2025 පළාත් පාලන ඡන්දය නිමා විය. අවසාන ඡන්ද ප්‍රතිපලය අනුව පාලක ජාතික ජන බලවේගය සමස්ත වලංගු ඡන්දවලින් ඡන්ද 4,503,930 ක් ලබා තිබුණි. එය ඡන්ද ප්‍රතිශතයක් ලෙස 43.26% කි.
කල්මුණේ නගර සභාව සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර පළාත් පාලන ආයතන 339 ක් වෙනුවෙන් සභිකයන් පත් කර ගැනීම සඳහා පැවති මෙම මැතිවරනයේදී සමස්ත ඡන්ද දායකයන් අතරෙන් 61.88% ක් හෙවත් ඡන්ද දායකයන් 10,616,087 ක් ඡන්දය පාවිච්චි කොට තිබූ අතර ඉන් ඡන්ද 205,277 ක් අවලංගු ඡන්ද වූ බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
ඡන්දය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 49 කින් සහ ස්වාධීන කණ්ඩායම් 257 කින් අපේක්ෂකයන් 75,589 ක් නාම යෝජනා ලබා ගෙන තිබුණි. මේ අනුව බලන කල දළ වශයෙන් සෑම ඡන්ද දායකයන් 138 දෙනෙකුට අයෙක් ඡන්ද අපේක්ෂකයෙක් ලෙස කිනම් හෝ දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට සම්බන්ධ වී තිබුණි.
ඒ අනුව මෙම ඡන්ද ප්‍රතිපලය රටේ ජාතික දේශපාලන මතවාදය මත පමණක් රඳා නොපැවති බවත්, එක් එක් ඡන්ද අපේක්ෂකයාගේ පෞද්ගලික සම්බන්ධකම් සැළකිය යුතු බර තැබීමකින් මෙම ඡන්ද ප්‍රතිපලය වෙත බලපා ඇති බවත් අප වටහා ගත යුතුව ඇත. මෙම ඡන්දයේදී පළාත් පාලන ආයතන සඳහා තෝරා පත් කොට ගත යුතු සභික ධූර 8,793 න් සභිකයන් 374 ක්ම පත් වී ඇත්තේ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමිනි. පෞද්ගලික සම්බන්ධතා සහ ග්‍රාමීය සංවිධාන මෙම මැතිවරණය තුළ කොතරම් වැදගත් කාර්‍යභාරයක් ඉටු කොට ඇත්ද යන්න පැහැදිලි කර ගැනීම සඳහා මෙය හොඳ නිදර්ශකයකි. දේශපාලන අදාළතාවය පිළිබඳව සළකා බලන කල්හි 2025 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිපල අවසන් වරට පැවති පළාත් පාලන මැතිවරණය වූ 2018 පළාත් පාලන මැතිවරණ ප්‍රතිපල සමඟ සන්සන්දනය කිරීමේ වටිනාකම අල්ප ය. එහෙත් 2024 ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය සමඟ මෙම නව මැතිවරණ ප්‍රතිපලය සන්සන්දනාත්මකව තැබීමෙන් රටේ අනාගත දේශපාලන දිශානතිය පිළිබඳව යම් අදහසක් මතු කර ගැනීමට අප හට හැකි වේ.
2024 සැප්තැම්බර් මහා මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළේ ඡන්ද 5,634,915 ක් ලබා ගනිමිනි. ඉන් මාස 2 කට පසුව පැවති මහා මැතිවරණයේ දී සිය ඡන්ද සංඛ්‍යාව 6.863,186 දක්වා ලක්ෂ 12 කින් පමණ වැඩි කර ගැනීමට එම පක්ෂය සමත් විය. එහෙත් ඉන් මාස 6 කට පසුව පැවති පළාත් පාලන මැතිවරණයේදී එම පක්ෂයට ලබා ගත හැකි වී ඇත්තේ ඡන්ද ලක්ෂ 45 ක් පමණි. එනම් ජනාධිපතිවරණයේදී හිමිකරගත් ඡන්ද සංඛ්‍යාවටත් වඩා ඡන්ද ලක්ෂ 11 ක් අඩු වී ඇත.
අනෙක් සියළු ජාතික දේශපාලන පක්ෂ විසින් පසුගිය මහ මැතිවරණයට සාපේක්ෂව මෙවර පළාත් පාලන මැතිවරණයේදී සිය ඡන්ද පදනම ඉහළ නංවාගෙන ඇති පසුබිමක පාලක ජාතික ජනබලවේගයේ ඡන්ද සංඛ්‍යාව පමණක් මෙලෙස සීඝ්‍රයෙන් පහළ බැසීම සුළු කොට තැකිය හැකි නොවේ. ජාජබ ට හිමි වූ ඡන්ද ප්‍රමාණය අඩු වීමෙහිලා කරුණු 2 ක් බල පා ඇති බව අපගේ නිරීක්ෂණයයි.
ඉන් පළමු කරුණ වන්නේ ජාජබ ය විසින් ගමට ඉදිරිපත් කළ අපේක්ෂකයන් ගම තුළ එතරම් ජනප්‍රිය අයවලුන් නොවීමයි. මේ හේතුවෙන් අනෙකුත් පක්ෂ විසින් ඉදිරිපත් කළ අපේක්ෂකයන් හට සිය පෞද්ගලික සම්බන්ධතාවයන් භාවිතා කරමින් තම තමන්ගේ ඡන්ද ගොඩවල් වැඩි කර ගැනීම සඳහා අවස්ථාව සකස් කර ගැනීමට හැකි විය. දෙවෙනි කරුණ වන්නේ ජාතික දේශපාලන වේදිකාව තුළ ජාජබ ය මුහුණ දෙමින් සිටින පසුබෑමයි. බලය ලබා ගැනීමට පෙර ජාජබ ය විසින් තමන් ඉදිරියේදී ක්‍රියාවට නංවනවා යැයි සපථ කළ වැඩපිළිවෙල ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට නොහැකි වීම තුළ ජාජබ යේ පදනම දෙදරා යමින් පවතී. බලයට පත් ඕනෑම රජයක් ස්වාභාවිකවම මුහුණ දෙන ප්‍රතිරෝධය තුළ මෙම තත්ත්වය දිනෙන් දින ඉහළ යනවා විනා පහළ යෑමක් නම් සිදු නොවන බව කිව හැකිය.
මෙම ඡන්දයේදී කැපී පෙනෙන ලෙස සිය සිය ඡන්ද ප්‍රතිශතය ඉහළ නංවා ගත් දේශපාලන පක්ෂය වනුයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. 2024 ජනාධිපතිවරණයේදී එම පක්ෂය ලබා ගත් ඡන්ද ප්‍රමාණයට වඩා ලක්ෂ 06 ක පමණ වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට 2025 පළාත් පාලන මැතිවරණයේදී එම පක්ෂය සමත් වී ඇත. මෙය තමන් ලැබූ විශාල ජයක් ලෙස හුවා දැක්වීමට එම පක්ෂය ඉක්මන් වී ඇතත් එහි යථාර්ථය එය නොවේ. 2018 දී පැවති අවසාන පළාත් පාලන මැතිවරණයේදී සමස්ත සභික සංඛ්‍යාවෙන් 38% ක් හෙවත් 3,369 ක් පත් වූයේ පොහොට්ටුව ලකුණිනි. මේ අතරින් අති බහුතරය මෙවර ද පොහොට්ටුව ලකුණ යටතේ තරඟ වැදුණි. බලයේ සිටි කාලය තුළ පළාත් පාලන සභිකයන් ලෙස තම තමන්ගේ ගම්මානවල ජනතාව වෙනුවෙන් යම් යම් උදව් උපකාර සිදු කිරීමට අනිවාර්යෙන්ම මේ පිරිසට හැකියාව ලැබුණි. පාරට ලයිට් එක දමා ගැනීමේ සිට රැකියා 100,000 වැඩපිළිවෙල යටතේ රැකියා ලබා දීම දක්වා වූ මෙම උදව් උපකාර හේතුවෙන් තම තමන් වටා පෞද්ගලික ඡන්ද සීයක් හමාරක් රැස් කර ගැනීමට මෙම පිරිස සමත් වී තිබෙන බව අමුතුවෙන් නොකිවමනාය. ඒ අනුව පොහොට්ටුව මෙවර වැඩි කරගත් ඡන්ද ලක්ෂ 06 න් 75% කට වඩා වැඩි ගොඩ පොහොට්ටුව යැයි සළකා බලා ඡන්දය ප්‍රකාශ කළ අයවලුන් නොවන බවත්, ඒ ඒ අපේක්ෂකයා වටා රැස් වූ පිරිසක් බවත් සඳහන් කළ යුතු ය.
මෙම ඡන්දයේ ජයග්‍රාහකයා වනුයේ දෙමළ බව කතා කරන ජන කොටස්වල වාර්ගිකත්වය මත පදනම් වූ පක්ෂ වන බව අපගේ නිරීක්ෂණයයි. පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී රටේ ජාතික දේශපාලන ප්‍රවාහය සමඟ සම්බන්ධ වූ මෙම ඡන්ද පදනම නැවත සිය වාර්ගික දේශපාලන ප්‍රවාහය වෙත ඈඳා ගැනීමට ඔවුන් සමත් වී ඇත.
-දක්ෂිණ ජයවික්‍රම-
යුතුකම 2025 මැයි කලාපයේ පළවූ ලිපියකි
යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .