11/18/2018

පොදු ජනතාව වෙනුවෙන් සදා දැල්වෙන හදවත

කතෘ:යුතුකම     11/18/2018   1 comment
- මහාචාර්ය වසන්ත දේවසිරි -

මැක්සිම් ගෝර්කි ගේ "ඉසග්‍රෙල් මැහැල්ල" නමැති ශ්‍රේෂ්ට කෙටිකතාව නිර්මාණය වී ඇත්තේ රුසියාවේ ස්ටෙප්ස් තණ බිම් ආශ්‍රිත බෙසරේබියා ප්‍රදේශයේ දී මුණ ගැසෙන මහළු කාන්තාවක විසින් ඔහුට කියන ලද කතන්දර අසුරෙනි. ඉසග්‍රෙල් මැහැල්ල විසින් ගෝර්කිට කියන ලද කතාන්දරය එම කෙටි කතාව කියවා නැති පාඨකයින් වෙනුවෙන් සැකෙවින් ඉදිරිපත් කිරීමට උත්සාහ කරමි.

බොහෝම ඉස්සර කාලයේ ස්ටෙප්ස් තණ බිම් හා ආශ්‍රිතව වාසය කළ එක් නිර්භීත වූ ද ප්‍රියමනාප වූ ද ගෝත්‍රික ජන කොටසක් විය. නිතර නිතර පැමිණි සතුරු කරදර නිසා කලකදී ඔව්හු ඝන වනාන්තරයටම කොටු වූ හ. උස් ව වැඩුනු තුරු මුදුන් නිසා හිරු එළිය බිඳකුදු පතිත නොවුනු මෙම බියකරු වනාන්තරය මඩ ගොහොරුවක් විය. එකිනෙක වෙළා ගත් දැවැන්ත වෘක්ෂයන් නිසා ද ඒ තුළ ගමන බිමන අතිදුෂ්කර විය. හමන දැඩි සුළඟ තුරු මුදුන් හා ගැටී නිරන්තර ව නඟන ඝෝෂාව සවනට පීඩාකාරී විය. මිනිස්සු කර කියා ගත හැකි දෙයක් නැතිව මෙම වනන්තරය තුළ සුසුම් හෙලූ හ. හිරු රැස් නොවැටෙන වගුරු බිම් වල වතුරු පල් වී තියුණු දුර්ඝන්ධයෙන් යුතු විෂ වායු පිට වන්නට විය. මෙය දරාගත නොහැකිව මිනිස්සු රෝගාතුර වූ හ.මෙම දුක්ඛ දායක තත්වයෙන් ගැල වී ගත හැකි මඟක් නොදැක ඔවුහු ඔහේ බලා සිටිය හ.
ඔවුන් අතර නොයෙක් කසු කුසු පැතිරෙන්නට විය. ඔවුන් පලා ආ මඟ ආපසු ගොස් සතුරන් අතට පත් වී ඔවුන්ගේ වහලුන් බවට පත් විය යුතු යැ යි ඔවුහු මුල දී හොර රහසේත් පසුව එළිපිටමත් පවසන්නට වන් හ.
මෙවන් වූ දුර්භාග්‍ය සම්පන්න අවස්ථාවක දීය ඔවුන් මුදවා ගැනීමට ඔවුන් අතරින් ම බිහි වූ ඩැන්කෝ නමැති වීරෝදාර නායකයා ඉදිරිපත් වූයේ. කල්පනා කරමින් සිට ගල් මුල් වගුරු ඉවත් කළ නොහැකි බවත් ඒවා බිඳගෙන යා යුතු බවත් තේරුම් කර දුන් විට පිරිස ඔහු සමඟ වනාන්තරය තරණය කිරීමට එකතු විය. ගමන පහසු වූයේ නැත. ඔවුහු මඩෙහි එරුණ හ. ගල් මුල් වලට දෙපා කැපී ලේ ගලන්නට විය. ගමනේ නිමාවක් නොදකින පිරිස දිනෙන් දින ම නොසන්සුන් වන්නට වූ හ. ඔව්හු මුලදී හොර රහසේත් පසුව එළිපිටත් ඩැන්කෝට දොස් නගන්නට වූයේ ඔහු අපරිණත නායකයෙකු බව සඳහන් කරමිනි.නමුත් විවේචන ඉදිරියේ කලබල නොවූ ඩැන්කෝ හිස කෙළින් තබා ගෙන ඔවුනට නායකත්වය දෙමින් ඉදිරියටම ගියේ ය.
දිනක් වනන්තරයේ මහ කුණාටුවක් ඇති විය. ගස් පෙරළෙන්නට විය. මුලු වනන්තරයම දැඩි අඳුරේ ගිලී ගියේ ය. මිනිස්සු බියට පත් වූ හ. අතිශයින් දුර්මුඛ වූ ඔවුන් කෝපයෙන් වියරු වැටී තමන් අතරමං කළ බවට චෝදනා කරමින් ඩැන්කෝට බැන වදින්නට විය. සමහරු ඔහුට පහර දීමට පවා ඉදිරිපත් විය. මොවුන්ගෙන් තමන්ට ගැලවීමක් නොලැබෙන බව ඩැන්කෝ තේරුම් ගත් අතර ඔහු මෙම අසාධාරන චෝදනා නිසා කෝපයට පත් විය. නමුත් බියට පත් මිනිසුන්ගේ අසරණ බාවය දුටු ඩැන්කෝ ගේ හිත කරුණාවෙන් පිරී ගියේ ය.
ඩැන්කෝ සිය පපුව පලා හදවත අතට ගත්තේ ය. එයින් විහිදුනු ආලෝකයෙන් වන පෙත ඒකාලෝක විය.තමා පසු පසින් එන මෙන් පිරිසට කියූ ඩැන්කෝ සිය හදවත එක් අතකින් ගෙන වනය දිගේ ඉදිරියටම දුවන්නට විය. පිරිස හදවතින් එළිය වුනු මඟ ඔස්සේ ඩැන්කෝ අනුගමනය කළෝ ය. ඔවුහු තව දුරටත් ගමනේ දුෂ්කර බව පිළිබඳව ඩැන්කෝට දොස් කීවේ නැත.
දිනක ඔවුහු නොදැනීම ම වනන්තරයේ කෙළවරට පැමිණ ස්ටෙප්ස් තණ භූමියට සේන්දු වී සිටිය හ. ප්‍රීතියෙන් පිනා ගිය ඔවුහු ගී ගැයීමටත් නැටීමටත් පටන් ගත් හ.ස්ටෙප්ස් තණ භූමිය සහ සිය පිරිස දෙස ආදරයෙන් බලා සිටි ඩැන්කෝ බිම ඇද වැටෙනු කිසිවෙක් නොදුටුවෝ ය.තවමත් දැල්වෙමින් පවතින ඩැන්කෝගේ හදවත ද පිරිස අතරේ බිම වැටී තිබුනි.

උදාර ගෝත්‍රික නායකයෙකු පිළිබඳ මේ සුන්දර කතා පුවත කියවන විට මෑතක සිට මට නිතැතින් ම සිහි වන්නේ මහින්ද රාජපක්ෂ මහතා ය. ඔහු කිසි කෙනෙකුට පරාජය කළ නොහැකි යැයි අපට උගන්වා තිබුනු ත්‍රස්තවාදය ට ජයාග්‍රාහී ලෙස මුහුණ දුන් අයුරු ඩැන්කෝගේ කතාව කියවන ඔබටත් සිහි වූ වා නිසැක ය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඔහුට සම කළ හැකි නායකයෙකු ලොව කිසිම රටක බිහි වී යැ යි මම නොසිතමි. සීතල යුද්ධ සමයේ දීත් ඉන් පසු උදා වූ පශ්චාත් සීතල යුද්ධ සමයේ දී ත් ඔහු බටහිර අධිරාජ්‍යවාදයටත්, නව යටත් විජිත්වාදයටත් විරුද්ධව සමාජවාදියෙකු මෙන් ම ජාතිකවාදියෙකු ලෙස ද නැගී සිටියේ ය.
අවාසනාවකට මෙන් අද අපි යළිත් ඉතිහාසයේ වෙන් කිසි කලෙක නොවූ තරම් නින්දිත ලෙස අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයට හසු වී සිටින්නෙමු. අප සතු සියල්ල විකුණමින් ඔවුන්ගේ අත පල්ලෙන් වැටෙන දෙයක් කා දිවි රැක ගැනීමේ කාළකන්ණි තත්වයට පහු ගිය අවුරුදු තුනහමාර තුළ දී පාලකයින් විසින් අපව පත් කර ඇත. අප එයින් ගැලවීමට මඟක් සොයමින් වික්ෂිප්තව සිටින මොහොතක මහින්ද යළිත් පැමිණ ඇත. මහින්දගේ පුනරාගමනය වළකා ලීමට බටහිර අධිරාජ්‍ය වාදීහු මේ වන විටත් ඉතාමත් නින්දිත මෙහෙයුමක යෙදී සිටිති. ඔවුන්ගේ තානාපතියෝ අරලියගහ මැදුරේ, කථානායක මැදුරේ පමණක් නොව පාර්ලිමෙන්තුවේ මෙන්ම අධිකරණ ශාලා තුළ ද රොද බැඳ ගෙන ඔහුගේ ගමන වළකාලන්නට වළිකති. මේ දුෂ්කර ගමන ද ආරක්ෂා සහිත ව අප යළිත් කෙම් බිමක් කරා ගෙන යෑමට මහින්දට හැකි වන බව අපට විශ්වාස ය.ඒ පොදු ජනතාව වෙනුවෙන් ඔහුගේ හදවත සදාකාලිකව දැල්වෙන බැවිනි. මුලු රටම ජාතිය ම බලාපොරොත්තුවේ දෑස් දල්වා මහින්දගේ පුනරාගමනය දෙස බලා සිටින්නේ එබැවිනි.

අසහාය නායකයාණෙනි, ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

9/27/2018

මිනිස් සිතේ ප‍්‍රභාශ්වර භාවය පිළිබිඹු කරන ඝරසර්ප

කතෘ:යුතුකම     9/27/2018   No comments
-මහාචාර්ය වසන්ත දේවසිරි-

අද දවසේ දී කෙසේ වෙතත් අප කුඩා කාලයේ දී නම් අපගේ ගෙවල් වලට වරින් වර සර්පයන් ඇතුලූ වීම සුලභ සිදු වීමක් විය. නිතර නිතර ම ගෙවල හැසිරෙන බැවින් ඔවුහු ඝරසර්පයන් ලෙස ද හඳුන්වනු ලැබූ හ. රෙදි කැබැල්ලක භූමි තෙල් ස්වල්පයක් තවරා එය ඇෙඟ් ඇතිල්ල වූ විට ඝරසර්පයා අසරණ වී පලා යයි. ගැරඬින් පෙනේ කළාට කලබල නොවූ මෙරට මිනිස්සු ගැරඬින් මරා පවු පුරවා නොගත් හ. ඔවුහු ගැරඬින්ට කළ හැකි දෙයක් නැති බව ද දැන සිටිය හ. මෙවන් වූ ඝරසර්පයන් නිසා වෙනස් නොවන උදාර වූ මිනිස් සන්තානයේ කතන්දරය යි ජයන්ත චන්ද්‍රසිරි සිය නවතම සිනමා නිර්මාණය වන ඝරසර්ප තුළින් විදහා දක්වන්නේ. බුදු දහමට අනුව මිනිස් සිත ස්වභාවයෙන් ම ප‍්‍රභාෂ්වර ය. එය කිළිටි වන්නේ ආගන්තුක වූ ක්ලේශයන් නිසා ය. ජාති ආගම් වර්ගවාදය අතික‍්‍රමණය කළ මිනිස් සන්තානයේ ප‍්‍රභාෂ්වර භාවය පිළිබිඹු කරන සුන්දර සිනමා පටයක් ලෙසය මා ඝරසරප දකින්නේ. ජයන්තගේ පරපුරට අයත් වන බොහෝ නිර්මාණකරුවන් සිය නිර්මාණ තුළින් නිරූපණය කළේ මෙම මිනිස් සිතට ආගන්තුක වූ ක්ලේශයන් ය. නිර්මාණකරුවෙකු වශයෙන් ජයන්ත චන්ද්‍රසිරි සුවිශේෂී වන්නේ ඔහු මිනිස් සිත ට ආගන්තුක වූ කෙලෙස් ධර්මයන් නොව, මිනිස් සිතට ආවේණික වූ විචිත‍්‍රත්වය සිනමාවට නංවන බැවිනි.

සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය හැටේ දශකය යැ යි මම සිතමි. මෙම යුගය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ම නිර්මාණයක් ලෙස හැඳින් වූ ව ද වරදක් නැත. මෙම යුගය තුළ නිර්මාණය වුනු ගුණාත්මක චිත‍්‍රපට සිත ප‍්‍රහර්ෂයට පත් කරවන සුලූ මිනිස් අධ්‍යාත්මය තුළ නිරායාසයෙන් බිහි වන ගැඹුරු ආදර සම්බන්ධතා නිරූපණය කළ චිත‍්‍රපට ය. එමෙන් ම එම චිත‍්‍රපටවල ජීවත්වන චරිත තම සිත් තුළ හොල්මන් කරන අඳුරු යක්ෂාවේශයගෙන් මිදී නිදහස ලබා ගැනීමට සමත් වන චරිතයන් ය. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් හැටේ දශකයේ නිර්මාණය කළ දෙලොවක් අතර, රන්සළු, ගොලූ හදවත හා අක්කර පහ යන චිත‍්‍රපටි පෙළ මා කියන මෙම කරුණ සනාථ කිරීමට ප‍්‍රමාණවත් වෙතැ යි සිතමි. හැත්තෑව දශකයේ මුල් යුගය තුළ දී වසන්ත ඔබේසේකර, ධර්මසේන පතිරාජ වැනි සිනමාකරුවන් ගේ නිර්මාණ තුළ මේ ප‍්‍රසාද ගුණය තරමක් දුරට හෝ රැඳී තිබුන ද ඔවුන්ගේ පසු කාලීන නිර්මාණ තුළ මෙම ගුණය දක්නට නොලැබිනි. ඉන් පසුව එළැඹුනු යුගය තුළ දී බිහිවුනු නව සිනමා කරුවෝ නව යටත් විජිතවාදය තුළ තුන් වෙනි ලෝකයේ රටවල් තුළ දිනෙන් දින බිඳ වැටෙන ආර්ථික හා සංස්කෘතික වට පිටාව ඔස්සේ මුහුණ දෙන ඛේදවාචකය නිරූපණය කරන චිත‍්‍රපට නිරූපණය කළ හ. තම උරුමය වූ පාරම්පරික හර පද්ධතිය තව දුරටත් වටිනා කමක් නැති හණ මිටියක් ලෙස සළකමින් නිර්මාණය කරණයේ යෙදුනු මෙම සිනමා කරුවන් විය යුතු පරිද්දෙන් ම නිරතුරුව ම ජත්‍යන්තර සම්මානයට පාත‍්‍ර වී ය. සුප‍්‍රකට නයිජීරියානු ලේඛක චිනීවා ඇචිබේ කලකට පෙර ප‍්‍රකාශ කර ඇති අයුරින් ම ඔවුහු දඩයමට ලක් වූ සිංහයාගේ කතන්දරය නොව දඩයක්කාරයාගේ කතාව සිනමාවට නැඟූ හ. දඩයක්කාරයගේ ඇසින් කැමරාවට නැඟුනු මෙම නිර්මාණ තුළ පාරම්පරික සංස්කෘතියක් තුළ ගොඩනැඟුනුු උදාර වූ මිනිස් අධ්‍යාත්මය පිළිබිඹු නොවිනි. සිංහල සිනමාව දශක කීපයක් තිසසේ මුහුණ දෙන ඛෙදවාචකය මෙන් ම අර්බුදය ද මෙය යි.

දඩයක්කාරයින් අත ව්‍යාජ වූ ද අජීවී වූ ද හෝං පලක් බවට පත් වෙමින් තිබුණු සිංහල සිනමාව තුළට යළිත් වරක් අපගේ සංස්කෘතික උරුමය රැගෙන ආ සිනමා කරුවා ය ජයන්ත චන්ද්‍රසිරි. ඔහුට පුරෝගමී සිනමා කරුවෙකු මෙරට සිටියේ නම් ඒ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා පමණක් ම විය යුතු ය. ඔහුගේ අග්නි දාහය, ගරිල්ලා මාකටිං, සමනල සංධ්වනිය,මහරජ ගැමුනු මෙන් ම නවතම නිර්මාණය වන ඝරසර්ප තුළින් ද ඔහු පෙන්නුම් කරන්නේ නව යටත් විජිතවාදී සිනමා කරුවන්ට නොපෙනෙන මිනිස් සන්තානයේ ඇති සුන්දරත්වය යි. සිග්මන් ෆ්‍රොයිඞ් වැනි යල් පැන ගිය මනෝ විද්‍යාඥයින් ගේ මතවාද වලින් නොමිදුනු මෙම සිනමාකරුවන් තවමත් සිතන්නේ මිනිසත් බවේ පදනම ඔවුන්ගේ සිතේ සැඟ වී ඇති කාම සිතුවිලි හා ඉන්ද්‍රියන් පිනවීමේ ආශාව පමණක් ම යැ යි කියා ය.

බටහිර නූතනවාදය වර්ධනය වූයේ මිනිස් ජීවිතයේ සතුට හා සාර්ථක බව රඳා පවතින්නේ ඉන්ද්‍රියන් පිනවීම මත ය යන මිථ්‍යාව මත ය. මෙය ඉතාමත් විනාශකාරී මිථ්‍යාවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ මිථ්‍යාව තුළ ඇති භයානක ම මිථ්‍යාව නම් මිනිස් සිත තුළ ඇති එකම ස්වභාවය ඉන්ද්‍රියන් පිනවීමට ඇති වුමනාව පමණක් ම ලෙස ද ඒ තුළ පිළි ගැනෙන බැවිනි. මෙම මිථ්‍යාව සත්‍යයක් ලෙස පිළිගතහොත් බටහිර නුතනත්වය තුළ අප පෙළන කිසිම ප‍්‍රශ්නයකට විසඳුමක් සොයා ගත නොහැකි බව ද පිළිගැනීමට සිදු වෙයි. ඒ කිසිම කලෙක මුලූ මිනිස් වර්ගයාගේ ම ඉන්ද්‍රියයන් පිනවීමට අවශ්‍ය තරම් සම්පත් ප‍්‍රමාණයක් මෙම ලෝකය මත නිර්මාණය කර ගැනීමට අපට හැකියාවක් නැති ය යන්න ප‍්‍රකට කරුණකි. මිනිස් සිත හා සතුට පිළිබඳව මෙම මිථ්‍යාව පිළිගන්නාතාක් කල් තුන්වන ලෝකයේ සිනමා කරුවන්ට චිත‍්‍රපට නිර්මාණය කළ හැකි තේමාවන්ගෙන් නම් අඩුවක් ඇති නොවනු ඇත. මෙම නිර්මාණකරුවන්ට තව බොහෝ කාලයක් යනතුරු ඉහගෙන කෑ හැකි මෙම නව යටත්විජිතවාදයේ පල් වළ කාන්තා විමුක්තිය, ගණිකා වෘත්තිය, ලිංගිකත්වය, හිංසනය, ස්ත‍්‍රී දූෂණය, මත් ද්‍රව්‍ය, සමලිංගිකත්වය, එච් අයි වී වැනි තේමාවන්ගෙන් පිරී ඇත.

ඝරසරප තුළින් ජයන්ත චන්ද්‍රසිරි මෙම පල් වල ඉහ ගෙන කෑමේ සිනමා කලාවට හුරු වී සිටින පේ‍්‍රක්ෂක අපට ප‍්‍රබල අභියෝගයක් එල්ල කරයි. ඔහු අපෙන් ප‍්‍රශ්න කරන්නේ අපට ජීවත් වීමට මීට වඩා හොඳ දැක්මක් අපට සොය ගත නොහැකිදැ යි යන්න ය. මෙහි දී ඔහු පේ‍්‍රක්ෂක අපගේ මනසට ද එල්ල කරන්නේ බුදු රජාණන් වහන්සේ මීට වසර 2600 කට පෙර මිනිස් මනසට එල්ල කළ අභියෝගයම ය.එනම් සියළු අරූපි ධර්මයන් මනස පෙරටු කොට ඇතිවන බවත්, මනස මුල් කොට පවතින බවත්, මනස තුළින් ම නිර්මාණය වන බවත් යන සත්‍යය යි. මෙය අද අප හිස් මුදුනෙන් පිළිගන්නා බටහිර වාස්ථවික යථාර්ථය සුණු විසිනු කරණු ලබන දහමකි. එම යථාර්ථය මනුශ්‍යයන්ගේ පමණක් නොව, සතුන් සර්පයන් ගහකොළ පමණක් නොව අමනුශ්‍යයන් හා යකුන් පෙරේතයන්ගේ ද හිමිකම් සපුරන යථාර්ථයකි. එමෙන් ම අප විසින් සාක්‍ෂාත් කරගත යුතු මෙම රාගය හා වෛරය මත නොව, අත් හැරීම, මෛති‍්‍රය හා කරුණාව මත ගොඩ නැගෙන නව සමාජ යථාර්ථයක් විය යුතු බව ද ඝරසරප අපට ඉඟි කරයි.

විසි එක්වැනි සියවසට අයත් වන අදීන සිනමා කරුවෙකු වූ ජයන්ත චන්ද්‍රසිරිගේ නිර්මාණ තුළ පිළිබිඹු වන්නේ මිනිස් සිතේ ප‍්‍රභාශ්වර ස්වභාවය යි. චන්ද්‍රසිරි ගේ සිනමා කෘති වල චරිත ගැටුම් වලට මුහුණ දෙන්නේ මිනිස් සිතට ඇතුලූ වන ආගන්තුක උපක්ලේශයන් නිසා ය. ජයන්ත සිනමාවට නඟන්නේ මෙම මතුපිට ආගන්තුක ක්ලේශයන් නොව එම ක්ලේශයන් මඟින් ඔද්දල් නොවූ කරුණාවෙන් හා මෛති‍්‍රයෙන් ප‍්‍රභාශ්වර වූ මිනිස් සන්තාන ය
ඝරසරප චිත‍්‍රපටයේ අතීත කතන්දරයක් ද වර්තමාන කතන්දරයක් ද ඇත. 1980 දී යක්ෂාවේශයන්ට ප‍්‍රතිකාර කරණ හිමි නමක් වසන කතෝලික පල්ලියක දී මුණ ගැසී පෙමෙන් බැඳෙන සිංහල තරුණයෙකු හා කළු කුමාර දිෂ්ටිය වැහුණු දෙමළ තරුණියක පිළිබඳව කතන්දරය ඉන් එකකි. ඉන් වසර තිස් ගණනකට පසුව වියපත් ව ගිය එම තරුණයාගේ බිරිඳට කළුකුමාර දිෂ්ටිය වැළදීමත් ඇයට ප‍්‍රතිකාර කරන කැන්ඩාවේ සිට පැමිණි මනෝ වෛද්‍යවරියත් පිළිබඳ. කතන්දරය දෙවැන්නයි. ප‍්‍රශස්ත ලෙසත් සුන්දර ලෙසත් සිතුවම් කර ඇති මෙම සිද්ධීන් ගැන දිගින් දිගටම විස්තර කිරීමට බලාපොරොත්තු නොවෙමි. කෙසේ වෙතත් තරුණ පෙම් යුවළගේ චරිත නිරූපණය කරන නවක නළුවා හා නිළිය ගැන සඳහනක් නොකිරීම ඔවුනට කරණ අසාධාරනයක් වෙතැයි සිතමි. ජයන්ත චන්ද්‍රසිරිට ම හුරු පුරුදු ප‍්‍රවීන රංගධරයන් සියල්ලන්ම අභිබවා යන රඟ පෑමක් ඔවුන් දෙදනා ඉදිරිපත් කරන බව පැවසීම චිත‍්‍රපටියේ විශිෂ්ට රංගනයක යෙදෙන ප‍්‍රවීණයන්ට කරන අගෞරවයක් වෙතැ යි මම නොසිතමි.

මේ කතන්දර දෙක අතර අපගේ අවධානයට හසු විය යුතු තවත් නොකී කතාවක් ද ඇත. ඝරසරප ආරම්භ වන වකවානුවේ දී එ නම් 1980 ගණන් වළ දී වර්ධනය වුනු කුරිරු ත‍්‍රස්තවාදය මිනිස් ජීවිත දස දහස් ගණනක් බිලි ගත් යුද්ධයකින් අවසාන විය. මේ කාලය තුළ දී අපි අන් කවර කලකත් නොවූ තරම් වේගයෙකින් මෙන් ම දැඩිව ද මිනිසුන් සමාජය තුළ විගලිත කරන නූතනවාදය වැළද ගත්තෙමු. මෙවන් වූ වට පිටාවක අප බොහෝ දෙනෙකුට මතක් වන්නේ යුද්ධය හා බටහිරකරණය තුළ අපට අහිමි ව ගිය දේවල් ය. ජයන්ත චන්ද්‍රසිරි ඝරසරප තුළින් අපට පෙන්වා දෙන්නේ මේ කුරිරු බලවේග දෙක හමුවේ අපට අහිමි වී නොගිය දේවල් ය. එ නම් ආගන්තුක ක්ලේශයන් නිසා විනාශ නොවුනු කරුණාවෙන් හා මෛති‍්‍රයෙන් ප‍්‍රභාශ්වර වූ අප සතු පාරම්පරික විඥානය යි. 1980 දී මෙන් ම 2018 දී ඔවුන් එකිනෙකා ගේ දුක සැප බෙදා ගන්නේ ආදරය කරන්නේ ජාති ආගම් හා සමාජ භේද වලින් මිදුනු පිරිසක් ලෙස ය. එම පාරම්පරික විඥානයේ ම කොටසක් වූ කලූ කුමාරයා (ඝර්සරප යනු කලූ කුමාරයාට නමකි) පවා ඔවුනට හිමි තැන සිහි කර දෙමින් වරෙක හිතවත් ව හැසිරේ. ඒ කලූ කුමාරයා නොහොත් ඝරසරප අප අධ්‍යාත්මයේ ම කොටසක් බැවින් ද?

මහාචාර්ය වසන්ත දේවසිරි
අංශ ප‍්‍රධාන/ ළමා රෝග අංශය
වෛද්‍ය පීඨය, රුහුණු විශ්ව විද්‍යාලයය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

4/26/2018

පය බරවායට පිටකර බෙහෙත් බැඳීම නොහොත් විද්‍යාත්මක කැබිනට් සංශෝධනය.

කතෘ:යුතුකම     4/26/2018   No comments
රාජ්‍ය කරනවා යැ යි කියන හවුල් ආණ්ඩුවේ පාර්ශව කරුවන් පෙබරවාරි මාසයේ ප්‍රාදේශීය සභා නගර සභා ඡන්දයේ දී අන්ත පරාජයකට මුහුණ දුන්නේ ය. කුකුළා ගේ කරමල මෙන් උදේ හවස රූප පෙට්ටිවල දුටු හවුල් ආණ්ඩුවේ නායකයින් දෙපොළ දැක ගැනීම හාවා හඳ දැකීම වැනි දුර්ලභ දෙයක් විය. ඔවුන් රටේ සිටින බව පවා ජනතාව පසක් කර ගත්තේ හොලිවුඩ් පාතාළ චිත්‍රපටයක මෙන් සැප කාර් වලින් නායකයින් දෙපොළගේ මන්දිර වලට ඇදෙන ඉන් පිටවෙන ගෝල බාලයින් දවසේ තිස්සේ රූප පෙට්ටි වලින් දුටු බැවිනි.දිගින් දිගටම සාකච්ඡා කළ ඔවු හු පය බරවායට පිටකර බෙහෙත් බඳින්නා වැනි වූ කදිම විසඳුමක් ඉදිරිපත් කළ හ. ඒ දැනෙන වෙනසක් එනම් කැබිනට් සංශෝධනයක් ගෙන ඒමට යි.

කැබිනට් සංශෝධනයක් බලයට කෑදර ඇමතිවරුන්ට ම මිස පොදු ජනතාවට වැදගත් නො වන බව ඔවුනට කියා දීමට තරම් බුද්ධිමතෙක් බලයට ම කෑදර ඔවුන් අතර නො සිටිය හ. කෙසේ වුව ද සමගියෙන් රැස් වන, සමගියෙන් තීරණ ගන්නා, සමගියෙන් විසිර යන ලිච්ඡවි රජ දරුවන්ගෙන් කොටසක් වෙන ම රැස් වී ඇමතිකම් කීපයක් තමන් අතර ම යළි බෙදා ගත් හ. ලිච්ඡවින් ගේ ඉතිරි කොටස එසේ ඇමතිකම් යළි බෙදා හදා නො ගත්තේ එසේ කළහොත් සමගිව විසර යෑමේ ලිච්ඡවි සම්ප්‍රදාය රැක ගැනීමට ඔවුන් අසමත් වනු ඇති බැවින් විය යුතු ය.

කොරේ පිටට මරේ කීවාක් මෙන් ඔය අවු අස්සේ ම අගමැතිවරයාට විරුද්ධ ව විශ්වාස භංග යෝජනාවක් එල්ල විය. ජනතා අභිලාෂයන් වෙනුවෙන් නොව ලිච්ඡවි සම්ප්‍රදාය රැක ගැනීම පමණක් ම ප්‍රතිපත්තිය කරගත් රාජ්‍ය නායකයෝ සමගිව රැස් වී අගමැතිවරයා රැක ගෙන සමගි ව විසිර ගිය හ.යළිත් වරක් ජනතා අභිලාෂයන් ට විරුද්ධව යමින් රජය හා අගමැතිවරයා රැකගත් යහපාලනය මිස දේශපාලනය නොදන්නා ඊනියා නායකයන්ට ජනතාවට දීමට ඉතිරි ව ඇත්තේ තවත් කැබිනට් සංශෝධනයක් ම පමණෙකි. එකම වෙනස මෙවර ඔවුහු 'දැනෙන' කැබිනට් සංශෝධනයක් වෙනුවට 'විද්‍යාත්මක' කැබිනට් සංශෝධනයක් ගෙන ඒමට සැරසීම පමණ්‍කි. කෙසේ බෙතත් 'දැනෙන කැබිනට් සංශෝධනයට මෙන් ම 'විද්‍යාත්මක කැබිනට් සංශෝධනය'ට ද මේ වන විටත් බාලගිරි දෝෂය වැළඳී ඇති දැ යි යන සැකය ඇති වේ. කෙසේ වුවත් මෙය ජනතාවට එතරම් වැදගත් නො වන්නේ මෙය බඩජාරී දේපාලකයන්ගේ ප්‍රශ්නයක් මිස ජනතාව ගේ ප්‍රශ්නයක් නොවන බැවිනි. මේ රටේ ජනතාව බලාපොරොත්තු වන්නේ රජය වෙනස් වීමක් මිස ඇමති මණ්ඩල වෙනස් වීමක් නම් නොවේ. ඔවුනට අවශ්‍ය වන්නේ රට රැක ගත හැකි ආණ්ඩුවක් මිස ආණ්ඩුව රැක ගත හැකි ආණ්ඩුවක් නො වේ.

වෛද්‍ය වසන්ත දේවසිරි
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook
https://www.facebook.com/yuthukama

2/13/2018

වෙනස හා දැනෙන වෙනසක්

කතෘ:යුතුකම     2/13/2018   No comments
-වෛද්‍ය වසන්ත දේවසිරි

පළාත් පාලන මැතිවරණය අවසන් වී දින කීපයක් ගත වී ඇත. ස්වාධීන මැතිවරණ කොමිසම විසින් අවසන් නිළ ඡන්ද ප්‍රතිඵලය නිකුත් කර අවසන් කරණ ලද්දේ කවදා දැයි මම හරි හැටි නොදනිමි. මා දන්නේ 2015 ජනවාරියේ දී වෙනසක් වෙනුවෙන් අටවා ගන්නා ලද හවුල් ආණ්ඩුව නියෝජනය කරණ ප්‍රධාන පක්ෂ දෙකම මෙම මැතිවරණයේ දී දරුණු ලෙස පරාජය පත් වී ඇති බව ය. මේ පක්ෂ දෙකේ නායකයින් මේ දක්වාත් ජනතාව හමුවේ ප්‍රකාශයක් කිරීමටවත් ඉදිරිපත් නොවීම ම ඔවුන් පත්ව ඇති තත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට ප්‍රමාණවත් ය. ජනතාවට ඉදිරියේ දී සිද්ධ වීමට හැකි දේ ගැන අනුමාන කරමින් සිටීමට සිදු වීම ම රට අරාජික තත්වයට පත් ව ඇති බව පැහැදිලි කරතැයි සිතමි. කෙසේ වෙතත් මේ රට අරාජික තත්වයට පත් වූයේ 2015 ජනවාරි 8 වැනි දා බව මේ රට වසන බුද්ධිමත්හු බොහො දෙනක් දැන සිටිය හ. 2018 පෙබරවාරි 10 වැනි දින පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල තුළින් පෙන්වා දුන්නේ කාලයක් තිස්සේ පැවති මෙම අරාජික බව තව දුරටත් සඟවා ගත නොහැකි බව ය. හවුල් ආණ්ඩුවේ නායකයින් දෙදනා සැඟවී ගැනීමෙන් නම් මේ සත්‍යය ජනතාවගෙන් සඟවා ගත නොහැකි ය. අවාසනාව නම් නායකයින් සැඟවී ගනිද්දී ජනතාවට ජනාධිපති මන්දිරයෙන් හා අරලියගහ මන්දිරයෙන් එළියට එන දෙවන පෙළ නායකයින් කියන කතා විස්වාස කිරීමට සිදු වීමයි.

ජනාධිපතිවරයා ඉදිරි දින කීපය තුළ දී 'දැනෙන වෙනසක්' සිදු කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රීලනිපයේ දෙවන පෙළ නායකයෙක් ප්‍රකාශ කරණු අපි දුටුවෙමු. මෙහි දී මතුවන බරපතලම ප්‍රශ්නය නම් වෙනසක් කිරීමට යැයි 2015 දී බලය ලබාගත් ජනාධිපතිවරයා ජනතාවට දැනෙන වෙනසක් කිරීමට මෙතුවක් කල් සමත් වී නැද්ද යන්න යි. මෙය පිළිගත නොහැක්කේ සිය දේශපාලන සගයන්ට සිත් සේ මහ බැංකුව කොල්ල කෑමට ඉඩ සළසා දෙමින්, ජනතා ආදරයට ලක් වූ නායකයින්ගෙන් පළි ගැනීමට තැත් කරමින්, පර්ලිමේන්තුව තිළ ප්‍රජාතන්ත්‍රවාදය විකෘති කරමින්, ජනතාව මත බර පැටවෙන සේ රටේ ආර්ථිකය දුර්වල කරමින්, දේශීය සම්පත් විකුණමින්, රණවිරුවන් යුද්ධාපරාධකරුවන් ලෙස ජාත්‍යන්තරයට යෝජනා කරමින් කරණ ලද වෙනස ජනතාවට හොඳින් දැනී ඇති බව නම් පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය තුළින් මනාව පැහිදිලි වන බැවින් ය. නොදැනුනු වෙනස රටකට මෙතරම් අහිතකර ලෙස බල පා ඇති කල දැනෙන වෙනස කොහොමට හිටීදැයි හිතා ගැනීම ජනතාවට ම බාර කරමි. ජනතාව මෙහි දී ඉතාමත් කල්පනාකාරී විය යුත්තේ අභියෝගයට ලක් කරණ ලද විට දී දුර්වල නායකයින් දුර දිග බලා තීරණ ගැනීමට අසමත් වනවා මෙන් ම ආවේගශීලි තීරණ ගැනීමට ද විශාල ඉඩ කඩක් ඇති බැවිනි. එවන් වූ දැනෙන වෙනසක් රටකට අහිතකර ලෙස බලපෑමට ඇති ඉඩ කඩ සුළුපටු නොවේ.

අනිත් අතට තමන් තනි ආණ්ඩුවක් පිහිටවන බවට එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් ප්‍රකාශ කරයි. එසේ රජයක් පිහිටවනු ලැබුවොත් ජාතික සංස්කෘතික හෝ ආර්ථික ප්‍රතිපත්තියක් නැති එක්සත් ජාතික පක්ෂය අප සතු ජාතික සම්පත් සියල්ල ම ඉදිරි අවුරුදු දෙකක සුළු කාලය තුළදී විකුණාගෙන කෑමට ඇති ඉඩකඩ සුළුපටු නොවන බව තේරුම් ගැනීමට බුද්ධිමත් ජනතාවට අපහසු වෙතැයි මම නොසිතමි. මෙසේ උදාවිය හැකි අඳුරු අරාජික බව තුළ මා දකින සුභවාදී ලකුණ නම් මෙවර පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ දී දැක් වූ විශිෂ්ට කුසලතාවය යි.ඔව්හු අප මුහුණ දුන් අවාසනාවන්ත වෙනසින් මෙන් ම අනාගතයේ දී මුහුණ දිය හැකි දැනෙන වෙනසින් ද මාතෘ භූමිය මුදා ගැනීමට සමත් වනු ඇත. ඒ සඳහා අවශ්‍ය ශක්තිය හා ධෛරය ඔවුන්ට ඇති බව මගේ විශ්වාසයයි.


2018. 02. 12
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

12/11/2017

වසර තිස් පහකටත් පෙරදි සිදු වූ දෙයක්

කතෘ:යුතුකම     12/11/2017   No comments
වසර තිස් පහකටත් පෙරදි සිදු වූ දෙයක්

(පේරාදෙනිය විශ්ව විද්‍යාලය පසුබිම් කොට ලියා ඇති මේ කවි පන්තියේ එලිස් එක යනුවෙන් හඳුන්වා ඇත්තේ වෛද්‍ය ශිෂ්‍යයන් විසින් භාවිතා කරණ 'හැරල්ඩ් එලිස්' ගේ 'ක්ලිනිකල් ඇනටොමි' නමැති පාඩම් පොතයි )

'දුටුවාද දේවෙ උඹ
එලිස් එක එහෙම මගෙ
මේසෙ උඩ තියල ගියෙ
උදේ ලෙක්චස් යද්දි'

'කොහේ හරි ඇති ඕක
හොඳට බලපං හොයල'
කීවෙමිය ගොඩයාට
නොමුදා ම පොතින් නෙතු

'දැක්කෙ නෑ දවසටම
සුමනයව තවම මම
ඇසෙස්මන්ට් එක හෙටයි
වගක්වත් නෑ ඌට'

කියන කොටමයි සුමනෙ
වැදුනෙ කාමරෙ තුළට
ගීයකුත් මුමුණ ගෙන
බඹර පදමට වැදිල

'කරක් ගැහුවා නුවර
හවස් වරුව ම ඔහේ
දෙකක් දා ගත්ත බං
ඩෙවොන් එකෙ කන ගමං

'අතේ පිච්චිය නැතිව
අඬ අඬා හිටි උඹට
කොහෙන් ලැබුනද සල්ලි
අඩි ගහන්නට කන්න'

'විකුණුවා මං උඹගෙ
එලිස් එක ෆ්‍රෙෂෙකු හට
දෙසීයක් ලැබුන මට
හැටක් ඉතුරුයි උඹට'

මතක නෑ වදන් මට
ගොඩයගේ මුවින් නැගි
මතක තිබුනා වුනත්
ලියන්නට බෑ මෙතෙන

වසර තිස් පහකටත්
පෙරදි සිදු වූ දෙයක්
සිහිවුනේ මට මෙදින
පුවත් නරඹන අතර
විකුණනා අයුරු දැක
වරායක් නොරටනුට'

මතක නෑ වදන් මට
ගොඩයගේ මුවින් නැගි
මතක තිබුනා වුනත්
ලියන්නට බෑ මෙතෙන

වසන්ත දේවසිරි
2017.12. 09

යුතුකම සංවාද කවය
www.yuthukama.com

12/03/2017

කෙළෙහි ගුණ නොමදත් මිනිස් කැළ

කතෘ:යුතුකම     12/03/2017   No comments
-වෛද්‍ය වසන්ත දේවසිරි

"පිතු සෙනේ පිය හද තුළම මිස
නැත පුතුන් හද තුළ රඳන්නේ" (සිංහබාහු )

වෙත දුලබ ගුණ පිරි පුතුන් ලොව
හද රැඳුනු පියවරුන් කළ ගුණ
මැත දොඩති පින් මද පුතුන් නිති
දැක ගුණැති පුතු පුදන පිය ගුණ

හැම පියෙකු බඹ සම ය ලෙව් තුළ
දරු හැදූ යහ ගුණෙන් සපිරුණු
රට දැයට බැඳි පෙම නොහැර නිති
කෙම් බිමක් කර දුන් සැමට වැසි

ඉදි කෙරුණු සැමරුම් මහල් දැක
පියවරුන් සමරා එවන් වූ
තුටු පහටු වෙයි හුදී ජන හද
පියවරුන් ගුණ පුදන පුතු දැක

අප පුතුන් අද බිය නැතිව හද
සැරි සරති මේ බිම සිතැඟි ලෙද
පින් පිදිය යුතු වේ සියල් කල්
පියවරුන් වෙත හැදු එවන් දරු

හැර කුහක වත අප වෙලන අද
බල විවර කර හද ඇතුලු ගැබ
ඉඩ දෙතොත් දඟ ගෙයි දමන්නට
පිය සෙනේ අඳුනන පුතුන් සොඳ
නිති රකින සම්බුදු සසුන රට
දෙව් රදුන් සම්දිටු අතැර අප
යනු නිසැක කුමකට රකිනුදැයි
කෙළෙහි ගුණ නොමදත් මිනිස් කැළ

2017 උඳුවප් මස 2 වැනි දා


යුතුකම සංවාද කවය
www.yuthukama.com 

Like us on facebook : https://www.facebook.com/yuthukama

9/26/2017

'ඔවුහු' 1959 සැප්තැම්බර් මස 26 දින බණ්ඩාරනායක මහතාට වෙඩි තබා ඝාතනය කළ හ.

කතෘ:යුතුකම     9/26/2017   No comments
- වසන්ත දේවසිරි -
බණ්ඩාරනායක මහතා මෙරට නූතන දේශපාලනය තුළ බිහි වූ ප්‍රථම ජනතා නායකයා ය. 1956 දී එතුමා විසින් නායකත්වය දෙන ලද පොදු ජන ව්‍යාපාරය මෙරට බමුණු කුලයට එරෙහිව කරණ ලද සංස්කෘතික විප්ලවයක් ලෙසටය මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් හඳුන්වා දුන්නේ. මෙය 1816 සිටම අධිරාජ්‍යවාදයට එරෙහිව මෙරට පොදු ජනතාව විසින් කරගෙන ආ අඛණ්ඩ අරගලයක එක් ජයග්‍රාහී අවස්ථාවක් ලෙස ඉතිහාසයේ සනිටුහන් වෙයි. පනස් හයේ විප්ලවයේ සංස්කෘතික අධ්‍යාත්මය අවබෝධ කර ගැනීමට කියවිය යුතු වැදගත්ම ලේඛන දෙකකි 'බෞද්ධ කොමිෂන් සභා වාර්ථාව හා මාර්ටින් වික්‍රමසින්හ ශූරින්ගේ 'බමුණු කුලය බිඳ වැටීම'.

මෙම ජනතා ජයගහණයට එරෙහිව බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමට තරම් ප්‍රබල වූ 'ඔව්හු' කවුරහුද? ඒ ඩොමීනියන් පාලන ක්‍රමයක් මඟින් සීමිත නිදහසක් පමණක් ලබා දී මෙරට හැර ගිය සුද්දන් හා ඔවුන්ගේ අනුප්‍රාප්තිකයන් බවට පත් වූ කළු සුද්දන් ය. එහෙත් බන්ඩාරණායක මහතා ඝාතන නඩුවේදී චෝදනා ලැබ සිටියේ බමුණු කුල ඇත්තන් නොව එතුමා නායකත්වය දුන් පංච මහා බලවේගයේ කොටස් කරුවන් වූ සංඝයා වහන්සේලා හා වෙද මහ්ත්තුරුන් ය. ඔවුනට තම නායකයා මරා දැමීමට තරම් ප්‍රබල හේතු තිබුනිද? බණ්ඩාරනායක පාලනය තුළින් අවුරුදු තුනක් වැනි සුළු කාලයක් තුලදී සිය අභිලාශයන් ඉටු නොවීම නිසා ඔවුන් සිය නායකයා ඝාතනය කළේය යන්න පිළිගත හැකි ප්‍රවාදයක්ද? ඒ. සී. අලස් මහතා සඳන් කරණ අයුරින් ම මෙම සැකකරුවන්ට අගමැතිවරයෙකු ඝාතනය කිරීමට තරම් ප්‍රබල වූ ද පිළිගතහැකි වූද කාරණා තිබුනේ නැත. එසේ නම් මෙම විත්තිකරුවන් වෙනත් පිරිසක් විසින් මෙහයවනු ලැබුවා වූ ඉත්තන් පිරිසක් පමණක් ද? එසේ නම් බණ්ඩාරනායක මහතාව ඝාතනය කළ ‘ඔවුහු’ මෙරට බමුණු කුලය සහ ඔවුන්ගේ හාම්පුතුන් ම විය හැකිය යන්න තර්කානුකූල නිගමණයෙකි. මෙය බණ්ඩාරනායක මහතාට පමණක් නොව නව යටත්විජිතවාදී යුගය තුලදී ලොව ප්‍රගතිශීලී ජනතාවාදී නායකයින්ට මුහුණ පෑමට සිදු වූ ඉරණමකි. කොන්ගෝවේ පැට්‍රිස් ලුමුම්බා, චිලී හි සැලවදෝර් ඇලන්ඩේ, පැනමාවේ ඕමාර් ටොරීජාස්, ඉක්වඩෝරයේ රියල්ඩෝ ආදීන් මෙවන් වූ ඉරණමකට ලක් වූ නායකයන් අතරින් කිහිප දෙනෙකු පමණි. බණ්ඩාරණයක මහතා ගත් මඟ ම ගත් මැතිණියගේ පවා ජීවිතය වරක් අනූ නවයෙන් බේරුනු බව ප්‍රකට කරුණෙකි.

කෙසේ වුවත් බණ්ඩාරනායක මහතාට පවා එවන් වූ මඟක් ගැනීමට පෙළඹ වූ මෙරට පොදු ජන විඥානය එතුමාගේ මරණයත් සමඟ මිය ගියේ නැත.ඒ නිසා කළු සුද්දන්ට හා ඔවුන්ගේ හාම්පුතුන්ට බණ්ඩාරනායක මහතා මරා දැමූ පසුව ද යළි යලිත් මරා දැමීමට සිදු විය. මිය ගිය බණ්ඩාරනායක මහතා යළි යළිත් මරා දැමීම සඳහා සඟ වෙද ගුරු ගොවි කම්කරුවන් පමණක් නොව ඔහුගේ දූ පුතුන් පවා වරින් වර යොදා ගත හැකි වූ අයුරු නොරහසකි.

බණ්ඩාරණායක මහතාව යළි යළිත් ඝාතනය කිරීම යනුවෙන් මා අදහස් කරන්නේ එතුමාගේ අනුප්‍රාප්තිකයන් විසින් නව යටත් විජිත වාදීන්ගේ මන දොළ සපුරා ලීම සඳහා එතුමාගේ ප්‍රතිපත්ති පාවා දෙනු ලබීමයි. බණ්ඩාරනයක මහතාට ප්‍රතිපත්තියක් තිබුනේ දැ යි යන මතය ඇතම්හු අද ද නඟති. එකල ඇතැම් විරුද්ධවාදීන් විසින් එතුමා ව 'සෙවෙළ බණ්ඩා' යන අපහාසාත්මක නමින් හැඳින් වූයේ එතුමා ප්‍රතිපත්තියක් නැති අවස්ථාවාදී දේශපාලකයෙකු ලෙස ඔවුන් සැළකු බැවින් විය යුතු ය. බැලූ බැල්මට මෙහි යම් සත්‍යයක් නැත්තේ ද නැත. ඒ බණාඩාරකායක මහතා ක්‍රියා කළේ එතුමා ජනතාව සමඟ ඇති කරගත් සම්මුතියකට අනුව මිස සෑම විටදීම පක්ෂයේ ප්‍රතිපත්තියට අනුකූලව ම නොවන බැවිනි.එතුමා පනස් හයේ මැතිවරණයට ඉදිරිපත් වූයේ බෞද්ධ කොමිෂන් සභා වාර්තා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජනතාව සමඟ සම්මුතියකට එළඹෙමිනි. එතුමා කිසි කළෙකත් සිය ලිබරල් වදී දේශපාලන මතවාද ජනතාව මත බලහත්කාරයෙන් පැටවීමට උත්සාහ නොකළ අතර පොදු ජන මතය නිවැරදිව වටහා ගෙන ඒ අනුව සිය දේශපාලන ප්‍රතිපත්තිය සකස් කර ගත් දේශපාලකයෙකි.ජනාතාවාදී දේශපාලන නායකයෙකු වූ ඔහු මේ කෙටි කාලය තුළ දී රටේ ආරක්ෂක, ආර්ථික මෙන් ම සේවා සැපයුම් මර්මස්ථාන ද ජනතාව අතට පත් කිරීමට පියවර ගත්තේ ය. ක්ෂත්‍රිය වංශයේ වගකීම ජනතාවට රටේ භූමිය ආරක්ෂා කර දීම යි. එතුමා ඒ වෙනුවෙන් නොබියව පෙනී සිටියේ ය. වරාය ගුවන් තොටුපල රජයට පවරා ගන්නා විට ඇති වුනු අභියෝගයන්ට එතුමා මුහුණ දුන්නේ අවශ්‍ය නම් අධාජ්‍යවාදීන් සමඟ යුද්ධයකට වුවද මුහුණ දීමට තමන් සූදානම් බව පවසමිනි. අද ද මේ රටට අවශ්‍ය වී ඇත්තේ එවන් වූ උදාරත්වයෙන් යුතු වූ නායකත්වයකි.

අග්ගඥ්ඥ සූත්‍රයේ ද සඳහන් වන අයුරු ජනතාව විසින් ගොවියන් අතරින් කෙනෙකු රජුන් ලෙස පත් කර ගන්නේ ගොවි බිම් මෙන් ම තමන් ද රැක ගැනීමට හැකි ශක්තිය මෙන් ම පෞර්ෂය ද ඇති අයෙකි.යම් ජන කොටසක් ගොවි රජෙකු වෙනුවට කුඹුරේ කුරුල්ලන් එළවීමට සාදා ඇති පඹයෙකු තම නායකයා ලෙස පත් කර ගත හොත් ඒ රටට අත්වන ඉරණම ගැන කතා කිරීම අවශ්‍ය වෙතැ යි මම නොසිතමි. පඹයා කොතරම් හොඳ වුව ද ඔහුට ගොවි බිම් ද ගොවියා ද රැක ගත නොහැකි ය.

බණ්ඩාරනායක මහතා යනු භූමිය මෙන් ම ජනතාව ද ඔවුන් ගේ උරුමය ද රැක ගැනීමට තරම් පෞර්ෂයක්, ශක්තියක් හා පරිචයක් තිබුනු උදාර ක්ෂත්‍රිය නායකයෙකි. එවන් වූ නායකයන් ලොව සෑම තැනම සෑම විටම අධිරාජ්‍යවාදීන්ගේ උදසට ලක් වේ. 'ඔවුහු' හැම විටදීම පඹයන් ආරක්ෂා කර ගනිමින් සැබෑ නයකයින් විනාශ කර දමනු ඇත. යළිත් වරක් මේ භූමිය තුල සැබෑ බණ්ඩාරනයකලා ඝාතනය වීමට ඉඩ නොතැබීමට වග බලා ගැනීමට අපි අද දින ඉටා ගනිමු.

වසන්ත දේවසිරි
2017 බිනර මස 26 දින

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

8/22/2017

ආනන්ද කුමාරස්වාමි හා ජාතික අධ්‍යාත්මය

කතෘ:යුතුකම     8/22/2017   No comments
ආනන්ද කුමාරස්වාමි හා ජාතික අධ්‍යාත්මය
අධ්‍යාත්මික අවජාතකයන්ගේ හා සබුද්ධික නීචයන්ගේ යුගය හමාර කරමු.

-වෛද්‍ය වසන්ත දේවසිරි -

අපි අද අපගේ ජාතික නිදහස් සටනේ තීරණාත්මක සන්ධිස්ථානයකට අවතීර්ණ වී සිටිමු. මේ තීරණාත්මක අවස්ථාවේ දී බුද්ධිමත්ව සිතා නිවැරැදිව ක්‍රියා නො කළහොත් අපට අප සතු සියලූ ම දේ අහිමි වීමට ඉඩ ඇත. අප සතු සියලූ ම දෙය අපට අහිමි වුනහොත් අපට තව දුරටත් පැවැත්මක් නැත. මා අප සතු සියලුම දෙය ලෙස හඳුන්වන්නේ අප සතු ගේ දොර, යාන වාහන, ඉඩ කඩම් නො වෙන බව මෙම සටහන කියවන බුද්ධිමත් පාඨකයින් වටහා ගනු ඇත. එසේ නම් අප සතු අපට අහිමි වීමට ඉඩ ඇති ගේ දොර ඉඩ කඩම් වලට වඩා වටිනා දෙය කුමක් ද?
අප අද මුහුණ දෙන මේ උභතෝකෝටිකය මීට සිය වසකට පමණ පෙර ඉසිවර නුවණින් දුටුවෙකි, ආනන්ද කුමාරස්වාමි නමැති මහා ප්‍රඥයා.
ලංකාවේ දෙමළ ජාතික පියෙකුට හා ඉංගිරිසි ජාතික මවකට දාව ආනන්ද කුමාරස්වාමි කොළඹදී මෙලොව එළිය දුටුවේ 1877 අගෝස්තු මස 22 වැනි දින ය. එනම් මීට අවුරුදු 140 කට පෙර මෙරට ඉංගිරිසින්ගේ යටත් විජිතයක්ව පැවති යුගයේ දී ය. කුඩා කළ ම සිය පියාගේ වියෝ වීම නිසා මවත් සමඟ එංගලන්තයට යන කුමාරස්වාමි අධ්‍යපානය හමාර කොට යළිත් මෙරටට පැමිණෙනේ 1903 වසරේදී ය. ඉන් පසුව එතුමා ලංකාවේ ගත කරණ කාලය වසර දහයක් පමණක් වුව ද ඒ කෙටි කාලය තුළ යටත් විජිත බලපෑම නිසා බිඳී යමින් තිබුනු ජාතික අධ්‍යාත්මය අවදි කිරීමට තීරණාත්මක බලපෑමක් කිරීමට එතුමා සමත් විය.


යටත් විජිතවාදීන්, විශේෂයෙන්ම ඉංගිරීසින් විසින් මෙරට ස්ථපිත කරනු ලැබූ අධ්‍යාපනය කුමාරස්වාමි මහතාගේ විවේචනයට ලක් විය. එම අධ්‍යාපනය පිළිබඳව එතුමාගේ අදහස් හකුළා දක්වන්නෙකි මෙම ප්‍රකාශය.


‘ඉංගිරිසි අධ්‍යාපනය සහ බලපෑම අප සතු වූ තාක් සියල්ල පැහැර ගැනුණු අතර තව දුරටත් අප පිලිබඳ නොදන්නා, අප ගැන විශ්වාස නොකරන, අපේ ම මිනිසුන් ගැන දොම්නසට පත්, අමුත්තන්ට පුදන්නට වටනා කිසිදු දෙයක් ඉතුරු නොකරගත් අධ්‍යාත්මික අවජාතකයන් අහිනක් බවට පත් කෙරිණ.’
එම අධ්‍යාපනය මඟින් අප අප සතු සභ්‍යත්වයට උරදුන් සභ්‍යත්ව විඥානයට, ජාතික චින්තනයට සංවේදී නොවෙන, එය උපහාසයට, පිළිකුලට ලක් කරන පිරිසක් බවට පත් වනු ඇති බව නොවේ ද කුමාරස්වාමි දුටුවේ? මෙය මෙම රටවල් සදාකාලිකවම යටත් විජිතයන් වශයෙන් තබා ගැනීම සඳහා ඉංගිරිසින් විසින් හිතා මතා ඉන්දියාවේ හා ලංකාවේ ක්‍රියාත්මක කරණ ලද්දක් බව කුමාරස්වාමි මහතා හොඳින් තේරුම් ගෙන සිටියේ ය. මෙම සම්පූර්ණ ක්‍රියාවලියම කුමාරස්වාමි මහතාගේ දැඩි පිළිකුලට ලක් වූ බව පහත සඳහන් ප්‍රකාශ වලින් පැහැදිලි වෙයි.
‘ඔබේ අධ්‍යාපනය අපනයනය කිරීමේ ක්‍රියාවලිය, ඔබේ ආයුධ භාවිතයටත් වඩා අතිශයින් දරුණු වේ. එමගින් ලමයින්ට උගන්වන ලද්දේ, සිය මව්පියන් පිළිබඳ ව, සිය ජාතිකත්වය පිළිබඳ ව, සිය නම් පිළිබඳ ව ලජ්ජා වන්නට පමණි.’
එවන් වූ අධ්‍යාපනයක් තුළින් බිහි විය හැකි අභිමානයෙන් තොර නිවට පරපුරක් හැඳින්වීමට කුමාරස්වාමි මහතා අධ්‍යාත්මික අවජාතකයින් යන වචනයට අමතරව සබුද්ධික නීචයන් යන වචනයද යොදා ගත්තේ ය.
එතුමා 'මධ්‍යතන යුගයේ සිංහල කලාව' යන පරේෂණ ග්‍රන්ථය කළේ ඊනියා උගතුන්ගේ නොසැළකිල්ල නිසා විනාශයට පත් වෙමින් පැවති පොදු ජන කලාවන් රැක ගැනීමට මෙන් ම ඒ තුළින් වියැකී යමින් තිබුනු ජාතික අධ්‍යාත්මය ද යළි පුබුදුවා ලීමට ය.
කුමාරස්වාමි මහතා 1913 න් පසුව ජීවත් වූයේ ඉන්දියාවේ සහ ඇමෙරිකාවේ ය. අසාමාන්‍ය ගනයේ බුද්ධිමතෙකු වූ එතුමාගේ ශාස්ත්‍රීය ගවේශණයේ දී එතුමා අතට හසු නොවුනු ශාස්ත්‍රීය විෂයක් නොමැති තරම් ය යනුවෙන් ඩී. බී. ධනපාල මහතා සිය Among those present කෘතියේ සඳහන් කරයි.
ඇමෙරිකාවේ ජීවත් වුව ද කිසි දින තමා ලාංකිකයෙකු බව අමතක නොකළ කුමාරස්වාමි මහතා 1947 සැප්තැම්බර් මස 9 වැනි දා මැසෙසුසෙට් ප්‍රාන්තයේ නිවසේ දී මිය ගිය අතර එතුමාගේ බිරිඳ විසින් අළු වලින් කොටසක් ඉන්දියාවේ ගංගා නදියේ ද කොටසක් ලංකාවේ ගංගාවක ද (කුමන ගංගාවේ දැයි පැහැදිලි නැත්) පා කර හැර ඇත.
ආනන්ද කුමාරස්වාමි නම් වූ මහ ප්‍රාඥයාගේ කතන්දරය එතනින් අවසන් වුව ද මෙරට අධ්‍යාත්මික අවජාතකයන්ගේ හා සබුද්ධික නීචයන්ගේ කතාව අවසන් වන්නේ නැත.එතුමාගේ මරණයෙන් මාස පහකට පසුව ඉංගිරීසින් මෙරට හැර ගිය ද එය ජාතික නිදහසක් ලෙස සැළකිය නොහැක්කේ එහිදී සිදු වූයේ ඉංගිරිසින් සතු ව තිබුනු බලය මෙරට අධ්‍යාත්මික අවජාත්කයින් හා සබුද්ධික නීචයන් අතට පත් වීමක් පමණක් වූ බැවිනි.
එදා මෙදා තුළ ගෙවී ගිය දසක හතක කාලය තුළ දී අපට කුමාරස්වාමි මහතා සඳහන් කළ අයුරෙන් අප සතු සියල්ල ම අහිමි නොවුනේ අපගේ උරුමය නිවැරදිව තේරුම් ගත් අධ්‍යාත්මික සුජාතයන්ගේ පරපුරක් ද වාසනාවකට මෙන් මෙරට තුළ බිහි වී සිටි බැවිනි. ඔවුන් අත විටින් විට බලය මාරු වීමේ කතන්දරය කීමට ගියහොත් මෙම ලිපිය අනවශ්‍ය ලෙස දිග් ගැසෙනු ඇත.
අප මේ මොහොතේ දී බුද්ධිමත්ව හා නිවැරදිව ක්‍රියා නොකළොත් අපට අප සතු සියල්ල අහිමි වනු ඇතැයි මා ප්‍රකාශ කළේ කිනම් අර්ථයකින් දැයි දැන් විමසා බලමු.
2015 ජනවාරි මාසයේ දී අධ්‍යාත්මික අවජාතකයෝ හා සබුද්ධික නීචයෝ යටත් විජිතවාදීන් ගේ ආශිර්වාදය හා ආධාර ලැබ තීරණාත්මක ලෙස සිය බලය තහවරු කර ගත් හ. කුමාරස්වාමි මහතා කීවාක් මෙන් ම ඔවුන් අප සතු සියලු දෙයම පැහැර ගනු ඇත. එය හම්බන්තොට වරායට, මත්තල ගුවන් තොටුපලට හෝ මහඉලුප්පල්ලමට පමණක් සීමා නොවනු ඇත. එයට දිනෙක මුලු රටම නතු වෙනු ඇත. එවන් වූ තත්වයක් තුළ අප සතු සංස්කෘතිය, සභ්‍යත්වය, ඒ සභ්‍යත්වයට දායක වුනු බුදු දහම ද අපට අහිමි වනු ඇත. කුමාරස්වාමි ප්‍රාඥයා කීවාක් මෙන් ම අප අමුත්තන්ට දෙන්නට කිසිම දෙයක් නැති අවජාතකයන් අහිනක් වනු ඇත.
කුමාරස්වාමි මෙරට ජීවත් වූ කාලයේ එය ඉංගිරිසින්ගේ යටත් විජිතයක් බව සියල්ලෝම දැන සිටිය හ. වර්තමාන කාලයේත් එතරම් ලොකු වෙනසක් නැත. අවාසනාවකට මෙන් අද මේ රට යටත් විජිතයක් බව තේරුම් ගෙන ඇත්තේ සුළු පිරිසක් පමණකයි මට සිතේ. මෙම කරුණ අපගේ ජාතික නිදහස් අරගලය ඉතාමත් සංකීර්ණ එකක් බවට පත් කරනු ඇත.මේ ගමනේ අනිවාර්ය අංගය විය යුත්තේ බුද්ධිමත් හා නිවැරදි තීරණ ගැනීම යැ යි මා පුන පුනා ප්‍රකාශ කළේ එබැවිනි.
මෙම අධ්‍යාත්මික අවජාතකයින් පරාජය කර ඔවුන් පළවා හැරීම අපගේ මුතුන් මිත්තන් මෙන් ම අනාගත පරපුර වෙනුවෙන් ද ඉටු කළ යුතු යුතුකමයි. අපට එම යුතුකමට පිටු පැමට සදාචාරත්මක අයිතියක් නොමැත.

වසන්ත දේවසිරි
2017 නිකිනි මස 21 වැනි දින

ආශ්‍රිත ග්‍රන්ථ
Mediaeval Sinhalease Art Ananda K kumaaraswaami 1907,
Among those present, D. B. Dhanapala 1963.
නූතන සිංහල සාහිත්‍ය ප්‍රවේශිකා, සංස්කරණය; ජයන්ත අමරසිංහ 2016


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

8/14/2017

අසපුව පාළුයි

කතෘ:යුතුකම     8/14/2017   1 comment
-වෛද්‍ය වසන්ත දේවසිරි-
අප රට සිටි විශිෂ්ටතම දේශපාලනඥයෙකු වූ ආචාර්ය එන් එම් පෙරේරා මහතා අප අතරින් වියෝ වූයේ 1979 අගෝස්තු මස 14 වැනි දා ය. අදට හරියටම වසර 38 කට ඉහත දී ය. අධිරාජ්‍ය විරෝධියෙකු, සමාජවාදියෙකු, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදියෙකු හා විද්වතෙකු වශයෙන් එතුමා ගේ දේශපාලන ගමන් මඟ පිළිබඳව විවරණයක් කිරීමට තරම් දැනුමක් තේරුමක් මා හට නැති වීම ගැන කණගාටු වෙමි. කෙසේ වුවත් එතුමා අප හැර ගියේ එතුමාගේ ප්‍රඥාව මෙරටට පමණක් නොව මුලු ලෝකයටම අවශ්‍ය වෙමින් පැවති යුගයක ය. එනම් ධනවාදය මුළු තුන් වැනි ලෝකයම කෲර ලෙස ගිල ගනිමින් තිබුනු යුගයක ය. 1977 දී බලයට පත් වූ රජය මඟින් ඒ වන විට අප රට ද එම අවාසනාවන්ත ඉරණම වෙත ශීඝ්‍රයෙන් තල්ලු කරගෙන යමින් තිබුනි. අධිරාජ්‍යවාදයට හා නව යටත් විජිත වාදයට එරෙහි සටන වෙනුවෙන් මුළු ජීවිත කාලය ම කැප කළ එතුමාගේ වියෝව මෙරට දේශ ප්‍රේමී ජන කොටස් තුළ ප්‍රබල කම්පනයක් ඇති කිරීමට සමත් විය.එම කම්පනය මැනවින් පිළිබිඹු කරන්නෙකි ගුණදාස අමරසේකර ශූරීන්ගේ 'අසපුව පාළුයි' නැමති කවි පංතිය.
අසපුව පාළුයි

දිවා කල හෙම්බත් වී ගෙදර එන මා එන් එම් පෙරේරා විසූ ඒ නිවස දෙස දිනපතා බැලුවේ අපමණ අස්වැසුම් සුවයක් විඳිමිනි.

ලොවැ බලු පොරෙන් හෙම්බත් වී ගෙදර එත
විය නිවහනක් නිති සොයනා මගේ නෙත
සනහා නිවාලන සුවයෙන් මගත සිත
ඒ අසපුවේ කෝ අද මා සොයන වත

සොයනුව මඟක් සත දුක්බර මුදා ලන
හළ හැම සැපක් යස ඉසුරක් ළඟා වුන
විය මුනි තුමෙක් ඒ අසපුව හොබා ලන
අද නැත බසක් අස්වසුමක් එයින් එන

පවිටුනි තමා උදරය පිරුමෙන් වසන
කොපමණ නිගා දෙත සත මිනිසත් සසුන
කළ පව් සමා කරනුව දැන්වත් ඉතින
දණ බිම ඔබා ගොස් වඳු ඒ මුනි සරණ

ගුණදාස අමරසේකර 1979
(මෙම වකවානුවේදී අමරසේකර මහතා පදිංචි වී සිටියේ කෝට්ටේ පාරේ රොඩ්නි පෙදෙසේ නිවසෙහි බව මෙහි ලා සඳහන් කරනු කැමැත්තෙමි. )

මෙම කුඩා කවි පංතිය තුළින් බොහෝ දේ කියවෙයි. එය කියවන මා තුළ ඇතිවෙන හැඟීම් විස්තර කිරීමට තැත් කළහොත් එය ඔබේ රස වින්දනයට බාධාවක් වනු ඇතැයි මම සිතමි. අද අප ජීවත්වන උදරය පුරවා ගත් පිවිටුන් සිටින දේශපාලන සංස්කෘතිය තුල මට පසු පරම්පරාවකට අයත් වන ඔබටද අසපුවේ මුනිවරයා නැති පාළුව දැනෙනවා නිසැකය.
නව යටත්විජිතවාදය අබියස දෙපා නැමඳ වැඳ වැටෙමින්, නව ලිබරල් ආර්ථිකය දොහොත් මුදුනින් පිළිගනිමින් වර්තමානයේ අප යන මේ විනාශකාරී කාලකණ්ණි ගමනේ අවසානය කුමක් වේ දයි මම නොදනිමි. එහි අවසානය කුමක් වුවත් සිය ජීවිත කාලය තුල දී අඩ සියවසකට ආසන්න කාලයක් අධිරාජ්‍යවාදයට හා ධනවාදයට එරෙහි ප්‍රබලව නැඟී සිටි ඒ යුග පුරෂයා පිළිබඳ මතකයත්, නූතන සිංහල සාහිත්‍යයෙහි එන විශිෂ්ටතම කවියක් ලෙස සැලකෙන ‘අසපුව පාළුයි’ කවිය පිළිබඳවත් යුතුකම පාඨකයන්ට සිහි ගැන්වූයේ මා සතු යුතුකමක් වශයෙනි.

වසන්ත දේවසිරි
13.08.2017

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

8/03/2017

77 පෙරළියට 40 යි නොහොත් අවිචාර සමය

කතෘ:යුතුකම     8/03/2017   No comments
”බල සුබ නිමිති පෙරමඟ නැකතටත් වැඞී”

-වෛද්‍ය වසන්ත දේවසිරි-

ශතක ගණනාවක් තිස්සේ මෙරට ගොඩ නැඟුණු සභ්‍යත්ව රාජ්‍යය බැරෑරුම් ලෙස දෙදරා යන්නට පටන් ගත්තේ දහසය වැනි සියවසේ සිට එල්ල වුණු බටහිර ආක‍්‍රමණයන් නිසා ය. පහළොස් වැනි සියවසේ මැද භාගය වනවිට හය වැනි පරාක‍්‍රමබාහු රජතුමා විසින් සතරු බලවේග පරාජය කර එක් සේසත් කරන ලදුව සිංහලය එකීය රාජ්‍යයක් වශයෙන් සශී‍්‍රකව පැවතුණි. එවක සාහිත්‍ය, අධ්‍යාපනය මෙන්ම පොදු ජන ජීවිතයේ ද පැවති දියුණු තත්වය කෝට්ටේ යුගයේ සාහිත්‍ය තුළින් මැනැවින් පිළිබිඹු වෙයි. තොටගමුවේ ශී‍්‍ර රාහුල හිමියන් හසුන් පත රැුගෙන යන සැලළිහිණියාට ගමන් අරඹනු පිණිස අවසර දෙන්නේ දක්නට ලැබෙන අපමණ වූ සුභ නිමිති පිළිබඳව උද්දාමයට පත් වෙමිනි.

නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඞී
පුල හෙළ කුසුම ලිය පිය තෙපළ රන් කෙඬී
සල සුදු සෙමර සේ සත් ගිජිඳුනොද වැඞී
බල සුබ නිමිති පෙරමඟ නැකතටත් වැඞී

නමුත් දහසය වැනි සියවස වන විට පෙරමඟ ලකුණු එතරම් සුභ නො වී ය. පෘතුගීසි සමය අළලා ඩබ්ලියු ඒ සිල්වා ශූරීන් විසින් රචිත සුනේත‍්‍රා නොහොත් අවිචාර සමය (1936) නම් වූ කෘතිය ඇරඹෙන්නේ එවන් වූ අසුභ නිමිති පිළිබඳව විස්තරයකිනි.

කොළොම් තොටට ආසන්න වන ලැහැබක වෙසෙන චන්ද්‍රගෝප නම් වූ තපස්වරයෙක් සිය අතවැසියා වූ ගෝපකට තමා දුටු සූර්ය ලප වර්ගයක් සම්බන්ධව පවසා ඉන් ඇති විය හැකි අන්තරාය පිළිබඳව විස්තර කරයි.

”මෙතෙක් නොදක්නා ලද අභිනව මනුෂ්‍ය වර්ගයකට මෙතැන ජය භූමිය වන බව කියන්නට දනිමි. .................. බාලක, මෙැනින් නැගෙන උවදුරින් වර්ෂ සහස‍්‍ර ද්වයක් මුළුල්ලෙහි අවිච්ඡුින්නව පැවති සිංහල රාජයයාගේ පරිහානිය සැලසෙන්නේ ය. .................. එහෙයින් ශත වර්ෂත‍්‍රයක් මෙතැනට මෙන් ම සමස්ත ලංකා භූමියට ම කාලය අහිතකර බව පිරිසිඳ කියමි. ..................මේ මේ හමන සුළඟින් මෙම මනුෂ්‍ය වර්ගය මෙහි ගමන් යා කරන බව සැලකිය යුතු ය. මෙතැන සිට මේ ශුද්ධ භූමිය ඔවුන්ගේ ඝාතන ස්ථානය කර ගන්නට ඉඩ හැර අප දැන් ම පිටත් ව යමු. ..................”

පෘතුගීසින්, ලන්දේසීන් හා ඉංගිරිසින් යටතේ ගෙවී ගිය අවිචාර සමය පිළිබඳ ව විස්තර කිරීමට බලාපොරොත්තු නො වන අතර අවිචාර සමය 1948 නිදහස ලැබීමෙන් ද හමාර නොවූ බව පමණක් සඳහන් කිරීමට කැමැත්තෙමි. නිදහසින් පසූව එළැඹි කාල පරිච්ඡේදය තුළදී නව යටත් විජිත වාදීන්ගේ උවමනා එපාකම් අනුව කි‍්‍රයා කරන රජයන් මෙන් ම ජාතික හා ආර්ථික නිදහස වෙනුවෙන් පියවර ගත් ප‍්‍රගතිශීලී රජයන් ද බලයට පත් විය. 1977 එක්සත් ජාතික පක්‍ෂ රජය බලයට පත් වූයේ නව යටත් විජිතවාදයෙන් නිදහස ලබා ගැනීම සඳහා ප‍්‍රගතිශීලී පියවර රාශියක් ගත් රජයක් පරාජයට පත් කරමිනි.

77 දී අප රට මුහණ පෑ අවාසනාවන්ත ඉරණම පිළිබඳ පෙරමඟ නිමිති 1976 වන විට ද පහළ වන්නට පටන් ගෙන තිබුනි. සාහිත්‍යය කරුවෙකු මෙන් ම මහා ප‍්‍රාඥයෙකු ද වන ගුණදාස අමරසේකර මහතා එම එතරම් සුභ නොවූ පෙරමඟ නිමිති පිළිබඳව ”අබුද්දස්ස යුගයක් (1976) ” නම් වූ විචාර ග‍්‍රන්ථයේ සටහන් කරන්නේ මෙ ලෙසිනි.

”පසුබෑම්, ජයග‍්‍රහණ, බොරුවලවල්, වල්මත්වීම් අස්සෙන් කරගෙන ආ ගමන මෙතෙක් අල්ලා ගෙන ආ කණවැල අත්හැර පැහැදිලි දර්ශනයකින් යුතුව කරගෙන යෑම හෝ අතහැර දැමීම හෝ මෙම තීරණාත්මක අවස්ථාව විසින් විසඳනු ලැබෙතැයි මම විශ්වාස කරමි. ඒ ගමන අතහැර දැමීම යනු ආසියාවේ බොහෝ රටවල් අද පත්ව ඇති ශෝචනීය, දුර්භාග්‍ය ඉරණම වෙත අප ද පත් වීමයි. එවැන්නක් වීමට මෙහි ඉඩකඩ නැතැයි සිතුවොත් එය අතිශය මුළාවකි. එවැනි ශෝචනීය ඉරණමක් ගැන ඉඟියක් දක්වන කළුවලාකුළු අප හිස මත එක් රැුස්වන අයුරු අපට පෙනී යා යුතු ය.”

බොහෝ දෙනෙකු එම කළු වලාකුළු උදා වෙමින් පැවති අයුරු නුදුටු බව 77 මහ මැතිවරණයේ දී එවකට පැවැති සමඟි පෙරමුණු රජය පරාජයට පත් කරමින් එක්සත් ජාතික පක්‍ෂය ලැබූ සුවිසල් ජයග‍්‍රහණයෙන් ම තහවරු වෙයි.

මෙරට මැද පන්තියේ ගමන් මඟ කීමට ගුණදාස අමරසේකර ශූරීන් විසින් රචනා කරණ ලද ගමනක මුල නවකතා පෙළේ එන ගමනක මැද අවසන් වන්නේ නවකතාවේ ප‍්‍රධාන චරිතය වූ පියදාස ඔහුගේ මිතුරන් පිරිසක් හා එකතුව 77 මැතිවරණ ප‍්‍රතිඵල පිළිබඳ කම්පාවට පත් වන අවස්ථාවෙනි. ඒ අතර සිටි තිලකසේන ඩබ්ලියු ඒ සිල්වා ශූරීන්ගේ සුනේත‍්‍රා නොහොත් අවිචාර සමයේ එන මා ඉහත සඳහන් කළ කොටස කට පාඩමෙන් කිය යි. සෙස්සෝ විස්මියට පත් වෙමින් එයට සවන් දෙති.

”.................................... මෙතැන සිට මේ ශුද්ධ භූමිය ඔවුන්ගේ ඝාතන ස්ථානය කර ගන්නට ඉඩ හැර අප දැන් ම පිටත් ව යමු .........................”

77 පෙරළියේ මුල් ම සළකුණ ලෙස ගත හැක්කේ සිය පාක්‍ෂිකයන්ට දේශපාලන විරුද්ධ වාදීන්ගෙන් සිත් සේ පළිගැනීමට ඉඩකඩ ලබා දීම සඳහා පොලීසියට සතියක් නිවාඩු දීම යි. එසේ උදා වුණු අවිචාර සමයේ කූට ප‍්‍රාප්තිය වූයේ උතුරේ බිහිවුනු සන්නද්ධ කල්ලි ලොව දරුණු ම ත‍්‍රස්ත ව්‍යාපාරය බවට පත් වීමත්්, දකුණේ තරුණයින් සැට දහසක් පමණ ඝාතනය වීමත් ය.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා විසින් 1982 වසරේ දී පළ කරණ ලද ධර්මිෂ්ඨ සමාජය නම් වූ කෘතියෙහි එන කවිපද කිහිපයකි මේ.

”අඳුර ළඟා වී සතර දිසාවෙන්
හදවත් පතුළට කාන්දු වේ සෙමෙන්
පෙනෙනා තෙක් මානෙක නැත එළියක්
අඳුරු යුගයකැයි සැබැවින් කිව යුතු
දැන් පවතින මේ යුගයට නොවේද?”

”ධර්මිෂ්ට සමාජය” 77 පෙරළියෙන් හඳුන්වා දෙනු ලැබූ ඊනියා නිදහස් වෙළඳ ආර්ථිකය සිත් පිත් නැති පිරිහුණු සමාජයක් බිහිවීම පිළිබඳ ව විස්තර කෙරෙණ අත් පොත ලෙස සැලකුව ද වරදක් නැත. මේ වෙනුවෙන් සරච්චන්ද්‍ර මහතා 1982 ජුලි මස 21 වැනි දා සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය තුළ දී ම රජය විසින් මෙහෙයවන ලද මැර ප‍්‍රහාරකයට ලක් වීමේ සිද්ධිය ම පමණක් වුව ද 77 දී සිදු වූ සංස්කෘතික පෙරළිය ගැන අවබෝධයක් ලබා ගැනීමට ප‍්‍රමාණවත් වෙැතැ යි මම සිතමි.

1982 වසරේ දී ම පළ වූ ධර්මිෂ්ට සමාජය දෙවැනි මුද්‍රණයෙහි එන පෙරවදනේ මෙම සිද්ධිය සරච්චන්ද්‍ර මහතා විසින් ම විසතර කරණුයේ මෙඅයුරිනි.

”විෂම සංවර්ධනයේ ප‍්‍රතිඵලයක් වශයෙන් අපේ සමාජය ධර්මිෂ්ට වනු වෙනුවට එය හැම අතින් ම අධර්මිෂ්ඨ කම් වලට රුකුල් දෙන්නක් වී ඇති බවත් අපේ සිංහල කම, ජාතික අනන්‍යතාව කියා පාන අපේ පාරම්පරික සංස්කෘතිය පිරිහී ඇති බවත් ස්ඵූට කිරීමට මා දැක් වූ කරුණු සත්‍ය බව ඔප්පු කරන, බලාපොරොත්තු රහිතව මතු වූ සාක්‍ෂියක්, ජූලි මස 21 වැනි දා කොළඹ සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයෙහි ප‍්‍රාදූර්භූත විය..........................”

හරවත් දේශපාලන දහමකින් සන්නද්ධ නොවූ, නව යටත් විජිතවාදීන්ගේ උවමනා එපා කම් ඉටු කිරීම ම සිය දේශපාලන දහම කරගත් යහපාලන රජය ගෙවී ගිය කෙටි කාලය තුළ කි‍්‍රයා කර ඇති ආකාරය වුව ද ඔවුන් මේ රට ගෙන යනු ඇත්තේ කොතැනටදැ යි යන්න පෙන්නුම් කරණ ප‍්‍රබල පෙරමඟ නිමිති ය. යහපාලන රජය බලයට පත් වීමෙන් පසුව ගෙවී ගිය වසර දෙකහමාරක අවිචාර සමය ” 77 ට 40 යි” සැමරුමක් ම මිස අන් කවරක් ද?

”බල සුබ නිමිති පෙරමඟ නැකතටත් වැඞී”
”.................................... මෙතැන සිට මේ ශුද්ධ භූමිය ඔවුන්ගේ ඝාතන ස්ථානය කර ගන්නට ඉඩ හැර අප දැන් ම පිටත් ව යමු ....... ..................ද???”



වෛද්‍ය වසන්ත දේවසිරි

2017 නිකිණි මස 3 වැනි දා




යුතුකම සංවාද කවය

www.yuthukama.com




ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)

https://www.facebook.com/yuthukama

7/31/2017

කා්ප වුනු හිමි සඳුනි

කතෘ:යුතුකම     7/31/2017   No comments
-වෛද්‍ය වසන්ත දේවසිරි

ගැහෙන හඬ හද ඇසෙයි අපටද
රූප පෙට්ටියෙ පුවත් නරඹන
කොවින් වෙව්ලනු කිමද හිමිසඳ
මන්ද අතහැර පුරුදු මෙත්සිත

ආවෙ අතහැර උරුම මහගෙය
පවා කහටක් නැතිව සතුටින
අයස යස එක ලෙසින් විඳගත්
ඇයිද හිමිසඳ දැවෙනු වියරුව

අපට ඇති මෙම කුඩා නිවහන
විමන අපගේ මෙයයි සුවදෙන
අපට අහිමිවු වරායක් ගැන
කුමට තැවෙනුද රකුස් වෙස්ගෙන

දැවෙයි මහද ද ලෙසම ඔබෙ හද
නැණැති හිමියනි දයා ගුණ පිරි
නහර පුපුරා විපත් වුවහොත්
අපම විඳගත යුතුය එම දුක

ඔබට හිමි සිත සනහ ගත හැක
ගොතා කවි පද හොරුන් ගැන වුව
නොලද සරසවි වරම් ඔබ මෙන්
කෙලෙස සැනහෙම් විපත වන් දැක

වසන්ත දේවසිරි
2017 ඇසල මස 31 දින

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

7/25/2017

බස රැස දෙස : සභ්‍යත්ව රාජ්‍යයක් කරා යන ගමනට කුමාරතුංග චින්තනය

කතෘ:යුතුකම     7/25/2017   No comments
බස රැස දෙස
සභ්‍යත්ව රාජ්‍යයක් කරා යන ගමනට කුමාරතුංග චින්තනය

-වෛද්‍ය වසන්ත දේවසිරි-

[ ඇසළ මස 25 වැනි දා ට යෙදෙන කුමාරතුංග මුනිදාස ශූරීන්ගේ 130 වැනි උපත් සමරුව වෙනුවෙන් ලියූ සටහනකි ]

අද අප මුහුණ දෙන ප‍්‍රධාන ම අභියෝගය සියවස් විසි ගණනක් තිස්සේ අපගේ මුතුන් මිත්තන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් රැක ගෙන ආ අපගේ මාතෘ භූමිය (දෙස) අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීීම යි. මෑත කාලයේ දී ඉමහත් කැප කිරීම් කර බෙදුම්වාදී ත‍්‍රස්තයන් ගෙන් මුදා ගත් රට ව්‍යවස්ථා සංශෝධන මඟින් යළි ඔවුන්ට ම බාර දීමට සූදානම් වන යුගයකුයි අප මේ පසු කරමින් සිටින්නේ. ඒ සඳහා සැදී පහැදී සිටින නව යටත් විජිතවාදීන් ගේ උවමනා එපා කම් මත නැටැවෙන රූකඩ රාජ්‍යය ඒ සඳහා අවශ්‍යය පහසු කම් සපයමින් සිටියි. අද ඔවුන් විසින් අප වෙත විවර කර දී ඇති නව ලිබරල්වාදී චින්තනය පිළිගෙන එ් හා සම්පූර්ණයෙන් ම අනුගත වීම ය මේ රට බේරා ගත හැකි එකම මඟ ලෙස ඔවුන් අපට යෝජනා කරන්නේ. ඒ මඟ අනුමත කරතොත් අපි ඒ වෙනුවෙන් අපට ඉතාමත් පි‍්‍රය මනාප වූ ද හෘදයාංගම වූ ද බොහෝ දේ කැප කිරීමට සූදානම් විය යුත්තෙමු. අපගේ දේශයේ අනන්‍යතාව, ඒකීය භාවය, අපගේ භාෂාව, ඒ හා බැඳුනු සංස්කෘතිය සභ්‍යත්වය මෙම ගමනේ දී අපට අහිමි වී යනු ඇත. ඒ සඳහා අපගේ මුතුන් මිත්තන් වෙතින් අප උරුම කරගත් සභ්‍යත්ව විඥානයෙන් ද මිදීමට ද අප සූදානම් විය යුතු ය. බෞද්ධයින්ට අත හැරිය නො හැකි කිසිවක් නැති වුව ද අප සතු සභ්‍යත්ව විඥානය යනු අප සතු බෞද්ධ කම ම බැවින් අපට ඉන් මිදීම අපහසු ය. ඒ නැතත් එවන් වූ මඟක් ගැනීමෙන් අපට අත් විය හැකි අවාසනාවන්ත ඉරණම ගැන හැඟීමක් දැනටමත් අප අත් විඳිමින් සිටින අත්දැකීම් තුළින් ඇති කර ගත හැකි ය. අපට මේ මඟ හැර ගත හැකි විකල්ප මඟක් නැති ද?

විසි වැනි සියවස අවසානයේ සමාජවාදී කඳවුර බිඳ වැටීමත් සමඟ සීතල යුද්ධය නිමා වීමෙන් පසු ව නිර්මාණය වුනු ලෝකය තුළ ඒ සඳහා ඉතුරුව ඇති විකල්පය නම් අප උරුමය වූ සභ්‍යත්ව රාජ්‍යය යළි ගොඩ නඟා ගැනීමයි. සභ්‍යත්ව රාජ්‍යය යළි නිර්මාණය කර ගැනීම යනු අනාගතය වෙත යන මඟ පාදා ගැනීම මිස කිසි ලෙසකින් වත් අතීතයට (රජ කාලයට) යෑමක් නොවේ. චීනය හා ශී‍්‍ර ලංකාව සංසන්දනය කරමින් සභ්‍යත්ව රාජ්‍යය පිළිබඳව විවරණයක් ගුණදාස අමරසේකර ශූරීන් විසින් 2016 දී එළි දක්වන ලද ”සභ්‍යත්ව රාජ්‍යයක් කරා” නම් වූ කෘතියෙ හි එයි.

සභ්‍යත්ව රාජ්‍යය ගොඩ නඟා ගැනීමට නම් අපි යටත් විජිත මානසිකත්වය මඟින් යටපත් කර දමා ඇති සභ්‍යත්ව විඥානය නිදහස් කර ගත යුතු වෙමු.

”සිත නිදහස් බවට
නො පමුණව පළමු කොට
නිදහස සිය රටට
ලමු යි යෙති දුදහු ඇතියෙන් කට”
(විරිත් වැකිය කුමාරතුංග මුනිදාස)

සිත නිදහස් බවට පමුණුවා ගැනීම පිළිබඳ කුමාරතුංග චින්තනය අද දවසේ දී අපට ඉතිහාසයේ වෙන කවර දා ටත් වඩා වැදගත් වෙතැ යි සිතමි. සිත නිදහස් කර ගැනීමට කුමාරතුංගයන් යොමු වූයේ භාෂාව (බස) වෙතට ය. අප සිතන්නේ භාෂාවෙනි. ඒ නිසා අපගේ පුද්ගල අනන්‍යතාවය මෙන් ම සාමූහික අනන්‍යතවය ගොඩ නැගෙන්නේ ද භාෂාව පාදක කර ගෙනයි. එනම් සමූහයක්, රාශියක්, රැසක්, ජාතියක් ගොඩ නැෙඟන්නේ ද බස පදනම් කර ගෙන යි. රැසක නොහොත් ජාතියක සභ්‍යත්ව විඥානයේ පදනම භාෂාව යි. ජාතියක් (රැසක්) වශයෙන් අපගේ ඇවතුම් පැවතුම්, සිරිත් විරිත්, සිතුම් පැතුම්, හැඬීම් දෙඞීම්, වැඳීම් පිදීම්, රුචි අරුචිකම් යනාදී මෙකී නොකී සියලූ දේ ය අප සභ්‍යත්ව විඥානය ලෙස හඳුන් වන්නේ. එවන් පොදු සභ්‍යත්ව විඥානයක් මඟින් එකතු වුනු ජන සංඝයකට පමණි දේශයක් (දෙස) රැක ගත හැක්කේ. එබැවිනි, කුමාරතුංග සිය ජාතික මෙහෙවර බස මුල් කරගෙන, බස කේන්ද්‍ර කර ගෙන මෙහෙය වූයේ. බස වල් වදින විට ජාතියත් රටත් වල් වදින බව ය එ තුමා පුන පුනා ප‍්‍රකාශ කළේ. ”බසින් තමයි රැස නඟින්නේ, රැසින් තමයි දෙස නඟින්නේ” යන කුමාරතුංග පාඨය නව යටත් විජිත වාදයෙන් රට නිදහස් කර ගැනීමට යන ගමනේ දී මන්තරයක් සේ උදේ හවස මැතිරිය යුතු ය.

අද වන විට විනයක් නොමැත කමෙන් සිංහල භාෂාව වල් වැදී ඇති ප‍්‍රමාණය පිළිබඳ ව බුද්ධිමත් පාඨකයන් අමුතුවෙන් දැනුවත් කිරීම අවශ්‍ය යැ යි මම නොසිතමි.

භාෂාව යනු අපගේ හදවත ය. අප අප ගේ හදවත ප‍්‍රකාශ කරන්නේ අපගේ භාෂාවෙනි.

”සිත නිදහස් කරන හොඳම - ගුරුකම කවි මඟට බැසුම” යනුවෙන් කුමාරතුංගයන් හද බස ලෙස සලකනු ලබන කවියට නඟන්නේ රට ජාතියේ නිදහස සඳහා යන ගමන හදවතේ ඇනවුම අනුව යා යුතු ගමනක් වන බැවිනි.

නව යටත් විජිත වාදයට එරෙහිව අප සතු වූ එකම විකල්පය වන ජාතිකත්වය (සභ්‍යත්ව විඥානය) සොයා යන ගමනේ දී කුමාරතුංග චින්තනය ඉතිහාසයේ අන් කවර කලකටත් වඩා වැදගත් වනු ඇතැ යි යනුවෙන් මා මුලින් කළ ප‍්‍රකාශයේ අරුත ඔබට ද පසක් වනු ඇතැ යි මම විශ්වාස කරමි.

කුමාරතුංග මුනිදාස ශූරීන්ගේ 130 වැනි උපත් සමරුව පවත්වන මේ මොහොතේ දී අප අප ගේ බස සොයා යන ගමන අරඹමු. අපි අප ගේ බස ගැන ආඩම්බර වෙමු. නිවැරැදි බස වහරමු. නිවැරැදි බසින් ලියමු. එය අප සැම වෙළා ගෙන ඇති ව්‍යසනයෙන් මිදීමට යෝධ ශක්තියක් වනු ඇත.

සුනිල් සාන්ත ශූරීන් කලකට ඉහත ගායනා කළ කුමරතුඟුන්ගේ අගේ නම් ගීතයේ එන එක් අන්තරා කොටසකින් මම මගේ සටහන හමාර කරමි.

බසේ අවුල් ගැට මුදා
රැසේ ඇලූම් ගෙන බදා
දෙසේ සැබෑ කොට උදා
තෙ රුවනක් මැවූ

-විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි
ළමා රෝග අංශය
වෛද්‍ය පීඨය, රුහුණු විශ්ව විද්‍යාලය, ගාල්ල
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

5/23/2017

සංහිඳියාව : අත්වැල් බැඳ කෝවිල් යමු පෝය දා ට පන්සල් යමු

කතෘ:යුතුකම     5/23/2017   No comments
-වෛද්‍ය වසන්ත දේවසිරි-

අත්වැල් බැඳ කෝවිල් යමු පෝය දා ට පන්සල් යමු
රුදංග නද ගැටබෙර හඬ අපගේ දෙසවනට හුරුයි

මෙ රට කොටි ත‍්‍රස්තවාදය ලිය ලා වැඩෙමින් පැවති හැත්තෑව දශකයේ ඉතාමත් ම ජනපි‍්‍රය වූ ගුවන් විදුලි ගීයක පද කීපයකි මා ඉහත උපුටා දැක් වූ යේ. ත‍්‍රස්තවාදයට විසඳුම ලෙස සංහිඳියාව ඇති කර ගැනීමට මං සෙවූ එ කල තුරුණු වියේ පසු වූ අපි මෙම ගීතයේ ගැබ්වුණු මානවීය ගුණයෙන් උද්දාමයට පත් වීමු. මෙය එ කල ජනපි‍්‍රය වූ එ වන් වූ තවත් එක් ගීයක් පමණි. කාලය ගෙවී යද්දී ඊනියා ගීත සාහිත්‍යය මඟින් සිංහල තරුණයන් හා දෙමළ තරුණියන් ජෝඩු කිරීමෙන් සංහිඳියාවක් ගොඩනැඟිය නොහැකි බව අප මුහුණ දුන් කටුක අත්දැකීම් තුළින් ම අපි පසක් කර ගත්තෙමු. කුරිරු ත‍්‍රස්තවාදය නිසා අපට බොහෝ දේ අහිමි වෙමින් පැවැති වකවානුවක අපි ගුවන් විදුලි ගීත වලින් පමණක් නොව, සාම සාකචිඡුා, සම්මණත‍්‍රණ, සාම පා ගමන්, තවලම්, ව්‍යවස්ථා සංශෝධන, බලය බෙදීම, සුනාමි සහන මණ්ඩල, අන්තර් වාර පාලන සභා, සාම ගිවිසුම්, විදේශ මැදිහත් ආදී මෙකී නොකී සියලූ දේ හරහා සංහිඳියාව ඇතිකර ගැනීමට උත්සාහ කළෙමු. එම කාලෙයේ දී රුදංග නද ගැටබෙර හඬ කෙසේ වුවත් ”රන්කඳ රන්කඳ කවද දකින්න ද” මළබෙර හඬ නම් අප ගේ දෙසවනට හොඳින් හුරු විය. කෙසේ වෙතත් එම දුක්බර යුගය අවසන දී අපි සංහිදියාව ළඟාකර ගැනීමට සමත් වීමු. ඒ ඉහත සඳහන් කළ මැදිහත්වීම් නිසා ලැබුනක් නොව රණ විරුවන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් මෙහෙයවන ලද උතුම් වූ මානුෂීය මෙහෙයුමක ප‍්‍රතිඵලයකි.

සංහිඳියාව වැඩි දියණු කර ගැනීම වෙනුවෙන් අපට තවත් බොහෝ කැප කිරීම් කිරීමට සිදුවන බව අපි සියළු දෙනා ම අවිවාදයෙන් පිළිගත යුතු වෙමු. ඒ සඳහා අප මුලින් ම කළ යුතු වන්නේ බෙදී ගිය රටක සංහිඳියාවේ මූලික පදනම දැමූ විජයග‍්‍රහනය හෝ එම විජයග‍්‍රහනය සාක්‍ෂාත් කරදුන් රණ විරුවන් හෝ පාච්චල් කර දැමී ම නොවේ. එමෙන් ම ජාතිවාදය වපුරවමින් යුද්ධයේ දී මිය ගිය වුන් සැමරීමේ මුවායෙන් ත‍්‍රස්තවාදීන් සැමරීමට කිසිම සංවිධානයකට හෝ පුද්ගලයෙකුට ඉඩ දීමට ශිෂ්ට සම්පන්න රජයකට අයිතියක් නැත. මන්ද රණවිරුවන් එම විශ්මිත මෙහෙයුම තුළින් පරාජය කරනු ලැබුවේ අශිෂ්ටත්වයේ ප‍්‍රතිමූර්තිය වැනි වූ ත‍්‍රස්තවාදය නිසා කෙළින් ම මෙන් ම වක‍්‍රව ද බැට කෑ කෝටි දෙකක් වූ ජනතාවගේ නිදහසේ ජීවත් වීමේ අයිතිය යි. යළිත එම අශිෂ්ටත්වයට හිස එසවීමට ඉඩ නොදීම ශිෂ්ට සම්පන්න රජයක වගකීම යි.

මෙ ලෙස මානෂීය මෙහෙයුම මඟින් ජීවත් වීමේ අයිතිය සුරක්‍ෂිත කර ගත් ජීවිත වලට සිංහල දෙමළ භේදයක් නොතිබුණි. මෙම විජයග‍්‍රහණයට නායකත්වය දුන් ඒ ශ්‍රේෂ්ට නායකයා 2009 මැයි 18 වැනි දා ජාතිය අමතා මාතෘ භූමියේ මින් ඉදිරියට මහ ජාතියක් හා සුළු ජාතින් නැති බවත් සිටින්නේ දේශප්‍රෙමීන් හා දේශද්‍රෝහීන් පමණක් ය යනුවෙන් කළ ප‍්‍රකාශය මෙ රට සිටින කෘතවේදී ජනයාට නම් තවමත් අමතක වී නැතුවා නිසැක ය.

අවාසනාවකට මෙන් දේශද්‍රෝහීන් යළිත් බලයට පත් කිරීමේ දැවැන්ත මෙහෙයුමක් බටහිර රටවල්, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ඊනියා ලෝක ප‍්‍රජාව විසින් දියත් කරණු ලැබිණි. අවාසනාවකට මෙන් ලෝක දේශපාලන ප‍්‍රවණතාවයන් ගැන සබුද්ධික නොවූ ජනතාවක් වන අපි අවිචාරශීලී ලෙස දේශද්‍රෝහී කොටස් වලට යළි මෙ රට බලය ලබා ගැනීමට ඉඩ ප‍්‍රස්ථා සළසා දුන්නෙමු. එසේ බලය ලබාගත් දේශද්‍රෝහී පාලකයෝ ඔවුනට ඔවුන්ගේ හාම්පුතුන් දෙන උපදෙස් අනුව ඊනියා සුළු ජාතීන් අතර සිටින ජාතිවාදී දේශද්‍රෝහීන් ට විරුද්ධ ව කි‍්‍රයාකර එම ජනතාව ඔවුන්ගෙන් මුදා ගනු වෙනුවට එම දේශද්‍රෝහීන්ගේ නොපනත් කම් නොඇසූ කන් හා නොදුටු ඇස් වලින් ඉවසති. දේශපේ‍්‍රමී බවෙන් තොර වූ එම පාලකයින් ශ්‍රේෂ්ට වූ විජයග‍්‍රහණය සමරන්නේ ද දෙගෙඩියාවෙන් බව පෙනේ. තමන්ට ම ය කියා ජාතික හෝ දේශපාලන හෝ ප‍්‍රතිපත්තියකින් තොර වූ ඔවුන් හට විජයග‍්‍රහණය සැමරිය යුතු ද නැද්ද යැ යි තීරණය කිරීමට අපහසු වී ඇතිවා පමණක් නොව රණවිරු දිනය නොපවත්වා සිටීමට තරම් ධෛර්යයක් ද නැති බවකි ඔවුන්ගේ හැසිරීමෙන් නම් පිළිබිඹු වන්නේ.

වෙල්ලිමුල්ලේ වෛක්කාල් හි කොටි සැමරුමට ඉඩ දී කරබාගෙන සිටින රජය තම නිවට කම වසා ගැනීමට උත්සාහ කරනුයේ විහාර මහා දේවී උද්‍යානයේ විරෝධතා දක්වන විශ්ව විද්‍යාලය ශිෂ්‍යයින් ට චංඩිකම් පෙන්වීමෙන් දැ යි මම නොදනිමි. ඒ කෙසේ වෙතත් වත්මන් පාලකයින් මේ රට රැුගෙන යමින් සිටින්නේ කොතැනට දැ යි යළි යළිත් ඔබට තේරුම් කර දීමට උත්සාහ කිරීම ඔබගේ බුද්ධිය ට ද කරණ අවමාන යැ කැ යි මම සිතමි. යළිත් වරක් ඔවුන් සංහිදියාව ගොඩ නඟා ගන්නට උත්සහ කරන්නේ මා මුලිනුත් සඳහන් කළ අයුරු විජයග‍්‍රහනයට පෙර යුගයේ දී මෙන් ම සාම සම්මණත‍්‍රණ, සාම පා ගමන්, තවලම්, ව්‍යවස්ථා සංශෝධන, බලය බෙදීම, ගිවිසුම් හා විදේශ මැදිහත් වීම් ද ඔස්සේ ය. ඊනියා සංහිඳියාවක නාමයෙන් යළිත් වරක් ජාතිවාදී දෙමළ දේශපාලකයන්ට හා ඊනියා දෙමළ ඩයස්පෝරාවට හා ජාත්‍යන්තර ප‍්‍රජාවට මෙරට අහිංසක දෙමළ ජනතාව ගිල ගැනීමට ඉඩ දුන්නොත් අප සියළු දෙනා ම අති භයංකාර වූ ද අවාසනාවන්ත වූ ද ඉරණමකට ගොදුරු වීම නො වැළැක්විය හැකි වනු ඇත. එවිට අපට ඉතුරු වනු ඇත්තේ ඊනියා සංහිඳියාවේ නාමයෙන් රටත් ජාතියත් අහිමි වී යන කලෙක ”අත්වැල් බැඳ කෝවිල් යමු පෝය දා ට පන්සල් යමු” යනුවෙන් සුභාවිත බයිලා කියමින් සැනසෙන්නට ය.

2017 වෙසක් මස 21 වැනි දින
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook:https://www.facebook.com/yuthukama

5/15/2017

නිදහස් අධ්‍යාපනය මිස අධ්‍යාපනයේ නිදහස පිණිස නොවේ

කතෘ:යුතුකම     5/15/2017   No comments

-වෛද්‍ය වසන්ත දේවසිරි

එකමත් එක කාලෙක සුදු මහතුන් වැඩියලූ මෙරටට කොළොම් තොටින්
ලියන මහත්තුරු හදා ගන්න උන්ගේ වැඩපළ කර දෙන බැතියෙන්
පල්ලියෙ පාසැල් ඉදි කෙරුවා හොඳ සිරිත් විරිත් උගනට යහමින්
මුදල් හදල් යහමින් නොතිබුනු මවු පියන් හදේ පුරවා සුසුමන්

කන්නංගර කියලා සොඳ මහතෙක් කවුන්සලේ සිටියලූ එ කලා
දුප්පත් දරුවන් ඇස් පාදන මඟ විවර කළා සටනක් කරලා
පැරදුව ඊළඟ චන්දෙදි එතුම ව කළෙහි ගුණේ දත් දන සොඳිනා
පිං අධ්‍යාපන කාරය ඉවරයි සතුටු වුනා ජය පැන් බොමිනා

එතුමා නැතුවත් පිරිසක් හිටියා එතුමා ගත් මඟ නිති රකිනා
පාසැල් රජයට ගත්තා මැතිණිය දිවි බේරුනෙ ඇගෙ පෙර පිනෙනා
ලොකු ලොකු මිනිසුන් නිසා නොවේ පොඩි මිනිසුන් නිසා ම එය රැකුණා
ලස්ස ගණන් දරුවන් හට ඉහළට නඟින්න ඉණිමඟ විය සරණා

අමතක විය වැඩි දෙනෙකුට ඉණිමඟ ඉහළට නැඟගත් පසු එමඟින්
තවත් පරපුරක් සිටිනා බව රට ඉණිමඟ පමණක් ලද උරුමෙන්
නන් දෙඩවති උන් තැන තැන අද දින උන්ගෙම හදට ද පිටුපාමින්
නිදහස් අධ්‍යාපනය නෙවේ අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් 

2017 වෙසක් මස 13 වැන දින


යුතුකම සංවාද කවය
www.yuthukama.com 

Like us on facebook :https://www.facebook.com/yuthukama

4/13/2017

හිංගලයාගේ අවුරුදු කෑම නොහොත් මරණ තුනක් ඇති මිනිසාගේ පැනි කෑම

කතෘ:යුතුකම     4/13/2017   No comments
-වෛද්‍ය වසන්ත දේවසිරි-

සිංහල අලූත් අවුරුද්ද සැමරීම සඳහා සුදානම් වීමට අවශ්‍ය කලමනා ගැනීමට නගරයට රොක් වන මිනිසුන් දැක පරණ කතාවක් සිහියට නැඟිනි.

මරණ තුනක් ඇති මිනිසාගේ පැනි කෑ හැටි කියන කතාන්දරය ඔබ බොහෝ දෙනෙකු අසා ඇතිවා නිසැක ය. ලෝක ප‍්‍රකට කතාවක් වන මෙහි ප‍්‍රභවය හඳුනා ගැනීම පහසු නැතත් එය ඉන්දියානු බෞද්ධයන් අතර මෙන් ම හින්දු හා ජෛන ආගමිකයන් අතර ද පැතිර තිබුනු බව මහා භාරතයේ මෙන් ම ජෛන ආගමික ග‍්‍රන්ථ වල ද මෙම කතාව අන්තර්ගත වී තිබීමෙන් පෙනී යයි. එ මෙන් ම චීන ති‍්‍රපිටකයේ එන අවදාන සූත‍්‍රයේ ද එන මෙම කතාව ථෙරවාද පෙළ පොත් වලට ඇතුළත් වී නැතත් මරණ තුනක් ඇති මිනිසාගේ පැනි කෑවා වගේ යන්න සිංහල බෞද්ධයන් අතර ප‍්‍රකට ප‍්‍රස්ථා පිරුළකි. මෙම කතාව යුරෝපයේ ද පැතිර තිබුනු බව ලියෝ ටෝල්ස්ටෝයි ගේ පාපොව්චාරනයට ද මෙම කතාව ඇතුළත් වී තිබීම මෙන් ම මෙම කුඩා කතාව ඔහුගේ චින්තනය කෙරෙහි ඇති කරණ ලද ප‍්‍රබල බලපෑමෙන් ද පැහැදිලි වෙයි.

මෙම කතාව අසා නොමැති පාඨකයා වෙනුවෙන් එය සැකෙවින් සඳහන් කරමි. රට රට වල ප‍්‍රසිද්ධ ව ඇති මෙම කතාවේ සුලූ සුලූ වෙනස් කම් ඇති අතර මා මෙහිදී ඉදිරිපත් කරන්නේ අවදාන සූත‍්‍රයේ එන කතා පුවත යි.

වනයේ අතරමං වූ මිනිසෙකු තමා හඹා එන වන සතෙකුගෙන් බේරීම සඳහා පාළු ළිඳකට නැඹුරු වී තිබුනු ගසක මුලේ එල්ලී ළිඳ තුළ වහං වෙයි. අත්තේ එල්ලී ළිඳ තුළට නො වැටී සිටින ඔහු ගේ දෙනත් අඳුරට හුරු වෙද්දී ළිඳ පතුලේ සිටින දැවැන්ත පිඹුරා ද ළිඳේ බිත්තිය දිගේ බඩගානා විසකුරු සර්පයයින් ද දකියි. කොරේ පිටට මරේ කීවාක් මෙන් මෙි අතර මීයන් දෙදනෙකු ඔහු එල්ලී සිටින ගසේ මුල කා දමන්නට විය. කොයි වේලේ මුල ගැලවී ළිං පත්ලට වැටේ දැ යි බියෙන් තැති ගෙන සිටි ඔහුගේ මුව මත ගසේ අත්තක තිබූ මී වදයෙකින් බේරී ආ මී පැනි පතිත වී ය. සියල්ල අමතක ව ගිය ඔහු ගිජු ලෙස මී පැනි ලෙව කන්නට පටන් ගනී.

හිංගලයන් 2017 සිංහල අලූත් අවුරුද්ද සමරන්නට සැරසෙන්නේ මරණ තුනක් ඇති මිනිහෙක් පැනි කෑ අයුරෙන් ම ය. මේ රට් පැවැත්මට නොහොත් සිංහලයාගේ පැවත්මට තිත තබන මරණ තුනක් අප ජාතිය වටා මේ වන විට ගොනු වෙමින් පවතී. අපට මරණ තුනක් නැත්තේ මේ අතරින් අපට මුහුණ දිය හැක්කේ එකම එක මරණයකට පමණක් ම වන බැවිනි. එ නමුත් අප මරණ තුනෙන් ම කෙසේ හෝ ගැලවිය යුතු ය. අද අප වටා ගොනු වෙමින් එන මරණ තුන නම් හම්බන්තොට වරාය කුණු කොල්ලයට විකුණා දැමීම, රට කැබැලි කරණ ෆෙඩරල් රාජ්‍යයක් බිහි කිරීමට මග සළසා දෙන අයුරින් සකසන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සහ ඉන්දියාවට මෙරට වෙළඳාම මුලූ මුනින් ම පාවා දෙනු ලබන එට්කා ගිවිසුම අත්සන් අත්සන් කිරීම යන තුන යි. මෙම කාරණා තුනෙන් කුමක් ඉස්සර වුවත් ඒ එකක් හෝ කි‍්‍රයාත්මක වුවහොත් එමඟින් සිංහලයාගේත් ඔවුන්ගේ ජාතියේත් අවසාන ඉරණම විසඳෙනු ඇති අතර, මෙම භයානක ගිවිසුම් තුන ම මෙම වසර තුළ දී ම සම්මත කර කි‍්‍රයාත්මක කරන බවට රජය වහසි බස් දොඩයි. ඊට විරෝධතා එල්ල වන විට රාජ්‍ය නායකයෝ කොමිට් කාරයාගේ කොටස රඟපාති. අන්දරේලා සිටියේ රජ්ජුරුවන්ට කොමිට් කෑලි පෙන්නන්නට මිස ජනතාවට කොමිට් පෙන්නන්නට නොවේ. කොමිට්කාරයෝ රජ වූ විට දී ඔවුන් කොමිට් කෑලි පෙන්නන්නට වන්නේ ජනතාවට ය. ඔවුනට අනුව චයිනා මර්චන්ට් සමඟ අත්සන් කල ගිවිසුමක් ද නැත. කොමිට්කාරයන්ට අනුව එට්කා ගිවිසුමක් ද නැත. නව ආණුඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් ද නැත. නමුත් ඒ තුනම මෙම වසර තුළ දී ම කි‍්‍රයාත්මක වනු ද ඇත. කාට කොහොම වුනත් මෙරට දේශපේ‍්‍රමී ජනතාවට නම් මෙය කොමිට් කෑල්ලක් නොවේ.

මෙම යෝජනා සහ ඒවායේ අති භයානක ප‍්‍රතිඵල ගැන යතුකම පාඨකයා ඉතාමත් හොඳින් දැනුවත් බැවින් ඒ පිළිබඳ විස්තර කරමින් ඔබ වෙහෙසට පත් කිරීමට අදහස් නොකරමි.

හම්බන්තොට වරාය සම්බන්ධයෙන් එක සඳහනක් පමණක් කරමින් මෙම කෙටි සටහන සමාප්ත කරමි. නිදහසින් පසුව මෙරට රාජ්‍ය නායකයෙකු විසින් කරණ ලද බුද්ධිමත් ම ආයෝජනය හම්බන්තොට වරාය ව්‍යාපෘතිය බව කිසිවෙකුටත් තව දුරටත් වසං කළ නො හැක. මෙම ව්‍යාපෘතිය බුදධිමත් ව කළමනාකරණය කිරීම තුළින් ම පමණක් වුව ද මෙරට යළි සුඛිත මුදිත කළ හැකි බව දන්නෝ දනිති. මාගේ සොහොයුරා හම්බන්තොට විකිණිමේ ඛෙදවාචකය සමාන කළේ ගෙදරක කන්න බොන්න හිඟ වූ කලෙක තම සුරතල් දරු පැටියා විකුනා කෑමට යමක් සොයා ගැනීමට ගන්නා උත්සාහයක් ලෙස ය. ඔහු ගේ එම අදහසෙහි ගැඹුර දරුවන් සිටිනා ඔවුන් රැකීමට වෙර දරනා සෑම සියළු දෙනා ම මුළු හදවතින් තේරුම් ගනු නිසැක ය.

ඒ නිසා ය ඔබ සැමට මගේ මේ ඇරයුම! නව අවුරුදු උදාවත් සමඟ පැනි ලෙවකෑම නතර කර දමා එළැඹ සිටි සිහියෙන් යුතුව මේ තුන් බෑ මරණෙයෙන් ගැලවීමේ මඟ පාදා ගැනීමේ යුතුකමට දායක වන ලෙසට.

ඔබ සැමට සුභ නව වසරක් වේවා!
2017 බක් මස 12 වැනි දා

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

2/02/2017

දොස්තර කං මොටද අපට ?

කතෘ:යුතුකම     2/02/2017   No comments
කොතක් වගේ හතර අත ම
බැබලෙන්නට හදපු පුතා
ඇතෙක් වගේ ගෙදර ආව
දිස්තිරික්කෙ පළවෙනිය ව

ආඩම්බර වුනා පුතේ
උඹගේ දස්කම් දැක දැක
හොඳ දොස්තර කෙනෙකු වෙලා
බබලන තුරු මුලූ රටේ ම

මහ පාරේ ගිනි මැදියම
කඳුළු ගෑස් පාර කන්න
නොව අත පය හැඩි දැඩි කර
උඹගේ ඇස් දෙක පෑදුවෙ

ගිය වර උන් හැට දාහක්
මැරුවලූ හිරිකිතක් නැතිව
නො මළ අයත් පිච්චුවාලූ
මළා ද කියලා නොබලම

දිිරා ගියත් ගත ම හිමිගෙ
හිත හයියයි මිගිඳෙකු ලෙස
පුතුට ඇත්තෙ ඒ හිතමයි
ඒකයි මගෙ හද සැලෙන්නෙ

ගෙදර වරෙං මයේ පුතේ
දොස්තර කං මොටද අපට ?
එදා වගෙම තාත්ත උඹෙ
කන්න දේවි තුන් වේලම

2017 නවම් මස 2 දින

වෛද්‍ය වසන්ත දේවසිරි
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

11/27/2016

කිසි දිනෙක මිය නොයන මහා විරුවාණෙනි

කතෘ:යුතුකම     11/27/2016   No comments
-වෛද්‍ය වසන්ත දේවසිරි-

කිසි දිනෙක මිය නොයන
මහා විරුවාණෙනී
පුරා අඩ සිය වසක්
සුරැකි සිය රට බැතින්

හය සියක් වර නිබඳ
නසන්නට තැත් කළද
නො මළ මිනිසා ඔහු ය
දිවි ගමන නිමා කළ

මුහුදු තීරෙන් එපිට
කුරිරු අදිරදුන් රට
අමන ඔළමොළ එවුන්
තුටු ව ඔහු මරණයෙන්

රෑ මැද්දෙ මඟට වැද
නටත් මොනරුන් විලස
විදා නිරුවත ලොවට
විළි බියෙන් තොර ලෙසින

මෙවන් වූ නිවට දන
විරුවන්ට නිගා දෙන
සිටිති ලොව සියළු දෙස
මවු බිමෙහි මෙන් එතෙර

මෙවන් වූ අමන දන
වසන බව අප රට ද
පසක් කෙරුවෙමි මම ද
දුරුතු මස ඉකුත් වස

-2016 ඉල් මස 27 වැනි දින

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

11/20/2016

මං වගේ ම තවත් එකෙක් - දිනුසර ගැන-

කතෘ:යුතුකම     11/20/2016   No comments
-වෛද්‍ය වසන්ත දේවසිරි-

පුංචි කාලෙ මට වගේ ම - හතිය හැදෙනවා නිතරම
එනව නිතර බෙහෙත් ගන්න - කදේ වැටෙනවා ආවම

පුංචිම කාලෙ ආවම - කතා කළේ බෙන් ටෙන් ගැන
තවම ඉන්නෙ තුන වසරේ - ඉගෙන ගන්න හරි දස්සලූ

පැරදුන දා මහින්ද ඔහු - ඇඬුවලූ බිම පෙරළි පෙරළි
මාත් ඇඬුව පුතේ එ දා - බිම පෙරළුනෙ නැති වුනාට

ඊට පස්සේ බෙහෙත් ගන්න - ආවම ඔහු කතා කළේ
මහින්ද ගැනම යි නිතරම - බෙන් ටෙන් ලා අමතක විය

ගමේ පන්සලට ආ දා - වැටවල් බිඳගෙන ගිහිල්ල
මහින්ද හා දොඩල ආවෙ - ඇඳපු චිත්‍රෙකුත් දීල ලූ

ඔය කාලෙ ම මාත් පුතේ - කවි පද කීපයක් ලියල
ඔහුගේ අතටම දීලා - වැඳල ආව තංගල්ලෙදි

ඇමෙරිකාවෙ චන්දෙ දවසෙ - ඉස්කොළේ ඉඳං ආවෙ
ට‍්‍රම්ප් දිනුං දැ යි අහගෙන - උඩ පැන පැන ඔහු නැටුවලූ

මහින්ද කැමතියිලූ ට‍්‍රම්ප්ට - ඒකලූ සංතෝස ඔහුට
සතුටු වුනා මාත් බෝම - ලෙඩින් වැටිල හිටියෙ එ දා

ගාලූ පුරට මහ වැහි වට - ඉරිද දවල් ඔහු ආවේ
කැස්ස ටිකක් තිබුන හන්ද - විභාගෙ එහෙමත් ළඟ නේ

දැනං හිටිය එන බව මං - මහින්ද සමනල පිටියට
අවමංගල උත්සවේට - පුරපති කෙනෙකුගෙ පෙර සිටි

කීවා මං මෙය නිකමට - යන්න ඕන විය එතනට
කැස්ස වැඩි වෙතැ යි තෙමිලා - දොස් කීවා මටත් අම්ම

යන්න ම ඕනලූ ඔහු හට - කැස්ස වැඩි වුනොත් සඳුදට
ඉන්හේලර් දෙකම උරල - විභාගයට ඌ යනවලූ

අපි දෙන්නට විතරක් නොව - රටට දැයට හිතැති හැමට
මේ පිස්සුව තියේ පුතුනි - ලොකු පොඩි බේදයක් නැතිව

වෛද්‍ය වසන්ත දේවසිරි
2016 ඉල් මස 20 වැනි ඉරිදා

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

10/02/2016

අප පෙළන ගණදුරෙන් මිදී- සභ්‍යත්ව රාජ්‍යයක් කරා [Video]

කතෘ:යුතුකම     10/02/2016   No comments
[ගුණදාස අමරසේකර ශූරීන් ගේ ”සභ්‍යත්ව රාජ්‍යයක් කරා” කෘතිය ජනගත කිරීමේ උළෙලේදී විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි මහතා සිදු කළ විශේෂ දේශනය]

-වෛද්‍ය වසන්ත දේවසිරි-
සභ්‍යත්ව රාජ්‍යයක් කරා

ගුණදාස අමරසේකර ශූරීන් ගේ ”සභ්‍යත්ව රාජ්‍යයක් කරා” කෘතිය ජනගත කරණු ලබන මොහොතේ දී එම කෘතිය පිළිබඳ අදහස් දැක්වීමට අවස්ථාවක් ලැබීම මා ලද සුවිශේෂී ම භාග්‍යයකි. අමරසේකර මහතා මෙම නිර්මාණය හඳුන්වා දෙන්නේ ඔහු විසින් මීට තිස් වසරකට පෙර දී අරඹන ලද ජාතික චින්තනය පිළිබඳ කතිකාවතේ අවසන් අදියර ලෙසයි.

ජාතික චින්තන කතිතාවතේ ආරම්භ වන්නේ එතුමාගේ ‘ගනඳුර මැදියම දකිනෙමි අරුනලූ’ නමැති කෘතිය තුළිනි. ‘ගනඳුර මැදියම දකිනෙමි අරුනලූ’ දොරට වඩින්නේ 1988 දී ය. රට අරාජිකත්වයට පත් වුනු බියකරු යුගයක දී ය. අද ද අප එළඹෙමින් සිටින්නේ එවන් වූ යුගයකට යි මට හැෙඟ්. ”සභ්‍යත්ව රාජ්‍යයක් කරා” ඉන් මිදෙන මඟ සොයා යෑමට අපට කරන ඇනවුමකි.

‘දකිමි රජත රේඛාවක් සැඟවුනු කළු වළා අතර‘

ගනඳුරු මැදියම තුළින් අමරසේකර මහතා මතු කර දැක්වූයේ මෙවන් වූ අදහසකි.

අප හට අනන්‍ය වූ ආවේණික වූ වින්තනයක් ඇත. මෙම චින්තනයට අවුරුදු දෙදහසක් ඉක්මවා යන අඛණ්ඩ ඉතිහාසයක් ඇත. මෙම චින්තනයේ පදනම බුදු දහම යි. ඒ ඔස්සේ බිහි වූ රාජ්‍ය තන්ත‍්‍රය රජු, සංඝයා වහන්සේ හා පොදු ජනතාව අතර වූ ති‍්‍රකෝණාකාර සහ සම්බන්ධයක් මත ගොඩ නැගුණකි.

එ කළ මෙරට සිටි උගතුන් බොහෝමයකට ජාතික චින්තනය යන සංකල්පය ම අවිෂය විය. ඒ ඔවුන් සිතීමට චින්තනයක් අවශ්‍ය බව තේරුම් නොගෙන චින්තනය යනු සිතීම යැ යි වරදවා වටහා ගත් බැවිනි.

ගනඳුර මැදියම ප‍්‍රකාශයට පත් වූයේ ලෝකයේ පරිවර්තනයක් සිදු වෙමින් පැවති යුගයක දී ය.

දෙවැනි ලෝක මහා යුද්ධය නිම වූවායින් පසුව බටහිර ධනවාදී කඳවුර හා සමාජවාදී කඳවුර අතර නොනවතින බල අරගලයක් නිර්මාණය විණි. සීතල යුද්ධය ලෙස හඳුන්වන්නේ මෙම බල අරගලය යි. ඇමරිකාව ප‍්‍රමුඛ ධනවාදී කඳවුරට තුන් වැනි ලෝකයේ රටවල් තම හිතු මතයට නව යටත් විජිත පාලනයකට නතු කර ගැනීමට තිබූ ප‍්‍රධාන බාධකය වූයේ සෝවියට් රුසියාව ප‍්‍රමුඛ සමාජවාදී කඳවුර යි. මේ කාලය වන විට සමාජවාදී කඳවුරු තුල නොයෙකුත් අර්බුද නිර්මාණය වෙමින් තිබුනි. බටහිර ජන මාධ්‍ය කොමියුනිස්ට් රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාය, යහ පාලනය, මානව අයිතිවාසිකම්, පුද්ගල නිදහස ස්ථාපිත කිරීම වෙනුවෙන් මහා ඝෝෂාවක් නැඟී ය.

1991 දී සෝවියට් සමූහාණ්ඩුව විසුරුවා හරින ලදී. නැගෙනහිර යුරෝපයේ සෙසු සමාජවාදී රටවල් නව ලිබරල් ධනවාදී ආර්ථිකය වැළඳ ගත්තේ ය. ඇතැම් රටවල් බෙදුම් වාදී අරගල වලින් පිරුණු යුද පිටි බවට පරිවර්තනය විය. බටහිර රටවල් පී‍්‍රතියෙන් පිනා ගියේ බාධාවකින් තොරව ලෝකය පුරා ම නව යටත් විජිත ආර්ථිකයක් බල පැවැත්වීමට ඉඩ ලැබීම නිසා ය. ලෝකය ම සුපිරි බටහිර සභ්‍යත්වය පිළිගෙන එය අනුකරණය කරණු ඇතැ යි යන විශ්වාසය ඇති විය. එ් කාලයේ මෙරට උගතුන් ද විශ්ව ගම්මාන ගැන කතා කළා මට මතක යි.

ලෝකය ම බටහිර දෙසට නතුවන වකවානුවක දී අමරසේකර මහතා ඉදිරිපත් කළ පාරම්පරික චින්තනය හා සමාජවාදී ආර්ථිකය පදනම් කරගත් විසඳුම බොහෝ දෙනෙකුට ගෝචර නො වී ය. ඔවුන් එය තේරුම් ගත්තේ අතීතයට, ආ පස්සට යෑමට කරන යෝජනාවක් ලෙස ය. විශ්ව ගම්මානය තුල ජාතික චින්තනයට ඉඩක් තිබුනේ නැත.

සැමුවෙල් හංග්ටින්ටන් නමැති ලේඛකයාගේ The Clash of Civilizations and the Remaking of the World Order (1996) නම් වූ කෘතිය දේශපාලන විචාරකයන් ගේ නො මඳ අවධානයට ලක් විය.

පසු ශීතල යුද්ධ සමයේ දී (post-cold war period)  ලෝකයේ ගැටුම් නිර්මාණය වන්නේ ලොව පවතින විවිධ සභ්‍යත්වයන්  (civilizations) අතර බවත් දේශපාලන මතවාද මත හෝ ආර්ථිකය මත හෝ නොවන බවත් හංග්ටින්ටන් පැවසී ය.

The Clash of civilizations ග‍්‍රන්ථයෙන් සිදු වූ එක් මෙහෙයක් නම් බටහිර සභ්‍යත්වය හැර තවත් සභ්‍යත්වයන් ලොව සජීවී ව පවතින බව පෙන්වා දීමයි. එ මෙන්ම බටහිර සභ්‍යත්වය යනු ”සභ්‍යත්වය”  (The Civilazation)  නොව තවත් එක් විකල්ප සභ්‍යත්වයක් පමණක් ය යන්න ද අවධාරණය කිරීමයි. මුල් ම අවදියේ දී ප‍්‍රංශ දාර්ශනිකයින් සභ්‍යත්වය යන වචනය යොදා ගත්තේ යුරෝපීය සංස්කෘතිය සභ්‍ය යැයි ද සෙසු සංස්කෘතීන් ම්ලේච්ඡු යැ යි ද යන අර්ථයෙනි. (එසේ සිතන පිරිස් තවමත් මේ රටේ ද සිටිති.The Clash of civilizations  කෘතියේ සභ්‍යත්ව යන්න යොදා ගන්නේ බහු වචන අර්ථයෙනි (civilizations in the plural) ලෙසයි.

විය යුතු වූ පරිද්දෙන් ම මෙම කෘතිය ගුණදාස අමරසේකර මහතාගේ දැඩි අවධානයට යොමු විය. ගනඳුරු මැදියම පසු කාලීන මුද්‍රණ වල ”ශිෂ්ටාචාරය සංස්කෘතිය හා ජාතික චින්තනය” යන නමින් මෙම කෘතිය පිළිබඳ ව ලිපියක් ද ඇතුළත් කර තිබේ.

සභ්‍යත්වය යනු පුළුල් ම අනන්‍යතවකින් යුතු ජන සංඝය යි. මෙය සංස්කෘතිය ඉක්මවා පවතින්නකි. සභ්‍යත්වයක් තුළ සංස්කෘතීන් කිහිපයක් පැවතිය හැක. සභ්‍යත්වයකට අවශ්‍ය ම දෙය වන්නේ එයට අයත් ජන කොටස් සභ්‍යත්ව විඥානයකින් එයට සම්බන්ධව, බැඳී සිටීම යි.

ලොව පවතින්නේ බටහිර සභ්‍යත්වය පමණක් ය, දියුණුව යනු බටහිර සභ්‍යත්වය තුළට අනුගත වීම ය, යන මිථ්‍යාවෙන් අප ද අද වෙලා ගෙන ඇති බව අමතක නොකරන්න. සජීවී සභ්‍යත්ව රාජ්‍යයන් දැනටත් ලොව පවතින බවත් අඩුම ගණනේ පසු ගිය සිය වස දක්වා වත් දකුණු දිග ආසියාවේ සභ්‍යත්ව රාජ්‍යයන් ජීවමාන ව ම පැවතුණු බව අද අපට අමතක වී ඇත.

අප කතා කරණ සභ්‍යත්ව රාජ්‍යය හුදු මායාවක් පමණක් ද? එ වන් වූ සභ්‍යත්ව රාජ්‍යයක් මෙරට සැබැවින් ම පැවතුනේ ද? තිබුනත් එය නැවත ගොඩ නඟා ගත හැකි වෙයි ද? මෙවන් වූ සැක සංකා මේ වන විටත් ඔබ සිත් සතන් තුළ පහළ වෙන්නට ඇත. මෙවන් වූ සැක සංකා ගුණදාස අමරසේකර මහතාගේ සිත් තුළ ද ඇති වූ වා නිසැක ය.

මාර්ටින් ජැක් නැමති ඉංගී‍්‍රසි ජාතික ලේඛකයා විසින් 2009 වසරේ දී පළ කළ When China rules the world: The Rise of the Middle Kingdom and the End of the Western World  නම් කෘතිය අමරසේකර මහතාගේ අවධානයට හසු විය.

නුදුරු අනාගතයේ දී ම ලෝක බලවතා බවට පත්වන බවට බොහෝ දෙනා විසින් අනාවැකි පළ කරනු ලබන චීනය සභ්‍යත්ව රාජ්‍යයක් ලෙස යි මාර්ටින් ජැක් විසින් හඳුන්වා දෙනු ලබන්නේ.

When China rules the world  කෘතියේ එන චීන සභ්‍යත්ව රාජ්‍යයේ සවභාවය පිළිබඳ ව කරුණු රාශියක් ”සභ්‍යත්ව රාජ්‍යය කරා” කෘතිය තුල අමරසේකර මහතා ගෙනහැර දක්වයි.

මෙම සභ්‍යත්ව රාජ්‍යය අවුරුදු පන් දහසක් පමණ කාලයක් තිස්සේ පවතින බව චීන ජනතාව විශ්වාස කරති. මාර්ටින් ජැක්ට අනුව අවම වශයෙන් කි‍්‍ර පූ 221 දී ෂිං රාජ වංශය බලයට පත් වීමත් සමඟ ය දැනට පවතින ආකාරයෙන් චීන සභ්‍යත්ව රාජ්‍යය නිර්මාණය වූයේ. කොන්ෆියුසියානු චින්තනය මත සකස් වුනු රාජ්‍ය පාලනය, පවුල් ජීවිතය, අධ්‍යාපනය, සමාජ සාරධර්ම වලින් යුතු වූ චීන සභ්‍යත්වය හුදු සභ්‍යත්වයක් පමණක් නො වී සභ්‍යත්ව රාජ්‍යයක් බවට පරිවර්තනය විය. එය මෙතුවක් කල් ආරක්‍ෂා වූයේ එසේ සභ්‍යත්ව රාජ්‍යයක් බවට පත් වුනු බැවිනි.

මෙම සභ්‍යත්ව රාජ්‍යය ආරක්‍ෂා කර ගැනීම සඳහා ඔවුහු සැතපුම් 1500 ක් දිග මහා පවුරක් ඉදි කළ හ. නොයෙක් ආක‍්‍රමණ අතුරු අන්තරා මධ්‍යයේ චීන සභ්‍යත්ව රාජ්‍යය ද වෙනස් වෙමින් සුරැකුණි. කොන්ෆියුසියස් විරෝධියෙකු වූ මාවෝ සේ තුං ගේ පාලන කාලයේ දී පවා එය විශාල ලෙස වෙනස් නො වූ බව මාර්ටින් ජැක් පෙන්වා දෙයි. එපමණක් නොව සීතල යුද්ධයෙන් පසුව චීනය ප‍්‍රජාතන්තවාදය වෙත යොමු වුව ද එහි පවතින්නේ එක් දේශපාලන පක්‍ෂයක් පමණි. චීනයේ අධ්‍යාපනය, සංවර්ධනය, වෙළඳාම, ප‍්‍රජාතන්ත‍්‍ර වාදය, විදේශ සම්බන්ධතා චීනයට ම ආවේණික වූ ලක්‍ෂණ වලින් යුතු වෙයි. පසු සීතල යුද්ධ යුගයේ දී චීනය තුල ද යම් ආර්ථික ප‍්‍රතිසංස්කරණ සිදු විය. නමුත් චීනය කිසි දින කොමියුනිස්ට් පක්‍ෂය විසුරුවා හැරියේ නැත. එහි සිවිල් සංවිධාන බිහි වුයේ ද නැත.

චීන ජාතිකයන් තරම් සිය අතීතය හා බැඳුනු තවත් ජාතියක් ලොව නැතැ යි මාර්ටින් ජැක් සඳහන් කරයි. ඔහු ලොව පවතින පැරණිම සභ්‍යත්ව රාජ්‍යය ලෙස චීනය හඳුන්යි.

ගුණදාස අමරසේකර මහතා තම කෘතිය තුළින් චීන හා සිංහල සභ්‍යත්ව රාජ්‍යයන් තුළ පැවති සමානකම් හා අසමානකම් ගෙන හැර දක්වනවා.

ඔහුට අනුව මෙරට පැවති සභ්‍යත්ව රාජ්‍යයේ ප‍්‍රධාන ලක්‍ෂණ වන්නේ සාමූහිකත්වය සහ සුභ සාධනය යි. දේවත්වයට වග කියන චීනයේ රාජ සංකල්පයත් සංඝයා වහන්සේට හා පොදු ජනතාවට වග කියන සිංහල බෞද්ධ රාජ්‍ය සංකල්පයත් එකිනෙකට වෙනස් ය. වත්මන් චීන ජාතිකයා මෙන් ම සිංහලයා ද තම ඉතිහාසය සමග ප‍්‍රබල ලෙසත් සජීවී ලෙසත් බද්ධ වී සිටියි.

සභ්‍යත්ව රාජ්‍යයක් කරා යෑම යනු පැරණි සිංහල බෞද්ධ රාජ්‍යයේ සෑම අංගයක් ම එලෙසින් ම ස්ථාපිත කිරීම නොවේ. චීනය යනු නවීන පන්නයේ කාර්මික රටක් බව අමතක නොකරන්න. එය රජෙකු විසින් නොව චීන කොමියුනිස්ට් පක්‍ෂය විසින් පාලනය කරනු ලබන රටකි.

අපගේ සභ්‍යත්ව රාජ්‍යයේ පදනම බුදු සමය යි. එහි ආරම්භය කි‍්‍ර පූ 292 වර්ෂයේ දී සිදු වූ මහින්දාගමනය යි. (චීන සභ්‍යත්ව රාජ්‍යය ට වසර 70 කට පෙර* එම සභ්‍යත්ව රාජ්‍යය මෙම භූමිය මත, (පොදු ජන විඥානය තුළ* තිරසර ලෙස තැන්පත් වන්නේ ගැමුණු මහරජ තුමා ගෙන් පසුව ය. ආක‍්‍රමණිකයාට එරෙහි ව දැවන්ත ජාතික ව්‍යාපාරයක් මෙහෙය වූ ගැමුණු කුමාරයාගේ මේ වදන් මෙනෙහි කරන්න.

”මාගේ මෙම ව්‍යාපාරය හුදෙක් රජ සැප පිණිස නොව සම්බුද්ධ සාසනයේ පිහිටුවීම සඳහා ය.”

මෙම ප‍්‍රකාශය තුළින් තේරුම් ගත යුත්තේ මෙරට බිහි වෙමින් පැවති සභ්‍යත්ව රාජ්‍යයේ වගකීම බුදු සසුන සුරැකීම බවයි. සිංහලයා ගේ වංශ කතාව වූ මහා වංශය එම සභ්‍යත්ව රාජ්‍ය බිහි කිරීමේ හා එය රැක ගැනීමේ කතාන්දරය යි. ගැමුණු මහරජතුමාට චීන අධිරාජයාට මෙන් සභ්‍යත්ව රාජ්‍යයේ ආරක්‍ෂාව සඳහා මහා ප‍්‍රාකාරයක් ඉදි කිරීමේ අවශ්‍යතාවක් නො වී ය. ඒ සමුද්‍ර තීරයක් මඟින් මේ රට මහාද්වීපයෙන් වෙන් වී පවතින බැවිනි. එ තුමා එ් වෙනුවට රුවන්වැලි මහ සෑය ඉදි කළේ ය. රුවන්වැලි සෑය අද දක්වාත් සිංහල බෞද්ධ සභ්‍යත්ව විඥානය සජීව ව රැක ගන්නා පවුරක් වැන්න. මෙරට ජනතාවගේ සිතුම් පැතුම්, සිරිත් විරිත්, වැදුම් පිදුම්, සාහිත්‍ය කලා, පවුල් සම්බන්ධතා, භාෂාව, සංස්කෘතිය, ගොවිතැන, වාරි කර්මාණ්ත, රාජ්‍ය පාලනය, වෙළඳාම මෙන් ම විදේශ සම්බන්ධතා පවා ගොඩ නැගුනේ බෞද්ධ සභ්‍යත්වයට අනුරූප ව යි. මේ කරුණ සනාථ කළ හැකි සාධක අනන්තවත් අපගේ ජන ප‍්‍රවාද , වංශ කතා, අට්ඨ කතා හා සාහිත්‍යය තුලින් මතු කර ගත හැක. සිංහලේ නමින් හඳුන් වන ලද රාජ්‍යය සභ්‍යත්ව රාජ්‍යයක් වූ යේ මේ අර්ථයෙනි.

මෙරට ඉතිහාස කතාව යනු සියළු අතුරු අන්තරා වලට මුහුණ දෙමින් වසර දෙදහසකට අධික කාලයක් (2325 ක්) තිස්සේ බුදු දහම රැක ගෙන ආ විශ්මය ජනක කතාන්දරය යි. සිංහලයාට මෙය කිරීමට හැකි වූයේ ඔවුන් උරුම කරගත් ප‍්‍රබල සභ්‍යත්ව විඥානය විසින් දුෂ්කර අවස්ථා වල දී ඔවුන් මෙහෙයවන ලද නිසා ය.

1815 දී අවාසනාවන්ත ලෙස මෙරට වැසියන් බි‍්‍රතාන්‍ය කිරීටයේ යටත් වැසියන් බවට ූපත් විය. ඔවුන් ඉංගිරිසින්ට මේ රට බාර දුන්නේ බුදු සසුන ප‍්‍රමුඛස්ථානයෙ හි ලා සුරකින බවට ද, සිංහලයේ සම්ප‍්‍රදායට අනුව රාජ්‍ය කරන බවට ද ගිවිසුමක් මඟින් පොරොන්දු කරවා ගෙන ය. තමන් ඉතාමත් නින්දිත ලෙසින් රවටනු ලබන ලද බව වටහා ගත් දා පටන් උඩරට සිංහලයෝ ලොව කිසිම ජාතියකට නොදෙවැනි වික‍්‍රමාණ්විත භාවයකින් යුක්තව ඉංගිරිසින්ට විරුද්ධව අරගල කළ හ. 1818 දී මෙරට ගම් නියම් ගම් පාළු කරමින් මර්දනය කරන ලද්දේ වෙල්ලස්සෙන් ඇරඹි සභ්‍යත්ව අරගලය යි. ධර්මපාල තුමා විසින් විසි වන සිය වසේ මුල භාගයේ දී මෙහෙයවන ලද ප‍්‍රබල වූ අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරය දක්වා ම ඔවුන් සභ්‍යත්ව රාජ්‍ය යළි පිහිටුවීම සඳහා අරගලය අත් නොහළ හ.

1915 දී ඉංගිරිසින් විසින් මෙරට කළු සුද්දන් ගේ ද උදව්වෙන් යටපත් කර දමන ලද සභ්‍යත්ව රාජ්‍ය අරගලය යළි පන ගන්වන ලද්දේ 1956 දී ය.

1954 දි පත් කර ගන්නා ලද භික්‍ෂූන් ගෙන් හා උගතුන්ගෙන් සමන්විත වූ බෞද්ධ කොමිෂන් සභාව ලංකාව පුරා ම සංචාරය කර බෞද්ධයන්ගෙන් සාක්‍ෂි සටහන් කර ගත් හ. එසේ පොදු ජනතාවගේ සාක්‍ෂි අනුව සකස් කෙරුනු බෞද්ධ කොමිෂන් සභා වර්තාව මෙර ට සිංහල බෞද්ධ සභ්‍යත්ව විඥානය පිළිබිඹු කරණ කදිම කැටපතක් වැන්න. බණ්ඩාරනායක මහතා ට සුවිශාල ජන බලයක් ලැබුනේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීමට ම නොව 1956 දී ප‍්‍රසිද්ධ කරන ලද බෞද්ධ කොමිෂන් සභා වාර්තා නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමට යි.

ගුණදාස අමරසේකර මහතා විසින් ම යළි යළිත් පෙන්වා දී ඇති අයුරු බණ්ඩාරනායක මහතා ජයග‍්‍රහණය කරා රැගෙන ගියේ එම පොදු ජන සභ්‍යත්ව විඥානය යි. ඔහුට අනුව එ් ධර්මපාල තුමා ඉන් කලකට ඉහත දී පුබුදුවාලන ලද මෙරට ජනතාවගේ සභ්‍යත්ව විඥානය යි.

එදා සිට අද දක්වා මෙරට ජනතාවගේ පැතුම වූ සභ්‍යත්ව රාජ්‍ය ට උරුම වූ සාධක මේ රට තුළ යළි ගොඩ නැගීම සඳහා යම් පමණක හෝ දායකත්වයක් දී ඇත්තේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ නායකත්වයන් පමණි. බණ්ඩාරනායක යුගයේ දී ඉංගිරිසින් විසින් කොන් කර සිටි මෙරට සැබෑ ජනතා බලචේග යළි ඔසවා තබා, ඔවුන්ගේ බස ඔසවා තබා, රටේ ආර්ථික හා ආරක්‍ෂක මර්මස්ථාන රජය යටතට ගැනිණි. බණ්ඩාරනයක මැතිණිය විසින් පාසැල් පද්ධතිය රජයට පවරා ගැනීම, බුදු දහමට මුල් තැන දෙන ව්‍යවස්ථාවක් මඟින් මෙරට ජනරජයක් බවට පත් කිරීම ජනතාවගේ සභ්‍යත්ව විඥානය පුබුදුවා ලීමට සමත් වුනා. නමුත් ඒ කිසිවක් අපේක්‍ෂිත අරමුණ කරා ගෙන යෑමට ඔවුන් සමත් වුනේ නැත.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ නායකයන් අතර ආකර්ශණීම ම නායකයා වූයේ මහින්ද රාජපක්‍ෂ මහතා ය. පනස් හයේ සුජාත දරුවෙකු වූ මහින්ද රාජපක්‍ෂ මහතා ත‍්‍රස්තවාදය පරාජය කළේ මෙරට පොදු ජන සිත් සතන් තුළ නිද්‍රෝපගතව සිටි සභ්‍යත්ව විඥාන යළි පුබුදුවා ලමිනි. ඔහු එය ජයග‍්‍රහණය කරා මෙහෙයචීමට සමත් වූයේ ත‍්‍රස්ත වාදයෙන් ජනතාව මුදා ගැනීමට කරන ලද මානුෂික මෙහෙයුමක් වූ බැවිනි. මා කලින් ද සඳහන් කල මහා වංශයේ පාඨය සිහි කරන්න. රාජ්‍ය නායකයා ලෙස මෙරට සභ්‍යත්ව රාජ්‍ය රැක ගැනීමට එය එතුමා විසින් කළ යුතු ම වූ යුතුකමක් විය.

මහින්ද රාජපක්‍ෂ මහතාට තම ව්‍යාපාරය පොදු ජනතාව බලාපොරොත්තු වූ අන්තය කරා ගෙන යෑමට නො හැකි වූයේ ඇයි?

1948 දී ලද නිදහස ගැන මා වචනයක් වත් නොකීවේ එහි අපට ලජ්ජා වීමට මිස ආඩම්බර වීමට තරම් දෙයක් නොමැති බැවිනි. මේ නිදහසින් අපට උරුම වූයේ එංගලන්තයේ ත‘ිබෙන ආකාරයේ ම පාර්ලිමේන්තුවක් කැබිනෙට්ටුවක් හා පක්‍ෂ දේශපාලනයක් පමණි. කරුමයක් වූ මේ උරුමය කර ගසා ගෙන තව කොතෙක් දුර යා හැකි ද? මේ පැනය යි අමරසේකර මහතා මෙම කෘතියේ එන ‘උරචක‍්‍ර මාලයක් වූ දායාදය’ යන ලිපියෙන් විමසන්නේ.

මහින්ද රාජපක්‍ෂ මහතාට ද අපේක්‍ෂිත ගමන යෑමට නොහැකි වූයේ එතුමා ද උරචක‍්‍රමාලය කරගසා ගෙන යනු හැර වෙන විකල්පයක් නොදුටු බැවිනි.

අමරසේකර මහතා පෙන්වා දෙන පරිදිම අද මෙම උරචක‍්‍රමාලය අපගේ ගෙල සිර කරන මළ පුඩුවක් බවට පත් ව ඇත. අද එම පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්නේ ජන වරමට පටහැනිව අටවා ගත් ඊනියා ජාතික රජයක පිහිටෙනි. මෙම ජාතික රජය පිහිටවූවේ ජන වරම පාවා දුන් මන්තී‍්‍රවරුන් පරිසක් හා ජනවරමක් නොලද මන්තී‍්‍රවරුන් පිරිසක් ද එකතු කරගෙන ය. මෙම පාර්ලිමේන්තුව තුළ කඩි මුඩියේ සම්මත කරගන්නා සෑම පනතක් ම සිංහලයා ගේ සභ්‍යත්ව රාජ්‍ය ප‍්‍රාර්ථනය අවහිර කිරීමට, විනාශ කිරීමට සම්මත කරගනු ලබන අණ පනත් ය.

නව ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් ගැනීමට පත් කළ කමිටුව රජයට නිර්දේශ කරන යෝජනා මෙම සභ්‍යත්ව රාජ්‍යයේ පදනම දියකර හැරීමේ අරමුණින් ම සකස් කර ඇති බව පෙනෙන්නට ඇත. අපේ ව්‍යවස්ථාව කොයි ආකරයේ එකක් විය යුතු දැ යි අපට කියා දීමට බටහිර නව ලිබරල් රටවල් ස්වේච්ඡුාවෙන් ම ඉදිරපත් වෙයි.

සියළුම බටහිර ලිබරල් වාදී රටවල් මෙන් ම ඔවුන් විසින් අටවා ගෙන ඇති විවිධ ආයතනය කිසිම හිරිකිතියක් නැතිව මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලෙස අනුමත කරණු පමණක් නොව ප‍්‍රසංශා ද කරණු ඇත. ඒ අප (අප නොව මෙරට රජය* ඉටු කරමින් සිටින්නේ ඔවුන්ගේ උවමනාව නිසා ය.

ලොව පැරණිම සභ්‍යත්ව රාජ්‍යය ලෙස සැළකෙන චීන රාජ්‍යයටත් වඩා පැරණි සභ්‍යත්ව රාජ්‍යය විනාශ කළ යුත්තේ ඇයි? අප එය විනාශ කර දැමීමට ඉඩ දිය යුතු ද?

සුළු ජන කොටස් වලට ද සාමකාමි ව ජීවත් විය හැකි වට පිටාවක් නිර්මාණය කළ හැකි විභවයක් සිංහල බෞද්ධ සභ්‍යත්ව රජ්‍යය සතු වූ බව අතීතය තුළින් ද පෙන්වා දෙයි. මෙරට ජනවර්ග අතර ගැටුම් හටගත්තේ සිංහල බෞද්ධ සභ්‍යත්ව රාජ්‍යය බිඳී යෑමෙන් පසුව පමණක් බව අමතක නොකරන්න.

සෝවියට් බල කඳවුර බිඳ වැටී සීතල යුද්ධය අවසන් වූ යුගයේ දී මුළු ලෝකයම අනාගතයේ දී නව ලිබරල් වාදය වැළද ගනු ඇතැයි බටහිරයෝ උදම් ඇනූ හ. නමුත් චීනය එසේ කළේ නැත. එවකට චීන කොමියුනිස්ට් පක්‍ෂයේ නායකයා වූ ඩෙන් සියෝපින්ග් වෙළඳ ආර්ථිකය පිළිගත් නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංශෝධන වෙනුවෙන් කොමියුනිස්ට් පක්‍ෂයේ මධ්‍ය පාලනයේ ග‍්‍රහණය ලිහිල් කරේ නැත. මා මුලින් ද සඳහන් කළ අයුරු දේව වරමක් බඳු වූ කොන්ෆියුසියානු රාජ්‍ය සංකල්පය මධ්‍ය පාලනයක් සහිත ප‍්‍රබල එකකි. චීන සභ්‍යත්ව රාජ්‍යය ප‍්‍රබල රජෙක් යටතේ පවතින්නකි. ඔවුන් කිසි දා එය නැති කර ගත්තේ නැත. නව ලිබරල් වාදය වැළඳ නො ගත් චීනය දිනක ලොව ප‍්‍රබල ම රාජ්‍යය බවට පත් වනු ඇත.

සීතල යුද්ධය නිමා වීමෙන් පසු සමහරක් කොමියුනිස්ට් රටවල් කොමියුනිස්ට් වාදය අතහැර නව ලිබරල් වාදය වෙත යොමු වනු වෙනුවට ඔවුන් නැවතත් කොමියුනිස්ට් වාදය වැළඳ ගැනීමට පෙර සිටි තන්වයට ආපසු යෑමේ ප‍්‍රවණතාවයක් ඇතැ වේ යැ යි යන සැකය ලිබරල් වාදී දාර්ශනිකයන් තුළ පැවතිනි.

සාහිත්‍යය කරුවකු වූ අමරසේකර මහතා ජාතික චින්තන මතවාදය මුල් ම වතාවට ඉදිරපත් කළේ රුසියානු සාහිත්‍යයට සාපේක්‍ෂව ය. ඒ මීට හරියටම අවුරුදු තිහකට පෙර 1986 අගොස්තු මාසයේ දි දිවයින ඉරිදා සංග‍්‍රහයට ලියන ලද ලිපියකිනි. ”මාක්ස්වාදී චින්තනය හා ජාතික චින්තනය” යන එම ලිපියෙන් ඔහු ඉදිරිපත් කළ අදහස වූයේ රුසියානු විප්ලවයට මග පෑදුවෙි ශ්‍රේෂ්ට රුසියානු සාහිත්‍යකරුවන් විසින් කුළු ගන්වනු ලැබූ කි‍්‍රස්තියානි ඕර්තොඩොක්ස් දහම මත පදනම් වූ රුසියානු ජාතික චින්තනය මිස මාක්ස්වාදී චින්තනය නොවන බවයි. කොමියුනිස්ට් පාලනය බිඳ වැටීමෙන් පසුව රුසියාව යළි තම ජාතික චින්තනය, නො එසේ නම් සභ්‍යත්ව රාජ්‍යය වෙත යොමු වී ද? ඒ නිසා නොවේ ද ව්ලැඞ්මිර් පුටින් ගේ නායකත්වය යටතේ ලොව ප‍්‍රබල ම බටහිර විරෝධී බලවේගය බවට පත් වීමට ඔවුනට ශක්තිය ලැබුනේ.

ත‍්‍රස්තවාදය පරාජය කරීම සඳහා ත‍්‍රස්තවාදය නිර්මාණය කළ බටහිර අධිරාජ්‍යයට විරුද්ධව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගිය ඒ විකල්ප ගමනේ දී සභ්‍යත්ව රාජ්‍යයන් වූ චීනය හා රුසියාව සහෘද මිතුරන් සේ නිරන්තරයෙන් ඔහු සමඟ විය.

සභ්‍යත්ව රාජ්‍යයක් කෘතිය විකල්පයක් සොයා යෑමට කරණ ආරධනාවකි. අප විසින් ඒ සඳහා වූ සංවාදය දැන් මේ මොහොතේ ම ඇරඹිය යුතු ය. කල් ඇරියොත් උර චක‍්‍ර මාලාව අපගේ ගෙල සිර කරනු නියත ය.

මාගේ මේ දේශනයට සවන් දුන් ඔබ තුළ නොයෙක් සැක සංකා පහළ වන්නට ඇත. ජාතික චින්තනය යනු කුමක්ද? සභ්‍යත්ව රාජ්‍ය සභ්‍යත්ව විඥානය යනු කවරේ ද? අප විසින් කළ යුත්තේ කුමක් ද? මේ ප‍්‍රශ්න වලට මට දිය හැක්කේ එක පිළිතුරක් පමණි. ඒ අමරසේකර මහතාගේ අසක් දා කව කාව්‍ය සංග‍්‍රහයේ එන මෙම කවි දෙපාදය යි.

බලනු තම හද තුළ
පිළිතුර තිබෙි එ් තුළ


සභ්‍යත්ව රාජ්‍ය කරා යෑමට නම් අප අපගේ හෘදය සාක්‍ෂියට (සභ්‍යත්ව විඥානයට) පිටු පා ජීවත් වීමේ ව්‍යාධියෙන් .මිදිය යුතු ය.

මට මෙම අවස්ථාව ලබා දීම ගැන ඔබ තුමාටත්, ගෙවිඳු කුමාරතුංගටත්, යුතුකම සංවාද කවයටත්, විසිදුනු ප‍්‍රකාශකයන්ටත් බොහෝම පින්.

මෙහි පැමිණි අසා සිටි ඔබ සැමටත් පින්

යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook  : https://www.facebook.com/yuthukama

9/17/2016

සභ්‍යත්ව රාජ්‍යය කරා යන ගමන ධර්මපාල චින්තනයෙන් අරඹමු

කතෘ:යුතුකම     9/17/2016   No comments



සැප්තැම්බර් මස 17 වැනි දා ට යෙදෙන ශී‍්‍රමත් අනගාරික ධර්මපාල තුමාගේ 152 වැනි ජන්ම දිනය නිමිත්තෙනි.

ගුණදාස අමරසේකර මහතා ගේ නවතම කෘතිය වන ”සභ්‍යත්ව රාජ්‍යයක් කරා” සැප්තැම්බර් මස 13 වැනි දින එළි දක්වන ලදී. මෙම කෘතිය තුළින් එතුමා පෙන්වා දෙන්නේ මෙරට තුළ අනාදිමත් කාලයක් තිස්සේ අඛණ්ඩව පැවත එන සිංහල බෞද්ධ සභ්‍යත්ව රාජ්‍යයක් පැවති බවත්, එම සභ්‍යත්ව රාජ්‍ය නිර්මාණය වීමට දායක වූ සභ්‍යත්ව විඥානය මේ වන තුරුත් මෙරට තුළ සජීවී ව පවතින බවත් ය. අද වන විට මේ රට ගිල ගනිමින් පවතින මහා ව්‍යසනයෙන් ගැලවීමට අපට ඇති එක ම මඟ අපට උරුම එම සභ්‍යත්ව රාජ්‍යය යළි බිහි කර ගැනීම බව අමරසේකර මහතා පෙන්වා දෙයි. ගෙවී ගිය සියවසේ දී සභ්‍යත්ව රාජ්‍යය රැුක ගැනීම සඳහා විශාලත ම දායකත්වය සැපයූයේ අනගාරික ධර්මපාල තුමා විසින් ය යන්න ය අමරසේකර මහතාගේ අදහස.

මේ ලිපියෙන් මා බලාපොරොත්තු වන්නේ ළදරු වියේ සිට ම  ධර්මපාල තුමා තුළ මෙම සභ්‍යත්ව විඥානය වර්ධනය වූ අයුරුත් ඒ සඳහා බල පෑ සාධක ගැනත් ඔබේ අවධානය යොමු කරවීමට යි. මේ යොමු වීම ඉතාමත් ම වැදගත්  වන්නේ සභ්‍යත්ව රාජ්‍යය සාක්‍ෂ්‍යාත් කර ගැනීමට නම් අප ජීවිත පැවැත්ම ද විශාල පරිවර්තනයකට යොමු විය යුතු බැවිනිි. මේ කරුණ අමරසේකර මහතා ද සිය කෘතිය තුළින් අවධාරණය කර යි. වඩාත් සරල ව කියනවා නම් අප යළිත් සිංහල බෞද්ධයන් ලෙස ජීවත් වීම ආරම්භ කළ යුතු ය. ඒ සඳහා මේ ලිපිය ඔබට අත් වැලක් වනු අතැ යි බලාපොරොත්තු වෙමි.

ධර්මපාල තුමාගේ මුල් ම මතකයන් බහ තොරන වියේ දී ඔවුන් ජීවත් වූ විශාල ගෙඋයනකින් යුතු කොළඹ කොටුවේ පිහිටි නිවස හා සම්බන්ධය. 
                                  
”ඉන්දියානු සාගරයේ මන්ද මාරුතයෙන් සසල වූ පොල්, අරළු හා කුරුඳු ගසක් ද, රක්ත වර්ණ හා දමි වර්ණ අශෝක මලින් ද, ගිනිගෙන දැවෙන සල් මල් වලින් ද යුක්ත වූ උද්‍යානවලට මුහුණ ලා පිහිටි ආලින්දයෝ මාගේ ආදිම මතකයෝ වෙති. කුඩා දරුවනට උද්‍යානය චමත්කාර ලෝකයකි. දැවැන්ත මල් ගස් මත ගී ගයන කුරුල්ලෝ පියෑඹූ හ. ගොඩ කැස්බෑවෝ ඉර අවිවෙ හි අවිව තැපූ හ. විසකුරු සර්පයෝ පවා පටලැවී ගිය පඳුරු යට ලාලිත ගමනින් බඩ ගා ගිය හ. ජීවත් වන අනෙක් සියලූ සතුන් මෙන් ම සර්පයෝ ද බෞද්ධයන් තමනට හිංසාවක් පීඩාවක් නො කරන බව දැන ඔවුන් සමඟ ජීවත් වූ හ.”
ධර්මපාල තුමා මෙසේ හෙළි කරණ ළමා වියේ චමත්කාර අත්දැකීමි අතරින් හෙළි වන සිංහල බෞදධ සභ්‍යත්වයේ  හා සංස්කෘතියේ එක් වැදගත් ආවෙිණික වූ අංගයක් කෙරෙහි ඔබ ගේ අවධානය යොමු කර වීමට කැමැත්තෙමි.
”ජීවත් වන අනෙක් සියලූ සතුන් මෙන් ම සර්පයෝ ද බෞද්ධයන් තමනට හිංසාවක් පීඩාවක් නො කරන බව දැන ඔවුන් සමඟ ජීවත් වූ හ.”
සිංහල සංස්කෘතිය සහ මානව විද්‍යාව පිළිබඳ අදහස් ඉදිිිරිපත් කල අදීන චින්තකයකු වූ මාර්ටින් වික‍්‍රමසිංහ මහතා සිංහලයින් ගේ ජීව භක්ති වාදය ලෙස හැඳින් වූ යේ මෙම ගුණය යි. බටහිරයින් විස්තර කරණ මානව භක්තිය අභිබවා යන මානවයා ට පමණක් සීමා නො වී සියළු ම ජීවින් වෙත කරුණාව දැක්වීම ට අවශ්‍යය හික්මීම සිංහලයා උකහා ගත්තේ බුදු සමය තුළිනි.
ජීව භක්ති වාදය සිංහලයන් උරුමයක් වූයේ කවදා සිට ද? අනුබුදු මහින්ද හිමියන් සියවස් විසි තුනකට පෙර මෙරටට ගෙන ආ පණිවුඩය මෙය යි.
”මහරජ. ඔබ මෙි රටෙි අයිති කරුවා නොව බාර කාරයා පමණි. මෙරට ජීවත් වන මනුෂ්‍යයන් පමණක් නොව සිවුපාවුන් උරගයන් පක්‍ෂීන් මෙන් ම ගස් ගල් ද ඔබගේ ආරක්‍ෂාව යටතේ පවතියි. එය රැුක ගැනීම ඔබ සතු යුතුකමයි.

සිංහල බුදු සමය ලොවට බිහි වූයේ මෙම පණිවුඩයත් සමඟ යි. එදා සිට අද දක්වාත් වෙනස් වෙමින් විනාශ නො වී පවතින ශ්‍රේෂ්ට සභ්‍යත්වයක  ආරම්භය එය යි. සිංහල බෞද්ධයෝ නොයෙකුත් කරදර බාධක සතුරු ආක‍්‍රමණ මධ්‍යයේ එම සභ්‍යත්වය විඥානය සුරැුකිව පරමිපරාවෙන් පරමිපරාවට දායාද කළ හ. ධර්මපාල තුමා මෙන් ම ඔබ ද මා ද අයත් වන පරපුර එය යි.

එතුමා ගේ දින සටහන් වල සඳහන් වන අයුරු ම සිංහල වූ එතුමගේ කුල පරමිපරාව අවුරුදු දෙදහස් දෙසීයක් ම අඛණ්ඩ ව බෞද්ධ වී ඇත. මෙි නිසා බුදු දහම යටපත් වී ගිය යුගයක් වුව ද, ඔහු ගේ ළමා විය ගෙවුනේ බෞද්ධ පරිසරයක බෞද්ධ සිරිත් විරිත් අනුව සැකසුණු පවුල් පසුබිමක ය. පසළොසවක දින අටසිල් සමාදන් වීම, උදේ හවස මල් පහන් පූජා කිරීම ඔහු ගේ ළමා විය හා බැඳුනු හා සුන්දර මතකයන් ය.

”මම මගේ පවුලේ අය සමඟ මසකට වරක් පසළොස්වක පොහොය දිනවල සිල් සමාදන් වීමි. විසිහතර පැයම භාවනාවෙන් ද බෞද්ධ සූත‍්‍රවලින් හා අටිඨ කතාවලින් කොටස් කියවීමෙන් ද ගත කළෙමි.”
”ප‍්‍රතිපත්ති අන්තරාධාන වූ කල සාශනය පවතින්නේ නැත. වත් පිළිවෙත් නොකරන තැනැත්තා කිසි දිනෙක අභිවෘද්ධියට පැමිණෙන්නේ නැත.” 

ධර්මපාල තුමාගේ මෙම ඔවදන අපගේ, විශේෂයෙන් ම දරුවන් හදත වඩන සියල්ලනගේ ම අවධානයට යොමු විය යුත්තකි. මෙරට ප‍්‍රකට කාන්තා චරිත අතරින් විහාර මහ දේවියට පමණක් දෙවැනි වන්නකි මල්ලිකා හේවවිතාරණ චරිතය. ධර්මපාල තුමා තුළ එතරම් ප‍්‍රබල සභ්‍යත්ව විඥානයක් ගොඩ නැගුනේත් ඒ වෙනුවෙන් එතුමාට සිය දිවි දෙවැනි කොට පෙනී සිටීමට අවශ්‍ය ධෛර්යය ලැබුනේත් එම උදාර මාතාවගෙන් ලද අභාෂය නිසා ය.

ධර්මපාල තුමාගේ දින පොත් වලින් උපුටා ගන්නා ලද පහත දැක්වෙන කොටස් ඒ බව සනාථ කරතැ යි සිතමි.
”මගේ මවට අසා සිටීමට සූත‍්‍ර වලින් කොටස් ද ගාථා ද කීමට මට සිදුවිය. මෙි නිසා ගාථා හා පිරිත් කටපාඩමින් මගේ මව ඉදිරියේ දී කිව යුතුවිය. ඇය මා කැමති පැණිරස ගෙනවුත් තබාගෙන ගාථා හා පිරිත් කටපාඩමි දුන්නායින් පසුව එවා මට කන්ට දෙන්නී ය.”
”අසල්වැසි දුප්පත් ගෙදරක ගැහැණියකට දරුවෙකු ලැබෙන්නට යන බව ආරංචි වූ විට එතැනට මුලින් ම යන තැනැත්තිය මගේ මවයි. ඇය එහි ගොස් ඒ අවස්ථාවට අවශ්‍යය උදවු කරයි. දරුවාට ඇඳුමි පැළඳුමි මිලවට ගෙන දෙයි.”

”මවගෙන් මට ද ඇතැමි ගතිගුණ ලැබී තිබෙි. අඟහිඟකමිවලින් මිනිසුන් දුක් විඳිනු මට ඉවසිය නොහැකිවිය. දුප්පත් අයට උපකාර කිරීමට මට හැම විටම වුවමනා විය.”

පසු කලක දී ධර්මපාල තුමා රට පුරා කළ සංචාර වල දී මෙරට ගැමි ජනතාව විඳින දැක මහත් සේ කම්පා විය. සිංහල බෞද්ධයන්  මහායාන බෝධි සත්වයන් ලෙස කටයුතු කළ යුතු බව එතුමා පැවසුවේ එ බැවිනි.
”ස්වකීය ජාතිය ගැන කරුණු දැන ගැනීම රටට සහ ජාතියට ආලයක් ඉපදීමට හේතු වෙි. රටට ආලයක් උපදින්නට නමි ඉතිහාස කතා කියවිය යුතුයි. ලංකා කතාව අන්තර්ගත මහාවංශය කියවීමෙන් අපේ ජාතියට මා තුළ මහත් ආශාවක් උපන්නේ ය. ”

සෑම සිංහලයකු ම මහාවංශය කියවිය යුතු යැ යි මම ද සිතමි. මන්ද මහාවංශය  යනු සිංහලයාගේ සභ්‍යත්ව රාජ්‍යය නිර්මාණය කිරීමේ හා එය රැුක ගැනීමේ කතන්දරය යි. මෙකල මහාවංශයට ගරහන්නේ අප සතු වූ සභ්‍යත්ව රාජ්‍යයට වෛර කරන්නන් ය. අපට මහාවංශය පිළිබඳ ව ඔවුන්ගේ විවේචන වලට පිළිතුරු දිය හැක්කේ මහාවංශය ගැඹුරින් හැදෑරීම මඟින් ම පමණි.

සභ්‍යත්ව රාජ්‍යය කරා යන ගමනේ දී අප අපගේ නිවෙස් හා පවුල් ද ඒ සඳහා සකසා ගත යුතු ය. ඒ සඳහා ඔබට අද දිනයේ දී ම (ධර්මපාල දින* තම ගමන ඇරඹීමට මෙම ලිපියෙන් දිරියක් ලැබේවා යන්න ය මගේ පැතුම.

වෛද්‍ය වසන්ත දේවසිරි
2016 බිනර මස 17 වැන දින
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions