11/14/2013

ගැලරියේ හිඳ සමනල සංධ්වනිය නැරඹීමි

කතෘ:යුතුකම     11/14/2013   8 comments





කලාවෙහි කාර්ය භාරය වන්නේ රසිකයා පහන් සංවේගයට පත් කිරීම ය. එබැවින්, රසිකයාගේ මනසෙහි රස ජනිත කිරීම කිසියම් කලා නිර්මාණයකින් අත්‍යවශ්‍යයෙන් ම සිදු විය යුත්තකි. සිනමාව ද කලාවකි. මේ නිසා ම කිසියම් සිනමා නිර්මාණයක උසස් පහත් බව මැනීමේ දී නිර්මාණය මගින් ප්‍රේක්ෂකයා කෙතරම් දුරට රසාශ්වාදයට පත්කරන්නේ ද යන්න අනිවාර්ය නිර්නායකයක් බවට පත් වේ. චිත්‍රපටයේ තේමාව සුන්දර වුවත්, කටුක වුවත්, සමස්ථය සෞන්දර්යාත්මක නොවන්නක් කිසි සේත් ම කලාත්මක චිත්‍රපටයක් විය නොහැක. ඒ කෙසේ වෙතත්, 'ජයන්ත චන්ද්‍රසිරි යනු සෑම විට ම සෞන්දර්යාත්මක ගුණයෙන් අනූන නිර්මාණ බිහි කරන කලා කරුවෙකි' යනුවෙන් අප සිත් තුළ වූ අදහස නිවැරදි බව ඔහු යලිත් ඔප්පු කර ඇත. සිනමාකරුවෙකු ලෙස ජයන්ත පැමිණ ඇති ගමන් මග කෙටි ය. පසුගිය වසර වන විටත් ඔහු අතින් නිර්මාණය වී තිබුනේ චිත්‍රපට දෙකක් පමණි. එහෙත්, ටෙලි නාට්‍යා කරුවෙකු සහ වේදිකා නාට්‍ය කරුවෙකු ලෙස ජයන්ත විසින් අප තුළ ගොඩ නංවන ලද විශ්වාසය යි ඔහුගේ තෙවන සිනමා නිර්මාණය ගැන බලාපොරොත්තු තබා ගැනීමට අප පොළඹවන ලද්දේ. දැන් ඔහු එම නිර්මාණය ද එළි දක්වා ඇත. දැන් එළඹ ඇත්තේ එම තෙවන සිනමා නිර්මාණය වන "සමනල සංධ්වනිය" රස විඳීමේ අපේ වාරය යි.

චිත්‍රපටය සිය කතාවට මුල පුරන්නේ, 1992 වසරේ දී පුණ්‍යා නම් තරුණියක් (යශෝධා විමලධර්ම) සිය ආදරය ඉල්ලා සිටින රේවත නම් තරුණයෙකුට තම කැමැත්ත ප්‍රකාශ කරමින් ලියු ලිපියක් වාදීෂ දේවමින්ද වික්‍රමනායක නම් පාසල් සිසුවාට (සූර්යා දයාරුවන්) හමුවීමේ සිද්ධියකිනි. ලියුම් බෙදන්නා විසින් විසි කරනු ලබන ලිපි ඕනෑ තරම් කියවා ඇති වාදීෂගේ සිත තුළ කම්පනයක් ඇති කිරීමට පුණ්‍යාගේ ලිපිය සමත් වෙයි. එම ලිපිය පෙම් හසුනකි. එය බොහෝ විට යෞවන ප්‍රේමය සම්බන්ධව වාදීෂගේ පළමු අත්දැකීම බව සිතිය හැකිය. ඒ වන විටත් වාදීෂ කෙරෙහි සිය පාසල් මිතුරියක් වන අහිංසා දැරණියගලගේ (බුද්ධිනි පූර්ණිමා) යම් කැමැත්තක් ඇති බව පෙනුනත්, ඔහු ඒ ගැන කිසිඳු උනන්දුවක් දක්වන බවක් නොපෙනේ. අනෙක් අතට, මෙම ලිපිය රේවත සහ පුණ්‍යාගේ ජීවන මගෙහි සන්ධිස්ථානයකි. සෙසු ලියුම් මෙන් කියවා විසි නොකර, මෙම ලිපිය අයිතිකරුවන්ට ම බාර දීමට වාදීෂට සිතෙන්නේ එබැවිනි. මෙම සිද්ධිය මට එකතරා පැරණි සිංහල චිත්‍රපටයක කතාවක් සිහි ගන්වයි. (චිත්‍රපටයේ නම මට මතක නැත). එයින් කියවුනේ වසර ගණනකට පෙර නැති වූ ලියුම් මල්ලක් නිසා, එහි වූ ලියුම් වලට සම්බන්ධ පුද්ගලයන්ගේ ජීවිත තීරණාත්මක ලෙස වෙනස් වී තිබෙන ආකාරය යි. එහෙත්, මෙවැනි එක් ලියුමක් නැතිවීමෙන් ඔවුන්ගේ ජීවිත වලට වන බලපෑම නොගිනිය හැකි නොවේ දැ යි එස්.එම්.එස්. යුගයේ ජීවත් වන තරුණයෙකු ඇසුවොත් එය පුදුමයට කරුණක් ද නොවේ. ඒ අද වන විට අපට සිතා ගත නොහැකි ආකාරයට සන්නිවේදන තාක්ෂණයේ වෙනස් කම් මගින් අප ජීවිත වෙනස් කර ඇති නිසා ය.

මිනිස් සිත විසිතුරු ය; විවිධාකාර ය. 'කිසියම් අවස්තාවකට අදාලව කෙනෙකු සිතන්නේ මෙසේ ය; මේ ආකාරයට ය;' කියා මනස සාධාරණීකරණය  කිරීමකට යමෙකු පෙළඹෙන්නේ නම් එය අනුවණ කමකි. කෙනෙකුට ඉතා සුළු කොට තැකිය හැකි සිදුවීම් පෙළක්, තවත් පුද්ගලයෙකුගේ සිත තුළ වසර ගණනාවක්, ඇතැම් විට ජීවිත කාලය පුරා ම හොල්මන් කළ හැකි ය. මේ සිද්ධිය අරබයා වාදීෂ තුළ ඇතිවන්නේ අතිශය සංකීර්ණ හැඟීම් සමුදායකි. එය පුණ්‍යා නම් වැඩිහිටි තරුණිය කෙරෙහි ඇතිවන හුදු ප්‍රේමයක් ද නොවේ. 'මලීනා' නම් ලෝක ප්‍රකට ඉතාලි චිත්‍රපටයේ රෙනාතෝ නම් නව යොවුන් වියට පිවිසෙන දරුවාගේ සිතෙහි මලීනා නම් වැඩිහිටි කාන්තාව කෙරෙහි ඇතිවන ආකාරයේ රාගය පෙරටු කර ගත් එකක් ද නොවේ, එය. උක්ත ලිපිය රේවත අතට හෝ යළි පුණ්‍යා අතට හෝ පත් නොවීමෙන් ඔවුන්ගේ ප්‍රේමයට අත් විය හැකි ඉරණම ගැන අනුකම්පා සහගත හැඟීමකින් ඇරඹෙන්නකි. එහෙත්, පසුව කුමාරි උද්‍යානයේ දී පුණ්‍යා දැකීමත් සමග ඇගේ රූමත් බවින් කම්පනයට පත් වන නව යොවුන් තරුණයා තුළ ඇගේ භෞතික රූපය කෙරෙහි යම් ආලයක් (ඇල්මක්) හට නොගත්තා යැ යි ද කිව හැකි නොවේ. පුණ්‍යාගේ පසු පසින් ඇගේ නවාතැන්පොල වෙත යාමට වාදීෂව පොළඹවන්නේ මෙම ඇල්ම ද? එසේ යාමෙන් පසුව අභූත චෝදනාවකට ලක් වන හෙතෙම ඉන් ගලවා ගැනීමට පුණ්‍යා දරන උත්සාහය නිසා ඇය ගැන කිසියම් ගෞරවණීය හැඟීමක් ඔහු තුළ ඇති විනැ යි ද අපට උපකල්පනය කළ හැකි ය. කෙසේ වෙතත්, විවිධ අවස්ථානුකූල සිදුවීම් හේතුවෙන් ලියුම නැවත පුණ්‍යාට ලබා දීම මග හැරී යාමත්, ලිපිය සිය වැඩිමහල් සොයුරා අතට පත් වීමත් නිසා තමා අතින් මහා වරදක් සිදු වූයේ ය යන හැඟීමක් ද වාදීෂ තුළ ජනිත වූවා යැ යි කිව හැකි ය. මේ සියල්ල මුසු වූ වචනයෙන් විස්තර කළ නොහැකි සංකීර්ණ හැඟීම් ගොන්න සිය සංගීත නිර්මාණ ඔස්සේ වරින් වර එළි දැක්වෙන්නේ මෙතැන් සිට ය. මේ සියල්ලෙහි අග්‍ර ඵලය වන්නේ, වදීෂ අතින් නිමවෙන 'මට මගේ නොවන මගේ ම ආදරයක් තිබුණා' නම් ගීතය යි. චිත්‍රපටය ඇරඹෙන්නේ ම වර්තමානයේ යොවුන් විය පසු කරමින් සිටින වාදීෂ නම් ජනප්‍රිය ගායකයා සහ සංගීතඥයා (උද්දික ප්‍රේමරත්න) මහා ප්‍රසංගයකදී මෙම ගීතය ගායනා කරන අවස්ථාවකිනි. ඒ අතර තුර දිග හැරෙන්නේ ඔහුගේ නොවන වදීෂගේ ආදරය යි. එය ඔහුගේ ප්‍රථම මෙන් ම එක ම ප්‍රේමය යි. එහෙත් එය ඔහුගේ ප්‍රේමය නොවේ. එය, ප්‍රේමය යනු කුමක් දැ යි ඔහුට කියා දුන් අත්දැකීම යි; සිය ජීවිතයෙන් මකා දැමීමට තැත් කරන අත්දැකීම යි. චිත්‍රපටයේ එක දෙබසකින් කියවෙන ආකාරයට පසුගිය වසර විස්සක පමණ කාලය තුළ තරුණියන් කිහිප දෙනෙක් සමග වාදීෂගේ ප්‍රේම සම්බන්ධතා පැවතී ඇතත්, ඒවා අසාර්ථක වී ඇත්තේ, ආදරය ගැන සිතට නැඟෙන සෑම විටක ම සිය මුල් අත්දැකීම විසින් ඔහු පීඩාවට පත් කරනු ලැබීම විය හැක. මේ මහා සංගීතඥයා මධුලොලියෙකු (බේබද්දෙකු) බවට පත් වන්නේ ද මෙම අත්දැකීම අමතක කිරීම පිණිස මත් පැනින් මෝහය කරා යාමට ඔහු පෙළඹෙන නිසා ය. අවසානයේ, හෙතෙම සෞන්දර්යා නම් තරුණියක් (චතුරිකා පීරිස්) සමග යෝජනාවක් ඔස්සේ විවාහ වන්නේ, සිය හැසිරීම් මගින් බිරිය සහ කුඩා දියණිය පීඩාවට පත් කර යි.


අපි විවිධ කාම වස්තූන් විෂයෙහි ලෝභ, ද්වේශ, මෝහාදී සිතුවිලි ඇති කර ගනිමු. අප එසේ කරන්නේ එම වස්තූන්ගේ ස්වභාවය වෙනස් වන සුළු බව ද අමතක කරමිනි. වසර විස්සකට පමණ පසු කුමාරි උද්‍යානයේ දී ම වාදීෂ නැවත පුණ්‍යා මුණගැසෙන අවස්ථාවේ දී අප (සහ වාදීෂ) පෙර දැක තිබූ සුන්දර ස්ත්‍රී රූපය වෙනුවට දුර්වල, වයස් ගත රූපයක් අප දකින්නේ අනිත්‍යතාව ගැන යම් ඉඟියක් ද ලබමිනි. එම අවස්ථාවේ වාදීෂ තුළ මෙන් ම ප්‍රේක්ෂක අප තුළ ද, පුණ්‍යා දැකීමෙන් ඇති වන්නේ කම්පනයකි. ඒ මොහොතේ වාදීෂගේ කළමණාකාරවරයා වන ඩැනීගේ (විල්සන් ගුණරත්න) මුවින් පිටවන වචන කිහිපය නොවන්නට මේ අදහස තවත් තීව්‍ර වීමට ඉඩ තිබුණි. එසේම අප කම්පනයට පත් කරන තවත් හේතුවක් වන්නේ විසි වසරකට පසුව ද පුණ්‍යා එහි තනිව ම දක්නට ලැබීම යි. එහෙත් පසුව කියවෙන්නේ පුණ්‍යා විවාහ වී සිටියේ බ්‍රිගේඩියර් රේවත දිසානායක (රොජර් සෙනවිරත්න) සමග බවත්, ඔහු වසර කිහිපයකට පෙර හමුදා ක්‍රියාන්විතයක දී මිය ගොස් ඇති බව යි. 92 වසරින් පසුව බොහෝ මාර්තු මාස වල ඔවුන් දෙදෙනා කුමාරි උද්‍යානයට පැමිණෙන්නට ඇත. එහෙත් 1993 වසරේ දී කුමාරි උද්‍යානයට පුණ්‍යා පැමිණ ඇත්තේ රේවත සමග නොවේ. එසේ වූවා නම්, ඇතැම් විට වාදීෂගේ ජීවිතය මීට ඉඳුරා ම වෙනස් වීමට ද ඉඩ තිබුණි. ඇතැම් විට ඔහු තුළ වූ විශිෂ්ට සංගීතඥයා එතනින් ම මිය යන්නට ද ඉඩ තිබුණි. මේ සියල්ලේ ම එකතුව අපට මවා දෙන්නේ රසවත් කතාවකි. මේ කතාවේ පාත්‍ර වර්ගයා මුහුණ දෙන අත්දැකීම් රසවත් යැයි කීම වැරදි ය. එහෙත්, එම අත්දැකීම් ඇසුරෙන් අපට ගොනු කර දෙන කතාව රසවත් බව කීම නිවැරදි ය. එම රසවත් කතාව ඉතාමත් සෞන්දර්යාත්මක ලෙස ඉදිරිපත් කිරීමෙන් ජයන්ත චන්ද්‍රසිරි යලිත් පෙන්වා දෙන්නේ සිනමාකරුවෙකු ලෙස ඔහු සතු ප්‍රතිභාව යි. සමනල සංධ්වනිය වැනි සංගීතය තේමාව කර ගත්, සංගීතමය චිත්‍රපටයක පසුබිම් සංගීතය සහ එහි ගීත වල තනු සහ සංගීතය ගැන කතා නොකරන්නේ නම් මා කරන්නේ විශාල වරදකි. 'කේමදාසයන්ගේ වියෝව ජයන්ත චන්ද්‍රසිරිගේ නිර්මාණ වල සාර්ථකත්වයට හානියක් කළේ ය' යන ප්‍රකාශය මෙම චිත්‍රපටයේ සංගීත නිර්මාණය කළ දර්ශන රුවන් දිසානායකයන්ට කරන අපහාසයක් නොවූවත් ඔහු සිනමා සංගීතඥයෙකු ලෙස පැහැදිලි ඉදිරි ගමනක් ඇත්තෙකු බව මෙතුලින් පසක් කර දෙයි. මගේ දැනුමේ හැටියට මෙය ඔහුගේ ප්‍රථම සිනමා සංගීත අධ්‍යක්ෂණය වෙයි. එහෙත්, විශේෂයෙන් ම චිත්‍රපටයේ සාර්ථකත්වයට මෙහි ගීත වලින් සහ පසුබිම් සංගීතයෙන් සිදු වූ මෙහෙය ඉමහත් ය.

මම සිනමා විචාරකයෙක් නොවෙමි. එහෙත්, මම සිනමා විචාර ද කියවීමට රුචිකත්වයක් දක්වන සාමාන්‍ය සිනමා ප්‍රේක්ෂකයෙක් වෙමි. මට වැටහෙන ආකාරයට ජයන්ත චන්ද්‍රසිරි යනු සිනමා විචාරකයන්ට වඩා මා වැනි සාමාන්‍ය සිනමා රසිකයන් අතර තැනක් දිනා ගත් චිත්‍රපට කරුවෙකි. ඊට එක් හේතුවක් ලෙස මා දකින්නේ අද්‍යතන සිනමා විචාරකයන් අතර අධිපතිවාදී තේමාවන් වන නිරපේක්ෂ යුද විරෝධය, මනෝ විශ්ලේෂණය, ස්ත්‍රීවාදය ආදිය ජයන්තගේ නිර්මාණ තුළට වස්තු විෂය නොවීම ය. දෙවැනි හේතුව වන්නේ, ජයන්තගේ චිත්‍රපට වල දක්නට ලැබෙන ඔහුට ම අනන්‍ය වූ ශෛලිය යි. ජයන්ත චන්ද්‍රසිරි සිය නළු නිළි කැල යොදවන්නේ තාත්වික රංගනයක නොවේ. එම රංගනය තුළ කිසියම් ශෛලිගත ස්වරූපයක් මුසු කරවීම මගින් අපූර්ව සෞන්දර්යයක් ගොඩ නැංවීම ඔහු සතු ප්‍රතිභාව යි. මෙහි දී මට 'හතර දෙනෙක් සෙන්පහියෝ' ටෙලි නාට්‍යයෙහි එන එක්තරා ජවනිකාවක් සිහියට නැඟෙයි. 'පාතාල කල්ලියක නායකයා (බුද්ධදාස විතානාරච්චි) සහ එම කල්ලියේ ම සාමාජිකයෙකු වන ඩයනා (බුද්ධික ජයරත්න) අතර බහින් බස් වීමක් සිදු වෙයි. පාතාල නායකයා සිටින්නේ ඇපල් ගෙඩියක් සපමිනි. කෝපයට පත් වන ඔහු එක් වරම ඇපල් ගෙඩිය ඩයනා වෙත දමා ගසයි. ප්‍රහාරයෙන් ගැලවීමට ඩයනා තම හිස පැත්තකට හරවයි. ඇපල් ගෙඩිය ඔහුට පිටුපසින් සිටි වෙනත් පාතාල සාමාජිකයෙකුගේ හිසෙහි වදියි. ප්‍රහාරයට ලක් වන ඔහු සිහි සුන් ව ඇද වැටෙයි.' ඇපල් ගෙඩියක් හිසෙහි වැදීමෙන් සිහි සුන් වන පුද්ගලයෝ අපට සාමාන්‍ය ජීවිතයේ දී මුණ නොගැසෙති. එහෙත්, අදාළ අවස්ථාවේ දී එවැනි සිද්ධියක් මගින් කිසියම් හාස්‍යයක් ද මුසු රසයක් ජනිත කරවීමට ජයන්ත සමත් වෙයි. ඔහු විසින් යොදා ගනු ලබන මෙම "අර්ධ තාත්වික රංගනය" බටහිර හෝ වෙනත් රටක හෝ සිනමාකරුවන් විසින් යොදා ගනු නොලබන්නේ ය යන්න මගේ හැඟීම යි.මේ නිසා ම ජයන්තගේ නිර්මාණ තුළ පාත්‍ර වර්ගයාගේ මෙම හැසිරීම බොහෝ සිනමා විචාරකයන්ට ගැටළුවක් විය හැකි ය. මා "සමනල සංධ්වනිය" නැරඹීමට අසුන් ගන්නේ ම එතුළ ද මෙම ලක්ෂණය බලාපොරොත්තුවෙනි. කුමාරි උද්‍යානයේ දී කාන්තාවන්ට හිරිහැර කරන මැරයන් දෙදෙනා තුළ මෙන් ම, වාදීෂගේ අයියා (පුබුදු චතුරංග) තුළ ද උක්ත "අර්ධ තාත්වික රංගනය" මට දැක ගත හැකි විය. විශේෂයෙන් ම වාදීෂගේ සොහොයුරා සහ මැරයන් දෙදෙනා අතර හුවමාරු වන දෙබස් කිහිපය තුළ තාත්වික බවක් අන්තර්ගත කරනවාට වඩා රසයක් අර්ධ තාත්වික හැසිරීම් යොදා ගනිමින් මතු කිරීමට සිනමාකරුවා සමත්ව ඇත. එමෙන් ම 'බෝඩිමේ අයියාගේ' කාමරයේ එල්ලා ඇති කාන්තා යට ඇඳුම් දැකීමෙන් තරුණිය (දමිතා අබේරත්න) සිහිසුන් වීම තවත් එවැනි ම උදාහරණයකි. මේ නිසා ම ජයන්තගේ මෙම නිර්මාණය ඊනියා බුද්ධිමත් ප්‍රේක්ෂකයා නොව 'ගැලරිය' ඉලක්ක කර ගත් නිර්මාණයක් බව ඇතැම් විචාරකයන් කියනු ඇත. ඔවුන් එසේ කියන්නේ සෞන්දර්යාත්මක ගුණයෙන් හීන, වාර්තා චිත්‍රපට ලෙස සැලකිය හැකි චිත්‍රපට ඉතා විශිෂ්ට නිර්මාණ ලෙස අගය කරන අතර තුර ය.
බොහෝ විට මෙම සිනමා කෘතියට ඊනියා ජාත්‍යන්තර සම්මාන නොලැබෙනු ඇත. එහෙත්, මගේ නිගමනය වන්නේ සමනල සංධ්වනිය විශිෂ්ට සිනමා නිර්මාණයක් බව ය. ඒ මා එය 'ගැලරියේ' හිඳ නැරඹු නිසා ය.

---දුලන්ජන් විජේසිංහ ----
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

8 comments :

  1. චිත්‍රපටිය නැරඹීමේ ආසාව ජනිත කල විචාරයකි
    ස්තූතීයි ඔබට

    ReplyDelete
  2. සමණල සංධ්වනිය ගැන තිබුණු ඇතැම් විචාර කියෙව්වට පස්සෙ ඔය ඉලව්ව නොබල ඉන්නයි ප්‍රභංග නම් හිතාගෙන හිටියෙ. හැබැයි මේ විචාරෙ කියෙව්වහම නම් අර මුල් තීරණය ගැන නැවත හිතන්න සිද්ද වෙනව. මේක නොබැලුවොත් ආපහු ජාත්‍යන්තර සම්මානයක් නොලැබෙන චිත්‍රපටයක් බලන්න තව කොච්චර කාලයක් බලං ඉන්න වෙයිද කියල කවුද දන්නෙ?

    - ප්‍රභංග

    ReplyDelete
  3. මමත් ජයන්තව දේවත්වයෙන් අදහන කෙනෙක්.ඒත් දෙවියන්ගෙ උනත් අඩුපාඩු පෙන්නන එක අපේ යුතුකම.වාදීශගෙ ජීවිතේට බලපැවෙ තමන් පුණ්‍යගෙ ලියුම හොරකම් කිරිමෙන් ඔවුන්ගෙ පේමයට බාදා කළා කියන වරදකාරි හැගීම. ඇයට ලියුම ලබා දෙන්න යද්දි වාදිශ ඇගෙ යම් සුන්දරත්වයක් දකින්න ඇති. බෝඩිමේදි තමන්ව බේරගත්තම ඔහු ඇයගෙ ආධ්‍යාත්මයට ආදරය කරන්න ඇති. ඇගේ ආධ්‍යාත්මයට ආදරය කරපු ඔහු අවුරුදු විස්සකින් මුනගැහුනම ඇයව සිපගන්න උත්සාහ කරයිද? ඇය තමන්ගෙ ආදරවන්තය විවාහ කරගත් බව දැන ගත්තම වාදිශගෙ වරදකාරි හැගිම නැති වෙලා යන්නෙ නැද්ද? හැබැයි මේ සිද්ධි කිපයෙන් චිත්‍රපටියෙ අගය අඩුවෙන්නෙ නම් නැ. රසවත් කිරි තේකක මැස්සෙක් හිටියම මැස්සව අයින් කරල තේක බොනව මිසක් මම ඒක විසි කරන්නෙ නම් නැ. චිත්‍රපටියෙ තව අඩුපාඩු කිපයක් තිබුනත් මම ඒව කතා කරන්නෙ නැ. මොකද පිරිත් කියකිය මිනී මරන චිත්‍රපටිවලට වඩා මේක ලක්ශවාරයක් වටිනවා. චිත්‍රපටිය බලල එළියට එද්දි තෝන්තු වූ ගතියක්, රෝමෝද්ගමනය වෙන ගතියක්, වෙනම ලෝකෙකට ගියා වගේ ගතියක්, වාදීශ කියන්නෙ මමද වගේ හැගීමක් මට දැනුනා. ඒ වගේ හැගීමක් මීට කලින් දැනුනෙ ගරිල්ලා මාර්කටින් බලල එළියට එන කොටයි

    ReplyDelete
  4. http://www.imdb.com/title/tt2456330/

    ReplyDelete
  5. ඇයි අයියා ගැලරියේ ඉදන් බැලුවෙ? ඉල්ලුවනම් රුපියල් 1500 දෙනවනෙ girl friend එක්ක box එකක ඉදන් බලන්න. සල්ලි ඉතුරු උනානම් ගෙදර යනගමන් කජු ගොට්ටක් අරන්න කන්නත් තිබුන

    ReplyDelete
  6. අය්යා විසින් Anonymous මල්ලී වෙත:
    මල්ලිගේ 1500ත් අරන් රටකජු ගොට්ට යනගමන් නොව, කනගමන් මෙය බැලීමේ ආශාව
    ක්ෂණයෙන් ඇති උවද, "girl friend" කෙනෙක් තවමත් නැතිබව සිහිවීමෙන්, එය සැනෙකින් නැති විය.

    ReplyDelete
    Replies
    1. මෙම ප්‍රතිචාරය සහ ඉහත ප්‍රතිචාරය මගින් පෙනෙන්නේ එම පුද්ගලයන්ගේ රසඥතාව සහ යමක් තේරුම් ගැනීමේ හැකියාවයි. මෝඩ විහිලු වෙනුවෙන් කාලය වැය කරන, මෙවැනි සම්ප්‍රප්ප්‍රලාපකරුවන් සඳහා යෝග්‍යවන්නේ "යුතුකම" වැනි වෙබ් අඩවි නොව, ගොසිප් වෙබ් අඩවි වේ.

      -උදාර ජයරත්න

      Delete
  7. පළමුවෙන්ම දුලන්ජන් සොයුරාට මගේ උණුසුම් සුභ පැතුම්!

    ඔබ සියලු දෙනා ඉදිරිපත් කරන බොහෝ කරුණු සමග එකඟ වන අතර වත්මන් සින්හල සිනමා රසික කැල සම්බන්ධයෙන් යම් කිසි තක්සේරුවකට එළැඹෙන්නට මට මේ චිත්‍රපටය හොඳ අවස්ථාවක් ලබා දුන්නා.

    මා දන්නා බොහෝ දෙනෙක් (මේ සියල්ලන් අඩු වැඩි වශයෙන් ඉහල සහ පහල මධ්‍යම පාන්තිකයින්, රජයේ සහ පෞද්ගලික අන්ශයේ බර අදින සේවකයින්) මේ චිත්‍රපටය ආශිකී 2 චිත්‍රපටය සමග සමපාත කරන්නට, කොටින්ම එහි අනුකරණයක් යැයි කියන්නට පෙලඹෙනවා. (ආශිකී 2 තිරගත වන්නේ සමනල සන්ධ්වනිය රූගත කර කලකට පසුය යන කාරණය අපි මඳකට අමතක කරමු )

    ප්‍රධාන චරිතය උග්‍ර මධු ලෝලියෙක්ය යන පොදු සාධකය හැරුණු කොට මේ චිත්‍රපට දෙක අතර ඇති මූලික සමානත්වය නම් සන්ගීතය සමග ඇති අවියෝජනීය බැඳීමයි. ඒ හැර මේ චිත්‍රපට දෙක සමපාත කල හැකි හෝ සමනල සන්ධ්වනිය යනු ආශිකී 2 හි අනුකරණයක්ය යන්න සාධාරණීකරණය කල හැකි වෙනත් කිසිදු සමානතාවයක් මට නම් නොපෙනේ.

    මෙමගින් මට ගම්‍ය වූයේ
    1) අපේ පරම්පරාවේ රසඥතාවය කොතෙක් ලුහු හා බාල් මට්ටමට වැටී ඇද්ද යන්නත්
    2) පවතින ක්‍රමයේ අසහනකාරී හා අරගලකාරී ජීවන රටාව කොතෙක් දුරට අපේ පරම්පරාවේ චින්තනය යාන්ත්‍රිකකරණයට ලක් කර ඇද්ද යන්නත්ය.

    ඓතිහාසික වශයෙන් මොට කරන ලද හා ආර්ථික වශයෙන් බාල්දු කරන ලද සාහිත්‍ය හා කලා අධ්‍යාපනයේ වැදගත්කම, දශක දෙකක් ඉක්ම යන්නටත් මත්තෙන් පාරාවලල්ලක් අප වෙත පැමිණ ඇති අන්දම මේ ඔස්සේ මොනවට පැහැදිලි වේ. එමෙන්ම, අති ධාවනකාරී ජීවන රටාව, ඉතා ගැඹුරු එමෙන්ම් සියුම් මනෝ භාවයන් ගැන කෙරෙන කථිකාවක්, හුදෙක් එහි මතුපිටින් ලුහු හා බොලඳ අයුරින් අල්ලා ගන්නට තරම් අපව දුබල කර ඇති අයුරු මේ හරහා අපට පසක් කරයි.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com