිපයකට සම්බන්ධ අයෙකු විය. රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික ආරක්ෂකයා වූයේ ද මේ ගෝනවල සුනිල් නැමැත්තායි. රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමති සමයේ දී කොළඹ පාසලකට දරුවෙකු ඇතුළත් කරගැනීමට අවශ්‍ය නම් ගෝනවල සුනිල් වෙත යායුතු බව ප්‍රසිද්ධ රහසකි. රනිල් වික්‍රමසිංහගේ එවකට ඡන්ද කොට්ඨාශය වූ බියගම ප්‍රදේශයේ සිට ජනතාව බිය වැද්දූ පාතාල නායකයා ගෝනවල සුනිල්ය. එපමණක් නොව ස්ත්‍රී දූෂණයකට වැරදිකරු වූ මේ පුද්ගලයාට සාමදාන විනිශ්චයකාර පදවියකුත් පිරිනැමුණි. මෙවැනි ඉතිහාසයක් ඇති රනිල් වික්‍රමසිංහ යටතේ යහපාලනය අපේක්ෂා කරන උගත් බුද්ධිමත් ජනතාවක් ගැන සිතා ගැනීමටත් අපහසුය.

බටලන්ධ වධකාගාර පවත්වා ගැනීම සම්බන්ධයෙන් වූ ජනාධිපති කොමිසමට අනුව රනිල් වික්‍රමසිංහ එම වධකාගාරය තිබූ භුමියට අයත් නිවසක දින ගණන් රැඳී සිට ඇත. එමෙන්ම ඉහළින් ලැබුණු නියෝග මත ශ්‍රී ලංකා පොලිසියේ ඩග්ලස් පීරිස් යන අය පුද්ගලයින් පැහැරගෙන ගොස් එහි රඳවා වධ බන්ධනයක්ට ලක් කර ඇත. පසුව ජනාධිපති කොමිසමට සාක්ෂි දීමට නොහැකි වන සේ මෙම ඩග්ලස් පීරිස් යන පුද්ගලයා ශ්‍රී ලංකාවෙන් පිටමං කෙරිණි. ඉන්පසුව 2000 වසරේ දී චන්ද්‍රිකා ජනාධිපතිනිය නැවත ඩග්ලස් පීරිස් ශ්‍රී ලංකාවට ගෙන ආ විට, ඔහු ප්‍රකාශ කළේ තමාට රනිල් වික්‍රමසිංහගෙන් ජීවිත තර්ජන ඇති බවයි. බටලන්ධ වධකාගාරයේ සිටි ඩග්ලස් පීරිස්ගේ සාක්ෂි නැතිවත් ජනාධිපති කොමිසම නිර්දේශ කළේ බටලන්ද වධකාගාර සිදුවීමට අදාළ දේශපාලකයා වන රනිල් වික්‍රමසිංහගේ සිවිල් අයිතිය ඉවත්කළ යුතු බවයි. ඒ අනුව 2001, 2015 යන වසර වල තුන් වතාවක් අගමැතිවරයා ලෙස දිවුරුම් දෙන්නේ සිවිල් අයිතිය අහෝසි කළ යුතු බවට ජනාධිපති කොමිසමක් විසින්ම නිර්දේශ කළ පුද්ගලයෙකි. නැවතත් රනිල් වික්‍රමසිංහ ලවා යහපාලනයක් උදාකරගැනීමේ උගත් බුද්ධිමතුන්ගේ සිහිනය මුලාවකි.

රනිල් වික්‍රමසිංහ, රාජ්‍ය පාලනයට කෙතරම් නොහැකියාවක් දැක්වුවද ඉතා වාසනාවන්ත පුද්ගලයෙකි. 1993 වසරේ කොටි බෝම්බයකින් ප්‍රේමදාස ජනාධිපතිවරයා ජීවිතක්ෂයට පත්වූ පසු අගමැතිවරයා ලෙස පත්වූයේ රනිල්ය. එතෙක් ශ්‍රී ලංකා හමුදාව මුහුණ දුන් බරපතලම යුධ පරාජය වන පුනරින් කඳවුරට එල්ල වූ ප්‍රහාරය සිදුවූයේ රනිල් වික්‍රමසිංහගේ අග්‍රාමාත්‍ය ධූර කාලයේ දීය. නැවතත් 1994 දී ජනාධිපතිවරණ රැළියකට එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ගාමිණි දිසානායක මරු මුවට පත් වූ අතර සුදුසු නායකත්වයක් එක්සත් ජාතික පක්ෂයේ නැති බැවින් රනිල් වික්‍රමසිංහ නායකයා ලෙස පත්විය. එතැන් සිට මේ වන තුරු පක්ෂයේ නායකයා වන්නේ රනිල් වික්‍රමසිංහයි. ඒ කාලය තුළ අනෙක් ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය තුන්වරක් වෙනස් වී ඇත. දිගින් දිගටම මුහුණ දෙන මැතිවරණ පරාජයන් හමුවේ සිය නායකත්වය බේරා ගැනීමට රනිල් වික්‍රමසිංහ විවිධ කූඨ උපක්‍රම යෙදුවේය. මොහුගෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය අපේක්ෂා කිරීම විහිළුවක් නොවන්නේද?

2001 වසරේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වන රනිල් වික්‍රමසිංහ මැතිවරණ ජයග්‍රහණය ලබාගත් සැණින් සිදුකළේ නෝර්වේ තානාපතිවරයා වූ ජොන් වෙස්ට්බෝග්ට ඇමතුමක් ගැනීමයි. රනිල් ගේ පණිවුඩය වූයේ නෝර්වේ සාම ක්‍රියාදාමය ආරම්භ කිරීමට තමන් සූදානම් බවයි. ඒ වන විට පෙර පැවති චන්ද්‍රිකා රජයේ කදිරගාමර් විදේශ අමාත්‍යවරයා නෝර්වේජියානුවන් පිළිබඳව සැක සංකා සහිත බවකින් සිටියේය. ඔවුන්ගේ තිබුණු කොටි පාක්ෂික බව විශේෂයෙන් සෝල්හයිම් හා බාලසිංහම් අතර සබඳතාවය පිළිබඳව සැක කළේය. රනිල් වික්‍රමසිංහට එය අදාළ වූයේ නැත. ශ්‍රී ලංකාවේ අනෙකුත් පාර්ශවයන් දක්වන අදහස් නොවිමසා බටහිර රටවල තානාපති කාර්යාල වලට රිසිසේ ශ්‍රී ලංකාව පාලනය කරන්නට විය. නෝර්වේජියානුවෝ විසින් බාලසිංහම් සමඟ සකස් කළ සටන් විරාම ගිවිසුමකට පෙබරවාරි 22 වන දින අන්ධයෙකු සේ අත්සන් කළේය. එම ගිවිසුම ශ්‍රී ලංකාවට අහිතකර ද නැතිද යන්නවත් සොයා බැලීමට රනිල් වික්‍රමසිංහ කටයුතු නොකළේය. හමුදා ප්‍රධානින්ට එම ගිවිසුම පෙන්වූයේ ගිවිසුම අත්සන් කිරීමට පැය 24ක් ඇතුළතයි. ඔවුන්ගේ අදහස් විමසුවේ ද නැත. රටේ නායිකාව දැනුවත් කළේද අවසාන මොහොතේදීය. පෙර දින පාර්ලිමේන්තුවට පැවසුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර ගිවිසුම අත්සන් නොකරන බවයි. නමුත් ඒ සියල්ල අමතක කර පෙබරවාරි 22 වන දින ගිවිසුමට අත්සන් කළේය. ඔහු රටේ නායකයා නොවන නිසාත් ව්‍යවස්ථාවට අනුව එවැනි ගිවිසුමක් අත්සන් කිරීමේ බලයක් ඇත්තේ ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට වූ නිසාත් එය ව්‍යවස්ථාව උල්ලංඝනයකි. නමුත් අත්සන් කළාට පසුව චන්ද්‍රිකා ජනාධිපතිනිය වෙත ගොස් ගිවිසුම ඇගේ මේසය මතට විසිකර “ඔන්න මම අත්සන් කලා” යැයි කීවේය. ඉන්පසුව එළඹුණේ ශ්‍රී ලංකා ඉතිහාසයේ තවත් අඳුරු සමයකි.

ශ්‍රී ලංකාව නැවතත් යටත් විජිතයක් වූවා වැනිය. ශ්‍රී ලංකාවේ ආරක්ෂාව පිළිබඳව අගමැතිවරයාට වගකීමක් නැත. ඔහුට අණ දෙන්නේ නෝර්වේජියානු හෝ වෙනත් බටහිර තානාපති කාර්යාලයකිනි. සටන් විරාම ගිවිසුම යටතේ කොටි සාමාජිකයන් කොළඹට පැමිණියහ. රජයට අයත් උතුරු නැගෙනහිර පෙදෙස් තුළට පැමිණියහ. කොටි ධජය යටතේ කාර්යාල ඇති කරගත්හ. ශ්‍රී ලංකාවේ ආරක්ෂක මර්මස්ථානයක් වූ ත්‍රි මලේ නාවික කඳවුර වටකරමින් කොටි කඳවුරු අළුතින් ඉදිකරන්නට විය. රාජ්‍ය අනුග්‍රහය ඇතිව කොටි සාමාජිකයෝ යුරෝපා සංචාර කරමින් ගමන් මළු පුරවාගෙන කටුනායක ගුවන් තොටුපලින්ම නැවත ශ්‍රී ලංකාවට පැමිණියහ. ඔවුන්ගේ මළු පරීක්ෂා කළේ නැත. රනිල් වික්‍රමසිංහ රජය යටතේ ඔවුන්ට පුදුමාකාර නිදහසක් ලැබුණි. ගුවන් තොටුපලේ VIP පහසුකම් ලැබුණි. එපමණක් නොව එම මළු ප්‍රවාහනය කිරීමට ශ්‍රී ලංකා රජය විසින් ගුවන් හමුදා හෙලිකොප්ටර්ද ලබා දුන්නේය. ඒ පිළිබඳ විවේචන රනිල් සත පහකට මායිම් කළේ නැත. ඒ වෙනුවට සිදුකළේ එසේ විවේචනය කරන පුද්ගලයින් ජාතිවාදීන්, ආයුධ වෙළෙන්දන්ගේ ඒජන්තයින් හා සාම විරෝධීන් ලෙස හංවඩු ගැසීමයි. සිය ක්‍රියා පටිපාටිය නිවැරදි කරගැනීමට කිසි දිනක පියවර ගත්තේ නැත.

ශ්‍රී ලංකාවේ බෙදුම්වාදයට එරෙහිව සටන් කළ දෙමළ සංවිධාන වල දේශපාලන නියෝජිතයන් එකින් එක කොටි පිස්තෝල කල්ලිය දඩයම් කළේය. රනිල් වික්‍රමසිංහ රජය යටතේ ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශය බරපතල ගැටළුවකට මුහුණ දුන්හ. කොළඹට කොටි බෝම්බකරුවන් ඇතුළු වීම පිළිබඳව බුද්ධි අංශ ප්‍රධානීන් හා ආරක්ෂක උපදේශක ලබා දෙන වාර්තා “අසත්‍ය වාර්තා” ලෙස බැහැර කළේය. ලෝකයේ කිසිදු රටක නොවූ විරූ අයුරින් ශ්‍රී ලංකා බුද්ධි අංශයේ රැස්වීම් වලට සහභාගී වීමට විදේශිකයෙකුට අවසර ලබා දුන්නේය. රනිල් වික්‍රමසිංහ බලයට පැමිණි කාලයේ දී ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ වල සහායෙන් යුතුව යුධ හමුදාව විසින් ප්‍රභාකරන්ගේ පාලන කලාපය තුළ දිගු දුර මෙහෙයුම් වලින් කොටි නායකයින් දඩයම් කිරීමට ආරම්භ කර තිබුණි. ඒ සඳහා පවත්වා ගෙන ගිය ආරක්ෂක නිවෙස්නයක සිටි හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගෙන මාධ්‍ය ගෙන්වා ඔවුන්ගේ අනන්‍යතාවයන් ප්‍රසිද්ධ කළේය. අවසානයේ ප්‍රභාකරන් විනාශ කිරීමට සූදානම් කළ දිගු දුර මෙහෙයුම අත්හැර දැමීමට සිදුවිණි. රනිල් වික්‍රමසිංහ බලයට ඒමට පෙර ප්‍රභාකරන් එක්වතාවක් ආරක්ෂක අංශ බෝම්බ ප්‍රහාරයකින් තුවාල වී තිබුණි. ඒ අනුව බුද්ධි අංශ විසින් රටේ සතුරා ඉලක්ක කරගැනීමේ මෙහෙයුම සාර්ථක අවසානයක් කරා ගෙනයාමට කටයුතු කරමින් සිටියේය. රනිල් එම මෙහෙයුම නැවැත්වූවා පමණක් නොව ඊට සම්බන්ධ බුද්ධි අංශ සාමාජිකයන්ගේ තොරතුරු ද ප්‍රසිද්ධ කළේය. අවසානයේ බුද්ධි අංශ සාමාජිකයන් හා ඔවුන්ට තොරතුරු ලබා දුන් පුද්ගලයින් රැසක් කොටි පිස්තෝල කල්ලියේ ඉලක්ක බවට පත්විය. එය කුප්‍රකට මිලේනියම් සිටි පාවාදීමයි. මේ රනිල් ගේ දෙවසර තුළ ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය පහළට ගෙනා ආකාරයයි.

එපමණක් නොව ඉතිහාසයේ නොවූ විරු අයුරින් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර අර්බුදය ජාත්‍යන්තරකරණය කරමින් නෝර්වේජියානුවන්ට රිසි සේ කොටි සංවිධානයට ජාත්‍යන්තර පිළිගැනීම හා අනුකම්පාව ලබාගැනීමට ඉඩ කඩ ලබා දුන්නේය. රනිල් වික්‍රමසිංහගේ අදහස වූයේම රටේ සාම ක්‍රියාදාමය ජාත්‍යන්තරකරණය කළ යුතු බවයි. නෝර්වේජියානුවන්ගේත් කොටි සංවිධානයේත් අදහස වූයේ එයමයි. එම ජාත්‍යන්තරයෙන් ගැලවීමට පසුව පැමිණි ශ්‍රී ලංකා රජයන්ට දැඩි පරිශ්‍රමයක් ගන්නට විය.

2004 වසරේ දී රනිල් වික්‍රමසිංහ නැවත පරාජය විය. බලයට පැමිණ වසර දෙකක පමණ කාලයකින් බලය හැරදා යෑමට ඔහුට සිදුවුණි. නමුත් එම කාල සීමාව තුළ ශ්‍රී ලංකාවට දැවැන්ත හානියක් කිරීමට ඔහු සමත් විය. ඔහුගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළේ කදිරගාමර් විදේශ අමාත්‍යවරයායි. ඔහු පාර්ලිමේන්තුවේ දී රනිල් වික්‍රමසිංහගෙන් විමසුටේ රටේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරීභාවය ආරක්ෂා කිරීම විදෙස් රටවලට පවරා දී ඇත්දැයි යන්නයි. බලය අහිමි වූ රනිල් වික්‍රමසිංහ, ජනාධිපති පුටුව වෙත ඇස ගසාගෙන සිටියේය. චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ධූර කාල දෙකම අවසානය. රනිල් වික්‍රමසිංහට අභියෝගයක් වන කෙනෙකු පෙනෙන මානයේ සිටියේ නැත. නමුත් ශ්‍රී ලංකා ජනරජයේ හා එහි වැසියන් එතරම්ම අවාසනාවන්ත නොවීය. රනිල් විසින්ම කිරි පොවා ඇති දැඩි කළ කොටි ත්‍රස්තවාදියා රනිල්ව රැවටුවේය. අවසානයේ රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කළ නොහැකි යැයි පැවසූ කොටි ත්‍රස්තවාදය වසර දෙකහමාරක් තුළ පරාජය කළේය.

රාජපක්ෂ ජනාධිපති සටන් කළේ ප්‍රභාකරන් සමඟ පමණක් නොවේ. 2005 දී තමා ජනාධිපතිවරණයෙන් පරාජය වූ පසුව රාජපක්ෂ රජය පෙරළා දමා නැවත තමා අතට බලය ලබා ගැනීමට රනිල් නොයෙක් වර උත්සාහ ගත්තේය. ශ්‍රී ලංකා රජය කොටි සංවිධානයට එරෙහි යුද්ධය සාර්ථක ලෙස ඉදිරියට ගෙන යන විට ශ්‍රී ලංකා රජය මානව හිමිකම් කඩ කරන බව පවසමින් යුරෝපා සංවිධානයට ගොස් කේළාම් කීවේය. 2007 වසරේ දී ජපන් විශේෂ නියෝජිතයා හමුවී ශ්‍රී ලංකා රජයට ආධාර ලබා දීමෙන් වළකින ලෙස ඉල්ලා සිටියේය. ජපන් නියෝජිතයා ශ්‍රී ලංකාවේ ජනතාවට එසේ කිරීමට තමාට නොහැකි බව කියා සිටියේය. යුද ජයග්‍රහණ ලබමින් සිටින රජය පෙරළා දැමීමට 2007 අයවැයේ දී උත්සාහ කළේය. යුධ ක්‍රියාන්විතයට අවශ්‍ය ලෙස ආරක්ෂක වියදම් පියවා ගැනීමට ගෙනා අයවැය පරාජය කිරීමට දෙමළ සන්ධානය සමඟ එකතු විය. රාජපක්ෂ රජයේ දක්ෂකමින් එයින් ශ්‍රී ලංකාව ගැලවිණි. මේ 2015 දී නැවත අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූ රනිල් වික්‍රමසිංහගේ ඉතිහාසයයි. තම පාලන කාලය තුළ කොටි සංවිධානයට ශක්තිමත් වීමට ඉඩ සැලසූ, යුද ජයග්‍රහණයට බාධා කළ, යුධ ජයග්‍රහණය හෑල්ලු කළ අතරම 2015 දී නැවත බලයට පැමිණි පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සිදුවූ බවත් එම අපරාධකරුවන්ට දඬුවම් කිරීමට හයිබ්‍රිඩ් අධිකරණයක් ඇති කරන බවටත් එකඟ වෙමින් යෝජනාවක් සම්මත කරගැනීමට සම අනුග්‍රහය දැක්වූවේය. මේ රනිල්ගේ වර්තමානයයි. රනිල් වික්‍රමසිංහ දේශපාලනයෙන් සමුගත යුතුය. ඊට ප්‍රධානම හේතුව සිය දේශපාලන දිවිය පුරා ඔහු විසින් ශ්‍රී ලංකා ජනරජයට හා පුරවැසියන්ට සිදුකළ හානියයි. ඔහුට ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයෙකු වීමේ අවම සුදුසු කමවත් නැත. එනම් ඔහු තුළ ශ්‍රී ලංකාව හෝ එහි ජීවත් වන මිනිසුන් කෙරේ පක්ෂපාතීත්වක් නැත. තම රට කෙරෙහි පක්ෂපාතීත්වයක් නොමැති අයෙකු නායකයෙකු වන්නේ කෙසේද?

එමෙන්ම නිදහසින් පසු ශ්‍රී ලංකා ඉතිහාසයේ කළු පැල්ලම ලෙස පාසල් ඉතිහාස පොතටත් රනිල්ගේ නාමය එකතු විය යුතුය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions