9/15/2017

කොටි හුරතල් කරමින් ,ලංකාවට මර උගුල් ඇටවූ සෝල්හයිම් කතා කරයි

කතෘ:යුතුකම     9/15/2017   No comments

-අයි . ජයතිලක -
ශ්‍රී ලංකාවේ නෝවේජියානු මෙහෙයුම හා නෝවේජියානු රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳව යුතුකම සංවාද කවයට ලිපියක් ලිවිය යුතු බවට සිතමින් සිටින විටම ලංකාවේ නෝවේජියානු *මිත්‍රයා* එසේත් නැත්නම් අපි කවුරුත් දන්නා එරික් සෝල්හයිම් නැවතත් ලංකාවේ මාධ්‍ය වල සිරස්තල අතරට එක්වීමට සමත් විය. ඔහු විසින් WION නම් ඉන්දියානු මාධ්‍ය ආයතනයට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවට පිළිතුරු ලියමින්ම නෝවේජියානු මෙහෙයුම පිළිබඳ ලියන්නට සිත්විය. සිය සම්මුඛ සාකච්ඡාව පුරාම ලංකාව පිළිබඳ තමාගේ ඇති ආදරය, ලංකාවේ මිනිස්සුන්ගේ ජීවත, යුද්ධය නිසා විනාශ වුණු ආකාරය ගැන දුක්වන ආකාරය කියවන විට අනේ මෙවැනි කෙනෙකුගේ සහාය සාම ක්‍රියාදාමය සඳහා ලැබීම කෙතරම් භාග්‍යයක් දැයි සිතේ. නමුත් ලංකාවේ නෝවේජියානු සාම ක්‍රියාදාමය හා විශේෂයෙන් එරික් සෝල්හයිම් ගේ භුමිකාව පිළිබඳව දන්නා අයට නම් එය විහිළුවක් පමණක් නොව පිළිකුල දනවන රැවටීමකි.

සංවාදය ආරම්භ වන්නේම වැදගත් ප්‍රශ්නයකිනි. නෝවේ රජය ශ්‍රී ලංකාවේ සාම සාකච්ඡා ඇති කිරීමට මැදිහත්කරුවෙකු ලෙස පැමිණියේ ඇයි? ශ්‍රී ලංකා රජය විසින් නෝවේ රාජ්‍යයම තෝරාගත්තේ කුමන හේතුවක් නිසා ද? සුපුරුදු පරිදි සෝල්හයිම් සුපුරුදු පිළිතුර ලබා දේ. ශ්‍රී ලංකා රජය ( චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ පොදු පෙරමුණු රජය) විසින් තමාට ආරාධනා කළ බව පවසන අතර නෝවේ රජය විසින් මැද පෙරදිග සාම ගිවිසුම ( ඊශ්‍රායලය හා පලස්තීනය) සම්බන්ධයෙන් දැක්වූ දායකත්වයත් නෝවේ රාජ්‍යය කුඩා රටක් වීමත් නිසා නෝවේ රාජ්‍යය මැදිහත්කරුවෙක් වශයෙන් තෝරාගන්නට මුල්වුණු බවයි.

පළමුවෙන්ම මෙය අමූලිකම බොරුවකි. නෝවේ රාජ්‍යයට චන්ද්‍රිකා රජය නිල වශයෙන් ආරාධනා කළ බව සත්‍යයකි. නමුත් ඒ ආරාධනාව සිදුකළේ සාම සාකච්ඡා සඳහා පහසුකම් සලසන්නෙකු වශයෙන් මිසක මැදිහත් කරුවෙක් වශයෙන් නොවේ. එරික් සෝල්හයිම් ප්‍රමුඛ නෝවේ කණ්ඩායම විසින් කොටි කොන්දේසි පිළිගන්නා ලෙස එවක චන්ද්‍රිකා රජයට බලපෑම් කිරීමත් නිසා චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය ගේ හා විශේෂයෙන් එවක සිටි විදේශ ඇමති කදිරගාමර් මහතාගේ අප්‍රසාදයට මෙම නෝවේ කණ්ඩායම ලක්විය. අවසානයේ මෙම සෝල්හයිම් නැමැති පුද්ගලයාව කණ්ඩායමෙන් ඉවත් කරන්න යැයි ඉල්ලමින් චන්ද්‍රිකා ජනාධිපතිනිය නෝවේ රාජ්‍ය යේ රජු වෙත ලිපි පවා ලියා යැවීය. එම නිසා මැදිහත්කරුවෙක් ලෙස කිසිදු ආරාධනාවක් නෝවේ රජයට ලැබුණේ නැත.

අනික් අමූලික බොරුව නම් ශ්‍රී ලංකා රජය විසින් තමාට සිය කැමැත්තෙන්ම ආරාධනා කළ බවයි. සත්‍ය කතාව නම් 1990 දශකයේ මුල් භාගයේ සිට නෝවේජියානු රාජ්‍ය නොවන සංවිධාන වල නියෝජිතයින් විසින් ශ්‍රී ලංකා රජයේ ප්‍රබලයින් හා සම්බන්ධතා ඇති කරගනිමිනුත් ලංකාවේ කතෝලික පල්ලිය හරහාත් ශ්‍රී ලංකා රජයට නෝවේ රාජ්‍යය සමඟ එක්වී සාම ක්‍රියාදාමයක් ආරම්භ කරන ලෙස ඉමහත් පෙළඹවීමක් ඇති විමය. මෙසේ ක්‍රමානුකූලව හා සැලසුම් සහගතව සිදුවූ පෙළඹවීමේ ප්‍රථිඵලය වූයේ චන්ද්‍රිකා රජය විසින් නෝවේ රජයට නිල වශයෙන් ආරාධනා කිරීමයි. මෙහිදී අනික් සිනහ උපදවන කාරණය නම් මැද පෙරදිග සාමය සම්බන්ධයෙන් නෝවේ රජය සාර්ථක දායකත්වයක් දැක්වූ බව පැවසීමයි. නමුත් සත්‍යය නම් ලංකාවේ මෙන්ම මැද පෙරදිගත් නෝවේ රජය විසින් දැක්වූ සාර්ථකත්වයක් නැත. සිදුවූයේ පලස්තීන සන්නද්ධ සංවිධාන සඳහා යම් නීත්‍යානුකුල බවක් ඇති වීමයි.

මෙම සංවාදයේ දී මෙම සෝල්හයිම් නම් පුද්ගලයා විසින් නොපවසන කතාවක් ද ඇත. එනම් ඔහුට ලංකාව පිළිබඳ වඩා දීර්ඝ ඉතිහාසයක් ඇති බවයි. සෝල්හයිම් නෝවේ රාජ්‍ය යේ දේශපාලකයෙකි. සත්‍යවශයෙන් කියනවා නම් අසාර්ථක වූ දේශපාලකයෙකි. සිය පක්ෂය සමඟ ඇති වූ හිත් නොහොඳවීම් හි ප්‍රතිඵලයක් ලෙස ඔහු පක්ෂයෙන් ඉවත් වේ. එසේ ඉවත් වන ඔහු අළුත්ම ගමනක් යන්නට උත්සාහ ගනී. 1997 වසරේ දී ලංකාවට පැමිණෙන ඔහු නවාතැන්ගන්නේ ලංකාවේ සිටින ප්‍රමුඛ නෝවේජියානු රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන ආන් ෆ්‍ජොෆ්ට් ගේ නිවසේයි. එසේ ලංකාවේ මාස කිහිපයක් ගත කරන ඔහුට ආන් ෆ්ජොෆ්ට් ගේ නිවසේ පවත්වන සාදයකදී එවක ශ්‍රී ලංකා ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය හඳුනාගන්නට ඉඩ සැලසේ. එසේ ලංකාවේ කාලය ගත කර නැවතත් නෝවේ රටට ගිය පසු දිනක් පාරේ ගමන් කරන විටදී තමා පසු පස පැමිණි නෝවේජියානු දෙමළ ජාතිකයෙක් කොටි සංවිධානයට තමා සමඟ කතා කරන්නට අවශ්‍ය බව කියා සිටියේයි තමා විසින්ම ලියවන ලද To end a civil war කෘතියට පවසා ඇත. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඔහු හවුල් වන්නේ තනිකර අහම්බෙන් යැයි විශ්වාස කරන්නට තරම් ශ්‍රී ලාංකිකයන් මුග්ධයින් නොවේ.

ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය සමඟ පැවැත්වූ සාකච්ඡා පිළිබඳ ව මාධ්‍ය වේදිනිය විසින් විමසන විට ප්‍රභාකරන් යන නාමය ඇසූ සැණින් එරික් සෝල්හයිම් ගේ දෑස් දිදුළන්නට ගන්නේ සෙල්ලම් බඩුවක් දුටු කුඩා ළදැරියෙක් මෙනි. එතරම් ම ඔහු ප්‍රභාකරන් යන චරිතයට වශීකෘත වූ අයෙකි. ප්‍රභාකරන් වැඩිම ගණනක් හමුවී කතා කළ එකම දෙමළ නොවන පුද්ගලයා තමන් යැයි තමා විසින්ම සෑම අවස්ථාවකදීම හඳුන්වාගන්නා සෝල්හයිම් ඒ පිළිබඳ දක්වන ආඩම්බරය ඉතා පැහැදිලිය. ප්‍රභාකරන් සමඟ එක් වතාවකදී එකට මාළු බාන්නට ගිය සැටිත් ඔහු සමඟ පිළිසඳරේ සිටි ආකාරයත් ඔහු විස්තර කරන්නේ පුදුමාකාර ආශාවකිනි. ඔහුගේ ඒ හැඟීම් ප්‍රභාකරන්ට පමණක් යොමු වූවක් නොවේ, කොටි සංවිධානයේ ඇන්ටන් බාලසිංහම් ගේ අවමගුලේ දීත් බාලසිංහම් ගේ ගුණ වයමින් කතාවක් පැවැත්වූයේ හඬන්නට ආසන්නවයි. මෙවැනි තදබල ලෙස කොටි හිතවාදී පුද්ගලයෙකු ලංකාවේ සාම ක්‍රියාදාමයට හවුල් වන්නට අවකාශය ලබා දෙන්නේම මන්ද බුද්ධික දේශපාලන නායකත්වයක් හෝ දේශද්‍රෝහී නායකත්වයක් පමණි. කෙසේ වුවත් 2001 රනිල් වික්‍රමසිංහ රජය උදාවුණු සැනින් එයට අවස්ථාව ලැබිණි. කණගාටුවට කරුණ නම් ‍ලිපිය ලියන මෙම අවස්ථාවේදීත් එම පුද්ගලයාම රටේ දේශපාලන නායකත්වය හෙබවීමයි.

සෝල්හයිම්ට අනුව ප්‍රභාකරන් සමඟ අවශ්‍ය පරිදි කාලය ගත කිරීමට නොලැබීම සාම ක්‍රියාදාමයට පාඩුවක් බවයි. 2006 වසරේ දී සෝල්හයිම් විසින් මහින්ද රජයට ඉදිරිපත් කළ එක් කොන්දේසියක් වන්නේ තමාට ප්‍රභාකරන්ව හමුවීමට ඉඩ ප්‍රස්ථාව ලබා දිය යුතු බවයි. අවම වශයෙන් මසකට වතාවක් වත් ප්‍රභාකරන් හා හමුවී සාකච්ඡා කළ යුතු බව සෝල්හයිම් පවසද්දී එයට මහින්ද රාජපක්ෂ එකඟ වුවත් ඒ සඳහා කිසි දිනක ඉඩ ප්‍රස්ථාව ලබා දුන්නේ නැත. තමාට ප්‍රභාකරන් හමුවන්නට ලැබුණා නම් හොඳයි යනුවෙන් පශ්චාත් තාප වන්නේ මේ නිසායි.

ඉන්පසුව මාධය වේදිනිය තවත් හොඳ ප්‍රශ්නයක් යොමු කරයි. ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාදාමය අසාර්ථක වීමට බලපෑ හේතුන් කවරේද යන්නයි. මෙම ප්‍රශ්නයට මීට පෙරත් මොහු පිළිතුරු ලබා දී ඇති අතර මෙවරත් එම පිළිතුරම ලබා දී ඇත. එනම් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක, එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර ඇති ඝට්ටනය නිසා සාම ක්‍රියාදාමය අඩාල වූ බවයි. ඔහු විසින් මේ අඟවන්නේ චන්ද්‍රිකා ජනාධිපතිනිය හා රනිල් වික්‍රමසිංහගේ රජය අතර ඇතිවූ හැල හැප්පීම්ය. චන්ද්‍රිකා බණ්ඩාරනායක සිය පුද්ගලික තරහාමරහා හා තමාට සිදුකළ අඩන්තේට්ටම් නිසා අහංකාර චරිතයක් වූ රනිල් වික්‍රමසිංහයන් සමඟ ගැටළු ඇති කර ගත් බව සැබෑය. එම නිසා රනිල් රජයේ වැඩ පිළිවෙලට අකුල් හෙළු බවත් සත්‍යයකි. එනමුත් ඇය ඒ සඳහා යොදා ගත්තේ ලංකාවේ ආරක්ෂාවට අතිශය භයානක ලෙස තර්ජනයක් වන ආකාරයට රනිල් වික්‍රමසිංහ රජය කටයුතු කරන අවස්ථායි. උදාහරණ ලෙස නෝවේජියානු තානාපති කාර්යාලය, අගමැති ලේකම් කාර්යාලය එකතු වී කොටි සංවිධානයට බලගතු සන්නිවේදන උපකරණ ලබා දීම, කොටි සංවිධානය විසින් ආරක්ෂක මර්මස්ථානයක් වන ත්‍රිකුණාමලය නාවික වරාය වට කොට රජයේ පාලන ප්‍රදේශ වල කොටි කඳවුරු ඇති කරද්දී ඒ පිළිබඳව ආරක්ෂක ප්‍රධානීහු සිදුකරන අවවාද අග්‍රාමාත්‍යවරයා නෑසූ කන්ව සිටිද්දීත් එය ප්‍රසිද්ධියට පත් කළ නැගෙනහිර නාවික ප්‍රධානී කරන්නාගොඩ මහතාට එළව එළවා සිය රජයේ රූපවාහිනියෙන්ම සාම ක්‍රියාදාමය කඩා දමන කෙනෙකු යැයි ප්‍රහාර එල්ල කරනා විට රටේ ආරක්ෂකයා ලෙස ජනාධිපතිනිය සිය වගකීම ඉටු කළාය. එය සාම ක්‍රියාදාමට ඉදිරියට ගෙනයාමට ඇති බාධා ලෙස කෙනෙක් හඳුන්වනවා නම් එය සාම ක්‍රියාදාමයක් නොව ඊළාම් රජය පිහිටුවීමේ ක්‍රියාදාමයයි.

සත්‍යවශයෙන්ම නෝවේජියානු සාම ක්‍රියාදාමය බිඳ වැටුණේ වෙනත් අවස්ථා වල සාම ක්‍රියාදාමයන් බිඳ වැටුණු හේතුව නිසාමය. එනම් කොටි සංවිධානය විශේෂයෙන් ප්‍රභාකරන් විසින් කිසි දිනක ඊළම සිය න්‍යාය පත්‍රයෙන් ඉවත් කර නොගැනීමයි. ඊළම හැර වෙනත් කිසිම විසඳුමකට ඔහු කැමති වූයේ නැත. කෙසේ වුවත් සිය ආදරණීය සන්නද්ධ නායකයාට වරද පැටවීමට එරික් ගේ සිත් නොදේ. මෙම සංවාදයේ දී පැහැදිලි වුණු තවත් ලක්ෂණයක් නම් සෝල්හයිම් විසින් පෙන්වා දෙන දෙමළ ජාතිකවාදය එසේත් නැත්නම් ගෝත්‍රවාදය පිළිබඳ ඔහුගේ ඇති ගෞරවයයි. ඔහුට අනුව ප්‍රභාකරන් ප්‍රමුඛ දෙමළ ජාතිකයන් අතර ඉතා තදබල දෙමළ ජාතිකත්වයක් ( ගෝත්‍රවාදයක්) ඇත. එම තදබල ගෝත්‍රවාදය නිසාම ප්‍රභාකරන් සාර්ථක වූ බවයි.එමෙන්ම සාමාන්‍ය දෙමළ ජනතාව අතරේත් ඇති මෙම අධික ජාතිකවාදය නිසා ඔවුන් සාර්ථක ජන කොටසක් බවට ඔවුන් ජීවත් වන බටහිර රටවල ද පත්ව ඇති බවයි. මෙවැනි තදබල දෙමළ ජාතිකවාදයක් සමඟ සාමයක් ඇති කළ හැකි යයි ඔහු සිතුවේ ඇයි?

මාධ්‍ය වේදිනිය විසින් අසන තවත් විශේෂ ප්‍රශ්නයක් වන්නේ නෝවේජියානු දෙමළ ප්‍රජාව පිළිබඳවයි. නෝවේ රටේ 2011 වන විට 14000 පමණ දෙමළ ප්‍රජාවක් සිටී. ඒ අයගෙන් අති බහුතරය ලංකාවෙන් පිටව ගිය සරණාගතයින් වේ. මාධ්‍ය වේදිනිය ඇසුවේ නෝවේජියානු දෙමළ ප්‍රජාව ගේ බලපෑම මත මෙසේ ලංකාවේ සාම සාකච්ඡා වලට හවුල් වූවා දැයි යන්නයි. එය ප්‍රතික්ෂේප කළ ඔහු, නෝවේජියානු දෙමළ ජනයා මේ සම්බන්ධයෙන් ඇත්ව තබා ගැනීමට තමන් කටයුතු කළ බව පවසයි. මෙය අනික් අමූලික බොරුවයි.කොටි සංවිධානයට එරෙහිව නෝවේ රටේ කිසිදු තහනමක් නැත. ලංකාවේ බෝම්බ පුපුරවිමින්, ගම්මාන පිටින් කපා කොටි දමමින්, කුඩා ළමයින් සයනයිඩ් කරල් අන්දවා යුද පිටියට දැක්වූ කොටි සංවිධානයට කිසිදු බාධාවකින් තොරව නෝවේ රටේ අරමුදල් රැස්කිරීමට ව්‍යාපාර කිරීමට හා දේශපාලන රැළි පැවැත්වීමට අවකාශ ලබා දී ඇත. එපමණක් නොවේ, නෝවේ රටේ පවත්වන කොටි සංවිධානයේ රැළි වලට නෝවේජියානු දේශපාලනඥයින්ද හවුල්වේ. එක්තරා නෝවේජියානු පුවත්පතකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක දී සෝල්හයිම් පවසා ඇත්තේ ප්‍රභාකරන් යනු නෙල්සන් මැන්ඩෙලා වැනි චරිතයක් බවයි. ලංකාවේ ජනයා භීතියට පත් කළ තිරිසන් සංවිධානයකට සිය රටේ දී පූර්ණ නිදහස ලබා දුන් සෝල්හයිම් ඇතුළු නෝවේජියානු නඩය 2006 දී කොටි සංවිධානයට එරෙහිව යුරෝපා සංවිධානය ප්‍රකාශයට පත්කළ තහනම ඉවත් කිරීමටත් උත්සාහ කළේය. එපමණක් නොව ඇමරිකානු තහනම පවා ඉවත් කරන්නේ නම් එය සාම ක්‍රියාදාමයට උපකාරයක් යැයි ඔහු විසින් පවසා ඇත. කොටි ත්‍රස්තයන්ට එරෙහි තහනම සමා ක්‍රියාදාමයට උපකාර වන්නේ කෙසේ දැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැකිය.

මාධය වේදිනිය මීළඟට ඇසූ ප්‍රශ්නය නම් මිනිස් බෝම්බ යොදා ගන්නා, කුඩා දරුවන් ළමා සොල්දාදුවන් ලෙස බඳවාගන්නා සංවිධානයක් සමඟ සාකච්ඡා කිරීම නෝවේ රජයටත් ඔබටත් ප්‍රශ්නයක් වූයේ නැතිද යන්නයි. විශේෂයෙන් මානව හිමිකම් ගැන සෑම අවස්ථාවකදීම කතා කරන ස්කැන්ඩිනේවියානු රටක් වශයෙන් එවැනි සංවිධානයක් සමඟ කටයුතු කළේ කෙසේදැයි යන්නයි. මෙයට පිළිතුරු ලෙස සෝල්හයිම් පැවසූයේ ඉතා අප්‍රසන්න ප්‍රකාශයකි. එනම් ඉතා විශාල යුධ අපරාධ හා කෘර ක්‍රියා සිදුකළ ශ්‍රී ලංකා රජයේ පාර්ශව සමඟත් තමා සාකච්ඡා කළ බවයි. මොහු මේ කතා කරන්නේ 2000 වසරේ තිබූ ශ්‍රී ලංකා රජය පිළිබඳවයි. මොහු මෙම නිග්‍රහය කරන්නේ කුමක් මත පදනම්වද? ශ්‍රී ලංකා රජය විසින් සිදුකළ අතිවිශාල යුධ අපරාධ කවරේ ද? ජනතාව මත න්‍යෂ්ඨික බෝම්බ හෙළීමද? රසායනික අවි භාවිතයද? ජනතාව මිනිස් පළිහයක් ලෙස යොදා ගැනීම ද? සිවිල් ජනතාව ඉලක්ක කර බෝම්බ තැබීම ද? මෙසේ මිනිමරු කොටි සංවිධානය සමඟ මොහු සමාන කරන්නේ අපමණ කරදර හමුවේ උතුරේ ජනතාවට වසර 30ක් පුරා ආහාර, බෙහෙත් ( මේවායින් කොටසක් කොටි සංවිධානය ඩැහැ ගනිද්දීත්), වැටුප් හා අධ්‍යාපනය ලබා දුන් නීත්‍යානුකුලව පත්වුණු නීත්‍යානුකුල යුද්ධයක් සිදුකළ ප්‍රජාතාන්ත්‍රික රජයක් සමඟ නේද? මෙය කොයි තරම් නම් නින්දා සහගත අධම ප්‍රකාශයක් ද? කොන්දක් සහිත රාජ්‍ය පාලනයක් මේ රටේ පැවතියේ නම් විදේශ අමාත්‍යංශය විසින් නෝවෙ රටේ තානාපතිවරයා ගෙන්වා විරෝධය පළ කරනු ඇත.

ඔහුගේ මෙම අහංකාර නින්දාව නිසාම මාධ්‍ය වේදිනිය විසින් මීළඟ ප්‍රශ්නය ඇසුවේ බටහිර රාජ්‍යයන් විසින් මැදපෙරදිග, ඉරාකයේ දී හා සිරියාවේ දී දෛනිකව සිදුකරන මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳව නෝවේජියානුවන් දක්වන නොසැළකිල්ලයි. එයට පිළිතුරු දෙන සෝල්හයිම් පවසන්නේ තමන් විසින් ඇමරිකාව වියට්නාමයේ දී සිදුකළ යුධ අපරාධ හෙළ දකිනා බවත් සදාම් හුසේන් කෙතරම් නරක ඒකාධිපති නායකයෙක් වුවත් ඇමරිකාව විසින් සිදුකළ ආක්‍රමණය වැරදි බවට තමන් පිළිගන්නා බවයි. ශ්‍රී ලංකාව විසින් සිදුකළේ තම රටේ අභ්‍යන්තරයේ සිදුවුණු යුද්ධයක් මිසක වියට්නාමය හෝ ඉරාකය මෙන් වෙනත් රටවල් ආක්‍රමණයක් නොවන අතරම ඉරාක ආක්‍රමණයට සම්පූර්ණ සහාය ලබා දුන් නේටෝ සංවිධානයේ සාමාජිකයෙක් වන නෝවේ රාජ්‍යයත් ඇමරිකාව මෙන්ම ඊට වගකිව යුතු වේ.

තමා සමඟ මින් පෙර සාකච්ඡාවකදී කොටි සංවිධානයේ ආයුධ රැස්කරන්නෙක් වූ කේ. පත්මනාදන් පැවසූවේ විදෙස්ගත ප්‍රජාව විසින් කොටි සංවිධානය ශක්තිමත් කළ ආකාරය විස්තර කර බවත් ඒ ආකාරයෙන් විදෙස් ගත සන්නද්ධ සංවිධාන වලට උපකාර කිරීම පිළිබඳව බටහිරය කණගාටුවට පත් නොවන්නේද යන්නයි. එයට කපටි ලෙස පිළිතුරු සපයන සෝල්හයිම් පවසන්නේ බටහිරයට ඈත පිහිටි රටවල ගැටුම් සම්බන්ධයෙන් වන දැනුම අඩු බවයි. මට කියන්නට ඇත්තේ එසේ දැනුම අඩු නම් එම ගැටුම් වලට මැදිහත් නොවී පාඩුවේ සිටිය යුතු බවයි.

සුදු කොඩි සිද්ධිය පිළිබඳවත් මතකය අවදි කරන සෝල්හයිම් පවසන්නේ කොටි සංවිධානයේ සිටි ඉතාම අහිංසක පුද්ගලයෙකු වූයේ පුලිදේවන් බවත් ඔහුව ශ්‍රී ලංකා රජය විසින් ඝාතනය කළ බවත්ය. මෙය කිසි සේත්ම තහවුරු නොවූ ප්‍රලාපයක් වන අතර ඒ ආකාරයට ඔවුන් හමුදාවට භාරවේ දැයි යන්න පිළිබදව තමන්ට විශ්වාසයක් නැති බවට ශ්‍රී ලංකා රජයට දන්වා ඇත්තේද නෝවෙ තානාපති විසින්මය. මෙහිදී සෝල්හයිම් විසින් නොපවසන තවත් කතාවක් තිබේ, එනම් ඔහු විසින් ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කළ යුද්ධයට සංවිධානාත්මක අවසානයක් ඇති කිරීම පිළිබද යෝජනාවයි. ඒ සදහා ලංකාවේ සිටි ඇමරිකානු තානාපති රොබට් බ්ලේක් ගේද සහාය ඇතිව ඇමරිකානු රජයේ සහායද තම යෝජනාවට ලබා ගැනීමට තැත්කළ සෝල්හයිම් උත්හාස කළේ අවසාන යුද්ධයේ දී ප්‍රභාකරන්හට රටින් පැනයාමට අවකාශය ලබා දීමට තැත් කිරීමයි.

එවකට රනිල් වික්‍රමසිංහ රජය විසින් පුන පුනා කීවේ හා දැනටත් කියන්නේ තමන් විසින් කොටි සංවිධානය සාම උගුලකට පටලවා ගත් බවයි. නමුත් කොටි සංවිධානය දහස් වාරයක් රනිල් වික්‍රමසිංහ රජය යටතේත් සටන් විරාම ගිවිසුම නිර්දය සේ උල්ලංඝනය කරද්දීත් ඔය කියන සාම උගුල ක්‍රියාත්මක වූයේ නැත. නමුත් ශ්‍රී ලංකා රජය විසින් කොටි සංවිධානය සම්පූර්ණයෙන් විනාශ කර දැමීමට ක්‍රියාකරන අවස්ථාවේ දී නෝවේ ප්‍රමුඛ බටහිරයම ශ්‍රී ලංකාට සටන් විරාමයකට ගොස් සාකච්ඡා ආරම්භ කරන්නැයි බලකරන තත්ත්වයක් ඇති විය. ප්‍රභාකරන් බේරා ගැනීමට නැවක් එවීමට ඇමරිකානු රජයද ස්ව කැමැත්ත ලබා දුණි. ඇත්ත වශයෙන්ම සිදුවී ඇත්තේ මේ කියන *සාම උගුලේ* කැමැත්තෙන්ම ලංකාව පැටලීම නොවේ ද?

අවසානයේ ශ්‍රී ලංකාව පිළිබදව කතා කරන සෝල්හයිම් තමන් නැවතත් ලංකාවට පැමිණ සිය මිතුරන් වන රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා, මහින්ද, දෙමළ සන්ධාන නායකයින් හා රාවුෆ් හකීම් හමුවී කතාබහ කිරීමට කැමති බවට ප්‍රකාශ කර සිටියේය. මේ අතරින් මහින්ද රාජපක්ෂ ඔහුගේ මිතුරෙක් යැයි පැවසීම හාස්‍යජනක වන්නේ වෙනත් මාධ්‍ය වලට අදහස් ප්‍රකාශ කිරීමේ දී මහින්ද රාජපක්ෂට යුධ අපරාධ කරුවා යැයි නිර්ධය ලෙස පහර ගැසීම නිසායි. කෙසේ වෙතත් සෝල්හයිම් යන චරිතය ශ්‍රී ලංකා ජන මනසට අපුල චරිතයකි.


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions