11/04/2016

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මල් වට්ටියක්ද?

කතෘ:යුතුකම     11/04/2016   No comments

-මොහාන් සමරනායක-
පළමු කොටස>>


2015 ජනවාරි 8 ජනාධිපතිවරණයෙන් ජයගත් මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත්කොට ස්ථාපනය කළ දින සියයේ ආණ්ඩුව ශ්‍රී ලංකාව පෙළන සියලු දේශපාලන ආර්ථීක හා සමාජයීය ව්‍යාධීනට මූලික නිධානය ලෙස තමන් හඳුනාගත් විධායක ජනාධිපති ක්‍රමය සතු සීමා රහිත බලතල කප්පාදු කොට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනු වස් 2015 අප්‍රේල් 28 වැනිදා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත කොට ගත්තේය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනාගෙන්, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද ඇතුළුව 212 දෙනෙක් ඊට පක්ෂව ඡන්දය දුන්හ. විරුද්ධ වූයේ එක් මන්ත්‍රීවරයකු පමණි.

විධායක ජනාධිපති ක්‍රමය ශ්‍රී ලංකා දේශපාලනයේ සර්ව රෝග නිධානය ලෙස දුටු සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු, අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ 19 වැනි සංශෝධනය සම්මත වීමටත් පෙර එය හැඳින්වූයේ මල්වට්ටියක් ලෙසිනි. අන්තර්ජාතික කටුයුතු සම්බන්ධ ජනාධිපති උපදේශක සහ එක්සත් ජාතීන්ගේ හිටපු විෂයය භාර මහ ලේකම්වරයකු වන ජයන්ත ධනපාල 19 වැනි සංශෝධනය ‘යහ පාලනයේ මධ්‍ය ලක්ෂය’ ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදී පුණරුදයේ කඩඉමක් ලෙසත් ශ්‍රී ලංකාවේ තානාපති ප්‍රජාව හමුවේ නම් කළේය.

19 වැනි සංශෝධනය යහ පාලන ආණ්ඩුවේ විශිෂ්ඨ ජයග්‍රහණයක් බව ජනාධිපති සහ අගමැති නිතර ප්‍රකාශ කරති. මේ ඇගයීම්වල යථාර්තය විමසා බැලෙන කොටස් දෙකකින් යුත් ලිපියක පළමු වැන්න “ඉරිදා” පුවත් පතේ පසුගිය කලාපයේ පළ විය. මේ එහි දෙවැන්නයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත වීමට අමතරව ජනමත විචාරයකින්ද අනුමත විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණ කළ වගන්තිවල ප්‍රකාශිත හා අප්‍රකාශිත අරමුණු පළමු කොටසින් විමසා බැලිණ. සම්මත වූ සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන ලද වෙනස්කම් අද ලිපියෙන් විභාග කෙරෙයි.

විධායක ජනාධිපති ධුරයේ ඇති කළ වෙනස්කම්
ජනාධිපති ධුර කාලය අවුරුදු 6සිට 5 දක්වා අඩු කිරීම.(19වන සංශෝධනයේ 3 වැනි ජේදය, ව්‍යවස්ථාවේ 30 (2) වගන්තිය)

ජනාධිපති පාලනයක් සහිත රටවල ජනාධිපති ධුර කාලය රටින් රටට වෙනස් වෙයි. අමෙරිකාවේ සහ ඉරානයේ අවුරුදු 4කි. රුසියාවේ, ඔස්ට්‍රියාවේ සහ ෆින්ලන්තයේ අවුරුදු 6 ක් වෙයි. රටවල් බහුතරයක අවුරුදු 5කි. ධුර කාලය වසරකින් අඩු කිරීමට නිසා බලයේ සිටින ජනාධිපතිවරයාගේ සහ ඔහුගේ ආණ්ඩුවේ කාර්ය සාධනය ගැන විනිශ්චයක් කිරීමට ජනතාවට පෙරට වඩා කලින් අවස්ථාව උදා වීම යහපත් ලක්ෂණයකි. එසේ වුවද ජනාධිපති ධුර කාලයේ වසරක අඩු වැඩි කිරීමක් ප්‍රජාතන්ත්‍රවාදය පාර්ශවයෙන් තීරණාත්මක අනර්ථයක් හෝ ප්‍රගතියක් හෝ ලෙස ගිනිය නොහැකිය.

පුද්ගලයකුට ජනාධිපති ධුර දැරීමට හැකි වාර ගණන යළි දෙකකට සීමා කිරීම. (සංශෝධනයේ 4 වැනි ජේදය, ව්‍යවස්ථාවේ 31 (2) වගන්තිය )

ජනාධිපති පාලනයක් සහිත බොහෝ රටවල පුද්ගලයකුට ධුරය දැරීමට හැකි වාර ගණන දෙකකි. වියට්නාමයේ එය 3ක් වේ. එක් පුද්ගලයකු දීර්ඝ කාලයක් විධායක බලතල සහිත ජනාධිපති ධුරයේ රැඳී සිටීම අධිකාරිවාදයට, අත්තනෝමතික චර්යාවට සහ දූෂණයට බොහෝ විට මග පාදයි. බලය දූෂ්‍ය වෙයි. පරම බලය අත්‍යන්තයෙන් දූෂ්‍ය වෙයි යනුවෙන් ඇක්ටන් සාමිවරයා ප්‍රකාශ කළේ එනිසා විය යුතුය. පුද්ගලයකුට ජනාධිපති ධුරය දැරිය හැකි වාර ගණන දෙකකට සීමා කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතියකි. එහෙත් බලයේ සිටින වාර දෙක ඇතුළත ජනාධිපති ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාලනය ගෙන යන බව ඉන් සහතික කෙරෙන්නේ නැත. දුබල රාජ්‍ය යන්ත්‍රණයක් සහිත තුන්වැනි ලෝකයේ රටවල ප්‍රබල පෞරුෂයක් සහිත යහපත් පාලකයකු දිගුකල් බලයේ සිටීම අදාළ රටට වාසිදායක වූ අවස්ථා දක්නට තිබේ.

වයස අවුරුදු 35ට අඩු තැනැත්තෙක් (සංශෝධනයේ 21 වැනි ජේදය, ව්‍යවස්ථාවේ 92 (අ) වගන්තිය) හෝ ද්විත්ව පුරවැසියෙක් වන තැනැත්තෙක් ජනාධිපතිධුරයට තෝරාගනු ලැබීමට නුසුදුසු වන්නේය. මේ සංශෝධනය විධායක ජනාධිපති ධුරයේ බල තල අඩු කිරීමට හෝ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට හෝ ඉවහල් වන්නේ කෙසේදැයි පැහැදිලි නැත.

පහත සඳහන් අතිරේක වගකීම් ජනාධිපතිවරයාට පවරා දීම
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කිරීම සහ එය පිළිපැදීම සහතික කිරීම.
ජාතික සංහිඳියාව සහ ඒකාබද්ධතාව ප්‍රවර්ධනය.

ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සහ ව්‍යවස්ථාවේ 7 වැනි පරිද්ජේදයේ සඳහන් ආයතනවල නිසි ක්‍රියාකාරිත්වය පහසු කිරීම සහ සහතික කිරීම.

මැතිවරණ කොමිසමේ උපදෙස් පරිදි නිදහස් හා සාධාරන ඡන්ද විමසීම් හා ජනමත විචාරණ පැවැත්වීමට අවශ්‍ය කොන්දේසි සහතික කිරීම.(සංශෝධනයේ 5 වැනි ජේදය, ව්‍යවස්ථාව 33(1) වගන්තිය)

ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කිරීම සහ පිළිපැදීම සහතික කළ යුතු බව පහත කියැවුණද වත්මන් ජනාධිපතිවරයා ධුරයේ දිවුරුම් දීමෙන් පසු කළ ප්‍රථම කාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිමයෙන් ඇති මන්ත්‍රීවරයකු අගමැති ධුරයට නම් කළ යුතු බව කියැවෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 (3) වගන්තිය අග්‍රාමාත්‍යවරයා පත්කිරීමේ කොන්දේසි ඇතුළත් 47 වගන්තියත් උල්ලංඝනය කෙරිණි. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කොට නීතියේ පාලනය සහතික කිරීම සඳහා 19 වැනි සංශෝධනය ගෙන ආවේ මෙසේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමෙන් පසුවය.

ජනාධිපතිවරයාට සිය අභිමතය පරිසි අගමැතිවරයා ඉවත් කිරීමට තවදුරටත් බලය නැත. (සංශෝධනයේ 9 වැනි ජේදය, ව්‍යවස්ථාවේ 46 (2) වගන්තිය)

මෙය නිසැකව ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට ඉවහල් වන සංශෝධනයකි. අගමැති ධුරයට පත්වනුයේ ඡන්දයෙන් තෝරාගනු ලබන මන්ත්‍රීවරයකු බැවින්ද යම් පක්ෂයක් ජයගතහොත් අගමැති ධුරයට පත්වන්නේ කවුරුන්දැයි මැතිවරණයේදී ජනතාව දැන සිටින බැවින්ද ජනාධිපතිගේ පෞද්ගලික අභිමතය අනුව අගමැතිවරයා ධුරයෙන් පහකිරීමට ඉඩ තිබිය යුතු නැත. එසේම ජනවාරි 8 වෙනසින් පසු අගමැතිධුරයට පත්කෙරුනු රනිල් වික්‍රමසිංහ මහතාට 2004 දී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය යටතේ අත් වූ අභාග්‍ය වළක්වා ගැනීමට 19 වැනි සංශෝධනයේ කර්තෘවරුන්ට අවශ්‍ය වූ බව පැහැදිලිය.

කැබිනට් ඇමැතිවරයකු, කැබිනට් නොවන ඇමැතිවරයකු හෝ නියෝජ්‍ය ඇමැතිවරයකු පත්කිරීමේදී හෝ ඉවත් කිරීමේදී ජනාධිපති අගමැතිගේ උපදෙස් අනුව ක්‍රියා කළ යුතුය

(සංශෝධනයේ 9 වැනි ජේදය, ව්‍යවස්ථාවේ 43 (2),44 (1) සහ 46(3) (අ) වගන්තිය)

එසේ වුවද කැබිනට් ඇමැති සංඛ්‍යාව සහ එක් එක් ඇමැතිවරයාට පැවැරෙන විෂයයන් නිශ්චය කිරීමේදී හා කැබිනට් නොවන ඇමැතිවරුනට විෂයයන් පැවැරීමේදී ජනාධිපති අගමැතිගේ උපදෙස් විමසිය යුත්තේ එසේ උපදෙස් විමසීම අවශ්‍ය යැයි ඔහු/ ඇය සලකන්නේ නම් පමණි. (සංශෝධනයේ 9 වැනි ජේදය, ව්‍යවස්ථාවේ (43) 1,44 (2) වගන්තිය)

19 වැනි සංශෝධනය ජනාධිපති බල තල සීමා කිරීමට වඩා අගමැති බල තල පුළුල් කිරීම අරමුණු කරගත්තක් බව ඉහත ඡේදයෙන් යළිත් පැහැදිලි වේ.

සිය ධුරයේ බල සීමාව ඇතුළත ජනාධිපතිවරයාගේ ක්‍රියාවන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පිළිබඳ අධිකරණ බලයට යටත් වෙයි.( සංශෝධනයේ 7 වැනි 35 වගන්තිය)

සංශෝධනයට පෙර ජනාධිපතිට එරෙහිව කිසිදු නඩු කටයුත්තක් පැවැරීමට නොහැකි විය.

සංශෝධනයෙන් ජනාධිපතිවරයා සතු විමුක්තිය සිවිල් හෝ අපරාධ අධිකරණ ක්‍රියාමාර්ගවලට සීමා කෙරිණ. මෙය ප්‍රජාතන්ත්‍රවාදය අවකාශය පුළුල් කරන ප්‍රගතිශීලි පියවරකි.

පාර්ලිමේන්තුවෙන් ප්‍රතික්ෂේප කරන ලද, ව්‍යවස්ථාව සංශෝධනයක් නොවන, කවර හෝ පනතක් ජනමත විචාරණයකින් ජනතාවට යොමු කිරීමට ජනාධිපතිට ඇති බලය ඉවත් කිරීම. (සංශෝධනයේ 19 වැනි ජේදය, ව්‍යවස්ථාවේ 85(2) වගන්තිය)

මේ සංශෝධනය ජනාධිපතිගේ බලය සීමා කිරීමට පාර්ලිමේන්තුවේ බලය ශක්තිමත් කිරීමට ඉවහල් වන්නකි.

ව්‍යවස්ථාදායක මණ්ඩලය සහ ස්වාධීන කොමිෂන් සභා

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 7 දෙනෙකුගෙන් සහ විශිෂ්ට පුද්ගලයන් තිදෙනකුගෙන් සමන්විත දස පුද්ගල ව්‍යවස්ථාදායක මණ්ඩලයක් ස්ථාපනය කෙරිණි. (සංශෝධනයේ 8 වැනි ජේදය) කථානායක, අගමැති සහ විපක්ෂ නායක නිල බලයෙන් සාමාජිකත්වයට පත්වෙති. ජනාධිපති විසින් එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, අගමැති සහ විපක්ෂ නායක නාමයෝජනා කිරීමෙන් ජනාධිපති විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතරයේ එකඟත්වයෙන් තවත් මන්ත්‍රීවරයකු මණ්ඩලයට පත්කරනු ලැබේ. අගමැතිගේ සහ විපක්ෂ නාම යෝජනා කිරීමෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව පත්කෙරෙන ඉතිරි තිදෙනා රාජ්‍ය සේවයේ හෝ වෘත්තීය ජීවිතයේ විශිෂ්ටත්වයට පැමිණි කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයන් නොවන පුද්ගලයන් විය යුත්තේය. පසුව සඳහන් කරන කොමිෂන් සභා නවයේ සාමාජිකයන් පත් කිරීමට ජනාධිපතිවරයාට හැකිවන්නේ ව්‍යවස්ථාදායක මණ්ඩලයේ නිර්දේශය මත පමණි. ඒවායේ සභාපතිවරු පත්කිරීමට ජනාධිපතිවරයාට හැකි වුවද ඊටද මණ්ඩලයේ නිර්දේශය අවශ්‍ය වන්නේය. එක් එක් කොමිසමේ සභාපතිත්වය සඳහා නම් තුනක් නිර්දේශ කිරීමට මණ්ඩලයට පිළිවන. (සංශෝධනයේ 8 වැනි ජේදය)

අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්, අභියාචනාධිකරණ සභාපති සහ විනිශ්චයකාරවරුන්,අධිකරණ කොමිසමේ සාමාජිකයන්,නීතිපති, විගණකාධිපති, පොලිස්පති, පාර්ලිමේන්තු කොමසාරිස් සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් යන තනතුරුවලට ජනාධිපතිවරයා නම් කරන පුද්ගලයන්ට අනුමැතිය දීම ද ව්‍යවස්ථාදායක මණ්ඩලයේ කාර්යයක් වන්නේය. මණ්ඩලයේ තීරණ හා නිර්දේශ හැකි සෑම විටම ඒකමතික විය යුත්තේය. නැතහොත් අදාළ රැස්වීමට සහභාගිවී සිටින සාමාජිකයන්ගෙන් පස්දෙනෙකුට නොඅඩු සංඛ්‍යාවක අනුමැතිය තිබිය යුත්තේය. සභාපතිට පළමු වටයේදී ඡන්දය දීමට නොපිළිවන. දෙවනි වටයක් අවශ්‍ය වුවහොත් එහිදී තීරක ඡන්දය දීමට ඔහුට පිළිවන. ව්‍යවස්ථාදායක මණ්ඩලයේ නිර්දේශ හා තීරණ මූලික අයිතිවාසිකම් පෙත්සමක ස්වරූපයෙන් අධිකරණයකදී මිස වෙනත් අයුරකින් අභියෝගයට ලක් කළ නොහැකිය.

19 වැනි සංශෝධනයෙන් ස්ථාපිත කොමිෂන් සභා නවය මෙසේය. මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, ජාතික පොලිස් කොමිසම, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, මූල්‍ය කොමිසම, සීමා නිර්ණයන කොමිසම, ජාතික ප්‍රසම්පාදන කොමිසම සහ විගණන සේවා කොමිසම.

ව්‍යවස්ථාදායක මණ්ඩලය සහ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය 19 වැනි සංශෝධනයේ විශිෂ්ටතම ලක්ෂණය ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේ ව්‍යායාමයේ තීරණාත්මක කඩඉමක් ලෙසත් ආණ්ඩුව සහ එහි අනුගාමිකයන් විසින් සාඩම්බරයෙන් හඳුන්වනු ලැබේ. එහෙත් මණ්ඩලයේ සංයුතිය විමසීමේදී එහි ස්වාධීනත්වය පිළිබඳව බරපතල සැක සංකා මතු වෙයි. සභාපති ධුරය හිමි කථානායකට පළමු වටයේදී ඡන්දයක් නැත. ඒ අනුව ප්‍රථම වටයේ ඡන්ද බලය හිමි සංඛ්‍යාව නවයකි. ඉන් බහුතරය 05 කි. නව දෙනාගෙන් හත් දෙනෙකුම අගමැතිගේ සහ විපක්ෂ නායකගේ බලයට යටත්ය. ඔවුහු සියලු දෙනාම තමන්ගේම න්‍යය පත්‍ර සහිත දේශපාලඥයෝ වෙති. එවැනි පිරිසක් ගන්නා තීරණ පත්වීම් සහ නිර්දේශ දේශපාලනයෙන් තොරවනු ඇතැයි අපේක්ෂා කිරීම හිරුගෙන් සිසිලස පැතීම බඳුය.

ජනාධිපතිවරයා පත්වනුයේ රටේ සමස්ත ජන්දදායක ජනගහනයේ බහුතරයේ කැමැත්තෙනි. අගමැති සහ විපක්ෂ නායක කිසියම් දිස්ත්‍රික්කයකින් පත්වන අතර ඔවුනට ජන්දය දෙනුයේ ඒ දිස්ත්‍රික්කයේ බහුතරයක් පමණි. ව්‍යවස්ථාදායක මණ්ඩලයක් පත්කිරීමෙන් සිදුව ඇත්තේ දිස්ත්‍රික්ක විසිපහේම ජනතාවගේ බහුතර ජන්දයෙන් පත්වන ජනාධිපති සතු බලතල දිස්ත්‍රික්ක 2කක් පමණක් නියෝජනය කරන අගමැතිට සහ විපක්ෂ නායකට පවරා දිමය. එය ප්‍රජාතන්ත්‍රවාදය නම් ප්‍රජාතන්ත්‍රවාදයට අලුත් අර්ථ කථනයක් සොයා ගැනීමට සිදු නොවන්නේද?

සෙසු වෙනස්කම් පාර්ලිමේන්තුවේ නිල කාලය අවුරුදු 6 සිට 5 දක්වා අඩු කිරීම (සංශෝධනයේ 15 වැනි ජේදය, ව්‍යවස්ථාවේ 62 (2) වගන්තිය)

ලෝකයේ රටවල් බහුතරයක ව්‍යවස්ථාදායකයේ නිල කාලය වසර 3කි. මෙසේ නිල කාලය අඩු කිරීම ජනතා කැමැත්ත ප්‍රකාශ කිරීමට ඇති අවකාශය පුළුල් වීමක් බැවින් ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර සංශෝධනයක් ලෙස සැලකිය හැකිය.

ස්වකීය අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ජනාධිපතිවරයාට ඇති බලය අහෝසි කිරීම.

19 වැනි සංශෝධනය ප්‍රකාර ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවිය හැක්කේ පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක් යෝජනාවක් සම්මත කළහොත් හෝ පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීමේ සිට අවුරුදු හතර හමාරක් ගෙවී යාමෙන් පසු ඕනෑම වේලාවකදී හෝ පමණි. (සංශෝධනයේ 17 වැනි ජේදය, ව්‍යවස්ථාවේ 70 (1) වගන්තිය)

මේ සංශෝධනය එක් අතකින් පාර්ලිමේන්තුව අත්තනෝමතික ලෙස විසුරුවා හැරීමට ජනාධිපතිට ඇති බලය අහෝසි කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන අතර, අනෙක් අතින් වත්මන් අගමැතිවරයාට ස්වකීය දේශපාලන න්‍යය පත්‍රය 2004දී වූවාක් මෙන් ඇණහිටීමකින් තොරව ඉදිරියට ගෙන යාමට ඉඩ ප්‍රස්ථාව සලසයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට සැලසුම් කරමින් සිටි ආණ්ඩුවක් අගමැතිගේ බලතල ශක්තිමත් කරන සංශෝධනයක් ගෙන ආවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට වඩා අගමැති ප්‍රමුඛ පාලන තන්ත්‍රය රැකගැනීම සඳහාය.

වසර හතර හමාරක් ගෙවී ගිය පසු පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයාට හැකි බවට පනවා ඇති ප්‍රතිපාදනය අර්ථ විරහිතය. පාර්ලිමේන්තුවේ නිල කාලය අවුරුදු හයේ සිට පහ දක්වා අඩු කර ඇති පසු බිමක අවුරුදු හතර හමාරකට පසු ඉතිරි වන්නේ හය මසක් පමණි. මේ සංශෝධනය හාස්‍යය උපදවයි.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ඉන්දියාව සිය මිලිටරි බලය ප්‍රදර්ශනය කොට එදා සිටි ආණ්ඩුව බියගන්වා සම්මත කරනු ලැබූවකි. යහපාලන පෙරළිය සේම 19 වැනි සංශෝධනය ද ඉන්දියාවට අමතරව අමෙරිකාව සහ යුරෝපා සංගමය එක්වී සැලසුම් කරන ලද දේශපාලන ව්‍යාපෘතියක ඵලයක් බවට දැන් බොහෝ සාක්ෂි ලැබී තිබේ. මෙයින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අධිකාරිවාදී, නීතියේ පාලනය හෑල්ලු කළ, නාස්තිකාරී, දූෂිත සහ අහංකාර පරවශ ක්‍රියාකලාපය නිසා ජනතාවගෙන් විශාල පිරිසක් ඊට අනුගත කරගැනීමට ඔහුනට හැකි විය. මේ ව්‍යාපෘතියට බටහිර මුදලින් යැපෙන සිවිල් සමාජය ලෙස හඳුන්වා ගන්නා කණ්ඩායම් ඇතුළු දෙස් විදෙස් බලවේගවලට නොමඳ සහය ලැබිණ.

අනාගත දිනක් එක්සත් ජාතික පක්ෂසයට තර්ජනයකින් තොරව සිය පිළිවෙත් ඉදිරියට ගෙනයාම සඳහා ශක්තිමත් බලයක් ලැබෙන තුරු ජනවාරි 8 සහ අගෝස්තු 17 අත්කරගත් බලය අඛණ්ඩව පවත්වාගැනීම 19 වැනි සංශෝධනයේ මුඛ්‍ය අරමුණ වූයේය. සෝභිත හිමියන් කී මල් වට්ටිය පූජා කිරීමටත් පෙර පර වී තිබිණ.
මොහාන් සමරනායක

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions