11/12/2013

අමරසේකරයන්ගේ මැයි දිනය

කතෘ:යුතුකම     11/12/2013   1 comment

නොමැත ම සතු අන් යුතුකම

ලියෝ ටෝල්ස්තෝයි සිය කලාව යනු කුමක්ද? යන නිබන්ධනයේ මෙවැන්නක් සඳහන් කරයි.

’‘කලාකරුවෙකු තමා එයට පෙර කිසිවකුගෙන් අසා නොමැති තමාටම පවා අලුත් වැදගත් කිසිවක්, සිහිනයකින් දැනෙන්නාක් මෙන් යම්තම් දැනගනියි. මේ අලුත් දෙය ඔහුගේ සිත තදින් ඇදගනියි. මෙය ඔහුට වෙන කිසිවකු සමඟ කීමට උවමනා වේ. තමා මෙසේ සිහිනයකින් මෙන් දත් දෙය ඔහු අන් කිසිවකු සමඟ කියයි. එහෙත් ඒ අයට ඔහුගේ සිතෙහි ඇති මේ අදහස නොවැටහෙයි. අන් අයගේ මේ දුරවබෝධත්වය ඔහු තුළ නොසන්සුන් ගතියක් ඇති කරයි. ඉක්බිතිව ඔහු සිය මුළු ශක්තියම යොදා තමා ඒ සිහිනෙන් මෙන් දුටු දෙය ඇත්තක් වශයෙන් වේදැයි සෙවීමට තැත් කරයි. තමාටත් අනුන්ටත් කිසිදු සැකයක් ඇති නොවන සේ ඔහු ඒ තමාගේ හැගීම් සියල්ල කැටි කොට පැහැදිලි සේ ඉදිරිපත් කරයි. මෙසේ කිරීමට ඔහුට තමාගේ මුළු ආත්මශක්තියම අවශ්‍යය. එපමණක් නොව ඒ කාර්යයෙන් යෙදෙන ඔහුගේ තියුණු හැගීම් සියල්ල බලවත් වෙයි. එලෙසින් ඔහුගේ අතින් කලාත්මක කෘතියක් බිහි වෙයි. තමා විසින් විදිනු ලබන තියුණු හැගීම් නිසා ඔහු තුළ බලවත් ප්‍රීතියක් ඇතිවේ. ඔහු බිහි කළ ඒ කලාත්මක කෘතියෙහි රස විදින්නාද ලබන්නේ ඔහු ලැබූ ඒ අත්‍යන්ත ආනන්දයෙන් කොටසකි.

ටෝල්ස්තෝයි සිතන අයුරු කලාත්මක නිර්මාණය මෙවැන්නක් නම් එහි ගැබ් වූ දෙය අලුත් වූද වැදගත් වූද මිනිස් සිත වීමංසනයෙහි හා සිතිවිල්ලෙහි හෙළන්නා වූද අලුත් ප‍්‍රදේශයකට ගෙන යන්නා වූද කරුණක් වනු ඇත.

ගුණදාස අමරසේකරයන් 'කියනු මැන දිවි අරුත' කෙටි කතා සංග්‍රහය රචනා කරමින් සිටින දිනවල අපි එතුමා බැහැදුටිමු. එතුමා තමා විසින් ලියාගෙන යන මැයි දිනය නැමැති කෙටි කතාවට පාදක වූයේ පුවත්පතක පින්තූරයක් සමග පළවූ මැයි පළමු වෙනිදා රිය අනතුරකින් මිය ගිය කතුන් දෙදෙනෙකු පිළිබඳ පුවතක් බව පැවැසීය. "මාර වැඩේ කියන්නේ මේක වෙසක් කාඩ් අරගෙන ආපු වෑන් එකක්" යයි එතුමා පැවැසුවා අපට මතකය. එහි ඇති "මාර වැඩේ" අපට වැටහුණේ අමරසේකරයනට එය පෙනී ගොස් තිබූ ප‍්‍රමාණයකින් අල්පමාත‍්‍රයක් පමණක් බව නොකිවමනාය.

නමුත් ඔහු විසින් ප‍්‍රසූත කළ "මැයි දිනය" නැමැති කෙටි කතාව අප හමුවේ එම "මාර වැඩේ" දිගහැර තබයි. කලාකරුවාගේ කාර්යය අන් කුමක්ද?

මම කවියෙකි හදැති සසල
ලො සත සියළු දුක වළදන
එදුක ලොවට කියනු විනා
නොමැත ම සතු අන් යුතුකම

මේ එතුමාගේ ආවර්ජනා කවි පොතෙහි එන එක් කවි පන්තියක කවකි.


මැයි දිනය

"මැයි දිනය" කතාව ඇරඹෙන්නේ දෙ නෑනෝ මැයි පළමු වැනිදා කුළී වැඩ සඳහා යන ගමනිනි. එහිදී ඔවුන් අතර ඇතිවන කතාවන් මගින් ඔවුන් ගෙවන දුක්ඛිත ජීවිතය පිළිබඳ වැටහීමක් හා අනුකම්පාවක් පාඨකයා තුළ ඇති කරවයි. එමෙන්ම එම දේවල් තුළ පෙනෙන තවත් කරුණක් නම් ඔවුන් තම ඉරණම බාර ගෙන සිටීමය. එය තමන් හා සිය සැමියන් මෙන්ම දරුවන්ද ලබා උපන් සැටි ලෙස සළකා ගැනීමය. 

ඔහු තම දිවිය කොතරම් කටුක හා දුක්ඛිත එකක් වුවද එය බාර ගෙන සිය රෝගී ස්වාමීන් හා දරුවන් නඩත්තුව සඳහා එකම දිවි අරගලයක යෙදෙන අසරණ ගැහැණු දෙදෙනෙකි. ඔවුන්ගේ කතාවෙන් පෙනෙන්නේ ඔවුන් මහත් වූ අතෘප්තිකර සිතින් තැවෙන්නන්ද නොවන බවය. තමන් ගමන් කරන පාර අලුතින් සැකසීම පින් අත්වන වැඩක් ලෙස ඔවුහු සළකති. නමුත් පහේ ශිෂ්‍යත්වයද සමත් වූ සිය දරුවාට යාහැකි ළඟක පාසලක් නොතිබීම ගැනවත් නාගොඩ මද්දි විද්‍යාලයට යැවීමට බෝඩිම සඳහා ගෙවීමට වත්කමක් නොමැතිව සිය දියණියගේ පාසල් ගමන අතරමග නවතින්නට යාම පිළිබඳවත් ඔවුහු රජයටවත් සමාජයටවත් මැසිවිලි නොනගිති. එය තමාගේ මෙන්ම දරුවාගේද ලැබීම ලෙස සළකති. 

කතාවේ දෙවන කොටසේ දී අපට මුණගැසෙන්නේ උක්ත රිය අනතුරට භාජනය වුණු රියෙහි රියදුරු වන විමලසේන හා එහි අයිතිකරු වන ඇක්මන් මුදලාලිත් රිය අනතුර සිදුවන උදයට කලින් රාත‍්‍රියේදීය. ඇක්මන් මුදලාලි සිය එකම අභිලාෂය ලාභය කර ගත් මිනිසෙකි. වෙසක් කඞ්පත් තොගය මුද්‍රණය කරවා කඩ වලට හැකි ඉක්මණින් දැමීමත් අගමැතිගේ බෞද්ධ කොඩි ඇණවුම පොරොන්දු පරිදි භාරදීමත් ඔහුගේ අරමුණය. එය ඉටු කර ගැනීම සඳහා අවැසි වී ඇත්තේ සැඩ පරුෂ වචනයෙන් තම සේවකයා ඇමතීම බව ඔහු විශ්වාස කරයි. ඇක්මන් මුදලාලි සිය චිත්ත සන්තානය තුළ ක්‍රෝධයෙන් දැවෙමින් මුදලට ආශාවෙන් දුක් විදිමින් සිටින්නෙකුය.

වසර ගණනක් අප විසින් අනුගමනය කෙරුණු සමාජ ආර්ථික ක්‍රමවේදය මගින් අප අද සාක්ෂාත් කර ගනිමින් සිටින්නේ බල්ලෝ මරලා හෝ සල්ලි හම්බකර ගත යුතුය යැයි අදහන මිනිසකු නිපදවීම නොවේද? මෙයට උගත් නූගත් භේදයක් නැත. පසුව අපට හමුවන මහේස්ත්‍රාත්තුමා නිතීඥයන් අහිංසකයන් තලා පෙළා හම්බකරගන්නා කාක්කන් ලෙස හඳුනා ගෙන සිටියි. අද අප සමාජයේ බොහෝ වෘත්තිකයන්ට ජඩකම් සිය වෘත්තියේම කොටසක් බවට පත්ව ඇත. අසරණයෙකුව පෙළා ගෙන සිය කද බඩ උස් මහත් කර ගැනීමට අවස්ථාවක් ලැබෙන එකෙකු එය අත්හරින්නේ කලාතුරකිනි. එසේ කිරීම සිය උගත්කම ලත් අයිතිවාසිකමක් ලෙස සළකති.

අපේ පරස්පරය

අගමැති තුමා විසින් ඇක්මන් මුදලාලිට ලබා දී ඇති කොඩිවල ‘‘ පිළිවෙතින් පෙළගැසෙමු’’ යන වගන්තිය මුද්‍රණය කළ යුතුය. නමුත් අප අතර සිටින ඇක්මන් මුදලාලිත් අගමැතිලාත් පෙළගැසෙන මේ පිළිවෙත කුමක්ද? එකම පිළිවෙත නම් කෙසේ හෝ සිය ධනකාමය හා බලකාමය පෝෂණය කළ යුතුය යන්නයි. මොවුහු සමාජයම පෙළගස්වන එකම පිළිවෙත ඒ පිළිවෙත නොවෙද? බුදු දහම මේ කටයුත්ත සඳහා යොදා ගැනෙන්නේ පිට පොත්ත සැරසීමටය. අරටුව සැකසෙන්නේ කාමසුඛල්ලිකානුයෝගයෙනි.

යුද්ධයෙන් පසුව හෝ අප ගත යුතු සමාජ ආර්ථික මග කුමක්ද යන්න පිළිබඳව තීරණාත්මක සංවාදයක් මෙරට තුළ ඇති විය යුතුව තිබිණ. නමුත් එවැන්නක් ඇති වූයේ නැත. අප කළේ මෙතෙක් කල් කර පින්නා ගෙන ආ ධනවාදි මාර්ගයම තවත් සන්තර්පණය කරමින් ඉදිරියට ගෙන යාමයි. ඒ තුළ පිටපොත්තෙන් කෙසේ වෙතත් ඇතුළතින් මධ්‍යයෙන් හා හරයෙන් අපි ඇක්මන් මුදලාලිලා වෙමින් සිටින්නෙමු. පිටපොත්තෙන් ධර්මය තවරා ගෙන බුදු දහම විසින් පිටු දක්නා ලද කාමසුඛල්ලිකා
නුයෝගය අනුව අපගේ ජීවත හරයන් සකසමින් සිටින්නෙමු. මෙයින් අප අදහස් කරන්නේ භෞතික සම්පත් ගොඩ නොනගා ඈත ගම්මානයක් වෙත මුළු රටම යා යුතුය යන බොළඳ අදහස හෝ හුදු ක‍්‍රම විරෝධයක් හෝ නොවන බව මෙහිලා වෙසෙසින් සඳහන් කළ යුතු වන්නේ ඇතැමෙක් විසින් එවන් අරුතක් මේ අදහස්හි ලා ආරෝපනය කරන්නට ඉඩ ඇති බැවිනි. අප පවසන්නේ අනෙකකි.

බුදු දහම විසින් අනුදක්නා ලද්දේ උත්තර මිනිසෙකු බිහි කර ගැනීම හා ඒ මිනිසුන්ට සුදුසු ප‍්‍රතිරූප දේශය ගොඩ නගා ගැනීමයි. එම උත්තර මිනිසා සිය ආශාවන් පසු පස හඹා යන්නෙකු නොව ආශාවන් දමනයට හිත පුරුදු පුහුණූ කරන නිතැතින්ම අල්පේච්ඡතාවය ගරු කොට තකන්නෙකි. නමුත් ධනවාදි ආර්ථිකයක පදනම කාමසුඛල්ලිකානුයෝගය යැයි අප පවසන්නේ එම ආර්ථික ක‍්‍රමවේදය මිනිසා දකිනුයේ මිනිසෙකුට වඩා පාරිභෝගිකයෙකු ලෙස බැවිනි. ධනවාදය ශක්මත්ව පැවැතිය හැක්කේ අසීමිත ආශාවන්ගෙන් පාරිභෝගිකයා පෙළෙන තරමටය. එම ආශාවන් පසුපස නොනිමි රතියකින් හඹා යන පාරිභෝගිකයා නා නා විධි උපකරණ හා මෙවලම් තමා සතුකර ගැනීමේ සටනක යෙදෙයි. එම නිසා ඇතිවන වෙළඳ පොළට එම උපකරණ හා මෙවලම් සැපයීමත් නැවත වටයකින් අර මිනිසාගේ ආශාවන් ත්‍රිවුර කරමින් නොයෙකුත් ආශා උප්පැද්දවීමත් ධනවාදයෙහි කීවත් ලිබරල්වාදයෙහි කීවත් එහි පදනමය. නා නා මාදිලියේ මෝටර් රථ දිනෙන් දින වෙළඳ පොළට නිකුත් කළ හැකි වන්නේ අර පාරිභෝගිකයා නමැති මිනිසා රථ රතියකින් පෙළෙන තරමටය. එම මිනිසා හා රතිය නිර්මාණය කර ගැනීමට මෙම අර්ත ක්‍රමය සමත් වී ඇති නිසාය. ජංගම දුරකථනය මුලින්ම එන්නේ යන තැනකට රැගෙන ගොස් දුරකථන ඇමතුමක් ගත හැකි උපකරණයක් ලෙසිනි. නමුත් අද එයින් කොරන්න බැරි අහවල් එකදැයි අපට ඇසිය හැකිය. ඒ අයුරින් නිපදවෙන හැම ‘‘ඔප්ෂන්’’ එකක්ම තමන්ට වුවමනා වනවාට වඩා සිදු වී ඇත්තේ ඒවාට තමා තුළ ආශාවන් ඉපදීම බව අර නිර්මිත ‘‘ පාරිභෝගිකයා ’’ නැමැති රූකඩ මිනිහා නොදනියි. තමා ඒ මෙවලම් අත්පත් කරගන්නවා යයි ඔහු සිතතත් සැබැවින්ම සිදු වී ඇත්තේ එම මෙවලම් විසින් තමා අත්පත් කර ගැනුම බව ඔහු නොදකියි.

මෙලෙස ඇතිවන කෙලෙස් ආශා යෝනිසෝ මනසිකාරයෙන් නොදකින මිනිසා බුදුදහම විසින් පිටුදක්නා මිනිසෙකු බව අපට පැහැදිළි විය යුතුය. මේ අර්ථ ක‍්‍රමය විසින් නිර්මාණය කරන මිනිසාත් අපගේ අධ්‍යාත්මය හා සංස්කෘතිය විසින් පතන මිනිසාත් යන දෙක එකිනෙකට පටහැනි බව පැහැදිළිය. දෙමාපියන්ගෙන්, පාසලෙන්, විශ්ව විද්‍යාලයෙන් හා සමාජයෙන් අප ඉගෙන ගන්නේත් අප අත්දකින්නේ එකිනෙකට පරස්පර දෑය. මේ සියල්ලෙන් අච්චාරුගත වුණු ව්‍යාධීන්ගෙන් පෙළෙන සමාජයකි වත්මනෙහි අප හමුවේ ඇත්තේ. අප රටේ තරම් සෝබනය ගැන සිතන වෙහෙසෙන  වියදම් කරන පිරිසක් වෙනත් කිසිදු රටක සිටිනවා දැයි සැක සහිතය. ටෙලිවිෂනයට මේවා මිනිසුන්ට බෝ කිරීම එතරම් කජ්ජක් වී නැත.

බටහිර මිනිසා කාර්මීකරණයත් සමඟ ජේසුස් වහන්සේ මෙන් දෙවියන් වහන්සේද කුරුසියේ ඇණ ගසා වළලා දැමීය. එනිසා ඔවුන් ඒ පරස්පරතාවයෙන් සෑහෙන දුරට නිදහස් විය. අද ලංකාවේ ඇතැමෙකුටත් අවැසිව ඇත්තේ වෙනෙකක් නොව, බුදුන් වහන්සේටත් මේ සෙතම අත්කර දීමටය. ඔවුනට බෞද්ධකම මෙන්ම අපගේ සංස්කෘතියද නයාට අදුකොළ වැනිය. බුදුන් වහන්සේ වල දැමිය නොහැකි බව තේරුම්ගත් ඇතැම් පඬියෙක් තනන්නේ බුදුන් වහන්සේ අංක එකේ විද්‍යාඥයා බවට පත් කිරීමටය. එමගින්ද ඔහු සොයන්නේ අප ඉහත  කී පරස්පරතාවයට විසඳුමක් විය යුතුය.

අත්‍යාවශ්‍යය සංවාදය අමතක වීම

71 හා 89 තරුණ කැරළි මෙන්ම කොටි ත්‍රස්තවාදයටත් මූලිකම හේතුව අපට උචිත අප හද මනස විසින් වැළද ගන්නා සමාජ ක්‍රමයක් නිදහසින් පසු යළි සකස් කර ගැනුමට අසමත් වීම බව අමරසේකරයන් විසින් බොහෝ තන්හිදි සිය නිර්මාණ තුළින් මෙන්ම සෘජුවමද පෙන්වා දී ඇත. අප මෙතුවක් කල් කළා සේ ලිබරල්වාදය හෝ මාක්ස්වාදය හෝ ගෙඩි පිටින් අනුකරණය කිරීම එයට විසඳුම නොවේ.

කරුණු මෙසේ නම් අපට ඇවැසි භෞතික සංවර්ධනයත් අප හද මනස පතන උත්තර මිනිසාත් යන දෙ පෙදෙසම එකවර අත්කර ගැනීම පසක් කළ නොහැකි යතාර්ථයක්ද? එය හුදු යුතෝපීය සිහිනයක්ද? අනුරාධපුර , පොළොන්නරු යුගවලදී අපි මේ දෙපෙදසම සාක්‍ෂාත් කරගත් ජාතියක් නොවීමුද? එය සියවස් ගණනාවක් අඛණ්ඩව අවිචින්නව පැවැත්වීමට අපි සමත් වීමු. අනුරාධපුර රාජධානිය ලෝකයේ වැඩිම කාලයක් අග නගරය ලෙස පැවැති නගරය වන්නේ එයට පිටදී සිටිය හැකි ශක්තිමත් පදනමක් , චින්තනයක් අප සතුව තිබුණු නිසා විය යුතුය. අප ඉහතින් සඳහන් කළ අපට දැන් ඇති පරස්පරය එහි නොතිබූ නිසා විය යුතුය.

එකල මෙන් අද පවත්නා ගෝලීය බලපෑම් හමුවේ එවැන්නක් සාක්‍ෂාත් කර ගැනීම ගැන සිතීම හුදු හිතළුවක්, යුතෝපීය සිහිනයක් යැයි ඇතැමෙකු තීරණ කළහොත් පුදුම විය යුතු නැත. එසේම එයට විරුද්ධ විය නොහැකිය. ඒ ඔහුම පවසන ගෝලීය බලපෑම මගින් නිර්මාණය කරන ඔහු (හා අප) වැනි මැකෝලිගේ දරුවන් - කළු සුද්දන් වූ වහල් මානසිකත්වයෙන් පෙළෙන උගතුන් අතින් මෙය බලාපොරොත්තු වීම සිහිනයක් නිසාය.

ඒසඳහා මේ පොළොවේ මුල් අල්ලා වැඩුණු අනුකරණයෙහි නොව අවශෝෂණයෙහි සමත් නිර්මාණශීලි හා විචක්‍ෂණශීලි ආත්ම ශක්තියෙන් යුතු කැපවුණු මිනිසුන් සිටිනා පරම්පරාවක් බිහි විය යුතුය.

මේ කතාව පුරා විපරම් කරමින් විචාරය කළ යුතු පැති ගණනාවකි. මේ කථාවේ එන මහේස්ත‍්‍රාත් ධර්මසිරි මරණ පරීක්‍ෂණයෙන් පසු මැයි පළමු වැනිදා සිය මොටෝරිය නිවස කරා පැදවීමට සිදුවන්නේ මැයි පෙළපාලිය සඳහා කොළඹ කරා එන බස් රථ පෝලිමක් සමගිනි. ඒ බස්රථ තුළින් ධර්මසිරිට ඇසෙන්නේ දෙකන් බිහිරි කරවන ගෝලිව්වාවකි.

රට එකට - බඩ දෙකට
රට පළමුව - බඩ දෙවනුව
කවුද රජා - සිරිල් රජා
රට බේරා - දුන්නු රජා
සිරිල් රජා - අපේ රජා
අමරසේකරයන් මේ ගෝලිච්චාව මඟින් පෙන්නුම් කරන්නේ කුමක් විය හැකිද? මේ මිනිසුන් විසින් බඩ දෙකට දමා රට එකට තබා කියන කතාවෙහි පදනම් චින්තනයෙහි පුරෝගමිකයකු නොවේද අමරසේකරයන්? එය එක්තරා යුගයක අපට අවැසි එකම සංවාදය වී තිබූ බව සැබවි. අදත් ඒ හැඟීම තිබිය යුතු බවද සැබවි. නමුත් අප එහි සිර විය යුතු නැත. ඉහත සඳහන් කළ අත්‍යාවශ්‍යය සංවාදය අප විසින් මතු කර ගත යුතුය. නැතහොත් අප නැවත වරක් පමා වූ ජාතියක් වනු ඇත. එය රජයේ පමණක් වගකීමක් නොව, සියළු දෙනාගේ වගකීමකි. පිළිවෙතින් පෙළ ගැසීම හුදු කොඩියක් වීම වළක්වා ගැනීම මතු පරපුර වෙනුවෙන් අපේ යුතුකමකි. මහේස්ත්‍රාත් ධර්මසිරිට දිගින් දිගටම මැවි මැවී පෙනෙන අර මිය ගිය කතකගේ අසරණ දියණිය තුෂ්ණිම්භූතව බලා සිටිනා විපරීත විලාශයෙන් යුතු වූ මුහුණ අපට කියන්නේ කුමක්ද? කඳුළක් නැති ඇගේ විසල් ඇස් ගෙඩි දෙක බලා සිටින්නේ අප දෙස නොවෙද?


-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, , , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. විමලසේන11/14/2013 10:28 PM

    අමරසේකර මහත්තයා කියන දේට අපි රටක් විදියට මීට වඩා ගොඩාක් අවධානය යොමු කරන්න ඕන කියලා හිතෙනවා. එතුමා අපේ නව කතාව, කෙටි කතාව වගේම කවියත් හරි තැනක පිහිටෙව්වා..අසක් දා කව කවි පන්තිය මඟින් අපේ කවි බස නැවත සකස් උනා කියන එක, ඒ කවි අපේ හදවතට අමත ආකාරයෙන් පැහැදිළි වෙනවා, අද බිහි වෙන කිසිදු දර්ශනයකින් තොර සම්මානලාභී කතා කරුවන්ගේ වග්කීම වෙන්නේ එතැන ඉදලා ඉදිරියට යන එකයි. ඒත් ඒ අයට ඒ වගකීම ගැන අවබෝධයක් තියෙන පාටක් පේන්න නෑ..

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com