පෙර සිව්වැනි ලිපියේ දී අපි මකයාපිඩ්ඩි පිල්ලෙයාර් කෝවිල අසළින් හමු වූ බෝධිසත්ව පාද කොටස සහ ඊට යාබද ව හමුවූ ප්‍රතිමා ගෘහය සම්බන්ධයෙන් සාකච්ඡා කළෙමු. මකයාපිඩ්ඩි ගම්මානයේ පුරාවස්තු ගවේෂණය සැක නොසන්සිඳුවන, ආකර්ෂණය වඩවන එකකි. මකයාපිඩ්ඩි ජල මූලාශ්‍රයට යාබද ව ම පිහිටි මීනාක්ෂි අම්මාන් කෝවිල් භූමියේ සිදුකළ ගවේෂණයෙන් පෝල් ඊ. පීරිස් මහතා සොයාගන්නා ලද පුරාවස්තු කිහිපයකි. ඉන් එකක් ශෛලමය කොත් කැරැල්ලක් වූ අතර අනෙක බෝධිසත්ව සිරසක් විය. එම බෝධිසත්ව සිරස බොහෝ දුරට ගෙවී තිබූ අතර, මුහුණේ අවයව නොපෙනෙන තරමට කාලයත් සමඟ හායනය වී තිබී ඇත. දකුණු කනෙහි ලම්බකර්ණ ලක්ෂණය පෙන්නුම් කෙරී ඇති අතර පිටුපසින් විශාල ව නිර්මාණය කොට ඇති ජටා මකුටය/ හිස් වැස්ම පෙර නොවූ විරූ පරිදි අනන්‍ය සහ අලංකෘත වූවක් වන්නට ඇති බව පෝල් ඊ. පිරිස් මහතාගේ මතය යි.
එතුමා මෙම හිස පෙර අප සඳහන් කළ අදාළ ජල තටාකය අසළ තිබූ පාද යුග්මය අයත් පිළිම වහන්සේගේ හිස වන්නට ඇතැයි අනුමාන කරයි. වර්තමානය වන විට මෙම බෝධිසත්ව ශීර්ෂ කොටස යාපනය කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කොට තිබේ.
මින් අනතුරු ව පෙර කී ජල තටාකයට පිය මැනීමට ඇති සෝපාන පන්තියේ අවසානයට තිබූ තරමක අර්ධ කවාකාර පියගැටය දකින පීරිස් මහතා එහි තිබු ඇතැම් දිගු රේඛාමය කැටයම් සලකුණු පිළිබඳ සැක උපදවයි. කෝවිලෙහි බ්‍රාහ්මණ පූජකවරුන්ගේ අවසරය මත එම ශිලා කොටස ගොඩ ගන්නා එතුමාට හමුවන්නේ තවත් සුවිසල් බුද්ධ ප්‍රතිමාවක බඳ කොටසකි. එය සම්පූර්ණ වශයෙන් අඩි 8.5ක් පමණ උස වන බුදුපිළිමයකට අයත් බව සැලකෙන අතර එහි සිවුරු රේඛා; ද්විත්ව රැළි සහිත ව, පරිපූර්ණ ව දක්වා ඇති බව ප්‍රකාශ වේ.
මෙම මෙම ප්‍රතිමා වහන්සේ දැනට කුමන ස්ථානය පවතින්නේ ද යන්න ස්ථිර වශයෙන් කිව නොහැකි වුවත් මෑතකාලීන ව වෛද්‍ය රුවන් මාරසිංහ මහතා විසින් ප්‍රකාශයට පත්කරන ලද කෘතියෙහි මෙම බුද්ධ ප්‍රතිමා කොටස යාපනය, පුතුක්කුලමින් හමු වූ බව දක්වා ඇත. එම කෘතියේ දක්වා ඇති ඡායාරූපය අනුව මුල් ඡායාරූපයට වඩා බුද්ධ ප්‍රතිමා වහන්සේ හායනයට ලක් වී ඇති බවක් පෙනීයයි.
![]() |
වෛද්‍ය රුවන් මාරසිංහ මැතිතුමා ඡායාරූප ගතකර ඇති පුතුක්කුලමෙන් හමුවූ බව කියන ප්‍රතිමා කොටස |
මීට අමතර ව එම ස්ථානයෙන්ම තවත් ශෛලමය පුරාවස්තුවක් පීරිස් මහතා විසින් සොයා ගන්නා ලද අතර එය යම් ප්‍රතිමාවකට අයත් පද්ම පීඨයක් වීමට ඉඩ ඇත. තව ද මෙම ගම්මානයේ තවත් ළිඳකින් සහ ජල තටාකයකින් කොත් කැරලි දෙකක් එතුමා විසින් සොයාගන්නා අතර පුල්ලෙයාර් ප්‍රතිමාවක් වශයෙන් භාවිතා කරන ලද එවන්ම වූ කොත් කැරැල්ලක් ද එතුමා විසින් සොයාගනු ලබයි.
උඩුවිල් යනු කඳුරුගොඩට යාබද ව ඇති පැරැණි වැවකින් ද සමන්විත තවත් ගම්මානයකි. මෙම ගම්මානය ද පරීක්ෂා කරන පෝල් ඊ. පීරිස් මහතාට එහි එක්තරා කෝවිලකින් තවත් කොත් කැරලි හතරක් නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබෙන අතර, එම කොත් කැරලි එම ස්ථානයෙන් රැගෙන යාමට ද කෝවිල් පරිපාලනය අවසර ලබා දී ඇත.
මීට අමතර ව චුන්නාකම් අවටින් ම හමුවූ තවත් පුරාවිද්‍යා ස්ථානයක් වශයෙන්; පීරිස් මහතා විසින් ම මුල්වරට යාපනයෙන් සොයාගනු ලැබූ බෞද්ධ පුරාවිද්‍යා ස්ථානය ලෙස හඳුන්වනු ලබන චුන්නාකම් දුම්රිය පොළ ආසන්නයේ පිහිටි දාගැබ හැඳින්වීමට හැකි ය.
එතුමා විසින්ම දක්වන ලෙසට කන්කසන්තුරේ වෙත දුම්රියෙන් ගමන් කරන විට චුන්නාකම් දුම්රියපොළ ආසන්නයෙන් එතුමා දුම්රිය ජනේලයෙන් දකින්නා වූ එක්තරා ගොඩැල්ලක් එතුමාගේ අවධානය දිනා ගනු ලබන අතර මාස කිහිපයකට පසු එම ගොඩැල්ල නිරීක්ෂණය කරන එතුමා යාපනය අර්ධද්වීපෙන් සොයා ගනු ලබන ප්‍රථම දාගැබ සොයාගනු ලබයි.
පෙර ලිපියක අප සඳහන් කරන ලද කෝපායි වෙතින් හමුවී යාපනය කොටුව වෙත ප්‍රවාහනය කරන ලද හුණුගල් කොත් කැරැල්ල මෙම ගම්මානයේ ළිඳක් කැණීමේ දී හමුවූ බව පීරිස් මහතා විසින් සඳහන් කරන අතර ඒ අනුව එකී කොත් කැරැල්ල මෙම දුම්රියපොළ අසළ දාගැබට අයත් වූවක් වීමට ඉඩ ඇත.
අපගේ මේතාක් ලිපි තුළ චුන්නාකම් නොහොත් හුණුගම හෙවත් කඳුරුගොඩ අවට ප්‍රදේශයේ පිහිටි බෞද්ධස්ථාන කිහිපයක් පිළිබඳව සඳහන් කරනු ලැබිණි.
1. චුන්නාකම් දුම්රියපොළ අසල දාගැබ
2. චුන්නාකම් බුද්ධ ප්‍රතිමාව හමු වූ කොඩ්ඩියාවත්ත දාගැබ සහ නටබුන්
3. චුන්නාකම් මකයාපිඩ්ඩි පිල්ලෙයාර් කෝවිල සහ මීනාක්ෂි අම්මාන් කෝවිල අසළ නටබුන් රාශිය
4. කදුරුගොඩ සුප්‍රකට ස්ථූපාවලිය සහිත පුරාවිද්‍යා ස්ථානය
5. උඩුවිල්හි කෝවිලකින් ලැබුණු කොත් කැරලි එම ස්ථාන අතර වේ.
ඒ අනුව මෙම ප්‍රදේශය ඉතාමත් වැඩි පුරාවස්තු ඝනත්වයක් තිබූ ප්‍රදේශයක් බව කිසිදු සැකයකින් තොර ව ප්‍රකාශ කළ හැකි අතර මේ අනුරාධපුර හෝ තිස්‌සමහාරාමය තරමට ම ඉතා පැරණි අතීත නාගරික ජනාවාසයක් බව ද වෙනත් කැණීම් මගින් හෙළි වී ඇත.
කෙසේ නමුත් අද යටකී බෞද්ධ පුරාවිද්‍යා ස්ථාන අතරින් ඉතිරි වී ඇත්තේ කඳුරුගොඩ දාගැබ් භූමිය පමණක් වීම කණගාටුවට කරුණකි. අනෙකුත් පුරාවිද්‍යා ස්ථාන සියවසක් තුළ අපට අහිමි වී ඇති අතර යම් හෙයකින් ඒවා ආරක්ෂා කර ගැනීමට අපට හැකියාව තිබුණේ වී නම් එය අපගේ ශිෂ්ඨාචාරයේ ප්‍රෞඪත්වය කියාපාන එකකට එකක් අතිශයින් වැදගත් සාධක වනු නොඅනුමාන ය.
විනුක විදාණපතිරණ
2025 ජූනි කලාපයේ පළවූ ලිපියකි
යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .