ඇමරිකානු නව ජාතිකවාදය
ඇමරිකානු ජාතිකවාදයේ මූල බීජ 18 වන සියවසේදී පැන නැගි ඇමරිකානු විප්ලවය දක්වා දිව අතීතයට දිවෙයි. මෙම යුගයේදී, බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයට එරෙහිව සටන් වැදුණු ඇමරිකානු ජනතාව තුළ තමන් ලෝකයේ වෙනත් ජාතීන්ට වඩා සුවිශේෂී බවට අදහසක් ඇති විය. අලුතින් බිහි වූ ජාතියක් ලෙස ඇමරිකාව ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී ආදර්ශය ලෙස පෙනී සිටිය යුතු බවත්, ලෝකයටම නූතන අගනාකම් කියා දීමේ වගකීම තමන් සතු බවට ඔවුන් සිතන ලදි. මෙම සංකල්පය "ඇමරිකානු අසාමාන්‍යතාවය" (American Exceptionalism) ලෙස ඇමරිකානු කොමියුනිස්ට්වාදීන් විසින් විග්‍රහ කරයි. විශ්වාසයට පදනම් විය.
19 වෙනි සියවස පුරා උතුරු ඇමරිකානු මහද්වීපය මුළුල්ලේ ව්‍යාප්ත වීම සඳහා යුරෝපීය ඇමරිකානුවෙන් වෙත උත්තේජනයක් සැපයුවේ මේ සිතිවිල්ලයි. 1861 සිට 1865 දක්වා දික් ගැස්සී ගිය ඇමරිකානු සිවිල් යුද්ධය විසින් ද ඇමරිකානුවා තුළ ‘අප එක්සත් ජනපද වැසියෝ වම්හ’ යන අදහස ශක්තිමත් කරන ලදි. පසුව උතුරු ඇමරිකානු මහද්වීපය ද ඉක්මවා ලෝකයේ අන් රාජ්‍යන් සඳහා ද අත පෙවීමටත්, එම අතපෙවීම් සාධාරණීකරණය කර ගැනීමටත් ඇමරිකානුවාව මෙහෙයවූයේ ද මේ සිතිවිල්ලම මිස අන් යමක් නොවේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසුව යුරෝපයේ පැරණි වලව්කාර ජාතීන් පරයා ඇමරිකා එක්සත් ජනපදය ලෝක බලවතෙකු වශයෙන් නැගී සිටියේ ය. එහිදී එක්සත් ජානපදයේ ප්‍රතිවාදියා මෙන්ම තරඟකරුවා බවට පත් වූයේ සමාජවාදී සෝවියට් සංගමයයි. සෝවියට් සංගමයට එදිරිව ලෝක බල අරගලයේ නියුතු වෙද්දී වඩා ජාත්‍යන්තරවාදී වෙස් මුහුණක් පැළඳ ගැනීමට ඇමරිකාවට සිදු විය. ඔවුන් විසින් එම වෙස් මුහුණේ හැඩය ලෝකය හමුවේ නිර්වචනය කළේ ලිබරල් ජාත්‍යන්තරවාදය වශයෙනි.
ඒ අනුව දෙවන ලෝක යුද්ධයෙන් පසුව එළඹි නිරවි යුධ සමයේදී ඇමරිකනු ජාතිකවාදය ලිබරල් ජාත්‍යන්තරවාදය (Liberal Internationalism) යටතේ යටපත් වූ බවක් පෙනෙන්නට තිබුණෙ. එසේ වුවද සැබැවින්ම වී තිබුණේ ලිබරල් ජාත්‍යන්තරවාදය නැමැති අලංකාර වෙස් මුහුණක් පැළඳ ඒ මුවාවෙන් තවදුරටත් ඇමරිකානු බලය, ඇමරිකානු අගනාගම් ලෝකයේ ව්‍යාප්ත කරවීමේ ක්‍රියාවලිය දිගින් දිගටම සිදු කිරීමයි. මෙම සමය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය, NATO, සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි බහුපාර්ශ්වික ආයතන හරහා ඇමරිකාව ලෝක පාලනයේ සුක්කානම තමන් සතු කර ගැනීමට ප්‍රයත්න දරණ ලදි 1990 දශකයේ සෝවියට් සංගමය බිඳ වැටීම සමඟ එක්සත් ජනපදය ලෝක පොලිස් කාරයාගේ තත්ත්වයට පත් වුණි. එසේ වුවද ඔවුන් ප්‍රාර්ථනා කළ පරිදි ආර්ථිකය සමෘද්ධියේ උපරිමයට ළඟා වීමට හෝ ලෝකය තමන්ට අවශ්‍ය තරමට අවනතව සහ සන්සුන්ව තබා ගැනීම තවදුරටත් ළඟා කොට ගත නොහැකි ඉලක්ක ලෙස පැවතුණි. රට අභ්‍යන්තරයේ ආර්ථික අසමානතාවය ඉතා ප්‍රබල ලෙස ජනතාව පීඩාවට පත් කරමින් පැවතුණි. 2001 ලෝක වෙළඳ මධ්‍යස්ථානයට අල්ක්වයිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූයේ මෙවන් පසුබිමක ය. පසුව 2008 දී ආර්ථික අර්බුධයකට මුහුණ දීමට එක්සත් ජනපදවාසීන්ට සිදු විය. මේ අතර ඇමරිකානුවාගේ ධනය ට්‍රිලියන ගණනින් වැය කොට ලෝකයේ ජාතීන්ගේ පක්ෂපාතභාවය එක්සත් ජනපදය වෙත රඳවා ගැනීම සඳහා දැරූ උත්සාහය ව්‍යර්ථ වී තිබුණි. දශක කිහිපයක් තිස්සේ ලිබරල් ජාත්‍යන්තරවාදයේ සළු පිළිවලින් වසා පැවති ඇමරිකානු ජාතිකවාදී චින්තාවන් යළි ඉස්මතු වීමට මග පෑදුනේ මේ අයුරිනි.
America Firs යන ප්‍රචාරක පාඨය ඔසවාගත් ඩොනල්ඩ් ට්‍රම්ප් 2016 දී එක්සත් ජනපද ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ මෙම පසුබිම තුළය. America First යන සටන් පාඨය ට්‍රම්ප් විසින් නිපදවූවක් නොවේ. එය සියවසකට වඩා පැරණි ඉතිහාසයක් සහිත, ඇමරිකානුවාගේ අභිලාෂය පිළිබිඹු කරන තේමාවකි. ට්‍රම්ප් විසින් සිදු කරනු ලැබුවේ ශූර දේශපාලන ඉවකින් යුතුව මතු වෙමින් පැවති ප්‍රවණතාව ග්‍රහණය කර ගැනීමයි. ගෝලීයකරණය ප්‍රතික්ෂේප කිරීම, දැඩි සංක්‍රමණ සීමා පැනවීම, පැරිස් ගිවිසුම, උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ ගිවිසුම (NAFTA) ආදී ජාත්‍යන්තර ගිවිසුම්වලින් ඉවත් වීම මේ හා සමඟම සිදු විය.
මේ සියල්ලට අමතර ඇමරිකාව අභ්‍යන්තරයේ තීව්‍ර ලෙස මතුවන සංස්කෘතික ජාතිකවාදය නොතකා හැරිය නොහැකි සාධකයකි. ඉවැන්ජලික ක්‍රිස්ත්‍රියානි ඇදහීමට ප්‍රමුඛතාවය ලබා දීම සහ ධවල උත්තමවාදය පිළිබඳ අදහස් ද මෙම සංස්කෘතික ජාතිකවාදය පසුපස පැමිණෙති.
2020 මහ මැතිවරණයේදී ට්‍රම්ප් පරාජයට පත් වී ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා ජයග්‍රහණය කළත් ඇමරිකානු නව ජාතිකවාදයේ ක්‍රමික නැගීම ආපසු නොහැරුනි. ඒ අනුව එහි තවත් පිම්මක් ලෙස නැවත වරක් 2024 ජනාධිපතිවරනයෙන් ට්‍රම්ප් ජයග්‍රහණය පෙරටත් වඩා උණුසුම් ජාතිකවාදී සටන් පාඨයක් වූ Make America Great Again යන පාඨය අතැතිවය. USAID වැනි ආයතන හරහා ඩොලර් පොම්ප කරමින් ලෝකයේ ජාතීන්ගේ පක්ෂපාතීත්වය තමන් වෙත දිනා ගැනීමේ ක්‍රමවේදය තවදුරටත් වලංගු නොවන බව සිතන ට්‍රම්ප් ප්‍රමුඛ රිපබ්ලිකන් පාලනය කේවල්කරණය තුළින් ලෝකය දිනා ගැනීමේ උත්සාහයක නිරත වන බව පෙනී යයි. මෙම ජාතිකවාදයේ නැගීම හමුවේ ලෝකය තුළ ඇමරිකානුවා කොන් වීමකට ලක් වෙන බවට ලිබරල්වාදීන් විසින් තර්ක කළත් බහුතර සාම්ප්‍රදායික ධවල ඇමරිකානුවා තවදුරටත් ජාතිකවාදය වෙත ආශක්ත වීම වැළැක්විය නොහැකිය.

යුතුකම සඟරාවේ ජුනි කලාපයේ ලිපියකි
යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .