![]() |
එක්සත් ජනපද ජනාධිපති හැරී එස්. ටෲමන් උතුරු අත්ලාන්තික් ගිවිසුමට අත්සන්
තබමින් (1949 අගෝස්තු 29) |
1947 මාර්තු 12 දින කොන්ග්‍රස් සභාව ඇමතූ එවකට එක්සත් ජනපද ජනාධිපති හැරී ටෲමන් විසින් ‘කොමියුනිස්ට් ව්‍යාප්තිය හමුවේ තර්ජනයට ලක්ව සිටින රටවල්වලට එම තර්ජනයට එරෙහිව නැගී සිටීම සඳහා එක්සත් ජනපදයේ ආධාරය හිමි වන බව ප්‍රකාශ කරන ලදි. එම ප්‍රකාශය කොමිනියුස්ට්වාදී සෝවියට් දේශයේ බල ව්‍යාප්තියට අභියෝග කරමින් සිදු කළ ප්‍රකාශයක් වූ අතර එම ප්‍රකාශය සැළකෙන්නේ සීතල යුද්ධයේ සමාරම්භය ලෙසයි.
මෙම සීතල යුද්ධය තුළ එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය සෘජුව යුධ ගැටුමකට සම්මුඛ නොවුණත් ඔවුන්ගේ ආයුධ, ධනය සහ මානව සම්පත ලෝකයේ වෙනත් රටවල භූමි ප්‍රදේශවල සිදු වූ යුධ ගැටුම් සඳහා යොදවමින් වක්‍ර යුධ ගැටුම්වල (Proxy conflicts) නියැලෙන ලදි. කොරියානු යුද්ධය, වියට්නාම් යුද්ධය සහ ඇෆ්ඝනිස්ථාන් යුද්ධය මෙලෙස සීතල යුද්ධයේ බලපෑමට ලක් වූ විනාශකාරී යුධ අත්දැකීම් විය.
මීට අමතරව සිය මතවාද ලෝකයේ ප්‍රචලිත කරමින් ජාතීන්ගේ පක්ෂපාතීත්වය සිය කඳවුරු වෙත දිනා ගැනීම සඳහා එක්සත් ජනපදයත්, සෝවියට් දේශයත් තරඟකාරීව කටයුතු කරන ලදි. කලාව, සාහිත්‍ය, මාධය ආදී ක්ෂේත්‍ර තුළ විශාල ධනස්කන්ධයක් වැය කරමින් මේ මතවාදීමය යුද්ධය දියත් වුණි. තවද එකිනෙකා පරයා අභ්‍යාවකාශ තාක්ෂණය, යුධ තාක්ෂණය, සන්නිවේදන තාක්ෂණය ආදී තාක්ෂණික ක්ෂේත්‍රවල නවෝත්පාදන සිදු කිරීම සඳහා පෙර නොවූ විරූ වෙහෙසක් දරන ලදි.
එසේම ප්‍රති විරුද්ධ රට අස්ථාවර කිරීම අරඹයා රටවල් දෙක විසින්ම එකිනෙකාට විරුද්ධව දියත් කොට ගන්නා ලද ඔත්තු සේවා මෙහෙයුම් ගිනිය නොහැකි තරම් විය. මෙම සීතල යුද්ධය සැබෑ යුද්ධයකට ආසන්න වූ සංසිද්ධීන් කිහිපයක්ම සිදු විය. 1962 කියුබානු මිසයිල අර්බුදය, Able Archer 83 ලෙස හැඳින්වෙන ඇමරිකානු නාවුක අභ්‍යාස සිද්ධිය මේවාට උදාහරණ ලෙස දැක්විය හැකිය.
මේ අයුරින් දශක 4 ක් පුරා දික් ගැස්සී ගිය ලෝකය අත්දුටු පළමු සීතල යුද්ධය නිමාවට පත් වූයේ සෝවියට් සමූහාණ්ඩුව විසිරුවා හැරීමත් සමඟිනි. සෝවියට් සමූහාණ්ඩුවේ එම බිඳ වැටීමට බලපෑ ප්‍රධාන හේතුවක් ලෙසද මෙම සීතල යුද්ධයේ බලපෑම හඳුනාගත හැකිය. ඒ අනුව අවසාන වශයෙන් පළමු සීතල යුද්ධය නිමා වූයේ එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ සන්ධානයට ජයග්‍රහණය අත් කර දෙමිනි. එතැන් පටන් ගෙවුණු දශක 2 ක පමණ කාලයේදී ලෝකයේ තනි බලවතා බවට පත්වූයේ එක්සත් ජනපදයේ නායාකත්වයයෙන් යුතු නේටෝ යුධ සන්ධානයයි.
1991 සීතල යුද්ධය නිමා වූ දා පටන් 2014 දක්වා ලෝකයේ අනභිබවනීය බලවතා ලෙස එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝව විසින් ඇෆ්ඝනිස්ථානය, ඉරාකර, ලිබියාව ආදී රාජ්‍යන් සෘජුවම ආක්‍රමණය කරන ලදි. පෝලන්තය, හන්ගේරියාව සහ චෙක් යන රාජ්‍යන් නේටෝ සන්ධානයට ඈඳා ගන්නා ලදි. රටවල්වල ස්වෛරීයභාවය සුලබව උල්ලංඝනය කරමින් මිලිටරි මෙහෙයුම් දියත් කරන ලදි.
මෙලෙස ඇමරිකාව ප්‍රමුඛ නේටෝ සන්ධානය භුක්ති විඳි ලෝක සුපිරි බලවතාගේ භූමිකාව පළමු සීතල යුද්ධයෙන් පසුව ප්‍රථම වරට අභියෝගයට ලක් වූයේ 2008 දී රුසියාව විසින් ජෝර්ජියාවේ දකුණු ඔසටියා සහ අබ්කාසියා යන ප්‍රදේශවලට හමුදාව යොමු කිරීමත් සමඟය.
1991 දී සෝවියට් සමූහාණ්ඩුව රටවල් 15 කට කැඩී ගිය අතර සෝවියට් සමය තුළ ඔවුන් ළඟා කරගත් තාක්ෂණික සහ යුධමය ශක්තියෙන් වැඩි කොටස රුසියානු සමූහාණ්ඩුව සතු විය. ළඳරු රුසියානු සමූහාණ්ඩුව එහි මුල් වසර 10 තුළ දැඩි ආර්ථික පීඩනයකින් හා දේශපාලන අස්ථාවරභාවයකින් දුර්වලව පැවතුණි. නමුත් එය නිදා සිටි යෝධයෙක් බඳු විය.
2000 වසරේදී රුසියාවේ බලයට පත් වූ ව්ලැඩ්මියර් පුටින් ජනපතිවරයාගේ නායකත්වය යටතේ රුසියාව නැවතත් ක්‍රමයෙන් සිය ආර්ථික, යුධ සහ රාජ්‍ය තාන්ත්‍රික ශක්තිය වර්ධනය කරගත් අතර එම ගමනේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් රුසියාව විසින් 2008 දී ජෝර්ජියාවේ දකුණු ඔසටියා සහ අබ්කාසියා (South Ossetia and Abkhazia) ප්‍රදේශ සිය හමුදා බලය යොදා ජෝර්ජියාවෙන් වෙන් කොට වෙනම රාජ්‍ය වශයෙන් ස්ථාපිත කරන ලදි. අප නිරීක්ෂණය කරන අන්දමට වත්මන් සීතල යුද්ධය හෙවත් දෙවන සීතල යුද්ධයේ ආරම්භක සන්ධිස්ථානය මෙයයි. ඉන් නොනැවතුණු පුටින්ගේ රුසියාව 2014 දී එතෙක් යුක්‍රේනයට අයත්ව පැවති ක්‍රිමියාව හමුදා බලය යොදා රුසියාවට ඈදා ගන්නා ලදි. රුසියාව විසින් 2008 දී ජෝර්ජියාවට එරෙහිව ද, 2014 දී යුක්‍රේනයට එරෙහිවද හමුදා යොදවන විට ඒ රටවල් පැවතියේ නේටෝවට සමීප වෙමිනි. ඒ අනුව රුසියාවේ මෙම මිලිටරි මැදිහත්වීම් නේටෝවට එල්ල කරන ලද අභියෝගයක් ද විය. 1991 න් පසුව නේටෝවට මෙයාකාර අභියෝගයක් එල්ල කළ ප්‍රථමයා රුසියාව විය.
එක්සත් ජනපද ප්‍රමුඛ නේටෝ හවුලේ යුධ බලයට රුසියාව අභියෝග කරමින් සිටියදී අනෙක් පසින් ආර්ථික දැවැන්තයෙකු අඬු විහිදා නැගී සිටියේ ය. එම ආර්ථික දැවැන්තයා චීනයයි. චීනයේ මෙම අතිධාවනකාරී ආර්ථික නැගී ඒම මුල්වරට විද්‍යාමාන වූයේ 2008 ගෝලීය මූල්‍ය අර්බුධය සමගිනි. මූල්‍ය අර්බුධය හමුවේ එක්සත් ජනපද සහ යුරෝපා ආර්ථික බිඳ වැටීමට ලක් වෙද්දී චීනයේ ආර්ථිකය නොසෙල්වී වර්ධන අගයන් පවත්වා ගෙන යාමට සමත් විය. මෙය බටහිර තිගැස්මකට ලක් කිරීමට සමත් විය.
සිය රාජ්‍ය කේන්ද්‍රීය ආර්ථික ක්‍රමය සාර්ථක පල නෙලා දෙන බවට ඇති වූ ආත්ම විශ්වාසය තුළ චීනය සෙමෙන් නමුත් ස්ථාවර ලෙස තමන්ගේ තටු දිග හරින්නට විය. 2013 වන විට ඉපැරණි සේද මාවත යළි සිහි ගන්වමින් සමස්ත ආසියාවේ වෙළඳ බලය චීනය වෙත කැටි වන බල මෙහෙයුමක් වන එක් තීරයක් එක් මාවතක් (Belt and Road) වැඩසටහන ආරම්භ කරන ලදි. මේ අතර සිය මිලිටරි අංශ ඉතා ශක්තිමත් ලෙස බල ගැන්වීමට ඔවුනට හැකි විය.
පළමු සීතල යුධ සමයේ සෝවියට් දේශය සහ චීනය අතර පැවතියේ එතරම් යහපත් සම්බන්ධතා නොවේ. රටවල් දෙකම මාක්ස්වාදී සමාජවාදී අදහස් ගුරු කොට පැවතියත් පසමිතුරුකම් රාශියකින් එම රටවල් ඈත් වී පැවතුණි. නමුත් 2009 වන විට මේ රටවල් දෙක වෙන්ව ගමන් කිරීමට වඩා එක්ව ගමන් කිරීමේ වැදගත්කම වටහාගෙන තිබුණි. තම රාජ්‍යන්ගේ අභිද්ධිය සහ අවිච්ඡින්න පැවත්ම සඳහා එක්සත් ජනපද නේටෝ බලය පාලිත තත්ත්වයක පවත්වා ගැනීමේ අවශ්‍යතාවය මොවුන් දුටුවෝය.
චීනය සහ රුසියාව විසින් 2009 දී ඉන්දියාව සහ බ්‍රසීලය එක් කොට ගනිමින් BRIC හවුල ගොඩ නංවාගත් අතර එම හවුල මේ වන විට BRICS+ ලෙසින් දකුණු අප්‍රිකාව, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන්දුනීසියාව එක් කර ගනිමින් බලවත් වෙමින් සිටී. චීනය සහ රුසියාව විසින් BRICS+ සන්ධානය මෙහෙයවන්නේ ඇමරිකානු ඩොලරයට හිමිව ඇති ලෝක ආර්ථිකය පාලනය කිරීමේ තීරක බලය බිඳ හෙළීමට බව පැහැදිලිය. ඇමරිකානු ඩොලරයේ ගෝලීය ආර්ථික තීරක බලය බිඳ වැටුණු දිනක එක්සත් ජනපදයේ බලය ක්ෂය වී යාම වළක්වාලිය නොහැකිය.
දිනෙන් දින කඳවුරු 2 ක් ලෙස ලෝකය බෙදී යමින් පවතී. එක්සත් ජනපද සහ නේටෝ සංධානයේ අරියාදුවලට ලක් වූ අප්‍රිකාවේ, මැදපෙරදිග සහ ලතින් ඇමරිකාවේ රටවල් රුසියානු චීන හවුල දෙසට ඇදී යමින් පවතී. මේ අතර චීන රුසියානු අරියාදුවලට ලක් වූ නැගෙනහිර යුරෝපයේ, බෝල්කන් කලාපයේ සහ ඉන්දු චීන කලාපයේ රටවල් එක්සත් ජනපද සහ නේටෝ හවුල දෙසට ඇදී යමින් පවතී. මෙම බල කඳවුරු තවමත් යුධ බිමක් තුළ මුහුණට මුහුණ හමු වී නැති නමුත් ලොව පුරා ප්‍රොක්සි යුධ බිම් තුළ තම තමන්ගේ බලය උරගා බලමින් සිටී. ඉතින් 2008 පටන් ක්‍රම ක්‍රමයෙන් මතු වී අද වන විට උඩු දුවා තිබෙන්නේ දෙවන සීතල යුද්ධය මිස අන් යමක් නොවේ.
මෙලෙස ඇරඹී ගෙවී යන්නේ තවත් සීතල යුද්ධයක් බව අප පමණක් නොව ලොව පුරා වෙසෙන නිරීක්ෂකයන්, විචාරකය්ටන් ගණනාවක්ම දැනටමත් ප්‍රකාශ කොට ඇත. ඇමරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, ද ඉකොනොමිස්ට් සඟරාවේ හිටපු ජ්‍යෙෂ්ඨ සංස්කාරක එඩ්වර්ඩ් ලුකාස් (Edward Lucas) මේ පිළිබඳව මීට ඉහතදී සිය නිරීක්ෂණ ප්‍රකාශයට පත් කොට ඇත. වරක් ෆෙඩරල් සභාව අමතමින්, නේටෝ සංවිධානය නැගෙනහිර යුරෝපය දෙසට පැතිරීමට ගන්නා උත්සාහය පුටින් ජනාධිපතිවරයා විසින් නිර්වචනය කළේ නව සීතල යුද්ධය වශයෙනි.
පළමු සීතල යුද්ධයට වඩා දෙවන සීතල යුද්ධයේ සුවිශේෂීතාවයන් රාශියක් පවතී. පළමු සීතල යුද්ධය තුළ බල කඳවුරු 2 ක් සහ එම කඳවුරු 2 තුළ පැහැදිලි නායකන් දෙපළක් දැක ගත හැකි විය. දෙවන සීතල යුද්ධය තුළ බල කඳවුරු දෙකක් පැවතුණත් එම එක් එක් කඳවුර තුළ තනි නායකත්වයක් දැක ගත නොහැකිය. ඒ වෙනුවට එක කඳවුරක් තුළ බලවතුන් කිහිප දෙනෙකු ක්‍රියාත්මක වන බව පෙනේ. චීනය සහ රුසියාව එක් බල කඳවුරක් තුළ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව, සමාන අභිලාෂයන් උදාසා සහයෝගයෙන් ක්‍රියා කළ ද ඒවා එකිනෙකා මත නොයැපී ස්වාධීනව කටයුතු කරන අයුරු දැකගත හැකිය. මේ පිළිබඳව නිදර්ශනයක් සපයන කදිම උදාහරණයක් වන්නේ චීනය සහ රුසියාව ඉන්දියාව අරභයා කටයුතු කරන ආකාරයයි.
ඇමරිකාව ප්‍රමුඛ නේටෝ කඳවුර තුළද මීට සමාන තත්ත්වයක් දැකගත හැකිය. පලස්තීන ප්‍රශ්නයේදී ඇමරිකාවේ ස්ථාවරයට වඩා වෙනස් ස්ථාවරයන් මත පිහිටා යුරෝපා සංගමයේ රටවල් ක්‍රියා කරනු දැක ගත හැකි විය.
ඒ අනුව දෙවෙනි සීතල යුද්ධය බල කඳවුරු දෙකකට බෙදී ගිය බල කේන්ද්‍ර කිහිපයක් අතර සිදු වන ගැටුමක් බවට පත්ව ඇත. බාගදා ඇතැම් බල කේන්ද්‍ර අනාගතයේදී සිය කඳවුර මාරු කිරීමට පවා ඉඩ ඇත. එබැවින් ශ්‍රී ලංකාවේ අපගේ ස්ථාවරය විය යුත්තේ බල කඳවුරකට ගොනු නොවී බල කේන්ද්‍ර සමඟ ගනුදෙනුව පලදායී ලෙස පවත්වාගෙන යාමයි. රටක් වශයෙන් භූ දේශපාලනයේදී අප හට ගැනීමට සිදු වන ස්ථාවරයන් වඩා සංකීර්ණත්වයකට පත් වනුයේ මේ හේතුව නිසාවෙනි.
- දක්ෂිණ ජයවික්‍රම -
- දක්ෂිණ ජයවික්‍රම -
යුතුකම සඟරාවේ ජුනි කලාපයේ ලිපියකි
යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .