යුධ ජයග්‍රහණයන් සැමරීම ලොව ශිෂ්ඨ යැ යි සම්මත සියලු ම ජාතීන් විසින් සිදු කරණු ලබන්නෙකි. යුද්ධමය ක්‍රියා මාර්ගයක් වෙත අප යොමු කර වූ, විදේශීය මෙන් ම ඇතැම් දේශීය බලවේගයන් ද තවමත් සක්‍රීය ව පවතින වටපිටාවක එම සිහිවටන සැමරීම වැදගත් වන්නේ අනාගතයේ දී යළිත් එවැනි අවදානමක් ඇති වීම වළකා ගැනීමට ය.
‘යුද වදින්නේ සාමයෙන් ජීවත්වීම සඳහා ය” යන ඇරිස්ටෝටල් පඬිවරයාගේ ප්‍රකාශය පඬි වදනක් නම් නොවේ. එය එසේ නො වන්නේ ඇරිස්ටෝටල් චින්තනයට ආවේණික දාර්ශනික දුර්වලතාවය නිස යි.
එබැවින් ම එම ප්‍රකාශය අද අප අත්විඳින බොහෝමයක් යුද්ධ සඳහා සාධාරණ ද නොවේ.
‘අප යද වදින්නේ සාමයෙන් ජීවත්වීම සඳහා ය” යන්න ලෝක ඉතිහාසයේ සාධාරනීය ලෙස අර්ථ සම්පන්න කරගත් එක් සාධනීය අවස්ථාවක් ලෙස ය, 2009 මැයි 19 වැනි වැනි දා කොටි ත්‍රස්තවාදය පරාදවා ලද යුධ ජයග්‍රහණය මා දකින්නේ.
ඒ දිනයෙදී අප හදට දැනුනු සැනසුම සැහැල්ලුව මට මෙන් ම ඔබට ද අද පවා හදවතින් ම විඳ ගත හැකි බව මම දනිමි. එය අපට (මේ රටේ ජනතාවට) සාමයෙන් ජීවත් වීමට තිබුන සියලු අවස්ථාවන් අහුරුවමින් ඒ සඳහා වූ සියලුම සිහින පවා විනාශ කරමින් තිබුනු අවධියක සැබෑ කර ගත්තකි. එය අප අධ්‍යාත්මයට අතිශය සමීප ‘සුඛිනෝවා ඛේමිනෝ හොන්තු’ (සැපවත් වේවා, බියෙන් තොර වේවා) යන පාඨය ජාතියක් වශයෙන් අප විසින් මුලු හදවතින් ම විඳගත් අවස්ථාවකි. එම හැඟීම අප අතරින් කිසිවෙකුට හෝ විඳගත නොහැකි වී නම් එය හැඳින්විය හැක්කේ කුහකකම ලෙසින් ය. යුද්ධය නිසා මෙන් ම යුද්ධයට මඟ පාදා දුන් ත්‍රස්තවාදය විසින් ද අප බොහෝ දෙනෙකුට බොහෝ දේ අහිමි කරන්නට ඇත. යුද්ධය කාට එරෙහි ව කවුරුන් විසින් කරන ලද්දක් වුව ද අවසානයේ යුධ ජයග්‍රහණය තුලින් සාමය උදා වුනේ මෙරටේ ජීවත් වුනු කෝටි දෙකක සමස්ත ජනතාවට ය.
ඇතමුන් මෙය ජාතීන් දෙකක් අතර ඇති වූ ජාතිවාදී යුද්ධයක් ලෙස සලකනු මා දැක ඇත. එය ඔවුන්ගේ දේශපාලන විඥානයේ දරිද්‍රතාවය පෙන්නුම් කරන්නක් ලෙසිනි මා දකින්නේ.
ජාතීන් අතර මෙන් ම විවිධ සංස්කෘතික කොටස් අතර ගැටුම් ඇති වීම ඉතිහාසය පුරා ම සාමාන්‍ය දෙයක් බවත් ඒවා ඔවුන් තම තමන් විසින් ම සමනය කරගන්නා බවත්, විසි එක් වැනි සියවසේ මානව විද්‍යාඥයින් විසින් වරින් වර පෙන්වා දෙනු ලැබ ඇත.
ම්ලේච්ඡත්වය ගෝත්‍රික ජනතාව අතර බහුලව දක්නට ලැබුනු දෙයක් නොවේ ය යන්න අද වන විට මානවවිද්‍යඥයින් විසින් ද පිළිගනු ලබන මතයයි. ‘ම්ලේච්ඡත්වය’ බටහිර පුනරුදයට අයත් දෙයකි. බටහිර ජාතීන්ගේ අසීමිත තණ්හාව, සම්පත් කොල්ල කෑම හා විනාශය, මානව නිදහස, ආගමික නිදහස හා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්, ම්ලේච්ඡත්වය හා වහල් වෙළඳාම ද පුනරුදයේ ම කොටස් ය. ඒ පුනරුදය සමඟ නොකියවෙන කතාවයි.
යටත් විජිතවාදීහු ඔවුනට සුපුරුදු කුහක කමින් ම පුනරුදය හා ම්ලේච්ඡ යටත් විජිතවාදය එකිනෙකින් වියුක්ත කතන්දර දෙකක් ලෙසින් ඉදිරිපත් කරයි. ‘පුනරුදය’ ප්‍රගතිශීලී සමාජ පරිවර්තනයක් ලෙසින් පාසැල් පෙළපොත් වලට ද අතුලත් වී ඇති බව මම දැක ඇත්තෙමි. මෙරට ඇතැම් දේශපාලන පක්ෂ 21 වැනි සියවසේ දී පවා තම දේශපාලන දැක්ම ‘පුනරුදය’ ලෙසින් හැඳින්වීම හාස්‍යජනකය.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව සිදුවූයේ පුනරුද (යටත් විජිත) යුගය තුල දී එළිපිට කොල්ල කමින් පෙන්නුම් කළ ම්ලේච්ඡත්වය නව මුහුණුවරකින් ඉදිරිපත් කිරීමය. නව යටත් විජිතවාදය ලෙසින් හැඳින්වෙන්නේ එයයි.
ඊනියා නූතන යුගය ලෙසින් හැඳින්වෙන වර්තමාන නව යටත් විජිත යුගයේ දී ම්ලේච්ඡත්වය ක්‍රියාත්මක වන එක් ස්වරූපයක් නම් ජාත්‍යන්තර ත්‍රස්තවාදය යි. ගෝලීය බටහිර අනුග්‍රහය නොමැතිව ලොව ත්‍රස්තවාදී සංවිධාන බිහි නොවෙති.
ගෝලීය බලවත්තු කිසි විටකත් ඔවුන් විසින් ම නිර්මාණය කරනු ලැබූ ත්‍රස්ත සංවිධායක් නව යටත් විජිත රාජ්‍යක් තුල දී පරාජය කරනු ලැබීම නො ඉවසති. ඒ නිසා ය ඔවුන් තම අරමුණු සපුරා ගැනීම සඳහා විවධ රටවල ත්‍රස්තවාදී සංවිධාන නිර්මාණය කිරීමට අනුග්‍රහය දක්වන අතර ම, ත්‍රස්තවාදය පරාජය කළ නොහැක්කක් ය යන ප්‍රවාදය ද නිර්මණය කර දෙන්නේ.
එවැන්නක් ලොව මුල් වරට සිදු වන්නේ මේ රටේ ය.
එබැවිනි, මැයි 19 විජයග්‍රහණය ආශ්චර්යක් වන්නේ. එය නව යටත් විජිතවාද යුගයේ ම්ලේච්ඡත්වයට එරෙහිව එල්ල වුනු ප්‍රබල ම ප්‍රහාරයයි. එවන් වූ ප්‍රතිචාරයක් නව යටත් විජිතවාදීහු කිසි ලෙසකින්වත් බලාපොරොත්තු නොවූ හ.
නව යටත් විජිතවාදීහු තමන් විසින් නිර්මාණය කරනු ලබන ත්‍රස්තවාදය, නව යටත් විජිත රාජ්‍යයන් විසින් පරාජයට පත්කිරීම කිසිවිටකත් නොඉවසති. රණ විරුවන්ට රණ විරුවන් කියන්නටත් ත්‍රස්තවාදියාට ත්‍රස්තවාදියා කියන්නටත් දිව නො නැමෙන්නේ තවමත් නව යටත් විජිතවාදී මානසිකත්වයෙන් නොමිදුනු අයට පමණෙකි.
යුද්ධයට විරුද්ධව එල්ල වූ සියලු බාධාවන් ඉතාමත් දක්ෂ ලෙස කලමණාකරණය කර ගනිමින් යුද්ධයට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට මෙන් ම මෙම ජයග්‍රහණය වෙනුවෙන් කැප වූ, දිවිපිදූ, නන් අයුරින් සහය දුන් සියල්ලන් මෙන් ම, මැසිවිලි නො නඟා දුෂ්කර කාලය ඉවසා සිටි මෙරට ජනතාවට ද, ත්‍රස්තවාදය විනාශ කිරීමට අපට නන් අයුරින් සහය දුන් ශිෂ්ට ලෝකයේ රටවල් ද අපගේ අප්‍රමාණ ගෞරවයට පාත්‍ර විය යතු යි.
මේ රටේ ජීවත් වන කුහක කමින් තොර වූ ද, ශිෂ්ට සම්පන්න වූ ද සියලු ජනකොටස් කොහේ සිටියත්, විජයග්‍රහණය තම තමන්ට ඉඩ ලැබෙන අයුරෙන්, මුලු හදවතින් ම සමරණ බව මට විශ්වාසය. මේ රටේ අනාගත සුරක්ෂිතභාවය ස්ථාවර කළ හැක්කේ ඔවුන් සියල්ල ම එක ම අරමුණක් යටතේ එකට එකතු වීම තුල ම පමණෙකි.
-වෛද්‍ය වසන්ත දේවසිරි
[යුතුකම සඟරාවේ මැයි කලාපයේ පළවූ ලිපියකි]
යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .