11/04/2016

19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මල් වට්ටියක්ද?

කතෘ:යුතුකම     11/04/2016   No comments

-මොහාන් සමරනායක-
19 වැනි සංශෝධන පනත සම්මත වීමට පෙර දිනෙක ඊට සහය දෙන මෙන් මන්ත‍්‍රීවරුන් පෙළඹවීම පිණිස විශාල පිරිසක් සමඟ පාර්ලිමේන්තු මාවත ඔස්සේ පා ගමනක නිරත වූ සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ “මේක මල්වට්ටියක්, ඊට අතගහන්න” යනුවෙන් කීහ.


2015 ජනවාරි 08 දේශපාලන පෙරළියට දායක වූ නන්විධ යහපාලන බලවේග අත මහා පොදු සාධකයක් තිබිණ. ඒ ශ‍්‍රී ලංකාව පෙළන සියලු දේශපාලන, ආර්ථික හා සාමාජයීය ව්‍යාධීන්ගේ ප‍්‍රධාන නිධානය විධායක ජනාධිපති ක‍්‍රමය බැවින් රටට යහපත හා සමෘද්ධිය උදා කිරීමට නම් එය අහෝසි කළ යුතු බව කියන ප‍්‍රවාදයයි.

ජනවාරි 08 වැනිදා ඡන්දය දුන් ජනතාව මේ ප‍්‍රවාදය එසේම පිළිගත්තේද නැද්ද යන්න නිශ්චිත නැති වුවද යහපාලන ආණ්ඩුව විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමේ මුල් පියවර ලෙස හඳුන්වමින් විධායක ජනාධිපති ක‍්‍රමයේ බලතල සීමා කිරීම අරමුණු කොට ගත් 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2015 මාර්තු 16 වැනිදා ගැසට් පත‍්‍රයේ පළකොට 2015 මාර්තු 24 වැනිදා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කළේය.

ගැසට් කරන ලද පනත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත වීමට අමතරව සමස්තය හෝ කොටසක් හෝ ජනමත විචාරණයකින් අනුමත විය යුතු දැයි නිශ්චය කරනු පිණිස කිහිප දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළහ. ගැසට් කරන ලද පනතෙහි එන අංක 11 ඡේදයට අයත් වගන්ති හයක් සහ අංක 26 ඡේදයේ වගන්තියක් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයෙන් සම්මත වීමට අමතරව ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය (SC SD 4 – 19/2015). ජනාධිපති ජාතික සමගියේ සංකේතයක් බව කියැවෙන අංක 33(1) වගන්තිය වැරදි සහගත බව නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එය ඉවත් කරන ලෙස නියෝග කළේය.

මන්ත‍්‍රීවරුන්ගේ නමින් ඡන්ද විමසීමෙන් පසු 2015 අපේ‍්‍රල් 28 වැනිදා පනත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත කෙරිණ. 212 දෙනෙක් පක්‍ෂව ඡන්දය දුන්හ. එක් මන්ත‍්‍රීවරයෙක් විරුද්ධ විය. තවත් අයෙක් වැළැකී සිටියේය. දස දෙනෙක් පැමිණ සිටියේ නැත. කථානායකවරයා 2015 මැයි පහළොස් වැනිදා සිය අත්සන තැබීමෙන් පසු 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතියක් බවට පත් විය.

19 වැනි සංශෝධනය අධිකාරිවාදී විධායක ජනාධිපති ධුරයේ බලතල සීමා කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම සඳහා ගත් විශිෂ්ට පියවරකැයි යහපාලන ආණ්ඩුව යළි යළිත් කියා සිටී. පනත සම්මත වීමට පෙර දිනෙක ඊට සහය දෙන මෙන් මන්ත‍්‍රීවරුන් පෙළඹවීම පිණිස විශාල පිරිසක් සමඟ පාර්ලිමේන්තු මාවත ඔස්සේ පා ගමනක නිරත වූ සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ “මේක මල්වට්ටියක්, ඊට අතගහන්න” යනුවෙන් කීහ.

2015 ජුනි 16 වැනිදා සවස ජයික් හිල්ටන් හීදි ශ‍්‍රී ලංකාවේ තානාපති ප‍්‍රජාව හමුවේ “19 සංශෝධනය, ප‍්‍රජාතාන්ත‍්‍රික පුනරුදයේ කඩඉමක්” මැයෙන් දේශනයක් කළ අන්තර්ජාතික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක සහ එක්සත් ජාතීන්ගේ හිටපු විෂය භාර මහ ලේකම්වරයෙකු වන ජයන්ත ධනපාල 19 වැනි සංශෝධනය විධායක ජනාධිපති ක‍්‍රමයේ ප‍්‍රජාතාන්ත‍්‍රික ඌණතාව මුලුමනින්ම නොවුනද විශාල ප‍්‍රමාණයකින් නිවැරදි කළ බව කියා සිටියේය. යහපාලනයේ මුල් පෙළේ සගයකුවන විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ ප‍්‍රධානී පාක්‍යසෝති සරවනමුත්තු වෙබ් අඩවියකට ලියූ ලිපියක සඳහන් කළේ “බරපතල මතවාදී ආබාධිතයකු සහ අත්‍යන්ත විකෘතියක් ඇත්තකු ලෙස දිස්වන්නේ නැතිව කිසිවකුට හෝ 19 වැනි සංශෝධනයට එරෙහි විය නොහැකි” බවය.

වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීමට උදව් කළ ‘අන්තර්ජාතික ප‍්‍රජාව’ 19 වැනි සංශෝධනය මහත් සේ අගය කළේය. ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන්, මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් සහ යුරෝපා සංගමයේ ප‍්‍රධානීහූ ඔවුන් අතර වූහ. ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත සංශෝධනය අනුමත වීම 2015 අපේ‍්‍රල් 29 වැනිදා වාර්තා කළේ ‘ශ‍්‍රී ලංකාවේ සමකාලීන දේශපාලන ඉතිහාසයේ නව පරිච්ඡේදයක ආරම්භය’ ලෙස හඳුන්වමිනි. සුළං හමන අතට රුවල බානු මිස සංශෝධනය අරභයා ගැඹුරු හා ශාස්ත‍්‍රීය අධ්‍යයනයක් නොකළ සහ එසේ කිරීමේ වුවමනාවක් නොතිබූ ඒකාබද්ධ විපක්‍ෂයද සංශෝධනයට පක්‍ෂව පාර්ලිමේන්තුවේදී ඡන්දය දුන්නේය.

ශ‍්‍රී ලංකාවේ දේශපාලනය නිවැරදි දිශානතියට යොමු කිරීමට නම් දේශපාලන ආර්ථික වර්ධනයන් අරභයා සැඟවූ න්‍යාය පත‍්‍ර සහිත වෘත්තිකයන් සහ විද්වතුන් ඇතුළු සමාජයේ වරප‍්‍රසාදිත ස්ථරය පළකරන අදහස් එසේම පිළිනොගෙන ප‍්‍රත්‍යක්‍ෂ මූලක සාධක ඇසුරෙන් ඒවා විභාග කර බැලීම අත්‍යවශ්‍ය වන්නේය. එවැනි විග‍්‍රහයකින් 19 වැනි සංශෝධනය සෝභිත හිමියන් කී පරිදි මල් වට්ටියක්ද ජයන්ත ධනපාල මහතා කී පරිදි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පුනරුදයේ කඩඉමක්ද නැතහොත් අලංකාර සළුපිළි පලඳවා අයහපත් දේශපාලන අරමුණු සපුරා ගැනීමේ ව්‍යාපෘතියක් ද යන්න තේරුම් ගැනීමට පිළිවන.

එකී අවබෝධය අත්කර ගැනීමට නම් පාර්ලිමේන්තුවේදී සම්මත වූ 19 වැනි සංශෝධනයේ අන්තර්ගතය නොව සම්මත කොට ගැනීම සඳහා ජනමතවිචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීම නිසා සම්මත කොට ගැනීමට නොහැකි වූ වගන්ති ප‍්‍රථමයෙන්ම විමර්ශනය කළ යුතු වන්නේය.

ජනමතවිචාරණකදී අනුමත විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කළ ඡේද මෙසේය:

පනතේ 11වැනි ඡේදය:
යෝජිත වගන්තිය 42(3):
අග‍්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රධානියා වන්නේය.

යෝජිත වගන්තිය 43(1):
අග‍්‍රාමාත්‍යවරයා අමාත්‍යවරුන් සහ අමාත්‍යංශ සංඛ්‍යාව සහ එකී අමාත්‍යවරුන්ට පවරන විෂයය සහ කාර්යය නිශ්චය කළ යුත්තේය.

යෝජිත වගන්තිය 43(3):
විෂයයන් පැවරීම ඕනෑම වෙලාවක වෙනස් කිරීමටත් අමාත්‍ය මණ්ඩල සංයුතියේ වෙනස්කම් ජනාධිපතිවරයාට නිර්දේශ කිරීමටත් අග‍්‍රාමාත්‍යවරයාට බලය ඇත්තේය.

යෝජිත වගන්තිය 44(2):
අග‍්‍රාමාත්‍යවරයා කැබිනට් නොවන අමාත්‍යවරුන්ට පවරන විෂයය සහ කාර්යය නිශ්චය කළ යුත්තේය.

යෝජිත වගන්තිය 44(3):
කැබිනට් නොවන අමාත්‍යවරුන්ට පවරන විෂයයන් ඕනෑම වේලාවක වෙනස් කිරීමට අග‍්‍රාමාත්‍යවරයාට බලය ඇත්තේය.

යෝජිත වගන්තිය 44(5*:
අග‍්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි ඕනෑම අමාත්‍යවරයෙකුට ගැසට් පත‍්‍රයේ පළකරනු ලබන නිවේදනයක් මගින් තමාට පවරා ඇති යම් බලයක්, වගකීමක් හෝ කාර්යයක් අන්කවර හෝ අමාත්‍යවරයකුට පවරා දිය හැක්කේය.

පනතේ 26වැනි ඡේදය:
යෝජිත වගන්තිය 104 ආ (5) (ඇ):
මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති රෙගුලාසි උල්ලංඝනය කරන්නා වූ රාජ්‍ය හෝ පෞද්ගලික ගුවන් විදුලි/ රූපවාහිනි ආයතනයක කළමනාකාරිත්වය පවරා ගැනීම සඳහා නිසි බලධාරියෙකු පත්කර ගැනීමට මැතිවරණ කොමිසමට බලය ඇත්තේය. නිසි බලධාරියා දේශපාලන වැඩසටහන්වලට හෝ මැතිවරණයට බලපෑමක් කළ හැකි සෙසු වැඩසටහන්වලට අදාළ වන ප‍්‍රමාණයට මැතිවරණය අවසන් වනතුරු කළමනාකාරිත්වය පවරා ගත යුත්තේය.

තවමත් ක‍්‍රියාත්මක 1978 දී සම්මත ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි තුන්වැනි ඡේදයෙහි සඳහන් පරිදි “ශී‍්‍ර ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය”. ඉහත වගන්තිවලින් කියැවෙන බලතල පරමාධිපත්‍යය හිමි ජනතාව විසින් ඡන්දයෙන් තෝරා ගනු ලබන ජනාධිපතිවරයාට පවරා තිබේ. එකී බලතල අගමැතිවරයාට පැවැරීමට 19 වැනි සංශෝධනයෙන් උත්සාහ කරනු ලැබීය. ජනතාව ජනාධිපතිවරයාට පවරා දුන් බලතල අග‍්‍රාමාත්‍යවරයාට පැවැරීමට නම් ජනමත විචාරණයකින් ජනතාවගේ කැමැත්ත ගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයෙහි සරල අර්ථයයි. එසේ නම් මෙහිදී නෛතික මෙන්ම දේශපාලන සදාචාරය පාර්ශ්වයෙන්ද බරපතල ප‍්‍රශ්නයක් පැන නගී.

සාමාන්‍යයෙන් සිදුවන පරිදි කවර රටක වුවද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, ඊට එක් කෙරෙන සංශෝධන සහ වෙනත් අණපනත් සම්පාදනය කරනුයේ තත් විෂයයෙහි ප‍්‍රාමාණික දැනුමක් සහ පරිචයක් ඇති විශේෂඥයන් විසිනි. ශ‍්‍රී ලංකාවේදී එය එසේ නොවීමට හේතුවක් නැත. 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පාදනය කරන්නට ඇත්තේ අදාළ ක්‍ෂේත‍්‍රයේ විශේෂඥයන් විය යුතුය. ඉහත සඳහන් වගන්ති පාර්ලිමේන්තුවෙන් සම්මත වීමට අමතරව ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බව මෙකී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විශේෂඥයන් දැන සිටියේ නැද්ද? නොදැන සිටියේ නම් ඔවුන් විශේෂඥයන් විය නොහැකිය. එසේ නම් 19 වැනි සංශෝධනය සම්පාදනය කර ඇත්තේ නීති ක්ෂේත‍්‍රයේ දුහුනන් පිරිසක් විසිනි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කඩ ඉමක් සලකුණු කිරීම එවැනි පිරිසකට භාරදීම විමතිය දනවයි.

නැතහොත් වැදුණොත් වැදුණාවේ කියා ගල් ගසන න්‍යායෙන් සිතා කුමක් හෝ හේතුවක් නිසා ශ්‍රේෂ්ඨාධිකරණය ජනමත විචාරණයක් අවශ්‍ය යැයි නිශ්චය නොකළහොත් පාර්ලිමේන්තුවේ තමන් සතු බහුතරයෙන් පනත සම්මත කරගැනීමේ පවිටු චේතනාවක් මේ පිටුපස වීද? එසේ සිතන්නට ප‍්‍රමාණවත් හේතු තිබේ. ශී‍්‍ර ලංකා දේශපාලන දේහයේ සර්ව රෝග නිධානය විධායක ජනාධිපතික‍්‍රමය බැවින් එය අහෝසි කිරීම හෝ බලතල විශාල ලෙස සීමා කිරීම හෝ කළ යුතු බව යහපාලන අද්වකාත්වරු ජනාධිපතිවරණයට පෙරත් පසුත් කියා සිටියහ. (වත්මන් ජනාධිපති පොරොන්දු වූයේ බලතල සීමා කිරීමට නොව විධායක ජනාධිපති ක‍්‍රමය මුළුමනින් අහෝසි කිරීමටය.) වත්මන් ව්‍යාවස්ථාවෙන් ජනාධිපතිවරයාට පවරා දී ඇති ඇමැතිවරුන් පත් කිරීම වැනි බලතල සමහරක් අගමැතිට පවරා දීමට 19 වැනි සංශෝධනය උත්සාහ කළේ බලතල සීමාකිරීමේ අරමුණ ඇතිවය.

ජනමත විචාරණයකින් අනුමත විය යුතු යයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ වගන්ති වලින් කියැවෙන බලතල විධායක ජනාධිපති වෙත තිබියදී ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හෝ අධිකාරීවාදී හෝ වන්නේත් එකී බලතලම අගමැතිවරයාට පැවරූ විට ප‍්‍රජාතන්ත‍්‍රවාදී වන්නේත් අධිකාරීවාදී නොවන්නේත් කෙසේ දැයි පැහැදිලි නැත. ජනාධිපති සෘජුවම පාර්ලිමේන්තුවට වග නොකියන බවත් අගමැති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු බැවින් පාර්ලිමේන්තුවට වගකීමට බැඳී සිටින බවත් යහපාලන අද්වකාත්වරුන් තර්ක කරන්නට පිළිවන.

තර්කයක් ලෙස එහි වලංගු භාවයක් පවතී. එහෙත් ප‍්‍රායෝගිකව සහ නිදහසින් පසු අපේ ඉතිහාසය සලකන විට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වූ අගමැතිවරුන් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී සහ අධිකාරීවාදී ලෙස කි‍්‍රයා කර ඇති බව දැක ගත හැකිය. පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කරමින් හා දවස පුවත්පත සීල් තබමින් බණ්ඩාරනායක මැතිනිය ගෙන ගිය පාලනය ඊට නිදසුනකි. එසේ තිබියදී ඉහත කී ආකාරයේදී බලතල ලැබුණු විට ඔවුන් සංයමයෙන් කි‍්‍රයාකරනු ඇතැයි සිතීමට තාර්කික පදනමක් නැත.

1978 ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථාවේ පරිච්ඡේද 34කි. අගමැති සඳහා වෙන්වූ පරිච්ඡේදයක් එහි නැත. ජනාධිපති සතු බලතල හා කාර්යයන් ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා තිබුණ ද අගමැති සතු බලතල හෝ කාර්යයන් සඳහන් කර නැත. අගමැති යන නාම පදය පවා ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ දහ වරකටත් අඩුවෙනි. රණසිංහ පේ‍්‍රමදාස මහතා අගමැතිව සිටියදී තමා පියන් කෙනෙකුට සමාන කර ගත්තේ ඒනිසා විය යුතුය. එහෙත් වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහ ව්‍යවස්ථාවෙන් පැවරී නැති බොහෝ බලතල තමන් අතට ගෙන ඇති බව නොරහසකි. මින් පෙර 2001 දෙසැම්බර් 05 මහ මැතිවරණයෙන් අගමැති ධුරයට පත් වූ විට ද ඔහු කි‍්‍රයා කළේ හිමි නැති බලතල සියතට ගනිමිනි.

ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථාවේ 33 ඡේදයේ ‘ඉ’ වගන්තිය අනුව යුද්ධ ප‍්‍රකාශ කිරීමට හා සාමය ප‍්‍රකාශ කිරීමට බලය ඇත්තේ ජනාධිපතිට වුවද වික‍්‍රමසිංහ මහතා එදා ජනාධිපතිනිය හෝ පාර්ලිමේන්තුව හෝ දැනුවත් නොකොට 2002 පෙබරවාරි 22 දා එල්ටීටීඊය සමග සටන් විරාම ගිවිසුමක් අත්සන් තැබීය. ව්‍යාවස්ථාවෙන් බලයක් හිමිවී නැත ද වත්මන් ආණ්ඩුවේ අගමැති දේශපාලනය, ආර්ථිකය හා විදේශ ප‍්‍රතිපත්තිය වැනි ක්ෂේත‍්‍රවල අතිශය වැදගත් තීරණ ගනිමින් සිටී. ජනාධිපති සිරිසේනම කියන පරිදි මෙසේ ගනු ලබන ඇතැම් තීරණ ඔහු දැන ගන්නේ ජනමාධ්‍යයෙනි. ඉතින් ජනාධිපති සතු බලතල 19 වැනි සංශෝධනයෙන් අගමැති වෙතට පවරා දීමට ගත් උත්සාහය ‘මල් වට්ටියක්’ හෝ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී පුනරුදයේ කඩඉමක්’ හෝ වන්නේ කෙසේදැයි පැහැදිලි කර දීම යහපාලන අද්වකාත්වරුන්ගේ වගකීමකි.

ජනාධිපති තෝරා ගනු ලබන්නේ ද ජනතාවගේ ජන්දයෙනි. ඔහුට හෝ ඇයට පාර්ලිමේන්තුවට සෘජු වගකීමක් නැත ද ජනතාවට වගකීමෙන් බැඳී සිටී. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පැවරීඇති බලතල ඔහු / ඇය අයුතු ලෙස පරිහරණය කරන්නේ නම් ඊළඟ ජනාධිපතිවරණයේ දී ජනතාව ඔහු / ඇය ගැන හෝ ඔහුගේ/ ඇයගේ දේශපාලන පක්‍ෂය ගැන හෝ තීරණයක් ගනු ඇත. තුන්වැනි වරටත් ජනාධිපතිවරණයකට තරග කළ මහින්ද රාජපක්‍ෂ මහතාට මේ අමිහිරි අත්දැකීම විඳින්නට සිදුවිය. තුන්වැනි වාරයක් ගැන කල්පනා නොකළ ඔහුගේ පූර්වගාමීහූ වාසනාවන්තයෝ වූහ.

2015 ජනවාරි 8 දේශපාලන පෙරළිය මූලික වශයෙන් එක්සත් ජාතික පක්‍ෂය, මහින්ද රාජපක්‍ෂ පාලන බලයෙන් පලවා හැර තමන්ට අවනත ආණ්ඩුවක් ශී‍්‍ර ලංකාවේ ස්ථාපනය කිරීමට අධිෂ්ඨාන කොටගෙන සිටි අමෙරිකාව, යුරෝපා සංගමය සහ ඉන්දියාව ඇතුළු විදේශ බලවේග, ධනවත් රටවලින් ලැබෙන අරමුදල් මත යැපෙන, සිවිල් සමාජය නමින් හඳුන්වා ගන්නා සංවිධාන සහ රාජපක්‍ෂ පාලනය කෙරෙහි කලකිරී සිටි හිටපු ජනාධිපතිවරයගේ දේශපාලන සගයන් එක්ව සැලසුම් කළ ව්‍යාපෘතියක ප‍්‍රතිපලයකි. මහින්ද රාජපක්‍ෂ පරාජය වූ විට ආණ්ඩු බලය සියතට ගත හැකි බව එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා නිවැරදිව දැන සිටියේය. සිය අරමුණු ජය ගැනීම සඳහා එකතු කර ගත හැකි බලවේග යහපාලන ධජය යටතේ එක්කර ගැනීමට ඔහු සමත් විය.

2001 මැතිවරණය ජයගැනීමෙන් පසු අගමැති ධුරයට පත් වික‍්‍රමසිංහ මහතා සිය දෘෂ්ටිය අනුව නිවැරදි යයි කල්පනා කළ දේශපාලන සහ ආර්ථික ගමන් මගකට පිළිපන්නේය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන නොසලකා එල්ටීටීඊ සමග සටන් විරාම ගිසුමක් අත්සන් තැබිණ. එය සාර්ථක කර ගැනීම සඳහා විදේශීය බලවතුන් සහාය කරගන්නා ලදී. ලෝක බැංකුව, මූල්‍ය අරමුදල සහ ධවල මන්දිරය යන ආයතන ති‍්‍රත්වයෙන් සැදුම්ලත් ‘වොෂින්ටන් ඒකමතිකත්වය’ තුන්වැනි ලෝකයට නිර්දේශ කරන නව ලිබරල් මාදිලියට අනුගතව ‘යළි පුබුදමු ශී‍්‍ර ලංකා’ මැයෙන් ආර්ථීක වැඩසටහනක් සම්පාදනය කළේය.

බටහිරට නැඹුරු විදේශ පිළිවෙතකට ශී‍්‍ර ලංකාව යොමු විය. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ප‍්‍රථමයෙන් එජාප රජයේ ප‍්‍රධාන අමාත්‍යාංශ 3ක් තමා වෙත පවරා ගෙන අනතුරුව 2004දී ඔහුගේ ආණ්ඩුව අහෝසි කළෙන් සියලු ව්‍යාපෘති නතර විය. එසේ අත්හැර දැමීමට සිදුවු වැඩ පිළිවෙල ජනවාරි 8න් පසු යළි ආරම්භ වී තිබේ. එදා සිය හිස මත කඩා වැටුණු අභාග්‍යය මෙදා යළි සිදු නොවනු පිණිස බලය තහවුරු කර ගැනීමට වික‍්‍රමසිංහ මහතා අදිටන් කර ගෙන තිබිණ.

ඒ සඳහා යහපාලනයේ සහ ප‍්‍රජාත්ත‍්‍රවාදයේ නාමයෙන් ව්‍යවස්ථානුකූලවම බලය සියතට ගැනීමට අවශ්‍ය වූයේය. අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රධානත්වය, ඇමැතිවරුන්ගේ විෂයය සහ කාර්යයන් නියම කිරීම හා වෙනස් කිරීම අගමැති අතට පවරා ගත යුතු විය. මහ මැතිවරණයෙන් වසරකට පසු ආණ්ඩුව අහෝසි කිරීමටත් කැමැති විටෙක අගමැතිවරයා ඉවත් කිරීමටත් ජනාධිපති සතුව ඇති බලතල ඔහුගෙන් ඉවත් කළ යුතු වූයේය. තමන් බලයට පත් වූ විට නව ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථාවක් සම්පාදනය කරන බව යහපාලන රජයේ ප‍්‍රධානීහු මැතිවරණ සමයේ යළි යළිත් කියා සිටියහ.

අලුත් ව්‍යාවස්ථාවෙන් විධායක ජනාධිපති ක‍්‍රමය මුළුමනින් අහෝසි කිරීම හෝ අවශ්‍ය පරිදි සංශෝධනය කිරීම හෝ කළ හැකිව තිබියදී 19 වැනි සංශෝධනය ගෙන ආවේ එබැවිනි. ඊට ඇතුළත්ව තිබූ එහෙත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත වීමට අමතරව ජනමත විචාරණයකින් අනුමත විය යුතු යයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීම නිසා සම්මත කර ගැනීමට නොහැකි වූ වගන්ති වල සැබෑ අරුත එයයි.

සම්මත වූ සංශෝධනය ද එකී අරමුණම කේන්ද්‍රකොට ගත්තකි. ඒ පිළිබඳව විවරණය ලබන සතියේ බලාපොරොත්තු වන්න.
[Irida]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions